Monday, March 3, 2025

ගුනේ අයියා ගැන මතකය






ගුනේ අයියා අපිව දාලා ගිහිල්ලා කාලයක් ගත වුනත් තාම ගුනේ අයියා අපි ලඟ ඉන්නවා වගේ දැනෙනවා ඒ කාලේ ගුනේ අයියා එක්ක කරපු කේස් මතක් උනාම​. 

මට ගුනේ අයියා මුලින්ම හමු වෙන්නෙ 2000 මැද වගේ කාලෙක, මම හලාවත රෝහලට නිර්වින්දන වෛද්‍යවරයෙක් ලෙස ආවම. අනෙක් වෛද්‍යවරු පීපී කරන කොට මම ඇනස්තීසියා ශිෆ්ට් එක ඉවර කරලා ගුනේ අයියා සහ ගුනේ අයියා ගේ මිත්‍රයන් සමග හලාවත කරක් ගැහුවා. එමගින් විශාල සමාජ දැණුමක් මට ලැබුණා. 


ගුනේ අයියා කියන්නේ ආතල් එකෙත් සුපිරි එක , ලඟ ඉන්න කොට සිනහවෙන් විනෝදයෙන් ඉන්න පුලුවන්. ඒ කේස් සිය ගනනක් තියනවා. සමහර ඒවා මතකත් නෑ. මතක් වෙන විට තනියම හිනා යනවා. 

මට මතකයි වරක් මමයි ගුනේ අයියායි , වෛද්‍ය ප්‍රියාන් සෙනෙවිරත්නයි රෑ දොලහට විතර හලාවත රෝහල අසල තිබෙන කැරකෝප්පුවේ සොහොන් ගල් උඩ වාඩි වෙලා කතා කර කර හිටපු හැටි. ඒ වගේම වරක් මමයි ගුනේ අයියායි හලාවත වැල්ලට ගිහින්  ගුනේ අයියා ගේ කැබ් එක නවත්වලා බීච් එකේ පොල් ගසක් අසල කතා කර කර ඉන්නවා. වැල්ලේ ගෑණු දෙතුන් දෙනෙක් අපි දිහා බල බල එහා මෙහා යනවා. මටත් ගුනේ අයියාටත් මේක ප්‍රෙහේලිකාවක්.  මෙහෙම විනාඩි 20 විතර යනකම් වැල්ලේ ගෑණු අපි දිහා බල බල එහා මෙහා යනවා. ටික වෙලාවකින් එක ගෑණියෙක් ඇවිදින් අපි දෙන්නා හිටපු තැන වැල්ල හාරලා බෝතලයක් අරගෙන ගියා. බලන කොට අපි දෙන්නා හිටගෙන ඉඳලා තියෙන්නේ උන් ගේ කසිප්පු ගබඩාවක් උඩ.

තවත් සැරයක් අපි නාන්න දැදුරු ඔයට ගියා. අපිත් එක්ක තව යාලුවෙක් ආවා. අපි නාලා තියෙන්නේ ඊට ටික කාලයකට පෙර ගිලිලා මැරුනු ෆාදර් සුනන්ද බිළි ගත්ත ස්පොට් එකේ. ඒත් අපිට ඒකේ වගක් තිබ්බේ නෑ. අපි හොඳට වතුරේ බැහැලා දැදුරු ඔයා නෑවා.

එක සැරයක් මම , ගුනේ අයීයා , ඩොක්ට ප්‍රියාන් , ගුනේ අයියා ගේ යාලුවෙක් සෙට් කරපු කළපුව අසල බාබිකිව් එකකට ගියා. මාළු ඒ වෙලාවේ අල්ලලා බාබිකිව් කරනවා. තඩි කකුළුවෙකුත් ඔවුන් ඇල්ලුවා. ඒත් කකුළුවා බූමිතෙල් රහයි. කළපුවේ බෝට්ස් යන නිසා. 

තවත් සැරයක්  මම , ගුනේ අයීයායි , ඩොක්ට ප්‍රියානුයි වෙන වැල්ලේ බාබිකිව් එකකට සෙට් උනා. එක ඇහින්දාස් එකෙක් බලෙන් සෙට් වෙලා ඩොක්ට ප්‍රියාන් ගෙනාපු විස්කි බෝතලෙන් පින් අඩි දෙක තුනක් ගහලා ඩොක්ට ප්‍රියාන් එක්ක පැටලෙන්න ගියා. මමයි ගුනේ අයීයායි ශේප් එකේ ඩොක්ට ප්‍රියාන්ව පැත්තකට ගත්තා. එතකොට ඇහින්ඳාස් එකා අපිට මාළු අල්ලලා දෙන මාළු කාරයාට පහරක් ගැහුවා. විනාඩි දෙකක් ගියේ නෑ අසල මාළු පැල්පත් වලින් හත් අට දෙනෙක් පොළු අරගෙන දුවගෙන ආවා. ඇහින්දාස් එකාට සුපිරි විදියට නෙළුවා. අපි තුන් දෙනා මේ ලයිව් ටෙලිකාස්ට් එක බැළුවා ආතල් එකේ.

තවත් සැරයක් අපි පොල් වත්තකට ගියා. ඉර ගිනියම් වෙලා ,රස්නෙයි. ගුනේ අයියා දන්න කෙනෙක් ගේ පැලට ගියා. මේක මැටි ගහලා වහල පොල් අතු ගෙයක්. ඒසී පරාදයි ඇතුලේ තිබ්බ සිසිල​. අපි බොහෝ වේලාවක් මේ මැටි ගෙදර කතා කර කර හිටියා. ගුනේ අයියා පරණ රස කතා කියනවා. එතන අපි තුන් දෙනෙක් විතර හිටියා. මේ කතා සමහරක් මම මගේ " වෛද්‍ය වරයෙකුගේ සිහි සටහන් කියන පොතෙත් ලියලා තියනවා.

මට තියටර් එකේ නයිට් ශිෆ්ට් එක සෙට් වෙන කොට ප්‍රියාන් ඕපීඩී එකේ නයිට් ශිෆ්ට් එක කරනවා. රාත්‍රී 11 පස්සේ රෝහල සන්සුන් . අපි සෙල් ෆෝන් ඔන් කරගෙන ගුනේ අයියා එක්ක නයිට් කඩ වලට ගිහින් ආප්ප කාලා කෝපි බොනවා. 2001 සිංහල අළුත් අවුරුද්දට මම ඩියුටි හිටියේ. රෝහලේ කිසිම ඔපරේශන් එකක් නෑ. ප්‍රියානුත් හිටියා. අපි අළුත් අවුරුද්දට වැඩ ඇල්ලුවේ ගුනේ අයියාගේ යාළුවෙක් ගේ ගෙදර​. ගුනේ අයියාගේ කතා අහගෙන සවස 7-8  විතර වෙනකම් හිටියා.

ගුනේ අයියාට හැම තරාතිරමක යාළුවෝ හිටියා. මාළු කාර සෙට් වගේම හලාවත බිස්නස් කාරයෝ , දේශපාලකයෝ , මේ ඔක්කොම ගුනේ අයියා එක්ක හිතවත්. ගුනේ අයියා ගේ යාළුවෙක් හිටියා කොලඹ හලාවත ඒසී බස් එකක රියැදුරෙක් තිස්ස කියලා. කාර් එකෙන් නොඑන දවස් වල මම කොලඹ හලාවත ඒසී බස් එක ගන්නවා. තිස්ස හිටියොත් මාව රියැදුරු ආසනේ එහා පැත්තට ගන්නවා. තවත් සැරයක් ගුනේ අයියා අපිට සෙට් කලා මුහුදු ගමනක් හඳුනන ධීවරයෙකුට කියලා. අපෙන් සල්ලි ගත්තෙත් නෑ ගුනේ අයියා ගේ යාළුවෝ කියලා. ඒත් අපි බලෙන් වගේ සල්ලි දුන්නා.

මම ගුනේ අයියාගේ ගම වන මුගුණුවටවන මහ ගෙදරටත් ගියා. ඒ කාලේ ගුනේ අයියාගේ අම්මත් හිටියා. පොඩි කැස්ස ගතියක් ගතියක් , මම බේත් වගයක් ලියලා දුන්නා.  ගුනේ අයියාගේ මහ ගෙදර ඉස්සරහා රුවිතෙට ගිය පොල් ගහක් තියනවා. ගුනේ අයියා කිව්වා මම දණ ගාන කාලේ ඔය හරස් විදියට ගිය පොල් ගහ  යටින් යනවා කියලා. 

අබේවර්ධන බාලසූරිය ගුනේ අයියාගේ ලඟම නෑයෙක්. එක සැරයක් අබේවර්ධන බාලසූරියව මට හමු උනා කොලඹ හවුස් ඔෆ් ෆැෂන් එකේ. මම කෙලින්ම ගිහින් කිව්වා මම මුගුණුවටවන ගුණතුංග ගේ යාළුවෙක් කියලා. අබේවර්ධන බාලසූරිය මාත් එක්ක ඉතා මිත්‍රශීලීව කතා කලා. 

ඒ කාලේ ගුනේ අයියා කරපු කේස් කියන කොට හිනා කාලා මැරෙනවා. රෑ 9.30 ෆිල්ම් එක හලාවත හෝල් එකක බලලා පයින්ම සමහර විට මුගුණුවටවනට කොල්ලෝ සෙට් එකත් එක්ක එනකොට මඟ දිගට කරපු වැඩ කියනවා. මොරීන් කියලා කෙල්ලෙක් ගේ ගෙදර දොරට ගහලා හිමීන් " මොරීන් " කියලා කිව්වම මොරීන් ගේ ආච්චි " ඔය කවුදෑ" කියලා අහන හැටි ඇක්ට් කරලා පෙන්නනවා. ඒ වගේම ගමේ මුදලාලිගේ ගෙදර දොරට ගහලා " ගින්නෝ " කියලා දුවනවලු. ඒ වගේම 88/89 භීෂණ ජීවිතය පර දුවට තියලා කරපු දේශපාලන වැඩත් කියනවා.

එක සැරයක් රක්‍ෂණ සංස්ථාවේ මැනේජර් කෙනෙක් වැල්ලට ඇවිල්ලා ධීවරයන්ට රක්‍ෂණ ආවරණ විකුනලා.  ඉන් පසුව එක  ධීවරයෙක් බෝට්ටුව තල්ලු කරන කොට ඇඟිල්ල තුවාල වෙලා. පාසේ පොර රක්‍ෂණ සංස්ථාවේ මැනේජර් හමු වෙන්න ගිහි සල්ලි ඉල්ලලා. මැනේජර් දන්න සිංහලෙන් කියලා මේක ජීවිත ආවරණයක්, ඔය වගේ තුවාල වලට සල්ලි දෙන්නේ නෑ කියලා. මේකට මාළු බුවාට තද වෙලා කාර්‍යාලයෙන් පිට වෙලා ගියාලු. එදා හවස ගුනේ අයියා වැල්ල පැත්තේ යන කොට මූ කඩුවක් තියාගෙන ලයිට් කණුවකට මුවා වෙලා ඉන්නවලු රක්‍ෂණ සංස්ථාවේ මැනේජර්ට කොටන්න. ගුනේ අයියා මොකක් ද කේස් එක කියලා ඇහුවම මෑන් කිව්වලු " බලන්ඩ ගුනේ මහත්තයා මූ  ඇඟ ආරක්සා කරනව කියලා අපෙන් සල්ලි ගත්තා. මගේ අතේ තුවාලෙට සල්ලි ගෙව්වේ නෑ මම අද ඕකව බාවනවා" කියලා. පස්සේ ගුනේ අයියා මාළුකාරයාට ජීවිත රක්‍ෂණය ගැන සරලව උගේ බාසවෙන් කියලා දීලා මඩර් එකක් වැලැක්කුවා. 

මමයි ඩොක්ට ප්‍රියානුයි පසුව යුද හමුදාවේ සක්‍රිය සේවයට යනවා. ඉන් පසු අපිට ගුනේ අයියා මිස් වෙනවා. ඒත් වරින් වර දුරකථනයෙන් අපි කතා කලා. ඒ වගේම 2006 විතර මම වවුනියාව පැත්තේ කෑම්ප් එකකට යන කොට ගියේ හලාවත හරහා. ඒ ගමන ගුනේ අයියා බලන්නත් ගියා. ඒත් එදා ගුනේ අයියා ගෙදර හිටියේ නෑ.

මම විදේශගත උනාම ගුනේ අයියා මට යලිත් වරක් මිස් උනා. ඒත් 2023 මම ලංකාවට ආවම ගුනේ අයියා මට මොරටුව පැත්තේ හෝටලයක ඩිනර් එකක් දුන්නා. යලිත් අපේ අතීත සැමරුම් මතකයට ආවා. ඒත් ඒ වෙන කොට ගුනේ අයියා අසනීප තත්වයේ බව පෙනුනා. වර්ධනය වූ පිලිකාවක් නිසා ඉන් යම් කාලයකට පස්සේ ගුනේ අයියා අපෙන් වෙන් වෙලා ගියා.

ගුනේ අයියා ගියත් ගුනේ අයියාගේ පුතා විමුක්ති ඉන්ජිනේරුවෙක්. ඩිමෝ ආයතනයේ ලොකු තනතුරක් දරනවා. විමුක්ති ඩිමෝ එකේ Psychology දේශනයක් කරන්නත් මට පහසුකම් සැලසුවා. ගුනේ අයියා ගියත් විමුක්ති දිහා බලලා අපි හිත හදා ගන්නවා. ඒ වගේම ගුනේ අයියා එක්ක කරපු , කියපු දේවල් , ගුනේ අයියාගේ අතීත රස කතා මතක් වෙන වාරයක් පාසා ගුනේ අයියා මාත් එක්ක ඉන්නවා වගේ දැනෙනවා. 

ගුනේ අයියා පිලිබඳ Definition  මොකක් ද කියලා කෙනෙක් ඇහුවොත් මම කියන්නේ මේක​: සමාජයේ ඉහල සිට පහල දක්වා මිනිසුන්  සමග හිතවත් කමින් සතුටින් , සිනහවෙන්  ජීවත් වූ , ක්‍රෝධය , තරහව , ඉරිසියාව , බෙලි කැපිල්ල හොර බොරු වංචා   යන අගතීන් මොනවද කියා වත් නොදත් සරළ සුන්දර දුර්ලභ මනුෂ්‍යයෙක්.  

මම ලියපු වෛද්‍ය වරයෙකුගේ සිහි සටහන් කියන පොතේ පිටු ගනනාවක ගුනේ අයියා ගැන ලියලා තියනවා. එමගින් මට හැකි උනා ගුනේ අයියා චරිතය අමරණීය කරන්න.


වෛද්‍ය රුවන් එම් ජයතුංග 









No comments:

Post a Comment

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook