Thursday, February 22, 2024

1982 අනුරාධපුර පැවති ලෝක ජම්බෝරිය






1982 අනුරාධපුර පැවති ලෝක ජම්බෝරියේදී අපගේ බාලදක්‍ෂ නායක සමන් කුරේට පාසල් කීපයක නායකයා වශයෙන් යාමට සිදු විය​. මේ නිසා මා ඇතුළු දඟයන් මෙම ජම්බෝරියේදී කුමන විගඩමක් නටත් දැයි විස්සෝප වූ සමන් අයියා අනුරාධපුර යාමට දවස් දෙකකට උඩදී මා කැටුව පාසල අසල සාන්ත සිරි හෝටලයට ගොස් මට රෝල්ස් , පැටිස් , මාළු පාන් අරගෙන දී අනුරාධපුරයේදී නාලන්ද , ආනන්ද යනාදී පාසල් ගනනාවක බාලදක්‍ෂයන් ඔහු යටතේ ජම්බෝරියට යන බවත් එම නිසා විජ්ජා පෙන්වන්නේ නැතිව හොඳට හැසිරිය යුතු බව කීවේය​. ජම්බෝරියේදී හොඳට හැසිරෙන බව සමන් අයියාට පොරොන්දු වෙමින් මම තව පැටිස් එකක් ද කෑවෙමි. 

 නියමිත දිනයේදී අප මරදාන දුම්රිය පළට ගියේ අනුරාධපුරයට යන රාත්‍රී දුම්රිය අල්ලා ගැනීමටය​. දුම්රියේදී අපට ආනන්ද සහ රාජකීය විද්‍යාල වල බාලදක්‍ෂයන් පිරිසක් ද හමු විය​. අප ගීත ගයමින් ගමන් කලෙමු. ආනන්ද විද්‍යාලයේ අපටම ගැලපෙන පිරිසක් සිටි හෙයින් අප දුම්රිය දෙවනත් කෙරුවෙමු. අපගේ පිරිස දුම්රියේ දොරක් ඇරගෙන සිට අතර ගාඩ්වරයා පැමිණ අපට බැන වැදී දොර වසා දැමුයේය​. අප ගාඩ්වරයා මඩ් ගාඩ් ලෙස නම් කලෙමු. 

 අනුරාධපුරයට ආ අප හරිස්චන්ද්‍ර පිටියට විත් කඳවුරු බැන්දෙමු. අනුරාධපුර පැවති ලෝක ජම්බෝරියේදී අප ඉතා ආකර්ශනීය කඳවුරු සංකීර්ණයක් නිර්මානය කලෙමු. මෙම කඳවුරු සංකීර්ණය නැරඹීමට බොහෝ පිරිස ආහ​. ජම්බෝරියේදී මම සමන් අයියාට පොරොන් දු වූ පරිදි විජ්ජා නොපෙන්වූ නමුත් අප ලුවී ඔකස් යන බාලදක්‍ෂ නායකයාව බයිට් කලෙමු. ලුවී ඔකස් අවසන් දිනයේදී අපගේ සෙට් එකත් සමග මිතුරු විය​. 1

983 අනුරාධපුරයේ පැවති ලෝක බාලදක්‍ෂ ජම්බෝරියට චීනයෙන් , නේපාලයෙන් , ඉන්දියාවෙන් බාලදක්‍ෂයන් සහභාගි වූහ​. 1983 අනුරාධපුරයේ ලෝක ජම්බෝරිය රස ගුලාවක් වූයේ මට තකට තක ලෙස ගැලපුනු ආනන්ද විද්‍යාලයේ කුසල් මෙන්ඩිස් හමු වීමෙනි. අප දෙදෙනා එකතුව බොහෝ විනෝද වැඩ කලෙමු. එසේම කවට නාට්‍ය අප ගිනිමැළ සංදර්ශන වලදී ඉදිරිපත් කොට පිරිස කුල්මත් කලෙමු. වෙනත් දිස්ත්‍රික්වල බාලදක්‍ෂයන් ද අපගේ නාට්‍ය බැලීමට ආවෝය​. ඒ කාලයේ දී අප කුසල් මෙන්ඩිස් දකුණු අප්‍රිකාවෙන් පැමිණි බාලදක්‍ෂයෙකු ලෙස හඳුන්වා දුන්නෙමු. කුසල් ගේ කාල වර්ණ බවත් බොකුටු කොණ්ඩයත් නිසා ඔහු දකුණු අප්‍රිකාවෙන් කියා බොහෝ දෙනෙකු සිතූහ​. පසුව කුසල් සිංහලෙන් කතා කොට තම අනන්‍යතාව ඔප්පු කරන ලදි. කුසල් වර්තමානයේ බැංකු නිලධාරියෙකි. ඔහු මෑතකදී සම්පත් බැංකුවේ නාට්‍යකද රඟපාන ලදි. 

 මේ ජම්බෝරියට කිලිනොච්චියෙන් පැමිණි ද්‍රවිඩ බාලදක්‍ෂයන් පිරිසක් හමුවූ අතර ඔවුන් දැන සිටියේ දෙමල පමණි. එම නිසා අප ඔවුන්ට වනක්කම් කීවෙමු. අප දැන සිටි දෙමල එපමනකි. මේ 1982 වසර් විය . තව වසරක් තුලදී කළු ජූලියක් එන බවත් , ඉන්පසු රට තුල තිස් වසරක් ලේ හලා ගැනීම් සිදු වන බවත් අප දැනගෙන සිටියේ නැත​. මේ ජම්බෝරියට කිලිනොච්චියෙන් පැමිණි ද්‍රවිඩ බාලදක්‍ෂයන් අතරින් කොපමණ දෙනෙකු එල් ටී ටී ඊ යට බැඳුනේද , කී දෙනෙක් යුද්දයේදී මිය ගියේද කියා දන්නේ උඩ සිටින දෙවියන් පමණි. ජම්බෝරියෙන් පසු මම බාලදක්‍ෂ ව්‍යාපාරයෙන් සමුගත්තෙමි. ඉන්පසු සියල්ල අතීත සිහිවටනයන් විය​.


2 comments:

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook