................. මගේ හිතට දුක ගලාගෙන එනවා. ඩොක්ටට මතකද දෙවෙන්දොරා සහ නොරිකො ? දෙවෙන්දොරාට නොරිකො පළමුවෙන් හමුවන්නේ අවන්හලක දී නේද ? මතකද ඒ අවන්හල ? නොරිකො ඒ අවන්හලේ සේවිකාවක්. මතකද ඔවුන් දෙදෙනා කබුකි බලන්න ගිය දවස? ඒ ආදරයට මොකද උනේ ? ඇයි දෙවෙන්දොරා නොරිකො අතහැරලා තෝකියෝ වලින් කියෝතෝ නගරයට ගියේ? දෙවෙන්දොරා සං නොරිකො ගෙන් සමුගන්නා අවස්ථාව මගේ මතකයට ආවා. මේ සිදුවීම් මට චිත්රපටයක් වගේ මැවී පේනවා. මට අමතක කරන්න බැහැ මේ සිදුවීම්. කියෝතෝ නගරයේදී දෙවෙන්දොරා ගණිකාවක් සමග එක් වීම මතකයි නේද? . කායික තෘප්තිය මගින් ප්‍රේමය යටපත් කිරීම. එය කල හැකි දෙයක්ද ? අවසානය ළඟ වෙලා. මළවුන්ගේ අවුරුදු දා දෙවොන්දරා සං සියදිවි නසා ගත්තේ ඇයි කියලා මට තේරුම්ගන්න බැරි උණා. නොරිකො දෙවෙන්දොරාව පවුලේ සුසන භුමියේ මිහිදන් කරනවා. පොලව යටට ගියේ දෙවෙන්දොරා ද ? නැතහොත් මමද ? නොරිකො දෙවෙන්දොරා සංගෙ මතක සමඟ ගෙවන ජීවිතය ගැන මගේ හිතට දැනෙන්නේ දුකක්, කම්පනයක්, පාළුවක්. හරියට ගරා වැටුන ගෙයක දොර හෙලවෙනකොට නැගෙන මුසල හඬ වගේ. අහස අඳුරුයි. එක තරු කැටයක්වත් අහසේ නැහැ. මුළු පරිසරයම මලානික වෙලා. මහපොළව ඉකිබිඳිනවා. හමන සුළඟ ඒ ශෝකී රාවය සෑම දිශාවකටම ගෙන යනවා. මිය ගිය පෙම්වතා ගැන මතකය , අතීතයක් පමණයි ඉතිරිව ඇත්තේ. හරියට ඔලිවර් ගොල්ඩ්ස්මිත්ගේ දුක්මුසු කවියක වගේ.
දහසක් ලෙඩුන් මිය ගිය මේ ඇඳ මත මම වැතිරී හිටියා. මගේ ශරීරය කෙට්ටු වෙලා. ඇටකටු ගොඩක් වගෙයි. දුෂ්කර කි‍්‍රයාවේ යෙදුණු සිදුහත් කුමාරයාගේ නැත්තම් බෙල්සන් කඳවුරේ යුදෙව්වෙකුගේ වාගේ. කරාතියෙව්ගේ අවංක හිත, ලෙවින්ගේ වෙහෙසට පත් නොවන දෑත්, මොනාලිසාගේ දෑස්, මික් ජගර්ගේ දෙතොල්, ට‍්‍රැවොල්ටාගේ කොණ්ඩය, මේ සියල්ලේම සංකලනය මගේ දෑස් ඉදිරියේ මැවුණා. මොහොතකදී මහා ධාරානිපාත වර්ෂාවක් එක්ක විදුලි කෙටුවා. දෑස් නිලංකාර වුණා. අඳුරු අහසේ කඩතොළු ආකාරයේ ඉරි වරින් වර මතුවුණා. මහා වර්ෂාව එක්ක විශාල සුනාමියක්. ජල කඳ පොල්ගස් තුන හතරක් උසයි. මහා තාප්පයක් නැත්තම් ප‍්‍රාකාරයක් වාගේ. ගෙවල් දොරවල් යටකරගෙන ජල කඳ ගලාගෙන ගියා. පොළවේ ගලාගෙන ගිය මුහුදු ජලය යළිත් මුහුද කරා ඇදී ගියා. අහස එළිය වුණා. වර්ෂාව නැවතුණා. සියල්ල සන්සුන්. යළිත් වරක් සූරියකාන්ත මල් පිපුණ ගොවිපළ මගේ දෑස් ඉදිරියේ.
(මානසික රෝගියාගේ පරිකල්පනය)
No comments:
Post a Comment
Appreciate your constructive and meaningful comments