Tuesday, May 3, 2022

අල්තීනායි සහ පොප්ලර් ගස් දෙක



 

අල්තීනායි දුටුවාද නුඹ
අප දෙදෙනා පැල කරපු
කුඩා පොප්ලර් ගස් දෙක
 
අයිලයේ කඳු බෑවුමක
සිටවූ  කුඩා  පොප්ලර් ගස් දෙක
මේ වන විට අතු පතර විහිදවමින්
විශාල ගස් දෙකක් බවට පත්ව ඇත
 
එදා කුලෑටි ගැමි සිසුවියක වූ නුඹ
අද රට පිළිගත් උගත් මහාචාර්‍යවරියකි
 
ගුරුවරයෙකු ලෙස අයිලයට පැමිණි මා
නුඹලාට අකුරු ඉගැන්වූයෙමි
ජීවිතය පිලිබඳව කියා දුන්නෙමි
වෘකයන් ගෙන් නුඹව බේරා ගත්තෙමි 

අපගේ ජීවිත යටිකුරු කරමින් 
යුද්ධය පටන් ගත් වහාම 
මා යුද පෙරමුණට ගියෙමි

අපගේ ජීවිත වලට  අනපේක්‍ෂිතව
ගොරතර ශීත කාලය ආවේය
හිම කැට සහිත නපුරු සුළං හැමුවේය
එහෙත් යළි එන වසන්තය කෙරෙහි
අප විශ්වාසය තැබුවෙමු 

යුද්ධයේ  චණ්ඩ මාරුතය
අප දෙදෙනා දෙපසකට  ඇද දැමුවද
පොප්ලර් ගස් දෙක තවමත් එකටය 
අද දිනයේ මහා විශාල වෘක්‍ෂයන් වී
එම ගස් දෙක මිනිසුන්ට සෙවන දෙති


රුවන් එම් ජයතුංග 

2 comments:

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook