Friday, March 11, 2022

ඇරියදාසගේ කතා



හලාවත රෝහලේ ආරියදාස කියලා මේල් නර්ස් කෙනෙක් හිටියා. පොර මාර දෙපත් නයා. හලාවත රෝහලේ ඩී.එම්.ඕ වෙලා හිටියා ඩොක්ට හේරත්. වරක් හේරත් රෝහලේ ශ්‍රමදානයක් සංවිධානය කරනවා. ආරියදාස ඩොක්ට හේරත් ලඟට ඇවිල්ලා ෆුල් සහයෝගෙන් කතාව. ඊට පස්සේ අනිත් නර්ස්ලා ලඟට ගිහින් කියනවා උඹලා එකෙක්වත් මේ ශ්‍රමදානයට යන්න එපා කියලා. ඉතින් හේරත් ගේ ශ්‍රමදානය හබක්. හවස  ආරියදාස ඩොක්ට හේරත් ලඟට ඇවිල්ලා කියනවා " බලන්න සර් අපි මේ රෝහලේ උන්නතිය වෙනුවෙන් සංවිධානය කරපු ශ්‍රමදානයට මේ මිනිස්සු කර ඇරියනේ කියලා.   

වරක් මම සෞඛ්‍ය අධ්‍යාපනික වැඩ සටහනකට මනෝ වෛද්‍ය නීල් ප්‍රනාන්දු මහතාව ගෙන්නුවා. මනෝ වෛද්‍ය නීල් ප්‍රනාන්දුව ගෙන්නපු එක දිස්ත්‍රික්කයේ හිටපු මනෝ වෛද්‍යවරිය දැක්කේ තර්ජනයක් ලෙසට. ඇය වෛද්‍ය නීල් ප්‍රනාන්දුට වඩා ජූනියර්. එසේම විදේශීය පුහුණුවට ගියාට එග්සෑම් එක පාස් වෙලා තිබුනේ නෑ. නමුත් වෛද්‍ය නීල් ප්‍රනාන්දු කියන්නේ රටම දන්න වෛද්‍යවරයෙක් මේ කේස් අස්සේ ආරියා ඇයව වයින් කලා. පස්සේ ඇය පළාත්  සෞඛ්‍ය සේවා  අධ්‍යක්‍ෂක වූ  වෛද්‍ය ආර් එම් එස් කේ රත්නායකට මේ ගැන පැමිණිලි කරලා තිබුනා. හොඳ සෞඛ්‍ය වැඩසටහනක් කරන්න ගිහින් දේවාලේ මගේ ඔළුවේ කඩා වැටීම නිසා මම හිටියේ අප්සෙට් එකේ.  එතකොට ආරියා ඇවිත් මට කියනවා " ඩොක්ටර් ඕවා වලට සැලෙන්න එපා. සඳුන් ගහ කපන්න කපන්න සුවඳ ගහනව කියලා"   

වරක් මම මානසික සෞඛ්‍ය ප්‍රවර්ධන වැඩසටහන් මාලාවක් කලා. ඒකේ කථිකයෝ ලෙස මහාචාර්‍ය නාලක මෙන්ඩිස්, ආචාර්‍ය තිලෝක සුන්දරී කාරියවසම් වගේම තරුණ අසහනය ගැන කතා කරන්න වික්ටර් අයිවන් මම ගෙන්නුවා. ආරියදාස මම ලඟට ඇවිල්ලා කියනවා " ඩොක්ට මේ වැඩසටහන් හරි වටිනවා. අපි ඩොක්ට ඉස්තූතිවන්ත වෙන්න ඕනේ මේවගේ වැඩසටහන් ස්ටාෆ් එකට කිරීම ගැන කියලා. ඊට පස්සේ පොර හිමීට හොරෙන් කෝල් එකක් දෙනවා ජයරාජ් ප්‍රනාන්දු පුල්ලේ ඇමතිට. ඒ දීලා කියනවා අපි ආන්ඩු විරෝධී  වැඩ සටහනක් කලා වික්ටර් අයිවන් ගෙන්වලා කියලා. ජයරාජ් ප්‍රනාන්දු පුල්ලේ පුත්තලම  දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂක වෛද්‍ය ආර් .එම් .එස් .කේ රත්නායකට කෝල් එකක් දීලා අහනවා ඇයි මෙහෙම ආණ්ඩු විරෝධී වැඩ සටහන් කරන්නේ කියලා. පස්සේ වෛද්‍ය ආර් .එම් .එස් .කේ රත්නායක ජෙයරාජ්ට පැහැදිලි කරනවා අපේ සෞඛ්‍ය වැඩසටහන ගැන.  වෛද්‍ය ආර් එම් එස් කේ රත්නායක උදාර නායකයෙක් . ඔහු මාව පාව දෙන්නේ නෑ. ඔහු වගකීම ගන්නවා. නමුත් මම ජෙයරාජ්ට බය උනේ නෑ. ඔහු ජීවත්ව ඉන්නා කාලේ ඔහුගේ ක්‍රියා ගැන මම කෙටි කතාවකුත් ලිව්වා අමත්‍යවරයා දුටු සිහිනය කියලා.  

සුමානයකට පස්සේ ආරියදාස මම ලඟට ඇවිල්ලා කියනවා ඩොක්ට ලබන අවුරුද්දෙත් අපි මේ වගේ වැඩසටහනක් කරමු කියලා. 

ආරියදාසලා වගේ අය එක්ක යාලුකමින් රෝගී සේවය ගැන පහදා දීලා වැඩය කරන්නත් බෑ , ඔවුන් ඉන්නේ ඉරිසියාව ; කුහකකම ; වැඩ කඩාකප්පල් කිරීමේ මානසිකත්වයක​. ඒ වගේම ගැටුමට ගිහිනුත් බෑ. එවිට ඔහු අනෙකුත් හෙදියන් උසි ගන්වා ස්ට්‍රයික් කරවලා ඔහු සුදන වගේ ඉන්නවා. මේ වගේ චරිතයක් සමග ඩීල් කරන්නේ කෙසේද කියා වරක් මම වෛද්‍ය ඒ.ටී සුදර්ශනගෙන් පවා ඇසුවා. නමුත් මට හොඳ පිලිතුරක් ලැබුනේ නෑ. මට ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂක ලෙස කලක්  වැඩ කරලා පරිපාලය පිලිබඳ යම් අත්දැකීමක් තියනවා. නමුත් ආරියා වගේ චරිත එක්ක ඩීල් කරන එක ප්‍රෙහේලිකාවක්. 

1 comment:

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook