Friday, February 25, 2022

යූක්‍රයීන -රුසියානු ඝට්ටනයේ පූර්ව අවධියේ සාක්‍ෂිකරුවෙකුගේ මතකය

 



යූක්‍රයීනයේ වසර හතක් ජීවත් වූ මට යූක්‍රයීනය දෙවන මවුබිමක් වැනිය. යූක්‍රයීනය ඉතා පියකරු රටකි. යූක්‍රයීන ජාතිකයන් ආගන්තුක සත්කාරයේ ලැදි උනුසුම් ප්‍රජාවකි. යූක්‍රයීනය සාර භූමියකි. සාර් ගේ කාලයේ සිට යූක්‍රයීනය සලකන ලද්දේ රුසියාවේ පාන් මල්ල ලෙසටය. යූක්‍රයීනයේ පස සාරවත් ය. එය හඳුන්වන්නේ චෝර්නය සිම්ලයා හෙවත් කළු පස ලෙසටය. ඔවුන් සතු දියුණු තාක්‍ෂණයක් තිබුණි. එසේම යූක්‍රයීනයේ ඇන්ටනෝව් වැනි ගුවන් යානා සාදන  බැර කර්මාන්තය ඉතා දියුණුව පැවතිනි. සෝවියට් යුගයේ යූක්‍රයීනය සංවර්ධිත ජනරජයක් ලෙස සලකනු ලැබීය. යූක්‍රයීනයේ කුඩා නගරයක් වූවද කොලඹ නගරයටත් වඩා විශාල වූ අතර ගමනාගමනය සහ යටිතල පහසුකම් කොලඹ නගරයටත් වඩා සංවර්ධනයව තිබුනි. 1986- 1991 අතර කාලය තුලදී යූක්‍රයීනයේ එක හිඟන්නෙකු හෝ  නිවාස රහිත මිනිසෙකු මා නොදුටුවෙමි. එහෙත් සෝවියට් දේශය යටතේ පැවති නිලධාරිවාදය මෙන්ම පෙරෙස්ත්‍රොයිකා සමයේ තිබූ අක්‍රමිකතා නිසා ඔවුන් ගේ ආර්ථිකය කඩා වැටුණි.


ලෝකයේ ලස්සනම තරුණියන් සිටින්නේ යූක්‍රයීනයේ සහ පෝලන්තයේ බව කියති. යුරෝපයේ රටවල්  , උතුරු ඇමරිකායේ රටවල් , ඕස්ට්‍රේලියාව , කියුබාව, මැක්සිකෝව යනාදී රටවල සංචාරය කොට තිබෙන මා එම කතාව අනුමත කරමි. රුසියන් සහ යූක්‍රයීන ජාතිකයන් අතර විශාල වෙනසක් නොමැත. රුසියානු බස සහ යූක්‍රයීන බස යම් දුරකට සමානය. රුසියන් බස දන්නෙකුට යූක්‍රයීන බස යම්තාක් දුරකට තේරුම් ගත හැකිය. මට යූක්‍රයීන බස තේරෙන අතර යම් තාක් දුරට යූක්‍රයීන බසින් කතා කල හැක.  රුසියානුවන්ට සමාන වූවද සමහරක් යූක්‍රයීන ජාතිකයන් රුසියන් ජාතිකයන්ට කැමති නැත. ඔවුන් තමන් පෝලන්ත ජාතියට වඩා සමීප බව කීමට ප්‍රිය කරති. යූක්‍රයීනයන් රුසියානුවන් ගැන සිතන්නේ ඔවුන් පමණට වඩා වගාඩම්බර  කියාය. එහෙත් යූක්‍රයීනයන් බොහෝ විට උපහාසාත්මක ලෙස සිනහවට ලක් කරන්නේ මෝල්දෝවා ජාතිකයන් ය.  යූක්‍රයීන සහ රුසියානු සබඳතා ඉතා සමීපය. මාගේ මිතුරන් බොහෝ දෙනෙකුගේ මවක් හෝ පියෙකු රුසියානු වන අතර අනෙක් කලත්‍රයා යූක්‍රයීන ය.  මේ යුද්ධයේදී බොහෝ සෙයින් පීඩාවට පත් වූයේ මිශ්‍ර පවුල් විය යුතුය.

බටහිර යූක්‍රයීනය හෙවත් සාපද්නය ඌක්‍රයීනාව ජාතිවාදීන් ගෙන් සමන්විත බව රුසියානුවන් සිතති. බටහිර යූක්‍රයීන ජාතිකයන් නට්සින් සමග සහයෝගිතාවක් තිබූ ස්ටෙපාන් බන්දේරා නම් යූක්‍රයීන ජාතිවාදී නායකයාට ගරු කරති. ස්ටෙපාන් බන්දේරා යූක්‍රයීනය සෝවියට් දේශයෙන් නිදහස් කර ගත යුතු බව කී අතර ඔහු රතු හමුදාවට එරෙහිව ගරිල්ලා ප්‍රහාර දියත් කලේය.  1991 වැනි කාලයක බටහිර යූක්‍රයීනයේ ස්ටෙපාන් බන්දේරා ගේ ප්‍රතිමාවක් ඉදි කල අතර එය පසුව රුසියානු හිතවාදී යූක්‍රයීන ජාතිකයන් විසින් කඩා බිම හෙලන ලදි. යූක්‍රයීන ජාතිකයෙකු වූ මා මිත්‍ර වැසිලී ඉවනාශ්කා,  ස්ටෙපාන් බන්දේරා ද්‍රෝහියෙකු බව කීවේය. වැසිලී ඉවනාශ්කා හැදී වැඩුනේ සෝවියට් කොමියුනිස්ට් වාදය යටතේය. වරක් මට විස්කොන්සින් හිදී මහළු යූක්‍රයීන කාන්තාවන් පිරිසක් හමුවූ අතර ඔවුන් තමන් බටහිර යූක්‍රයීනයෙන් බව කීවේ අති මහත් අභිමානයෙනි. ඔවුන් ගේ අභිමානය තවත් ඉහල නංවනු පිනිස මම "ස්ටෙපාන් බන්දේරා " නම ප්‍රතිරාවය කලෙමි. ඔවුන්  "ස්ටෙපාන් බන්දේරා " නම පිලිගත්තේ ගෞරවයකිනි.

රුසියානු ජාතිකයන්ට බටහිර යූක්‍රයීනය නොදිරවන තවත් එක් හේතුවක් නම් හිට්ලර් සෝවියට් දේශය ආක්‍රමණය කල විට   පාන් සහ ලුනු රැගෙන නට්සි හමුදාවට සුභ පැතීමට බටහිර යූක්‍රයීන ජාතිකයන් ගිය හේතුවයි. නට්සි එස් එස් හමුදාවේ යූක්‍රයීන අතුරු හමුදාවක්ද විය. මොවුන් නට්සින්ටත් වඩා අති අමානුෂික ලෙස යුදෙව්වන් සහ රුසියානුවන් මරා දැමූහ. බ්‍රිස්බන් නගරයේදී මට හමුවූ එක් මහළු යූක්‍රයීන් ජාතිකයෙක් මෙම ජර්මානු හමුදාව සමග සම්බන්ධවූ යූක්‍රයීන අතුරු හමුදාව විසින් ලුවෝව් නගරයේ කරන ලද බිහිසුනු ක්‍රියා පිලිබඳව කීවේය.  ඔවුන් සමග සැසඳීමේදී නට්සීන් යනු කිරි දරුවන් බව ඔහු කියා සිටියේය. යුද්දයෙන් පසු මොවුන් බොහොමයක් බටහිරට පළා ගියහ. පළා යාමට නොහැකිවූවන් රතු හමුදාව විසින් මරා දමන ලදි. මොවුන්ව හඳුන්වන ලද එක් නාමයක් වූයේ බන්දරෙව්ත්සි නමිනි එනම් බන්දේරාවාදීන් ලෙසටය. සෝවියට් දේශය පැවති කාලයේදී බටහිර යූක්‍රයීනයේ උද්ඝෝෂණය කල වූවන් රුසියානුවන් විසින් හඳුන්වන ලද්දේ බන්දරෙව්ත්සි යන නාමයෙනි.

රුසියානුවන් ප්‍රසිද්ධියේම යූක්‍රයීන ජාතිකයන්ව සම්මචලයට ලක් කරති මොස්කව් හි ප්ස්කොව්ස්කයා මාවතේ වාසය කල මාගේ රුසියානු මිතුරෙක් " උඹ කොහොමද ඔය හක්ලී එවුන් එක්ක ජීවත් වන්නේ " කියා ඇසීය. රුසියානුවන් යූක්‍රයීන ජාතිකයන්ව "හක්ලී" හෝ "හොහොල්" වරු ලෙස හඳුන්වති. යූරි ගගාරින්ට යූක්‍රයීන ජාතිකයන් යූරි හහාරින් කියන බව කියා රුසියානුවන් සිනාසෙති. එහෙත් ජනවාර්ගික වශයෙන් මට  රුසියානු සහ යූක්‍රයීන ජාතිකයන් අතර ලොකු වෙනසක් නොපෙනේ. ඔවුන් ගේ සංස්කෘතික අංගයන් , නර්තනයන් , ආහාර පාන පවා අතර ඇත්තේ සමීපතාවකි. 

යූක්‍රයීනයේ ජීවත් වූවද ලුවෝව් සහ ඔඩෙස්සා නගර වෙත නොයෑම පිලිබඳව මම අද දිනයේ මට දොස් පවරා ගනිමි. 1989 වසරේ මම ඔඩෙස්සා නගර වෙත යාම සඳහා රූබල් 16 දී දුම්රිය ප්‍රවේශ පත්‍රයක් මිලදී ගත්තෙමි. එහෙත්  ඔඩෙස්සා නගර වෙත ගියේ නැත. පසු කාලයක  ඔඩෙස්සා නගරය ආසන්නයේ තිබෙන ක්‍රිශෝපල් නගරයට ගියෙමි.   ඔඩෙස්සා නගරය නට්සීන් ගෙන් මුදා ගැනීමේදී යූක්‍රයීන සහ රුසියානු ජාතිකයන් එක පවුලේ සොහොයුරන් මෙන් එකට සටන් කලහ. එහෙත් දශක ගනනාවකට පසු ඔවුන් පස මිතුරන් වී සටන් කරති.

යූක්‍රයීනයේ තිබූ රුසියානු විරෝධයද මේ යුද්ධය සඳහා මං පෙත් විවර කල බව මා සිතමි. 1986-87 වැනි කාලයක පවා යූක්‍රයීනයේ හීනියට රුසියානු විරෝධයක් තිබුනු අයුරු මා අත් දැක තිබේ. අපට රුසියානු භාෂාව ඉගැන්වූ ගුරුවරියන් අමු රුසියානු වූ අතර ඔවුන් වෙනත් විශයන් ඉගැන්වූ යූක්‍රයීන ගුරුවර ගුරුවරියන් සමග එතරම් කිට්ටු සබඳතාවක් පවත්වා ගත්තේ නැත.  වරක්  මා අපට වෙනත් විශයක් ඉගැන්වූ යූක්‍රයීන ගුරුවරයෙකු රුසියානු බස කතා කල අයුරු ඇක්ට් කල විට අපට රුසියන් බස ඉගැවූ තත්‍යානා ඉවානොව්නා මඳක් සිනාසී එලෙස රුසියන් බස උච්චාරණය නොකරන්නයි මට කීවාය. 

වෛද්‍ය පීඨයේදී සමහර යූක්‍රයීන ගුරුවරු විශය කරුණු වලට අමතරව නලීන් ද සිල්වා මෙන් යූක්‍රයීන ජාතික චින්තනයක් ගැන කතා කලෝය. සමහර මහාචාර්‍යවරු නිදහස් යූක්‍රයීනයක් පිලිබඳ කතා කළහ. වරක් ශල්‍ය වෛද්‍ය විද්‍යාව ඉගැන් වූ මහාචාර්‍යවරයා උදෑසන 10 ට ඔහුව හමු වීමට එන ලෙස මට දැන්වීය. මා උදෑසන 10 ට අදාල දෙපාර්තමේන්තුවට ගිය විට ඔහු සිටියේ නැත.  වේලාව තවමත් උදෑසන 10 ය. එහෙත් ඔහුගේ සහායකයා මට කිව්වේ නුඹගේ ඔරලෝසුවේ වෙලාව මොස්කව් වේලාවයි. යූක්‍රයීන වේලාව අනුව දැන පෙරවරු 11 කියාය. පෙරදා රාත්‍රියේ ඔවුන් තම වේලාව පැයකින් වෙනස් කලහ. හේතුව තමන් ස්වාධීන ජාතියක් බව පෙන්වීමටය. මේ 1989 වැනි කාලයක සිදුවූ සිද්ධියකි. පසු කාලයක ඔවුන් රූබල් භාවිතාව නවතා තමන් ගේම මුදල් ඒකකයට ගියහ.

නිදහස් යූක්‍රයීනයක් පිලිබඳ කතා කල සමහර මහාචාර්‍යවරු යූක්‍රයීන බසින් වෛද්‍ය විද්‍යාව ඉගැන්වීම කල යුතු බව කීහ. එහෙත් වෛද්‍ය පොත පත බහුලවම තිබුනේ රුසියානු බසිනි. එහෙත් පසුකාලීනව 1991 , 1992 වැනි කාල වලදී විදේශ සිසු සිසුවියන් ඉදිරියේ වූවද සමහර මහාචාර්‍යවරු යූක්‍රයීන බසින් වෛද්‍ය විද්‍යා දේශන කලහ. අපට ඇනටමි විශය ඉගැන්වූ මහාචාර්‍ය රුමීන්ස්කි මිය ගිය විට අප ඔහුගේ අවමංගල උත්සවයට ගියෙමු. මහාචාර්‍ය රුමීන්ස්කි ගේ අවමංගල උත්සවයේදී එක් මහාචාර්‍යවරයෙක් යූක්‍රයීන බසින් කතා කලේය. එහිදී එක් උප මහාචාර්‍යවරයෙක් මේ අවමංගල සභාවේ විදෙස් සිසු සිසුවියන් ද සිටින නිසා එම කතාව රුසියන් බසින් කරන ලෙස ඉල්ලුවේය. එහෙත් උක්ත මහාචාර්‍යවරයා යූක්‍රයීනයේ ජීවත් වන  විදෙස් සිසු සිසුවියන් හට යූක්‍රයීන බස තේරෙන බව කියමින් යූක්‍රයීන බසින් දිගටම තම කතාව කරගෙන ගියේය. 

වාචික විභාග වලදී යූක්‍රයීන බසින් පිලිතුරු දෙන සිසු සිසුවියන් හට අතුරු වාසියක් ලැබෙන බවට රාවයක් තිබුනි. මේ නිසා රුසියානු සිසුන් පවා යූක්‍රයීන බසින් පිලිතුරු දීමට උත්සහ කළහ. සිරියානු සිසුවෙකු වූ යූසුෆ් ලෝකයෙකි. වරක් ඔහු අසීරු  විශයකදී  බැරි බැරි ගාතෙන් යූක්‍රයීන බසින් කතා කොට විභාගය යන්තම් ගොඩ දාගත්තේය. ඔහු මුලින්ම විභාග ශාලාවට පැමිණ විභාගය ගන්නා මහාචාර්‍යවරයාට ආයුබෝවන් කීවේ යූක්‍රයීන බසිනි. එමගින් ඔහු ලකුණක් දාගත්තේය. ඉන් පසු යූක්‍රයීන බසින් ගොත ගසමින් රුසියන් බසද කවලමේ පිලිතුරු දුන්නේය. යූසුෆ්ට වඩා දැණුම තිබූ එහෙත් රුසියන් බසින් පිලිතුරු දුන් සමහරක් සිසුන් විභාගය අසමත්ව තිබුණි. 

යූක්‍රයීන ජාතිකයන් තමන් ගේ අතීත ශ්‍රී විභූතිය පිලිබඳව කතා කරන්නේ අභිමානයෙනි.  සමහරක් විට ඔවුන් ඉශෝ නි විමිර්ලා යූක්‍රයීනා ගීතය ගායනා කරති. එහි තේරුම යූක්‍රයීනය තවමත් මිය ගොස් නැත යන්නයි. පහත දැක්වෙන්නේ මා විසින් කියෙව් නගරයේ ලැබූ අත්දැකීමකි ;

 " කීව් නගරයේ අපි කොල්ලෝ සෙට් එක පරණ දේවස්ථානයක් බලන්න ගියා. මේ වෙන කොට පෙරෙස්ත්‍රොයිකා නිසා පල්ලි ඇරලා මිනිසුන් බයක් සැකක් නැතිව ආගම අදහනවා. කොමියුනිස්ට් පාලන කාලයේ ආගම් යටපත් කරලා තිබ්බේ. අපේ කොල්ලෝ සෙට් එක ලංකාවෙදී වගේ චාරයක් නැතිව හයියෙන් කතා කරනවා හිනා වෙනවා. පල්ලිය ඇතුලේ අපේ එවුන් හයියෙන් කතා කරන නිසා යූක්‍රේනකාරයෙක් කිව්වා උඹලට තේරෙන්නේ නැද්ද මේක ශුද්ධ ආගමික ස්ථානයක් කියලා ? හැසිරෙන්න දන්නේ නැද්ද ? මේ වගේ කතා කිව්වා අපිව දෙකේ කොලේට දාලා . මම ගත් කටටම කිව්වා "මී කොමියුනීස්තී " කියලා,  ඒ කියන්නේ අපි කොමියුනිස්ට් කාරයෝ කියලා. ඒ කතාව ඇහුවා විතරයි පෙරෙස්ත්‍රොයිකා එක නිසා ආගම් භක්තිය උඩට ගහපු යූක්‍රේනකාරයා මාරු උනා. " 

වරක් මා මොස්කව් නගරයේ තිබූ විශාල දේවස්ථානයක් පිලිබඳ විස්තර කරන විට අපට හිස්ටෝලොජි විශය ඉගැන්වී ව්ලදිමීර් පෙත්‍රෝවිච් " උඹ මොස්කව් ගැන කතා කරන්නට පෙර කීව් රුසියාව ගැන කතා කරපන් කියා කීවේය​. Kievan Rus'යනු 12 ශත වර්ශයේ තිබූ ස්ලාව් වරුන් ගේ විශාල රාජ්‍යකි. ප්‍රාථමික වංශකථාවට අනුව, නැගෙනහිර ස්ලාවික් දේශයන් කීවන් රුස් ලෙස හැඳින්වෙන ප්‍රදේශයට එක්සත් කිරීම ආරම්භ කළ පළමු පාලකයා ඔලෙග් කුමරු (879-912) විය.  කීවන් රුස් පරිහාණියට යන ලද්දේ මොන්ගෝල තතාර්වරුන් ගේ ආක්‍රමණ නිසාය. කීවන් රුස්  වැටීමෙන් වසර පහකට පසු, පාප් නියෝජිත ජියෝවානි ඩා පියන් ඩෙල් කාර්පයින් මෙසේ ලිවීය. "ඔවුන් නගර සහ මාලිගා විනාශ කර මිනිසුන් මරා දැමූහ, ඔවුන් වටලනු ලැබූ විශාලතම රුසියානු නගරය වන කියෙව්; ඔවුන් දිගු කලක් වටලා එය අල්ලාගෙන නගරයේ මිනිසුන් මරා දැමූහ. ගණන් කළ නොහැකි මිනිස් හිස් කබල් සහ මළවුන්ගේ ඇටකටු පිට්ටනිය පුරා විසිරී ඇත.  එය ඉතා විශාල හා ජනාකීර්ණ නගරයක් වූ අතර දැන් එය කිසිසේත්ම නැති වී ගොස් ඇත.ඇත්ත වශයෙන්ම එහි දැන් ගෙවල් දෙසීයක් නැති තරම් වන අතර ජනතාව දැඩි ලෙස වහල්භාවයේ තබා ඇත" 

මහා කැතරින්ගේ පාලන සමයේදී යුක්රේනයේ වැඩි කොටසක් රුසියානු අධිරාජ්‍යයට යටත් විය. රුසියාව, බෙදුම්වාදයට බියෙන්, යුක්රේනියානු භාෂාව සහ සංස්කෘතිය ඉහළ නැංවීමේ උත්සාහයන් සඳහා දැඩි සීමාවන් පැනවූ අතර, එහි භාවිතය සහ අධ්යයනය පවා තහනම් කළේය.

යූක්‍රයීනයට නැවත වරක් විනාශය ගෙන ආවේ ස්ටාලින් විසිනි. ස්ටාලින් යුගයේදී සමූහ ගොවිපල ක්‍රමයන් ක්‍රියාත්මක කිරීමේදී 1932 සහ 1933 දී, Holodomor නමින් හැඳින්වෙන විනාශකාරී සාගතයක් හේතුවෙන් යුක්රේනයේ මිලියන ගණනක් ජනයා, සාගින්නෙන් මිය ගියහ. හොලදමෝර් සාගතය කෘතිමව ඇති කරන ලද්දක් වූ අතර ඒ පිලිබඳව යූක්‍රයීන ජාතිකයන් ස්ටාලින් සහ ලේසර් කගනෝවිච් ප්‍රමුඛ මොස්කව් හි සෝවියට් බල අධිකාරියට කිසිදා සමාව නොදෙති.  

1991 දී සෝවියට් සංගමය විසුරුවා හරින විට යුක්රේනය නැවතත් ස්වාධීන විය. මෙය වෙළඳපල ආර්ථිකයකට සංක්‍රමණය වීමේ කාල පරිච්ඡේදයක් ආරම්භ වූ අතර, යුක්රේනය වසර අටක අවපාතයකට මුහුණ දුන්නේය. ආර්ථික අවපාතයක් සමග ජාතිවාදය හිස ඔසවන්නට විය​. යූක්‍රයීනයේ ජාතිකවාදය හිස ඔසවත්ම රුසියානු බසින් කතා කිරීම අඩුවී ගියේය. පෙරදා රුසියානු බසින් කතා කල පවුල් වල පවා යූක්‍රයීන බසින් කතා කිරීම ආරම්භ විය. මඟ තොටදී පවා රුසියානු බසින් කතා කිරීම අව දේශප්‍රේමී ක්‍රියාවක් ලෙස සලකන ලදි. මේ නිසා යූක්‍රයීනයේ ජීවත් වූ රුසියානුවන් පවා යූක්‍රයීන බස කතා කලෝය.  මෙවැනි ක්‍රමක් ක්‍රමික ක්‍රියාවන්  අද දිනය වන විට මහා යුද්ධයක් බවට පත්වී ඇති අයුරු දකින විට මා හට අතීත සිද්ධීන් මතකයට නැගේ.  

වෛද්‍ය රුවන් එම් ජයතුංග 

5 comments:

  1. මේ සටහන ලිව්වාට බොහොම ස්තුතියි. ආසාවෙන් කියෙව්වා. බොහෝ දේ දැනගත්තා. ඔබේ වෛද්‍යවරයෙකුගේ සිහි සටහන් පොතින් ද තවත් තොරතුරු දැනගත්තා.

    ReplyDelete
  2. යුක්රේනයත් නිවැරදි නැහැ මෙතැනදී. කියෙව කියන්නේ මුලින් රුසියානු නගරයක්. පුටින් පවා ඕක තමා කියන්නේ. අනික රුසියන් බස ඉගැන්වීම තහනම් කළා. ඒවා ජරා වැඩ. දනියෙත්ස්ක් ලුන්ගන්ස්ක් අයින් වෙන්න සටන් කලේ ඒකයි. එනිසයි මෙතැන් පැත්තක් ගන්න අමාරු , බටහිර අම්ධ්‍ය කියන විධිහටම.

    ReplyDelete
  3. සම්පූර්ණයෙන්ම එකගායි, අපේ අන්තිම අවුරුද්දේ රුසියන් පතොත් එකේ කාටවත්ම අත්ලිච්නික් වෙන්න බැරිවුනා, නමුත් ඉගෙන ගැනීමට දක්ෂයේ ඕනෑකමක් තිබූ සියල්ලම හිටියේනම් රුසියන් පතොක් එකේ, ඒ වෙනකොට ගොඩක් රශියන් ආචාර්යවරුන්ට දාලා යන තැනට වැඩ සලස්වලයි තිබුනේ. අපි දෙවන වසරට එනකම්ම තිබුනේත් රුසියන් පමණයි එතෙක් පැවතියේ තනිකරම රුසියානු බල අධිකාරයක්, ඉනොස්ත්‍රානි සම්දෙකානුත් නරෝද්නී දිපුතාත් කෙනෙත්, එයා පවා රශියානු නොවන අය නැති තැනදී ඔවුන්ට උසුළු විසිළු කරා. රසියන් නොවන ටීචර්ලට පරණ කෘෂෝව්කාවලමයි ඉන්න වෙලා තිබුනේ, දෙවෙනි වසර කාලයේ තිබුන් ජන්දයෙන් රසියන් දිපුතාත්ලා සේරම වගේ පැරදුනා, ඊළඟ උසස්විම ගැන සිහින දකිමින් හිටි බොහෝ දෙනෙකු බයිපාස්කරගෙන පල්ලෙහා හිටි අළුතෙන් ජාතිවාදය කතාකරන අය උඩට ආවා, ඊළඟට රෙක්තර් වෙන්න් රෙදි මැදන් හිටිය මගේ සුපවයිසර් හිකේ අමාරුවටම වගේ කැන්සර් හැදිලා අකාලයේ මියගියා, එතනින් එහාට එයාලාට ඉන්සිටියුට් එක ක්වර්තීරා අතහැරලා රුසියාවටම යන්න තැනට වැඩ සිද්ධවුනා. ඉනොස්ත්‍රානිලා නැති වේගන යනකොට හොස්ටල් වලම වල්යාත් වෙවී හිටිය රශියන් පදෘෂ්කලාත් සල්ලි කියන නාකි ශහ්තියෝර් බේබද්දෙක්වත් අල්ලගන්න කියලා දොන්බාස් පැත්තට සේන්දුවුනා.

    ReplyDelete
    Replies
    1. ඔය දෙක වෙන් වුනේ ඒකයි. මම කියන්නේ නැහැ පුටින් ගැහුව එක සාධාරණයි කියල. මොකද එහෙනම් ඉන්දියව ගහපු එකත් (ආමි එක ආපු එක සාධාරණ කරන්න වෙන්ව) . නමුත් ඔය භාෂා කතා , නාසි හමුදා කණ්ඩායම් - ඒවා ඇත්ත

      Delete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook