Thursday, April 30, 2020

Osho Dynamic Meditation


Ruwan M Jayatunge M.D. 

Dynamic meditation is one of the most popular active meditations, introduced by an Indian mystic Osho (Bhagwan Shree Rajneesh) in 1970 (Bansal et al., 2016). Dynamic meditation is a form of meditation in which physical actions are involved. Osho dynamic meditation is an hour long active meditation with five stages. 

As Osho indicated dynamic meditation is a cathartic meditation.  Osho also known as Bhagwan Shree Rajneesh presented meditation not just as a practice but as a state of awareness to be maintained in every moment, a total awareness that awakens the individual from the sleep of mechanical responses conditioned by beliefs and expectations (Wallis, 1986). 

According to Osho, the essence of meditation is just witnessing the body, mind and feelings without judgment.  For Osho meditation is witnessing. He further states that mind is the absence of meditation. The moment meditation arises in you, mind is found nowhere. Meditation happens beyond mind.  In meditation there is nobody inside and nothing outside. Meditation is not a doing but a state of being.  For Osho meditation means pure awareness, a mirror like quality of consciousness. Meditation is beyond techniques, beyond doing; it is a state of relaxed awareness. Dynamic meditation provides the mediator an opportunity to catharsis and purify his mind and body which is according to Osho is essential to gain the meditative state of mind (iqbal et al., 2014).  Osho dynamic meditation has health benefits.  According to Bansal and colleagues (2016) Osho dynamic meditation produces anti-stress effects.

Wednesday, April 29, 2020

උදේනි බන්දුල දිවි සැරිය නිමා කරයි

උදේනි බන්දුල මහතා පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ උපාධි අපේක්‍ෂකයෙකුව සිටියදී ඔහුට රෝහණ විජේවීරව හමු වෙයි. විජේවීර විසින් ඔහුට කියන්නේ ලඟ ලඟ හමුදා ආණ්ඩුවක් එන නිසා උපාධි සහතික වල වටිනාකම අහෝසි වන බවය ( මේ  මාගේ 1971 කැරැල්ල පොත සඳහා කල සම්මුඛ සාකච්ඡාවේදී උදේනි බන්දුල විසින් මට කියූ කරුණුය ) මේ නිසා උපාධිය අත් හරින ඔහු පූර්ණකාලීනයෙකු වෙයි. 1971 අසාර්ථක කැරැල්ලෙන් පසු සිරගතවී නිදහස් ලෝකයට ඔහු එන්නේ රැකියා විරහිත පුද්ගලයෙකු ලෙසටය​. ඉන් පසු ඇන්විලොප් අලවා ඒවා විකුණා ජීවත් වන ඔහු අසීරුවෙන් ඉගෙන ගෙන නීතීඥයෙකු බවට පත් වෙයි. එහෙත් ඔහුට තමන් විසින් පේරාදෙනිය විශ්ව විද්‍යාලයේදී අත් හැරිය උපාධිය නිම කරන්නට ලැබෙන්නේ නැත​. ජනතා විමුක්ති පෙරමුණ  විසින් විශේශ අවස්ථා වලදී ගයන විමුක්තියේ රතු උදාර' නමැති ගීතය රචනා කලේ උදේනි බන්දුල වූවද ජීවත්ව සිටින කාලයේදී එම ගීතය පිලිබඳව උදේනිගේ දායකත්වය වසං කොට තිබුණි. 

පින්තූරය ලබා ගත්තේ Nayana Sanjeewa   ගේ මුහුණු පොතිනි 

Monday, April 27, 2020

පොඩි හොරු සහ ලොකු හොරු

පොඩි හොරුන්ව ගස් බඳිමු ; ලොකු හොරුන්ට මල් මාලා දමමු 


Sunday, April 26, 2020

නිවසෙන් බැහැර යාම කුලය පදනම් කොට

අත්‍යාවශ්‍ය කාර්‍යයන් සඳහා නිවසෙන් බැහැර යාමට පුද්ගලයනට අවසර දෙනුයේ ජාතික හැඳුනුම්පතේ අවසාන අංකය පදනම් කොට ගනිමින් බව ජනාධිපති ලේකම් කාර්‍යාලය නිවේදනය කරනවා. නමුත් ඊට වඩා කාර්‍යක්‍ෂමව කුලය මත පදනම්ව මෙය කල හැකි බව "ස" ට දන්වා සිටිමු. ඒ අනුව 

සඳුදා -එලියට බැසීම ගොවිගම එවුන්ට පමණයි 
අඟහරුවාදා - එලියට බැසීම කරාව එවුන් පමණයි 
බදාදා - එලියට බැසීම සලාගම එවුන්ට පමණයි 
බ්‍රහස්පතින් දා - එලියට බැසීම රජක එවුන්ට පමණයි 
සිකුරාද - එලියට බැසීම වහුම්පුර එවුන්ට පමණයි 
සෙනසුරාදා - එලියට බැසීම බත්ගම එවුන්ට පමණයි 
ඉරිදා - එලියට බැසීම අවශේෂ කුල වල එවුන්ට පමණයි 

Saturday, April 25, 2020

දොස්තර සරණපාල


සරණපාල දුප්පත් පවුලක කෙනෙක්. ඔහුගේ පියා වඩුවෙක්.සරණපාල ඉපදුනේ පිටිසර නොදියුණු ගමක. ඒ පලාතේ සිටි එවුන් ජනතා නියෝජිතයා ලෙස පාර්ලිමේන්තුවට යැව්වේ නූගත් කසිප්පු මුදලාලි කෙනෙක්. කසිප්පු මුදලාලි ගමට කිසිම සංවර්ධනයක් කෙලේ නෑ. මේ නිසා සරණපාලගේ ගමට  හරි හමන් තාර පාරක්වත් තිබුනේ නෑ. 

සරණපාලගේ පවුල ගමේ නින්දා අපහාස ලැබුවේ කුල පීඩනය නිසා . ගමේ උසස් කුල වල එවුන් ගේ ළමයි සරණපාල සමග සෙල්ලම් කිරීමද වර්ජනය කරන කරපු  නිසා සරණපාල සෙල්ලම් කලේ තමා මෙන් පිටමං කරන ලද කොල්ලන් කුරුට්ටන් සමග.  මේ ඔක්කොම කුඩා සරණපාලගේ හිතේ තියනවා. 

සරණපාල ගේ පියා සරණපාල   කුඩා කාලයේ උණට බෙහෙත් ගන්න දොස්තර ලඟට  යනවා. එහිදී ඔහු දකිනවා තම පියා දොස්තර ඉදිරියේ බයාදු කමින් සරණපාල ගේ ලෙඩය ගැන කියන අයුරු.  දොස්තර ටයි එකක් දාලා ගාම්භීර විදියට ඉන්නේ. ඒක සරණපාල දකිනවා. තම පියා වගේ හඩු සරමක් නොවෙයි දොස්තර මහත්තයා ඇඳන් ඉන්නේ. දොස්තර මහත්තයා සරණපාලගේ පියාව ගනන් ගන්නේ නැතිව මූණ දිහාවත් නොබලා බේතක් ලියලා දෙනවා. එතකොට සරණපාලගේ පියා හාමුදුරුවන්ට අට පිරිකරක් දෙනෙවා වගේ දෝතින් දොස්තරට සල්ලි දෙනවා. ඩිස්පැන්සරියෙන් එලියට ආවම සරණපාල දකිනවා දොස්තර මහත්තයාදේ අළුත්ම දිලිසෙන කාර් එක. ඒවගේ කාර් එකක් සරණපාල කවදාවත් දැකලා නෑ. මේ නිසා දොස්තර යනු සක්දෙවි කෙනෙක් කියා තමයි සරණපාල හිතන්නේ. ඔහු දැක්කා තම පියාගේ බයාදු මුහුණ සහ දොස්තර මහතාගේ තේජස් මූණ. තම පියා ඔහු ඉදිරියේ පරාජිතයෙක් වෙලා.   

කුඩා කාලයේ සිටම සරණපාල ආස දොස්තර කෙනෙක් වෙන්න.  දෙමාපියනුත් ඔහුට නිතරම කියන්නේ " පුතේ උඹ මහන්සි වෙලා පාඩම් කරලා දොස්තර කෙනෙක් වෙලා මේ නරකාදියෙන් ගොඩ වෙයං කියලා. මේ නිසා සරණපාලයා යාලුවෙක් ආශ්‍රය කරන්නේ නෑ , ගමනක් බිමනක් යන්නේ නෑ , ක්‍රීඩාවක් කරන්නේ නෑ කොයි වෙලාවෙත් පාඩම , සහ කට පාඩම. සරණපාල ගේ ඒකායන බලාපොරොත්තුව උසස් පෙල සමත් වෙලා වෛද්‍ය විද්‍යාලයට ගිහින් දොස්තර කෙනෙක් වෙන්න. ඒක තමයි එකම හීනය.   ඔහු දිවා රෑ නොබලා කට පාඩම් කරලා විභාගය සමත් වෙලා දොස්තර කෙනෙක් වෙනවා.  

දැන් සරණපාල හිතන්නේ තමන් සක්විති පදවියට පත් උනා කියලා. සරණපාල දැන් තමන් ගෙන් බේත් ගන්න එන මිනිස්සුන් ගෙන් වැඳීම බලා පොරොත්තු වෙනවා . සරණපාලයා දැන් යන්නේ අඩි දෙකක් උඩින්. වෙනත් රැකියා කරන අය කිසිවෙකු ගනන් ගන්නේ නෑ. "උන් කවුද මම දොස්තර කෙනෙක්" මෙහෙම තමයි සරණපාලයා දැන් හිතන්නේ.   

දිස්ත්‍රික් කෝටාව නිසා වෛද්‍ය විද්‍යාලයට ගිහින් දොස්තර කෙනෙකු වූ සරණපාල තුල මාන්නය අධිකයි.  සරණපාල තමන් උපන් පංතියේම දුප්පතුන්ට පහත් අකාරයෙන් සලකනවා. දුප්පත් සරං ඇඳගෙන එන ලෙඩ්ඩුන්ට කතා කරන්නේ ඕයි , තමුසේ කියලා. මොකද දුප්පත් සරංකාරයෝ දකින කොට ඔහු අවිඥාණිකව දකින්නේ තමන් ගේ දුප්පත් පියා. ඒ දුප්පත් අතීතයට ඔහු වයිර කරනවා. ඒ නිසා පීඩිතයෙකුව උපන් සරණපාල කෙලවන්නේ  පීඩිතයන්ටමයි.  

සරණපාලලා කැමති නෑ තව වෛද්‍ය විද්‍යාල ඇවිල්ලා අළුතින් වෛද්‍යවරු බිහි වෙනවට. ජනතාවගේ සෞඛ්‍යට කෙල උනාට සරණපාලලාට කමක් නෑ. අළුතින් වෛද්‍ය විද්‍යාල ඇති කරන්න හැදුවොත් සරණපාලලා ඒවට විරුද්ද වෙනවා. ඒවගේම හොඳ ගතිගුණ තියන වෛද්‍යවරයන්වත් අවුස්සලා ස්ට්‍රයික් කරවනවා. අළුතින් වෛද්‍යවරු බිහි උනාම තමන්ට තියන ගරුත්වය නැතිවෙයි කියලා සරණපාලලා බයයි.  ඒ වගේම සරණපාල හිතනවා  බටහිර රටවලත් මේ විදියට දොස්තර කිව්වම මිනිසුන් වඳිනවා කියලා.  

සරණපාල පීඩිතයෙක්. වෛද්‍ය වෘත්තිය කියන්නේ පීඩිතයාට ආභරණයක්.  වෛද්‍ය වෘත්තිය කියන්නේ පීඩිතයාට සක්විති පදවිය වගේ. ඊට ඉහලින් වෘත්තියක් ඔහු දන්නේ නෑ.  වෛද්‍ය වර්ජනයක් වූ විට වැඩිපුරම තැලෙන්නේ පීඩිතයා. ඒ නිසාම ඔහු  වෛද්‍ය වෘත්තියට ආශා කරනවා. පීඩිතයා උත්සහ කරනවා තම දරුවන් හෝ එම වෘත්තිය කරා යවන්න. ඔහුව පීඩාවට පත් කරන ඔහුව කොන් කර දමන එම වෛද්‍ය වෘත්තියට පීඩිතයා පෙම් බඳිනවා. ඒ නිසා තමයි පීඩිතයන් වැඩිපුර ඉන්න රට වල වෛද්‍ය වෘත්තිය දේව වෘත්තියක් වෙන්නේ. එහෙත් ආර්ථික වශයෙන් සහ සමාජ ආකල්පමය වශයෙන් සංවර්ධිත රට වල වෛද්‍ය වෘත්තිය තවත් එක් වෘත්තියක් පමණයි. නර්ස්ලා දොස්තරගේ මුල් නම කියලා කතා කරන්නේ. ඒකට දොස්තරලා ස්ට්‍රයික් කරන්නේ නෑ. ක්ලිනික් එකේ කක්කුස්සිය හෝදන පුද්ගලයාගේ වාහනය නවත්වන්නෙත් දොස්තර වාහනය නවත්වන පාකිං එකේ. ඒත් සරණපාලලා මේ කතා විශ්වාස කරන්නේ නෑ.   

පෘතුවිරාජ් ප්‍රනාන්දු කියන්නේ ඉහල පන්තියක රෝයල් හෝ සෙන්ට් තෝමස් එකට ගිහින් රාගම පුද්ගලික විශ්ව විද්‍යාලයේ ඉගන ගෙන දොස්තර උපාධිය ලබාගෙන පිටරට ගිහින් අලින් පිලිබඳව පරියේෂණ පී.එච්.ඩී එකක් ලබාගෙන GP කෙනෙකු හැටියට වැඩ නොකර අලින් පිලිබඳව පරියේෂණ කරමින් ඉන්නවා.  පෘතුවිරාජ් ප්‍රනාන්දුලා වගේ අයට දොස්තරකම සක්විති පදවියක් නොවෙයි. ඔහුගේ දෙමාපියන් නෑදෑසනුහරේ බාගයක් දොස්තරලා. ඌ පීඩිතයෙකු නොවුනු නිසා ඌට GP කම  මරාගෙන මැරෙන්නට අවශ්‍ය දෙයක් නොවෙයි. ඒත් සරණපාලලාට අනුව  පෘතුවිරාජ් ප්‍රනාන්දු පරාජිතයෙක්.  සරණපාලලා  පෘතුවිරාජ් ප්‍රනාන්දුලාට කිණ්ඩිය දානවා. හේතුව පීඩිතයන් ලෙස ජීවත් වූ සරණපාලලාට මේක තේරුම් ගන්න බෑ. ඔවුන් ගේ විශ්වයේ අධිපති අර කුඩා කාලයේ දැක්ක දොස්තර ඉමේජ් එක.   

ස්ටැන්ලිලාගේ ලෝකය කියන ලිපියේ දීප්ති මෙහෙම ලියනවා

හද්දා පිටිසර කහටගස්දිගිලියේ සෝමාවතී ගේ සහ සිරිපාල ගේ දියණිය දකුණු කොළඹ කලුබෝවිල ශික්ෂණ රෝහලට වෛද්‍යවරියක් ලෙස සේවයට පැමිණි පසු එහි පැමිණෙන රෝගියෙකු ගෙන් මෙහෙම අහනව. ඔයා දන්නවද කෝලිකුට්ටු කියලා කෙසෙල් ජාතියක් තියෙනව. අන්න ඒවා හොදයි ඔයාගේ අමාරුවට පුලුවන් නම් ගෙනත් කන්න. එම වෛද්‍යවරියගේ චින්තනයට අනුව මේ වගේ ආණ්ඩුවේ රෝහල් වලට එන්නේ යන එන මං නැති අන්ත දුප්පත් අසරණ මිනිස්සු විතරයි. ඒ නිසා ජීවිත කාලයම තමන් අන්ත දුක් විදලා වෛද්‍යවරියක් වෙන්නට ගත කරපු කාලය පුරා ඇයට තියෙන සමාජ වෛරය නැතනිම් එරියස් එක පිරිමසා ගන්නට ඇයට මේ වගේ රෝගීන්ට පාට් දාන්න වෙනව. 

මේ වෛද්‍යවරියම රෑට නවලෝක රෝහලේ අමතර වැටුපකට සේවයට ගිය විට එහි සිටින මිනිසුන් ගෙන් මේ වගේ කතා අහන්න යන්නෑ. මොකද එයාට පුර්ව නිගමනයක් තියෙනව ආණ්ඩුවේ රෝහල් වලට එන්නේ අවැදගත්, නූගත්, මෝඩ, දුප්පත් මිනිසුන් බව. ඇය දන්න සමාජ ඥාණය අනුව ආණ්ඩුවේ  රෝහලකට එන පුද්ගලයන් කියන්නේ වෛද්‍යවරුන් ගෙන් ප්‍රශ්ණ අහන්නට සුදුසු නැති කිසිම දෙයක් ගැන දන්නැති පිරිසක්. ඒ නිසා රෝගීයෙකු තම මූලික අයිතාවාසිකමක් වන රෝග විනිශ්චය ගැන ප්‍රශ්නයක් ඇහුවහම ඇයට තරහ යනව.එවිට ඇය මෙහෙම උත්තර දෙනව. ඔයාගේ ලෙඩේ තවම හොද නෑ. තව ප්‍රතිකාර කරන්න තියෙනව. ඒ නිසා අර රතුපාට පෙත්ත දිගටම බොන්න. තැඹිලිපාට පැනියෙන් තේ හැදි දෙකක් බොන්න. තව පරීක්ෂණ ගොඩක් තියෙනව. ඔයාගේ කටින් කැමරාවක් දාලා පරීක්ෂණයක් කරන්න තියෙනව. ඔයාගේ දකුණු කකුලෙන් පපුවට වයර් එකක් යවලා පරීක්ෂා කරන්න තියෙනව. ඔවුන් කිසි විටෙක මේ වගේ රෝහල් වල ඉන්න රෝගීන්ට වෛද්‍ය විද්‍යාත්මක භාෂාවකින් කතා කරන්නෑ. ඔවුන්ට අනුව වෛද්‍ය විද්‍යාවේ පාරිභාෂික වචන සහ ඖෂධ වල  නම් දන්නේ ඔවුන් පමණයි. රෝගීන් ඒවා දැන ගත යුතු නැහැ.

මේ යුගයේ මුදල් වලට හැරෙන්නට අපි විශ්වාස කරන සදාචාරයට,සාරධර්ම වලට, ආචාර ධර්ම වලට,හොදට, යහපතට කිසි වටිනාකමක් නැත්තේ. මුදල් තියෙනවා නම් වටිනාකම් ආරෝපණය කර ගන්න එක පහසු වැඩක්. දුප්පත් මිනිස්සු කන බත් පතේ ඉදන් පරිභෝජනය කරන සෑම භාණ්ඩයකින්ම අය කරන අසාධාරණ බදු  මුදලින් විශ්ව විද්‍යාලයට තේරිලා ඇවිත් ආණ්ඩුවේ මහපොල ආධාර මුදලින් යන්තම් එදා වේල පිරිමසා ගත්ත ගොබ්බයන්  වෛද්‍යවරුන් වුනාට පස්සේ මුදල් දෙනවා නම් ඕනෑම දෙයක් කරන තත්ත්වයට පත්වෙනව. සුදු කබාය ඇදගෙන හිප්‍රොක්‍රටීස් දිවුරුම දීලා තමන් සම්බන්ධ වන්නේ මිනිසුන් ගේ ජීවිතය සහ මරණය හා සම්බන්ධ වූ ගෞරවණීය වෘත්තියකට කියන එක මේ අයට අමතක වෙනව. මේ අය හිතන්නේ තමන්ට වෛද්‍යවරයෙක් වෙන්න පුළුවන් වුනේ පෙර ආත්මයේ පිං කරපු නිසා කියලයි. භෞතික විද්‍යාව මුල ඉදන් අගට ඉගෙන ගත්තත් මේ අය චින්තනමය වශයෙන් ඉන්නේ ග්‍රෝත්‍රික මානසිකත්වයක. 

Thursday, April 23, 2020

ලැකාන් / ඩෙරිඩා / සිජැක් අවබෝධ කර ගැනීම

ලැකාන් / ඩෙරිඩා / සිජැක් (සමහරු ජිජැක්ද ,ෂිෂෙක් කියති) පිලිබඳව නොයෙකුත් දෙනා බොහෝ ලිපි ලියති. ඔවුන් ඉංග්රීසි ලිපි කියවා ඒවා ඔවුන්ට තේරෙන පරිදි සිංහලයෙන් ලියති. සිංහලයෙන් ලියන විට අමුතු ගාම්භීරත්වයක් ආරූඩ කර ගැනීමට නොතේරෙන සිංහල වචන යොදා ලිපිය ලියති. එහෙත් මේ ලිපි වල ඉංග්රීසි මූලයන් කියවන විට පෙනී යන්නේ ඔවුන්ට මේ ලිපි වල ඔරිජිනල් මූලාශ්ර තේරුම් නොගොස් ඇති බවයි. හේතුව ඔවුන් තුල ඉංග්රීසි බසින් අදාල ලිපිය කියවා තේරුම් ගැනීමේ හැකියාව අඩු නිසාය. මේ නිසා මේවා සිංහලෙන් කියවන පාඨකයා අතරමං වෙයි. මේ පිලිබඳව වරක් ආචාර්ය නලීන් ස්වාරිස් අවධාරණය කලා මතකය.
සයිකෝසියාව ඇති වීමේදී මිනිස් මනස තුල භාෂාව විසින් සිදු කරන විපථනය (disturbance) ලැකාන් ඉතා ගැඹුරින් අධ්යනය කලේය. ලැකාන් භින්නෝන්මාදය පිලිබඳව නව මාවතක් විවර කලේය. එහෙත් ලංකාවේ මානසික සෞඛ්ය පිලිබඳව කටයුතු කරන වෛද්යවරු බොහෝ දෙනෙකු ලැකාන්ව කියවා අවබෝධ කරගෙන නොමැත. ඊට එක් හේතුවක් ලෙස ඇකඩමියාවෙන් පරිබාහිරව විවිධ පුද්ගලයන් තමන් ගේ සීමිත භාෂා දැණුම මෙන්ම සීමිත මනෝ විශ්ලේශණ දැණුම මගින් දෝෂ සහිතව ඉහත නම් සඳහන් චින්තකයන් ගේ මූලකෘතික ලිපි සහ කල්පිතයන් සිංහලයට පෙරලීම නිසාය. එම නිසා සිංහලෙන් පමණක් දැණුම රැස් කරන්නා මේවා වටහා ගන්නේ නිවැරදිව නොවේ. එය සරල උදාහරණයකින් කියන්නේ නම් ධර්මය පිලිබඳව එතරම් දැණුමක් නොමැති ඔරිජිනල් ත්රිපිටකය තමන්ට තේරෙන පාලියෙන් උඩින් පල්ලෙන් කියවා බණ දෙසන භික්ෂුවගෙන් බණ අසන උපාසකයා පිලිබඳව සිතන්න. ඔහු  බුදු බණ තේරුම් ගන්නේ  අර නූගත් භික්ෂුව කියන සෑම දෙයම නිවැරයි කියන සිතිවිල්ලෙනි. බණ දේශනාව අවසානයේදී උපාසකතෙම ඉගෙන ගත් දෙයක් නැත. සිංහල පාඨකයාද පත්ව ඇත්තේ අර උපාසක ගේ තත්වයටය.
පහත දක්වා තිබෙන්නේ සයිකෝසියාව පිලිබඳව ලැකාන් ගේ  විග්රහයකි. මේ විග්රහය තවමත් නිවැරදිව මා සිංහලයෙන් කියවා නැත.
Lacanian Model of Psychosis
Lacan believed that the disturbance in language is central to psychosis. Especially the process of symbolization is affected in psychosis. The schizophrenic disorders are mainly associated with dysfunctions of the linguistic elaboration (Yoshino et al., 1995). An impairment of verbal communication is one of several diagnostic features of schizophrenia (Kuperberg, 2010). Schizophrenia is characterized by abnormal interpretation of verbal and non-verbal information (Ribolsi et al., 2015). The schizophrenic patients show impairments in semantic-syntactic integration processes and have difficulty to access to the long-term semantic-lexical memory (Covington et al, 2005).

වෛද්‍ය රුවන් එම් ජයතුංග

Wednesday, April 22, 2020

කොන්ස්පිරසි තියරි සහ ශ්‍රී ලාංකිකයෝ

ලංකාවේ මිනිස්සු කොන්ස්පිරසි තියරි වලට දැඩි ලෙසින් ආකර්ශණය වෙනවා. මෑත ඉතිහාසයේ කොන්ස්පිරසි තියරියක ගොදුරක් වුනේ කොටගම වාචිස්සර හිමි.  කොටගම වාචිස්සර හිමි අපවත් වන්නේ ගල්‍යකර්මයක් කිරීමට යාමේදී සිදුවූ ඇනෆිලැක්ටික් ශොක් එක නිසා. නමුත් නිර්වින්දන වෛද්‍යවරිය දෙමළ වූ නිසා කොටගම වාචිස්සර හිමි අපවත් කලා කියන කොන්ස්පිරසි තියරි එක මතු වෙනවා. ඒ කාලේ කැතලික් ඇක්‍ෂන් එක පිලිබඳව මෙත්තානන්දලා උද්ඝෝෂනය කල සමය නිසා මේක මාකට් උනා. 

දෙවන කොන්ස්පිරසි තියරිය ඇප්ලයි කලේ ජීවිතය හොඳින් වින්දනය කල හොඳට කාපු බීපු  සෞඛ්‍ය ගැටළු තිබ්බ වෛද්‍ය සේනක බිබිලෙට. ඔහුව ඖෂධ ජාවාරම් බූවල්ලා විසින් මරා දැමුවා කියලා මිනිස්සු ඇල්ෆ්‍රඩ් හිච්කොක් පන්නයේ හොරර් වින්දනයක් ලබනවා. ඒ සමගම වෛද්‍ය සේනක බිබිලේ ලංකාවේ පරමාදර්ශී වෛද්‍ය චරිතය බවට පත් වෙනවා.

ඊලඟ කොන්ස්පිරසි තියරිය ඇප්ලයි කලේ අපොස සාමාන්‍ය පෙළ ආසන්නයට උගත්කමක් තිබූ එතරම් ධර්ම ඥාණයක් නොතිබුණු නමුත් මිනිසුන් ගේ ආවේග වලට බණ කියූ උන්තතිකාමී භික්‍ෂුවක් වූ සෝම හාමුදුරුවන්ට. නලීන් ද සිල්වලා , ගුණදාස අමරසේකරලා උත්කර්ශයට නග්ගපු හෙල වෙද දැණුම කියන ප්‍රපංචය සෝම හාමුදුරුවෝ හොඳටම ගිලිනවා. එක හේතුවක් අර අධ්‍යාපනික දැණුම මද වීම. නලීන් ද සිල්වලා , ගුණදාස අමරසේකරලා හෙල වෙද දැණුම උස්සලා තිබ්බට තමන්ට ලෙඩ රෝගයක් හැදුනම ඔවුන් බටහිර බේත් අරගෙන බයි පාස් කරගෙන ආයුෂ වැඩි කර ගන්නවා. අනේ සෝම හාමුදුරුවෝ හෙල වෙද දැණුම කතා සීරියස් අරගෙන තමන් ගේ දියවැඩියාවට එලොවින් ආ ජීවකයෙකු නොහොත් හොර වෙදෙකුගේ කල්ක චූර්ණ අරගෙන දියවැඩියාව උත්සන්න කරගෙන මල්ටිපල් ඔර්ගන් ෆේලියර් එකකට ගිහින් ශීත රුසියාවේදී අපවත් වෙනවා. නමුත් කොන්ස්පිරසි තියරිය යන්නේ " අපවත් කළ වදාළ කියලා. 


කොන්ස්පිරසි තියරි ජනතාවට වරින් වර දීම මගින් කූට දේශපාලකයෝ මෝඩ මිනිසුන් ගේ කර පිටින් බලයට එනවා. ජනතාව ගොනාට අන්දනවා.

Tuesday, April 21, 2020

ලෙනින් ගේ අවසාන කාලය

ෆැනී කප්ලාන් ගේ වෙඩි පහරට ලක් වූවද ලෙනින්ට බරපතල තුවාල සිදු නොවීය​. නමුත් පුවත් පත් වාර්තා කරන ලද්දේ එය මරණීය වෙඩි පහරක් ලෙසටය​. 1922 පසුව ලෙනින් ගේ සෞඛ්‍ය පිරිහෙන්නට විය​. ඔහු ආඝාතයෙන් පීඩා වින්දේය​. ස්ටාලින් විසින් ලෙනින්ට විශ සහිත හතු කෑමට දුන් නිසා ලෙනින් ගේ තත්වය තව දුරටත් අසාධ්‍ය විය​. ​. අවසන් කාලයේදී ලෙනින් දර කොටයක් විය​. නමුත් රට වැසියන් ගෙන් එම තොරතුරු වසන් කරනු ලැබීය​. ප්‍රවුදා පුවත් පතේ දිනපතා ලෙනින් විසින් සිදු කල සාකච්චා සහ දේශන පළ විය​. රට වැසියන් සිතුවේ ලෙනින් සුවයෙන් ක්‍රෙම්ලිනයේ ජීවත් වන බවයි. නමුත් රට පාලනය කලේ ස්ටාලින් ප්‍රධාන කාමිනියෙව්  සහ සිනවියෙව් විසිනි.  ලෙනින් ගේ මරණය රට වැසියන්ට සිතා ගත නොහැකි අනපේක්‍ෂිත සිදුවීමක් වූවද ( පළමු ගුරුවරයා සහ වානේ පන්නරය ලැබුණු හැටි යන කෘති වල ලෙනින් ගේ මරණයට ජනතාව දැක්වූ ප්‍රතිචාර පඳහන් වෙයි) ස්ටාලින් ප්‍රධාන අභ්‍යන්තර කවයට ලෙනින් මිය ගියේ බොහෝ කාලයකට ඉහතදීය​. 

Monday, April 20, 2020

මනෝ විශ්ලේශණය සහ ෆ්‍රොයිඩ්

මේ දින වල ෆ්‍රොයිඩ් පිලිබඳ Netflix හි කතා මාලාවක් බලමි. එහි බොහෝ අතිශයෝක්තියන් තිබේ.  

මනෝ විශ්ලේශණය (Psychoanalysis )පිලිබඳව මා ඉගෙන ගත්තේ නැගෙනෙහිර යුරෝපයේ මහාචාර්‍ය වේව්ස්කයා(1992) , එංගලන්තයේ බාන්ස්ලි විද්‍යාලයේ ස්ටීවන් හීත් මෙන්ම කැන්සාස් හි Colmery O'neil Veteran Hospital වෛද්‍ය මහසෙන් ද සිල්වා (වෛද්‍ය මහසෙන් මනෝ විශ්ලේශනය ඉගෙන ගත්තේ ෆ්‍රොයිඩ් ගේ සිසුවෙකු  වූ කාල් මැනිංග වෙතිනි) , මෙන්ම යෝක් විශ්ව විද්‍යාලයේ මහාචාර්‍ය ජිම් ඇල්කොක් හරහාය.  මේ වන විට මා සිංහලෙන් සහ ඉංග්‍රීසියෙන් මනෝ විශ්ලේශනය පිලිබඳව පොත් 4 පමණද පරියේෂණ පත්‍රිකා කීපයක්ද ලියා තිබේ.  එහෙත් මනෝ විශ්ලේශණය ඉතා ගැඹුරුය. එය අවබෝධ කර ගැනීමට තව වසර ගනනාවක් එය හැදෑරිය යුතුය.  

ෆ්‍රොයිඩ් ගේ බහුතරයක් රෝගීන් හිස්ටීරියා තත්වයන්, වඩාත් නූතන අර්ථකථනයෙන් කියන්නේ නම් විශාදය , කායික රූපී ආබාධ somatization  , සංවර්තන ආබාධ conversion disorders , ක්ලමථ ආබාධ stress disorders  , ක්‍ෂිතිමය ආබාධ වන පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාවය PTSD , අධි පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාවය C PTSD / DESNOS ,  Rape Trauma Syndrome වැනි තත්ව වලින් පෙළුණු රෝගීන් වූහ. ෆ්‍රොයිඩ් මෙම රෝගීන් ගේ රෝග මූලයන් පිලිබඳ ඉතා ආසන්නව නිවැරදි විස්තර ලබා දීම මානසික රෝග පිලිබඳව ඔහු තුල තිබූ ගැඹුරු දැණුම පෙන්නුම් කරයි. ෆ්‍රොයිඩ් වසර පනහකට පසුව උපත ලැබුවේ නම් මිනිස් මනස පිලිබඳ මීටත් වඩා ගැඹුරු විවරණයක් කරනු ඇත.  

උතුරු ඇමරිකාවේ සහ යුරෝපයේ  (විශේෂයෙන් ප්‍රංශයේ ) පුහුණු කෙරෙන මනෝ වෛද්‍යවරු සඳහා මනෝ විශ්ලේෂණය අනිවාර්‍ය විෂයක් වෙයි. මනෝ චිකිත්සනය සඳහා ඔවුන් ෆ්‍රොයිඩියානු මෙන්ම නියෝ ෆ්‍රොයිඩියානු මනෝ විශ්ලේෂණය හදාරති. ලංකාවේ මනෝ වෛද්‍යවරුන්ට මනෝ විශ්ලේෂණය පිලිබඳව ඇත්තේ මොන්ටිසෝරි දැණුමක් බව දීප්ති කුමාර ගුණරත්න පවසයි. නමුත් ඔහුගේ ප්‍රකාශය සියයට සියයක්ම නිවැරදි නොවන බව මගේ අදහසයි. මනෝ විශ්ලේෂණය ගැන ගැඹුරු දැණුමක් තිබූ මනෝ වෛද්‍ය  නීල් ප්‍රනාන්දු ,  මනෝ වෛද්‍ය දයා සෝමසුන්දරම් වැනි වියතුන් සමග මා අදහස් හුවමාරු කරගෙන තිබේ. එසේම මා විසින් ලියන ලද Between Literature and Psychology  මනෝ විශ්ලේෂණාත්මක කෘතියට ඔවුන් ගෙන් ද මනා අදහස් ලැබුණි.   එහෙත් මෑතකාලීනව ක්‍ෂේත්‍රයට එකතු වූ තරුණ මනෝ වෛද්‍යවරු තුල මනෝ විශ්ලේෂණය ගැන තිබෙන ඌණ දැණුම මගේ අවධානයට යොමුවී තිබේ. යන්තම් ෆ්‍රොයිඩ් ගේ අවිඥාණය ගැන සඳහන් අයිස් කන්ද සහ ඉඩ්, ඊගෝ , සුපර් ඊගෝ යනව වචන කට්ටලය ඇරුණු කොට මනෝ විශ්ලේෂණය පිලිබඳ ගැඹුරු දැණුමක් ඔවුන් බොහෝ දෙනෙකු සතුව නොමැත. එසේම මනෝ විශ්ලේෂණ ආකෘතියකින් කිසිම පරියේෂණ පත්‍රිකාවක්වත් මොවුන් එළි දක්වා නොමැත. මෙය ශ්‍රී ලංකා මනෝ වෛද්‍ය ක්‍ෂේත්‍රයේ තිබෙන බලවත් අඩුපාඩුවකි. මෙම අඩුපාඩුව මඟ හරවා සඳහා පියවර ගැනීම සුදුසු වේ.

වෛද්‍ය රුවන් එම් ජයතුංග 

Thursday, April 16, 2020

හිරු / දෙරණ යන මාධ්‍ය සහ කොරෝනා මාධ්‍යකරණය

හිරු / දෙරණ  යන මාධ්‍ය විසින් කොරෝනා රෝගීන් ගේ පුද්ගලිකත්වය ආක්‍රමණය කරමින් කොරෝනා රෝගීන්ව අනියම් ලෙසින් අපරාධකරුවන් ලෙස සමාජයට පෙන්වා දීම සදාචාරාත්මක කෝණයෙන් මෙන්ම ප්‍රජා සෞඛ්‍ය  කෝණයෙන් බලන විට ඉතාම නුසුදුසු දෙයක්. මේ ක්‍රියාවෙන් සිදු වන්නේ රෝගීන් රෝගය සඟවා ගැනීම මෙන්ම සමාජය තුල රෝගීන්ට තිබුය යුතු සහනුභූතිය අඩුවීම​. (සංවාදයට විවෘතයි) 

Tuesday, April 14, 2020

තාරකා කිසි දෙයක් කීවේ නැත

තාරකා කිසි දෙයක් කීවේ නැත 
නිහඞව දිලිසුනා පමණි 
අනාගතය ගැන කීමට
තාරකාවට වර්තමානයක් තිබුනේ නැත
එය විනාශවී බොහෝ කල් ගතවී තිබුනද
අප දුටුවේ විශ්වය හරහා එන 
එහි ආලෝක ධාරව පමණි 
ශුන්‍ය වූ ස්කන්ධයක 
අතීත පිහිටීම සලකා 
අනාගතය ගැන කියන 
පේන විශ්වාස කරන 
බයින් හැකිලී 
ආත්ම ශක්තිය මොට කරගන්නා මිනිසා 
මරු සිටින දිශාව දෙස නොබලා  ,
රාහු කාලය නිසා 
අත පය බැඳ 
හිස් නුබ කුස දෙස බලා සිටියි.

Sunday, April 12, 2020

සියළුම ආගම් කාන්තාවන්ට බිය වූහ

සියළුම ආගම් කාන්තාවන්ට බිය වූහ. හිංදු ආගම කාන්තාවන් ප්‍රවර්ධනය වෙයි යන බියෙන් සැමදා ඔවුන්ව දෙවොලෙන් පිටමං කොට සති පූජා වැනි යාගයන් ඔවුන් මත පැටවූහ.  බුදු දහම කාන්තාවන්ට බුදු වීමේ වරම දුන්නේ නැති අතර අෂ්ඨ ගරු ධර්ම මගින් ඔවුන් ගේ බලය සීමා සහිත කළහ.   ක්‍රිස්තියානි පල්ලිය කාන්තාවන්ට කොතෙක් බිය වූයේද කියතහොත් ඔවුන් සාතන් ගේ ඒජන්තයන් බව කියමින් කණු වල ගැට ගසා පණ පිටින් ගිණිබත් කළහ. ඉස්ලාමය කාන්තාවන් ගේ අයිතීන් සීමා කලා පමණක් නොව ශරියා නීතිය යටතේ ගල් ගසා මරා දැමීමටද ඉඩ දුන්නේය. 

Saturday, April 11, 2020

ජී.බී.දිසානායක සහ විශාදය| වෛද්‍ය රුවන් ජයතුංගගේ ලිපියට ප්‍රතිචාරයක් - [මැක්සිමස් ජයන්ත ආනන්දප්පා]


මා විසින් ලියන ලද මහා ගත්කරු ජී. බී.සේනානායක විශාදයෙන් (Depression) පෙලුනේද? යන ලිපිය​ට මැක්සිමස් ජයන්ත ආනන්දප්පා පහත විවේචනය දක්වා තිබෙනවා.  (මගේ ලිපිය මේ ලින්කුවෙන් කියවන්න.  http://transyl2014.blogspot.com/2014/11/the-prominent-sinhala-writer-g-b.html  )


වෛද්‍ය රුවන් ජයතුංග මහතා "මහා ගත්කරු ජී.බී. සේනානායක විශාදයෙන් (depression) පෙලුණේද?" යන හිසින් රචනා කළ ලිපිය දැක මේ සටහන ලියා එවීමට සිත්විණි. 1965 හා 1972 පමණ වකවානුව තුල කඳාන අප නිවසට නුදුරින් වාසය කළ ජී.බී. එවක මම නිතර නිතර සියැසින් දැක ඇත්තෙමි. එසේම 1971 දී කීපවාරයක්ම පෞද්ගලිකව හමු වී මම ජී.බී. සමඟ සාහිත්‍ය හා අදාල මාතෘකා පිළිබඳව කථා බස් ද කර ඇත්තෙමි. ජී.බී. පිළිබඳව, විශේෂයෙන්ම, ඔහුගේ මානසික තත්වය පිළිබඳව ජයතුංග මහතා ඉදිරිපත් කර ඇති අදහස් පිළිබඳව යමක් පැවසීම උචිතයයි සිතමි.

ජයතුංග මහතාගේ ලිපියෙහි අන්තර්ගතය අංග දෙකකට බෙදා වෙන් කළ හැකිය. පළමුවැන්න, සාහිත්‍යධරයෙකු හැටියට ජී.බී. දැක්වූ නිර්මාණ කුසලතාව අදවනතුරු නිසි ඇගයීමකට ලක් වී නොමැති බවය. මෙය සාධාරණ සහේතුක ප්‍රකාශයක් ලෙස මටද පෙනේ.

මෙයට හේතුව ජී.බී. පේරාදෙණිය ගුරුකුලයට අයිති නොවීමත්, කිසිවිටක ඒ ගුරුකුලයට ගැති නොවූ අදීන ලේඛකයෙකු හා විචාරකයෙකු වීමත් විය හැකිය. නූතන සිංහල නවකතාවේ ප්‍රමිතිය හා විශේෂයෙන්ම අද නවකථා බසෙහි පරිහාණියද පිළිබඳව මේ දිනවල මහත් කැක්කුමකින් කථා කරන සුචරිත ගම්ලත් වැනි වියතුන් පවා ජී.බී. සේනානායක පිළිබඳව බොහෝ විට මුනිවත රකින්නේද මෙම කුහක වතේම කොටසක් නිසාද? මගේ ලිපියේ මුඛ්‍ය අරමුණ මේ පිළිබඳව දිගින් දිගට කතා කිරීම නොවේ.

රචකයාගේ ලිපියේ මගේ සැලකිල්ලට භාජනය වූ අනෙක් අංගය නම්, ජී.බී. විශාදයෙන් පෙලුණේද යන මතය ස්ථාපනය කරනු අටියෙන් ඔහු ඉදිරිපත් කර ඇති තර්ක ය, සාධක ය. පදනමක් ඇත්තාක් සේ බැලූ බැල්මට පෙණුනද මේවා රචකයාගේ හුදු පෞද්ගලික පරිකල්පනයන් පමණි. තර්කානුකූල ලෙස පෙනුණද ඒවා තර්කානුකූල නොවේ. පිළිගත හැකි ප්‍රබල හෝ ඍජු සාක‍ෂි එකකුදු රචකයා ඉදිරිපත් කර නැත. ජී. බි. ජීවතුන් අතර සිටින විට ජයතුංග මහතා ජී.බී. ව විධිමත් සායන පරීක‍ෂණයකට ලක් කර ඇති බවක් හෝ ජී.බී. පෞද්ගලිකව දැක කථා බස් කර ඇති බවක් ද සඳහන් නොවේ. ඔහුගේ ප්‍රයත්නයේ පදනම වී ඇත්තේ ජී.බී. ගේ ඇතැම් නිර්මාණ වලින් සිය මනාපයට සරිලන එහෙන් මෙහෙන් අහුලා ගත් ඇතැම් දේ, කරුණු නැත්නම් සාක‍ෂි ලෙස සලකා, ඒවා විශාදයේ ලක‍ෂණ ලෙස වෛද්‍ය විද්‍යාවේ පිළිගත් ඇතැම් ලක‍ෂණ හා එකට ඈඳා ජී.බී. විශාදයෙන් පෙලුනේද යන සිය කුකුස සනාථ කිරීමය. මෙය නොසැලකිලිමත්, අපරිණත සාහසික ප්‍රයත්නයකි. ඔහුගේ ලිපියෙහි අන්තර්ගතය ප්‍රාණය යන තුරු ජී.බී. ආදරයෙන් බලා කියා ගත් තවමත් ජීවතුන් අතර ඔහුගේ ඥාතීන්ට දුකක් ගෙනදිය හැකිය.



රචකයා සිය මතය ස්ථාපනය කරනු අටියෙන් ජී.බී.ගේ චරිතාංගයන්ගේ වට්ටෝරුවකින් සිය ලිපිය සරසා ඇත. මේවා නම් -

• ජී.බී. මෙලන්කොලියාවෙන් (Melancholia) පෙලුනෙකි.
• ඔහු සමාන්‍ය මෙලන්කොලියාවෙන් එපිට වර්ධනය වූ විශාදයෙන් පෙලුනේද විය හැකිය.
• ජී.බී. තමා පිළිබඳ හීනවූ චිත්‍රයකින් හා හීනවූ අභිමානයෙන් (Low self esteem)පෙලුනෙකි.
• ආක්ෂොභිත භාවය (Agitation), ස්වයං අනුකම්පාව(Self Pity)", ශුන්‍යවාදී අදහස්, තමා විරූපී පුද්ගලයෙකු යැයි සිතීම ඔහුගේ චරිත ලක‍ෂණයන්ය.
• ජී.බී. ස්වයං හුදකලාභාවයකට(Agitation) තමාව ලක්කොට සිටි අතර ඔහු ස්වයං වරදකාරී ගැටඟවෙන් පෙලුනෙකි.
• කුඩාකල සිට නිතර හැදුණු හිසරදය මනෝකායික රෝගී ලක‍ෂණයක් විය හැකිය.
• ආත්ම ඝාතනය හා ජීවිතාශාවෙන් තොරවීම යන ප්‍රවණාතවල සේයාවන් ජී.බී. තුල තිබිණි.
• ආත්ම ඝාතන සංකල්පය ඔහුගේ කවි හා නිර්මාණවල දැකිය හැකිය. (උදා: නයා)
• ජී.බී. ගේ හා වැඩිමල් සොහොයුරා ජීවිතය තොර කරගත්තේය.
• ආරොන් බෙක්ගේ න්‍යාය පරිදි ජී.බී.ට විශාදයේ ලක‍ෂණ තිබිණි.
• විශාදයෙන් පෙලුණු අය අඳුරු අවපාතයකට එළඹෙන නමුදු (ජී.බී. වැනි) ඇතැම් අය විශාදය නිර්මාණය සඳහා උත්ප්‍රේරකයක් කර ගනිති. (මෙය ජයතුංග මහතාගේ න්‍යායක් සේ පෙනේ.)

කිසියම් රචකයෙකුගේ කතාවලින් දුක්මුසු, ශෝකාකූල බව පිළිබිඹු වූ පමණින් සැබෑ ජීවිතයේ දී ඔහු බෙලන්කොලියාව යන මානසික රෝගයෙන් පෙලුණේයයි සැක කිරීම කිසිසේත් බුද්ධිගෝචර නොවේ. මන්දයත් නිර්මාණශීලී සාහිත්‍යකරුවා සෑමවිටකම සිය පෞද්ගලික අත්දැකීම් සමූහයෙන් ඔබ්බට ගොස් තම නිර්මාණයට උවමනා කරන අමුද්‍රව්‍ය සිය ප්‍රතිභා ශක්තිය උපයෝගී කොටගෙන ප්‍රතිනිර්මාණය කරන හෙයිනි. මෙසේ ප්‍රතිනිර්මාණ කරන දෑ අතර චරිත චෛතසික ස්වභාව, තේමා වැනි නවකථාංග නිර්මාණාත්මක අවශ්‍යතා පාදක කොට මිස ගත්කරුවාගේ මනාප, අමනාපකම් රුචි අරුචිකම්, හෝ පෞද්ගලික චරිත ලක‍ෂණ මත පිහිටා නොවේ.

මේ කරුණු සලකා බලන විට මුද්‍රණ ද්වාරයෙන් පිටවූ සාහිත්‍ය නිර්මාණයක දක්නට ලැබෙන යම් යම් සාහිත්‍ය ලක‍ෂණ හා රස් කේවලව විශ්ලේෂණය කර, එමගින් සාහිත්‍යකරුවාගේ චරිත ස්වභාවය චරිතාංග හා මානසික සෞඛ්‍ය පිළිබඳව නිගමනය කිරීම ඵලදායි නොවේ.

ටෝල්ස්ටෝයි, ඩස්ටවිස්කි, මර්ගනිජ්, ඩිකන්සි හා චැකොප් වැනි කථාකරුවන්ගේ ජීවිත කථා හා ඇතැම් චරිතාංග අපි හොඳාකාරව දනිමු. එයට හේතුව ජීවතුන් අතර සිටින විට ඔවුන් පිළිබඳව බොහෝ දේ ලියැවී ඇති නිසාය. මොවුන්ගේ නිර්මාණ තුළින් පමණක් ඔවුන්ගේ පෞද්ගලික චරිත ලක‍ෂණ සොයා බලන්නෙකුට සිදුවන්නේ නිකම්ම වෙහෙසීමට පත්වීම පමණි. යුද්ධය හා සාමය හා ඇනා කැරණිනා වැනි නවකථාවල එන පියර් බෙසුහොෆ් හා ලෙවින් වැනි චරිත තුලින් ටෝල්ස්ටෝයි කෙබඳු පුද්ගලයෙකු වී දැයි සොයනවාට වඩා, මැක්සිම් ගෝර්කි විසින් ටෝල්ස්ටෝයි චරිතය පිළිබඳ ලියා ඇති සටහන් හැදෑරීම ඵලදායී බව කිව යුතුය. ෂේක්ස්පියර් පෞද්ගලිකව කෙබඳු පුද්ගලයෙකුදැයි ඔහුගේ කෘතී් ඇසුරින් සෙවීමට තැත් කරනා මෝඩයෙකි; විරාගය ඇසුරින් වික්‍රමසිංහ චරිත ලක‍ෂණ නිශ්චය කළ හැකිද ?

නවකථා අධ්‍යයනය කිරීමෙන් බොහෝවිට අපට හසුවන්නේ කථාකරුවාගේ මති මතාන්තර හා අදහස් මිස ඔහුගේ පෞද්ගලික චරිත ලක‍ෂණ නොවේ. ස්වයං චරිතාපදාන සටහන් තුලින් රචකයෙකුගේ චරිතාංග පිළිබඳ දළ අදහසක් ලබා ගත හැකි වුවද, එමගින් රචකයා විශාදය වැනි මානසික රෝගයකින් පෙලුනේය වැනි දැවැන්ත තීරණයකට එළඹීම යෝග්‍ය නොවන බව මගේ හැඟීමය. කිසියම් රචකයෙකු විශාදයෙන් පෙලුනේද යන්න සායන වශයෙන් වෛද්‍ය පරීක‍ෂණයකින් තීරණය කළ හැකි නම්, විශාදය ඔහුගේ නිර්මාණවලට කෙසේ බලපා ඇත්දැයි සෙවීම වෙනම කාරණයකි.

ජී. බී. ගේ නවකථාවල හා කෙටි කථාවල විශේෂයෙන් පසුකාලීන නිර්මාණවල ශෝකාකූල අසුබවාදී හෙවනැල්ල පතිත වී ඇති බව සැබෑය. ඔහුගේ ඇතැම් සුරංගනා කථාවල පවා මේ ඡායාව දැකිය හැකිය. ඔහුගේ සුරංගනා කථාවල ඉමහත් චමත්කාර ජනක අංගයද මෙය වේ. මෙය සමාජයේ ස්වභාවයත්, මිනිස් සිතේ ස්වභාවයත් කියා පෑමට ජී. බී. ගත් නිර්මාණාත්මක උත්සහයේ සාර්ථක ඵලය මිස මෙලන් කොලියාවෙන් හො විශාදයෙන් නිර්මාණයට පිවිසි දෙයක් හැටියට පෙන්වීම අතිශයින් සදොස්ය, එය ජී. බී. ගේ අනූපම කලා කෞෂල්‍යට කළ හැකි ලොකුම නිග්‍රහයද වේ.



ජී. බී. උපත ලද්දේ 1913 දීය. ඔහුගේ -දුප්පතුන් නැති ලෝකය'' පළ වූයේ 1944 දී පමණය. - පළිගැනීම'' කෙටි කථා සංග්‍රහය මුද්‍රණ ද්වාරයෙන් පිටවූයේ 1947දීය. මේ ග්‍රන්ථ දෙකට ඇතුලත් වූ සියඟම කථා වයස අවුරුදු 30 හා 34 අතර පබැඳුණු ඒවා ලෙස සැලකීම සාධාරණය. ජී.බී. නවකථා කරණයට එළඹියේ ඉන් දශක දෙකකට පමණ පසුව, හැටගණන්වල මැද භාගයේ දීය. අන්ධ වූ පසුද ජී.බී. සිය සොහොයුරාගේ බිරිය හා ඇගේ දියණියගේ ද උපකාර ඇතිව නවකථා පොත් විශාල සංඛ්‍යාවක් බිහිකළේය. සංඛ්‍යාත්මකව මෙය 15ක් පමණ වී යයි සිතමි. මේවා නිර්මාණය වූයේ කියවන විට ලිවීම හෙවත් ඩික්ටේෂන් ක්‍රමයටය. ජී.බී. අප අතරින් වෙන් වී ගියේ 1985 දීය. ඔහු පූර්ණ අන්ධභාවයට පිවිසියේ අසූව දශකයේ මුල් භාගයේදීය.

ජී.බී. ඉතා සංවේදී පුද්ගලයෙකු වූ අතර ඔහුගේ පෙනුම අප ලස්සන යයි පිලිගත් සම්මතයට ප්‍රතිවිරුද්ධ වීය. අසාධාරණ විචාරයන්ගෙන් ඔහු සැලුණේ ඉන් තම පොත්වල අලෙවිය අඩුවීය යන භීතිය නිසා මිස ආත්ම අනුකම්පාව නිසා නොවේ.

ඔහුගේ එකම ආදායම් මාර්ගය වූයේ පොත්වලින් ලැබුණු සුඟ මුදලය. එකල රක‍ෂාව සඳහා පොත් ලියවීම කළ එකම රචකයා ජී.බී. යයි මම සිතමි. (මාටින් වික්‍රමසිංහ පවා එවක සිත්මිණ පුවත් පතේ කතෘවරයා වීය.) පොත් ලියා ලැබුණු සුඟ මුදල, ජී.බී. ට පමණක් නොව, එකල ආර්ථීක අහේනියට ලක්වී සිටි, ජී.බී. නැවතී සිටි සිය වැඩිමහල් සොහොයුරා හා ඔහුගේ පවුලේ උදවියේ නඩත්තුවට ද මහා අත්වැලක් වීය. මෑතකදී මිය ගිය ධීමතී සේනානායක පිළිබඳව 2010. 06. 13 ඉරිදා ලක්බිම සංග්‍රහයේ පළවූ ලිපියද ජී.බී. ගැන උනන්දුවක් දක්වන සහෘදයන් විසින් කියවිය යුක්තකියී සිතමි. ජී.බී. ගේ ඇතැම් කථා හැම අතකින් කපා ඔපමට්ටම් කළ දීප්තිමත් මිණිකැට වැන්න.

පලිගැනීම'' කෙටි සංග්‍රහයට ඇතුලත් වූ "බිසෝ මැණිකා'' එක් උදාහරණයක් පමණි. මෙවැනි කථා පසු කාලයකදී රචනා කළ "ගමන'' යන කෙටි කථා සංග්‍රහයට ද ඇතුලත් වූ බව මතකය. "බිසෝ මැණිකා'' වූ කලී මහා ශ්‍රේෂ්ඨ නවකථාවක, ශ්‍රේෂඨ සම්පිණ්ඩණයක් වැන්න. විශාදයෙන් පෙලෙන අයකු විසින් මෙවැනි මිණිකැට වන් නිර්මාණ බිහිකළ හැක්කේ කෙලෙසද ? පූර්ණ අන්ධභාවයට පත් වූ පසු, තමා පත්ව ඇති අසරණභාවය හේතුකොටගෙන, විශාදය වැනි මානසික රෝගයකින් පෙලීමට ඉඩකඩ තිබිණියි අනුමාන කළ හැකි වූවද, වයස 67 දී වැනි පරිණත මුහුකුරා ගිය වයසකදී මෙවැනි අවාසනාවන්ත තත්වයක් අත්විණි නම්, වෛද්‍ය ප්‍රතිකාරවල පිහිට නොමැතිව, අවුරුදු හතරක පමණ කාලය තුල නිර්මාණ කෘතීන් 15ක් වැනි සංඛ්‍යාවක් ඔහු අතින් නිර්මාණය වන්නේ නැත.

ජයතුංග මහතාගේ ලිපියේ හිඩැස්, පලුදු, සදොස් තැන් බෙහෝය. මේවා එකිනෙක විශ්ලේෂණය කිරීමට මා අදහස් නොකළ ද, ජී.බී. විශාදයෙන් පෙලුනේද යන විෂබීජය වැපිරීමට ඉහත වෛද්‍යවරයෙකු වන ඒ මහතා මීට වඩා පරිස්සම් විය යුතුයයි සිතමි. ජී.බී. විශාදයෙන් පෙලුනේ යයි වෛද්‍යවරයෙකු හැටියට ඔහු සැකකරන්නේ නම්, ඔහු විසින් කළ යුතුව ඇත්තේ ජී.බී. ගේ සැබෑ චරිතය හා චරිත ලක‍ෂණ සොයා බැලීමය. ජී.බී. ගතකළේ හුදකලා ජීවිතයක් නිසා, ඔහුගේ චරිත ලක‍ෂණ ගැන නිශ්චය වශයෙන් දැන ගත හැකි එකම ක්‍රමය නම්, ජී.බී. බලා කියා ගත්, තවමත් ජීවතුන් අතර සිටින ඔහුගේ සොහොයුරාගේ දියණියන් දෙදෙනාද, ජී.බී. ගෙන් බොහෝ කාලයක් පාඩම් ඉගෙන ගත් අය්යාගේ කණිටු පුත් පාලිත වැනි අය හමු වී කථා බස් කිරීමය. එයද ඵලදායී විය හැකිද ?



ජී.බී. කෙටි කථා රචකයෙකු වශයෙන් ප්‍රසිද්ධ වීමට ඉහත, මාටින් වික්‍රමසිංහ සමඟ ''දිනමිණ'' පුවත් පතේ සේවය කළ බව බොහෝ අය නොදනිති. මතු දැක්වනුයේ ප්‍රථම හමුවීමේදී මාටින් ජී.බී. දුටු ආකාරයයි. ''ඔහු වහා කම්පනය වන ස්නායු (නාඩි) ඇත්තෙකියි මම සිතුවෙමි. එහෙත් ඔහු දැඩි සිත් ඇත්තෙකියි ඔහුගේ දෙ ඇස දෙස බැලූ මට හැඟිණි.'' (උපන් දා සිට - 363 පිටුව)

ජී.බී. තරමක කාලයක් කිට්ටුවෙන් ඇසුරු කළ පසු වික්‍රමසිංහ ජී.බී. දුටුවේ මතු දැක්වෙන අයුරෙනි. -ඔහු නොනැමෙන සිතක් හා ගතියද ඇත්තෙකි. මෙය බුද්ධිමතෙකුට මිස නවකථා කාරයෙකුට හැම විට උචිත ගතියක් නොවේ. -එම - 364 පිටුව)

මාටින් වික්‍රමසිංහ එදා ජී.බී. දුටු අයුරු මෙම සාකච්ඡාවටම අදාල නොවේ යයි යමෙකුට තර්ක කළ හැකිය. මන්ද යත් කාලයාගේ ඇවෑමෙන් වයසින් මුහුකුරා යන විට පුද්ගලයෙකු වෙනස් වීම නොවැළැක්විය හැකි කි්‍රයාදාමයක් නිසාය. හැට ගණන් වල මා දුටු ජී.බී. ඉතා නිහඟ, වැඩි කථා බහට 36 වන පිටෙන් කීස්බරෝ විහාරස්ථානයේ ධම්මසරණ ධර්ම ශාලාව විවෘත කිරීමේ මහෝත්සවය නොකැමති, මහමඟ යනවිට හිස උසවා කිසිවකු දෙස නොබලන තරම් නිශ්ශබ්ද පුද්ගලයෙකු වීය. ඉඳහිට කොළඹ යන විට ඔහු යල්පැන ගිය පැරණි තනි සුදු සූට් එකක් ද,පරණ ටයි පටියක් ද, පැළඳි බව මට මතකය. ගෙවත්තේ කොනක පිහිටි නාන ලිඳ වෙත ඔහු පියවර මැන්නේද ඉතා සෙමින් බිම බලා ගෙනය.

සමාජයේ මිනිසුන් හැසිරෙන ආකාරයවත්, ගෙවත්තේ ලමුන් සෙල්ලම් කරන ආකාරයවත් දැකීම ඔහුට ප්‍රිය නොවූවා සේය. සමාජ ආශ්‍රයෙන් මෙතරම් ඈත් වූ අයකු, මිනිසුන්ගේ අභ්‍යන්තරය විනිවිද දුටුවේ කෙසේදැයි, ජී.බී. ගේ සෑම නිර්මාණයක්ම කියවන විට මම තවමත් මවිතයට පත්වන්නෙමි.

අය්යාගේ ගෙදර කන්තෝරු කාමරය ජී.බී. ගේ නිවහන වීය. ඔහුගේ කාමරයේ ජනෙල් පියන් ඇර තිබෙනු මම කිසිවිටක දැක නැත්තෙමි. තම කාමරයෙන් පිටත සිද්ධ වනුයේ කුමක්දැයි ඔහුට දැන ගැනීමට අවශ්‍යතාවයක් නැත්තාක් සේය. ඔහුගේ කාමරය විශාල පොත්ගුලක් වීය. ඇඳක් ද, ලියන මේසයක් ද, පුටුවක් ද එහි තිබිණි. සිගරට් කොටවලද අඩුවක් නොතිබිණි. ජී.බී. සිය කාමරයෙන් පිටතට ආවේ ඉතා කලාතුරකිනි. කියවීමත්, ලිවීමත් හැර ඔහු අන් කිසි කාර්යයක් කළ බවක් පෙනෙන්නට නොතිබිණි.

ජී.බී. සැබැවින්ම හුදකලා ජීවිතයකට ඇබ්බැහි වූයේ ලිවීමට වඩා කියවීමේ පුරුද්ද නිසායයි මම සිතමි. තරුණ වියේදී තම කියවීමේ පුරුද්ද නිසා තම මවට බඩගින්නේ පවා ඉඳීමට සිදු වූ බව ඔහු සංවේගයෙන් සඳහන් කර ඇත.

දෙනුවන් නිවී යනතුරු ජී.බී. විසින් සිදුකරන ලද්දේ ප්‍රබන්ධ කථා, කවි, විචාර වැනි සාහිත්‍ය නිර්මාණ සිය පෑන් තුඩින් බිහිකිරීම හා ශාස්ත්‍ර ඥානය ප්‍රගුණ කරනු වස් කියවීම නැමැති මෙහෙවරෙහි යෙදීමය. දෙනුවන් නිවී ගි පසුත්, ප්‍රාණය සැඟවී යනතුරු ඔහු අතින් සිද්ධ වූයේ සාහිත්‍ය නිර්මාණ තව තවත් වැඩි වැඩියෙන් බිහි කිරීමය. මෙවැනි උදාර සාහිත්‍ය සේවාවක් නොඛණ්ඩව කළ අයකු, විශාදයෙන් පෙලුනේදැයි පදනම් විරහිතව සැක කිරීම අසාධාරණ නොවේද? - 

මැක්සිමස් ජයන්ත ආනන්දප්පා
(සන්නස 2010 ජූලි කලාපයෙන් ගත් උපුටනයකි.) 

මැක්සිමස් ජයන්ත ආනන්දප්පාගේ ලිපියට අංගොඩ මානසික රෝහලේ හිටපු රෙජිස්ටාර් වෛද්‍ය උප විශේෂඥයෙකු පිලිතුරු දෙනු ලැබවා. එම ලිපියේ මූලික කොටස් මෙසේයි.



වෛද්‍ය රුවන් එම් ජයතුංග ගේ සහ මැක්සිමස් ජයන්ත ආනන්දප්පාගේ ලිපි දෙකම මගේ විවේචනයට හසුවනවා. මුලින්ම මගේ විවේචනයට ලක් වන්නේ මෙම ලිපියේ කතෘ වෛද්‍ය රුවන් ජයතුංග. මම කියන්නේ වෛද්‍ය රුවන් ජයතුංග විෂාදය ගැන පාඨකයා දැනුවත් කරන්නේ නැහැ . ඔහු කෙලින්ම ජී.බී.සේනානායක ගැන කතා කරනවා. එම නිසා විෂාදය ගැන නොදන්නා පාඨකයා අතරමන් වෙනවා. ඔහු තමාගේ ලිපියෙන් විෂාදය ගැන තව සරල පැහැදිලි කිරීමක් කළා නම් වඩා හොඳයි. වෛද්‍ය රුවන් ජයතුංග සහ වෛද්‍ය නීල් ප්‍රනාන්දු පොතක් ලියලා තියනවා විෂාදය ගැන. විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය පල කරපු මේ පොත විෂාදය ගැන හොඳ පැහැදිලි කිරීමක් තියනවා. නමුත් එවැනි පැහැදිලි කිරීමක් මෙම ලිපියෙන් මුලින්ම කළා නම් වටිනවා. ඒක අඩුව නිසා ලේමන්ලා මෙම ලිපිය තේරුම් ගන්නේ වැරදි විදියට.

මගේ දෙවන විවේචනයට ලක් වන්නේ මැක්සිමස් ජයන්ත ආනන්දප්පා මගේ වැටහීමේ හැටියට මැක්සිමස් ජයන්ත ආනන්දප්පාට විෂාදය කියන්නේ මොකක්ද එය ඩයග්නෝස් කරන්නේ කොහොමද කියා අවබෝදයක් නැති කම නිසා ඔහු තමාගේම ලිපිය මැද අතරමන් වෙනවා. ඔහු ලේමන් කෙනෙකු නිසා ඔහුගේ අනවබෝදය මට තේරුම් ගත හැකියි. මැක්සිමස් ජයන්ත ආනන්දප්පා කියනවා මෙහෙම.
ජී.බී.සේනානායක ජීවතුන් අතර සිටින විට ජයතුංග මහතා ජී.බී. ව විධිමත් සායන පරීක‍ෂණයකට ලක් කර ඇති බවක් හෝ ජී.බී. පෞද්ගලිකව දැක කථා බස් කර ඇති බවක් ද සඳහන් නොවේ. මේ තර්කය ඉතාම ලාමකයි. මම ලඟදි පොතක් කියවුවා වින්සන්ට් වැන්ගෝ ගැන , වැන්ගෝ ගේ චිත්‍ර විශ්ලේෂණයෙන් වින්සන්ට් වැන්ගෝ විෂාදයෙන් පෙළුණු බව 2006 වසරේ ඇමරිකානු මනෝ වෛද්‍යවරයෙක් කියනවා. විෂාද ප්‍රතික්‍රියාවන් ලේඛකයන්ගේ නිර්මාණ , චිත්‍ර ශිල්පීන්ගේ චිත්‍ර ආශ්‍රයෙන් මනෝ විශ්ලේෂනාත්මකව කියන්න පුළුවන්. එය 100% විද්‍යාත්මක නොවෙන්න පුළුවන්, නමුත් එය ඉතා තර්කානුකූල උපකල්පනයක්. මේ ආකාරයට මහා ඇලෙක්සැන්ඩර් ගැන පවා විශ්ලේෂණ තියන බව ආනන්දප්පා මහත්තය දන්නවාද ?

මැක්සිමස් ජයන්ත ආනන්දප්පා තව කියනවා - විශාදයෙන් පෙලුණු අය අඳුරු අවපාතයකට එළඹෙන නමුදු (ජී.බී. වැනි) ඇතැම් අය විශාදය නිර්මාණය සඳහා උත්ප්‍රේරකයක් කර ගනිති. (මෙය ජයතුංග මහතාගේ න්‍යායක් සේ පෙනේ.) මට කියන්න තියෙන්නේ ටෝල්ස්ටෝයි , අර්නෙස්ට් හෙමින්වේ , ඔලිවර් ගෝල්ඩ්ස්මිත් , චාර්ල්ස් ලැම්බ් වැනි ලේඛකයන් ඔවුන් අත්වින්ද විෂාදය තමන්ගේ නිර්මාණය සඳහා උත්ප්‍රේරකයක් කර ගත්තා කියලා . මෙය මෙය ජයතුංග මහතාගේ න්‍යායක් නොවේ. The LIFE and times of Oliver Goldsmith, By John Forster පොත කියවන්න එතකොට ඔබට මම කියන කාරණය තේරෙයි.

ආනන්දප්පා කියන අනෙක් කරුණ වන - වෛද්‍ය ප්‍රතිකාරවල පිහිට නොමැතිව, අවුරුදු හතරක පමණ කාලය තුල නිර්මාණ කෘතීන් 15ක් වැනි සංඛ්‍යාවක් ජී.බී.සේනානායක අතින් නිර්මාණය වන්නේ නැත යන කතාවත් ඉතා ලාමකයි. සාමාන්‍ය සායනික විෂාදයෙන් පෙලන බොහෝ දෙනෙක් ගේ ඉන්ටර්ලෙක්චුවල් ඇබිලිටීස් විනාශ වන්නේ නැත Psychotic DEPRESSION තිබුණු අය ඇර සාමාන්‍ය සායනික විෂාදය තිබු ලේඛකයන් ඉතා විශිෂ්ඨ නිර්මාණ බිහි කරලා තියනවා.

ජී.බී.සේනානායක ගැන වෛද්‍ය රුවන් එම් ජයතුංග මහතාගේ ලිපිය හොඳ එකක් , නමුත් මනෝ විද්‍යාව ගැන දැනුම අඩු අයට එම ලිපිය කියවනකොට තෙරෙන්නේ ජී.බී. ගැන කරපු විවේචනයක් හැටියට. මොකද විෂාදය ගැන Beck\'s DEPRESSION Inventory එක ගැන දන්නා පාඨකයා දන්නවා වෛද්‍ය රුවන් එම් ජයතුංග මොකක්ද කියන්න උත්සහ කරන්නේ. එවැනි දැනුමක් නැති ජී.බී.සේනානායක ගේ පාඨකයා කුපිත වෙනවා මෙවැනි උදාර සාහිත්‍ය සේවාවක් නොඛණ්ඩව කළ අයකු, විශාදයෙන් පෙලුනේදැයි පදනම් විරහිතව සැක කිරීම අසාධාරණ නොවේද? කියලා නමුත් ලිපිය අවසානයේ ඔහු මෙහෙම කියනවා නේද ?

අද්විතීය ගත්කරු ජී. බී.සේනානායක විශාදයෙන් පෙලුනේද යන්න තුළ සායනික මෙන්ම සාහිත්‍යමය වශයෙන්ද කාලීන බවක් තිබේ. ඒ මන්ද යත් ඔහුගේ නිර්මාණ තුළ මෙම විශාදයේ සේයාවන් ඇති නිසාවෙනි. එහෙත් එම නිසා ඔහුගේ නිර්මාණ වටිනාකමින් අඩු නොවේ. ඔහුගේ නිර්මාණ මිණි කැට වැනිය. එකී නිර්මාණ වල සාහිත්‍යමය මෙන්ම දාර්ශනික ගැඹුරක් තිබේ. චිත්ත තත්වයන් අරභයා ඔහු විසින් කරන ලද විවරණයන් සලකා බැලීමේදී ජී. බී.සේනානායක යනු ලාංකික දොස්තොයෙව්ස්කි ද යැයි සිතේ.

තවද මගේ ලිපිය පිලිබඳව බන්ධුල නානායක්කාරවසම් මහතා මෙසේ අදහස් දක්වනවා.... 



ජී. බී පිලිබඳ ලිපිය කියවූවා . හරිම වැදගත් සංවාදයක් , මානසික ව්‍යාධි පිළිබඳව රුවන් ජයතුන්ගයන්ගේ දැනුම ට මා අභියෝග කරන්නේ නෑ මන්ද ඔහු වෙදදුරෙකු හා මා එසේ නොවන බැවින් , මා එසේ නුනත් ඔහු මානසික තත්වයන් විෂය කොට ගෙන ඉදිරිපත් කරන අදහස හරි අපූරුයි , හිතන්න පොළඹවන සුළුයි . අනික සාහිත්‍ය කරුවෙකුගේ මනෝභාවයන් ගැන විචාරකයෙකුට වඩා නිර්මාණකරුවෙකුට අනුමාන හෝ කරතෑකි . නිර්මාණකරුවෙකු පෙරකී සුවිසෙස් සාහිත්‍යය ඇසුරු කර තිබේ නම් එය තවත් ලෙහෙසියි . මා ඉන්නේ එතන .

ඩස්ටොවුස්කි , චෙකොව් , මොරේවියා වගේ අයගේ පුද්ගලික ජීවිත දිහා බැලුවම විශාදය කෙසේ වෙතත් ඔවුන්ගේ සාමාන්‍ය සෞඛ්‍යය පවා අර්බුදකාරී බව පෙනෙනවා . සේකර විතරක් ගත්තත් 'නොමියෙමි', හෙට ඉරක් පායි , ප්‍රබුද්ධ වගේ කෘති වල තියෙන දෝමනස්සයන් අනුන්ගෙන් ගත් හෝ මවාගත් ඒවා කියලා පෙනෙනවද ? සේකර දැඩි මානසික අර්බුද වල සිටි බවත් , පීඩා විඳි බවත් ඒ සියල්ල මැදිහත් සිතින් ඉවසූ බවත් අප දන්නවා . එතකොට ඩස්ටොවුස්කි කියන්නේ කොහොමත් රෝග ගණනාවකින් පෙලුනෙක්

නොමියෙමි පොතේ මොනතරමක් විශාදී ලකුණු කතා නායකයාගේ තියෙනවද
එයින් අදහස් නුනත් ලේඛකයාට විශාදය ඇති බව ලියවිල්ලෙන් පෙනෙනවා අසනීපයක් ලෙස ඔලුවට නොගත්තට ඒ කලාකරුවන් උග්‍ර මානසික පීඩනයකින් ජීවත් වූ බව , මෙහි සඳහන් කල නොයුතු මා සොයාගත් දත්ත තිබෙනවා රුවන් ගේ අනුමානය හරි බව සේකර තුලින් සනාථ වන . අනික බුදුන් දෙසා තියෙනවා 'සබ්බේ පුතග්ජනා උන්මන්තකා ' කියල , තවත් මොනවද ?

ඒ නිසා රුවන් ඔබ මතුකළ අදහස ඉතාමත් වැදගත් , ඇතැම් විට මානසික ව්‍යාධීන් ගැන 'ලේමන්ලා ' වූ සමාජයට එය නොවැටහෙන්න පුළුවන්
ඒ වගේම ඔබේ අනුමාන කිරීම තුලින් ජී බී ට අපහාසයක් හෝ හිතලුවකින් එතුමා අවතක්සේරු උනා කියල හිතන තර්කය ගණන් ගන්න එපා ; ඔබේ විමර්ශන තවත් දිගු කරලා ඉදිරිපත් කරන්න , මේ වගේ සමාජයකට ඕනේ ඒ වගේ බුද්ධියට අහර ... (බන්ධුල නානායක්කාරවසම්) 



Friday, April 10, 2020

වික්ටර් රත්නායක පරමාදර්ශය

වික්ටර් රත්නායක තමන් ගේ පුතා ගේ මළ ගෙදර නොගිය එකට බොහෝ දෙනෙක් විස්සෝප වෙනවා. වික්ටර් පිලිබඳ ඔවුන් තුල තිබෙන ප්‍රතිරූපය බිඳෙනවට ඔවුන් යටි හිතෙන් අකමැතියි. නමුත් අප පිලි ගත යුතු සත්‍ය තමයි පරමාදර්ශී මිනිසුන් අපගේ සමාජයේ නෑ. පරමාදර්ශී මිනිසුන් හොයන්න මහන්සි  වෙන්නත් එපා. අවසන් විග්‍රහයේදී මිනිසුන් සියල්ල කන බොන ශාරීරික තරල විසර්ජනය කරන අය​. නීට්ශේ වරක් කියනවා හොඳ මිනිසා යනු කප්පාදු කල මිනිසාය කියලා. ඒ නිසා  කප්පාදු කල මිනිසුන් අතරින් පරමාදර්ශ හොයන්නත් එපා.   මා විසින් ලියන ලද වෛද්‍යවරයෙකුගේ සිහි සටහන් පොත ආරම්භ වන්නේ මම කිසි දින පරමාදර්ශී මිනිසෙකු වූයේ නැත.  කියමින්. මම පරමාදර්ශී සිසුවෙකු ,පරමාදර්ශී වෛද්‍යවරයෙකු මෙන්ම පරමාදර්ශී මිනිසෙකු වූයේ නැත.  මිනිසුන් පරමාදර්ශයන් සහ පද්ධති වලින් ඈත් වන තරමට ඔවුන් ගේ මනස නිදහස්. අද අප ඉදිරියේ වික්ටර් රත්නායක පරමාදර්ශය බිඳ වැටී තියෙන්නේ මේ නිසයි. රුසියානු ගායක විසෝස්කි පරමාදර්ශ සොයාගෙන ගියේ නෑ. ඔහු  වගකීමකින් යුතුව නිදහස් ලෙසින් ජීවිතය වින්දනය කලා. මිනිසුන් ගේ හදවත් තුල විසෝස්කි තවමත් ජීවත් වන්නේ මේ නිසයි. 

Wednesday, April 8, 2020

කොරෝනා සමග ජානගත කුහකකම් එළියට ඒම

 
කොරෝනා නිසා ඇමරිකාවේ, එංගලන්තයේ , ඉතාලියේ , ඕස්ට්‍රේලියාවේ මිනිසුන් තොග පිටින් මැරෙන විට, සෞඛ්‍ය සේවාවන් අඩාල වන විට ලංකාවේ සමහර  දෙනෙකු කුරිරු සතුටකින් යුතුව " ඔන්න ඇමරිකාවේ මෙච්චරක් මලා " එංගලන්තයේ රෝහල් වල රෝගීන් බාර ගන්නේ නෑ " ඉතාලියේ වයසක අයව මැරෙන්න අරිනවා" යනාදී වශයෙන් අතිශයෝක්තියකින් යුතුව පෝස්ට් පළ කරන්නේ මන්ද​? ඔවුන්ට එවැනි සංවර්ධිත රටවලට යාමට , එවැනි රට වල ජීවත් වීමට නොහැකි වීම නිසා ඇතිවූ මිදි තිත්ත මානසිකත්වය සහ තමන් පිලිබඳ තිබෙන ආත්ම අණුකම්පාව සහ සංවර්ධිත රටවල ජීවත් වන මිනිසුන් පිලිබඳව ඉරිසියාව සහ කුහක නිසාද ? 

එහෙත් ලංකාවේ මිනිසුන් යුද්ධයෙන් සහ සුනාමියෙන් මිය යන විට මේ රටවල ජීවත් වන මිනිසුන්  ( මා මේ කතා කරන්නේ පාරම්පරික සුදු මිනිසුන් ගැනය​)  සහකම්පනීය අයුරින් දුක් වූහ​. හැකි පමණ තුන්වන ලෝකයේ මිනිසුන්ට ආධාර කළහ​. ඔවුන් ව්‍යාජ මානව භක්තිය , ව්‍යාජ සැදැහවත්කම පෙන්වන අපේ අයියලාට වඩා මනුෂ්‍යත්වය තේරුම් ගෙන ඇතැයි මට සමහරක් විට සිතෙයි. 

අමා දහර , බුදු හිමියන් , නිර්වාණය , සිංහ තෙල් වැනි මිනිස් ගුණ පිලිබඳව ගී ගැයූ නමුදු , තම පුතුගේ මරණ ගෙදරටවත් අඩිය තැබීම ප්‍රතික්ශේප කරන ගායකයන් සිටින සමාජයක මිනිසුන්  බටහිර මිනිසා තුල තිබෙන මනුෂ්‍යත්වය පිලිබඳව  තේරුම් ගන්නේ කෙසේද ?

Tuesday, April 7, 2020

ගණිතය පත්‍රය සදහා ආදර්ශ ප්‍රශ්න 11 ක්


1) එක් කොරෝනා ආසාදිතයකුගෙන් පුද්ගලයින් 512 දෙනකුට රෝගය පැතිරයා හැකි නම් සහරාන් කල්ලියේ ත්‍රස්තයන් 100 ක් විසින් ආසාදනය කල හැකි පුද්ගලයන් සංඛාව කීයද ? 

2) පුද්ගලික කොම්පැනියක වාර්ශක ලාභයෙන් 16% ජවිපෙට කප්පම් වශයෙන් ගෙවිය යුතු නම් නම් XYZ කොම්පැනිය මිලියන 30 වාර්ශක ලාභයක් අත් කර ගත්තේ නම් එම XYZ  කොම්පැනිය විසින් ජවිපෙට ගෙවිය යුතු කප්පම ගනන් කරන්න.

3) අයිතිකරුවෙකු නොමැති මල්වානේ නිවසට ටයිල් ඇලීම සඳහා බාස් කෙනෙක් පැයට රුපියල් 120 මුදලක් අය කරයි. එම බාස් පැය 1324ක් වැඩ කලේ නම් එම බාස්ට ලැබිය යුතු මුදල කීයද ?

4) හෙල්පින් හම්බන්තොට ගිණුම යටතේ ගෙවල් 800 සාදනු ලැබීය​. එක් නිවසක් ඉදි කිරීමට ගිය මුදල ලක්‍ෂ 8 කි. ගෙවල් 800 ක් සෑදීමට ගිය මුදල කීයද ?

5) බැඳුම්කර වංචාව මගින් බෑණා උපයාගත් මුදලින් 43.2% ද මාමා උපයා ගත් මුදලින් 43.6% ක් ද  අල්ලස් ලෙස ලබා දුන්නේ නම් මාමා සහ බෑණා අල්ලස් ලෙස ගෙවන ලද මුදල ප්‍රතිශතයක් ලෙස දක්වන්න.

6) වත්තල ජෝන් බාස් වයාග්‍රා පෙති කාලක් උදේ ගත් අතර එය පැය 6 කාලයක්  දක්වා ක්‍රියා කරන ලදි.  පැය 36 ක්‍රියාතමක වීම සඳහා වත්තල ජෝන් බාස්ට අවශ්‍ය කෙරෙන වයාග්‍රා පෙති ගනන කීයද ?

7) V.S පනික්කියා මහතා රුපියල්  මිලියන 1200  ක් 2.5% වාර්ශික පොලියට වියාපාරිකයන්ට දෙන ලදි. වසර අවසානයේදී V.S. පනික්කියා මහතාට හිමි වන මුදල කීයද ?

8) ජොනී මහතා එතනෝල් ලීටර් 15, 000 කට වතුර ලීටර් 12,000 කලවම් කොට බාර් වල විකිනීමට යවන ලදි. එතනෝල් සහ ජලය මිශ්‍ර කරන ලද අනුපාතයන් මොනවාද ?

9) ලන්සා මහතා බ්‍රවුන් ෂුගර් කිලෝ 30,000ක් මුහුදින් ගෙන ආ අතර එයින් 1/4 ක් මීගමුවේ විකිනීම සඳහා තබා ගත්තේය​. මීගමුවේ විකිනීම සඳහා තබා ගත් බ්‍රවුන් ෂුගර් කිලෝ ගනන කීයද ?

10) මරණීය දණ්ඩනයට නියමව සිටි සිරකරුවෙකුට නිදහස දීම සඳහා සිරා මහතා මිලියන 120 ද රතන මහතා මිලියන 60ක්ද සිරකරුගේ මව ගෙන් අල්ලස් ලෙස ලබා ගත්තේ නම් නිදහස සඳහා සිරකරුගේ මව වැය කල මුළු මුදල කීයද ?

11) බන්ධනාගාර රෝහලේ එක් රාත්‍රියක් ගත කිරීමට රෝහලේ වෛද්‍යවරයාට රුපියල් 10,000 මුදලක් ගෙවිය යුතුය​. දුමින්ද සිල්වා  ජනවාරි මාසයේ මුල සිට මාර්තු මාසය අග දක්වා බන්ධනාගාර රෝහලේ සිටියේ නම් බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරයා උපයා ගත්මුදල කීයද ?


ලිංගික පාපය


ලිංගික පාපය (Sexual sin ) යන සංකල්පය ලාංකික සමාජයට එන්නේ වික්ටෝ‍රියානු සදාචාර මිණිතයන් හරහාය. එහෙත් ලිංගිකත්වය යනු උච්ච මානසිකත්වය කරා එලඹිය හැකි පිවිසුමක් ලෙස තන්ත්‍රයාන භික්‍ෂූන් පෙන්වා දුන්හ. ලිංගික ආවේගයන් අන්තර්පණය කර ගැනීම තුලින් මානසික ඒකාග්‍රතාව මෙන්ම චිත්ත සමාධිය ලඟා කර ගැනීම තන්ත්‍රයානයෙහි දැක්වෙයි.
ලිංගික ආවේග සහ ආශාවන් අවරෝධනය කිරීම නිසා නියුරෝසික රෝග මතු වන අන්දම සිග්මන් ෆ්‍රොයිඩ් විසින් සායනික නිදර්ශන මගින් පෙන්වා දෙන ලදි. ලිංගිකත්වය යනු පාපයක් යන මතයේ තරයේ එල්ලීම නිසා පුද්ගලයන් තුල මතුවූ හිස්ටීරියා ලක්‍ෂණ ෆ්‍රොයිඩ් පැහැදිලි කරයි . එසේම පසු කාලීනව ලිංගික වරදකාරිත්වය (Sexual guilt ) මත අසාමාන්‍ය චර්‍යා මතු වූ සායනික නිදර්ශන මනෝ චිකිත්සකයන් විසින් පෙන්වා දී තිබේ.

ඇල්ෆ්‍රඩ් කින්සි මෙන්ම විලියම් මාස්ටර්ස් සහ වර්ජීනියා ජොන්සන් ගේ අධ්‍යන මගින් ලිංගිකත්වය යනු බොහෝ පරාසයක් පුරා විහිදෙන චර්‍යා රටාවන් බව පෙනී යයි. පසුකාලීනව ජෝන් ලෙනන් මෙන්ම භගවාන් රාජ්නීෂ් (ඕෂෝ) පෙන්වා දෙන්නේ ලිංගිකත්වය බැඳ තබන පද්ධති වලින් නොමිදෙනතාක් කල් මිනිසුන් ගේ නිදහස පරිපූර්ණ නොවන බවය.
( පරිකල්පනික අතික්‍රමණය)

Sunday, April 5, 2020

රක්තාක්ෂි උවදුර




රක්තාක්ෂි උවදුර පිලිබඳව එළු අත්තනගලු වංශයේ සඳහන් වෙන්නෙ මෙසේය .
'පුරාතන අකුශල කර්මයෙන් කුක්ෂි නැමැති මහ සැල බරින් මඬ්නා ලදින් වක්‍රවූ මහත් දඟ මඬුලු දෙකක් ඇති, ජල සහිත මහා මේඝ කූඨයක් බඳු වූ රුදුරු වූ භයංකර වූ ශරීරයක් ඇති, වක්ව කඨින වූ හෙවත් දැඩි වූ දළ කෙලවරින් ඩහනා ලද කෙහෙලස්තල ඇති බාලාර්ක මණ්ඩලයකට බඳු වූ රක්තවර්ණ වූ බලන්නවුන්ට භය එලවන්න වූ මහත් වූ ඇස් සඟලක් ඇති, මනුශ්‍ය මාංශ භක්ෂනයෙහි දක්ෂ වූ රක්තාක්ෂ රාක්ෂ නම්වූ යක්ෂයෙක් මේ ලක්දිවට පැමිණියේය.'  මේ යක්ෂයා දකඉනදකින ජනයාගේ දැස් රතුවෙයි. ඇඟ සසලවා උණ ගැනෙයි.මරණයට පත් වෙයි. රෝගියාගේ රතුවූ දැස් දකින අනෙකාට ද එම ඉරනමම අත්වෙයි. 

මෙය උණ රෝගයක් විය යුතුයි. එසේම Conjunctivitis සහ රෝගීන් ගේ දෙනෙත් වලින් කඳුළු ගැලීම , දෙනෙත් ඉදිමීම , අන්ධ භාවය , අධික උණ තත්වය නිසා ගරීර අප්‍රානිකත්වය ආහාර අරුචිය , අධිකතර වෙහෙස විජලනය සහ ක්‍රමක් ක්‍රමයෙන් මරණයට පත් වීම සිදු වෙයි. මෙය වයිරස් රෝගයක් වූ අතර වේගයෙන් අන්‍යන්ටද බෝවීම නිසා  බොහෝ දෙන මරු දුටුහ. 

Saturday, April 4, 2020

කොරෝනා වෛරසය සහ මානසික සෞඛ්‍යය

 
කොරෝනා වෛරසය (COVID-19 ) සීග්‍රයෙන් ලොව පුරා පැතිර යන මේ කාලයේ මිනිසුන් අතර බිය , ක්ලමථය (stress) , කාංසාව (anxiety) සහ විශාද(depression)  තත්වයන් ඇති විය හැකිය. තවද මිනිසුන් අතර සමාජ සබඳතා බිඳී යාම , රැකියා අවස්ථා සීමා වී ආර්ථික ප්‍රශ්න මතුවීම , ගමනාගමනයන් සීමා වීම වැනි තත්ව නිසා මිනිසුන් තුල සාමූහික විශාද ලක්‍ෂණ පහළ විය හැකිය. මේ හැර කොරෝනා රෝගයට ප්‍රතිකාර කරන සෞඛ්‍ය සේවකයන් තුල වෘත්තීය දැවීයාම් (burnout ) මතුවීමේ අවධානමක් ද පවතියි.

මේ වන විට ලෝකය පුරා පැතිරී යන කොරෝනා වෛරස් රෝගය එක්තරා ආකාරයක සාමූහික ව්‍යසනයකි (collective trauma). මේ තත්වය බොහෝ විට හට ගන්නේ මිනිසුන් විසින් කොරෝනා වෛරස් රෝගය කෙරෙහි දක්වන ප්‍රතිචාරය මතය. මේ දක්වා ලෝකයේ විවිධ සමාජ කොරෝනා රෝගය කෙරෙහි දක්වා ඇත්තේ බිය සහ කාංසාව මුසු ප්‍රතිචාරයන් වෙති.කොරෝනා වෛරස ආසාදනයකින් තොරවද කොරෝනා වෛරස් භීතිය විසින් මිනිසුන් ගේ මනස ලෙඩ කල හැකිය. මේ භීතිය විසින් මිනිසුන් තුල කායිකරූපී ආබාධ (Somatization Disorders) මතු කිරීමේ සම්භාවිතාවක් තිබේ.

කොරෝනා වෛරස් රෝගය වැළඳීම නිසාද මානසික රෝගී තත්වයන් ඇතිවිය හැකි  බව අප මෙහිදී අමතක නොකල යුතුය.  කොරෝනා රෝගය විසින් ස්වස්න පද්ධතියට ඇති කරන දුර්විපාක බෙහෙවින්ම කථිකාවට ලක් කර ඇති නමුදු කොරෝනා වෛරසය විසින් මොලය ආශ්‍රිත විවූහයන්ට සිදු කරන හානිය සාකච්චාවට ලක්වී ඇත්තේ අඩුවිනි. 

වෛරස් රෝගය වැළඳීම නිසා මොලයට සිදු වන හානි පිලිබඳව වාර්තා වී තිබේ. උදාහරණයන් ලෙස හර්පීස් වෛරසය, වෙස්ට් නයිල් වෛරසය වැනි වෛරස් ආසාදනයන් නිසා මොලයේ විවූහයන්ට හාණි සිදුවේ. එම නිසා එකී වෛරස් රෝග වැළඳුනු රෝගීන් තුල විශාදය,  ද්වී ද්‍රැව විශාදය (Bipolar Affective Disorder) වැනි තත්වයන් පහළ වීම වාර්තා වී ඇත. මේ හැර භින්නෝන්මාදය (Schizophrenia) වැනි රෝග මතුවීම සඳහා වෛරස් රෝග විසින් මස්තිෂ්කය තුල ඇති කරන ආසාදනයන් ද හේතු කාරක විය හැකි බව ඇමරිකාවේ මීනසෝටා විශ්ව විද්‍යාලයේ පරියේෂිකාවක් වන රේචල් ක්නීලන්ඩ් විසින් 2013 වසරේදී ප්‍රබල උපකල්පනයක් මතු කොට තිබේ. 

කොරෝනා වෛරසය විසින් ස්නායු පද්ධතියට සිදු කරන හාණිය මේ දක්වා කරන ලද පරියේෂණ වලින් තහවුරු වී තිබේ.  SARS වෛරසය ආශ්‍රිතව කරන ලද පරියේෂණ වලින්  SARS වෛරසය මොලයේ මොළ මුලය හෙවත් brainstem හි සෛල වලට හාණිකර බලපෑමක් ඇති  කරන බව පෙන්වා දී තිබේ. කොරෝනා වෛරස් රෝගය වැළඳීම නිසා මිනිසුන් බොහෝ විට මිය යන්නේ එම වෛරසය විසින් හුස්ම ගැනීම පාලනය කරන මොලයේ විවූහයන්ට හානි කිරීම මගිනි. මේ හැර කොරෝනා වෛරසය විසින් ශරීරයේ අනෙකුත් පද්ධතීන් ද විනාශ කර දමයි. මේ නිසා රෝගියෙකු ගේ මරණය සිදු වන්නේ බහුවිධ ශරීර පද්ධති ඇණ හිටීම නිසාය. 

කොරෝනා වෛරසය මස්තිෂ්කයට ඇතුළු වන්නේ බොහෝ විට ශ්වසන පද්ධතිය හරහාය. කොරෝනා රෝගීන් ගේ මස්තිෂ්ක ශ්‍රාවයන් හි කොරෝනා වෛරස් අණු දක්නට තිබේ. මෙතෙක් කරන ලද පරියේෂණ වලින් පෙනී ගොස් ඇත්තේ කොරෝනා වෛරසය ආඝ‍්‍රාණ ස්නායුව (olfactory nerve) මගින් මස්තිෂ්කයට ඇතුළු වීමේ ඉඩකඩ බෙහෙවින්ම වැඩි බවය. කොරෝනා වෛරසය විසින් මස්තිෂ්කය ආසාදනයට ලක් කරන අතර එමගින් රෝගියා තුල අසාමාන්‍ය චර්‍යාවන් මෙන්ම සිහියේ වෙනස්වීම් ද නිරීක්‍ෂණය කල හැකිය.

කොරෝනා වෛරසය නිසා රෝගීන් තුල  විශාදය ඇති වීම කථිකාවට ලක් කොට තිබේ. තවද වෛරස් ආසාදනයෙන් පසුවද විශාදය තව දුරටත් පැවතිය හැකි බව පරියේෂකයෝ පෙන්වා දෙති. ස්ටැන්ෆඩ් විශ්ව විද්‍යාලයේ මහාචාර්‍ය රොබට් සැපොල්ස්කි පවසන අන්දමට වෛරස් ආසාදනයන් නිසා මස්තිෂ්කය තුල විවූහාත්මක මෙන්ම කෘත්‍යත්මක වෙනස්කම් මතු විය හැක. 

එන්ටෙරො වෛරස් (Enterovirus) ආසාදනයන් නිසා විශාදය මතුවීම බොහෝ සායනික නිදර්ශන වලින් තහවුරු කරගෙන ඇත.  මේ නිසා කොරෝනා වෛරසය ආසාදනය නිසා මස්තිෂ්කයේ සිදු වන විවූහාත්මක මෙන්ම රසායණික වෙනස්කම් රෝගීන් තුල අසාමන්‍ය චර්‍යාවන් මෙන්ම විශාදය වැනි රෝගී තත්ව ඇති කල හැක. මේ නිසා කොරෝනා රෝගීන්ට කායික ප්‍රතිකාර ලබා දීමේදී ඔවුන් ගේ මානසික සෞඛ්‍යය කෙරෙහිද අවධානය යොමු කල යුතුය. කොරෝනා රෝගීන් ගේ කායික රෝගී තත්වයන් අඩුවී ගියද වෛරස් ආසාදන සුව වූවද ඔවුන් 100% සුවපත් වූ රෝගීන් ලෙස සැලකිය නොහැක. ඒ මන්ද යත් කොරෝනා වෛරසය විසින් මානසික සෞඛ්‍යය වෙත සිදු කරන හානිය දීර්ඝ නිසාය. මේ නිසා සුවපත් වූ කොරෝනා රෝගීන් ගේ මානසික සෞඛ්‍යය කෙරෙහි වෛද්‍යවරු අවධානය යොමු කිරීම අවශ්‍ය කරුණකි.

රුවන් එම් ජයතුංග   

( ලියුම්කරු වෘත්තියෙන් වෛද්‍යවරයෙකු වන අතර කැනඩාවේ යෝක් විශ්ව විද්‍යාලයේ මනෝ විද්‍යා උපාධිධාරියෙකි. එසේම වර්තමානයේ ඔස්ට්‍රියානු විශ්ව විද්‍යාලයක  මනෝ චිකිත්සනය පිළිබඳව ආචාර්‍ය උපාධිය හදාරන්නෙකි. තවද අන්තර්ජාතික  Posttraumatic Embitterment Disorder (PTED)  සම්මේලනයේ වෛඥානික කමිටු - International Scientific Committee සාමාජිකයෙකි )

Find Us On Facebook