Monday, April 20, 2020

මනෝ විශ්ලේශණය සහ ෆ්‍රොයිඩ්

මේ දින වල ෆ්‍රොයිඩ් පිලිබඳ Netflix හි කතා මාලාවක් බලමි. එහි බොහෝ අතිශයෝක්තියන් තිබේ.  

මනෝ විශ්ලේශණය (Psychoanalysis )පිලිබඳව මා ඉගෙන ගත්තේ නැගෙනෙහිර යුරෝපයේ මහාචාර්‍ය වේව්ස්කයා(1992) , එංගලන්තයේ බාන්ස්ලි විද්‍යාලයේ ස්ටීවන් හීත් මෙන්ම කැන්සාස් හි Colmery O'neil Veteran Hospital වෛද්‍ය මහසෙන් ද සිල්වා (වෛද්‍ය මහසෙන් මනෝ විශ්ලේශනය ඉගෙන ගත්තේ ෆ්‍රොයිඩ් ගේ සිසුවෙකු  වූ කාල් මැනිංග වෙතිනි) , මෙන්ම යෝක් විශ්ව විද්‍යාලයේ මහාචාර්‍ය ජිම් ඇල්කොක් හරහාය.  මේ වන විට මා සිංහලෙන් සහ ඉංග්‍රීසියෙන් මනෝ විශ්ලේශනය පිලිබඳව පොත් 4 පමණද පරියේෂණ පත්‍රිකා කීපයක්ද ලියා තිබේ.  එහෙත් මනෝ විශ්ලේශණය ඉතා ගැඹුරුය. එය අවබෝධ කර ගැනීමට තව වසර ගනනාවක් එය හැදෑරිය යුතුය.  

ෆ්‍රොයිඩ් ගේ බහුතරයක් රෝගීන් හිස්ටීරියා තත්වයන්, වඩාත් නූතන අර්ථකථනයෙන් කියන්නේ නම් විශාදය , කායික රූපී ආබාධ somatization  , සංවර්තන ආබාධ conversion disorders , ක්ලමථ ආබාධ stress disorders  , ක්‍ෂිතිමය ආබාධ වන පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාවය PTSD , අධි පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාවය C PTSD / DESNOS ,  Rape Trauma Syndrome වැනි තත්ව වලින් පෙළුණු රෝගීන් වූහ. ෆ්‍රොයිඩ් මෙම රෝගීන් ගේ රෝග මූලයන් පිලිබඳ ඉතා ආසන්නව නිවැරදි විස්තර ලබා දීම මානසික රෝග පිලිබඳව ඔහු තුල තිබූ ගැඹුරු දැණුම පෙන්නුම් කරයි. ෆ්‍රොයිඩ් වසර පනහකට පසුව උපත ලැබුවේ නම් මිනිස් මනස පිලිබඳ මීටත් වඩා ගැඹුරු විවරණයක් කරනු ඇත.  

උතුරු ඇමරිකාවේ සහ යුරෝපයේ  (විශේෂයෙන් ප්‍රංශයේ ) පුහුණු කෙරෙන මනෝ වෛද්‍යවරු සඳහා මනෝ විශ්ලේෂණය අනිවාර්‍ය විෂයක් වෙයි. මනෝ චිකිත්සනය සඳහා ඔවුන් ෆ්‍රොයිඩියානු මෙන්ම නියෝ ෆ්‍රොයිඩියානු මනෝ විශ්ලේෂණය හදාරති. ලංකාවේ මනෝ වෛද්‍යවරුන්ට මනෝ විශ්ලේෂණය පිලිබඳව ඇත්තේ මොන්ටිසෝරි දැණුමක් බව දීප්ති කුමාර ගුණරත්න පවසයි. නමුත් ඔහුගේ ප්‍රකාශය සියයට සියයක්ම නිවැරදි නොවන බව මගේ අදහසයි. මනෝ විශ්ලේෂණය ගැන ගැඹුරු දැණුමක් තිබූ මනෝ වෛද්‍ය  නීල් ප්‍රනාන්දු ,  මනෝ වෛද්‍ය දයා සෝමසුන්දරම් වැනි වියතුන් සමග මා අදහස් හුවමාරු කරගෙන තිබේ. එසේම මා විසින් ලියන ලද Between Literature and Psychology  මනෝ විශ්ලේෂණාත්මක කෘතියට ඔවුන් ගෙන් ද මනා අදහස් ලැබුණි.   එහෙත් මෑතකාලීනව ක්‍ෂේත්‍රයට එකතු වූ තරුණ මනෝ වෛද්‍යවරු තුල මනෝ විශ්ලේෂණය ගැන තිබෙන ඌණ දැණුම මගේ අවධානයට යොමුවී තිබේ. යන්තම් ෆ්‍රොයිඩ් ගේ අවිඥාණය ගැන සඳහන් අයිස් කන්ද සහ ඉඩ්, ඊගෝ , සුපර් ඊගෝ යනව වචන කට්ටලය ඇරුණු කොට මනෝ විශ්ලේෂණය පිලිබඳ ගැඹුරු දැණුමක් ඔවුන් බොහෝ දෙනෙකු සතුව නොමැත. එසේම මනෝ විශ්ලේෂණ ආකෘතියකින් කිසිම පරියේෂණ පත්‍රිකාවක්වත් මොවුන් එළි දක්වා නොමැත. මෙය ශ්‍රී ලංකා මනෝ වෛද්‍ය ක්‍ෂේත්‍රයේ තිබෙන බලවත් අඩුපාඩුවකි. මෙම අඩුපාඩුව මඟ හරවා සඳහා පියවර ගැනීම සුදුසු වේ.

වෛද්‍ය රුවන් එම් ජයතුංග 

1 comment:

  1. [මේ දින වල ෆ්‍රොයිඩ් පිලිබඳ Netflix හි කතා මාලාවක් බලමි. එහි බොහෝ අතිශයෝක්තියන් තිබේ.] මම මේක බලල ඉවර කළා, ෆ්‍රොයිඩ් ගැන එහි සත්‍ය තොරතුරු කිසිවක් තියෙනවාද ? මට නම් දැනුනේ ෆ්‍රොයිඩ් කියන නම දාපු ෆැන්ටසි කතාවක් වගේ ...

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook