Friday, November 21, 2014

The Prominent Sinhala Writer G. B. Senanayake





මහා ගත්කරු ජී. බී.සේනානායක විශාදයෙන් (Depression) පෙලුනේද?


වෛද්‍ය රුවන් එම් ජයතුංග​

ප්‍රතිභාපූර්ණ ලේඛකයෙකු ලෙස ජී. බී.සේනානායක දක්වන ලද කුසලතාව තවමත් ඇගයීමකට ලක් නොවී ඇතැයි මා සිතමි. ඔහුගේ මේධා, චාරුමුඛවැනි නවකථා ද සාහිත්‍ය විග්‍රහය, සාහිත්‍ය සේසත් වැනි ශාස්ත්‍රීය ග්‍රන්ථ ද දුප්පතුන් නැති ලෝකය, පළිගැනීම වැනි කෙටි කථා සංග්‍රහයන් ද පෙන්වා දෙනුයේ අග්‍ර ගණ්‍යයේ ලේඛකයෙකුගේ ප්‍රතිභාවන්ය. ජී. බී.සේනානායක පවසන පරිදි ඔහුගේ රචනා වලින් හෙලි කරන්නේ චිත්ත තත්වයන්ය.

ඔහුගේ කෘතීන් වල ගැඹුරු හරයක් අන්තර්ගතය. ඔහු පෙන්වා දෙන පරිදි ඔහුගේ විධිමත් අධ්‍යාපනය නිම වූයේ හත් වැනි ශ්‍රේණියෙනි. ඉන් පසු ස්ව උත්සාහයෙන්ම ඔහු උපන්නේය. විශාල ප්‍රමාණයක් කෘති කියවා තමාගේ දියුණුවේ නිම් වළලු පුළුල් කර ගත් ඔහු බුද්ධිමතෙකු ලෙස අවිවාදයෙන්ම පිළිගැනෙන්නෙකි.

ජී. බී.සේනානායකයන්ගේ කෘතීන් වල ඔහු විසින් අත් විඳි මෙලන්කෝලියාව (Melancholia) දක්නට තිබේ. මේ ස්වභාවය ඔහු තම නිර්මාණයන්ට ද මුසු කල බව පැවසිය හැක. මෙලෙස තම නිර්මාණයන් තුලට තමන්ගේ ආවේදනිකයන් මුසු කල ලේඛකයන්, කවීන් විශාල ප්‍රමාණයක් සිටිති. සුප්‍රකට ජර්මානු කවි ගතේ තමන් අත්විඳි මෙලන්කෝලියා තත්වය සිය නිර්මාණයන්ට මුසු කලේය. එසේම ටෝල්ස්ටෝයි, නිකොලායි ගොගොල්, ඩිකන්ස්, එඩිගා ඇලන් ෆෝ වැන්නවුන් තමන්ගේ සෘණාත්මක චිත්තාවේගීය ප්‍රතික්‍රියා නිර්මාණයන් හරහා පෙන්වා දෙන ලදී.

මහා ගත්කරු ජී. බී.සේනානායකගේ කෘතීන් විමර්ශනය කරන විට ඔහු සාමාන්‍ය මෙලන්කෝලියාවෙන් හෝ ඊටත් එපිට වර්ධනය වූ විශාදයකින් පෙලුනේද යන්න පිළිබඳ සැක පහළ වෙයි.

විශාදය වූ කලී මානසික රෝග අතරින් බහුලවම දැකිය හැකි රෝගී තත්වයකි. ඇතැමි විට විශාදය මානසික රෝග අතර සෙම්ප්‍රතිශ්‍යාවවශයෙන්ද හැඳින්වෙන්නේ එය එතරම්ම සුලභව දක්නට ලැබෙන නිසාය.

විශාදය හෙවත් (Depression) ඇති වීම සදහා ජානමය සාධක, ජීවත් වන පරිසරයේ බලපෑම, මුහුන දෙන ක්ලෙමථකාරී තත්වයන්, ප්‍රජානන හේතූන් යනාදී කරුණු ගනනාවක් පර්යේෂකයන් විසින් පෙන්වා දී ඇත. එම නිසා ජී. බී.සේනානායකයන් තුල තිබූ ආවේදනික තත්වය කුමන හේතුවක් නිසා හට ගත්තේද යන්න එක එල්ලයේම පැවසීම අපහසුය.

විශාදය නිරන්තරයෙන්ම මනෝ භාවයන් සමග බැදී පවතියි. විශාදයේ මධ්‍යගත ලක්ෂණය වනාහී මනෝ භාවයන්ගේ සහ චිත්තාවේගයන්ගේ අදුරුසහගත අවපාතයයි. බොහෝ විට මිනිසුන් අත් විදින විශාදය නිසා ඔවුන්ගේ ප්‍රජානනය හීන වීම, නිර්මාණශීලීතාව අඩාල වීම දක්නට ලැබෙතත් ඇතැම් පුද්ගලයන් තමන් පෙලෙන විශාදය නිර්මාණකරණය සඳහා උත්ප්‍රේරකයක් කර ගනිති. මේ සාධකය ජී. බී.සේනානායකගේ ස්වයං චරිතාපදානය, මම එදා සහ අද මෙන්ම ඔහුගේ අනෙකුත් කෘති ආශ්‍රයෙන්ද පැවසිය හැක. 

ගත්කරු ජී. බී.සේනානායක අතිශයින්ම සංවේදී පුද්ගලයෙකු විය. තම කෘති අරභයා කෙරුනු විචාරයන් බොහෝ විට ඔහු පෞද්ගලික පහර දීම් මට්ටමේ ලා සැලකීය. ඔහු වරෙක මෙලෙස පවසයි. “ලේඛකයන් බොහෝ කල් ජීවත් නොවිය යුතුය. ජීවත් වූවන්ගෙන් ඔවුනට වේදනා උපදවන අත්දැකීම් ලබන්නට සිදු වේ.” 

මේ හැර ඔහුට සතුරු වූ ලේඛක කල්ලි ජී. බී.සේනානායකට පහර දුන් බව නොරහසකි. මේ හේතුවෙන්ද ඔහු මානසිකව ඇද වැටුනි. මම එදා සහ අද කෘතියේ 60 වන පිටෙහි ඔහු මෙලෙස සඳහන් කරයි;

“මා සාහිත්‍යයෙන් දස්කම් පෑ තැනැත්තෙකු ලෙස මාගේ සාහිත්‍ය ජීවිතයේ මුල් කාලයේම ඊර්ෂියාකාර කල්ලිකාරයෝ මා නැති කරන්නට නොයෙකුත් උපක්‍රම යෙදූහ. මටත් මගෙන් ජීවත් වූ අම්මාටත් ඔවුහු කරදර ඇති කල නමුත් මා නැති කරන්නට අසමත් වූහ.”

ජී. බී.සේනානායක තුල ඇතැමි විට තමා පිළිබද හීන වූ චිත්‍රය සහ හීන වූ ආත්ම අභිමානය (Low self esteem) ආක්ෂෝහිත බව (Aggitation) ස්වයං අනුකම්පාව (Self pity) සහ ශුන්‍යවාදී අදහස් (Nihilistic ideas) දක්නට ලැබෙයි.

තමා මිනිසුන්ගේ සිත් නොගන්නා පෙනුමක් ඇති අයෙකු බව ඔහු තරයේ විශ්වාස කලේය. එක් ස්ථානයකදී ඔහු තමාව හැඳින්වනුයේ අගුටුමිටි පෙනුමකින් යුතු විරූපී පුද්ගලයෙකු ලෙසටය.

ස්වයං අනුකම්පාව නිසා ඔහු තමාගේ කෘති විවේචනය ඉදිරියේ අතිශයින්ම සැලුනේය. මා අන්ධව සහ කොරව සිටිය ද විචාරකයෝ මට පහර ගසති යන්න ඔහු ප්‍රකාශ කරන ලදී. එසේම ස්වයං හුදකලාභාවයකට (Alienation) ඔහු තමාව ලක් කොට සිටියේය. මම එදා සහ අද කෘතියේ 152 පිටුවේ ජී. බී.සේනානායක මෙසේ ලියයි. “මම ඔවුන්ගේ ආශ්‍රයෙන් ඈත්වීමි. මා පාරේ යන කල සිංහල ලේඛකයෙකු ඈත එනු දුටුවොත් පාරේ අනෙක් පැත්තට වී ගමන් කිරීමට මම පුරුදු වී සිටියෙමි.”

ස්වයං වරදකාරී ගැටලු ජී. බී.සේනානායක එලිපිට පවසයි. තමාගේ මව රෝගාතූර වූ අවස්ථාවේ ඈ මිය ගියේ නම් හොඳය යන අදහස නිසා ඔහු තුල පසුතැවිල්ලක් ඇති විය. එම සිතුවිල්ල ඔහු සම කරන්නේ ටෝල්ස්ටෝයිගේ යුද්ධය හා සාමය නවකථාවේ තම මහලු පියාවූ බල්කෝන්ස්කි කුමරු මිය ගියේ නම් යෙහෙකි යන හැගීම නිසා පශ්චාත්තාපයට පත්වූ මරියා බල්කෝන්ස්කියා කුමරියගේ හැඟීම් වලටය. 

ඔහු තමා හා ඇමරිකානු ලේඛක එඩ්ගා ඇලන් ෆෝ අතර සමානතාවයන් දකියි. එසේම ඔහු එඩ්ගා ඇලන් ගේ කෙටි කථා ශෛලිය අනුගමනය කල බව මාටින් වික්‍රමසිංහ පවසා ඇත. එඩ්ගා ඇලන් ෆෝ ද තමා අත්විඳි විශාදය නිසා කායිකව මෙන්ම මානසිකව පීඩා විඳි ලේඛකයෙකි. 

ජී. බී.සේනානායක කුඩා කාලයේ තමන්ට නිතරම ඇතිවූ හිසරදය සරස්වතී ආවේශයක් ලෙස හෝ තමන්ව ලියන්නට පොළඹවන බලවේගයක් ලෙසට සැලකීය. සත්‍ය වශයෙන්ම ඔහු මේ අත්විදින ලද්දේ මනෝ කායික (Psycho – Somatic) රෝගී තත්වයක් දැයි සැකයක් මතුවේ. ළමා කාලයේ අත්විදින මානසික පීඩනයන් බොහෝ විට මනෝ කායික රෝග ඇති කරන බව ළමා රෝග විශේෂඥයන් පෙන්වා දෙති. ආත්ම ඝාතනය හෝ ජීවිතාශාවෙන් තොර වීම බොහෝ විට විශාදය සමග බැඳී පවතියි. ජී. බී.සේනානායක තුල ද මෙවැනි ආත්මහරණයේ සේයාවල් දක්නට තිබුනි. එසේම ඔහුගේ පවුලේ සාමාජිකයන් දෙදෙනෙකු (පියා සහ වැඩිමල් සොහොයුරා) දිවි තොර කර ගත් බව ඔහු පවසයි. එසේම ජී. බී.සේනානායක ද ඇතැමි විට ජීවිතය කෙරෙහි උකටලී බවක් පෙන්වන ලදී. පහත දැක්වෙන්නේ ඔහු විසින් රචනා කරන ලද කවියකි. එහි කවියා තුල තිබූ මරනීය ආශයේ ( Death Instinct) සක්‍රීයතාව පෙනී යයි.

නයා 

නයෙකු නැගුනොත් මගේ ඇඳට
තුරුළු කර ගනිමි මම ඌ
සපන්න මිතුර මා
කරුණාවෙන්
යවන්න මා එහා ලෝකෙටයි කියා


මේ හැර ජී. බී.සේනානායකයන්ගේ ආත්ම ඝාතක සංකල්ප ඇතැමි විට ඔහුගේ කෘති වල එන චරිත හරහා ද නිරූපනය කරයි.

මනෝ විශේෂඥ ආරෝන් බෙක් විශාදය පිළිබදව තමාගේ ප්‍රජානන න්‍යාය මගින් ස්වයං අවතක්සේරුව, සෘණාත්මක දැක්ම මෙන්ම අර්ථකථනය සහ අනාගතය පිළිබදව අශුභවාදී දැක්ම හේතු වන බව පවසයි. ආරෝන් බෙක්ගේ පෙන්වා දීම් තුලින් සහ විශාදය පිළිබද බෙක්ගේ නිර්නායකයන්ට (Beck’s Scale)- අනුව මහා ගත් කරු ජී. බී.සේනානායක තුල විශාදයේ ලක්ෂන තිබූ බව කිව හැකිය. එසේම කෙලර් සහ ෂැෆීරෝ විසින් විශාදයට පත්වූ පුද්ගලයන් තුල මරනීය සාධකයන් ගොඩනැගීමේ ක්‍රියාවලිය පැහැදිලිවම පෙන්වා දෙන ලදී. මෙම පැහැදිලි කිරීම් අනුසාරයෙන් ජී. බී.සේනානායකයන්ගේ ජීවිතයේ අවසාන කාලයේ තිබූ මරනීය ආශයේ ප්‍රබලතාව පෙන්වා දිය හැක. එහෙත් ඔහු දිවි නසා ගැනීමට යොමු නොවීය.

අද්විතීය ගත්කරු ජී. බී.සේනානායක විශාදයෙන් පෙලුනේද යන්න තුළ සායනික මෙන්ම සාහිත්‍යමය වශයෙන්ද කාලීන බවක් තිබේ. ඒ මන්ද යත් ඔහුගේ නිර්මාණ තුළ මෙම විශාදයේ සේයාවන් ඇති නිසාවෙනි. එහෙත් එම නිසා ඔහුගේ නිර්මාණ වටිනාකමින් අඩු නොවේ. ඔහුගේ නිර්මාණ මිණි කැට වැනිය. එකී නිර්මාණ වල සාහිත්‍යමය මෙන්ම දාර්ශනික ගැඹුරක් තිබේ. චිත්ත තත්වයන් අරභයා ඔහු විසින් කරන ලද විවරණයන් සලකා බැලීමේදී ජී. බී.සේනානායක යනු ලාංකික දොස්තොයෙව්ස්කි ද යැයි සිතේ.

9 comments:

  1. මේ ලිපියට පිළිතුරක් ලියා තිබුණා ජයන්ත ආනන්දප්පා විසින්.

    ReplyDelete
    Replies
    1. http://boondionline.blogspot.com.au/2010/07/sookiri_30.html

      ජී.බී.දිසානායක සහ විශාදය| වෛද්‍ය රුවන් ජයතුංගගේ ලිපියට ප්‍රතිචාරයක් - [මැක්සිමස් ජයන්ත ආනන්දප්පා]

      වෛද්‍ය රුවන් ජයතුංග මහතා "මහා ගත්කරු ජී.බී. සේනානායක විශාදයෙන් (depression) පෙලුණේද?" යන හිසින් රචනා කළ ලිපිය දැක මේ සටහන ලියා එවීමට සිත්විණි. 1965 හා 1972 පමණ වකවානුව තුල කඳාන අප නිවසට නුදුරින් වාසය කළ ජී.බී. එවක මම නිතර නිතර සියැසින් දැක ඇත්තෙමි. එසේම 1971 දී කීපවාරයක්ම පෞද්ගලිකව හමු වී මම ජී.බී. සමඟ සාහිත්‍ය හා අදාල මාතෘකා පිළිබඳව කථා බස් ද කර ඇත්තෙමි. ජී.බී. පිළිබඳව, විශේෂයෙන්ම, ඔහුගේ මානසික තත්වය පිළිබඳව ජයතුංග මහතා ඉදිරිපත් කර ඇති අදහස් පිළිබඳව යමක් පැවසීම උචිතයයි සිතමි.

      ජයතුංග මහතාගේ ලිපියෙහි අන්තර්ගතය අංග දෙකකට බෙදා වෙන් කළ හැකිය. පළමුවැන්න, සාහිත්‍යධරයෙකු හැටියට ජී.බී. දැක්වූ නිර්මාණ කුසලතාව අදවනතුරු නිසි ඇගයීමකට ලක් වී නොමැති බවය. මෙය සාධාරණ සහේතුක ප්‍රකාශයක් ලෙස මටද පෙනේ.

      මෙයට හේතුව ජී.බී. පේරාදෙණිය ගුරුකුලයට අයිති නොවීමත්, කිසිවිටක ඒ ගුරුකුලයට ගැති නොවූ අදීන ලේඛකයෙකු හා විචාරකයෙකු වීමත් විය හැකිය. නූතන සිංහල නවකතාවේ ප්‍රමිතිය හා විශේෂයෙන්ම අද නවකථා බසෙහි පරිහාණියද පිළිබඳව මේ දිනවල මහත් කැක්කුමකින් කථා කරන සුචරිත ගම්ලත් වැනි වියතුන් පවා ජී.බී. සේනානායක පිළිබඳව බොහෝ විට මුනිවත රකින්නේද මෙම කුහක වතේම කොටසක් නිසාද? මගේ ලිපියේ මුඛ්‍ය අරමුණ මේ පිළිබඳව දිගින් දිගට කතා කිරීම නොවේ.

      රචකයාගේ ලිපියේ මගේ සැලකිල්ලට භාජනය වූ අනෙක් අංගය නම්, ජී.බී. විශාදයෙන් පෙලුණේද යන මතය ස්ථාපනය කරනු අටියෙන් ඔහු ඉදිරිපත් කර ඇති තර්ක ය, සාධක ය. පදනමක් ඇත්තාක් සේ බැලූ බැල්මට පෙණුනද මේවා රචකයාගේ හුදු පෞද්ගලික පරිකල්පනයන් පමණි. තර්කානුකූල ලෙස පෙනුණද ඒවා තර්කානුකූල නොවේ. පිළිගත හැකි ප්‍රබල හෝ ඍජු සාක‍ෂි එකකුදු රචකයා ඉදිරිපත් කර නැත. ජී. බි. ජීවතුන් අතර සිටින විට ජයතුංග මහතා ජී.බී. ව විධිමත් සායන පරීක‍ෂණයකට ලක් කර ඇති බවක් හෝ ජී.බී. පෞද්ගලිකව දැක කථා බස් කර ඇති බවක් ද සඳහන් නොවේ. ඔහුගේ ප්‍රයත්නයේ පදනම වී ඇත්තේ ජී.බී. ගේ ඇතැම් නිර්මාණ වලින් සිය මනාපයට සරිලන එහෙන් මෙහෙන් අහුලා ගත් ඇතැම් දේ, කරුණු නැත්නම් සාක‍ෂි ලෙස සලකා, ඒවා විශාදයේ ලක‍ෂණ ලෙස වෛද්‍ය විද්‍යාවේ පිළිගත් ඇතැම් ලක‍ෂණ හා එකට ඈඳා ජී.බී. විශාදයෙන් පෙලුනේද යන සිය කුකුස සනාථ කිරීමය. මෙය නොසැලකිලිමත්, අපරිණත සාහසික ප්‍රයත්නයකි. ඔහුගේ ලිපියෙහි අන්තර්ගතය ප්‍රාණය යන තුරු ජී.බී. ආදරයෙන් බලා කියා ගත් තවමත් ජීවතුන් අතර ඔහුගේ ඥාතීන්ට දුකක් ගෙනදිය හැකිය.

      Delete
    2. රචකයා සිය මතය ස්ථාපනය කරනු අටියෙන් ජී.බී.ගේ චරිතාංගයන්ගේ වට්ටෝරුවකින් සිය ලිපිය සරසා ඇත. මේවා නම් -

      • ජී.බී. මෙලන්කොලියාවෙන් (Melancholia) පෙලුනෙකි.
      • ඔහු සමාන්‍ය මෙලන්කොලියාවෙන් එපිට වර්ධනය වූ විශාදයෙන් පෙලුනේද විය හැකිය.
      • ජී.බී. තමා පිළිබඳ හීනවූ චිත්‍රයකින් හා හීනවූ අභිමානයෙන් (Low self esteem)පෙලුනෙකි.
      • ආක්ෂොභිත භාවය (Agitation), ස්වයං අනුකම්පාව(Self Pity)", ශුන්‍යවාදී අදහස්, තමා විරූපී පුද්ගලයෙකු යැයි සිතීම ඔහුගේ චරිත ලක‍ෂණයන්ය.
      • ජී.බී. ස්වයං හුදකලාභාවයකට(Agitation) තමාව ලක්කොට සිටි අතර ඔහු ස්වයං වරදකාරී ගැටඟවෙන් පෙලුනෙකි.
      • කුඩාකල සිට නිතර හැදුණු හිසරදය මනෝකායික රෝගී ලක‍ෂණයක් විය හැකිය.
      • ආත්ම ඝාතනය හා ජීවිතාශාවෙන් තොරවීම යන ප්‍රවණාතවල සේයාවන් ජී.බී. තුල තිබිණි.
      • ආත්ම ඝාතන සංකල්පය ඔහුගේ කවි හා නිර්මාණවල දැකිය හැකිය. (උදා: නයා)
      • ජී.බී. ගේ හා වැඩිමල් සොහොයුරා ජීවිතය තොර කරගත්තේය.
      • ආරොන් බෙක්ගේ න්‍යාය පරිදි ජී.බී.ට විශාදයේ ලක‍ෂණ තිබිණි.
      • විශාදයෙන් පෙලුණු අය අඳුරු අවපාතයකට එළඹෙන නමුදු (ජී.බී. වැනි) ඇතැම් අය විශාදය නිර්මාණය සඳහා උත්ප්‍රේරකයක් කර ගනිති. (මෙය ජයතුංග මහතාගේ න්‍යායක් සේ පෙනේ.)

      කිසියම් රචකයෙකුගේ කතාවලින් දුක්මුසු, ශෝකාකූල බව පිළිබිඹු වූ පමණින් සැබෑ ජීවිතයේ දී ඔහු බෙලන්කොලියාව යන මානසික රෝගයෙන් පෙලුණේයයි සැක කිරීම කිසිසේත් බුද්ධිගෝචර නොවේ. මන්දයත් නිර්මාණශීලී සාහිත්‍යකරුවා සෑමවිටකම සිය පෞද්ගලික අත්දැකීම් සමූහයෙන් ඔබ්බට ගොස් තම නිර්මාණයට උවමනා කරන අමුද්‍රව්‍ය සිය ප්‍රතිභා ශක්තිය උපයෝගී කොටගෙන ප්‍රතිනිර්මාණය කරන හෙයිනි. මෙසේ ප්‍රතිනිර්මාණ කරන දෑ අතර චරිත චෛතසික ස්වභාව, තේමා වැනි නවකථාංග නිර්මාණාත්මක අවශ්‍යතා පාදක කොට මිස ගත්කරුවාගේ මනාප, අමනාපකම් රුචි අරුචිකම්, හෝ පෞද්ගලික චරිත ලක‍ෂණ මත පිහිටා නොවේ.

      මේ කරුණු සලකා බලන විට මුද්‍රණ ද්වාරයෙන් පිටවූ සාහිත්‍ය නිර්මාණයක දක්නට ලැබෙන යම් යම් සාහිත්‍ය ලක‍ෂණ හා රස් කේවලව විශ්ලේෂණය කර, එමගින් සාහිත්‍යකරුවාගේ චරිත ස්වභාවය චරිතාංග හා මානසික සෞඛ්‍ය පිළිබඳව නිගමනය කිරීම ඵලදායි නොවේ.

      ටෝල්ස්ටෝයි, ඩස්ටවිස්කි, මර්ගනිජ්, ඩිකන්සි හා චැකොප් වැනි කථාකරුවන්ගේ ජීවිත කථා හා ඇතැම් චරිතාංග අපි හොඳාකාරව දනිමු. එයට හේතුව ජීවතුන් අතර සිටින විට ඔවුන් පිළිබඳව බොහෝ දේ ලියැවී ඇති නිසාය. මොවුන්ගේ නිර්මාණ තුළින් පමණක් ඔවුන්ගේ පෞද්ගලික චරිත ලක‍ෂණ සොයා බලන්නෙකුට සිදුවන්නේ නිකම්ම වෙහෙසීමට පත්වීම පමණි. යුද්ධය හා සාමය හා ඇනා කැරණිනා වැනි නවකථාවල එන පියර් බෙසුහොෆ් හා ලෙවින් වැනි චරිත තුලින් ටෝල්ස්ටෝයි කෙබඳු පුද්ගලයෙකු වී දැයි සොයනවාට වඩා, මැක්සිම් ගෝර්කි විසින් ටෝල්ස්ටෝයි චරිතය පිළිබඳ ලියා ඇති සටහන් හැදෑරීම ඵලදායී බව කිව යුතුය. ෂේක්ස්පියර් පෞද්ගලිකව කෙබඳු පුද්ගලයෙකුදැයි ඔහුගේ කෘතී් ඇසුරින් සෙවීමට තැත් කරනා මෝඩයෙකි; විරාගය ඇසුරින් වික්‍රමසිංහ චරිත ලක‍ෂණ නිශ්චය කළ හැකිද ?

      නවකථා අධ්‍යයනය කිරීමෙන් බොහෝවිට අපට හසුවන්නේ කථාකරුවාගේ මති මතාන්තර හා අදහස් මිස ඔහුගේ පෞද්ගලික චරිත ලක‍ෂණ නොවේ. ස්වයං චරිතාපදාන සටහන් තුලින් රචකයෙකුගේ චරිතාංග පිළිබඳ දළ අදහසක් ලබා ගත හැකි වුවද, එමගින් රචකයා විශාදය වැනි මානසික රෝගයකින් පෙලුනේය වැනි දැවැන්ත තීරණයකට එළඹීම යෝග්‍ය නොවන බව මගේ හැඟීමය. කිසියම් රචකයෙකු විශාදයෙන් පෙලුනේද යන්න සායන වශයෙන් වෛද්‍ය පරීක‍ෂණයකින් තීරණය කළ හැකි නම්, විශාදය ඔහුගේ නිර්මාණවලට කෙසේ බලපා ඇත්දැයි සෙවීම වෙනම කාරණයකි.

      ජී. බී. ගේ නවකථාවල හා කෙටි කථාවල විශේෂයෙන් පසුකාලීන නිර්මාණවල ශෝකාකූල අසුබවාදී හෙවනැල්ල පතිත වී ඇති බව සැබෑය. ඔහුගේ ඇතැම් සුරංගනා කථාවල පවා මේ ඡායාව දැකිය හැකිය. ඔහුගේ සුරංගනා කථාවල ඉමහත් චමත්කාර ජනක අංගයද මෙය වේ. මෙය සමාජයේ ස්වභාවයත්, මිනිස් සිතේ ස්වභාවයත් කියා පෑමට ජී. බී. ගත් නිර්මාණාත්මක උත්සහයේ සාර්ථක ඵලය මිස මෙලන් කොලියාවෙන් හො විශාදයෙන් නිර්මාණයට පිවිසි දෙයක් හැටියට පෙන්වීම අතිශයින් සදොස්ය, එය ජී. බී. ගේ අනූපම කලා කෞෂල්‍යට කළ හැකි ලොකුම නිග්‍රහයද වේ.

      Delete
    3. ජී. බී. උපත ලද්දේ 1913 දීය. ඔහුගේ -දුප්පතුන් නැති ලෝකය'' පළ වූයේ 1944 දී පමණය. - පළිගැනීම'' කෙටි කථා සංග්‍රහය මුද්‍රණ ද්වාරයෙන් පිටවූයේ 1947දීය. මේ ග්‍රන්ථ දෙකට ඇතුලත් වූ සියඟම කථා වයස අවුරුදු 30 හා 34 අතර පබැඳුණු ඒවා ලෙස සැලකීම සාධාරණය. ජී.බී. නවකථා කරණයට එළඹියේ ඉන් දශක දෙකකට පමණ පසුව, හැටගණන්වල මැද භාගයේ දීය. අන්ධ වූ පසුද ජී.බී. සිය සොහොයුරාගේ බිරිය හා ඇගේ දියණියගේ ද උපකාර ඇතිව නවකථා පොත් විශාල සංඛ්‍යාවක් බිහිකළේය. සංඛ්‍යාත්මකව මෙය 15ක් පමණ වී යයි සිතමි. මේවා නිර්මාණය වූයේ කියවන විට ලිවීම හෙවත් ඩික්ටේෂන් ක්‍රමයටය. ජී.බී. අප අතරින් වෙන් වී ගියේ 1985 දීය. ඔහු පූර්ණ අන්ධභාවයට පිවිසියේ අසූව දශකයේ මුල් භාගයේදීය.

      ජී.බී. ඉතා සංවේදී පුද්ගලයෙකු වූ අතර ඔහුගේ පෙනුම අප ලස්සන යයි පිලිගත් සම්මතයට ප්‍රතිවිරුද්ධ වීය. අසාධාරණ විචාරයන්ගෙන් ඔහු සැලුණේ ඉන් තම පොත්වල අලෙවිය අඩුවීය යන භීතිය නිසා මිස ආත්ම අනුකම්පාව නිසා නොවේ.

      ඔහුගේ එකම ආදායම් මාර්ගය වූයේ පොත්වලින් ලැබුණු සුඟ මුදලය. එකල රක‍ෂාව සඳහා පොත් ලියවීම කළ එකම රචකයා ජී.බී. යයි මම සිතමි. (මාටින් වික්‍රමසිංහ පවා එවක සිත්මිණ පුවත් පතේ කතෘවරයා වීය.) පොත් ලියා ලැබුණු සුඟ මුදල, ජී.බී. ට පමණක් නොව, එකල ආර්ථීක අහේනියට ලක්වී සිටි, ජී.බී. නැවතී සිටි සිය වැඩිමහල් සොහොයුරා හා ඔහුගේ පවුලේ උදවියේ නඩත්තුවට ද මහා අත්වැලක් වීය. මෑතකදී මිය ගිය ධීමතී සේනානායක පිළිබඳව 2010. 06. 13 ඉරිදා ලක්බිම සංග්‍රහයේ පළවූ ලිපියද ජී.බී. ගැන උනන්දුවක් දක්වන සහෘදයන් විසින් කියවිය යුක්තකියී සිතමි. ජී.බී. ගේ ඇතැම් කථා හැම අතකින් කපා ඔපමට්ටම් කළ දීප්තිමත් මිණිකැට වැන්න.

      පලිගැනීම'' කෙටි සංග්‍රහයට ඇතුලත් වූ "බිසෝ මැණිකා'' එක් උදාහරණයක් පමණි. මෙවැනි කථා පසු කාලයකදී රචනා කළ "ගමන'' යන කෙටි කථා සංග්‍රහයට ද ඇතුලත් වූ බව මතකය. "බිසෝ මැණිකා'' වූ කලී මහා ශ්‍රේෂ්ඨ නවකථාවක, ශ්‍රේෂඨ සම්පිණ්ඩණයක් වැන්න. විශාදයෙන් පෙලෙන අයකු විසින් මෙවැනි මිණිකැට වන් නිර්මාණ බිහිකළ හැක්කේ කෙලෙසද ? පූර්ණ අන්ධභාවයට පත් වූ පසු, තමා පත්ව ඇති අසරණභාවය හේතුකොටගෙන, විශාදය වැනි මානසික රෝගයකින් පෙලීමට ඉඩකඩ තිබිණියි අනුමාන කළ හැකි වූවද, වයස 67 දී වැනි පරිණත මුහුකුරා ගිය වයසකදී මෙවැනි අවාසනාවන්ත තත්වයක් අත්විණි නම්, වෛද්‍ය ප්‍රතිකාරවල පිහිට නොමැතිව, අවුරුදු හතරක පමණ කාලය තුල නිර්මාණ කෘතීන් 15ක් වැනි සංඛ්‍යාවක් ඔහු අතින් නිර්මාණය වන්නේ නැත.

      ජයතුංග මහතාගේ ලිපියේ හිඩැස්, පලුදු, සදොස් තැන් බෙහෝය. මේවා එකිනෙක විශ්ලේෂණය කිරීමට මා අදහස් නොකළ ද, ජී.බී. විශාදයෙන් පෙලුනේද යන විෂබීජය වැපිරීමට ඉහත වෛද්‍යවරයෙකු වන ඒ මහතා මීට වඩා පරිස්සම් විය යුතුයයි සිතමි. ජී.බී. විශාදයෙන් පෙලුනේ යයි වෛද්‍යවරයෙකු හැටියට ඔහු සැකකරන්නේ නම්, ඔහු විසින් කළ යුතුව ඇත්තේ ජී.බී. ගේ සැබෑ චරිතය හා චරිත ලක‍ෂණ සොයා බැලීමය. ජී.බී. ගතකළේ හුදකලා ජීවිතයක් නිසා, ඔහුගේ චරිත ලක‍ෂණ ගැන නිශ්චය වශයෙන් දැන ගත හැකි එකම ක්‍රමය නම්, ජී.බී. බලා කියා ගත්, තවමත් ජීවතුන් අතර සිටින ඔහුගේ සොහොයුරාගේ දියණියන් දෙදෙනාද, ජී.බී. ගෙන් බොහෝ කාලයක් පාඩම් ඉගෙන ගත් අය්යාගේ කණිටු පුත් පාලිත වැනි අය හමු වී කථා බස් කිරීමය. එයද ඵලදායී විය හැකිද ?

      Delete
    4. ජී.බී. කෙටි කථා රචකයෙකු වශයෙන් ප්‍රසිද්ධ වීමට ඉහත, මාටින් වික්‍රමසිංහ සමඟ ''දිනමිණ'' පුවත් පතේ සේවය කළ බව බොහෝ අය නොදනිති. මතු දැක්වනුයේ ප්‍රථම හමුවීමේදී මාටින් ජී.බී. දුටු ආකාරයයි. ''ඔහු වහා කම්පනය වන ස්නායු (නාඩි) ඇත්තෙකියි මම සිතුවෙමි. එහෙත් ඔහු දැඩි සිත් ඇත්තෙකියි ඔහුගේ දෙ ඇස දෙස බැලූ මට හැඟිණි.'' (උපන් දා සිට - 363 පිටුව)

      ජී.බී. තරමක කාලයක් කිට්ටුවෙන් ඇසුරු කළ පසු වික්‍රමසිංහ ජී.බී. දුටුවේ මතු දැක්වෙන අයුරෙනි. -ඔහු නොනැමෙන සිතක් හා ගතියද ඇත්තෙකි. මෙය බුද්ධිමතෙකුට මිස නවකථා කාරයෙකුට හැම විට උචිත ගතියක් නොවේ. -එම - 364 පිටුව)

      මාටින් වික්‍රමසිංහ එදා ජී.බී. දුටු අයුරු මෙම සාකච්ඡාවටම අදාල නොවේ යයි යමෙකුට තර්ක කළ හැකිය. මන්ද යත් කාලයාගේ ඇවෑමෙන් වයසින් මුහුකුරා යන විට පුද්ගලයෙකු වෙනස් වීම නොවැළැක්විය හැකි කි්‍රයාදාමයක් නිසාය. හැට ගණන් වල මා දුටු ජී.බී. ඉතා නිහඟ, වැඩි කථා බහට 36 වන පිටෙන් කීස්බරෝ විහාරස්ථානයේ ධම්මසරණ ධර්ම ශාලාව විවෘත කිරීමේ මහෝත්සවය නොකැමති, මහමඟ යනවිට හිස උසවා කිසිවකු දෙස නොබලන තරම් නිශ්ශබ්ද පුද්ගලයෙකු වීය. ඉඳහිට කොළඹ යන විට ඔහු යල්පැන ගිය පැරණි තනි සුදු සූට් එකක් ද,පරණ ටයි පටියක් ද, පැළඳි බව මට මතකය. ගෙවත්තේ කොනක පිහිටි නාන ලිඳ වෙත ඔහු පියවර මැන්නේද ඉතා සෙමින් බිම බලා ගෙනය.

      සමාජයේ මිනිසුන් හැසිරෙන ආකාරයවත්, ගෙවත්තේ ලමුන් සෙල්ලම් කරන ආකාරයවත් දැකීම ඔහුට ප්‍රිය නොවූවා සේය. සමාජ ආශ්‍රයෙන් මෙතරම් ඈත් වූ අයකු, මිනිසුන්ගේ අභ්‍යන්තරය විනිවිද දුටුවේ කෙසේදැයි, ජී.බී. ගේ සෑම නිර්මාණයක්ම කියවන විට මම තවමත් මවිතයට පත්වන්නෙමි.

      අය්යාගේ ගෙදර කන්තෝරු කාමරය ජී.බී. ගේ නිවහන වීය. ඔහුගේ කාමරයේ ජනෙල් පියන් ඇර තිබෙනු මම කිසිවිටක දැක නැත්තෙමි. තම කාමරයෙන් පිටත සිද්ධ වනුයේ කුමක්දැයි ඔහුට දැන ගැනීමට අවශ්‍යතාවයක් නැත්තාක් සේය. ඔහුගේ කාමරය විශාල පොත්ගුලක් වීය. ඇඳක් ද, ලියන මේසයක් ද, පුටුවක් ද එහි තිබිණි. සිගරට් කොටවලද අඩුවක් නොතිබිණි. ජී.බී. සිය කාමරයෙන් පිටතට ආවේ ඉතා කලාතුරකිනි. කියවීමත්, ලිවීමත් හැර ඔහු අන් කිසි කාර්යයක් කළ බවක් පෙනෙන්නට නොතිබිණි.

      ජී.බී. සැබැවින්ම හුදකලා ජීවිතයකට ඇබ්බැහි වූයේ ලිවීමට වඩා කියවීමේ පුරුද්ද නිසායයි මම සිතමි. තරුණ වියේදී තම කියවීමේ පුරුද්ද නිසා තම මවට බඩගින්නේ පවා ඉඳීමට සිදු වූ බව ඔහු සංවේගයෙන් සඳහන් කර ඇත.

      දෙනුවන් නිවී යනතුරු ජී.බී. විසින් සිදුකරන ලද්දේ ප්‍රබන්ධ කථා, කවි, විචාර වැනි සාහිත්‍ය නිර්මාණ සිය පෑන් තුඩින් බිහිකිරීම හා ශාස්ත්‍ර ඥානය ප්‍රගුණ කරනු වස් කියවීම නැමැති මෙහෙවරෙහි යෙදීමය. දෙනුවන් නිවී ගි පසුත්, ප්‍රාණය සැඟවී යනතුරු ඔහු අතින් සිද්ධ වූයේ සාහිත්‍ය නිර්මාණ තව තවත් වැඩි වැඩියෙන් බිහි කිරීමය. මෙවැනි උදාර සාහිත්‍ය සේවාවක් නොඛණ්ඩව කළ අයකු, විශාදයෙන් පෙලුනේදැයි පදනම් විරහිතව සැක කිරීම අසාධාරණ නොවේද?

      සන්නස 2010 ජූලි කලාපයෙන් ගත් උපුටනයකි.

      මැක්සිමස් ජයන්ත ආනන්දප්පා

      Delete
  2. රසිකොලොජිස්ට් මැක්සිමස් ජයන්ත ආනන්දප්පාගේ ලිපියට අංගොඩ මානසික රෝහලේ හිටපු රෙජිස්ටාර් වෛද්‍ය උප විශේෂඥයෙකු පිලිතුරු දෙනු ලැබවා. එම ලිපියේ මූලික කොටස් මෙසේයි.

    වෛද්‍ය රුවන් එම් ජයතුංග ගේ සහ මැක්සිමස් ජයන්ත ආනන්දප්පාගේ ලිපි දෙකම මගේ විවේචනයට හසුවනවා. මුලින්ම මගේ විවේචනයට ලක් වන්නේ මෙම ලිපියේ කතෘ වෛද්‍ය රුවන් ජයතුංග. මම කියන්නේ වෛද්‍ය රුවන් ජයතුංග විෂාදය ගැන පාඨකයා දැනුවත් කරන්නේ නැහැ . ඔහු කෙලින්ම ජී.බී.සේනානායක ගැන කතා කරනවා. එම නිසා විෂාදය ගැන නොදන්නා පාඨකයා අතරමන් වෙනවා. ඔහු තමාගේ ලිපියෙන් විෂාදය ගැන තව සරල පැහැදිලි කිරීමක් කළා නම් වඩා හොඳයි. වෛද්‍ය රුවන් ජයතුංග සහ වෛද්‍ය නීල් ප්‍රනාන්දු පොතක් ලියලා තියනවා විෂාදය ගැන. විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය පල කරපු මේ පොත විෂාදය ගැන හොඳ පැහැදිලි කිරීමක් තියනවා. නමුත් එවැනි පැහැදිලි කිරීමක් මෙම ලිපියෙන් මුලින්ම කළා නම් වටිනවා. ඒක අඩුව නිසා ලේමන්ලා මෙම ලිපිය තේරුම් ගන්නේ වැරදි විදියට.

    මගේ දෙවන විවේචනයට ලක් වන්නේ මැක්සිමස් ජයන්ත ආනන්දප්පා මගේ වැටහීමේ හැටියට මැක්සිමස් ජයන්ත ආනන්දප්පාට විෂාදය කියන්නේ මොකක්ද එය ඩයග්නෝස් කරන්නේ කොහොමද කියා අවබෝදයක් නැති කම නිසා ඔහු තමාගේම ලිපිය මැද අතරමන් වෙනවා. ඔහු ලේමන් කෙනෙකු නිසා ඔහුගේ අනවබෝදය මට තේරුම් ගත හැකියි. මැක්සිමස් ජයන්ත ආනන්දප්පා කියනවා මෙහෙම.
    ජී.බී.සේනානායක ජීවතුන් අතර සිටින විට ජයතුංග මහතා ජී.බී. ව විධිමත් සායන පරීක‍ෂණයකට ලක් කර ඇති බවක් හෝ ජී.බී. පෞද්ගලිකව දැක කථා බස් කර ඇති බවක් ද සඳහන් නොවේ. මේ තර්කය ඉතාම ලාමකයි. මම ලඟදි පොතක් කියවුවා වින්සන්ට් වැන්ගෝ ගැන , වැන්ගෝ ගේ චිත්‍ර විශ්ලේෂණයෙන් වින්සන්ට් වැන්ගෝ විෂාදයෙන් පෙළුණු බව 2006 වසරේ ඇමරිකානු මනෝ වෛද්‍යවරයෙක් කියනවා. විෂාද ප්‍රතික්‍රියාවන් ලේඛකයන්ගේ නිර්මාණ , චිත්‍ර ශිල්පීන්ගේ චිත්‍ර ආශ්‍රයෙන් මනෝ විශ්ලේෂනාත්මකව කියන්න පුළුවන්. එය 100% විද්‍යාත්මක නොවෙන්න පුළුවන්, නමුත් එය ඉතා තර්කානුකූල උපකල්පනයක්. මේ ආකාරයට මහා ඇලෙක්සැන්ඩර් ගැන පවා විශ්ලේෂණ තියන බව ආනන්දප්පා මහත්තය දන්නවාද ?

    මැක්සිමස් ජයන්ත ආනන්දප්පා තව කියනවා - විශාදයෙන් පෙලුණු අය අඳුරු අවපාතයකට එළඹෙන නමුදු (ජී.බී. වැනි) ඇතැම් අය විශාදය නිර්මාණය සඳහා උත්ප්‍රේරකයක් කර ගනිති. (මෙය ජයතුංග මහතාගේ න්‍යායක් සේ පෙනේ.) මට කියන්න තියෙන්නේ ටෝල්ස්ටෝයි , අර්නෙස්ට් හෙමින්වේ , ඔලිවර් ගෝල්ඩ්ස්මිත් , චාර්ල්ස් ලැම්බ් වැනි ලේඛකයන් ඔවුන් අත්වින්ද විෂාදය තමන්ගේ නිර්මාණය සඳහා උත්ප්‍රේරකයක් කර ගත්තා කියලා . මෙය මෙය ජයතුංග මහතාගේ න්‍යායක් නොවේ. The LIFE and times of Oliver Goldsmith, By John Forster පොත කියවන්න එතකොට ඔබට මම කියන කාරණය තේරෙයි.

    ආනන්දප්පා කියන අනෙක් කරුණ වන - වෛද්‍ය ප්‍රතිකාරවල පිහිට නොමැතිව, අවුරුදු හතරක පමණ කාලය තුල නිර්මාණ කෘතීන් 15ක් වැනි සංඛ්‍යාවක් ජී.බී.සේනානායක අතින් නිර්මාණය වන්නේ නැත යන කතාවත් ඉතා ලාමකයි. සාමාන්‍ය සායනික විෂාදයෙන් පෙලන බොහෝ දෙනෙක් ගේ ඉන්ටර්ලෙක්චුවල් ඇබිලිටීස් විනාශ වන්නේ නැත Psychotic DEPRESSION තිබුණු අය ඇර සාමාන්‍ය සායනික විෂාදය තිබු ලේඛකයන් ඉතා විශිෂ්ඨ නිර්මාණ බිහි කරලා තියනවා.

    ජී.බී.සේනානායක ගැන වෛද්‍ය රුවන් එම් ජයතුංග මහතාගේ ලිපිය හොඳ එකක් , නමුත් මනෝ විද්‍යාව ගැන දැනුම අඩු අයට එම ලිපිය කියවනකොට තෙරෙන්නේ ජී.බී. ගැන කරපු විවේචනයක් හැටියට. මොකද විෂාදය ගැන Beck\'s DEPRESSION Inventory එක ගැන දන්නා පාඨකයා දන්නවා වෛද්‍ය රුවන් එම් ජයතුංග මොකක්ද කියන්න උත්සහ කරන්නේ . එවැනි දැනුමක් නැති ජී.බී.සේනානායක ගේ පාඨකයා කුපිත වෙනවා මෙවැනි උදාර සාහිත්‍ය සේවාවක් නොඛණ්ඩව කළ අයකු, විශාදයෙන් පෙලුනේදැයි පදනම් විරහිතව සැක කිරීම අසාධාරණ නොවේද? කියලා නමුත් ලිපිය අවසානයේ ඔහු මෙහෙම කියනවා නේද ?

    අද්විතීය ගත්කරු ජී. බී.සේනානායක විශාදයෙන් පෙලුනේද යන්න තුළ සායනික මෙන්ම සාහිත්‍යමය වශයෙන්ද කාලීන බවක් තිබේ. ඒ මන්ද යත් ඔහුගේ නිර්මාණ තුළ මෙම විශාදයේ සේයාවන් ඇති නිසාවෙනි. එහෙත් එම නිසා ඔහුගේ නිර්මාණ වටිනාකමින් අඩු නොවේ. ඔහුගේ නිර්මාණ මිණි කැට වැනිය. එකී නිර්මාණ වල සාහිත්‍යමය මෙන්ම දාර්ශනික ගැඹුරක් තිබේ. චිත්ත තත්වයන් අරභයා ඔහු විසින් කරන ලද විවරණයන් සලකා බැලීමේදී ජී. බී.සේනානායක යනු ලාංකික දොස්තොයෙව්ස්කි ද යැයි සිතේ. RMJ

    ReplyDelete
  3. හොඳ සංවාදයක් ඇතිවීම ගැන සතුටුයි. ඇත්තෙන්ම මෙවැනි මාතෘකා ඔස්සේ බොහෝදුරට සංවාදයක් පවත්වාගත හැකියි.

    ජී.බී.සේනානායකගේ නිර්මාණවල වෙනත් කිසිදු ලේඛකයකුගේ නැති අමුතු ගුප්ත බවක් මෙන්ම ජීවිතයේ අඳුරු පැති අවදි කරන බවක් මා දැක තිබෙනවා. ඔහුගේ අවසන් කාලයේදී කරන ලද පුවත්පත් සාකච්ඡා වලදී ඔහු දක්වා ඇති අදහස්ද අපතුළ ඇති කරන්නේ සංකීර්ණ හැඟීම්.

    මට මතක්වෙනවා ඔහුගේ 'වරදත්ත' නවකතාව. එහි ඇතැම් අවස්ථා නිරූපණයන් වෙනත් ලේඛකයකුගේ කෘතිවල දකින්නට නොලැබෙන තරම් මිනිස් චිත්ත සන්තානයේ සැඟවී ඇති දුෂ්ඨ පාපකාරී සිතුවිලි පවා විග්‍රහ කරනවා.

    වෛද්‍ය විද්‍යාත්මක කරුණු ගැන නම් මා කියන්න දන්නේ නැහැ.

    ReplyDelete
  4. ලිපිය තුලින් මතුකල අදහස් මෙලෙස සංවාදයකට ලක්කිරීම ඉතා අගෙයි. අදහස් ලෙස මේ ලිපි දෙක පලකල රසිකටත්, ඇනෝටත් ස්තූතියි!!

    ReplyDelete
  5. අද මැතිවරණ දිනය නිසා ජී බී පිලිබඳ ලිපිය කියවූවා . හරිම වැදගත් සංවාදයක් , මානසික ව්‍යාධි පිළිබඳව රුවන් ජයතුන්ගයන්ගේ දැනුම ට මා අභියෝග කරන්නේ නෑ මන්ද ඔහු වෙදදුරෙකු හා මා එසේ නොවන බැවින් , මා එසේ නුනත් ඔහු මානසික තත්වයන් විෂය කොට ගෙන ඉදිරිපත් කරන අදහස හරි අපූරුයි , හිතන්න පොළඹවන සුළුයි . අනික සාහිත්‍ය කරුවෙකුගේ මනෝභාවයන් ගැන විචාරකයෙකුට වඩා නිර්මාණකරුවෙකුට අනුමාන හෝ කරතෑකි . නිර්මාණකරුවෙකු පෙරකී සුවිසෙස් සාහිත්‍යය ඇසුරු කර තිබේ නම් එය තවත් ලෙහෙසියි . මා ඉන්නේ එතන .

    ඩස්ටොවුස්කි , චෙකොව් , මොරේවියා වගේ අයගේ පුද්ගලික ජීවිත දිහා බැලුවම විශාදය කෙසේ වෙතත් ඔවුන්ගේ සාමාන්‍ය සෞඛ්‍යය පවා අර්බුදකාරී බව පෙනෙනවා . සේකර විතරක් ගත්තත් 'නොමියෙමි', හෙට ඉරක් පායි , ප්‍රබුද්ධ වගේ කෘති වල තියෙන දෝමනස්සයන් අනුන්ගෙන් ගත් හෝ මවාගත් ඒවා කියලා පෙනෙනවද ? සේකර දැඩි මානසික අර්බුද වල සිටි බවත් , පීඩා විඳි බවත් ඒ සියල්ල මැදිහත් සිතින් ඉවසූ බවත් අප දන්නවා . එතකොට ඩස්ටොවුස්කි කියන්නේ කොහොමත් රෝග ගණනාවකින් පෙලුනෙක්

    නොමියෙමි පොතේ මොනතරමක් විශාදී ලකුණු කතා නායකයාගේ තියෙනවද
    එයින් අදහස් නුනත් ලේඛකයාට විශාදය ඇති බව ලියවිල්ලෙන් පෙනෙනවා අසනීපයක් ලෙස ඔලුවට නොගත්තට ඒ කලාකරුවන් උග්‍ර මානසික පීඩනයකින් ජීවත් වූ බව , මෙහි සඳහන් කල නොයුතු මා සොයාගත් දත්ත තිබෙනවා රුවන් ගේ අනුමානය හරි බව සේකර තුලින් සනාථ වන . අනික බුදුන් දෙසා තියෙනවා 'සබ්බේ පුතග්ජනා උන්මන්තකා ' කියල , තවත් මොනවද ?

    ඒ නිසා රුවන් ඔබ මතුකළ අදහස ඉතාමත් වැදගත් , ඇතැම් විට මානසික ව්‍යාධීන් ගැන 'ලේමන්ලා ' වූ සමාජයට එය නොවැටහෙන්න පුළුවන්
    ඒ වගේම ඔබේ අනුමාන කිරීම තුලින් ජී බී ට අපහාසයක් හෝ හිතලුවකින් එතුමා අවතක්සේරු උනා කියල හිතන තර්කය ගණන් ගන්න එපා ; ඔබේ විමර්ශන තවත් දිගු කරලා ඉදිරිපත් කරන්න , මේ වගේ සමාජයකට ඕනේ ඒ වගේ බුද්ධියට අහර ...

    බන්ධුල නානායක්කාරවසම්

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook