Thursday, June 30, 2016

තෝසේ කෑම

 


තෝසේ කෑමට පාසල් යන වයසේ සිටි අප කැමැත්තක් දැක්වූයෙමු.. අප කුඩා කාලයේදී තෝසේ කෑමට දෙමාපියන් සමග බම්බලපිටියේ සුප්‍රකට ග්‍රීන්ලන්ඩ්ස් වෙත ගියද පාසල් මිතුරන් සමග තෝසේ කෑමට යාමේ බලවත් රුදාවක් තිබුනේය​. 

වරක් අට වන ශ්‍රේනියේ සිටියදී මමත් , කපිල ජාසිංහත් , මිනී ඔළුවාත්, අමරසිංහ හෙවත් මැස්සාත් උදෑසනක ජය මාවතෙන් පාසල් කට් කොට මරදානේ  තෝසේ කඩයකට ගියෙමු. අතරමගදී අපට ආනන්දේ කොල්ලන් දෙදෙනෙකුද හමු වූයෙන් ඔවුනද අප සමග තෝසේ පූජාවට ආහ​. 

අප තෝසේ කඩයට යාමට ප්‍රථම එකිනෙකා ලඟ තිබෙන මුදල් දමා පොදු අරමුදලක් හදා ගත්තෙමු. ඉන්පසු කඩයට ගොස් තෝසේ සහ අල බෝන්ඞා ඇනවුම් කලෙමු. 

සරම කැහැපොට ගසාගෙන සිටි දෙමල වේටර් අපට කෙහෙල් කොළ පිඟන් ලෙස දුන්නේය​. අනතුරුව තෝසේ පිඟානක් ගෙන ආවේය​. අප තෝසේ බෙදාගත් පසු ඔහු කුඩා යකඩ බාල්දි දෙකකින් වට්ටක්කා , මුරුංගා සහිත එළවලු හොද්දක් සහ සුදු සම්බෝලයක් බෙදුවේය​. හොද්ද බෙදුවේ තෝසේ අනමින් සිටි අපගේ අත් උඩටත් වැටෙන ලෙසටය​. මේ නිසා අප අත්ලවල් ලෙවකා පිරිසිදු වූයෙමු.  

මේ අතරවාරයේ වේටර්වරයා එක් අයෙකුට එක් බැගින් අල බෝන්ඞා ගෙනාවේය​. උණු අල බෝන්ඞා රසවත් නිසා අප බෝන්ඞා කෑවේ සෙමෙන් තළුමරමිනි. ඒ සමග තෝසේ සහ හොදි අනමින් කෑවෙමු. 

කඩයේ විවිධ තරාතිරම් වල මිනිසුන් සිටිති. තෝසේ කඩයේ රේඩියෝවෙන් නැගෙන දෙමල සිංදුවේ හඞ යටපත් කරවමින් අප සංවාදයේ යෙදුනෙමු. 

වේටර් අපට තව කෑම අවශ්‍යද  කියා ඇසුවද අපගේ අරමුදල සීමිත නිසා හිතේ හැටියට තෝසේ කෑමට ඉඩක් නොවීය​. ඒ නිසා අප බඩ ෆුල් බව කියා බඩවල් වලට තට්ටු දමා වේටරයාව පිටත් කලෙමු. මේ අතරවාරයේ අමරසිංහ හෙවත් මැස්සා හිමීට ලඟ තිබූ කෑම කැබිනෙට්ටුවට අත පොවා උලුඳු වඩයක් ගල් කලේය​. එයද අපි සියළුදෙනා සමසේ බෙදාගෙන කෑවෙමු. ඉක්බිති බඩ පිරෙන තෙක් වතුර බීවෙමු.  මේ අතර වේටර් බිල ගෙනාවෙන් ඔහුට සත පණහක් ටිප් එකට දී බිල ගෙව්වෙමු. 
 
තෝසේ කා බඩ පිරෙන තෙක් වතුර බී සිටි අප දැන් කරන්නේ කුමක් ද කියා එකිනෙකාගෙන් ඇසුවෙමු. රූබි එකේ ඇඩම්ස් ඔන්ලි චිත්‍රපටයක් තිබෙන බව මැස්සා කීවද චිත්‍රපටය බැලීමට මුදල් නොතිබීමත් අතිරේක පාට ඇඳුම් පොත් මල්ලේ නොතිබීමත් නිසා අප ඒ අදහස ඉවත දැමුවෙමු. ඉන්පසුව පාරේ යන අහිංසක පහේ මිනිසුන්ට උසුළු විසුළු කරමින් ආනන්ද විද්‍යාලය දෙසට ආවෙමු. 

ආනන්ද විද්‍යාලය අසලදී ආනන්දේ එක් සිසුවෙකුත් මිනී ඔළුවාත් සැප ගැනීමට අවශ්‍ය යැයි කියා විදුහල අසල ගංජා පොට් එකකට ගියෝය​. ඒ නිසා ඉතිරි වූ අප සියළු දෙනා ඩෙන්ටල් එකට යන්න ආවා කියා ආනන්ද විදුහලේ ගේට්ටුවේ සිටි මුරකරුට කියා පාසල තුලට ආවෙමු. ගේට්ටුව අසලදී ආනන්ද විද්‍යාලයේ ආචාර්‍යවරයෙකු වූ ගලප්පත්ති මහතා අප සෙට් එකට ඔහොම හිටු කියා අපගේ අනන්‍යතා පරීක්‍ෂාවටත් පොත් බෑග් පරීක්‍ෂාවටත් ආවේය​. මේ නිසා අප කොල්ලන් සලිත වූහ​. 

මගේ මව ආනන්ද විද්‍යාලයේ වසර දහයකටත් අධික කාලයක් සේවය කොට විදුහල්පතිනියක් ලෙස උසස්වීම් ලබා ගියාය​. මම ගලප්පත්ති මහතා ගේ පුතුන් ද දැන සිටියෙමි. මේ නිසා එම සබඳතා යොදාගෙන මේ මර උගුලින් ගැලවිය යුතුයි මා තීරණය කලෙමි. මම සබඳතා හෙලි කොට අප දත් අමාරුව නිසා ආනන්දේ ඩෙන්ටල් එකට ආවා කියා කීවෙමි. 

නාලන්දෙන් පර්මිෂන් අරගෙනද ආවේ කියා  ගලප්පත්ති සර් මෙවර ඇසූවෙන් අප සියළුමදෙනා එක හඞින් ඔව් සර් කියා කීවෙමු. ඉන්පසු අපව නිදහස් කරන ලදි . 

අප බොරුවට ඩෙන්ටල් එක පැත්තට ගාටා ඉන්පසුව ආනන්ද ග්‍රවුන්ඩ් එක වෙත ගොස් ළමුන් ක්‍රිකට් ප්‍රැක්ටිස් කරනව බලා සිටිමින් ඔවුන් දැවී යන විට හූ කීවෙමු. 

මේ අතර තෝසේ පාර නිසා අප කීප දෙනෙකුගේ බඩ බුරුල් වී වැසිකිලි අවශ්‍යතාව ආවේය​. මේ නිසා අප ආනන්දේ වැසිකිලි සොයා ගියෙමු. එක් ස්ථානයක ඉතා අපිරිසිදු වැසිකිලි තුනක් තිබූ අතර කවුරුන් හෝ හුණු කූරකින් ඒ වැසිකිලි ද්වාර උඩ රම්‍ය සුරම්‍ය සුභ කියා ලියා තිබුනි. මේ නිසා අප සිනාසෙමින් වැසිකිලි ගියෙමු. අණතුරුව ආනන්දේ ගල්ඔය යැයි හඳුන්වන ප්‍රදේශයේ කරක් ගැසුවෙමු. එහිදී හමු වූ තවත් ආනන්ද මිතුරෙකුගෙන් මුදලක් ඉල්ලාගෙන කැන්ටිමට ගොස් කිරි බෝතලයක් මිලට ගෙන බෙදාගෙන බීවෙමු.  ඉක්බිතිව  පස් මහල් ගොඩනැගිල්ලේ උඩ තට්ටුවට ගොස් ආනන්ද මාවතට වැටෙන සේ තරඟය​ට කාරා කෙල ගැසුවෙමු. 

ගුරුවරුන් එන යන විට අප ආනන්දයේ කීකරු දරුවන් මෙන් හැසුරුනෙමු. මෙසේ කාලය යහමින් කා පාසල ඇරෙන වෙලාවට අපද ආනන්දයි ... ආනන්දයි ආනන්දේ අද ආනන්දයි ගීතය කියා අනෙකුත් සිසුන් අතරට මැදිවී  නිවෙස් බලා ගියෙමු. 

1983 ජූලි කලබල වලදී මරදානේ තිබූ මේ තෝසේ කඩය ගිණි තියන ලදි. අප මේ කලබල මරදානේ මගී පාලමේ සිට බැලුවෙමු. තෝසේ කඩයට ගිණි තැබීමට විනාඩි කීපයකට පෙර සූට්කේසයක් ගත් ද්‍රවිඩ පුද්ගලයෙක් කඩෙන් එලියට ආ අතර මිනිසුන් විසි පහක් තිහක් පමණ ප්‍රමාණයක් වටවී ඔහුට පහර දුන්හ​. එක් අයෙක් ඔහු අත තිබූ සූට්කේසය උදුරාගෙන එයින් මේ අසරණයාට පහර දුන්නේය​. 

පිරිසකගේ පහර කෑම නිසා ඔහු මිය යන්නට ඇත​. ඉන්පසුව අප දුටුවේ තෝසේ කඩයෙන් එන ගිණිජාලා පමණි. 1983 ජාතිවාදී කලබල වලින් පසු කාලයක් යන තෙක් අපට තෝසේ කෑමට මගක් නොවීය​. නමුත් කල් යාමේදී තෝසේ ක​ඩ යළිත් පහළ වූයේය​. 

සාමාන්‍ය පෙළ කරන කාලයේදී මම ටියුෂන් ගියේ වැල්ලවත්ත චැපල් මාවතේ පන්සලකටය​. මේ ටියුෂන් පන්සලේ ගණිතය සනත් ලෙනෝරා මහතාත් විද්‍යාව (වර්තමානයේ ව්‍යපාරිකයෙකු) වන ඒ.එස්.පී ලියනගේ මහතාත් ඉගැන්වූහ​. පසුව ඒ.එස්.පී ලියනගේ මහතා ව්‍යපාරික කටයුතු නිසා විද්‍යාව  ටියුෂන් පන්තිය රන්ජිත් බටුවත්ත මහතාට භාර දුන්නේය​. 

සෙනසුරාදා උදෑසන සනත් ලෙනෝරා මහතාගේ ගණිත පන්ති යන අප දහවල විවේකයේදී වැල්ලවත්තේ ආනන්ද භවන් වෙත ගොස් තෝසේ කෑවෙමු.  අපගේ කොල්ලන් කණ්ඩායමට නාලන්දේ සිසුන් මෙන්ම මහානාමයේ සිසුන් වූ ඉන්දික කැකුණවෙල (රත්නාවලී කැකුණවෙල මහත්මියගේ පුතා) ඔළු බක්කා (නියම නම මතක නැත​) සහ අළුත්ගම සිසුවෙකුද විය​. නාලන්දේ සිසුන් අතර වර්තමානයේ නාවික හමුදා නිලධාරියෙකු වන සෙනරත් විජේසූරියත් , ගාන්ත ( නියම නම ශාන්ත වූවද අප ඔහුව ඇමතුවේ ගාන්ත කියාය​) සිටියා මතකය​. 

අප ආනන්ද භවන් එකට ගොස් තෝසේ කා ඉන්පසු තිබෙන විද්‍යාව පන්තියට එන්නෙමු. පන්තියේ තෝසේ කෑමට යා නොහැකි කෙල්ලන් අපට ඉරිසියා කරති.  මේ කෙල්ලන් අතර සිටි සාන්ත පාවුළු විද්‍යාලයේ රිස්නා හෙවත් බෙරක් අපට වඩාත් ඇනුම්පද කීවාය. 

උසස් පෙළ කරන සමයේදී ආනන්ද නාලන්ද බිග් මැච් දිනෙක අප කොල්ලන් සෙට් එක කොඩිද රැගෙන බොරැල්ල බෝ ගස ලඟ තිබූ තෝසේ කඩයකින් කෑවෙමු. තෝසේ කන අතරතුර ලී ටක කරකැවීමත්  වරින් වර එන් .ඒ . එල් .ඒ .එන්. ඩී. ඒ ...නාලන්ද කියා කඩය තුලදී මොර  දීමත් කලෙමු. 

තෝසේ  කෑමෙන් පසු එක් කොල්ලෙක් හිමීට මචං දුවමුද කියා ඇසීය​. කොල්ලන් ගේ ඉරියව් තේරුම් ගත් කැෂියර් .. " කේවනං බිව්වනං ෂල්ලි ගෙවාන්ඩ.." කීවේය​. අප පොදියක් ලෙස බිල ගෙවීමට මෙන් කැෂියර් කූඩුව ලඟට ගොස්   එකායි  දෙකායි තුනායි කියා බිල නොගෙවා ආනන්ද විද්‍යාලය පැත්ත​ට දිව්වෙමු. 

අපගේ දුවන කොල්ලන් නඩය පසුපස බස්නායක දිව ඇවිත් අපට හොඳහැටි බැන්නේය​. " ජරා වැඩ කරන්ඩ එපා ඩෝ " කියා බස්නායක අපට නොනවත්වා දෙහි කැපුවේය​. පසුව බලන විට බස්සා ගෙදර යන බසය එන තෙක් සිටින්නේ මේ කඩයේය​. එම නිසා ඔහු කඩයේ මුදලාලිවද දනියි. මේ නිසා බස්සා අපට දොස් පවරමින් තෝසේ බිල තමන් විසින් ගෙවන බව කීවේය​.  අප බස්නායකට ටැංකිව් කියමින් යලි පී සරා ස්ටේඩියමට ගොස් රොශාන් මහානාම ප්‍රසන්න අමරසිංහගේ වාර්තාව කඩනවා බැළුවෙමු. 


වෛද්‍ය රුවන් එම් ජයතුංග 

Wednesday, June 29, 2016

හොලිවුඩ්

 
හොලිවුඩ් වලදී මැරිලින් මොන්‍රෝ සමග සංවාදයේ යෙදෙමින් 


හොලිවුඩ් පිහිටා තිබෙන්නේ ලොස් ඇන්ජලිස් හි මධ්‍ය කලාපයකය​. මේ කලාපය සතු නගර සභාවක් ද තිබේ. හොලිවුඩ් ප්‍රසිධ වූයේ චිත්‍රපට කර්මාන්තය සමගය​. 1912 දී වර්ධනය වූ චිත්‍රපට කර්මාන්තය හොලිවුඩ් ලෝක ප්‍රසිද්ධිය ලබා දී තිබේ. 1922 වන විට හොලිවුඩ් හි විශාල ස්ටුඩියෝ ඇතිවූ අතර එය ලෝක සිනමාවේ ප්‍රධාන මධ්‍යස්ථානය බවට පත් විය​. හොලිවුඩ් හි නිශ්පාදනය කල ලෝ ප්‍රකට චිත්‍රපට රාශියකි. එසේම චිත්‍රපට නළු නිලියෝද හොලිවුඩ් වෙත ඇවිත් පදිංචි වූහ​. 

හොලිවුඩ් හි යුනිවර්සල් ස්ටුඩියෝ නැරඹීම සඳහා පහසුකම් තිබේ. එය විශාල භූමි භාගයකි. 

මම  හොලිවුඩ් වෙත දෙවරක් ගියෙමි. මුල් වතාවේ යන විට ජිම් කේරී රඟපෑ බෘස් ඕල් මයිටි චිත්‍රපටයද ටොම් කෘස් රඟපෑ වෝ ඔෆ් ද වල්ඩ්ස් චිත්‍රපට වල පසුතල දකින්නට තිබුනි. වෝ ඔෆ් ද වල්ඩ්ස් චිත්‍රපටයේ කඩා වැටුණු ගුවන් යානය එලෙසම තිබුනේය​. මීට අමතරව මයිකල් ජේ ෆොක්ස් චරිත නිරූපනය කල බැක් ටුද ෆියුචර් චිත්‍රපටයේ මෝටර් රථයද ප්‍රදර්ශන භාන්ඩ අතර විය​. මම බැක් ටුද ෆියුචර් චිත්‍රපටයේ මෝටර් රථය අසල සිට චායාරූපයක් ගත්තෙමි. එසේම ජෝස් චිත්‍රපටයට යොදා ගත් මිනී මෝරාද හොලිවුඩ්හි සිටියේය.  මගේ සිත් ගත්තේ ඇල්ෆ්‍රඩ් හිච් කොක් ගේ සයිකෝ චිත්‍රපටයේ බේට්ස් මොටෙල් එකය​. මෙම බේට්ස් මොටෙල් එක සජීවීව මම දැකගත්තෙමි. එය දකින විට සයිකෝ චිත්‍රපටය බලන විට ඇතිවූ අද්භූත බිය මතුවේ. 

හොලිවුඩ් හි පාක් රයිඩ්ස් නම් රෝලකෝස්ටර් තිබේ. මම ජුරැසික් පාක් වෙත ගියෙමි. ජුරැසික් පාක් චිත්‍රපටය වෙනුවෙන් නිෂ්පාදනය කරන ලද වාහන , ඩයිනසෝර්වරු , අද්භූත සත්වයන් ගෙන් මේ පිට්ටනිය පිරී තිබුනි. ගමන අතරමගදී  එක් වරම ඉහල සිට විශාල වාහනයක් අපගේ හිස් මතට කඩා ගෙන වැටෙන මුත් අන්තිම තත්පරයේදී එය සවිමත් අයුරින් ගැට ගසා තිබෙන දම්වැල් ක්‍රියාත්මක වී නරඹන්නන් ගේ ඔළු ගෙඩි බේරයි. නමුත් එය අතිශයින් ත්‍රාසය උපදවයි. 

මම දෙවන වර හොලිවුඩ් ගිය විට මේ ට්‍රක් රථය තිබූ නමුදු පෙර මෙන් එය හිස් මතට වැටුනේ නැත​. පළමුවර ගිය විට මමී චිත්‍රපටයේ පිරමීඩ භය උපදවන ලෙස කුටීර වලින් , දිවි මකුලුවන් ගෙන් , මෘත ශරීර වලින් ගහනව තිබුනද දස වසරකට පසු මම දෙවන වර ගිය අවස්ථාවේදී මේවා පරණව ගරා වැටී තිබුනි. 

දෙවන ගමනේදී අළුත් අංග හොලිවුඩ් හි දක් නට තිබුනි. හැරී පොටර් චිත්‍රපටයේ මාලිගා මෙන්ම Hogwarts  විද්‍යාලයද ඒ ලෙසම තිබුනේය​. මීට අමතරව එහි චරිත ලෙස ඇඳි නළු නිලියෝද වූයෙන් තාත්ත්වික ගතියක් තිබුනේය​. මීට අමතරව සයිකෝ චිත්‍රපටයේ බේට්ස් මොටෙල් එක හරහා ප්‍රේක්‍ෂකයන් යන විට නෝමන් බේට්ස් මෙන් තරුණයෙක් පිහියක් අරගෙන ප්‍රේක්‍ෂකයන් වෙත එන අංගයක් ද එකතු කොට තිබුනි. මේ තරුණයාට සුප්‍රකට නළු ඇන්තනි හොප්කින්ස් ගේ හැඩරුව තිබුණි. 

හොලිවුඩ් ගිය දෙවතාවේදීම මට මැරිලින් මොන්‍ රෝ මුණ ගැසුනි. ( ඉන්නේ ඇයගේ හැඩහුරුකම තිබෙන නිලියකි)  ප්‍රථම වතාවේදී ඇය Chevrolet වාහනයක නැග ගීත කීවාය​. දෙවන වතාවේ (සිටියේ වෙනත් නිලියකි) මම මැරිලින් සමග කතා කලෙමි. මා ඇය ඇමතුවේ ඇයගේ නියම නම වූ නෝමාජීන් ඩොරති කියාය​. තවද අලුත් අංග අතර වෝට වල්ඩ් හි තටාකනාංගයද විය​. 

හොලිවුඩ් යනු චිත්‍රපට වලට ලොල් කරන රසිකයන්  අනිවාර්‍යෙන්ම යා යුතු ස්ථානයකි. එසේම Hollywood Walk of Fame  මාර්ගයද අමතක කල නොහැක​. ඒ මාර්ගය පුරා පදික වේදිකා වල අතීතයේ සිටි සහ වර්තමානයේ සිටින සිනමා තාරකාවන් ගේ නම් සඳහන් රන් තාරකාද ඔවුන් ගේ අත් සලකුණුද දක්නට ලැබුනේය​. 


හොලිවුඩ් යනු සිහින දේශයකි.   රිචඩ් ගියර් සහ ජුලියා රොබට්ස් රඟපාන ලද ප්‍රිටි වුමන් චිත්‍රපටයේ හොලිවුඩ් එන්නන් වෙත මෙසේ කියති. හොලිවුඩ් වෙත එන්න . මෙහිදී සිහින මවන්න​. සමහර සිහින සැබෑවේ. 


වෛද්‍ය රුවන් එම් ජයතුංග 

Tuesday, June 28, 2016

කෙටි කතා ලිවීම



කෙටි කතා ලිවීම මා සිදු කරන ලද්දේ කාංසිය මකා ගැනීම සඳහාත් සිතේ තෙරපෙන අදහසක් කෙටි කතා මාධ්‍ය මගින් කීම සඳහාත් ය​. නමුත් කෙටි කතා ලිවීමට දශක  ගනනාවකට පෙර සිට මා බොහෝ කෙටි කතා කියවූයෙමි. දේශීය මෙන්ම විදේශීය ලේඛකයන් ගේ කෙටි කතා මා විසින් කියවා තිබේ.  

මේ වන විට මම කෙටි කතා පොත් තුනක් ලියා තිබේ. සමහර විට හතරවන කෙටි කතා පොත  ලබන වසර මැද භාගය වන විට ලිවීමට ඉඩ තිබේ. 

සැන්ට බාබරාහී යාචකයා සහ තවත් කෙටි කතා මගේ මුල්ම කෙටි කතා සංග්‍රහයයි. මෙම මුල්ම කෙටි කතා පොත එළි දැක්වීම සඳහා මහාචාර්‍ය සෝමරත්න බාලසූරිය මහතාත්  නාරද කරුණාතිලක මහතාත් මට උදව් උපකාර කල බව සඳහන් කරන්නේ කෘතඥතාපූර්වකවය​. 

සැන්ට බාබරාහී යාචකයා සහ තවත් කෙටි කතා පොත මා විසින් පිළිගන්වන ලද්දේ යහපත් වෛද්‍යවරයෙකු මෙන්ම යහපත් මිනිසෙකු වන වෛද්‍ය ආර් එම් එස් කේ රත්නායක මහතාටය​. 






Monday, June 27, 2016

රැඩිකල් ශිෂ්‍ය සටන් වියාපාරය

 



ශිෂ්‍ය සටන් අතර පේරාදෙණිය සරසවියේ ඉල්ලම් 12 ක අරගලය, 1967 කැළැණි සරසවියේ ඉල්ලීම් 53 ක අරගලය, 1972 ප‍්‍රමිතිකරණ විරෝධී අරගලය, 1975 විශ්වවිද්‍යාල සංශෝදන පනතට එරෙහි අරගලය, වැනි අරගල  පෙන්වා දිය හැකිය​. නමුත් 1971 කැරැල්ල ලංකාවේ ශිෂ්‍ය සටන් වියාපාරය වඩාත් හිංසක තත්වයක් වෙත ගෙන එන ලදි . මෙහි කූටප්ප්‍රාප්තිය වූයේ 1988-89 පවිපෙ දෙවන කැරැල්ල සමයේදීය​.  මේ කාලයේදී රැඩිකල් සිසුන් ඝාතන වල පවා යෙදුනහ​. 

රැඩිකල් ශිෂ්‍ය වියාපාරයන් වෙත සිසුන් යොමු වන්නේ යම්කිසි විශෝදනයන් නිසාද ? 

ගවේශනාත්මක මාධ්‍යවේදී ධර්මන් වික්‍රමරත්න මහතා විසින් ජවිපෙ දෙවන කැරැල්ල පිලිබඳව කරන ලද කරන ලද කරුණු සොයා බැලීමක දී ඝාතනයට ලක්වූ සිසුන්ගෙන් සියයට 25ක පමණ ප්‍රමාණයක් තුල  කුඩා කාලයේ සිය මව හෝ පියා මියගොස් තිබිණි. නැතහොත් දෙදෙනාගෙන් එක් අයෙකු අතහැර ගොස් තිබිණි. එබැවින් ඔවුහු පීතෘ හෝ මාතෘ වියෝග කාන්සාවට ලක්ව සිටියහ. ඇතමෙකුට ද්‍රරිද්‍රතාවය සහ තවත් අයෙකුට සමාජ පීඩනයද උරුම විය.  සමහරෙක් කුල පීඩනය නිසා සමාජය කෙරෙහි වෛරයෙන් යුතුව බැලීමට පුරුදුව සිටියහ​. 

ජර්මානු බාඩර් මයින්හොෆ් සහ සැන්ඩිනිස්ටා ගරිල්ලන් පිලිබඳව පසුකාලීනව කල අධ්‍යනයන් වලින් පෙනී ගියේ ඔවුන් රැඩිකල් වියාපාර වෙත යොමු වීම සඳහා ළමා කාලයේ අත් දුටු කාංසාමය සිද්ධීන් හේතු කාරක වූ බවය​. 

ළමා කාලයේ සිට මෙවැනි කාන්සාමය තත්වයන් ගෙන් පීඩා විඳි කොටස් රැඩිකල්  ශිෂ්‍ය වියාපාරයන් වෙත යොමු කරවා ගැනීම අපහසු නොවේ. කොටි සංවිධානය තම සාමාජිකයන් ආකර්ශණය කර ගත්තේ උතුරේ වෙල්ලාල ද්‍රවිඩයන් ගේ කුල පීඩනයට යටත් ව සිටි ද්‍රවිඩ තරුනයන්ට තුවක්කු දීමෙනි. අවියට තිබූ බිය නිසා උතුරු සමාජයේ කොන් කර සිටි  කරයර් , නලවර් , පරයර් , මල්ලර් , තුරුම්බාර්  කුල වල ද්‍රවිඩ තරුනයන්ට කුලීන ද්‍රවිඩයන්  ගෙන් ගරුත්වය ලැබුනේය​. ​ එසේම බහුතරයක් කළු කොටි මෙසේ සමාජයේ කුල පීඩනයට ලක් වූ කොටස් ය​. 

මා විසින් මීට කාලයකට ඉහතදී ප්‍රතිකාර  කල පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාවයෙන් පෙළුණු  1988-89 කාලයේ ජවිපෙ ශිෂ්‍ය වියාපාරයේ සිටි සාමාජිකයා රැඩිකල් දේශපාලනය වෙත යොමු වන්නේ තම නිවසේ තිබූ ගැටුම්කාරී වාතාවරණය නිසාය​. ඔහු කී පරිදි දෙමාපිය ගැටුම් නිසා නිවසේ සමය බිඳී තිබුනි. පියා පසුව ඔවුන් අත හැර යන ලදි. නිවසේ දී හෝ පාසලේදී අන් අයගේ ආදරයට හෝ අවධානයට යොමු නොවූ ඔහු ජීවිතයේ මුල් වතාවට හිතවත්කමක් ලෙන්ගතුකමක්  පිලිබඳ හැඟීමක් ඇති කර ගන්නේ ඔහුට කොක්ක ගැසූ ජවිපෙ ශිෂ්‍ය වියාපාරයේ ජේෂ්ඨ සාමාජිකයා මගිනි. 

මේ නිසා ඔහු එම ජේෂ්ඨ සාමාජිකයා පවසන ඕනෑම දෙයක් දේවත්වයෙන් පිලිගනී. පසුව ඔහු අවි පුහුනුව ලබා වියාපාරය වෙනුවෙන්  මංකොල්ලකෑම් වලද නිරත වේ. එසෙම ඝාතන සඳහා සහභාගි වේ. පසුව අත් අඩංගුවට පත් වන ඔහු වද බන්ධනයට ලක්වී සිරගත වී නිදහස ලබයි. 

පසු කාලයක තම අධ්‍යාපනය විනාශ වීම , වියාපාරය විසින් තමාව උපකරණයක් ලෙස භාවිතා කොට ඉවත දැමුවා යන අවබෝදය නිසා ඔහු මානසිකව කඩා හැලේ. ඔහුව වියාපාරයට ගෙන ආ ජේෂ්ඨ සාමාජිකයන් ඔහු අත හැර දමා ඉතාලියට යාමත් ඔවු ගෙන් කිසිදු ගෙන් උපකාරයක් නොලැබීමත් නිසා ඔහු කලකිරීමට පත්වේ. දිවි නසා ගැනීම සඳහා ඔහු අවස්ථා කීපයකදීම උත්සහ දරා තිබුණි. එසේම මෙම පුද්ගලයා තුල කායිකරූපී ආබාධද දක්නට තිබුනේය​.

රැඩිකල් ශිෂ්‍ය වියාපාරයන් වෙත යොමුවී  ඝාතන ප්‍රවර්ධනය කරන ලද සියළු සිසු කණ්ඩායම් සාමාජිකයන් තුල අනන්‍යතා අර්බුධ , ග්‍රාමීය පසුගාමීත්වය , ප්‍රචණ්ඩත්වය ගැටළු නිරාකරණය සඳහා එකම මධ්‍ය බව ඇති විශ්වාසය​, හීනවූ සහකම්පනීය අවබෝධ්‍ය සහ බොහෝ විට  පෞරුෂ අක්‍රමතා හඳුනා ගත හැකිය. එසේම මෙම පුද්ගලයන් පිළිබඳව මනෝ විද්‍යාත්මක වශයෙන් අධ්‍යනය කිරීමක් අවශ්‍ය කෙරේ. 

මෙම සිසු කණ්ඩායම් සාමාජිකයන් බොහෝ දෙනෙකු ජීවිතය වින්දනය කිරීම වෙනුවට අයිඩියෝලොජි එකක් වෙනුවෙන් මිනී මැරීම හෝ මරාගෙන මැරීමට යොමු වීම ඛේදවාචකයකි. පසු කාලීනව සත්‍ය වටහාගත් පැරණි සාමාජිකයෝ  මෙරට හා පිටරට වල ජීවත් වෙමින් ජීවිතය වින්දනය කරති. ඔවුන් තම දරුවන් තරුණ කාලයේ තමන් ගිය මුග්ධ මාර්ගයේ නොයැවීම් 100 % දකින්නට හැකි සාධකයකි. 

මෙවැනි ප්‍රචණ්ඩත්වයට යොමුවූ ශිෂ්‍ය  ක්‍රියාකාරීන් උත්කර්ශයට පත් කිරීම වෙනුවට එහි ඇති හිස් බව , ඛේදවාචක බව සහ මුග්ධ බව පෙන්වා දීම මගින් අනාගතයේ බිලි බෝයිස් ලා බිහි වීම වලක්වා ගත හැකිය. අද දිනයේ මේ මිය ගිය සිසුන් ගැන වේදනාව තිබෙන්නේ ඔවුන් ගේ පවුලේ උදවියට පමණි. එදා මේ සිසුන් උසිගන්වන ලද ලද කිසිවෙකු අද ඒ අසරණ වූ පවුල් දෙස නොබලති.මිය ගිය  සිසුන්  දුක් වන්නේ කවුද ? ඔවුන් ගේ පවුලේ සාමාජිකයන් මිස වෙන කවරෙක් ද ? නිසි අධ්‍යාපනයක් ලබා එලදායී පුරවැසියෙකු වී සමාජයට සේවය කිරීම වෙනුවට ඔවුන් දුඛදායක ලෙස  අකාලයේ මහා මාර්ග වල මිය ගියහ.  

 රාජ්‍යය ස්වභාවයෙන්ම කෘරය​. විශාල රාජ්‍ය මර්ධනයට එදිරිව සටන් කල යුත්තේ මාටින් ලූතර් කිං ක්‍රමයට මිස ගල්කටස් සහ පිහි මගින් නොවේ. එවිට දරුණු රාජ්‍ය තන්ත්‍රය මහා භීෂනයක් මුදා හරියි.. එය 71 , 88 හා 2009 දී ලංකා වැසියන් දුටුවෝය​.


Sunday, June 26, 2016

ඕමන්තේ සහ මුහමාලේ



ඕමන්තේ : වව්නියාව  ඕමන්තේ ආරක්‍ෂක මුරපොළ කඩිගුලක් සේ කාර්‍යබහුලය​. රජයේ හමුදා සහ කොටි සංවිධානය අතර සමාදානය නිසා මිනිසුන් ඕමන්තේ හරහා යති. ලුතිනන් කර්නල් උපාලි ගීගනගේ මහතා සමග ඕමන්තේ මුරපොළ වෙත ගිය මම එහි කටයුතු නිරීක්‍ෂණය කලෙමි. කොටි පාළන ප්‍රදේශයේ සිට එන සහ එකී ප්‍රදේශ වෙත යන මිනිසුන් සහ වාහන සොල්දාදුවෝ පරික්‍ෂා කරති.  

ඕමන්තේ මුරපොළ ඉදිරියේ තිබෙන්නේ යුද මුක්ත කලාපයයි. යුද මුක්ත කලාපයට ඔබ්බෙන් කොටින් ගේ සීමාව මම දකිමි. එතන ඔවුන් ගේ කඳවුරකි. අවි අතින් ගත් එල්.ටී.ටී.ඊ සාමාජිකයන් ඔබ මොබ යති. ඔවුනද වාහන සහ මගීන් පරීක්‍ෂා කරති. බදු එකතු කරති. යුද මුක්ත කලාපයේ කුඩා ටකරම් සෙවනක් යට පුටුවක හිඳගත් රතු කුරුසයේ සුදු තරුණයෙකි. මම ඔහු වෙත ගියෙමි. 

රතු කුරුසයේ නිලධාරියා මාව සාදරයෙන් පිලි ගත්තේය​. ඔහු ඕලන්ද ජාතිකයෙකි. යුද්දය මොහොතකට අමතක කල අප වින්සන්ට් වැංගෝ ගැන කතා කලෙමු. තම රටවැසි සිත්තරා ගැන  රතු කුරුසයේ නිලධාරියා කතා කලේ අභිමානයෙනි. වැංගෝ ගැන කතා කිරීමෙන් අනතුරුව මම කෙලින්ම මාතෘකාවට බැස්සෙමි.

" සාමය දිගින් දිගටම පවතීවිද ? මම ඔහුගෙන් ඇසුවෙමි. 

" අප මහන්සි වන්නේ දෙපාර්ශයම අතර ගැටුමකින් තොරව සමාදානය පවත්වා ගැනීමටයි " ඔහු මධ්‍යස්ථ පිළිතුරක් දුන්නේය​. 

" එහෙත් කොටි සංවිධානය දිගින් දිගටම සාම ගිවිසුම උල්ලංඝනය කරනවා. මේ අයුරින් ගියහොත් යළිත් යුද්ධයක් ඇතිවේද ? මම රතු කුරුස නිලධාරියා කලංකයක තැබුවෙමි. එහෙත් තම නිගමනයන් සඟවා අපක්‍ෂග්‍රාහී පිළිතුරු දීමට පුරුදු කරන ලද රතු කුරුස සංවිධානයේ නිලධාරියා සිනාසුනා මිස ඉලක්ක පිළිතුරක් නොදුන්නේය​. මම ඔහුට අතට අත දී ලුතිනන් කර්නල් උපාලි ගීගනගේ මහතා වෙත ගියෙමි. 


මුහමාලේ : කර්නල් උදය පෙරේරා විසින් මාව මුහමාලේ අවසන් බංකර පෙළ වෙත ගෙන යනු ලැබීය​. අපට කිලෝ මීටර් භාගයක් පමණ දුරින් කොටි බංකර් පෙලක් දිස්වේ. අවි ගත් කොටින් සීරුවෙන් සිටිති. දෙපාර්ශවයම සිටින්නේ අවිනිශ්චිත තත්වයන් උඩය​. යළිත් යුද්දයක් ඇරඹෙන්නේ නම් මේ දෙපාර්ශවය එකිනෙකා සමග සටන් වදිනු ඇත​. 
 
2008 වසරේ අප්‍රේල් මාසයේදී කිලාලි මුහමාලේ යුදහමුදා ඉදිරි ආරක්‍ෂක වළල්ලට කොටින් විසින් හිටිහැටියේ කාලතුවක්කු හා මෝටාර් ප‍්‍රහාරයක් එල්ල කරන ලදි. මෙම ප්‍රහාරය  මෙහෙයවන ලද්දේ ‘දීපන්’ හා ‘මුහුන්දන්’ නම් වූ ජ්‍යෙෂ්ඨ එල්ටීටීඊ සාමාජිකයින් දෙදෙනා  විසිනි. මෙහිදී යුද හමුදාවේ 53 වන හා 55 වන සේනාංක වල සොල්දාදුවෝ ප්‍රති ප්‍රහාර එල්ල කලහ​. මේ ගැටුමෙන් එල්ටීටීඊ සාමාජිකයින්  150 සහ ශ්‍රී ලංකා යුද හමුදාවේ සොල්දාදුවන් 43 දෙනෙකු ජීවිතක්‍ෂයට පත් වූහ​. මිය ගිය සොල්දාදුවන් අතර එදා මා සමග  මුහමාලේදී සංවාදයේ යෙදුනු සොල්දාදුවන් කිහිප දෙනෙක් ද සිටින්නට ඇත​. 


වෛද්‍ය රුවන් එම් ජයතුංග 

කුඩු මාෆියාවේ අදිසි හස්තයන්







ලංකාවේ කුඩු වියාපාරයට කුඩු මුදලාලි, දේශපාලකයා සහ පගා ගහන පොලිස් නිලධාරියා පමණක් නොව තවත් අයද සම්බන්ධය  කුඩු මාෆියාවේ අදිසි හස්තයන් වන රේගුවේ දූෂිත නිලධාරීන් මෙන්ම මුදලට යටවූ ජනමාධ්‍යවේදීන් ගැන කරන හෙලිදරව්වකි. 


Saturday, June 25, 2016

ගන්ධබ්බ



ගන්ධබ්බයෙකු වූ මා
බොහෝ වේදනාවල් විඳ 
ටයර් සෑයක් හරහා 
විමුක්තිය ලැබුවෙක්මි 

මවුබිම නැත්නම් 
මරණය කියමින් 
කුණු කයක් දරාගෙන 
ඝනඳුරු මැදියම  
අරුණලු දකින්නට
කල උත්සහය 
මට කුණු කය අහිමි කලේය 

නන්දා සහ සුනිල් විසින් 
විප්ලවීය මායාවෙන් අවධි කල 
බොහෝ ගන්ධබ්බයන් සමග 
මමද පාවෙමින් සිටිමි 
පහතින්  පෙනෙන 
මායා ලෝකය දකිමි 

අපට පන්තිකලවුන් 
ඝනඳුරු මැදියම  
අරුණලු පෙන්වූවන් 
විරු ගීත වලින් මායම්කලවුන් 
මෙරට සහ පිටරට සිට
ජීවිත විඳින අයුරු  දකින්නෙමු 
 
උන් ගේ දරුවන් 
ප්‍රවේසම් කරවමින් 
අපව දං ගෙඩියට දෑක්කූ
බක තපස්සුන් 
ඉඳ හිට අහස දෙස බලා 
අපට විරිත්තති 

මුන් ගේ බක තපස් බලමින් 
නිදහසේ පාවෙමින් 
සිටින්නෙමු 
සිරුරු අහිමි  
ගන්ධබ්බයන් වූ අප 

මගේ කවි පොත



හරාකිරි  කවි පොත  පිටවී තිබේ. මෙය ගොඩගේ ප්‍රකාශකයන් වෙතිනි.



හරාකිරි 

පස් වන ශතවර්ශයේ කවි ලිවූ අප 
වර්තමානයේ කවි පොතක් ලියන්නට දරන වෙර 
ඉන් පොත් සියයක් හෝ විකුණා ගැනීමට නොහැකිව  
ලතවෙන කවීන් ගේ අප්ක්ශා භංගත්වය 
කවි පොතක් පළ කලා යනු
සියතින්ම බඩ කපා ගැනුමක් නොහොත් 


එනම් හරාකිරි කර ගැන්මක් ද ?  


හරාකිරි කාව්‍ය සංග‍්‍රහය පිළිබඳව……

 දෛනික ජීවිතයේදී මිනිසාගේ යහ පැවැත්මට එරෙහි බලවේග ංසිද්ධින් බොහොමයක් ඔහුගේ විෂය පථයට හසු වී ඇත.
මහාචාර්ය සෝමරත්න බාලසූරිය කැළණිය විශ්ව විද්‍යාලය


 වෛද්‍ය රුවන් එම්. ජයතුංගගේ කවි බසෙහි ප‍්‍රකාශන ශෛලිය සෘජුය. නාටකීය ආකෘතියක් එ් කවි වල තිබේ.
තිඹිරියාගම බණ්ඩාර -මාධ්‍යවේදී


 හරාකිරි කාව්‍ය සංග‍්‍රහය වර්තමාන මිනිස් සමාජයේ හරස්කඩ නිරූපනය කරයි.
ආචාර්ය එච්. එ්. පී. අභයවර්ධන -ශ‍්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය


Buy this Book online http://www.godage.com/book-detai…/poetry/7822-harakiri.html

Friday, June 24, 2016

පොනී ගේ කලිසම


පොනී අපගේ කෙඩෙට් කන්ඩායමේ සාජන් විය​. පොනීට පෙර සුභසිංහ , රුවන් කුලතුංග ( වර්තමානයේ ජෙනරාල් වරයෙකි) සහ නානායක්කාර සාජන්වරු වූහ​. නමුත් සාජන්වරයෙකු ලෙස පොනී ගේ චරිතය මට කිසිදා අමතක නොවේ. 

බාලදක්‍ෂයෙකු ලෙස වසර ගනනාවක් ලෙස ලැබූ පුහුණුව නිසා මම සීරුවෙන් සිටියේ කෙඩෙට් භටයෙකු ලෙස නොව බාලදක්‍ෂයෙකු ලෙසටය​.   මේ නිසා පොනීට අසූ හාරදාහට නගී " ඕයි ඉන්නවා ඔෆ් කෝස් එකේ පපුව ඉස්සරහට දාලා " ඔහු මට කෑ ගසයි. 

ඒ කාලයේ කෙඩෙට් කන්ඩායම භාර ආචාරියවරයා වූයේ කරුනාරත්න සර් ය​. කාලවර්ණ කරුනාරත්න සර්ට කොල්ලෝ බිය වූහ​. හිටි හැටියේ පන්තියට කඩා වදින කරුනාරත්න මහතා මුලින්ම කොල්ලන් ගේ කරවල් චෙක් කර මාල ගලවා දමයි. සුර දාගෙන ඉන්න කොල්ලන් සර් හමුවේ බැගෑපත් වී   බලගතු සුර බේරා ගනිති. යකඩ මාල දාගෙන සිටි කොල්ලන් සර්ට සිතෙන් බනිමින් මාල ගලවා දෙති. ඉන් පසු පන්තියේ පුෂ්ටිමත් කොල්ලන් තෝරාගෙන ඔවුන්ට කෙඩෙට් පුහුණුව හෙවත් අනිවාර්‍ය යුද සේවයට ඒමට නියම කරති. 

මා නම් කෙඩෙට් කන්ඩායමට ගියේ ස්ව කැමැත්තෙනි. ඒ නිසා කරුනාරත්න මහතා මා සමග ශේප් ය​. නමුත් පොනී මට බුරාගෙන පනී. 

ඕයි කෙලින් ඉන්නවා ඕයි ... වම් මූලික නොසැලෙන් , පෙර පෙලේ සෙස්සන් දෑත් විහිදා පෙල... සදන්... පොනී ගේ කට හඞ පිට්ටනියේ ගිගුම් දේ. 

" ඕයි ඔයි භූතයා .. මොනාද ඕයි කරන්නේ හරියට කකුල ගහලා මාච් කරනවා ඕයි. පොනී නියෝග දේ. 

කෙඩෙට් කන්ඩායමේ සිටින මම , එරාජ් , ජයානන්ද , රණසිංහ , දෙමටම්පිටිය ,වීරකෝන් ආදීන් දාහඩිය දාගෙන මාච් කරන්නෙමු. මාච් කරන අතර තුර සිනහවක් ගියහොත් පොනී ගෙන් සත්තමය​. 

රණසිංහ සෙමන් යමක් කියා අපව සිනා ගස්වයි. සිනාවේදී මට බ්රේක් නැත​. පොනී මාව බෙල්ල මුලින් අල්ලාගනී. ප්ලැටූන් එකේදී සිනහසීම බරපතල වරදකි. ඔහු මට ඩිප්ස් විසි පහක් ගැසීමට නියම කරයි. ග්‍රවුන්ඩ් එකේ වට දහයක් පමණ දුව ගොස් ව්‍යායාමද කර සිටි මම අසීරුවෙන් පොනී ගේ නියෝගයට අවනත වෙමි. 

කෙඩෙට් කන්ඩායමේ වැඩ වලින් පසු පොනී ඒ වේශයෙන් මිදී යලිත් මිතුරු පොනී බවට පත්වී අප සමග කවටකම් කරයි. 

පොනී මට වඩා ඉහළ පන්ති දෙකක සිටියේය​. ඔහු කරාටේ ක්‍රීඩාවට ද ලොල් විය​. වරක් පන්තියේදී පොනී බෑක් කික් එක ගසන අන්දම පෙන්වන්නට ගිය අතර පා පහරත් සමගම පොනී ගේ කලිසමේ පසුපස බරාස් ගා ඉරුනේය​. ඒ වන විට පාසල තවමත් පටන් ගෙන නොතිබූ බැවින් පොනී කලිසම ගලවා මිතුරෙකුට දී පාසල ඉදිරියේ තිබෙන ටේලර් ශොප් එකෙන් ඉරුණු කලිසම මහගෙන එන ලෙස කීවේය​. ඉක්බිති ඔහු පන්තියේ පසුපස පේලියට ගොස් පුටුවක වාඩිවී සිටියේය​. 

මේ අතර මිතුරා ඉරුණු කලිසම මහගෙන පන්තියට ආ නමුදු කොල්ලන් කලිසම් පොනීට නොදී එය පාස් කළහ . පොනී කලිසම ඉල්ලා බැගෑපත් විය​. නමුත් කොල්ලන් පොනීට කලිසම නොදුන්හ​. ​ මේ අතර පන්තිය ආරම්භ වන බෙල් එක වැදී පන්තිභාර ගුරුවරිය පන්තියට ආවේය​.  ළමුන් සියලුම දෙනා නැගිට ගුරුවරියට ආයුබෝවන් කීවද පොනී පමණක් පුටුවෙන් නැගිට්ටේ නැත​. මේ නිසා ළමුන් හිතා මතාම හැරි හැරී පොනී දෙස බලන්නට වූහ​. 

" මේ ළමයා මොකද ඉඳගෙන නැගිටිනවා ගුරුවරිය සැර දැමුවේය​. පොනී අසීරුවෙන් මෙන් නැගිට්ටේ‍ය​. ඒ සමගම ළමුන් සූ සූ ගා සිනාසුනෝය​. මින් විළියට පත් පොනී පන්තිය අසල තිබූ වැසිකිලියට දිවේය​. එදා පොනී ඇඳ සිටියේ කෙඩෙට් භටයන්ට ඔහු රෙකමදාරු කරන පටි වවුලෙකි. මේ නිසා අත් දෙකෙන් පස්ස වසාගෙන පොනී වැසිකිලියට දිව්වේය​. 

 ප.ලි: අපගේ කෙඩෙට් කන්ඩායමේ සාජන් වූ පොනී හෙවත් ෆොන්සේකා පාසල් අධ්‍යාපනය හමාර වීමෙන් දෙවන ලුතිනන් කෙනෙකු ලෙස හමුදාවට බැඳුනේය​.   වඩමාරච්චි ක්‍රියාන්විතයේදී ස්නයිපර්වරයෙකුගේ වෙඩි පහරකට ලක් වී ඔහු මිය ගියේය​. 

Wednesday, June 22, 2016

අප අතරින් වියෝ වූ වෛද්‍යවරුන් ගැන කෙටි සටහනක්

  
වෛද්‍ය ජයලත් ජයවර්ධන මහතා මට හමු වන්නේ  1999 වසරේදී පමණය​. ළමා මනෝ විද්‍යාව පිළිබඳව මා විසින් ලියන ලද පොතක් සම්බන්ධයෙන් වෛද්‍ය  ජයලත් ජයවර්ධනට රූපාවාහිනී වැඩසටහනක් කිරීමට අවශ්‍ය වූ අතර ඔහු විසින් කරගෙන යන ලද අයි.ටී.එන් වෛද්‍ය හමුවට  එතුමා මට ආරාධනා කලේය​. 

2002 වසරේදී කිලිනොච්චියේ ළමුන් සඳහා මනෝ විද්‍යාත්මක සායනයක් පැවැත්වීම සඳහා ඔහු මා ඇතුළු තවත් වෛද්‍යවරුන් කිහිප දෙනෙකුගේ සහාය පැතුවෙන් අප කිලිනොච්චියේ කොටි පාලන ප්‍රදේශයට ගියෙමු. කිලිනොච්චියේ පිහිටි ළමා නිවාසයකදී යුද්දය නිසා කායිකව මානසිකව ආබාධිත වූ දෙමල දරුවන් මම දුටුවෙමි. සමහර ළමුන් තුල පශ්චාත් වියසන ක්ලමථ අක්‍රමතා ලක්‍ෂණ හඳුනා ගත හැකි විය​. මෙම ළමා නිවාසය පාලනය කරන ලද්දේ කොටි සංවිධානය විසිනි. එම නිසා මෙම ළමුන් පසු කාලයක ළමා සොල්දාදුවන් ලෙස යුද බිමට යවන්නට ඇති බව මට සිතේ. පශ්චාත් වියසන ක්ලමථ අක්‍රමතාවයෙන් පෙලන ළමුන් මරාගෙන මැරෙන මිනිස් බෝම්බ බවට ඉතා ලේසියෙන් පරිවර්තනය කල හැකිය​. 

දකුනේ දේශපාලකයන් සමහරක් වෛද්‍ය ජයලත් ජයවර්ධනට කොටි ලේබල් ඇලවූහ​. එහෙත් මට සිතෙන්නේ සත් භාවයෙන් වන්නියේ ජනතාවට උදව් කිරීමට ඉදිරිපත් වූ වෛද්‍ය ජයලත් ජයවර්ධනව කොටින් විසින් තමන් ගේ වාසියට පරිශ්‍රීලනය කල බවයි.  වන්නියේ ජනතාව වෛද්‍ය ජයලත් ජයවර්ධනට ගරු කල අයුරු මා දෙනෙතින් දුටුවෙමි. ද්‍රවිඩ සිවිල් වැසියන් ඔහුව පිලි ගත්තේ ඉතා උණුසුම් අයුරෙනි. වෛද්‍ය ජයලත් ජයවර්ධනගේ අකල් වියෝව  ලංකාවේ වාර්ගික සංහිඳියාවට වූ බලවත් පාඩුවකි. 

විශේෂඥ මනෝ වෛද්‍ය   ඩී.වී.ජේ හරිස්චන්ද්‍ර මහතා මට මුලින්ම හමු වූයේ 1998 දී යූතනේසියාව (Euthanasia ) හෙවත් අනායාස මරණය  පිළිබඳව  වෛද්‍යවරුන්ට දේශනයක් කිරීමට මීගමුව බ්‍රවුන්ස් බීච් හෝටලයට පැමිනි අවස්ථාවේදීය​.  එදින එතුමා ඉතා හරබර දේශනයක් කලේය​. එසේම කරාපිටිය රෝහලේ එතුමාගේ වාට්ටුවේ පවත්වන සයිකෝ ඩ්‍රාමා හෙවත් ප්‍රතිකාරාත්මක මනෝ නාට්‍යය නැරඹීමට මට ආරාධනා කලේය​.   

විශේෂඥ මනෝ වෛද්‍ය   ඩී.වී.ජේ හරිස්චන්ද්‍ර මහතා මගේ පොත් අතරින් යුද ආතතිය පිළිබඳ ලියා තිබෙන ග්‍රන්ථ වලට කැමැත්තක් දැක්වීය​. සමහරක් විට රූපාවාහිනී වැඩසටහන් වලදී මෙම පොත් වල අඩංගු වූ කරුණු (මගේ නම සඳහන් කරමින් ) පෙන්වා දුන්නේය​. තමන්ට වඩා කණිෂ්ඨ වෛද්‍යවරයෙකුගේ දෙයක් අගය කිරීමට ලංකාවේ බොහෝ වෛද්‍ය විශේෂඥයන් පැකිලුනද එතුමා තුල එම කුහක දුර්ගුණාංගය නොවීය​. මේ නිසා විශේෂඥ මනෝ වෛද්‍ය ඩී.වී.ජේ හරිස්චන්ද්‍ර මහතා දිවයින් මානසිකත්වයෙන් මිදුණු විද්වතෙකු ලෙස මම දකිමි. 

වෛද්‍ය ඩී ජේ එල් සිරිවර්ධන  මහතා මුහුණ සහ හකු පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙකු විය​. එතුමා මට මුණ ගැසෙන්නේ කොලඹ යුද හමුදා රෝහලේදීය​. ඉතා නිවුනු ගතිගුණ තිබූ විහිළු තහළු කිරීමට කැමති වෛද්‍ය ඩී ජේ එල් සිරිවර්ධනගේ විචිත්‍ර සිනහව මට තවමත් මතකය​. 

වෛද්‍ය ඩී ජේ එල් සිරිවර්ධන ඊලාම් යුද්දය නිසා මුහුණ ප්‍රදේශය තුවාල වූ සොල්දාදුවන් රැසකට ප්‍රතිකාර කලේය​. එසේම උපදේශනය සඳහා මට රෝගීන් යොමු කලේය​. මේ හැර මගේ පොතකටද එතුමා විසින් පෙරවදනක් සපයා තිබේ. එතුමාගේ වියෝව පුද්ගලිකව මෙන්ම පොදුවේ වෛද්‍ය ක්ශේත්‍රයට සිදුවූ පාඩුවක් ලෙස මම දකිමි. 

ඒ කාලයේදී විශේෂඥ නිර්වින්දන වෛද්‍ය ගැවින් අමරසිංහ මහතා මට නිතරම යුද හමුදා රෝහලේ වෛද්‍ය නිලධාරී නිල නිවස්නයේ මුණ ගැසේ. ඔහු විවේක අවස්ථා වලදී බිලියඩ් සෙල්ලම් කිරීම කලේය​. එසේම යුද්ද කාලයේදී සොල්දාදුවන්ට ප්‍රතිකාර කිරීමේදී විශාල සේවයක් එතුමා කලේය​. වෛද්‍ය ගැවින් අමරසිංහ මහතා නොසිතූ අවස්ථාවකදී අප අතරින් වියෝ විය​

වෛද්‍ය කර්නල් ටී. ඒ දයාරත්න මහතා  සුන්දර මිනිසෙකි. ඔහු කණිෂ්ඨ වෛද්‍යවරුන්ට සෑම අයුරකින්ම උපකාර කලේය​. කුහක කම් බෙලි කැපිලි , කේලාම් කීම් යන දුර්ගුනයන් ගෙන් තොරවූ වෛද්‍ය කර්නල් ටී. ඒ දයාරත්න මහතා ජීවිතය වින්දනය කලේය​. සාදයකදී වෛද්‍ය කර්නල් ටී. ඒ දයාරත්න නොමැති නම් එය මහා අඩුවක් විය​. වෛද්‍ය කර්නල් ටී. ඒ දයාරත්න මහතා මිය ගිය බව පණිවිඩය ලැබුනේ බොහෝ කාලයකට පසුවය​. 

ශල්‍ය වෛද්‍ය විශේෂඥ බ්‍රිගේඩියර් සොයිසා මුල් කාලයේ මනෝ ප්‍රතිකාරයන් ගැන විශ්වාස නොකලේය​. පසුව ඔහුගේ රෝගීන් කිහිප දෙනෙකු තුල තිබූ විශාදය , කාංසාව නිසා හටගත් කායික රූපී ආබාධ මනෝ ප්‍රතිකාර හරහා සුව වනවා දැකීමෙන් පසු මා සමග මිත්‍ර විය​. වරක් යුද හමුදා රෝහලේදී මා විසින් පැවැත්වූ මනෝ ප්‍රතිකාර පිලිබඳ දේශනයකටද බ්‍රිගේඩියර් සොයිසා පැමිනියේය​. එම දේශනයේදී මම රෝගියෙකුව මෝහනය කලෙමි.  පසු දිනෙක මට බ්‍රිගේඩියර් සොයිසා ඉන්ටකොන් හෝටලයේදී පැවති වෛද්‍යවරුන් ගේ ගේ සමුළුවකදී හමු විය​. එහිදී බ්‍රිගේඩියර් සොයිසා මාව හිටපු සෞඛ්‍යය අමාත්‍යවරයෙකු වූ වෛද්‍ය රංජිත් අතපත්තු මහතාට හඳුන්වා දෙමින් මා රෝගියා මෝහන ප්‍රතිකාර මගින් සුවපත් කල අයුරු විස්තර කලේය​. 

බ්‍රිගේඩියර් සොයිසා රෝගී සත්කාරයේ කැපවී යෙදුනේය​. රෝගී සත්කාර මඟ හැරුනහොත් ඔහු කාර්‍යමණ්ඩලයට දෙහි කපයි. එසේම තම සේවා මුරය අවසන් කොට ගෙදර යමින් සිටියදී ගිලන් රථයක් එනවා දුටුවහොත් ඒ පසු පස ගොස් රෝගියා ගැන සොයා බලා අවශ්‍ය ප්‍රතිකාරයක් වහාම ලබා දේ. ඔහුගේ වියෝව යුද හමුදා රෝහලට වූ බලවත් පාඩුවකි. 

ඉහත නම් සඳහන් වෛද්‍යවරු  පුද්ගලික මෙන්ම වෘත්තීය දිවියේදී  මට මුණ ගැසුනු වෛද්‍යවරු වූහ​. ඔවුන් මිය ගියද ඔවුන් පිළිබඳ මතකය මිය ගොස් නැත​. 


වෛද්‍ය රුවන් එම් ජයතුංග 

Tuesday, June 21, 2016

වාසවිලාන්හි දී



කපිතාන් උපාලි විජේරත්නත් මමත් වාසවිලාන්හි හමුදාව විසින් අත්පත්කරගත් නිවෙසක නැවතී සිටියෙමු. අධි ආරක්‍ෂිත කළාපයට අයත් වූ මෙම නිවසේ සිට අප පලාලි රෝහල වෙත ගියෙමු. 

( යාපනයේ අධි ආරක්‍ෂිත කලාප පිහිටුවනු ලැබුවේ 1995 වසරේ සිදු කළ 'රිවිරැස' මෙහෙයුමෙන් පසුවය​.  අධි ආරක්‍ෂිත කලාප පිහිටවන ලද්දේ  එල්.ටී.ටී.ඊ.යේ මෝටාර් ප්‍රහාරවලින්  උතුරුකරයේ කඳවුරු සහ ගුවන් පථ ආරක්‍ෂා කර ගැනීමටය​ )

නිවසේ වැඩ කල සොල්දාදුවා ඉතා රසවත් ලෙස කිරිබත් උයයි. ඔහුගේ කිරිබත්  අප උදෑසන ආහාරය ලෙස ගතිමු. ඉන්පසු හමුදා කැබ් රියෙන් රෝහලට ගොස් රෝගී ප්‍රතිකාරයේ යෙදුනෙමු. 

උදෑසන අවදි වීමෙන් පසු මම මෙම නිවස වටා යමි. ඉතා අලංකාර ලෙස නිමවා ඇති මෙම ගෘහය දමිළ ඉහල මධ්‍යම පන්තිකයෙකුගේ නිවසක් විය යුතුය​. එහි කාමර විශාලය​. කුස්සිය කොටස් දෙකකි. කෑම කාමරය දිගු ශාලාවක් බඳුය​. 

මහා බලාපොරොත්තු සහිතව ඉදි කල මෙම නිවෙස හැරයාමට ඔහුට සිදු වූයේ උතුරුකර යුද්දයත් සමගය​. සමහරක් විට ඔහු යුරෝපීය රටක සරණාගතයෙකු ලෙස ජීවත් වනවා විය හැකිය​. මට කොලඹ හැව්ලොක් ටවුමේ තිබෙන මගේ නිවස මතක් විය. යම් ලෙසකින් කොලඹ යුද්දයක් ඇතිවී මට මගේ නිවස අත් හැර දැමීමේ තත්වයක් උද්ගත වුවහොත් මට ඇතිවන  ගැන මම කල්පනා කලෙමි. එවැනි හැඟීමක් වාසවිලාන් හි මෙම නිවස අයිති පුද්ගලයා නිසැකයෙන්ම අත් විඳින්නට ඇති. මා කිසි දෙනෙක නොදුටු ගෙහිමියා ගැන මට සංවේගයක් ඇතිවේ. 


නිවෙස ඉදිරි පිට දර්ශනීය තණ පිට්ටනියකි. එහෙත් මේ පිට්ටනියේ ඇවිදීමට මම මැළි වෙමි. සමහරක් විට මේ තණ පිට්ටනියේ ජොනී බට්ටන් වළ දමා තිබෙනවා විය හැකිය​. ජොනී බට්ටන් විසින් ඇති කරන ලද   කායික තුවාල මෙන්ම මානසික තුවාලද මම දැක තිබේ. කායික තුවාල සුව වූවද සමහර මානසික තුවාල වසර ගනන් ගියද සුව නොවෙති. 

 වාසවිලාන්හි හමුදා බංකරයක් අසලින් අප යමු. එහි රැකවල් කරන සොල්දාදුවා සීරුවෙන් අවිය අතට ගෙන අපට හමුදා ක්‍රමයට ආචාර කරයි. වැස්ස නිසා බංකරය තෙත් වී තිබේ. අද දින රාත්‍රිය ඔහු ගත කරන්නේ මේ වතුර පිරුණු බංකරයේය​. 

මේ අවට භූමිය සිංහල සහ ද්‍රවිඩ තරුණයන් ගේ රුධිරයෙන් තෙත් වී තිබේ.  දුර දක්නා නුවනකින් සහ රාජතාන්තික භාවයකින් තොර වූ බල ලෝභී සිංහල සහ දෙමල දේශපාලකයන් විසින් කැස කවා  ආරම්භ  කරන ලද යුද්දය නිසා වියැකී ගිය ජීවිත , විනාශ වූ දේපළ , සුන් වූ අපේක්‍ෂා කෙතරම් ද ? 


වෛද්‍ය රුවන් එම් ජයතුංග 

Monday, June 20, 2016

ඇඩම්ස් ඔන්ලි





1981 නවය  වසරේ සිටියදී පන්තියේ ළමෝ වැඩිහිටියන්ට පමණයි චිත්‍රපට බැලීමට උත්සුක වූහ​. ඇඩල්ස් ඔන්ලි චිත්‍රපට වලට ඔවුන් ඇඩම්ස් ඔන්ලි කියා කියූහ​. 

මේ කාලයේ ගීතා කුමරසිංහ රඟපෑ වැඩිහිටියන්ට පමණයි මහගෙදර චිත්‍රපටය ආවෙන් පන්තියේ සිටි සමහරක් මෙම චිත්‍රපටය බැලීමට ගොස් සුන් වූ බලාපොරොත්තු සහිතව ආහ​. මහගෙදර චිත්‍රපටය බැලීමට දෙමටගොඩ මානිල් හෝල් එකට ගිය ලාල් රූපතුංග පෝලිමේ සිට ටිකට් කවුන්ටරය වෙත ගිය මුත් ටිකට් කවුන්ටරයේ සිටි පුද්ගලයා යූනික පෙදෙසේ රෝම තිබේද  කියා ලාල් රූපතුංග ගෙන් අසා ඇත​. මින් කෝපවූ " ලාල් ඇයි පෙන්නන්නද ? කියා ඇසීය​. ගැටවරයෙකුගේ අනිසි පිළිතුර නිසා කුපිත වූ ටිකට් කවුන්ටරයේ සිටි පුද්ගලයා  ලාල් රූපතුංගට පහර දීමට අසුනින් නැගිට්ට අතර දෙමටගොඩ වාසියෙකු වූ ලාල් මානිල් හෝල් එකෙන් දිව ගොස් වෙනත් අතුරු මාර්ගයකින් මතු විය​. 

මේ කාලයේ මමත් සිදත් සුරේන්ද්‍රත් වැඩිහිටියන්ට පමණයි චිත්‍රපටයක් බැලීමට කතා කරගත්තෙමු. ඒ කාලයේ රියෝ හෝල් එකේ තිරගතවූ Ursula Andress රඟපෑ Perfect Friday ඇඩල්ස් ඔන්ලි චිත්‍රපටය බැලීමට අප ගිවිස ගත්තෙමු.

සිදත් ජීවත් වූයේ ග්‍රෑන්ඩ්පාස්  වලය​. එම නිසා මම ගමන් මූලිකයා වූයෙමි.  සිකුරාදා දිනෙක අප දෙදෙනා පාසල් වේලාවෙන් පසු පුරහලට ගොස් රියෝ චිත්‍රපට ශාලාවට යාමට 138 බස් එකක නැගුනෙමු. ටිකක් දුර යද්දී මෙම බස් රථය අනෙක් පැත්තට එනම් කිරුළපන පැත්තට යන බව මට පෙනී ගියේය​. එම නිසා වහාම බස් රථයෙන් බැසගත් අප දෙදෙනා යළිත් 138 බස් රථයක නැග අනෙක් පැත්තට ගොස් රියෝ එක අසල බැස්සෙමු. ඒ වන විට චිත්‍රපටය පටන් ගෙන විනාඩි 30 පමණ ගතවී තිබුනේය​. 

උසින් මහතින් යුත් සිදත් පළවන පන්තියේ ටිකට් දෙකක් ඉල්ලීය​. කවුන්ටරේ පුද්ගලයා කිසිවක් නොඅසා ටිකට් දෙකක් දුන්නේය​. නමුත් හෝල් එකේ දොර අසල සිටි පුද්ගලයා මගෙන් වයස ඇසීය. මම දහ අටයි කීවත් ඔහු එය විශ්වාස නොකර ටිකට් දෙක ආපිට දුන්නේය​. මමත් සිදතුත් ඔහුට බොහෝ වේලාවක් කන්නලව් කොට හෝල් එක ඇතුලට ගියෙමු. ඒ වන විට චිත්‍රපටයේ අගනා දසුන් සියල්ලම අවසන්වී තිබුනේය​. 


Sunday, June 19, 2016

නොදැවී 500 ( මේ 500 වන පෝස්ටුවයි ) චිකාගෝ





ඇමරිකාවේ චිකාගෝ නගරයට මා මුලින්ම ගියේ 2006 වසරේදීය​. ඉන්පසු 2011 වසරේ යළි චිකාගෝ වෙත යාමටත් සති කීපයක් චිකාගෝ නගරයේ ජීවත්වීමටත් අවකාශ ලැබුණි. චිකාගෝ නගරය නම ඇසෙන විට ලංකාවේ බොහෝ දෙනෙකු පාතාලයන් වෙඩි තබා ගන්නා නීතියෙන් තොර නගරයක් ගැන සිතති. එහෙත් මේ ඒ චිකාගෝව නොවේ. නීතියට යටත් වූ සාමකාමී මාර්ග සහිත චිකාගෝවක් මම දුටුවෙමි. එහෙත් සෑම නගරයකටම පොදු වූ අපරාධ සහ මංකොල්ලයන් වර්තමාන චිකාගෝ හි නැතුවා නොවේ. එහෙත් එම චිකාගෝව ක්‍රමක් ක්‍රමයෙන් වියැකී යන චිකාගෝවකි.  

අපරාධ චිකාගෝව නිර්මාණය කරන්නේ  ඇල් කපොන් විසිනි. ඇමරිකාවේ මත්පැන් තහනම තිබූ කාලයේ ඇල් කපොන් නීති විරෝධී මත්පැන් වියාපාරය මගින් මුදල් සම්භාරයක් මෙන්ම අපරාධ ජාලයක් ද ගොඩනැගුවේය​. (ලංකාවේ මත්පැන් සිගරට් තහනම් කරන්න කියා මොර දෙන පුද්ගලයන් ද මෙය වටහා ගත යුතුය​. කුඩු මෙරට තහනම් ය නමුත් කුඩු තිබේ. මත්පැන් සිගරට් තහනම් කලොත් ඒවාට වන්නේද ඔය දෙයම වන අතර කුඩු මුදලාලිලාට අමතරව මත්පැන් සිගරට් මුදලාලිලාද බිහි වනු ඇත​)  

චිකාගෝ නගරයේ සමෘද්ධිය පෙන්වන එක් පරාමිතියක් නම් අහස ස්පර්ශ කරන විශාල ගොඩනැගිලිය​. මිලෙන් ඉහල නව මාදිලියේ වාහන මෙන්ම අලංකාර ලෙස ඇඳ පැළඳි ජනයා නගරයේ සුලබ දර්ශනයන් ය​. මේ සමෘද්ධිමත් දර්ශන අස්සේ කුණු බක්කියක් අවුස්සා කෑමට යමක් සොයන මහළු කළු ජාතිකයෙකු මගේ නෙත ගැටුණි. 

චිකාගෝ නගරය සංස්කෘතික නගරයකි. කලාගාර , දැකුම්කළු උද්‍යාන , නාට්‍ය ශාලා , චිත්‍රපට ශාලා බොහෝ තිබේ. මේ අතරින් චිකාගෝ හි ඉතිහාස කෞතුකාගාරය ලොව ප්‍රකටය​. 

ඇමරිකාවේ තෙවන විශාලම නාගරික ජනගහනය ඇති නගරය චිකාගෝවයි. චිකාගෝවේ ඉලිනොයිස් විශ්ව විද්‍යාලය ලොව සුප්‍රකට විශ්ව විද්‍යාලයකි. මා සමග මත්ද්‍රව්‍ය නිශේධන ප්‍රතිකාර සහ පරියේශන සම්බන්ධයෙන් සේවය කල ජොසපීන් ඉලිනොයිස් විශ්ව විද්‍යාලයේ නිෂ්පාදනයකි. ෆිලිපීන ජාතික කාන්තාවක් වන ඇය චිකාගෝවට තදින්ම ඇළුම්කරන්නීය​. සමරිසි කන්තාවක් වන  ජොසපීන්  සහ ඇයගේ සහකාරිය චිකාගෝහි බොහෝ කාලයක් ජීවත්ව තිබේ. වර්තමානයේ  ජොසපීන් කැනඩාවේ හැමිල්ටන් නගරයේ ජීවත් වන අතර වසරකට වරක්  චිකාගෝ වෙත යන්නීය​. 

චිකාගෝ නගරයේ සිටි කාලයේදී මම වරක් යාබද විස්කොන්සින් ජනපදයටද ගියෙමි. විස්කොන්සින් ජනපදවාසීන්ට චිකාගෝ වැසියන් කියන්නේ චීස් හෙඩ්ස් කියාය​. විස්කොන්සින් ජනපදය චීස් නිෂ්පාදනයට ප්‍රකටය​. විස්කොන්සින් වාසීන් චිකාගෝව හඳුන්වන්නේ the City of Big Shoulders කියාය​. 

මේ සමයේ චිකාගෝ නගරයේ මෙරිලින් මොන්‍ රෝ ගේ විශාල ප්‍රතිමාවක් නිර්මාණය කිරීම අරඹා තිබුණි. නමුත් මේ ප්‍රතිමාව විවෘත කරනවා බැලීමට මට නොහැකි විය​. එම ප්‍රතිමාව මම දුටුවේ අන්තර්ජාලය හරහාය.


​. වෛද්‍ය රුවන් එම් ජයතුංග 

Saturday, June 18, 2016

නාලන්දේ ගායකයෝ


අප මෙන්  මේසයට තඩි බාමින් නොව ශාස්ත්‍රීය 
අන්දමට ගීත ගයන මා මිතුරු ජනක් චන්දිම සිරිතුංග 


පාසල් කාලයේ  නාලන්දේ ගායකයෝ බොහෝ දෙනෙකු වූහ​. මේස වලට ගසමින් ඔවුන් සින්දු කී අයුරු මට මැවී පෙනේ. අප එකේ දෙකේ පන්තිවල සිටියදී සින්දු ටීච හෙවත් ලලනී නවරත්න ටීච පියානෝව වාදනය කල අතර අප ඉංග්‍රීසි පොයම්ස් තාලයට කීවෙමු. මට අද වූවත් ඒවා මතකය​. ඉන් එකක් මෙසේය​. 

Sing a song of sixpence,
A pocket full of rye.
Four and twenty blackbirds,
Baked in a pie.

When the pie was opened,
The birds began to sing;
Wasn't that a dainty dish,
To set before the king?

හය වසරේදී මාජරීන් හෙවත් උපතිස්ස සර් ටිකිරි ටිකිරි ලියා සින්දුව ඉංග්‍රීසියට පෙරලා අප ලවා ගායනා කරවීමට උත්සහ කලේය​. ටීනි වීනි වෙන්ට් ටුද වෙල් මොනිට කම් ඇන්ඩ් බිට් හර් කියා වචන යොදා උපතිස්ස සර් පරිවර්තනය කල සින්දුවට අප සිනාසුනෙමු. "මුං ජෝතිපාලගේ  සින්දු අහලා මිසක් හොඳ සින්දු අහලා තියනවාද ? කියා උපතිස්ස සර් මගේ පිට මැදට පහරක් දුන්නේය​. ජෝතිපාල නම් ගායකයෙක් සිටින බව මා දැනගත්තේ එදාය​. 

අපගේ පන්තියේ සිටි මම , කැළුම් සහ  ප්‍රියදර්ශන අබේවීර ගුණවර්ධන  හොලිඩේ චොයිස් සැටඩේ චොයිස් නිතර අසන නිසා ඇබා, පුසි කැට්ස් , බ්‍රදර් හුඩ් ඔෆ් මෑන් , බීජීස් , ටීනා චාල්ස් , ලියෝ සේයර් යනාදීන් ගේ ගීත දැන සිටි අතර සමහර විට අප ඩෙස්ක් වලට ගසමින් මේ ගීත කීවෙමු. 

හතේ පන්තියේදී අප සමග සිටි අරෝෂ ගුණසේකර සිංහල සහ හිංදි ගීත ගායනා කලේය​. නිතරම ගී ගයන අරෝෂව පන්තියේ සිටි කටකාරයා වූ ඩබල් එන් පී රත්නායක හැඳින්වූයේ මන්නාඩේ කියාය​. මේ කාලයේ (1979) මන්නාඩේ ලංකාවටද ඇවිත් තිබුණි. අරෝෂ නිතරම " නින්දේදී යහනේ පවා කියා ගීතයක කෑල්ලක් ගායනා කල අතර එය මට කට පාඩම් විය​. පසුව මෙය ජෝතිපාල ගයන චිත්‍රපට ගීතයක් බව මම දැනගත්තෙමි. දැනුදු සමහර අවස්ථා වලදී 404 අධිවේගී මාර්ගයේ රිය පදවන විට  එදා අරෝෂ ගැයූ  නින්දේදී යහනේ පවා යන ගීත කෑල්ල මම මුමුණමි.  

හතේ පන්තියේ සිටි ධම්මික වීරවර්ධන අමුතු අමුතු ගීත ගැයුවේය​. වරක් ඔහු  " බැලුවම අහිංසකයි මිනිහා හරි වසයි "  කියා මරු සිරා ගැන ගීතයක් කීවේය​. තවත් වරකදී "ගරා යකා රීරි යකා සන්නි යකා " කියා සිංදුවක් ද , "මම ගියා අපායේ බජව් එකකට සීයේ " කියාද ගීත ගැයුවේය​. මේ ගීත මම ඇසුවේ ධම්මික වීරවර්ධන ගෙනි. මෑතකදී මුහුණු පොතෙන් මා සමග කතා කල ධම්මිකට   මේ බව කීවෙමි. මට මතක තිබූ ඔහු කියූ සමහර ගීත දැන් ඔහුට මතක නැත​. 

අප අට වසරේ සිටියදී නිතරම නිහාල් නෙල්සන් ගේ ගීත ගායනා කල කොළුවෙක් වූයේය​. අප ඔහුට නිහාල් නෙල්සන් කියා නමක් තැබුවෙමු. ඔහුගේ ඇත්ත නම මට මතක නැත​. ඔහුගේ උඩ සාක්කුවේ නිතරම නිහාල් නෙල්සන් ගේ කැසට් එකක් තිබුනේය​. 

දහය වසරේදී මමත් අසංග ලංකාතිලකත් වේදිකාවට නැග කොල්ලන් ඉදිරියේ බොනි එම්ලාගේ  බයි ද රිවර් ඔෆ් බාබිලෝන් ගීතය ගැයුවෙමු. ගීතය අවසානයේදී කොල්ලන් අපට මහා අත්පොලොසන් නාදයක් දුන්හ​. අසංග ලංකාතිලක පසුව නාවික හමුදාවට ගිය අතර ජෙනරාල් කොබෑකඩුව සමග බිම් බෝම්බයකට අසුව මිය ගියේය​. 

නාලන්දේ විශාරද ගායකයෝද වූහ ජනක් චන්දිම සිරිතුංග , නන්දන , වැනි සිසුන් පාසලේ උත්සව අවස්ථා වල සර්පිනා , තබ්ලා වයමින් ගීත කියූහ​. තබ්ලා ගැසූ තබ්ලා සම්පත් මගේ මිතුරෙකි. එහෙත් අපි ගීත කීවේ මේසයට තඩි බාමිනි. පන්තියේ මට ලාච්චුව සහිත ඩෙස්ක් එකක් තිබුණු අතර එහි ලී තුනී නිසා ගසන විට අමුතු රිද්මයක් දුන්නේය​. සමහර විට මුලු පන්තියම එකතුවී ගීත ගයති. මම ඩ්‍රම් වාදකයා වූයෙමි. මම බොනි එම්ලාගේ රස්පුටින් ගීතයේ ආරම්භක ඩ්‍රම් වාදනය මේසයට ගසමින් මතුකර ගත්තෙමි. මේ රිද්මය මම මතු කරන විට පන්තියේ කොල්ලන් අත්පොලොසන් දෙති. 
  
මගේ ගිත ගායනය ඇණ හිටියේ අනපේක්‍ෂිත විලසිනි. වරක් මා පන්තියේ කොස්ස ගිටාරය මෙන් ගෙන ගීතයක් කියමින් සිටින විට අපට බුද්ධාගම ඉගැන්වූ කොක්මාදූවේ ගුණසිරි හාමුරුවන් පන්තියට වැඩම කලේය​. හාමුරුවන් මට පන්තියේ ඉදිරි පෙල මේසයක වාඩිවන ලෙස කී නමුදු කපිළ ජාසිංහ " ස්වාමීන්වහන්ස ඩෙස්ක් වහන්සේ  හෙල්ලෙන සේක"  කියා කියූ හෙයින් අප සිනාසුනෙමු. 

මේ නිසා හාමුරුවන්ට තරහා ගියේය​. ඉක්බිති කොක්මාදූවේ ගුණසිරි හාමුරුවන් මාව පන්තියෙන් එලියට දමා කොල්ලන් ගෙන් පසුගිය පාඩමෙන් ප්‍රශ්න ඇසුවේය​. කිසිවෙකු පිලිතුරු දුන්නේ නැත​. මම එලියේ සිට පිලිතුරු දුන්නෙමි. මින් තවත් තරහ ගිය කොක්මාදූවේ ගුණසිරි හාමුරුවන් මාව අංශ භාර ජයවර්ධන සර් වෙත යැවීය​. ජයවර්ධන සර් මට පස්සට වේවැල් පාරවල් පහක් දුන්නේය​. ඉන් පසු මම පන්තියේ ගීත ගායනය  සහමුලින්ම අත් හැර දැමුවෙමි. 


වෛද්‍ය රුවන් එම් ජයතුංග 


Find Us On Facebook