Sunday, July 30, 2023

නීට්‍ෂේ ගේ දේශපාලන චින්තනය



වෛද්‍ය රුවන් එම් ජයතුංග 

ෆ්‍රෙඩ්‍රික් නීට්‍ෂේට දේශපාලන දර්ශනයක් තිබේද යන්න පිලිබඳව බොහෝ විද්වතුන් විවාද කරති. එසේම "නීට්‍ෂේ යම් ආකාරයක රජයක් අනුමත කරන්නේද? පිලිබඳව විවිද අදහස් තිබේ.  නීට්‍ෂේගේ දේශපාලන න්‍යාය ගවේෂණය කිරීම අසීරු කරුණකි. එහෙත් නීට්‍ෂේ ගේ  Zarathustra ප්ලේටෝනික දේශපාලන දර්ශනයේ ප්‍රධාන අංශ කිහිපයක් වැළඳ ගන්නා බව පෙනී යයි. Zarathustra ආඛ්‍යානය පෙන්වන්නේ සාමූහික මානව පැවැත්ම පිළිබඳ දේශපාලනික වශයෙන් පදනම් වූ විවේචනයකිනි. නීට්‍ෂේ රාජ්‍යය සහ බහුජන සමාජය  විවේචනය කරයි. නීට්‍ෂේ ජාතික රාජ්‍යයේ විවේචකයෙකු ලෙස පිළිගනු ලැබුවද, නූතනත්වයේ දෝෂ සහිත දේශපාලන ක්‍රමය  පුනරුථාපනය  කිරීම සඳහා නීට්‍ෂේ සමාජයේ නව ආකෘතියක් අපේක්‍ෂා කරන බව පෙනී යයි. මේ අනුව එක්තරා ආකාරයකින් නීට්‍ෂේ ගේ Thus Spoke Zarathustra වනාහී දේශපාලන සාක්‍ෂියකි.

නීට්ෂේ සහ දේශපාලන යනු නීට්ෂේගේ විස්තීර්ණ හැඳින්වීමකි. නීට්ෂේ දේශපාලන ක්‍රියාවන් ගැන සෞන්දර්යාත්මකව සිතන්නා සේම, ඔහුගේම කලාවට දේශපාලන අරමුණක් ඇත.  ඔහු සමාජ, සංස්කෘතික හා දේශපාලන ප්‍රභූවක් ගොඩනැගීමට අපේක්‍ෂා කරයි. ඔහුගේ දර්ශනය යම් දුරක​ට "Postmetaphysical" Political Philosophy - "පශ්චාත් පාරභෞතික" දේශපාලන දර්ශනයක්  ලෙසට හැඳින්විය හැකිය. ඔහු  බලය, නිදහස, ආධිපත්‍යය, සමානාත්මතාවය, යනාදී අංශයන් පිලිබඳව කතා කරයි. නීට්‍ෂේගේ දේශපාලන අදහස් වංශාධිපති රැඩිකල්වාදය, බොනපාට්වාදය, පුද්ගලවාදී අරාජිකවාදය යන මාවත් හරහා විහිදී යයි. ඔහුගේ දේශපාලන චින්තනය සඳහා නූතනත්වය පිළිබඳ ඔහුගේ විවේචනය වෙත යාම වැදගත් වෙයි.  

ඔහුගේ නූතනත්වය පිළිබඳ විවේචනයට නූතන දේශපාලනය ද ඇතුළත් වේ. නූතන දේශපාලන චින්තනයේ ප්‍රධාන ගැටළු පිලිබඳව නීට්‍ෂේ අදහස් දක්වා තිබේ. ඔහු දහනව වන සියවසේ සමාජය හා දේශපාලනය දුෂ්ට හා ඍණාත්මක ලෙස දුටුවේය.  නූතන "රාජ්‍යය" යනු නීට්‍ෂේ වැඩියෙන්ම පහර දෙන සතුරන්ගෙන් එකකි. නූතන "රාජ්‍යය" බොරුවක්  සහ  නිර්මාණශීලී පුද්ගලයාගේ වර්ධනය වළක්වන රාක්‍ෂයෙක් බව ඔහු කීවේය.  

නීට්‍ෂේ විසින් දේශපාලනය කෙරෙහි දැඩි පිළිකුලක් ප්‍රදර්ශනය කළ නමුදු ඉන් ඔහුගේ දේශපාලන චින්තනය ක්‍ෂයවී නොයයි. නීට්‍ෂේ නවතාවයට අනුග්‍රහය දක්වමින්  පැරණි සදාචාරයේ ක්‍රම හෙළා දකින අතර දේශපාලනය සඳහා ද  ඔහු එලෙස ක්‍රියාත්මක වෙයි.  පැරණි දේශපාලන භාවිතය ජයගත යුතු දෙයක් බව ඔහු අවධාරණය කරයි. ඔහු "මහා දේශපාලනයක්" ( grand politics) ගැන අදහස් දැක්වීය.  එහි  නිදහස හා ස්වෛරීත්වය පිළිබඳ දැක්මක් ඇත. එය  පරමාධිපත්‍යය පිළිබඳ දැක්මකි.

උසස් සංස්කෘතිය ඉහල තළයේ දේශපාලනයේ ප්‍රකාශනයකි. නීට්‍ෂේට උසස් සංස්කෘතිය වැදගත් වන්නේ එයට බලය ඇති බැවිනි. පුද්ගලයන්ට ජීවිතය තහවුරු කිරීමට  සමාජය විසින් කොන්දේසි ස්ථාපිත කළ යුතු බව ඔහු තර්ක කරයි. ශ්‍රේෂ්ඨ පුද්ගලයන් ඔවුන් සිටින සංස්කෘතීන් වැඩිදියුණු කරති. එමඟින් මෙම සමාජ අනෙකුත් සමාජයන්ට වඩා කැපී පෙනේ. ඕනෑම සමාජයක ඉලක්කය විය යුත්තේ උසස් නිර්මාණයක් බව නීට්‍ෂේ ප්‍රකාශ කරයි. නීට්‍ෂේ විශ්වීය සමාන අධ්‍යාපනයට එරෙහිව තර්ක කරයි. ඔහුගේ විවේචනය වන්නේ ප්‍රජාතන්ත්‍රවාදී අධ්‍යාපනය නිර්මාණශීලී ප්‍රතිභාව වගා කිරීම අඩාල කරන බවයි. නීට්‍ෂේට ධූරාවලි සමාජයක් පිහිටුවීමට අවශ්‍ය විය​. 

ක්‍රිස්තුස් තමන් ගේ රාජ්‍ය්‍ය මෙලොව නොපවතින බව කීවේය. එසේම යුද ශක්තිය, තේජස, උදාරත්වය යන පුරාණ වීර ගුණයන් පාපකාරී බව ක්‍රිස්තුස් දේශනා කළහ. නීට්‍ෂේ පුරාණ වීර ගුණයන් අගයයි.  නීට්‍ෂේ ක්‍රිස්තියානි සදාචාරය සහ වෙනත් සමාන විශ්වීය සදාචාරයන් ප්‍රතික්ශේප කලේය. ඔහු මූලික ක්‍රිස්තියානි පරමාදර්ශයන් මිනිසා සහ රාජ්‍යය දුර්වළ කරන බව ලිවීය​. නීට්‍ෂේ ලිබරල්වාදය, සමාජවාදය සහ ඔහුගේ කාලයේ අනෙකුත් දේශපාලන පද්ධති සැලකුවේ ක්‍රිස්තියානි ධර්මය විසින් දියාරු කළ ව්‍යාපාර ලෙසටය. (නීට්‍ෂේ පවසන පරිදි   ඔහු ක්‍රිස්තියානි පරමාදර්ශයට එරෙහිව සටන් කරන්නේ “එය විනාශ කිරීමේ අරමුණින් නොව නව පරමාදර්ශ සඳහා මාවත පැහැදිලි කිරීමට සඳහා පමණක්” බවය).  මෙම වර්ධනයට ප්‍රතිරෝධය දැක්වීම සඳහා, වඩාත් ප්‍රාථමික හා පැරණි රදළ දෘෂ්ටිය වෙත නැවත පැමිණීම නීට්ෂේට අවශ්‍ය විය. දුක් විඳීමෙන් හා යටත් වීමෙන් නොව බලයට ඇති කැමැත්ත ඔස්සේ කලාත්මක හා දේශපාලනික ජයග්‍රහණ පිලිබඳව ඔහු සිහින දුටුවේය​. 

ඇරිස්ටෝටල් සහ රූසෝ මිනිසා මූලික වශයෙන් සමාජ ජීවියෙකු ලෙස සැලකූ අතර එබැවින් මිනිසාව තේරුම් ගැනීමට ඔහු ස්වභාවිකව ගොඩනඟන සමාජ පරිසරයන් කෙරෙහි අවධානය යොමු කළ යුතු බව කීවේය​. නීට්‍ෂේ මෙය අනුගමනය කරයි. නීට්‍ෂේ සමාජය වාසස්ථානයක් ලෙස සලකයි. පුද්ගලයා කෙරෙහි සාරධර්ම කාවද්දන ලද්දේ  සමාජයයි, එය  පුද්ගලයාගේ බොහෝ කායික තත්ත්වයන් තීරණය කරයි යන්න ඔහුගේ අදහස විය. පරම්පරාගත ආගමික  විශ්වාසයන්ගේ ශුන්‍යවාදී හරය හෙලිදරව් කිරීම ඔහුගේ අභිලාෂය විය​. ඔහු පෙන්වා දුන්නේ පැරණි ලෝකයේ ආගමික පරමාදර්ශ බොහොමයක් ගලා එන්නේ විශිෂ්ටත්වයෙන් නොව, දුර්වලකම, අමනාපය සහ රෝගී වූ චිත්තවේගයන්ගෙන් බවය. මෙම ඝර්හිත පරමාදර්ශ මිනිසුන්  විශිෂ්ට ව්‍යාපෘති පසුපස හඹා යාමෙන් වළක්වන බව ඔහු පෙන්වා දුන්නේය​. මිනිසා හොඳ සහ නරක විනිශ්චයන් තමාටම නිර්මාණය කරගත්තේ කුමන තත්වයන් යටතේද? ඔහු ප්‍රශ්න කලේය​. 

නීට්‍ෂේගේ බලය - Will to Power පිළිබඳ දර්ශනය ඔහුගේ දේශපාලනයෙන්  ඉවත් කළ නොහැක​. 1880 ගණන්වල ආරම්භයත් සමඟම, නීට්ෂේ "බලය සඳහා වූ ආශාව" (Machtgelüst) ගැන කතා කිරීමට පටන් ගත්තේය. බලයට ඇති කැමැත්ත මිනිසුන්ගේ ප්‍රධාන ගාමක බලවේගය ලෙස නීට්‍ෂේ විශ්වාස කරයි. නීට්‍ෂේ කියා සිටින්නේ මිනිසාට තමා අභිබවා යාමට තම බලය තහවුරු කර ගැනීම අත්‍යාවශ්‍ය බවයි. නීට්‍ෂේට බලය යනු මානවවාදී ස්වයං පරිපූර්ණත්වය මෙන්ම බාහිර, දේශපාලනික, ප්‍රභූ, රදළ ආධිපත්‍යය වෙයි.  

බලයට ඇති කැමැත්ත, සදාකාලික නැවත පැමිණීම සහ සුපිරි මිනිසාගේ ආගමනය පිළිබඳ ප්‍රධාන අදහස් නීට්‍ෂේගේ දේශපාලන චින්තනය තුල තිබේ.  මිනිසාට සමාජ ජීවියෙකු ලෙස පැවැත්ම සඳහා බලයට ඇති කැමැත්ත පිළිබඳ නීට්‍ෂේගේ සංකල්ප වැදගත් වෙයි. ඔහු කෲරත්වය සඳහා වූ ආශාව බලය පිළිබඳ හැඟීමේ සතුට සමඟ සම්බන්ධ කරයි.  නීට්‍ෂේට අනුව "අතෘප්තිය” යනු බලයට ඇති කැමැත්තට උත්තේජකයකි. "මිනිසා ප්‍රතිරෝධය සොයයි, ඔහුට විරුද්ධව යමක් අවශ්‍යයි " නීට්‍ෂේ පවසයි.  නීට්‍ෂේ  මිනිසාගේ කායික විද්‍යාව ප්‍රමුඛස්ථානයකට ඔසවා තබයි. ඔහු සෞඛ්‍යය සම්බන්ධ කරන්නේ බලයට ඇති කැමැත්තේ ශක්තිමත් ප්‍රකාශනයක් සමඟ ය. 

බලයට ඇති කැමැත්ත පිළිබඳ සංකල්පය අරගලයේ සංකල්පය ද ඇතුළත් බව පෙන්වා දිය හැකිය. බලයට ඇති කැමැත්ත ජීවිතයේ ස්වභාවය සංලක්ෂිත යටින් පවතින බලවේගයයි. බලයට ඇති කැමැත්ත පිළිබඳ නීට්ෂේගේ මූලධර්මයෙන් ගම්‍ය වන්නේ සමාජයකට ඵලදායි ලෙස තමන්ව ආරක්ෂා කර ගත හැක්කේ තරඟකාරීත්වය සමඟ සංවිධානාත්මක අරගලයකින් පමණක් බවයි. එසේම සතුරන් සිටීමේ වැදගත්කම Twilight of the Idols හි සඳහන් කරයි. සතුරා සමාජ සංවිධානයක් ස්ථාපිත කිරීම සහ පවත්වාගෙන යාම සඳහා අත්‍යවශ්‍ය කොන්දේසියක් බව නීට්‍ෂේ පෙන්වා දෙයි. (අප අපේ සතුරන් හෙළා නොදැකිය යුතු බවත්, ඔවුන් සිටීම පිලිබඳව ආඩම්බර විය යුතු බවත්, සරතුස්ත්‍රා කීවේය). උතුම් මිනිසාගේ' අත්‍යවශ්‍ය ලක්‍ෂණයක් වන්නේ ඔහුගේ සතුරා නපුරු ලෙස හැඳින්වීම නොවන බව ඔහු අවධාරණය කරයි

නීට්‍ෂේට අනුව ඕනෑම විද්‍යාත්මක, ආගමික, සදාචාරාත්මක හෝ බුද්ධිමය වර්ධනයක් ආරම්භ වූයේ නොදැනුවත්කම, ලෞකිකත්වය, ම්ලේච්ඡත්වය, ව්‍යාකූලත්වය හෝ තරඟකාරී සංස්කෘතික ආකෘතීන්  ජය ගැනීම සඳහා අතෘප්තිය සහ ආවේගයන් සමඟ ය. සාමවාදය පවා - මානව ප්‍රචණ්ඩත්වය ජය ගැනීමේ ආවේගයක් ලෙසත්, අපගේ තිරිසන් ස්වභාවය අභිබවා යන උසස් ජීවන රටාවක් ලෙසත් - බලයට ඇති කැමැත්තේ අවස්ථාවක් ලෙස තේරුම් ගත හැකි බව ඔහු කියයි. බලය පිලිබඳව නීට්‍ෂේ මෙසේ කියයි;   -  Power  includes human mastery “over his own savagery”

සංස්කෘතිය යනු ස්වභාවධර්මයේ ම්ලේච්ඡ බලවේගයන්ට පටහැනි දෙයක් යන අදහසට එරෙහිව තර්ක කරමින්, නීට්‍ෂේ පුරාණ ග්‍රීසියේ පැතිරී තිබූ තරඟකාරීත්වය පෙන්වා දුන්නේය​. එය සියලු සංස්කෘතික කටයුතු (මලල ක්‍රීඩා, කලා, කථික, දේශපාලනය සහ දර්ශනය තුළ) ක්‍රියාත්මක විය. එය බොහෝ ග්‍රීක මිථ්‍යාවන්, කාව්‍යයන් සහ දර්ශනයන්හි ප්‍රකාශිත ලෝක දෘෂ්ටියක චාරිත්‍රානුකූල ප්‍රකාශනයක් ලෙස දැකිය හැකි විය​. නීට්ෂේ සඳහා, ජීවිතය යනු සෑම ප්‍රගතියක්ම කිසියම් බාධාවක් හෝ ප්‍රතිබලයක් ජය ගැනීමකි. එබැවින් ගැටුම යනු සටන්කාමී බලවේගවල අන්‍යෝන්‍ය සහයෝගීතාවකි. 

නීට්‍ෂේ රාජ්‍යය සහ ආගම අතර සමීප සම්බන්ධයක් දුටුවේය. නීට්ෂේ. "ආගම සහ රජය" යන මාතෘකාව  තම Human, All Too Human  කෘතියේ සාකච්චාවට බඳුන් කරයි.   නීට්ෂේ ප්‍රකාශ කළේ රාජ්‍යය ආක්‍රමණ මත රඳා පවතින බවයි.  සාම්ප්‍රදායික බල දේශපාලනය මූල්‍යමය වශයෙන් බරක් වූ අතර සංස්කෘතියට වෙනත් ආකාරයකින් දායක විය හැකි තරුණයින්ගේ ජීවිත අහිමි කලේය​. නීට්‍ෂේ සඳහා රාජ්‍යය යුක්තිසහගත වන්නේ එය ප්‍රතිභාව තුළින් සංස්කෘතියට පළමු වරට සමෘද්ධිමත් විය හැකි අවකාශයක් විවෘත කරන විටදීය​. 

අප සිටින්නේ ආගමේ මරණයේ යුගයක බව නීට්‍ෂේගේ අදහස විය. ඔහු සාම්ප්‍රදායික යුරෝපීය සදාචාරය සැලකුවේ "රංචු සදාචාරය" ("herd morality")  ලෙසටය.  ජනතාව තනි කැමැත්තක් නොමැතිව කණ්ඩායම් සහජ බුද්ධියෙන් ජීවත් වන රංචු සතුන් මෙනි. "රංචු සදාචාරය" මධ්‍යස්ථභාවයෙන් සියල්ලන්ටම සමාන වීමේ ප්‍රජාතන්ත්‍රවාදී කැමැත්ත නිරූපනය කරයි. දෙවියන්ගේ මරණය යුරෝපීය මිනිසා විශ්වීය ඉලක්කයක් නොමැතිව වල්මත් කලේය​. වල්මත් වූ රංචු සදාචාරයේ විලංගු බිඳ දැමීමට නිදහස් ආත්මයන් උත්තේජනය කිරීමට අවශ්‍ය බව නීට්‍ෂේ අවධාරණය කරයි. පාපය පිළිබඳ සංකල්පය අපගේ සහජ බුද්ධිය නොමඟ යැවීමට නිර්මාණය කරන ලද අතර අවසානයේ ඒ පිළිබඳ සංකල්පය මිනිසා සහ රාජ්‍යය දුර්වළ කර දමයි. 

නීට්ෂේගේ මැකියාවෙලියන් දේශපාලනය අවිවාදිතය​. මැකියාවෙල්ලි මිනිසා දකින්නේ දේශපාලන සතෙකු ලෙසටය. බලය සෙවීමේදී ඔහුට වේගයෙන් ක්‍රියා කළ යුතු අතර ඉතා කපටි විය යුතුය. දේශපාලන බලය අල්ලා ගැනීමට සහ තහවුරු කර ගැනීමට නම් සතුරන් විනාශ කල යුතු බව මැකියාවෙල්ලි උපදෙස් දෙයි. නීට්‍ෂේ සහ මැකියාවෙල්ලි නිහතමානීත්වය සහ යුක්තිය වැනි ක්‍රිස්තියානි ආචාර ධර්මවලට එරෙහිව පෙනී සිටියහ​. ක්‍රිස්තියානි ආචාර ධර්මයේ මූලික කරුණු සමඟ දෙදෙනාම එකඟ නොවූහ​. මැකියාවෙල්ලි සහ නීට්ෂේ යන දෙදෙනාම උපකල්පනය කරන්නේ ස්වයං සංරක්ෂණය, ස්වයං සත්‍යකරණය සහ ස්වයං උසස් කිරීම (self preservation, self actualization and self aggrandizement)  සඳහා ක්‍රියා කිරීමේ අවශ්‍යතාවය අතිමහත් බවයි. දේශපාලනය සදාචාරයට සම්බන්ධයක් නැත" යනුවෙන් මැකියාවෙල්ලි ලියන විට නීට්‍ෂේ එයට එකඟතාවක් දක්වයි. මේ අනුව දාර්ශනික ආස්ථානයන් සම්බන්ධයෙන් ගත් කල නීට්‍ෂේ මැකියාවෙලිගේ දේශපාලන ඉගැන්වීම්වලට දායක වෙයි. 

කාල් මාක්ස් සහ නීට්‍ෂේ අතර බොහෝ අසමානකම් දැකිය හැකිය​.  නීට්‍ෂේ සහ මාක්ස් දේශපාලනය, සමාජය සහ සදාචාරය පිළිබඳ විවිධ දෘෂ්ටිකෝණ දැරූ නමුත් ඔවුන් දෙදෙනාම සම්ප්‍රදායිකව විවේචනාත්මක වූ බව පෙනී යයි. මාක්ස්  හේතුව වෙනුවෙන් පෙනී සිටි අතර, නීට්‍ෂේ ආශාව වෙනුවෙන් පෙනී සිටියේය. මාක්ස් සාමූහිකත්වය විශ්වාස කළ අතර  නීට්‍ෂේ  පුද්ගලයා වෙනුවෙන් පෙනී සිටියේය. මාක්ස් මහජනතාවගේ සහ පීඩිතයන් වෙනුවෙන් පෙනී සිටියේය . නීට්ෂේ ‘රංචුව’ පිළිකුල් කළ අතර සමාජයේ පහළම පුද්ගලයන්  පාලනය කළ යුතු බව විශ්වාස කළේය. මාක්ස් සමානාත්මතාවය සඳහා විය. නීට්ෂේ ධුරාවලිය සඳහා විය.  

මාක්ස්වාදය ඉතා සරල බවත් එය මිනිස් ස්වභාවය ආර්ථික සාධක දක්වා ඌනනය කරන බවත්  නීට්‍ෂේ  විශ්වාස කළේය. එසේම මාක්ස්වාදී න්‍යායේ ප්‍රධාන අංගයක් වන ඓතිහාසික නියතිවාදය  (historical determinism ) පිළිබඳ අදහස  නීට්‍ෂේ  ප්‍රතික්‍ෂේප කළේය. කම්කරු හා පන්ති අරගලයේ ස්වභාවය පිළිබඳ මාක්ස්ගේ න්‍යායන් "වැදගත් සහ සත්‍ය" බව  නීට්‍ෂේ  ලිවීය. එහෙත් ඔහු "පංති විරහිත සමාජයක්" පිළිබඳ අදහස ඉතා විඥානවාදී සහ යථාර්ථවාදී නොවන බව ඔහු පෙන්වා දුන්නේය. නීට්ෂේගේ දර්ශනය පුද්ගලවාදයේ වැදගත්කම, ස්වයං අභිබවා යාම සහ සම්ප්‍රදායික වටිනාකම් ප්‍රතික්ෂේප කිරීම අවධාරණය කරන අතර මාක්ස්වාදය ධනේශ්වර පීඩනයට එරෙහිව කම්කරු පන්තියේ අරගලය සහ පන්ති විරහිත සමාජයක් නිර්මානය කිරීම කෙරෙහි අවධානය යොමු කරයි.

ඇතැමුන්ට අනුව නීට්‍ෂේගේ  චින්තනයේ ප්‍රජාතන්ත්‍ර විරෝධී  ලිබරල් විරෝධී බව දක්නට තිබේ. නීට්‍ෂේ  ප්‍රජාතන්ත්‍රවාදී ජීවිතය තුළ  මානව ශ්‍රේෂ්ඨත්වය අහිමි වීමේ ප්‍රවණතාව, මානව අභිලාෂයන්, බුද්ධිමය විශිෂ්ටත්වය  යටපත් වීම පිලිබඳව කනස්සල්ල පළ කලේය. ඔහු ප‍්‍රජාතන්ත‍්‍රවාදය දුටුවේ අතලොස්සක් පීඩාවට පත්කිරීමේ මහජනයාගේ මෙවලමක් ලෙසටය. නීට්‍ෂේ සමාජ කොන්ත්‍රාත් න්‍යාය (social contract theory) ප්‍රතික්‍ෂේප කරයි  ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදීන් මිනිසා රංචු සතෙකු බවට පත් කල බව  නීට්‍ෂේ කියයි. 

දේශපාලන දර්ශනයේ එක් ප්‍රධාන ප්‍රශ්නයක් වන්නේ පාලන තන්ත්‍ර නීත්‍යානුකූල කිරීම සම්බන්ධයෙනි. නීත්‍යානුකූල රජය යනු කුමක්ද සහ පුරවැසියන් කීකරු විය යුත්තේ මන්ද? යන   පිළිතුරු පදනම් වී ඇත්තේ පාලකයන් ගේ  කැමැත්ත සහ පුද්ගලයන්ගේ සමානාත්මතාවය මත ය. පුරවැසියන්ගේ කැමැත්ත ඇතිව පාලනය කිරීමේදී පාලකයෙකු නීත්‍යානුකූල වේ. නීට්‍ෂේ මෙය විශාල වැරැද්දක් ලෙස සලකයි.  ඔහු යුරෝපීය චින්තනය ආක්‍රමණය කිරීමට  මූලාශ්‍ර දෙකකින් හඹා යයි: දෙවියන් ඉදිරියෙහි ආත්මයන් සමාන ය යන ක්‍රිස්තියානි ධර්මය; සහ තාර්කික ආත්මයේ නිදහස සහ ස්වාධිපත්‍යය ආචාර ධර්මවල (පරමාදර්ශී) පදනම බව කාන්ට්ගේ මූලධර්මය -ඔහු මේ  ප්‍රභවයන් දෙකටම පහර දෙයි. 

නීට්‍ෂේගේ ප්‍රජාතන්ත‍්‍ර විරෝධී සහ සමානාත්මතා විරෝධී ස්ථාවරය තේරුම් ගත යුතුව ඇත්තේ වඩාත් පළල් වූ මනසකිනි. ඔහුගේ අතිවිශාල දාර්ශනික ආස්ථානය තුළ පටු නිගමනයන්ට ඒම සුදුසු නොවේ. නීට්ෂේ අවසානයේ උත්සුක වන්නේ ඔහුගේ "ඉහළ" මිනිසුන්ගේ එකමුතු ශ්‍රේෂ්ඨත්වය විසින් හීලෑ කරන ලද රැඩිකල් තරඟකාරී බහුත්වවාදයට ඉඩ දීමෙන්, පොදුවේ සහ පුද්ගල මට්ටමින් මනුෂ්‍යත්වය උත්කර්ෂයට නැංවීම ගැන ය.

නීට්‍ෂේගේ චින්තනය නාසිකරණය එතිහාසික වරදකි. නීට්‍ෂේ යුදෙව් විරෝධීන් පිළිකුල් කළේය. යුදෙව් විරෝධය (Anti-Semitism) යනු දුර්වල, පහත් මිනිසුන් සඳහා වූ හැඟීමක් බව ඔහු කීවේය. ​මේ අනුව නීට්‍ෂේ  හිට්ලර් ගේ දේශපාලනයට සමපාත නොවේ.   නාසිවාදය සහ ෆැසිස්ට්වාදය සමඟ නීට්‍ෂේ ගෙ සබඳතාවක් නොමැත.  ඇතැම් න්‍යායවාදීන් නීට්‍ෂේ භයානක ලෙස අසමානතාවාදියෙකු ලෙස තේරුම් ගනිති. එහෙත් නීට්‍ෂේ ලිබරල්වාදයේ ස්වභාවික සතුරෙකු ද නොවේ. 

කේම්බ්‍රිජ් ඉතිහාසඥ හියුගෝ ඩ්‍රොචොන් තර්ක කරන්නේ නීට්‍ෂේගේ දේශපාලන අදහස් මුලින්ම තේරුම් ගත යුත්තේ බිස්මාර්ක්ගේ ප්‍රතිපත්ති, විශේෂයෙන්ම ඔහුගේ "මහා දේශපාලනය", දහනවවන සියවසේ අගභාගයේ ජාත්‍යන්තර දේශපාලනය පරිවර්තනය කළ ආලෝකයෙන් බවයි.  (පසුකාලීනව බිස්මාර්ක් සහ කයිසර් විල්හෙල්ම් II ගේ බල දේශපාලනය වෙනුවට, නීට්ෂේ තමාගේම "ශ්‍රේෂ්ඨ දේශපාලනයක්" යෝජනා කළේය) මෙහිදී රාජ්‍යය යහපත් යුරෝපීය" සංස්කෘතික ප්‍රභූවක් විසින් මෙහෙයවනු ලබන අතර එහි ඉලක්කය  ග්‍රීක උසස් සංස්කෘතියේ නැවත ඉපදීම දිරිමත් කිරීමයි.  සත්‍ය ධර්මයක් (a doctrine of truth)  පවත්වා ගැනීම යනු ජීවිතයේ කොන්දේසි සීමා කිරීමයි.  ඩ්‍රොචොන් තර්ක කරන්නේ 1889 දී ඔහුගේ මානසික බිඳවැටීමට (දාර්ශනිකයාගේ සිෆිලිටික් පරිහානියට) පෙර වසරවලදී, නීට්‍ෂේ ඔහුගේ අභිලාෂකාමී සංස්කෘතික අරමුණු ඉදිරියට ගෙන යාම සඳහා දේශපාලනයට සෘජු ප්‍රවේශයක් සැලසුම් කළ බවයි.

සාම්ප්‍රදායික සදාචාරය සහ දර්ශනය සමඟ රැඩිකල් ලෙස බිඳී ගිය මානව විමුක්තියේ අනාගතවක්තෘවරයෙකු ලෙස නීට්‍ෂේ ගෞරවයට පාත්‍ර වී ඇත. නීට්‍ෂේ හුදු නිෂේධාත්මක විවේචකයෙකු නොවේ. ඔහු දේශපාලනය" පිළිබඳ නැවුම් අර්ථකථනයක් සපයයි. ඔහුගේ චින්තනය වර්තමාන ස්වරූපයෙන් මනුෂ්‍ය වර්ගයා ජය ගන්නේ කෙසේද යන ප්‍රශ්නය ගැන සැලකිලිමත් වෙයි. ඔහු පවසන්නේ ජීවිතයේ ස්වභාවයට අනුගතව සිටීමට සහ මානව සමෘද්ධියට ඉඩ සැලසීමට වර්තමානය අඛණ්ඩව ජය ගැනීම අවශ්‍ය බවයි.  

මිනිසාගේ දියුණුව පිළිබඳ ඔහුගේ පුද්ගලවාදී දැක්ම සුවිශේෂීය. සාරධර්ම නිදහස් ප්‍රතිනිර්මාණය කිරීමේ හැකියාව ඇත්තේ තෝරාගත් කිහිප දෙනෙකුට පමණක් බව ඔහු පෙන්වා දෙයි.   අනාගතයේ ශ්‍රේෂ්ඨ දාර්ශනිකයින් සහ නායකයින් කිහිප දෙනෙකුට පමණක් "සාරධර්ම නිර්මාණය කිරීමට හැකි වනු ඇතැයි නීට්‍ෂේ විශ්වාස කලේය.  මේ අනුව ඔහුගේ දර්ශනය විස්තර කරන්නේ ප්‍රභූ අධිකාරීවාදී සමාජයකි.  

නීට්‍ෂේ විසින්ම දේශපාලන සඳහා අත්‍යවශ්‍ය ශිල්පීය ක්‍රම සපයනු ලබයි. ඔහු පෙන්වා දුන් පරිදි ග්‍රීකයින් ඔවුන්ගේ ආත්මාර්ථකාමී පෞද්ගලික අනන්‍යතාවයෙන් ඉවත්  වූ අතර සාමූහිකව ඒකාබද්ධ සංස්කෘතික ඒකකයක් ලෙස හඳුනා ගත්හ. නීට්‍ෂේ මිනිස් ජීවිතයේ "ඩයෝනිසියානු" පැතිකඩ පිලිබඳ විවර කරයි. වංශාධිපතිත්වය නැවත ස්ථාපිත කිරීමේ සහ මිනිසුන් සඳහා නව ශ්‍රේෂ්ඨත්වයක් සොයා ගැනීමේ හැකියාව වඩාත් ශුභවාදී ලෙස තහවුරු  කෙරෙන පිවිසුමක් නීට්‍ෂේ ඉල්ලා සිටියි.  මිනිසා අද්විතීය වන්නේ ඔහුගේ සෞඛ්‍යයේ ඉහළම ප්‍රකාශනය බුද්ධිමය හා අධ්‍යාත්මික නිර්මාණශීලිත්වය මත බව ඔහු පෙන්වා දෙයි. උසස් රාජයක් ගොඩ නගා ගත හැක්කේ මේ හරහා බව ඔහු විසින් අවධාරණය කරයි. 
 


References

De Abbey, R.(1988).  “Nietzsche and the Will to Politics,” The Review of Politics 60, 83-114.  

Detwiler, B.(1990). Nietzsche and the Politics of Aristocratic Radicalism. Chicago: University

of Chicago Press.

Ezekiel, A.(2013). human cry, Philosophy & Social Criticism, 10.1177/0191453713498253, 40, 9, (913-930).

Hollingdale, R.J.(1997). Cambridge: Cambridge University Press.

Nietzsche, Friedrich. Beyond Good and Evil. Translated by Walter Kaufmann. New York:
Random House, Inc., 1966.

Nietzsche, Friedrich. Human, All too Human. Translated by RJ Hollingdale. Cambridge:
Cambridge University Press, 1996.

Nietzsche, Friedrich. The Gay Science. Translated by Walter Kaufmann. New York: Vintage,
1974.

Nietzsche, Friedrich. The Portable Nietzsche. Translated by Walter Kaufmann. New York:
Random House, Inc., 1967.
 
Rorty, R (2007).Contingency, Irony, and Solidarity. Cambridge: Cambridge University Press. 

 

  

දීප්ති කුමාර ගුණරත්නව කියවීම

 




දීප්ති කුමාර ගුණරත්න මනෝ විශ්ලේෂණය (Psychoanalysis) සිංහල කතා කරන පාඨකයන්ට ලං කලා. ඔහු ලංකාවේ මනෝ වෛද්‍යවරුන්ට මනෝ විශ්ලේෂණය පිලිබඳව තියෙන්නේ මොන්ටිසෝරි දැණුමක් කිව්වා (ඒක 90% විතර හරි, එහෙත් මනෝ වෛද්‍ය නීල් ප්‍රනාන්දු , මනෝ වෛද්‍ය දයා සෝමසුන්දරම් වගේ අය එක්ක මම වැඩ කරලා රිසච් පේපර්ස්  එහෙම කරලා තියන නිසා ඔවුන් තුල  මනෝ විශ්ලේෂණය පිලිබඳව තියන ඉහල දැණුම ගැන දන්නවා) දීප්ති එස්ටැබ්ලිෂ්මන්ට් එකට චැලෙන්ජ් කලා ඒක හොඳ දෙයක්. නමුත් ඔහුගේ දුර්වලතාවන් තියනවා. එකක් තමයි ඔහු Jacques Derrida, Freud, Jacques Lacan, Michel Foucault වගේ චින්තකයන් ගේ  ලේඛන අදහස් ඉංග්‍රීසියෙන් සිංහලට පරිවර්තනය කරන්නේ දෝශ සහිතව. ඔහුගේ ඌණ ඉංග්‍රීසි දැණුම නිසා ඔහු විසින් ලියූ සිංහල ලිපි වල දෝෂ වැරදි බොහොමයක් තියනවා. (මේක ආචාර්‍ය නලීන් සුවාරිස් පවා සදහන් කල දෙයක්)  එසේම ඔහු මේ විද්වතුන් ගේ අදහස් ලංකාවේ දේශපාලන මතවාද වලට රිංගවනවා. ඔහුගේ ඉංග්‍රීසි වලින් සිංහලට පෙරලීමේදී පරිවර්තන දෝශ නිසා ගාම්‍ය වන්නේ වෙනත් විකෘති අදහසක්. එසේම දීප්තිව සාදු කෙනෙක් වගේ අදහන බැතිමතුන් පිරිසක් වහල් හමුදාවක් ඉන්නවා. ඔහු ප්‍රතිවාදීන් සමග මතවාදීව නොගැටී මේ වහල් හමුදාව දම්මලා මඩ ප්‍රහාරයන් ප්‍රතිවාදියාට දියත් කරනවා. ඒ නිසා බොහෝ දෙනා දීප්ති සමග මතවාදී වාද වලට යන්නේ නෑ. (මේ පිලිබඳව නිර්මාල් දේවසිරිට බොහෝ අත්දැකීම් තියනවා). දීප්තිට උසස් අධ්‍යාපනයක් නොමැති වීම නිසා ඔහු ඇකඩමියාව දෙස බලන්නේ සතුරු ඇසකින්. ඔහු කලක් මහාචාර්‍ය දියනාත් සමරසිංහට පහර දුන්නා. ඒ වගේම කොලඹ වෛද්‍ය පීඨය සයිවර් තෝසේ කඩයකට උපමා කලා. මේ ඔහු තුල ඇකඩමික් ශික්‍ෂණය නොමැති නිසාත් ඇකඩමියාව කෙරෙහි තිබෙන යම් හීනමානයක් නිසාත් කරන ලද දේවල්. නමුත් මේ වන විට ඔහු යම් විනයක් ලබාගෙන ඇති බවට මම සිතනවා. කෙසේ වෙතත් ගිරවා දමා උපාධි සමත් වූ සමහරක් එකම අච්චුවේ උගතුන්ට චැල්න්ජ් එකක් දීමට ඔවුන්ව බියෙන් සලිත කිරීමට දීප්තිට හැකි උනා. ඒ වගේම සාම්ප්‍රදායික දේශපාලනය පිලිබඳ වෙනස් ලෙස සිතීමට ඔහු මිනිසුන්ව යොමු කලා ඒක  දීප්ති කරපු ධනාත්මක දෙයක්.   



Wednesday, July 26, 2023

71 කැරැල්ල සහ ජයතිස්ස කුමාරගේ




ජයතිස්ස කුමාරගේ මහතා 71 කැරැල්ලට සම්බන්ධ වූවෙකි. තව ද ක්‍රියාශීලීව නායකත්වය දැරුවෙකි. ඔහු එම සිද්ධිය විස්තර කළේ මෙසේ ය. 

මගේ පාසල් කාලය අර්බුදකාරී පාසල් කාලයක් වගේම සමහරු ගුරුවරුන්ගේ අර්බුදකාරී විෂම තත්ත්වයන්ට ලක් වෙච්ච කෙනෙක්. 9 ශ්‍රේණියේ දී මම ශිෂ්‍ය නායක පදවියටත් පත්වෙනවා. ඒ ශිෂ්‍ය නායකකම දුන්නහම සමහරු ගුරුවරු යම් යම් අකටයුතු කම් කළා. ඒ අපේ පවුල්වල තත්ත්වය අනුව ශිෂ්‍ය නායකකම මට නොගැලපෙන්නක් යයි සිතා. ඒ ප්‍රශ්න නිසා මට පාසල් ජීවිතය එපා වෙනවා. ඒ එපාවීම තුළින් මම වැටෙනවා දඩබ්බර ලීලාවෙන් මැර ස්වරූපයට. ඒ 1968 විතර ඒ 10 ශ්‍රේණියේ දී විතර. පළමු වරින් ම මා සාමාන්‍ය පෙළ සමත් වෙයි කියන විශ්වාසය යම් යම් ගුරුවරුන් තුළ තිබුණා. ඒ නිසා ඔවුන් මා උසස් පෙළ පන්තිවලට යොමු කරනවා. ඒ වෙනකොට මට පාසල් ජීවිතය සහ විභාග ජීවිතේ ම එපා වෙලා ඉවරයි. පළමු වර විභාගයෙන් පසු මා ජනතා විමුක්ති පෙරමුණේ පන්ති පහට සහභාගි අවසන්. ඒ අනුව දෙවන වර විභාගයේ දී ප්‍රශ්න පත්‍රරවලට හරියට උත්තර ලියන්නේ නැහැ හරියටම කියනවා නම්, ලියන්නේ පන්ති පහේ දී උගන්නපු දේවල්වලින් පිළිතුරු. ඒ 1968 විතර ඒ 10 ශ්‍රේණියේ දී විතර. 

මේ කාලේ තරුණ සමාජ තුළ මාව සටන්කාමියෙකු විදියට තමයි හැඳින්වෙන්න පටන් ගන්නේ. අපේ ක්‍රීඩා සමාජය මේ කාලේ වේගයෙන් විවිධ ක්‍රියාකාරකම් කරන්ඩ උත්සාහ කරමින් සිටියා. මේ කාලේ අපේ පළාතේ තරුණයින් අතර මා සමාගම කියන පිළිගැනීමක් තිබුණා. ඔය කාලේ අපේ පළාතේම හිටපු ‘මාටින්’ සහ ‘ගාමිණී’ දෙදෙනා සමාජයේ කැපී පෙනෙන තරුණයින් වුණි. ඔවුන් දෙදෙනො තමයි මුලින් ම මා මුණ ගැසී එවක රටේ තත්ත්වය ගැන මට පැහැදිලි කරන්න උත්සාහ ගත්තේ. පවතින සමාජ ක්‍රමයේ අසාධාරණත්වය ගැන ඔව් කතා කළා. ඔවුන් මට සහෝදරයා කියලා ඇමතුව ම මට ඒක අලුත් දෙයක් වුණා. 

මෙම කාලයේ අපි ත්‍රාසය රස විඳීමට ආසා කළෙමු. අඳුරේ ඇවිදීම අපට ත්‍රාසජනක දෙයක් විය. සටන් පිරි චිත්‍රපටි බැලීම අනිවාර්‍ය දෙයක් විය. හේනාවල කීර්ති සිනමා ශාලාවට නමයේ චිත්‍රපටි දර්ශන බැලීමට ගිය අප ආපසු ගෙදර පැමිණියේ චිත්‍රපටි චරිතවලට ආරූඪ වී ගෙන ය. අපි මෙසේ වින්දනීයව ආපසු එන ගමනේ දී බාල්දි කිහිපයක් හා තවත් මොනවාදෝ මිටි කිහිපයක් කරේ තබාගත් පිරිසක් අප ඉදිරියට එමින් සිටිනවා දුටුවෙමු. මේ මහා රෑ මෙසේ මහ පාරේ ඇවිදින පිරිස කවුදැයි මටත් අත්තනායකටත් සැකයක් ඇති වූ නිසා අපි ඔවුන් ගැන දැන ගැනීමට ආසා කළෙමු. ගෙදරක් ඉදිරියේ ඇති බැම්මක් ළඟ පිරිස නතර විය. හතර දෙනෙක් සිටි මේ පිරිසේ එක් අයෙක් බාල්දියක් බැම ළඟ තැබූ පසු තවත් කෙනෙක් විශාල බුරුසුවක් එයට ඔබා බැම්මේ එය අතුල්ලනවාත් සමග ඔවුන් දැන්වීම් පත්‍රිකා අලවන පිරිසක් බව අපට වැටහුණි. ඒ දැන්වීම් මොනවාදැයි දැන ගැනීමට ඇති වූ කුතුහලය නිසා අපි ඔවුන් වෙත වේගයෙන් ගියෙමු. මාටින් සහ ගාමිණී සමග තවත් අප නොදන්නා දෙදෙනෙකු එම පිරිසේ වූහ. අප දුටු මාටින් සරදම් සිනහවකින් අප දෙස බැලු‍වේ මට තරමක කෝපයක් ද ඇති කරමිනි. ”‍හා... කොහෙද ගියේ?”‍  ”‍අපි චිත්‍රපටිය බැලු‍වා” ”‍ඕවා තමයි ඔය කට්ටියට ලොකු දේවල්” මට ඔහුගේ වචනවලින් මොනවා අදහස් කළේදැයි තේරුණේ නැත. ඔවුන් අප ගණන් ගත්තේ නැත. ලොකු දැන්වීම් පත්‍ර දෙකක් තාප්පයේ ඇල වූ ඔවුන් අප පසුකර කඩුගන්නාව දෙසට ගමන් කළේ දිග ගමනක් යන ආකාරයෙනි. ඔවුන් ඇල වූ දැන්වීම් මොනවාදැයි අපි බැලු‍වෙමු. “මව්බිම නැත්නම් මරණය! අපි දිනමු. ජනතා විමුක්ති” “අප මරා දැමුව ද අප නඟන හඬ සදා නොමියනු ඇත. ජනතා විමුක්ති පෙරමුණ”‍ මෙම පාඨ දෙක කිය වූ මට නව පණක් දැනුනා සේ විය. මාටින් සහ ගාමිණී පවසන දෙය තුළ කුමක් හෝ ඇත්තක් ඇත. ඔවුන් සමග නැවත කතා කළ යුතු ය. අත්තනායක ද මගේ අදහස අනුමත කළේ ය. 

මාටින් හා ගාමිණි කියන දේ තුළ මොනවාදැයි ඇත්තේ කියවා කයලා හිතිලා තව දුරටත් ඔවුන් සමග කතා කරන්න හිතුණා. ඔය අතරේ තවත් දේශපාලන සංවිධාන ගැන තොරතුරු අපට මිතුරෙකුගේ මාර්ගයෙන් දැන ගන්නට ලැබුණා. ඒ වෙනකොට මට අවශ්‍ය වෙලා තිබුණේ කුමක් හෝ සංවිධානයක්. ඒ අනුව මම ඒ සංවිධානයට බැඳෙන්න තීරණය කළා. ඒ සඳහා සාකච්ඡා කරන්න ඒ සංවිධානයේ සාමාජිකයෙකුගේ නිවසට ගියා. අපි පස්දෙනෙක් විතර එතැනට ඇවිල්ලා සිටියේ. ඒ ගෙදර කටුමැටි ගහපු ඉතා කුඩා ගෙයක්. මැදිවියේ වැදගත් පෙනුමක් ඇති මහතෙකු උපදේශකයා ලෙසත් මහනුවරින් පැමිණ සිටියා. ඔහුගේ දේශනය අපඅතර සිටියට ඒ ගැන එච්චර තැකීමක් අපට තිබුණේ නෑ. පස්සේ දිහාදි තවත් මිතුරෙකු වූ සමරකෝන් ද මේ සංවිධානය සමාජිකත්වය දරන් තියෙනවා කියලා දැන ගත්තා. අප හැරෙන්නට බොහෝ අය මේ වන විටත් ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ වී තිබුණි. අපේ ක්‍රීඩා සමාජය ද මෙම සංවිධානයේ හොඳ කතා කරන්නට පටන් ගෙන ඇත. සමරකෝන් ද එහි සාමාජිකත්වය ලබා ඇති බව අපට දැනගන්නට ලැබුණි. ඔහුගේ සමීප මිතුරෙකු වූ දංතුරේ විජේනායක මඟින් ඔහු මෙම සම්බන්ධය ඇති කරගෙන ඇත. කිසිවෙකුත් අපට ඔවුන්ගේ ජේ. වී. පී. සම්බන්ධතාවය ගැන කියන්නේ නැත. මා සමරකෝන් සමග ඒ ගැන කතා කළ පසු ඔහු කීවේ විජේනායක සමඟ ඒ ගැන කතාකර තීරණයක් ගන්නා බවය. මෙම පක්‍ෂයට සාමාජිකයින් බඳවා ගැනීමට එකල කීව්වේ ”‍කොක්ක ගහනවා” කියාය. මාටින් සහ ගාමිණි මට කොක්ක ගැසීමට කළ පළමු වෑයමින් පසු කිසිවෙකුත් දැන් අපට කොක්ක ගසන්නට කැමැත්තක් නැත. “මේක ජයේ ආණ්ඩුවට විරුද්ධව කරන යුද්ධයක්. විප්ලව කියන්නේ මේවට. ඒකට ඕනෑ කෙලින් වැඩ කරන මිනිස්සු. මට කිව්වා ජනේලා ගැන ෂුවර් එකක් නෑ කියල. මං කිව්වා ජයේලා එහෙම නෑ. කියලා. ජයේලා සටන පාවා දුන්නොත් මට තමා තුවක්කුව හැරෙන්නේ“ සමරකෝන් පසු දිනෙක අප මුණ ගැසී එසේ කියද්දී අපට මහා සතුටක් දැනුණි. ඔහුගේ සමීප මිතුරෙකු වූ දංතුරේ විජේනායක මගින් මටත් පක්‍ෂයට බැඳෙන්න සූදානම් වුණා. 

සමරකෝන් පස්සේ  කීවා ප්‍රාදේශීය නායකත්වයට අපට බදවා ගන්න අනුමැතිය දීලා  තියෙනවා කියලා. ඒ කලේ මෙම සංවිධානයට බැදෙන එකට කියන්නේ ‘කොක්ක’ ගහනවා කියලා. අප බඳවා ගැනීමට ප්‍රාදේශීය නායකත්වය අනුමැතිය දී ඇත. අපි සෑහෙන වෑයමකින් කොක්ක ගසා ගත්තෙමු. පක්‍ෂය පිළිබඳ අවබෝධය ලබා ගැනීමට පන්ති පහක් පැවැත්විණි. ආර්ථික අර්බුදය පළමුවෙනි පන්තියයි. එයට සහභාගී වීමට අප ගියේ විජේනායකගේ දංතුරේ ටවුමේ තිබූ කඩ කාමරයකටය. දේශකයා විශ්ව විද්‍යාලයෙන් පැමිණි කෙනෙකි. ඔහුගේ දේශනයෙන් පසු අපට සුදු ආක්‍රමණියන් කෙරෙහි දැඩි වෛරයක් ඇති විය. “‍බලන්න සහෝදරයා සුදු අධිරාජ්‍යවාදීන් අපේ ආර්ථික රටාව විනාශ කරලා තියෙන හැටි. එදා අපේ කවියන් කියූ ලක්මිණියගේ සතර අතට ගලා ගිය නිල්වන් ශෙකලාපය බඳු ගංගාවන්වලට වෙලා තියෙන දේ බලන්න. අද ඒවායේ ගලනේ බොර දිය. ලක් මෑණියන් වයෝවෘද්ධ වෙලා. වෙලා නෙවෙයි කරලා. උන් අපේ වනාන්තර විනාශ කරලා. උන්ගේ ආර්ථික උවමනාවන්ට අපේ ආර්ථික රටාව යට කරලා. අධිරාජ්‍යගැති පන්තියකට රට භාරදීලා. අපි අපේ මව්බම මේ අධිරාජ්‍යගැති පන්තියෙන් නිදහස් කරගන්ට ඕනෑ. ඒක අපේ ජාතික යුතුකමක්” පළමු පන්තියෙන් පසුව අපි පක්‍ෂයේ ක්‍රියාකාරී සාමාජිකයින් වූයෙමු. 

ඒ කාලේ සාමාන්‍ය ජනතාව අපිව හැඳින්වූයේ ‘චේගුවේරා කල්ලිය’ කියලා. සංවිධානයට සම්බන්ධ වුණාට පස්සේ අපේ තිබුණ සුරාපානය, දුම්පානය, වැනි දේ ඉබේම නැතිවුණා. කතාකරන භාෂාව පවා වෙනස් වුණා. මේ කාලේ වෙනකොට අපි පාසල් ඡීවිතයෙන් සමුගෙන හිටියේ. දෙවැනි වතාවට විභාගයට මුහුණ දුන්නේ ඒක අපට විභාගයක් වුණේ නෑ. අපේ උත්තර පත්තරවල ලිව්වේ ජනාත විමුක්ති පෙරමුණ පන්තිවලින් ලැබුණු අදහසක්. මේ ආකාරයට තමයි මම ජනතා විමුක්ති පෙරමුණට බැඳිලා 71 කැරැල්ලට සම්බන්ධ වෙන්නේ. කැරැල්ලේ දී කඩුගන්නාව ප්‍රහාරය සිදුවූ අයුරු හා ඉන් හානි ඡීවිත පිළිබඳ කියනවා නම් 1970 මැතිවරණයෙන් පස්සේ මමත් ජනතා විමුක්ති පෙරමුණේ දේශකයෙකු වශයෙන් පුහුණු වුණා. ඒ පුහුණුවීම් සඳහා ගිය විවිධ අවස්ථාවන්වලදී පිස්තෝල වැනි සුලු අවි හැසිරවීමත් ඉගෙන ගත්තා. ඒ වෙනකොට ඡීවිත පූජාවෙන් විප්ලවයට කැපවෙනවා කියලා මම හිතලා ඉවරයි. මට දැන් දිවි පිදීමට පමණක් ඇත කියලා තමයි මට හිතෙන්නේ. ඒ කාලේ මම නායකයින්ගෙන් ඉල්ලා සිටියේ බෝම්බයක් සහිත රථයක් මට දෙන්න. එය රැගෙන හමුදා කඳවුරකට යන්න වුණත් මම සූදානම් කියලයි. එහෙම කියනකොට ඔවුන් මගේ පිටට තට්ටු කරමින් කිව්වේ ‘නියම බුලට් සහෝදරවරු කියන්නේ ඔය කට්ටියටම’ තමයි කියලයි. 

මම පක්‍ෂය වෙනුවෙන් මුදල් එකතු කිරීමේ යෙදෙන්නට පටන් ගතිමි. මුදල් එකතු කිරීමට සකස් කර තිබූ ටින් කැටයක් ඇතිව පිටිය හා පිටිය අවට, ඉන් ඔබ්බට මාකට් පාර ද පසුකර මහ පාර දක්වා ගියෙමි. පිටිය සහ ඒ අවට කොතෙක් සෙනගින් පිරි තිබුණ ද කිවහොත් රැස්වීම් භූමියට පැමිණීමට නොහැකිව ස්ටේෂන් පාරට වී විශාල සෙනගක් වූහ. ඉහළ පැලැන්තියේ රථ නතර කර මගේ කැටයට රුපියල් පනහේ කොළ, සීයේ කොළ දැමූ අවස්ථා ද විය. ජනතාව එතරම්ම ජනතා විමුක්ති පෙරමුණ එදා පිළිගෙන තිබුණි. ඔවුන් එය දැක තිබුණේ දේශප්‍රේමී,  රට පිළිබඳ අව්‍යාජ හැඟීමකින් යුතු බලවේගයක් ලෙසිනි. එදා ඔවුන් දැක තිබූ එකම විකල්පය එය විය. තවද අපට පක්‍ෂය වෙනුවෙන් මුදල් සෙවීමේ වගකීම හින්දම මංකොල්ල කන්නයි, සොරකම් කරන්නයිත් සිදුවුණා. ඔය අතරේ තමයි පේරාදෙණිය වලේ පක්‍ෂ රැස්වීමක් පැවැත්වුණේ. එදා විජේවීරත් සහෝදරයන් මහින්ද විඡේසේකර කතා කළා. ඒ රැස්වීමෙන් පස්සේ 1970 සැප්තැම්බර් 29 වන දින බෝගම්බර් පක්‍ෂ රැස්වීමක් සංවිධානය වුණා. ඒ රැස්වීම අතිශයින්ම සාර්ථක වුණා. එය මහනුවර පැවැත්වෙන අවසන් රැස්වීම බවත් අපට කියා තිබුණා. ඉන් ටික දිනකට පස්සේ සියලු දෙනාගේම මතය වුණේ දැන් සටනට කාලය සුදුසු බවයි. ඒ අනවු සෑම පාළාතම මෙන්ම සටන සඳහා සූදානම් වුණා. 

මේ වනවිට කෑගලු දිස්ත්‍රික්කයේ නෙලුම්දෙනිය ප්‍රදේශයේ සාමාජිකයින් පරිසක් 2 වන කරු හා බෝම් සෑදීමේ දී සිදු වූ පිපිරීමකින් මියගොස් තිබුණා. විජේවීරත් මේ වනවිට අත් අඩංගුවට පත්ව තිබුණ. මේවා සිදුවීම් වශයෙන් අප දැන ගත්තා මිස ඒවාට හේතු වූ පසුබිම පිළිබඳ කිසිවක් දැන සිටියේ නෑ. කෙහොම වුණත් පක්‍ෂයේ ඩයිනමයිට් දමා කුඩාවට කැපූ කටුකම්බි කෑලි වලින් ඒවා පුරවා බෝම්බ හැදුවා. හරියටම අප්‍රේල් 05 වැනි දා අපේ පළාත් නායකයා වහා වහා පැමිණ එදින රාත්‍රී ලංකාවේ සියලු පොලිසිවලට පහරදීමට තීරණය වී ඇති බව අපට කීවා. පැය කිහිපයක් වැනි සුලු කාලයක් ඇතුළතදී අපි සටනට සූදානම් විය යුතු ය. අපි සතුව එක තුවක්කුවක්වත් තිබුණේ නෑ. පතරොම් තිබුණෙත් නෑ. මමත් පියදාසත්, ජිනේත්, නුවරට ඇවිත් දාසය හා දොළහ බැරලයට ඇති තරම් පතොරම් පෙට්ටි 04ක් මිලදී ගත්තා. ඒ කාලේ බලපත්‍ර නැතුව පතොරම් මිලදී ගන්න පුලුවන්. 

වේලාව හවස හතරට විතර වුණා. අප සාමාජිකයින් පළාතේ විසිර ගොස් අනිත් සියලුම සමාාජිකයින්ට මේ තත්ත්වය දැනුම් දිලා මාලිගාතැන්න පන්සලට සවසට එකතුවෙන්න කියලා කිව්වා. මේ වෙනකොට පළාත් නායකයා ආගිය අතක් නැහැ. සියලු දෙනාට බලාපොරොත්තු වුණේ මගේ නායකත්වයයි. මම මුලු හිතින්ම ඒ මේ සූදානම් වුණා. ඊළඟට ආව ප්‍රශ්නෙ තමයි තුවක්කුවක් හොයා තොහොමද කියන එකත කුඩා ඔය ගමේ ‘ගුණදාස මුදලාලි’ ගේ ගෙදර තුවක්කුවක් තියෙනවා කියා අපිට ආරංචි වුණා. “කොහොමද ජයේ මං මේක කරන්නේ. මට නං බෑ. පුළුවන්නම් ඔය කට්ටිය ගිහිල්ල කතා කරල බලන්ට. අම්මයි නංගිලයි විතරයි ගෙදර”‍ හරී. ”‍හරි ගුණේ අපි ගිහිල්ලා බලන්නං”‍ මමත්, ජිනදාසත්, අත්තනායකත් ගුණදාස මුදලාලිගේ ගෙදරට පැමිණියෙමු. දොර වසා තිබුණි. මේ මොහොත වන විට රට පුරා ඇඳිරි නීතිය පනවා ඇත. වැල්ලවාය පොලිසියට පහර දීමට ගිය පිරිසක් ප්‍රහාරය අසාර්ථක වී පොලිස් අතඩංගුවට පත් වී ඇත. සෑම ගෙදරකම ගුවන් විදුලි යන්ත්‍ර ක්‍රියාත්මකව ඇත. ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රහාරය හෙළි වී අවසන්‍ය. සෑම පොලිස් ස්ථානයක්ම සටනකට මුහුණ දීමට සූදානම්ව සීරුවෙන් සිටී. ඒ කෙසේ වුවත් සටන අත් නොහැරිමේ අදිටන්නේ සියල්ලෝ එකා මෙන් සිටියහ. ගුල්ලාගේ ගෙදර දොරට තට්ටු කළ විට දොර ඇරියේ ගුණේ අම්මාය. සන්සුන්ව අපි ගෙට ඇතුළු වීමු. අම්මා අප දෙස විමතියෙන් බලා සිටී. ඇය අප ජේ. වී. පී. සාමාජිකයන් බව දනී. අපේ ඇතුළුවීමේ හඩත් සමග ගුනේගේ නංගිලා ද අප ඉදිරියට පැමිණියහ.  “‍අපි ආවේ තුවක්කුව ඉල්ලා ගන්ට. අද අපිට ඒක කොහොම හරි ඕන. අද තමා අපිට සටන තියෙන්නේ “ මගේ වචනවලට ඇය පිළිතුරක් නොදී ඉවත බලා ගත්තාය. නැවත මා වෙත හැරී ප්‍රහේළිකා සහගතව ටික වේලාවක් බලා සිටියාය. ”‍පුතා කොහොමද ඉතින් අපි තුවක්කුව දෙන්නෙ? ඔක්කොම අමාරුවේ නේද ඊට පස්සේ”‍ ඇගේ කතාව සාධාරණය. මා ඔවුන් බේරෙන ආකාරයට කතා කළ යුතුය. “අම්මලාට මොකුත් වෙන්නෙ නෑ. අපි ඒක බලා ගන්නම්. මම ලියුමක් දෙනවා. මේ ගෙදර තුවක්කුව අපි ගත්තේ ගෙදර අයගේ කැමැත්තෙන් නෙවෙයි. අපේ බල කිරීම හින්දා කියලා”‍ ලයනල් මොහොතක් කල්පනා කළ ඇය රකුසු වේශයෙන් මෙන් සිටින අප දෙස ටික වෙලාවක් මාතෘ සෙනෙහසින් බලා සිටියාය. ”‍මං දන්නෑ පුතා”‍ ඇයට මම ලියුම ලියා අත්සන් කර දී තුවක්කුව අතට ගත්තෙමි. 

මට මහා ජවයක් දැනණි. ගුනේගේ අම්මාත් නංගිලාත් අප දෙස විමතියෙන් බලා සිටියා මිස කිසිවක් නොකීවෝය. “පියදාස දෙතුන් වතාවක් මා දෙස බලා යමක් කියන්නට වෑයම් කර නැවත එය නොකියා සිටීමට තැත් කරන බවක් මට දැනුණි. “මොකක්ද සහෝදරයා කියන්ට”‍ මම ඇසුවෙමි. “සහෝදරයා, අද අපි මැරෙන්ටත් පුළුවන්, බේරෙන්ටත් පුළුවන්. මට හිතෙනවා ටිකක් බොන්ට” යැයි ඔහු පැවසීය. “ඔහු අරක්කු බෝතලයක් ද මිලදී ගත්තේ ය. මට ඔහුගේ ඉරියව්වලට සිනහ ගියා මෙන් ම අනුකම්පාවක් ද දැනුණි. මීට පෙර ඔහුගේ කලින් ජිවිතයේ ඔහු තදින් මත්පැන් පානය කළ අයෙකි. පක්‍ෂය වෙනුවෙන් එය අත් හැර සිටිය ද අවසානය ළඟා වී ඇතැයි සිතන ඔහුට මේ මධුපැන මතක් වූවා විය යුතු ය. සියල්ල රැගෙන අප ආපසු පැමිණියේ ඊළඟට කළ යුත්තේ කුමක්ද කියා සිතමිනි. මම ගෙදර පැමිණියෙමි. සියළු දේ කියන අම්මාට මේ ගැන කිව යුතුය. එය මට සතුටක් විය. “‍අම්මා අද තමා පොලිසියට ගහන්නේ‘ අම්මා ගොළු වී මා දෙස විමතියෙන් බලා සිටින්නට වූවාය. “මොකක්ද කිව්වේ” මා කියූ දේ ඇයට විශ්වාස කළ නොහැකි විය. මා සියල්ල විස්තර කර අවසන් වනතුරු ඇය සෘජුව මා දෙස එක එල්ලේ බලා සිටියාය. ඇය සන්සුන් බවක් දක්වන්නට වූවාය. “උඹල කරන හටන...”‍ එසේ කී ඇය නිහඬ වූවා ය. “‍එහෙනං මං ගියා“ අම්මා දෙස බලා සමුගත් මා ආපසු ඒමට හැරුණි. “උඹ පස්සෙම පලයං” අම්මා එසේ කියද්දී මා ගොළු විය. මගේ බල බිඳුනා සේ දැනුණි. යළි ඈ වෙත හැරුණු මම මොහොතක් ඇය දෙස බලා සිට යළි සිත සදාගත් විගස පිටත් වුනෙමි.  සටනක් ගැන අප කතා කළද එවැන්නක් අපෙන් කිසිදාක කෙරෙන බවක් ඇය නොසිතුවා විය හැක. 

“අප සතුව තුවක්කුවක් හා බෝම්බ පිරවූ පෙට්ටි දෙකක් ද ඇත. අපි රාත්‍රී ආහාරය වහ වහා ගත්තෙමු. සියල්ලෝම සතුටින් මෙම ක්‍රියාවට එකතු වූහ. විවිධ ආකාරයේ ඇඳුම්වලින් ඔවුන් සටනට සූදානම්ව පැමිණ ඇත. තද කළු පාටට හුරු වර්ණවලින් යුතු ඇඳුම් ඇඳගත් මෙම සටන්කරුවන්ට නායකත්වය දෙන මට සටන් නායකයෙකුගේ ජවය හා නොසැලෙන මානසිකත්වය දැනෙන්නට විය. පියදාස පෙනෙන්නට නැත. මා ඔහුට කතා කළ විට ඔහු වහා පැමිණ මට කතා කළේය. “සහෝදරයා, මම අරක්කු ටිකක් බිව්වා. එන්ට ටිකක් බොන්ට”‍ ”‍මට එපා”‍ ”‍අනේ ජයේ, අද අපි බේරන්ටත් පුළුවන්. මැරෙන්ටත් පුළුවං. මං වෙනුවෙන් මේ චුට්ට ගන්ට”‍ ඔහු මට ඔහුගේ මධු විතෙන් ස්වල්පයක් දුන්නේ අප මරණයට යනවාදෝ යන සැකයෙන් මෙනි. ‘වෙලාව පිළිබඳ අපට හැගීමක් නොවීය. දැන් පොලිසියට පහර දීමට යා යුතුව ඇත. 

මම අපේ පිරිස කොටස් දෙකකට බෙදුවෙමි. එක් කණ්ඩායමක් මාර්ග අවහිර කිරීමටත්, අනෙක් කණ්ඩායම විදුලි රැහැන් කපා දැමීම සඳහාත්‍ය. ප්‍රහාරය සඳහා දොළොස් දෙනෙකු ගෙන් යුතු කණ්ඩායමක් සිටියහ. එම පිරිස මුල සිටම සටන උනන්දු සහගතව පැතු අය වූහ. ගමන පිටත් වීමට පෙර මම සියල්ලන් අමතා කෙටි කතාවක් කළෙමි. “මේ සටන සාර්ථක උනත්, අසාර්ථක උනත් ඒක දෙවෙනි කාරණේ. අපි අපේ යුතුකම ඉටු කිරීමට බැඳී සිටින නිසා අපට එය කළ යුතුව තියෙනවා. දැන් අපි යමු” අපේ සිත්වල කිසිම සසල බවක් නැතිව සුපුරුදු ගමනක් යන්නා සේ මාලිගාතැන්න පන්සලේ සිට කඩුගන්නාව පොලිසිය බලා යමින් සිටිමු. අප අතේ ඇත්තේ එක තුවක්කුවකි. එය මා අතය. විදුලි රැහැන් අක්‍රීය කිරීමට භාරගත් කණ්ඩායම තම කාර්‍යයේ යෙදෙමින් සිටිනු අපට පෙනේ. කඩුගන්නාව දුම්‍රිය ස්ථානය පසු කර කොළඹ නුවර මාර්ගයට සම්බන්ධ වන ස්ථානයට අප පැමිණියෙමු. අපේ කණ්ඩායම දෙකට බෙදුණි. හය දෙනෙක් කිරිටින් බෝම්බ පෙට්ටියක්ද ඇතිව පොලිසිය පිටුපසින් පහර දීමට යාමට තීරණය විය. ඔවුන් ඒ ගමනට පිටත් වූහ. මා ඇතුළු ඉතිරි හය දෙනා පොලිසියට ඉදිරියෙන් පහර දීමට ක්‍රියාත්මක වුණෙමු. 

අපි රේල් පාර දිගේ පොලිසිය දෙසට එමින් සිටියෙමු. අප යන මාර්ගයේ පොලිසිය දක්වා ඇති කොටස උස් භූමි වලින් යුක්තය. ක්‍රමයෙන් අපි පොලිසියට ළං වෙමින් සිටිමු. බල්ලන් දෙදෙනෙකු අප වෙතට බුරාගෙන එමින් සිටී. අපි අපේ ඉදිරියට යන ගමනේ යෙදී සිටිමු. බල්ලන් රේල් පාරට පිවිසෙන තැනට පැමිණ නතර වී බුරමින් සිටී. සූදානම් කරගත් තුවක්කුව ද ඇතිව රේල් පාරෙන් පොලීසියට බසිනා මහාමාර්ගයට මා එනවාත් සමඟම රයිපලයක් මා වෙතට එල්ල කරගත් පොලිස් නිළධාරියෙක් රයිපලයේ කොකාට ඇගිල්ල තබනවා මට පෙනේ. ඔහු මා දැක ඇත. ඔහුගේ ඉලක්කය මාය. සැනින් ක්‍රියාත්මක වූ මගේ තුවක්කුවේ වෙඩි හඩත් සමග පොලිසිය නිශ්ශබ්ද වූ බවක් අපට දැනුණි. නැවත අඩියක් පස්සට ගත් මා අපේ පිරිසට සිදු වූ දේ කීමත් සමග ඔවුහු සටන් පාඨ කියමින් හඬ දෙන්නට පටන් ගති. ඒ මා තුවක්කුවකින් වෙඩි තැබූ පළමු දවස ය.  

සටන පටන් ගති. පොලිසිය අපට වෙඩි තබයි. අපේ එක තුවක්කුවෙන් වහ වහා වෙඩි හඬ පිටවෙයි. පොලිසියට අප සතුව තුවක්කු ගණනාවක් ඇතැයි සිතෙනු ඇත. කිරිටින් බෝම්බ හඬ දී පුපුරයි. පොලීසියට පිටුපසින් ගිය පිරිස ද කිරිටින් බෝම්බවලින් පොලීසියට දමා ගසමින් සිටී. ඒ හඬ ඇසෙන අපට අපේ ප්‍රහාරය ජය ගන්නා සේ දැනෙන්නට පටන් ගති. පොලිසිය ඉදිරියේ සිටින පිරිසත්, පිටුපස සිටින පිරිසත් දැන් තම ජයග්‍රාහක හඬ නගන්නට පටන් ගත්හ. මේ අතර එක් කිරිටින් බෝම්බයක් එක් අයෙකුගේ අත් වැරදීමකින් අප අසළට වැටුණි. අප සිතුවේ අප සියල්ලෝම එතනම එකවරම මිය යතැයි කියාය. “‍මේ එකක් ඇති දහ පහළොස් දෙනෙක් එතනම ඉවර කරන්ට” අපට එම බෝම්බවල පිපිරුම් බලය ගැන නායකයින් කියා තිබුණේ එලෙසය. අපේ කන් බිහිරි කරවමින් බෝම්බය පිපිරිණි. අපට කිසිවක් සිදු වී නැත. අපේ ඇඳුම්වල ඇමිණුන කටු කම්බි කෑලි හොඳින් පෙනෙන්නට ඇත. ඇගේ ඇළුණු තුත්තිරි කටු ගලවන්නා සේ අපි ඒවා ගලවා දැමුවෙමු. මෙම පිපිරිමත් සමග ඇති වූ කම්පනයෙන් අපි සියල්ලෝම මොහොතකට නිහඬ වීමු. ඒත් සමගම සියල්ල නිහඬ වී ඇත. තුවක්කුව තදින් රත් වී තිබුණි. නැවත දෙවතාවක් පමණ තුවක්කුවෙන් වෙඩි තැබුවත් දැන් පහර දෙන්නේ අපි පමණි. ප්‍රතිප්‍රහාරයක් නැත. 

නැවත විමසිල්ලට පත් වූ අපට පොලිසිය කොටස මුළුමනින්ම නිහඬ බව දැනුණි. පොලිසිය පිටුපසින් පහර දුන් පිරිස ද අප සිටින තැනට පාර හරහා පැමිණ සම්බන්ධ වූහ. වැටී සිටින පොලිස් නිළධාරියා පාර මැදය. ඒ දුටු එම පිරිසට නව පණක් ලැබුණා සේ විය. . අපි වේගයෙන් පොලිස් ස්ථානයට ඇතුල්වෙන්න දිව ගියා. පොලීසිය ඇතුලේ කිසිවෙක් හිටියේ නෑ. අතුලතින් ඇදුනා. ‘සහෝරදයා, සහෝදරයා’ කියලා හඬක් බලනකොට පොලිස් සිරමැදිරියේ අතඩංගුවට ගත්ත අපේ පිරිසක් හිටියා. අපි උද්දාමයෙන් පොලීසිය ඇතුලේ සතුට සැමරුවා. වෙඩි වැදුණ පොලිස් නිලධාරියාගේ රයිපලයත් දැන් අපේ අතේ. ඔය අතරේ පොලීසිය දුරකථනය නාද වුණා. මම රිසවරය කනට ගත්තම ‘කඩුගන්නාව පොලිස් ස්ටේෂන්’ කියලා නුවර පොලීසියෙන් එන ඇමතුමක්. මම කිව්වා ‘ඔව්, කඩුගන්නාව පොලිස් ස්ටේෂන් තමයි ඒක දැන් අපි අතේ කියලා. මම උත්තර දුන්න ගමන්ම මේ “අරුන්නේ” කියලා රිසිවරය තිබ්බා. අපේ නායකයෙක් කියලා තිබුණා නුවරට පහර දෙන්න පිරිස මදි නිසා පේරාදෙණියට පහර දී බලයා අල්ගා ගත් පසු අප නුවර ප්‍රහාරයට ගෙන යන්න කඩුගන්නාවට පිරිසක් එවනවා කියලා. ඒ නිසා අපි හිටියේ ඔවුන්ගේ පැමිණීම බලාපොරොත්තුවෙන්. ටික වෙලාවකින් කඩුගන්නවා නගරය දෙසින් වාහන එළියක් මතු වුණා. ඒ වාහන පොලීසය දිහාවට එනවා. අපි හිතුවේ අපි ගෙනියන්න එන පිරරි කියලා. ඡීප් රියේ පෙරටුකරගන හමුදා ට්‍රක් රථ දෙකක් මා ඉදිරියට ආවා. හමුදා නිල ඇඳුම් වැනි දෙයකින් සැරසුණ පිරිසකුත් ඉන්නවා පේනවා. ඉදිරියේ ආ ඡීප් රථයට ළඟට ගිහින් විඟ්ස්ක්‍රීනය අත තබා ‘සහෝදරයා’ කියලා ඇතුල බැලුවා. විතරයි ඇවිත් හිටියේ හමුදාව කියලා අඳුනා ගත්තා. ‘හමුදාව’ කියලා කෑගහමින්ම මම තුවක්කුව පත්තු කලා. එතකොටම හමුදා නිලධාරියාත් ‘පයර්’ කියලා කෑ ගැහුවා. මගේ හිසට උඩින් වෙඩි වරුසාවක් ගියා. අසළ තිබුණු කාණුවට මම පැන්නා. 

පොලීසය මගේ දිහාටම වෙඩි තබමින් හමුදාව ඇතුලට ගියා. අපේ අතේ සහෝදරයන් ඇතුළේ. මම බඩ ගා ගෙන පොලීසිය ඇතුළට යනවාත් එක්කම අපේ දෙන්නෙක්ට වෙඩි වැදී  වැදෙනවා දැක්කා. මම ජනේලයක කවුලුවකින් හමුදාව දෙසට වෙඩි තැබුවා. ඊට පස්සේ සියල්ල නිහඬ වුණා. මම ඉදිරියට එනකොටම හමුදාව වෙඩි තබමින් එනවා ආයේ දැක්කා. ‘මෙහෙන් යමු’ කියලා කෑ ගහ ගහ මමත් පියදාසත්, පියසේනත්, පොලීසිය පිටුපසින් එළියට පැනලා උස් භූමියකට ගියා. අපි පොලීසිය පිටුපසින් ඇති කන්ද නැගලා පියාදසත් අක්ක කෙකෙනක් ඉන්න ‘සිංදුරම්’ කන්දට ගියා. එයෙම තමයි කඩුගන්නා ප්‍රහාරය සිද්ධ වුණේ. අපේ සමාජිකයන් පස් දෙනෙකු කඩුගන්නාව පොලීසියේ මිය ගොස් ඇති බව බට වූ අයගෙන් පසුව දැන ගන්න ලැබුණා. 

කඩුගන්නාව ප්‍රහාරයේ දී එක් කැරලි කරුවෙකු කඩුගන්නාව පොලිස් ස්ථානාධිපතිට වෙඩි තබා මරා දමා ඔහුගේ නිල ඇඳුම් ඇඳගෙන පොලිස් ස්ථානාධිපති පුටුවේ ඉඳගෙන සිටි බව වික්ටර් අයිවන් මහතා සඳහන් කරනවා. මේ සිදුවීම ගැන පැහැදිලි කළොත් ඒ කවුද කියලා. ඒක හරි අසත්‍ය කතාවක්. කඩුගන්නාව ප්‍රහාරයේදී ඔය කියන ආකාරයේ කිසිවක් සිද්ධ වුණේ නෑ. කැරලිකරුවන් කඩුගන්නාව පොලීසියේ ස්ථානාධිපති වෙඩි තබා මරා දැමුවේ නෑ. ඔහුගේ නිල ඇඳුම් ඇඳගෙන පොලිස් ස්ථානාධිපති පුටුවේ ඉඳගෙන හිටියේත් නෑ. ඒක අමූලික බොරුවක්. වික්ටර් අයිවන් සිතා සිටින්නේ ජයතිස්ස කුමාරගේ නම් සහෝදරයා කඩුගන්නාව පොලීසියට සිදු කරන ලද ප්‍රහාරයේ දී මිය ගොස් ඇති බවයි. ඔහු ඒ බව යම් පුවත්පතක ප්‍රකාශයක් ද සිදු කර තිබුණා. එය ඔහු එම සිතිවිල්ල මත සිටිමින් සිදු කරන ලද කට කතාවක් පමණයි. එහි කිසිදු සත්‍යතාවයක් නැහැ. 

කැරැල්ලෙන් පස්සේ අපේ කණ්ඩායමේ සමාජිකයෝ අඩුවෙන්න පටන් ගත්තා. සමහරු ගෙදර ගිය ගමන් ආපසු ආවේ නෑ. අපි සමාජිකයන් 10 දෙනෙකු පමණ මුණ ගැසි නැවත සංවිධාන කටයුතු ආරම්භ කලා. සැලසුම් සකස් කලත් ඒවා අහන්න නායකයෝ හිටියේ නෑ. මේ වෙනකොට අපි පක්‍ෂ පිළිබඳ ඇති කරගෙන තිබූ තක්සේරු කිරීමේ කිසිදු හරයකින් තොර ඒවා බව වැටහී තිබුණත් අපට වෙන මඟක් තිබුණේ නෑ. රජය අපිව ත්‍රස්තවාදීන් විධියට හැඳින් වූවා. මේ අතර මාටිනුත් හසලක ප්‍රදේශය අතහැරලා යළි අපේ කණ්ඩායමට සීමා වුණා. අන්තිමේ මමත් පියසේනත් විතරක් වුණා. ඊට පස්සේ අපි දෙන්නා වෙන් වෙන්න තීරණය කළා. මම ගෙදර ආවා. අම්මයි තාත්ත්‍යි දෙන්න හදන්නේ කොහොම හරි දැන් මාව අරක්‍ෂා කරන්න. අන්තිමේ මම මව්පියන්ගේ කීමට පිට පලාතක ගිහින් නැවතෙන්න කැමති වුණා. එතකන් ගමේ අයිනක තිබුණ ටිකිරි බණ්ඩාලාගේ ගෙදර කාමරයක හිටියා. ඊට පස්සේ තාත්තා මාව ගම්පොළ පැත්තේ දොළොස්බාගේ උඩගේතැන්න ගමේ අඳුනන ගෙදරක නැවැත්තුවා. ඒ ගෙදරට දරුවෙක් වගේ ගෙදර වඩ පළ කරගෙන මම ටික කාලයක් එහේ හිටියා. ඒ පැත්තට තිබ්බේ මේරිවිල්ල වතුයාය. ඒ ගෙදර මට හරි නිදහසේ හිටියා. පොත්පත් බොහෝ ගණනක් කියවමින් ඉංග්‍රීසි ඉගෙන ගත්තා. ටික කාලයක් ඉන්න කොට තාත්තාට සැකයක් ආවා මම ඉන්න තැන ගැන පොලීසියට ඉව වැටිලා ඇත්ද කියලා. ඊට පස්සේ ටික කාලකෙට වෙන තැනකට ගන්න අදහස් කළා. ඊට පස්සේ මම මේරිවිල්ල වතු යායෙන් නාවලපිටිය කොත්මලේ පාරේ කිලෝ මීටර් දෙකක් පමණ ගිය විට හමුවන ‘ග්‍රීන්වුඞ්’ වතුයායටම පැමිණියා. මම මේ ස්ථානයට ගියේ උයන්නා ලෙස වැඩ කිරීමට ය. 

ටි කාලයක් ඉන්නකොට කැරැල්ලේ නඩු ඇසීමට වෙනම අධිකරණයක් පත් කළා. ‘අපරාධ යුක්ති විනිශ්චය කොමිසම’ නමින් නායකයින්ගේ නඩුව ‘මහ  නඩුව’ නමින් ඇරඹුණා. විජේවීර ඇතුළු පක්‍ෂ නායකයින් 41 දෙනෙක් නඩුවේ චූදිතයින් වුණා. එදා ගුවන් විදුලියෙන් විස්තර ප්‍රචාරය වුණා. මෙම අධිකරණය මඟින් දිය හැකි උපරිම දඬුවම ඡීවිතාන්තය දක්වා සිරගත කිරීමේ කියලා. අපේ අම්මටත්, තාත්තටත් ඒක ලොකු සහනයක් වුණා. තාත්තා මම බැලීමට ආපු හැම දවසකම කිව්වේ හැමදාම මෙහෙම හැංගිලා ඉන්න බෑ ඒ හින්දා බාරවෙමු කියලයි. ඒක ඇත්ත කියලා මටත් හිතුණා. බාරවීම යටත්වීමක් කියලා මානයකුත් තිබුණා. 1972 ජුනි හෝ ජූලි මස 17 වදා තාත්තා ආව මාව බලන්න තවත් දන්නා හඳුනන් ගුරුවරයෙක් සහ ඔහුගේ මිත්‍රයෙකුත් එක්ක. ඔවුන්ගෙන් අඳුනන කෙනෙකුගේ මාර්ගයෙන් මම හමුදා බාරයට පත් කරන්න සැලසුම් කරලා තිබුණේ. ඒ අනුව මම වතුයායේ වෙන් වී අනුරාධපුරයට පැමිණියා. අනුරාධපුර හමුදා කඳවුරට මාව බාරකළා. එම හමුදා කඳවුරු තුළ අපට වෙනම යකඩ දොරක් දැමූ කාමරයක් තිබුණා. අපිට බාර වෙලා තිබුණේ ත්‍රස්ථවාදී කටයුතු පිළිබඳ අංශයට. මාත් එක්ක අනුරාධපුර පළාතෙන් අත් අඩංගුවට පත් කිහිප දෙනෙකුන් හිටියා. පසුදා එත් අඩංගුවේදි මගෙන් ප්‍රශ්න කිරීමට කොළඹින් වවිශ්‍ෂ නිළධාරීන් දෙදෙනෙකු පැමිණියා. 

කඩුගන්නාව ප්‍රහාරය ගැන ප්‍රශ්න කරද්දී මට සඟවන්න දෙයක් නොවුණ නිසා සියල්ල හෙළිවෙලා තිබුණෙන් ඒ වන විටත් ඉන් පසුව මම හමුදාව විසින් අනුරාධපුර පොලිස් බාරයට පත් කළා. එතැනදී මා අත් දුටු දේ හමුදා කඳවුරට වඩා හාත්පසින්ම වෙනස්. අනුරාධපුර පොලීසියේ සිර කුටිය අපායකි. ආහාර ගැනීම සහ අනෙකුත් සියලුම දෑ සිදුවුණේ ඒ තුළමය. අත් අඩංගුවට ගන්නා සියුල්ලම හිටියේ මේ කුටියේ. හදා ගැනීමක් ඒ ගතකල කාලයේම තිබුණේ නෑ. ඊට පස්සේ කඩුගන්නාව පොලීසිය අනුරාධපුරට පැමිණි මාව කඩුගන්නාවට ගෙනාවා.  

අවුරුදු 6ක් සිරිගතව සිටියා. මා හමුදාවට භාරවෙනකොට මට අවුරුදු 16යි. හිරෙන් නිදහස් වෙලා එනකොට අවුරුදු 24ක් වෙලා. එදා ගමේ භාෂාවෙන් දැලි රැවුලක් සහිත කොලු ගැටයෙක් වූ මා ගෙදර ආවේ උඩු රැවුලක් සහිත පුද්ගලයෙකු වෙලා. 1977 ආණ්ඩු මාරුවත් සමඟ අපිට විවිධ තොරතුරු ලැබුණා. කොමිසම අහෝසි කරන බවත් ඒ යටතේ දඬුවම් ලැබූ සියලු දෙනාම නිදහස ලබන බවත් කියලා. කෙටි දඬුවම් ලැබූ මහ නඩුවේ සමහරුන් නිදහස් වී ගියා. ඊට පස්සේ 1977 නොවැම්බර් 02 වන දා කිසිවෙකුටත් නොදන්වා විජේවීර කාර්‍යාලයට කැඳවා ඔහු නිදහස් කිරීමෙන් පසු අපි සියල්ලෝම එදිනම් නිදහස් කරන බව දැන්වූවා. සිරගෙදර අත්දැකීම් ගැන නම් ඉතා දීර්ඝ විස්තර කරන්න පුලුවන්. ඒ අත්දැකීම් ජීවිතේ කෙදිනකවත් වෙනත් කිසි තැනකින් ලබා ගන්නට බැරි දේවල්. මම බාර වුණ අනුරාධපුර හමුදා කඳවුරෙන් මාව කඩුගන්නාව පොලීසියට රැගෙන ආවා. දින කිපයකට පස්සේ මාව උසාවියට ඉදරිපත් කිරීමෙන් පසුව රිමාඟ් සිරභාරයට පත්වුණා. මා හිරභාරයට ගෙන ආවට පසුව මාගේ කටඋත්තරය සකස් කළේ සාජන් පීරිස් මහතා විසිනි. එය ඉංග්‍රීසියෙන් සකස් විය. පහර දීම සම්බන්ධ සියල්ල එහි අඩංගු විය. ඒ සියලු විස්තර මට තර්ජනයක් වූවා මිස මගෙන් පසු කිසිවෙකුත් අත් අඩංගුවට ගැනීමක් සිදු නොවීය. කට උත්තරය සකස් කර දින දෙකකට පසුව මා උසාවියට ඉදිරිපත් කිරීමෙන් අනුතුරුව රිමාඟ් සිරභාරයට පත් කෙරුණි. මා උසාවියේ සිටින අවස්ථාවේ, අප, පොලීසියට පහරදෙන  විට එම ස්ථානය භාරව සිටි ස්ථානධිපතිවරයා ද මා මුණ ගැසීමට පැමිණියේ ය. ඔහු ද මා සමග කතා කළේ වැඩිහිටියෙකුගේ ඉරියව්වලින් මිස කිසිම ආකාරයක නිලධාරි මානයකින් හෝ හෝ ද්වේෂයකින් තොරව ය. ඔහු ද සේනානායක නම් වූ කෙනෙකි. පසුදිනක ඔහු කොළඹ දුම්‍රියපොළේ දී සිදු වූ දුම්‍රිය අනතුරකින් මිය ගිය බව ආරංචි විය. 

ඔවුන් නිලඇඳුමට කූඩු වූ අහංකාර රූකඩ නොව, උසස් මහත්වරුන් යයි කීම මට සතුටකි. ඔහුගේ භාරකාරත්වය නිසා අප්‍රේල් කැරැල්ලේ දී සමහර පළාත්වල සිදුවූ ගෙවල් ගිනි තැබීම්, අත්තනෝමතික මරා දැමීම්, දූෂණ වැනි බොහෝ දේ අපේ පළාත්වල සිදුවූයේ නැත. පොලීසිය අපේ ගෙදරට ගිනි තැබීමට සියලු දේ සූදානම්ව පැමිණෙද්දී මෙම ස්ථානධිපතිවරයාගේ නියෝගය මත එම පිරිස පිළිමතලාවෙන් ආපසු හරවා යවා ඇති බව මට දැන ගන්නට ලැබුණි.  රිමාන්ඩ් බන්ධනාගාරය තිබුණේ මහනුවර ඇහැලේපොල වලව්ව තිබූ කොටසේ. එක් කොටසක් කාමර සහිතව ගොඩනැගිල්ලක්. කවුරුත් මේ ස්ථානය හැඳින්වූයේ ‘රජවීදිය  රිමාන්ඩ් බන්ධනාගාරය’ කියලා. ඉඩම් නඩුවල ඉදලා මිනීමැරුම් නඩු දක්වා වූ විවිධ නඩුවල විත්තිකරුවන් මෙතන හිටියා.  

රිමාන්ඩ් බන්ධනාගාරයට පැමිණි පසුදින මගේ අතඩංගුවට පත් වීම පිළිබඳව පුවත එකල ‘සවස’ පුවත්පතේ මුල් පිටුවේ පළවී තිබුණා. ‘කඩුගන්නාව නායකයා අතඩංගුවේ’ කියන සිරස්තලය යටතේ. තාත්තා මාව බලන්න එනකොට මේ පුවත්පත මට ගෙනත් දුන්නා. සතියක් දෙකක්  රිමාන්ඩ් බන්ධනාගාරයේ ඉන්න කොට අපේ ගමේ නතරවෙලා හිටපු විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙක් මාව බලන්න ආවා. ඔහු මාත් එක්ක කතා කලේ ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනය ගැන. ඔහු විසිටින් කාමරයේ ඉඳලා යනකොට එබිල සාමාජිකයන් විසින් අසන ලද ප්‍රශ්නවලට විජේවීර දුන්න උත්තර සහිත පෙතක් දුන්නා. ඒක රිමාඟ් සිරමැදිරියේ නිලධාරියා ඔහු භාරයට ගත්තා. ටික වේලාවකින් මාව ප්‍රධාන කාර්‍යාලයට කඳවලා ප්‍රශ්න කරලා. ‘තමුසේ බෝගම්බරට යවනවා කියලා.’ එදිනම සවස මාව බෝගම්බරට සිර ගෙදරට යැව්වා. මාව රඳවලා තැබුවේ පරණ කණ්ඩායමට නියම වූ සිරකරුවන් අසල වූ මැද කොටසක යකඩ පොලුවලින් වෙන් කල කුඩා කොටසකට. උදේ 6.00ට සිරකුටි විවාත කරනවා. සවස 5.00ට නැවත ඒවා වසනවා. උදේ හයේ ඉඳලා සවස 5 වෙනතුරු ඉන්න එළිමහන් කොටසක් තිබුණා. මට ඇවිදීමට තිබුණේ ඉතා කුඩා ප්‍රමාණයක්. මගේ කොටසේ මට කතා කරන්න හිටියේ දරුණු සිරකරුවන් යයි නම් වූ පිරිසක්. මිනීමැරුම්, කොල්ලකෑම්වලට සම්බන්ධ මේ පිරිස සිරගෙදර නීතියට හා නිලධාරීන්ට අවනත නොවීම නිසා මෙහෙම වෙන්කරලා තිබුණා. ඔවුන් අතර විවිධ පළාත්වල අය හිටියා. ‘මරදානේ මහතුන්’ කියලා තරුණයෙක් ඔවුන් අතර හිටියා. ‘සේප්පු විමලේ’ නමින් කෙනකුත් හිටියා. ඔහු සේප්පු ඇරීමට බොහෝ ක්‍රම දන්නා කෙනෙක්. ‘මායාන්ඩී’ නම් දෙමළ තරුණයෙකුත් හිටියා. ඔවුන් සියලු දෙනාම තම තමන්ගේ දරුණුකම ගැන ආඩම්බරයකින් ඉන්නවා කියලා තමයි මට දැනුණේ. ‘අපි සෙකන්ඩ් වෙන්නේ නෑ මල්ලී මුන් එකෙකුටවත්’ මරදානේ මහතුන් නිතර කියපු දෙයක්. 

මාසයක් විතර මෙතන හිටිය පස්සේ මම කැරැල්ලේ රැඳවියන් සිටින කොටසට මාරු කළා. එතැන හිටිය අපි ඔක්කොම එක මඟ ගිය අය. හැමෝම මාව හැඳින්වූයේ කඩුගන්නාවේ ජයතිස්ස කියලා. මේ කාලයේ ජේ.වී.පී. දේශපාලනයෙන් ඉවත් වූ මම මගේ ඉංග්‍රීසි දැනුම  දියුණු කර ගැනීම සඳහා නිතර පොත් කියවන්නටත් දැනුම ඇති අයගේ උදව් ලබා ගන්නට උනන්දු වුණා. සිරගෙදර ‘සලාකය’ සමහර අවස්ථාවල නිසි ආකාරයෙන් නොලැබුණ නිසා සහෝදර සිරකරුවන්  වෙනුවෙන් කතා කිරීම නිසා සමහර නිලධාරීන් මා දිහා බැලුවේ තරහින්. මේ වගේ සිද්ධි නිසා දවසක් ‘තමුසේ තමා මේ සේරටම මුල’ කියලා මම අනිත් අයගෙන් වෙන්කර දඬුවම් කාමරයට ගෙන ගියා. ඒක ඇතුළට දාලා ඔවුන් දන්න අසභ්‍ය වචනයෙන් බනිමින් මට පහර දෙන්නට පටන් ගත්තේ අගක් මුලක් නොදන්නා මා ඔවුන් දෙස විමතියෙන් බලා සිටිද්දීය. ඔවුන්ගේ පහරට උත්තර වශයෙන් මම ද ක්‍රියාත්මක උනෙමි. මගේ පහර කෑ එක් නිලධාරියෙක් බිම වැටුණි. අනිත් දෙදෙනා වහා පැන එළියට පැන ගත්තෙ කෑ ගසාගෙනය. වැටුණු ජයසූරිය නැගිට යන්නට සූදානම් වෙනවාත් සමග පැන ගිය දෙදෙනා සමග තවත් නිළිධාරින් හය හත් දෙනෙක් බැටන් පොලු ද ඇතිව මා වෙත කඩා පැන, උමතු වූ රාස්සියන් මෙන් මට පහරට දෙන්නට වූහ. මා බිම වැටුණි. මට පහර දීම ඔවුන් නතර කළේ නැත. මට ඉතිරි වූයේ මගේ සිහිය පමණි. 

බැටන් පහර, අත් පහර පා පහර වදින හඬ මුලදී දැනුණ ද පසුව මට පහරවල් සංවේදී නොවී ය. මගේ නාසයෙන් ලේ ගලවා මට දැනුණි. මම සිටි අයුරින් ම සිටියෙමි. ඒ සමගම පැමිණි බන්ධනාගාර සහකාර අධිකාරිවරයා ඔවුන්ගෙන් ඇසුවේ හරිද වැඬේ කියාය. මාගේ නාසයෙන් ලේ ගැලීමේ හේතුවෙන් බන්ධනාගාර වෛද්‍ය පෙතියාගොඩ මහතා මා පරික්‍ෂාකර බන්ධනාගාර ආරෝග්‍යශාලාවට යොමුකළේය. මෙම වෛද්‍යවරයා මා පරික්‍ෂා කරන ගමන්ම මට ඉතා සෙමින් අවවාද කළේය. “මුන් තිරිසන්නු මුන් එක්ක හැප්පෙන්ට යන්ට එපා.” ඊට පස්සේ මාව රෝහල් ගත කලා. සතියක් විතර ගියාට පස්සේ තමයි අම්මට තාත්තට මාව බලන්න දුන්නේ. දඬුවම් කොටසින් ඉවත් කලාට පස්සෙත් මාව තිබ්බේ තවත් එවැනිම තැනක. එතැන හිටියා. ‘තෝමස් අයියා’ කියලා අවුරුදු හතලිස් පහක් විතර සිරකරුවෙක්. මේ කාමරේ හිටිය අනිත් සිරකරුවන් සමලිංගික සේවනය උමතුවූවන් විදියටයි හැඳින්වූයේ. මේ කාමරේ හිටපු ‘තෝමස් අයියා වැඩිය කතා නැති කෙනෙක්. අපි කාමරේට දාලා වහලා රාත්‍රී කෑම පිඟාන දුන්නාට පස්සේ තෝමස් අයියා කීවා. ‘ඔය ලමයා මේ සෙල් එකට දැම්මේ හොඳකට නොවෙයි. ඔය ළමයට අයිති මේ කාමරේ නොවෙයි’ කියලා කිව්වා. එහෙම කියලා ඔහු ඔහුගේ පිඟානේ තිබුණ මස් කෑල්ල මගේ පිඟානට දැම්මා. ‘ඔය වයසට කන්ට ඕන’ කියලා ඔහු පාඩුවේ කන්න ගත්තා. ඇත්තටම ඒ වේලාවේ මට මතක් වුණේ මගේ තාත්තාව. මේ සිරකුටි තුළ ඒ වගේ උදාර මිනිසුන් හිටියා. 

සිරගෙදර දී මම හුඟාක් පොත් කියෙව්වා. ඉංග්‍රීසි ඉගෙන ගත්තා. හිර ගෙදර ඇතුලෙත් දේශපාලන මත තිබ්බා. ඒ කාලේ හිරෙන් පැන්නා. බර්ටි රංජිත් නැමති කෙනෙක් ‘පෙරදිග සුළඟ’ නම් සංවිධානයට බැඳී හිටියා. ඔහුගේ අනුගාමිකයෝ මගේ අසලත් හිටියා. ඒ අයත් එතන එකතු වෙලා හිරෙන් පැනලා. ‘පෙරදිග සුළඟ’ සංවිධානයට බැඳෙන්න මටත් හිතුණා. ඊට පස්සේ ආරෝග්‍ය ශාලාවට ගමනක් සකස් කරගෙන ඒ මොහොතේ පැනල යන්න සැලැසුම් කළා. ඒ වුණාට ඔවුන් මාව ආයෙත් අල්ල ගත්තා. ඊට පස්සේ මාව ආයෙත් දඬුවම් කාමරේට දැම්මා. දඬුවම් කාලය නිම වුණාට පස්සේ මාව ඊ වාට්ටුවේ කාමරයකට මාරු කලා. 

මරණ දඬුවමට නියම වූවන් සිටියේ ඩී වාට්ටුවේ අපි අසලමයි. ඔවුන් සමඟ නිතර කතා බහ කරන්නට ද මට අවස්ථාව ලැබුණා. දිනක් මරණ දඬුවම් ලද කෙනෙක් එල්ලා මරණ දිනය ළං වුණා. එවිට ඔවු වෙනම කාමරයකට දාලා වහනවා. ඔහු සිටින කාමරයට ඉහළින් ඇති කාමරයට ගිහින් මම ඔහුත් සමඟ කතා කළා. ‘මල්ලි මම අනිද්දා යනවා. කවදා හිටියත් යන්න ඕනනේ.’ කිව්වා. ඔහු එල්ලා මැරීමට පෙර හාමුදුරු නමක් ගෙනවිත් බණක් කිව්වා. පවුලේ අය අවසන් වතාවට ඔහු බල්න ආවා. මරන දඬුවම ක්‍රියාත්මක දාට උදේ සිරගෙදරට යකඩ තැටි හඬ දෙන්නේ නෑ. නීතියට අනුව මරණ දඬුවම තිබුණේ උදේ 8.05ට. හිරකරුවෝ ඔක්කෝම කුටිවලට දාලා වහනවා. මරණ දඬුවම දුන්නට පස්සේ තමයි ආයෙත් අරින්නේ. 

මා හිරබාරයේ සිටියදී මා හට පොත් කියවීමට දැඩි ආශාවක් දැනෙන්නේ ය. අප අතර සිංහල සහ ඉංග්‍රීසි පොත් බහුලව තිබිණි. ඉගෙන ගන්නා අය සඳහා අප අතරම සංවිධානය වූ පන්ති තිබුණි. ඒ අතර ඉංග්‍රීසි පන්ති කිහිපයක් ද විය. ඒවා අප විසින්ම සකස් කරගත් ඒවා විය. පුනරුත්ථාපන දෙපාර්තමේන්තුව නමින් සිරගෙදර කාර්‍යාලයක් තිබුණ ද, එයින් බෝගම්බරදී අප ලැබූ කිසි දෙයක් නැතියි කීම හැරකියන්නට දෙයක් නැත. අප වෙනුවෙන් බන්ධනාගාර අධිකාරිය සමග කතා කිරීමට එම ලබාගෙන තිබුණු පොත් සහ ශබ්ධ කෝෂ අපේ අධ්‍යයනයන්ට උපකාරී විය. දැනුම ලබාගැනීමේ යෙදුණ පිරිස තම තමන්ගේ උත්සාහයෙන් ඒවායේ යෙදුණහ. ටික කාලෙකට පස්සේ අපිට කොළඹ මැගසින් බන්ධනාගාරෙට මාරු කළා. මම හිතන්නේ 1975 දී විතර 71 කැරැල්ලේ ඉදිරිපෙළ නායකයෝත් මෙහි හිටියා. විජේවීරටත් ඡීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම වෙලා තිබුණා. පසුව ඔහුගේ දඬුවම් අවුරුද 20 ක්වා අඩු කලා. 

මට දීර්ඝ කාලීන සිර දඬුවම් ලැබුණ නිසා මාව වැලිකඩ බන්ධනාගාරයෙන් මැගසින් බන්ධනාගාරයට මාරු කළා. ඒ නිසා මාව මහනඩුවේ පිරිස අතරට එකතු කළා. මා සිටි ශාලාවේ කාමර 6ක් තිබුණා. එහි විරාජ් ප්‍රනාන්දු, වික්ටර් අයිවන් හෙවත් පොඩි අතුල, රංජිත් කුරුකුලසූරිය, සුනන්ද දේශප්‍රිය, ආනන්ද පෙරේරා, සහ ජයසිරි කුලරත්න යන නායක මට්ටමේ අය හිටියා. මා සිරගෙදරින් නිදහස් වූ අයුරු හා ඉන් පසු ඡීවිතය පිළිබඳ සඳහන් කලොත් හිරෙන් නිදහස් වෙන්නේ 1977 නොවැම්බර් 02 දා. ගෙදර ගියේ දුම්‍රියෙන්. මට ඕන වුණේ අම්මා, තාත්තා, සහෝදර, සහෝදරියන් සමඟ එකතු වෙන්න. පිළිමතලාවට දුම්‍රිය ළං වෙත්දි හවස 4.00ට විතර වුණා. දුම්‍රිය පොළෙන් බහිනවිට තාත්ා පාරේ ඉඳලා විශාල ජයක් ලැබුවා වගේ මගේ දිහා බලාගෙන ඉන්නවා. දැක්කා. ගෙවුණු වසර 6ට ගම හුඟාක් වෙනස් වෙලා තිබුණා. ගෙදරට ළංවෙත්දී අම්මත්, තාත්තාත්, නංගිත්, ඔවුන් පිටපසින් අයියත් බලාගෙන හිටියා. බොහෝ අය මාව බලන්න ගියත් ඔවුන් පෙර මෙන් මගේ ඇසුර ප්‍රිය නොකල බව දැනුණා. සමහරු මා දැක නුදුටුවා වගේ ඉවත බලාගෙන ගියා. 

අපේ ගෙදර මුලු ආර්ථික බරම තාත්තා අතේ තිබුණේ. ඒකට පිළියමක් විදියට කුමක් හෝ කරන්න මට ඕන වුණා. මගේ ඉංග්‍රීසි දැනුමෙන් ප්‍රයෝජන අරගෙන ඉංග්‍රීසි පංතියත් පටන් ගත්තා. මට පළමු මාසික පඩිය විදියට රු. 120/-ක් ලැබුණා. ඒ සල්ලි එහෙම පිටින්ම මම අම්මට දුන්නා. ටික කාලයකින් ගමේ අවට අය අතර මම ප්‍රිය පුද්ගලයෙක් බවට පත් වුණා. සමහරු මට මැතිවරණයකට තරග කරන්න කියලත් කිව්වා. දිනෙන් දිනම ඉංග්‍රීසි පන්ති ටික වර්ධනය වෙන්න පටන් ගත්තා. ඔය අතරේ ස්ථිර රැකියාවක්  සොයා ගත්තොත් හොඳයි කියලත් හිතුවා. ඔබ්‍රෝයි හෝටලයේ ආරක්‍ෂක තනතුරට අයදුම්පතක් යොමු කලා. ඒත් 71 කැරැල්ලට සම්බන්ධ වූ කෙනෙක් නිසා ඒ රැකියාව අහිමි වුණා. ඒ නිසා ආතිරේක ඉංග්‍රීසි පන්තිය කරන්න පටන් ගත්තා. එකල ඔබ ප්‍රබල ක්‍රියාකාරී ජනතා විමුක්ති පෙරමුණේ සාමාජියෙකු වුවත් වර්තමානයේ ඔබ ඉන් ඉවත්ව ඡීවත් වෙනවා. එසේ සිදුවීමට හේතු දැක්වුවහොත් කාලයක් ගත වනවිට ඔවුන්ගේ අදහස්වල අන්තවාදී බව මට වැටහුණා. ඔවුන් කතා කල භාෂාව මට ප්‍රිය එකක් වුණේ නෑ. ඔවුන් අතරම විවිධ පිල් බෙදී තිබුණා. තම මතය පමණක් නිවැරදි බව නායක මට්ටම්වල අය සිතුවා. අප්‍රේල් කැරැල්ල පෙර අත්දැක තිබූ නායක බලය එලෙසම තිබුණා. ඔවුන් තුළ තිබුණේ හරසුන් බරපතල වාග් කෝෂයක් පමණයි. සුලු දෙයක් කීමට පවා ‘විකාර’ බවකින් යුතු භාෂාවක් පාවිච්චි කලා. පක්‍ෂයේ තිබුණ නායක ඇදහිල්ල මා ප්‍රිය කලේ නැහැ. කඩුගන්නාව පොලීසියට සිදුකරන ප්‍රහාරය අවස්ථාව වනවිටත් මෙම කැරැල්ලේ නිසරු බව අප අවබෝධ කරගෙන සිටියා. නමුත් පටන් ගත් දෙය අවසනායටම සිදුකළ යුතු නිසා අප පසුබට වීමක් සිදු නොකර ඉදිරියටම පියනැගුවා. මෙම කැරැල්ල කිසිදු හරයක් නොමැති ව හරියාකාර නායකත්වයකින් තොරව කිසිදු එකමුතුබවක් නොමැතිව සිදු කරන ලද කැරැල්ලක්. නායකයන් අතර තිබුණේ පිල් බෙදීමක්. යටින් කේලම් කීමක්. නඩු විභාගයේදී එය මනාව ඔප්පු වෙලා තියෙනවා.

වෛද්‍ය රුවන් එම් ජයතුංග ගේ 71 කැරැල්ල ආරම්භයේ සිට අවසානය දක්වා පුර්ණ සමාලෝචනයක් කෘතිය ඇසුරෙනි 




මාක්ස්වාදය අසාර්ථක වූ දේශපාලන / ආර්ථික න්‍යායක් ද ?

 



වෛද්‍ය රුවන් එම් ජයතුංග 

කාල් මාක්ස් යනු දර්ශනය, සමාජ විද්‍යාව, ආර්ථික විද්‍යාව සහ ඉතිහාසයේ වැදගත් චරිතයකි. මාක්ස් මානව ඉතිහාසයේ සමස්ත ගමන් මාර්ගය පිළිබඳ සවිස්තරාත්මක පැහැදිලි කිරීමක් වර්ධනය කළේය. ඔහුට ඇඩම් ස්මිත්ට වඩා වෙනස් දැක්මක් තිබුණි.  

මාක්ස් ජීවත් වූයේ රැඩිකල් නැගිටීම් යුගයක ය. කාල් මාක්ස් එංගලන්තයේ ජීවත් වීමට පැමිණියේ එහි කාර්මික විප්ලවයේ උච්චතම අවස්ථාවේදීය. ඔහු සූරාකෑමට ලක් වූ  දුගී කාර්මික කම්කරුවන් කෙරෙහි අවධානය යොමු කළේය.  ධනපතියන්  ලාභ ඉපැයීම සඳහා පුද්ගලික දේපල භාවිතා කළ බව මාක්ස් ලිවීය. කාර්මික කම්කරු පන්තිය සූරාකෑම සඳහා තම ධනය සහ ආන්ඩුව මත පාලනය භාවිතා කළ මෙම පන්තිය ධනේශ්වරය ලෙස මාක්ස් හැඳින්වීය. සැබෑ නිදහස සාක්‍ෂාත් කර ගැනීමට මාක්ස් පැවසුවේ කම්කරුවන් පළමුව පුද්ගලික දේපල ධනේශ්වර පද්ධතිය පෙරලා දැමිය යුතු බවයි. එවිට කම්කරුවන් ධනවාදය වෙනුවට කොමියුනිස්ට් ආර්ථික ක්‍රමයක් ඇති කරනු ඇත, එහිදී ඔවුන්ට පොදු දේපල හිමි වන අතර ඔවුන් නිෂ්පාදනය කරන ධනය බෙදා ගනී.

මානව සමාජය අධ්‍යයනය කරන විට කාල් මාක්ස් තහවුරු කළේ සමාජ ජීවිතයේ සියලු වෙනස්කම්, අවසානයේ දී, නිෂ්පාදන බලවේගවල පරිවර්තනයෙන් ආරම්භ වන බවයි. නිෂ්පාදන බලවේගවල වර්ධනය ප්‍රකාශ වන්නේ මිනිසුන්ගේ ස්වභාවය ජය ගැනීමෙනි. නිෂ්පාදන බලවේග මගින් සමාජයට ධනය උත්පාදනය කිරීමේ සහ මානව සංවර්ධනය  කිරීමේ ක්‍රියාවලියේදී මිනිසුන්ගේ සැබෑ හැකියාව පිළිබිඹු කරයි. ඕනෑම සමාජයක ධනය ඇති කිරීමට කම්කරුවන් මෙන්ම නිෂ්පාදන මාධ්‍යයන් ද අවශ්‍ය වේ. ශ්රම ක්රියාවලිය සඳහා උපකරණ නොමැතිව මිනිසුන්ට ධනය නිර්මාණය කළ නොහැකිය. 

මාක්ස් හේගල්ගේ දර්ශනය මත තම අදහස් ගොඩ නැගුවද හේගල් විඥානවාදී විය. අදහස් ඉතිහාසය හැඩගස්වන බව  හේගල් විශ්වාස කළේය. කෙසේ වෙතත් මාක්ස් භෞතිකවාදියෙක් විය. ආර්ථිකය ඉතිහාසය හැඩගස්වන බව මාක්ස් විශ්වාස කළේය. 

මාක්ස්ට අනුව භාණ්ඩයක වටිනාකම තීරණය වන්නේ එය නිෂ්පාදනය කිරීමට යොදවන ශ්‍රමය මතය. කම්කරුවන්ගේ වැටුප් ඔවුන් කරන නිෂ්පාදනවල මිලට වඩා බෙහෙවින් අඩු බව මාක්ස් පෙන්වා දුන්නේය. මෙයට හේතුව ධනපතියන් තමන් විකුණූ දෙයින් ලාභ ලැබූ බැවිනි. මාක්ස් ලාභය "අතිරික්ත වටිනාකම" ලෙස හැඳින්වූ අතර එය කම්කරුවන් සූරාකෑමට ලක්වන බව සිතුවේය. මාක්ස් පැවසුවේ ධනපතියන් කම්කරුවා ඔහුගේ ශ්‍රමයේ ප්‍රතිඵලවලින් ඈත් කළ බවත්, ඔහුට "යන්ත‍්‍රයේ වහල්භාවයට" පත්වීමට බල කර ඇති බවත් ය. මෙම සූරාකෑම, නිර්ධන පංතිය විසින් ධනේශ්වරය "ප්‍රචණ්ඩ ලෙස පෙරලා දැමීමෙන්" අවසන් වන නව පන්ති අරගලයක් ඉක්මනින් ගෙන එනු ඇතැයි මාක්ස් තර්ක කළේය. මාක්ස් විප්ලවයේ "සමාජවාදී අවධිය" ලෙස හැඳින්වූ කාලය තුළ, නව නිර්ධන පංති ආන්ඩුව කර්මාන්ත ශාලා, පතල්, ගොවිපල සහ අනෙකුත් ව්‍යාපාර වැනි සියලුම ධනේශ්වර පුද්ගලික දේපල රාජසන්තක කරනු ඇත. එවිට රජය මෙම ව්‍යවසායන් සේවකයන්ගේ ප්‍රයෝජනය සඳහා ක්‍රියාත්මක කරනු ඇත.

මාක්ස් සිය ජීවිතයේ වැඩි කාලයක් ගත කළේ 19 වන සියවසේ මැද භාගයේ බටහිර කාර්මිකකරණය වූ දේශපාලන ආර්ථිකය විශ්ලේෂණය කිරීමට ය. මාක්ස් ධනේශ්වර සමාජවල සියලු නපුරේ මූලාශ්‍රය ලෙස පෞද්ගලික දේපළ සැලකුවේය. ඒ අනුව, පෞද්ගලික දේපළ අහෝසි කිරීමෙන් පමණක් සමාජයේ පන්ති භේදය සුව කළ හැකි බවත්, සුහද අනාගතයක් සහතික කළ හැකි බවත් ඔහු විශ්වාස කළේය. 

නිර්ධන පංතිය අවසානයේ ආර්ථික නිෂ්පාදනය පාලනය කළ විට  සියලු පන්ති අතුරුදහන් වන බවත් පන්ති අරගල අවසන් වන බවත් , මාක්ස් ප්‍රකාශ කළේය. මෙම "කොමියුනිස්ට් අවධියේ" තවදුරටත් රජයක අවශ්‍යතාවයක් ඇති නොවනු ඇත. නිර්ධන පංති විප්ලවය ජර්මනියේ හෝ එංගලන්තයේ ඉක්මනින් සිදුවනු ඇතැයි මාක්ස් අපේක්‍ෂා කළ අතර පසුව ලොව පුරා සිදුවනු ඇතැයි අණාවැකි පළ කලේය​. 

එහෙත් මාක්ස් අපේක්ෂා කළ නිර්ධන පංති විප්ලවය කිසිදා දියුණු කාර්මික රටක සිදු වූයේ නැත. විප්ලවයන් සිදු වූයේ රුසියාව සහ චීනය වැනි අඩු සංවර්ධිත ආර්ථිකයන් තුළ ය. මාක්ස්ගේ අනාවැකිවලට පටහැනිව, ධනේශ්වර සමාජවල බොහෝ කම්කරුවන් සඳහා ආර්ථික තත්ත්වයන් ක්රමයෙන් දියුණු විය. ඡන්ද අයිතිය පුළුල් කිරීම, ළමා ශ්‍රමය අහෝසි කිරීමේ නීති, සමාජ ආරක්‍ෂණය සහ කම්කරුවන්ගේ වෘත්තීය සමිතිවලට බැඳීමට ඇති අයිතිය වැනි ප්‍රධාන ප්‍රතිසංස්කරණ පිලිබඳව හඞ නැගීමට මාක්ස් අසමත් විය.   

මාක්ස් මානව වර්ගයාගේ සම්භවය පිළිබඳ ඩාවින්ගේ විස්තරය අගය කළේය. කෙසේ වෙතත්, ඩාවින්ගේ වෙනස්කම් පිළිබඳ න්‍යායේ වැදගත්කම හඳුනා ගැනීමට සහ එය ඔහුගේම වැඩසටහනට ඇතුළත් කිරීමට ඔහු අසමත් විය. ධනවාදය බොහෝ අර්බුදවලට මුහුණ දී ඇති අතර, සෑම අවස්ථාවකදීම එය පරිණාමය වී වෙනස් විය. මෙය මාක්ස් නොසිතූ දෙයකි. මේ බව ආචාර්‍ය Madsen Pirie පැහැදිලි කරයි. 

කාල් මාක්ස් සහ ෆෙඩ්‍රික් එංගල්ස් 1848 දී කොමියුනිස්ට් ප්‍රකාශනය ප්‍රකාශයට පත් කළ අතර, ඔවුන්ගේ සංකල්ප ක්‍රියාවට නැංවීමට මීට පෙර අසාර්ථක උත්සාහයන් තිබුණද, මාක්ස්වාදය 1917 වන තෙක් උනන්දුවෙන් ආරම්භ වූයේ රුසියාවේ කොමියුනිස්ට් විප්ලවයත් සමඟය​. මාක්ස් ගේ න්‍යාය අනුව වශයෙන්ම, 1917 දී රුසියාවේ කොමියුනිස්ට් විප්ලවයක් සිදු විය. නව සෝවියට් සංගමයේ පළමු නායකයා වූ ව්ලැඩිමීර් ලෙනින්, කොමියුනිස්ට් පක්ෂයට සියලු බලය සංකේන්ද්‍රණය කළේය. ලෙනින්ගෙන් පසුව, ජෝසෆ් ස්ටාලින්, කෘෂිකාර්මික ඉඩම්වල පුද්ගලික අයිතිය අවසන් කිරීමට ප්‍රචණ්ඩත්වය සහ සාගින්න භාවිතා කළ අතර, මිලියන ගණනක ගොවීන් මිය ගියේය. කොමියුනිස්ට් පක්ෂය වරප්‍රසාද ලත් පාලක පන්තියක් බවට පත් වූ අතර, ස්ථීර ලෙස පාලනයේ රැඳී සිටීමට බලය මත විශ්වාසය තැබීය. එහි ප්‍රතිඑලය වූයේ නිලධාරීවාදය කර පින්නා ගත්  පොලිස් රාජ්‍යක් බිහි වීමය​. 

විසි වන ශතවර්ෂයේ වැඩි කාලයක් මනුෂ්‍ය වර්ගයාගෙන් 40%ක් සාගත, ගුලාග්, වාරණය සහ ස්වයං ප්‍රකාශිත මාක්ස්වාදීන් අතින්  මර්දනයන්ට ගොදුරු වූහ.  චීනයේ ‘මහා පිම්ම (the ‘Great Leap Forward) ’ සහ ‘සංස්කෘතික විප්ලවය’ සාගතය සහ භීෂණය ඇති කළේය. ​1958 සිට 1962 දක්වා වූ “මහා පිම්ම” හේතුවෙන් චීන ජාතිකයන් 30,000,000 ක්   සාගින්නෙන් මිය ගියහ. උතුරු කොරියාව, වියට්නාමය, කාම්බෝජය වැනි අනෙකුත් රටවල් මාක්ස් ගේ න්‍යාය අනුගමනය කළේ සෑම විටම ලේ වැකි ගැටුම් හරහාය. පොල් පොට් තම සමාජවාදී න්‍යායන් ක්‍රියාත්මක කරන ලද්දේ මරණයේ ගොවි බිම් උඩය​.  

බටහිර ජර්මානුවන් වොක්ස්වැගන්, මර්සිඩීස් බෙන්ස්, බී.එම්ඩ.බ්ලිව් සහ පෝර්ෂේ මෝටර් රථ  නිෂ්පාදනය කරන විට නැගෙනහිර ජර්මානුවන් ට්‍රැබන්ට් (මෙය කොමියුනිස්ට්වාදයට නරක නමක් ලබා දුන් මෝටර් රථයයි)  නිෂ්පාදනය කරමින් සිටියෝය​. ඔවුන්  කටුකම්බිවලින් තාප්ප ගොඩනඟා, ඝාතන කලාපයේ බිම්බෝම්බ තැබූ අතර, යුතෝපියාවෙන් පලා යාමට තැත් කළ  පුද්ගලයන්ට  මැෂින් තුවක්කුවලින් වෙඩි තැබූහ. 

ඇතැම් විශ්ලේශකයන් මාක්ස්වාදී චින්තනයේ ආර්ථික, දේශපාලනික හා සමාජ න්‍යායේ සමහරක් අංශ යල් පැන ගිය බවට තර්ක කරති. කොන්සර්වේටිව් ඉතිහාසඥ පෝල් ජොන්සන් 1988 දී මෙසේ ලිවීය ; කාල් මාක්ස් ගේ ප්‍රාග්ධනයේ  අටවන පරිච්ඡේදයේ මුළු ප්‍රවාදයම  ක්‍රමානුකූලව මුසාකරනයක් වන අතර, එය  වෛෂයික පරීක්‍ෂණයකින් පිළිගත නොහැකිය​.......   ඇතැම් විද්වතුන් මාක්ස් ව හඳුන්වන්නේ  යථාර්ථයේ දී ඵලදායී නොවන දර්ශනවාදියෙකු ලෙසටය​.ධනවාදය ක්‍රියාත්මක වන ආකාරය සහ තාක්‍ෂණය කම්කරුවන් කෙරෙහි ඍණාත්මක බලපෑම් ඇති කරන්නේ කෙසේද යන්න පිළිබඳව මාක්ස් ඇතැම් විට අගතිගාමී විය​.  

මාක්ස්වාදයේ එක් පදනමක් ලෙස ඓතිහාසික භෞතිකවාදය නම් කල හැකිය​. මේ අනුව නිෂ්පාදන ක්‍රමවල තාක්‍ෂණික දියුණුව නිෂ්පාදන සමාජ සම්බන්ධතාවල වෙනස්කම්වලට තුඩු දෙන බව යෝජනා කරයි. එමගින් මානව ඉතිහාසයේ ආර්ථික, තාක්‍ෂණික සහ වඩාත් පුළුල් ලෙස  ගෝත්‍ර, සමාජ පන්තීන් සහ ජාතීන් අතර ද්‍රව්‍යමය අවශ්‍යතාවල ගැටීම්වල වර්ධනයන් සහ වෙනස්කම් සඳහා හේතු සොයයි. බොහෝ විචාරකයින් තර්ක කර ඇත්තේ මෙය සමාජයේ ස්වභාවය අතිශයින් සරල කිරීමක් බවය​. 

මාක්ස් මෙසේ ලිවීය: " At a certain stage of development, the material productive forces of society come into conflict with the existing relations of production or – this merely expresses the same thing in legal terms – with the property relations within the framework of which they have operated hitherto. From forms of development of the productive forces, these relations turn into their fetters. Then begins an era of social revolution. The changes in the economic foundation lead sooner or later to the transformation of the whole immense superstructure"  පීටර් ස්ටිල්මන් විශ්වාස කරන්නේ මාක්ස්ගේ නිර්ණායකවාදී තත්ත්වය "මිථ්‍යාවක්" බවයි.  එසේම මාක්ස් සතුව ප්‍රමිති න්‍යායක්   (normative theory) නොතිබු බව චිකාගෝ විශ්ව විද්‍යාලයේ  Brian Leiter පෙන්වා දෙයි. තවද ධනේශ්වර රටවල සමාජ හා ආර්ථික සංවර්ධනය මාක්ස් විසින් පුරෝකථනය කරන ලද දිශාවට වඩා ප්‍රතිවිරුද්ධ දිශානතියක් ඔස්සේ ගමන් කොට ඇත​. 

ධනවාදය බිඳවැටීමට නියමිත බව කාල් මාක්ස් කීවේය​. නිර්ධන පංතිය ධනේශ්වරය පෙරලා දමනු ඇති බවත්, ඒ සමඟ සූරාකෑම සහ ධුරාවලිය අහෝසි කරන බවත් ඔහු විශ්වාස කළේය. එහෙත් පසුගිය වසර 200 තුල මාක්ස් කියූ පරිදි ධනවාදය බිඳ වැටුනේ නැත​. එහෙත් සමාජවාදය ඔස්සේ  ගිය රටවල ආර්ථිකයන් බිඳ වැටුනි.  සමාජවාදී කියුබාව තුල ඵලදායිතාවය අඩු වූ අතර සාමාන්‍ය භාණ්ඩ හිඟය ඇති විය. සමාජවාදී වෙනිසියුලාවේ ආර්ථිකය කඩාගෙන වැටුනි. 
  
මාක්ස් ධනවාදයේ පරිනාමය පිලිබඳව වැරදි පුරෝකථනයක් කලේය​. ඔහු මධ්‍යම පන්තිය (Middle Class)  සහ එහි හැකියාවන් නොසලකා හැරියේය​. නිශ්පානයේදී හා නව දැණුම උත්පාදනයේදී මධ්‍යම පන්තියේ කාර්‍යභාරය පිලිබඳව ඔහු සිටියේ අඩු තක්සේරුවකය​. ඔහුගේ අනාවැකි බිඳ හෙලමින් පසුගිය වසර 200 තුළ වඩාත්ම කැපී පෙනෙන සමාජ සංසිද්ධිය වී ඇත්තේ අතිවිශාල “මධ්‍යම පන්තියක” පුලුල් වීම සහ වර්ධනය වීමයි.

මාක්ස්වාදී න්‍යාය සිදුරුවලින් පිරී ඇති බව යේල් විශ්ව විද්‍යාලයේ මහාචාර්‍ය ෂැපිරෝ පවසයි. මාක්ස්ගේ ප්‍රබලම විවේචකයෙකු වූ 20 වැනි සියවසේ ශ්‍රේෂ්ඨ දාර්ශනික කාල් පොපර් ඔහුව හැඳින්වූයේ 'ව්‍යාජ  අනාගතවක්තෘ' ලෙසටය.  


References 


Cohen, G. A. (2020). Karl Marx’s theory of history: Princeton University Press.

Karl Marx, F. E. (2002b). Marx & Engels Collected Works (Vol. 23 ): Taylor & Francis, Ltd

Shaw, W. H. (2020). 16. Karl Marx on History, Capitalism, and... Business Ethics? In Wealth, Commerce, and Philosophy (pp. 321-340): University of Chicago Press.

 

Monday, July 24, 2023

ශූන්‍යවාදය (Nihilism) පිලිබඳව නීට්‍ෂේ ගේ අදහස්





වෛද්‍ය රුවන් එම් ජයතුංග 

ශුන්‍යවාදය (nihilism)  පිලිබඳව පුළුල් ලෙස මුල් වරට ලියන ලද්දේ ලේඛක ඉවාන් තුර්ගේනිව් විසිනි. දොස්තයෙව්ස්කිගේ නවකතා එක්තරා ආකාරයකට ශුන්‍යවාදය පිළිබඳ  දාර්ශනික විශ්ලේෂණයක් ලෙස සැලකේ. ශුන්‍යවාදය යන පදය දාර්ශනික ක්‍ෂේත්‍රය තුළ මුලින්ම භාවිතා කරන ලද්දේ   18 වන ශතවර්ෂයේ  ෆෙඩ්‍රික් ජැකොබි විසිනි .  (අපන්නක සූත්‍රයේ සිද්ධාර්ථ ගෞතමන් විසින් ශුන්‍යවාදී දෘෂ්ටිය මිච්ඡාදිට්ඨියක් ලෙසට විස්තර කොට තිබේ). 

ශුන්‍යවාදය යනු මිනිසුන්ට ජීවිතයේ අරමුණ සහ ඉලක්කය නොමැති විටදී දැනෙන  අත්දැකීමයි. මෙයට හේතුව මිනිසුන් ඔවුන්ගේ වටිනාකම් අවබෝධ කර නොගැනීමයි. අර්ථයක් නොමැතිකමේ අත්දැකීම නිසා පුද්ගලයෙකුට ශුන්‍යතාවයක් අත්විඳීමට මඟ පාදයි. ශුන්‍යවාදය මානව වටිනාකම් පදනම් විරහිත බව, ජීවිතය අර්ථ විරහිත බව පවසයි. ශුන්‍යවාදීන්ට අනුව ජීවය ආවේනික වටිනාකමක්, අර්ථයක් හෝ අරමුණක් නොමැතිව පවතී. ශුන්‍යවාදය මිනිසුන්, වස්තූන් සහ ජීවිතය කෙරෙහි සමාජය තබන වටිනාකම සහ අර්ථය ප්‍රතික්‍ෂේප කරයි. පුද්ගලයාගේ ආත්මීය අත්දැකීමෙන් ඔබ්බට කිසිවක් දැන ගැනීමට හෝ සන්නිවේදනය කිරීමට නොහැකි බව කියයි. ශුන්‍යවාදයේ  මූලික වශයෙන් ඇත්තේ සදාකාලික සත්‍යයන් නොමැති බවත්, සදාකාලික අරමුණක් නොමැති බවත්, මානව පැවැත්මට අවසාන අර්ථයක් හෝ වැදගත්කමක් නොමැති බවත් ය.  (ශුන්‍යවාදය අශුභවාදය, නරුමත්වය සහ උදාසීනත්වය වැනි සංකල්පවලින්  වෙන්කර හඳුනා ගැනීම අවශ්‍ය වේ). 

ෆ්‍රෙඩ්රික් නීට්ෂේ  ශූන්‍යවාදය පිලිබඳ සවිස්තරාත්මක රෝග විනිශ්චයක් සැපයීය. ඔහු ශූන්‍යවාදය  විවිධ අර්ථයන් සහ අරුත් සහිතව විවිධ ආකාරවලින් භාවිතා කරයි. ශුන්‍යවාදයේ නැගීම තවමත් අසම්පූර්ණ බවත් එය තවමත් ජයගත නොහැකි බවත් නීට්ෂේ පෙන්වා දුන්නේය. නීට්‍ෂේට අනුව ශුන්‍යවාදය  යනු ජීවිතය තහවුරු කිරීම මිනිසාට සීමා කරන සංකල්පයයි.   

නීට්‍ෂේ තම ජීවිතයේ සැලකිය යුතු කොටසක් ගත කළේ මිනිසාට අර්ථයක් ආරෝපණය කිරීමට උත්සාහ කිරීම සඳහා ය. නීට්‍ෂේ ගේ දර්ශනය බොහෝ විට ශුන්‍යවාදය සහ පැවැත්මවාදය යන දෙකටම සම්බන්ධ වේ. ඔහු සාම්ප්‍රදායික සදාචාරය, ආගම සහ පාරභෞතික විද්‍යාව ප්‍රතික්‍ෂේප කළ අතර ජීවිතයේ අරුත සහ අරමුණ ප්‍රශ්න කළේය. ඔහු පුද්ගල වගකීම, නිදහස සහ ස්වයං අභිබවා යාම ද අවධාරණය කළේය. 

නීට්‍ෂේට අනුව ලෝකයේ වෛෂයික (objective) පිළිවෙලක් හෝ ව්‍යුහයක් නොමැත.  නීට්‍ෂේ තම Will to Power කෘතියේ පෙන්වා දෙන පරිදි සෑම විශ්වාසයක්ම, සෑම දෙයක්ම සත්‍යයක් ලෙස සලකන සෑම දෙයක්ම, සත්‍ය ලෝකයක් නොමැති නිසා අනිවාර්යයෙන්ම අසත්‍ය වේ.  ශුන්‍යවාදය විසින් සියලු විශ්වාසයන් සහ පරිශුද්ධ අදහස් මිථ්‍යාවක රෝග ලක්‍ෂණ ලෙස හෙළිදරව් කරනු ඇත කියා ඔහු කීවේය. ලෝකෝත්තර වටිනාකමේ සාම්ප්‍රදායික මූලාශ්‍රය වන දෙවියන්  නූතන සංස්කෘතිය තුළ තවදුරටත් වැදගත් නොවන බවත් දෙවියන් මිය ගිය බවත් ඔහු තර්ක කළේය. නවීන විද්‍යාවේ නැඟීම නිසා ක්‍රිස්තියානි විශ්වාසයන් යටපත් වූ බැවින්, සත්‍යය, වටිනාකම සහ අර්ථය සඳහා මූලාශ්‍රය ලෙස ක්‍රිස්තියානි ආගමට තවදුරටත් සේවය කිරීමට නොහැකි වූ බව ඔහු පෙන්වා දෙයි.    

නීට්‍ෂේන් සන්දර්භය තුළ ක්‍රිස්තියානි ධර්මය ශුන්‍යවාදයේ මූලාශ්‍රවලින් එකකි, මන්ද එය ප්‍රජනනය, ලිංගිකත්වය, මහිමයට ඇති ආශාව සහ බලය සඳහා ඇති ආශාව වැනි ජීවිතයේ සියලුම අත්‍යවශ්‍ය අංග අධෛර්යමත් කරයි. ක්‍රිස්තියානි ධර්මයේ ආචාර ධර්මය කරුණාව, දයාව සහ අනුකම්පාව මිනිසුන් තුළ දුර්වලතා ඇති කරන අතර ඔවුන් නොසිතන හා නිර්මාණශීලී නොවන ආකාරයෙන් ජීවත් වීමට හේතු වේ. එය යම් ආකාරයක මූලික මිනිස් ආත්මය වාමන කරන අතර පැවැත්මවාදීන් "අව්‍යාජ මානව පැවැත්ම" ලෙස හඳුන්වන දේ විනාශ කරයි.  ක්‍රිස්තියානි ධර්මය බටහිර ශිෂ්ටාචාරයේ පැවැත්මට සහ සංස්කෘතියට එහි විභවයන් කරා ළඟා වීමට අවශ්‍ය ප්‍රතිවිරෝධකයක් ලෙස නීට්‍ෂේ දුටුවේය.

නීට්‍ෂේ ලියූ පරිදි: "අශුභවාදය යනු ශුන්‍යවාදයේ මූලික ආකාරයකි." නීට්‍ෂේ සඳහා අශුභවාදය යනු ජීවිතයේ සියලු අර්ථ විරහිතභාවය පිළිබඳ සවිඥානක හැඟීමකි. නීට්‍ෂේ මූලික වශයෙන් සැලකිලිමත් වූයේ පැවැත්මේ ශුන්‍යවාදයටය. එය සමස්තයක් ලෙස ජීවිතයට ආවේණික අර්ථයක් හෝ වටිනාකමක් නොමැති බව ප්‍රකාශ කරන බැවින් එය සියලු ආකාරයේ ශුන්‍යවාදයන් ආවරණය කරයි. නීට්‍ෂේ ශුන්‍යවාදය මෙසේ නිර්වචනය කරයි; “ Nihilisam is the radical repudiation of value, meaning, and desirability ("ශුන්‍යවාදය වනාහී වටිනාකම, අර්ථය සහ යෝග්‍යතාවය පිළිබඳ රැඩිකල් ප්‍රතික්ෂේප කිරීම වෙයි. ") ශුන්‍යවාදය නොවැළැක්විය හැකි දෙයක් ලෙස ඔහු දුටුවේය​. නීට්ෂේ ශුන්‍යවාදය රෝගයක් ලෙස සැලකූ අතර එය ‘ව්‍යාධික’ ලෙස හඳුන්වයි. ඔහු තර්ක කළේ අප එයින් මිදීමට උත්සාහ කළ යුතු බවයි.

ශුන්‍යවාදය ආරම්භ වන්නේ ලෝකය අර්ථයක් හෝ අරමුණක් නොමැති බව යන සංකල්පයෙනි.  මේ අනුව අනුව පැවැත්මේ සියලු ක්‍රියාවන්, දුක් වේදනා සහ හැඟීම් - අවසානයේ තේරුමක් නැති සහ හිස් බවින් පිරී පවතියි.  අප මිත්‍යාවන් අත්හරින විට ජීවිතය කිසිවක් නැති බව හෙළිවේ. අර්ථ විරහිත බව ( loss of meaning)  නිෂ්ක්‍රීය ශුන්‍යවාදය ලෙස නීට්‍ෂේ නම් කරයි.  නිෂ්ක්‍රීය ශුන්‍යවාදය ෂොපන්හෝවර්ගේ අශුභවාදී දර්ශනය තුළ පවතින බව නීට්‍ෂේ පෙන්වා දෙයි. බටහිර දාර්ශනික සම්ප්‍රදාය හා  ක්‍රිස්තියානි ධර්මය අභ්‍යන්තරව ශුන්‍යවාදී යැයි ද ඔහු චෝදනා කරයි. බුදු දහමේ පෙන්වන පරිදි දුක් වේදනා අවම කිරීම සඳහා තන්හා ආශයන් ගෙන් ඉවත් වීම "ශූන්‍යතාවයට ඇති කැමැත්ත" ලෙස නීට්‍ෂේ පවසයි. ලෝකයේ ඇති සියලුම වටිනාකම් ඉවත් කිරීම ශුන්‍යවාදියාගේ ලක්‍ෂණයකි. නීට්‍ෂේට අනුව, සංස්කෘතියකට සමෘද්ධිමත් වීමට සැබෑ පදනමක් තිබිය හැක්කේ ශුන්‍යවාදය ජයගත් විට පමණි.

නීට්‍ෂේ පෙන්වා දෙන  පරිදි  ප්ලේටෝගේ දර්ශනයෙන් මතුවන දුක් වේදනා ශුන්‍යවාදයට මග පාදයි. එසේම ක්‍රිස්තියානි ධර්මය මුළුමනින්ම ශුන්‍යවාදී දෘෂ්ටියක් බව නීට්‍ෂේ  ප්‍රකාශ කලේය​. බටහිර රටවල තුල ඒකදේවවාදී දෙවියෙකු පිළිබඳ විශ්වාසය පිරිහෙමින් තිබූ අතර නීට්‍ෂේ දෙවියන්ගේ මරණය ප්‍රකාශ කලේය. දෙවියන් ගේ මරණය විනාශකාරී මෙන්ම විමුක්තිදායක විය හැකි බව නීට්‍ෂේ ලියයි. ඔහු The Gay Science හි මෙසේ ලිවීය; "දෙවියන් මිය ගොසිනි. ඔහුගේ සෙවණැල්ල පෙන්වන ගුහා වසර දහස් ගණනක් තවමත් තිබිය හැකිය" නීට්‍ෂේට අනුව ෆැසිස්ට්වාදය, සමාජවාදය, කොමියුනිස්ට්වාදය හෝ ඒකාධිපතිවාදය  වැනි දේශපාලන මතවාදයන් දෙවියන්ගේ සෙවනැලි වේ. නීට්‍ෂේ සමාජවාදය "ගුප්ත ක්‍රිස්තියානි ධර්මය"- “latent Christianity”,ලෙස හඳුන්වයි. අර්ථ විරහිතභාවයේ ශුන්‍යතාවය එනම් දෙවියන් නැත හා  දෙවියන්  නැති නිසා මිනිස් ජීවිතයට අවසාන අර්ථයක් නැත යන හැඟීම පිලිබඳවද නීට්‍ෂේ කතා කල අතර එය ඔහු "das nichts" ලෙස හැඳින්වීය​. 

අශුභවාදී දර්ශනයේ නැගීම යුරෝපය තුළ උදාසීනත්වයට සහ පරිහානියට හේතු වනු ඇති බව  නීට්‍ෂේ උපකල්පනය  කලේය​. නූතන මිනිසාට අවශ්‍ය වන්නේ ශුන්‍යවාදය ජය ගැනීම සඳහා ලෝක දැක්මක් අවශ්‍ය බව නීට්‍ෂේ අවධාරණය කරයි.  මිනිසාට වර්තමාන මොහොතේ අර්ථය වර්ධනය කර ගැනීමට උපකාර වන ලෝක දැක්මක් අවශ්‍ය වේ. ශුන්‍යවාදය ජය ගැනීම සඳහා නීට්‍ෂේ  උපායමාර්ගය සාකච්චා කරයි. පශ්චාත් ක්‍රිස්තියානි යුගයේ ප්‍රතිඵලයක් ලෙස මානව වර්ගයා නව පුද්ගලවාදී සදාචාර පද්ධතියක් නිර්මාණය කළ යුතු බව නීට්ෂේ විශ්වාස කළේය.   

බුදුදහම "නිෂ්ක්‍රීය ශුන්‍යවාදයේ" ආකාරයක් ලෙසට නීට්‍ෂේ දකියි. බුද්ධාගම මූලික වශයෙන් ජීවිතය ප්‍රතික්‍ෂේප කරන, ශුන්‍ය භාවය අරමුණු කරගත් දහමක් බව නීට්‍ෂේ  තම On the Genealogy of Morals කෘතියේ සඳහන් කරයි. බෞද්ධයා පැවැත්ම හෙළා දකින අතර එයින් ඉවත් වීමට උත්සාහ කරයි, ඔවුන් ලෞකික පැවැත්මේ අරමුණක් නැති පාවෙන චක්‍රයෙන් නිදහස් වීමට උත්සාහ කරන අතර, යමෙකු ලෝකයට විශ්වාසවන්තව සිටිය යුතු බව නීට්‍ෂේ විශ්වාස කරයි. ඔහු පෙන්වා දෙන පරිදි බුදුදහම තුළ වාස්තවික අර්ථයක් නොමැත. එයින් කියැවෙන්නේ සංසාර චක්‍රයක් පවතින බවත් යථාර්ථයේ ස්වභාවය ස්වභාවයෙන්ම හිස් බව දකිමින් එයින් ගැලවිය හැකි බවත් පමණි. 

බුදුදහම සහ ක්‍රිස්තියානි ආගම අනුගමනය කරන පුද්ගලයෝ  සියල්ලෝම තපස් (ascetic)  පරමාදර්ශයේ බලපෑමට යටත් වන බව නීට්‍ෂේ  විසින් ඔහුගේ Genealogy of Morals කෘතියේ විස්තර කලේය​. තාපසයා තම භූමික සැප අත්හළේ ස්වයං ප්‍රතික්‍ෂේප කරන සහ වැළකී සිටින ජීවිතයක් වෙනුවෙනි. තපස් පරමාදර්ශවල තේරුම වනාහී ජීවිතය සමඟ වෙහෙස සහ පිළිකුල සමඟ කටයුතු කිරීමට  වන අතර, කෙනෙකුගේ දුක් වේදනාවලට අර්ථයක් ලබා දෙයි, ශුන්‍යවාදය වළක්වයි. නීට්ෂේ තාපස පරමාදර්ශය අවතක්සේරු නොකරයි, මන්ද ඕනෑම අර්ථයක් කිසිදු අර්ථයක් නැතිවාට වඩා හොඳය. කෙසේ වෙතත්, එය "ශූන්‍යතාවයට ඇති කැමැත්ත", ජීවිතයට විරුද්ධ කැමැත්තක් වන බැවින් එය තවමත් ශුන්‍යවාදයේ ආකාරයක් බව ඔහු නිරීක්ෂණය කරයි.   

නීට්‍ෂේ ශුන්‍යවාදය කරදරකාරී ගැටලුවක් ලෙස සලකයි. නීට්‍ෂේ ප්‍රකාශ කරන්නේ බටහිර චින්තනයට ශූන්‍යවාදය ආවේනික බවත්, ඒ සමගම ශූන්‍යවාදය  අතීතයේ, වර්තමානය සහ අනාගතයේ කොන්දේසියක් බවත් ය. නීට්‍ෂේට අනුව ශුන්‍යවාදය යනු බටහිර සංස්කෘතියේ පරිහානිය පිළිබඳ රෝග විනිශ්චයකි. නීට්‍ෂේ ශුන්‍යවාදය නිර්වචනය කරන්නේ  ජීවිතය තේරුමක් නොමැති සහ අර්ථ විරහිත යැයි විශ්වාස කරමින් සියලු ආගමික සහ සදාචාරාත්මක මූලධර්ම ප්‍රතික්‍ෂේප කිරීම ලෙසට ය. සාම්ප්‍රදායික සාරධර්ම සහ විශ්වාසයන් ප්‍රතික්‍ෂේප කිරීම හා ජීවිතයේ අරුත සහ අරමුණ ප්‍රතික්‍ෂේප කිරීම නව වටිනාකම් සහ විශ්වාසයන් නිර්මාණය කිරීමට හේතු විය හැකි බව නීට්‍ෂේ විශ්වාස කළේය.  

සදාකාලික පුනරාවර්තනය eternal recurrence එය ශුන්‍යවාදයේ වඩාත්ම ආන්තික ස්වරූපය බව නීට්‍ෂේ පෙන්වා දෙයි.ඔහුගේ මතය අනුව, ශුන්‍යවාදය යනු පැවැත්මේ වටිනාකම ප්‍රතික්‍ෂේප කිරීමක් බව  හඳුනාගත හැකිය. ඔහු  ශුන්‍යවාදයේ ගැටලුව විසඳීමට උත්සාහ කළ අතර  සියලු සාරධර්ම නැවත ඇගයීම වැනි ආන්තික ක්‍රම යෝජනා කළේය.

හෛඩගර් කියා සිටින්නේ ශුන්‍යවාදයේ ගැටලුව සමඟ නීට්‍ෂේ අපට බටහිර පාරභෞතික විද්‍යාවේ සාරය සහ එහි සාරධර්ම පද්ධතිය පෙන්වමින් සිටින බවයි. නීට්‍ෂේට අනුව, බටහිර පාරභෞතික විද්‍යාව ලෙස හැඳින්වෙන සංකල්පීය රාමුව ප්‍රථම වරට ප්‍රකාශ කරන ලද්දේ ප්ලේටෝ විසිනි. බටහිර පාරභෞතික විද්‍යාවේ පරිණත භාවය සිදු වන්නේ නූතනත්වයේ විද්‍යාත්මක හා දේශපාලන විප්ලවයන් තුළය. එම නිසා එහි  නොගැලපීම් සහ වැරදි බොහොමයකි. නීට්‍ෂේට අනුව, “ඉහළම සාරධර්ම තමන්වම අවප්‍රමාණය කරයි. සත්‍යය සෙවීමේදී අවංකභාවය, සම්භාව්‍යභාවය සහ ධෛර්‍යය යන වටිනාකම් තවදුරටත් නිරපේක්‍ෂ වටිනාකමක් දරයි. ස්හජ අර්ථයක් නොමැති පැවැත්මක තර්කනය සංවිධානාත්මක දෘෂ්ටි කෝණයකින්, වටිනාකම් නිර්මාණය කරන ප්‍රතිචාරයක් ඉල්ලා සිටින බවයි,

නීට්‍ෂේ  ශුන්‍යවාදයේ වර්ග දෙකක් පිලිබඳව පවසයි. එනම් ක්‍රියාකාරී ශුන්‍යවාදය සහ  නිෂ්ක්‍රීය ශුන්‍යවාදය වෙයි. නීට්‍ෂේ නිෂ්ක්‍රීය ශුන්‍යවාදය (Passive nihilism) තපස් පරමාදර්ශය සහ ඒ මත ගොඩනගා ඇති  ක්‍රිස්තියානි සහ බෞද්ධ චින්තන පද්ධති සමඟ සම්බන්ධ කරයි. නීට්‍ෂේ නිෂ්ක්‍රීය ශුන්‍යවාදය ලෙස හඳුන්වන්නේ අර්ථය සෙවීමේ අවසාන ලක්‍ෂ්‍යය ලෙස ශුන්‍යවාදය පිළිගන්නා දර්ශනයකි. නිෂ්ක්‍රීය ශුන්‍යවාදීන්ට ඔවුන්ගේම වටිනාකම් සහ අර්ථයන්හි නිර්මාතෘවරුන් වීමට ශක්තියක් නැත. නීට්‍ෂේ සඳහා, නිෂ්ක්‍රීය ශුන්‍යවාදියෙකු දුර්වල කැමැත්තකින්, අර්ථය නිර්මාණය කිරීමට ඇති නොහැකියාව සහ ලෝකයෙන් ඉවත් වීමේ ප්‍රවණතාවය මගින් සංලක්‍ෂිත වේ. අර්ථයක් නොමැතිකමට සහ දුර්වල කැමැත්තකට ප්‍රතිචාර වශයෙන්, නිෂ්ක්‍රීය ශුන්‍යවාදීන් බොහෝ විට මහජන ව්‍යාපාරවලට සම්බන්ධ වෙති. එසේ සම්බන්ධ වන්නේ  දේශපාලන පක්ෂයකට හෝ නායකයෙකුට ඔවුන්ගේ ජීවිතයට අරුතක් ලබා දීමේ මාර්ගයක් ලෙසටය​. මෙය අනුගාමිකයින්ට තවමත් ලෝකයේ යම් අධිකාරියක් ඇති බවට හැඟීමක් ලබා දෙයි. 

ක්‍රියාකාරී ශුන්‍යවාදය (Active nihilism) දෙවියන්ගේ මරණය වැනි සියලු වටිනාකම් සහ අර්ථය විනාශ කිරීමට මුහුණ දීමෙන් පසු නව අර්ථයක් ගොඩනැගීමට සම්බන්ධ වේ. නීට්ෂේ මෙය ශක්තියේ සලකුණක් ලෙස සලකයි, නිෂ්ක්‍රීය ශුන්‍යවාදියා මෙන් යටපත් වී ඉල්ලා අස්වීම වෙනුවට, ක්‍රියාකාරී ශුන්‍යවාදියා  පැරණි සාරධර්ම ප්‍රතිස්ථාපනය කර ශුන්‍යවාදයේ තත්ත්වය ජය ගැනීමට උත්සාහ කරයි, ඔහු ස්වාධීන නිර්මාණකරුවෙකු ලෙස තමාගේම වටිනාකම් ඉදිරිපත් කරන ශක්තිමත් පුද්ගලයෙකි. ක්‍රියාකාරී ශුන්‍යවාදීන් වටිනාකම සහ අර්ථය විනාශ කිරීමෙන් නොනැවතී බලාපොරොත්තු සුන්වීම හෝ ඔවුන්ගේ බිය සමනය කර ගැනීම සඳහා මහජන ව්‍යාපාරයකට සම්බන්ධ වීම වෙනුවට  ඒවා ගොඩනඟයි. නීට්ෂේ සක්‍රීය ශුන්‍යවාදීන් ලෙස සැලකුවේ කලින් තම ජීවිතයට අරුතක් දුන් විශ්වාසයන් අහිමි වීමෙන් පසුව පවා නිර්භීතව ඉදිරියට යන පුද්ගලයන් ලෙසය. මෙම ශක්තිමත් කැමැත්ත ඇති පුද්ගලයන් නිදහසේ තමන්ගේම වටිනාකම් සහ අර්ථයන් නිර්මාණය කිරීමෙන් ශුන්‍යවාදය ජය ගනී.ක්‍රියාකාරී ශුන්‍යවාදය යනු  අවසානයක් නොව සාරධර්ම සහ අර්ථ සෙවීමේ ආරම්භයයි. වෙනත් ආකාරයකින් කිවහොත්, ක්‍රියාකාරී ශුන්‍යවාදීන් තමන් සිටින තත්වයට එරෙහිව කැරලි ගනිති.ඔවුන්ගේ කැරැල්ලේදී, ඔවුන් තමන්ගේම අර්ථයේ මූලාශ්‍රය වීමට ඉඩ සලසන නිර්මාණාත්මක බලය තුළ ශක්තිය සොයා ගනී. නීට්‍ෂේට මෙය වීර මාවතයි. නීට්‍ෂේ අපට පවසන්නේ මේ ජීවිතය කෙරෙහි අපගේ අවධානය යොමු කර එතැන් සිට ගොඩ නැගීමට පටන් ගන්නා ලෙසයි. 

කෙසේ වෙතත්, නීට්ෂේ මෙම පුද්ගලයා ක්‍රියාකාරී ශුන්‍යවාදියෙකු ලෙස හැඳින්වූයේ නැත, නීට්ෂේ මෙම පුද්ගලයා හඳුන්වන්නේ Übermensch ( සුපිරි මිනිසා) ලෙසටය​. සුපිරි මිනිසා  අගාධය දෙස බැලීමට බිය නොවන, ශුන්‍යවාදය හරහා ගොස් එය ජයගෙන ජීවිතය තහවුරු කරන අයෙකි. (ඉතාලි දාර්ශනික Gianni Vatimo පශ්චාත් නූතනවාදය සහ ශුන්‍යවාදය අතර සම්බන්ධයක් ගොඩනැගී ඇති බව පවසයි. ඔහු පශ්චාත් නූතන තත්ත්වය සඳහා නීට්‍ෂේගේ ශුන්‍යවාදයේ න්‍යායේ අදාළත්වය විග්‍රහ කරයි). 

නීට්‍ෂේ හට ශුන්‍යවාදය බිය විය යුතු දෙයක් නොව වැළඳගත යුතු අභියෝගයක් විය. මිනිසුන්ට සැබවින්ම නිදහස් හා නිර්මාණශීලී ජීවීන් බවට පත්විය හැක්කේ ශුන්‍යවාදය වැළඳ ගැනීමෙන් පමණක් බව ඔහු විශ්වාස කළේය. ශුන්‍යවාදියෙකු යනු දෙවියන්  සහ දෙවියන්ගේ පැවැත්ම ප්‍රතික්‍ෂේප කරන අයෙකි. මෙම විශ්වාසය පැන නගින්නේ පැවැත්ම තුල අර්ථයක් හෝ අරමුණක් නොමැති බව අවබෝධ කර ගැනීමෙනි. ඔහුට ශුන්‍යවාදය යනු හුදෙක් නිෂේධාත්මක ආකල්පයක් හෝ ඉදිරි දැක්මක් නොව දැනුමේ සහ පැවැත්මේ පදනම් ප්‍රශ්න කරන දාර්ශනික ආස්ථානයකි. ඔහු ශුන්‍යවාදය දකින්නේ චින්තනයේ පරිණාමයේ අත්‍යවශ්‍ය පියවරක් ලෙසය. ශුන්‍යවාදය යනු මිනිසාගේ සිතීමේ හැකියාවේ දියුණුවක් බවත් ඒ අනුව ඔහු එයට ධනාත්මක අර්ථයක් ලබා දෙන බවත් ඔහු ප්‍රකාශ කරයි.

නීට්ෂේගේ දර්ශනයේ ජීවය තහවුරු කිරීම කේන්ද්‍රීය බව සාමාන්‍යයෙන් පිළිගැනේ. නීට්ෂේ ඔහුගේ පළමු පොත වන The Birth of Tragedy හි පවා ජීවිතය තහවුරු කිරීම ගැන සැලකිලිමත් වේ. Übermensch  (සුපිරි මිනිසා) යනු ශුන්‍යවාදයට විසඳුම බව නීට්ෂේ පෙන්වා දෙයි. නීට්ෂේ අපට පවසන්නේ ලෝකයට විශ්වාසවන්තව සිටින ලෙසත්, මේ ජීවිතයේ අපගේ හැකියාවන් උපරිම කිරීමටත්, අන් සියල්ලටම වඩා අපගේ ශරීරයට ප්‍රමුඛත්වය දීමටත් අවධානය යොමු කරන ලෙසත්ය. නීට්ෂේ විශ්වාස කළේ පුද්ගලයා ජීවිතය උපරිමයෙන් ගත කළ යුතු බවත් ජීවිතයේ සියලු දුක් වේදනා සහ වේදනාවන් නිර්භීතව හා ධෛර්ය සම්පන්නව වැළඳ ගත යුතු බවත්ය. අවසාන වශයෙන් බලයට ඇති කැමැත්ත වන්නේ තමාගේම ස්වාමියා වීමයි, ඒ සඳහා තමා කෙරෙහි  බලය වැඩි කිරීම අවශ්‍ය වේ. එය තමා කවුරුන් දැයි ස්වයං අවබෝධයේ ජීවිත ගමනයි. සතුට යනු ප්‍රතිරෝධයන් සහ දුක් වේදනා ජය ගැනීම හා සම්බන්ධ හැඟීමයි, එය බලය වැඩි කිරීමට මග පාදයි. මේ අනුව, බලයට ඇති කැමැත්ත සහ සදාකාලික පුනරාවර්තනය ප්‍රීතිමත්ම පුද්ගලයා සහ පැවැත්මේ අර්ථය සහ යුක්තිසහගත කිරීම වන Übermensch (සුපිරි මිනිසා) සඳහා මාර්ගය  නිරාවරණය කරයි. සාරධර්ම නිර්මාණය කිරීම සඳහා ස්වකීය ශුන්‍යවාදය අභිබවා ගොස් එය ප්‍රතිනිර්මාණය කරන මනුෂ්‍යත්වය සුපිරි මිනිසා තුල අඩංගු වෙයි. 



References 

Gillespie, M. (1996). Nihilism Before Nietzsche.  Chicago: Chicago University Press.

Hussain, N.J.( 2012 ). Metaethics and Nihilism in Reginster's The Affirmation of Life. Journal of Nietzsche Studies 43 (1):99-117.

Woodward, A.( 2002). Nihilism and the Postmodern in Vattimo's Nietzsche  Minerva - An Internet Journal of Philosophy 6 (1):51-67.




 

Find Us On Facebook