Wednesday, July 18, 2018

ඇවන්ගාඩ් ව්‍යාපාරය බිහි කරන ලද මේජර් නිශ්ශංක සේනාධිපති




අපගේ සමාජය සෑමකල්හිම ධනපතියන්ට වෛර කල සමාජයකි. මහන්සියෙන් ව්‍යාපාර කොට මුදල් උපයා තවත් සිය ගනනකට රැකියා ලබා දුන් පුද්ගලයා ලාංකික ප්‍රමිතීන්ට අනුව සූරාකන්නෙකි. අපගේ සමාජය සෑම විටම වන්දනා කලේ  ධනයක් උත්පාදනය නොකරන,  කර්මාන්ත කෙරෙහි අලස , ව්‍යාපාර කෙරෙහි අගතියෙන් බැලූ සමාජයට එලදායී දෙයක් ලබා නොදුන් එහෙත්  විවේචනයේ  දක්‍ෂ හිස් මිනිසුන්ටය​.    

කොලඹ වරායේ වැඩවර්ජන සංවිධානය කොට කොලඹ වරායට ඒමට නියමිතව තිබූ බිස්නස් සිංගප්පූරු වරායට ලබා දුන් එන් .එම් පෙරේරා අපගේ සමාජයට ජාතික වීරයෙකි. කිසිවෙකුට රැකියාවක් නොදුන් ජීවිත  බොහෝ ගනනක් නාය යාමට යොමු කල රෝහණ විජේවීර වන්දනීය නායකයෙකි.   

ආසියාවේ සිටි දක්‍ෂතම ව්‍යාපාරිකයෙකු වූ උපාලි විජේවර්ධන අපගේ සමාජයට හුදු ජාවාරම්කරුවෙකු විය​. නවලෝක මුදලාලිලාගේ , මැලිබන් මුදලාලිලාගේ , සිද්ධාලේප  මුදලාලිලාගේ  ගේ ව්‍යාපාර දියුණු කිරීමේ හැකියාව අධ්‍යනය කරනවා වෙනුවට අපගේ මිනිසුන් උනන්දු වූයේ  ඔවුන් ගේ දිළිඳු අතීතයේ ඇද කුද සෙවීමටය​.   

අපගේ සමාජය ඉල්ලන්නේ වියාපාර ලෝකයේ ඉහලට නගින ධනය උත්පාදනය කරමින් ආර්ථිකයට උර දෙන ධම්මික පෙරේරලා නොව අවස්ථාවාදී කපටීන්ට රැවටී බිලි බෝයිස්ලා වී ස්වයං විනාශයක් කරා ගිය ත්‍රීමා විතාණලා සහ වෙනුරලාය​. එහෙත් උත්ප්‍රාසය නම් ව්‍යාපාර කර්මාන්ත ආදියේ යෙදෙමින් ධනය උපද්දවන පුද්ගලයන් සූරාකන්නන් , ධනපතියන්  , ජාවාරම්කරුවන් කියමින් ඔවුන්ව විවේචනය කරන පා පැදියක් වත් ගැනීමට මුදල් නොතිබුනු , ඉරිසියාව සහ වයිරය සමාජයේ වපුරුවන පුස්සෝ දේශපාලනය හරහා හෝ ඩීල් හරහා හෝ  මුදල් උපයා  ගැනීමට තැත් කරති.  මොවුන් අත්දැකීම් අඩු විචාර බුද්ධියෙන් හීන පරම්පරාවක්ම  ග ්ඟ යවති.   

පෙරදා අපට ධනපතියන් භංග වේවා කියමින් පන්ති කල  පුද්ගලයා අද පාස්පෝට් දෙකක සහ රුපියල් මිලියන දෙදහසක හිමිකරුවෙකි. ඔහුගේ බස් බැරෑරුම් ලෙස ගත්තෝ අද කුණු කය නොමැති ගන්ධබ්බයන් ය. සමහරු ජීවත් වූවද  දුප්පත්කමින් වෙළී තමන් ගේ  අසාර්ථක වූ  ජීවිත නිසා තමන් සමග මෙන්ම සමාජය කෙරෙහි  වයිරයෙන් ජීවත් වෙමින් තමන්ට දේශපාලන පන්ති කල නායකයන් ජීවිතය සුවදායක ලෙස වින්දනය කරන අයුරු බලා සිටිති. එහෙත් මේ විශම චක්‍රයෙන් ශ්‍රී ලාංකික සමාජය මිදෙන්නේ නැත​. මේ අනුව තවමත් පසුගාමී ආකල්ප කර තබාගෙන අවස්ථාවාදීන්ට සවන් දෙමින් සිටින ලාංකිකයාට ලබන සියවසේද තුන්වන ලෝකයේ හිඟන රටක් ලෙස ලෝකය ඉදිරියේ පෙනී සිටිය හැක​.   

පහත දැක්වෙන්නේ ඇවන්ගාඩ් ව්‍යාපාරය බිහි කරන ලද මේජර්  නිශ්ශංක සේනාධිපති සමග කරන ලද සාකච්ඡාවකි. 

1) නිශ්ශංක සේනාධිපති කියන පුද්ගලයා ගැන යමක් කියන්න පුළුවන්ද පුද්ගලික විස්තර සමග ?    

1963 දෙසැම්බර් මස 7 වැනිදා කොළඹ කොච්චිකඩේ දී උපත ලැබූ මා සහෝදර සහෝදරියන් සිව් දෙනෙකුගෙන් යුතු පවුලේ දෙවැන්නා විය. මාගේ පියා ශ්‍රී ලංකා පොලිසියේ සාජන් මේජර්වරයෙකු වූ අතර ඔහුගේ නීතිගරුක භාවයත්, මවගේ ආදර රැකවරණයත් මධ්‍ය යේ තිඹිරිගස්යාය පොලිස් නිවාස සංකීර්ණයේ මාත් මාගේ සහෝදරියන් දෙදෙනා හා සොහොයුරාත් හැදී වැඩුනෙමු. මා අධ්‍යාපනය ලැබූයේ කීර්තිමත් ඉතිහාසයක් ඇති කොලඹ ඉසිපතන විද්‍යාලයෙනි. 

පාසල් අධ්‍යාපනයෙන් අනතුරුව මා ශ්‍රී ලංකා  යුද හමුදාවට කැඩෙට් නිලධාරියකු  ලෙස එක්වීමට තීරණය කළෙමි. කැඩෙට් නිලධාරී පුහුණු පාඨමාලාවෙන් පසුව යුධ හමුදා කමාන්ඩෝ රෙජිමේන්තුවට එක්වීමට ස්වේච්ඡාවෙන් මා ඉදිරිපත් වුනෙමි. 1993 වර්ෂයේ දී විවාහ වූ අතර, මා හට එක් පිරිමි දරුවකු සිටී. වසර 12 ක සේවා කාලයකින් පසු 1996 වර්ෂයේ ‍ ශ්‍රී ලංකා යුධ හමුදාවෙන් මා නිත්‍යානුකූල ලෙස ඉවත් වී ඉන් අනතුරුව ව්‍යාපාර ක්ෂේත්‍රය වෙත යොමු වුනෙමි.



 2)   ඔබගේ යුද හමුදා ජීවිතය ගැන කෙටියෙන් සඳහන් කළොත්  ?

මා යුද හමුදාවට එක්වන අවධියේ ඕනෑම මවක හෝ පියකු තම දරුවා හමුදාවට යැවීමට කිසි විටකත් නොසිතන කාලයක, කුරිරු යුද්ධයේ උච්චතම අවස්ථාවේදී මගේ දෙමවුපියන්ගේ දැඩි විරෝධතාවය මධ්‍යයේ මා ශ්‍රී ලංකා යුද හමුදාවට බැඳුණේමි. මිනිසුන් අතර සැබෑ මිනිසකු වන්න නම් යුද හමුදාවට බැඳිය යුතු යැයි මා තුළ සංකල්පයක් විය. යුද්ධ හමුදා නිල ඇඳුමට මා බොහෝ සෙයින් ප්‍රිය කළ අතර, යුද හමුදාවට බැඳී පිරිස් මෙහෙයවිය යුතු යැයි මාතුල දැඩි අධිෂ්ඨානයක් පැවතියෙමි. යුද්ධ හමුදාව මිනිසකු පරිපූර්ණත්වයට පත් කරවන තෝතැන්නක් බව යුද්ධ හමුදාවට එක් වූ පසු මා හට පසක් වුනෙමි.  

1985 වර්ෂයේ ඔක්තෝම්බර් මස 7 වන දින කැඩෙට් නිලධාරියකු වශයෙන් ශ්‍රී ලංකා යුද හමුදාවට බැඳුණු මා පාකිස්තාන යුද හමුදා විද්‍යාපීඨයේ පැවති මූලික කැඩෙට් පාඨමාලාව සාර්ථකව හැදෑරීමෙන් අනතුරුව 1987 පෙබරවාරි මස 12 වන දින දෙවන ලුතිනන් වරයෙකු වශයෙන් අධිකාරියට පත් විය.  57 දෙනෙකුගෙන් යුත් මාගේ බඳවා ගැනීමේ ඛණ්ඩයේ දක්ෂතාවය අනුව සිවුවැනි ස්ථානය ලබා ගැනීමට මා හට හැකි විය. 

පාකිස්තාන හමුදා විද්‍යාපීඨයේ වසරක පමණ පුහුණුවෙන් අනතුරුව මා ස්වේච්ඡාවෙන්ම කමාන්ඩෝ රෙජිමේන්තුවේ තිබූ පුරප්පාඩු  සඳහා අයදුම් කළෙමි. අයදුම්කරුවන් 22 දෙදෙනකු අතුරින් මා යුද හමුදා කමාන්ඩෝ රෙජිමේන්තුවට තේරී පත්වූ අතර, කොමාන්ඩෝ පුහුණු පාඨමාලාව ආරම්භයේදී නිලධාරීන් 14ක් පමණ සහ සෙසු නිලයින් 360 ක ගෙන් ආරම්භ වුවද මා හා තවත් එක් නිලධාරියෙකුද, සෙසු නිලයින් 46 දෙනෙකුද, පාඨමාලාව සාර්ථකව අවසන් කරන ලදී. ඉඳුරාම කමාන්ඩෝ රෙජිමේන්තුවට බඳවාගත්  ප්‍රථම  නිලධාරීන් දෙදෙනාගෙන් එක් අයකු මා විය. 

කොමාන්ඩෝ රෙජිමේන්තුවේ තේමා පාඨය වනුයේ නොහැක්කක් නොමැත යන්න වන අතර කමාන්ඩෝ සෙබළුන් ගේ රාජකාරිය වනුයේ තම ජීවිත අවදානම ගැන නොතකා අන්   අයවලුන්ගේ ජීවිත ආරක්ෂා කිරීමත් පැවරෙන කාර්යය ඉටු කිරීමත් ය.  

මගේ සේවා කාලය තුළ විවිධ වූ රාජකාරීන්හි  නිරත වූ අතර එය සෑම යුද හමුදා නිලධාරියකුටම ලබාගත නොහැකි අත්දැකීමකි. මාගේ බඳවා ගැනීමේ ඛණ්ඩයේ ඉහළම ස්ථානයක් ලබා සිටි මාහට වෙන ඕනෑම රෙජිමේන්තුවක් වෙත මාරු වීමට හැකියාව තිබූ මුත්, යුධ බිමට සක්‍රීයව දායක වීමට තිබූ ආශාව හේතුවෙන් මා කමාන්ඩෝ රෙජිමේන්තුවට එක්වන ලදී. 

මාගේ පරමාර්ථය වූයේ මාතෘභූමිය වෙනුවෙන් සටන් වැදීමයි. මගේ හමුදා සේවා කාලය තුළ මා පළමුකොටම ලුතිතන් කර්නල් එස්.ඩී. පීරිස් යටතේ පළමුවන කමාන්ඩෝ රෙජිමේන්තුවේ සේවයේ යෙදුණු අතර, මා ලබා තිබූ විශේෂ ප්‍රභූ ආරක්ෂක රාජකාරි කටයුතු පිළිබඳ පුහුණුව හේතුවෙන් කැබිනට් අමාත්‍යවරුන් කිහිපදෙනෙකුගේ ආරක්ෂාව භාරව කටයුතු කිරීමට සිදුවිය.  එමෙන්ම ඉන්දීය සාම සාධක හමුදාවේ  අණදෙන නිලධාරියා වූ ජෙනරාල් ඒ.එස්. කල්කට් ගේ පෞද්ගලික ආරක්ෂක වශයෙන් කටයුතු කිරීමටද, ඉන් අනතුරුව ශ්‍රී ලංකාවේ තෙවැනි විධායක ජනාධිපතිවරයා වූ ගරු ඩී.බී. විජේතුංග මැතිතුමාගේ පෞද්ගලික ආරක්ෂක වශයෙන් කටයුතු කිරීමට ද සිදු වූ අතර, එය යුද හමුදා නිලධාරියකුට ලැබෙන ගෞරවනීය අවස්ථාවක් වශයෙන් සලකනු ලබයි.  

තවද, මා නිලධාරී පුහුණු උපදේශකයකු ලෙස දියතලාව යුද හමුදා විද්‍යා පීඨයේ  නිලදාරීන්  සිය දෙනෙක් පමණ පුහුණු කිරීම භාරව ද, යුධ හමුදා සැඟවුණු වෙඩික්කරුවන් පුහුණු පාසලේ  ප්‍රධාන උපදේශක ලෙස ද, යුද හමුදා ඉතිහාසයේ ප්‍රථම වරට කටුණායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ පිහිටුවන ලද පැහැර ගැනීම් වැළැක්වීමේ හා ප්‍රාණ ඇපකරුවන් මුදා ගනු ලබන කණ්ඩායම භාර නිලධාරීන් අණදෙන වශයෙන් වසරක කාලයක් සහ  ප්‍රධාන  ආරක්ෂක නිලධාරී ආරක්ෂක අමාත්‍යංශය  සහ යුද්ධ හමුදා මුලස්ථානය යන තනතුරුවල  ත්‍රස්තවාදයේ උච්චතම අවස්ථාවේ කටයුතු කරන ලදී.

3) ඇවන්ගාඩ් කියන්නේ මොකක්ද? කොහොමද ඔබ එකට සම්බන්ධ වෙන්නේ? 

ඇවන්ගාඩි යන නම සෑදී ඇත්තේ ප්‍රංස භාෂාවේ Vanguard නමින් හඳුන්වනු ලබන හමුදාවේ යුද පෙරමුණේම ඉදිරියෙන්ම ගමන් කරනු ලබන භට කණ්ඩායමයි. මෙම භට කණ්ඩායම සෑම විටම තම හමුදාව ආරක්ෂා කරමින් සතුරන් පරාජය කරනු ලබන හමුදාවේ ප්‍රබලම  භට කණ්ඩායමක් වේ. එය Advance Guard  යනුවෙන්ද හඳුන්වනු ලැබූ අතර, එකී භට කණ්ඩායමේ නිර්භීතභාවය හා නොසැලෙන අධිෂ්ඨානය සැලකිල්ලට ගනිමින් මගේ ව්‍යාපාරයට Avant Garde නම තැබීමට තීරණය කළෙමි.

4)     ඇවන්ගාඩ් ව්‍යාපාරය  යනු කුමක්ද?  

ඇවන්ගාඩ් යනු මුලින්ම ගොඩබිම් ආරක්ෂක සේවා කටයුතු සඳහා ආරම්භ කර ඉන් අනතුරුව ජාත්‍යන්තර සමුද්‍රරක්ෂක සේවය දක්වා විහිදී ගිය සමූහ ව්‍යාපාරයකි. මා එහි නිර්මාතෘ සහ සභාපති වශයෙන් ඊට සම්බන්ධ වෙනවා. ඇවන්ගාඩ් ව්‍යාපාරය ආරම්භයේදී මා සමග තව එක් නිලධාරියෙකු මේ සඳහා දායක වුවද, මාස හයක පමණ කාලයකට පසුව පෞද්ගලික හේතූන් මත ඔහු ඉවත්ව යන ලදී.

5)  ඇවන්ගාඩ් ව්‍යාපාරය ආරම්භ වන්නේ කොහොමද?     

1996 වර්ෂයේ මා හමුදාවෙන් විශ්‍රාම  ගන්නා විට මාහට කිසිදු වත්කමක් නොතිබුණි. එහිදී මා සිතුවේ ඊළඟට මා කුමක් කළ යුතු දැයි කියා, ඒ වන විට මා සතුව පැවැති යුධ හමුදාවේකොමාන්ඩෝ රෙජිමේන්තුව තුලින් ලත් පුහුණුව, විනය හා දැඩි අධිෂ්ඨාන ශක්තිය පමණි. මා කල්පනා කළා මා සතු මේ දැනුම යොදා ගතහැකි වන්නේ ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතුකිරීම සඳහා. එබැවින් මා තීරණය කළා ආරක්ෂක සේවා ආයතනයක් ආරම්භ කිරීමට. පළමුවෙන්ම මා එක්තරා පෞද්ගලික ආරක්ෂක සේවා ආයතනයක ආරක්ෂකයෙකු ලෙස දින 14 ක්සේවය කරන ලදී. එමගින් මා අවබෝධයක් ලබාගත්තා ආරක්ෂක නිලධාරියෙකු හට මෙම රාජකාරිය දී මුහුණපාන්නට සිදුවන දුෂ්කරතා පිළිබඳව. ඉන් අනතුරුව මා යුද හමුදාකොමාන්ඩෝ සෙබළුන් දෙදෙනෙකු ගෙන් තමයි මෙම ඇවන්ගාඩ් ආරක්ෂක සේවා ව්‍යාපාරය ආරම්භ කළේ. 

ආරම්භයේ දී ආරක්ෂක නිලධාරීන්ගේ නිල ඇඳුම් සේදීම පවා මා විසින් සිදුකරනු ලැබුවා. ඒ වගේම මගේ මෝටර් සයිකලයෙන්  දිනපතා ඔවුන් රාජකාරී ස්ථානයන් වෙත රැගෙන යාම මෙන්ම, මාගේ මෑණියන් විසින් පිළියෙල කර දෙනු ලැබූ ආරක්ෂක නිලධාරීන්ගේදිවා ආහාරය ඔවුන් වෙත රැගෙන යාම සහ ඔවුන් ආහාර ගන්නා කාලය තුළ ආරක්ෂක රාජකාරිය සිදු කිරීම පවා මා විසින් ඉටු කරන ලදි. එවන් කැපකිරීමක් කරමින් මා ව්‍යාපාරය දියුණු කරන්නට පටන් ගත්තෙමි. මෙහිදී ආයතනයේ කළමනාකරු, ප්‍රවාහන  සැපයුම්කරු සහ ආරක්ෂක නිලධාරී යන සියලු කටයුතු සිදු කළේ මා විසිනි. 

එවැනි අප්‍රතීහත ධෛර්යයකින් යුතුවයිමා මෙම ඇවන්ගාඩ් ආරක්ෂක සේවය ගොඩ නැඟුවේ. මෙම සියලු කටයුතු සඳහා මා පෙරදී සඳහන් කරන ලද මගේ  හිතමිතුරු  නිලධාරිගේ සහාය මා හට හිමි වන ලදී. මෙමකාලවකවානුවේ පාතාල ක්‍රියාකාරකම්  බහුලව පැවති මුත් එකී ක්‍රියාකාරකම්  වැලැක්වීමට මාගේ ආරක්ෂක සේවය නොබියව මුහුණ දීම පිළිබඳව ව්‍යාපාරික ප්‍රජාව තුළ විශ්වාසයක් ගොඩනැගීම හේතුවෙන් මාගේ ආරක්ෂක සේවය ක්‍රමක්ක්‍රමයෙන්   දියුණු වන්නට පටන් ගන්නා ලදී. එම වකවානුවේ ඉන්දීය ප්‍රකට නළු නිළි පිරිසක් විසින් ලංකාවේ පැවැත්වූ ප්‍රසංග  කීපයකට ආරක්ෂාව සැලසීම අප ආයතනය විසින් සිදුකල අතර, 2002 වර්ෂයේ ලංකාවේ පැවති Mini World Cup ක්‍රිකට්  තරගාවලියට ආරක්ෂාව සැපයීම තුළින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රසාදයට පවා පත්වීම හේතුවෙන් අප ආයතනය ජාත්‍යන්තර කීර්තියට පත් විය.   එවැනි ජනප්‍රියත්වයක් අප ආයතනය ලැබූ විට අප ආයතනය වෙත බැඳීම සඳහා බොහෝ පිරිසක් උත්සුක විය. අපගේ ආයතනයේ සාර්ථකත්වයට ඉමහත් පිටුවහලක් වූයේ ඕනෑම ආරක්ෂක  නිලධාරියකුට තමන්ට මුහුණපාන්නට සිදුවන ගැටලු පිළිබඳව කෙලින්ම මා වෙතදැන්වීමට දී තිබූ  අවස්ථාවයි. එමගින් ඔවුන්ගේ ගැටළුවලට ක්ෂණයෙන් මා විසින් විසඳුම් ලබාදීමට පියවර ගැනීමයි. එමෙන්ම රාජකාරී අවස්ථාවේදී මියගිය හා වසර පහළොවකට වඩාසේවයකර විශ්‍රාම ගනුලැබූ සේවකයින් සඳහා විශ්‍රාම වැටුපක් ලබා දීමේ ක්‍රමවේදයක්  මා විසින් ක්‍රියාත්මක කරන ලදී. එවන් පහසුකමක් ලංකාවේ වෙනත් කිසිදු පෞද්ගලික ආරක්ෂක ආයතනයක් සිදු නොකරනු ලබන බව මාගේ හැඟීමයි. 

එපමණකින් නොනැවතුණු මා මෙම ඇවන්ගාඩ් ආරක්ෂක සේවාව ජාත්‍යන්තර සමුද්‍ර ආරක්ෂක සේවාවක් දක්වා ව්‍යාප්ත කරන්නට කටයුතු කරනු ලැබුවා. එයට හේතු වූයේ සෝමාලියාවේදෙවන සිවිල් යුද්ධයෙන් පසුව 2005 වර්ෂයේදී පමණ ඇරඹුණු සෝමාලි මුහුදු මංකොල්ලකරුවන්ගේ ක්‍රියාකාරකම්   2007 වර්ෂය වන විට අන්තර්ජාතික නාවික වෙළඳාමට හා නාවික ගමනාගමනයට  බලවත් තර්ජනයක් වන තරමට ව්‍යාප්ත වී තිබීම. මේ පිළිබඳව යුහුසුළු ලෙස ක්‍රියාත්මක  වූ එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙම ව්‍යසනය  මැඩලීම සඳහා අන්තර්ජාතික සහයෝගීතාව පිළිබඳ දැඩි විශ්වාසයක් තබමින් සාමාජික රටවල් වෙතින් නොයෙක් අන්දමේ උපකාර හා උදව් ඉල්ලා සිටින්නට වුණා.  


එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය මේ සඳහා පිළියම් සෙවීම අත්‍යවශ්‍ය බව අවධාරණය කළ අතර සියලු සාමාජික රටවල් වලින් ඉල්ලා සිටියේ සෝමාලි කොල්ලකරුවන්ට එරෙහි මෙහෙයුම් සඳහා සහය දක්වන ලෙසටයි. මේ වකවානුවේම ඩුබායි ගුවන් තොටුපල සඳහා ආරක්ෂාව සැපයීමේ පරමාර්ථයෙන් යුතුව ඇවන්ගාඩ් එමිරේටෙස් එල්.එල්.සී.  යනුවෙන් ආයතනයක්  ඩුබායිහිදී ලියාපදිංචි කර, ඒ පිළිබඳ කටයුතු කරමින් සිටින ලදී. එසේ ලියාපදිංචි කිරීම සඳහා ඩුබායි රාජ්‍යයේදී  පෞද්ගලික ආරක්ෂාව සැපයීම සම්බන්ධ පාඨමාලාවක් හැදෑරීමට  මාහට සිදුවුණු අතර, එවැනි පාඨමාලාවක් හදාරා එම සුදුසුකම් ලද එකම  ශ්‍රී ලාංකිකයා    මා පමණි. 

මෙම සෝමාලි මුහුදු කොල්ලකරුවන්ගේ ක්‍රියාකාරකම්  මැඩ පැවැත්වීම පිළිබඳව මා වසර එකහමාරක පමණ කාලයක් පුරා මහත් පරිශ්‍රමයෙන්  කරන ලද කරුණු සොයා බැලීමෙන් පසු, ඇවන්ගාඩ් එමිරේටෙස් එල්.එල්.සී. ආයතනය වෙතින් සෝමාලි මුහුදුමංකොල්ලකරුවන්ගේ තර්ජන මැඬලීම සඳහා යෝජනාවලියක් වර්ෂ 2009 දී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලේකම් බෑන් කී මූන් මහතා වෙත ඉදිරිපත් කරන ලදි.  මෙම කාලයවන විට රක්නා ආරක්ෂක ලංකා සමාගම තුළද සමුද්‍ර  ආරක්ෂක අංශයක් පිහිටුවා නොතිබුණි.

මුහුදු මංකොල්ලකරුවන්ගේ තර්ජන මැද ඉන්දියානු සාගරයේ බහුදින ධීවර නෞකා යොදවා මසුන් ඇල්ලීමේ විශාල ව්‍යාපෘතියක් සඳහා තායිවාන රටෙහි ආයතනයකින් වර්ෂ 2010 දීසෘජුවම අප ආයතනයෙන් සේවාවන් ඉල්ලා සිටින ලදී. මෙම අවස්ථාව මාහට උදාවූයේ තායිවාන ජාතික ව්‍යාපාරිකයා  හා මා අතර තිබූ පෞද්ගලික හිතවත්කම හේතුවෙනි. මෙම හිතවත්කම ගොඩනැගුනේ ඔහු හට ශ්‍රී ලංකාවේ දී මුහුණ පෑමට සිදු වූ ගැටළුකාරී තත්වයන් නිරාකරණය කර දීමට මා පෞද්ගලිකවම මැදිහත් වී ඔහු හට උපකාර කිරීම හේතුවෙනි. එමනිසා ඔහුට ඇවන්ගාඩ් ආයතනයේ සේවාවන් පිළිබදව දැඩි විශ්වාසයක් තිබිණි. මේ සඳහා මුලින්ම එම ආයතනය සමඟ ඊමේල් පණිවුඩ හුවමාරු කරගනු ලැබූයේ 2010 ජූලි මාසයේ වන අතර එම වසරේ අප්‍රේල් මාසයේදී එම තායිවාන ජාතිකයා ලංකාවට පැමිණ මා හමුවන ලදී.

මේ පිළිබඳව දීර්ඝ අධ්‍යනයකින් පසුව එම සේවාවන් සැපයීම සඳහා අවසර ඉල්ලා ආරක්ෂක අමාත්‍යාංශය වෙත ලිපි දෙකක් පිළිවෙලින් 2010 දෙසැම්බර් මස 15 වන දින හා  2011 මාර්තු මස17 වන දින මා විසින් යවනු ලැබුවා. මේ සඳහා අප ආයතනය වෙත අවසර ලැබුණේ නැත. එමෙන්ම රක්නා ආරක්ෂක ලංකා ආයතනය වෙතින් වාණිජ නැව් සඳහා ආරක්ෂක සේවාවන්සැපයීමට ලිපි ගණනාවක් මගින් සහ සාකච්ඡා වට ගණනාවක් පවත්වා අවසර ඉල්ලා සිටියද, ඒ සඳහා අවසර නොලැබුණි. 

රක්නා ආරක්ෂක ලංකා සමාගම වර්ෂ 2011 මාර්තු මස එම ආයතනයේ වෙනම  මුහුදු ආරක්ෂක සේවා අංශයක් ඇති කර මුහුදු ආරක්ෂක සේවා සමාගම් විසිහතරක්  සමග ඇතිකරගත් ගිවිසුම් වලට අනුව අවි පතොරම් සහ මුහුදු ආරක්ෂක නිලධාරීන් සැපයීම පටන්ගෙන තිබුණි. මෙම කාලය තුළ අප හට මුහුදු ආරක්ෂක කටයුතු සඳහා දායක වීමට අවස්ථාව හිමි නොවන ලදී. බොහෝ දෙනෙකු පවසන පරිදි මා හා හිටපු ආරක්ෂක ලේකම්වරයා අතර සමීප සම්බන්ධතාවයක් පැවතියේ නම් මෙම සියලු මුහුදු ආරක්ෂක සමාගම් වලට රක්නා ආරක්ෂක ලංකා ආයතනයේ සේවා ලබාගැනීමට අවස්ථාව හිමිව තිබියදී අප සමාගමට එය නොලැබීමට  කිසිදු හේතුවක් නැත. 

ඒ අනුව රක්නා ආරක්ෂක ලංකා සමාගම සමග මුහුදුආරක්ෂක කටයුතු සඳහා ලියාපදිංචි වන ලද 25 සමාගම ලෙස වසරකට පසුව මෙම කටයුත්තට සම්බන්ධ වීම සඳහා අප විසින් ඇවන්ට් ගාර්ඩ් මැරිටයිම් සර්විසස් පුද්ගලික සමාගම 2011 ජුනිමස 24 වන දින ස්ථාපිත කර වෙළඳ නෞකා සඳහා ආරක්ෂාව සැපයීම වෙනුවෙන් රක්නා ආරක්ෂක ලංකා ආයතනය සමඟ ගිවිසුම් ගතවන ලදී. එහිදී සිදුවූයේ කොන්ත්‍රාත් ක්‍රමයයට වෙනත් ප්‍රසිද්ධ  නැව් ඒජන්ත සමාගමකට රක්නා ආරක්ෂක ලංකා සේවාවන් යොමු කිරීමට අවකාශ ලැබීම පමණයි.   

 2011 වසරේ ජනවාරි මස සිට යොමුකරන ලද ලිපි ගණනාවක් හා පැවැත්වූ සාකච්ඡා වට 30 කට පමණ පසු ධීවර නෞකා සඳහා ආරක්ෂාව සැපයීම පිණිස රක්නා ආරක්ෂක ලංකා සේවාවන්ලබාගැනීම සඳහා නියමු ව්‍යාපෘතියක් (Pilot Project) ලෙස මාස හයක කාලයක් පමණක් සඳහා අවසරයක් ඇවන්ට් ගාර්ඩ්  ආයතනය වෙත 2011 සැප්තැම්බර් මස 13 දින ආරක්ෂක අමාත්‍යාංශයෙන් ලැබුණි. ඉන්පසු ඉතා දැඩි ප්‍රයත්නයක් යොදා ඉන්දියන් සාගරයේ ධීවර නෞකා වලට ආරක්ෂාව සැපයීම පිණිස ඉතා ප්‍රබල වැඩ පිළිවෙළක් අප ආයතනය විසින් සකස් කරන ලදී.

 ලෝකයේ ප්‍රබල  නාවික හමුදාවන් ද යාත්‍රා කිරීමට අකමැති වූ ප්‍රදේශයකට  පිවිසීමේ දී ඇතිවිය හැකි අනතුරුදායක තත්වයන් හමුවේද වසර 30ක ශ්‍රී ලංකාවේ දරුණු ත්‍රස්තවාදය  ජය ගැනීම තුළින් ලබාගත් අත්දැකීම් සහිත වූ වීරෝධාර රණවිරුවන් යොදාගනිමින් 2011 වර්ෂයේ නොවැම්බර් මස අග සිට සෝමාලි මුහුදු කොල්ලකරුවන්ගේ තර්ජනවලට එරෙහිව ආරක්ෂක  කටයුතුවල යෙදෙමින් ධීවර නෞකාවන් හට ධීවර කටයුතුවල යෙදීමට අප විසින් අවකාශ සලසනු ලැබූවා.   

 මෙම ක්‍රියාවලිය  අතිභයංකර තත්ත්වයක් වූයේ වැඩියෙන්ම මසුන් හසුවන ප්‍රදේශ පිහිටියේ සෝමාලි මුහුදු තීරයට ආසන්නව බැවිනි. ශ්‍රී ලංකා නාවික හමුදාවට ද නාවික සැතපුම් 4000ක් දුරගෙවා ක්‍රියාන්විත   කිරීමේ පහසුකම් නොතිබූ අතර, ජාත්‍යන්තර නීතියෙන් ද ඒ සඳහා අවස්ථාවක් නොතිබුනි. මේ ආකාරයට ක්‍රමයෙන්  වර්ධනය වූ ධීවර නෞකා වලට ආරක්ෂාව සැපයීමේ ව්‍යාපෘතිය  පටන් ගෙන මාස දෙකක් යනවිට මුහුදු මංකොල්ලකරුවන්ගේ ප්‍රහාර වලට මුහුණදීමට අප විසින් යොදවන ලද මුහුදු ආරක්ෂක නිලධාරීන් හට සිදුවූ අතර, එවැනි ප්‍රහාර ඉතා සාර්ථකව මැඞලීම​ට  ඇවන්ට්-ගාර්ඩ් මැරිටයිම් සර්විසස් ආයතනය හරහා මුහුදු ආරක්ෂක රාජකාරියේ නියැලුනු අප ත්‍රිවිධ  හමුදාවේ සහ පොලීසියේ විශ්‍රාමික  වීරෝදාර රණවිරුවන්ට හැකිවිය. 

මෙම මුහුදු ආරක්ෂක රාජකාරි කටයුතු විශ්‍රාමික  නාවික හමුදාවේ අයවලුන්ට පමණක් සීමාවී තිබූ කාර්යයක් වුවත්, මා විසින් ගුවන් හමුදාවේ, යුධ හමුදාවේ සහ පොලීසියේ විශ්‍රාමික රණවිරුවන්ට මෙම කාර්යය සඳහා අවශ්‍ය පුහුණුවීම් ලබා දීමට කටයුතු කරන ලද අතර, ඒ අනුව ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට එම අයවලුන්ටද මුහුදු ආරක්ෂකයින් ලෙස සම්බන්ධ වීමට අවස්ථාව උදාවන ලදී.   
2012 වසරේ අප්‍රේල් මාසය වන විට මෙම ව්‍යාපෘතිය  ඔස්සේ සෝමාලි මුහුදු  තීරය අසල ධීවර නෞකා වලට ආරක්ෂාව සැපයූ මුහුදු ආරක්ෂක නිලධාරීන් සංඛ්‍යාව 600ක් පමණ විය. එලෙසඑම මුහුදු ප්‍රදේශයේ   ආරක්ෂාව තහවුරු වූ නිසා අරාබි මුහුදුකරයේ සිට දකුණු අප්‍රිකාව  දෙසට යන නැව් මාර්ග ආරක්ෂාවීමෙන් අති දැවැන්ත මෙහෙයක් අප අතින් සිදුවූ බව එක්සත් ජාතීන්ගේ සංවිධානය ද, සමුද්‍රීය   ආරක්ෂක කටයුතු පිළිබඳ විශේෂඥ ආයතන බොහොමයක් ද, මුහුදු කොල්ලකරුවන් පිළිබඳව අධ්‍යනය   කළ විශ්ලේෂකයන් ද අගය කරන්නට වූනා.   

ඇවන්ට් ගාර්ඩ් මැරිටයිම් සර්විසස් ආයතනය ධීවර නෞකා ව්‍යාපෘතිය එලෙස ක්‍රමක්ක්‍රමයෙන්  වර්ධනය වූයේ අප ආයතනයේ සේවය කළ විරෝධාර රණවිරුවන්ගේ ධෛර්යවන්ත කම හා කැපවීම තුළින් මුහුදු මංකොල්ලකරුවන්ගේ ප්‍රහාර මැඩ පැවැත් වූ හේතුව නිසා ධීවර නෞකා අයිතිකරුවන් අප කෙරෙහි ඉමහත්  විශ්වාසයක් තැබීමයි. මෙයට බලපෑ තවත් ප්‍රධාන කාරණයක් වන්නේ ඇවන්ගාඩ් සමාගමේ කළමනාකාරීත්වය, උසස් නිලධාරීන් හා අනෙකුත් නිලධාරීන් ඒ වනවිට සමාගමේ මුදල් රුපියල් මිලියන 750 ක් පමණ වියදම් කර වාර 300කට  අධික ප්‍රමාණයක් රටවල් 54 ක පමණ සංචාරය කොට සාකච්ඡා වට පවත්වා සමුද්‍රරක්ෂක ක්ෂේශ්ත්‍රයේ උසස් නිලධාරීන් සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධිත කමිටු වලනිලධාරීන් ද හමුවී ලබාගත් දැනුම යනාදී කාරණා වේ.

 මෙම කරුණු නිසා 2011 නොවැම්බර් මස නෞකා තුනකින් පටන්ගත් ව්‍යාපෘතිය  2012 අප්‍රේල් මාසය වනවිට නෞකා 200ට  වැඩි ප්‍රමාණයක්  දක්වා වර්ධනය වුණා. මේ හේතුව නිසා 2012 වසරේ අප්‍රේල්   මාසය අග වනවිට ධීවර යාත්‍රා ව්‍යාපෘතිය  ඔස්සේ රුපියල් මිලියන 548ක්  පමණ විදේශ විනිමය ලෙස ලංකාවට ගෙන ඒමට අපට හැකි වුණා. විශ්‍රාමික රණවිරුවන්ට බොහෝ රැකියා අවස්ථා උදා වූ මේ වකවානුවේ ශ්‍රී ලංකාවට  වැඩිම විදේශ විනිමය ප්‍රමාණයක්  ගෙන ආවේ අප ආයතනය විසිනි. මේ සඳහා කිසිදු වියදමක් ශ්‍රී ලංකා ආණ්ඩුවෙන් හෝ ආණ්ඩුවටඅනුබද්ධිත ආයතනයක් විසින් දැරුවේ නැත. මෙම ධීවර නෞකා වලට ආරක්ෂාව සැපයීමේ ව්‍යාපෘතිය මගින් 2015 මාර්තු මස 31 වන විට උපයා ඇති මුළු විදේශ විනිමය ප්‍රමාණය රුපියල්බිලියන 4.4 ක් වන අතර උත්පාදනය කර ඇති රැකියා ප්‍රමාණය 1750 කට අධික වේ.   

ඇවන්ගාඩ් මැරිටයිම් සර්විසස් ආයතනය යටතේ පාලනය වූ ධීවර නෞකා ව්‍යාපෘතිය සිදුවෙමින් පවතින අතරතුර අරාබි කලාපයේ සහ රතු මුහුදට ආසන්න මුහුදු කලාප වල මුහුදුකොල්ලකරුවන්ගේ තර්ජන නිසා එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් බලවත් රටවල් එකතු වී ස්ථාපිත කර තිබූ අංක 150 සහ 151 වැනි කාර්ය සාධක බලකා සමග සම්බන්ධ වී කටයුතු කිරීමට තරම් ශක්තියක් අප ආයතනය වෙත තිබිණි. 

වරෙක ධීවර නෞකාවක ගින්නක් හටගත් අවස්ථාවක ඇතිවූ තත්ත්වය පාලනය කර ගැනීමට එම බලකා යටතේ තිබූ නෞකා වලින් විශාල  ලෙස උදව් ලබා ගැනීමට අපට හැකි විය. මෙසේ ලොව කිසිම නිත්‍ය නාවික හමුදාවකට  පවා ලබාගත නොහැකි වූ සහයක් ජාත්‍යන්තර සමුද්‍රරක්ෂක  තලයේ අප සමාගමට ලබා ගතහැකි වූයේ අප සතු ව්‍යාපාරික  ඥානය, උසස් යුද්ධෝපක්‍රම, ඉතා පළපුරුදු සමුද්‍රරක්ෂකයින් සතු වීම ආදිය පිළිබඳව ජාත්‍යන්තරය   අප කෙරෙහි තැබූ විශ්වාසය හා පිළිගැනීම මත බවනිහතමානී ආඩම්බරයකින් යුතුව සඳහන් කරන්නට පුළුවන්. මීට අමතරව ඇමරිකානු නාවික හමුදාවේ සහාය ද අපගේ මුහුදු ආරක්ෂකයන්ගේ කටයුතු සඳහා යම් යම් අවස්ථාවලදී ලැබීතිබුණු අතර ගුවන් යානා, ප්‍රහාරක නෞකා ද, හෙලිකොප්ටර් යානා ද අපගේ මෙම කටයුතුවලට සහාය ලබා දුන් අවස්ථා ඇත. මේ සඳහා සියලු සාක්ෂි අප සතුව ඇති අතර මෙම ආකාරයට සහායක් ලබා ගැනීමට හැකි වූයේ ඒ වන විට අප සමාගම අන්තර්ජාතික වශයෙන් ලබා තිබූ විශිෂ්ට පිළිගැනීම හේතුවෙනි.

 ධීවර නෞකා වලට ආරක්ෂාව සැපයීම පිණිස තිබූ “නියමු ව්‍යාපෘතිය” අතිසාර්ථක වූ නිසා, ඒ වෙනුවට අවුරුදු පහක් දක්වා දිවෙන බද්ද ගිවිසුමක් ගැන සාකච්ඡාවට බොහොමයක් පවත්වාඒ සඳහා වූ ගිවිසුමකට 2012 මාර්තු මස 21 වන දින අත්සන් තබන ලදී. මෙම ධීවර නෞකා වසරකට අධික කාලයක් මුහුදේ රැඳී සිටින බැවින් ඒවාට අවශ්‍ය  සැපයුම් ලබාදීම අතිශයින් දුෂ්කර කාර්යයක් විය. එම නෞකා එකවර නාවික සැතපුම් 4000ක  පමණ දුරක් යාත්‍රා කරන අතර සැපයීම්, සෞඛ්‍ය හා පණිවිඩ හුවමාරුව ආදිය මනාව සැලසුම් කිරීම මෙහි සාර්ථකත්වයටඉවහල් විය.     

ලෝක ආර්ථිකයට බලවත් පහරක්ව තිබූ මුහුදු මංකොල්ලකරුවන් මැඩලීමේ ක්‍රියාන්විත  වලදී අප ආයතනය නියෝජනය කළ රණවිරුවන්ගේ වෘතීය ප්‍රවීනත්වය, එඩිතර භාවය, යුධෝපක්‍රම භාවිතය හා විනය පිළිබඳව එක්සත් ජාතීන්ගේ සංවිධානය, ජාත්‍යන්තර සමුද්‍රිය  ආයතනය හා ප්‍රධාන පෙලේ නෞකා සමාගම් හා පුද්ගලික සමුද්‍ර ආරක්ෂක සමාගම් වලින් අතිශයින් ප්‍රසංසනිය ප්‍රතිචාරයන් ලබා ඇත.   

 2012 වර්ෂයේ මුල භාගය වනවිට රක්නා ආරක්ෂක ලංකා ආයතනය හා කටයුතු කරමින් සිටි සමාගම් 24ක් විසින් මුහුදු ආරක්ෂක කටයුතු සඳහා ලබාගත් ශ්‍රී ලංකා රජයට අයත් අවි 172 ක්පමණ අස්ථාන ගතව තිබුණි. මෙම අස්ථානගතවීම්  පිටුපස තිබුනේ එම ආයතනය විසින් රක්නා ආරක්ෂක ලංකා සමාගමට නොදැනී එම අවි වෙනත් නැව් වල ආරක්ෂක රාජකාරි සඳහායොදවා වංචනික මාර්ගයෙන් අයුතු ලෙස මුදල් උපයා ගැනීමට කටයුතු කිරීමයි.     

රක්නා ආරක්ෂක ලංකා ආයතනය වෙතින් නැව් සඳහා ලබා දී තිබූ අවි කිහිපයක් සම්බන්ධයෙන් පෝලන්තයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය විසින් සෘජුවම රාජ්‍ය ආරක්ෂකඅමාත්‍යාංශය  විමසා තිබූ අතර ආරක්ෂක අමාත්‍යාංශය විසින් ඒ සදහා පිලිතුරු ලිපියක්ද පෝලන්ත මහ කොමසාරිස් කාර්යාලය වෙත යොමු කර තිබිණි.  . එවැනිඅපරික්ෂාකාරී ලෙස අවි තැන්තැන්වල තිබෙන්නට හැරීම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නීති වලට අනුව බලවත් වරදක් වන අතර, එසේ සිදු වූ අවස්ථාවල අදාළ රජයන් හට සම්බාධක පැනවීමට වුවද හැකියාවක් තිබිණි.  

2012 වර්ෂයේ අප්‍රේල් මස වන විට අස්ථානගතවූ ශ්‍රී ලංකාවෙන් නිකුත් කළ සමහර අවි ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සෝමාලියා එරිත්‍රියා නිරීක්ෂණ කමිටු සාමාජික ජෝර්ජ්‍    රූප්තූප්ට්    මහතා විසින් විද්‍යුත් තැපැල් පණිවුඩයක් මගින්   කෙළින්ම මාගෙන් විමසා සිටීමට හේතු වූයේ ඒ වන විට ඇවන්ගාර්ඩ් මැරිටයිම් සර්විසස් ආයතනය සෝමාලියාවට නාවික සැතපුම් 200කට  ආසන්න මුහුදු ප්‍රදේශයන්හි  ඉතා සාර්ථක ලෙස තම මෙහෙයුම් කටයුතු සිදු කරමින් සිටිය බැවිනි.   

2012 වර්ෂයේ එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නිකුත් කළ වාර්තාවේ (S/2012/544-2012 ජූලි 13 දිනැති) ශ්‍රී ලංකාව වෙතින් නිකුත් වූ අවි සහ පතුරම් සිය ගණනක් අස්ථානගත වී ඇති බවසඳහන් වී තිබිණි . ඒ අනුව ක්‍රියාත්මක  නොවූයේ නම් අනිවාර්යෙන්ම ශ්‍රී ලංකාවට  එරෙහිව සම්බාධක පැනවීමට ඉඩ තිබුණි. මේ ගැන කරුණු අධ්‍යනය කර තිබූ බැවින් ඇවන්ගාඩ් මැරිටයිම් සර්විසස් ආයතනය ඒ සම්බන්ධයෙන් රක්නා ආරක්ෂක ලංකා ආයතනයට සහ ආරක්ෂක අමාත්‍යංශයේ උසස් නිලධාරීන් හට ඒ පිළිබඳව කරුණු වටහා දීමටහැකිවිය. මෙසේ මුහුදු ආරක්ෂක රාජකාරි සඳහා නිකුත් කරනු ලබන ශ්‍රී ලංකා රජයට අයත් අවි ආයුධ අස්ථානගත වීමකින් තොරව නිසි ක්‍රමවේදයකට   අනුව ගබඩා කිරීම සඳහා රක්නා ආරක්ෂක ලංකා සමාගම විසින් ඇවන්ගාඩ් ආයතනය උපදෙස් හා සහාය ඉල්ලා සිටින ලදී.   

 ඒ අනුව වාණිජ නැව් සඳහා ශ්‍රී ලංකාවෙන් නිකුත් කරන අවි පතරොම් සහ මෙවලම් නිසි පරිදි ආරක්ෂා කරගැනීම සඳහා සහ එම කටයුතු අධීක්ෂණය කිරීම පිණිස රටවල් 7 ක  “ඉදිරිමෙහෙයුම් මධ්‍යස්තාන ” රක්නා ආරක්ෂක ලංකා ආයතනය හා එක්ව ඇති කිරීමටත්, පාවෙන අවි ගබඩා දෙකක් ස්ථාපිත කිරීම සඳහාත්, එම සියලු මධ්‍යස්තාන   නඩත්තු කිරීම සඳහාත්,ඇවන්ගාඩ් ආයතනය රක්නා ආරක්ෂක ලංකා ආයතනය සමග ගිවිසුමකට එළැඹෙන ලදී. මෙම කටයුත්ත සඳහා අප ආයතනය මගින් වැය  කල මුදල ඇමරිකානු ඩොලර් මිලියන 6.5 කි.  එබැවින් ලෝකයේ ප්‍රථම වතාවට රාජ්‍ය අනුග්‍රහය යටතේ පාවෙන අවි ගබඩාවක් ස්ථාපනය කළ එකම සමුද්‍රරක්ෂක ආයතනය ඇවන්ට්-ගාර්ඩ් මැරිටයිම් සර්විසස් සමාගම විය. 

අපආයතනය විසින් සිදුකරන ලද සියලු පරිපාලන හා ක්‍රියාන්විත   කටයුතු ඉතා ඉහළ ප්‍රමිතියක  පැවතුන නිසා ශ්‍රී ලංකා තත්ත්ව පාලන අධිකාරිය වෙතින් ISO 9001-2008 යන තත්ත්ව සහතිකයද (ඇමුණුම 12 ), ධීවර නෞකා ව්‍යාපෘතිය  වෙනුවෙන් ලෝකයේ ම පිළිගැනීමට පාත්‍ර වූ මහා බ්‍රිතාන්‍යයේ ලොයිඩ්ස්  ආයතනය වෙතින් පිරිනමන ISO 28007 යන තත්ත්ව සහතිකය ද , දිනා ගැනීමට අප ආයතනය හට හැකි විය.

මෙම තත්ත්ව සහතික සමුද්‍ර ආරක්ෂක රාජකාරි සඳහා අත්‍යාවශ්‍ය  වන අතර මුළු මහත් ආසියාවෙන්ම එම තත්ත්වයට පත් එකම සමාගම අප වීමද, ශ්‍රී ලාංකික සමාගමක් ලෙස තැබූගෞරවයක් වේ. මෙම ISO 28007 ප්‍රමිති  තත්ව සහතිකය ධීවර නෞකා ආරක්ෂක ව්‍යාපෘතියක් සඳහා හිමිකරගෙන ඇති ලෝකයේ එකම සමාගම අප වන බව නිහතමානී සතුටකින් ප්‍රකාශ කරන්නට පුළුවන්.     

එක්සත් ජාතීන්ගේ සංවිධානය හා අන්තර්ජාතික සමුද්‍රීය සංවිධානය (IMO) අප ආයතනය ඉතා විශිෂ්ට සේවා සපයන්නෙක් බව පසුගිය වසර කිහිපය තුල දී ඔවුන්ගේ වාර්තාවලින් පෙන්වාදී ඇත. මහා බ්‍රිතාන්‍යය  පාර්ලිමේන්තුවේ ආර්ථික කමිටුව විසින් අනුමත කරන ලද පාවෙන අවි ගබඩා පිළිබඳ වාර්තා වේ අප ආයතනය විසින් පවත්වාගෙන යන ලද සියලුම පාවෙන අවිගබඩාවන් නිර්දේශයන්ට පාත්‍ර වී ඇති බවත් එම ක්ශේත්‍රයේ    විශිෂ්ටයන් ඇවන්ගාඩ් සමාගම බවටත් දක්වා ඇති සටහනක් තිබෙන බවත් අභිමානයෙන් යුතුව මා හට ප්‍රකාශ  කළ හැකිය .     ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ දුරස්ථ පර්යේෂණ ආයතනය වන OMEGA ආයතනය විසින් සිදුකරන ලද පාවෙන අවි ගබඩා පිළිබඳව ජාත්‍යන්තර  කරුණු සමීක්ෂණයකදී ඇවන්ට්  ගාර්ඩ්ආයතනය පාවෙන අවි ගබඩා ක්ෂේස්ත්‍රයේ සහ සමුද්‍රාරක්ෂක සේවා සැපයුම් ක්ෂේස්ත්‍රයේ  අන්තර්ජාතික මට්ටමේ පවතින හොඳම ආයතනයක් බවට වූ වාර්තාවද   බ්‍රිතාන්‍යයේ Security association for Maritime industry (SAMI) හි  අධ්‍යක්ෂවරයෙකු වන පීටර් කුක් මහතා විසින් ගාල්ලේ මහනුවර පාවෙන අවි ගබඩාව වෙනුවෙන් නිකුත් කරන ලද වාර්තාව ද අනූව ලෝකයේ  සමුද්‍රරක්ෂක සේවා සමාගම් අතුරින් හොඳම  සමුද්‍රරක්ෂක  සේවා සපයන්නා ලෙස ඇවන්ට්  ගාර්ඩ්  මැරිටයිම් ආයතනය ලෙස පිළිගෙන ඇති බවත්අභිමානයෙන් යුතුව  ප්‍රකාශ කළ හැකිය.  


6) ගාළු පාවෙන අවි ගබඩා  වියාපෘතිය යනු කුමක්ද ? 

 පෙරදිග සිට අපරදිග දක්වා දිවෙන  ප්‍රදාන  නැව් මාර්ගය වැටී ඇත්තේ ශ්‍රී ලංකාවේ දකුණු මුහුදු තීරයට ඉතා නුදුරින් වීම හේතුවෙන් සියලු වෙළද නැව් වෙත ආරක්ෂක භටයින් නංවා ගැනීමත්, නැවත බැස්සවීමත් සිදු කිරීමට අන්තර්ජාතික ආරක්ෂක සමාගම් හා නැව් සමාගම් ශ්‍රී ලංකාව තෝරා ගත්තේ පහසුව පිණිස හා අධික  වියදම් අඩුකර ගැනීමටය. මෙහි ප්‍රතිපලයක්  ලෙස අන්තර් ජාතික සමුද්‍ර  ආරක්ෂක සමාගම් එම සමාගම් වලට අයිති පෞද්ගලික අවි පතොරම් හා උපකරණ ගබඩා කර තැබීම පිණිස ශ්‍රී ලංකා ආණ්ඩුවේ පිහිට පැතීම හේතුවෙන් ඒ සදහා අවසර ලැබී එම කටයුත්ත ශ්‍රී ලංකා නාවික හමුදාව සමග සම්බන්දව සිදුකරලිම සඳහා වෙනම ව්‍යාපෘතියක් තාවකාලිකව දියත් වී තිබිණි. 

එලෙස සේවාවන් සැපයීමසඳහා නාවික හමුදාව විසින් ඉහත කි සමාගම් වෙතින් එක් අවි නිකුත් කිරීමක් හෝ ලබා ගැනීම සඳහා ඩොලර් 1000 ක මුදලක් අයකරගෙන තිබූ අතර, වර්ෂ 2009 මැයි මස සිට ඔක්තෝම්බර් මස දක්වා අවුරුදු තුනහමාරක් තුල ඒ අයුරින් උපයා තිබු අදායම දළ වශයෙන් රුපියල් බිලියන 1.8 ක් වේ.     

වර්ෂ 2012 මැද භාගය වන විට විදේශීය මුහුදු ආරක්ෂක සේවා සමාගම් වල පෞද්ගලික අවි ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ගොඩබිම අවිගාරයක් ඔස්සේ ලබාගැනීම හා නිකුත්කිරීම සඳහාඑලෙස පවත්වාගෙන ගිය ව්‍යාපෘති තුල බොහෝ අඩුපාඩු සිදුවී ඇති බවට වාර්තා පල වූ අතර, එලෙස ගබඩා කර තිබු  විදේශ සමුද්‍රරක්ෂක සමාගම් වලට අයත් අවි සඳහා නිත්‍යානුකුල බලපත් හෝ අවසර පත්‍ නොතිබූ බවද හෙළිදරව් වී තිබිණි.     

මේ වකවානුව තුල නීති විරෝධී අවි සහිතව ශ්‍රී ලංකාව අවට මුහුදු තිරයේ සැරිසරමින් තිබු විදේශීය නෞකා සම්බන්දයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ගත තීරණ රාජ්‍ය  ආරක්ෂාවට බලපාන ආකාරයේ ගැටලුකාරී තීරණ වූ නිසා ඒ සම්බන්දයෙන්ද මතබේද හා ආන්දෝලනයක් ආරක්ෂක අංශවල ඇතිව තිබිණි.  

මෙය ජාත්‍යයන්තර  වෙළඳ ව්‍යාපාරයක්  වූ නිසාත් එයටඅදාල සංකීර්ණ අන්තර්ජාතික නීතිරීති නිසාත්, ඔවුන් අතින් නොදැනුවත්වම සිදු වූ මෙම අඩුපාඩු ශ්‍රී ලංකා නාවික හමුදාව නිහතමානිත්වය හා මහත්මා  ගුණය පෙන්වමින් පිළිගන්න ලදී .  

ඉහත සඳහන් කළ අක්‍රමිකතා රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයට වාර්තා වූ පසු ගාල්ල නාවික හමුදාව ඔස්සේ සිදුකළ පිටරට සමුද්‍ර ආරක්ෂක සේවා ආයතන වල අවි ගබඩා කර නිකුත් කිරීමේ හා ලබාගැනීමේ යනාදිය සම්පූර්ණයෙන් නවතා දැමීමට ආරක්ෂක අමාත්‍යාංශය විසින් තීරණය කරන ලදී. එම හේතුවෙන් උද්ගත වූ තත්ත්වය හේතු කොට ගෙන ඉහත කී විදේශීය සමාගම් වල අවි/ පතොරම් නිකුත් කිරීම් මාලදිවයින ඔස්සේ සිදු කිරීම සඳහා ප්‍රවණතාවක් ඇති වූ හෙයින්, එවකට නාවික හමුදාව ලැබූ ආදායම සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකාව වෙතින් ගිලිහී යාමට ඉතා ආසන්න අවස්ථාවකට පැමිණුනි.  මේ අවස්ථාවේ රක්නා ආරක්ෂක ලංකා ආයතනය වෙතට මේ සඳහා විසඳුමක් සොයා බලන ලෙසට ආරක්ෂක අමාත්‍යාංශයෙන් උපදෙස් ලැබී තිබූ අතර, රක්නා ආරක්ෂක ලංකා ආයතනය විසින් ඒ සඳහා ඔවුන් සතුව න්‍යයික ප්‍රායෝගික දැනුම නොමැතිවීම හේතුවෙන් ඉහත ව්‍යාපෘතිය වෙනුවෙන් යෝජනාවලියක් ඉදිරිපත් කරන ලෙසට ඇවන්ගාඩ් ආයතනය වෙත දන්වා සිටින ලදී. එසේ සිදුකරන ලද්දේ ඒවනවිටත් ශ්‍රී ලංකාවේ සිට නාවික සැතපුම් හාරදාහකට වඩා දුරකින් පාවෙන අවි ගබඩා දෙකක් ස්ථාන ගත කර ඒවා හරහා හොඳින් සේවා සපයමින් ලද අත්දැකීම් නිසා මෙම ඉල්ලීම ඉටු කිරීමට සුදුසුකම් සපුරා සිටියේ ශ්‍රී ලංකාවේ මෙන්ම ආසියාවේ සිටි එකම සමාගම වූ ඇවන්ගාඩ් මෙරිටයිම් සර්විස් සමාගම වූ බැවිනි.  

මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවට ඇති වීමට තිබූ ගැටලුකාරී තත්ත්වය වළක්වා ගැනීම පිණිස කරුණු ඉදිරිපත් කිරීමට ඇවන්ගාඩ් සමාගමට හැකි වූයේ සමුද්‍රරාක්ෂක ක්ෂේත්‍රයේදැවැන්තයන් සමග ඉතා සමීප සම්බන්ධකම් පැවැත්වීම සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ(UN) හා අන්තර්ජාතික සමුද්‍රීය ආයතනය (IMO) වෙතින් නිකුත් කර තිබූ කමිටු වාර්තා හා චක්‍රලේඛ ඇවන්ගාඩ් ආයතනයේ කළමනාකාරිත්වය විසින් හොඳින් අධ්‍යයනය කර තිබූ නිසයි.  ඒ අනුව ඒ සඳහා යෝජනාවලියක් ඉදිරිපත් කළ පසු එකී යෝජනාවලියට අනුව ශ්‍රී ලංකාව අවට මුහුදේ පාවෙන අවි ගබඩාවක් ස්ථාපිත කිරීම සඳහා අවශ්‍ය දැනුම සහ පළපුරුද්ද තිබුණේ ශ්‍රී ලංකාවේ නැව් ඒජන්ත සමාගම් අතරින් අප ආයතනය පමණක් වන බව පසක් විය. එබැවින් ඇවන්ගාඩ් ආයතනය පමණක් පාර්ශවකරුවෙක් විය යුතු බවට එකඟතාවක් පළවිය. 

මේ සඳහා කැඳවන ලද රැස්වීමක දී අප විසින් ඉදිරිපත් කරන ලද සැලැස්මට පැමිණ සිටි කිසිදු සමාගමකින් විරුද්ධත්වයක් පල නොවූ අතර, ඔවුන් විසින් කිසිදු යෝජනාවක් ද ඉදිරිපත් නොකරන ලදී. එම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට දින 45කට පෙර දේශීය හා විදේශීය ආයතන වෙතට අපගේ සැලැස්ම අනුව පාවෙන අවි ගබඩාවක් ස්ථාපිත කිරීම ගැන ලිඛිතව දන්වා සිටින ලදී. මේ දින වන විට ශ්‍රී ලංකාවේ ලියාපදිංචිව තිබූ බොහෝ මුහුදු ආරක්ෂක සමාගම් විසින් රක්නා ආරක්ෂක ලංකා ආයතනයට අයත් අවි අස්ථානගත කිරීම හේතුවෙන් අසාදු ලේඛන ගත ව තිබිණ.  මෙම යෝජිත ව්‍යාපෘතිය සඳහා සැලසුම් සකස් කරන විට ඒ සඳහා අවශ්‍ය වියදම් දැරීමට රක්නා ආරක්ෂක ලංකා ආයතනයට හැකියාවක් නොතිබුණු බැවින් මෙම ව්‍යාපෘතිය ස්ථාපිත කිරීමට පමණක් ඇවන්ට්ගාඩ් මැරිටයිම් සර්විසස් ආයතනය වැයකළ මුදල රුපියල් මිලියන 130 ක් වන අතර, එයට අමතරව තවත් රුපියල් මිලියන සියයකට අධික පිරිවැයක් මෙම කටයුත්තක සාර්ථක කර ගැනීම සඳහා වැය කිරීමට සිදුවන ලදී. ඇවන්ට්-ගාර්ඩ් මැරිටයිම් සර්විසස් ආයතනය, රක්නා ආරක්ෂක ලංකා ආයතනය හා ශ්‍රී ලංකා නාවික හමුදාව සමඟ එක්වී විනිවිද භාවයකින් යුතුව මෙම ව්‍යාපෘතිය කළයුතු බවට ආරක්ෂක අමාත්‍යාංශයෙන් උපදෙස් ලබා දී තිබුණි.  මේ වනවිට රක්නා ආරක්ෂක ලංකා සමාගම සිදුකල ව්‍යාපෘතිය වූයේ වෙළෙඳ නෞකා සඳහා අවි සහ සමුද්‍ර ආරක්ෂක නිලධාරීන් සැපයීම පමණි. තවද, මෙම පාවෙන අවි ගබඩා ව්‍යාපෘතිය රක්නා ආරක්ෂක ලංකා හා ඇවන්ගාඩ් ආයතනය සමඟ සම්බන්ධවී සිදු කළ එක් ව්‍යාපෘතියක් පමණක් වන අතර, පහත දක්වා ඇති නව ව්‍යාපෘති ඇවන්ගාර්ඞ් මැරිටයිම් සර්විසස් ආයතනය විසින් හඳුන්වා දෙනු ලැබූ අතර එමගින් විශාල විදේශ විනිමය ප්‍රමාණයක් මෙරටට ගෙන ඒමට හැකි විය.

 ධීවර යාත්‍රා සඳහා වන ව්‍යාපෘතිය.  
පිටරට සමාගම් වල පෞද්ගලික අවි ගුවන් මගින් ප්‍රවාහනය කිරීම.  
කොළඹ වරායේ  අවි  සුරක්ෂිතව තැබීමේ ව්‍යාපෘතිය (රංගල ව්‍යාපෘතිය)  
විදේශීය මුහුදු ආරක්ෂක නිලධාරීන් සඳහා අවි සංස්කරණ පුහුණුව ලබාදීම.

 ඇවන්ට්-ගාර්ඩ් මැරිටයිම්  සර්විසස්   සමාගම මෙවැනි අද්විතීය තලයකට ගෙන ඒමට මා මෙන්ම අපගේ නිලධාරීන් හට විශාල කැපකිරීමක් කිරීමට සිදුවිය. එයට එක් උදාහරණයක් නම් මෙම සමුද්‍රාරක්ෂක කටයුතු වලට අදාල නාවික නීතිය පිළිබඳව ඉගෙන ගැනීම සඳහා මා පෞද්ගලිකව ඇමරිකානු එක්සත් ජනපදය වෙත ගොස් හාවර්ඩ් සරසවියේ පාඨමාලා හදාරනු ලැබූ මා හිතවත් විදේශීය අද්මිරල් වරුන් හමුවී ඔවුන්ගේ දේශන කාලයෙන් පසුව ඔවුන් සමග සාකච්ඡා පවත්වා වෙනස් වන නාවික නීති පිළිබඳව උගත්තෙමි.  

එමෙන්ම සමාගම වෙත දායකත්වය ලබාදෙන ලද විශිෂ්ඨ  ගණයේ දේශීය හා විදේශීය රටවල විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් ගෙන් ලද දායකත්වය ද මෙකී සාර්ථකත්වය සඳහා ඉමහත් පිටුවහලක් විය. එම නිලධාරි මඩුල්ල හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීන් දෙදෙනෙකුගෙන් ද, ශ්‍රී ලංකා නාවික හමුදාවේ විශ්‍රාමික නාවික හමුදාපතිවරුන් සිව් දෙනකුගෙන් ද, ඕමාන් නාවික හමුදාවේ හිටපු නාවික හමුදාපතිවරයෙකු ගෙන්ද, ඉන්දියානු නාවික හමුදාවේ ජ්‍යෙෂ්ඨත්වයෙන් තුන්වන ස්ථානයේ සිටි රියර්  අද්මිරාල් වරයෙකුගෙන් ද, යුද්ධ හමුදාවේ හිටපු මාණ්ඩලික ප්‍රධානී වරයෙකු මෙන් ම විශ්‍රාමික රියර් අද්මිරල් වරු සහ මේජර් ජෙනරාල්වරු බොහොමයකින් ද සමන්විත විය. මෙවැනි ප්‍රවීණ අත්දැකීම් බහුල නිලධාරි මඩුල්ල කින් සමන්විතව ඔවුන්ගේ සමුද්‍රාරක්ෂාව පිළිබඳ දැනුම තුළින් ඉතාමත් ක්‍රමානුකූලව මෙහෙයවූ අප සමාගමේ සමුද්‍රාරක්ෂක කටයුතු ලොව සුප්‍රසිද්ධ  සමුද්‍රාරක්ෂක සමාගමක් වන Black Waters සමාගම වැනි ආයතනයන්හි සමසමව සිටින තත්වයකට පැමිණ තිබිණ.


 7) ඇවන්ගාඩ් ව්‍යාපාරය හරහා ලංකාවට ලැබුණු ප්‍රතිලාභ මොනවාද?  

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් වුන්ගේ ව්‍යාපෘතිය සිදු කරන කාලය තුළ එක් අවි නිකුත් කිරීමක් හෝ ලබා ගැනීමක් (One Job) වෙනුවෙන් 2009 වර්ෂයේ සිට 2012 වර්ෂය දක්වා වසර තුනක කාලයක් තුළ අය කර තිබුනේ ඇමරිකානු ඩොලර් දාහක් වුණු අතර, ඇවන්ගාඩ් ආයතනයේ මැදිහත් වූ පසු මෙම කටයුත්ත සඳහා වෙළඳ වටිනාකමක් ලබාදී එම අය කරන මුදල ඇමෙරිකානු ඩොලර් 3500 දක්වා ඉහල දැමූයේ පාවෙන අවි ගබඩාවක් මුහුදේ ස්ථාපිත කිරීම සඳහා අධික වියදමක් දැරීමට සිදුවන බැවිනුත්, ඊටත් වඩා වැඩි මුදලක් එවැනි කාර්යයන් සඳහා ලෝකයේ අනෙක් ස්ථානවල පාවෙන අවි ගබඩා විසින් අය කරමින් තිබීමත් හේතුවෙනි. මෙහිදී ශ්‍රී ලංකා  මුහුදු සීමාවන් තුළ තිබූ අනවසර පාවෙන අවි ගබඩා පහක් ඉවත් කරවීමට අප ආයතනය කටයුතු කළ අතර, ඒ හරහා ලංකාවට අහිමිව තිබූ jobs වාර තුන්සීයක් පමණ එක්වරම වැඩිවිය. ඉන්පසුව නාවික හමුදාව විසින් සිදුකර තිබූ උපරිමය වූ jobs 515 අප විසින් jobs 800 දක්වා වර්ධනය කරන ලදි.  මීට අමතරව මසකදී නාවික හමුදාව ලබා තිබූ උපරිම ආදායම රුපියල් මිලියන 70 අප විසින් රුපියල් මිලියන 320 දක්වා වැඩි කරන ලදී.  

එනමුත් වර්තමානයේ නාවික හමුදාව විසින් මෙම ව්‍යාපාරය සිදු කිරීමේදී එක් වාරයක් සඳහා අයකරනු ලබන්නේ ඇමරිකානු ඩොලර් 2500ක් පමණි. එසේ ඇමෙරිකානු ඩොලර් දාහක් එක් වාරයකින් අඩු කිරීමෙන් පමණක් මසකට රටට අහිමිවන විදේශ විනිමය ප්‍රමාණය අමෙරිකානු ඩොලර් ලක්ෂ 8 කි. ඒ අනුව වසරකට ඩොලර් මිලියන 10ක විදේශ විනිමය ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට අහිමි වෙ. තවද, විදේශීය සමුද්‍රාරක්ෂක සමාගම් නාවික හමුදාව වෙතින් මෙම සේවාව ලබා ගැනීමට මැලිකමක් දක්වන හේතුවෙන් ඔවුන්ගේ අවි තැන්පත් කිරීම සඳහා විකල්ප මාර්ග සොයමින් පවතින බවට අනාවරණය වී ඇත. එබැවින් අප විසින් මසකට සිදුකරන ලද වාර 850 මේ වන විට ශීඝ්‍රයෙන් අඩු වෙමින් පවතී, එමගින්ද රටට විදේශ විනිමය අහිමිවෙ. අප සමාගම විසින් ශ්‍රී ලංකාවට විදේශ විනිමය ගෙන දීමෙන් ලබා දුන් ප්‍රතිලාභ නාවික හමුදාව විසින් ව්‍යාපාර කිරීමට යාමෙන් අහිමි කර ඇති බවත් මින් මනාව තහවුරුවේ.  

මෙම ගාලු පාවෙන අවි ගබඩා ව්‍යාපෘතිය ඔස්සේ වර්ෂ 2014 දෙසැම්බර් මස 31 වන විට උපයා තිබූ මුළු ආදායම රුපියල් බිලියන 8.1 කි. මෙයින් ශ්‍රී ලංකා නාවික හමුදාවට රුපියල් බිලියන 1.8 ක් ද එය ප්‍රතිශතයක් ලෙස දැක්වූ විට ආදායමෙන් 40% ක ප්‍රමාණයකි. මෙම හිමිකම් භාගය  ආණ්ඩුවට ලැබුණේ ආණ්ඩුව විසින් කිසිදු මුදලක් වැය නොකරය. මෙය අප සමාගම ලැබූ විශාල ජයග්‍රහණයකි. කරුණු මෙසේ වුවද, කරුණු මෙසේ වුවද අප ආයතනයට එල්ල වී ඇති ප්‍රධාන චෝදනාවක් නම් නාවික හමුදාවෙන් මෙම ව්‍යාපාරය කඩාගෙන නාවික හමුදාවට පාඩු සිදු කළ බවයි. එහෙත් සත්‍යයෙන්ම සිදුවී ඇත්තේ නාවික හමුදාව කිසිසේත්ම ඉපැයූ නැති මුදල් ප්‍රමාණයක් කිසිදු වියදමක් නැතිවම ලාභ ලෙස නාවික හමුදාවට සහ රක්නා ආරක්ෂක ලංකා ආයතනයට ලැබීමයි.  

ශ්‍රී ලංකාවේ ආර්ථිකයට 2012 වර්ෂයේ සිට 2015-03-31 දින වන විට ඇවන්ට්-ගාර්ඩ් මැරිටයිම් සර්විසස් ආයතනය විසින් ගෙනැවිත් ඇති විදේශ විනිමය ප්‍රමාණය රුපියල් බිලියන දහසයක් වන අතර, ඉන් ශ්‍රී ලංකා නාවික හමුදාවට රුපියල් මිලියන 1757ද, සියලුම ව්‍යාපෘති වෙනුවෙන් රක්නා ආරක්ෂක ලංකා ආයතනයට රුපියල් මිලියන 1895 ක්ද, අප ආයතනය විසින් දැනටමත් ගෙවා ඇත. ඒ අනුව අප ආයතනයේ වියදම් දැරීමට පෙර ආදායමෙන් රුපියල් බිලියන 4.1 ක මුදලක් ශ්‍රි ලංකා රජය වෙත ගෙවා ඇත. මෙසේ ගෙවා ඇත්තේ රක්නා ආරක්ෂක ලංකා සේවකයින් වෙනුවෙන් ගෙවන ලද වැටුප් ද අනෙකුත් සේවාවන් සඳහා සිදුකරන ලද වියදම් වලට අමතරව වේ.


8)  ඇවන් ගාර්ඩ් ව්‍යාපාරයට සමහරු අකුල් හෙළුවේ ඇයි?  

සමුද්‍ර ආරක්ෂක කටයුතු ආරම්භයේදී අප ආයතනයට ඊට සම්බන්ධ වීමට කිසිදු අවකාශයක් නොලද මුත්, අපගේ ආයතනයේ සේවයේ යෙදී සිටි ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ විශ්‍රාමික රණවිරුවන්ගේ සාමූහික දායකත්වය මත සමාගම සමුද්‍රාරක්ෂක ක්ශේත්‍රයේ හොඳම සේවාවන් සපයන්නා බවට පත් විය. එමෙන්ම එකී ව්‍යාපාරය හරහා අප විසින් කරනු ලැබූ නව සොයා ගැනීම් ඔස්සේ ව්‍යාපාරය වඩ වඩා දියුණු වන්නට විය. 

එසේ දියුණුව ලබමින් සිටි අප ව්‍යාපාරය පිළිබඳව පිටත සිටි බලා සිටි පුද්ගලයින් පිරිසක් මෙහි නිර්වද්‍යතාවය හා නිත්‍යානුකුල භාවය පිළිබඳ කිසිදු කරුණක් නොදැන මෙය දේශපාලනික සම්බන්ධතා මත දියුණු ව්‍යාපාරයක් ලෙස සලකා ඒ පිළිබඳ වෛරයකින් යුතුව සීමිත අවස්ථාවාදි දේශපාලනඥයින් පිරිසක් හා එක්ව ඔවුන්ගේ නොදන්නාකම නිසා හෝ පෞද්ගලික අභිමතාර්ථයන්ට අනුව කටයුතු කරන්නට විය.  ඉහත කී සියලු ව්‍යාපෘතීන් සඳහා ප්‍රාග්ධනය ඇතුළු අනෙකුත් සියලුම වියදම් දරන ලද්දේ ඇවන්ගාඩ් මැරිටයිම් සර්විසස් ආයතනය මගිනි. ඒ වන විට ලංකාවේ ක්‍රියාත්මක වූ සමුද්‍රාරක්ෂක ආයතන 24 ටම  සිතීමටවත් නොහැකි වු නව ව්‍යාපෘතින් ඉතා උසස් අයුරින් සිදු කිරීම හේතුවෙන් ඒ හරහා ශ්‍රී ලංකාවට ලැබුණු කීර්තිය හා විදේශ විනිමය ප්‍රමාණයන් පිළිබඳව වෛරයකින් යුතුව එම ආයතන හා ඔවුන් සමග එක්වී ඇති සීමිත දේශපාලනඥයින් පිරිසක් ඔවුන්ගේ නොදන්නාකම නිසා හෝ පෞද්ගලික අභිමතාර්ථයන් අනුව කටයුතු කිරීමට යාම ජාතික අපරාධයකි.


9)    ඇවන්ගාඩ් ව්‍යාපාරයේ වර්තමාන තත්වය කුමක්ද?  

මා සැලසුම් කර තිබූ නයිජීරියානු ව්‍යාපෘතිය සැලසුම් කළ අයුරින්ම ක්‍රියාවට නැංවීමට අවස්ථාව තිබුණේ නම් එමගින් මසකට ඩොලර් මිලියන 75ක් ශ්‍රී  ලංකාවට රැගෙන ඒමට අවස්ථාව තිබුණි. මෙයට අමතරව ඇවන්ට්-ගාර්ඩ් මැරිටයිම් සර්විසස් ආයතනය විසින් ශ්‍රී ලංකා නාවික හමුදාවේ නිෂ්පාදිත කුඩා ප්‍රමාණයේ වේග ප්‍රහාරක යාත්‍රා හමුදාව සඳහා නාවික හමුදාව සමඟ ගිවිසුම්ගතව තිබුණි. මෙම ව්‍යාපෘතිය ලබා ගැනීම සඳහා අපට රටවල් විසිහයක් සමඟ තරග කිරීමට සිදුවූ අතර, එකී රටවල් අතරට ඇමරිකා එක්සත් ජනපදය මහා බ්‍රිතාන්‍ය ද ඇතුළත් විය. එනමුත් මෙම ව්‍යාපෘතිය අප සමාගමේ හැකියාව මත ලබා ගැනීමට හැකි විය. මේ සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහයෝගය ද යම් තරමකට ලැබිණි. එනමුත් මෙකී සෑම ව්‍යාපෘතියක්ම මෑත කාලයේ අප ව්‍යාපාරයට සිදුවූ අභාග්‍ය සම්පන්න ක්‍රියාවලිය හේතුවෙන් නවතාලීමට සිදුවිය. මෙම සම්පූර්ණ ව්‍යාපෘතියෙන් ලැබීමට තිබූ ප්‍රතිලාභ පිළිබඳ තහවුරු වන ලිපියක් වර්තමාන රජයේ ශ්‍රී ලංකා ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් 2015-03-08 දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කරන ලදී.

එම ලිපිය මගින් තහවරු කරනු ලබන කරුණු වනුයේ මෙකී ව්‍යාපෘතිය මගින් ඉදිරි වසර පහ තුළ රැකියා අවස්ථා විසිපන්දාහක් උත්පාදනය කිරීමත්, විදේශ විනිමය ඩොලර් බිලියන එකක් (මිලියන 1000ක්) ලංකාවට ගෙන එන බවත්ය.  එයට අමතරව Avant Garde Maritime Services සමාගම වර්තමාන රජය යටතේ ද මේ වනවිටත් රක්නා ආරක්ෂක ලංකා ආයතනය සමඟ කටයුතු කරමින් සිටිනු ලබයි. මේ මොහොත වන විටත් රක්නා ආරක්ෂක ලංකා සමාගම විසින් ුහුදු ආරක්ෂක සමාගම් වෙත නිකුත් කරන ශ්‍රී ලංකා රජයට අයත් අවි රතු මුහුදේ සහ Gulf of Oman කලාපයේ ගබඩා කරනු ලබන්නේ අප විසින් සේවාව ලබා දෙනු ලබන පාවෙන අවි ගබඩා වන්හි ය. පසුගිය කාලයේ පළවූ මාධ්‍ය ප්‍රචාරයන්ට අනුව අප සමාගම නීත්‍යානුකූල නොවන්නේ නම් රජය අදටත් අපගේ සේවාවන් ලබා ගන්නේ කෙසේද?  

රක්නා ආරක්ෂක ලංකා සමාගම අප සමඟ ගිවිසුම්ගතව පවත්වා ගෙන එන ලද ව්‍යාපෘති එම ආකාරයටම ඉදිරියට පවත්වාගෙන යාම සඳහා 2015 ඔක්තෝම්බර් මස 20 වන දින ගිවිසුම්ගත වුවත්  2015 නොවැම්බර් මස දහතුන් වන දින ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ගාලු පාවෙන අවි ගබඩා ව්‍යාපෘතිය බලහත්කාරයෙන් පවරා ගැනීමට කටයුතු කිරීම හේතුවෙන් විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සහ පොලිසියේ නිලධාරීන් විශාල පිරිසකගේ රැකියා අවස්ථාවන් අහිමි විය. රක්නා ආරක්ෂක ලංකා සමාගම සියලු ව්‍යාපෘතීන් පවත්වාගෙන යාමට ගිවිසුම් අත්සන් කරනු ලැබුවත් ඔවුන් එම ගිවිසුම් ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යාමට අපොහොසත් වන ලදී.  

2015 නොවැම්බර් මස දහතුන් වන දින අප සමාගමේ ගාල්ල පාවෙන අවි ගබඩා ව්‍යාපෘතිය සම්බන්ධව ව්‍යාපාර කටයුතු නාවික හමුදාව වෙත පවරා ගැනීමත් සමග සමාගමේ එතෙක් පැවති ආදායම අහිමි වීම හේතුවෙන් පිරිවැය පාලනය කිරීමට වෙනත් විකල්පයක් නොවූ බැවින් අකමැත්තෙන් වුවද සේවක කප්පාදුවක් සිදු කිරීමට සිදු වූ අතර, දැනට අප ආයතනයේ සේවයේ යෙදෙනුයේ පෙර සේවයේ යෙදීසිටි සේවක සංඛ්‍යාවෙන් සියයට දහයක් පමණි. එම සීමිත සේවක පිරිසට ද ‍ව්‍යාපාරයේ වැඩකටයුතු වලට වඩා ව්‍යාපාරය සම්බන්ධයෙන් විවිධරාජ්‍ය ආයතන විසින් කරනු ලබන පරීක්ෂණ කටයුතු සඳහා සහ නඩු කටයුතු සඳහා තොරතුරු සැකසීමේ කාර්යයන් හි යෙදීමට සිදුව ඇත.


10)  මේ ගැටලු නිරාකරණය කර ගැනීම සඳහා ඔබ ගන්නා පියවර මොනවාද?  

අප ආයතනයේ නීත්‍යානුකූල භාවය ඔප්පු කිරීම සඳහා අධිකරණ ක්‍රියාමාර්ගයන් ගැනීමට අප හට සිදු වී ඇති අතර ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා අධිකරණයේ මෙන්ම සිංගප්පූරු බේරුම්කරණ අධිකරණයේ නඩු පවරන ලදී. සිංගප්පූරු බේරුම්කරණය මගින් එම බේරුම්කරණ නඩුවේ තීරක ප්‍රදානය ඇවන්ගාඩ් සමාගම වෙත ලබාදුන් අතර, ඒ අනුව රුපියල් මිලියන දාහක් පමණ රක්නා ආරක්ෂක ලංකා සමාගම විසින් ඇවන්ගාඩ් ආයතනයට ගෙවිය යුතුව ඇත.   

එම තීරක ප්‍රදානය රක්නා ආරක්ෂක ලංකා ආයතනය විසින් සිංගප්පූරු මහාධිකරණය අභියෝගයට ලක් කළ ද, සිංගප්පූරු මහාධිකරණය විසින් එය නිෂ්ප්‍රභ කරන ලදී. දැනට මෙම තීරක ප්‍රදානය බලගැන්වීම සඳහා කොළඹ වාණිජ අධිකරණයේ නඩු කටයුතු සිදු කරමින් පවතී. එමෙන්ම ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් මහනුවර පාවෙන අවි ගබඩාව බලහත්කාරයෙන් පැහැර ගැනීම හේතුවෙන් අප හට සිදුවූ අලාභය ලෙස රුපියල් බිලියන 2.4 ඉල්ලා ශ්‍රී ලංකා නාවික හමුදාවට එදිරිව අප ආයතනය විසින් නඩු පවරා ඇත. සිංගප්පූරු බේරුම්කරණ අධිකරණයේ දී අපහට සාධාරණය ඉෂ්ට වූ ආකාරයටම ශ්‍රී ලංකාවේ අධිකරණයේදී Avant Garde Maritime Services ආයතනයටත් එහි සේවයේ යෙදී සිටි ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ විශ්‍රාමික රණවිරුවන්ටත් සාධාරණයක් ඉෂ්ට වනු ඇතැයි බලාපොරොත්තු වන්නෙමි.


 11) ඔබගේ අනාගත බලාපොරොත්තු මොනවාද?  

2015 වර්ෂයේ ජනවාරි මාසයෙන් පසුව උද්ගත වූ තත්ත්වය හා 2015 නොවැම්බර් මස දහතුන් වන දින ශ්‍රී  ලංකා නාවික හමුදාව විසින් එම්.වී. මහනුවර පාවෙන අවි ගබඩාවේ වත්වාගෙන ගිය ව්‍යාපාරය බලහත්කාරයෙන් පවරා ගැනීම හේතුවෙන් දහස් ගණනක් රණවිරුවන්ට රැකියා අවස්ථා අහිමි වන ලදී. එම හේතුවෙන් රණවිරුවන් මෙන්ම ඔවුන්ගේ පවුල්වල අයවලුන්ගේ ජීවිත මහත් වූ අසරණ තත්ත්වයකට පත්ව ඇත. මාගේ ඒකායන බලාපොරොත්තුව නම් ඔවුන්ට යළිත් රැකියා අවස්ථාවන් උදා කරදී රණවිරුවනුත් ඔවුන්ගේ පවුල්වල අයවලුන්ගේ ජීවිත සුඛිත මුදිත කිරීමයි.  

එමෙන්ම 2012 වර්ෂයේ සිට 2015 වර්ෂය දක්වා අප ආයතනය විසින් අඩු  ආදායම්ලාභී පවුල් 200කට අධික ප්‍රමාණයක සුබසිද්ධිය සඳහා රුපියල් මිලියන 750 ක් වැයකර ඇති අතර, එයට හෘද සැත්කම් 235 ක් ද, කුඩා දරුවෙකුට සිංගප්පූරුවේ මවුන්ට් එලිසබත් රෝහලේ සැත්කමක් කිරීම සඳහා යොමු කිරීම වෙනුවෙන් වැය කරන ලද රුපියල් මිලියන 27 ක් ද ඇතුළත් ව ඇත. එමෙන්ම, අප සමාගමේ මූල්‍ය දායකත්වය ආගමික ස්ථාන ඉදි කිරීම සඳහාත්, රෝහල් නඩත්තු කටයුතු සඳහා  ලබාදී ඇත. මෙම සියලූ වියදම් බැංකු මාර්ගයෙන් සිදු කර ඇති අතර ඒ බව අපට තහවරු කළ හැක. මේ වන විට එවැනි සමාජ සත්කාර සිදු කිරීමට මා හට නොහැකි වී ඇති අතර මාගේ ඒකායන බලාපොරොත්තුව යළිත් එම සේවාවන් ඉටු කිරීමයි.  ඒ වගේම අපගේ නවතම වෑයම වන්නේ විදේශ රාජ්‍ය ආරක්ෂක කටයුතු සඳහා විශ්‍රාමික ත්‍රිවිධ හමුදාවේ හා පොලීසියේ රණවිරුවන් 3300 කටපමණ නව රැකියා අවස්ථා උදා කර දීමටත්, ඉන් අනතුරුව එකී ප්‍රමාණය පහළොස් දාහ ඉක්මවා වැඩි කර ශ්‍රී ලංකාවට විශාල විදේශ විනිමය ප්‍රමාණයක් උපයා ගැනීමට උත්සාහ කිරීමත් වන අතර මේ වන විට ඒ සඳහා යෝජනාවක් 2018 ජුනි මස 28 වන දින වර්තමාන ආරක්ෂක ලේකම්වරයා වෙත ඉදිරිපත් කර ඇති අතර ඒ සඳහා යහපත් ප්‍රතිචාරයක් ලැබුනොත් එකී කර්තව්‍ය සාර්ථක කර ගැනීමෙන් ශ්‍රී ලංකාවට සුවිසල් විදේශ විනිමය ප්‍රමාණයක් ඉපයීමට කටයුතු කරන බවත් ප්‍රකාශ කරමි.  

එනමුත් අපගේ ව්‍යාපාරය විනාශ කිරීම සඳහා අකුල් හෙලමින් ද්වේශසහගත ලෙස අභූත චෝදනා නගමින් කටයුතු කරනු ලබන  වෙයිරී දේශපාලකයින් විසින් මෙවැනි ශ්‍රී ලංකාවට ඵලදායී කටයුත්තක් ආරම්භ කිරීම සඳහා අවැසි සහයෝගය හා අනුමැතිය වත්මන් රජයෙන් ලබා ගැනීමට අපහට ඉඩ දෙනු ඇතැයි මා කිසිසේත්ම විශ්වාස නොකරමි. මන්දයත්, මෙවැනි කටයුත්තකට අනුමැතිය අප සමාගමට ලබා දුනහොත් එකී දේශපාලකයින් විසින් නැගූ අභූත චෝදනාවන් පදනම් විරහිත චෝදනාවන් බවට ජනතාවට පසක් වන බැවිනි.

සාකච්ඡා කලේ වෛද්‍ය රුවන් එම් ජයතුංග 



අපරැක්කේ පුඤ්ඤානන්ද යළිත් ගේමට බසී

ජාතික හෙළ උරුමයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අපරැක්කේ පුඤ්ඤානන්ද යලිත් වරක් අපරාධයක් කොට තිබේ.  නව හැවිරිදි පිරිමි දරුවෙකු ලිංගික අපහරණයට ලක් කලේ යයි ලද පැමිණිල්ලක් මත පොලීසිය විසින්  අපරැක්කේ පුඤ්ඤානන්දව අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු රිමාන්ඩ් කර තිබේ. මීට පෙරද බාලවයස්කාර කුඩා සාමනේර හිමිවරුන් පස්දෙනෙකුට බරපතළ ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් සැකපිට අතඩංගුවට ගත්   අපරැක්කේ පුන්‍යානන්ද හිමියන්  අදාළ සාමනේර හිමිවරුන්ට ඉඳහිට ලිංගික අතවර කළ බව  අධිකරණයේදී  පිලි ගන්නා ලදි. 

අපරැක්කේ පුඤ්ඤානන්ද Pedophile කෙනෙකු හෙවත් කෞමාර කාමයෙන් පෙලෙන්නෙකු බව පෙනී යයි.  දියුණු රටවල මෙවැනි පුද්ගලයෝ ලෙස වෙනම Sex Offenders වර්ගීකරණයකට යටත්ව පොලිසිය විසින් ඔවුන් පිලිබඳව සෝදිසියෙන් සිටිති. මෙවැනි පුද්ගලයන්ට ළමුන් සම්බන්ධයෙන් කටයුතු වල යෙදීම තහනම් ය​. එහෙත් කෞමාර කාමයෙන් පෙලෙන්නෝ ලංකාවේදී රිසි පරිදි ළමුන්ව අපහරණය කරති. හේතුව අධිකරණයේ මෙන්ම ළමා ආරක්‍ෂයේ  පවතින දුර්වළතා නිසාය 

අපරැක්කේ පුඤ්ඤානන්ද සම්බන්ධයෙන් ළමා ආරක්‍ෂක අධිකාරිය විසින් ගන්නා ලද ක්‍රියාමාර්ගයක් පිලිබඳව තොරතුරක් මෙතෙක් නොමැත​. 

Tuesday, July 17, 2018

කොන්ස්පිරසි තියරියක ගොදුරක් වූ වෛද්‍ය සේනක බිබිලේ



වෛද්‍ය සේනක බිබිලේ යනු කොන්ස්පිරසි තියරියක ගොදුරකි. ඔහු හොඳට කාපු බීපු ජීවිතයේ ආතල් ගත් චරිතයකි. ඔහුට සෞඛ්‍ය ගැටළු තිබ්බේය​.  ඖෂධ සමාගම් සමග ඔහුට ඩිරෙක්ට් ගැටුමක් තිබුනේ නැත​. ගැටුම තිබුනේ ආණ්ඩුව සහ සමාගම් අතරය. එහෙත්  වෛද්‍ය බිබිලේ ගේ මරණය සෝම හිමියන් ගේ මරණය මෙන් කොන්ස්පිරසි තියරියකට ලඝු කරන ලදි. 

වෛද්‍ය සේනක බිබිලේ   ස්වාභාවික හේතූන් මත මිය ගියා කියනවාට වඩා ඔහුව ඖෂධ ජාවාරම් බූවල්ලා විසින් මරා දැමුවා කියන විට ගතියක් මෙන්ම ඇඟ හිරිගඩුද පිපේ. එය සෝම හිමියන් හොර වෙදෙකුගෙන් දියවැඩියාව සඳහා දේශීය බෙහෙත් ගෙන පසුව දියවැඩියාව උත්සන්නව හෘධ ආබාධයකින් මරණයට පත් වූවා ( මෙය සනාත කරන ලද්දේ අධිකරණ වෛද්‍ය චන්ද්‍රසිරි නිරිඇල්ල මහතා විසිනි) කියනවාට වඩා කුමන්ත්‍රණයකින් අපවත් කළ බව කී විට බෞද්ධයන් ගේ සංවේගය ඉහල යනවා සේම (බෞද්ධ චන්දද​ ඩැහැ ගත හැකිය). වෛද්‍ය සේනක බිබිලේ  සම්බන්ධයෙනුත් එසේය​. 

මේ නිසා ඉදිරි කාලයේ රතනලා , චන්න ජයසුමනලා යලිත් වරක් වෛද්‍ය සේනක බිබිලේ සහ කොන්ස්පිරසි තියරිය පට්ට ගහනු ඇත. එවිට මෝල් ජනතාව ඖෂධ ජාවාරම් බූවල්ලා පසෙක තබා ගෙදර තිබෙන මුව හමට  තලනු ඇත​. සෞඛ්‍ය ඇමති සහ නිලධාරී නඩය වෛද්‍ය සේනක බිබිලේ ගේ රුවට මල් මාලා පලඳවා සිරිත් පරිදි ඖෂධ ජාවාරම් බූවල්ලා ගෙන් ගතමනාව ලබා ගනු ඇත​.  


Saturday, July 14, 2018

කරාපිටිය වෛද්‍ය පීඨයේදී හෙදියන්ට පහර දීමේ සිද්ධිය (තෙවන කොටස​)


මෙම අර්බුධය උත්සන්න වෙමින් පවතින විටදී කරාපිටිය ශික්‍ෂණ රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය මහාචාර්‍ය සුජීව අමරසේන මහතා ගේ මෝටර්  රථයට පහරදී අලාභ හාණි කරනු ලැබීය​. ඔහුට නොකඩවා මරණීය තර්ජන දුරකථන මාර්ගයෙන් එල්ල කරන ලදි. තවද වේලාහෙට්ටි නම් සිසුවෙක්  සුජීව අමරසේන මහතා ඝාතනය කිරීම සඳහා කුමන්ත්‍රණයක් දියත් කල බවත් පසුව එය අසාර්ථක වූ බවත් ගාල්ල  නගරයේ  ව්‍යාපාරිකයෙකු පවසයි. 

අමරසේන මහතා පවසන පරිදි නඩුව අවසානයේදී චූදිතයන්ට වෛද්‍ය පීඨය තුලදී ගුරුවරුන් ගෙන් සමාව ගැනීමටත්, වාහනයට කළ අලාබය නිසා රුපියල් 170000 මුදලක් ගෙවීමටත් පහර කන ලද හෙදියන් සඳහා එක් හෙදියෙකුට රුපියල් 5000 බැගින් ගෙවීමට සිදු වූ බවත් පවසයි. සියළුම චූදිතයන් සති දෙකට රිමාන්ඩ් කරනු ලැබීය . නඩුව වසර හතක් අසන ලදි.  

මහාචාර්‍ය සුජීව අමරසේන මහතා පෙන්වා දෙන පරිදි එම් .වී .ප්‍රියංකා නම් ගැබිණි හෙදියට පා පහර දෙන ලද්දේ මාරයා යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන ලද ලලිත් පෙරේරා නම් සිසුවෙකි. ඔහු 22 කණ්ඩායමේ සිසුවෙකු විය​.  හෙදියන්ට පහර දීමට ක්‍රියා කල තවත් සිසුවෙකු වූ අමරසේකර  නම් තැනැත්තා පසු කාලයක මොලයේ පිළිකාවක් නිසා මිය ගියේය​. ඔහුගේ පියා බලපිටිය රේවත විද්‍යාලයේ හිටපු විදුහල්පතිවරයෙකි. ඔහුගෙන් පහර කෑ එක් හෙදියක් මෙම අමරසේකර  නම් සිසුවාව හඳුනා ගත්තද ඔහුට එරෙහිව සාක්කි දුන්නේ නැත​. හේතුව ඇය අමරසේකර ගේ පියාගේ සිසුවියක වීම නිසාය​.  මේ නඩුව නිසා කේ.ජී.ඒ කුමාර නම් සිසුවා අධ්‍යනය වසරකින්  පහත ගියේය​.  

මෙම නඩුව ගැන අදහස් දැක්වූ වෛද්‍ය ඉඳුනිල් විජේනායක නොහොත් WGID කුමාර මෙසේ කියයි 

" මම ගිය අවුරුද්දේ ලංකාවට ගියාම මට හම්බ උනා වෛද්‍ය පීඨයේ පර​ණසිකියුරිටි මහත්මයෙක් . එයා ඇවිත් මම එක්ක කතාකලා. පස්සෙ මම එයාට  කිව්ව ඔයා මම නර්ස්ලට ගහනව දැක්ක කියල සාක්ෂි දුන්න මතකද ? කියල. එයා කිව්ව පිස්සුද  මහත්තය මම තාම මූනුවලින් දන්නෙ නෑ මම සාක්ෂි වල දීපු අයගෙ නම්. අපි රස්සාව බේර ගන්න එයාල දෙන නමක් පොතේ ලියනව කියල. මට හිතෙනව එයා මම කියන තුරු දන්නෙ නෑ ඒක. විශ්ව විද්‍යාල ඉන්ක්වයරි වලදි එයාල කවදාවත් ඉඩ දෙන්නෙ නෑ සාක්ෂිකාරයො cross questioning කරන්න. ඒක ස්වාභාවික යුක්තියට පටහැනියි. එයාල එහෙම කරන්න ඉඩ නොදෙන්නෙ තමන්ට ඕන අයව දඩයම් කරන්න පාර ඇර ගන්න.  කැම්පස් වල උන් දන්නව සික්කොන්ට දෙන නම් ටික උන් දෙන්නෙ කියල. පරිපාලනේ මගේ නම දැම්මෙ W G I D kumara කියල රිජිස්ට්‍රෙෂන් එකේ තියන විදියටඔය සික්කො එකෙක්වත් මගේ නම කුමාර කියල දන්නෙ නෑ තාමත්. උන් දන්නෙ මම ඉදුනිල් කියල......... සුසිරිත් (මහාචාර්‍ය සුසිරිත් මෙන්ඩිස්)  කියන්නේ  අපරිණත පරිපාලකයෙක්. සිසුන්ගෙ පීඩනය තේරුම් ගැනීමට පරිපාලන බුද්ධියක්  ඔහුට තිබ්බෙ නෑ. කැන්ටිමට පුටුවක් මේසයක්.ඉල්ලුවත් ඔහු හිතුවේ ජේවීපී උවමනාව කියල. ලමයින්ට පාඩම් තැනක් ඉල්ලුවම ඔහු හිතුවෙ පෝස්ටර් අදින්න තැනක් ඉල්ලනව කියල. ඔහු ෆ්ලෙක්සිබල් පරිපාලකයෙක් උනේ නෑ.කිසිම දවසක ඔහුට බැරි උනා ශිෂ්‍ය නියෝජිතයො නියෝජනය කලේ පොදු ශිෂ්‍ය මතය කියල තේරුම් ගන්න.මම හිටිය කාලේ  ඩීන් හිටියෙ එයා. මුකුත් ලමයින්ට නොදුන්නත් මම එක්ක පුද්ගලික ගැටුමක් එයාට තිබුන කියල මම හිතන්නෙ නෑ.  ඔය සිද්දිය වෙනකම් එහෙම එකක් තිබ්බ කියල. හැබැයි එයා හිතුව  ඕකට ලමයි විරුද්ද් උනේ අපේ උවමනාවට කියල......  

මෙම අර්බුධය පිලිබඳව මහාචාර්‍ය සුසිරිත් මෙන්ඩිස් ගේ භූමිකාව පැහැදිළි කර ගනු වස් මම ඔහුට පණිවිඩ කීපයක් දුන්නද මහාචාර්‍ය  මෙන්ඩිස් නිහඞ වූවා මිසක පිලිතුරක් දුන්නේ නැත. එසේම මෙම පහරදීමේ සිද්ධිය නිසා නීතිය හමුවට ගෙන එන ලද දැනට විශේෂඥ වෛද්‍යවරයෙකු ලෙස කටයුතු කරන සාරද කන්නංගර මහතා ගෙන් ප්‍රකාශයක් ගැනිමට මා උත්සහ කෙරුවද ඔහුද මට පිළිතුරක් දුන්නේ නැත​. 

මෙම අවාසනාවන්ත සිද්ධිය විග්‍රහ කල බැලීමේදී  පෙනී යන්නේ සරසවි සිසු ත්‍රස්තවාදය , අන්තවාදී සිසු සංවිධාන , අපරිණත සහ දඩයම් මානසිකත්වයෙන් යුතු පරිපාලනය , අවස්ථාවාදී වෘත්තීය සංගම් විසින් මෙම අර්බුධය ඇති කල බවයි. 

රුහුණ විශ්ව විද්‍යාලයේ කරාපිටිය වෛද්‍ය පීඨයේදී හෙදියන්ට පහර දීමේ සිද්ධිය වෛද්‍ය පීඨය ලත් විශාල කැළලක් මෙන්ම අපකීර්තියක්ද වන්නේය​. මෙම සිද්ධිය සඳහා චෝදනා ලද වෛද්‍ය සිසුන් බොහෝ දෙනෙකු අද වෛද්‍යවරුන් ලෙස සේවය කරති. ඔවුන් බොහෝ දෙනෙකු මේ වන විට අන්තවාදී මානසිකත්වයකින් බැහැරවී සිටින බව පෙනෙන්නට තිබේ.  එය සතුටට කරුණකි. 

අවසාන වශයෙන් කිව යුත්තේ මෙවැනි අවාසනාවන්ත සිදුවීම් ඉදිරි කාලයේ සිදු නොවීම සඳහා කරාපිටිය සිදුවීම සෑම දෙනෙකුටම පාඩමක් වන බවයි.  තවද කරාපිටිය කළු පැල්ලම වර්තමාන සරසවි සිසුන්ටද පණිවිඩයක් දෙයි. එනම් ඔබ විසින් සරසවි ජීවිතයේදී යම් අකටයුත්තක් සිදු කලහොත් එය වසර දහයකට හෝ විස්සකට පසුවද ඔබව හඹාගෙන එයි.  

වෛද්‍ය රුවන් එම් ජයතුංග 

(සංවාදයට විවෘතයි. තමන් ගේ නියම අනන්‍යතාවය  හරහා අදහස් දැක්විය හැක ) 



Tuesday, July 10, 2018

කරාපිටිය වෛද්‍ය පීඨයේදී හෙදියන්ට පහර දීමේ සිද්ධිය (දෙවන කොටස​)



කරාපිටිය ශික්‍ෂණ රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය මහාචාර්‍ය සුජීව අමරසේන මහතා විසින් 2002 වසරේ ආරම්භ කරන ලද හෙදියන් සඳහා මවු කිරි දීමේ පාඨමාලාවට කරාපිටිය වෛද්‍ය පීඨයේ සමහර වෛද්‍ය සිසුන් විරෝධය පළ කරන ලදි. මෙම විරෝධතාව වෛද්‍ය පීඨයේ සීමිත සම්පත් යොදාගෙන මුදල් ගෙවන පාඨමාලවක් පැවැත්වීමේ සිට අධ්‍යාපනය පුද්ගලික කරණය කිරීමේ වෑයමක් ලෙසට හඳුන්වන ලදි. මේ අතර සමහර වෛද්‍ය සිසුන් හෙදියන් සඳහා පාඨමාලා වෛද්‍ය පීඨයේදී යොදා ගැනීමට එරෙහි වූහ​. එය තමන් ගේ තරාතිරම පිලිබඳ ගැටළුවක් ලෙස මතු වූ බව මධ්‍යස්ථ සිසුන් පවසති.  ආතතිය වර්ධනය වන විට  මෙම ගැටලුවට ජවිපෙ මතවාදී සිසුන් ද අත දැමීම නිසා ප්‍රශ්නය ජවිපෙකරණයවී සංකීර්ණ මුහුණුවරක් ගත් බව වෛද්‍ය රංග වීරක්කොඩි පවසයි. 

මෙම පාඨමාලාව පිලිබඳව විවිධ කට කතා පැතිරුනද මහාචාර්‍ය සුජීව අමරසේන මහතා පවසන්නේ තමන් මේ පාඨමාලාව හෙදියන් ගේ දැණුම  වර්ධනය සඳහා සත් භාවයෙන්  ආරම්භ කරන ලද බවත් එමගින් කිසිම වානිජමය ලාභ අපේක්‍ෂා නොකල බවත්ය​. මේ පාඨමාලාවෙන් තමන් සතයක් වත් නොගත් බව ඔහු පවසයි. මා විසින් ඇසූ ප්‍රශ්න සඳහා මහාචාර්‍ය සුජීව අමරසේන මහතා විසින් පෙන්වා දුන්නේ මෙම පාඨමාලාව සඳහා රුහුණු විශ්ව විද්‍යාලය රුපියල් 1000  අය කල බවත් ලෝක සෞඛ්‍යය සංවිධානය රුපියල් 750000 පාඨමාලාව සඳහා මුල්‍ය ආධාර කල බවත් ය​. දේශන පවත්වන ලද්දේ සති අන්තයේය​. හෙද සිසු සිසුවියන් ගෙන් මුදල් අය කර ගන්නා ලද්දේ අනෙකුත් දේශකයන්ට ගෙවීම සඳහාය​.  

මෙම පාඨමාලාව අධ්‍යාපනය පුද්ගලික-කරණය හෝ අධ්‍යාපනය විකිනීම මුල් කරගෙන ආරම්භ කල එකක් නොවන බව මහාචාර්‍ය   අමරසේන මහතා වැඩිදුරටත් පෙන්වා දෙයි. තවද මෙම පාඨමාලාව ආරම්භ කල අවස්ථාවේදී අධ්‍යාපන පීඨ මඩුල්ල ( Faculty Board) එය අනුමත කල බවත් ඒ අවස්ථාවේදී ශිෂ්‍ය නියෝජිතයෝ එම පාඨමාලාව සඳහා විරෝධය පළ නොකල බවත්  එහෙත් පාඨමාලාව ආරම්භ  වීමත් සමගම ශිෂ්‍ය නියෝජිතයන් දේශපාලන හේතූන් මත පාඨමාලාව සඳහා විරෝධය පළ කිරීම ඇරඹූ බව මහාචාර්‍ය සුජීව අමරසේන මහතා පවසයි.

මහාචාර්‍ය අමරසේන මහතා පෙන්වන ආකාරයට විරෝධතාව සඳහා  WGID කුමාර නොහොත් ඉඳුනිල් විජේනායක , අමිල ඉසුරු ලෙනදූව ලොකුගේ , සාරද කන්නංගර , කේ.ජී.ඒ කුමාර යන ශිෂ්‍ය  නියෝජිතයන් මූලිකත්වය ගෙන කටයුතු කළ අතර  අනෙකුත් සිසුන් උසි ගැන්වීම සඳහා මෙය අධ්‍යාපනය පුද්ගලික කිරීමේ වෑයමක් ලෙස ඔවුන් විසින් පෙන්වා දෙන ලදි .

මෙම අර්බුධය උත්සන්න වූ අවස්ථාවේදී වෛද්‍ය සිසුන් පිරිසක් විසින් කරාපිටිය වෛද්‍ය පීඨයට කඩා වැදී මෙම පාඨමාලාවට සහභාගි වෙමින් සිටි හෙද සිසු සිසුවියන්ට පහර දෙන ලදි. මෙම පහර දීම සිදුවූ අවස්ථාවේදී එම පාඨමාලාවේ සිටි හෙදියක් තම අත්දැකීම මෙසේ පවසන්නීය. (මෙම හෙදිය දැනට විදේශයක රැකියාව කරන අතර ඇයගේ ඉල්ලීම පිට ඇයගේ නම යොදා ගන්නේ නැත )  

"  අපි හිටියෙ ලෙක්චර් හෝල් එකේ.  එක පාරටම දොරවල් දෙකෙන් පිරිමි ලමුන්  රෑනක් ඇවිත් පුටු උස්සල අපිට ගැහුවා ,අපි පන්තිය කෙලවරට දුවන කොට පුටු විසි කර කර ගැහුවා, පස්සෙ මම ආයෙත් ඉස්සරහට දුවල ගිහින් මගෙ බෑග් එක ගත්ත ගැබිනි ශිෂ්‍යවකුත්  හිටිය. ඒත් කිසිම අනුකම්පාවක් තුබුනෙ නැහැ  වෛද්‍ය සිසුන් මැරයෝ  වගෙ තමයි හැසිරුනෙ, පස්සේ මම ඔවුන්  අතරින් කොහොම හරි එලියට පැනල දිව්වා. අපි දුවගෙන යනකොට වෛද්‍ය සිසුවියෝ වගයක් උඩ බැල්කනි එකේ ඉඳන් කුණු වතුර වලට තාර වගේ දෙයක් මිශ්‍ර කරලා අපේ ඇඟවල් වලට හැළුවා. අපි ඔක්කොම වගේ ඒ කුණු වතුරට නෑවුනා. පස්සේ මම හොස්පිට්ල් ක්වාටස් වලට ඇවිදින් කුණු සෝද ගත්තා .............

මාගේ දෙවන සාකච්ඡාවේදී ඉඳුනිල් විජේනායක වඩාත් විවෘත වූ අතර ඔහුගේ පාර්ශවයෙන් කරුණු පැහැදිලි කලේය​. ඔහු පවසන පරිදි මෙම පහර දීමට ඔහු සහභාගි වූයේ නැත​. රුහුණු විශ්ව විද්‍යාලයේ ගාල්ල කරාපිටිය වෛද්‍ය පීඨයේදී හෙදියන්ට පහර දීමක් සිදු වූවාද නැද්ද කියා මා විසින් විමසන ලද අවස්ථාවේදී ඉඳුනිල් පැවසුවේ එම සිද්ධිය තමන් නොදුටු නිසා කිසිවක් කිව නොහැකි බවයි. ​කෙසේ නමුත් තමන් කිසිදු පහර දීමකට සහභාගි නොවූ බවත් විශ්ව විද්‍යාල පරිපාලනය විසින් තමන් ගේ නම ප්‍රහාරකයෙකු ලෙස ඉස්මතු කොට දුන් බව ඔහු කියයි. තවද මේ ගැටළුව සංකීර්ණ වීම සඳහා මහාචාර්‍ය සුසිරිත් මෙන්ඩිස් ගේ අපරිණත පරිපාලනය මෙන්ම ඔහුගේ අගතිගාමී ක්‍රියා පටිපාටීන් හේතු වූ බව ඉඳුනිල් පවසයි. 

මෙම සිද්ධිය ආශ්‍රිතව  නීතිය ඉදිරියට පමුණුවන ලද අමිල ඉසුරු ලෙනදූව ලොකුගේ (වර්තමානයේ ඔහු විශේෂඥ මනෝ වෛද්‍යවරයෙකු ලෙස සේවය කරයි ) තමන් මෙම පහර දීමට  කිසි සේත්ම සහභාගී නොවූ බව තරයේ කියා සිටියි. එහෙත් මෙම සිදුවීමෙන් පසුව තමා විශ්ව විද්‍යාල සෙනේට් ගොඩනැගිල්ල වටකර ගෙන වාඩිලා සිටි සිසුන් අමතා කතාවක් කල බවත් පසුව විශ්ව විද්‍යාල  පරිපාලකයන් බලහත්කාරයෙන් සෙනේට් ගොඩනැගිල්ල තුල රඳවාගෙන තබා ගැනීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා ගොනු වූ බව කියයි. තව දුරටත් කරුණු පැහැදිලි කල ඔහු මෙම නඩුවට තමන්ව සම්බන්ධ කිරීම පසුපස මහාචාර්‍ය සුසිරිත් මෙන්ඩිස් සිටි බවත් යම් ලෙසකින් නඩුවේදී වරදකරු වූයේ නම් තමාට සිර දඞුවම් ලැබී අධ්‍යාපනය කඩාකප්පල් වීමේ සම්භාවිතාවක් තිබූ බව කියා සිටියි. කෙසේ නමුත් තමා අවසානයේදී නඩුවෙන් ජයග්‍රහණය කලද මහාචාර්‍ය සුසිරිත් මෙන්ඩිස් විසින් තමන්ව ගොදුරක් කර ගත් බවත් ඔහු පවසයි. 

කරාපිටිය වෛද්‍ය පීඨයේදී හෙදියන්ට පහර දීමේ සිද්ධිය මතුවූ අවස්ථාවේදී මහාචාර්‍ය සුසිරිත් මෙන්ඩිස් ගේ භූමිකාව පැහැදිළි කර ගනු වස් මම ඔහුව ඇමතුවෙමි. මහාචාර්‍ය  මෙන්ඩිස් අදාල සිසුන් විසින් කල චෝදනා ප්‍රතික්ශේප කලේය​. එහෙත් මා විසින් ඔහුට යොමු කල කඩීම ප්‍රශ්න වලට පිළිතුරු නොදී මඟ හැර ගියේය​. එහෙත් පාඨකයන් වෙනුවෙන් මම තවත් වරක් මහාචාර්‍ය මෙන්ඩිස්ව අමතා ඔහුට එරෙහිව තිබෙන චෝදනා පිලිබඳව ඔහුගේ ප්‍රකාශය ලබා ගැනීමට ඉදිරි කාලයේ උත්සහ කරමි. 

වෛද්‍ය රුවන් එම් ජයතුංග 

(ගර්භණී හෙදියට පහර දුන් අයුරු තෙවන කොටසින් බලාපොරොත්තු වන්න )
 
 
   

Sunday, July 8, 2018

කරාපිටිය වෛද්‍ය පීඨයේදී හෙදියන්ට පහර දීමේ සිද්ධිය (පළමු කොටස​)

2002 වසරේදී කරාපිටිය වෛද්‍ය පීඨයේදී මහාචාර්‍ය සුජීව අමරසේන මහතා විසින් හෙදියන් සඳහා මවු කිරි දීමේ පාඨමාලාවක් ආරම්භ කරන ලදි. මෙම පාඨමාලාවට කරාපිටිය වෛද්‍ය පීඨයේ වෛද්‍ය සිසුන් සමහරක් විරෝධතාවය දැක්වූහ​. විරෝධතාව උත්සන්නයේදී වෛද්‍ය සිසුන් පිරිසක් මෙම මවු කිරි දීමේ පාඨමාලාවට සහභාගි වූ හෙද නිලධාරීන්ට පහර දෙන ලදි. මේ අතර ගැබිණි හෙදියක්ද වූවාය​. එක් වෛද්‍ය සිසුවෙක් ඇයට පහර දී ඇය බිම වැටුණු විට  ඇයගේ බඩටද පයින් පහර දෙන ලදි. 

මෙම සිදුවීම වන විට මා සිටියේ රජයේ රෝහලක සේවය කරමිනි. එකී සිදුවීම රෝහලේදී එක් වෛද්‍යවරයෙක් විසින් සඳහන් කල අතර සමහර වෛද්‍යවරු මෙම පහර දීම අනුමත කරමින් හෙදියන් වෛද්‍ය පීඨයේ පාඨමාලා වලට සහභාගි කරවා ගැනීම නුසුදුසු බව අනියම් අයුරින් කීහ​. මේ නිසා මම  බොහෝ සෙයින් ව්‍යාකූලත්වයට පත් වූයෙමි.

එදින නිවසට ගිය විටද මාගේ මතකයට ආවේ මෙම හෙදියන්ට පහර දීමේ සිද්ධියයි. මේ සිදුවීම මා තුල බලවත් සසල කිරීමක් ඇති කරන ලදි. මම සාමකාමී ක්‍ෂාන්තිවාදියෙකු නොවෙමි. එහෙත්  තමන්ට පුද්ගලිකව වරදක් නොකල ගැබිණියක් ඇතුළු නිරායුද පුද්ගලයන් පිරිසකට පහර දීම මට පිලිගත නොහැකි කරුණක් විය​. 

මේ හේතුව නිසා සති 8 ඇතුලත කාලයක් තුලදී මම පොතක් ලියුවෙමි. එම පොතේ නම " මිනිසුන් තුලින් ලෝකය දුටුවෙමි " යන්නයි. මේ පොතේ අඩංගු වූයේ මා විසින් විදෙස් රටවල් වලදී මුණ ගැසුනු පුද්ගලයන් සහ ඔවුන් සහ මා අතර තිබූ මානව සබඳතා ය​. මාගේ අදහස වූයේ මෙම පහර දීම සඳහා හේතුවූ  එක් මූලික කරුණක්  නම් ලෝකය හරි හැටි නොදැක ලිං මැඩියෙකු මෙන් තමන් ගේ අඳුරු සෙවල පිරි ලිඳ තුල ජීවත් වන විට ඇති වන ලිං මැඩි සින්ඩ්‍රෝමය නම් තත්වය විසින් ඇති කරන ලද්දක් බවයි. එසේම අපගේ උගතුන් තුල  තිබෙන කුහක භාවයද මින් පෙන්නුම් කරන්නක් විය​. 

මෙම සිද්ධිය සිදුවී මේ වන විට වසර 16 කට ආසන්න කාලයක් ගතවී තිබේ. එදා මේ පහර දීමේ චෝදනාවට බඳුන් වූ වෛද්‍ය සිසුන් ගෙන් බහුතරය වෛද්‍යවරු වෙති. මෙම සිදුවීම ගැන වසර 16 කට පසු ඔවුන් දරන අදහස් මොනවාද ? (අනිවාර්‍යෙන්ම ඔවුන්ටද මේ පිලිබඳව කියන්නට කතාවක් තිබේ)  මේ නිසා මම මේ පිලිබඳව මහාචාර්‍ය සුජීව අමරසේන , එවකට පීඨාධිපතිව සිටි මහාචාර්‍ය සුසිරිත් මෙන්ඩිස් , පහර දීමේ චෝදනා වට ලක්වූ ඉඳුනිල් විජේනායක ( වර්තමානයේ විශේෂඥ කායික වෛද්‍යවරයෙකු ලෙස සේවය කරයි) , සහ ගැටුම ආශ්‍රිත චෝදනාවට ලක්වූ අමිල ඉසුරු ලෙනදූව ලොකුගේ ( වර්තමානයේ විශේෂඥ මනෝ වෛද්‍යවරයෙකු ලෙස සේවය කරයි -තමන් මෙම පහර දීම කලේ නැති බව අමිල ඉසුරු ලෙනදූව ලොකුගේ පවසා සිටියි.  )  මෙන්ම හෙද නිලධාරියෙකු වූ චතුරං සමීර ගෙන් ද කරුණු විමසුවෙමි. 

මුලින්ම වෛද්‍ය  ඉඳුනිල් විජේනායක පැවසුවේ මෙය අතීත සිද්ධියක් නිසා මෙය ගොඩ නොගත යුතු මෘත ශරීරයක් බවයි. එහෙත් මාගේ අදහස වූයේ මෙම සිදුවීම පශ්චාත් මරණ පරීක්‍ෂණයකට ලක් කිරීම මගින් අප වර්තමාන සරසවි සිසුන්ටද පණිවිඩයක් දෙන බවයි. එනම් ඔබ විසින් සරසවි ජීවිතයේදී යම් අකටයුත්තක් සිදු කලහොත් එය වසර දහයකට හෝ විස්සකට පසුවද ඔබව හඹාගෙන එන බවයි. කෙසේ නමුත් වෛද්‍ය විජේනායක පැවසුවේ තමන් මෙම පහර දීම කලේ නැති බවත් එහෙත් ශිෂ්‍ය සංගමයේ කැඳවුම්කරු නිසා විශ්ව විද්‍යාල තමන්ව පරිපාලකයන්  විසින් තමන්ව මේ සිද්ධියට පටලවන ලද බවයි. මේ සඳහා ඔහු මහාචාර්‍ය සුසිරිත් මෙන්ඩිස් මහතාගේ පරිපාලනයට දොස් කියයි. 

මා විසින් වෛද්‍ය  ඉඳුනිල් විජේනායකව සාකච්චාවට ලක් කල විටදී ඔහු මාගේ සමහර ප්‍රශ්න  මඟ හරින බවත් සමහර කරුණු වසන් කරන බවටත් හැඟීමක් මා තුල ඇති විය​. එහෙත් ඉදිරි කාලයේදී කරන සාකච්චා වලදී ඔහු මීට වඩා ඍජු ලෙස පිළිතුරු දෙනු ඇතැයි මා බලාපොරොත්තු වෙමි. 

වෛද්‍ය රුවන් එම් ජයතුංග 

(වෛද්‍ය  ඉඳුනිල් විජේනායක ගේ පැහැදිලි කිරීම සහ මහාචාර්‍ය සුසිරිත් මෙන්ඩිස් ගේ ප්‍රකාශය  දෙවන කොටසින් බලාපොරොත්තු වන්න ) 

මේජර් මැංගුස්ටින්




එක සැරයක් මම පලාලි වලට යන්න රත්මලාන එයා පෝට් එකට යන කොට මට හදිසියෙන් කෝල් එකක් ආවා. කතා කලේ  මෙඩිකල් කෝ එකේ සාජන් කෙනක් " සර් සර්ට මේජර් මැංගුස්ටින් කියලා සර් කෙනක් කතා කරා පුලුවන් නම් දැන්  කෝල් එකක් දෙන්න කිව්වා .සරුත් පලාලි එනවා කිව්වා  " 

මම උඩ ගියා මේජර් මැංගුස්ටින් ??? මට දුන්න නම්බර් එක අරගෙන බලන කොට තමයි තේරුනේ මේජර් වොන් ගුස්ටයින්. මේ නම සාජන්ට ඇහිලා තියෙන්නේ මේජර් මැංගුස්ටින් කියලා. මේජර් වොන් ගුස්ටයින් වොලන්ටියර් ඔෆ්ෆිසර් කෙනෙක්. ජර්මානු සම්භවයක් සහිත. හොඳට සිංහල පුලුවන් ඒ වගේම ඉංග්‍රීසිත් නියමට දන්නවා. ඒත් ජර්මන් බෑ. මගේ හිතේ ඉන්ජිනියර්ස් යුනිට් එක. එතරම් උස මහත කෙනෙක් නෙවෙයි ප්‍රිය මනාප ඔෆිසර් කෙනෙක්. මේ වෙන කොට පෙන්‍ෂන් ගිහිල්ලා වෙන්න ඕනේ. 

Friday, July 6, 2018

අනුර කුමාර දිසානායකගේ කතාව කුජීතයි

විමල් වීරවංශගේ මවත් සොහොයුරියත් මානසික රෝගීන් බවත් ඔවුන් දෙදෙනාම අංගොඩ මානසික රෝහලේ නේවාසිකව සිට ප්‍රතිකාර ගෙන තිබෙන බව අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තු විවාදයකදී පවසා තිබේ. 

මෙය කිසිසේත්ම  පිළිගතහැකි නොහැකි මානසික රෝගීන්ට අපහාස කරන්නා වූ ප්‍රකාශයකි. විමල් වීරවංශ මහජන මුදල් හොරා කෑ  චෞරයෙකු බව ඇත්තය​. ඒ නිසා අපට ඔහු පිලිබඳ  විවේචන තිබේ. එහෙත් මෙවැනි පිළිකුල් දනවන ප්‍රකාශයක් අනුර කුමාර දිසානායකගේ මුවින් පිටවීම නම් කුජීතය​. 

Thursday, July 5, 2018

වෛද්‍ය සුසිත සේනාරත්න පිලිබඳව



වෛද්‍ය සුසිත සේනාරත්න විසින් සිදු කරන වංචනික ක්‍රියා පිලිබඳව ලිපියක් කළම්බු ටෙලිග්‍රාෆ් අඩවියේ පළවී තිබේ. 

සුසිත සේනාරත්න ඉගෙනුම ලැබුවේ සෝවියට් දේශයේය​. ආර්ථික දුෂ්කරතා තිබූ පවුලක උපත ලැබූ ඔහුට දුප්පත්කමේ නාරාවලෙන් ගොඩ ඒමට අත හිත දුන්නේ හිටපු තානාපතිවරයෙකු වූ වැන්ඩකර්ට් මහතාය​. වරක් මුදල් නොමැතිව ශර්මිතෝවා ගුවන් තොටුපලේ රැඳී සිටි සුසිත සේනාරත්නට එවකට ඔහු ඉගනුම ලබමින් සිටි ඔඩෙස්සා නගරය වෙත යාම සඳහා මම මඟ වියදම් දුන්නෙමි. මා මේ  දුන් දේ කියා පානවා නොවේ. සත්‍ය අතීතය පෙන්වා දෙනවා පම​ණි

ආර්ථික දුෂ්කරතා ජය ගන්නා මිනිසුන් පසුව හොරුන් බවට රූපාන්තරණය වන අන්දම මා විසින් නොයෙක් විට දැක තිබේ. ඇත්ත වශයෙන්ම එය ඛේදයකි. පහත දැක්වෙන්නේ  චින්තිකා ද සිල්වා විසින් වෛද්‍ය වෛද්‍ය සුසිත සේනාරත්න විසින් සිදු කරන අක්‍රමිකතා හෙළි කරමින් ලියන ලද ලිපියයි. 


දූෂණයේ දොවොල: දිනකට මිලියන 4ක් පාඩු ලබන ශ්‍රී ජයවර්ධනපුර මහා රෝහල

 චින්තිකා ද සිල්වා 

කළම්බු ටෙලිග්‍රාෆ් වෙත වාර්තා වන අන්දමට ශ්‍රී ජයවර්ධනපුර මහා රෝහල දිනකට මිලියන 4 ක පාඩු ලබමින් පවත්වාගෙන යනු ලබයි. මෙම රෝහලෙහි සභාපති වනුයේ රාජපක්ෂ රෙජීමයෙහි මෙන්ම වත්මන් සෞඛ්‍ය අමාත්‍යවරයාගේද කුප්‍රකට අතවැසියකු වන වෛද්‍ය අතුල කහඳලියනගේ විසිනි. කහඳලියනගේගේ සේවාධූර කාලය දේශපාලන ගැති බවින් ලබාගත් තනතුරු වලින් ගර්භිත එකකි. ඔහු විසින් එසේ ලබා ගත් සෞඛ්‍ය​ සේවා අධ්‍යක්ෂක ජෙනරාල් තනතුර වෛද්‍ය ටෙරන්ස් ගාමිණි ද සිල්වා විසින් අධිකරණයේදී අභියෝගයට ලක් වූ අතර ඔහු වංචනික ලෙස පශ්චාත් උපාධි වෛද්‍ය ආයතනයේ පශ්චාත් උපාධියක් හදාරන බව පෙන්වමින් පූර්ණ කාලීනව සේවයේ නියුතුව සිටියදී එය හෙළි වීම නිසා පශ්චාත් වෛද්‍ය උපාධි අධ්‍යනයෙන් ඉවත් කරන ලද්දෙකි. තවද ඔහු මෙම පශ්චාත් උපාධියට ලියාපදිංචි වී තිබුනේ නිල බලයෙන් එම ආයතනයේ කළමනාකාර මණ්ඩලයේද සාමාජිකයකුව සිටියදීය. නිමල් සිරිපාල සිලවා ගේ නිර්ලජ්ජී අමාත්‍ය ධූර කාලය තුලදී  සෞඛය අමාත්‍යංශ ලේකම් ධූරය තෙක් ඉහල නැගී කහඳලියනගේ නීති විරෝධී පත්වීම් ලබාගැනීම, ඒවා සුරක්ෂා කිරීම සහ දිගින් දිගට පවත්වාගෙන යාමෙහි විශේෂඥයෙකි. ශ්‍රී ජයවධනපුර මහා රෝහලෙහි 2015 මාර්තු 26 දින සිට නීතිවිරෝධී ලෙස අධ්‍යක්ෂක කාර්යාලය අත්පත් කරගෙන සිටින ඊනියා අධ්‍යක්ෂක වෛද්‍ය සුසිත සේනාරත්නගේ ඉටු දෙවියකු ලෙස කටයුතු කරනු ලබන්නේ ඉහත සඳහන් කහඳලියනගේය.

සම්පූර්ණ ලිපිය කියවීම සඳහා පහත ලින්කුව ඔබන්න 
https://www.colombotelegraph.com/index.php/chinthika-de-silva-2-july-2018/


Find Us On Facebook