Thursday, March 30, 2017

වදනී සහ අණ්ඩ කෝෂ

 

හලාවත රෝහලේ සිටි ද්‍රවිඩ වෛද්‍යවරියක වූ වදනී ඉතා මිත්‍රශීලී තැනැත්තියකි. ඇයට සිංහල කතා කිරීමට අපහසුය​. එහෙත් ඇය අපගෙන් අසමින් සිංහල වචන ඉගෙන ගත්තාය​. මෙසේ ක්‍රමක් ක්‍රමයෙන් සිංහල ඉගෙන ගත් ඇය සෞඛ්‍යය අමාත්‍යාංශයේ භාෂා නිපුනතා විභාගයට පෙනී සිටීමට අදහස් කලාය​. ඇයට අවශ්‍ය වූයේ සිංහල භාෂා නිපුනතා විභාගයට පෙනී සිටීමටය​. මේ නිසා වදනී වෙනදාටත් වඩා වැර වෑයමින් සිංහල වචන ඉගෙන ගත්තාය​. 

මෙම විභාගයේදී අපේක්‍ෂකයා / අපේක්‍ෂිකාව අදාල භාෂාවෙන් රෝගීන් ගෙන් ප්‍රශ්න ඇසීම මෙන්ම ඔවුනට උපදෙස් දීම කල යුතුය​. විභාගය  පවත් වන්නේ කොලඹ සෞඛ්‍යය අමාත්‍යාංශයේදීය​. 

සිංහල විභාගයට නියමිත දිනයේදී උදෑසනින්ම වදනී හලාවත බස් ස්ටෑන්ඩ් එකට ගොස් කොලඹ දක්වා යන අන්තර් නගර බස් රථයකට නැගුනාය​. බස් රථයේදීද වදනී සිංහල වචන පාඩම් කල අතර හදිසියේම ඇයට Testicles වලට කියන සිංහල නම කුමක් ද කියා අමතක වූ බැවින් රෝහලේ සිංහල වෛද්‍යවරයෙකුට ඇයගේ ජංගම දුරකථනයෙන් ඇමතුවාය​. 

දැන් බස් රථය වෙන්නප්පුව පසු කරගෙන යයි. බස් රථය මගීන් ගෙන් පිරී ඇත​. වාදනය වන ගීතය අභිබවමින් වදනි ගේ කට හඞ බස්  රථය පුරා පැතිරී යයි. 

" හලෝ හලෝ " ඇය අදාල වෛද්‍යවරයාට කතා කලාය​. මෙම තරුණ වෛද්වරයා සිටියේ ශල්‍යාගාරයේය​. වදනීගේ ඇමතුම නිසා ඔහු තම ජංගම දුරකථනය ගෙන වෛද්‍ය විවේක කාමරයට ගියේය​. 

" වට් ඉස් ද සිංහල වර්ඩ් ෆෝ ටෙස්ටිකල්ස් ? ඇය උක්ත වෛද්‍යවරයාගෙන් ඇසුවාය​. 

" අණ්ඩ කෝෂ " කියා වෛද්‍යවරයා උත්තර දුන්නේය​. 

වට් " අණ්ඩ කෝෂ " වදනී ප්‍රතිරාව කලාය​. 

යියස් " අණ්ඩ කෝෂ " වෛද්‍යවරයා යළි නාම පදය කීවේය 

ඕකේ ඕකේ " අණ්ඩ කෝෂ " නව් අයි නෝ. තෑන්ක් යූ " මෙසේ කියමින් වදනී දුරකථන සංවාදය අවසන් කලාය​. 

වදනී මහ හයියෙන් කතා කල බැවින් බස් රථයේ සිටි මගීන්ට මෙම සංවාදය ඇසුනු බවත් සමහරු කටවල් වසාගෙන සිනාසුනු බවත් මෙම බස් රථයේ ගමන් කල වෙනත් වෛද්‍යවරයෙක් පසුව අපට කීවේය​. 

වෛද්‍ය රුවන් එම් ජයතුංග 

Wednesday, March 29, 2017

ජී.අයි.ඞී. ධර්මසේකර ; හෞතිකවාදයේ සිට අධ්‍යාත්මික වාදය දක්වා ගිය දීර්ඝ ගමන

ජී.අයි.ඞී. ධර්මසේකර එදා කස්ත්‍රෝ අනුගමනය කළේය. අද ඔහු අනුගමනය කරන්නේ අනගාරික ධර්මපාල තුමාගේ මාවතයි. හෞතිකවාදයේ සිට අධ්‍යාත්මික වාදය දක්වා ගිය දීර්ඝ ගමන ගැන අසා දැන ගැනීමට මම අනගාරික ධර්මසේකර හමු වීමට ඔහුගේ කළුතර අසපුවට ගියෙමි. මේ අනගාරික ධර්මසේකර කියන කතාවයි.


 ‘මම විශ්වවිද්‍යාලයෙන් පිට වූයේ 1966 අවුරුද්දේ. මම හදාරලා තිබ්බේ ආර්ථික විද්‍යාව, ඉතිහාසය, හා සිංහල යන විෂයන්. කුඩා කාලයේ සිටම අපිට දුෂ්කරතාවයන් තිබුනා තාත්තා මුදල් නාස්ති කලා. අම්මා තමයි පවුලේ බර කර ගැහුවෙ. මම කුඩා කාලයේ සිටම එළවළු වගා කලා. ඒ කරලා පවුලේ බර අඩු කරන්න උදව් උනා. මම ළමා ගොවියෙක්. උදැල්ල අතට ගන්න කොට මගේ වයස අවුරුදු 11යි. මම වගා කරලා එළවළු විකුණලා මුදල් අම්මාට දුන්නා. මේවගේ අසීරුවෙන් තමයි මම විශ්වවිද්‍යාල අධ්‍යාපනය නිම කලේ.

විශ්වවිද්‍යාල අධ්‍යාපනය නිම කරලා මම තාවකාලික ව ගුරු රැකියාවක් හොයා ගත්තා, සුනේත‍්‍රා දේවී පිරිවෙනේ. නැවතිලා හිටියේ බෝඩිමක. මට දේශපාලන කටයුතු පිළිබදව විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලැබූ කාලයේ සිටම උනන්දුවක් තිබුනා. 1966 වෙන කොට අපි දේශපාලන කණ්ඩායමක් ගොඩ නගා ගෙන හිටියා. අපි ආකර්ශණය වෙලා හිටියේ ෆිදෙල් කස්ත්‍රෝගේ දේශපාලන ක‍්‍රම වේදයන් පිළිබඳව. මම, ජයකොඩි. ලාල් පරාක‍්‍රම, රුවන් පතිරණ, බලන්ගොඩ ජයසේකර. මේ කණ්ඩායමට හිටියා. එහෙත් සන්නද්ධ වීමක් මුල් කාලයේදී තිබුනෙත් නැහැ.

1967 මට විජේවීර මුණගැසුනා. ජයකොඩි හරහා වරක් විජේවීර ජයකොඩි එක්ක මගේ බෝඩිමට ආවා. අපි ? 10 සිට උදේ 4 වෙනකම් කථා කළා. මට හැඟුනා විජේවීරට යමක් කළ හැකි අයෙක් ලෙසට. ඔහු කෙරෙහි ගරුත්වයක් ඇති උනා. එදා විජේවීරකථා කලේ මොස්කව් වල වෛද්‍ය උපාධිය නිමකළ අයකු ලෙසට අපිට කොමියුනිස්්ට් පක්ෂය පිළිබඳව විශ්වාසය තිබුනේ නැති බව විජේවීර දැන ගෙන හිටියා. ඒ වාගේම 1966 අපි පිහිටවපු සමස්ත ලංකා උපාධිධාරි සංගමය ගැනත් විජේවීරට අවබෝධයක් තිබුනා. විජේවීර කිව්වා මට සැලැස්මක් තියනවා. එන්න මාත් එක්ක වැඩ කරන්න කියලා.

අපේ දෙවන සාකච්ඡාවට ඞී.ඒ. ගුණසේකර, පේ‍්‍රමපාල, ආවා. විජේවීර ගුණසේකර හරහා පෙන්නුවා එයාට කම්කරුවන්ගේ සහයෝගයකුත් තියනවා කියලා. මෙහෙම කථා කරලා 1967 මම තීරණය කලාවිජේවීර සමඟ එකතු වීමට.

විජේවීර ඉන්දියානු ව්‍යාප්තවාදය ගැන කථා කළා. උඩරට දෙමළ කම්කරුවා කන්ද උදළු ගානවා. පොළොව කිරිබත් ගෙඩිය වගේ පිම්බිලා වහින කොට පස් සේදීගෙන යනවා. තව අවුරුදු පහක් යනකොට උඩරට කඳු වල කලූගල් ඉතිරි වෙලා පස ජලාශ වලට සේදී යනවා. කියලා ප‍්‍රකාශ කලා. මේක අපේ ඇඟට වැදුනා. විජේවීරසැලලිහිණි සංදේශයේ කවි කීවා. එක කවියක සඳහන් වෙනවා කැළණි ගඟ නිල් පාටයි කියලා. අද කැළණි ගෙඟ් පාට සංසන්දනය කරන්න කිව්වා. ඒක මඩ පාටයි.  මේක ගැන දොස්තර එස් .ඒ. වික‍්‍රමසිංහ ලියලා තිබුනත්, විජේවීර මේක උපහැරණ දාලා කිව්වාම හොඳට ඇඟට වදිනවා. විජේවීර ප‍්‍රකාශ කළා.
කඳුඋඩ ඉඳගෙන දෙමළ කම්කරුවන් ගල පෙරලූවොත් සිංහල ගම් චප්ප වෙනවා කියලා.

විජේවීර හමුදා ආණ්ඩුවක් ගැන අපිව බය කලා. කිව්වා ජේ. ආර්. භයානක මිනිහා. ඇමරිකන් 7 වෙනි නාවික හමුදාව ඉන්දීය සයුරේ. හමුදා කුමන්ත‍්‍රණයක් එනවා. ජේ. ආර්. ඩඞ්ලිව යටපත් කරගෙන නැගිටිනවා. ත‍්‍රීකුණාමල වරාය ඇමරිකාවට දෙනවා. මේ එක්කම මහා මර්ධනයක් එනවා. ප‍්‍රති විප්ලවය එන්න කලින් අපි එක රැුයින් බලය අල්ල ගන්න  ඕනේ. ක්ෂණික ප‍්‍රහාර දීමක් එක්ක බලය අලල්ලා උදේ අපේ කොඩිය දාන්න  ඕනේ. රජයේ ගොඩනැගිලිවල.

මේ සැලැස්ම අනුව අපි වැඩ කලා. පන්ති පැවැත්වූවා රට පුරාම. 1969 වෙන කොට සන්නද්ධ වෙන්න පටන් ගත්තා. විජේවීර මට කිව්වා කළුතර දිස්ත‍්‍රික් නායකයා වෙන්න. සිංහරාජයේ පුහුණුවීම් කරන්න, කළුතර සිංහ රෙජිමේන්තුවට පහර දෙන්න සූදානම් වෙන්න කියලා. අපේ මේ වෙනකොට හිටියා. 600ක් පමණ පිරිසක්.

1969 මැද විතර වෙනකොට විජේවීරයි මමයි අතර යම් යම් මත භේද ඇති වෙන්න පටන් ගත්තා. අපිව කපා දැමීමක් වගේ දෙයක් මම දැක්කා. අපිට කියුබන් ලයින් කාරයෝ කියලා ටික ටික කොන් කරනවා. ඒවගේම ප‍්‍රකාශ වෙලා තිබුනා ධර්මසේකරලා ඇතුලූ කට්ටිය ලෙඩ කාරයෝ කියලාත් මේ නිසා අපි විජේවීර හමුවෙන්න උත්සාහ කළා. මාස පහක් උත්සාහ කලත් හමුවෙන්න ලැබුනේ නැහැ.

පියතිලකව මුන ගැසුනා. මම කිව්වා අපට ලොකු මහත්තයා හමු වෙන්න  ඕනෑ කියලා. පියතිලක කිව්වා ලොකු මහත්තයා, ඒ කියන්නේ විජේවීර හමුවෙන්න මේ දවස්වල අමාරුයි කිව්වා. මම ඇහුවා ලොකු මහත්තයා ඉන්නේ කොහේද කියලා. මට ඉන්න තැන කිව්වේ නැහැ. මෙහෙම බලලා අන්තිමට මම කිව්වා. ලොකු මහත්තයා එක්ක කතා කරන්න ලැබෙන්නේ නැත්නම් අපි වෙන්වෙලා යනවා කිව්වා. සුමාන දෙකක් ඇතුලත පියතිලක පැමිණියා. විජේවීර හමුවෙන්න දිනයක් අරගෙන. ඔහු කිව්වා බලන්ගොඩ බස් ස්ටෑන්ඞ් එකට හවස 5ට එන්න කියලා. අපි කට්ටිය විස්සක් විතර නියමිත දවසේ 4.30 වෙන කොට බලන්ගොඩ ස්ටෑන්ඞ් එකට ගියා. කට්ටිය දෙන්නා තුන්දෙනා කිව්ව හැටියට විසිරිලා හිටියේ. රෑ 7 වෙනකං හිටියා. විජේවීරආවේ නැහැ.

පියතිලක ආවා. මම ඇහුවා කෝ ලොකු මහත්තයා කියලා. පියතිලක කිව්වා ලොකු මහත්තයා අද හම්බවෙන්න බැහැ ලොකු මහත්තයා ඉන්නේ දුරක කිව්වා. මම ගත් කටට කිව්වා මම අද ආවේ ලොකු මහත්තයා හමු වෙන්න. මම ලොකු මහත්තයා හම්බවෙලයි යන්නේ කියලා. පියතිලක මහත්තයෝ මම  ඕනෑම කතරගමක එන්නම් .ලොකු මහත්තයා හම්බ වෙන්න.

පියතිලක පුදුමයෙන් වගේ බැලූවා. මගෙන් ඇහුවා කොහොමද දන්නේ ලොකු මහත්තයා කතරගම ඉන්නේ කියලා. මට තේරුණා පියතිලකට ‘‘මම  ඕනෑ කතරගමක’’ කිව්වහම මිනිහා හිතුවේ මම විජේවීර ඉන්න තැන දැනගෙනයි කතා කලේ කියලා. ඒ පාර අපි සූදානම් වුනා පියතිලකත් එක්ක කතරගමට යන්න. රෑ බසුත් නැහැ. අමාරුවෙන් ආපු බස් එකක වැල්ලවායට ගියා.

වැල්ලවායෙන් බහින කොට රෑ 2යි. කට්ටියට හොඳටම බඩගිනියි. අපි ? කඬේකට ගියා. 21 පිරිසක් දැකලා මුදලාලි ඇහුවා කොහේ යන කට්ටියක්ද කියලා. මම කිව්වා අපි වන්දනාවේ යනවා කියලා. අපි ආප්ප කන ගමන් කඬේ ගුවන් විදුලියේ යන පිරිත් ඇහැව්වා. මම කිව්වා පිරිත්හඬ ඉතා මධුරයි කියලා. පියතිලක ගත් කටටම කියාපි, පිරිත්වල මොන මධුරකමක්ද මේවා කියනකොට ලංකාවේ විප්ලවය කරන්න බැහැ. හණමිටි කිව්වා. මම පොඞ්ඩක් ආවේග ශීලී උනා. ‘පියතිලක මහත්තයෝ ඔයා කියන්නේ පිරිත් පොත වගේ අපේ උරුමයත් හණමිටි කියලද ’ ඇහුවා. පියතිලකත් අත්හැරියේ නැහැ. කියාපි ‘ ඕවා ගිනි තියලා දාන්න  ඕනෑ.’ කියලා.

මට තරහා ගියා. අපි හයියෙන් වාද කරනවා. ඒ අස්සේ කඬේ මුදලාලිත් ආවා. ‘මහත්තයා මොකක්ද ගිනි තියන්න  ඕනෑ’ පියතිලකගෙන් ඇහුවා. මට තේරුණා එන පොට හොඳ නැහැ කියලා. මුදලාලි අපි දෙන්නා විහිලූවක් කර ගත්තෙ මේ නිකං.’’ ඒක එහෙමද කියලා මුදලාලි ගියා. අපි බිල ගෙවලා යනකොට මුදලාලි පියතිලකව ඇහෙන් පෙන්නලා කියනවා ‘අර මහත්තයාට ඔළුව හොඳ නැහැ වගේ.’ මම සැක නොහිතන විදියට හිනාවෙලා උත්තර දුන්නා. ‘ඔව් ටිකක් එහෙමයි.’ කියලා.

අපි රෑ දෙගොඩහරියේ වාහනයක් එනකං ඉන්නවා.එතනත් අපි වාදේ. මම අන්තිමට පියතිලකට පැවසුවා ‘මට මේ කරුණ ගැනත් ප‍්‍රශ්නයක් තියනවා. මම මේක ලොකු මහත්තයට කියනවා’

 අපි වාහනයක් බලාගෙන ඉන්න කොට ටිපර් එකක් ආවා. ටිපර් එකේ රියදුරාට මම අවශ්‍යතාවය කිව්වාම රියදුරා ඉල්ලූවා රුපියල ගානේ එක්කෙනාගෙන්. කතරගමට ගිහින් දාන්න. අපේ ඔක්කෝම විසි එක් දෙනෙක් ඉන්නවා. මම රුපියල් විසි එක එකතු කරලා ඩ‍්‍රයිවර්ට දෙන්න යනකොට පියතිලක කියනවා ‘රුපියල් 21 වැඩියි. රුපියල් 10 ඇති කියලා.’ මම සැර උනා. පියතිලක මම ඩ‍්‍රයිවර් එක්ක එකඟ වුනා. රුපියල ගානේ ගෙවන්න. ඔයාගේ සල්ලිත් මම දෙන්නම් දැන් ප‍්‍රශ්නයක් නැහැනේ. මම කිව්වා.
 ඒ ටිපර් එක අපිව කතරගමට ගෙනිච්චා. කතරගම බැස්ස හැටියේම පියතිලක පොඩි පාර්සලයක් පෙන්නුවා. ‘ඩ‍්‍රයිවර් සල්ලි වැඩියෙන් ගත්තට හිලව්වෙන්න මම ටිපර් එකේ තිබුනු පාර්සලය හොරකම් කරා කියලා කිව්වා’

 මට පියතිලක ගැන කේන්තියක් වගේම පිළිකුළකුත් ආවා. ‘‘ඒක මොන නීච වැඩක්ද.’’ මම කිව්වා ඒ පාර්සලේ තිබුනේ ටිපර් එකේ ක්ලීනර් ගේ කමිසයකුයි, සරමයි. මම පියතිලකට බැන්නා. ‘‘පියතිලක මහත්තයෝ මා  ඕ සේතුං කියලා තියනවා ජනතාවගේ ඉඳිකටුවක්වත් තරම දෙයක් සොරෙන් ගැනීම විප්ලවවාදියෙකුට සුදුසු නැහැ කියලා.’’ පියතිලක කට වහ ගත්තා.

 අපි විජේවීර හමුවෙන්න යනකොට විජේවීර ගැමියෙක් වගේ උඩුකය නිරුවත්ව කරට තුවායක් දාගෙන හිටියා. විජේවීර එහෙම ඉන්නවා දැක්කාම මට හිතුනේ මෙයා ගැමියන්ට කොච්චර සමානවද ඉන්නේ කියලා. මගේ තරහා ගතියත් නිවුනා.

 මාව දැක්ක හැටියේ විජේවීර ඇහුවා ‘සේකර මහත්තයා මොනවද තියන ප‍්‍රශ්න’ කියලා. මම අපේ ප‍්‍රශ්න කිව්වා. අපේ ප‍්‍රශ්න තමයි. එක රැයකින් බලය අල්ලන්න බැරි වුනොත් කරන්නේ මොනවාද? බහු ජනතාව සංවිධානය කිරීමක් වෙන්නේ නැහැ. ඒක කල යුතුයි. විප්ලවයට පෙර යන කරුණ කීවා.

විජේවීර උත්තර දුන්නා. අපට වෙන විකල්ප නැහැ. ඇමරිකන් රූකඩ ආණ්ඩුව එන්න කලින් අපට බලය අල්ලන්න වෙනවා. කාලයක් නැහැ. මම පීයතිලක එක්ක වෙච්ච විවාදේ පිරිත් පොත, ජාතක කතා පොත ගිනි තියන්න  ඕනෑ කියපු ප‍්‍රකාශය ගැන මොකද කියන්නේ කියලා මම ඇහුවා.

විජේවීර යළි පිළිතුරු දුන්නා. ‘සාහිත්‍ය සංස්කෘතිය ගැන කතා කරන වෙලාවක් නෙවෙයි මේක. ඒක බලය අල්ල ගත්තට පස්සේ මතුවන දෙයක් කියලා. අපි උදේ අටේ ඉඳන් රෑ 11 වෙන කං කතා කලා. අන්තිමේදී අපේ ප‍්‍රශ්නය විසඳුනා වගේ පෙනුනා.

ජයකොඩි ග‍්‍රනේඞ් එකක් හැඩයට හඳපු චීනච්චට්ටි කවරයක් විජේවීරට පෙන්නුවා. ඒක දැකලා විජේවීරගොඩාක් සතුටු උනා. මෙන්න මෙහෙම වැඩ කරන්න  ඕන. පොඩි පොඩි මතභේද අත්හැරලා. ජයකොඩි සහෝදරයාගේ සන්නදධ වීමට සුදානම හොඳයි මේ විදිහට අපිට බෝම්බ හදන්න පුලූවන් යැයි විජේවීරකිව්වා.

මට එතනදී ගැටලූවක් ආවා. මේ වගේ කවරයක් තුලට පිපිරුම් ද්‍රව්‍ය දාන්නේ කෙසේද? ජයකොඩි පෙන්නුවේ කවරයක් විතරයි. මේක වැඩ කරයිද වගේ ප‍්‍රශ්න ඒත් එක ඇහුවේ නැහැ. මොකද මම කකුලෙන් අදින ප‍්‍රශ්න අහනවා කියලා හිතයි කියලා.

 අපි ගැටළුවක් නැතුව විජේවීරගෙන් සමුගෙන ආවා. ආපසු දිස්ත‍්‍රික්කයට ඇවිත් වැඩ කරන කොට යළිත් කැපිලි අපිව අයින් කරලා කියලා තමයි රාවය යන්නේ.

 මේ වෙන කොට මට උණ හැදිලා වමනේ යනවා. හොඳටම අමාරුයි. මාව රාගම රෝහලේ නැවැත්තුවා සේලයින් දුන්නා. මම පුරා දවස් 11ක් ඉස්පිරිතාලේ ගත කලා. ඥාණපාල කියන සහෝදරයා මාව බලන්න ආවා. ඇවිත් කිව්වා අපි සිංහරාජයේ ආයුධ සන්නද්ධව පුහුණු වෙනවා කියලා. පොලිසියට ඔත්තුවක් ගිහිල්ලා පොලිසිය එනවා සෝදිසි කරන්න කියලා කිව්වා.

 මට හොඳටම උණ. ඇඟ් ශක්තිය බිංදුවක් වත් නැහැ. උණ විකාරයෙන් මට පේනවා පොලිසියට එනවා. මම ඇඳ එක්ක පාවෙලා යනවා. රෑ 2ට විතර මට පේනවා ඈතින් ඥානපාල මට අත වනනවා. මම අමාරුවෙන්ම නැගිට්ටා. වාට්ටුවේ මිසී නිදි. මම හිමීට වාට්ටුවෙන් පිටවෙලා මහ පාරට ආවා. ඥානපාල මගේ ඉදිරියෙන් යනවා. ඥානපාල කිව්වා පොලිසිය බස් ස්ටෑන්ඞ් එකේ අපි රේල් පාර දිගේ යමු කියලා. මම එකඟ වුනා. මම රේල් පාර දිගෙ යනවා. ඥානපාල ඉදිරියෙන් යනවා. ඒ එක්කම මහා ධාරානිපාත වර්ෂාවක් ආවා. මම හොඳට තෙමි තෙමී තෙත බරි වුනා.

මට පියවි සිහිය ආවා. ඥානපාල පේන්නවත් නැහැ. පිටිපස්සෙන්  මොකක්දෝ එළියක් එනවා. මොහොතකදී මට තේරුණා මම ඉන්නේ රේල් පාර මැද කියලා. මම ඉවතට පැන්නා. ඇසිපිය හෙලන මොහොතකදී කෝච්චිය මාව පසු කරලා ගියා මම බේරුනේ කෙස් ගහෙන්.

මම ඥානපාලව දැක්කට ඒ හැබැයින්ම නෙවෙයි. උණ විකාරෙට ආපු මායාවක් මට යන්න තැනක් නැහැ. මම යළිත් රෝහලට ගියා. රෝහලේ පිරිස ඇවිස්සිලා. අමාරු උණ ලෙඩෙක් අතුරුදහන් වීම පිළිබඳව. මගෙන් ඇහුවා කොහේද ගියේ කියලා. මම කිව්වා. උණ විකාරෙන් මම ඇවිදගෙන ගියා. වැස්සට තෙමුනා ඒ නිසා ආවා කියලා. ඒ අය මගේ ඇඟ පිහිදාගන්න දීලා තෙත රෙදි ඉවත් කරලා අඳින්න බෙඞ් ෂීට් එකක් දුන්නා. හැබැයි උදේ වෙන කොට මගේ ලෙඬේ සනීපයි.

රෝහලෙන් ටිකට් කැපුවාම මම කුරුණෑගලට ගියා. කුරුණෑගල විල්බාවේ ෆැරැුන්සිස් හාමිගේ ගෙදර. කට්ටිය එක්ක දවස් තුනක් සාකච්ඡුා කළා. අපි එක්ක පනස් හතක් විතර හිටියා. ඒ සාකච්ඡුා වලින් 1970 මාර්තු වෙන කොට අපි අළුත් කන්ඩායමක් හැදුවා. මාතෘ භූමී ආරක්ෂක සංගමය කියලා.

1971 මාර්තු වලදී අපි තීරණය කළා වියට්නාමයේ ඇමරිකාව කරන ජන ඝාතන වලට විරෝධයක් ලෙසට කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලයට පැනලා පත‍්‍රිකා බෙදන්න. වීදුරු කඩන්න.

අපේ කට්ටිය ඇමරිකන් තානාපති කාර්යාලයට පැනලා මුරට හිටපු රාලහාමිලා දෙන්නව යටත් කර ගත්තා. බය කරන්න සද්දේ විතරක් තියන පිපිරුම් හානි නැති බෝම්බ 2 ක් ගැහුවා. ඇමරිකානු කොඩිය බිමට බාලා ගිනි තියන්න. කෙනෙක් කොඩි ගහට නැග්ගා. නගින්න අමාරුයි. ලිස්සලා යලි පහලට එනවා. ග‍්‍රීස් ගහේ නගිනවා වාගේ.

ප‍්‍රහාරයට තිබුනු කාලය විනාඩි 3 යි. කාලය ගියොත් පොලිසිය වට කරනවා. පිරිස ඇමරිකානු තානාපති කාර්යාලයේ අසල තිබුනු වාහන 7ක් විතර කොඩිගහ ළඟට ගෙනල්ලා වාහනවලට ගිණි තිබ්බා. ඒ ගිණි ජාලාව එක්ක කොඩියත් පිච්චුනා.

කට්ටිය විසිරී යද්දී අයි.පී. කරුණාරත්න අහම්බෙන් එතනට ඇවිල්ලා.එයා එනකොට කොල්ලූපිටිය  පොලිසියේ රාලහාමිලා දෙන්නෙක් අත උස්සගෙන ඉන්නවා දැකලා.  මෙතන්ට පැන්නා. කළබලය දැකලා සාක්ෂියට කෙනෙක්ව අල්ලා ගෙන ජීප් එකට දා ගන්න ගියා. කණ්ඩායමේ හිටපු එදිරිසිංහ සාක්ෂිකාරයා බේරා ගන්න ගියා. අයි.පී.කරුණාරත්න දැඩිව සාක්ෂිකාරයා අල්ලා ගෙන හිටපු නිසා ඔහු ගන්න අමාරු උනා. ඒ නිසා බැරිම තැන එදිරිසිංහ අයි.පී. කරුණාරත්නට පිහියෙන් ඇන්නා. අයි.පී.කරුණාරත්න මළා.

 මේ අස්සේ මේ සිද්ධියට ආපු කලින් සිවුරු ඇරපු කෙනෙක් පොලිසියට අහු උනා. ඒක උනේ මෙහෙමයි.

ඇමරිකානු තානාපති කාර්යාල ප‍්‍රහාරය ගැන කට්ටිය විද්‍යාලංකාරේ බෝඩිමක සැලසුම් කර කර ඉන්න කොට මේ මෑතකදී සිවුරු ඇරලා හිටපු කෙනා ආවා. මිනිහා දොර ලඟ හිටපු නිසා සැලසුම අහගෙන හිටියාදෝ කියන සැකයක් ඇති උනා. ඇත්තෙන්ම මිනිහා ආවේ සැලසුම් කට්ටියේ කෙනෙක්ව හමුවෙන්න. පිරිස මේ පුද්ගලයා ව කාමරයේ හිරකරලා ප‍්‍රහාරයට යන්න හදන කොට මිනිහාව දන්න යාළුවා කිව්වා මූ හොඳ එකෙක්. අපේ වැඬේට මූවත් ගමු කියලා. පැට්‍්‍රල් බෝතලයක් අතට දුන්නා.

මේ මිනිහත් පිරිස එක්ක තානාපති කාර්යාලයට ගියා. ඒත් මොනවත් නොකර බලාගෙන හිටියා. පිරිස පහර දීලා විසිරිලා යනකොටත් මේ මෝඩ මනුස්සයා පැට‍්‍රල් බෝතලය අතේ තියාගෙන වාහන ගිනි ගන්නවා බලා ගෙන ඉඳලා. පොලීසිය එනකන් මිනිහා එතන. එයාගේ මාර්ගයෙන් පොලිසිය තොරතුරු ලබා ගත්තා.

මට අයි.පී. කරුණාරත්නගේ මරණය ගැන කනගාටුයි. ඒක ඛේදවාචකයක්. මම එදිරිසිංහට කිව්වා. ‘එදිරි, මේක සිදු නොවිය යුතු දෙයක්. අපි සැලසුම් කළේ වීදුරු කඩලා කොඩිය ගිනි තියන්න විතරයි. එදිරිසිංහ කිව්වා එයාටත් වෙන විකල්පයක් තිබ්බේ නැති බව.

මේ ප‍්‍රහාරය විජේවීර දැක්කේ එයාලාගේ ප‍්‍රහාරයට විරුද්ධව කරපු කඩාකප්පල්කාරී ක‍්‍රියාවක් හැටියට. ඒත් මට එහෙම දෙයක් කරන්න අවශ්‍යතාවක් තිබුනේ නැහැ.

 ( අනගාරික ධර්මසේකර පවසන පරිදි මෙම ප‍්‍රහාරයට අනුගාමිකයන්ගේ ඉල්ලීම පරිදි  ඔහු  සහභාගී නොවීය. 1971 අපේ‍්‍රල් මාසයේ දිනමිණ පුවත්පතේ පොලිස් නිලධරියා මරා දැමීම නිසා සැකපිට ඇන්තනී  ක්ෂේවියර් යන පුද්ගලයකු අත් අඩංගුවට ගෙන ඇති බවට පුවතක් පල විය – කතෘ)

1971 අපේ‍්‍රල් 5 දා ප‍්‍රහාරයේ දී මම හිටියේ ගමේ. ප‍්‍රහාරය ගැන මම දැන ගෙන හිටියේ නැහැ. 6 දා පොලිසියෙන් මාව අල්ලන්න පැන්නා. මම සැඟවුනා. මෙහෙම අවුරුදු 2 විතර සැඟවිලා හිටියා. බෙන්තර, ඉඳුරුව ප‍්‍රදේශ වල අපේ ව්‍යාපාරයට මුදල් හොයන්න මම ඔක්කම්පිටියට ගියා.

මැණික් ගරන්න. එහෙම ගිහිල්ලා ඉන්න කොට 1973 අපේ‍්‍රල් 18 වෙනිදා පොලිසියෙන් මාව අත්අඩංගුවට ගත්තා. පොලිසියෙන් එනකොට මම හොඳටම නිදි. පොලිසිය මට මාංචු නින්දෙන්ම දාලා. තමයි නැගිට්ටෙව්වේ. මාව ගෙනිච්චා සී.අයි.ඞී. එකේ 4 වන තට්ටුවට. පහර දුන්නා. කිව්වා අපි දන්නවා උඹ ජේ.වී.පී. නොවෙයි කියලා. ඒත් උඹ තවත් කැරැුල්ලකට කැස කවනවා. ඒ නිසා අපි උඹව හඳිසි නීතිය යටතේ රඳවා ගන්නවා.

මගෙන් කට උත්තර ගන්න හමුදා මූලස්ථානයට ගෙනිච්චා. මගෙන් කට උත්තර ගත්තේ ඩෙන්සිල් කොබ්බෑකඩුව මහත්තයා. මගේ තුවාල දැකලා යුධ හමුදා රෝහලේදී මට ප‍්‍රතිකාර ලබා දුන්නා. කොබ්බෑකඩුව මහත්තයා මට කියනවා ඔයාව අත්අඩංගුවට ගන්න මම 1972 මාලේවන වටකරා. 1110 භට පිරිසක් සමඟ. ඔයා අපේ ඇස් වහලා පැන්නා. ඔයාගේ දක්ෂකම ගැන මම අගය කරනවා. ඒත් මේ විදිහට. අපේ සිංහල කොල්ලෝ කැරලි ගහලා මැරිලා යනවාට මට දුකයි.

මාව මිලිටරි පොලිසියේ මාසයක් තියා ගත්තා. මෙහෙම හදිසි නීතිය යටතේ අවුරුදු හතරක් මාව මහර සහ මැගසින් බන්ධනාගාරවල රඳවා ගෙන හිටියා. හිරේදී සමහර ජේ. වී. පී. සාමාජිකයෝ මට ගහන්නත් ආවා. නන්දන මාරසිංහ මාව දැකලා ඇහුවා ‘අපි ඔක්කොම දැන් එකට හිරේ. ඔහෙලා අපිට තාම   සී.අයි.ඒ. කාරයෝ කියනවද?’ කියලා.

මට හිරේදී කිහිප වතාවක් විජේවීර මුහුණට මුහුණ හමු උනත් විජේවීර මගේ මුහුණවත් බැලූවේ නැහැ. වරක් අපි බන්ධනාගාර ඩිස්පැන්සරියේ එක ලඟ හිටියත් එයා මාත් එක්ක කථාවට ආවේ නැහැ.

මමයි, විජේවීරයි අතර මත ගැටුම් තිබුනා. වරක් මගේ පොතක් මුද්‍රණය වෙන කොට මුද්‍රණාලයට කඩා වැදිලා පොත් පවා ගිනි තිබ්බා. 88 භීෂණ කාලයේ මව ඝාතනය කරන්නත් උත්සාහ කළා. විජේවීර තුළ තිබුණා මතවාදී ආඥදායක තත්වයක්. තවත් විප්ලවවාදී මතයකට ඉඩ දුන්නේ නැහැ. ඔහු 1970 යුගයේ කෘර චරිතයක් නොවෙයි 1988 විතර, වෙනකොට බලකාමය නිසා ඔහු වෙනස් වෙන්න ඇති. 

විජේවීර මත්පැන්, විරෝධියෙක්.විජේවීර නිසා තරුණයන්ට දස දහස් ගණනක් මත්පැන් බීම නැවැත්තුවා. මේ ගැන කවුරුවත්ම කථාකරලා නැහැ. ඔහු තුළ හොඳ නරක දෙකම තිබුනා.

 විජේවීර හා මා අතර භේදය උත්සන්න කළේ දෙවන පෙළ නායකයකු වූ සනත් බොරළුකැටිය හා ලොකු අතුල. එහෙත් දැන් මම ඒ අතීතය දෙස බලන්නේ වඩාත් උපේක්ෂාවෙන්. ඒ කාලයේ ඒ අයට ඒ පිළිබඳව තදබල අවශ්‍යතාවක් තියෙන්න ඇති. උප නායකත්වයට ඒකට දොස් කියන්න බැහැ.

1970 වේදී මම අනාවැකියක් කිව්වා. ඉතා ඉක්මණින් මේ රටේ විජේවීරගෙ මූලිකත්වයෙන් ලේ වැගිරීමක් වෙනවා. තරුණයන් බිලි දීමක් වෙනවා. කියලා. රොසැන්ටල් කියන පුද්ගලයා විජේවීර ඝාතනය කරන්න උත්සාහ කලා. කියන එක හා ඔහු බිත්තර වෙළෙන්දෙකු ලෙස වෙස්වෙලාගෙන විජේවීර හෙව්වා කියන එක පිළිබඳව යම් සත්‍යයක් තියෙන්න පුළුවන්. රොසැන්ටල් කිරිබත්ගොඩ ප‍්‍රදේශයේ තරුණයෙක්.

1969 දී මා තුළ අදහසක් තිබුණා 1975 දී විතර ලංකාවේ කැරැුල්ලක් ඇතිකරන්න බහුජන පදනමක් සහිතව. ඒත් 1971 කැරැුල්ල අවිධිමත්ව අයථා කාලයේදී ආවා එතකොට සමගි පෙරමුණු රජය ජනප‍්‍රියයි. මගේ ඒ අදහස 1977 දී ක්ෂය උනා.

බන්ධනාගාරයේ දී මම බෞද්ධ දර්ශනය පිළිබඳව හැදෑරුවා. ත‍්‍රිපිටකය කියෙව්වා. මට මතකයි මම පොඩි කාලේ 2500 බුද්ධ ජයන්තියට සිල් ගත්තා. යළි මා තුල බුද්ධ ධර්මය කෙරෙහි ඇල්මක් ඇති වෙන්න පටන් ගත්තා. ඒක අධ්‍යාත්මික විප්ලවයක් ලෙස හඳුන්වන්නට පුලූවන්.

මට විජේවීර හෝ ජේ.වී.පී. එක සමඟ වෛරයක් නැහැ. මම දැන් ප‍්‍රචන්ඩ අරගලය, අවිආයුධ, අත්හැරපු කෙනෙක්. මම දැන් බෞද්ධ දර්ශනය අනුව වෙන ගමනක් යනවා. 1999 වර්ෂයේ මම අනගාරික වුනා. දැන් මම විශ්වාස කරන්නේ ආධ්‍යාත්මික විප්ලවයක් ගැන පමණයි.

අධ්‍යාත්මික ශක්තිය පිළිබඳව දැන් මට විශ්වාසයි. ආයුධ බලයට වඩා 2004 සුනාමියේදී මම ජීවිතේ ගලවා ගත්තේ මෙම ශක්තියෙන් කියා හිතනවා. ‘දේශපාලන අරමුණු මුදුන්පත් කර ගැනීම සඳහා ආයුධ අතට ගැනීම නොකල යුතුය.’ කියන මතයේ මම ඉන්නේ. විදේශ ආක‍්‍රමණයක් ආවොත් මිසක අභ්‍යන්තර දේශපාලන කටයුතු වලදී ආයුධ අතට ගැනීම කිසි සේත්ම අනුමත කරන්න බැහැ.

(වෛද්‍ය රුවන් එම් ජයතුංගගේ 71 කැරැල්ල ආරම්භයේ සිට අවසානය දක්වා පුර්ණ සමාලෝචනයක් කෘතිය ඇසුරෙනි ) 

Tuesday, March 28, 2017

දේශීය උපාධිධාරී වෛද්‍යවරු සහ විදේශීය උපාධිධාරී වෛද්‍යවරු

  
ඇතැම් දේශීය වෛද්‍ය පීඨ වල උගත් වෛද්‍යවරු සෝවියට් දේශයේ වෛද්‍ය අධ්‍යාපනය ලැබූ අප කෙරෙහි සමහරක් විට අගතියකින් යුතුව ක්‍රියා කල බව  වෛද්‍යවරයෙකු ලෙස ශ්‍රී ලංකාවේ සේවය කල කාලයේදී මට පෙනී ගියේය​. කිසිදු හේතුවකින් තොරව අප කෙරෙහි ද්වේෂයකින් සහ අගතියකින් මෙම පිරිස් කටයුතු කරන්නේ මන්ද කියා සොයා බැලීමට මම උත්සුක වූයෙමි. එම නිසා මෙවැනි කොටස් ගැන මම අධ්‍යනය කලෙමි. මට තේරුම් ගිය පරිදි   නොදැනුවත්කම (ignorance) , ඉරිසියාව,  හීනමානය වැනි සාධක මේ සඳහා හේතුකාරකයන් වන බව පසුව  පෙනී ගියේය​. 

හොඳ පවුල් පසුබිමකින් පැමිණි,  නගර බද පාසල් වලින් අධ්‍යාපනය ලැබූ , ලෝකයේ වෙනත් රටවල් වල තරුණ කාලයේ සංචාරය කොට තිබූ  දේශීය වෛද්‍ය පීඨ වල උගත් වෛද්‍යවරු මෙම දේශීය / විදේශීය විශමතා නොසලකා ක්‍රියා කල බව  මම නිරීක්‍ෂණය කලෙමි. ඔවුන් අප සමග ඉතා සහයෝගයෙන් ක්‍රියා කලෝය​. අප එකට රෝගී සත්කාරයේ යෙදුනෙමු. එකට දැණුම බෙදා ගත්තෙමු. එකට චාරිකා වලට සහභාගී වූයෙමු. එහෙත් අපට නිබඳවම ගැරහූ කැපිලි දැමූ වෛද්‍යවරු ගැන සොයා බැලීමේදී ඔවුන් තුල මෙම  සාධක (පවුල් පසුබිම / උසස් පාසලක අධ්‍යනය කොට තිබීම ) නොතිබූ බව මට නිරීක්‍ෂණය විය. 

ධනවත් පවුල් වලින් ඇවිත්  ප්‍රධාන පෙලේ පාසල් වල එක වසරේ සිට ඉගෙනුම ලබා පසුකාලීනව වෛද්‍යවරු වූ පුද්ගලයන්  හොඳ යහපත් මිනිසුන් බවත් දුගී පවුල් වලින් ඇවිත් ග්‍රාමීය පාසල් වල ඉගෙනුම ලබා පසුකාලීනව වෛද්‍යවරු වූ පුද්ගලයන් නරක මිනිසුන් බවත් මම නොකියමි. එම නිසා මෙය වරදවා වටහා නොගන්න​. ධනවත් දුප්පත් භේධයක් ගැන නොවේ. ආකල්ප පිලිබඳ විමසුමකි. මම කතා කරන්නේ මා ලැබූ අත්දැකීම් මතය​. 

දුගී පවුල් වලින් ඇවිත් ග්‍රාමීය පාසල් වල ඉගෙනුම ලබා පසුකාලීනව බෝසත් වෛද්‍යවරු ලෙස රෝගී සත්කාරයේ යෙදුනු උතුම් මිනිසුන් මම දුටුවෙමි. ඔවුන් උදාර මිනිසුන් වෙති. මනුෂ්‍යත්වයට ගරු කල එවැනි වෛද්‍යවරු මගේ ලෝකයේ වීරයෝය​. 

නමුත් පන්ති අතික්‍රමණය නිසා අනන්‍යතා අර්බුද වලට ලක්වීම හේතුවෙන් විදේශීය වෛද්‍ය උපාධිධාරීන් තම පරම හතුරන් කියා සැලකූ යම් පිරිසක් පිලිබඳව මම අධ්‍යනය කලෙමි. ඔවුන් ගෙන්  සියයට අනූ නමයක්ම පැමිනියේ දුප්පත් පවුල් වලිනි. එසේම ග්‍රාමීය පසුගාමීත්වය මොවුන් තුල බහුලව තිබුනි. මෙම කොටස් අධ්‍යාපනය ලබා තිබුනේ ග්‍රාමීය පාසල් වලය​. සමහරු සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ සඳහා නාගරික පාසල් වෙත ආවද  මොවුන්ට එම පාසල් වලදී නියමිත අනන්‍යතාව නොලැබී යන්නට ඇත​. එම නිසා මනසින් ඔවුන් ජීවත් වූයේ ගමේ පාසලේය​. 

මෙම පිරිස් මුදල් උපයා ගැනීම සඳහා ඉතා පහත් ක්‍රියා වල යෙදුනෝය​. වෛද්‍ය ආචාර ධර්ම බෙහෙවින් කඩ කලහ​. මුදල් වෙනුවෙන් ඕනෑම පාවා දීමක් කලහ​.  මුල් කාලයේදී මහා සමාජවාදීන් ලෙස පෙනී සිටි මොවුන් මුදල් උපයා ගැනීමෙන් පසුව  ඉතා නරක ධනපතියන් වූහ​. ප්‍රයිවෙට් ප්‍රරැක්ටිස් නිසා සෙවණගල ප්‍රාදේශීය රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී ගේ නිවසේ වතුර ටැංකියට රෝහල් කම්කරුවෙකුගේ මාර්ගයෙන් වස මුසු කළ වර්ගයේ වෛද්‍යවරු වූයේ මෙවැනි චරිතය​.  

රෝහල් කම්කරුවන් සමග එකට මත් පැන් පානය කොට තම ප්‍රතිවාදී වෛද්‍යවරුන්ට එරෙහිව රෝහල් කම්කරුවන් උසි ගැන්වූ මෙම කැටගරියට අයත් වූ දොස්තරලා මම දුටුවෙමි. එක් වෛද්‍යවරයෙකුගේ පියා සරම් ඇඳි වඩුවෙකි. ඔහු බාහිර රෝගී අංශයේදී සරම් අඳින දුප්පත් මිනිසුන්ට ගරුත්වයකින් තොරව කතා කලේය​.  ඔහු එවැනි රෝගීන්ට කතා කලේ අයිසේ , තමුසේ කියාය​. සමහර විට මෙම රෝගියා තුලින් අවිඥාණිකව තම පියා ඔහු දුටුවා විය හැකිය​. එහෙත් පියා වෛද්‍යවරයෙකු වූ කොලඹ රාජකීය  විද්‍යාලයේ ඉගෙනුම ලැබූ කොලඹ වෛද්‍ය පීඨයේ වෛද්‍යවරයෙකු මෙවැනි දුප්පත් රෝගීන් ඇමතූවේ ඉතා කරුණාවන්ත ස්වරයෙනි.මම මෙම වෛද්‍යවරු දෙදෙනාගේ හැසිරීම සංසන්දනය කලෙමි. 

මුල් කාලයේදී අපට මෙම කැපිලි කෙටිලි පිලිබඳව තේරුමක් නොවීය​. සමහර විශේෂඥ වෛද්‍යවරු වාට්ටු වලදී ඔවුන් සංචාරයේ යෙදුනු එංගලන්තය​, ජර්මනිය , ඉතාලිය​, ග්‍රීසිය බෙල්ජියම වැනි රට වල විස්තර කියද්දී කට පොපියන නිසා අපද මේ රට වල අප ගිය විස්තර කීවෙමු. එවිට කිසිදු රටකට පය තබා නොතිබූ මෙම  පසුගාමී වෛද්‍යවරුන් ගේ ඇස් ඉරිසියාවෙන් මෙන්ම තරහෙන් ද දිලිසුනු අයුරු මගේ මතකයට නැගේ. 

වරක් උතුරු කොලඹ මහ රෝහලේදී  නාරි හා ප්‍රසව විශේෂඥ වෛද්‍ය අජිත විජේසුන්දර මහතා මා සමග ස්කොට්ලන්තයේ කඳුකරයන් ගැන , බෙල්ජියමේ උස්ටින්ඩේ නගරය ගැන ශල්‍යකර්මයක් කරන අතරතුර කතා කලේය​. මමද උස්ටින්ඩේ නගරයේ ඔහුද ගොස් තිබුනු එක් අවන්හලක් ගැන කීවෙමි. අපගේ දෙබස ඇදී යන විට එක් පසුගාමී වෛද්‍යවරයෙකු අප දෙස හාස්‍ය මුසු බැල්මකින් බලා සිටියේය​. ඔහු පසුව මගේ බොසියට මම රෝගියා ගැන අවධානය යොමු නොකොට වෛද්‍ය අජිත විජේසුන්දරව කතාවට අල්ලා ගෙන සිටි බවට කේලමක් කියා තිබුණි. ඔහු කියූ කේලම නිසා ඒ කාලයේ මම ඔහු සමග උරණ වූවද අද දිනයේ මම සිතන්නේ ලිං මැඩියෙකු වීම නිසා තමා ගැන ඇතිවූ ආත්ම අනුකම්පාව හා මා කෙරෙහි ඇති වූ ඉරිසියාව නිසා ඔහු මෙම කේලම කියූ බවයි.  පසු කාලයක ජීවිතයේ ප්‍රථම වතාවට ඔහුට මාස කීපයකට ඕස්ට්‍රේලියාවට යාමට ඉඩ ප්‍රස්ථාව ලැබුනි. විදේශ සංචාරයෙන් පසු ඔහු  කුඩුකේඩුකම් අඩු කොට වඩාත් ධනාත්මක පුද්ගලයෙකු වූ අයුරු මම දුටුවෙමි. 

වරක් මීගමුව රෝහලේදී කොලඹ , යාපනය , පේරාදෙනිය වෛද්‍ය පීඨ වල වෛද්‍යවරු සමග විදේශීය වල ඉගෙනුම ලැබූ වෛද්‍යවරු අළුත් අවුරුදු පාටියක්  සංවිධානය කලෝය​. උත්සවය දිනයේදී දේශීය වෛද්‍ය පීඨ වල ඉගෙන ගත් වෛද්‍යවරු දෙදෙනෙකු එම පාටිය වර්ජනය කළහ​. හේතුව විදේශීය වෛද්‍ය උපාධිධාරී වෛද්‍යවරුද මෙම පාටියට සහභාගී වීමය​. මොවුන් දෙදෙනා අඩු ආර්ථික ස්ථර වලින් පැමිනි ඉතා පිටිසර පලාත් වලින් පැමිනි දෙදෙනෙකි. දිස්ත්‍රික් කෝටාව මත ඔවුන්ට දේශීය වෛද්‍ය පීඨයකට යාමට හැකි විය​. එහෙත් පාටියට පැමිනි සියළු විදේශීය වෛද්‍ය උපාධිධාරී වෛද්‍යවරු මොවුන් දෙදෙනාට වඩා උසස් පෙළ ප්‍රතිඑල ලබාගෙන තිබීම විශේෂත්වයක් විය​. පසුව මොවුන් උත්සවය වර්ජනය කරන ලද්දේ විදේශීය වෛද්‍ය උපාධිධාරීන් නිතරම ඉංග්‍රීසියෙන් කතා කිරීම නිසා බව කියා තිබුනේය​. විශ්ව විද්‍යාල තුලදී ඉංග්‍රීසියෙන් කතා කිරීම පමණක් නොව සපත්තු දැමීම , කලිසම් ඇඳීම තහනම් කරන්නේ මෙවැනි කොටස් වෙති. 

සුද්දාගේ කාලයේ හමුදාවට නිලධාරීන් ලෙස බඳවා ගත්තේ ප්ලැටූන් එකට මාසයක් කන්නට දිය හැකි වැදගත් සමාජ ආර්ථික පසුබිමක් තිබූ පුද්ගලයෝය​. මෙය යටත් විජිත මානසිකත්වය බව කියා පසුකාලීනව හරක් හොරුද නිලධාරීන් ලෙස හමුදාවට බඳවගත්හ​.  වෛද්‍ය බළකායට  වෛද්‍යවරයෙකු ලෙස බැඳුනු මෙවැනි පුද්ගලයෙක් හමුදාවේ ගොඩනැගිලි උපාංග සොරකම් කොට චාජ් එකේද ගියේය​. එහෙත් කාන්තා සෙබලියන් ලිංගික අල්ලස් ලෙස දීම මගින් ඔහු බේරුනා පමණක් නොව  ඊලඟ උසස්වීමද ලබා ගත්තේය​. මොහු තුලද යුද හමුදාවේ  සේවය කල ෆොරින් ග්‍රැජුවේට්ලා කෙරෙහි අසාත්මිකතා තිබුනේය​. ඊට ඔහුගේ සම්භවයද හේතු කාරක වූ බව මට සිතේ.   

වෛද්‍ය වෘත්තිය යනු රැකියාවක් පමණක් නොවේ. එය දැණුම , ආකල්ප , ආචාර ධර්ම මනා සේ සමබරතාවයෙන් පවත්වාගෙන යා යුතු වෘත්තියකි. එම නිසා වෛද්‍යවරු පුහුණු කිරීමේදී මෙම කරුණු කෙරෙහි අවධානය යොමු කිරීම වැදගත් වේ. 

වෛද්‍ය රුවන් එම් ජයතුංග 

Monday, March 27, 2017

මේඩ් ඉන් එංගලන්ත අපරාදේ කෑලි දෙකයි

 


"මේඩ් ඉන් එංගලන්ත අපරාදේ  කෑලි දෙකයි "  යන වචන  සෙට් එක තිබුනේ කන්දේ ගෙදර ටෙලි නාට්‍යයයේය​. පුතා ගේ අළුත ගෙනා මනමාලිය අතින් කෝප්පයක් හදිසියේ බිඳී යන අතර කන්දේ ගෙදර හාමිනේ හෙවත් නැන්දම්මා ඔළුවේ අත ගහගෙන " මේඩ් ඉන් එංගලන්ත අපරාදේ   කෑලි දෙකයි " කියමින් විස්සෝප වෙන්නීය​. 

වරක් හලාවත රෝහලේදී රෝගීන් ගේ ඔක්සිජන් ප්‍රමාණය සහ නාඩි ගනනය කරන ඇඟිල්ලට මුදුවක් ලෙස පලඳවන පල්ස් ඔක්සි මීටරය බිම වැටී කැඩී ගියේය​. මෙය දුටු දීපා මිස් ඔළුවේ අත ගසා ගත්තේ ශල්‍යාගාරයේ හෙදි සොහොයුරියගෙන් ඒකාන්ත වශයෙන් ඇය බැණුම් අසන නිසාය​. දීපා මිස් ඉතා දුකෙන් පල්ස් ඔක්සි මීටරයේ කෑලි ඇහිඳින විට මම ඇයට කිට්ටු වී " මේඩ් ඉන් එංගලන්ත අපරාදේ   කෑලි දෙකයි " කියා කීවෙමි. 

" මේඩ් ඉන් එංගලන්තද ඇමරිකාද මම දන්නේ නෑ ඩොක්ටර් දැන් මට සිස්ටගෙන් විසුමක් වෙන්නේ නෑ. දැන් මාව අල්ල ගෙන මරාගෙන කයි " කියා දීපා ශෝකී හඞකින් කීවාය​. 

මම පල්ස් ඔක්සි මීටරයේ කෑලි අතට ගත්තෙමි. මෙය දැන් කොලඹ ඒජන්තයන් වෙත යවා අළුත් වැඩියා කර ගත යුතුය​. එයට ලිපි ලියා අනුමැතිය ගෙන කොලඹ යවා යළි ගෙන්වා ගන්නා විට මාස තුනක් වත් ගතවේ. එතෙක් ශල්‍යාගාරයේ නිර්වින්දනය කරන රෝගීන්ව නිරීක්‍ෂණය කිරීමට පල්ස් ඔක්සි මීටරයක් නැත​. ඊටත් වඩා හෙට හෙද සොහොයුරිය ආ විට දීපා හෙදියට බැණුම් කප්පරකි. 

මම මොහොතක් කල්පනා කලෙමි. ශල්‍යාගාරයේ විදුලි උපකරණ අළුත් වැඩියාව දන්නා ඇටෙන්ඩන්වරයෙකු සිටියි.  ඔහු වරක් මගේ කැඩුනු රේඩියෝවක් හදා දුන්නේය​. එසේම හොඳ අත් ගුණයක් ඔහුට තිබේ. මම මෙම ඇටෙන්ඩන්වරයාට කතා කොට  පල්ස් ඔක්සි මීටරයේ කෑලි ඔහුගේ අතට දුන්නෙමි. ඔහු තම ගමන් මල්ල ඇර ඉස්කුරුප්පු වගයක් ගත්තේය​. 

පැය භාගයක් පමණ ඔහු පල්ස් ඔක්සි මීටරය සමග පොර බැදුවේය​. යම් ලෙසකින් මෙය තවත් කැඩුනොත් වගකීම දැන් මගේ උරමතය​. මටද සිස්ටර් ගෙන් දෙහි ගෝනියක් ලැබෙනු ඇත​. මමද නොසන්සුන් වූයෙමි. 

ඇටෙන්ඩන්වරයා පල්ස් ඔක්සි මීටරයේ කැඩුනු කෑලි සූක්‍ෂම ලෙස මල්ටි බොන්ඩ් වලින් අලවා එහි වයර් නියමිත පරිදි සවි කොට " සර් දැන් ගහන්න බලන්න කියා ඔහු පල්ස් ඔක්සි මීටරය මගේ අතට දුන්නේය​. මම එය නියමිත පරිදි සවි කොට රෝගියෙකු ගේ මැද ඇඟිල්ලට පැළඳුවෙමි. එය බබා සේ වැඩකරයි. 
කැඩී ගිය බවක් පෙනෙන්නේද නැත​. 

මෙම ඇටෙන්ඩන් වැඩකාරයෙකි. මෙවැනි නිල නොවන දක්‍ෂයන් ගෙන් රෝහලේ කැඩී බිඳී තිබෙන උපකරණ ඒජන්ත බහිරවයන්ට මුදල් ගිලීමට නොදී අළුත් වැඩියා කර ගත හැකිය​. එහෙත් ඊට අන්තර්  දෘෂ්ටිය බොහෝ ආයතන ප්‍රධානීන්ට නැත​. 

පල්ස් ඔක්සි මීටරය නියමිත පරිදි වැඩ කරන නිසා දීපා සැනසුම් සුසුම් හෙළුවාය​. " අම්මේ යන්තම් ඇති " ඇය මටත් ඇටෙන්ඩන්වරයාටත් ස්තූති කලාය​. 

තවත් වසර කීපයක් රෝහලේ සේවය කල මෙම ඇටෙන්ඩන්වරයා තම හැකියාවන් වලට ලංකාවේ  යෝග්‍යාවස්ථාවන් අඩු   නිසාදෝ ඉතාලිය බලා යන ට්‍රෝලරයක නැග ඉතාලි ගියේය​. දැන් ඔහු ඉතාලියේ ජීවත් වන බවත් හොඳ රැකියාවක් කරන බවත් පසුව මට දැන ගැනීමට ලැබුනි. 

වෛද්‍ය රුවන් එම් ජයතුංග 

Sunday, March 26, 2017

එම්. ජී. නන්දිසිරි ගමගේ සහ 71 කැරැල්ල අත්දැකීම්



අතීත කැරලිකරුවන් සොයා ගිය ගමනේදි මට තවත් සුවිශේෂ පුද්ගලයෙකු මුණ ගැසුනි. ඔහු නමින් එම්. ජී. නන්දිසිරි ගමගේ හෙවත් පේරාදේණිය නන්දේයි. නන්දසිරි ගමගේ 1969 දී එම්.අයි.එෆ්. 5 භූමි භාගයේ විශේෂ ඒකකයට අයත් මෝටර් රථවල අංක ලියා ගනිමින් සිටියදී එම්.අයි.එෆ්. 5 විසින් ඔහු අත් අඩංගුවට ගන්න ලදි. දැනට ශි‍්‍ර ලංකාවේ කාන්තාවන්ගේ සංවර්ධන සේවා සමූපකාර සමිතියේ සාමාන්‍යධිකාරි වන නන්දසිරි ගමගේ මහතා අතීත මතකයන් ගැන කලේ මෙලෙසයි.


 ‘මම විජේවීරගේ දේශපාලන ව්‍යාපරයට ඇදී ආවේ 1967 අග භාගයේදි. එතකොට මම පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පළමු වසරේ අධ්‍යන සිසුවෙක්. මම හැදෑරුවේ සිංහල, ඉතිහාසය ආර්ථික විද්‍යාව යන විෂයන්. මම ශ‍්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ මොස්කව් පිලේ කලක් හිටියා. මට විජේවිරව හඳුන්වලා දුන්නේ කේ . සමරජීව හෙවත් බොගා සමරේ. මීට කලින් විජේවීරව ඉඩම් සංවර්ධන වෘත්තිය සමිතියේ දී හමුවෙලා තිබුනත් හොදින් කථා බස් කිරීමේ අවස්ථාව ලැබුනේ එදා. විජේවීර සමඟ කතා බස් කලාම මට ගොඩාක් පැහැදීමක් ඇති උනා. මට ඇතිවුණා අපේ විමුක්තිදායකයා හමු උනා වගේ හැඟීමක්.

මම එකඟ උනා පන්ති වලට සහභාගී වීමට. මම මහරගම තිබ්බ දේශපාලන පන්තියකට සහභාගී උනා. විජේවීර, පේ‍්‍රමපාල, තමයි පන්ති කලේ. නිමල් මහරගේ සුසිල් වික‍්‍රමත් වරින් වර ආවා. පන්තියට සහභාගි වූ රුවන් පතිරණ පන්තිය වෙලාවේ කක්කුස්සියේ සිගරට් බීලා අසු උනා මතකයි.

1968 විතර විජේවීර අපට තව පන්තියක් කලා පේරාදෙණිය උද්භිද උද්‍යානයේ ගඟ කිට්ටුව ලොකු ගහක් යට. පිරිස 20 විතර ඉන්න ඇති. ගම සිරා, බොගා සමරේ, පොඩි දිසා. ලොකු දිසා, බෝල සමරේ, එහෙමත් මේ පන්තියට සහභාගී උනා. මෙහෙම වැඩ කරගෙන යනකොට මට හිතුනා පූර්ණකාලිනයෙකු වෙන්න. මම විශ්ව විද්‍යාල අධ්‍යාපනය අත ඇරලා පූර්ණකාලිනයෙකු බවට පත් උනා. ඒ කාලයේ බොහෝ පිරිස් විශ්වවිද්‍යාල අධ්‍යාපනය අතහැරලා ව්‍යාපාරයේ පූර්නකාලිනයෝ බවට පත් වෙලා හිටියේ.

මමත් පන්ති පැවැත්තුවා වාරියපොල එහෙම. ඒකට වාරියපොල කරු ආවා. කරවනැල්ලේ විජේවීර සමග දවස් 2 පන්තියක් කළා. මේ පන්තියට පිරිස එකතු කලේ ඥානතිලක. විජේවීර බොහොම නිදිමරලා හිටියේ. පන්තිය කරගෙන යනකොට නින්ද ගියා. අඩ නින්දේ වුවත් පන්තිය විජේවීර කලා. විජේවීර මට ගොඩාක් සමීප උනා. මේ කාලේ විජේවීර යසෝමා සමග පේ‍්‍රම සබඳතාවක් ඇති කර ගන්න හදනවා. කොටා පාරේ පාක් එකේ බංකුවක මාත් එක්ක වාඩි වෙලා විජේවීර මෙ ගැන මාත් එක්ක කථා කරලා තියනවා.

දවසක් ඞී. ඒ. ගුණසේකරලාගේ ගෙදර රැස්වීමක් තිබ්බා ඒකට විජේවීර ආවා. විජේවීර ඉබි මස් කන්න කැමතියි කියලා උයන්න ඉබ්බෙක් බාල්දියක දාලා තිබුනා. දවල් වෙන කොට නිමල් මහරගේ මාව කුස්සියට අරගෙන ගියා. මට කිව්වා ලොකු මහත්තයට කෑමක් දෙන්න මේ බාල්දියේ ඉන්න ඉබ්බා මරන්න කිව්වා. මට ඒකට තරහක් පිලිකුලක් ආවා. මම කිව්වා සහෝදරයා මම ආවේ පවතින සමාජ ක‍්‍රමය වෙනස් කරන්න මිසක් ඉබ්බෝ මරන්න නෙවෙයි කියලා. ගුනසේකර එයාගේ බිරිද සුමනක්කට කියලා වතුර එකක් උණු කෙරෙව්වා. ඒ වතුර එක නටන කොට ගුණසේකර උණු වතුර ඉබ්බා හිටපු බාල්දියට දැම්මා ඉබ්බා අමුතු සද්දයකින් කෑ ගහන්න ගත්තා. එතකොට සුමනක්කා මොන කරුමයක්ද මනුස්සයෝ මේ කරන්නෙ කියලා ගුනසේකරට බැන වැදුනා. ඊට පස්සේ මහරගේ ඉබ්බාව මිදුලට ගෙනියලා පොරවෙන් පලලා උයන්න දුන්නා.

 මම දැක්කේ විජේවීර තුල කුලවාදය යොදා ගැනීම හා කෙටවීම. මේ නිසා අර මුලින් දැනුනු ගරුත්වය ක‍්‍රම ක‍්‍රමයෙන් අඩු උනා. ධර්මසේකර ගැන විජේවීර තුල පැහැදීමක් තිබුනේ නැහැ. ධර්මසේකර විජේවීරට අවනතයි. යටිකූට්ටු වැඩ නැහැ. ධර්මසේකරගේ පන්ති වල ජනප‍්‍රියතාව තිබ්බා. ඒ වගේම ඔහු හදවතට වදින්න කථා කරනවා. ඒ නිසා ධර්මසේකරට ඇති ඉල්ලූම වැඩියි. ධර්මසේකර ඉහල යයි කියන බය නිසා අන්තිමට ධර්මසේකර කපා දාන තැනට ආවා.

 මේ වාගේම තමයි සරත් විජේසිංහ ගැන තිබු බිය. සරත් දක්ෂ ජනප‍්‍රිය නායකයෙක්. එයා කලේ දේශපාලන විද්‍යාව, ඉතා දීප්තිමත් සිසුවෙක්. කෑගල්ලේ පරගම්මන පැත්තේ කෙනෙක්. සරත්ට අඟහිඟකම් තිබුනා. අමාරුවෙන් තමයි අධ්‍යාපනය කරගෙන ගියේ. ඔහු තුල යහපත් ගති ගුණ තිබුනා. සරත් යාළු වෙලා හිටියේ මගේ බැච් එකේ ගෑණු ළමයෙක් එක්ක. මට මතක හැටියට එයාගේ නම විටිලිල්. සරත් නැවතිලා හිටියේ විජේවර්ධන ශාලාවේ. පොඩි දිසා. බෝල සමරේ කොණ්ඩසිංහ කට්ටිය එක්ක තමයි සරත්  ගැවසුනේ. සරත් විජේසිංහට විජේවීර අත‍්‍රිකමණය කිරීමේ අවශ්‍යතාව තිබුනේ නැහැ. සරත්ගෙ මරණය අත්වැරැුද්දක් නිසා සිදුවුනා. ඒ මරණය ආරංචි උනාම මට බොහෝම කණගාටුවක් දැනුනා.

 1970 මැද වෙන කොට මාවත් ධර්මසේකරලාගේ ගොඩට දාලා අයින් කරලා තිබුනේ. ඒ නිසා ව්‍යාපාරේ සන්නද්ධවීම් ගැන හෝ අපේ‍්‍රල් 5 පහරදීම ගැන ම දැන හිටියේ නැහැ. මට 73 පෙබරවාරි වල වැලිකඩ පොලිසියට එන්න කියලා පණිවිඩයක් තිබ්බා මම ගියා ගියාම කිව්වා තමුසේ ජේ.වී.පී. එකත් එක්ක නැති බව අපි දන්නවා. නමුත් ව්‍යාපාරය ප‍්‍රතිසංවිධානය කරන්න තමුසෙ උදව් කරනවාද කියලා. මම උත්තර දුන්නා මගේ එහෙම සම්බන්ධයක් නැහැ කියලා.

 1971 දී බොගා සමරේ පැපොල හැදිලා මාව හම්බවෙන්න පැමිණියා. මම බොගා සමරේව වැල්ලවත්තෙ ගෙදරක නැවැත්තුවා. ගාමිනි බාස් අපේ ගෙදර ආවා ඇවිල්ලා පක්ෂය ප‍්‍රතිසංවිධානය ගැන කිව්වා. ජුලියට්ට වෙඩි වැදිලා ගෙනාවම මම කෝට්ටේ වෙද මහත්තයෙක් අල්ලලා දුන්නා. වෙදමහත්තයාගේ ගෙදර තියාගෙන ප‍්‍රතිකාර කළා. මේ වෙදමහත්තයාගේ තෙල ඉතා හොඳයි. මේක විල්පත්තුවට පවා යැව්වා.

 ඉහත කාරනා කොහොම හරි පොලිසිය දැනගෙන තිබුනා. ගාමිණී බාස් අපේ ගෙදරදි පක්ෂ ප‍්‍රතිසංවිධානය කිරීම ගැන කට උත්තරයක් දීතිබුනු නිසා මාවත් රඳවාගත්තා. මම සී.අයි.ඩි. එකේදි ගාමිණී බාස් ඉදිරිිපිටදි මේක ඇහුවා. ගාමිණී බාස් ඔක්කෝම වමාරනවා. මම කිව්වා පක්ෂ ප‍්‍රතිසංවිධානය ගැන කතා කලාට මම ඊට එකඟත්වයක් දුන්නේ නැහැ කියලා.

 එදා අපි සියළුදෙනා රඳවලා හිටියේ එකම සෙල් එකේ. මට පුදුම තරහක් ආවා. ගාමිණී බාස් එක්ක. මම රැු නැගිටලා අපට පොරවන්න දෙන රෙදි රෙට්ටුවෙන් ගාමිනි බාස්ගේ බෙල්ල තද කරලා මරන්න හැදුවා. සෝමසිරි කුමානායක මාව වැලැක්කුවා. මම අද සතුටුවෙනුවා මගෙ අතින් මිනියක් මැරීමට නොසිදුවීම ගැන.

 සී.අයි.ඞී. එකේ දී විජේවීර දීලා තිබ්බ කට උත්තරය අපට පෙන්නුවා ඒක විශාල පොතක් වගේ. අපි එකට කිව්වා පන්සිය පනස් ජාතකය කියලා. ඒකේ මම ගැනත් සඳහන් වෙලා තිබුනා. අපේ රහසිගත හමුවීම් ගැන පවා ඒකේ තිබුණා. 

 මගේ කට උත්තර ගන්නකොට මට වැඩිය පහර දුන්නේ නැහැ. ඒත් මම දැක්කා ඉතා අමානුෂිකව කළු රංජිත්ට, රුවන් පතිරණනට ගහනවා. ඒක බලන්නට පවා දරුණුයි. කුලියාපිටියේ ප‍්‍රනන්ද කියලා කෙනෙක් හිටියා. මෙයාට බැටන් වලින් ගහන කොට ප‍්‍රනන්ද බිම වාඩි වෙලා භාවනා යෝගියෙක් වගේ ඇස් දෙක වහගෙන හිටියා එයාට දිගටම ගැහුවා ප‍්‍රනන්ද කිසිම ප‍්‍රතිචාරයක් නැතිව ධ්‍යානයකට සම වැදිලා වගේ ඉන්නවා. ටික වෙලාවකින් සී.අයි.ඞී. නිලධාරින් ගැහිල්ල නැවැත්තුවා. ඒ අයටත් පුදුමයි, බයයි මේ දර්ශනය ගැන.

දවසක ලෝක විනාශය ගැන පත්තරේ ලිපියක් තියනවා දැකලා සී.අයි.ඞී. එකේ මහත්වරු අනේ ලෝක විනාශය උනොත් මලා තමයි කිය කියා ඉන්න කොට ප‍්‍රනන්ද කියනවා ලෝක විනාසේ උනොත් මහත්තයලා අමාරුවෙන් එකතු කරන කට උත්තරත් විනාශ වෙයි නේද කියලා.

මාව රඳවලා තිබ්බා වීරවිල, මීගමුව වගේ සිර කඳවුරු වල. වීරවිල එලිමහන් සිර කඳවුරේ දී  කටුගස්තොට රණවන ගමේ උපාලි එක්ක මම කථා කලා. මම එක සිද්ධියක් එයාට කිව්වා. මම විජේවීර එක්ක වැඩ කරන කාලේ වලපනේ මන්ත‍්‍රී ටී. බී. එම්. හේරත්ගේ මල්ලී  වලපනේ ඉස්කෝලෙක උගන්වනවා. මම විජේවීර සහෝදරයාගෙන් ඇහුවා මම මෙයාට කොක්ක ගහන්නද කියලා. විජේවීර කිව්වා සහෝදරයා බය නැතිව කොක්ක ගහන්න ජේ.ආර්. ගේ පුතාටත් අපි කොක්ක ගහලා තියෙන්නේ කියලා. මේ කතාවට මට පුදුම හිතුනා අපිට කියලා තිබ්බේ ජේ.ආර්. ගේ මිරිස්සේ ගෙදර සිට දියාර්ගෝ ගාෂියා කඳවුරට රේඩියෝ සබඳතා තියනවා. ජේ. ආර්. හෙවත් යැංකි ඩිකී ලඟදීම හමුදා ආන්ඩුවක් පිහිටවනවා. එහෙම කියලා. එහෙම එකේ ජේ.ආර්. ගේ පුතා අපේ ව්‍යාපාරයේ ඉන්නවා කියන එක මට අදහන්නත් බැරි උනා.මම යළිත් විජේවීරගෙන් ඇහුවා ජේ.ආර්. ගේ පුතාද? පස්සේ විජේවීර පිලිතුරු දුන්නා පුතෙක් වෙන කෙනෙක් කියලා. රණවන උපාලිත් මට කිව්වා විජේවීර ඒ කථාව එයාලටත් කියා තියන වග මට අද වෙන තුරු ඒ කථාවේ තේරුම හිතා ගන්න බැහැ.

 මට විරුද්ධ චෝදනා නැති නිසා මාව 1973 දි නිදහස් කළා. රැුඩිකල් දේශපාලනයට සම්බන්ධ වීම නිසා මට විශ්ව විද්‍යාල අධ්‍යාපනය කර ගන්න බැරි උනා. ස්ථාවර භාවයත් නැති උනා. ඒ පිළිබඳව යම් කණගාටුවක් තියනවා. ඒත් මම දැන් කරන සේවය ගැන තෘප්තිමත්. මම කාන්තා බැංකුවක් හැදුවා. දේශපාලන ව්‍යාපාරයේ හිටපු එක මිනිසුන් එක්ක වැඩ කරන්න සංවිධාන කටයුතු කරන්න යම් උපකාරයක් උනා. ඒ නිසා මගේ 1971 ශ‍්‍රමය සම්පූර්ණයෙන්ම අහක ගියේ නැහැ.

දේශපාලනය ගැන මම බලන්නේ වඩාත් පුළුල්ව. ධනේෂ්වර ක‍්‍රමයට උත්තරයක් ලෙස මාක්ස්වාදය අපි දොහොත් මුදුන් දීලා පිලිගත්තා. මාක්ස්වාදී අත්හදාබැලීම් තුළ විශාල අඩුපාඩු නරක වැරදි තියනවා. ධනේශ්වර ක‍්‍රමය ඇටමිදුලූ දක්වා දිරාපත් වෙලා. ඒක යම් කාලෙක කඩා වැටෙයි. වර්තමාන සමාජ ආර්ථික ගැටළු වලට මාක්ස්වාදය තුළ පිළිතුරු නැහැ. මේ අනුව මේ අර්ථ ක‍්‍රම දෙකට යල් පැනලා. අපිට අවශ්‍ය ජනතාවාදි සංවාදාත්මක පිවිසුමක් හරහා සමාජ ආර්ථික ප‍්‍රශ්න වලට පිළිතුරු සොයා ගැනීමට.

 71 කැරැල්ල තුල ජනතාවාදී  බවක් තිබුනේ නැහැ. මම හොඳ කථාවක් කියන්නම්. අපි වීරවිල එලිමහන් කඳවුරේ රඳවලා සිටියදි දත් අමාරු හැදුනම දෙබරවැව පාසලේ දන්ත චිකිත්සක අංශයට ගෙනියනවා. කීප දෙනෙක් සැලසුම් කලා දත් බලන්න ගෙනියනකොට පනින්න. මේ අය ඉතා සාර්ථකව දෙබර වැව දන්ත චිකිත්සක අංශයට යනකොට අතරමගදි පැන්නා. ඒත් වැඩි දුරක් යන්න ලැබුනේ නැහැ ගම්මු මේ අය අල්ලලා යළි පොලිසියට භාර දුන්නා. 71 කැරැුල්ල ජනතාවාදි කැරැල්ලක් උනා නම් දෙබරවැව ගම්මු එහෙම කැරලිකරුවන් රජයේ පොලිසියට පාවලා දෙන්නේ නැහැ. මේක කටුක සත්‍යයක්.

(වෛද්‍ය රුවන් එම් ජයතුංගගේ 71 කැරැල්ල ආරම්භයේ සිට අවසානය දක්වා පුර්ණ සමාලෝචනයක් කෘතිය ඇසුරෙනි )

Saturday, March 25, 2017

In Memory of Barrister Andres Olvet (1948 - 2017)

Andy died peacefully at home in Toronto on Sunday, March 19, 2017. Born January 29, 1948 to Jaan Olvet-Jensen and Lydia Olvet (nee Karlson) in Stockholm, Sweden. Former husband of Tiiu Tonisson (nee Ilves). Father of Thomas Olvet (Leslie Kirby) and grandfather of Rein and Silka Olvet. Brother of Suit Olvet (Jane Elton). Survived by many relatives in Canada and Estonia and friends and colleagues in Canada.

Andy was a lively, intelligent boy who taught himself to play piano by ear and learned to manage very big tropical fish aquariums, while becoming a fossil collector and maker of gunpowder. He was a gifted athlete-scholar, playing hockey, his first love, at Ted Reeve Arena when it was still new. At Malvern Collegiate he switched to football. Having skipped a grade, he was a small interior lineman on the bantam team, recovering an opponents' fumble to win the city championship. A Toronto Secondary School Athletic Association all-star at centre, he won Malvern's Powell Memorial Trophy for best combining academic and athletic performance. In the summers, he was a counsellor at Estonian children's summer camp, Jõekääru, where he met his future wife, Tiiu.


He studied philosophy at University of Toronto's Victoria College and there played football in pursuit of the then oldest Canadian football trophy, the Mulock Cup, winning twice. After second year, he was admitted to Osgoode Hall Law School. After articling on Bay Street, he joined a law firm now named Bigelow Hendy LLP, where he became managing partner in a tightly knit team.

He was an active folk dancer and soon returned to playing hockey until age 67. Meanwhile, tennis had become his passion, in Canada and in Cuba. He also swam long distances in Lake Ontario, accompanied along the Beaches by wary lifeguards in rowboats. As a lifelong student of the finer points of the sport of kings, horseracing, he was a winner.

The family will receive friends at the HUMPREY FUNERAL HOME A.W. MILES - NEWBIGGING CHAPEL, 1403 Bayview Avenue (south of Davisville Avenue) from 1:00 p.m. - 2:00 p.m. on Saturday, March 25th, immediately followed by a service of remembrance in the chapel. After the service, there will be a reception at the Estonian House, 958 Broadview Avenue. If desired, donations can be made to the 7th horse in the 8th race at Santa Anita.

Friday, March 24, 2017

අනිත් කොනේ වෛද්‍යවරිය ; බෝධිනී සමරතුංග



බෝධිනී සමරතුංග ගේ අනිත් කොන කෘතිය වෛද්‍ය වෘත්තිය පිලිබඳ සාක්‍ෂාත්කරයකි. එය කතුවරියගේ ආත්මකථනයකි. වෛද්‍ය උපාධිය ලබා ඇය මුලින්ම සේවය සඳහා යන්නේ යුද ගැටුම් වලින් පීඩා ලැබූ උතුරුකරයේ රෝහලකටය​. සිංහල වෛද්‍යවරියක ලෙස ඇයට මෙම ප්‍රදේශය නුහුරුය​. ඇය දෙමල බස නොදන්නීය​. දමිල රෝගීන් බහුතරය වන රෝහලක කෙලෙස තම රැකියාව කිරීමට හැකි වෙත්ද යන දෙගිඩියාවෙන් ඇය රෝහලට පැමිනෙන්නීය​. එහෙත් ඇය සතුව අපූරු මෙවලමක් තිබේ. එනම් මානව දයාවයි. මෙම මෙවළම බොහෝ උගත් සහ කුසලතාවයන් ගෙන් යුක්ත වූ වෛද්‍යවරු අමතක කර දැමූවද කතා නායිකාව එය නැති කර ගන්නේ නැත​. එය උපයෝගී කර ගෙන ඇය තම රෝගීන් අමතන්නීය​. එම නිසා භාෂා සහ සංස්කෘතික සීමා අවහිරයන් ඇය කෙරෙහි බල නොපත්වයි.  

උතුරේ මෙන්ම දකුනේ දුගී ජනතාව  ප්‍රතිකාර සඳහා පැමිනෙන සෞඛ්‍යය අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් විසින් අමතක කර දමන ලද පහසුකම් අඩු රෝහල් වල සේවය කිරීම පහසු නැත​. මම එය අත්දැකීමෙන් දනිමි. දුප්පත් මිනිසුන් ගේ දහඩිය ගඳ , වාට්ටු වල අසූචි   මුත්‍රා සහ පයිනෝල් මිශ්‍රිත ගඳ , තොග වශයෙන් සැරි සරන මැස්සන් මෙන්ම රාත්‍රියේ එන මදුරුවන් , ඉවසීමට අපහසු රස්නය වෛද්‍ය වෘත්තිය යනු මල් යහනාවක් නොවන බව පසක් කරවයි. එසේම රෝගී ප්‍රතිකාරයේදී අවශ්‍ය කරන ඖෂධ හිඟකම , යල් පැන ගිය උපකරණ, රසායණාගාර පහසුකම් නැති බව​, සමහරක් රෝහල් සේවකයන් ගේ මන්දෝහීත්සාභාවයන් මෙන්ම  රෝගීන් විශයෙහි නොසැලකිල්ල අභිප්‍රේරිත  තරුණ වෛද්‍යවරු වෛද්‍යවරියන් වල්මත් කරවයි. 

මේ නිසා බොහෝ වෛද්‍යවරු පත්වීම් ගෙන ආ මුල් දිනයේ සිට පහසුකම් තිබෙන රෝහල් කරා  යාමට උත්සහ දරති. සමහරු  විදේශ ගත වෙති. තවත් සමහරු මෙම බාධකයන් සියල්ල තම වාසියට හරවා ගෙන රෝහලට යාබදව තම පුද්ගලික දිස්පැන්සරිය ආරම්භ කොට දුගී රෝගීන් හූරාගෙන කා වාහන මන්දිර මිලදී ගනිති. රෝහලේ පහසුකම් අඩුවීම​; බෙහෙත් නැතිවීම මෙම මුදලාලි වෛද්‍යවරුන්ට ප්‍රීතිය උපදවයි. එම නිසා තව තවත් රෝගීන් තමන් ගේ පුද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයට  ඇදී එති. රෝහලේ සම්පත් දියුණු කිරීමට ඔවුන් උත්සහ නොගනිති. මෙම අම්බලම් වැනි රෝහල් විවෘත කල දිනයේ සිටම මේ දක්වාම මුස්පේන්තු ආකාරයෙන් කිසිදු වෙනසකින් තොරව පවතී. 

එහෙත් අපගේ කතා නායිකාව සහමුලින්ම වෙනස් චරිතයකි. ඇය  දැණුමෙන් මෙන්ම ආකල්ප වලින්ද පොහොසත් ය​. ඇය  බාධක බිඳගෙන වැඩ කරන අයුරු අපූරුය​. මුලින්ම ඇය දමිළ බස ඉගෙන ගන්නීය​. ද්‍රවිඩ හෙදියන් , ද්‍රවිඩ ඇටෙන්ඩන්වරියන්  ඇයගේ ගුරුවරු වෙති. ක්‍රමක් ක්‍රමයෙන් ඉගෙන ගන්නා දමිළ බස හරහා ඇය තම රෝගීන් සමග සංවාදයේ යෙදෙමින් ඔවුන් ගේ රෝගී තත්වයන් අඳුනා ගන්නීය​. ඔවුනට දයාවෙන් ප්‍රතිකාර කරන්නීය​. කල් යත්ම කිසිදු උච්චාරණ  දෝෂයකින් තොරව දෙමල බස කතා කිරීමේ කුසළතාව මෙම සිංහල වෛද්‍යවරිය ලබා ගනී. සිංහලයන් කෙරෙහි අවිශ්වාසයකින් බලන ප්‍රජාවක් තුල තම සිංහල අනන්‍යතාවය රඳවා ගනිමින් ඔවුන් ගේ විශ්වාසය දිනා ගැනීමට ඇය සමත් වූවාය​. එය සුවිසල් ජයග්‍රහනයකි. මනුෂ්‍යත්වය තවමත් නොමල බව ඇය ඔවුනට පසක් කෙරුවාය​. 

මෙම ප්‍රදේශයේ මිනිසුන් විවිධ රෝග වලින් පෙලෙති. එසේම දරිද්‍රතාවයේ ව්‍යාධි වන නීරක්තය , මන්දපෝෂණය  මෙම ප්‍රජාව පීඩාවට පත් කොට තිබේ. එසේම නූගත්කම , ස්වථාවය පිළිබඳ දැණුම අඩු බව , මිත්‍යා මත නිසා ඔවුන් ගේ කායික මානසික සෞඛ්‍යය බිඳ වැටෙමින් පවතී.  එහෙත් මෙම වෛද්‍යවරිය අධිෂ්ඨාන පූර්වකව රෝගීන් ගේ සෞඛ්‍යය තත්වය ඉහල නැංවීමට කටයුතු කරන්නීය​. 

කායික රෝගී තත්වයන්ට අමතරව යුද ගැටුම් නිසා මේ කළාපයේ ජීවත් වන ජනයා යුද ආතතියේ ලක්‍ෂණ වන කාංසාව සහ විශාදියේ  රෝග ලක්‍ෂණ පෙන්වති. ඇය කායික රෝග පමණක් නොව මෙවැනි මානසික රෝග පිලිබඳව පවා වෛඥානිකය​. හෘධ ශබ්දයට සවන් දීමේන් හෘධ ආකූලතා හඳුනා ගත හැකි එහෙත් විශාදයේ ලක්‍ෂණ නොහඳුනන යාන්ත්‍රික වෛද්‍යවරුන්ට ඇයගෙන් බොහෝ දේවල් ඉගන ගත හැකි බව මම සිතමි. 

 සමහරක් වෛද්‍යවරුන් ගේ අසංවේදීතාවන් නිසා සමස්ථ වෛද්‍යවරු කෙරෙහි ජනතා කෝපය එල්ල වන යුගයක ; කාන්තාවන් ගේ සම්මුතියකින් තොරව ඔවුනට බලෙන් පවුල් සැලසුම් කරවන වෛද්‍යවරියන් සිටින රටක   මනුෂ්‍යත්වය හඳුනන වෛද්‍ය  බෝධිනී සමරතුංග වැනි චරිත පිළිබඳව ලියවිය යුතුය​. 

වෛද්‍ය රුවන් එම් ජයතුංග 

Thursday, March 23, 2017

ජනමාධ්‍ය නිසා සිය දිවි නසාගත් කොටකෙතන නන්ද

 


රත්නපුර කහවත්තේ, කොටකෙතන ගම්මානයේ  වසර 7ක් තුළ  කාන්තා ඝාතන 19 සිදු විය​. ජනමාධ්‍ය විසින් මේ ඝාතන තළු මරමින් විකිණුවා පමණක් නොව කොටකෙතන ගමේ ගෑණු නිරුවතින් ඇළේ නානවා කියාද වාර්තා කලෝය​. ජනමාධ්‍ය විසින් නඩු අසා ඝාතකයෙකු බවට පත් කල කොටකෙතන ගම්මානයේ නිර්දෝශී මිනිසෙකු දිවි නසා ගත්තේය​. ඔහුගේ කතාව අපට කියන්නේ රාවය පුවත් පතේ තරිඳු උඩුවරගෙදර සහ රේඛා නිලුක්‍ෂි ය​. 

.........නන්ද තමන්ගේ පුංචිලා දෙදෙනා ඝාතනය කළායැයි සැකපිට අත්අඩංගුවට ගෙන පොලිස් වධහිංසනයට ලක්වූ දෙදරු පියායි. පොලිස් වධහිංසනයට එහා ගිය සමාජ වධහිංසනයක් ඔහුගේ ඡායාරූප සහ නම මාධ්‍ය හරහා පළවීමෙන් සිදුවිය. සමාජය ඔහු අපරාධකරුවෙකු කළ අතර ඔහු මිනීමැරුම් කළ හැටි මාධ්‍යවල ලීවේය. කීවේය. අන්තිමේදී ඔහු ප්‍රමාණවත් සාක්ෂි නොමැතිව නඩුවෙන් නිදහස් වුණත් මානසිකව විඳි වේදනාව හේතුවෙන් සියදිවි හානි කරගත්තේය. 

නන්දගේ කතාව ලියද්දී අපි නන්ද සියදිවි නසාගන්නට පෙර ලියූ සටහනක් පළකළෙමු. එහි තිබුණේ මාධ්‍යවේදීන් ආමන්ත්‍රණය කරමින් තමන් පුංචිඅම්මලා මැරුවේ නැති බව සඳහන් කර තිබූ සටහනකි. හෙට රිවිර, දිවයින හෝ ලංකාදීප පුවත්පතේ ඔබ මිනීමරුවෙකු කරමින් ඔබ මිනීමැරුම් කළ හැටි පවා ඇතුළත් වාර්තාවක් පළවුණොත් ඔබට කෙසේ මානසිකත්වයක් ඇතිවිය හැකිද? අද රාත්‍රියේ ස්වර්ණවාහිනියේ හෝ හිරු රූපවාහිනියේ පුවත්වලින් ඔබ මිනීමැරූ හැටි ගැන හැඬුම්බර කටහඬකින් පුවතක් කියනු දකින්න ලැබුණොත් ඔබට ඇතිවන හැඟීම කෙබඳුද? නන්දට ඇතිවුණේ එවන් හැඟීමකි. දුමින්ද සිල්වා නම් පුද්ගලයා මිනීමැරුමක් සම්බන්ධයෙන් වැරදිකරු වී සිටියදීත් ඔහුට මිනීමරුවායැයි කියන්නට මාධ්‍ය පෙළඹෙන්නේ නැත. (තරිඳු උඩුවරගෙදර / රේඛා නිලුක්ෂි) 

Wednesday, March 22, 2017

ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා සහ සංග්‍රාමික විඩාව


යුද හමුදාපතිවරයා වශයෙන් ජෙනරාල් සරත් ෆොන්සේකාගේ (වර්තමානයේ  ෆීල්ඩ් මාෂල්) යුදමය නායකත්වයද ප්‍රභාකරන් යුදමය වශයෙන් පරාජය කිරීම සඳහා අනවතරයෙන් බලපාන ලදී. ඊලාම් යුද්දය ජය ගැනීමට ඔහු දුන් දායකත්වය අති විශාලය. ජෙනරාල් සරත් ෆොන්සේකා සම කළ හැක්කේ ජෙනරාල් ජෝජ් පැටන් වැනි කඪෝර නමුත් යුද්දයේ දක්ෂ සේනා හසුරුවීමෙහි සමර්ථ සෙන්පතියෙකුට ය. ඔහු උතුරේ යුද මෙහෙයුම් මනාව දැන සිටියේය. කනිෂ්ට නිලධාරින්ට මෙහෙයුම් වලදී ඔහුට බොරු කිරීමට නොහැකි විය. ඔහු ප්‍රභාකරන්ගේ මර්මස්ථාන බිඳ දමන ක්‍රමය දැන සිටියේය. ඔහුගේ යුද උපක්‍රම ප්‍රභාකරන්ට විනාශය ගෙන ආවේය.

සරත් ෆොන්සේකා දක්‍ෂ සොල්දාදුවෙකි. යුද බිමේ අත්දැකීම් නිසා ඔහු තුල සංග්‍රාමික විඩාව ඇතැම් විට නිරීක්‍ෂණය කල හැකිය​.  සමහර අවස්ථා වලදී  ඔහු තුල මතු වන චිත්තාවේගී අසමබරතාවන් මේජර් ජෙනරාල් කමල් ගුණරත්න විසින් ලියන ලද ‘රණ මග ඔස්සේ නන්දිකඩාල්’ කෘතිය හරහා හඳුනා ගත හැකිය​. පහත දැක්වෙන්නේ ප්‍රභාකරන් මරා දැමූ මොහොතේ මේජර් ජෙනරාල් කමල් ගුණරත්න යුද හමුදාපති සරත් ෆොන්සේකාට දුන් දුරකතන ඇමතුමයි

...තවත් විනාඩි දහයකට පමණ පසුව යුද හමුදාපතිවරයාව දුරකථනයෙන් සම්බන්ධ කර ගැනීමට මා හට හැකි වූයෙන් මා මෙතෙක් කල් මගේ ජීවිතයේ දෙන ලද සතුටුදායකම දුරකථන ඇමතුම ඒ අවස්ථාවේ දුන්නෙමි.
“Sir, Happy news (සර්, සතුටුදායක ප්‍රවෘත්තියක් යනුවෙන් මා ප්‍රකාශ කළ විට “What Kamal?” (මොකක්ද කමල්?)” යනුවෙන් ඔහු ප්‍රකාශ කළේය. “සර් මහ එකා ඉවරයි” යනුවෙන් මා කී විට ඔහු “මොකක්?” යනුවෙන් නැවතත් ප්‍රශ්න කළේය. “Sir, we killed prabhakaran” (සර් අපි ප්‍රභාකරන් මරා දැම්මා)” යනුවෙන් මා කී විට එම ප්රවෘත්තිය අදහාගත නොහැකි වූ ඔහු “What?” (මොකක්ද?) යනුවෙන් ප්රශ්න කළේය. මේ අවස්ථාවේ ඇති වූ දෙබස මෙහිදී එලෙසම ඉදිරිපත් කළහොත් මෙය කියවන අයට එය වඩාත් රසවත් වනු ඇතැයි මා සිතන නිසා එය ඒ ලෙසින්ම ඉදිරිපත් කරමි.
“Sir, we killed prabhakaran”
(සර්, අපි ප්‍රභාකරන් මරා දැම්මා) තත්පර 30ක් පමණ නිශ්ශබ්දව සිටි ඔහු, මා ලලන්ත ගමගේගෙන් ඇසූ පරිදිම, “Sure” (සහතිකද?) “Yes, Sir” (ඔව් සර්) නැවතත් තත්පර 30ක් පමණ නිශ්ශබ්තාවකින් පසු ඔහු, “How do you know it is Prabhakaran” (කොහොමද ඔබ දන්නෙ ඔහු ප්රභාකරන් කියලා?) “Sir, I have the dead body with me” (සර්, මාගේ ළඟ ඔහුගේ මළ මිනිය තියෙනවා) “Okay, you have a dead body, but how do you know it is Prabhakaran’s body”
“Hmm, don’t tell this to anyone, until I tell you.”
“හරි, ඔබ ළඟ මිනියක් තියෙනවා. ඒත් කොහොමද දන්නෙ ඒක ප්‍රභාකරන්ගේම මිනිය කියලා?” “Sir, please believe my word. This is Prabhakaran. Even a grade 4 child will identify this man. This is Prabhakaran. Sir, Please give the good news to secretary defence and president.” (සර්, කරුණාකරලා මගේ වචනය විශ්වාස කරන්න. මේ තමයි ප්‍රභාකරන් ඉස්කෝලේ හතරේ පන්තියේ ඉන්න ළමයෙක් වුණත් හඳුනාගෙන කියයි මේ ප්‍රභාකරන් කියලා. සර්, කරුණාකරලා මෙම සතුටුදායක ප්රවෘත්තිය ජනාධිපතිවරයාටත් ආරක්ෂක ලේකම්වරයාටත් දෙන්න.)
තවත් විනාඩි 5-10ක් පමණ යන විට නැවතත් යුද්ද හමුදාපතිවරයාගෙන් දුරකථන ඇමතුමක් ලැබිණි. සිංහල භාෂාවෙන් කතා කළ ඔහු සහ මා අතර ඇති වූ දුරකථන සංවාදය මෙහිදීද එලෙසම ඉදිරිපත් කිරීමට මා කල්පනා කළෙමි.
(හ්ම්, මම කියනකන් මේ ගැන කිසිවෙකුටවත් කියන්න එපා) යුද හමුදාපතිවරයා මෙම ප්රවෘත්තිය ඔවුනට දීමට කලින් මා ආරක්ෂක ලේකම්වරයාට එය දන්වනු ඇතැයි ඔහුට සිතුණා විය හැකිය. එහෙත් මා විනය ගරුක යුද හමුදා නිලධාරියකු ලෙස එවැනි දෙයක් කිරීමට මාගේ සිතකවත් තිබුණේ නැත. ආරක්ෂක ලේකම්වරයා මා තරුණ නිලධාරියකු සමයේ මාගේ ජ්යෙෂ්ඨ නිලධාරියාව සිටි බැවින් ඔහු කෙරේ ඉතා ගෞරව සම්පන්න හිතවත්කමක් මා තුළ තිබුණද මෙම අතිශයින්ම ප්රීතිජනක මොහොතේ වුවද යුද හමුදාපතිවරයා අබිබවා යමින් මෙම ප්රවෘත්තිය ආරක්ෂක ලේකම්වරයාට දීමට මා උත්සාහ කළේ නැත.
“සර් පැන්නා නම් යුද්දෙ ඉවර වෙන්නෙ නැහැ. ඒත් පැන්නෙ නැහැනේ. අපි මේකව මරලා දැම්මානේ සර්”
“කමල්, දැන් ඔය යකා කොහේද හිටියේ?” “සර් කඩොල් කැලේ.” “දැන් ඊයේ සවස කඩොල් කැලේ පරීක්ෂා කරලා ඉවර වෙලා මට කිව්වා නේද ඔක්කෝම ඉවරයි. හැම බිම් අඟලක්ම අල්ලා ගත්තා කියලා.” “ඔව් සර්” “ඒකේ හිටපු ඔක්කෝම කොටි ඉවරයි කියලත් කිව්වා නේද?” “ඔව් සර්” “එහෙනම් මේකා හිටියේ කොහේද?” “සර්, කඩොල් කැලේ, ඊයේ අපිට මේකව මිස් වෙලා.” “එහෙම මිස් වෙන්නෙ කොහොමද? ඒ කියන්නේ ඔබලා වැඩේ හරියට කරලා නැහැ.” “සර් කළුවර වැටුණු නිසා මිස් වෙන්න ඇති.” “ඔබ වැඩේ හරියට කරලා නැහැ. හරියට කළා නම් මිස් වෙන්න විදිහක් නැහැ. ඕකා පැන්නා නම් මොකද වෙන්නෙ?”
ඒ සමගම කෝපය ඉහවහා ගිය ඔහු මා හට තදින් දෝෂාරෝපණය කරන්නට වූ අතර එය මාගේ යුද්ධ හමුදා ජීවිතය තුළදී ඔහු මා හට තදින් බැණ වැදුණු දෙවන අවස්ථාව විය. මුළු රටම බලා සිටි ප්රභාකරන්ගේ මරණය සිදුකිරීමෙන් පසුව යුද හමුදාපතිවරයාගෙන් බැණුම් අසන මා ගැන මටම මහත් අනුකම්පාවක් මෙන්ම කලකිරීමක් ඇති විය. මා සියල්ල අසාගෙන නිශ්ශබ්දව සිටියෙමි.
“මරලා දාපු එක ඇත්ත. ඒත් ඕකා පැන්නා නම්? වැඩේ කරන්න විශ්වාසය ඇතිව භාර දුන්නට වැඩේ හරියට කළේ නැහැ.” “සර් පැන්නා නම් අප්සෙට් තමයි. ඒත් මේකාට පනින්න ලැබුණේ නැහැ. අපි මේකව පනින්න ඉස්සෙල්ලා මැරුවානේ සර්.” “මැරුව එක ඇත්ත. ඒත් පැන්නා නම්?” “පැන්නෙ නැහැනේ සර්. අපි මේකව මැරුවනේ. දැන් මේකා මැරිලා මිනිය මගේ ළඟ තියෙනවනේ.” ඉන්පසු නැවතත් ප්රශ්න කිරීම් ඇරඹූ ඔහු, “දැන් ඕකා තනියම නොවෙයිනේ ඉන්න ඇත්තේ? තව 7-8 දෙනෙක්වත් ඉන්න ඇතිනේ?” “ඊට වඩා හිටියා සර්” “කීයක්ද 10-15ක්?” “නැහැ සර් ඔක්කෝම 52ක් හිටියා. මේකත් එක්ක ඩෙඩ් බොඩීස් 52ක් එකතු කළා දැනට.” “Whattt? Fifty two buggers have escaped yesterday?”
“ඔහොමද ඔච්චර ලොකු වගකීමක් දුන්නහම වැඩ කරන්නේ?” යනුවෙන් නැවතත් සිය බැණුම් ආරම්භ කළ ඔහු නැවතත් මා හට බැණ වැදීමට පටන් ගත්තේය. තවදුරටත් නිදහසට කරුණු දැක්වීමට යාමෙන් ඔහු තව තවත් කෝපවන බව දැන සිටි මා එතෙක් තිබූ ඉහවහා ගිය ප්රීතිය වෙනුවට හදවත පුරවාගත් මහා කලකිරීමකින් යුතුව සියල්ල අසා සිටියෙමි. එහෙත් ඔහු සාමාන්යයෙන් කෙනෙකුට තදින් බැණ වැදීමේදී භාවිත කරනා වචන සමූහය මා වෙත එල්ල නොකිරීම ගැන සතුටු වූයෙමි.
“Yes sir, but we got all of them and all of them are dead now”


( ‘රණ මග ඔස්සේ නන්දිකඩාල්’ කෘතිය, 834-836 පිටු)’



Tuesday, March 21, 2017

ආදරය කිරීමට ලයිසන්





මිනී කඳු ගොඩ ගැසූ දේශයක 
රුධිර ගංගා මත පීනූ  සමාජයක 
වෛරය ද්වේෂය වගා කල භූමියක 
අන්තවාදයේ ආගම්වාදයේ ජාතිවාදයේ
අනන්ත වූ කුණු තැවරුණු ආකාශයක 
ජීවත් වන දනන් හට ආදරය කරුණාව 
වලංගු නොවන හැටි බලව මිතුර 

උගන්වා තිබෙන්නේ ආදරය නොව
එකිනෙකාට ද්වේශ කරමින් 
විනාශයේ දොරටුව වෙත යාමටයි සබඳ

එව බලව මිතුර
දෙදෙනෙකු පෙමින් වෙළුනු විට
එහි චමත්කාරය නොව 
නොකෙරුණු රාගයේ ඕජස් දකින 
අනෙකාව විනිශ්චය කිරීමට නොපසුබටවන 
දනන් වෙසෙන බොදු ක්‍රිස්තියානි හින්දු 
ආගම් වල පහස ලත්  දේශය 
වහා එව බලව මිතුර 


වෛද්‍ය රුවන් එම් ජයතුංග 

Find Us On Facebook