Thursday, April 30, 2015

ද්‍රෝහියා


          


ග‍්‍රාම නිළධරයා එන තෙක් ඔවුහූ බෝක්කුව අසල පඳුර තුළ සැඟවී සිටියහ. ගොම්මන් කළුවර වැටී ඇති නිසා ඔවුන් පඳුර තුළ ආයුධ සන්නද්ධව සැඟවී සිටින බව කිසිවෙකුට පෙනුනේ නැත. ඇරත් බෝක්කුව අසලින් මේ වෙලාවට ගම්මුන් යන්නේ කලාතුරකිණි. නොනිළ ඇදිරි නීතිය, අවිනිශ්චිතතාව නිසා හිරු බැස ගිය පසු යමෙකු නිවසින් එළියට ගියේ ඉතා හදිසි අවශ්‍යතාවක දී පමණි. මේ නිසා සැඟවී සිටි මිනිසුන් තිදෙනා විමසිලිමත් වූයේ ආරක්ෂක අංශ කෙරෙහි පමණි.


”කෝ.... මූ තවමත් නෑනේ...” මිනිසුන් තිදෙනා අතරින් නායකයා යැයි සිතිය හැකි තැනැත්තා පැවසූවේ නොඉවසිල්ලෙනි.ඔහුගේ අතේ මෙරට නිපදවන ලද තුවක්කුවකි. ”ගල්කටස්” යනුවෙන් හඳුන්වන මෙම ආයුධය තනා ඇත්තේ අඟල් අටක් දිග යකඩ පයිප්ප බටයක් අග කෙළවර පාස්සා එයට ලී මිටක් සවි කිරීමෙනි.

”දවල් පාරට ගියපාර තවමත් ආවේ නැහැ. මට හිතෙන්නේ ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ රැස්වීමට තමයි ග‍්‍රාමයා ගියේ.” නායකයා දෙස බලා මෙලෙස පැවසූවේ කෙට්ටු හීන්දෑරි තරුණයෙකි. ඔහුගේ අතේ උල් පිහියකි.

”කමක් නෑ. කොහේ ගියත් බෝක්කුව උඩින් යන්න එපැයි.” නායකයා පැවසූවේ ස්ථිර හඬකිණි.

”ග‍්‍රාමසේවක මහත්තයා නම් අහිංසකයා.” මෙතෙක් නිහඩව සිටි තෙවැන්නා කීය. ඔහු ඇඳ සිටියේ කොට කලිමකි. ඔහුගේ අත කිසිදු ආයුධයක් නොවීය.

”තිලක්, මිනිහෙක් අහිංසකයෙක්ද, රකුසෙක්ද කියන එක අපට අදාල නැහැ. අපට අවශ්‍ය මිනිහාගේ දේශපාලන දර්ශනය. ඒක ප‍්‍රතිගාමි නම්, දේශ ද්‍රෝහි නම් එතනින් එහාට කථාවක් නැහැ. මෙච්චර අධ්‍යාපන පන්ති කරලත් තමුසේ තාම ගතානුගතික විදිහටනේ හිතන්නේ. මා හිතුවේ දැන් තමුසේ හොඳ දේශපාලන දර්ශනයක් මේ වෙනකොට ලබාගෙන ඇති කියලා.”

නායකයා කීවේ හිසේ පැලදි තොප්පිය වමතින් ගනිමින්ය. දකුණු අතේ වූ ආයුධය ඔහු රෙදි තොප්පියෙන් පිරිමැදීය.

නායකයාගේ වදන් නිසා තිලක් තුළ ඇතිවූයේ ලජ්ජා සහගත බවකි. ඔහුට දේශපාලනයේ ”අ” යනු ”ආ” යනු ඉගැන්වූයේ රණබාහු සහෝදරයාය. උපාධිය සමත්ව සිටියද රැකියාවක් නොමැතිව පීඩනයෙන් කාලය ගතකළ ඔහුට යම් බලාපොරොත්තුවක සේයාවක් ඇති කරන ලද්දේ රණබාහු සහෝදරයා විසිනි. මාක්ස්වාදය, විප්ලවය, පන්ති සටන ඔහු ඉගෙන ගත්තේ මනා උනන්දුවකිනි.

”තිලක් සහෝදරයාට හොඳ බුද්ධියකුත් කරුණු වටහා ගැනීමේ ශක්තියකුත් තියෙනවා.” රණබාහු සහෝදරයා වරක් එසේ කීවේ තවත් පක්ෂයේ සන්නද්ධ නායකයෙකු සමගය. එය ඇසුණු තිලක්ගේ සිතට දැණුනේ සියුම් උද්දාමයකි. එහෙත් රණබාහු සහෝදරයා දැන් කිව් වදන් නිසා තිලක්ගේ සිත මදක් පෑරිණි.

”අපි පක්ෂය වෙනුවෙන් කැප වෙච්චි විප්ලවවාදීන්. පක්ෂයේ නියෝග ඉටු කරන්න අපි බැඳිලා ඉන්නවා. ජීවිතය පූජා කරලා හරි අපි මේ සටන දිනන්න ඕන.” රණබාහු සහෝදරයා කීවේ ස්ථිර හඩකිනි.

මෙම සටන ජයග‍්‍රහණය කළ හැක්කේ කෙළෙසකද යන්න පිළිබඳව තිලක් කල්පනා කොට තිබේ. මෙය ජයග‍්‍රහණය කරන්නේ බෝල්ෂේවික්වරුන් මෙන් හිම මාළිගාවට පහර දීමෙන් ද, නැතහොත් ක‍්‍රැස්ත්‍රෝ මෙන් මොන්කාඩා බැරුක්කයට පහර දීමෙන්ද? ඔහු ඉතිහාසය හාරා අවුස්සා බැලුවේය.

නිර්ධන පංතියේ විමුක්තිය වෙනුවෙන් ඔහුද කැප කිරීම් කොට තිබේ. උද්ඝෝෂණ, වර්ජන වලදී තිලක් දැවැන්ත කාරයභාරයක් ඉටු කළේය. එහෙත් යට බිම් ගතව දේශපාලනය කිරීමත් සමගම ඔහුට පැවරුණේ රහසිගතව කෙරෙන වැඩ කොටසකි.

පොලීසිය හෝ හමුදාව මගින් අත් අඩංගුවට ගන්නා කැරලිකරුවන් මරාදමා තිබූ අයුරු ඔහු සියසින්ම දිටීය. නිරුවත් කොට හිසට වෙඩි තබා මරා දමන ලද කමල්චන්ද්‍ර ඇතුළු පිරිසකගේ මෘත ශරීර දැකීමෙන් ඔහු තුළ ඇති වූයේ දැඩි ආවේගයකි. කමල්චන්ද්‍ර ගුරුවරයෙකු ද විය. ඔහු දේශපාලන රැස්වීම් වලදී ඉතා හොඳ කථිකයෙකි. ඒ හැර කමල්චන්ද්‍ර කිසිදු ප‍්‍රචණ්ඩ ක‍්‍රියාවක නිරත නොවීය. එහෙත් ඔහු ජීවිතයෙන් වන්දි ගෙවා ඇත. ඔහු සමග මරා දමා තිබූ අනෙකුත් තිදෙනා ඔහු හැඳිනගත්තේ නැත.

කමල්චන්ද්‍රගේ මරණයත් සමග ඔහු වඩාත් කල්පනාකාරීව වැඩ කළේය. රාත‍්‍රිය ගත කිරීමට නිවසට නොගිය ඔහු නිදා ගත්තේ කැළෑ රොදකය. නැතහොත් විශ්වාසවන්ත පාක්ෂිකයෙකුගේ නිවසකය.

පෝස්ටර් ගැසීම සඳහා රණබාහු සහෝදරයා නියම කළේ තිලක්ටය. අතින් අඳින ලද ”මවුබිම නැතිනම් මරණය, ”ද්‍රෝහියන්ට දඬුවම් දෙනු” වැනි පෝස්ටර් ඔහු බිත්තිවල ඇලවූයේ රාත‍්‍රී කාලයේදීය. පාප්ප බාල්දිය හා පෝස්ටර් මිටිය අතින් ගත් ලක්සිරි සමගින් ඔහු විදුහල් තාප්පයේ පෝස්ටර් අලවන විට හමුදා රියක් පැමිණියේ අනපේක්ෂිත මොහොතකය.

”දුවමු, ආමි එකෙන්...” තිලක් ලක්සිරිට කීවේ පෝස්ටර් මිටිය කිහිලිගන්නා ගමන්ය. එහෙත් ඔවුන් පාප්ප බාල්දිය අතහැර දැමූහ. ලක්සිරි සමඟ කඩපේලිය අසලට දිවගිය ඔහු බාබර් සාප්පුව අසල වූ, විශාල කාණුවට බැස පලා ගියේ හමුදාවෙන් වෙඩි තැබුවහොත් එය මඟ හරිනු සදහාය.

එහෙත් හමුදා භටයෝ ඔවුන්ට වෙඩි නොතැබුහ. කුණු කාණුව දිගේ බඩගා ගිය ඔවුන් මතු වූයේ ඇලකිනි. කාණුවට නොදෙවෙනි කසල හා දුර්ගන්ධයෙන් යුක්ත වූ අපිරිසිදු ජලය පිරි ඇලේ ඔවුන් කරවටක් ගිලී සිටියේ පැයක පමණ කාලයක් ගෙවා දමමිනි. මෙසේ නිසොල්මනේ සිටියේ හමුදාව මඟ හැරීම පිණිසය.

උසස්පෙළ පාසල් සිසුවෙකු වූ ලක්සිරිගේ මුහුණේ බියක සේයාවකුදු නැත. මොහු දැඩි සිත් ඇත්තෙකු යැයි තිලක් තීරණය කළේ ඒ දිනයේදී ය. එය සනාථ කරනු වස් ලක්සිරි බොහෝ ප‍්‍රහාර වලට සම්බන්ධ විය. අවසන් ප‍්‍රහාරයේ දී රණබාහු සහෝදරයාගේ නියෝගය මත ලක්සිරි ග‍්‍රාමෝදය මණ්ඩලයේ සභාපතිට උල් පිහියකින් ඇන ග‍්‍රාමෝදය සභාපතිවරයාට පිහියෙන් අනින විට ලක්සිරිගේ දෙනෙත් වල තිබූ ගිනිපුපුරු තිලක්ට අමතක කරනු නොහැකි විය. පාසල් සිසුවෙකු මෙතරම් දරුණු වූයේ කෙසේද? ලක්සිරි මෙලෙස පරිවර්ථනයට ලක් වූයේ සමාජ අසාධාරණයන් නිසා නොවේ දැයි තිලක් කල්පනා කළේය.

එහෙත් ලක්සිරි මුවහත් කරනු ලැබුවේ සංවිධානය මඟින් බව තිලක්ට වැටහිණි.

”ග‍්‍රාමයාගේ වැඩ අද ඉවරයි.” ලක්සිරි පැවසුවේ මුවහත් පිහිය ප‍්‍රවේශමෙන් අතගාමිනි. රණබාහු සහෝදරයා හිස වනා එය අනුමත කළේ තිලක් දෙසද බලමිනි. ඔවුනට පිළිතුරු නොදුන් තිලක් අඳුරු බොරළු පාර දෙස බලා සිටියේය. යම් අයෙක් සෙමින්, සෙමින් ඉදිරියට පා නගයි. ඔවුහු වහාම වෙස්මුහුණු පැළඳ ගත්හ.

ඉදිරියට පැමිණෙන්නා තරුණයෙකි. ඔහු ජයසුන්දර ග‍්‍රාම නිළධාරියා නොවන බව දුර තියා වුවද කිව හැකිය. අවුරුදු පනහ පැන සිටි ජයසුන්දර රාළහාමි ඇවිදින්නේ මහළු ගොන් මාල්ලෙකු සේය. ඇවිදින විට ඔහුගේ කය නැමේ. ජාතික ඇඳුම ඇඳ බුලත්විට හපන ඔහු මයිල බාගයක් දුර සිට වුවද හඳුනාගැනිම අසීරු නොවේ.

තරුණයා බෝක්කුව උඩින් ඇවිදගෙන ගියේ ජෝතිපාලගේ ගීයක් මුමුණමිණි. ඔහුට නොපෙනෙන සේ තිදෙනා පඳුරු තුළ සැඟවී ගත්හ. ජයසුන්දර රාළහාමි ප‍්‍රමාද මන්ද? රණබාහු සහෝදරයා නොසන්සුන් විය. ලක්සිරි පමණක් මුවින් කිසිවක් නොකියා උල් පිහියේ මුවාත පිරික්සමින් සිටියි.

”ග‍්‍රාමයාට කවුරු හරි ඔත්තුවක් දුන්නා වත්ද?” මෙවර රණබාහු සහෝදරයා ඇසුවේ තිලක් දෙස හොරහැහින් බලමිණි. එය තිලක් දුටුවේ නම් ඔහුගේ හද පෑරෙනු නිසැකය.

”මූ අද ආවේ නැත්නම් හෙට ගෙදරට ගිහිල්ලා හරි වැඩක් දෙමු.” ලක්සිරි කීවේ දත්කුරු කමිනි.

ජයසුන්දර ඝාතන නියෝගය තිලක්ට ප‍්‍රහේලිකාවකි. ඔහු යූ. ඇන්. පී. කාරයෙක් බව සැබෑය. ඔහු පමණක් නොව ඔහුගේ පරපුරේ සියළු දෙනා පරම්පරාගත යූ. ඇන්. පී. කාරයෝය. එහෙත් ඔහුට දේශපාලන උණ තිබුණේ නැත. ඉතා සාධාරණව රාජකාරි කළ ජයසුන්දර රාළහාමි ගමේ කොයි කවුරුත් සමඟ හිත හොඳින් සිටියේය.

සාමාන්‍ය පෙළ විභාගයට ලියන්නට හැඳුනුම්පත ලබා ගැනීමට පෝර්මය පුරවා දුන්නේ ජයසුන්දර රාළහාමිය. අකුරු ශාස්ත‍්‍රය නොදත් තිලක්ගේ පියා, තම පුතා වන තිලක්ගේ පෝර්මය පුරවන ජයසුන්දර රාළහාමි දෙස බලා සිටියේ ගෞරවයෙන් හා කෘතගුණ සැලකිල්ලෙන් යුතුවය.

”දැන් භාරකාරයා හැටියට අබිලිං මෙතන අත්සනක් දාන්න.” ජයසුන්දර රාළහාමි පියාට පෝර්මය දුන් විට, අත්සන් කිරීමට නොදත් පියා මහපට ඇඟිලි සලකුණ නියමිත ස්ථානයේ තබා තම යුතුකම ඉටු කළේය.

” ඕං අයිඩෙන්ටිකාඞ් වැඬේ හරි. දැන් තියෙන්නේ හොඳින් පාඩම් කරලා විභාගේ පාස් වෙන එකයි.” ජයසුන්දර රාළහාමි පැවසුවේ හිතවත් වැඩිහිටියෙකුගේ විලාසයෙනි.

සාමාන්‍ය පෙළ පමණක් නොව උසස් පෙළ හා උපාධියද සමත් වූ තිලක් හට රැකියාවක් ලබා ගැනීම සඳහා අවශ්‍ය පොලිස් වාර්තා ලබා ගැනීමටද ග‍්‍රාම නිළධාරියා උපකාර කළේ කිසිදු ඊර්ෂ්‍යාවක් හිතේ නොදරමිණි. ”මොහු ඉතා අවංක කාර්යශූර අයෙකු බව සහතික කරමි” යැයි ජයසුන්දර රාළහාමි තිලක්ට චරිත සහතිකයක් නිකුත් කරමින් මුද්‍රා තැබීය. එහෙත් සම්මුඛ පරීක්ෂණ වලට විනා රැකියාවකට ඔහුට අවස්ථාව නොලැබුණි.

රණබාහු සහෝදරයාගේ නියෝග ප‍්‍රශ්න නොකොට ඉටු කළ තිලක් ඔහු සමග මතවාදීව ගැටුණේ සහල් ගබඩාවට ගිනි තැබීමට තැත් කළ අවස්ථාවේදීය. රණබාහු සහෝදරයා සහල් ගබඩාවට ගිනි තැබිය යුතු යැයි තර්ක කළේය. එහෙත් එයට එකඟ වීමට තිලක්ට නොහැකි විය. 

”රණබාහු සහෝදරයා, ගොවීන්ගේ වී මිළට ගන්නේ මේ ගබඩාවයි. මෙතන රැස් කරන වී සමූපාකාරයෙන් අරගෙන යනවා. අපි මේක විනාශ කළොත් ගොවීන්ට වී ටික විකුණා ගන්න විදිහක් නැති වෙනවා. එතකොට වෙන්නේ මුදලාලිලා අඩු මිළට ගොවීන්ගේ වී ගන්න එකයි.”

රණබාහු සහෝදරයා තිලක් දෙස හෙළුවේ අභියෝගාත්මක බැල්මකි. ”තිලක් සහෝදරයා ප‍්‍රශ්න විශ්ලේශණය කරන්නේ මතු පිටින් විතරයි. සහෝදරයා ඔය කියන්නේ මතු පිටින් පෙනෙන සත්‍යය. වී ගබඩාව කියන්නේ ගොවීන්ගේ සටන් ශක්තිය හීන කරන මෙවලමක්. අපි එ්ක විනාශ කරන්න ඕනෑ. එතකොට ගොවීන් විප්ලවකාරී බලවේගයක් බවට පත් වෙනවා....”

රණබාහු සහෝදරයා කෙටි දේශනය අවසන් කළේ ජයග‍්‍රාහි හඬකිණි. ඉන් පසුව තිලක් කිසිවක් කීවේ නැත. එදින රාත‍්‍රියේ ඔවුහු වී ගබඩාවට ගියහ. විශාල පිට්ටු බම්බු වැනි කොන්කි‍්‍රට් ගබඩාවල දොරවල් නාරස්සනයකින් කඩා දැමූ ඔවුහු වි පිරවූ ගෝනි වලට පෙට්රෝල් වත්කොට ගිනි තැබූහ.

”මුරකාරයා පේන්නවත් නැහැ..” තිලක් වටපිට බලා පැවසීය. ඉන්පසු ඔවුහු කාර්යාලය දෙසට ගියෝය. කුඩා කාර්යාලය ද ගිනි දෙවියාට පිදීමට ඔවුන්ට ගතවූයේ සුළු කාලයකි. වී තොග ගබඩාව දුම් දමමින් ගිනි ගනිද්දී ඔවුහූ පළා ගියහ. පසු දින ගබඩාවේ ඉතිරි වී තිබුණේ යෝධ කොන්ක‍්‍රීට් සැකිල්ල පමණි. ගින්න නිසා පිට්ටු බම්බු වැනි සුදු කොන්ක‍්‍රීට් ආවරණ කළු පැහැ ගැන්වී තිබුණි. කාර්යාලය තිබුණු තැන ඇත්තේ අඟුරු ගොඩකි.

ඉන් සතියකට පසු ඔහු ගෙදර ගියේ සුළු වේලාවක් සඳහාය. තිලක් දුටු ඔහුගේ පියා ඔහු දෙස බැලූවේ බිය මුසු දෙනෙතිනි.

”පුතේ පෙරේදා පොලීසියෙන් මෙහෙ ආවා. උඹ ගැන අහගෙන..” පියා කීවේ බියපත් හඬෙකිණි.

”පුතේ... ආපහු මෙහෙ එන්න එපා, උඹව අල්ලගෙන යයි. රන්බණ්ඩාගේ පුතාවත් පොලීසියට ගෙනිච්චලු” මව පැවසුවේ අඬන්නාක් මෙනි.

තිලක් කිසිවක් නොකියා දෙමාපියන් දෙස බලා පිටත්ව ගියේ කඩිනමිනි. ගම්මුන් මුලිච්චි නොවීම සඳහා ඔහු බඩවැටි අස්සෙන් සමන්මලීගේ නිවසට ගියේය. එහෙත් සමන්මලී නිවසේ නොවූවාය. ඇයගේ නිවසද වසා දමා තිබුණි.

”අද උදේ සමන්මලීවයි, අයියවයි හමුදාවෙන් ගෙනිච්චා,” අසල්වැසි කොළුවෙකු වූ මද්දු කීවේය. දෙපා කොර වී ඇති මද්දු ඇවිදින්නේ සැරයැටියක ආධාරයෙනි.

ලැබෙන ආරංචි අනුව මෙහි සිටීම සුදුසු නැත. තිලක් ප‍්‍රධාන මාර්ග මඟ හැර රක්ෂිත ස්ථානයක් බලා ගියේය. කුඩා වන රොදක ඇති ගල් තලාව ඔවුන්ගේ රක්ෂිත ස්ථානය විය. පොලීසියෙන් හෝ හමුදාවෙන් එන විට ගල් තලාව උඩ සිටින සඟයෙකුගේ සංඥවෙන් ඔවුන්ට ගංගාව දෙසට පැන යාමට හැකි වේ. ගංගාව අසල පාලම තරණය කොට ඔවුන්ට නගරයට අවතීර්ණ විය හැක. නගරයේ සැරිසරන දහසක් මිනිසුන් අතර මොහොතක දී ඔවුන්ට අතුරුදහන් වීමට ගත වන්නේ විනාඩි ගණනකි.

”තිලක් සහෝදරයා, මොනවද ආරංචි?” ඔහු දුටු රණබාහු සහෝදරයා ඇසිය.

”සමන්මලීවයි අයියවයි අරගෙන ගිහිල්ලා. මෙලහකටත් මරලා දාන්න ඇති...” තිලක් පැවසුවේ කලකිරීම හා කෝපය මිශ‍්‍ර වූ හඬකිනි.

”ප‍්‍රතිගාමින්ගේ මුර බල්ලෝ” රණබාහු සහෝදරයා කීවේ කෝපය හා පිළිකුල දනවන හඬකිනි. ”මුන්ගේ පවුල්වල එවුනුත් මරලා දාන්න ඕනේ.”

රණබාහු සහෝදරයා ඇතැම් විට ක‍්‍රියා කරනුයේ වෛරයෙන් හා අගතියෙන් බව තිලක් වටහා ගත්තේය. විප්ලවවාදියෙකුට මිනිසුන්ට වෛර කළ හැක්කේ කෙසේද? ඔහු මොහොතක් සිතුවේය. මාක්ස් වාදය හැදෑරිමෙන් පසු ඔහුට විප්ලවවාදියෙකු විමට නොමද ආශාවක් ඇති විය. කැස්ත්‍රෝ, චේ වැනි විප්ලවවාදියෙකු වී මිනිස්සුන්ට විමුක්තිය උදාකර දෙන්නට ඔහුට බලවත් ආශාවක් තිබුණි. එහෙත් දැන් ඔවුන් කරන ක‍්‍රියා ජනතාවට හිතකරව බලපාන්නේදැයි, තිලක් හෘද සාක්‍ෂ්‍යයෙන් විමසිය. එහෙත් සුදුසු පිළිතුරක් නොලැබුණි.

”තන්ත‍්‍රී සහෝදරයා එළිය කන්දට ගෙනිහිල්ලා.” ජාවිගොඩ තිලක්ට පැවසුවේ සංවේගයෙනි.

එළියකන්ද හෙවත් කේ පොයින්ට්, එළියකන්ද වදකාගාරයට ගිය අයෙකු පණ පිටින් පැමිණියේ කලාතුරකිනි.

”තන්ත‍්‍රී අපිව පාවා දෙයිද?” ජාවිගොඩ තිලක්ගෙන් රහසින් මෙන් ඇසිය. තන්ත‍්‍රී විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙකි. දිගින් දිගටම විශ්ව විද්‍යාල වසා තිබූ නිසා ඔහු ව්‍යාපාරයට සම්බන්ධ විය.

”නෑ.. සහෝදරයා, තන්ත‍්‍රී අපිව පාවල දෙන්නේ නෑ. එ්ක මට විශ්වාසයි.”තිලක්ගේ පිළිතුරෙන් ජාවිගෙඩ සැනසුම් සුසුමක් හෙළීය.

”සහෝදරයා..” ජාවිගොඩ තිලක්ට මදක් ළං විය.

”අපි වී ගබඩාවට ගිනි තියපු එකට ගම්මු අපිත් එක්ක කළකිරිලා. දැන් ගම්මැද්දේ අපට සපෝට් එකට කවුරුත් නෑ. සමන්මලීවයි අයියාවයි ගෙනිච්චේ වී ගබඩාව ගිනි තිබ්බට පස්සේ, කවුරු හරි දුන්න ඔත්තුවකට.”

වී ගබඩාව ගිනි තැබීමෙන් පසු රණබාහු සහෝදරයා කී පරිදි ගොවින් ප‍්‍රතිගාමින්ට එරෙහිව අවි අතට ගනු ඇත. එහෙත් ඔර්ලෝසුවේ කටු කැරකෙන්නේ අනිත් පැත්තටය. දැන් ගොවීහු විප්ලවවාදීන් දඩයම් කරති.

රණබාහු සහෝදරයා ඔවුන් අතරට පැමිණි නිසා ඔවුන්ගේ දෙබස ඇන හිටියේය. උක්කුටිකයෙන් හිඳ ගත් රණබාහු සහෝදරයා මී ළඟට කළ යුත්තේ කුමක් දැයි විස්තර කළේය. 

”සමන්මලිවත්, අයියාවත් ගෙනිච්චේ ග‍්‍රාමයාගේ කේලමකට වෙන්න ඕනෑ. දැන් තියෙන්නේ ඌව සයිලන්ස් කරන එක. මට ඔත්තුවක් ආවා හෙට දවල්ට ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ රැස්වීමක් තියෙනවා කියලා. මූ රැස්වීමට ගිහිල්ලා එනකොට බෝක්කුව ළඟදී අල්ලා ගමු.” රණබාහු සහෝදරයා කීවේ නිශ්චිත අයුරිණි.

”හෙට මාත් එක්ක තිලක් සහෝදරයයි, ලක්සිරි සහෝදරයයි යං.” ඊට එරෙහිව කිසිවෙකු කථා නොකළ නිසා යොජනාව ස්ථිර විය. පසු දින සවස් වන විට ඔවුන් සිටියේ බෝක්කුව අසල වූ පඳුරු අස්සේ සැඟවී ගෙනය.

”අන්න කවුද එනවා” ලක්සිරි කලබල විය.

ඔවුහු ඈතට ගොස් නෙත් යොමාගෙන සිටියෝය. ඈතින් එන පුද්ගලයා ඇවිදින විලාශය අනුව ඒ ජයසුන්දර රාළහාමි බව තිලක් වටහා ගත්තේය.

”හරි, හරි, ඒ එන්නේ ග‍්‍රාමයා. දැන් දෙමු වැඩේ.” රණබාහු තුවක්කුව සූදානම් කළේය. ”තිලක් සහෝදරයා තමුසේ අද වැඩේ කරනවා. පෙන්නනවා තමුසේ හොඳ විප්ලවවාදියෙක් කියලා. ව්‍යාපාරයට තියෙන පක්ෂපාතිත්වය පෙන්වන්න තියෙන හොඳ අවස්ථාවක් මේක. ගන්නවා මේ තුවක්කුව.” ඔහු තිලක් අතට තුවක්කුව දුන්නේය.

තිලක් තුවක්කුව අතට ගෙන මහළු පුද්ගලයා තමා ඉදිරියට එනතෙක් බලා සිටියේය.

‘වෙඩි තියන්නේ කොහාටද? හිසටද? නැතිනම් පිටු පා යන විට පසුපසටද?‘ තිලක් කල්පනා කළේය. ග‍්‍රාම නිළධාරි ජයසුන්දර රාළහාමි කාටවත් වැරැද්දක් නොකළ රජයේ සේවකයෙක්. හිතේ සැකේට මරන්න නියම වෙලා. සමන්මලී ගැන ඔත්තුව දුන්නේ වෙන මිනිහෙක් වෙන්න බැරිද? සමන්මලී ගැන ඔත්තුව දෙන එක ජයසුන්දර රාළහාමිට මීට කලින් කරන්න තිබුණේ නැද්ද? ඔහු තුවක්කුව අල්ලාගෙන සිතමින් උන්නේය.

දැන් නිළධාරියා හොඳටම කිට්ටුය. තිලක් තුවක්කුව තදින් ග‍්‍රහණය කළේ ඉලක්කය නොවරදවා ගැනීමටයි. දැන් ජයසුන්දර රාළහාමිගේ මුහුණ ද පෙනේ. පඳුරට මුවා වි සිටින නිසා ග‍්‍රාම නිළධාරියාට තම ඝාතකයා නොපෙනේ. දැන් හොඳම මොහොතයි. තිලක්ගේ දබර ඇඟිල්ල කොකා වෙත ගියේය. එහෙත් ඔහු කොකා ගැස්සුවේ නැත.

”රාළහාමිගේ මුහුණ බල බල මට වෙඩි තියන්න බැහැ. රාළහාමිට පිටිපස්සෙන් වෙඩි තියනව."ඔහු ග‍්‍රාම නිළධාරියාට ඉදිරියට යාමට ඉඩ හලේය. ඔහු පසු කොට ඉදිරියට යන ජයසුන්දර ග‍්‍රාම නිළධාරියාට තිලක් තුවක්කුව මෑනුවේය. එහෙත් ඔහු තවම කොකා ගැස්සුවේ නැත. ග‍්‍රාම නිළධාරියා ක‍්‍රමයෙන් ඉදිරියට ගමන් කරද්දී රණබාහු සහෝදරයා නොසන්සුන් විය.

”තියපං” රණබාහු කෙඳිරීය. තමා පසුකොට යන ග‍්‍රාම නිළධාරියා දෙස තිලක් බලා සිටියේ උපේක්ෂා සහගතවය. ඔහු තුවක්කුව පහත දැමීය.

”බැහැ සහෝදරයා, මට ඒ නාකි මිනිහා මරන්න බැහැ. අපි විප්ලවවාදින් මිසක් ඝාතකයෝ නොවෙයි. මෙන්න තුවක්කුව. මට මීට පස්සේ මේ වගේ වැඩ පවරන්න එපා.” ඔහු රණබාහු දෙසට තුවක්කුව විසි කළේය.

”තිලක් සහෝදරයා, තමුසේ හරි ළාමකයි. තමුසේ කවදාවත් විප්ලවවාදියෙක් වෙන්නේ නැහැ. දැන්වත් දුවලා ගිහිල්ලා ග‍්‍රාමයාට වෙඩි තියනවා.” රණබාහු සහෝදරයා තුවක්කුව අහුලා ගනිමින් කිවේය.

”බෑ සහෝදරයා, මම කිව්වානේ මේක මිනී මරුමක්. අපි යන මාර්ගය වැරදියි. අපි යන්නේ ජනතාව එක්ක නෙවෙයි” තිලක්ට කීමට හැකි වූයේ එපමණකි. වියුරු වැටුණු රණබාහු සහෝදරයා තුවක්කුව තිලක්ගේ මුහුණට එල්ල කළේය. ”අඩෝ පෙන්දා, ද්‍රෝහියා, පාවා දෙන්නා තෝ ග‍්‍රාමයාට වෙඩි තියනවද? නැතිනම් මේකෙන් කනවද?”

” ඕන දෙයක් කරන්න සහෝදරයා. මෙන්න මම දැන් ගියා. මට දැන් උලත් එකයි. පිලත් එකයි.” මෙසේ පවසමින් තිලක් සෙමින් ගම්මානය දෙසට යන්නට විය.

”ඒයි නැවතියං, මම උඹට අන්තිම වතාවටයි කියන්නේ.....” රණබාහු ඉදිරියට යන මිනිසාට තුවක්කුව එල්ල කළේය. මුවින් කිසිවක් නොපැවසූ තිලක් ඉදිරියටම ගියේය. රණබාහුගේ ඉවසීමේ සීමාවේ රතු ඉර පැන්නේය. ඔහු තිලක් දෙසට වෙඩි තැබීය. වෙඩි හඬ සමඟ තිලක් බිම ඇද වැටුණේය.



වෛද්‍ය රුවන් එම් ජයතුංග​

Wednesday, April 29, 2015

දඩයක්කාරයා හමුවීම

 
                     

 සයිමන් නවගත්තේගම යනු සිංහල සාහිත්‍යයේ මනෝවිශ්ලේෂණාත්මක  සලකුණ සනිටුහන් කල  ලේඛකයා කිවහොත් නිවැරදි බව සිතේ. ඔහු නිර්මාණකරණයේදී මනෝවිශ්ලේෂණාත්මක සංකේත බහුලව යොදා ගත්තේය.  සයිමන්ගේ  සංසාරාරණ්‍යයේ දඩයක්කාරයා කෘතිය මුළුමනින්ම පිරි තිබෙන්නේ මනෝවිශ්ලේෂණාත්මක  සංකේත වලිනි. මනෝවිශ්ලේෂණාත්මක   සංකේත  යොදා ගනිමින් සයිමන් නවගත්තේගම දඩයක්කාරයාගේ ප්‍රයාණය විස්තර කරයි. මේසා ගැඹුරු මනෝවිශ්ලේෂණාත්මක ප්‍රවේශයකින්   සිංහල නවකතාවක් ලියන ලද ප්‍රථම ලේඛකයා සයිමන් නවගත්තේගම ශුරින් විය යුතුය. 
 . 

මුලින්ම මනෝවිශ්ලේෂණාත්මක ප්‍රවේශයකින් නවකතාවක් පළ වන්නේ 1923 වසරේ  Ettore Schmitz   විසින් ලියන ලද    Confessions of Zeno   නවකතාව සමගය. නමුත් මනෝවිශ්ලේෂණවාදය  බොහෝ කාලයක් යන තෙක්  ලාංකික ගත්කරුවන් ගැඹුරින් යොදා නොගත් බව පෙනී යයි.   මාර්ටින් වික්‍රමසිංහගේ විරාගය , ගුණදාස අමරසේකරගේ කරුමක්කාරයෝ වැනි කෘතීන් යම්තාක් දුරකට මිනිස් මනසේ අවිඥානික ගැටුම් හෙළි කෙරුවද සයිමන් නවගත්තේගම තරම්  ගැඹුරු මනෝවිශ්ලේෂණාත්මක මුහුණුවරකින් නවකතාවක් ලියු වෙන කිසිදු ලේඛකයෙකු ගැන  සිතා ගැනීමටවත් නොහැක.  

 සයිමන් නවගත්තේගම විසින් භාවිතා කරන ලද මනෝවිශ්ලේෂණාත්මක   සංකේත පිලිබඳ  ලිපියක්   මම  වසර කීපයකට ඉහතදී ලියුවෙමි.   ( මෙම ලිපිය ලංකා ඩේලි නිවුස් පුවත් පතේ පළ විය)  Psychoanalytic symbols used by Simon Nawagaththegama යන එම ලිපියේ ඔහු විසින් භාවිතා කරන ලද  සංකේත  ගැන මෙසේ සඳහන් වේ.  

Simon used symbols in his novels hiding the conventional meanings. Deconstructive reading would reveal the actual meanings which he gives in his novels especially Dadayakarayage Kathawa. Simon gives broader interpretation of a carried meaning. According to the Psychoanalytic notion symbols are not the creations of mind, but rather are distinct capacities within the mind to hold a distinct piece of information. Simon’s novel is full of elements of unconscious and repressions that struggle in our minds beyond the cultural and religious barriers. Created by collective unconscious archetypes these symbols carry an important socio cultural meaning.   

සයිමන් ගේ පුතු සනී  සනී නවගත්තේගම මගේ සමකාලින පාසල් මිතුරෙකි. ඔහු අධ්‍යාපනය ලැබුවේ ආනන්ද මහා විද්‍යාලයේය. අප දෙදෙනා උසස් පෙළ සත්ව විද්‍යා උපකාරක පන්ති වලදී බොහෝ විට වාඩි වුයේ එකටය. ඇතැම් විට මම සනී සමග එක්වී ඔටුවා කේන්ති ගැස්සුවෙමු. අප ඔටුවා ලෙස හැඳින්වුයේ සිදත් ප්‍රනාන්දුය. බෙල්ල දිග සිදත් නිතර වාඩි වුයේ නාලක ගුණවර්ධන සමගය. සනී පසුපස සිට පුද්ගලික බස් කොන්දොස්තරවරයෙකුගේ ස්වරයෙන් ඔටුව පිටකොටුව කියයි. එවිට මම සනී තවත් උනන්දු කරවමින් සිනාසෙමි. අපගේ  විහිළුව නිසා කෝප ගන්නා සිදත් පසුපස හැරී රවා බලයි.  ඒ  කාලයේදී  පන්ති වලදී අප විසින් ළමුන්ට කල විහිළු ගැන ඇතැම් විට දැන්  දුකක් සිතේ. නමුත් කොළු කාලයේ  මේවා ගැන හැඟීමක් අපට නොවිය. නාලක දැන් ප්‍රවීණ විද්‍යා   ලේඛකයෙකි.  ඔටුවා  ගැන තොරතුරක් නැත. ඔහු මට යලි මුණ ගැසුනොත් සනී සමග එක්වී විහිළු කලාට සමාව ඉල්ලා සිටීමට ඉටාගෙන තිබේ.  

 සනී වෛද්‍ය විද්‍යාව හැදෑරුවේය. දැන් ඔහු කැල්ගරි හි ජිවත් වේ. ඒ කාලයේ මට නිතර සනී මුණගැසුනද ඔහුගේ පියා  මට මුණ ගැසීමට අවස්ථාවක් නොවිය.   සයිමන් නවගත්තේගම  ශුරින් මට මුණ ගැසී ඇත්තේ එකම එක වරකි.    1999 වසරේදී   වරක් මට ඔහුව මරදානේදී හමු විය. කැප් තොප්පියක් ලා ගත් මේ මහා ගත් කතුවරයා දුටු විගසම මම ඔහුව හඳුනා ගත්තෙමි.  

 " මම සනීගේ යාළුවෙක් " මම මා පිලිබඳ කෙටි හැඳින්වීමක් කලෙමි.  

 ආ එහෙමද ? ඔහු ඉතා ලෙන්ගතුව මා සමග විනාඩි විස්සක් පමණ  කතා කළේය. ඒ අප හමු වූ ප්‍රථම සහ අවසන් වතාවයි.  

 2008 වසරේදී පමණ  මා පුත්තලම දිස්ත්‍රික් මානසික සෞඛ්‍ය සම්බන්ධිකරණ වෛද්‍ය නිලධාරී ලෙස සේවය කල කාලයේ වරක් නවගත්තේගම සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයට රාජකාරියක් උදෙසා ගියෙමි. නවගත්තේගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියා  මිත්‍රශීලි අයෙකි. අවාසනාවකට මෙන් මට ඔහුගේ  නම දැන් අමතකවී තිබේ. රාජකාරිය අවසන් කිරීමෙන් පසුව සයිමන් නවගත්තේගම ජිවත් වූ නිවස බැලීමට යාමට මට ආශාවක් ඇති විය. මෙම වෛද්‍ය නිලදාරියා මට සයිමන් නවගත්තේගම ජිවත් වූ නිවෙස  පෙන්වීමට පැමිණියේය. දැන් එම නිවස වනජීවී දෙපාර්තමේන්තුවේ කාර්යාලය  බවට පත් කොට තිබේ.   

  සයිමන් නවගත්තේගම යනු ශ්‍රේෂ්ඨ ලේඛකයෙකි. ඔහුගේ කෘතීන් අන්තර් ජාතික ප්‍රජාවට පරිශීලනය කිරීමට අවස්ථාව ලබා දිය යුතුය. මෙම  සාහිත්‍යධරයාගේ සංසාරාරණ්‍යයේ දඩයක්කාරයා කෘතිය ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය වුවහොත් එයට ලැබෙන ප්‍රතිචාර ඉතා ඉහල වනු ඇත . එසේම එය  විශ්ව සාහිත්‍යට ගිය ප්‍රථම ජනප්‍රිය සිංහල නවකතාව වනු  නියතය. 

 වෛද්‍ය රුවන් එම් ජයතුංග  

Monday, April 27, 2015

පිය සෙනෙහස

 



එදින මහියංගනය බදුල්ල මාර්ගයේ වාහන තදබදයක් නොමැති වූ නිසා වාහන ධාවනය වූයේ අධික වේගයෙනි. මෙම අවස්ථාව රූටා යාමට නොදුන් පෞද්ගලික බස් රථ වේග සීමාවද ඉක්මවා ධාවනය කිරිමට අමතක නොකළහ. එහෙත් ලංගම බස් රථයක් පැදවූ සීමන් වේග සීමාව කිසිවිටෙක උල්ලංඝනය නොකළේය. ඔහු නිතියට අනුකූල ලෙස නියමිත පරිදි තම බස් රථය පදවමින් සිටියේය.

මහාමාර්ගයේ අධික වේගයෙන් යන්නාවූ වාහන නිසා පොලිස් නිළධාරීහු වහ වහා ක්‍රියාත්මක වූහ. මාර්ගයෙහි තැනින් තැන වේග සීමා පරික්ෂා කිරීමට රථවාහන පොලිසිය පියවර ගත් අතර වේග සීමා උල්ලංඝනය කළ රියදුරන් සඳහා දඩකොළ ලියූහ. ඇතැමෙක් තම තරාතිරම් ගැන පවසා ගැලවී ගියහ. සමහරු නෝට්ටු කීපයක් රථවාහන බලපත්‍රය හා රක්ෂණ ආවරණය සමඟ කලවමේ පොලිස් නිළධාරීන් අතට දී ඔවුන්ගෙන් සමුගත්හ. වඩාත් අවාසනාවන්ත කොටස් දඩකොළ අතට ගෙන සකල පොලිස් වර්ගයාටම සාප කරමින්, වාහනයේ වේගය ඉතා සැලකිල්ලෙන් අඩු කොට ප්‍රවේශමින් තම රිය පැදවූහ.

වේග සීමා පරික්ෂාවේ යෙදී සිටි නිළධාරිහූ සීමන්ගේ අවධානයට යොමු නොවීය. සීමන් නීතිගරුක රියදුරෙකු ලෙස ඩිපෝවේ උස් පහත් සියළුම තරාතිරම්වල පුද්ගලයෝ දැනසිටිමින් ඔහුට සැලකූහ. සියලූම දෙනා ඔහු හැඳින්වූයේ "සීමන් අයියා˜ හෝ  "සීමන් ඩ්‍රැයිවර උන්නැහේ˜ යන නමිනි. සීමන් ඩ්‍රැයිවර් උන්නැහේ සියළු දෙනාගේම මිතුරෙකි. ඔහු තම ඩිපෝවේ අනෙකුත් රියදුරන්ගේ ඕනෑම ගැටලූවකදී කර නොහැර ඉදිරිපත් විය. එසේම මගින්ට ඉතා කාරුණිකව හා විශේෂ අවධානයෙන් සැලකුවේය. බොහෝ රියදුරෝ මහළු පුද්ගලයෙකු දුටුවිට රථය නොනවත්වා යාමත්, මගීන් වාහනයෙන් බසින අවස්ථාවේදී ඔවුන්ගේ ආරක්ෂාව ගැන නොසලකා ඉක්මන් බහින ලෙස අණකරමින් රථය ඇද්දීමටත් පුරුදුව සිටිති. සීමන් එවැනි චර්යා විරෝධී කටයුතු කළ බවට කිසිතැනක වාර්තා වී නැත.

සමහර ලංගම රියදුරන් පෞද්ගලික බස් රියදුරන් සමඟ ගජ මිතුරන්ව සිටීමත් ඔවුන්ගෙන් නොමිළයේ ලැඛෙන කෑම පාර්සලයට හා ගල් අරක්කු වීදුරුවට වසඟවී, පෞද්ගලික බසයට සෙනඟ පුරවාගැනීමට ඉඩහැර සිටින බව ඇතැමුන්ගේ මතයකි. මේ නිසා තමාගේ ආයතනයට මුදල් අඩුවී, පාඩු සිදුවූවාට ඔවුන්ට කම්නැත. සමහර ලංගම රියදුරන් පෞද්ගලික බස් රථ සමග තරගයට ගොස් තම බසයේ ආදායම  වැඩිකර ගැනීමට වෙහෙසෙමින් මාර්ග අනතුරුවලට පවා භාජනය වේ. එහෙත් සීමන් කිසිදිනක මේ අන්තගාමී පිළිවෙත් අනුගමනය නොකළේය. ඔහු ලංගම හෝ පෞද්ගලික වශයෙන් රියදුරන් ඛෙදීමක් නොකළේය. දෙවර්ගයේම අය කරන්නේ එකම වර්ගයේ රැකියාවක් බව ඔහු කල්පනා කළේය. ඕනෑම අවස්ථාවක රියදුරෙකුට යම් උපකාරයක් අවශ්‍ය වුවහොත් නොපැකිළ එය ඉටුකර වීමට ඔහු ඉදිරිපත්විය.

මෑතකදී පෞද්ගලික බස්රථයක් හදිසි ආපදාවකට ලක්විය. අසරණව සිටි රියදුරු සහ කොන්දොස්තර මගීන්ගේ මැසිවිලිවලට සවන් දෙමින් අබලන් රථය පණගැන්වීමට නොගත් උත්සහයක් නැත. එහෙත් ඔවුන්ගේ ව්‍යායාමය අසාර්ථක විය. මේ අතර එතැනට පැමිණි සීමන් ඩ්‍රැයිවර් උන්නැහේ˜ ඉෂ්ට දේවතාවෙකු ලෙස පිහිට විය. සීමන්ට එන්ජින් සම්බන්ධ සුළු කාර්මික දැණුමක් තිබු‚. එම දැනුම, අත්දැකීම් හා අනුන්ට පිහිටවීමේ උතුම් ගුණය නිසා එන්ජීම යළි පණගැන්වීමට ඔහුට හැකිවිය. මෙහිදී පෞද්ගලික බස් රියදුරු මුව නොසෑහෙනසේ සීමන්ට ස්තූති කළේය. 

" සීමන් අයියා නොහිටින්න අපි පාරේ රස්තියාදු වෙනවා˜ යැයි කිව් පෞද්ගලික බස් රියදුරු — මේ කබල විකුණලා අළුත් බස් එකක් ෆිනෑන්ස් කරලා හරි ගන්න˜ කියලා අපි අපේ බොසාට කොච්චර කියනවද යනුවෙන් පෞද්ගලික බස් රියදුරු සීමන්ට කිවේ ඉතා ලෙන්ගතු මෙන්ම දුක් සහිත හඞකිනි.

"ඕවා ගණන් ගන්ට එපා මලේ, පරිස්මෙන් යන්ට. ක්ලච් එක හෙමින් පාගන්ට˜ කියා සීමන් ඔහුට උපදෙස් දුන්නේය.

සීමන් ඩ්‍රැයිවර් උන්නැහේට කිසි දිනෙක පොලිසියෙන් දඩ කොළ ලැබී නැත. එනමුදු පාර අද්දර පොලිස් නිළධාරීන් වේගසීමා පරික්ෂාවේ යෙදී සිටිනවා ඔහු දුටුවහොත් ඉදිරියෙන් එන වාහනවලට තම බස් රථයේ හෙඩ් ලයිටි දල්වා අවදානම පිළිබඳව සංඥා කිරීම ඔහු නිබදවම කළේය. මෙය නීති විරෝධී බව සීමන් නොදනියි.

 ඩිපෝවේ නිළධාරිහු සීමන් ඉතා හොඳ රියදුරෙකු ලෙස සැලකූහ. බස්රථවලට අලාභ හානි කිරීම, හොරෙන් ඩීසල් ඇදීම, ඩිපෝවේ වාහන අමතර කොටස් හොරකම් කිරීම වැනි අක්‍රමිකතා සම්බන්ධයෙන් ඔහුගේ නම කිසි විටෙකත් ගෑවී තිබුණේ නැත.

සෑම හොඳ මිනිසෙකුටම යම්කිසි දුර්වලකමක් තිබේ. සීමන් සම්බන්ධයෙන්ද මෙම කරුණ සත්‍ය විය. ඔහු පමණ ඉක්මවා මත්පැන් පානය කළේය. එහෙත් රාජකාරි කරන අවස්ථාවේ ඔහු මත්පැන් බීවේ නැත. 

බොහෝ රියදුරන් බස් ධාවනය කළේ ගල්, පොල් හෝ කසිප්පු සප්පායම් වීමෙනි. ඇතැමෙක් ගංජා සුරුට්ටුද පාවිච්චි කළහ. මීට අමතරව මදන මෝදකද හපමින් සුක්කානම කැරකූහ. එහෙත් සීමන් මීට හාත්පසින්ම වෙනස්ය. තමා බස්රථය පදවන අවස්ථා වලදී නොමිළයේ ලැබුණත් මත්පැන් නොබීමට තරම් හොඳ සංවරයක්, ආත්ම දමනයක් ඔහුට තිබුණි.

"කටගොන්නක් බීලා එලවන්නේ කොහොමද?˜ යි ඔහු කියයි.

" සීමන් අයියා ඕක මොකක්ද? පොඩි ෂොට් එකක් දාගන්න, මොකද බිව්ව කියල අපි වාහන හප්පගන්නවද?˜ මෙහි දී කටකාර රියදුරෙක් කියන්නේ අරක්කු බෝතලයේ මූඩිය අරින ගමන්ය. 

"බෑ මලේ ඩිපෝවේ මහත්තයත් අද එළියේ. දන්නවනේ˜ ගැලවීමක් වශයෙන් ඔහු ආයතන ප්‍රධානියාගේ නමද පෙරට දමයි. සෙල්ලක්කාර රියදුරන්ට ඩිපෝ අධිකාරිද වලංගු නැත.

"එයා මොනව චැක් කරන්නද? අපි නොදන්නවැයි එයා සෙට්වෙන හැටි, ඕවා ගණන් ගන්න එපා. මෙන්න මේක ඉක්මනට ගහලා යමු.˜ යි එකෙක් කියයි.

"අනේ මලේ උඔලා ඔය බෝතලේ තියා ගනිල්ලා මම හවස එනවා. එතකොට බොමු...˜ එසේ කියමින් සීමන් ඔවුන්ගෙන් මිදී යයි. එහෙත් හවස වැඩ නිම වෙන විට රියදුරන්ද බෝතලයද නැත. එම නිසා සීමන් බස්රථය ඩිපෝවට බාරදී සැමි අයියාගේ බත් කඩයෙන් කාලක් පමණ උගුරට හලාගෙන ගෙදර යයි. රෑ කෑම කෑමෙන් පසු අසල්වාසීන් සමඟ පිළිසඳරට යාමට ඔහු අමතක නොකරයි. එහිදී බෝතලයක් එලියට එන අතර එම බෝතලයද හවුලේ ඉවරකිරීම ඔහුගේ සිරිතය. එහෙත් රෑබෝවෙන විට ඔහු මෙම සංගමයෙන් මිදීමට සමත්වෙයි.

"මට දැන් යන්ට ඕනෑ. හෙට උදේට වැඩට යන්ට තියෙනවා. හෙට හමුවෙමු˜ යි පිටත්වෙන ගමන් කියයි. මේ අතර යම් අයෙක් සීමන් නතර කිරීමට සැරසුනොත් "අනේ මලේ හෙට ඩ්‍රැයිවර්ලත් නැහැ. කොහොම හරි වැඩට යන්ට ඕනෑ.මෙන්න මම ගියා˜ කියමින් වැනෙමින් නිවසට ගොස් මළාක් මෙන් නිදාගනී. 

එහෙත් උදේ පහ වනවිට ඔහු අවදි වෙයි. උදෑසන අවදි වී බිරින්දෑ අතට ගෙන දෙන කෝපි කෝප්පය පානය කොට ගෙදර ලිඳෙන්  වතුර නා කාකි කමිසය සහ සුදු සරම ඇඳ පාරට බසියි. පාරේ එන ලංගම හෝ පෞද්ගලික බස් සීමන් පාරේ සිටිනවා දුටුවිට වහාම නැවැත්වෙයි. එම නිසා ප්‍රමාදයකින් තොරව හෙතෙම ඩිපෝවට පැමිණේ.සුක්කානම අතට ගත් වහාම තෙවරක් වැඳනමස්කාර කර එන්ජිම පණගන්වයි. "එහෙනම් රන්නත්තරේ සර​ණිං යං "කියමින් ඩිපෝවෙන් පිටත්වෙයි. 

සීමන් වඩාත් ප්‍රිය කළේ කෙට්ටු, වැඩි කතාබහක් නැති තරුණයෙකු වූ පියසාන්ත කොන්දාස්තරටය. ඔහුගේ නියම නම ප්‍රියශාන්ත වුවද ඩිපෝවේ ඇත්තන් ඔහුගේ නම උච්චාරණය කළේ පියසාන්න නමිනි. වැඩි කලබලයක් නැති මෙම තරුණයා මගීන්ට කරුණාවන්තය. කථාබහ අඩු නිසා ඩිපෝවේ සමහරුන් ඔහු හැඳින්වූයේ  "බම්මන්නා" නමිනි කෙසේ වෙතත් පියසාන්ත සීමන් ඩ්‍රයිවර උන්නැහැගේ සිත් ගත්තේය. පියසාන්ත නැති දිනවල වැඩට එන අනෙක් කොන්දාස්තරවරු මගීන්ට සැර දමති. නැතහොත් මගියා නැගීමට පෙර බෙල් එක ගසති. එවැනි අවස්ථා වලදී සීමන් උන්නැහේ "මලේ හදිස්සියක් නෑ හෙමිහිට යං˜ යනුවෙන් පවසයි.

නියමිත පරිදි ධාවනයේ යෙදෙන බස් රථය සවස ගාල් කිරීමෙන් පසු සැමි අයියාගේ කඩයට ගොඩවැදී කාලක් සප්පායම් වීම සීමන්ගේ දිනචරියාවේ අංගයක් විය. ඇතැම් දිනවල සැමි අයියා දෙන බඩුවල යූරියා වැඩි යැයි සමහරු පවසති. එවැනි දිනවල සීමන් බුලත් විටක් ද කෑවේ යූරියා ගතිය කටින් පහකර ගැනීමටය. මෙසේ කිසිම වැරුද්දක් දොසක් නැතිව කටයුතු කළ සීමන් උන්නැහේට ඉදහිටවත් දොසක් කිවුවේ ඔහුගේ මායියා පමණකි.

"මේ ඔහේගෙ බීම දැන්වත් නවත්වනවකෝ හැමදාම ගෙදර එන්නේ ගඳ ගස්සාගෙන. දැන් කොලූවත් ලොකුයිනේ "ඇය කියන්නේ තද ස්වරයකින් නොවේ.

"අනේ යෝදියේ නිකං ඉදිං මම ඉදල හිටල අඩියක් ගැහුවට වෙන ඩ්‍රයිවර්ල වගේ කුපාඩිකමේ යනවද? ගෙදරට මදිපාඩු කරනවද?˜ ඊට පිළිතුරු වශයෙන් ඔහු පවසයි.

මින් එහාට යමක් කීමට අපොහොසත් වන ඇඹනිය තමාගේ වැඩක නිරත වන්නීය. සීමන්ට වඩා අවුරුදු අටකින් පමණ බාල ඇයගේ රූ සපුව ලිපේ සහ ගෙවත්තේ වැඩටම දිය වී ගොසිනි. උදයට ලිප සමඟ ඔට්ටුවන ඇය දවල්ට කැත්ත උදැල්ල අතට ගනී. දෙමහල්ලන්ගේ අවධානය හා බලාපොරෙත්තුව තිබුනේ තම එකම පුතු වූ තිලකසිරි කෙරෙහිය. මේ වසරේ අපොස සාමාන්‍ය පෙළ විභාගයට ඉදිරිපත්වන තිලකසිරි ඉගෙනීමට සමත්ය. එසේම පාසලේ ක්‍රිඩා කටයුතු වලදීද ඔහු කැපී පෙනෙයි. මේ නිසා සීමන් උන්නැහේ සිටියේ ආඩම්බරයෙනි.

"අපේ පුතා දස්සයා. හොඳට ඉගෙන ගන්නවා විභාගේ පාස් උනහම පුතා ඩිපෝ අධිකාරි කෙනෙක් වෙයි.˜ බස් රථය ධාවනය කරන ගමන් සීමන් තම පුතු ගැන සිහින මැවීය. යන්තම් හතර වැනි පන්තියට උගත් සීමන් අධ්‍යාපනයේ වටිනාකම දන්නෙකි. ඔහුගේ දැනීමේ තරමට ලෝකයේ ඉහලම රැකියාව ඩිපෝ අධිකාරීකමය. එම නිසා පුතාගේ අධ්‍යාපනයට ඔහු ඉතා උනනන්දු විය.

"අපරාදේ කියන්ට බැහැ කොල්ල තනියම පාඩම් වැඩ කරනවා. කිසිම කරදරයක් නැහැ.˜ සීමන් තම බිරිඳ සමඟ පැවසුවේ පාසල් ගිය සමයේ තමා කැලේ පැන්න හැටි මතක්කරමිනි.

"පුතා දැන් ලොකු නිසා ඔහේගේ ඔය බොන පුරුද්ද අඩුකළොත් නරකද?˜ ඇයට කීමට ලැබුනේ මේ වචන ටික පමණයි. සීමන් උරණ විය

" අනේ යෝදියේ උඔ හැමදාම කියන්නේ ඔය බණේනේ. ඒක අහලා මට ඇති වෙලා.˜ මෙසේ කියමින් සීමන් අසල්වැසි සමරේ බාස් සොයාගෙන ගියේය. සමරේ සමඟ අඩිගහන අතරතුර බීම මදක් අඩුකළ යුතුබව ඔහුට සිතුනි.  "පුතාට හරිනෑ නොවෑ˜ ඔහු සිතීය . එදින මදක් කළින් සමරේ බාස්ගෙන් මිදී ගෙදරට පැමිනීමට සීමන් සමත් විය.

පසුදින උදයේ වැඩට පිටත්වන විට බිරිය ඔහුට පණිවිඩයක් කීවාය. එනම් එදින දහවල පාසලේ ක්‍රීඩාභාර ගුරුතුමා සමඟ තම පුතා ඇතුළු ළමුන් කණ්ඩායමක් හමුදා කඳවුරට යන බවත්, දින දෙකක් එහි නැවතී පුහුණුව ලබන බවත්ය. 

තිලකසිරි පාසලේ ශි්‍යෂ භටයෙකු විය. අධ්‍යාපන ඇමතිවරයා සහභාගීවන උත්සවයකට ආචාර පෙළපාලිය සංවිධානය කිරීම පැවරී තිබුනේ තිලකසිරි ඉගෙනීම ලැබූ පාසලටය. එම නිසා අසල කඳවුරේ අණදෙන නිළධාරි මාර්ගයෙන් ශිෂ්‍ය භටයින්ට ආචාර පෙළපාලිය පිළිබඳ පුහුණුවක් ලබාදීමට විදුහල්පතිවරයා පියවර ගෙන තිබුනි. මේ සම්බන්ධයෙන් සීමන් උන්නැහේ ඩිපෝවේ දී කතා කළේ තම පුතු පිළිබඳ උපන් සෙනෙහස හා ගෞරවයෙන් යුක්තවය.

"අපේ කොල්ලා අද කෑම්ප් එකට ගියා˜ ඔහු අන් රියදුරන් සමඟ කීවේය. 

"ඇයි සීමන් අයියේ කොල්ලා හමුදාවට යවන්නද කල්පනාව˜ යැයි ඇසුවේ ඩිපෝ රියදුරෙකු වන ඩේවිඩ්ය. ඔහුගේ පුතුන් දෙදෙනාද හමුදාවේය.

˜නෑ ඩේවිඩ් කොල්ලා කැමති ඉගෙන ගන්ට. මේ ඉස්කොලේ සෙල්ලං වගයකට පුරුදු වෙන්ට ගිහිල්ලා˜ ඔහු ඩේවිඩ්ට පිළිතුරු දුන්නේය.

"එහෙනම් වෙඩි තියන්න පුරුදු කරනවා ඇති.˜ ඩේවිඩ් දැනමුත්තෙකු ලෙස කීවේය.

එදින සීමන් තම බසය පැදවූයේ පුතු ගැන සිතමිනි. "පුතාට මොනවාහරි කෑමක් ගෙනියන්ට ඕනෑ˜ දහවල් කෑමට මාතර බත් කඩේට ගිය සීමන්ට සිතු‚. පුතාට ගෙනයාම සඳහා යමක් සෙවීමට ඔහු යාබද කඩ දෙක තුනකට ගියේය. අවසානයේදී මිලෙන් වැඩි බිස්කට් ටින් එකක් ඒ සඳහා තෝරාගත්තේ කමලා ස්ටෝර්ස් එකෙනි. ඉතා අලංකාර ලෙස මුද්‍රණය කොට තිබූ බිස්කට් ටින් එක රට බිස්කට් ටින් එකක් විය යුතු යැයි ඔහු සිතිය. බිස්කට් ටින් එක ඔතාගත් ඔහු එය බස් රථයේ රියදුරු ආසනයට නුදුරු මුල්ලක තැන්පත් කළේ නැවත දිනමිණ පත්තරයක පිටුවකද ඔතමිනි. මෙම පත්තරය මගියෙකුට අමතකව බස්රථයේ දමාගිය එකකි. එන්ජින් ඔයිල් ගෑවෙතැයි ප්‍රවේසමෙන් පත්තර පිටුවල එතූ බිස්කට් ටින්එක ගමනාන්තය දක්වා ඔහුගේ දෙපාවල දැවටි දැවටී තිබුණේ පූස් පැටවෙකු තම ස්වාමියාගේ දෙපා අසල දැවටෙන්නාක් මෙනි.

පුතාට කන්ට ගෙනියන එක පයේ ගැටෙන්ට හොඳ නැහැ. යැයි සිතූ ඔහු එය උකුළ උඩ තබාගත්තේ බස්රථය ඩිපෝවට ඇතුළු කිරීමට මොහොතකට පෙරය. සවස් වරුවේ වැඩ නිමාවී කඳවුරට යාමට ඉටාගත් ඔහු පොත අත්සන් කළා පම‚. විනෝදකාමී රියදුරෙකු වන කුමාර සීමන් උන්නැහේව නතරකර ගත්තේය.

"සීමන් අයියා, මොකක්ද, බෝම්බයක්ද? ඔහු ඇසුවේ කට කොනකින් සිනාසෙමිනි.

"පිස්සුද මලේ මේක මේ අපේ කොල්ලට ගත්ත බිස්කට් ටින් එකක්. කොල්ලා කෑම්ප් එකේ. මම දැන් යනවා.˜ ඔහු පැවසුවේ කඩිනමිනි. හැකි ඉක්මනින් පුතු බැලීමට යාම ඔහුගේ අභිප්‍රාය විය.

"පොඩිඩක් ඉන්න සීමන් අයියා, දැන් සීමන් අයියට අපිව පේන්නේ නෑ තියෙන ආඩම්බර. දැන් ඉතින් ගණු දෙනු ආම් එකත් එක්කනේ˜ කුමාර කීවේ නොක්කාඩු ස්වරූපයෙන්ය.

"නැහැ මලේ රෑවෙන්ට කළින් යන්ට එපැයි˜

"අයියෝ සීමන් අයියා දැන් කීයද? තවම හය උනෙත් නැහැ පොඩ්ඩක් එන්න මෙහාට අද විල්බට් අයියා පොල් බොතල් දෙකක් ගෙනාවා පොඩ්ඩක් සෙට්වෙමු.˜ කුමාර ඔහුට පෙරැත්ත කළේය.

"හරි, හරි මලේ ඔන්න මම එතන ඉන්නේ පැය බාගයයි. පරක්කු වෙන්ට බැහැ˜ සීමන් පිළිතුරු වශයෙන් කීවේ කුමාර අමනාප වෙතැයි සිතාගෙනය.

"හරි හරි යමුකෝ...˜ කුමාර පය ඉස්සර කළේය. ඔව්හු ඩිපෝවට යාබදව තිබුණු වඩු මඩුවට ගියහ. විල්බට් සහ වඩු මඩුවේ ජයරත්න සීමන් සහ කුමාර පිළිගත්තේ ඉතාම සතුටිනි.

"අනේ සීමන් අයියා දැක්ක කල්. කාලෙකින් අපට ජොලියක් දාන්න බැරිඋනා.˜ විල්බට් කීවේ සීමන්ට තොත්තුවක්ද දෙන ගමන්ය.

"අපි අන්තිමට හමු උනේ සිංහල අවුරුදු දවසේ මතකද?˜ සීමන් විල්බට්ට සොදුරු දිනයක් මතක් කර දුන්නේය. 

"හරි හරි සීමන් අයියා මතකයි. එදා   අපි නියමෙට සැප ගත්තා. අදත් අපි ආතල් එකක් ගමු˜ විල්බට් බෝතල් දෙකක් වඩු මඩුවේ මුල්ලකින් ගත්තේය. "අද අස්සයෙක් වැඩකළා ඒකේ සතුට අපි ඛෙදා  ගමු˜ විල්බට් කීවේ උද්දාමයෙනි.

"හැබැයි මලේ මට පරක්කු වෙන්ට බැහැ.˜ සිමන් පැවසුවේ තම පුතුට ගෙන යන බිස්කටි ටින් එක අතට ගනිමිනි.

"හරි හරි සීමන් අයියා අපි උගුරට දෙකට මේක ඉවර කරමු.˜ එසේ කියමින් විල්බට් කට කැපූ වීදුරුව සීමන්ට පිළිගැන්වීය. එකවරම අරක්කු වීදුරුව උගුරට හලාගත් සීමන් මොහොතක් දෑස් පියා ගත්තේය. ඉන් අනතුරුව කෙළ පිඩක් ගැසූ ඔහු

"මලේ හොඳ බඩු. සැමි අයියාගේ ජරාව වගේ නෙවෙයි.˜ යැයි පැසසුමක් ද කළේය.

"ඔව් සීමන් අයියා මේවා සංස්ථාවේ බඩු. සැමීගේ කුණු ජරාව වගේ නෙවෙයි.˜ විල්බට් කිවුවේ සැමීට පොඩි පහරක්ද ගසමිනි. ඊට හේතුව සැමී,—අද මුදලට හෙට ණයට˜ යන ප්‍රතිපත්තියට වැඩකළ හෙයිනි. 

කුමාර, ජයරත්න, විල්බට් සහ සීමන් පළමු බෝතලය හිස්කරන විට හත පසු වී තිබුණි.

සීමන් හදිස්සි කළ සෑම අවස්ථාවකම කුමාර සහ විල්බට් ඔහු නවතා ගත්තේ "මොන පරක්කුවක්ද˜ කියමිනි. මෙසේ බෝතල් දෙක අවසන් වෙද්දී කුමාර සැමීගේ කඩෙන් සුදුවා බෝතල් දෙකක්ද ගෙනාවේ මයියොක්කා පිඟානක්ද සමගිනි.

සීමන් සැමීගේ බෝතලයෙන් කෝප්ප භාගයක් උගුරට හලාගෙන මයියොක්කා කෑල්ලක් හැපුවේ "දිවිය ලෝකේ රහයි මලේ˜ කියමිනි. "අනේ මලේ දැන් හොදටම රෑඋනා. කොල්ලව බලන්ට ඕනේ. මෙන්න මම ගියා˜ මෙසේ කියමින් සීමන් උන්නැහේ සමාගමෙන් ඉවත්වූයේ තවත් පෙරැත්තයකට ඉඩ නොතබමිනි. ගහෙන් ගෙඩි එන්නාක් මෙන් ඔවුන්ගේ සමාගමෙන් ඉවත්වීමෙන් තමාකළේ වැරැද්දක්දැයි සිතමින් සීමන් තැවුනේය. එහෙත් පුතු හමුවීමට ඇති අවශ්‍යතාව නිසා ඒ හැඟීම යටපත් විය.

වේලාව රාත්‍රි නවය පසුවී තිබු‚. පාරේ කිසිදු වාහනයක් නැත. රෑ බෝවීමට කලින් කඳවුරට ගොස් බිස්කට් ටින්එක පුතුට දෙන්නේ කෙසේදැයි ඔහු කල්පනා කළේය. සීමන් උන්නැහේට කැරකිලි ගතියක් දැනිණි. අද ටිකක් වැඩිඋනාවත්ද? ඔහු මදක් බමන ගතියෙන් පාරේ ඉදිරියට ගියේය. හැතැක්ම කාලක් යාමට පෙර අඳුර කපාගෙන වාහනයක් පැමිණි‚ අතර එය නිමල් පදවන පෞද්ගලික බස් රථය බව සීමන් හඳුනා ගත්තේය. වහාම පාරට පැන සීමන් බස් රථය නැවැත්වූයේ පොලිස් භටයෙකු මෙනි.

නිමල් බ්‍රේක් ගැසුවේ කුණුහරුපයක්ද කියමිනි. සීමන්  හඳුනා ගැනීමෙන් පසු ඔහුගේ මුහුණේ ස්වරූපය වෙනස් විය.

"ආ මේ සිමන් අයියනේ. මොකද රෑ වෙලා˜ යැයි නිමල් සීමන් ගෙන් ඇසිය.

"පොඩ්ඩක් රෑ උනා මලේ. මාව කෑම්ප් එක ලඟින් බස්සන්ට. අපේ කොලූවා අද එහේ ගිහිල්ලා˜ සීමන් පැවසුවේ බිස්කට් ටින් එක තුරුළු කර ගනිමින්ය.

බස්රථයේ සිටියේ මගීන් ස්වල්ප දෙනෙකි. එම නිසා නිමල්ගේ රියදුරු අසුන අසල සිටම නිදහසේ කථා කිරීමට ඔහුට හැකිවිය.

"සීමන් අයියා අමාරු නම් වාඩිවෙන්න මොනද අද ටිකක් වැඩී වගෙද?˜ නිමල් ඇසුවේ බ්‍රේක් ගසනවිට සීමන් විසිවෙන අයුරු කණ්නාඩියෙන් දැකීම නිසාය.

"නෑ මලේ මොන වැඩියක්ද? මෙහෙම හොඳයි˜ ඔහු එක් අතකින් බිස්කට් ටින් එකද අල්ලාගෙන අනෙක් අතින් රියදුරු අසුනේ දාරය දැඩිව ග්‍රහනය කර ගත්තේය.

"මොකක්ද අද ඩිපෝවේ පාටියක්ද?˜ නිමල් ඇසුවේ කුතුහලයෙනි.

"නෑ මේ විල්බට් බලකරා˜ ඔහු තමා අතේ වරදක් නැති නියායෙන් කිවේය. 

"කවුද විල්බට් ආ මේ ඩීසල් විල්බට්ද?˜ නිමල් ඇසුවේ විල්බට්ගේ තෝම්බුව එළියට දමමින්ය. 

විල්බට් හොරෙන් ඩීසල් ඇදීම සඳහා නම් දැරුවෙකි. පදවන බස්රථය ගෙන ගොස් ඩීසල් බෑම ඔහුගේ සිරිතයි. එම නිසා අන් රියදුරන් විල්බට් හඳුන්වන්නේ මේ නමිනි.

"මලේ ඔය වංගුව ලඟ නවත්වන්ට, මම බහිනවා.˜ කඳවුර ආසන්න වෙත්ම සීමන් ඉල්ලීමක් කළේය. ඉල්ලීම ඉටු විය. බස්රථය හමුදා කඳවුර ලඟ නවත්වන ලදි. වැනෙමින් සිටි සීමන් නිමල්ට ස්තූති කොට බසයෙන් බැස්සේය.

"අනේ මලේ උඹ නොහිටින්ට මම තාම පාරේ. එහෙනම් දෙයියන්නේ පිහිටෙන් ගිහින් වරෙන්˜ මෙසේ කියා නිමල්ට ඔහු සමුදුන්නේය. බස් රථය පිටත්වූ විගස සීමන් යලි බිස්කට් ටින් එක තුරුල්කර ගත්තේ එය බිම වැටේ යන බියෙනි. බිස්කට් ටින් එක සුරක්ෂිත බව දැනුණු වහාම ඔහු වැනෙමින් කඳවුර ඉදිරියට පියමං කළේය.

පරක්කු වැඩීවත්ද? කොළුවා නිදා ගෙනද දන්නේ නෑ. මෙලෙස තමාටම තොල්මැතුරූ ඔහු "තිලකසිරි පුතේ˜ යැයි උස්හඬින් කෑගැසීමට සිතූ නමුත් එය නුසුදුසු යැයි සිතා කෑම්ප් එකේ මහත්තුරුන්ට කථාකරලම කොල්ලව බලනවා යැයි සිතා මුර කුටිය අසලට පියමැන්නේය.

මුර කුටියේ සිටි සෙබලා නගර් කෝවිල් සිට මෙම කඳවුරට පැමිණ ගතවූයේ සති දෙකක් පම‚. මේ ප්‍රදේශයේ ත්‍රස්තවාදී කලබල අඩු නමුදු ඔහු සෑම රැයේදීම රාජකාරි කළේ සැකයෙනි. පුහුණු සමයේ බංකරයේ නිදා ගැනීම නිසා සාජන්ගෙන් නොසෑහෙන සේ ගුටි කෑ ඔහු සුළු ශබ්දයකදී පවා තිගැස්සුණු අතර තුවක්කුව බඳට තදකරගෙන සූදානමින් සිටියි. වරක් උතුරේදී බංකරයේ නිදා සිටි තම මිතුරන් දෙදෙනෙකුගේ ඛෙලි සතුරන් විසින් කපා දමා තිබීම නිසා ඔහු සිටියේ වඩාත් විමසිල්ලෙනි. තියුණූ වක්පිහිය කටින් ගෙන ශබ්ද නොනැග බඩගාගෙන එන්නා වූ ත්‍රස්තවාදීන් ගැන බලාපෙරොත්තු තබාගෙනය. කොයි මොහොතේ හෝ තම අවිය පාවිච්චි කිරීමට ඔහු සුදානමින් සිටියේය.

මෙම ප්‍රදේශය උතුරු නැගෙනහිර මෙන් අවදානම් නොවුවද සෙබලා සිටියේ සූදා නම් ශරීරයෙනි. දිවා කාලයේදී හරි හැටි විෙවිකයක් නොලත් බැවින් හිටිහැටියේ ඔහුගේ දෑස පියවෙයි. යන්තමින් නින්ද යත්ම ඔහු ගැස්සී ඇහැරෙයි. "නිදිකිරනවා දැක්කොත් පෝරියල් ˜ යැයි තමාටම තොල්මතුරමින් සෝදිසියෙන් වටපිට බැලීය. එහෙත් දැඩි වෙහෙස නිසා සෙබලාගේ දෑස් පියවිණි. තුවක්කුව අඳුරට මානාගත් සෙබලා හිටගෙනම නිදා  ගන්නට විය.

මුරකුටිය අසලටම පැමි‚ සීමන් මුරකුටියේ නිදිකිරමින් සිටි සෙබලා දිටීය. "කට්ටිය නිදි වගේ˜ කියමින් සීමන් ඩ්‍රැයිවර් සෙබලාට වඩාත් සමීප විය. එසේ සමිපවී සෙබලාගේ උරහිසට තට්ටුකොට "මහත්තයෝ˜ කිවේ බිය මුසු ගෞරවයෙනි. අඩනින්දේ සිටි සෙබලාට සීතල ස්පර්ශයක් දැනුණි. තිගැස්සුණු ඔහු බිරාන්ත විය. තියුණු වක් පිහිය තම ගෙල හරහා තබන බව සිතාගත් සෙබලා වහාම කය පසුපසට නමා තමා ඉදිරියේ ඇති ඡායාවට වෙඩි තැබීය.

වෙඩි හඞත් සමග කඳවුරේ ඇතිවූයේ ගාලගොට්ටියකි. ටෝච් එළි සමඟ කටහ~වල් මුරකුටිය දෙසට ගලා ආවේය. ටෙරා, ටෙරා, සෙබලා කෑගැසීය,ඒ හඞ පරයා සාජන්ගේ කටහඞ ඇසුණි.

"කවුද? කෝප්‍රල් බණ්ඩාරද ?˜ සාජන් ඇසීය.

"ඔව් සාජන් මම ඩවුන් ගිහිං ඉන්නේ. වටේ බඩු ඇති.˜ මෙසේ කියමින් සෙබලා මුරකුටිය අසල තිබුණු පොල් ගස දෙසට බඩගෑවේය.

විනාඩි විස්සක් පමණ ගතවිය. සීමන්ගේ කෙඳිරිය හැර කිසිදු ශබ්දයක් නොඇසු‚. ඒ අතරතුරේ කඳවුරේ සෙබලූ අවට ප්‍රදේශය පරික්ෂාවට ලක් කළහ.

" කවුද වැටිලා ඉන්නේ සිවිලියන් කෙනෙක්ද?˜ ඛණ්ඩභාර ලූතිනන් වරයා ලේ විලක් මැද කෙදිරිගාමින් සිටින සීමන් දෙස බලා සිට කීවේය.

"කෝප්‍රල් බණ්ඩාර තමුසේ ටෙරා කියලා ෆයර් කරලා තියෙන්නේ සිවිලියන් කෙනෙකුටයි.˜ සාජන් දොස් පවරණ හඬින් කෝප්‍රල්වරයාට කීවේය. කෝප්‍රල් බණ්ඩාර තවමත් පොල් ගසට මුවා වූ ගමන්ය.

"නෑ සාජන් මූ ඇටැක් එකටයි ආවේ. මම හෝල්ට් කිවිවා. ඒත් කෙලින්ම පිහියක්ද මොකක්ද අරගෙන මට අනින්න ආවා.˜ සෙබලා නිදහසට කරුණු කිවේය.

න‍ැටී සිටි මිනිසා පරික්ෂා කල සෙබලූන්ට බිස්කට් ටින් එකක් හැර ආයුධයක් හෝ වෙන කිසිම දෙයන් සොයාගැනීමට බැරි විය.

"කෝප්‍රල් තමුසේ බුලක් ගහලා හොද වටයක් දැන් යන්න වෙයි. තුවාල කාරයා ඉස්පිරිතාලෙට ගෙනියන්න කැබ් එක ගේනවා.˜ යි ලූතිනන් වරයා විධානයක් දුන්නේය. ඉන්පසුව ලූතිනන්වරයා තුවාලකරු අමතා  "ඕයි තමුසේ මේ රෑ කෑම්ප් එකට රිංගුවේ මොකද?˜ යි ඇසීය.

තුවාලකරුට කථා කිරීම අපහසු විය. ඔහු අමාරුවෙන් කැස්සේය. කහිනවිට ලේ සහිත කෙළ මුවින් පිටවිය. ඒ   අතරවාරයේ කැබ් රථය පැමිණියේය. 

"අයිසේ මිනිහව ප්‍රවේශමෙන් උස්සලා කැබ් එකට දානවා˜ ලූතිනන් සෙබලූ දෙදෙනාට අණකලේ හැකි ඉක්මනින් තුවාල කරු රෝහලට පිටත් කිරීම සඳහාය. අනතුරුව පණිවිඩ හුවමාරු යන්ත්‍රයෙන් කඳවුරේ අණදෙන නිළධාරියා ඇමතීය.

"පූමා වන්.....

"පූමා වන්.......˜

"සර් කඳවුරට අනවසරයෙන් ඇතුල්වෙන්න ට්‍රයිකරපු සිවිලියන් කෙනෙකුට වෙඩිතියලා දැන් ඉස්පිරිතාලෙට ගෙනියනවා ඕවර්.˜

ඊට පිළිතුරු වශයෙන් අණදෙන නිළධාරියාගේ  හඞ ගොර ගොර˜ ගාමින් පණිවිඩ  හුවමාරු යන්ත්‍රයෙන් පිටවිය.

" ඕකේ සර්. මැසේජ් අන්ඩස්ටුඩ් ඕවර්.˜ ලූතිනන් පිළිතුරු දුන්නේ ගෞරවයෙනි.

සෙබලූ දෙදෙනෙක් වැටීසිටි සීමන් ප්‍රවේශමෙන් ඔසවා ගත්හ. කැබ් රථයේ රියදුරා රථයේ පසුපස දොර  හැරියේ තුවාල කරු හාන්සි කොට තැබීම සඳහාය. ලේ වැකුණු ශරීරය සීට් එක මත තැබීම නිසා සීට් කවරය ජරාවෙතියි ඔහු සිතිය. සීමන් අමාරුවෙන් දෑස් හැරිය. ගොතගසන ස්වරයෙන් ඔහු අවට සිටි සෙබලූන් අමතා

" අනේ මහත්තයෝ මේ බිස්කට් ටින් එක මගේ පුතාට දෙන්ට. කොල්ලගේ නම තිලකසිරි˜ යැයි කීය.   ඒ  සමඟම සීමන්ට කැස්සක් ආවේය. හෙතෙම ලේ කැටියක් මුවින් පිටකර නිසල විය.


වෛද්‍ය රුවන් එම්. ජයතුංග


Sunday, April 26, 2015

මානුෂිකත්වයට එරෙහිව සිදුකර ඇති සාපරාධි ක්‍රියා

 

               



" මිනිසුන් අසම්මතයන් කෙරෙහි විශ්වාසය තබන තාක්කල්
අමානුෂික ක්‍රියාවන්හි අඛණ්ඩවම නිරත වනු ඇත." -වෝල්ටෙයර් 


මානව ඉතිහාසය ප්‍රචණ්ඩත්වයෙන් හා ම්ලේඡ්ත්වයෙන් පිරී පවතී. ප්‍රචණ්ඩකාරී බව මිනිසා තුල පවත්නා නෛසර්ගික ලැදියාවක් ලෙස සැලකිය යුතු බව සමහර උගතුන් විසින් පෙන්වා දී තිබේ. ප්‍රචණ්ඩත්ව මිනිසාගේ මානසිකත්වයට අදාළ ප්‍රධාන සාධකයක් ලෙසින් සිග්මන් ෆ්‍රොයිඩ් විසින් සලකන ලදී. මනෝවිද්‍යාඥ එරික් ෆ්‍රෝම් විසින් ඔහුගේ "මානව ප්‍රචණ්ඩත්වයේ ව්‍යුහය" නම් ග්‍රන්ථයෙන් ප්‍රකාශ කොට ඇත්තේ, ප්‍රචණ්ඩත්වයේ මූලාරම්භය දෙස බලන කල බලගතු සංස්කෘතියක පවත්නා ප්‍රචණ්ඩත්වය ජීව විද්‍යාත්මක නොවන බවයි. ප්‍රචණ්ඩකාරී බව හා විනාශකාරී බව කරා ප්‍රවිශ්ට වනුයේ බහුමාන සංසිද්ධීන් දෙකක් ලෙසටය. මේවා යම් මානවීය තත්ත්වයක දුක්ඛදායක පැතිකඩක් විය හැකිය. 

පසුගිය වසර 100 ක පමණ ඈත අතීතයක් තුලදී මානුෂිකත්වයට එරෙහි සාමුහික ම්ලේඡ ක්‍රියාවන් රාශියක් සිදුකර ඇත. මෙම ක්‍රියාවන්ගෙන් බොහොමයක් සිදුකරන ලද්දේ තාක්ෂණික වශයෙන් දියුණු වූ ජාතීන් විසිනි. එම ක්‍රියාවන් මගින් විපතට පත් වූවන් දුක් පීඩාවන් විඳි නමුදු ඒවා සිදුකළ අපරාධකරුවන් දෙස කිසිවෙකුගේ නෙත් නොගැටුනි. ඉතිහාසය අපට පාඩමක් උගන්වයි. අතීතයේ කළ වැරදි වලින් පාඩම් ඉගෙන ගැනීමට අසමත් මිනිසුන් තවදුරටත් වැරදි කළහොත් ප්‍රචණ්ඩත්වය හා ම්ලේච්ඡත්වය වත්මන් ශිෂ්ටාචාරය කෙරෙහි ද නොකඩවා බලපානු ඇත.

කායික වධහිංසා පැමිණවීම්, ශරීරාංග සිඳලීම් , හෝ සිවිල් වැසියන් හෝ සටනෙහි නිරත නොවන්නන් ඝාතනය කිරීම, හමුදාමය නොවන ඉලක්ක විනාශ කිරීම තුවාල ලද යුධ සිරකරුවන්ට හිංසා පීඩා කිරීම හා ඔවුන් මරා දැමීම හා අධිකතර හානි හෝ තුවාල වීම් සිදුවන අන්දමින් ආයුධ භාවිතා කිරීම ආදිය සාමාන්‍යයෙන් ගත් කළ ම්ලේච්ඡ ක්‍රියාවන්ට අදාළ වේ.


මිනිස් සංහාරයන්


ඔවුන්ගේ සාමුහික දිවි පැවැත්ම අවසන් කිරීමේ නිශ්චිත අභිලාෂයෙන් මිනිස් සමූහයක් සංවිධානාත්මක ලෙස ඝාතනයට ලක් කිරීම සමූහ මිනිස් සංභාර ලෙසින් හැඳින්වේ. ඒ සඳහා පොදු සැලැස්මක් හා එය ක්‍රියාත්මක කිරීමට යාන්ත්‍රනයක්ද අවශ්‍ය වේ. 
සමූහ ඝාතන නම් අපරාධය වැලැක්වීමේ හා එයට දඬුවම් පැමිණවීමේ එක්සත් ජාතින්ගේ ප්‍රඥප්තිය සමූහ ඝාතන යන්න විස්තර කෙරෙනුයේ පහත දැක්වෙන ආකාරයටය.

"ජාතික, ජනවාර්ගික, වර්ණවාදී හෝ ආගමික කණ්ඩායම් කොටස් වශයෙන් හෝ මුලූමනින් විනාශ කිරීමට අදාලව සිදුකරන ලබන ක්‍රියාදාමයන්" යනුවෙනි. අතීතයේදී විශ්ව බලයන් මගින් මානුෂිකත්වයට එරෙහිව සිදුකරන ලද අමානුෂික ක්‍රියාවන්ට මෙම නිර්වචන අදාළ වේ.



ස්පාඤ්ඤ ආක්‍රමණිකයන් විසින් දකුණු ඇමරිකාවේ දී සිදුකළ මිලේච්ඡ ක්‍රියාවන්


1524 වර්ෂයේදී ෆ්‍රැන්සිස්කෝ පිසාරෝ ( Fransisco Pisarro ) මිනිසුන් 80 දෙනෙකු හා අශ්වයින් 40 දෙනෙකු සමග දකුණු ඇමරිකාවේ ස්වදේශික රාජ්‍ය අත්පත් කර ගැනීම සඳහා පිටත් විය. පිසාරෝ උගත් පුද්ගලයෙකු නොවුනද රත්‍රන් සෙවීමේ අතෘප්තිකර ආශාවකින් මෙහෙයවන ලද කුරිරු සෙබලෙකු විය. ෆ්‍රැන්සිස්කෝ පිසාරෝගෝ නායකත්වයෙන් යුත් ස්පාඤ්ඤ ආක්‍රමණිකයින් විසින් මූලූ ශිෂ්ටාචාරයක්ම වනසා දමන ලදී. ඔවුන් විසින් රට වැසියන් මරා දමන ලද අතර ඔවුන්ගේ රත්‍රන් කොල්ලකන්න ලදී. ස්වදේශිකයින්ව සමූහ වශයෙන් මරණයට පත් කිරීමට තුඩු දුන් පැපොල, සරම්ප වැනි රෝග හඳුන්වා දෙමින් ඔවුන් විසින් ජීව විද්‍යාත්මක පහර දීමේ ක්‍රමයක් ද භාවිත කරන ලදී. ක්‍රි: ව: 1650 වන විට බොහෝ ස්වදේශිකයින් මරණයට පත් වූ අතර මිනිසුන්ගෙන් හිස් වූ ගම්මාන වල අතහැර ගිය නිවෙස් තිඛෙනු දක්නා ලදී. සමෘද්ධිමත්, ස්වයං පෝෂිත දකුණු ඇමරිකානු ශිෂ්ටාචාරය අවිද්‍යමාන තත්ත්වයකට පත් විය. මෙම ක්‍රියාදාමය ස්පාඤ්ඤ අක්‍රමණිකයන් විසින් දකුණු ඇමරිකාවේදී සිදුකල භයානක ම්ලේච්ඡත්වයක් විය.


පෘතුගීසි ආක්‍රමණිකයන්ගේ කෲර ආයෝමය හස්තය


යටත් විජිතවාදී සුවිශේෂි බලවන්තයින් ලෙසින් පෘතුගීසීහු තමන් යටත්කරනු ලබන ජාතීන් බියවැද්දීම පිළිබඳව ප්‍රසිද්ධියක් ලබා සිටියහ. ආසියාවේ, අප්‍රිකාවේ හා දකුණු ඇමරිකාවේ වැසියන්ටද විරුද්ධව පෘතුගීසින් විසින් බොහෝ කෘෘරකම් කරන ලදී. ලංකාව තුලදී ඔවුහු දැඩි කුරිරු ම්ලේච්ඡ ක්‍රියාවන් සිදු කළහ. ඔවුන් විසින් බොහෝ ආගමික ගොඩනැගිලි ද්වේශ සහගත ලෙස විනාශ කරන ලද අතර, මිනිසුන් සතු ධනයද කොල්ල කන ලදී. ස්වදේශිකයින්ට කෘෘර වද හිංසාවලට ලක් කොට ඔවුන්ගේ සම්ප්‍රදායික ආගම් අතහැර දැමීමට බලකරන ලදී. පුද්ගලයන් හට කායික වද හිංසාවන් කිරීමට පෘතුගීසි හමුදාවට අණ දුන් ලේ පිපාසිත දුෂ්ඨයකුගේ ලකුණක් ලෙස ජෙනරාල් අසවේදුගේ නම තවමත් ලංකා ඉතිහාසයේ සටහන්ව පවතී. පෘතුගීසි හමුදාවන් විසින් අත දරුවන් මරා ලද දමන අතර මිනිසුන් නිරාහාරව තබා මිය යාමට ද සලස්වන ලදී. 


බ්‍රිතාන්‍ය යුද හමුදාව විසින් සිදු කරන ම්ලේච්ඡ කි්‍රයාවන්


බ්‍රිතාන්‍ය යුද හමුදාව විසින් අප්‍රිකාව, ඉන්දියාව හා ශ්‍රී ලංකාව තුලද ම්ලේච්ඡ කි්‍රයාවන් ගනනාවක් සිදුකරන ලදී. 1857 පැන නැගුනු සීපෝයි Sepoy කැරැල්ල ඔවුන් විසින් ඉතා කුරිරු ලෙස යටපත් කරන ලදී. 1919 අප්‍රේල් මස 13 වෙනි දින බ්‍රිතාන්‍ය යුද හමුදාවේ ජෙනරාල් ඩයර් විසින් වැඩි වශයෙන් කාන්තාවන්ගෙන් හා ළමයින්ගෙන් සමන්විත වූ නිරායුධ පුද්ගල කණ්ඩායමකට වෙඩි තබන ලෙස අම්රිස්ටාර්හිදී අණ කරන ලදී. පසු කලෙක මෙය ජල්ලියන්වාලා Jallianvala Baga සංහාරය යනුවෙන් ප්‍රසිද්ධියට පත්විය. මෙහිදී 300 කට වඩා මියගොස් දහස් ගණනක් තුවාල ලැබීය. මින් විපතට පත් වූවන් අතර කුඩා ළමුන් සිටියද බ්‍රිතාන්‍ය හමුදාව විසින් ජනරාල් ඩයර්ට විරුද්ධව කිසිම ක්‍රියාමාර්ගයක් නොගන්නා ලදී.

උඩරට ගිවිසුම අත්සන් කොට ටික කලකට පසුව 1818 දී කන්ද උඩරට වැසියන් බි්‍රතාන්‍ය යටත් විජිත පාලකයින්ට විරුද්ධව නැගී සිටියහ. යුද්ධ නීතිය ප්‍රකාශයට පත් කරන ලද අතර එම කැරැල්ල ඉතාම දරුණු අන්දමින් යටපත් කරන ලදී. බි්‍රතාන්‍ය හමුදාවේ මේජර් මැක්ඩොනල්ඩ් උඩරට වැසියන්ගෙන් පලි ගනිමින් ඔවුන්ගේ ධාන්‍ය අස්වැන්නටද ගිනි තැබීය. කැරැල්ලට සම්බන්ධ වූ බොහෝ දෙනෙකුට වෙඩි තබා මරා දමන ලද අතර සමහරුන්ව රටින් පිටුවහල් කරන ලදී. ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් පවා සිරකරුවන් ලෙස අල්ලා ගන්නා ලදී. 1918 ඌව කැරැල්ලේදී කැපී පෙනුන නායකයා වූ කැප්පෙටිපොල දිසාවේව මරණයට පත්කරන ලද අතර ඔහුගේ පවුලේ සාමාජිකයින්ව රටින් පිටුවහල් කරන ලදී. කැප්පෙටිපොල දිසාවගේ පුත්‍රයා සිරකරුවකුව සිටියදී මරණයට පත්විය. 

ගොන්ගාලේගොඩ බණ්ඩා හා පුරන් අප්පු විසින් නායකත්වය දෙන ලද 1848 කැරැල්ල පරාජය කරණු පිණිස බ්‍රිතාන්‍ය හමුදාව විසින් ඉතාම කෘෘර අන්දමින් සිය බලය යොදා ගන්නා ලදී. ගම් වාසින්ට ඉතාම අමානුශික හා දැඩි පීඩාකාරී දඬුවම් පමුනු වන ලද අතර ඔවුන්ගේ හරවත් සමාජ ව්‍යුහය බි්‍රතාන්‍ය යුද්ධ හමුදාව විසින් විනාශ කරන ලදී. බොහෝ දෙනෙකු එදිරිවාදී ක්‍රියාවලට හා කුසගින්නෙන් මිය යන තත්ත්වයකට ගොදුරු විය.


ඇමරිකාවේ අඳුරු ඉතිහාසය


ඇමරිකාවේ අලූතෙන් පදිංචි වූ සුදු ජාතිකයන් විසින් එහි පාරම්පරික ගෝත්‍රික ජනතාව වනචාරීන් ලෙස සලකමින් ඔවුන්ව විවිධ ම්ලේච්ඡ කි්‍රයාවන්ට ගොදුරු කරන ලදී. ඔවුන්ගේ ඉඩම් බලෙන්ම අත්පත් කරගන්නා ලද අතර ඔවුන්ගේ සංස්කෘතිය විනාශ කිරීමටද ක්‍රියා කලේය. හොලිිවුඩ් චිත්‍රපටි වලද රතු ඉන්දියානුවන් අතිශයින් දරුණු වනචාරී ප්‍රජාවක් ලෙසට නිරූපණය කරන ලදද ස්වභාවධර්මයා සමග හොඳින් සබඳ වූ නිශ්චිතජීවනෝපායක් ඔවුන් විසින් ගොඩනගාගෙන තිබුණි. රතු ඉන්දියානුවන් ස්වභාව දහමට ආදරය කල අතර වසර දහස් ගණනක් තිස්සේ පරිසරය සුරැකීමට ඔවුන්ගෙන් උදව් උපකාර ලැබිණ.

ඇමරිකානු ජනාධිපති Franklin Pierce ඉඩම් විකුණන ලෙස ස්වදේශිය ඇමරිකානු නායකයා වූ සියැටල් හට පැවසූ විට ඔහු තමාගේ පුදුමය ප්‍රකාශ කළේය. ඔහු මෙසේ ලිවීය. 

" අහස හෝ භූමියේ උණුසුම මිලට ගන්නේ හෝ විකුණන්නේ කෙසේද? මේ අදහස නම් අපට ඉතාම නුහුරුය. වාතයේ නැවුම් බව, ජලයේ පැහැදිලි බව, අපට අයිති නැතිනම්, ඔබ ඒවා මිලදී ගන්නේ කෙසේද? මෙම භූමියේ සෑම කොටසක්ම මාගේ මිනිසුනට ශුද්ධ වස්තූන්ය. සෑම දිලිසෙන පයින් කටුවක්ම, සෑම වැලි තලාවක්ම, අඳුරු කැලෑ වල ඇති සෑම මීදුම් පටලයක්, පිරිසිදු හා ගුමු නාද දෙන සෑම කෘමියෙක්ම, මාගේ මිනිසුන්ගේ මතකයේ හා අත්දැකීම් තුල රැෙඳන ශුද්ධ වස්තූන්ය. වෘක්ෂ කඳන් තුල ගලා යන සාරය තුල රතු ඉන්දියානුවන්ගේ මතකයන් රැඳී පවතී."

1601 වර්ෂයේදී උතුරු ඇමරිකාවේ පළමු ඉංග්‍රීසි ජනපද බිහිවීමක් සමගම ඇමරිකා එක්සත් ජනපදයේ වහල්භාවය යන්නෙහි මූලාරම්භය ඇතිවිය. එම වහල්භාවය 1865 දක්වාම පැවතුනි. වහලූන් හට සලකන ලද්දේ මිනිසුන් නොව භාණ්ඩ ලෙසිනි. ඉතාම රළු තත්ත්වයන් යටතේ ඔවුනට වැඩ කිරීමට සිදු විය. වහල් වෙළඳපොළ තුළ පුරුෂයින් ඔවුන්ගේ භාර්්‍යාවන්ගෙන් වෙන් කරන ලද අතර දරුවන්, මව්වරුන්ගෙන් වෙන් කරන ලදී. ඉතාම සුළු වරදකට පවා වහලූන්ට දඬුවම් කරන ලද අතර, මෙම දඬුවම් වලට සමූලඝාතනය කිරීම, පොලූ මුගුරු වලින් පහර දීම හා සමහර විට ශරීරාංග ඉවත් කිරීමද අන්තර් ගත විය.

වියට්නාමයේදී හා ඉරාකයේදී සිදුකරන ලද ම්ලේච්ඡ කි්‍රයාවන් සම්බන්ධයෙන්ද ඇමෙරිකානුවන් විවේචයට පාත්‍ර වී තිබේ. වියට්නාම් යුද්ධයේදී ඇමෙරිකානුවන් නේපාම් බෝම්බ භාවිතය කළ බවට චෝදනා එල්ල වී ඇති අතර ඔවුන් විසින් අස්වැන්න විනාශ කිරීමද නිරායුධ සිවිල් වැසියන් ඝාතනය කිරීමද සිදු කොට ඇත. වියට්නාම් යුද්ධයේදී ඇමෙරිකානූ හමුදා විසින් My Lai ගම්මානයේදී සිවිල් වැසියන් ගනනාවක් මරා දමන ලදී.

ඉරාකයේ සිවිල් වැසියන් මරණයට පත් වූ රටාව බලන කල අධි ආක්‍රමණශිලී ක්‍රමෝපායන්, ජනතාව ජීවත්ව සිටි ප්‍රදේශවල කල අවිචාරවත් කළ වෙඩි තැබීම්, ක‍ෂණික මාරාන්තික බලයන් කෙරේ විශ්වාසය තැබීම ආදියෙන් බලකාමී රටාවක් පෙන්නුම් කෙරෙන බව 2003 මානව හිමිකම් අධීක්ෂණ වාර්තාව තුලින් හෙලි වේ. වාර්තාගතව ඇති සමහර ආරංචි මාර්ග වලින් හෙලිවනුයේ ඉරාකයේ සිවිල් වැසියන් 600, 000 කටත් වඩා
මියගිය හා තුවාල ලද බවයි. 


ඉතාලි ජාතිකයන් විසින් අප්‍රිකාවේ සිදුකරන ලද අපරාධ


1911 ඔක්තොම්බර් මාසයේදී ඉතාලි - තුර්කි යුද්ධයේදී අතිවිශාල සංඛ්‍යාවක් ගෝත්‍රික ස්ත්‍රී පුරුෂයන් හා ළමුන්ද ඝාතනය කරමින් ඉතාලි හමුදා විසින් උතුරු අප්‍රිකානු දේශසීමාවන් ආක්‍රමණය කරන ලදී. (වත්මන් ලිබියාව) දෙවනි ලෝක යුධ සමයේදී හා ඉන් පෙරද ලිබියාවේදී හා ඉතියෝපියාවේදී මුසෝලීනීගේ හමුදාව විසින් බොහෝ විට ස්වදේශිකයන්ට පහර දීම සඳහා යුද්ධ ටැංකි, ගුවන් යානා හා
මස්ටර්ඩ් වායුද (රසායනික විෂ වායුවක්) භාවිතා කරන ලදී. 1929 - 1933 අතර කාලයේදී ඉතාලියානු පැසිස්ට්වාදීන් විසින් යටත් විජිත ලිබියාවේ නාසි -යුදෙව් සමූල ඝාතනයට පෙර දේශනපාලන සිරකරුවන් රඳවා තබන වද කඳවුරු ඉදිකරන ලදී. මෙම කඳවුරු වලදී පිරිමින් කායික වද හිංසා පමුණුවා, ස්ත්‍රීන් දූෂණය කොට, ළමුන් කුස ගින්නෙන් මිය යාමට ඉඩ හරින ලදී. ලිබියානු ගෝත්‍රික නායකයා වූ ඕමාර් මුක්තාර් ආක්‍රමණිකයන්ට විරුද්ධව නැගී සිට හොඳින් සන්නද්ධ වූ ඉතාලි හමුදාවට ප්‍රාථමික අවි ආයුධ යොදා ගනිමින් වසර 20 ක් තිස්සේ පැවති ගරිල්ලා යුද්ධයත් දියත් කලේය. ඔහුගේ නිදහස් සටන 1937 දී නිමාවට පත් විය. සටනකදී තුවාල ලද ඔහුව අල්ලාගෙන පසුව ඉතාලියානු හමුදාව විසින් මරු මුවට පත් කරන ලදී.

උතුරු අප්‍රිකාවේ බලෙන් අල්ලාගත් භූමි වල ඉතාලි - පැසිස්ට් හමුදාව විසින් සංවිධානාත්මක ලෙස ජනවාර්ගික සංහාරයක් කරගෙන යන ලදී. 1935 දී සිදු වූ ඉතාලියානු පැසිස්ට් ආක්‍රමණය හා අනතුරුව ඉතියෝපියාව අල්ලා ගැනීමේ කාලය තුල විවිධ ම්ලේච්ඡ ක්‍රියාවන් සිදු විය. ඉතාලි හමුදාවන් විසින් සිවිල් ඉලක්ක වලට මස්ටර්ඩ් වායුව යෙදූ අතර රෝහල් වලට හා ගම් වලට බෝම්බ හෙලමින් දසදහස් ගණනක් ජනයා මරුමුවට පත් කරන ලදී.


ඇල්ජීරියාවේ හා ඉන්දු චීනයේ - ප්‍රංශ ජාතිකයන් සිදුකරන ලද අපරාධ


ප්‍රංශ ජාතිකයන් විසින් වසර 132 ක් පුරා ඇල්ජීරියාව අත්පත් කරගෙන සිටි අතර දරුණුතම ම්ලේච්ඡ ක්‍රියාවන් සිදුකරන ලද්දේ 1830 - 1862 අතර කාල වකවානුවේදීය. 1870 දී ඇල්ජීරියාවේ ආණ්ඩුකාර තෝමස් බියොනාඩි විසින් ඇල්ජීරියානු සිවිල් වැසියන් හට පහර දීමට පටන් ගත්තේ ඔවුන් සමූල ඝාතනය කරමින් හා රටින් පිටුවහල් කරමිනි. සමහර වාර්තා වලට අනුව සිය ගණන් මිනිසුන් පණ පිටින් පුලූස්සා දමන ලද හෝ ආක්‍රමණික ප්‍රංශ හමුදා වලින් සැඟවීම සඳහා සැඟව සිටි පුද්ගලයන් එම ගුහාතුලදීම නිෂ්පූර්ණ මරණ වලට (ඔක්සිජන් නොමැති වීමෙන් සිදුවන මරණ) ගොදුරු කරන ලදහ. ගම්මානවල සිවිල් වැසියන් මරා දමමින්, කාන්තාවන් දූෂණය කරමින්, ගම්මාන වලට ගිනි ලබන ලදී. ගම් වැසියන් කුස ගින්නෙන් මිය යෑමට ඉඩ හැර, දේපළ, ආහාර හා අස්වැන්න විනාශ කොට දමන ලදී. ප්‍රංශය විසින් ඇල්ජීරියාව අත්පත් කරගෙන සිටි කාලය තුලදී ඇල්ජීරියානු ජාතිකයන් විශාල පිරිසක් දේශපාලන කඳවුරුවලට හෝ "කූඩාරම් නගරවලට" බලෙන් යවන ලදී. 1830-1930 අතර කාල වකවානුව තුළදී ඇල්ජීරියානු ජනගහනයෙන් 15% හා 25% අතර සංඛ්‍යාවක් එබඳු කඳවුරු තුළදී මිය යන ලද බවට වාර්තා වේ.

දහස්ගණන් ඇල්ජීරියානුවන්ට එරෙහිව ප්‍රංශ යුද හමුදාව හා පොලීසිය විසින් පුළුල් අන්දමින් සිදු කළ ශාරීරික වදහිංසා පැමිණවීම් පිළිබඳව 1957 වසරේදී අන්තර්ජාතික රතුකුරුසය මගින් ලොවට හෙළි කරන ලදී. ප්‍රංශ ජාතිකයින් විසින් කායික වධහිංසා පැමිණවීම් කිරීමට යොදාගත් තාඬණයන් අතර සිරුරේ ඉතාම සංවේදී ඉන්ද්‍රියන්ට විදුලි සැර යෙදීම, ජලයේ ගිල්වීම, වීදුරු හා ලී වස්තූන් සමඟ මෛථූනයේ යෙදවීම, පාද වලින් හා දෑත්වලින් එල්ලා තැබීම හා සිගරට්ටු වලින් පිළිස්සීම ආදිය විය. (මරන්, රීටා (1989) මේ අතරින් වඩාත්ම ප්‍රකෝපකාරී ක්‍රියාව වූයේ 1945 මැයි මාසයේදී අල්ලාගත් ප්‍රංශ හමුදා විසින් ඉතාම සුළු දින කිහිපයක් තුළදී ඇල්ජීරියානුවන් 45,000 ක් පමණ සංහාරයට ලක් කළ ක්‍රියාවයි. 


ජපාන අධිරාජ්‍යවාදයේ බියකරු පාර්ශවය


ජපාන අධිරාජ්‍යවාදී යුගයේදී ඔවුන් විසින් අල්ලා ගන්නා ලද ආසියාතික රටවල විශාල වශයෙන් මිලේච්ඡ ක්‍රියාවන් කරන ලදී. ජපාන අධිරාජ්‍යවාදී හමුදා මගින් සතුරු සිවිල් වැසියන් හා සතුරු සටන් වදින්නන්ට එරෙහිව අපරාධ සිදුකරන ලදී. ඉමහත් අපකීර්තියට පත් 1937 නැන්කින් මිනිස් සංහාරයේදී දස දහස් ගණන් චීන සිවිල් වැසියන් ඝාතනය කළ අතර 20,000-80,000 අතර සංඛ්‍යාවක කාන්තාවන් ජපාන යුද සෙබළුන් විසින් දුෂණයට බඳුන් කරන ලදී. අධිරාජ්‍යවාදී යුධ හමුදාව විසින් සුවපහසුව සලසන්නන් හෝ ලිංගික වහලූන් වශයෙන් සේවය කරනු පිණිස චීනයෙන් හා කොරියාවෙන් කාන්තාවන් බලයෙන් පැහැරගෙන යන ලදී. දෙවන ලෝක යුද සමයේදී ඇස්තමේන්තු ගත පරිදි 100,000 සිට 400,000 දක්වා කාන්තා ලිංගික වහලූන් සංඛ්‍යාවක් ජපාන යුද හමුදා භටයින්ට ලිංගික සේවය සලසනු පිණිස බලෙන්ම යොදවා ගන්නා ලදී.

1937-1945 අතර කාලයේදී 3,000,000 සිට 10,000,000 දක්වා ජනතාවක් බොහෝවිට 6,000,000 ක් චීන ඉන්දුනීසියානු, කොරියානු, පිලිපීන හා ඉන්දු චීන ජාතිකයන්, ජපාන යුද හමුදාව විසින් මරා දමන ලදී.මරණයට පත්කරන ලද අනෙකුත් අය අතර අපරදිග යුද සිරකරුවෝද වූහ. (මහාචාර්ය R.J. Mummel- දේශපාලන විද්‍යාපීඨය - හවායි විශ්ව විද්‍යාලය)


ඕස්ට්‍රේලියාවේ අඳුරු අතීතය


ඕස්ට්‍රේලියාවේ නව ජනපද පිහිටවූ යුරෝපීයයන් හට එහි දේශීය ජනතාවගෙන් එතරම් විරෝධතාවන්ට මුහුණදීමට සිදු නොවීය. සමහර ආහාර හිඟවූ අවස්ථාවලදී ආහාර සැපයීමෙන් පවා නව පදිංචිකරුවන්ට උපකාර කිරීමට ඇබරජිනියන්වරුන් ඉදිරිපත් විය. ඇබරජිනියන්වරුන් කිසිසේත්ම හොඳින් සන්නද්ධ වූ යුරෝපීය පදිංචිකරුවන්ට සමකළ නොහැකි විය. ක්‍රමයෙන් මෙම ස්වදේශිකයින්ට පහර දී කාන්තාර ප්‍රදේශවලට පළවා හරින ලදී. අපකීර්තියට පත්ව ඇති 1830 දී සිදු වූ Myall Creet සමූහ ඝාතනයේදී ඇබරීජියානු ළමුන් පවා මරා දමන ලදී.

1869 සිට 1960 අතර කාලය තුළදී (සමහර ප්‍රදේශවල 1970 තෙක්) ඕස්ට්‍රේලියානු රජය විසින් අර්ධ ඇබරීජියානු ළමුන්, ඔවුන්ගේ මවුවරුන්, දෙමාපියන් පවුල් හා ප්‍රජාවන් බලෙන් පිටමං කරන ලදී. ළමුන් සමහර ආයතනවලට ද යවන ලදී. 1950 සිට සමහර ළමුන් සුදු ජාතික පවුල් සමඟ ද රඳවා තබන ලදී. ඇබරජිනියන් ළමුන් කම්කරුවන් හෝ සේවකයින් විය යුතු බවට බලාපොරොත්තු වන ලදී. විශේෂයෙන් ඇබරජිනියන් දැරියන් ගෘහ සේවයට පුහුණු කිරීම පිණිස මණ්ඩලය මගින් ස්ථාපිත කරන ලද නිවෙස් වලට පිටත් කරන ලදී. මෙම පීඩාවට පත්වූවන් පසුකලෙක "සොරාගන්නා ලද පරම්පරාවක්" ලෙසින් හඳුන්වනු ලැබීය. මෙල්බර්න් විශ්ව විද්‍යාලයේ මනෝචිකිත්සක හා වෛද්‍ය ෙජ්න් මෙකන්ඩි්‍රක් ප්‍රකාශ කොට ඇත්තේ "සොරා ගන්නා ලද පරම්පරාවේ පුද්ගලයින් බෝහෝදෙනෙකු මානසිකව, කායිකව හෝ ලිංගිකව අපචාරයට පත්වූ අයයි," යනුවෙනි. 


දෙවන ලෝක යුද සමයේදී ජර්මන් හමුදා විසින් සිදුකරන ලද ම්ලේච්ඡ ක්‍රියාවන්


හිට්ලර්ගේ පාලන සමයේදී NAZI ජර්මනිය විසින් දේශපාලන සිරකඳවුරුවල සිටි යුදෙව්වන් මිලියන 6ක් පමණ සමූල ඝාතනය කරන ලදී. අල්ලා ගත් ප්‍රදේශවල ජර්මානු හමුදා විසින් බරපතල අපරාධ සිදුකරන ලදී. යුදෙව්වන්, පෝලන්ත ජාතිකයින්, රුසියානුන් අහිකුන්ටික ගෝත්‍රිකයන් හට කායික වධහිංසා පැමිණවීම, පිටුවහල් කිරීම, මරණීය දණ්ඩනය දීම ආදී බොහෝ කෘෘර ක්‍රියාවන් සිදු කරන ලදී. 1939-1945 අතර කාලයේදී තමන් අල්ලා ගත් ප්‍රදේශ වල සහයෝගී රාජ්‍යයන් හා අල්ලාගත් රාජ්‍යවලින් හමුදාවට බඳවාගන්නා ලද පිරිසකගේ ද සහාය ලබා සිටි ජර්මන් හමුදාව විසින් මිලියන 11-14 දක්වා සංඛ්‍යාවක් සංවිධානාත්මකව මරුමුවට පත්කරනු ලැබීය. බොහෝ අහිංසක මිනිසුන් කුසගින්නේ මියයාමට ඉඩහැර තබන ලදී. Holocaust (අග්නිහෝමය) මානව ඉතිහාසයේ කලූ පැල්ලමක් ලෙසින් අදට ද සටහන්ව පවතී.


පලස්තීනයට විරුද්ධව ඊශ්‍රායල් ප්‍රචණ්ඩත්වය


පලස්තීන සිවිල් වැසියන්ට එරෙහිව සංවිධානාත්මකව පහරදීම් දියත්කිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන් විසින් (UN )- ඊශ්‍රාලය ගර්හාවට ලක්කරන ලදී. සිවිල් වැසියන් ඝාතනය කරමින්, දහස් ගණන් නිවාස විනාශ කරමින්, මෑතකදී ගාසා තීරයේ කල පහරදීම්, ඊශ්‍රායල හමුදාව විසින් සිදුකරන ලද භයානක මිලේච්ඡ ක්‍රියාවන් හැටියට විස්තර කළ හැකි වේ. පලස්තීනයේ මානව හිමිකම් මධ්‍යස්ථානයට අනුව ඊශ්‍රායල ප්‍රහාරවලදී පලස්තීනුවන්, 1434 දෙනෙකු මරණයට පත්විය. ඔවුන්ගෙන් 960 දෙනෙකු සිවිල් වැසියෝ වූහ. ඒ අතර ළමුන් 288 ක් විය. ගාසා තීරයේ ඊශ්‍රායල් ක්‍රියාකාරකම් මානුෂවාදී බවට මෙන්ම මානව ගරුත්වයට අදාළව ද අර්බුද නිර්මාණය කළේය. මිනිසුන්ගේ ජීවනෝපායට අදාළ මෙම දැවැන්ත විනාශකාරී ක්‍රියාවන් හා යටිතල පහසුකම් පරිහාණියට පත්වීමෙන් අනතුරුව ගාසා තීරයේ ජනගහනයෙන් 80% ක් මේ වන විට වාසය කරන්නේ මානුෂීය ආධාර යටතේය.


මානුෂිකත්වයට එරෙහිව සිදුකර ඇති සාපරාධි ක්‍රියා නිම කිරීම


ජාත්‍යන්තර අපරාධ අධිකරණයට අදාළ ආඥාපනත මගින් පැහැදිලි කෙරෙන ප්‍රකාශයේ නිර්වචනය වී ඇති පරිදි මානුෂිකත්වයට එරෙහිව සිදු වන අපරාධ යනු විශේෂයෙන් ද්වේෂසහගත, නීති විරෝධී ක්‍රියාවන්ය. එම ක්‍රියාවන් තුළ මානව ගරුත්වයට අදාළ බරපතල පහරදීම් හෝ එක් මිනිසෙකු හෝ මිනිසුන් කිහිපදෙනෙකුට සිදු කරනු ලබන බරපතල අපහාස කිරීම් හෝ පහත්කොට සැළකීමේ ක්‍රියාවන් අන්තර්ගත වී පවතී. ඒවා හුදකලා වූ විසිරී, පවතින සිද්ධීන් නොවේ, එක්කෝ රාජ්‍ය ප්‍රතිපත්තියක කොටසක් හෝ (එම අපරාධකරුවන් එම ප්‍රතිපත්තිය මත තමන් හඳුන්වා නොදෙතත්) රාජ්‍ය හෝ නිශ්චිත අධිකාරියක් මගින් ඉවසා සිටින හෝ ගැරහුම් කරනු ලබන ක්‍රියාවන් වේ. ඝාතනයට ලක්කිරීම්, මිනිස් සංහාරයන්, කායික වධහිංසා වලට ලක්කිරීම, ස්ත්‍රී දූෂණය සහ දේශපාලනික හෝ වර්ගවාදී හෝ ආගමික හිංසනය හා අනෙකුත් අමානුෂික ක්‍රියාවන් මානුෂවාදී බවට විරුද්ධ අපරාධවල එළිපත්ත කරා ලඟා වීමට උපකාරී වේ. එසේ වන්නේ ඒවා ව්‍යාප්තවූ හෝ විධිමත් ආකාරයකින් කරන ලද ක්‍රියාමාර්ගයක් නම් පමණකි. 

මේ ආකාරයෙන් හුදකලා වූ අමානුෂික ක්‍රියාවන් මගින් මානව හිමිකම්වල දැඩි උල්ලංඝණය වීම් හෝ අදාළ අවස්ථාව අනුව යුධ අපරාධ ලෙස සැළකේ. එතෙක් සමහර අවස්ථාවල කලින් සාකච්ඡා වූ අපරාධ යටතට නොවැටීම සිදුවනු ඇත.

"මානුෂවාදී බවට විරුද්ධ අපරාධ පිළිබඳ සෙවීමට මුල් පිරීම - ජාත්‍යන්තර අර්බුධ කණ්ඩායම", යන්නෙහි සභාපති වන ගැරත් එවන්ස් ඔහුගේ අදහස් ප්‍රකාශ කරන්නේ පහත දැක්වෙන ආකාරයටය.

"ජාත්‍යන්තර සබඳතා හා බලන කල්හි විශේෂයෙන්ම යුද්ධය හා සාමයට අදාළ ගැටලු ප්‍රචණ්ඩත්වය සහ අප විසින් මෙහිදී සැළකිල්ලට බඳුන් කළ අතිශය දරුණු ලෙස සළකන මානව හිමිකම් කඩකිරීම් සම්බන්ධයෙන් ගත් විට සාමාන්‍යයෙන් ශුභවාදී මනසකින් මෙබඳු ක්‍රියාවන් කෙරේ යොමුවන ඕනෑම පුද්ගලයෙකු එක්කෝ මුළුමනින් උමතු නොවේ නම් අසාධනීය ලෙස මුග්ධ විය යුතුවේ. යම් රජයකින් තමාගේම වැසියනට එරෙහිව සෘජුවම සිදුකල හෝ එබඳු ක්‍රියාවන් වැළැක්වීමට අසමත් හෝ අකමැති රජයන් මගින් එසේ කිරීමට ඉඩහල, සමූහ ඝාතන සහ ම්ලේච්ඡත්වයට අදාළ අපරාධ ගත්විට නම්, මුළුමනින්ම උමතු කෙනෙකුට වුවද ශුභවාදීව මෙදෙස බැලිය නොහැකිය. අප ජීවත්වන මේ ලෝකය තුළ නරුම බව, දෙබිඩි පිළිවෙත්, ජාතික වටිනාකම්වලට දැඩිසේ විරුද්ධ වීම, ඉහළ පෙළේ දේශපාලනික ක්‍රියාකාරකම් හා දේශපාලනික වාසි තකා පහත් මට්ටමේ ක්‍රියා කිරීම ආදී ක්‍රියාකාරකම් බහුලව පවතී.


කුරිරු ජාතීන් ලොව නොමැත


සෑම ජාතියක්ම එකිනෙකාට එරෙහිව කිසියම් ආකාරයක ප්‍රචණ්ඩ ක්‍රියාවන් සිදුකොට ඇත. පුළුල් අරුතකින් ගත්කල සියලූදෙනාම ආක්‍රමණිකයින් මෙන්ම පීඩාවට පත් වන්නන් ද වූහ. අප සිතන ආකාරයේ කෘෘර ජාතීන් ලෝකයේ නැත. ජනතාව ප්‍රචණ්ඩ ක්‍රියාවන් කිරීමට පොළඹවිය හැක්කේ අගතියට පත් පුද්ගලයින් හටය. එබඳු අඳුරු බලපෑම් කෙරේ ජනතාව සංවේදීව හා අවධියෙන් සිටිය යුතුවේ.

ජේ. ක්‍රිෂ්ණමූර්ති නම් ඉන්දීය ජාතික දාර්ශනිකයාගේ ප්‍රකාශයකින් ප්‍රචණ්ඩත්වයේ හා අගනිසේ බීජ මිනිස් මනස තුළ මුල්බැස ගන්නා අන්දම පිළිබඳව වඩාත් පුළුල් අවබෝධයක් ලබාදේ. In Freedom from the known ග්‍රන්ථය - පිටු 51-52 

"ඔබ, ඔබව ඉන්දියානුවෙකු, මුස්ලිම්වරයෙකු, ක්‍රිස්තියානිකාරයෙකු, යුරෝපීය ජාතිකයෙකු හෝ වෙනත් ඔනෑම කෙනෙකු බවට පවසන්නේ නම් ඔබ ප්‍රචණ්ඩය. එය ප්‍රචණ්ඩ වන්නේ මන්දැයි ඔබට පෙනෙන්නෙහිද? අනෙකුත් මිනිස් පිරිස අතුරෙන් ඔබ, ඔබව වෙන් කරයි. ඇදහිලි, ජාතිය හෝ සම්ප්‍රදායන් මත ඔබ වෙන් වෙන විට එය ප්‍රචණ්ඩත්වය කරා මග පාදයි. එබැවින් ප්‍රචණ්ඩත්වය යන්න වටහාගැනීමට තැත් කරන මිනසෙකු කිසිඳු රටකට, කිසිඳු ආගමකට, කිසිඳු දේශපාලන පක්ෂයකට හෝ පක්ෂග්‍රාහී ක්‍රමයකට අයත්නොවේ. ඔහු සැළකිල්ල දක්වනුයේ මිනිසත්බව යන්න මුළුමනින් වටහාගැනීමටය. "

මිලේච්ඡ ක්‍රියාවන් හා මිනිස් සංහාර පිළිබඳව මයිකල් ආතර් නිව්ඩව්ගේ : ගේ මතය

මිනිසුන් එක්දිනෙක සැනින් අවදිව සාමූහික සංහාර නොකරයි. ඔවුන් එය ආරම්භ කරනුයේ ක්‍රම ක්‍රමයෙනි. අන් අයගෙන් සෙමින් ඉවත් වී, යම් විශ්වාසයන්හි ගැලී සිටින අයව එම විශ්වාසයන් හීන කරවීමට තුඩුදෙන අන්දමට ක්‍රියාකරමින් සුළු වංචනික පියවර තබමින් එය ආරම්භ කරයි. ඔවුන් එයට ඉදිරිපත් වනුයේ : "අපි ධාර්මික වෙමු. අපි අන් අයගේ මත ඉවසමු." යනුවෙන් පවසමිනි. මෙම ඉවසීම කාලය සමඟ හීන වී යත්ම නොවැළැක්විය හැකි හානි සම්බන්ධව සැළකිල්ලට නොගැනී යයි. 'අපගේ නිදහසට අදාළ ප්‍රථම පියවරේදීම අනතුරු සංඥාවක් ඇතිකරගැනීම සුදුසුය.' යනුවෙන් ජේම්ස් මැඩිසන් ප්‍රඥාවෙන් යුතුව පවසා ඇත්තේ එබැවිනි. 


වෛද්‍ය රුවන් එම්. ජයතුංග විසින් ලියන ලද The Atrocities Committed Against Humanity ලිපිය ඇසුරෙනි. පරිවර්තනය A S වික්‍රමසිංහ

Find Us On Facebook