Sunday, April 26, 2015

මානුෂිකත්වයට එරෙහිව සිදුකර ඇති සාපරාධි ක්‍රියා

 

               



" මිනිසුන් අසම්මතයන් කෙරෙහි විශ්වාසය තබන තාක්කල්
අමානුෂික ක්‍රියාවන්හි අඛණ්ඩවම නිරත වනු ඇත." -වෝල්ටෙයර් 


මානව ඉතිහාසය ප්‍රචණ්ඩත්වයෙන් හා ම්ලේඡ්ත්වයෙන් පිරී පවතී. ප්‍රචණ්ඩකාරී බව මිනිසා තුල පවත්නා නෛසර්ගික ලැදියාවක් ලෙස සැලකිය යුතු බව සමහර උගතුන් විසින් පෙන්වා දී තිබේ. ප්‍රචණ්ඩත්ව මිනිසාගේ මානසිකත්වයට අදාළ ප්‍රධාන සාධකයක් ලෙසින් සිග්මන් ෆ්‍රොයිඩ් විසින් සලකන ලදී. මනෝවිද්‍යාඥ එරික් ෆ්‍රෝම් විසින් ඔහුගේ "මානව ප්‍රචණ්ඩත්වයේ ව්‍යුහය" නම් ග්‍රන්ථයෙන් ප්‍රකාශ කොට ඇත්තේ, ප්‍රචණ්ඩත්වයේ මූලාරම්භය දෙස බලන කල බලගතු සංස්කෘතියක පවත්නා ප්‍රචණ්ඩත්වය ජීව විද්‍යාත්මක නොවන බවයි. ප්‍රචණ්ඩකාරී බව හා විනාශකාරී බව කරා ප්‍රවිශ්ට වනුයේ බහුමාන සංසිද්ධීන් දෙකක් ලෙසටය. මේවා යම් මානවීය තත්ත්වයක දුක්ඛදායක පැතිකඩක් විය හැකිය. 

පසුගිය වසර 100 ක පමණ ඈත අතීතයක් තුලදී මානුෂිකත්වයට එරෙහි සාමුහික ම්ලේඡ ක්‍රියාවන් රාශියක් සිදුකර ඇත. මෙම ක්‍රියාවන්ගෙන් බොහොමයක් සිදුකරන ලද්දේ තාක්ෂණික වශයෙන් දියුණු වූ ජාතීන් විසිනි. එම ක්‍රියාවන් මගින් විපතට පත් වූවන් දුක් පීඩාවන් විඳි නමුදු ඒවා සිදුකළ අපරාධකරුවන් දෙස කිසිවෙකුගේ නෙත් නොගැටුනි. ඉතිහාසය අපට පාඩමක් උගන්වයි. අතීතයේ කළ වැරදි වලින් පාඩම් ඉගෙන ගැනීමට අසමත් මිනිසුන් තවදුරටත් වැරදි කළහොත් ප්‍රචණ්ඩත්වය හා ම්ලේච්ඡත්වය වත්මන් ශිෂ්ටාචාරය කෙරෙහි ද නොකඩවා බලපානු ඇත.

කායික වධහිංසා පැමිණවීම්, ශරීරාංග සිඳලීම් , හෝ සිවිල් වැසියන් හෝ සටනෙහි නිරත නොවන්නන් ඝාතනය කිරීම, හමුදාමය නොවන ඉලක්ක විනාශ කිරීම තුවාල ලද යුධ සිරකරුවන්ට හිංසා පීඩා කිරීම හා ඔවුන් මරා දැමීම හා අධිකතර හානි හෝ තුවාල වීම් සිදුවන අන්දමින් ආයුධ භාවිතා කිරීම ආදිය සාමාන්‍යයෙන් ගත් කළ ම්ලේච්ඡ ක්‍රියාවන්ට අදාළ වේ.


මිනිස් සංහාරයන්


ඔවුන්ගේ සාමුහික දිවි පැවැත්ම අවසන් කිරීමේ නිශ්චිත අභිලාෂයෙන් මිනිස් සමූහයක් සංවිධානාත්මක ලෙස ඝාතනයට ලක් කිරීම සමූහ මිනිස් සංභාර ලෙසින් හැඳින්වේ. ඒ සඳහා පොදු සැලැස්මක් හා එය ක්‍රියාත්මක කිරීමට යාන්ත්‍රනයක්ද අවශ්‍ය වේ. 
සමූහ ඝාතන නම් අපරාධය වැලැක්වීමේ හා එයට දඬුවම් පැමිණවීමේ එක්සත් ජාතින්ගේ ප්‍රඥප්තිය සමූහ ඝාතන යන්න විස්තර කෙරෙනුයේ පහත දැක්වෙන ආකාරයටය.

"ජාතික, ජනවාර්ගික, වර්ණවාදී හෝ ආගමික කණ්ඩායම් කොටස් වශයෙන් හෝ මුලූමනින් විනාශ කිරීමට අදාලව සිදුකරන ලබන ක්‍රියාදාමයන්" යනුවෙනි. අතීතයේදී විශ්ව බලයන් මගින් මානුෂිකත්වයට එරෙහිව සිදුකරන ලද අමානුෂික ක්‍රියාවන්ට මෙම නිර්වචන අදාළ වේ.



ස්පාඤ්ඤ ආක්‍රමණිකයන් විසින් දකුණු ඇමරිකාවේ දී සිදුකළ මිලේච්ඡ ක්‍රියාවන්


1524 වර්ෂයේදී ෆ්‍රැන්සිස්කෝ පිසාරෝ ( Fransisco Pisarro ) මිනිසුන් 80 දෙනෙකු හා අශ්වයින් 40 දෙනෙකු සමග දකුණු ඇමරිකාවේ ස්වදේශික රාජ්‍ය අත්පත් කර ගැනීම සඳහා පිටත් විය. පිසාරෝ උගත් පුද්ගලයෙකු නොවුනද රත්‍රන් සෙවීමේ අතෘප්තිකර ආශාවකින් මෙහෙයවන ලද කුරිරු සෙබලෙකු විය. ෆ්‍රැන්සිස්කෝ පිසාරෝගෝ නායකත්වයෙන් යුත් ස්පාඤ්ඤ ආක්‍රමණිකයින් විසින් මූලූ ශිෂ්ටාචාරයක්ම වනසා දමන ලදී. ඔවුන් විසින් රට වැසියන් මරා දමන ලද අතර ඔවුන්ගේ රත්‍රන් කොල්ලකන්න ලදී. ස්වදේශිකයින්ව සමූහ වශයෙන් මරණයට පත් කිරීමට තුඩු දුන් පැපොල, සරම්ප වැනි රෝග හඳුන්වා දෙමින් ඔවුන් විසින් ජීව විද්‍යාත්මක පහර දීමේ ක්‍රමයක් ද භාවිත කරන ලදී. ක්‍රි: ව: 1650 වන විට බොහෝ ස්වදේශිකයින් මරණයට පත් වූ අතර මිනිසුන්ගෙන් හිස් වූ ගම්මාන වල අතහැර ගිය නිවෙස් තිඛෙනු දක්නා ලදී. සමෘද්ධිමත්, ස්වයං පෝෂිත දකුණු ඇමරිකානු ශිෂ්ටාචාරය අවිද්‍යමාන තත්ත්වයකට පත් විය. මෙම ක්‍රියාදාමය ස්පාඤ්ඤ අක්‍රමණිකයන් විසින් දකුණු ඇමරිකාවේදී සිදුකල භයානක ම්ලේච්ඡත්වයක් විය.


පෘතුගීසි ආක්‍රමණිකයන්ගේ කෲර ආයෝමය හස්තය


යටත් විජිතවාදී සුවිශේෂි බලවන්තයින් ලෙසින් පෘතුගීසීහු තමන් යටත්කරනු ලබන ජාතීන් බියවැද්දීම පිළිබඳව ප්‍රසිද්ධියක් ලබා සිටියහ. ආසියාවේ, අප්‍රිකාවේ හා දකුණු ඇමරිකාවේ වැසියන්ටද විරුද්ධව පෘතුගීසින් විසින් බොහෝ කෘෘරකම් කරන ලදී. ලංකාව තුලදී ඔවුහු දැඩි කුරිරු ම්ලේච්ඡ ක්‍රියාවන් සිදු කළහ. ඔවුන් විසින් බොහෝ ආගමික ගොඩනැගිලි ද්වේශ සහගත ලෙස විනාශ කරන ලද අතර, මිනිසුන් සතු ධනයද කොල්ල කන ලදී. ස්වදේශිකයින්ට කෘෘර වද හිංසාවලට ලක් කොට ඔවුන්ගේ සම්ප්‍රදායික ආගම් අතහැර දැමීමට බලකරන ලදී. පුද්ගලයන් හට කායික වද හිංසාවන් කිරීමට පෘතුගීසි හමුදාවට අණ දුන් ලේ පිපාසිත දුෂ්ඨයකුගේ ලකුණක් ලෙස ජෙනරාල් අසවේදුගේ නම තවමත් ලංකා ඉතිහාසයේ සටහන්ව පවතී. පෘතුගීසි හමුදාවන් විසින් අත දරුවන් මරා ලද දමන අතර මිනිසුන් නිරාහාරව තබා මිය යාමට ද සලස්වන ලදී. 


බ්‍රිතාන්‍ය යුද හමුදාව විසින් සිදු කරන ම්ලේච්ඡ කි්‍රයාවන්


බ්‍රිතාන්‍ය යුද හමුදාව විසින් අප්‍රිකාව, ඉන්දියාව හා ශ්‍රී ලංකාව තුලද ම්ලේච්ඡ කි්‍රයාවන් ගනනාවක් සිදුකරන ලදී. 1857 පැන නැගුනු සීපෝයි Sepoy කැරැල්ල ඔවුන් විසින් ඉතා කුරිරු ලෙස යටපත් කරන ලදී. 1919 අප්‍රේල් මස 13 වෙනි දින බ්‍රිතාන්‍ය යුද හමුදාවේ ජෙනරාල් ඩයර් විසින් වැඩි වශයෙන් කාන්තාවන්ගෙන් හා ළමයින්ගෙන් සමන්විත වූ නිරායුධ පුද්ගල කණ්ඩායමකට වෙඩි තබන ලෙස අම්රිස්ටාර්හිදී අණ කරන ලදී. පසු කලෙක මෙය ජල්ලියන්වාලා Jallianvala Baga සංහාරය යනුවෙන් ප්‍රසිද්ධියට පත්විය. මෙහිදී 300 කට වඩා මියගොස් දහස් ගණනක් තුවාල ලැබීය. මින් විපතට පත් වූවන් අතර කුඩා ළමුන් සිටියද බ්‍රිතාන්‍ය හමුදාව විසින් ජනරාල් ඩයර්ට විරුද්ධව කිසිම ක්‍රියාමාර්ගයක් නොගන්නා ලදී.

උඩරට ගිවිසුම අත්සන් කොට ටික කලකට පසුව 1818 දී කන්ද උඩරට වැසියන් බි්‍රතාන්‍ය යටත් විජිත පාලකයින්ට විරුද්ධව නැගී සිටියහ. යුද්ධ නීතිය ප්‍රකාශයට පත් කරන ලද අතර එම කැරැල්ල ඉතාම දරුණු අන්දමින් යටපත් කරන ලදී. බි්‍රතාන්‍ය හමුදාවේ මේජර් මැක්ඩොනල්ඩ් උඩරට වැසියන්ගෙන් පලි ගනිමින් ඔවුන්ගේ ධාන්‍ය අස්වැන්නටද ගිනි තැබීය. කැරැල්ලට සම්බන්ධ වූ බොහෝ දෙනෙකුට වෙඩි තබා මරා දමන ලද අතර සමහරුන්ව රටින් පිටුවහල් කරන ලදී. ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් පවා සිරකරුවන් ලෙස අල්ලා ගන්නා ලදී. 1918 ඌව කැරැල්ලේදී කැපී පෙනුන නායකයා වූ කැප්පෙටිපොල දිසාවේව මරණයට පත්කරන ලද අතර ඔහුගේ පවුලේ සාමාජිකයින්ව රටින් පිටුවහල් කරන ලදී. කැප්පෙටිපොල දිසාවගේ පුත්‍රයා සිරකරුවකුව සිටියදී මරණයට පත්විය. 

ගොන්ගාලේගොඩ බණ්ඩා හා පුරන් අප්පු විසින් නායකත්වය දෙන ලද 1848 කැරැල්ල පරාජය කරණු පිණිස බ්‍රිතාන්‍ය හමුදාව විසින් ඉතාම කෘෘර අන්දමින් සිය බලය යොදා ගන්නා ලදී. ගම් වාසින්ට ඉතාම අමානුශික හා දැඩි පීඩාකාරී දඬුවම් පමුනු වන ලද අතර ඔවුන්ගේ හරවත් සමාජ ව්‍යුහය බි්‍රතාන්‍ය යුද්ධ හමුදාව විසින් විනාශ කරන ලදී. බොහෝ දෙනෙකු එදිරිවාදී ක්‍රියාවලට හා කුසගින්නෙන් මිය යන තත්ත්වයකට ගොදුරු විය.


ඇමරිකාවේ අඳුරු ඉතිහාසය


ඇමරිකාවේ අලූතෙන් පදිංචි වූ සුදු ජාතිකයන් විසින් එහි පාරම්පරික ගෝත්‍රික ජනතාව වනචාරීන් ලෙස සලකමින් ඔවුන්ව විවිධ ම්ලේච්ඡ කි්‍රයාවන්ට ගොදුරු කරන ලදී. ඔවුන්ගේ ඉඩම් බලෙන්ම අත්පත් කරගන්නා ලද අතර ඔවුන්ගේ සංස්කෘතිය විනාශ කිරීමටද ක්‍රියා කලේය. හොලිිවුඩ් චිත්‍රපටි වලද රතු ඉන්දියානුවන් අතිශයින් දරුණු වනචාරී ප්‍රජාවක් ලෙසට නිරූපණය කරන ලදද ස්වභාවධර්මයා සමග හොඳින් සබඳ වූ නිශ්චිතජීවනෝපායක් ඔවුන් විසින් ගොඩනගාගෙන තිබුණි. රතු ඉන්දියානුවන් ස්වභාව දහමට ආදරය කල අතර වසර දහස් ගණනක් තිස්සේ පරිසරය සුරැකීමට ඔවුන්ගෙන් උදව් උපකාර ලැබිණ.

ඇමරිකානු ජනාධිපති Franklin Pierce ඉඩම් විකුණන ලෙස ස්වදේශිය ඇමරිකානු නායකයා වූ සියැටල් හට පැවසූ විට ඔහු තමාගේ පුදුමය ප්‍රකාශ කළේය. ඔහු මෙසේ ලිවීය. 

" අහස හෝ භූමියේ උණුසුම මිලට ගන්නේ හෝ විකුණන්නේ කෙසේද? මේ අදහස නම් අපට ඉතාම නුහුරුය. වාතයේ නැවුම් බව, ජලයේ පැහැදිලි බව, අපට අයිති නැතිනම්, ඔබ ඒවා මිලදී ගන්නේ කෙසේද? මෙම භූමියේ සෑම කොටසක්ම මාගේ මිනිසුනට ශුද්ධ වස්තූන්ය. සෑම දිලිසෙන පයින් කටුවක්ම, සෑම වැලි තලාවක්ම, අඳුරු කැලෑ වල ඇති සෑම මීදුම් පටලයක්, පිරිසිදු හා ගුමු නාද දෙන සෑම කෘමියෙක්ම, මාගේ මිනිසුන්ගේ මතකයේ හා අත්දැකීම් තුල රැෙඳන ශුද්ධ වස්තූන්ය. වෘක්ෂ කඳන් තුල ගලා යන සාරය තුල රතු ඉන්දියානුවන්ගේ මතකයන් රැඳී පවතී."

1601 වර්ෂයේදී උතුරු ඇමරිකාවේ පළමු ඉංග්‍රීසි ජනපද බිහිවීමක් සමගම ඇමරිකා එක්සත් ජනපදයේ වහල්භාවය යන්නෙහි මූලාරම්භය ඇතිවිය. එම වහල්භාවය 1865 දක්වාම පැවතුනි. වහලූන් හට සලකන ලද්දේ මිනිසුන් නොව භාණ්ඩ ලෙසිනි. ඉතාම රළු තත්ත්වයන් යටතේ ඔවුනට වැඩ කිරීමට සිදු විය. වහල් වෙළඳපොළ තුළ පුරුෂයින් ඔවුන්ගේ භාර්්‍යාවන්ගෙන් වෙන් කරන ලද අතර දරුවන්, මව්වරුන්ගෙන් වෙන් කරන ලදී. ඉතාම සුළු වරදකට පවා වහලූන්ට දඬුවම් කරන ලද අතර, මෙම දඬුවම් වලට සමූලඝාතනය කිරීම, පොලූ මුගුරු වලින් පහර දීම හා සමහර විට ශරීරාංග ඉවත් කිරීමද අන්තර් ගත විය.

වියට්නාමයේදී හා ඉරාකයේදී සිදුකරන ලද ම්ලේච්ඡ කි්‍රයාවන් සම්බන්ධයෙන්ද ඇමෙරිකානුවන් විවේචයට පාත්‍ර වී තිබේ. වියට්නාම් යුද්ධයේදී ඇමෙරිකානුවන් නේපාම් බෝම්බ භාවිතය කළ බවට චෝදනා එල්ල වී ඇති අතර ඔවුන් විසින් අස්වැන්න විනාශ කිරීමද නිරායුධ සිවිල් වැසියන් ඝාතනය කිරීමද සිදු කොට ඇත. වියට්නාම් යුද්ධයේදී ඇමෙරිකානූ හමුදා විසින් My Lai ගම්මානයේදී සිවිල් වැසියන් ගනනාවක් මරා දමන ලදී.

ඉරාකයේ සිවිල් වැසියන් මරණයට පත් වූ රටාව බලන කල අධි ආක්‍රමණශිලී ක්‍රමෝපායන්, ජනතාව ජීවත්ව සිටි ප්‍රදේශවල කල අවිචාරවත් කළ වෙඩි තැබීම්, ක‍ෂණික මාරාන්තික බලයන් කෙරේ විශ්වාසය තැබීම ආදියෙන් බලකාමී රටාවක් පෙන්නුම් කෙරෙන බව 2003 මානව හිමිකම් අධීක්ෂණ වාර්තාව තුලින් හෙලි වේ. වාර්තාගතව ඇති සමහර ආරංචි මාර්ග වලින් හෙලිවනුයේ ඉරාකයේ සිවිල් වැසියන් 600, 000 කටත් වඩා
මියගිය හා තුවාල ලද බවයි. 


ඉතාලි ජාතිකයන් විසින් අප්‍රිකාවේ සිදුකරන ලද අපරාධ


1911 ඔක්තොම්බර් මාසයේදී ඉතාලි - තුර්කි යුද්ධයේදී අතිවිශාල සංඛ්‍යාවක් ගෝත්‍රික ස්ත්‍රී පුරුෂයන් හා ළමුන්ද ඝාතනය කරමින් ඉතාලි හමුදා විසින් උතුරු අප්‍රිකානු දේශසීමාවන් ආක්‍රමණය කරන ලදී. (වත්මන් ලිබියාව) දෙවනි ලෝක යුධ සමයේදී හා ඉන් පෙරද ලිබියාවේදී හා ඉතියෝපියාවේදී මුසෝලීනීගේ හමුදාව විසින් බොහෝ විට ස්වදේශිකයන්ට පහර දීම සඳහා යුද්ධ ටැංකි, ගුවන් යානා හා
මස්ටර්ඩ් වායුද (රසායනික විෂ වායුවක්) භාවිතා කරන ලදී. 1929 - 1933 අතර කාලයේදී ඉතාලියානු පැසිස්ට්වාදීන් විසින් යටත් විජිත ලිබියාවේ නාසි -යුදෙව් සමූල ඝාතනයට පෙර දේශනපාලන සිරකරුවන් රඳවා තබන වද කඳවුරු ඉදිකරන ලදී. මෙම කඳවුරු වලදී පිරිමින් කායික වද හිංසා පමුණුවා, ස්ත්‍රීන් දූෂණය කොට, ළමුන් කුස ගින්නෙන් මිය යාමට ඉඩ හරින ලදී. ලිබියානු ගෝත්‍රික නායකයා වූ ඕමාර් මුක්තාර් ආක්‍රමණිකයන්ට විරුද්ධව නැගී සිට හොඳින් සන්නද්ධ වූ ඉතාලි හමුදාවට ප්‍රාථමික අවි ආයුධ යොදා ගනිමින් වසර 20 ක් තිස්සේ පැවති ගරිල්ලා යුද්ධයත් දියත් කලේය. ඔහුගේ නිදහස් සටන 1937 දී නිමාවට පත් විය. සටනකදී තුවාල ලද ඔහුව අල්ලාගෙන පසුව ඉතාලියානු හමුදාව විසින් මරු මුවට පත් කරන ලදී.

උතුරු අප්‍රිකාවේ බලෙන් අල්ලාගත් භූමි වල ඉතාලි - පැසිස්ට් හමුදාව විසින් සංවිධානාත්මක ලෙස ජනවාර්ගික සංහාරයක් කරගෙන යන ලදී. 1935 දී සිදු වූ ඉතාලියානු පැසිස්ට් ආක්‍රමණය හා අනතුරුව ඉතියෝපියාව අල්ලා ගැනීමේ කාලය තුල විවිධ ම්ලේච්ඡ ක්‍රියාවන් සිදු විය. ඉතාලි හමුදාවන් විසින් සිවිල් ඉලක්ක වලට මස්ටර්ඩ් වායුව යෙදූ අතර රෝහල් වලට හා ගම් වලට බෝම්බ හෙලමින් දසදහස් ගණනක් ජනයා මරුමුවට පත් කරන ලදී.


ඇල්ජීරියාවේ හා ඉන්දු චීනයේ - ප්‍රංශ ජාතිකයන් සිදුකරන ලද අපරාධ


ප්‍රංශ ජාතිකයන් විසින් වසර 132 ක් පුරා ඇල්ජීරියාව අත්පත් කරගෙන සිටි අතර දරුණුතම ම්ලේච්ඡ ක්‍රියාවන් සිදුකරන ලද්දේ 1830 - 1862 අතර කාල වකවානුවේදීය. 1870 දී ඇල්ජීරියාවේ ආණ්ඩුකාර තෝමස් බියොනාඩි විසින් ඇල්ජීරියානු සිවිල් වැසියන් හට පහර දීමට පටන් ගත්තේ ඔවුන් සමූල ඝාතනය කරමින් හා රටින් පිටුවහල් කරමිනි. සමහර වාර්තා වලට අනුව සිය ගණන් මිනිසුන් පණ පිටින් පුලූස්සා දමන ලද හෝ ආක්‍රමණික ප්‍රංශ හමුදා වලින් සැඟවීම සඳහා සැඟව සිටි පුද්ගලයන් එම ගුහාතුලදීම නිෂ්පූර්ණ මරණ වලට (ඔක්සිජන් නොමැති වීමෙන් සිදුවන මරණ) ගොදුරු කරන ලදහ. ගම්මානවල සිවිල් වැසියන් මරා දමමින්, කාන්තාවන් දූෂණය කරමින්, ගම්මාන වලට ගිනි ලබන ලදී. ගම් වැසියන් කුස ගින්නෙන් මිය යෑමට ඉඩ හැර, දේපළ, ආහාර හා අස්වැන්න විනාශ කොට දමන ලදී. ප්‍රංශය විසින් ඇල්ජීරියාව අත්පත් කරගෙන සිටි කාලය තුලදී ඇල්ජීරියානු ජාතිකයන් විශාල පිරිසක් දේශපාලන කඳවුරුවලට හෝ "කූඩාරම් නගරවලට" බලෙන් යවන ලදී. 1830-1930 අතර කාල වකවානුව තුළදී ඇල්ජීරියානු ජනගහනයෙන් 15% හා 25% අතර සංඛ්‍යාවක් එබඳු කඳවුරු තුළදී මිය යන ලද බවට වාර්තා වේ.

දහස්ගණන් ඇල්ජීරියානුවන්ට එරෙහිව ප්‍රංශ යුද හමුදාව හා පොලීසිය විසින් පුළුල් අන්දමින් සිදු කළ ශාරීරික වදහිංසා පැමිණවීම් පිළිබඳව 1957 වසරේදී අන්තර්ජාතික රතුකුරුසය මගින් ලොවට හෙළි කරන ලදී. ප්‍රංශ ජාතිකයින් විසින් කායික වධහිංසා පැමිණවීම් කිරීමට යොදාගත් තාඬණයන් අතර සිරුරේ ඉතාම සංවේදී ඉන්ද්‍රියන්ට විදුලි සැර යෙදීම, ජලයේ ගිල්වීම, වීදුරු හා ලී වස්තූන් සමඟ මෛථූනයේ යෙදවීම, පාද වලින් හා දෑත්වලින් එල්ලා තැබීම හා සිගරට්ටු වලින් පිළිස්සීම ආදිය විය. (මරන්, රීටා (1989) මේ අතරින් වඩාත්ම ප්‍රකෝපකාරී ක්‍රියාව වූයේ 1945 මැයි මාසයේදී අල්ලාගත් ප්‍රංශ හමුදා විසින් ඉතාම සුළු දින කිහිපයක් තුළදී ඇල්ජීරියානුවන් 45,000 ක් පමණ සංහාරයට ලක් කළ ක්‍රියාවයි. 


ජපාන අධිරාජ්‍යවාදයේ බියකරු පාර්ශවය


ජපාන අධිරාජ්‍යවාදී යුගයේදී ඔවුන් විසින් අල්ලා ගන්නා ලද ආසියාතික රටවල විශාල වශයෙන් මිලේච්ඡ ක්‍රියාවන් කරන ලදී. ජපාන අධිරාජ්‍යවාදී හමුදා මගින් සතුරු සිවිල් වැසියන් හා සතුරු සටන් වදින්නන්ට එරෙහිව අපරාධ සිදුකරන ලදී. ඉමහත් අපකීර්තියට පත් 1937 නැන්කින් මිනිස් සංහාරයේදී දස දහස් ගණන් චීන සිවිල් වැසියන් ඝාතනය කළ අතර 20,000-80,000 අතර සංඛ්‍යාවක කාන්තාවන් ජපාන යුද සෙබළුන් විසින් දුෂණයට බඳුන් කරන ලදී. අධිරාජ්‍යවාදී යුධ හමුදාව විසින් සුවපහසුව සලසන්නන් හෝ ලිංගික වහලූන් වශයෙන් සේවය කරනු පිණිස චීනයෙන් හා කොරියාවෙන් කාන්තාවන් බලයෙන් පැහැරගෙන යන ලදී. දෙවන ලෝක යුද සමයේදී ඇස්තමේන්තු ගත පරිදි 100,000 සිට 400,000 දක්වා කාන්තා ලිංගික වහලූන් සංඛ්‍යාවක් ජපාන යුද හමුදා භටයින්ට ලිංගික සේවය සලසනු පිණිස බලෙන්ම යොදවා ගන්නා ලදී.

1937-1945 අතර කාලයේදී 3,000,000 සිට 10,000,000 දක්වා ජනතාවක් බොහෝවිට 6,000,000 ක් චීන ඉන්දුනීසියානු, කොරියානු, පිලිපීන හා ඉන්දු චීන ජාතිකයන්, ජපාන යුද හමුදාව විසින් මරා දමන ලදී.මරණයට පත්කරන ලද අනෙකුත් අය අතර අපරදිග යුද සිරකරුවෝද වූහ. (මහාචාර්ය R.J. Mummel- දේශපාලන විද්‍යාපීඨය - හවායි විශ්ව විද්‍යාලය)


ඕස්ට්‍රේලියාවේ අඳුරු අතීතය


ඕස්ට්‍රේලියාවේ නව ජනපද පිහිටවූ යුරෝපීයයන් හට එහි දේශීය ජනතාවගෙන් එතරම් විරෝධතාවන්ට මුහුණදීමට සිදු නොවීය. සමහර ආහාර හිඟවූ අවස්ථාවලදී ආහාර සැපයීමෙන් පවා නව පදිංචිකරුවන්ට උපකාර කිරීමට ඇබරජිනියන්වරුන් ඉදිරිපත් විය. ඇබරජිනියන්වරුන් කිසිසේත්ම හොඳින් සන්නද්ධ වූ යුරෝපීය පදිංචිකරුවන්ට සමකළ නොහැකි විය. ක්‍රමයෙන් මෙම ස්වදේශිකයින්ට පහර දී කාන්තාර ප්‍රදේශවලට පළවා හරින ලදී. අපකීර්තියට පත්ව ඇති 1830 දී සිදු වූ Myall Creet සමූහ ඝාතනයේදී ඇබරීජියානු ළමුන් පවා මරා දමන ලදී.

1869 සිට 1960 අතර කාලය තුළදී (සමහර ප්‍රදේශවල 1970 තෙක්) ඕස්ට්‍රේලියානු රජය විසින් අර්ධ ඇබරීජියානු ළමුන්, ඔවුන්ගේ මවුවරුන්, දෙමාපියන් පවුල් හා ප්‍රජාවන් බලෙන් පිටමං කරන ලදී. ළමුන් සමහර ආයතනවලට ද යවන ලදී. 1950 සිට සමහර ළමුන් සුදු ජාතික පවුල් සමඟ ද රඳවා තබන ලදී. ඇබරජිනියන් ළමුන් කම්කරුවන් හෝ සේවකයින් විය යුතු බවට බලාපොරොත්තු වන ලදී. විශේෂයෙන් ඇබරජිනියන් දැරියන් ගෘහ සේවයට පුහුණු කිරීම පිණිස මණ්ඩලය මගින් ස්ථාපිත කරන ලද නිවෙස් වලට පිටත් කරන ලදී. මෙම පීඩාවට පත්වූවන් පසුකලෙක "සොරාගන්නා ලද පරම්පරාවක්" ලෙසින් හඳුන්වනු ලැබීය. මෙල්බර්න් විශ්ව විද්‍යාලයේ මනෝචිකිත්සක හා වෛද්‍ය ෙජ්න් මෙකන්ඩි්‍රක් ප්‍රකාශ කොට ඇත්තේ "සොරා ගන්නා ලද පරම්පරාවේ පුද්ගලයින් බෝහෝදෙනෙකු මානසිකව, කායිකව හෝ ලිංගිකව අපචාරයට පත්වූ අයයි," යනුවෙනි. 


දෙවන ලෝක යුද සමයේදී ජර්මන් හමුදා විසින් සිදුකරන ලද ම්ලේච්ඡ ක්‍රියාවන්


හිට්ලර්ගේ පාලන සමයේදී NAZI ජර්මනිය විසින් දේශපාලන සිරකඳවුරුවල සිටි යුදෙව්වන් මිලියන 6ක් පමණ සමූල ඝාතනය කරන ලදී. අල්ලා ගත් ප්‍රදේශවල ජර්මානු හමුදා විසින් බරපතල අපරාධ සිදුකරන ලදී. යුදෙව්වන්, පෝලන්ත ජාතිකයින්, රුසියානුන් අහිකුන්ටික ගෝත්‍රිකයන් හට කායික වධහිංසා පැමිණවීම, පිටුවහල් කිරීම, මරණීය දණ්ඩනය දීම ආදී බොහෝ කෘෘර ක්‍රියාවන් සිදු කරන ලදී. 1939-1945 අතර කාලයේදී තමන් අල්ලා ගත් ප්‍රදේශ වල සහයෝගී රාජ්‍යයන් හා අල්ලාගත් රාජ්‍යවලින් හමුදාවට බඳවාගන්නා ලද පිරිසකගේ ද සහාය ලබා සිටි ජර්මන් හමුදාව විසින් මිලියන 11-14 දක්වා සංඛ්‍යාවක් සංවිධානාත්මකව මරුමුවට පත්කරනු ලැබීය. බොහෝ අහිංසක මිනිසුන් කුසගින්නේ මියයාමට ඉඩහැර තබන ලදී. Holocaust (අග්නිහෝමය) මානව ඉතිහාසයේ කලූ පැල්ලමක් ලෙසින් අදට ද සටහන්ව පවතී.


පලස්තීනයට විරුද්ධව ඊශ්‍රායල් ප්‍රචණ්ඩත්වය


පලස්තීන සිවිල් වැසියන්ට එරෙහිව සංවිධානාත්මකව පහරදීම් දියත්කිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන් විසින් (UN )- ඊශ්‍රාලය ගර්හාවට ලක්කරන ලදී. සිවිල් වැසියන් ඝාතනය කරමින්, දහස් ගණන් නිවාස විනාශ කරමින්, මෑතකදී ගාසා තීරයේ කල පහරදීම්, ඊශ්‍රායල හමුදාව විසින් සිදුකරන ලද භයානක මිලේච්ඡ ක්‍රියාවන් හැටියට විස්තර කළ හැකි වේ. පලස්තීනයේ මානව හිමිකම් මධ්‍යස්ථානයට අනුව ඊශ්‍රායල ප්‍රහාරවලදී පලස්තීනුවන්, 1434 දෙනෙකු මරණයට පත්විය. ඔවුන්ගෙන් 960 දෙනෙකු සිවිල් වැසියෝ වූහ. ඒ අතර ළමුන් 288 ක් විය. ගාසා තීරයේ ඊශ්‍රායල් ක්‍රියාකාරකම් මානුෂවාදී බවට මෙන්ම මානව ගරුත්වයට අදාළව ද අර්බුද නිර්මාණය කළේය. මිනිසුන්ගේ ජීවනෝපායට අදාළ මෙම දැවැන්ත විනාශකාරී ක්‍රියාවන් හා යටිතල පහසුකම් පරිහාණියට පත්වීමෙන් අනතුරුව ගාසා තීරයේ ජනගහනයෙන් 80% ක් මේ වන විට වාසය කරන්නේ මානුෂීය ආධාර යටතේය.


මානුෂිකත්වයට එරෙහිව සිදුකර ඇති සාපරාධි ක්‍රියා නිම කිරීම


ජාත්‍යන්තර අපරාධ අධිකරණයට අදාළ ආඥාපනත මගින් පැහැදිලි කෙරෙන ප්‍රකාශයේ නිර්වචනය වී ඇති පරිදි මානුෂිකත්වයට එරෙහිව සිදු වන අපරාධ යනු විශේෂයෙන් ද්වේෂසහගත, නීති විරෝධී ක්‍රියාවන්ය. එම ක්‍රියාවන් තුළ මානව ගරුත්වයට අදාළ බරපතල පහරදීම් හෝ එක් මිනිසෙකු හෝ මිනිසුන් කිහිපදෙනෙකුට සිදු කරනු ලබන බරපතල අපහාස කිරීම් හෝ පහත්කොට සැළකීමේ ක්‍රියාවන් අන්තර්ගත වී පවතී. ඒවා හුදකලා වූ විසිරී, පවතින සිද්ධීන් නොවේ, එක්කෝ රාජ්‍ය ප්‍රතිපත්තියක කොටසක් හෝ (එම අපරාධකරුවන් එම ප්‍රතිපත්තිය මත තමන් හඳුන්වා නොදෙතත්) රාජ්‍ය හෝ නිශ්චිත අධිකාරියක් මගින් ඉවසා සිටින හෝ ගැරහුම් කරනු ලබන ක්‍රියාවන් වේ. ඝාතනයට ලක්කිරීම්, මිනිස් සංහාරයන්, කායික වධහිංසා වලට ලක්කිරීම, ස්ත්‍රී දූෂණය සහ දේශපාලනික හෝ වර්ගවාදී හෝ ආගමික හිංසනය හා අනෙකුත් අමානුෂික ක්‍රියාවන් මානුෂවාදී බවට විරුද්ධ අපරාධවල එළිපත්ත කරා ලඟා වීමට උපකාරී වේ. එසේ වන්නේ ඒවා ව්‍යාප්තවූ හෝ විධිමත් ආකාරයකින් කරන ලද ක්‍රියාමාර්ගයක් නම් පමණකි. 

මේ ආකාරයෙන් හුදකලා වූ අමානුෂික ක්‍රියාවන් මගින් මානව හිමිකම්වල දැඩි උල්ලංඝණය වීම් හෝ අදාළ අවස්ථාව අනුව යුධ අපරාධ ලෙස සැළකේ. එතෙක් සමහර අවස්ථාවල කලින් සාකච්ඡා වූ අපරාධ යටතට නොවැටීම සිදුවනු ඇත.

"මානුෂවාදී බවට විරුද්ධ අපරාධ පිළිබඳ සෙවීමට මුල් පිරීම - ජාත්‍යන්තර අර්බුධ කණ්ඩායම", යන්නෙහි සභාපති වන ගැරත් එවන්ස් ඔහුගේ අදහස් ප්‍රකාශ කරන්නේ පහත දැක්වෙන ආකාරයටය.

"ජාත්‍යන්තර සබඳතා හා බලන කල්හි විශේෂයෙන්ම යුද්ධය හා සාමයට අදාළ ගැටලු ප්‍රචණ්ඩත්වය සහ අප විසින් මෙහිදී සැළකිල්ලට බඳුන් කළ අතිශය දරුණු ලෙස සළකන මානව හිමිකම් කඩකිරීම් සම්බන්ධයෙන් ගත් විට සාමාන්‍යයෙන් ශුභවාදී මනසකින් මෙබඳු ක්‍රියාවන් කෙරේ යොමුවන ඕනෑම පුද්ගලයෙකු එක්කෝ මුළුමනින් උමතු නොවේ නම් අසාධනීය ලෙස මුග්ධ විය යුතුවේ. යම් රජයකින් තමාගේම වැසියනට එරෙහිව සෘජුවම සිදුකල හෝ එබඳු ක්‍රියාවන් වැළැක්වීමට අසමත් හෝ අකමැති රජයන් මගින් එසේ කිරීමට ඉඩහල, සමූහ ඝාතන සහ ම්ලේච්ඡත්වයට අදාළ අපරාධ ගත්විට නම්, මුළුමනින්ම උමතු කෙනෙකුට වුවද ශුභවාදීව මෙදෙස බැලිය නොහැකිය. අප ජීවත්වන මේ ලෝකය තුළ නරුම බව, දෙබිඩි පිළිවෙත්, ජාතික වටිනාකම්වලට දැඩිසේ විරුද්ධ වීම, ඉහළ පෙළේ දේශපාලනික ක්‍රියාකාරකම් හා දේශපාලනික වාසි තකා පහත් මට්ටමේ ක්‍රියා කිරීම ආදී ක්‍රියාකාරකම් බහුලව පවතී.


කුරිරු ජාතීන් ලොව නොමැත


සෑම ජාතියක්ම එකිනෙකාට එරෙහිව කිසියම් ආකාරයක ප්‍රචණ්ඩ ක්‍රියාවන් සිදුකොට ඇත. පුළුල් අරුතකින් ගත්කල සියලූදෙනාම ආක්‍රමණිකයින් මෙන්ම පීඩාවට පත් වන්නන් ද වූහ. අප සිතන ආකාරයේ කෘෘර ජාතීන් ලෝකයේ නැත. ජනතාව ප්‍රචණ්ඩ ක්‍රියාවන් කිරීමට පොළඹවිය හැක්කේ අගතියට පත් පුද්ගලයින් හටය. එබඳු අඳුරු බලපෑම් කෙරේ ජනතාව සංවේදීව හා අවධියෙන් සිටිය යුතුවේ.

ජේ. ක්‍රිෂ්ණමූර්ති නම් ඉන්දීය ජාතික දාර්ශනිකයාගේ ප්‍රකාශයකින් ප්‍රචණ්ඩත්වයේ හා අගනිසේ බීජ මිනිස් මනස තුළ මුල්බැස ගන්නා අන්දම පිළිබඳව වඩාත් පුළුල් අවබෝධයක් ලබාදේ. In Freedom from the known ග්‍රන්ථය - පිටු 51-52 

"ඔබ, ඔබව ඉන්දියානුවෙකු, මුස්ලිම්වරයෙකු, ක්‍රිස්තියානිකාරයෙකු, යුරෝපීය ජාතිකයෙකු හෝ වෙනත් ඔනෑම කෙනෙකු බවට පවසන්නේ නම් ඔබ ප්‍රචණ්ඩය. එය ප්‍රචණ්ඩ වන්නේ මන්දැයි ඔබට පෙනෙන්නෙහිද? අනෙකුත් මිනිස් පිරිස අතුරෙන් ඔබ, ඔබව වෙන් කරයි. ඇදහිලි, ජාතිය හෝ සම්ප්‍රදායන් මත ඔබ වෙන් වෙන විට එය ප්‍රචණ්ඩත්වය කරා මග පාදයි. එබැවින් ප්‍රචණ්ඩත්වය යන්න වටහාගැනීමට තැත් කරන මිනසෙකු කිසිඳු රටකට, කිසිඳු ආගමකට, කිසිඳු දේශපාලන පක්ෂයකට හෝ පක්ෂග්‍රාහී ක්‍රමයකට අයත්නොවේ. ඔහු සැළකිල්ල දක්වනුයේ මිනිසත්බව යන්න මුළුමනින් වටහාගැනීමටය. "

මිලේච්ඡ ක්‍රියාවන් හා මිනිස් සංහාර පිළිබඳව මයිකල් ආතර් නිව්ඩව්ගේ : ගේ මතය

මිනිසුන් එක්දිනෙක සැනින් අවදිව සාමූහික සංහාර නොකරයි. ඔවුන් එය ආරම්භ කරනුයේ ක්‍රම ක්‍රමයෙනි. අන් අයගෙන් සෙමින් ඉවත් වී, යම් විශ්වාසයන්හි ගැලී සිටින අයව එම විශ්වාසයන් හීන කරවීමට තුඩුදෙන අන්දමට ක්‍රියාකරමින් සුළු වංචනික පියවර තබමින් එය ආරම්භ කරයි. ඔවුන් එයට ඉදිරිපත් වනුයේ : "අපි ධාර්මික වෙමු. අපි අන් අයගේ මත ඉවසමු." යනුවෙන් පවසමිනි. මෙම ඉවසීම කාලය සමඟ හීන වී යත්ම නොවැළැක්විය හැකි හානි සම්බන්ධව සැළකිල්ලට නොගැනී යයි. 'අපගේ නිදහසට අදාළ ප්‍රථම පියවරේදීම අනතුරු සංඥාවක් ඇතිකරගැනීම සුදුසුය.' යනුවෙන් ජේම්ස් මැඩිසන් ප්‍රඥාවෙන් යුතුව පවසා ඇත්තේ එබැවිනි. 


වෛද්‍ය රුවන් එම්. ජයතුංග විසින් ලියන ලද The Atrocities Committed Against Humanity ලිපිය ඇසුරෙනි. පරිවර්තනය A S වික්‍රමසිංහ

3 comments:

  1. මේ තත්වය හරිම කණගාටු දායකයි. අපි නිතරම කතාවෙනවා ඇයි සමාජය මේ තරම් දරුණු කියලා. අපි අප්‍රිකාවේ ජීවත් වූ අවුරුදු දහය තුලදී ඒ රටවල සිදුවූ මිනිස් සංහාර දුටුවා. ඉඩි අමින් නම් ඒකාධිපතියා විසින් තම රට වැසියන්ට කල විනාශය හා මොසැම්බික් රාජ්‍යයේ සිදුවූ දේවල්. වතුරට වැටෙන කූඹියාත් බේරන අපට මෙය මහම පුදුමයක්. බුදු දහමේ ආලෝකය නොපැතුරන දේශයන් දැන් දැන් එය සොයා එන්නෙත් මේ නිසා කියලයි හිතෙන්නෙ. ඉතිහාසයේ සිදුවූ මේ මිනිස් සංහාර ඉතාම ඛේදනීයයි.
    "ඔබ, ඔබව ඉන්දියානුවෙකු, මුස්ලිම්වරයෙකු, ක්‍රිස්තියානිකාරයෙකු, යුරෝපීය ජාතිකයෙකු හෝ වෙනත් ඔනෑම කෙනෙකු බවට පවසන්නේ නම් ඔබ ප්‍රචණ්ඩය. එය ප්‍රචණ්ඩ වන්නේ මන්දැයි ඔබට පෙනෙන්නෙහිද? අනෙකුත් මිනිස් පිරිස අතුරෙන් ඔබ, ඔබව වෙන් කරයි. ඇදහිලි, ජාතිය හෝ සම්ප්‍රදායන් මත ඔබ වෙන් වෙන විට එය ප්‍රචණ්ඩත්වය කරා මග පාදයි. එබැවින් ප්‍රචණ්ඩත්වය යන්න වටහාගැනීමට තැත් කරන මිනසෙකු කිසිඳු රටකට, කිසිඳු ආගමකට, කිසිඳු දේශපාලන පක්ෂයකට හෝ පක්ෂග්‍රාහී ක්‍රමයකට අයත්නොවේ. ඔහු සැළකිල්ල දක්වනුයේ මිනිසත්බව යන්න මුළුමනින් වටහාගැනීමටය. " මේ කියමන හරිම වටිනවා.
    මේ වටහා ගැනීම හැම කෙනෙක් තුල තිබේ නම් මෙයයි පිළිතුර.

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook