Sunday, January 31, 2016

ජවිපේ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ සාමාජිකයෙකුට ප්‍රතිකාර කලෙමි



2000 වසරේදී මම උතුරු කොලඹ ශික්‍ෂණ රෝහලේ  විශේෂඥ ශල්‍ය වෛද්‍ය ඩී.ඩබ් වීරසූරිය මහතා යටතේ කෙටි කාලීන ශල්‍ය වෛද්‍ය පුහුණුව ලැබුවෙමි. එසේම එතුමාගේ වාට්ටුවේ ශල්‍යකර්ම වලට භාජනය වන රෝගීන් සඳහා මානසික උපදේශනය සහ මනෝ ප්‍රතිකාරයන් ලබා දීමද මා අතින් කෙරුනි. මෙම උපදේශන සේවය නියමු වැඩ සටහනක් (Pilot Project) ලෙස එළි දැක්වීමට වෛද්‍ය ඩී.ඩබ් වීරසූරිය මහතාට අවශ්‍යතාවය තිබුනද එය දිගටම ක්‍රියාත්මක නොවූයේ අපගේ වෛද්‍ය පරිපාලකයන් තමන් සිටින මානසික කොටුවෙන් ඔබ්බට සිතීමට නොහැකි අළුතින් යමක් සිතීම පාපයක් කියා සිතන නවීප්‍රකරණයට බය පිරිසක් වීම නිසාය​. 

එහෙත් රෝහලේ ශල්‍ය වෛද්‍ය වාට්ටුවේ රෝගීන් ගනනාවකට ශල්‍යකර්ම වලට පෙර සහ පසු අප උපදේශනයෙන් සහ මනෝ ප්‍රතිකාර වලින් සහය වූයෙමු. මීට පෙර රජයේ රෝහල් වල උපදේශන සේවා නොවූයෙන් විශේෂඥ ශල්‍ය වෛද්‍ය ඩී.ඩබ් වීරසූරිය සහ මම ලංකාවේ රෝහල් පද්ධතිය තුල මුලින්ම උපදේශන සේවා  ආරම්භ කල බව සිතමි. එසේම 2002 වසරේදී කොලඹ යුද හමුදා රෝහලේ  ස්ථිර උපදේශන සේවාවක් විශේෂඥ මනෝ වෛද්‍ය නීල් ප්‍රනාන්දු මහතා සමග මම ස්ථාපිත කලෙමි. 

උතුරු කොලඹ ශික්‍ෂණ රෝහලේ උපදේශන සේවය කෙටි කාලයකට සීමා වූවද ඒ කාලය තුල අප රෝගීන් බොහෝ දෙනෙකුට උපදේශන සේවා ලබා දුන්නෙමු. ඒ අතර දුම්රියට අසුවී කකුලක් වෙන් වූ නව යොවුන් වියේ සිටි පාසල් දරුවෙකුද විය​.  ජවිපේ දේශප්‍රේමී ශිෂ්‍ය ව්‍යාපාරයේ හිටපු සාමාජිකයා මට මුණ ගැසෙන්නේ මේ කාලයේදීය​.

Traumatic Brain Injury  (TBI) හෙවත් හිස තුවාල වීම නිසා වරින් වර හට ගන්නා හිසේ ඇම්ම නිසා ඔහුව අපගේ වාට්ටුවට යොමු කොට තිබුණි.  මෙම පුද්ගලයාට අප නිමල් කියමු. ඒ ඔහුගේ නියම නම නොවේ. ඔහු අධ්‍යාපනය ලබන්නේ කොලඹ ප්‍රදේශයේ ප්‍රධාන පාසලකිනි. ඉතා හොඳින් ඉගෙනීමේ නියත වූ ඔහු උසස් පෙළ පන්තියේදී මිතුරෙකුගේ මාර්ගයෙන් ජවිපෙට බැඳේ. පන්ති පහ නිම කිරීමෙන් පසු 1988 පමණ කාලයේ අධ්‍යාපන ධවල පත්‍රිකාවටද රාගම පුද්ගලික වෛද්‍ය විද්‍යාලයටද එරෙහිව ඔහු උද්ගෝෂණයේ නියැලෙයි. එසේම පාසල් වල වර්ජන සංවිධාන කරයි. 

ජවිපේ දෙවන කැරැල්ල උත්සන්න වන විට ඔහු යටිබිම් ගත වේ. තමන් ගේ අනෙකුත් සාමාජිකයන් ද්‍රෝහියන් ලෙස නම් කරන ලද මිනිසුන් කෘරව මරණවා දුටුවද තමා මිනී නොමැරූ බවත් කොල්ලකෑම් නොකල බවත් නිමල් පවසයි. එහෙත් දේපල ගිනි තැබීම් කීපයක් තමා ඇතුළු කණ්ඩායමක් විසින් කල බව ඔහු පැවසීය​. යටිබිම්ගතව සිටියද ගෝනිබිල්ලෙකු බවට පත් වූ හිටපු සාමාජිකයෙකු ඔහුව හමුදා මුරපළකදී පාවා දීම නිසා නිමල්ව අත් අඩංගුවට ගැනේ. ඔහුව ගෙන යන්නේ රුවන්වැල්ල පොලිසියටය​. 

රුවන්වැල්ල පොලිසිය 1971 දී පවා 71 කැරලිකරුවන් දරුණු ලෙස වද බන්ධනයට පත් කරන ලද පොලිස් ස්ථානයකි. 1988-89 කාලය වන විට පොලිසියේ කෘරත්වය 1971 ටත් වඩා දෙගුණ තෙගුණ වී තිබුණි. අත් අඩංගුවේදී ඔහුට එස්ලෝන් බට සහ මහත වයර් පටි වලින් පහර දෙනු ලැබීය​. පහර දීමෙන් පසු ඔහුව අත් අඩංගුවට පත් වූ සෙසු කැරලිකරුවන් විස්සක පමණ කණ්ඩායමක් සමග රඳවා තැබුණි. සැකකරුවන්ට එකිනෙකා සමග කතා කිරීම තහනම් විය​. කතා කරනවා අසු වූ සැකකරුවන්ට නිර්දය ලෙස පහර දෙනු ලැබීය​. 

පහර දීම සහ පරිප්‍රශ්නනය ( interrogation ) දිනපතාම සිදු කරන ලදි. එක් පොලිස් නිලධාරියෙක් සැකකරුවන්ට හිසට පහර දෙනු ලැබුවේ පොතක් හිස මත රඳවා තිබියදීය​. නිමල් ද මෙම වද ක්‍රමයට ගොදුරු විය​. ඔහුව කාමරයට ගත් උක්ත පොලිස් නිලධාරියා  පොතක් ඔහුගේ හිස මත තබා එය අල්ලා ගැනීමට නියම කලේය​. ඉන්පසු දරුණු ලෙස ඔහුගේ හිසට බැට්න් පොල්ලකින් පහර දෙනු ලැබීය​. සෑම පහරක් සමගින් එහි කම්පනය ඉතා තදබල ලෙසින් ඔහුට දැනුනි. හිස බේරා ගැනීම සඳහා ඔහු පොත දෑතින්ම අල්ලාගෙන සිටියේය​. සමහර පහරවල් වැදුනේ ඔහුගේ ඇඟිලි වලටය​. පොත බිම වැටීම නිසා වරක් දෙකක් බැට්න් පහරවල් ඔහුගේ හිසට වැදුණි. 

මෙම පහර දීම පුරා පැයක් සමග සිදු විය​. අවසානයේදී වෙහෙසට පත් නිලධාරියා නිමල්ට පයින් පාරක් ගසා කාමරයෙන් එලියට දමනු ලැබීය​. ඒ වන විට නිමල් ගේ නාසයෙන් සහ කනෙන් ලේ ගලා යමින් තිබුණි. විසංඥ වූ ඔහුව සිර කුටියට ඇද දමනු ලැබීය​. මෙසේ සති ගනනාවක් ඔහු රුවන්වැල්ල පොලිසියේ සිටියේය​. බොහෝ අවස්ථා වලදී ඔහු පහරකෑම් වලට ලක් විය​.  

මෙසේ වද බන්ධනයට ලක් වීම නිසා නිමල් දිවි නසා ගැනීමට මාන බැලුවේය​. වෙනත් රැඳවියෙක් ගෙන් පිරිටන් පෙති 17 ලබාගත් ඔහු එය තම කමිසයේ වාටි අතර සඟවාගෙන සිටියේ වධ කුටියෙන් මිදී යාමට නොහැකි වුවහොත් එකවර පිරිටන් පෙති 17 පානය කරමි යන චේතනාවෙනි. එහෙත් ඔහුගේ දෙමාපියන් ආරක්‍ෂක අංශ හරහා බලපෑම් කොට තිබූ නිසා ඔහුව වෙනත් රැඳවුම් කඳවුරකට මාරු කරන ලදි. මේ රැඳවුම් කඳවුරේදී ඔහුට පහර දීමක් සිදු වූයේ නැත​. ඉන් පසු ඔහු බූස්සට මාරු කරන ලදි. 

වසර දෙකක පමණ පුනරුත්ථාපනයෙන් පසු ඔහුව නිදහස් කරන ලදි. නිදහස් වී වසර ගනනාවක් ගතවූවද නිමල් තුල කායික මානසික රෝග ලක්‍ෂණ දක්නට තිබේ. ඔහු මිනිසුන් විශ්වාස කිරීම නවතා දැමීය​. ඔහු දේශපාලනයෙන් ඉවත් විය​. හිටපු සාමාජිකයන් මඟ හැරියේය​. වරින් වර වැළඳෙන දරුණු හිසේ කැක්කුමකින් ඔහු පෙළුනේය​. ඔහුගේ කායික ශක්තිය හීන විය​. තවමත් තරුණ වයසේ සිටියද ඔහුගේ ලුබ්ධිය අව ප්‍රමාණ වූයේය​. ලිංගික ආකර්ශනයන් ඔහුට තව දුරටත් උත්තේජනයන් නොවීය​. 

තම ජීවිතය නිරපරාදේ විනාශ වූවා වැනි අදහසක් ඔහු තුල වර්ධනය විය​. අධ්‍යාපනය කඩාකප්පල් වීම,  රැකියාවක් කිරීමට සුදුසුකම් නොමැති වීම නිසා ඔහු මන් දෝත්සාහී විය​. දරුණු විශාද අවපාතයකට නිමල් ගොදුරු වූයේය​. රාත්‍රියට ඔහුට නින්ද නොආවේය​. සමහර අවස්ථා වලදී වද බන්ධනයට ලක් වූ අත්දැකීම් ඔහුට සිහිනෙන් පෙනුනි. ඔහු තුල තිගැස්ම අනිසි බිය වර්ධනය වූයේය​. 

බොහෝ කායික මානසික රෝගාබාධ වලට ලක් වූ නිමල් හට සංයුක්ත ප්‍රතිකාර ලබා දුනි. ඔහුව ස්නායු පිළිබඳ වෛද්‍යවරයෙකුට යොමු කොට ඊ. ඊ.ජී පරීක්‍ෂණයක් කරන ලදි. ස්නායු වෛද්‍යවරයා ඔහුට ඖෂධ නියම කලේය​. එසේම ඔහුගේ විශාදයට ඖෂධ ප්‍රතිකාර ලබා දෙන ලදි. මේ අතර උපදේශන සහ මනෝ ප්‍රතිකාර නොකඩවා කරනු ලැබීය​. සරල සංයම ප්‍රතිකාරයක් ලෙස ආනාපානාසතිය වැඩීමට ඔහුව හුරු කරන ලදි. මාස හයක් පමණ මෙසේ ප්‍රතිකාර කරන විට නිමල් ගේ තත්වය යහපත් විය​. 2002 වසර වන විට ඔහු විදේශ රැකියාවක් සොයාගෙන මැදපෙරදිගට යන ලදි 


 වෛද්‍ය රුවන් එම් ජයතුංග



(චායාරූපයේ අයිතිය ධර්මන් වික්‍රමරත්න මහතාටය​) 

Saturday, January 30, 2016

විශිෂ්ට මානව විද්‍යාඥයෙකු ගැන සටහනක්




වරක් මා විසින් ලියන ලද සිංහබාහු කථාවේ මනෝ විද්‍යාත්මක පාර්ශවය ගැන ලිපිය කියවූ ප්‍රංශ ජාතික මනෝ විද්‍යාඥයෙකු වන Eric Smadja මෙම ලිපිය මහාචාර්‍ය ගනනාථ ඔබේසේකර වෙත යවන්න යැයි කීවේය​. ඒ මන්ද කියා මා විමසූ විට ඔහු කීවේ ගනනාථ ඔබේසේකර යනු වර්ථමානයේ ජීවතුන් අතර සිටින විශිෂ්ටම මානව විද්‍යාඥයා නිසා මෙම ලිපිය ගැන වඩාත්ම හොඳ විවරණය ලබා ගත හැක්කේ ඔහුගෙන් බවයි.  

පසුගිය වසරේදී මම ප්‍රංශ ජාතික මනෝ වෛද්‍ය ලෝරන්ට් කරීලා සමග Nymphomania හෙවත් නාරිකාමෝන්මාදය ගැන පත්‍රිකාවක් ලියුවෙමි. මම ශ්‍රී ලංකාවෙන් බව දැනගත් මනෝ වෛද්‍ය ලෝරන්ට් කරීලා මගෙන් ඇසූ මුල්ම ප්‍රශ්නය වූයේ ඔබ මහාචාර්‍ය ගනනාථ ඔබේසේකරගේ පොත් කියවා තිබේද යන්නයි. තවද යෝක් විශ්ව විද්‍යාලයේ සමාජ මනෝ විද්‍යාව පිළිබඳ මහාචාර්‍ය රිචඩ් ලේලොන්ඩ්  තම දේශන වලදී  ඇතැම් විට මහාචාර්‍ය ගනනාථයන් ගේ පොත් වලින් කරුණු උපුටා දක්වයි.  

මහාචාර්‍ය ගනනාථ ඔබේසේකර අන්තර්ජාතික කීර්තියට පත්වූ  මානව විද්‍යාඥයෙකි. ඔහු ලංකාව විසින් බිහි කල විශිෂ්ටම මානව විද්‍යාඥයාය. ඒ ගැන කිසිදු විවාදයක් නැත​. 

ලංකාවට සුවිසල් කීර්තියක් ගෙන දුන් ගනනාථ ඔබේසේකර  උපත ලැබුවේ මතුගම දර්ගා නගරයේ මීගමය. ඔහුගේ පියා ඩී. ඩී. ඔබේසේකර දේශීය වෛද්‍ය විද්‍යාලයේ කථිකාචාර්යවරයෙක් වූ අතර අනගාරික ධර්මපාල තුමාගේ අනුගාමිකයෙක් විය. 1955 දී පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් ඉංග්‍රීසි සඳහා මූලික උපාධිය ලබාගත් ඔහු වරක් ඔහුගේම උසස් අධ්‍යාපනය ගැන පැවසූයේ වාමාංශිකයන් පවා ඔක්ස්ෆර්ඩ් යෑමට පසු නොබෑ යුගයක තමා තුළ වූ යටත් විජිත විරෝධය නිසා ඔක්ස්ෆර්ඩ් සහ ලන්ඩන් සඳහා ලැබුන ශිෂ්‍යත්ව කිහිපයක්ම ප්‍රතික්ෂේප කල බවය.

ගනනාථ ඔබේසේකර ඔහුගේ ශාස්ත්‍රපති සහ ආචාර්ය උපාධි(1964) ලබා ගත්තේ වොෂින්ටන් විශ්ව විද්‍යාලයෙන් වන අතර පේරාදෙණිය ලංකා විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා දෙපාර්තමේන්තුවේ කලක් සේවය කල ඔහු කැලිපෝනියා සහ ප්‍රින්ස්ටන් විශ්ව විද්‍යාල වල මානව විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙක් වශයෙන් සේවය කලේය. කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාල මුද්‍රනාලය විසින් පල කර ඇති Land Tenure in Village Ceylon: A Sociological and Historical Study(1966) නම් ඔහුගේ ආචාර්ය උපාධි නිබන්ධය දකුණු ලක මැදගම නම් ගම පිළිබඳවය. 

චිකාගෝ විශ්ව විද්‍යාලීය මුද්‍රණාලය විසින් පල කර ඇති ඔහුගේ විශිෂ්ට කෘතීන්ගෙන් එකක් වන The Cult of the Goddess Pattini (1984) නම් පත්තිනි ඇදහිල්ල පිළිබඳ වූ කෘතිය ඉන්දීය උප මහද්වීපික කලාපයේ සංස්කෘතික ඥාතීත්වය හෙළි කරයි. රිචර්ඩ් ගොම්බ්‍රිච් සමග සම කතෘත්වයෙන් පලවූ Buddhism Transformed: Religious Change in Sri Lanka යන කෘතියත් සමග ඔහුගේ කතෘත්වයෙන් පලවූ කෘති දහයක් පමණ වේ. ප්‍රින්ස්ටන් විශ්ව විද්‍යාල මුද්‍රණාලය මගින් පලවූ සුදු මිනිහා ලෝකය ශිෂ්ට කිරීම පිළිබඳ මිත්‍යාව ප්‍රශ්න කරන ඔහුගේ විවාදාත්මක කෘතියක් වූ The Apotheosis of Captain Cook: European Mythmaking in the Pacific (1992) යන්න සමාජ විද්‍යා හා මානව විද්‍යා ක්ෂේත්‍රයේ අද්විතීය කෘතියට හිමි සම්මාන කිහිපයක්ම ලබා ගත්තේය. පසුගිය කාලයේ විදග්ධ යැයි සම්මත නොවූ ලේඛන වලින් හෙළි වන ඉතිහාසය අධ්‍යනයේ වැදගත් කම පිළිබඳ කතා කල ඔහු එවැනි දුර්ලභ පුස්කොල පොත් ගනනාවක් පල කිරීමට මැදිහත් විය.  (උපුටා ගැනීම කතිකා සංවාද මණ්ඩපය )


වෛද්‍ය රුවන් එම් ජයතුංග

Friday, January 29, 2016

අධිරාජ්‍යවාදී විරෝධයේ සිට මකුණු විරෝධය දක්වා



අධිරාජ්‍යවාදයට, ලෝක බැංකුවට , උසස් අධ්‍යාපන අමාත්‍යංශයට පමණක් නොව මකුණාටද විරෝධතා දක්වන අපේ සරසවි සිසුන් 

Thursday, January 28, 2016

අසාරේ ඥාණසාර මතිනෝ




1983 දී මෙරට ඇති වූ ජනවාර්ගික කෝලහලය මෙරට බුද්ධිමතුන්ගේ ශාස්ත්‍රිය උනන්දුව නවමානයකට යොමු වීමට බලපෑවේය. විශේෂයෙන්ම "ප්‍රචණ්ඩත්වය හා ආගම" අතර ඇති සම්බන්ධය විවේචනාත්මකව විශ්ලේෂණය සඳහා දෙස් විදෙස් මානව විද්‍යාඥයන්ගේ අවධානය යොමු වීම කැපී පෙනේ. මෙම සංවාදයේදී මහාචාර්ය තම්බය්යා ගේ දායකත්වය කැපී පෙනෙන්නේ ඔහු විසින් ආගම හා ප්‍රචණ්ඩත්වය අලලා රචනා කරන ලද Ethnic Fratricide and the Dismantling of Democracy (1986) සහ වඩා ආන්දෝලනයකට පත් වූ Buddhism Betrayed? Religion, Politics and Violence in Sri Lanka (1992) යන ග්‍රන්ථයන්ය. "බුදුදහම පවාදීම" නැමැති තහනම් කරන ලද කෘතියේදී ඔවුන් විසින් නඟන ලද කේන්ද්‍රීය ප්‍රශ්නය වූයේ අවිහිංසාවාදයට තදින්ම කැප වු බුදු දහම වැනි ආගම් ලාංකේය සංදර්භය තුළ දී වඩා ප්‍රචණ්ඩකාරී ආගමක් ලෙස පරිවර්ථනය වන්නේ කෙසේද? යන්නයි. විශේෂයෙන්ම භික්ෂූන්වහන්සේලා "යුදකාමී භික්ෂූන්" (Militant monk) ලෙස මතුවීමත් ඔවුන්ගේ කාර්ය භාරය දේශපාලනය තුළ නැවත අර්ථකථනය වන අයුරුත් සාකච්ඡා කෙරේ. මෙම ග්‍රන්ථය ප්‍රකාශයට පත්වීමත් සමඟ මහාචාර්ය තම්බය්යා ඊලාම්වාදියකු, කොටියකු හා දේශ ද්‍රෝහියකු ලෙස නම් කිරීමට මෙරට අන්තවාදී දේශපාලන බලමුළු ක්‍රියාත්මක වූයේ "ජනවාර්ගික ප්‍රශ්නය" සම්බන්ධව ඔහුගේ ස්ථාවරය නිවැරදිව තේරුම් නොගෙනය. ( ප්‍රේමකුමාර ද සිල්වා,  මහාචාර්ය, සමාජවිද්‍යා අධ්‍යයන අංශය,  කොළඹ විශ්ව විද්‍යාලය) 

PS:

මේ අසා කම්පා වූ එක් හිමි නමක් අදාළ සිද්ධිය නිමිති කොටගෙන 'ලෝක ස්වභාවය මෙහෙමයි' යනුවෙන් උසාවි බිම තුලදීම බවුන් වැඩීමට ගත් බවත් ස්වල්ප වේලාවකට පසුව මුඛයෙන් නිකුත් වූ සුමිහිරි වදන් පෙළක්ද සහිතව අහසට නැග අසල වූ තාප්පයක රැඳුණු බවත් සිද්ධිය ඇසින් දුටුවෝ පවසති. මේ අසිරිමත් සිදුවීම මාධ්‍ය හරහා මුළු ලොවටම දැනගැනීමට හැකියාව ලැබුණු අතර මෙම පින්වත් භික්ෂූන් වහන්සේලාගේ හැසිරීම නිසා නීග්‍රෝධ සාමණේරයන් දැකීමෙන් සැනසීම ලැබූ අශෝක අධිරාජයා මෙන් ලොව බොහෝ දෙනා චිත්ත ප්‍රීතියට පත්ව ඇති බවත් අපට වාර්තා වේ. ඔවුන්ගෙන් බොහෝ දෙනෙකු මේ වන විට අසිරිලක නැරඹීම සඳහා ටිකට් බුක් කරන්නටද පෙළඹී ඇත" (උපුටා ගැනීමකි)


 

Wednesday, January 27, 2016

යූක්‍රයින ගැමි නිවසකට ගියෙමි



මගිලෝ පදෝල්ස්කි නගරය යූක්‍රයිනයේ තිබෙන අලංකාර නගරයන් ගෙන් එකකි. එම නගරය බේසමක් වැන්න​. නගරයේ සිට ඉහල බැලූ විට වටෙට කඳු වලල්ලක් පෙනේ. ස්වභාවධර්මයාගේ දායාද ලැබූ  මගිලෝ පදෝල්ස්කි නගරයට වරක් මා ගියෙමි. 

වෛද්‍ය පීඨයේ මා සමග ඉගෙනුම ලැබූ ඉවනාශ්කා ගේ උපන් ගම වූයේ මගිලෝ පදෝල්ස්කි නගරයයි. ඔහු ඒ වන විට විවහා වී සිටි අතර ඔහුගේ කුළුදුල් බිළිඳු දියණිය බෞතීස්ම කිරීමේ උත්සවයට ඉවනාශ්කා මටද ආරාධනා කලේය​. මට ඉවනාශ්කාගේ දියණියට ඥාණ පියා වන්නට වේ දැයි කුකුසක් මා තුල විය . ඒ මම බෞද්ධයෙකු වන නිසාය​. නමුත් ස්ටෙපාන් ඥාණ පියා වන බව ඉවනාශ්කා කීවෙන් මගේ සැකය දුරු විය​. 

මේ කාලය ගර්බචොව් ගේ පෙරෙස්ත්‍රොයිකා ක්‍රියාදාමය දියත් කල සමයයි. කොමියුනිස්ට් පාලන කාලයේ බෞතීස්මය වැනි ක්‍රිස්තියානි ආගමික උත්සව සිදු කලේ අප්‍රසිද්ධවය​. පෙරෙස්ත්‍රොයිකා සමයේ ආගමික නිදහස මතුවූ නිසාදෝ ක්‍රිස්තියානි ආගමික උත්සව බහුලව සිදු විය​. 

මගිලෝ පදෝල්ස්කි නගරය එවකට මා ජීවත් වූ විනිට්සා නගරයේ සිට කිලෝ මීටර් 118 පමණ දුරකින් පිහිටා තිබේ. ඉවනාශ්කා ජීවත් වූයේ නගරයටත් එපිට ග්‍රාමීය ප්‍රදේශයක නිසා මම සෙනසුරාදා දිනෙක උදේ රැයින් බස් රථයක නැගී මගිලෝ පදෝල්ස්කි වෙත ගියෙමි. 

දෙවන ලෝක යුද කාලයේ මගිලෝ පදෝල්ස්කි නගරය ජර්මානුන් ගෙන් පිරී තිබුනි. මෙම නගරයේ වාසය කරන ලද යුදෙව්වන් සියළුදෙනාම පාහේ නට්සීන් විසින් මරා දමන ලදි. නගරයේ අයිතිහාසික ස්ථාන තිබුණද ඒවා වෙත යාමට කාලවේලාවක් නොවීය​. බෞතීස්මය  ඉරිදා නිසා මම සෙනසුරාදා දහවල් වන විට ඉවනාශ්කා ගේ නිවසට ලඟා වූයෙමි. 

ඉවනාශ්කාගේ ගැමි ගෙදර ආකෘතික යූක්‍රයීන ගැමි නිවසකි.   ස්ටාලින් විසින් බලහත්කාරයෙන් දියත් කරන ලද සමූහ ගොවිපළවල් ක්‍රමය මේ වන විට අසාර්ථක වෙමින් තිබුණි. සමහර සමූහ ගොවිපළවල්  සභාපතිවරු 1970 -1977 කාලයේ ලංකාවේ සමුපකාර මැනේජර්ලා මෙන් ලෝක හොරු වූහ​. සැමටම එක වේතනයක් ලැබීම නිසා අභිප්‍රේරණය අඩුවීම ,  අයිස් ගැසීමට , වංචා කිරීමට හැකිවීම වැනි කරුණු නිසා සමූහ ගොවිපළවල් ක්‍රමය කඩාවැටුණි. සමහර ප්‍රදේශ වල ආහාර බෙදා හැරීම අක්‍රමවත් විය​. මේ නිසා පෙරෙස්ත්‍රොයිකාව විසින් කුඩා පුද්ගලික ගොවිපොලවල් දිරිමත් කරන ලදි. සමහර පෞද්ගලික ගොවිපලවල් අක්කරයක තරම් විය​. නමුත් ඉවනාෂ්කාගේ ගොවිපළ තරමක් විශාලය​. එහි කැරට්,  ගෝවා අර්තාපල් , තක්කාලි වවා තිබුණි. ගොවිපලේ වැඩ කලේ පවුලේ සාමාජිකයන් පමණි.   ඔවුන් ස්වයංපෝෂිතය​. පාන් සහ චීස් පවා ඔවුන් නිවසේ සදා ගත්හ. 

රුසියන්වරු සහ යූක්‍රයීනයන් ආගන්තුක සත්කාරයේ නියමුවෝ වෙති. මා ඔවුන් ගේ නිවසට පැමිණි වහාම කෑම මේසය සූදානම් කෙරිනි. කෑම මේසය මගුල් මේසයක් මෙන් විය​. අළුත් පළතුරු වර්ග , මස් මාළු , සුප් වර්ග ක්‍ෂීරමය ආහාර යනාදී දහසකුත් දේවල් මේසය මත විය​. එසේම වොඩ්කා සහ වයින් ද විය​. මම ඉතා රසැති ස්වභාවික වයින් පානය කලෙමි. ඉවනාශ්කා ගේ මව ඉතා කරුණාවන්ත කාන්තාවකි. ඇය වඩාත් සමීප ලංකාවේ ගම්බද කරුණාවන්ත දයාවන්ත කාන්තාවකටය​. හමේ සුද ඇරෙන්නට ඇය තුල ලංකාවේ ගැමි ලියන්ගේ සියළු  යහ ගුණ තිබේ. එහෙත් එක් දෙයකින් ඇය අපගේ ගම්බද වනිතාවන්ට වඩා වෙනස් වූවාය​. 

ඔවුනට ලස්සන පුෂ්ටිමත් සයිබීරියන් හස්කි වර්ගයේ බැල්ලක වූවාය​. ඇය පසුගිය ශීත සමයේ පැටවන් බිහි කල බවත් එම පැටවුන් අසල්වැසියන්ට බෙදා ඉතිරි වූ පැටවුන් දෙදෙනෙක් දියේ ගිල්වා මරා දැමූ බව ඇය කීවේ කිසිදු  වෙනස්කමකින් තොරවය​. එය අසා මගේ ගත හිරි වැටුණි. ඒ අපගේ බෞද්ධ ශික්‍ෂණය නිසා බව මම සිතමි. 

වෛද්‍ය රුවන් එම් ජයතුංග

Tuesday, January 26, 2016

මගේ ගුරුවරු


වෛද්‍ය පීඨයේ ගුරුවරු අතරින් මට මහාචාර්‍ය නතාලියා සෙර්කෝවා මතකයට නැගෙයි. ඇය අපට  internal medicine ඉගැන්වීය​. අවසාන වසරේ මාගේ විභාගය ගනු ලැබුවේ ඇය විසිනි. මගෙන් බොහෝ ප්‍රශ්න ඇසූ මහාචාර්‍ය නතාලියා සෙර්කෝවා අවසානයේදී මාව සමත් කළාය​.

 කායික විද්‍යාව හෙවත් ෆිසියලොජි ඉගැන්වූ යෙල්තුකොව්ස්කි දක්‍ෂ පරියේශකයෙකි. පසු කාලයක් ඔහු මහාචාර්‍ය පදවියක් ද ලැබීය​.

 හිස්ටොලොජි හෙවත් පටක  විද්‍යාව ඉගැන්වූ රිද්කෝ ඉතියෝපියාවේ විශ්ව විද්‍යාලයකද සේවය කොට තිබුණි. ඔහු ඉංග්‍රීසි භාෂාව හොඳින් හැසිරවීය​. 

අපට ඇනටමි හෙවත් ව්‍යවච්ඡෙදය ඉගැන්වූයේ මහාචාර්‍ය රුමීන්ස්කිය​. ඔහු දැණුම ආකරයකි. ඔහු විසින් මිනිස් සිරුරේ -පිරිමි ශිශ්නයේ ශුක්‍ර පිටවීමෙන් පසු සක්‍රිය වන  ඉතා කුඩා විවූහයක් ද සොයාගෙන තිබුණි. අප තෙවන වසරේ සිටියදී මහාචාර්‍ය රුමීන්ස්කි මිය ගියේය​. අප ඔහුගේ අවමගුලට ගියෙමු. 

ක්‍ෂුද්‍ර ජීව විද්‍යාව හෙවත් මයික්‍රෝ බයොලොජි මහාචාර්‍ය පලී අමුතු පුද්ගලයෙකි ඔහු භාවි කථනීය කළ නොහැකි (unpredictable ) චරිතයකි. ඒ වන විටත් ඔහු වයිරස විනාශ කල හැකි ඖෂධයක් සොයා ගනිමින් සිටියේය​. මෙම  පර්‍යේෂණය  ජපන් ඖෂධ සමාගමකට මහාචාර්‍ය පලී විකුණා තිබෙන බවටද රාවයක් විය​. මහාචාර්‍ය පලී වෛද්‍ය පීඨයේ බලවත් චරිතයකි. ඔහු සමග ගැටීමට ගිය සිසුන් හා කථිකාචාර්‍යවරු  විනාශව ගියහ​. පලී එතරම් බලවතෙකි. එසේම පළිගන්නා සුළු පුද්ගලයෙකි. නමුත් ක්‍ෂුද්‍ර ජීව විද්‍යාව දැණුම අතින් ඔහු සුධීමතෙකි. 

විද්‍යාත්මක කොමියුනිස්ට්වාදය අපට ඉගෙන ගැනීමට අයත්වූ විශයක් විය​. මුලින් අප සිතා සිටියේ මෙම විශය ඉගෙන ගැනීමෙන් අප කොමියුනිස්ට්වාදීන් වනු ඇතැයි සිතාය​. එහෙත් විද්‍යාත්මක කොමියුනිස්ට්වාදය සෝවියට් සරසවියක ඉගෙන ගෙන කොමියුනිස්ට්වාදියෙකු වූ අයෙක් මට මෙතෙක් හමුවී නැත​. නමුත් විද්‍යාත්මක කොමියුනිස්ට්වාදය අපට ඉගැන්වූ වික්තර් යාකොව්ලෝවිච්ට මම ප්‍රිය කලෙමි. ඔහු අපට දයලෙක්තිකවාදයන් ඉගැන්වීය​. එසේම ඕනෑම ප්‍රශ්නයක් ඇසීමේ නිදහස අපට තිබුණි. ඔහු හොඳ චින්තකයෙකි. 

පබ්ලික් හෙල්ත් හෙවත් සෝ‍ෂල් හයිජීන් විශය ඉගැන් වූ  මහාචාර්‍ය දිව්‍යාත්කා මහළු කුඩා මිනිසෙකි. දිව්‍යාත්කා දේශන පවත්වන විට සිසුන් විකාර කරති. එහෙත් විභාගයේදී මහාචාර්‍ය දිව්‍යාත්කා දරදඬුය​. එම නිසා සෝ‍ෂල් හයිජීන් විශය මම උනන්දුවකින් ඉගෙන ගත්තෙමි. මහළු දිව්‍යාත්කාගේ සෝ‍ෂල් හයිජීන් දැණුම මට උපකාර වූයේ මම මිනිපේ එම් ඕ එච් හෙවත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ලෙස සේවය කරන විටදීය​. 

1997 වසරේදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය චාන්දනී ගල්වඩුගේ සහ ප්‍රජා වෛද්‍ය විශේෂඥ වික්‍රමසූරිය යන වියතුන් ඉදිරියේ මම මිනිපේ ප්‍රජා සෞඛ්‍ය  වැඩසටහන් පිළිබඳව දේශනයක් කලෙමි. එම දේශනයෙන් පසු වෛද්‍ය චාන්දනී ගල්වඩුගේ සහ ප්‍රජා වෛද්‍ය විශේෂඥ වික්‍රමසූරිය මගේ දේශනය ඉතා හොඳ බව කියා පැසසුම් කලහ​. එක් විශේෂඥ වෛද්‍යවරයෙක් මම කොලඹ වෛද්‍ය පීඨයේදැයි කියා ඇසීය​. මම සිනහසෙමින් මම විදේශ පුහුණුවලත් වෛද්‍යවරයෙකු බව කීවෙමි. මේ කාලයේ ෆොරින් ග්‍රැජුවෙට්ස්ලාට ප්‍රහාර එල්ල කරන සමයක් විය​. මගේ පිළිතුරෙන් පසු අදාල විශේෂඥ වෛද්‍යවරයා කිසිවක් නොදොඩා යන්නට ගියේය. සම්මන්ත්‍රණය අවසානය තෙක් ඔහු මා සමග කතා කලේ නැත​. එහෙත් වෛද්‍ය චාන්දනී ගල්වඩුගේ සහ ප්‍රජා වෛද්‍ය විශේෂඥ වික්‍රමසූරිය මට ප්‍රජා වෛද්‍ය විද්‍යාව හදාරන ලෙස ඉල්ලූහ​. 

මගේ අදහස සහ​ අත්දැකීම් අනුව  විදේශ පුහුණුවලත් වෛද්‍යවරුන්ට බොහෝ විට අවමන් හා කැපිලි දමන්නේ අඩු ආර්ථික සමාජීය පසුබිමකින් එන ග්‍රාමීය පසුගාමීත්වය හිස දරාගෙන තම අතීතය සැඟවීමට වෙර දරන  වෛද්‍යවරුන් වෙති. ඒ සඳහා බලපවත්වන මනෝවිද්‍යාත්මක සාධකයක් ද තිබේ. අඩු ආර්ථික සමාජීය පසුබිමක්  සහිතව ග්‍රාමීය පසුගාමීත්වය හිස දරාගෙන  එන බොහෝ වෛද්‍යවරුන් පන්තිය මාරු කිරීමෙන් පසු අනන්‍යතා අර්බුධයට මුහුණ දෙති. ඔවුන් ගේ  අතීතය පිළිබඳව තිබෙන හීනමානය සහ සමාජ වෛරය ඔවුන් කාට හෝ බැර කල යුතුය​. එය පහසුවෙන් බැර කල හැක්කේ පිටස්තරයාටය​. විදේශ පුහුණුවලත් වෛද්‍යවරුන් ඔවුන් ගේ දෙනෙත් ඉදිරියේ පිටස්තරයෝ වෙති. 

විදේශ පුහුණුවලත් වෛද්‍යවරුන්ට මා දෙන අවවාදය නම් ඔබගේ රාජකාරිය හොඳින් කරන්න.  කැපිලි කෙටිලි උපේක්ශාවෙන් විඳ දරා ගන්න. ඒවා නිසා ඔබගේ ඉලක්ක මඟ හරවා නොගන්න. අවසානයේදී ඔබ ගැන නියම තක්සේ‍රුව දෙන්නේ හීනමානය හෝ ඉරිසියාව නිසා ඔබට ගරහන තම අතීතය සැඟවීමට වෙර දරන පුද්ගලයා නොව ඔබ ප්‍රතිකාර කරන රෝගියාය​.  

මූලිකවම  මගේ කැමැත්ත තිබුනේ වෛද්‍ය මනෝ විද්‍යාව කෙරෙහිය​. ඒ සඳහා හේතු වන්නට ඇත්තේ විනිට්සා වෛද්‍ය පීඨයේ මනෝ චිකිත්සාව ඉගැන්වූ මහාචාර්‍ය  ලුද්මිලා වේව්ස්කය නිසා විය යුතුය​. ඇය ෆ්‍රොයිඩියානු , නියෝ ෆ්‍රොයිඩියානු , පාසල් වලින් මෙන්ම වේගෝත්ස්කි , ඇලෙක්සැන්දර් ලුරියා යනාදීන් ගේ අදහස් වලින් පෝෂණය වූ ඉතා උගත් කාන්තාවකි. පසු කාලයක විශේෂඥ මනෝ වෛද්‍ය නීල් ප්‍රනාන්දු සමග වැඩකිරීමේදී මෙන් ම විශේෂඥ මනෝ වෛද්‍ය සරත් පඞුවාවල විශේෂඥ මනෝ වෛද්‍ය දයා සෝමසුන්දරම් සමග පරියේෂණ පත්‍රිකා ලිවීමේදී මට මහාචාර්‍ය  ලුද්මිලා වේව්ස්කය විසින් ලබා දුන් පන්නරය ඉවහල් විය​.  

විශේෂඥ මනෝ වෛද්‍ය නීල් ප්‍රනාන්දු සමග මම ශ්‍රී ලංකා යුද හමුදාවේ පවත්නා පශ්චාත් ව්‍යයසන ක්ලමථ අක්‍රමතාවය පිළිබඳ අධ්‍යනක් කලෙමි. වෛද්‍ය නීල් ප්‍රනාන්දු යහපත් මිනිසෙකු මෙන්ම හොඳ ගුරුවරයෙකි. මම විශේෂඥ මනෝ වෛද්‍ය නීල් ප්‍රනාන්දු සමග විශාදය සහ දිවි නසා ගැනීම පිළිබඳව පොත් දෙකක් ලියුවෙමි. එතුමා විශිෂ්ඨ මනෝ වෛද්‍යවරයෙකි. නමුත් වෛද්‍ය නීල් ප්‍රනාන්දු මහතාගේ දක්‍ෂතා වලට බියවූ ඇතැම් විශේෂඥ මනෝ වෛද්‍යවරු ඔහුව කොන් කළහ​. එතුමා මානසික සෞඛ්‍ය අධ්‍යක්‍ෂ  වූ විට මේ තැතිගත් කුහක විශේෂඥ මනෝ වෛද්‍යවරු කණ්ඩායම ඔහුව එම තනතුරින් ඉවත් කිරීමට කුමන්ත්‍රණ කළහ​.  යම් ලෙසකින් එතුමා දිගටම මානසික සෞඛ්‍ය අධ්‍යක්‍ෂව සිටියේ නම් බොහෝ ධනාත්මක දේ කිරීමට ඉඩ තිබුණි. එහෙත් රටේ අවාසනාවකටදෝ  මේ දක්‍ෂ මිනිසාගේ සේවය මානසික සෞඛ්‍ය ක්ශේත්‍රයට මුලුමනින්ම ලැබුනේ නැත​.  

මම පුත්තලම දිස්ත්‍රික් මානසික සෞඛ්‍ය සම්බන්ධීකරන නිලධාරී ලෙස සේවය කරන කාලයේදී වරක් මහාචාර්‍ය නාලක මෙන්ඩිස් මා විසින් සංවිධානය කරන ලද මානසික සෞඛ්‍ය ප්‍රවර්ධන වැඩසටහනකට පැමිණියේය​. එතුමා මා විසින් පුත්තලම දිස්ත්‍රික්කයේ දියත් කරන ලද මානසික සෞඛ්‍ය ප්‍රවර්ධන වැඩසටහන් ඇගයීය​.  2008 වසරේ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් කොළඹ පවත්වන ලද මානසික සෞඛ්‍ය ප්‍රවර්ධන වාර්ෂික සම්මේලනයේදී පුත්තලම් දිස්ත්‍රික්කයේ ප්‍රජා මානසික සෞඛ්‍ය ගැටළු පිලිබඳ දේශනයක් කලෙමි. මෙම දේශනයෙන් පසු සෞඛ්‍ය සංවිධානයේ මානසික සෞඛ්‍ය පිලිබඳ උපදේශක වෛද්‍ය ජෝන් මැහෝනි මගේ දේශනය පිළිබඳව මට ප්‍රසංසා කළේය.මේ ඇගයුම් සඳහා විශේෂඥ මනෝ වෛද්‍ය නීල් ප්‍රනාන්දු විසින් ලබා දුන් පන්නරය ගැන මා එතුමාට ස්තූති කරමි. 

ආචාර්ය ෆ්‍රරැන්සින් ශැපීරෝ EMDR මනෝ ප්‍රතිකාරය සොයා ගත් මනෝ විද්‍යාඥවරියයි. 2004 සුනාමි ව්‍යාසනයේදී EMDR ප්‍රතිකාරය භාවිතා කරමින් මා විසින් ලබා දෙන ලද දායකත්වය අගයනු වස් වරක් ඇය මට එක්සත් ජනපදයේ වැඩිදුර අධ්‍යන කටයුතු කිරීම සඳහා ශිෂ්‍යත්වයක්ද ලබා  දුන්නාය​. ආචාර්ය ෆ්‍රරැන්සින් ශැපීරෝ , ආචාර්ය  සුසන් රොජර්ස් , ආචාර්ය නැන්සි එරෙබෝ මගේ ගුරුවරියන් වෙති.  

 2015 වසරේ කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලය විසින් එළි දැක්වූ The Essentials of Global Mental Health පොතේ එක් පරිච්ඡේදයක් විශේෂඥ මනෝ වෛද්‍ය දයා සෝමසුන්දරම් සමග මම ලියුවෙමි. වෛද්‍ය දයා සෝමසුන්දරම් උතුරේ යුද ආතතිය ගැන බොහෝ පරියේෂණ කොට තිබේ. විශේෂඥ මනෝ වෛද්‍ය දයා සෝමසුන්දරම් සුන්දර මිනිසෙකි. ඔහු මම ටොරොන්ටෝවට පැමිණි විට මට අවශ්‍ය උපකාරයක් කරන ලෙස ටොරොන්ටෝ විශ්ව විද්‍යාලයේ සේවය කරන තම මිතුරු විශේෂඥ මනෝ වෛද්‍ය  අරුන් රවීන්ද්‍රන් ගෙන් ඉල්ලා සිටියේය​. ඔහු සමග වැඩ කිරීමට ලැබීම භාග්‍යකි. ඔහුවද මම ගුරු තත්වයේ ලා සලකමි. 

මට හමුවූ දේශීය උගතුන් අතර මහාචාර්‍ය හරේන්ද්‍ර ද සිල්වා ලංකාවේ ළමයින්ට විශාල සේවයක් කල පුද්ගලයෙකි. එසේම එතුමා බොහෝ ලාංකික උගතුන් තුල දක්නට තිබෙන්නා වූ කුහක ගති වලින් තොරය​. ඒ එතුමා තුල ශක්තිමත් පෞරුෂත්වයක් තිබෙන බැවිනි. එම පෞරුෂත්වය මම නාරි හා ප්‍රසව විශේෂඥ වෛද්‍ය  ජී. ඒ. රණතුංග   ,විශේෂඥ කායික වෛද්‍ය සුනිල් සෙනෙවිරත්න ඈපා , විශේෂඥ ශල්‍ය වෛද්‍ය  එස් එස් ජයරත්න​, විශේෂඥ ශල්‍ය වෛද්‍ය රනිල් ප්‍රනාන්දු  යන මහතුන් තුලින් ද දුටුවෙමි. මම ඔවුන් ගෙන් බොහෝ දේවල් උගත්තෙමි. 

මහාචාර්‍ය කාලෝ ෆොන්සේකාද මට අමතක කල නොහැක . වරක් එතුමා මට කොලඹ වෛද්‍ය පීඨයේ මනෝ වෛද්‍ය විද්‍යා අංශයේ දේශකයෙකු ලෙස සේවය කිරීමට කැමතිදැයි විමසීය​. ඒ වන විට මම කැන්සාස් හි වොශ්බර්න් විශ්ව විද්‍යාලයේ දේශනයක් ද කොට තිබුණි. එහෙත් සත්‍ය පවසන්නේ නම් ලංකාවේ විශ්ව විද්‍යාල වල තිබෙන බෙලි කැපිලි , කුහකකම් වලට මම බිය වෙමි. එවැනි පරිසරයක මට ප්‍රවර්තනය විය නොහැක​. ලංකාවේ විශ්ව විද්‍යාල බටහිර ලෝකයේ විශ්ව විද්‍යාල මට්ටමට පැමිණි කාලයක මහාචාර්‍ය කාලෝගේ යෝජනාව ගැන මම සලකා බලමි. 

අපගේ බොහෝ ලාංකික උගතුන් තුල මිනිස්කම් අඩුය​. එයට එක් හේතුවක් නම් දිවයිනකට කොටුවී සිටීම සහ අත්දැකීම් අඩු වීමයි. ඔවුන් ගේ චින්තනය ඉතා පටුය​ Professional jealousy සාධකය බොහෝ ලාංකික උගතුන් තුල පැතිරී තිබේ. අන් අයෙකුගේ දක්‍ෂතා ඇගයීමට මොවුන් ගේ දිවවල් නොනැමෙති. කෙනෙකුගේ දක්‍ෂතා නොව ඔවුන් ගේ ජීවිතයේ වැරදුනු තැන් හුවා දැක්වීම බහුලව කරති. ඔවුන් තමන් සමගින් මෙන්ම  තම සහෝදර වෘත්තිකයන් සමග කෝපයෙන් වෛරයෙන්  සිටිති.  

කුහක වෘත්තිකයා ඉරිසියාවෙන් පෙලෙන්නෙකි. ඔහු තම අනෙකුත් වෘත්තිකයන් ගේ ජයග්‍රහණ ලඝු කොට කතා කරයි. ඔවුන් ගේ සුදුසුකම් පහලට දමා කතා කරයි. තමන්ට බලයක් තියන විට අනෙකුත් වෘත්තිකයන් ගේ ශිෂ්‍යත්ව යනාදිය කපා දමයි. වෘත්තීමය වශයෙන් කිසිදු උපකාරයක් නොකරයි. උපේක්‍ෂාව යන ගුණ ධර්මය නැත​. නිතරම සිතෙන් පැසවන්නෙකි. නොසන්සුන් ය​. කෙනෙක් ඉහලට ඉගන ගන්නවාට කැමති නැත​. ඒවාට බාධා කරයි. හීනමානය තිබේ. කෙනෙකුගේ යහ ගුණ නුගුණක් කොට බොරු කියයි. පසුපසින් සිට පිහියෙන් ඇනීමට දක්‍ෂය​. කේලාම් කීම ප්‍රගුණ කොට තිබේ. සුවසේ නොනිදයි. සිත නිතරම අසහනයෙන් පෙලේ.  

මෙම කුහක වෘත්තිකයන් බොහෝ දෙනෙකු තුල පෞරුෂ අක්‍රමතා හඳුනා ගත හැකිය​. අධ්‍යාපන ගුණාත්මක භාවය අතින් ලෝක ශ්‍රේනිගත කිරීම අනුව ලංකාවේ විශ්ව විද්‍යාල ලෝකයේ   පහළ මට්ටමක් දැරීමට මේ වෘත්තිකයන් ගේ මානසික තත්වයන් ද හේතු කාරක වේ. සමහර විට මට  මානසික කොටුවකට සිරවූ  මෙම ඊනියා ලාංකික උගතුන් කෙරෙහි විශාල දුකක් ඇතිවේ. 

මම දන්නා මහාචාර්‍ය ඕනෝ වැන්ඩ හාට් , මහාචාර්‍ය රේච්ල් ට්‍රයිබ්ස් , මහාචාර්‍ය ෆිලිප් සිම්බාඩෝ වැනි උගතුන් තුල තිබෙන යහ ගුණ අපගේ ලාංකික උගතුන් බොහෝ දෙනෙකු තුල නැත​. මහාචාර්‍ය ෆිලිප් සිම්බාඩෝ  යනු සුප්‍රකට ස්ටැන්ෆඩ් ප්‍රිසින් එක්ස්පරිමන්ට් නම් පරියේෂනය කල විද්වතාය​. වරක් මා විසින් Auschwitz සිර කඳවුර ගැන ලියන ලද කවියක් පසසා මහාචාර්‍ය ෆිලිප් සිම් බාඩෝ මට ඊ ලිපියක් එවා තිබුණි. ඔහු එතරම් නිහතමානීය​.  

ලංකාව විසින් මෙතෙක් බිහි කර තිබෙන විශිෂ්ටතම මනෝ විද්‍යාඥයා පද්මාල් ද සිල්වා මහතාය​. ඔහු මනෝ විද්‍යාඥ ස්ටැන්ලි රැක්මන් , මනෝ විද්‍යාඥ විලියම් යූල් වැනි පතාකයන් ගේ ගෞරවයට ලක් වූ පුද්ගලයෙකි. එහෙත් වරක් මා ඉදිරියේ එක් මනෝ වෛද්‍යවරියක්  පද්මාල් ද සිල්වා මහතා උපහාසයට ලක් කලේ ඔහුගේ ප්‍රථම උපාධිය සිංහල සහ බෞද්ධ දර්ශනය බව කියමිනි.නමුත් ඇය නොදැන සිටි එක් කරුණක් නම් පද්මාල් ද සිල්වා මහතාව වඩාත් යහපත් මිනිසෙකු බවට පත් කලේ මේ සිංහල සහ බෞද්ධ දර්ශනය යන විශයන් බවයි. පද්මාල් ද සිල්වා ලංකාවට පැමිණි අවස්ථා වලදී මා හමු වීම සඳහා යුද හමුදා රෝහලටද පැමිණීමට පුරුදුව සිටියේය​. රෝගීන් සඳහා මනෝ ප්‍රතිකාරයේදී එතුමා මට ගුරුහරුකම් ද දුන්නේය​. 

පද්මාල් යනු පේරාදෙනිය විසින් බිහි කරන ලද අන්තර්ජාතික කීර්තියට පත් වූ අතිජාත පුත්‍රයෙකි. ඔහු ඉතා යහ ගුණ ඇති මිනිසෙකි. මා වැනි කනිෂ්ඨ පුද්ගලයන්ට  අත හිත දුන්නේය​. මම පරියේෂණ පත්‍රිකා ලිවීම ඉගෙන ගත්තේ ඔහුගෙනි. ඔහු මට ගුරුවරයෙකු මෙන්ම  පහන් ටැඹක් විය​. ඔහුගේ අකල් මරණය විශාල පාඩුවකි.  මා විසින් ලියන ලද PTSD Sri Lankan Experience පොත මා විසින් පුදන ලද්දේ ඔහුටය​.  ඔහු බටහිර දැණුම සහ පෙරදිග දැණුම අතර පාළමක් විය​. පරළ වූ යකදුරෙකු මෙන් බටහිර විද්‍යාවට තිස් තුන් පැයේ බනින නලීන් ද සිල්වාට මඟ හැරුනේ මේ පාලමයි.  පේරාදෙනිය විශ්ව විද්‍යාලය  මුළු ලෝකයක් ගරු කල   ලංකාව විසින් මෙතෙක් බිහි කර තිබෙන විශිෂ්ටතම මනෝ විද්‍යාඥයාට මීට වඩා බුහුමනක් කළ යුතුය.​.

යෝක් විශ්ව විද්‍යාලයේ මහාචාර්‍ය රිච්ඩ් ලේලොන්ඩ් මා ලියන ලිපි සහ පොත් ඉතා ආශාවෙන් කියවයි. මා විසින් ලියන ලද ශෙල් ශොක් ටූ පලාලි සින්ඩ්‍රොම්  පොතට පෙරවදනක් පවා මහාචාර්‍ය රිච්ඩ් ලේලොන්ඩ් සැපයීය​. එසේම යෝක් විශ්ව විද්‍යාලයේ මහාචාර්‍ය ජිම් ඇල්කොක් මගේ ගෝඩ් ෆාදර් ලෙස හැඳින්වීමට කැමැත්තෙමි. ඒ මන්ද යත් මාගේ අධ්‍යාපන සහ වෘත්තීය කටයුතු වලදී ඔහු නිරන්තරයෙන්ම රෙෆෙරී හෙවත් නිර්දේශකයෙකු ලෙස පෙනී සිටියි. මා විසින් ලියන ලද සයිකොලොජිකල් ඇස්පෙක්ට් ඔෆ් බුඩිස්ට් ජාතක ස්ටෝ‍රීස් පොත මා විසින් පිළිගන්වා ඇත්තේද මහාචාර්‍ය ජිම් ඇල්කොක්ට ය​. 

මෙම සයිකොලොජිකල් ඇස්පෙක්ට් ඔෆ් බුඩිස්ට් ජාතක ස්ටෝ‍රීස් පොත විශේෂඥ මනෝ වෛද්‍ය ඩී.වී.ජේ හරිස්චන්ද්‍ර මහතා මිය යාමට පෙර එළි දැක්වීමට නොහැකි වීම ගැන මම දුක් වෙමි. වෛද්‍ය ඩී.වී.ජේ හරිස්චන්ද්‍ර මහතා සයිකෑට්‍රික් ඇස්පෙක්ට් ඔෆ් බුඩිස්ට් ජාතක ස්ටෝ‍රීස් පොත ලිවීය​. මම ලිව්වේ බෞද්ධ ජාතක කතා වල මනෝ විද්‍යාත්මක පාර්ශවය ය​.  විශේෂඥ මනෝ වෛද්‍ය ඩී.වී.ජේ හරිස්චන්ද්‍ර ඇතැම් විට මා විසින් ලියන ලද පොත් වල කරුණු පෙන්වා දෙමින් දේශනා පවත්වා තිබේ. වරක් එතුමා මා විසින් ලියන ලද යුද අතතියේ මනෝ විද්‍යාත්මක පාර්ශවය යන පොත ගැන අදහස් පළ කලේය​. විශේෂඥ මනෝ වෛද්‍ය ඩී.වී.ජේ හරිස්චන්ද්‍ර දිවයින් මානසිකත්වය අතික්‍රමණය කරන ලද වෛද්‍යවරයෙකි. 

මට මනෝ සමාජීය පුනරුථාපන විශය ( Psycho-social Rehabilitation  ) ඉගැන්වූ ටෝනි ශිම්බ්රි අපව මිතුරන් සේ සම තත්වයේ ලා සැලකීය. ටෝනි ශිම්බ්රි පසුගිය වසරේදී ඔහුගේ ආචාර්‍ය උපාධිය ටොරොන්ටෝ විශ්ව විද්‍යාලයෙන් ලැබීය​. එසේම ටොරොන්ටෝ විශ්ව විද්‍යාලයේ මහාචාර්‍ය මේරි සීමන්ද මා සමහ අදහස් හුවමාරු කර ගන්නීය​. ඇය මා විසින් ලියන ලද Between Psychology and Literature පොතට පෙරවදනක් ද සපයා තිබේ. 

පශ්චාත් ව්‍යයසන ක්ලමථ අක්‍රමතාවය(PTSD)  ගැන මා විසින් ලියන ලද පත්‍රිකාවක් කියවූ මහාචාර්‍ය ජුඩිත් හර්මන් වරක් මට ඊ ලිපියක් එවීය​. මහාචාර්‍ය ජුඩිත් හර්මන් පශ්චාත් ව්‍යයසන ක්ලමථ අක්‍රමතාවය ගැන පර්‍යේෂණ කරන ලොව සුප්‍රකට පරියේෂිකාවකි. මගේ මෙම පත්‍රිකාව පළ කරන ලද්දේ එක්සත් ජනපද හමුදාවේ විදේශීය සේවා කාර්‍යාංශය විසිනි. මෙම පත්‍රිකාවෙන් මම පශ්චාත් ව්‍යයසන ක්ලමථ අක්‍රමතාවය බටහිර විසින් සොයා ගත් රෝගී තත්වයක් නොව එම අක්‍රමතාවය ගැන බෞද්ධ ජාතක කතා වල  සඳහන්ව තිබෙනවා යැයි පෙන්වා දුන්නෙමි. එසේම මෙන්ම 16 වන සියවසේ ලංකාවේ සිටි රජෙකු වූ පළවන රාජසිංහ රජුද  පශ්චාත් ව්‍යයසන ක්ලමථ අක්‍රමතාවයෙන් පෙළුනු බවට සාධක සහිතව  පෙන්වා දුන්නෙමි. මගේ පත්‍රිකාව මහාචාර්‍ය ජුඩිත් හර්මන් ගේ අදහස් අභියෝගයට පත් කිරීමක් වූවද අපගේ දිවයින් මානසිකත්වයන් පෙලෙන වෘත්තිකයන් සේ ඇය මාව හෙලා දැක්කේ නැත​.  ඇය මට බොස්ටන් හි තිබෙන ඇයගේ සායනයට ආරාධිත චිකිත්සකයෙකු වශයෙන්  පැමිනෙන ලෙසට ආරාධනා කළාය​.  ඉදිරි කාලයේ මම මහාචාර්‍ය ජුඩිත් හර්මන් හමුවීමට යමි. එය මගේ ජීවිතයේ සන්ධිස්ථානයක් වනු නොඅනුමානය​. 

වෛද්‍ය රුවන් එම් ජයතුංග



Monday, January 25, 2016

තුර්කි ගමන

 


වෛද්‍ය පීඨයේ අපට වසරකට නිවාඩු කාල දෙකක් තිබේ. ඒ ශීත කාලයේ වින්ට හොලිඩේස් ( මෙය ජනවාරි මාසයේ අග ආරම්භවේ , සුමාන දෙකක  කාලයකින් යුක්තය​) සහ ග්‍රීෂ්ම ඍතුවේ සමර් හොලිඩේස් ( මෙය ජූලි අග ඇරඹෙන අතර මාස එක හමාරක් පමණ දිගය​) වසරේ ඉතිරි කාලය අධ්‍යාපනය සඳහා වෙන් වී තිබේ. අප හතර වන වසර වන තෙක් සෙනසුරාදා දින වලද පන්ති පැවැත්වින​. 

අධ්‍යාපනය පවතින කාලයේ වර්ජන , උද්ඝෝෂණ , මාර්ග අවහිර කිරීම් , පොලිසිය සමග පැටලීම් ආදිය නොමැති නිසා මුළු කාලයම අධ්‍යාපනයට යොදවන සිසුන් නිවාඩු කාල වලදී සිත් සේ විනෝද වෙති. එය ආතති සමනයෙන් යුක්තය​. මම වෛද්‍ය  පීඨයේ  හතර වන වසර අවසානයේදී (යූක්‍රයීනයේ වෛද්‍ය පීඨයේ අධ්‍යාපනය වසර හතකින් යුක්ත විය​) ග්‍රීෂ්ම ඍතුවේ නිවාඩුවට තුර්කියට ගියෙමි.

 තුර්කියට යූක්‍රයීනයේ සිට ගොඩබිමින් යා හැක​. අතීතයේ තුර්කි හමුදා රුසියාව ආක්‍රමණය කළහ​. මහා පීටර් අධිරාජ්‍යා තුර්කි හමුදා පරාජය කොට දේශසීමා ආසන්නයේ බලකොටු පිහිටවනු ලැබීය​. නමුත් වර්තමානයේ තුර්කිය සහ රුසියාව මිත්‍ර ජාතීන් වෙති. 

තුර්කියට යන ගමනේදී මට බ්‍රිතාන්‍ය ජාතිකයෙකු සහ සිරියානු සිසුවෙකු හමු වීම නිසා අපගේ ගමන වඩාත් විනෝද ජනක විය​. තවද ඇල්ජීරියානු ජාතිකයින් දෙදෙනෙකුද පෝලන්ත ජාතිකයන් දෙදෙනෙකුද අපගේ මැදිරියට ආවෙන් දුම්රිය මැදිරිය සංවාද මණ්ඩපයක් විය​. අපගේ සංවාද මණ්ඩපයට බාධා කරමින් දේශසීමා භටයන් වරින් වර පැමිණ අපගේ පාස්පෝට් පරික්‍ෂා කලහ​. තමෝෂ්නිකි නමින් හඳුන්වන මේ නිලධාරීන් අප කුර්වා ලෙස නම් කලෙමු. කුර්වා යනු පෝලන්ත බසින් කුණුහරපයකි. එහි තේරුම මම අදවත් දන්නේ නැත​. අප සමග සිටි එක් පෝලන්ත ජාතිකයෙකු තමෝෂ්නිකිවරයෙකු කුර්වා නමින් හැඳින් වූ නිසා අප දිගටම තමෝෂ්නිකිලාට කුර්වා කීවෙමු. 

තුර්කියට ලඟා වූ වහාම තුර්කි රේගු නිලධාරීන් අපගේ දුම්රිය  මැදිරියට කඩා වැදුනහ​. ඔවුන් අධිපතීන් සේ ක්‍රියා කරමින් අපගේ ගමන් මළු අවුස්සා බැලූහ​. සිරියානු ජාතික සිසුවාගේ ගමන් මල්ලේ තිබී අනගි අළුත් සුවඳ විළවුන් බෝතලක් ඔවුන් බලහත්කාරයෙන් ගත්හ​. ගමන් මළු සමග බස්වාගෙන  ඈතින් පිහිටි ඔවුන් ගේ කාර්‍යාලයට ගෙන ගියේ මංකොල්ලය වඩාත් හොඳින් කිරීමටය​. බ්‍රිතාන්‍ය ජාතිකයාගේ විස්කි බෝතලයකට විදීමට තුර්කි රේගු නිලධාරීන් ගත් තැත ලොප් වූයේ බ්‍රිතාන්‍ය ජාතිකයා මහ හඞින් ඔවුනට දොස් පැවරීම නිසාය​. 

"ඔබ මිඩ්නයිට් එක්ස්ප්‍රෙස් චිත්‍රපටය බලා තිබේද ?කියා මම බ්‍රිතාන්‍ය ජාතිකයාගෙන් ඇසුවෙමි. ඔහු හිස සැලීය​. එසේ නම් නිහඞවීම වඩාත් ගුණදායක බව මම ඔහුට කීවෙමි. බ්‍රිතාන්‍ය ජාතිකයා සන්සුන් විය​. 

බොහෝ පමා වී දුම්රිය මැදිරියට පැමිණි ඇල්ජීරියානු ජාතිකයින් දෙදෙනා දෙවියන්ට පින් දෙමින් වාඩි වූහ​. තුර්කීන් ඔවුන් ගේ දත් වහල්ලද ගලවාගෙන තිබේ. නමුත් ජීවිත බේරාගෙන නිරුපද්‍රිතව ඒමට ලැබීම ඔවුන් වාසනාවක් කොට සලකයි. 

දුම්රිය ඉස්තාන්බුල් නගරයට එන තෙක් සියළු දෙනා තුර්කි රේගු නිලධාරීන්ට බැණ වැදුනහ​. ඉස්තාන්බුල් නගරයේදී අප විසිර ගියෙමු. 

තුර්කිය සුන්දර රටකි. ඒ ගැන විවාදයක් නැත​. අනර්ඝ ලෙදර් කබා ඉතා අඩු මිලට ගත හැකිය​. මම කළු සහ දුඹුරු ලෙදර් ජැකට් දෙකක් මිලට ගත්තෙමි. ආහාරද රසවත්‍ ය​. මිළ අධික නොවේ. නමුත් නගරයේ වතුරද විකුණති. වතුර විකිණීම ඒ කාලයේ අපට අමුතු අත්දැකීමක් විය​. තුර්කි වතුර වල තත්වය ගැන නොදත් නිසා මම කොකා කෝලා පමණක් පානය කලෙමි.  

තුර්කි ජාතිකයන් එතරම් මිත්‍රශීලී නොවන බව මම මාගේ පළමු තුර්කි ගමනින් පසක් කලද පසු කාලයක මට හමු වූ තුර්කි උගතුන් යහපත් මිනිසුන් වූහ​. උදාහරණයක් ලෙස තුර්කියේ සුකුරෝවා විශ්ව විද්‍යාලයේ මහාචාර්‍ය උනර් ටාන් මාගේ ශාස්ත්‍රාලීය මිතුරෙකි. ඔහු තුර්කි ඇකඩමි ඔෆ් සයන්ස් හිද සාමජිකයෙකි. මම තුර්කියට ගොස් තිබෙන බව කියූ විට මහාචාර්‍ය උනර් ටාන් මගෙන් ඒ ගමන ගැන වැඩි විස්තර නොඇසුවේ තම රටේ රේගු නිලධාරීන් ගැන දන්නා නිසා විය යුතුය​. 


වෛද්‍ය රුවන් එම් ජයතුංග

Sunday, January 24, 2016

කරත්ත හතලිහක් ගන්න සල්ලි

 


මගේ පුතා අට වසර තෙක් කොළඹ රාජකීය විද්‍යාලයේ ඉගෙනුම ලබා ඉන් පසු නෝත් යෝර්ක් හි එර්ල් හේග් (Earl Haig ) පාසලට ගියේය​. එර්ල් හේග් පාසලට යන විට ඔහුට අළුත් ඇඳුම් අවශ්‍ය වූවා පමණක් නොව ඒවා හොඳ බ්‍රෑන්ඩ් එකෙන් ද යුක්ත ඒවා විය යුතු වූයේය​. මේ හදිසි වෙනස ගැන මම සොයා බැලුවෙමි. නෝත් යෝර්ක් හි එර්ල් හේග් පාසලට යන්නේ ධනවතුන් ගේ ළමුන් ය​. ඔවුන් ඇඳුම් මිලට ගන්නේ ඉතාලියෙන් , ඇමරිකාවෙන් සහ ස්පාඤ්ඤය වැනි රටවලිනි එම නිසා අප ඔඩෙල් එකෙන් ඔහුට මිලට ගත් ඇඳුම් ඇඳගෙන පාසල් යා නොහැකි බව කොළුවා තරයේ කීවෙන්  අප පසු බැස්සෙමු. 

කොළුවාගේ කතාවෙත් ඇත්තක් තිබේ. රෝමයට යන්නේ නම් රෝම වාසීන් මෙන් ඇඳුම් පැළඳුම් කල යුතුය​. පාසලේදී අන් සිසුන් අතර ළමයා කොන් නොවීම සඳහා හොඳ බ්‍රෑන්ඩ් ඇඳුම් මිලට ගැනීමට ටොරොන්ටෝහි  වටිනා   සහ මිළ අධික ඇඳුම් බේවිව් ශොපිං මෝල් එක වෙත ගියෙමි. එහි එක් සාප්පුවකින් ළමයා ඔහුට අවශ්‍ය ඇඳුම් තෝරාගත්තේය​. නව ඇඳුම් ඔහුට මිළදී ගැනීමෙන් පසු අගනා ලෙදර් ජැකට්ටුවකට ඔහුගේ හිත ගියෙන් එයද මිළට ගත් යුතු බව කීවේය​. මම එහි මිළ ගනන් ඇසුවෙමි. එය ඩොලර් 1800 කි. ලෙදර් ජැකට්ටුවේ මිළ ඇසූ මට " කරත්ත හතලිහක් ගන්න සල්ලි" කියා කියවිණි. 

"ඔය කතාව තිබ්බේ තිලක පොතේ නේද? කියා පුතා මගෙන් ඇසීය​. ඔහු කීවේ ඇත්තකි මේ කරත්ත හතලිහක් ගන්න සල්ලි යන කතාව තිබෙන්නේ විලම්බීත පොතේය​. එහි කතෘ ටී. බී ඉලංගරත්න මහතාය​. අද මෙන් චන්ද දායකයන් මිනීමරුවන් කුඩුකාරයන්, නූගතුන් පාර්ලිමෙන්තු  යවන යුගයක නොව බොහෝ ඉහත කාලයක ටී. බී ඉලංගරත්න , ආර්. ඊරියගොල්ල වැනි පාර්ලිමෙන්තු ගිය දේශපාලකයෝ පොත්  ලියූහ​. 

මට වරක්  නව රඟහලේදී ටී. බී ඉලංගරත්න මහතා හමු විය​. එවකට මම පහේ පන්තියේ ඉගෙනුම ලැබුවෙමි. "මගේ පොත් කියවලා තිබෙනවාද ?කියා එතුමා ඇසීය​. මම මුලින්ම කියවූයේ ටී. බී ඉලංගරත්න මහතා ගේ ළමා කතාවක් වන පිස්සු ලුසීය​. ඉන් පසු සසර , මංගලා , නෑදෑයෝ , විලම් බීත යන පොත් කියවූයෙමි. 

ලංකාවේ මගේ පුස්තකාලයේ විලම්බීත , තිලක , තිලක හා තිලකා යන පොත් තුනම තිබුණි.   විලම්බීත පොතේ සුමනගේ අළුත් වාහනයේ මිල අසන තිලකගේ මුවින් පිට වන්නේ කරත්ත හතලිහක් ගන්න සල්ලි කියාය​. කොළුවා මේ පොත කියවා තිබේ. 

වරක් ඔහු හතර වසරේ ඉගෙනුම ලබන විට මා ඔහුව කැටුව බණඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවති වාර්ශික පොත් ප්‍රදර්ශනයට ගියෙමි. එහි කේ ජයතිලක මහතාගේ පොත් විකුණූ වෙළෙඳ කුටියක යුද්දය හා සාමය පොත් පෙළ තිබෙනු දැක මම ඒ කාණ්ඩයම මිළට ගැනීමට සූදානම් වූයෙමි. ඒ අතර වාරයේ කේ ජයතිලක මහතාගේ බිරිඳ සුමනා ජයතිලක මහත්මිය කොළුවා සමග කතාවට වැටුනේය​. 

" මොකක් ද පුතා අන්තිමට කියවපු පොත සුමනා ජයතිලක මහත්මිය ඇසුවාය​. 

ටී. පනස් හයේ කතාව " කොල්ලා කිසි ගනනකට නැතිව කීවේය​. 

සුමනා ජයතිලක මහත්මිය ගේ ඇස් ලොකු වනු මම දුටුවෙමි. කොළුවා කීවේ ඇත්තකි. ඒ කාලයේ මම 71 කැරැල්ල පිළිබඳ කෘතියකට කරුණු එකතු කරමින් සිටියෙමි.  ටී. පනස් හයේ කතාව මම කියවමින් සිටි පොතකි. මා නොමැති අවස්ථාවක මගේ පුද්ගලික පුස්තකාලයට පැමිණි ඔහු මෙම පොත කියවා තිබේ. 


වෛද්‍ය රුවන් එම් ජයතුංග

Saturday, January 23, 2016

ඒ.එෆ්.එස්. සිසුන්





1984 වසරේ ඇමරිකානු  AFS USA student exchange වැඩසටහන යටතේ එක්සත් ජනපදයෙක් සිසුන් දෙදෙනෙකු නාලන්දාවට ඉගෙනුම සඳහා පැමිණියහ ​. ඊතන් සහ කැමරන් යන ඇමරිකානු සිසුන් දෙදෙනා ඉතා කෙටි කාලයක් තුලදී නාලන්දීයන් බවට පත් වූහ​. ඊතන් පැමිණියේ මේරිලන්ඩ් වලිනි කැමරන් පැමිණියේ කැලිෆෝනියාවෙනි. 

වරක් ඊතන්, කැමරන් සහ මම පාසැල් කට් කර නිව් ඔලිම්පියා සිනමා ශාලාවේ ෆස්ට් බ්ලඩ් චිත්‍රපටය බැලුවෙමු. අප චිත්‍රපටය බැලුවේ පාසල් නිල ඇඳුමෙනි. ඒ නිසා මම විපරම් සහගතව වටපිට බැලුවේ ශිෂ්‍ය නායකයෙකුවත් කොහෙන් හෝ මතු වේ කියාය​. නමුත් කිසිවෙකු නොවූයෙන් අප චිත්‍රපටය බලා ජය මාවතෙන් යළි පාසල වෙත ගියෙමු. ( ඒ කාලයේ පාසලේ එක් තාප්පයක් පුපුරා කැඩි විශාල සිදුරක් මතුවී තිබූ අතර  එම සිදුර හරහා පාසැලෙන් කට්ටි පැනීමට සිසුන් පුරුදුව සිටියහ​. මෙම මාර්ගය ජය මාවත කියා සිසුන් හැඳින්වූහ​) පාසල අවසානයේදි අනෙකුත් හොඳ ළමුන් මෙන් නිවෙස් කරා ගියෙමු. මෙසේ  ඊතන් සහ කැමරන් වසරක කාලයක් අප අතර කල් ගෙවූහ​. එය අපට මෙන්ම ඔවුනටද අගනා අත්දැකීමක් විය​. 

මම යූක්‍රයීනයේ ඉගෙනුම ලබන කාලයේදී ඊතන් සහ මා අතර ලියුම් ගනුදෙනු සිදු විය​. ලංකාවෙන් ගිය පසු ඔහු යළිත් කොස්ටාරිකාවට ගිය බව මට ලිවීය​. එහෙත් කැමරන් ගැන හෝඩුවාවක්  නොවීය​. මම 2006 වසරේ කැලිෆෝනියාවට ගිය විට කැමරන් ගේ නම ගූගල් කොට බැළුවෙමි එහෙත් සාර්ථකත්වයක් නොලදිමි. 

ඒ.එෆ්.එස්.  වැඩසටහන නිසා ලෝකයේ එක් කොනක සිටි වෙනත් ජන වර්ගයක සිසුන් ගැන දැන ගැනීමට පාසල් කාලයේදීම අපට හැකි විය​. අධ්‍යාපන අමාත්‍යංශය මෙවැනි වැඩසටහන් දේශීයව හෝ ප්‍රවර්ධනයට යොමුවී නැත​. එසේම ඒ සඳහා අධ්‍යාපන අමාත්‍යංශයට විචක්‍ෂණභාවයද නැත​. උදාහරණයක් ලෙස කිලිනොච්චියේ ඉගෙනුම ලබන ද්‍රවිඩ සිසුන් කිහිප දෙනෙක් කොළඹ පාසල් වල වසරක කාලයක් ආගන්තුකව සිංහල නිවෙස් වල නැවතී ඉගෙනුම ලැබිය හැකිය​. එසේම කොළඹ සිංහල සිසුන් උතුරේ පාසලක වසරක් ඉගෙනුම ලබා පැමිණිය හැක​. තවද මේ ක්‍රමය අක්කරේපත්තුව කින්නියාව යන ප්‍රදේශ  වල මුස්ලිම් සිසුන් වෙතද  ලබා දිය හැකිය​. එවැනි ක්‍රමයක් මීට ඉහතදී තිබුනේ නම් ආගම් වශයෙන් , ජාතීන් වශයෙන් බෙදී මේ රට කාලකන්නි දේශයක් බවට පත් වන්නේ නැත​.

වෛද්‍ය රුවන් එම් ජයතුංග

Friday, January 22, 2016

එදා අපිට පෙනුනෙ ඔබව ......




නාරි හා ප්‍රසව විශේෂඥ වෛද්‍ය  ජී. ඒ. රණතුංග මහතා යටතේ මම ඉන්ටන්වරයෙකු ලෙස මාතලේ රෝහලේ සේවය කලෙමි. වෛද්‍ය  ජී. ඒ. රණතුංග මහතා ගේ නීති තදය​. නිසි වේලාවට වාට්ටුවට පැමිණිය යුතුය​. රෝගීන් ගැන මනා සේ දැනගෙන සිටි යුතුය​. සෙල්ලම් කල නොහැක​. මේ හේතුවෙන් ඒ කාලය හිරේ ගියාක් මෙන් මට දැනුනේය​. කාල වේලාවට ප්‍රථම වාට්ටුවෙන් මාරු වීමට අපට අවකාශ නොවීය​. රණතුංග මහතා හිටි හැටියේ අන්තිම මිනිත්තු දෙකේද වාට්ටුවට එයි. කොරිඩෝවේ ඔහු එනු දකින අප සීතල වෙමු. අප සැනසුම් සුසුම් හෙලන්නේ ඔහු පිටත්ව යාමෙන් පසු ය​. 

වෛද්‍ය  රණතුංග රෝගීන් ගැන කෙස් ගහට දැන සිටි හෙයින් ඔහුට බොරු කිරීම කල නොහැක්කකි. එම නිසා අප රෝගීන්ගේ රෝග විස්තර ඉතිහාසය පොතේ ආකාරයටම ගත්තෙමු. ඔහු අපගේ ඇඳුම ගැන පවා විමසිලිමත් වෙයි. නවක දොස්තරවරු මනා සේ ඇඳ පැලඳ සිටි යුතුය​. දිවා රාත්‍රී වූවද කම් නැත​. 

 නාරි හා ප්‍රසව සායනයට රත්තොටින් වතු වල වැඩ කරන ද්‍රවිඩ  කාන්තාවන් ද එති වරක් එසේ පැමිණි කාන්තාවක් " රෙන්නතුංග මාතියාගේ ක්ලිනික් කෝද තීනවා " කියා මගෙන් ඇසීය​. මම තොල් සපාගෙන ඇයට සායන කාමරය පෙන්නුවෙමි. රණතුංග මහතා සිටින ඉසව්වක සිනහ වීමටද නොහැක​. 

ඒ කාලයේ මට දොර​ දෙකේ නිසාන් මාච් කාරයක් තිබුණි. නිර්වින්දන වෛද්‍යවරයාද කාර් ලෝලියෙකි අප ශල්‍යකර්මයක් කරන අවස්ථාවක නිසාන් මාච් කාර් ගැන කතා කරමින් සිටියෙමු. ශල්‍යාගාරයේ කතා කිරීම නිසා දඞුවමක් ලෙස  වෛද්‍ය  රණතුංග මහතා මාව එළියට දැමීය​. 

වෛද්‍ය  රණතුංග  මහතා ඉතා කලතුරකින් නිවාඩු යයි. එදිනට අපට කානිවල් ය. 

"  සර් කෑගැහුවට බැන්නට හිතේ කහටක් තියාගෙන නෙවෙයි කියන්නේ "  කියා ලේබ රූම් එකේ අමරා මිස් අපට පවසන්නේ නිතරම  බැනුම් අසන අපගේ සිත් සැදීමටය​. 

 "අපරාදේ පිඩියෑට්‍රික්ස් කරන්න තිබුන වෙලාවේ ඒකට යන්නේ නැතිව ජින් අැන්ඩ් ඔබ්ස් කරන්න ආවා . ඉල්ලං කෑවා වගේ " එක් ඉන්ටර්න්වරයෙක් කියයි. 

නාරි හා ප්‍රසව විශේෂඥ වෛද්‍ය  ජී. ඒ. රණතුංග මහතා යටතේ මාස හයක් සීමාවාසික පුහුණුව ලබා එකී පුහුණුව අවසන් කිරීමෙන් පසු අපට මහත් සහනයක් දැණුනි. එය​ කමාන්ඩෝ කෝස් එක නිම කලා වැනිය​.  

වෛද්‍ය  ජී. ඒ. රණතුංග මහතා  දරදඞු පාලකයෙකු සේ පෙනුනද පසු කාලයක මට පෙනී ගියේ එ් වෛද්‍ය විනය ඉගැන්වීම සඳහා ගත් පියවරක් ලෙසටය​. එසේම එතුමා අපව දැණුමින් සන්නද්ධ කලේය​. ඒ ඉගැන්වීමේ වටිනාකම මට වැටහුනේ මුල් පත්වීම ගෙන ග්‍රාමීය රෝහලකට ගිය මුල් දිනයේදීය​. එම මුල් දවසේම දරුවෙකු ප්‍රසූත කල මවකගේ ගර්භාශයේ වැදෑමහ හිර විය​. රෝගියා  මාරු කර යැවීමටද ගිලන් රථයක් නොවීය​. මම නාරි හා ප්‍රසව විශේෂඥ වෛද්‍ය  ජී. ඒ. රණතුංග මහතා අපට පුහුණු කල පරිදි අත දමා සිරවූ වැදෑමහ සෙමෙන් සෙමෙන් ගත්තෙමි. එය ඉතා අසීරු ක්‍රියාවකි. යම් ලෙසකින් ගර්භාශය කණපිටගියේ නම් කාන්තාව ලේ වහනය වීමෙන් මිය ඇදෙනු ඇත​. නමුත් මා නිසි පරිදි එය ගත් නිසා ගැටළුවක් හට ගත්තේ නැත​.  මේ නිසා අළුතින්ම පත්වීම ගෙන ග්‍රාමීය රෝහලට ගිය මගේ කාඩ් කුඩු නොවීය​. අළුත් වෛද්‍යවරයා යමක් කමක් දත්තෙකු ලෙස කාර්‍ය මණ්ඩලය ඉදිරියේ වෘත්තීය ගරුත්වය ආරක්‍ෂා කර ගත්තේය​. 

 රළු වෙස් මුහුණක් දමාගෙන සිටියද වෛද්‍ය  ජී. ඒ. රණතුංග මහතාගේ සිත බොහෝ විට උණු වේ.  අප සමග සිටි එක් ඉන්ටන්වරයෙකු හිතුවක්කාරයට කසාද බැඳ තිබුන නිසා ඔහුට දෙමාපියන් ගෙන් උදව් පදව් නොවීය​. ඔහුගේ බිරිඳ ගේ දරු ප්‍රසූතිය කරන ලද්දේ වෛද්‍ය  ජී. ඒ. රණතුංග මහතා විසිනි. එසේම දරුවා ඉපදුනු පසු අවශ්‍ය කෙරෙන දේ ගැනීමට රණතුංග මහතා එම  ඉන්ටන්වරයාට මුදල් ද දුන්නේය​. 

සීමාවාසික පුහුණුවෙන් පසු අප වෛද්‍ය රණතුංග මහතා ගෙන් මිදී ගියෙමු. පසු කාලයක පරිණත වෛද්‍යවරුන් ලෙස අප එතුමා මුණ ගැසුනු විට ඉතා දයාන්විතව අප සමග එතුමා සංවාදයේ යෙදුනේය​. ඒ කාලයේ අපට සැර පරුෂ මුහුණක් පෙන්වාගෙන සිටින ලද්දේ අප නිසි මග යැවීමට  බව අප වටහා ගත්තෙමු. අද අපට එතුමාව පෙනෙන්නේ දෙවියකු ලෙසටය​. 


වෛද්‍ය රුවන් එම් ජයතුංග





නාරි හා ප්‍රසව විශේෂඥ වෛද්‍ය  ජී. ඒ. රණතුංග මහතා තම ධනය වැය කරමින් බදුරලියේ ගොඩනංවන ලද සෑය​. චායාරූපයේ මැද සිටින්නේ ඒ මහතාය​. 


Thursday, January 21, 2016

1971 අප්‍රේල් කැරැල්ලේ 17 වන විත්තිකරු විරාජ් ලක්ප්‍රිය ප්‍රනාන්දු




1971 අප්‍රේල් කැරැල්ලේ 17 වන විත්තිකරු වූ විරාජ් ලක්ප්‍රිය ප්‍රනාන්දු මහතා විදේශගතව ජීවත් වෙයි. ඔහුව සම්මුඛ සාකච්ඡාවක් සඳහා සම්බන්ධ කර ගැනීම අසීරු වුයේ ඔහුගේ දුරකථන අංකය හෝ විද්‍යුත් තැපැල් අංකය ඔහුගෙ සමකාලිනයන්ද නොදැන සිටි නිසාවෙනි. අවසානයේදී මට උපකාරයට පැමිණියේ ගුවන් නියමුවෙකු වන එල්මෝ ජයවර්ධන මහතා විසිනි. ඔහු මට විරාජ් ප්‍රනාන්දු ගේ විද්‍යුත් තැපැල් අංකය ලබා දුන්නා පමණක් නොව මගේ පොත පිළිබඳව මූලික අදහසක්ද ඔහුට ලබා දුන්නේය. ඉන් ක්ෂණික ප්‍රතිචාරයක් ලැබුණු බව කිව යුතුමය. 

දින දෙකක් වැනි සුළු කාලයක් ඇතුලත මට විරාජ් ප්‍රනාන්දු මහතා ගෙන් විද්‍යුත් තැපැල් පණිවිඩයක් ලැබිණි. තමාගේ 71 මැදිහත්වීම වැරදි සහගත හා විකෘති කරමින් අයුවි කොමිසම ක්‍රියා කොට ඇති බවත් ඉන් පසුව ඒ සී අලස් සහ රොහාන් ගුණරත්න ඔවුන්ගේ පොත් වල මා ගැන සදොස් ලේඛන උපයෝගි කර ගෙන 71 කැරැල්ල පිළිබඳව ලියා තිඛෙන බවත් විරාජ් ප්‍රනාන්දු මහතා මට පෙන්වා දුන්නේය. ඔහු විසින් මට එවන ලද විද්‍යුත් තැපැල් පිටපත පහත දැක්වෙයි. ලියෝ ටෝල්ස්ටෝයිගේ යුද්ධය හා සාමය කෘතිය පිළිබදව මා විසින් Daily News  පුවත් පතට යවන ලද ලිපියක තිබූ (මෙම ලිපිය 2009 ජනවාරි 1 දින ඩේලි නිවුස් පුවත් පතේ පළ විය) අඩංගු වු විස්තර පිළිබඳව තමාගේ අදහස් දැක්වීමක්ද කල විරාජ් ප්‍රනාන්දු මහතා මට මෙසේ ලිවීය.

Dear Ruwan,

from your analysis of Tolstoy's works and drawing parallels between many aspects of his own characters to the characters in the novel, it gives me the impression that you are one of the very few well equipped with the necessary tools to engage in an anatomy of 1971 uprising. I do not agree with the idea that all historical events and characters are pre-destined as the quote from Tolstoy seems to imply.

My position is that current events are determined by history. But not determined as if as if It is my position that at every turn there are option available to give shape to the future' and only once freedom of choise is limited to these historically determineded option these option are potential possibilities, and the degrees of their realisation depends on the corre;ation of complex of other forces and events that unfold in the course of time the freedom on has is limited to understanding of the trends within the unfloding events and processes and the action taken on them to bring about the changes one seeks to bring about.

JVP was something I abhorred This is reflected in the CJC Report Something like Viraj Fernando was not a member of the JVP has not attended any of their classes, he was against JVP's principles and policies before the (say Sept 28 1970) and after that day. But on the night of Sept 28, he agreed with Wijeweera; The evidence for my agreement' on that fateful night of sep 28 he agreed with wijeweera' the evidence for my opposition were available in my writtings and letters whete i had written about catasrtrophic march of the JVP and the evidence before the court itself. the evidence of my 'agreement' on that faterful night came from 'my statement' which was proven in the same court as being fabricated by lan wickremanayake by deleting key sentences from a previous statement, which was suppressed. the judgement was not unanimous. justice Thamotharam dissented. After my relese I met him at the Liberety Cinema. I thanked him. He told me "you don't have to thank me I only did my duty" on the other hand, Justice Alles quite unehically wrote a book, Rohan Guneratne drew his "facts" so there has propagated a myth. Which is contrary to reality. So what I am trying to tell you is that Susil and I were foisted up, in to the case for other reasons. we played no roles at all in it. but in the minds of the people the myth created has been indelibly written. there is a vast difference between this myth and reality. I know myths always win over reality. so I am not interested to clarify the reality of this episode in my life over the myth. this is insignificant. it is of no use to humanity at large, whether I allow the myth to prevail or attempt to establish the truth. Instead, what I have been devoting all these years (without even working for a living) is to demolish a myth which will benefit human knowledge. that myth is Enistein's theory of relativity. That myth has cast a net of obscurantism in the minds of the scientific community. As difficult as it would be to reveal the reality underlying this myth, this myth must be broken for the future advancement of science and therefore for the advancement of humanity.

Ruwan, I am presently preparing a paper to present for a Conference in May on the above subject. therefore I am very tight for time to get engaged in lengthy correspondence with you. please let me know your telephone n umber and a time convenient to you so that I will try to help you as much as I can by way of talking.

Best regards,

Viraj

මෙම විද්‍යුත් තැපැල් පණිවිඩය ලැබී සති දෙකකට පමන පසු විරාජ් ප්‍රනාන්දු මහතා 2009/02/25 දින ශ්‍රී ලංකාවේ වෙලාවෙන් රාත්‍රි 10.30 ට කැනඩාවේ සිට මා ඇමතීය.

තමා විසින් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දුන් කට උත්තරය ඉයන් වික්‍රමනායක වෙනස් කළ බවත් අමාත්‍ය ෆීලික්ස් ඩයස්ගේ උවමනාව පරිදි එම කට උත්තරය සුසිල් සිරිවර්ධනට එදිරිව පාවිච්චි කළ බවත් විරාජ් ප්‍රනාන්දු පැවසීය. කෙසේ වෙතත් පාඨකයාගේ දැන ගැනීම පිණිස අ.ප.දෙ. විසින් සටහන් කර ගන්නා ලද කට උත්තරයද මගේ පොතේ පළ කරන ලෙසටත් ඉන්පසු මුල් සටහන් බලමින් ඔහු විසින් දෙන ප්‍රකාශය සටහන් කරගන්නා ලෙසටත් ඉල්ලීමක් කළේය. ඒ අනුව මුලින්ම විරාජ් ප්‍රනාන්දු විසින් අ.ප.දෙ. දෙන ලද නිළ කට උත්තරය පහත දැක්වේ.


117, විෙජ්රාම මාවත, කොළඹ 7
දිනය: 1971 ජුනි 6 වැනිදා.
වේලාව : පෙරවරු 10.15යි.
මා විසින් බන්ධනාගාර කොමසාරිස්වරයාගෙන් ලබාගන්නා ලද බලය උඩ, විශේෂ ශාඛාවෙහි උප පොලිස් පරීක්ෂක සිවරත්නම් විසින් මොරටුවේ විරාජ් ප්‍රනාන්දු මා වෙත ඉදිරිපත් කරන ලදී. දැනට ඔහු බන්ධනාගාර කොමසාරිස්ගේ අත් අඩංගුවේ රඳවාගෙන සිටිනු ලබයි. මම ඔහුගෙන් ප්‍රශ්න කරන ලද අතර, දැන් ඔහුගේ ප්‍රකාශය වාර්තා කරමි.

මොරටුවේ කල්දෙමුල්ල පාරේ නො:193 දරණ ස්ථානයේ පදිංචි, වසය අවුරුදු 28 ක් වූ, කොළඹ, එලිබෑන්ක් පාරෙහි ගොවිජන සේවා පර්යේෂණ සහ පුහුණු කිරීමේ ආයතනයේ පර්යේෂණ සහකාර විරාජ් ප්‍රේම ලක්ප්‍රිය ප්‍රනාන්දු හෙවත් විරාජ්:- මම මොරටුවේ උපන් අයෙක්. මගේ පියා වන වින්සන්ට් පීටර් රජයේ ලිපිකරුවෙක් විය. ඔහු මිය ගියා. මගේ අම්මා වන ලෝරා කැතරින් ප්‍රනාන්දු පදිංචිවෙලා ඉන්නේ මොරටුවේ කල්දෙමුල්ල පාරේ නො: 193 දරණ ස්ථානයේ. මට සහෝදරයන් තුන්දෙනෙකුත්, සහෝදරියන් හතර දෙනෙකුත් ඉන්නවා. මගේ වැඩිමහල් අක්කා ගණන් පරීක්ෂක දෙපාර්තමේන්තුවේ එස්.ෙජ්.ඩී. ප්‍රනාන්දු සමග විවාහවී සිටී. දෙවෙනි සහෝදරිය විවාහවී සිටින්න් වරාය සංයුක්ත මණ්ඩලයේ මර්වින් ද සිල්වා සමගයි. පවුලේ තුන්වැනියා වන
මගේ සහෝදර වර්නන් ලංකා ඔක්ෂිජන් සමාගමේ ෆෝර්මන් කෙනෙක්. පවුලේ ඊළඟට සිටින්නේ මගේ සහෝදරී. ඈ විවාහවි සිටින්නේ රාජ්‍ය වැවිලි සංස්ථාවේ සේවකයකු වන ඩග්ලස් වීරසිංහ නැමැත්තා සමඟයි. බොරැල්ලේ ශාන්ත ලියුක්ගේ පල්ලියේ පූජක පැට්්‍රක් ප්‍රනාන්දු පවුලේ පස්වැනියාය. පවුලේ හයවැනියා විමල්. ඔහු වැඩ කරන්නේ ෂෙව්ඩෙන්බර්ග් සමාගමේ. පවුලේ හයවැනියා ෙජ්.එල්.මොරිසන් පුත්‍රයා සහ ජෝන්ස් සමාගමේ ගොඩ්වින් පෙරේරා සමඟ විවාහවී සිටී. මම පවුලේ හත්වැනියා. මම අවිවාහකයි. මම ඉගෙන ගත්තේ ප්‍රින්ස් ඔෆ් වේල්ස් කොලීජියේ. 1959 දී මම අ.පො.ස (සා.පෙළ) සමත් උනා. මම 1963 දී විශ්ව විද්‍යාල ප්‍රවේශ විභාගයේදී ද විෂයයන් දෙකක් සමත් වුනා. 1964 මැයි මාසය දක්වා මම මගේ නැන්දාගේ ව්‍යාපාරයෙහි වැඩ කළා. 1964 මැයි මාසයේදී මම විශ්ව විදයාල ප්‍රවේශ විභාගයට ඉගෙන ගන්න
පටන් ගත්තා. විකර්ස්/ආම්ස්ට්‍රෝන් (නැව් තනන්නෝ) ආයතනයේ පුහුණුවන්නෙකු ලෙස පත්වීම සඳහා ද ඉල්ලූම් කළා. මා තෝරා ගන්නා ලද අතර 1964 නොවැම්බර් 26 වැනිදා මම බෝට්ටුවෙන් ලංකාවෙන් පිටත් වුනා. කෙටි නිවාඩුවක් සඳහා මම 1967 ජූලි මාසයේ ලංකාවට පැමින සැප්තැම්බර් මාසයේ නිව්කාසල් බලා නැවත පිටත්වුනා. 1967 ඔක්තෝබර් මාසයේ මම නිව්කාසල් ඔන් ටයින් විශ්ව විද්‍යාලයට ඇතුළත් වුනා.

 1970 පෙබරවාරි 16 වන දා මම ආපසු ලංකාවට පැමිණියා. මා පැමිණ ටික දිනකට පසු සුසිල් සිරිවර්දනගේ නිවෙසට ගියා. නො:15/6, ඇල්ෆ්‍රෙඩ් නිවාස උද්‍යානය, කොළඹ යන ලිපිනය ලංඩනයේදී ඔහුගේ ඥාති සහෝදරයෙකු වන සේනක බණ්ඩාරනායක මට දුන්නා. මා ගැන සුසිල්ට ලියන බව ඔහු කීවා. මම සුසිල්ගේ නිවසේදී ඔහු හමුවුණා. ඔහු කරමින් සිටි වැඩ ගැන සහ ඉතිහාසය පිළිබඳව මා කළ වැඩ ගැන අපි කතාබස් කලා. අධිරාජ්‍යවාදය, යටත්විජිතවාදය සහ අනෙක් ඒ හා සම්බන්ධ කරුණු ආදී සමාජ විද්‍යාදර්ශනය ගැන නිර්වචනයන් කළ බව ඔහු කීවා. ඊවා රණවීර, පියල් සෝමරත්න, එච්.කේ.නැමැත්තෙක්, කරු වැනි අය සමඟ තමා වැඩ කරන බව ඔහු කීවා. එම හමුවීමෙන් ටික දිනකට පසු, මා සමඟ පන්තියේ සිටි අයෙකු වන හේම ප්‍රනාන්දු මට හමුවුනා. ඔහුට ආචාර්ය සුභාෂ් චන්ද්‍ර ප්‍රනාන්දු නම් සහෝදරයෙක්සිටී මා උනන්දුවක් දක්වන විෂයය නිසා මගේ ඉල්ලීම පිට හේම ප්‍රනාන්දු, රංජිත් පීරිස් නැමැත්තෙකුට මා හඳුන්වා දුන්නා. ඔහු දෙහිවල කුඩා නිවසකට මා කැඳවාගෙන ගොස් වර්තමාන තත්ත්වය ගැන සහ ජ.වි.පෙ. ලෙස දැන් හඳුන්වනු ලබන ඔවුනගේ ව්‍යාපාරය ගැන හඳුන්වාදීමේ කතාවක් කළේය. මම මේ ගැන සුසිල් සිරිවර්ධනට කීවා. zජයන්තZ නම් බුද්ධිමත් තරුණයෙකු සිටින බවත්, මෙම සංවිධානය ගැන ඉගෙන ගැනීමට මා උනන්දුවක් දක්වන්නේ නම් තමාගේ ගෝලයෙකු මගින් ඔහු හමු වීමට කටයුතු කළ හැකි බවත් සුසිල් සිරිවර්ධන කීවා. මෙම ගෝලයා ලක්ෂ්මන් මුණසිංහ බව පසුව  දැනගත්තා. 


ලංකාව සම්බන්ධයන් වූ zප්‍රතිවිරුද්ධ මතධාරී තරුණයාZ මේ සංවිධානය ගැන දැනගැනිමට මා උනන්දුවක් දැක්වූයේ විශේෂයෙන්ම නමින් හැඳින්වූ න්‍යායක් මා ගොඩනඟා තිබුණ නිසා සහ තරුණ සංවිධාන පිළිබඳව අළුත් දැනුමක් ලබාගැනීමට සහ විශේෂයෙන්ම මා කලින් සඳහන් කළ රංජිත් පීරිස් මුලින්ම හමු වූ අවස්ථාවේ ඔහුගේ අදහස බොහොමයකට මා එකඟ නොවූ නිසාත්ය. ඉන්පසු දිනයක ඇල්ෆ්‍රඩ් නිවාස උද්‍යානයේ නො:15/6 දරණ නිවසේ බිම් මහලේ රැස්වීමක් පැවැත්වුනා. මට මතක හැටියට සුසිල් සිරිවර්ධන, පියල් සෝමරත්න විෙජ්සූරිය, ලක්ෂ්මන් මුණසිංහ සහ තවත් දෙදෙනෙකු එහි පැමිණ සිටියා. එම අනෙක් දෙදෙනා මා හඳුනන්නේ නැහැ. එහෙත්, දුටුවොත් ඔවුන් හඳුනාගත හැකියි.

දැන් ජ.වි.පෙ නමින් හඳුන්වන කණ්ඩායම වෙනුවෙන් කතා කළ පුද්ගලයා ජයන්තගේ නොපැමිණීම ගැන කණගාටු වන බව කීවා. සාකච්ඡාව පැය දෙකක් පමණ පැවති අතර අප අතර මත භේදයක් තිබුණි. දකුණු පළාතේ යම් ස්ථායක දී තමාට ජයන්ත හමු වූ බවත්, මා ලංකාවට ඒමට පෙර ඔහු සමඟ සාකච්ඡා කළ බවත්, සුසිල් සිරිවර්ධන කීවා. ජයන්ත වශයෙන් හඳුන්වන ලද්දේ රෝහණ විෙජ්වීර බව මම පසුව දැනගත්තා. විෙජ්වීර සිරෙන් නිදහස් කළ පසු පැවැත්වූ විවෘත රැස්වීමකට සවන්දීම සඳහා සිසිල් සිරිවර්ධන, ඊවා රණවීර සහ පියල් සෝමරත්න සමඟ ඔහුගේ දෙමාපියන්ගේ මෝටර් රථයෙන් විද්‍යෝදයට ගියා. මට මතකයි. එම රැස්වීමේදි විෙජ්වීර කතා කළා. තමා කලින් ජයන්ත ලෙස හැඳින්වූයේ විෙජ්විර බව සුසිල් මට කීවේ මේ රැස්වීමේදීය. 

මහින්ද විෙජ්සේකර මෙම රැස්වීමේදි කතා කළ බව මට දැනගන්නට ලැබුණා. මට අවශ්‍ය නම් විෙජ්වීර හමුවීමට තමා සමග යා හැකි බව රැස්වීම පැවැත්වු මාසයේදීම සුසිල් සිර්වර්ධන මට කිව්වා. මම එයට කැමති වුනා. මම සුසිල් සිරිවර්දනගේ ගෙදරට ගොස් සුසිල් සිරිවර්දන, පියල් සෝමරත්න, විපුලසේන සහ ලක්ෂ්මන් මුණසිංහ සමග දුම්රියෙන්
එෙ`ඩ්රමුල්ලේ නිවසකට ගියා. ඒ විමලගුණේගේ නිවස බව මා අත්අඩංගුවට ගනු ලැබීමෙන් පසු මම දැනගත්ත. අප එහි ගියේ සවසය. මට විෙජ්වීර හමුවුනා. තවත් කිහිපදෙනෙක් එහි සිටියා.

බොරු නමක් දීම ගැනත්, ඇත්ත වශයෙන්ම නායකයාව සිටියදී තමා ව්‍යාපාරයේ සාමාන්‍ය සාමාජිකයෙකු ලෙස හුවා දැක්වීම ගැනත් විෙජ්වීර සුසිල් සිරිවර්ධනගෙන් සමාව ගත්තා. කතා කළේ විෙජ්වර පමණයි. දේශන වේශයෙන් පැවැත්වුණු බව ඔහු කීවා. ඔවුනගේ සංවිධානය කොතරම් හොඳද කීවොත් නායකයන් අත්අඩංගුවට ගැනීමේන් පසු පවා අ.ප.දෙ.ට වත් ව්‍යාපාරයේ නම දැනගත නොහැකි වූ බව ඔහු කීවා. විප්ලවය එක දවසක ඇති වන බව ද ඔහු කීවා. 

විෙජ්වීර ආත්ම වර්ණනාවේ යෙදෙන බව කතා කරමින් සිටින අතර මට හැඟ=ණා. ඔහු විසින් ඉදිරිපත් කරන ලද බොහෝ කරුණුවලට විශේෂයෙන්ම ඉන්දියානු කම්කරුවන් පිළිබඳව මම එකඟ වුනේ නැහැ. අනුරාධපුරයේදී සුසිල්, ලක්ෂ්මන් මුණසිංහට ඉගැන්වූ බව මම දන්නවා. ජ.වි.පෙ පුවත්පත පටන් ගැනීම සඳහා තමා රුපියල් 1.000/-ක් හෝ රුපියල් 1.500/- ක් ලක්ෂ්මන් මුණසිංහට ණයට දී තිබූ බව සුසිල් මට කීවා. මා දන්නා තරමින් ඒ මුදල ඔහුට ආපසු ලැබුනේ නැහැ. අගෝස්තු මාසයේදී හයිඩ්පාක්හිදී ජ.වි.පෙ රැස්වීමක් පැවැත්වුනා. ඒ රැස්වීමේදි මට
සුසිල් සිරිවර්ධන හමුවුනා. භික්ෂුන් වහන්සේ නමක්, ඩි.ඒ. ගුණසේකර, මහින්ද විෙජ්සේකර, ඇස්.ඩී. බණ්ඩාරනායක සහ රෝහණ විෙජ්වීර යන අය රැස්වීමේ කතා කළ බව මට මතකයි.

ලක්ෂ්මන් මුණසිංහට මා හමුවීමට අවශ්‍යව ඇති බව සැප්තැම්බර් මුල් භාගයේදි සුසිල් මට දැන්වූවා. මම සුසිල්ගේ නිවසේදි ලක්ෂ්මන් මුණසිංහ හමුවුනා.ඔහු මට දිනයක් දී බොරැල්ල ටර්මිනස් පාමසියේදී සවස ඔහු හමු වන ලෙස කීවා. සූදානම් කර තිබූ පරිදි මම ඔහු හමුවුනා. වනාතමුල්ලේ වූ නිවසකට ඔහු මා කැඳවා ගෙන ගියා. ඒ ඔස්මන්ඩ් සිල්වාගේ නිවස බව මා අත්අඩංගුවට ගැනීමෙන් පසු මට දැන ගන්නට ලැබුණා. පොහොරවලට දමන ඇමෝනියම් නයිට්රේට් වලින් බෝම්බ සාදන ආකාරය එහි සිටි පිරිමි ළමයින් කිහිප දෙනෙකුට උගන්වන ලෙස ලක්ෂ්මන් මුණසිංහ මට කීවා. ඔහු එසේ කීවේ විමලගුණේගේ නිවසේ පැවති සාකච්ඡාවකදී එසේ බෝම්බ සෑදිය හැකි බව මා කියා තිබූ නිසයි. මම zඑන්සයික්ලෝපීඩියා බ්්‍රටැනිකාZ වෙන් ඉගෙන තිබූ දේ විස්තර කළා. එනම්, ඇමෝනියම් නයිට්රේට් භූමිතෙල් සමඟ මිශ්‍ර කර ඇඹරිය යුතුයි. මම මෙම සි්ද්ධිය සුසිල් සිරිවර්ධනට කීවා. 

මුල් කාලයට වඩා මේ කාලයේදී ජ.වි.පෙ. ක්‍රියාත්මකවීමට පටන් ගෙන
තිබූ බව පෙනුනි. බෝගම්බර රැස්වීම සඳහා ඔවුන් දෙමළ භාෂාවෙන් දැන්වීම් අලවා තිබුනා. විදේශ සම්බන්ධතා ගැන සාකච්ඡා කිරීම සඳහා එඩේරමුල්ලේ ගෙදරට පැමිණෙන ලෙස වනාතමුල්ලේදී ලක්ෂ්මන් මට කීව. මම එඩේරමුල්ලේ දුම්රියපලට ගියා. ලක්ෂ්මන් මුණසිංහ මා හමුවී විමලගුණේගේ නිවසට මා කැඳවා ගෙන ගියා. එහිදී මම ලක්ෂ්මන් මුණසිංහ සහ තවත් නාඳුනන පුද්ගලයෙකු සමඟ සාකච්ඡා කළා. පිටරටින් තුවක්කු ගෙන්වා ගැනීමට කටයුතු සැලැස්විය හැකි දැයි ඔවුන් මගෙන් ඇසුවා. පැරිසියේ ජෙරාඩ් වර්ගේට් නමින් මා හඳුනන කෙනෙකු
සිටින බවත්, ඉන්දියාවට රත්රන් හොරෙන් ගෙන යන යාත්‍රා වරායේ ඇති බවත්. එමගින් ආයුධ සොරෙන් ගෙන ඒමේ හැකියාව ගැන පරීක්ෂා කළ හැකි බවත් මම කීවා. මා ඒ කරුණ සඳහන් කළේ සුසිල් සිරිවර්ධනට පසුවය. ව්‍යාපාරය කෙසේ විය යුතුද යන්න ගැන මා දැරූ අදහස්වලට ගැලපෙන පරිදි ජ.වි.පෙ. තුළ සංශෝධන ඇති කිරීම සඳහා අදහස් කීපයක් ඉදිරිපත් කිරීමට මම මෙම රැස්වීම අවස්ථාවක් කොට ගත්තා. එම අදහස් පිලිගන්නා බව ඔවුන් ඇෙඟව්වා. 

එම මාසයේදීම මම තුන්වන වරටත් විමලගුණේගේ ගෙදරට ගියා. ඒ අවස්ථාවේදී මම පියල් සෝමරත්න සමඟ ගියේ මා විසින් යෝජනා කරන ලද සංශෝධන ගැන සාකච්ඡා කිරීිමටය. සාකච්ඡාවෙන් පසු පියල් සෝමරත්න පිටවි ගිය අතර මාව ගෙදරකට කැඳවා ගෙන ගියා. එය ටී.ඩී.ද සිල්වා නැමැත්තාගේ නිවස බව මම පසුව දැනගත්තා. එහිදී මට නැවතත් විෙජ්වීර හුමුවුනා. ඔහු මට කතා කළා. මට මතක හැටියට ඔහු පහත සඳහන් කරුණු ගැන සඳහන් කළා.

(1) මා මාලදිවයින් සහ කේරලයට ගොස් එම රටවල ප්‍රචාරක ඒකක සංවිධාන කළ යුතු බව.

(2) නායකයන්ට සැඟවීමට අවශ්‍ය වුවහොත් එසේ කිරීම සඳහා මා ඉන්දියාවට ගොස් සැඟවෙන ස්ථාන සොයා ගත යුතු බව.

(3) ව්‍යාපාරයේ කටයුතුවලට යොදා ගැනීම සඳහා අත්බෝම්බ 50.000ක් මැෂින් තුවක්කු 5.000ක් සහ පිස්තෝල 500ක් ලංකාවට හොරෙන් ගෙන ඒම සඳහා මා කටයුතු සූදානම් කළ යුතු බව. 

මේ සියල්ල සඳහා කොමපණ මුදලක් ගෙවීමට සූදානම් දැයි මම විෙජ්වීරගෙන් ඇසුවා. විදේශ විනිමය ප්‍රශ්නය ගැන මම ඔහුට විස්තර කළා. ගංජා නිෂ්පාදකයන්ට zපොල්ල තියලාZ ගංජා හොරෙන් පිටරට යැවීමට තමාට කටයුතු සුදානම් කළ හැකි බව ඔහු කීවා.

(4) ට්‍රාන්ස්මිටර්, වෙඩි නොවදින හැට්ට, බූට් සපත්තු සහ යකඩ තොප්පි ආදිය මා සොයා ගත යුතු බව,

(5) මා ටැන්සනියාවේ උප ජනාධිපති, කාමැක් සමඟ සම්බන්ධතා ඇති කර ගත යුතු බව, ඔහු ලූමුම්බා විශ්ව විද්‍යාලයේ සිටි තමාගේ සමකාලීනයෙකු බව විෙජ්වීර කීවා,

(6) ශල්‍ය වෛද්‍යවරුන් දහදෙනෙකු යුරෝපයෙන් ලංකාවට ගෙන ඇවිත් ලංකාවේ කැලෑවල්වල සඟවා තබන ලෙස ද ඔහු මට කීවා.

ආපසු ලංඩන් යාමට ටිකට් පතක් මා වෙත තිබූ බව විෙජ්වීර දැන සිටියා. මට ජීවත්විමට සෑහෙන තරම් මුදල් මා වෙත ඇති බව මම ඔහුට කීවා. හැකි තරම් ඉක්මනින් ලංකාවෙන් පිටත්ව යන ලෙස ඔහු මට කීවා. මම මෙය සුසිල් සිරිවර්ධනට කීවා. ලංඩනයේදී මුදල් ලබා ගැනීම සඳහා හොරෙන් ගෙනයාමට මැණික් මිල දී ගැනීම සඳහා මට මුදල් අවශ්‍ය වුනා. මේ කාර්යයෙහි අරමුණ වුයේ මා සිත තුළ වූ ව්‍යාපාරය සඳහා මුදල් සොයා ගැනීමේ මාර්ගයක් වශයෙන් එය කොතරම් සාර්ථකව කළ හැකිද යන්න සොයා බැලීමය. මා මෙය විෙජ්වීරට යෝජනා කළත්, ඔහු ඒ ගැන උනන්දුවක් දැක්වූයේ නැහැ. 

සුසිල් සිරිවර්ධන මා නමින් ලියන ලද රුපියල් 1.500/-ටත්. රුපියල් 2.000/-ත් අතර ප්‍රමාණයක චෙක්පක් මට දුන්නා. ලංකා බැංකුවේ බම්බලපිටිය ශාඛාවෙන් මම එය මාරු කළා. මම එයින් රුපියල් 1150ක් වියදම් කළ අතර, ඉතිරිය ඔහුට දුන්නා. ඇහැලියගොඩ සාප්පුකාරයෙකුගෙන් මම මැණික් මිලදී ගත්තා. මා ඔහුට හඳුන්වා දෙනු ලැබුවේ බේරුවන වත්තේ වතු අධිකාරී වන වර්නන් ප්‍රනාන්දු නැමැත්තා විසින්ය.

1970 මුලදී මම මැණික් ද රැගෙන ලංකාවෙන් පිටත්වී බ්‍රසල්ස් වෙත ගියා. එහිදි මට වර්ගේට් හුමුවුනා. ලංකාවේදි වර්ගේට්ට විෙජ්වීර හමුවී තුබූ බව මම දැන සිටියේ නැහැ. මට ෆ්‍රෙඩ් හැලඩේව ද හමුවුනා. ලංකාවේ නියම තත්ත්වය පැහැදිලි කරමින ලේඛන සකස් කිරීමට මම පටන් ගත්තා. එම ලේඛනය දැනට විද්‍යාලංකාර විශ්ව විද්‍යාලයේ ආචාර්ය අන්ද්‍රාදි වෙත ඇත. ඵෙතිහාසික වශයෙන් එය විවේචනය කිරීම සඳහා මම එය ඔහුට දුන්නා. ෆ්‍රෙඩ් හැලඩේගේ බලපෑම මගින් දකුණු යේමනයට ගොස් එහි පාලක පක්ෂය වන ජාතික විමුක්ති පෙරමුණේ පුද්ගලයන් හමුවීමට මට හැකිවුනා. ද්‍රව්‍යමය ආධාර සඳහා ඇති අවශ්‍යතාවය ගැන මම ඔවුන්ට කියා ඔමාර්බෝ-ඩොෆෝරි ගෙන් ලිපියක් ලබා ගත්තා.

පෙබරවාරි 3 වන දා මම ආපසු ලංකාවට ආවා. 5 වනදා මට සුසිල් සිරිවර්ධන හමුවුනා. විෙජ්වීර ජ.වි.පෙ හි කටයුතු කරගෙන යන ආකාරය ගැන සුසිල් සිරිවර්ධන කළකිරී තිබුණ බව පෙනුන. ඔහු මට ඒ බව කීව. මේ කාලය තුළ අනෙක් වාමාංශික කණ්ඩායම් සමඟ ගැටුම් තිබුනා. මෙම ලිපිය විෙජ්වීරට දීමට අපි තීරණය කොට තිබුණ. එහෙත්, දවසක් ලක්ෂ්මන් මුණසිංහ මගේ ගෙදරට පැමිණ විෙජ්වීර හමුවීම සඳහා ඔහු සමඟ එන ලෙස මට කීවා. මේ 10 වැනිදා හෝ 12 වැනිදා පමණය.

මම සුසිල් සිරිවර්ධනගේ ගෙදරට ගිය නමුත් ඔහු ගෙදර සිටියේ නැහැ. ලිපිය සහ දකුනු යේමන තානාපති කාර්යාලයට මා දුන් පණිවිඩයේ පිටපතක් ද රැගෙන මම ටී.ඩී. ද සිල්වාගේ ගෙදරට ගියා. විෙජ්වීර සහ තවත් කිහිපදෙනෙක් එහි සිටියා. මම විෙජ්වීරට ලිපිය දුන්නා. එදින විෙජ්වීර සාකච්ඡා කළ කරුණුවලින් මට දැන් මතකඇති කරුණු සමහරක් නම් :-

(1) රතු කැකුල නම් වූ පුවත් පතක් මුද්‍රණය කිරීම සඳහා මුද්‍රණාලයක් ආරම්භ කිරීම සඳහා එක්කෙනා රුපියල් 100/බැගින් පරිත්‍යාග කිරීමට මධ්‍යම විදුලි පණිවිඩ  කාර්යාලයේ 150 දෙනෙකු සුදානම්ව සිටින බව මදනායක නමින් මා හඳුනන සිරගෙදරදී මා දැක ඇති පුද්ගලයෙක් කීවා. එහෙත් විෙජ්වීර එ ගැන උනන්දුවක් දැක්වුයේ නැහැ. එය කම්කරුවන් වෙනුවෙන් පළකිරීමට අදහස් කළ පුවත්පතකි.

(2) පිලිප් ගුණවර්ධනගේ මිනිසුන්ට වෙඩි තැබූ ජ.වි.පේ. ආධාරකරුවන් විසින් අලවන ලද දැන්වීම් පිලිප් ගුණවර්ධනගේ මිනිසුන් විසින් ඉරා දමා ඇති බව විෙජ්වීර සඳහන් කලා.

(3) මෝටර් රථ අනතුරක් සිදු කොට ඔහු බරපතල ලෙස තුවාල ලැබූ බවත්. වෛද්‍ය ප්‍රතිකාර සඳහා මුදල් අවශ්‍ය බවත් පතුරුවා හැර ඉක්මනින් මුදල් එකතු කර ගැනීමේ සැලැස්්මක් ගැනත් විෙජ්විර සඳහන් කළා.

(4) වැඩ වර්ජනයේ යෙදී සිටින zදවසZ ප්‍රවෘත්ති පත්‍ර සේවකයන් සෑම වාමාංශික ව්‍යාපාර ප්‍රවෘත්ති පත්‍රයක පළකිරීම සඳහා ප්‍රකාශයක් නිකුත් කොට ඇති බව ලක්ෂ්මන් මුණසිංහ සඳහන් කළා. එය පළකිරීමට විෙජ්වීර කැමති වුනේ නැහැ. එහෙත්. කෙටි කරන ලද අනුවාදයක් පළකිරීමට අවසානයේදී ඔහු එකඟවුනා,

(5) ටී.ඩී. සිල්වාගේ බිරිද සහ ළමයින් එහි සිටිය ද ඔහු තුවක්කු, පතොරම් මිලට ගැනීම පිළිබඳව අනවශ්‍ය කතාවල යෙදුනා. අප්‍රේල් මාසයේදී zමර්ධනයZ ඇති වන බවත්, ඔහු කීව. එය පෙබරවාරි මස ආරම්භයේදී වුවද ඇති විය හැකි බව ඔහු කීවා. ඔහුට අවශ්‍යවු ආයුධ, වෙඩි ඛෙහෙත් සහ ට්‍රාන්ස්මීටරයන් ගෙන ඒමට සහ වෛද්‍යවරුන් පිළිබඳව කටයුතු සූදානම් නොකිරීම නිසා මට පිටතට යන ලෙස ඔහු කීවා. මා ආපසු කේරලයට ගොස් ජ.වි.පෙ සාමාජිකයන් 50 දෙනෙකු කේරලයට සහ දකුණු ඉන්දියාවට ගොස් එහි කටයුතු කිරීම සඳහා අවස්ථාවක් සලසාලීමට උත්සාහ ගන්නා ලෙස ඔහු මට කීවා. මේ රැස්වීම ගැන මම සුසිල් සිරිවර්ධනට කීවා. 

සැප්තැම්බර් මාසයේ වෙලෝනා වැඩ වර්ජන පැවති කාලයේදී නීතිඥයෙකු වන එඩ්මන්ඩ් සමරක්කොඩි මට හුමුවුනා. ජ.වි.පෙ අදහස් මොනවාදැයි දැනගැනීමට ඔහු කැමැත්තෙන් සිටියා. මම, මුණසිංහ, ටී.ඩී. ද සිල්වා සහ තවත් පුද්ගලයකු සමඟ මේ නිවසේදී රැස්වීමක් පැවැත්වීමට කටයුතු සූදානම් කළා. මෙම රැස්වීමට පැමිනෙන ලෙස ලක්ෂ්මන් මට කීවා. තමා සහ ජ.වි.පෙ අතර වෙනස්කම් තිබුණ ද ඔවුන්ට නීති ආධාර අවශ්‍යවුවහොත් තමා නිතරම ඔවුන් වෙනුවෙන් උසාවිවල පෙනී සිටින බව එඩ්මන්ඩ් සමරක්කොඩි තවදුරටත් කීවා. 

මම නිතරම සුසිල් සිරිවර්ධනගේ ගෙදරට ගියා. ඔහු මගේ මිතුරකු ලෙස මම සැලකුවා. එක් අවස්ථාවක ආචාර්ය සුභාෂ් චන්ද්‍ර ප්‍රනාන්දු සහ හේම ප්‍රනාන්දු මා හමුවීම සඳහා සුසිල් සිරිවර්ධනගේ නිවසට පැමිණි බව මට මතකයි. ජ.වි.පෙ. කටයුතු ගැන අපි සාකච්ඡා කළා. ජ.වි.පෙ සමඟ සම්බන්ධ නොවන ලෙස මම ආචාර්ය ප්‍රනාන්දුට කීව. ඔහුගේ සහෝදරයා ද ඒ අවස්ථාවේ එහි සිටියා. ඔහු ද එයට සම්බන්ධ නොවන ලෙස ආචාර්ය ප්‍රනාන්දුට අවවාද කළා. ඒ මාර්තු 12 වැනිදාය. තමාට 23 වැනිදා පැවැත්වෙන රැස්විම ඇමතීමට ඇති හෙයින් තමා වෙනුවෙන් zනැගෙනහිර විප්ලවකාරී ව්‍යාපාරZ යන මාතෘකාව යටතේ කරුණු එකතු
කරගෙන පෙබරවාරි 22 වැනිදා පැමිණ තමා හමු වන ලෙස විෙජ්වීර මට කිවා. එය සඳහන් කිරීමට මට අමතක වුනා. 

23 වැනිදා උදෑසන ලක්ෂ්මන් මුණසිංහ මා සොයා පැමිණියා. එහෙත්. මා ගෙදර නැති බව ඔහුට දන්වන ලෙස අම්මාට කියා මම සැඟවුනා. 27 වැනිදා පැවැත්වෙන රැස්වීමට පෙර විෙජ්වීර මා හමුවීමට අවශ්‍යව ඇති බව 25 වැනිදා ලක්ෂ්මන් මුණසිංහ මට කීවා. එහෙත්, ඒ රැස්වීම ද මම මඟහැරියා. 27 වැනිදා පැමිණීමට නොහැකි බව මා ලක්ෂ්මන්ට කී විට මාර්තු 15 වැනිදා විෙජ්වීර හමු වන ලෙෂ ලක්ෂ්මන් කීවා. එයට පෙර මට මහකණමුල්ලට යෑමට ඇති බව හොඳින් දැන සිටි මම එයට එකඟ වුනා. zඒZ ලැයිස්තුවේ සාමාජිකයන් 1000කට වඩා සිටින බවත්, ඔවුන් පෙරමුණේ ගමන් කරන්නන් බවත්. ටී.ඩී. ද සිල්වාගේ නිවසේ පැවති දෙවන රැස්වීමේදී විෙජ්වීර කීව. එය සඳහන් කිරීමට මට අමතක වුනා.

ගාලූ දිස්ත්‍රික්කයේ නියෝජිතයාද පැමිණ සිටියා. මට මතකයි. තමාගේ zඒZ ලැයිස්තුවේ සාමාජිකයන් 100ක් හෝ 1000ක් සිටින බව ඔහු කීවා. එය ප්‍රමාණවත් නොවන බව විෙජ්වීර කීවා. සාකච්ඡා සඳහා පැමිණෙන පිරිමි ළමුන් හඩමින් සිටින සිය දෙමාපියන් ගෙදර දමා වහාම පූර්ණකාලීන වැඩවලට බසින බවට ඔහු පුරසාරම් දෙඩුවා. ඔහු ඒ ගැන සතුට පළ කළා. 

සුසිල් සිරිවර්ධනගේ ආධාරයෙන් 1971 මාර්තු 12 වැනිදා ගොවිජන සේවා පර්යේෂණ සහ පුහුණු කිරීමේ ආයතනයේ පර්යේෂණ සහකාරවරයෙකු වශයෙන් මට රැකියාවක් ලැබුණා. කැකිරාව පොලිස් ප්‍රදදේශයේ මහකනමුල්ලට මාව පත් කර යැව්වා. යෝජනා ක්‍රමය අධීක්ෂණය කිරීම සඳහා පැමිණ සිටි සුසිල් සිරිවර්ධන සහ කාර්ය මණ්ඩලය සමඟ මම මාර්තු 19 වැනිදා ආපසු මොරටුවට ආවා. මම ගෙදර පැමිණ විවිධ මාතෘකා යටතේ ම විසින් ලියා තුබු ලිපි සමහරක්
විනාශ කළා. zමාක්ස්වාදයZ සහ ඒ හා සම්බන්ධ විෂයයන් ගැන මා වෙත තිබූ පොත් මම සඟවා තැබුවා. මා මෙසේ කළේ බිය නිසායි. 

21 වැනිදා මම ආපසු මහකණුමුල්ලට ගියා. 14 වැනිදා මට ආපසු පැමිණීමට තිබු බවත්, මම මහකණුමුල්ලට ආපසු එන බවත්. 10 වැනිදා සුසිල් සිරිවර්ධනට ඔහුගේ කාර්යාලයේදි දන්වා මහකණුමුල්ලට ආපසු ගියා. කිසිදු කාලයක කිසිදු පොලීසියකට කළ පහරදීමකදී හෝ කිසිදු ත්‍රස්තවාදි කටයුත්තට මම සහභාගි වූයේ නැහැ. 1971 අප්‍රේල් 5 වැනිදා සහ හයවැනිදා මා සිටියේ කැකිරාවේ, ඉපලෝගම කෘෂිකර්ම උපදේශකවරයාගේ නිවසේය.

අත්සන් කළේ/වී.පී.එල්. ප්‍රනාන්දු,
6/6/71.
අත්සන් කළේ/අයි.වික්‍රමනායක,
6/6/71.
වේලාව:පෙරවරු 11.15

දිනය: 1971.6.10 
විරාජ් ප්‍රනාන්දුගෙ ප්‍රකාශයෙන් මතු වන සමහර කරුණු පැහැදිලි කර ගැනීම සඳහා මම ඔහුව නැවතත් කැෙඳව්වෙමි. මොරටුවේ කල්දෙමුල්ල පාරේ නො:193 දරණ ස්ථානයේ පදිංචි වයස අවුරුදු 28 ක් වූ කොළඹ එළිබෑන්ක් පාරේ අංක 33 දරන ස්ථානයේ ගොවිජන සේවා පර්යේෂණ සහ පුහුණු කිරීමේ ආයතනයේ පර්යේෂණ සහකාර විරාජ් ප්‍රේම ලක්ප්‍රිය ප්‍රනාන්දු හෙවත් විරාජ්:-

විමලගුණේගේ නිවසෙහි පැවති පළමු රැස්වීමේදී අපගේ සාකච්ඡාවන්ගෙන් පසු zසමාජවාදී සංගමයZ නම් වූ ප්‍රවෘත්ති පත්‍රය ශත - /10 බැගින් අපට විකුණුවා. බ්‍රසල්ස් වෙත ගොස් එතැනින් බි්‍රතාන්‍යයට යාම සඳහා 1970 නොවැම්බර් 12 වැනිදා මම ලංකාවෙන් පිටත් වුන. මැණික් මිලදී ගැනීම සඳහා නොවැම්බර් මුල් භාගයේදී සුසිල් සිරිවර්ධන චෙක්පතකින් මට මුදල් දුන්නා. මා බ්‍රසල්ස් වෙත ආ විට අර්නස්ට් මැන්ඩල් සහ ඔහුගෙ බිරිඳ වන ගිසෙලා මට හමුවුනා. මම ගිසෙලා මැන්ඩල් ට මැණික් දුන්නා. ඇන්ට්වර්ප්හිදි මැණික් විකිණීමට උත්සාහ ගන්නා බවත්, ලංඩනයේදී මා හමු වන බවත් ඔවුන් කීවා. ඔවුන් ලංඩනයේදී මා හුමුවුනේ නැහැ. මේ නිසා ආපසු එන අතර මඟ මම බ්‍රසල්ස්හි නැවතුනා. එහෙත්, බ්‍රසල්හිදී ද මට ඔවුන් හමුවුනේ නැහැ. ඔවුන් ජර්මනියට ගොස් තිබුනා. 

ලක්ෂ්මන් මුණසිංහගේ ආරාධනය පරදි 1970 ඔක්තෝබර් මාසයේ මම එඩ්මන්ඩ් සමරක්කොඩිගේ නිවසට ගියා. එහි පැවති සාකච්ඡාවන් zමූලික සාකච්ඡාවZ බව පෙනුනා. මෙම zමූලික සාකච්ඡාවZ මට හමු වූ සියලූම ජ.වි.පෙ සාමාජිකයන්ගේ ලක්ෂණයක් වුනා. රැස්වීම පැය දෙකක් පැවතුනා. පෙබරවාරි 25 වැනිදින මිටි, කළු, වැඩුණු සිරුරක් ඇති පුද්ගලයකු සමඟ ලක්ෂ්මන් පැමිණ 27 වැනිදා උදෑසන මහරගමදි රෝහණ විෙජ්වීර හමු වන ලෙස මට කීවා. නාඳුනන පුද්ගලයා මා එහි කැඳවාගෙන යාම සඳහාය. හමු වන ස්ථානය ඔවුන් මට කීවෙ නැහැ. අප්‍රේල් 10 වන දා එලිබෑන්ක් පාරේ නො:33 දරණ ස්ථානයේ සුසිල් සිරිවර්ධනගේ කාර්යාලයේදී මම සුසිල් සිරිවර්ධන හමුවුනා. අම්මා බැලීම සඳහා කොළඹ පැමිණි බව මම ඔහුට කීවා. කලබලය ආරම්භවීම දක්වා රටේ ඇති වූ සිද්ධීන් ගැන අපි සාකච්ඡා කළා. 15 වැනිදා මා පිටත් වන බව අප්‍රේල් 14 වැනිදා සුසිල් සිරිවර්ධනට දන්වා 15 වැනිදා
මම ආපසු මහකණුමුල්ලට ගියා.


අත්සන් කළේ/වී.පී.එල්. ප්‍රනාන්දු
10/6/71.
අත්සන් කළේ/අයි. වික්‍රමනායක.
10/6/71.

ඉහත කට උත්තරය පිළිබඳව වසර 37 කටත් වඩා අධික කාලයකට පසුව විරාජ් ප්‍රනාන්දු පවසන්නේ මෙසේය.

මම විෙජ්වීරගෙ ව්‍යාපාරයේ සාමාජිකයෙක් නොවේ. කොටින්ම කියනවනං මම පන්ති 5 වත් කරපු අයෙක් නෙවෙයි. සුසිල් සිරිවර්ධන නිසා තමයි මම විෙජ්විර සමග සාකච්ඡාවලට ගියේ. සුසිල් සිරිවර්ධන අවංක හා හිත හොඳ මිනිහෙක් ඔහු විෙජ්වීර තුළ තිබූ කැපවීම කෙරෙහි වශී උනා. නමුත් දේශපාලන වශයෙන් විෙජ්වීර පිළිබඳව විශ්ලේෂණාත්මකව සිතීමට සුසිල්ට හැකියාවක් තිබුනේ නැහැ.

මම එංගලන්තෙ සිටි කාලයේ රැඩිකල් තරුණයෙකු බව ඇත්තයි. වියට්නාම් යුද්ධයට විරුද්ධව රැස්වීම් අප එහිදි සංවිධානය කළා නමුත් කිසිම දේශපාලන සංවිධානයක් හරහා නොවෙයි. මට මහවැලියේ වැඩ කරන සමයේ සුසිල් ගෙන් දැන ගන්නට ලැබුනා මාක්ස්වාදී තරුණ ව්‍යාපාරයක් ගැන. මම මාක්ස්වාදය ගැඹුරින් හදාරා තිබූ නිසා මෙම ව්‍යාපාරයේ සාමාජිකයන් හමු වීමේ ස්වභාවික ආශාවක් ඇති උනා. මේ වෙන කොට සුසිල් සිරිවර්ධන තමාගේ ගෝලයෙකු වූ පොඩි ලකී හෙවත් ලක්ෂ්මන් මුණසිංහ හරහා ව්‍යාපාරයේ නායකයන් හමුවී තිබුනා.
විෙජ්වීර ඇතුළු ඔහුගේ දෙවන පෙළ නායකයන් අපට ඔවුන්ගේ නියම නම් පවා හෙළි කළේ නැහැ. විෙජ්වීර තමාව හදුන්වා ගත්තේ ජයන්ත ලෙසටයි. උයන්ගොඩ පෙනී සිටියේ සෙනෙවිරත්න නමින්. ඔවුන් මාව විශ්වාස නොකරන්නට ඇති. ඒත් මගේ විදේශ සබඳතා ව්‍යාපාරයේ දියුණුවට යොදා ගන්න ඔවුන්ට අවශ්‍ය කෙරුනා නිසැකයි. 

මේ වන කොට මම වෙනත් පුද්ගලයන් මාර්ගයෙන් විෙජ්විරගේ ව්‍යාපාරය ගැන යම් අධ්‍යයනයක් කර තිබුනා. ඒ වගේම මට ආරංචි උනා ඔවුන් අරමුදල් සොයා ගැන්මට මංකොල්ලකෑම් කළ බව. මට අවශ්‍ය උනා මෙම ව්‍යාපාරයේ නිසි මාක්ස්වාදී පීල්ලකට ගෙන එන්න. මම ඔවුන් නිවැරදිව කටයුතු කළ යුත්තේ කෙසේද කියා දිර්ඝ ලිපියක් ලිව්වා. මම බලාපොරොත්තු උනා ඔවුන් මගේ මගපෙන්වීම අනුව නිසි මාක්ස්වාදී පදනමකට එන බවට.

වරක් සිසිල් චන්ද්‍ර අපව රැගෙන ගියා ටී.ඩී. සිල්වාගේ ගෙදරට. එහි රෝහණ විෙජ්වීර හිටියා. ඔහු මාත් සුසිල් සිරිවර්ධන සමගත් කථා කළා. විෙජ්වීරට අවශ්‍ය උනා අපව විශේෂයෙන් මාව ඉම්ප්‍රෙස් කරන්න. ඔහු දීර්ඝ වශයෙන් අපට දේශනා කරා. සුසිල් මෙම දේශනයෙන් වශී වුනත් මට එය නීරස හෑල්ලක් උනා. ඒ නිසා මම ඊට බාධා කරමින් කථා කළා.
මම විෙජ්වීරට කිව්වා ඔබලා මාක්ස්වාදයට අනුකූලව ක්‍රියා කරනවා නම් මට පුළුවන් ඔබලාට අන්තර්ජාතික වශයෙන් සබඳතා ගොඩ නගා දෙන්න. මම මෙය පැවසුවේ හිතට එකඟවයි. මට අවශ්‍ය කලා මගේ අන්තර්ජාතික සබඳතා යොදා ඔවුන්ව නිසි මඟට ගේන්න. මා හරහා අන්තර්ජාතික සබඳතා ඇති කරගැනීම විෙජ්වීර සතුටින් අපේක්ෂා දෙයක්.

මෙය සිදු වුනේ 1970 සැප්තැම්බර් මාසයේ විතර. මම එතකොට අවුරුදු 28 ක දුර්දර්ශීව කටයුතු නොකළ තරුණයෙක්. මම කිව්වා අන්තර්ජාතික සබඳතා මම හදලා දෙනවා. නමුත් ඔබලා වෙනස් විය යුතු බව.

විෙජ්වීර මට කිව්වා සහෝදරයා ඉස්සෙල්ලාම යන්න මාලදිවයිනට. එහේ 5 කන්ඩායමක් හදන්න පෝස්ටර් ගහන්න. මෙය මම අපේක්ෂා නොකළ දෙයක්. මම කිව්වා මොකටද මාලදිවයිනේ පෝස්ටර් ගහන්නේ? එතකොට විෙජ්වීර කිව්වා යන්න සැන්සිබාරෙට හම්බුවෙන්න කරුමේව. මම කිව්වා කියන්න  ගිහිල්ලා ආධාර ඉල්ලන්න.  ඊට පස්සේ විෙජ්වීර කියන්න ගත්තා ඛෙංගාලයට හා කේරලයටත් යන්න අපිට සැඟවෙන්න තැන් සොයාගන්න. 

මෙහිදී මට ප්‍රශ්නය ආවා විප්ලවය කරනවා නම් සැඟවෙන්න තැන් සොයන්නේ ඇයි කියලා. නමුත් මම කථා කලේ නැහැ. ඉන්පසුව කිව්වා එංගලන්තයට ගියාම දොස්තරලා 8ක් ලෑස්ති කරලා මෙහාට ගේන්න විප්ලවේදි තුවාල වන අයට බේත් කරන්න කියලා.

අවශ්‍ය ආයුධ ගැන විස්තර කිව්වේ මෙහෙමයි. අත් බෝම්බ 50 000, ඔටෝමැටික් රයිෆල් 5000, ඔටෝමැටික් පිස්ටල් 5000 වෙඩි නොවදින කබා, හෙල්මට් ගේන්න. ඔටෝමැටික් පිස්ටල් ගැන කියන ගමන් විෙජ්වීර දකුණු අතේ දබර ඇගිල්ල නවලත් පෙන්නුවා. මම පෙන්වලා දුන්නා මේ වගේ ආයුධ ගැනීම ප්‍රවාහනය ඉතා අසීරු බව. ඒ වගේම සල්ලි කෝ කියලත් ඇහුවා. විෙජ්වීර කිව්වා ගංජා හේනකට පොල්ලත් තියලා ගංජා අරගෙන බඩු ගෙනාවාම ගංජා වලින් ගෙවමු කියලා. මම මේ අදහස අභියෝග කළා එතකොට කිව්වා දැනට රුපියල් ලක්ෂයක් සොයා ගත හැකි බව. 1970 කාලයේදී රුපියල් ලක්ෂයක් කියන්නේ විශාල මුදලක් ඒත් ඔටෝමැටික් රයිෆල් 5000 ක් සඳහා රුපියල් ලක්ෂය දුන්නොත් එක රයිෆලයක් රුපියල් 20 වගේ පොඩි ගානක්. මම ඇහුවා
රුපියල් 20 කට රයිෆල් එකක් ගන්න පුලූවන් වෙයිද? යනුවෙන් ඊට විෙජ්වීර දුන් පිළිතුර තමයි ඕකට ඩියුටි නෑනේ ඒ නිසා රුපියල් 20 කට ගන්න පුළුවන්. මේ අනුව මට තේරුනා විෙජ්වීරට ආයුධ පිළිබඳ දැනුමක් නැති බව.

මම පසුව කිව්වා සුසිල්ට මට මේ ව්‍යාපාරය ගැන බලාපොරොත්තු නෑ, මං එංගලන්තෙට යනවා කියලා. සුසිල් මාව ධෛර්යමත් කළා. අපි දෙන්නාට මේ අයව වෙනස් කරන්න පුලූවන්. අපි ඒක කළ යුතුයි. මේ නිසා මම අන්තර්ජාතිකව සබඳතා බලන්න පොරොන්දු උනා. නමුත් ආයුධ ගේන එක මට තේරුනේ විහිලූවක් වගේ. මීට පෙර ඒ කියන්නේ 1970 ජුලි වලදි වනාතමුල්ලේ ඔස්මන්ලා ගෙදරට වරක් මම ගියා බෝම්බ තාක්ෂණය පිළිබඳ දේශනයකට. වනාතමුල්ල ප්‍රාථමික බෝම්බ හැදීමට ප්‍රකට ප්‍රදේශයක්. එදා මගේ මතකයේ හැටියට විෙජ් කියලා පුද්ගලයෙක් තමයි ටින් බෝම්බ හැදීම ගැන විස්තර කළේ. මේක ප්‍රාථමික නොදියුනු ක්‍රමයක් බව මට හිතුනා. මම ඒන්සයික්ලෝපිඩියා බි්‍රටැනිකා විශ්ව කෝෂයේ කියවා තිබූ පරිදි ඇමෝනියම් නයිටේ‍රට් මිශ්‍රණ යොදා ගෙන පුපුරන ද්‍රව්‍ය හදන්න පුළුවන් අයුරු ගැන කියෙව්වා. මෙම සිද්ධියත් නඩුවේදී මට එරෙහිව යොදා ගත්තා.

මම යලිත් එංගලන්තයට ගියේ මගේ උවමනාවට මගේ මුදල් වලින්. මම ගියේ විෙජ්වීරට අන්තර් ජාතික සබඳතා තනා දෙම්දෝ නොදෙම්දෝ දෙගිඩියාවෙන්. සුසිල්ගේ බලවත් ඉල්ලීම නිසා පිටරටදි කාට හරි මා කතා කරන්නම් කියා මා හිතුවා. ඒත් ආයුධ ගේන්න මට තුන් හිතකවත් උවමනාවක් තිබුනේ නැහැ. ඉයන් වික්‍රමනායක මගේ ප්‍රකාශ විකෘති කරලා එවැනි චිත්‍රයක් පෙන්නුවා නඩුවේදි. මම හොරෙන් මැණික් ස්වල්පයක් ගෙන ගිය බව ඇත්ත. ඒවා ගත්තේ මගේ මුදල් වලින්. විකුණා ලැඛෙන මුදල් මගේ පෞද්ගලික උවමනාවන්ට යොදා ගැනීමට මම අදහස් කළා. මෙයත් නඩුවේදි පෙන්නුවේ ආයුධ ගැන්මට මම කළ දෙයක් ලෙසට.

ඒ කාලයේ ශිෂ්‍යයින් ළඟ ගොඩාක් මුදල් තිබුනේ නැහැ. බොහෝ අය හොරෙන් මැණික් ගෙනියනවා. ඒක ප්‍රසිද්ධ රහසක්. මැති ඇමතිවරුන්ගෙ ඥාතීන් පවා මැණික් ගෙනිච්චා. සිසුන් ගෙන ගියේ මැණික් ස්වල්පයයි. මේවා විකුණා ලබූ මුදල් යොදා ගත්තේ ගුවන් ටිකට් පත් මිලදී ගැනීමට.

මම ගමන් කරපු ගුවන් මාර්ගය වැටී තිබුනේ යේමනය හරහා. මේ කාලේ ජෝර්දානයේ හුසේන් රජතුමා පලස්තීන සටන්කාමීන් ජෝර්දානයයෙන් පිට කරවලා. ඔවුන් යේමනය ඊජිප්තුව වැනි රටවල හිටියා. මම යේමනයේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ දෙවන ලේකම් ඕමාර් යන පුද්ගලයා මුන ගැසුනා. ඔහු එම රටේ උසස් නිලයක් දැරූ අයෙක් නෙවෙයි. මම ලියපු ලිපියකට ඔහු අත්සන් තබා ඔහුගේ මුද්‍රාව තිබ්බා. එම ලිපියේ සිංහල අනුවාදය වුනේ ඔබලාගේ විප්ලවයට අපෙන්
සුභ පැතුම්, අපිට එවිය හැකි ආධාර පිළිබඳව සොයා බලන්නෙමු. එය යථා කාලයේ දැනුම් දෙන්නෙමු යනුවෙන්. යේමනයෙන් කැටපෝලයක්වත් ලැබුනේ නැහැ.

යලිත් ලංකාවට මම ආවේ මාස ගානකට පසුව. මම විෙජ්විර හා ඔහුගේ සගයන් මග ඇරියා. ඔවුන්ගේ න්‍යායේ තර්කානුකූල බවක් මට පෙනුනේ නෑ. එම නිසා මම අයින් උනා. ඒ ඇරත් ව්‍යාපාරය මා කෙරෙහි දැක්වූයේ අප්‍රසාදයක්. මම ප්‍රශ්න අහනවා. ඒ නිසා මාව බාල්දි කේස් එකක් ලෙසට සලකන්න ඇති. ප්‍රශ්න අසන්නන්ට ව්‍යාපාරය තුළ තැනක් නැහැ. ඔවුන් ඔත්තුකාරයන් කඩාකප්පල් කාරයන් ලෙසට ලේබල් වෙනවා. එකවර පොලිස් ස්ථාන වලට පහර දීලා බලය අල්ලනවා කියූ කථාව මම අභියෝගයට ලක් කළා. මම ඇහුවා පොලිස් ස්ථාන අල්ල ගත්තම හමුදාව නිකං ඉදීද? හමුදාව එනවා. එතකොට විෙජ්වීර කිව්වා ජනතාව ඉදිරියට ඇවිල්ලා අපි වෙනුවෙන් පපුව දෙනවා. 

මේ නිසා මට විප්ලවය ගැන තිබුනේ ලාමක විශ්වාසයක්. මම යලිත් ලංකාවට ඇවිල්ලා මහවැලි ව්‍යාපාරය ආශ්‍රිතව මහකණුමුල්ලේ මරදංකඩවල කිට්ටුව රැකියාව කළා. මාව අත්අඩංගුවට ගැනීමට මගෙ නිවසට පොලිසිය ආවේ 1971 මැයි මාසයේ. අසාර්ථක කැරැල්ලෙන් පස්සේ පොලිසිය මා සොයා එන බව මම දැන හිටියා. ඒ නිසා අම්මාට මම කියලා තිබ්බේ පොලිසිය ආවොතින් මගේ මහකණුමුල්ලේ ලිපිනය දෙන්න කියලා. ඒ අනුව මොරටුව මහ ගෙදරට ගිය පොලිසිය මව විසින් දුන් ලිපිනය අනුව මා සොයා මහකණමුල්ලට ආවා.

මාව අත්අඩංගුවට ගැනීමට ආ කැකිරාව පොලිස් නිලධාරීන්ට තේරුනා මම විශේෂ පන්තියක සැක කාරයෙක් බව. මට කිසිම හිංසාවක් කළේ නැහැ. මාව රිමාන්ඩ් කූඩුවට පවා දැම්මේ නැහැ. රෑ පොලීසිය මට නිදා ගැනීමට මෙට්ටයක් පවා දුන්නා. කැකිරාව පොලීසියේ සිට අනුරාධපුරයට මාව ගෙන ගියා. ජීප් රථයේදී කොස්තාපල්වරු පිරිසක් මට පහර දුන්නා . සිගරැට් වලින් පිච්චුවා. ඔවුන් එසේ කළේ ඔවුන් තුළ තිබු පර පීඩික ආශාව නිසා ඔවුන් මම ගැන දැන හිටියේ නැහැ. ඔවුන් මට පහර දුන්නත් මම කිසිම දෙයක් කළේ නැහැ. නිහඩව හිටියා. එය ඔවුන් තේරුම් ගත්තේ මම තදයෙකු ලෙසටයි. ගැහුවට මූට තේරෙන්නෙවත් නෑනේ කියමින් ඔවුන් මට තව තවත් පහර දුන්නා. මෙවර මට පණිවිඩය තේරුනා. ඉන් පසු ගහන හැම පහරකටම බුදු අම්මෝ යනුවෙන් කෑ ගැහුවා. එවිට ඔවුන්ගේ පර පීඩා ආශාව අඩුවී පහර දීම නැවතුනා.

සී.අයි.ඩී. මූලස්ථානයේදී සර්නි විෙජ්සූරිය, හා ජෙගනාදන් යන නිලධාරීන් මගෙන් ප්‍රශ්න කළා. ඔවුන් මට පහර දීමක් කලේ නැහැ. හොඳට සැලකුවා. එය ඇතැම්විට ප්‍රශ්න කිරීමේ අංශයක් වෙන්න ඇති. මම ලංකාවේදී ව්‍යාපාරය ගැන තිබූ ගනුදෙනු හැර විදේශ වලදි සිදුවීම් අලලා පිටු 25 ක ප්‍රකාශයක් ලියා දුන්නා. මෙම ප්‍රකාශයෙන් පසුව මා ඉදිරියට ටි. ඩී. සිල්වා ගෙනාවා.මගෙන් ඇහුවා අදුනනවාද කියලා. මම ප්‍රකාශ කළා ඔහුව දැකලා නැති බව. එවිට ටී.ඩී සිල්වා මම ඔහුගේ ගෙදරට ආ බවත් විෙජ්වීර සමග කථා කළ අයුරුත් රාත්‍රි භෝජනයට සහභාගි වූ අන්දමත් කියා හිටියා. රහස් පොලිස් නිලධාරින්ට මම ලංකාවේ සබදතා සැ`ගවූ බව තේරුණා.

ඒ වගේම යම් යම් කට උත්තර වල මම විෙජ්වීරව කතරගම දෙටගමුවේ හමුවූ ආකාරය. මේ නිසා මම ඇත්ත තත්වය කිව්වා. ලංකාවේදි සිදු වූ දේ පවා කිව්වා. මගේ කට උත්තරය ඉයන් වික්‍රමනායක කියවා ඔහු ඇතැම් ස්ථාන මැකුවා සමහර තැන් වලට කරුණු එකතු කළා. සමහරක්
තැන් නොතකා හැරියා. එ වගේම ජෙගනාදන් ඇතුළු අනෙක් නිලධාරින්ටත් බලපෑම් කරා මගේ ප්‍රකාශයේ යම් යම් ස්ථාන වලදී වෙනස් කරන ලෙසට.

ෆීලික්ස් ඩයස් හා සුසිල් සිරිවර්ධන අතර තිබූ පවුල් අර්බුධය නිසා ෆීලික්ස්ට ඔහු හිර කරන්න අවශ්‍ය උනා. ඔහු ඉයන් හරහා මගේ කට උත්තරය වෙනස් කරමින් ඊට අනුකූල වන ලෙසට ක්‍රියා කළා.

මම විෙජ්විරගේ න්‍යායන් වලට එකග වූ අයෙක් නෙවෙයි. ඉන්දියානු ව්‍යාප්තවාදය මම ගෙඩි පිටින් ගිල්ලේ නැහැ. මම ආයුධ ගේන්න තුන් හිතකින්වත් හිතුවේ නැහැ. නමුත් නඩුවේදී පෙන්නලා දුන්නේ මම තදබල පාක්ෂිකයෙක් විදේශ සබඳතා තිබුනේ මා හරහා. මම ආයුධ ගේන්න විදේශගත වූ අයෙක් ලෙසට.

නඩුව පැවැත්වූ අවස්ථාවේ නඩුකාරයන්ට විෙජ්වීරව ජෝකර් කෙනෙක් වෙලා හිටියේ. ඔහුගෙ ලාමක න්‍යායන්ට ඔවුන් හිනා උනා. නමුත් අන්තිම දිනයේ විෙජ්වීර කළ කථාවට මුළු උසාවියම ගල් ගැසුනා. විනිශ්චයකරුවන් මෝහනයට පත් වී ඔහුට සවන් දුන්නා. මෙය විෙජ්වීර සතුව තිබූ දක්ෂතාවක්. එය ටසඓැා ්ඉසකසඑහ ලෙස මම දකිනවා. ඔහුගේ දේශනයෙන් පසු පියසිරි කුලරත්න උසාවිය ඇමතුවා. පියසිරි විෙජ්වීරගේ කතාවේ තිබූ හිස් තැන් විවේචනය කළා නමුත් විනිශ්චයකරුවන්ගේ හිත් පියසිරිගේ කථාවට වෙනස් කරන්න ලැබුනේ නැහැ. ඔවුන් පවා විෙජ්විරට වශී උනා.

හිරේදි මම පොත පත කියෙව්වා. වැඩිපුර හිටියේ තනියම. පියසිරි හා ලාල් පරාක්‍රම සමගත් නිතර කතා කළා. වරක් විෙජ්වීර අපි සැම දෙනා වතුර ගන්න බාල්දියට ඔහුගේ දත් බුරුසුව දැම්මා. මම එවිට විරෝධය පා ඔහුට බැන වැදුනා. එහිදි ලක්ෂ්මන් මුණසිංහ මට පහර දීමට පවා ආවා. ඔහුගේ අන්ධ අනුගාමිකයන් ඔහුව දුටුවේ දෙවියෙක් වගේ.

මාව නිදහස් කළේ 1976 දෙසැම්බර් වල. නිදහස් වූ දින පත්තරේ මුල් පිටුවේ විශාල අකුරින් පළ උනා zවිරාජ් ප්‍රනාන්දු නිදහස්Z යන හෙඩිම. එය දුටු මගේ මිතුරෙක්, මට කොළඹ ඩොක්යාඩ් එකේ රැකියාවකට ආරාධනා කළා.

මට රජයේ ආයතනයක් වූ ඩොක්යාඩ් හි රැකියාවක් ලැබුනා. මේ අනුව මට වැටහුනා රජය පවා දැන හිටියා මට විෙජ්වීර සමග විශාල ගනුදෙනුවක් නොතිබු බව එසේම මට නඩුවේදි ලැබුනේ වසර 2යි. එවකට හිටි නීතිපති වික්ටර් තෙන්නකෝන් පවා දැන හිටියා මගේ නිර්දෝශී භාවය පිළිබඳව. එසේම මම ආයුධ ප්‍රවාහනය නොකල බව. එසේම ඔහුට තේරුනා ඉයන් ෆීලික්ස්ගේ අවශ්‍යතා. යම් හෙයකින් මා ආයුධ ගනුදෙනු කළ අයෙක් නම් මට රජයේ රැකියාවක් ලැඛෙනවාද? වසර 2 වැනි අඩු කාලයක් දෙනවාද?

2003 දි මට අහම්ඛෙන් සී.අයි.ඩී එකේ හිටපු නිලධාරි ජෙගනාදන් මහතා හමු උනා. ඔහු මාව හ`දුනා ගත්තා. ඔහු තුළ මා දුටුවා යම් වරදකාරි හැගීමක්. අතීතය ගැන මට දැන් පසුතැවිල්ලක් නැහැ. මට අවශ්‍ය කළේ
විෙජ්වීර ගේ ව්‍යාපාරය නිවැරදි මගට ගන්න. මම අසාර්ථක උනා. මගේ ප්‍රකාශ විකෘති කෙරුනා. නමුත් යලි වසර 37 හෝ 38 පසුව යළි මම ප්‍රකාශ නිවැරදි කොට ලෝකයාට දීමෙන් පලක් තිබේද? එය ලෝකයේ සංවර්ධනයට, මනුෂ්‍ය සංහතියට කරන බලපෑම අල්පයි. එය මට සිදුවූ පෞද්ගලික පාඩුවක් ලෙස මම දකිනවා. අතීතය යළි හරි ගස්සන්න බැහැ.එය මට අවශ්‍යත් නැහැ. දැන් මට වයස අවුරුදු 66යි. මම විශ්‍රාමික තෘප්තිමත් ජීවිතයක් ගත කරනවා කැනඩාවේ.


(71 කැරැල්ල ආරම්භයේ සිට අවසානය දක්වා පුර්ණ සමාලෝචනයක් කෘතිය​ ඇසුරෙනි – වෛද්‍ය රුවන් එම් ජයතුංග)

Find Us On Facebook