පරිකල්පනය අතික්‍රමණය කළ ‘‘මානසික රෝගියාගේ පරිකල්පනය’’
මෙරට වෙසෙන ජනයාගෙන් තිස් දෙනක් අතරින් එක් පුද්ගලයෙක් කුමන හෝ මානසික රෝගයකින් පෙළෙන බව සමීක්ෂණයකින් හෙළි වී තිබිණ. මෙය සියයට තුනක් ලෙස සඳහන් කළ ද නිවැරදි ය. එහෙත් බොහෝ විට එවැනි පුද්ගයන් සබැවින් ම මානසික රෝගීන් නොව: පවතින සමාජ, ආර්ථික, දේශපාලන යථාර්ථය මැනවින් වටහා ගත්; එමගින් සමාජය පත්ව ඇති ව්‍යසනයන් නිවැරදිව හඳුනාගත් සහ සමාජයේ යහපැවැත්ම වෙනුවෙන් නිරන්තරයෙන් අරගල කළ සහ කරන පුද්ගලයන් විය හැකි ය.
අතැම් පුද්ගලයන් සමාජ අසාධාරණයන් දැඩි ලෙස ප්‍රශ්න කරද්දී පාලක පෙළැන්තියේ වන්දිභට්ටයන් එම ප්‍රශ්නකරුවා හඳුන්වන්නේ ‘‘පිස්සා’’ යනුවෙනි. සැබැවින් ම ඔහු පිස්සකු නොව සමාජ යථාර්ථයන් මැනවින් අවබෝධ කොට ගත්තෙකි; තමන් අවබෝධ කොට ගත් යථාර්ථය අන් අය සමඟ බෙදා-හදාගනිමින් එහි ආදිනව වටහා දෙන්නට යත්න දරන්නෙකි. එහෙත් සමාජයේ වෙසෙනා බහුතරයක් වූ සැබැ මානසික රෝගීන් ඔහුව තලා පෙළා, යථාර්ථය වසා දමා සාමාන්‍යය ජනයා රැවටටීමට ලක් කරති.
එහෙත් රැවටෙන්නෝ, ඔවුන් රැවටී ඇති බව පිළි නොගනිති; අන් අයට ද රැවටෙන්නැයි බල කරති.
එසේ රැවටෙන්නන් වෙත යථාවබෝධය ලබා දෙන; සමාජ යථාර්ථයන් ප්‍රත්‍යක්ෂ කොටගත් ප්‍රකෘති මිනිසකුගේ අදහස් සමුදාය සමාජ ගත කරමින්; සැබෑ මානසික රෝගීන් යනු කවුරුන් ද යන වග සමාජය ඉදිරියේ හෙළිදරව් කරමින්; ඔවුන්ට එරෙහිව අරගලයක නිරත චරිතයක් පාදක කොට ගනිමින් නිර්මිත අපූරු සාහිත්‍යය කෘතියක් රස විඳීමේ භාග්‍යය පසුගිය දිනක උදාවිය. එය 2006 වසරේ මුද්‍රිත; මෙරට වෙසෙන ඉහළම තලයේ මනෝවෛද්‍යවරයකු වන රුවන් එම්. ජයතුංග විසින් රචිත ‘‘මානසික රෝගියාගේ පරිකල්පනය’’ නම් වූ කෘතිය යි.
මිනිසුන් තමන් විසින් ම තමන් රැවටීමට ලක් කොට ඇති ආකාරය සහ එහි යථා ස්වරූපයන් පිළිබිමු කිරිම මෙම කතුවරයාගේ අභිප්‍රාය යි. ඒ සඳහා ඔහු භාවිත කොට ගන්නේ මානසික රෝගියෙකි. (මානසික රෝගියකු යැයි බාහිර සමාජය විසින් නම් කළ පුද්ගලයෙකි) සැබවින් ම ඔහු මානසික රෝගියකු නොව විශ්වය පුරා පැතිර පවත්නා දැවැන්ත දැනුම් සම්භාරයක් තම ඥාන කෝෂයේ ගබඩා කරගත් වියතෙකි. ඔහු සමාජයේ පැතිර පවත්නා විවිධ විෂමතාවන්, සමාජ අසාධාරණයන් මැනවින් අවබෝධ කොට ගත්තෙකි.
එහෙත් සිය බිරිඳගේ සිට දූ-දරුවන් හරහා සමස්ථ සමාජය තෙක් ම ඔහු හඳුන්වන්නේ මානසික රෝගියකු ලෙසිනි. මෙම කෘතිය ඇසුරැ කිරිමේ දී මට එක්වර ම සිහියට නැගුණේ මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරුගේ ‘‘සමාරෝපණය’’ සාහිත්‍යය කෘතිය යි. එහි කථකයා ද සැබවින් ම ප්‍රකෘති: එහෙත් සමාජය ඉදිරියේ විකෘති මිනිසකු ලෙස හැසිරෙන්නෙකි; හැඳින්වූවෙකි.
වෛද්‍ය රුවන් මෙම කෘතිය තුළින් වර්තමානයේ පවතින දැවන්ත සමාජ ඛේදවාචකයන් පාඨකයා ඉදිරියේ චිත්‍රණය කරයි. ඒවායේ ගුණාගුණ මෙන් ම ආදිනව ද හෙළිදරව් කරයි. ඔහු ඒ සඳහා මානසික රෝගියකු උපයෝගි කොට ගන්නේ සමාජයේ වෙසෙන සැබැ මානසික රෝගීන්ගේ මනස් අවදි කරනු පිණිස ය. ‘සැබැ මානසික රෝගීන් අප නොවේදැයි’ අනෙකාට මානසික රෝගියා යැයි ගරහන්නාට වැටහෙනු පිණිස ය. එමෙන් ම මෙහි දී කතුවරයා මිනිස් ජිවිතයේ මතු නොව සියලු සත්වයන්ගේ මූලික අවශ්‍යතාවක් වූ ලිංගිකත්වය; ලිංගික කාර්යයන් පිළිබඳ යථා තත්ත්වයන් නිර්භයව සාකච්ඡා කොට ඇත.
යථා ලෝකයේ ස්වරූපය හෙළිදරව් කරමින් ම එහි දක්නට ලැබෙන, අත්විඳින්ට ලැබෙන කටුකත්වයන් පිටු දකීමට, ඒ සියල්ල නොදුටුවාසේ, නොදැනුණා සේ විසිමට මානසික රෝගියාට කෙතරම් පහසු ද යන්නත් කතුවරයා සාකච්ඡාවට බඳුන් කරයි.
‘‘එහෙම බලනකොට අර හාදයා තමාගේම ලෝකයක තනිවෙලා. ඒ ලෝකයේ උද්ධමනය, විරැකියාව, ත‍්‍රස්තවාදී ප‍්‍රහාර මොනවත් නැහැ. මිනිහයි සිවිලිමයි විතරයි. ඩොක්ටලා කරන්ට් අල්ලපු හැටියෙම මිනිහා ආපසු යථා ලෝකයට එනවා. එතකොට මිනිහගෙ ඔළුවට ජීවිත ප‍්‍රශ්න දැනෙනවා. මිනිහා දැවෙනවා, නොසන්සුන් වෙනවා, හිතේ කරදර නිසා විඳවනවා. ඔහු අසතුටට පත් වෙනවා. මම හිතන්නේ වෛද්‍යවරු හොයාගන්න ඕනේ මිනිහව ඒකෙන් මුදවන හැටි නෙවෙයි, ඒ ලෝකයේ සදහටම ජීවත් කරවන්න හැකි ක‍්‍රමයක්.’’’
පිටුව 11
කතුවරයා මෙහි දී විවේචනයට ලක් කරන්නේ සමස්ථ මිනිස් සමුහයා මුහුණ දි තිබෙන ඛේදවාචකය යි. එය නොදැනී ඔහේ ජීවත් වෙන්නන් වාලේ ජිවත්වන්නේ පිස්සන් බව කතුවරයා නොපවසා ම පවසයි. මෙය එවන් පුද්ගලයන් වෙත එල්ල කළ දැවැන්ත ප්‍රහාරයකි.
සමස්ථ කෘතිය පුරාම දක්නට ලැබෙන විශ්ෂත්වය වන්නේ: පවතින සමාජ වටපිටාවේ යථාව නිවැරදිව වටහා ගැනීමේ ශක්තිය එහි ප්‍රධාන චරිතය වන මානසික රෝගියා සතුව පවතින බවය. එමෙන් ම නිවැරදි දැක්ම ද එය බව පාඨයාට ඒත්තු ගන්වන්නට කතුවරයා යත්න දරයි.
‘‘මේ හැම විශ්වවිද්‍යාලයකට වඩා මම කැමති මානව විශ්වවිද්‍යාලයට. මිනිසුන් අතර තමයි මගේ සරසවිය තියෙන්නෙ. ලංකාවේ ඉන්නකොට මම වැඩිපුර හිටියේ පිටකොටුවේ. මම පිටකොටුවේ ඇවිද්දා. පිටකොටුව විවෘත විශ්වවිද්‍යාලයක්. වෙළෙන්දෝ, මගියෝ, හොරු, හිඟන්නෝ, බජාර්කාරයෝ පිරිලා. රෑ පිටකොටුව දවල් පිටකොටුවට වඩා වෙනස්, දවස පුරා දුවපු ත‍්‍රීවිල් නැවතිලා. දවල්ට පේමන්ට් බඩු විකුණපු ලැලි තට්ටු ඇඳන් බවට පරිවර්තනය කරල. කළු කිලිටු ගෑනූ ශරීර උඩ කලිසං ඇදගත්ත මහත්තුරු එක එක රිද්මවලට ඒ තට්ටු මත ගැස්සෙනවා. පාක් කරපු ප‍්‍රයිවට් බස් පිටිපස්සේ නපුංසකයෝ මහත්තුරුන්ගේ පුරුෂ ලිංග මුඛයේ දාගන්නවා. ඒ අස්සේ ගැටකපන්නෝ, කුඩුකාරයෝ තමන්ගේ ව්‍යාපාරවල.’’
පිටුව 13
දහවල් කාලයේ පිටකොටුවේ සැරිසරන ලක්ෂ සංඛ්‍යාත ජනයා නොදුටු පිටකොටුවේ චිත්‍රය නිවැරදිව චිත්‍රණය කරන කතුවරයා සිය ලේඛනය තුළින් ම ඒ මිනිසුන්ගේ නොඇසූණ කඨෝර හඬ ද පාඨකයාගේ සවණට ඇසෙන්නට සලස්වන්නේ සිය ලේඛනයේ ප්‍රබලත්වය ඉස්මතු කරමිනි. මෙහි දී මට සිහිපත් වන්නේ මා ඇල්බෙයා කැමූගේ මහාමාරිය කෘතිය ඇසුරේ සිටිද්දි එහි සිටින රෝගීන්ගේ කච්ඡයේ සැදි සැරව ගෙඩි මගේ කච්ඡයේ ද හටගෙන ඇති බව මට දැනුණු ආකාරය යි. එම සැරව ගෙඩි හේතුවෙන් ඔවුන්ට දැනෙනා වේදනාව මට ද දැනුණු ආකාරය යි.
අද පවත්නා සියලු රූපවාහිනි සහ ගුවන්විදුලි නාලිකා හරහා අලුයම දෙකේ පමණ සිට පිරිත් සඣායනා කරයි; බණ දේශනා කරයි. මනුසතා ඇලීමෙන් වියුක්ත විය යුතු යැයි බෙන්ස් කාරයෙන් බණට වඩිනා ‘‘අපේ හාමුරුවෝ’’ දේශනා කරති. මෙලෙස පිරිත් සඣායනා කරන්නෝ ද, ශ්‍රවණය කරන්නෝ ද, බණ දෙසන්නෝ ද, බණ ශ්‍රවණය කරන්නෝ ද මතුපිටින් සුපෝෂිතය; සුපිරිසිදු ය. එහෙත් අසංවරය. මේ සුපෝෂිත සුපිරිසිදු උපාසක රාළලා පන්සලේ බණ අසා යනෙන අතරේ කිසිවකු නොමැති නිවසකට පැන හිරිමල් වියේ දැරියන් දූෂණය කරති. උපාසක හාමිනේලා තම මිනිබිරියන් සල්ලායන්ට අළෙවි කරති. රුවන් ජයතුංගගේ මානසික රෝගියා ඉතා කෙටි වදන් පෙළක් භාවිතයට ගනිමින් මෙම යථාර්ථය නිරාවරණය කරයි.
‘‘පන්සලේ තියන බිතු සිතුවම්වල වගේ මිනිසුන් සංවර නැත්ත මොකද?’’
පිටුව 14
මේ කෙටි වදන් පෙළ බෞද්ධ සැදැහැවතාගේ නිරුවත හෙළි නොකරන්නේ ද? ප්‍රකෘති මිනිසාට වඩා බුද්ධිමත් නිගමනයකට එළඹෙන්නට විකෘති මිනිසා (සමාවන්න! විකෘති යැයි සමාජය විසින් හඳුන්වන පුද්ගලයා) සමත් වී නොමැති ද?
කතුවරයා සිය පරිකල්පනය අකුරු කිරීම සඳහා යොදාගන්නා ඇතැම් අනුභූතින් සැබෑ ලෝකයේ සිදුවිම් වනවා සේම ලෝකයේ විශිෂ්ට කලාකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණයන් තුළින් පිළිබිඹු වන සංසිද්ධීන් ඇසුරෙන් ද අපූරුවට ගලපා ඇත.
‘‘ඩිට්‍රොයිට්වල කළු මිනිසුන්ගේ ජිවන රටාව’’ පිළිබද කෙරෙන විග්‍රහයේ දී ලෝකප්‍රකට සිනමා නිර්මාණයක් වන CITY of GOD සිනමා නිර්මාණය සිහියට නැගෙන්නේ නිතැතිනි.
කලින් කලට වෙනස් වන පරම්පරාවල සිතුවිලි විදාරණය කරන්නට ද කතුවරයා භාවිතයට ගන්නේ පරම්පරා දෙකක් නියෝජනය කළ සංගීත ශිල්පීන්දෙදෙනෙකි.
‘‘මට මේවා තේරෙන්නේ නැහැ. ඒ කාලයේ මම එල්විස්ගේ සිංදු දානකොට ඩැඞී මට බනිනවා. දැන් අවිශ්ක එකොන්ගේ සින්දු ප්ලේ කරනකොට මම අවිශ්කට බනිනවා. පරම්පරා වෙනස වෙන්න ඇති.’’
පිටුව 16
සැබැවින් ම මේ පරම්පරා වෙනස ම ය. එ’මතු නොව සර්වකාලීනව වෙනසට භාජනය වන සමාජ යථාර්ථයේ සංකේතය යි.
මෙලොව ජිවත් වන සැම ජිවියකු ම පාහේ කිසියම් බලව්ගයක් විසින් පාලනය කරයි. අතැම් විට එය මෙයෙවනු ලබන්නේ තවත් ජිවියකු විය හැකි ය. එසේත් නැත්නම් වෙනත් පාරිසරික, ස්වාභාවික හෝ භූගෝලීය බගවේගයක් විය හැකිය. එහෙත් ප්‍රකෘතියැයි සමාජය පිළිගන්නා මිනිසාට වටහාගත නොහැකි එකී යථාර්ථය නිවැරදිව අවබෝධ කොට ගන්නට මේ මානසික රෝගියා සමත් වේ . මේ එයට කදිම නිදසුනකි.
‘‘ලංකාවේදී මාව මුලින්ම බලපු ඩොක්ට මගෙන් ඇහුවා මාව කවුරුහරි පාලනය කරනවාද කියලා. ඇත්තෙන්ම අපිව කවුරුහරි පාලනය කරනවා නේද? අපි අපිට කන්ට්‍රෝල් නැහැ ඩොක්ට. අපිව හැමෝම පාලනය කරනවා. අපගේ මනසට විධාන දෙනවා. හරියට ආමි එකේ වගේ. වමට හැරෙන් දකුණට හැරෙන්. ඉතින් ඉතින් අපි හැරෙනවා.’’
පිටුව 17
ප්‍රකෘති මිනිසා ලෙස සමාජය ඉදිරියේ පෙනී සිටින්නා නොදකින්නේ ද, වටහා නොගන්නේ ද මේ යථාර්ථය යි.
ලිංගික කාර්යය ආරම්භයේ දි ඉතා උණුසුම්වත්, කෑදරකමිනුත් එය බදා වැලඳගන්නා පුරුෂයා සිය පුරුෂ ධාතු මුදාහැරීමෙන් අනතුරුව හැකි ඉක්මණින් ම එම ස්ථානයෙන් ඉවත්වන්නට තැත් කරයි. මෙය පුරුෂ ස්වභාවය යි.නමුදු මෙම ලිංගික එක්වීම සිදු වූයේ ආදරය හා මුසුව නම් මෙම තත්ත්වය මිට හාත්පසින් ම වෙනස් වනු ඇත. හුදෙක් ලිංගික ආශ්වාදය සදහා පමණක් ම කාන්තාවක හා එක් වු පුරුෂයා එකි කාන්තාවගෙන් මිදීමේ අටියෙන් ඒ සදහා විවිධ හේතු සාධක තමන් විසින් ම සපයාගනී. එමෙන් ම සංස්කෘතික බැමිවලින් නොබැඳි, නිදහස් නිවහල් කාන්තාවකගේ ලිංගික නිදහස ද සුවිශේෂී ය.
ප්‍රකෘති යැයි කියාගන්නා මිනිසා පිළි නොගන්නා මේ යථාර්ථය විකෘති යැයි සමාජය විසින් නම් කළ මිනිසා අවබෝධ කොට ගන්නා අන්දම 23 වන පිටුවේ සිට 25 වන පිටුව දක්වා වූ සිද්ධි දාමය තුළින් ඉදිරිපත් කොට ඇත.
මිනිස් සමාජයේ වෙසෙන මා ඇතුළු ඔබ සැම දෙබිඩ්ඩෝ වෙති. එය වඩාත් පැහදිලි වදනින් පවසන්නේ නම් ද්විත්ව චරිත රඟපාන්නෝ වෙති. ඇතැම් විට අතැම් පුද්ගලයෙක් ත්‍රිත්ව චරිතයක් ද විය හැකි ය.
මානසික රෝගියා මෙකී යථාර්ථය අවබෝධ කරගන්නා අන්දම වෙත අවධානය යොමු කරමු.
‘‘ඩොක්ට අපි හැමෝම දෙබඩි චරිත. සමාජයට එකක්, ගෙදරට එකක්, තනිවෙච්ච වෙලාවට තව එකක්, පෞද්ගලික ලාභ ලැබෙනකොට තව එකක් යනාදි වශයෙන් අපට වෙස් මුහුණු තියෙනවා. අපි කිසි කෙනෙක්ට ඒක නැහැ කියන්න බැහැ. ගෙදරදී අපි ඒකාධිපති වෙස්මුහුණ දාගන්නවා. කාර්යාලයේදි සාමුහික වෙස් මුහුණ. පන්සලේ පල්ලියේ සැදැහැවත් වෙස්මුහුණ. ලාභ හොයනකොට තණ්හා වෙස් මුහුණ. මේ වගේ ඒ ඒ අවස්ථාවලට ගැළපෙන වෙස් මුහුණු අපි ළඟ තියෙනවා. අපි හුදකලා වුනහම අපි මේ වෙස්මුහුණු ගළවනවා.’’
පිටුව 32
මිනිසා ස්වභාවයෙන් ම නිර්මාණශීලි ය. එහෙත් එකී නිර්මාණශීලි භාවය වෙළෙදපොළ තර්කනය හේතුකොට ගෙන හුදෙක් වෙළෙඳ භාණ්ඩ නිෂ්පාදනය සඳහා පමණක් ම උපයෝගි කොට ගනී. නිර්මාණාත්මකත්වය වැඩි දියුණු කරනවා වෙනුවට භාණ්ඩ නිෂ්පාදනය සඳහා අවැසි ශ්‍රම බලකායන් බිහි කරයි. විශ්වවිද්‍යාලවලින් සමාජගතවන්නේ ද නිෂ්පාදන ක්‍රියාවලියට අවැසි ශ්‍රමිකයන් මිස මිනිසුන්ගේ අධ්‍යාත්මය දියුණු කිරිම සඳහා අවැසි පිරිසක් නොවේ. කෘතියේ 36 වන පිටුවේ දෙවන ඡේදයේ දී මානසික රෝගියා මේ පිළිබඳ ගැඹුරු විග්‍රහයක යෙදේ.
මෙරට පවත්නා සමාජ. දේශපාලන සහ ආර්ථිකයේ නිස්සාරත්වය, මුදල් පසුපස හඹායන දේශපාළුවන්ගේ ක්‍රෑරත්වය, බලය ලබාගැනීම සහ ලබාගත් බලය පවත්වාගෙන යාම සඳහා ඕනැම මානුෂ විරෝධි කාර්යයක නියැළෙන්නෝ තම පාලිතයෝ දනුමෙන් සන්නද්ධ විම වළක්වති. ඒ, දැනුම යනු භයානක ආයුධයක් වන හෙයිනි. ප්‍රකෘති ලෙස ජීවත්වන මිනිසාට වඩා ඉතා ගැඹුරින් එය වටහාගන්නා මානසික රෝගියා එකී ක්‍රියාදාමය විස්තර කරයි. (39 වන පිටුවේ දෙවන පරිච්ඡේදය වෙත අවධානය යොමු කරන්න)
මෙරට විශ්වවිද්‍යාල පද්ධතියේ පවතින අකටයුතුකම් මෙන් ම එක් එක් ගුරුකුල රැකගනීම සඳහා එක් එක් මහැදුරන් තම ශිෂ්‍ය ශිෂ්‍යාවන් අත කොළු බවට පත්කරගන්නා බව නොරහසකි. එමෙන් ම ඒ ඇදුරන් තම ශිෂ්‍ය ශිෂයාවන් තමන් අබිබවා යන්‍නේ නම් එම ශිෂ්‍යයා හෝ ශිෂ්‍යාව කෙරෙහි හෙලන්නේ වෛරිසහගත බැල්මකි. අදාළ පුද්ගලයාගේ ගමන වළකාලීම සඳහා හැකි සැම උප්පරවට්ටියක් ම ක්‍රියාවේ යොදවති. එමෙන් ම මහැදුරන් වෙත ශිෂ්‍ය ශිෂ්‍යාවන් දක්වන නිවට නියාලු බවත් ඇදුරාගේ මතයට එරෙහිව ස්වාධීන මතයක් ඉදිරිපත් කිරිම සඳහා ඇති ඉඩ-කඩ ඇහිරීම පිළිබඳව ද හෙතෙම සිය විරෝධය මතු කරයි.
මානසික රෝගියා මේ පිළිබඳ සුවිශේෂ වූ දැනුමකින් හෙබි පුද්ගලයෙකි. 39 වන පිටුවේ අවසන් ඡේදයේ සිට 40 වන පිටුවේ පළමු ඡේදය දක්වා වු කොටසේ සහ 52 වන පිටුවේ දී ඔහු මේ පිළිබඳ කදිම තොරතුරු රැසක් ආවරණය කරයි.
යුද්ධය පවතින තුරා යුද සෙබළා ‘‘රණවිරුවකු’’ සේ සැලකේ. එහෙත් යුද්ධයේ දි අබාධිත වන සෙබළුන් බහුතරයක් අදත් ඉතා අසරණ තත්වයට පත්ව සිටිති. ඔවුන්ට හිමි වරප්‍රසාද ලබාගැනීම සඳහා උසස් නිලධාරීන්ට ලිංගික අල්ලස් ගෙවිය යුතුව ඇත. එමෙන් ම යුද්ධය අවසන් වූ විගස ‘‘රණවිරුවෝ’’ වාෂ්ප වෙති. ඔවුන් මේෂන් බාස්ලා, වඩුබාස්ලා, පින්තාරුකරුවන්, මතු නොව නගර සභාවේ කම්කරුවන්‍ගේ තත්ත්වයට පත්‍වෙති.
මෙම පිඩනය දරාගත නොහැකි ඇතැම් රණවිරුවන් ඇගළුම් සේවිකාවන්‍ගේ සිට කාර්යාල සේවිකාවන් දක්වා වූ සැම සියලු කාන්තාවන්‍ගේ ම රන් දම්වැල් උදුරාගෙන යන තත්ත්වයට පත්ත්‍වති. අතැම් සෙබළුන් හමුදාව හැර ගොස් විවිධ මකොල්ල කණ්ඩායම් මෙහෙයවති. මේ මායාව නොව සැබෑ යථාර්ථය යි.
විශ්‍රාමික හමුදා සෙබළාගේ ඛේදවාචකය මැවින් පිළිබිඹු කළ කෙටිකතාවක් මට මේ මොහොතේ සිහිපත් වේ. එනම් ජනක ඉනිමංකඩ පරිවර්තනය කළ ‘‘කර්නල් සහ එරෙන්දිරා’’ කෘතියේ ‘‘කිසිවකු කර්නල්ට නොලියනු ඇත’’ නම් වූ ගාර්ෂියා මාර්කේස්‍ගේ කෙටි කතාව ය. මානසික රෝගියා මෙහි දී උදාහරණයක් ලෙස ගෙනහැර දක්වන්‍නේ ගොගොල්‍ගේ ‘‘මළ මිනිස්සු’’ කෘතියේ එන‘‘කපෝත්කින්’’ නම් චරිතය යි.
මෙම රෝගියා විශ්වය පුරා සැරසරමින් විවිධ සිද්ධීන්, විවිධ කලා නිර්මාණ, විවිධ පුද්ගලයන් හරහා මතු කරන්‍නේ පවතින සමාජ යථාර්ථයේ විවිධ පැතිකඩයන් වීම විශේෂත්වයකි. පියවි සිහියෙන් සිටින පුද්ගලයාට හසු නොවන සියුම් සමාජ සංසිද්ධීන් ඉතා මැනවින් ස්පර්ෂ කරන්නට මෙම මානසික රෝගියා සමත් වේ.
රුවන් ජයතුංගගේ මෙම කෘතිය එළිදක්වා ඇත්තේ 2006 වසරේ දි වුවත් ඔහු ලේඛකයා සතු දුර දැක්‍මේ ශක්‍යතාව මෙහි දී මැනවින් ස්ඵුට කොට ඇත. කෘතියේ කොටසක් උපුටා ගනිමින් ම මෙය සාක්ෂාත් කරගනිමු.
‘‘අපට ආගම් ලැබුණේ දෙමාපියන්ගෙන්. පොඩි කාලයේ ඉඳලාම අපට වන්දනා කරන්න උගන්වපු සාත්තුවරයාව එහෙමත් නැත්තං පිළිරුවට අපි වඳිනවා. විශ්වාසය පුදනවා. අපි බොහෝ දෙනෙක් හිතන්නේ අපි අදහන ආගම හරියි කියලා. අන්ධ භක්තිය නිසා හරි, බය නිසා හරි, අපි: අපි අදහන ආගම් ප‍්‍රශ්න නඟන්නේ නැතුව භාර ගන්නවා. තවත් සමහරු ආගම් නිසා ඔළු පලාගන්නවා. මිනී මරාගන්නවා. ඇයි මෙහෙම විකාර කරන්නේ. ඇයි අපට බැරි ළමයින්ට පොදුවේ ආගම් ගැන කියලා දීලා, ළමයින්ගේ විචාර බුද්ධිය මොට නොකර ඒ අය තව ටිකක් මනසින් මෝරපුහාම, ඒ අයට තර්කානුකූලව හිතලා බලලා ආගමක් අදහන්න මාර්ගය පාදලා දෙන්න. එහෙම වුණොත් තමයි අපට හිරු එළිය වගේ සත්‍ය දකින්න පුළුවන්.’’
පිටුව 56
එක් අතකින් වටාපතත් අනෙක් අතින් ගිනි අවියත් දරා සිටින බුද්ධ පුත්‍රයන්‍ගේ නිරුවත හෙළිකරන්නට සහ ආගමේ මුවාවෙන් සාමාන්‍යය ජනයා රවටමින් තමන්‍ගේ බැංකු ගිණුම් තරකරගන්නා භික්ෂූන්‍ගේ දෙබඩි ස්වරූපය ද මානසික රෝගියා මැනවින් වටහගෙන අතුවා පමණක් නොව එය ප්‍රකෘති මිනිසාට ද පැහදිලි කර දෙන්නට යත්න දරයි. 76 වන පිටුවේ දෙවන ඡේදයෙන් ද ඔහු මෙම ආගමික භිතිය සහ එහි ඇලී ගැලී සිටින්නාගේ ඉරණම පිළිබඳව සාකච්ඡා කරයි.
ආගම් අදහන්නාගේ මෙන් ම ආගම අබිං යැයි පැවසු දාර්ශනිකයාගේ දර්ශනය මේ පොළොව මත රෝපණය කරන්නට දැරු උත්සාහයේ දී අහිමි වු ජිවිත පිළිබඳව ද සිහි කරන්නට මානසික රෝගියා අමතක නොකර යි.
‘‘මනුෂ්‍යභාවයේ හරය සුන් කිරීමට හොඳම ආයුදය තමයි ආගමේ කොඩි එසවීම. ආගම් භේද නිසා මේ පොළොවේ මිය ගිය ගණන මිලියන කීයද? මාක්ස්ගේ න්‍යාය ප‍්‍රායෝගික භාවිතයට යොදාගැනීමට යාමෙන් , ඇමරිකන් ප‍්‍රජාතන්ත‍්‍රවාදය බලෙන් පටවන් ගිහින් විනාශ කරපු ජීවිත සංඛ්‍යාව මිලිනය කීයද?’’
පිටුව 96
මහා ධන කුවේරයාගේ සිට ධනපතියා ද, දුගියා ද, සාමාන්‍යය මධ්‍යම පාන්තිකයා ද වර්තමානයේ ජිවත් වන්‍නේ තිගැස්සුණු ගතියකිනි. එය රටේ ප්‍රධාන පුරවැසියගේ සිට එදිනෙදා දිව සරිකරගන්නා දුගියා දක්වා ම පොදු ධර්මතාවයකි. මෙවැනි සමාජ සංසද්ධීන් පිළිබඳව ද රුවන්ගේ මානසික රෝගියා දැඩි අවධානයක් යොමු කොට ඇත. ඔහු එහි යථා ස්වරූපය නිර්භයව සිය වෛද්‍යවරයා සමඟ පවසද්දී ප්‍රකෘති අප සැබවින් ම ඔහු මානසික රෝගියකු යැයි සැක සිතනු නොඅනුමාන ය. මන්ද, සත්‍යය වැළලි ගොස් බොරුව සහ මයාව ඉස්මතු වි ඇති මේ සමාජයේ සත්‍යය සාකච්ඡාවට බඳුන් කරන්නේ සහ මායාවට එරෙහි හඬ නගන්‍නේ පිස්සන් යැයි සමාන්‍යය සමාජය උපකල්පනය කරන හෙයිනි.
‘‘දැන් බලන්න ලංකාවේ මිනිස්සු පී‍්‍රතිමත්ද? අවංකවම බලමු සල්ලි නැති පාන් බාගයක් පරිප්පු දීසියක් එක්ක කාලා නිදාගන්න මිනිහගේ හිත තුළ සන්තෝෂයක් නැහැ. සල්ලි තියෙන කොළඹ ජීවත්වෙන මිනිහටත් සන්තෝෂයක් නැහැ. සල්ලි තිබ්බට යන්න තැනක් නැහැ. ඕන නං ඔටර්ස් එකට, හිල්ටන් එකට, ඩෙලී ප‍්‍රාන්ස් එකට යයි. ඒ ගියත් මිනිහා වටපිට බලනවා. නොසන්සුන්. මොකක් හරි පීඩනයක් මිනිහාගේ හිතේ තෙරපෙනවා. මොනවා කෑවත් මොනවා බීවත් හිතේ තෘප්තිමත් බවක් නැහැ.’’
59-1
‘‘එතකොට රටේ ඊරිමාංශ උරාකන දේශපාලඥයෝ? උනුත්ඉන්නේ අසතුටින්. ගමනක් ගියත් යන්නේ තඩි වාහන පහක් හයක් ඉස්සරහායින් පස්සෙන් දාගෙන. කොයි වෙලාවේදී මරණය කඩාපාත් වෙයිද කියන බයෙන්. රටේ ධනස්කන්ද හොරකම් කරලා ළමයින්ව යවනවා එංගලන්තයේ, ඇමරිකාවේ, ඕස්ට්‍්‍රලියාවේ.
ඒත් හිත නිදහස් නැහැ. කොල්ලෝ කෙල්ලෝ එහෙ ගිහිල්ලා කුඩු ගහයිද? නැති භංගස්ථාන වෙයිද? හොරකම් කරපු සල්ලි වලින් ළමයින්ට උගන්වපු නිසා මේවා යා දෙන්නේ නැහැ කියලත් හිත කියනවා. මේවා ළමයින්ට නැත්නම් ළමයින්ගේ ළමයින්ට සහගහයිද කියලා හූල්ලනවා. මට හිතේනේ මුළු රටම ඉන්නේ අසන්තෝශයෙන්. එතකොට රහසින් පවු කරන, තම තමන්ගේ ආගම්වල ශාස්තෘන්වහන්සේලාව විකුණාගෙන කන, යථාවාදී තථාකාරී නොවන පැවිද්දෝ, පූජකයෝ ඒ ඔක්කෝමත් ඉන්නේ බයෙන්, අසන්තෝශයෙන්. රටේ අසතුට, අතෘප්තිමත් බව රජ කරනවා. මම හිතන්නේ අපි අපේ දර්ශනය නිවැරදි කරගන්නකං, අපි අදහන ආගම ධර්මය වැරදි විදිහට අල්ලාගැනීම නවත්තලා හරියට තේරුම් ගන්නකම් මේ අසතුට, අතෘප්තිය අපේ පස්සෙන් එනවා. මේක හරියට ගොනා පස්සේ බැන්ද කරත්තේ වාගේ.’’
පිටුව 59
සැබැවින් ම මේ යථාර්ථය වටහාගන්නට තරම් ප්‍රකෘති මිනිසා දැනුවත් ද? ඔහු මේ පිබඳව අවදියෙන් සිටින්‍නේ ද? මානසික රෝගියකු හැර අන් කවරකු නම් මෙතරම් නිර්භීතව මෙලෙස කුණු වී ඔජස් ගලනා යථාව පිළිබිඹු කරයි ද? ඔව් ප්‍රකෘති මිනිසා එසේ සිතුවොත් එය පුදුම වන්නට කරුණක් නොවේ.
ලංකාවේ උතුරු ප්‍රදේශයේ වසර 30 ක් පුරා යුද්ධයක් පැවතුණි. එය උතුරට මතු නොව සමස්ථ ලංකීය භූමිය පුරා ම විසිර පැවතුණේ ය. මෙම යුද්ධය බිහිසුණු අන්දමින් පවතින සැම අවස්ථාවක ම‘‘යුද්ධය’’ තහනම් වචනයක් බවට පත්විය.
මතු දැක්‍වෙන්‍නේ මානසික රෝගියා එය දකින අන්දම යි.
‘‘අපි හැමදෙයක් ගැනම කථා කළා. යුද්දේ ඇර. අපිට උතුරේ යුද්ධය ගැන කථා කරන්න බැහැ. යුද්ධය අපි දෙන්නටම තහනම් වචනයක් වෙලා. අපි දෙන්නගෙන් කවුරුන්වත් තහනම් කලාපයට යන්නේ නැහැ. අපි බොස්නියාව ගැන කථා කරනවා, වව්නියාව ගැන කථා කරන්නේ නැහැ. නමුත් ඇස්වලින් අපි සත්‍ය කථා කරනවා. දෙදෙනාගේ ඇස්වලින් තහනම් අඩවියේ අර්ටිලරි හඬ පැතිරෙන ජීවිත ගැන කථා කරනවා. එතකොට අපේ අදහස් නයගරා ඇල්ල වගේ කඩා හැලෙනවා.’’
පිටුව 77
මේ වන විට මෙරට නිර්මාණය වන්‍නේ අපුල්ලනලාගේ ලිංගික කාර්යයන් විදහා දැක්‍වෙන සාහිත්‍යයක් යැයි වෘත්තීය දත් උගුල්ලන්‍නෝ පවසති. ඔවුන් ජාතිකවාදය නමැති කඩතුරාවට මුවා වි ජාතිවාදය මතු නොව කුලවාදය ද කරළියට ගෙන එන්නට වෙර දරති. සාහිත්‍යය නිර්මාණයේ එක් හෝ තවත් කොටසක් පමණක් තදින් බදාගෙන ‘‘මෙන්න සිංහල සභ්‍යත්වය, සංස්කෘතිය, සදාචාරය කනවෝ’’ යැයි බෙරිහන් දෙති. එවන් කුහකයන් වෙත මානසික රෝගියා දරුණු අතුල් පහරක් එල්ල කරයි.
‘‘බොරු සුචරිතවාදියෝ තමාගේ ලිංගික හීනමානය අඩු කර ගන්නේ සදාචාරය, සංස්කෘතිය, සභ්‍යත්වය ගැන කථා කරල අනෙක් පුද්ගලයාගේ සදාචාරය මිනිතයට ලක් කරලා, විනිශ්චයන් දීලා. මේ බොරු සුචරිතවාදියා ගෑනියෙකුගේ අඩනිරුවත දැක්කොත් කළබල වෙනවා. මොකද තමාගේ අභ්‍යන්තරයේ සැඟවිලා ඉන්න වල්, අශිෂ්ට කාමුකයා අවදි වෙනවා. ඒක බාහිර සමාජය දැනගනීයි කියලා ඔහු බයයි. ඒ නිසා අර අඩ නිරුවත් ගැහැණිය විවේචනය කරනවා. ඇයට සංස්කෘතිය, සදාචාරය උගන්වන්න එහෙමත් නැත්නම් ගල්ගසා මරාදමන්න ඕනම වෙලාවක ඉදිරිපත් වෙනවා.’’
පිටුව 84
ජනතාව ඉදිරියේ සදාචාරය සභ්‍යත්වය සහ සංස්කෘතිය පිළිබඳ පාරම්බානා මොවුන් වමෙන් දකුණට සංක්‍රමණය වු ඊනියා වම්මුන් සමඟ තදින් ම මත්පැන් පානය කොට එකම ගණිකාව සමඟ දෙතුන් දෙනෙක් එකට නිදිවදිති. මේ මානසික රෝගියා හෙළිදරව් කරන්‍නේ මෙවන් සුරිතවාදින්‍ගේ නිරුවත යි.
වර්තමාන ආණ්ඩුව යම් හෝ යුද ජයග්‍රහණයක් අත්පත් කරගෙන සිටින්‍නේ නම් ඒ 2002 වසරේ අත්සන් කළ සාම ගිවිසුම හේතුවෙන් බව ප්‍රකාශ නොකරයි. මේ දේශපාලන කුහකත්වය යි. එදා ඒ සඳහා මූලිකත්වය ගගෙන කටයුතු කළ දේශපාලන නායකයා ද්‍රෝහියකු ලෙස හංවඩු ගසන්නට දක්ෂිණාංෂිකයන් මතු නොව ඊනියා වම්මු ද පෙරමුණ ගත්හ. මෙම දේශපාලන සන්දර්භය ඓතිහාසික සිද්ධියක් හරහා කරළියට රැගෙන එන්නට මානසික රෝගියා සමත්ව ඇත. මෙය තවත් විවාදාපන්න මතයක් වනු නොඅනුමාන ය.
‘‘කන්ද උඩරට පාවා දුන්නේ ඇයි? හොඳට ඉතිහාසය හදාරණකොට පේනවා එතන තිබුණේ පාවා
දීමට වඩා පොඩි හින් නූල් වැඩක්. වඩිග රජ අයින් කරන්න සුද්දගෙන් උදවු අරගෙන පස්සේ සුද්දට පහර දෙන විදිහේ සැලැස්මක්. ඒත් ඇහැලේපොළලගේ සැලැස්ම අසාර්ථක වුණා. 1815 යටත් වෙලා අවුරුදු දෙකකින් කැරලි ගැහුවේ ඇයි? මේකේ සැඟවුණු යමක් තියනවා කියලා ඩොක්ටට හිතෙන්නේ නැද්ද?
ඇයි උඩරට කැරැල්ලෙන් පස්සේ ඇහැලෙපොළ නිළමේ මුරුසියට පිටුවහල් කලේ. කැප්පෙට්ටිපොළට කළා වගේ හිස ගසා දාන්න තිබුනණේ. මම හිතන්නේ ඇහැලේපොළව පාවා දෙන්නෙකු හැටියට ඉතිහාස ගත කරන්න ඕන නිසා සුද්දා ඇහැලේපොළ නිළමෙව මුරුසියට යැව්වා. බැරිවෙලා හරි හිස ගසා දැම්මනං ඇහැලෙපොළ නිළමේ ජාතික වීරයෙක් වෙනවා.’’
පිටු 100 සහ 101
වර්තමානයේ ද ජාතික විරයන් ලෙස ඉතිහාසගතවිමට සිටි පුද්ගලයන්ට අත්වු (සමාවන්න! අත් කර දුන්) ඉරණම මෙයට සමපාත නොවන්නේ ද?
ලෝකයේ සැම රටකම පාලකයන් තම පවැත්ම සඳහා බිය, සන්ත්‍රාසය, ක්‍රෑරත්වය වගා-දිගා කරති. මෙකී: බිය, සන්ත්‍රාසය, ක්‍රෑරත්වය පතුරුවා හරින්‍නේ තමන්‍ගේ පැවැත්ම පිළිබඳ හටගන්නා බිය හේතුවෙනි. මෙම ම්‍ලේච්ඡ ක්‍රියාකලාපය මානසික රෝගියා මෙලෙස විස්තර කරයි.
‘‘මොවුන් පතුරවන්නේ බය. බය කිව්වාම ඩොක්ට විවිධ ආකාරයේ බය තියනවා. මේක යථාර්ථවාදී බයක්. තමන්ගේ පැවැත්ම පිළිබඳ බයක්. ඒ බය නිසා මිනිස්සු තව බිය උපදවන දේ කරනවා. ස්ටාර්ලින් ලක්ෂ ගණනක් ගුලාග් කඳවුරුවල ගාල් කරනවා, ලින්ඩන් ජොන්සන් වියට්නාමයට නේපාම් දානවා. බුෂ් කෲස් මිසයිල ගහනවා.’’
පිටුව 107
මෙම කෘතියේ ‘‘මුළාසිය’’ නමැති පරිච්‍ඡේදය (පිටු අංක 112 සිට 118 දක්වා) මේ වන විට මෙරට ජනතාව පත්ව සිටින තත්ත්වය සහ පාඨකයන්ගේ ක්‍රමවේදය මැනවින් පිළිබිඹු කර ඇත. මෙහි දි කතුවරයා සලමන් රෂ්ඩිගේ ‘‘අඳුන් දිවි හිනාව’’ කෘතියේ ප්‍රස්තුථය ද සිහිපත් කරයි. එය උපුටා දැක්විමට ඇති නොහැකියාව පිළිබඳ පාඨක සහෘදයෝ උරණ නොවනු ඇතැයි මම විශ්වාස කරමි.
දැනට වසර කිහිපයක සිට අපරාධකරුවන් අත්අඩංගුවට ගත් පසු ආයුද පෙන්විමට ගොස් ආරක්ෂක නිලධාරින්ට වෙඩි තැබිමට උත්සාහ කිරිමේ දි හෝ පැනයාමට තැත් කිරිමේ දි ඇති වු වෙඩි වුවමාරුවලින් බොහෝ අපරාධකරුවන් මරුමුවට පත්වූහ. මෙය සැබවින් ම යථාර්ථය ද? මානසික රෝගියා මෙහි මායාව වළලා යථාර්ථය ඉස්මතු කරන්‍නේ මෙලෙසිනි.
‘‘වදක සෙබළුන් ඉසා වෛද්‍යවරයෙක් ළඟට ගෙනගියා. සෙබළුන් කිව්වේ ඉසාගේ ශරීරයේ වූ තුවාල අත්අඩංගුවෙන් පැනයාමට තැත්කරද්දී ආරක්ෂක තාප්පයෙන් බිමට වැටී සිදුවූ තුවාල කියලයි. වෛද්‍යවරයාද ක‍්‍රමයේ වහලෙක්. ඔහු අනුමත කළා සෙබළුන් කීදෙය. ඔව් තුවාල සිදුවී ඇත්තේ පැනයාමට තැත්කරද්දී. ඉසාට සුළු ප‍්‍රතිකාරයක්දී විනිසුරුවරයා වෙත ඉදිරිපත් කළා නඩුවිභාගයට. ඔහුට මහජන කැළඹිලි ඇතිකිරීම, සාමය කඩකිරීමට තැත්කිරීම චෝදනා ඉදිරිපත්කොට තිබුණා.’’
129-2
වෛද්‍යවරුන් මතු නොව සියලු රජ්‍යය ආයතන පද්ධතින් මේ වන විට ‘‘ක්‍රමයේ වහලුන්’’ බවට පත්ව ඇත. එහෙත් මානසික රෝගියා මෙය වටහාගන්නා තරමින් හෝ වර්තමාන ප්‍රකාති මිනිසාට මෙය නොවැටහිම අනාගත පරපුරේ අභාග්‍යයක් නොවන්නේ ද?
මෙලෙසින්, පවතින සමාජ යථාර්ථයන් පිළබඳ දැඩි විවේචනාත්මක අදහස් රැසක් පාඨකයා වෙත දර්ශනය කරන මානසික රෝගියා සිය වෛද්‍යවරයා සමඟ කළ සංවාදය අවසන් කරන්‍නේ අනාගතයේ සිදුවිය යුතු හෝ සිදුවිය හැකි යැයි හැඟෙන උකල්පනයකි.
‘‘මම කඳුවැටිය තරණය කළා මම දුටුවා ඈතින් පායා ඇති හිරු. මිනිසුන් පිරිසක් කඳු පාමුල, රැස්වීමක් වගේ. ඔවුන් රතුපැහැති කොඩි අරගෙන ඈතින් පෙනෙන හිරු දෙසට යනවා. ඔවුන් හිරුගේ රක්ත වර්ණ පැහැයට වශීවෙලා. ඔවුන් ගෙනයන ධජ හිරුගේ පැහැය. යන ගමන් ඔවුන් සටන්පාඨ කියනවා.
උද්‍යෝගය පිරිලා. මම ඈත සිට බලාගෙන හිටියා. ඔවුන් දිගටම ගමන් කළේ සුර්යා දෙසට. මුළු අහසම රතු පාටයි. අහසේ රතු පැහැය තව තවත් වැඩිවුණා. දැන් මුළු අහසම ලේ රතුපාටයි. හිරුගේ රශ්මිය එන්න එන්නම වැඩි වෙනවා. එත් මිනිසුන් පිරිස හිරු දෙසටම යනවා. මම කඳුවළල්ලට මුවාවෙලා ඔවුන් දෙස බලා සිටියා. තද හිරුගේ රශ්මිය වැදිලා ඔවුන් පිලිස්සී ගියා. එහෙත් ඔවුන් ගමන නතර කරන්නේ නැහැ ඉදිරියටම යනවා.ක‍්‍රමක් ක‍්‍රමයෙන් ඉදිරියෙන් යන මිනිසුන් දැවී අළුවී ගියා. ඔවුන්ව පරයාගෙන දෙවන පෙළ යනවා. ඔවුනුත් දැවෙනවා. මෙසේ සියලූම දෙනා රක්ත වර්ණ සූර්යා විසින් දවා හළු කරනු ලැබුවා.’’
පිටු 136 සහ 137
මෙහි දී කතුවරයා සංකේතාර්ථ රාශයක් භාවිතා කොට ඇත. මෙහි එන: ‘‘කඳුවැටිය’’, ‘‘හිරු’’, ‘‘රතු පැහැති කොඩි’’, ‘‘හිරුගේ රශ්මිය වැදී මිනිසුන් දැවි පිලිස්සි යාම’’, ‘‘දෙවන පෙළ’’, ‘‘සියලු දෙනා’’ ආදි සියල්ල තුළින් ඔහු ගම්‍යකරන්‍නේ කුමක් ද? සමස්ථ ලෝක ප්‍රජාව වටාම වෙළි පවත්නා දුර්දාන්ත පාලන රටාවයි; එය පෙරළා දැමිමට එරෙහිවන්නන්ට අත්වන ඛේද ජනක ඉරණමයි. එහෙත් ඊට එරෙහි වන්නන්‍ගේ ගමන නවතාලිය හැකි ද.....?
සමස්ථ කෘතිය පුරාම දක්නට ඇත්තේ මා කලින් සඳහන් කළ ආකාරයේ සමාජ, ආර්ථික, දේශපාලන සහ ආගමික ව්‍යසනයන් හේතුකොට ගෙන මිනිසා පත්ව ඇති අභාග්‍යයමත් තත්ත්වය යි. ඉන් මිදීම සඳහා මිනිසා අනුගමනය කළ යුත්‍තේ කුමනාකාරයේ ක්‍රියාමාර්ගයක් ද යන්න පවා මානසික රෝගියා පැහැදිලි කරයි.
කතුවරයා දැනුවත්ව හෝ නොදැනුවත්ව සිදුවී අඩුපාඩුවක් ද මෙහි දී සිහිපත් කළ යුතු ය.
කතුවරයා මානසික වෛදයවරයෙකි. ඔහු මනෝවිද්‍යා ශබ්දකෝෂය හදාරා තිබුණ ද සාමාන්‍ය පාඨකයා එසේ නොවන වග ඔහු විසින් අමතක කොට දමා ඇත. කෘතියේ සඳහන් ඇතැම් වදන්වල අරුත් සොයැගැනීම සදහා ශබ්දකෝෂ කිහිපයක පිහිට පතන්නට සිදුවිය. එය එක් අතකින් මා වැනි පුද්ගලයකුට වාසිසහගත වන්නට පිළවන. එහෙත් මෙය හේතු කොට ගෙන සාමාන්‍ය පාඨකයා ඉතා වෙහෙසට පත්‍වේ. මනෝ විද්‍යාවට අදාළ වදන් හි සරල අර්ථය කෘතියේ පසු සටහනක හෝ යෙදුවා නම් මෙය මිට වඩා වැඩි පාඨක පිරිසකගේ අවධානයට ලක් වන්නට තිබු බව නිසැක ය. එකි දුර්වලතාව මගහැර සාහිත්‍යය කෘතියක් ලෙස මෙය පරිශීලනය කිරීමෙන් මිනිසුන් කෙතරම් දුර්වල ද, කෙතරම් මුළාවට පත්වි ඇද්ද යන්න මැනවින් ප්‍රකට කරයි. මෙම කෘතිය එවන් පුද්ගලයන් හට බණ පොතකට වඩා ප්‍රයෝජනවත් විය හැකි බව නම් අනිවාර්යයෙන් ම සඳහන් කළ යුතු ය.
ජයසිරි අලවත්ත
ජයසිරි අලවත්ත මෙහි දක්වන උපුටා දැක්වීම් හා එතුල ඔහුගේ පැහැදිලි කිරීම් කියවාගෙන යනවිට මේ කියවිය යුතු යැයි දැණෙනවා. බොහොම ස්තූතියි...ඔබ දෙදෙනාටම.
ReplyDeleteමෙම කෘතිය කියවීමට පොලඹන ආකාරයේ විචාරයකි.
ReplyDeleteඉතා හොඳ ලිපියක්. Many Moods of My life. කියල මං ලියන Blog එකේ මම කියන්න උත්සාහ කරන්නේ මෙයයි. මෙහි සමහර උපුුටා ගත් කොටස් එව ලිපියේ පල කරන්නට අවසර දෙන්න.
ReplyDelete