Friday, September 30, 2016

මෝල් ගුරුවරු

 



මට හොඳ දක්‍ෂ ගුරුවරු මෙන්ම මෝල් ගුරුවරුද හමුවී තිබේ. බොහෝ සාවද්‍ය දේවල් ඉගැන්වූ සිසුන් ගේ ආත්ම ශක්තිය මොට කල මෙම ව්‍යාජ ගුරුවරු අපගේ ජීවිත වලට ලොකු හානියක් නොකලේ ඔවුන් මෝල් ගුරුවරු මෙන්ම ජෝකර්ලා ලෙස වටහා ගැනීමේ ඉවක් කුඩා අපට තිබූ නිසාය​. එහෙත් මෙම මෝල් ගුරුවරු සෑම කාලයකම සිටිති. ඔවුන් සිසුන් සැලකිය යුතු ප්‍රමාණයක් නොමග යවති. එසේම ආත්ම විශ්වාසය , නිර්මාණශීලීතාව බිඳ දමා සිසුන් මොට කර දමති. 

මට හමුවූ මෝල් ගුරුවරු කීප දෙනෙකු මගේ මතකයේ සිටියි. මින් එක් මෝලෙක් පන්තියට පැමින නිතරම අසන්නේ අප උදේ නැගිට්ට වේලාවයි. උදේ හත හමාරට ඉස්කෝලේ ආරම්භ වන නිසා සිසුන් බොහෝ දෙනෙකු උදෑසන හය -හයාමාරට නැගිට පාසල් එති. සමහරු උදේ පහටත් අවදි වෙති. ඒ දුර සිට එන ළමුන් ය​. මේ ගුරුවරයාට අවශ්‍ය ළමුන් උදේ හතරට නැගිට්ට වීමටය​. ඔහු පන්තියට පැමින අද උදේ හතරට නැගිට්ට ළමයි අත උස්සන්න කියයි. ඔහුගේ  අපවාදයෙන් බේරීමට අප බොරුවට අත උස්සන්නෙමු. එක් ළමයෙක් ඔහු උදේ තුනට නැගිට්ට බව කීවේය​. මේ ගුරුවරයා එම ළමයාට ප්‍රශංසා කොට අපටද ඔහු අනුව හැදෙන්නට කීවේය​. 

එහෙත් මේ ගුරුවරයාගේ අවවාදය දෝෂ සහිත විය හැකි බව මගේ කුඩා සිත එදා කීවේය​. එම නිසා මම මේ වේලාවට අවදි නොවූයෙමි. එහෙත් අපගේ පන්තියේ සමහර ළමුන් උදේ තුනට හතරට නැගිටගත්හ​. 

පසු කාලයක මනෝ විද්‍යාඥ හෙදර් ජෝඩ්න් යටතේ ළමා මනෝ විද්‍යාව හදාරන විට මෙම මෝල් ගුරුවරයාගේ අවවාදයේ භයානක කම මට තේරුම් ගියේය​. නින්ද ළමුන්ට අත්‍යාවශ්‍යය​. ළමා කාලයේ නින්ද අඩු වන විට මොලයේ වැඩීම අඩාල වෙයි. මේ නිසා සංවර්ධිත රට වල සතියේ සමහර දින වල පන්ති ආරම්භ වන්නේ ප්‍රමාදවී ය​. මෙයට ලේට් ස්ටාර්ට් කියති. මෙම ලේට් ස්ටාර්ට් හි අරමුණ ළමුන්ට වැඩිපුර නිදා ගැනීමට ඉඩ දීමයි. 

තවත් ගුරුවරයෙකුට  ග්‍රස්තියක් ලෙස තිබුනේ ඉස්කෝලේ එන විට මවට හා පියාට වැඳීමයි. දෙමාපියන් දෙදෙනා රැකියා කරන උදෑසන කාර්‍ය බහුල නිවෙස් වල ළමුන්ට දිනපතා දෙමාපියන්ට වැඳ ඒමට අවකාශයක් තිබේද යන්න සිතීමට මෙම ගුරුවරයාට උවමනාවක් නොවීය​. ඔහු පන්තියට පැමින අද ඉස්කෝලේ එන විට අම්මටයි තාත්තටයි වැන්ද ළමයි අත උස්සන්න කියයි. අත නොඉස්සූ ළමුන් ගේ අල්ලට ඔහු වේවැල් පාරක් දෙයි. මේ නිසා ළමුන් වේවැල් පාරින් බේරීමට බොරුවට අත් ඔසවති. මේ අනුව ඔහු ළමුන්ට කියා දුන්නේ වංචා කරන අන්දමය.   

තවත් ගුරුවරයෙකු ළමුන් පන්තියේ කුඩා වැරැද්දක් කල විට තමුසේ අනාගතේ හිරේ යන කෙනෙක් ; එල්ලුංගස් යන කෙනෙක් කියා පන්තියේ අනෙක් ළමුන් ඉදිරිපිට කියා වැරැද්දක් කල ළමයාගේ ආත්ම අභිමානය පොඩි පට්ටම් කරයි. තමා අනාගත සිරකරුවෙක් කියා ළමුන්ව කුඩා කාලයේ සිටම තත්වාරෝපනය කල මෙම ගුරුවරයා වචනයේ පරිසමාප්තියෙන්ම මෝලෙකි. 

 නව යොවුන් වියේදී අප පොප් සංගීතය ප්‍රිය කලෙමු. එක් ගුරුවරයෙකුට මෙම ඉංග්‍රීසි පොප් සංගීතය වහ කදුරු මෙන් විය​. ඔහු නිතරම මෙසේ කීවේය​.

 " තමුසෙලා ඇබා බොනිඑම්ලා අහලා මොලේ කුරුවල් කරගත්ත අය නේ. තමුසෙලා අනාගතේ මරුසිරාලා වෙනවා" 

මොහු මෝලෙකු බව අපට එදත් තේරුණි. ඒ මන්ද යත් ඔහු සිතා ගෙන සිටි අයුරට ඇබා සහ බෝනි එම් යනු පුද්ගලයන් දෙදෙනෙකි. ඇබා සහ බෝනි එම් යනු සංගීත ගෘප් දෙකක් බවත් එම සංගීත කණ්ඩායම් වල සාමාජිකයන් ගේ නම් ද අප දැනගෙන සිටියෙමු.  එසේම මම ඒ කාලයේ ධර්මසිරි ගමගේ ලියූ මරුසිරාගේ ජීවිත කතාව කියවා තිබුනේය​. එහි කිසි තැනක සිරිපාල හෙවත් මරුසිරා පොප් සංගීතයට සවන් දුන් බවක් තිබුනේ නැත​. මේ අනුව ඒ කාලයේ සාමාජීය වශයෙන් අප මෙකී මෝල් ගුරුවරයාට වඩා ඉදිරියෙන් සිටි බව මට සිතේ. 

එක් ගුරුවරයෙකු නිතරම ජාතික  චින්තනය ගැන කීවේය​. එසේම   විදේශික දේ අප සහ මුලින්ම බැහැර කොට දේශීය දේවල් පමණක් ග්‍රහණය කල යුතු බව ඔහු කීවේය​. ඔහුට අනුව ඉංග්‍රීසිය පර භාෂාවකි. අප ඉගෙන ගත යුත්තේ පාලි හා සංස්කෘතය​.  

මේ ගුරුවරයා ගැන එක් දෙයක් කිව යුතුය​. ඔහු වර්තමානයේ ජාතික චින්තනය ගැන දේශනා කරමින් තම දරුවන් ඇමරිකාවේ ,ඕස්ටෙ‍්‍රලියාවේ උසස් අධ්‍යාපනයට යවන දෙබිඩ්ඩෙකු නොවීය​. ඉංග්‍රීසි නොදත් නිසා ඔහු ඉංග්‍රීසියට වෛර කල අතර තම හීනමානයෙන් මිදෙනු වස් ගෝලයන්ට පාලි හා සංස්කෘත ඉගෙන ගන්න කීවේය​. ඔහුගේ උපදෙස් අනුව පාලි හා සංස්කෘත පමණක් ඉගෙන ගත්තේ නම් ගෝලයන්ට උසස් අධ්‍යාපනය සිහිනයක් වනු නියතය​. 

මෝල් ගුරුවරු සෑම කාලයකම සෑම පාසලකම සිටිති. මෙම වියාජ ගුරුවරුන් ගේ මෝල් කතා සීරියස් ලෙස  භාර නොගැනීමට බාල පරපුරට මොලය තිබිය යුතුය​.  

Wednesday, September 28, 2016

පොලිස් රිපෝට්

 



උතුරු ඇමරිකාවේ බොහෝ රැකියා සඳහා පොලිස් වාර්තා අවශ්‍ය කෙරේ. මෙම වාර්තා මගින් අදාල පුද්ගලයා නීතිය කඩ කිරීමක් හෝ අපරාධ සඳහා චෝදනා ලැබූවෙකු නොවන බව සහතික කෙරේ. පොලීසි වල නීති විරෝධී කටයුතු කල මිනිසුන් ගේ දත්ත පරිගනක ගත කොට ඒවා පොදු ජාලයක් ඔස්සේ පවත්වාගෙන යයි. මේ නිසා විනාඩි කීපයක් ඇතුලත පුරවැසියෙකුගේ අපරාධ ඉතිහාසය පොලිසියට සොයා ගත හැකිය​. 

බොහෝ විට පොලිස් වාර්තා වාර්ෂිකව  සේවා ස්ථානයට ලබා දිය යුතුය​. අපරාධ සඳහා චෝදනා ලැබූවන් හට පාසල් වල , රෝහල් වල , මනෝ ප්‍රතිකාර මධ්‍යස්ථාන වල, යනාදී බොහෝ ස්ථාන වල  සේවය කල නොහැක​. මේ නිසා මිනිසුන් නීති විරෝධී කටයුතු වල නොයෙදීමේ නැඹුරුවක් තිබේ. එසේම ක්‍රිමිනල් චෝදනා ලැබූවන්ට සමාව ලබා ගත හැකි ක්‍රමවේද ද තිබේ. ඒ සඳහා ඔවුන් යම් කාලයක් විශේෂ වැඩ සටහන් වලට සහභාගී විය යුතුය​. 

ලංකාවේ පොලිස් වාර්තා ඉල්ලන්නේ හමුදාවට යාමේදී සහ ස්ථිර විදේශ ගතවීමේදී පමණි. බොහෝ රැකියා සඳහා අතීත චර්‍යාවන් ගැන සොයා බැලීමක් නොකෙරේ. මෙම නිසා ළමා අපයෝජකයන් සහ වෙනත් අපරාධ වලට චෝදනා ලැබූවන් කිසිදු ගැටළුවකින් තොරව පාසල් වල , රජයේ සහ පුද්ගලික අංශයේ කාර්‍යාලවල සේවය කරති. 

ලංකාවේ රජයේ සහ පුද්ගලික අංශයේ රැකියා ලබා ගැනීමේදී පොලිස් වාර්තා අනිවාර්‍ය කල හොත් මිනිසුන් නීති කැඩීමට පෙර දෙවරක් සිතනු ඇත​. එසේම විශ්ව විද්‍යාල වල නවක වද කරමින් රජයේ දේපළ විනාශ කරන සිසුන්ට අනාගතයේ රජයේ  හෝ  පුද්ගලික අංශයේ රැකියා ලබා ගැනීමේදී පොලිස් වාර්තා ලබා ගැනීමට සිදු වන තත්වයක් උදා වුවහොත් ලංකාවේ විශ්ව විද්‍යාල වල තත්වය යහපත් වනු නිසැකය​. නමුත් ලංකාවේ පොලිස් වාර්තා අනිවාර්‍ය කිරීම එතරම් පහසු නැත​. ඒ මන්ද යත් ලංකාවේ පොලිස් දෙපාර්තමේන්තුව යනු දූෂණය ඔඩු දුවා තිබෙන ආයතනයකි. එම නිසා අල්ලසක් දී නිරවුල් පොලිස් වාර්තාවක් ලබා ගැනීමේ ඉඩකඩ බෙහෙවින් වැඩිය​. මේ හේතුව නිසා පොලිස් රිපෝට් අනිවාර්‍ය කිරීමට පෙර පොලිස් දෙපාර්තමේන්තුව මුලින්ම සුද්ද කිරීම අනිවාර්‍ය වේ. 

Tuesday, September 27, 2016

ඩ්‍රයිවර්ට ස්තූති කරන සමාජ

 



ඕස්ටෙ‍්‍රලියාව , කැනඩාව යන රට වල පොදු ප්‍රවාහන සේවා වලදී මගීන් බසයෙන් බැසීමේදී රියැදුරාට ස්තූති කරමින් බසිනු මම නිරීක්‍ෂණය කලෙමි. එහෙත් ශ්‍රී ලංකාවේදී බොහෝ විට මම දුටුවේ ඩ්‍රයිවර්ට , කොන්දොස්තරට දොස් දෙවොල් තබමින් සමහර විට ඔවුන් ගේ අම්මලාට අහවල් කාරිය කල යුතුයි කියමින් බසින මගීන් ය​. එසේම වරක් බස් රථයෙන් බැස්ස  මගියෙක් ගලක් අහුලාගෙන බසයේ පසුපස වීදුරුව කැඩී යන ලෙස ගසනු මම දුටුවෙමි.

 ඩ්‍රයිවර්ලා  කොන් දොස්තරලා සම්බන්ධයෙන් මට විවිධ අත්දැකීම් තිබේ. වරක් මම මාරවිල රෝහලේ මානසික සෞඛ්‍ය සායනයට ගොස් යලිත් මාදම්පේ නියෝජ්‍ය පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂක කාර්‍යාලයට යාම සඳහා වෙන්නප්පුව හලාවත බස් රථයකට නැගුනෙමි. මාදම්පේ බස් නැවතුමේදී මම බසයෙන් බැසීමට තැත් කිරීමේදී එය ඉක්මන් කරනු වස් කොන්දොස්තර මාව බසයෙන් තල්ලු කිරීමට තැත් කලේය​. 

බෙල්ල කඩා නොගෙන බසයෙන් බට මා හට සාධාරන කෝපයක් ඇති විය​. මෙම බස් රථයේ අංකය ගෙන මාදම්පේ පොලිසියට යාමට සිතුනද එදින බොහෝ වැඩ යොදාගත් දිනයක් බැවින් මෙම අසාධාරණ ක්‍රියාව අමතක කොට මම නියෝජ්‍ය පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂක කාර්‍යාලයට ගියෙමි. තවත් වරකදී මම බසයෙන් බසිනවාත් සමගම රියැදුරා බසය ඇද්දුවේය​. 

ලංකාව වැනි රටවල පොදු ප්‍රවාහන සේවා වල පවතින අශිෂ්ඨ බව අපගේ සමාජයේම කැඩපතකි. වසර දහස් ගනනාවක ඉතිහාසයක් ගැන පම්පෝරි ගැසුවාට අපගේ සමාජය පවතින්නේ වනචාරි මට්ටමේය​. මේ අනුව ඩ්‍රයිවර්ට ස්තූති කරන  මට්ටමට අපගේ සමාජය දියුණු වීමට තව බොහෝ කල් ගතවනු ඇත​. 

Monday, September 26, 2016

කන්සල්ටන්ට් උමතුව

 


අතීතයේ වෛද්‍යවරු  කන්සල්ටන්ට් හෙවත් විශේෂඥ මට්ටමට පත් වූයේ දැණුම අත්දැකීම් වලින් පරිණතව වෛද්‍ය විද්‍යාවෙන් පමණක් නොව  ජීවිත අත්දැකීම් වලින් ද පරිපූර්ණ වූ මිනිසෙක් ලෙසටය​. එහෙත් පසුකාලීනව විශේෂඥ විද්‍යවරුන් ගේ හිඟය නිසා පශ්චාත් උපාධි ආයතන විසින් ආප්ප බාන්නාක් මෙන් අපරිණත වෛද්‍යවරු විභාග වලින්  තල්ලු කරවා දෙවසරක් පමණ විදේශ පුහුණුවක් දී ඔවුන්ට විශේෂඥ ලේබලය ගසා රෝහල් වලට එවන්නට විය​. දැණුමෙන් මෙන්ම ජීවිතාවබෝධයෙන් පිරිපුන් නොවූ මෙම කන්සල්ටන්ට්ලා රෝහලේ සම්පත් වලට මෙන්ම පුද්ගලික සේවය සඳහාද මරා ගනිති. මීට හොඳම නිදසුන   කරාපිටිය රෝහලේ  හෘධ   හා උරස් ශල්‍ය  අංශයේ විශේෂඥවරුන් ගේ කඹ ඇදීමයි.  මොවුන් ගේ මොන්ටිසෝරි ගෝරි දකින විට පෙනී යන්නේ ජීවිත විද්‍යාවෙන් මොවුන් කෙතරම් පසුගාමීද යන්නයි. 

මෑතකදී තමා හලාවත රෝහලේ විශේෂඥ මනෝ වෛද්‍යවරයෙකු බව කියූ තරුණ වෛද්‍යවරයෙකු සමග මම සංවාදයේ යෙදුනෙමි. අහංකාර ලෙස වගාඩම්බරයේ යෙදුනු ඔහුගෙන් තමා මෙතෙක් පළ කොට තිබෙන පරියේෂණ පත්‍රිකා ප්‍රමාණය ගැන ඇසූ විට ඔහු නිරුත්තර විය​. ඔහු කිසිදු පරියේෂණ පත්‍රිකාවක් පළ කොට නැත​. මනෝ විශ්ලේෂණය පිලිබඳ ඔහුගේ දැණුම අවමය​. යන්තම් මනෝ රෝගයක් හඳුනාගෙන ප්‍රති විශාද හෝ ප්‍රති මනෝව්‍යාධික ඖෂධයක් රෝගියාට නියම කිරීමට පමණක් මොවුන් ගේ විශේෂඥ භාවය සීමාසහිත වී තිබේ. 

මනෝ ප්‍රතිකාරය (Psychotherapy) යනු අද දිනයේ විශේෂිත වූ විෂයකි. මනෝ ප්‍රතිකාරය විෂය PhD  මට්ටම දක්වා හැදෑරිය හැක​. එහෙත් අපගේ අළුත් පරම්පරාවේ වෛද්‍යවරුන් ගේ මනෝ ප්‍රතිකාර පිළිබඳ දැණුම ඉතා අවම බව පෙනී ගොස් තිබේ. තවද නූතන  මනෝ ප්‍රතිකාර  ක්‍රමයන් ගැන මොවුන් බොහෝ  දෙනෙකු දැණුවත් නැත​. එම නිසා ඖෂධ මත පමණක් යැපෙමින් මනෝ ප්‍රතිකාර කිරීම අද දිනයේ සුලබව දැකිය හැකි සාධකයකි.  කිසිදු රෝගයක් හෝ සමාජ ගැටළුවක්  වෛද්‍ය විද්‍යාත්මක / මනෝ විද්‍යාත්මක / සමාජ විද්‍යාත්මක කෝණයකින් ගැඹුරුව හදාරන්නේ නැති මෙම නූතන කන්ස්ල්ටන්ට්ලාගේ සමාජ මැදිහත්වීම නුග සෙවනටත් නවලිය වැනි පුවත්පත් වලටත් සීමාවී තිබේ.  මේ හේතුවෙන් මිනිසුන් වෛද්‍ය ප්‍රතිකාර කෙරෙහි ඇති විශ්වාසය බිඳී විශ්ව ශක්තී, එලොවින් ආ ජීවකයන්, දේවාල කපුවන් වෙත යති. 

අන්තර්ජාතිකව පිළිගත් පොතක් හෝ පරියේෂණ පත්‍රිකාවක් පළ කොට නොමැති කිසිදු පරියේෂණයක් විශ්ව විද්‍යාල මට්ටමකින් සිදු කොට නොමැති කිසිදු සමාජ මැදිහත්වීමකට උර නොදුන් එහෙත් තමා සියළු දේ දත් කන්සල්ටන්ට් කියා සිතාගෙන සිටින මෙවැනි හීන දැණුම සහිත  නව විශේෂඥ මනෝ වෛද්‍ය පරම්පරාව ඩෙරීඩයා, ලැකන්ලා ගැන උඩින් පල්ලෙන් කියවාගෙන ජිම්නාස්ටික් පෙන්වන ගැටයන් හමුවේ  නිරුත්තරය​. මනෝ විශ්ලේෂණය ගැන මේ කජු කිරි කොල්ලන්ට තිබෙන දැණුම මේ නව විශේෂඥ මනෝ වෛද්‍ය මල්ලිලාට නැත​. මේ නිසා අන්තර්ජාතික තළයට ලාංකික මනෝ වෛද්‍ය විද්‍යාව ගෙන ගිය මහසෙන් ද සිල්වා, දයා සෝමසුන්දරම් , නීල් ප්‍රනාන්දු , දියනාත් සමරසිංහ වැනි සුවිසල් පුරුෂයන් මේ නව පරම්පරාව තුලින් බිහි වනු ඇතැයි කියා සිතීම හිතළුවකි. 

සංවර්ධිත රටවල විශේෂඥවරු බිහි වන්නේ ලංකාව වැනි තුන්වන ලෝකයේ රටවල මෙන් විභාගයක් කිරීමෙන් පමණක් නොවේ.  ඔවුන් දැණුම සහ අත්දැකීම් මත පරිණත බව ලබා විශේෂඥවරු වෙති. උදාහරණයක් ලෙස වෛද්‍ය බැසිල් වැන්ඩ කොල්ක් යනු මනෝ වෛද්‍යවරයෙකි. එහෙත් ඔහු විසින් පරියේෂණ රැසක් කොට අන්තර්ජාතිකව කීර්තියට පත් වූ වියතෙකි. මම ඔබ කන්සල්ටන්ට් කෙනෙක් ද කියා බැසිල් වැන්ඩ කොල්ක් ගෙන් ඇසුවෙමි. ඔහු දුන් පිළිතුර වූයේ යමෙකු විශේෂඥයෙකු වන්නේ පෆෝමන්ස් හෙවත් අනුයුංජනය යන සාධකය මත බවයි. 

උතුරු ඇමරිකාවේදී විභාග විශාල ප්‍රමානයක් සමත්ව එහෙත් ප්‍රායෝගික දැණුම අවම ඉන්දියානු මනෝ වෛද්‍යවරු මට හමු වී තිබේ. මොවුන්ට වෛද්‍ය එන්සයික්ලෝපීඩියා වේද ග්‍රන්ථ මෙන් කට පාඩම් ය​. එහෙත්  ආවේදනික මනෝ රෝගයක් හඳුනාගෙන සාර්ථක මනෝ ප්‍රතිකාරයක් රෝගියා වෙත ලබා දීමට මොවුන් අපොහොසත්‍ ය​. මේ නිසා සුද්දන්ට බනිමින් තමා සමත් වූ විභාග ගැන කියවමින් සිටි නවක ඉන්දියානු මනෝ වෛද්‍යවරයෙකුට මැකෙන්සි රෝහලේදී මා දුන් උපදේශයක් නම් මානසික රෝගියෙකු හමු වූ විට එම රෝගියා ජීවමාන ටෙක්ස්ට් පොතක් බව සිතා රෝගියාව හදාරන්න යන්නයි. 

රෝගීන් සමග සංවාදය අවම කොට උඩින් පල්ලෙන් රෝගියා බලා රෝග විනිශ්චය දීම ලංකාව ඉන්දියාව වැනි කලාප වල වෛද්‍යවරු නිතරම කරති. මට හමුවූ කැනේඩියානු මනෝ වෛද්‍යවරියක වූ ඊවා කබෙල්ලෝ වරක් මට පැවසුවේ එක් රෝගියෙකුට භින්නෝන්මාදය රෝග නිර්ණය දීම සඳහා මාස හයක් පමණ තමා එම රෝගියාව නිබඳව හමුවී රෝගියායේ රෝග ලක්‍ෂණ හැදෑරූ බවයි. මනෝ වෛද්‍ය නීල් ප්‍රනාන්දු මහතා ද  වරක් ද ඉතා ඉවසිල්ලෙන් මාස හතරක් පමණ රෝගියෙකු නිරීක්‍ෂණය කොට රෝගියා තුලින් භින්නෝන්මාදය රෝග නිර්ණය කල අයුරු මට එම අවස්ථාවේදී සිහිපත් විය​. 

කන්සල්ටන්ට් උමතුව විසින් බොහෝ තරුණ වෛද්‍යවරුන්ව නොමග යවා තිබේ. කන්සල්ටන්ට් ලේබලය ලැබීමෙන් පසු තමා සියල්ල දත් අයෙකු ලෙස සිතා කිසිවක් හදාරන්නේ නැතිව කිසිදු පරියේෂණයක් නොකොට මවා ගත් ගාම්භීර භාවයකින් තමන් ගේ හීන ලෝක වල ජීවත් වන මේ වෛද්‍යවරු පොළවට පතිත වන්නේ ෆ්‍රොයිඩ් ගැන , ඩෙරිඩා ගැන ලැකාන්ලා ගැන කජු කිරි කොල්ලෙක් ප්‍රශ්න කල විටදීය​. එතෙක් ඔවුන් තමා සර්වඥ කියා සිතාගෙන සිටිති. 

වෛද්‍ය රුවන් එම් ජයතුංග

Saturday, September 24, 2016

ඩිට්‍රොයිට් හි සැඳෑවක්



මාර්ගය පාළුය​. මග දෙපස විශාල කඩ සාප්පු වසා තිබේ. බොහෝ සාප්පු හිස් ය​. සමහර විශාල සාප්පු වල බදු දීමට තිබේ කියා බෝඩ් ගසා තිබේ. එහෙත් ඒවා බදු ගෙන ව්‍යාපාර පවත්වාගෙන යාමට කෙනෙකු නැත​. මුදල් නොමැති නගරයක  ව්‍යාපාර කරගෙන යන්නෝ කවරහුද ? 

පදිංචියට යෝග්‍ය  ප්‍රදේශ වල නිවාස වල තත්වය දුක්ඛිතය​. බොහෝ ගෙවල් පාළුවට ගොසිනි. නිවාස ණය  ගෙවා ගැනීමට නොහැකිව මිනිසුන් බොහෝ දෙනෙකු නිවාස වලින් ඉවත් කොට තිබේ. අතරින් පතර නිවාස වල මිනිසුන් ස්වල්ප දෙනෙකු සිටිති. ඔවුන් ගේ දෙනෙත් දීප්තියෙන් තොරය​. ඇතැම් විට තව නොබෝ කාලයකින් ඔවුන් ද හෝම්ලස් හෙවත් නිවාස රහිත මිනිසුන් ගේ ගොඩට වැටෙනු ඇත​. 

මහා අර්ථික අවපාත සුනාමියට අසුවූ මිචිගන් ප්‍රාන්තය හෙම්බත්ව ඇත​.  වාහන නිෂ්පාදනය මගින් රැකියා උත්පාදනය කල කර්මාන්තය බිඳ වැටෙමින් තිබේ. බොහෝ කර්මාන්තශාලා වෙනත් ජනපද වලට හෝ වෙනත් රටවලට ගෙන ගොස් ඇත​. මිනිසුන් තුල බලාපොරොත්තුවේ සේයාවන් පවා දැකීම අසීරුය​. ඇමරිකානු සිහිනය බිඳ වැටී තිබේ. 

කළු ජාතිකයන් බහුතරය ජීවත් වන ප්‍රදේශ වල අනාගතය පිලිබඳ අවිනිශ්චිතතාව සමාජ හව්හරණක් නොමැතිකම යනාදී තත්වයන් නිසා පීඩාවට පත් මුහුණු දක්නට තිබේ. සමහරු විස්කි හෝ ක්‍රැක් කොකේන් මතින් අසහනකාරී පරිසරයෙන් මිදී තාවකාලික සිහින ලෝක වල සැරිසරති. ඔවුන් බාහිර ලෝකය පිලිබඳව විමසිලිමත් නොවේ. අඩවන් වූ දෙනෙත් විඩාබර අකලට මහළු වී ගිය මුහුණු , දිරාපත් වූ ශරීර මම දකිමි.  

ඩිට්‍රොයිට් හි සමහරක් ප්‍රදේශ වලට කුලී රථ රියැදුරන් යාමට සූදානම් නැත​. මේවා මුදා නොගත් ප්‍රදේශ වැනිය​. එම ප්‍රදේශ වල මිනිස් දිවියක වටිනාකම් නැත​. තවත් ඩොලර් කීපයක් සඳහා වෙඩි උණ්ඩයක් හෝ පිහි පාරක් මගින් ජීවිතය කවර මොහොතක වූ ඩැහැගැනීමට ඉඩ තිබේ. 

සමහර ස්ථාන වල කළු තරුණයන් එක් රැස්ව බාස්කට් බෝල් ගසති. ඔවුන් ගේ ඇඳුම් අපිළිවෙලය​. සුළු වචන හුවමාරුවක් ගැන්සි යුද්දයක් දක්වා පරිවර්තනය වීමේ ඉඩකඩ තිබේ. ඔවුන් ගේ බැගී කොට කලිසම් සහ බැගී කමිස තුල ගිනි අවි සඟවාගෙන තිබෙන නමුදු ඒවා නිතර පත්තු වේ. සෙල්ලම් කරන ඔවුන් අමුත්තෙකු වූ මා දෙස බලති. මම ඔවුන් ගේ දර්ශන පථයෙන් ඇදී යමි. තැනින් තැන නැවැත්වූ පැරණි ෆෝඩ් , Chevrolet වාහන මම දකිමි. සමහර වාහන වල රෝද පවා නැත​. ඉදිරි මාර්ගය භූත නගරයක ලකුණු පෙන්වයි. 

පසුගිය හැට වසර තුල ඩිට්‍රොයිට් හි ජනගහනය 63 % කින් අඩුවී තිබෙන බවට වාර්තා වේ. වීථි ලාම්පු වලින් 40 % අක්‍රිය ය​. නිවාස හැත්තෑ අට දහසක් පමණ නිවැසියන් ගෙන් තොර අතර ඩොලර් 500 කට වූවද නිවසක් මිලට ගත හැකිය​. ළමා ජනගහනයෙන් 60 % දරිද්‍රතාවයෙන් පෙලේ.  විරැකියාව , දුගී බව , අපරාධ ඉහලයාම් යනාදී සමාජ ගැටළු වලින් ඩිට්‍රොයිට්වාසීන් පීඩා විඳිති . එහෙත් ඩිට්‍රොයිට් රිවර් ෆ්‍රන්ට් වැනි ප්‍රදේශ වල ධනවතුන් ජීවිතය වින්දනය කරති. ආදායම් විශමතාවන් පැහැදිලිව පෙනේ. ආර්ථික අවපාතය මාරුතය ඔවුන් වෙත ලඟාවී නොමැති හැඩය​. අලංකාර නිවාස , අලංකාර මාවත් , සැඳෑ සාද දක්නට තිබේ. දුගී ඩිට්‍රොයිට් සහ ධනවත් ඩිට්‍රොයිට් වෙන් කරන අදිසි බර්ලින් තාප්පයක් තිබේ කියා මට සිතේ. 

ධනවාදයේ සියළු අයහපත් ලක්‍ෂණ මම ඩිට්‍රොයිට් හිදී දුටුවෙමි. මයිකල් මුවර් පැවසූ අනාවැකි ක්‍රමක් ක්‍රමයෙන් තත්‍ය වෙමින් පවතියි. එය භයානකය. සැබවින්ම එය භයානකය.
ප්‍රජා පීඩක සමාජවාදය නිසා මස් රාත්තලක්, සීනි කිලෝවක් ගැනීමට පෝලිම් වල පැය ගනන් සිටි මිනිසුන් මගේ මතකයට නැගේ. හිමෙන් පිරි පාරවල් වල ඔවුන් පෝලිම් ගැසී සිටින්නේ අතෘප්තිමත්වය​. පර්තින්නය හෙවත් පක්‍ෂ සාමාජිකයන් පෝලිම් වල නැත​. ඔවුන් ගේ නිවෙස් වල අත්‍යාවශ්‍ය භාණ්ඩ තිබේ. පීඩාවට පත් වී සිටින්නෝ සාමාන්‍ය ජනතාවය​.   

ජීවිතයේ එදිනෙදා අවශ්‍ය වන භාණ්ඩ හිඟ වන විට මිනිසුන් නොසන්සුන් වෙති. ඔවුන් ලෙනින්ට , ස්ටාලින්ට , කෘශෙව්ට , බ්‍රෙෂ්නෙව්ට , ගර්බශෝව්ට බනිති. සාප කරති. ඒ අතරවාරයේ පෝලිම පනින්නෙකු ආ විට සියළුදෙනාගේම කෝපය ඔහු හෝ ඇය වෙත යොමු කෙරේ. මෙසේ පැය තුන හතරක්  පෝලිමේ සිට පාරිභෝගික භාණ්ඩයක් මිලට ගත් විට මිනිසුන් මොහොතකට ජීවිතයේ ඒකායන සතුට විඳිති. එහෙත් ඊලඟට එලැඹෙන මොහොතේදී එම සතුට අතුරුදහන් වේ. හෙටත් පෝලිමේ සිටිය යුතුය​. 

සමාජවාදය යටතේත් ධනවාදය යටතේත් මිනිසුන් විඳවනවා මම දිටිමි. මෙම සමාජ ආර්ථික විඳවීම් අවසන් කරන තෙවැනි මානුශිකවාදී ක්‍රමයකට අප යා යුතුය​. 

වෛද්‍ය රුවන් එම් ජයතුංග 

Friday, September 23, 2016

එස්.එච්.ඕ

 


එස්.එච්.ඕ යනු නේවාසික වෛද්‍යවරු හෙවත් ඉන්ටර්න්වරුන් ගේත්  විශේෂඥ වෛද්‍යවරයාගෙත් අතරමැදියාය​. එම නිසා ඔහු හෝ ඇය ඉන්ටර්න්වරුන් ගේත් විශේෂඥ වෛද්‍යවරයාගෙත් කුණු කොන්ත්‍රාත් වලට මැදිව තැලේ. 

මම නේවාසික වෛද්‍යවරයෙකු වූ සමයේ අපගේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරීන් වූයේ වෛද්‍ය ෆාහීම් , වෛද්‍ය වොලීඩ් සහ වෛද්‍ය ජිෆ්රිය​. මින් වෛද්‍ය ෆාහීම් තුල දක්‍ෂ ශල්‍ය හැකියාවන් තිබූ අතර ඔහු ශල්‍ය විශේෂඥවරයෙකු වූයේදැයි නොදනිමි. සමහර විට පීපී කිරීමේ අභිලාෂය නිසා ඔහු ශල්‍ය විශේෂඥවරයෙකු වීමේ අභිලාශය අත් හරින්නට ඇත​. වොලිඩ් නාරි හා ප්‍රසව ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරියෙකු වූ අතර බොහෝ විට ඩී ඇන්ඩ් සී හෙවත් Dilation and curettage (D&C)  කරන විට  curette එකෙන් ගර්භාෂය සිදුරු කරයි. මේ නිසා ඩී ඇන්ඩ් සී එක එසැනින් ලැපරටොමියක්  ( laparotomy) බවට පත්වේ. මේ නිසා වොලිඩ් සමග වැඩ කිරීමේදී ඉන්ටර්න්වරු කන් කෙඳිරි ගෑවෝය​. එහෙත්  වෛද්‍ය ජිෆ්රි ජොලි  එස්.එච්.ඕ කෙනෙකි. ඔහු සමග වැඩ කිරීම විනෝදජනකය.

මම  විශේෂඥ නාරි හා ප්‍රසව වෛද්‍ය අජිත් සේමසිංහ මහතාගේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරී වූයෙමි. මේ කාලය තුල ඉන්ටර්න්වරු පරම්පරා තුන හතරක්  සමග මම වැඩ කලෙමි. 

නාරි හා ප්‍රසව අංශය ඉතා කාර්‍ය බහුල ඒකකයකි. ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරී ලෙස මම සතියේ දවස් හයක් නොකඩවා දිවා රාත්‍රී වැඩ කලෙමි. එස් එච් ඕ කාලයේ හරි හැටි නින්දක් ලැබෙන්නේ නැත​. මේ කාලයේදී එක දිගට පැය හතරකට වඩා නිදා ගැනීමේ භාග්‍ය මම නොලද්දෙමි. මට නිවාඩුවක් තිබුනේ අඟහරුවාදා දිනවල සවස පහෙන් පසුව පමණි. එහෙත් බදාදා උදේ අට වන විට වාට්ටුවේ සිටිය යුතු විය​.  

එස්.එච්.ඕ ලෙස මට සීසර් ශල්‍යකර්ම  මෙන්ම අනෙකුත් සුළු සහ මධ්‍ය ප්‍රමාණයේ ශල්‍යකර්ම කිරීමට සිදු විය​. මේ කාලය තුලදී මම සීසර් ශල්‍යකර්ම 723 ආසන්න ප්‍රමාණයක් කලේ එකම මාතෘ මරණයක් නොමැතිවය​. මට පෙර මෙම එස් එච් ඕ තනතුරේ සිටි වෛද්‍ය  නිලධාරියාට මාතෘ මරණ දෙකක් සඳහා අමාත්‍යංශය විසින් විමර්ශන  සිදු කොට තිබුනි.  මේ නිසා අතුරේ යන්නක් මෙන් බොහෝ ප්‍රවේසමෙන් වැඩ කිරීමට අපට සිදු විය.  එබැවින් කම්මැලි ඉන්ටර්න්වරු සුරතල් කර කර සිටීමට වේලාවක් නොවීය​. 

ඒ කාලයේ වැඩ මග හරින මව්වරුන් ගේ ජීවිත අවදානමේ හෙලන නේවාසික වෛද්‍යවරුන්ට මම තදින් සිටියෙමි.  මව්වරුන් ගේ ජීවිත බේරාගනු වස් සමහරක් පුද්ගලයන්ට වාචික ඩෝස් දීමට සිදු විය මේ නිසා අද වූවද මාගේ පැරණි ඉන්ටර්න්වරු සමහර දෙනෙක් මා සමග හිත නොහොඳය​. එහෙත්  වාචික ඩෝස් නිසා තමන් ඉතා ඉක්මනින් නේවාසික වෛද්‍ය ක්‍රමයට අනුගත වූ බව කියමින් වරක් වෛද්‍ය බාස්කරන් පසු කාලයක උතුරු කොලඹ ශික්‍ෂණ රෝහලේදී මා හමුවී මට ස්තූති කලේය​. 

 සමහර  එස්.එච්.ඕ ලා විශේෂඥ වෛද්‍යවරයාට ඉන්ටර්න්වරුන් ගේ වැරදි ගැන කේලම් කියති . සමහරක් විට ඔවුන් ගේ නේවාසික වෛද්‍ය කාලය දීර්ඝ කරවති. බොහෝ  එස්.එච්.ඕ ලා කරන දෙයක් වූ බොස්ට කේලාම් කීම මම කිසිදින නොකලෙමි.මගේ ප්‍රතිපත්තිය වූයේ වරදක් දුටු විට ඒ අවස්ථාවේදීම අදාල පුද්ගලයාට බැන වැදී වරද නිවැරදි කිරීමයි. මා නේවාසික වෛද්‍යවරුන් ගැන කේලම් නොකී බව නාරි හා ප්‍රසව විශේෂඥ වෛද්‍ය අජිත් සේමසිංහ මහතා අද දිනයේ වූවද සාක්‍ෂි දරනවා ඇත​. 

ඉන්ටර්න්ලා විවිධාකාරය සමහර ඉන්ටර්න්ලා දක්‍ෂය. සිද්දාන්ත මෙන්ම ප්‍රායෝගික දැණුමෙන් අනූනය​. එවැනි ඉන්ටර්න්ලා සමග වැඩ කිරීම තෘප්තකරය​. සමහර ඉන්ටර්න්ලා  තියරිකාරයන් වෙති. එහෙත් ප්‍රායෝගික දැණුම නැත​. වරක් මෙවැනි ඉන්ටර්න්වරයෙක් කැතීටරයකින් රෝගී කාන්තාවකගේ මුත්‍රා ඉවත් කිරීමට ගොස් එය කිරීමට නොහැකිව අසරණ හඞකින් මිඩ් වයිෆ් කෙනෙකුගෙන් උදව් ඉල්ලුවේය​. 

සමහර ඉන්ටර්න්ලා ගල් ආඳන්‍ ය​. හදිසියේ රාත්‍රියක ප්‍රසූතිය කරන මාතාවකට අසාධ්‍ය වී කෝල් පොත ආ විට එය ආපිටටම ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරියාට එවති. වරක් කෝල් පොත ආ විට රෝගියා නොබලා කෝල් පොත ආපිට මට එවූ ඉන්ටර්න්වරියකට මම තරයේ අවවාද කලෙමි. 

සමහර ගල් ආඳන්‍ ඩියුටි වෙලාවේ අතුරුදහන් වී යයි. සමහරු යන්නේ පෙම්වතිය බැලීමටය​. සමහරු ගෙදර ගොස් දෙමාපියන් බලා කෑමට දෙයක් අරගෙන එයි.  මොවුන්ට ඇතැම් අවස්ථා වලදී මම උදව් කලෙමි. ඔවුන් එන තෙක් මම වාට්ටුව බලා ගත්තෙමි. මෙය කලේ විශේෂඥ වෛද්‍යවරයාට හොරෙනි. එහෙත් සමහර ගල් ආඳන් පනින්නේ නේවාසික වෛද්‍ය කාලයේ පීපී කිරීමටය​. මෙය නීති විරෝධී මෙන්ම සදාචාර විරෝධී ක්‍රියාවක් ද විය​. එවැනි පුද්ගලයෝ මගෙන් බුරුලක් ලද්දේ නැත​. 

සමහර විට කොන්ෆිඩන්ස් හෙවත් ප්‍රතිහානය අඩු ඉන්ටර්න්වරු සෑම දෙයකටම එස් එච් ඕ ට කතා කරති. රෝගියාගේ රුධිර පීඩනය යන්තම් අඩු වුවහොත් ඒ සඳහා සුදුසු ප්‍රතිකාරයක් නොදී කෙලින්ම එස් එච් ඕ ට දැණුම් දෙති. මෙවැනි  ප්‍රතිහානය අඩු ඉන්ටර්න්වරියක් පැය භාගයකට වරක් මා අමතා රෝගීන් ගැන වාර්තා කලාය​. ඇය රාත්‍රී ඩියුටි කරන විට මම නොනිඳා අපගේ නිල නිවාසයේ සිටි වෛද්‍ය ගෝවි , වෛද්‍ය මාංජේෂ්ඨ පීරිස් හෝ වෛද්‍ය විල්සන් පීරිස්ව රාත්‍රියේ කතාවට අල්ලාගෙන සිටින්නෙමි. 

තවත් සමහරක් ඉන්ටර්න්ලා  මහ ඇමති ඉවත් කොට තක්සේරු නිලධාරියා වූ දර කපන්නා වැනිය​. ඔවුන් රෝගියා ගැන විස්තර කරන විට අසන අසන ප්‍රශ්නයට කියන්නෙ ඉන්න මම බලලා කියන්නම් කියාය​. රෝගියාගේ තත්වය ගැන තුලනයක් කිරීමට ප්‍රශ්න සියයක් ඇසිය යුතුය​. අසන සෑම ප්‍රශ්නයකටම ඉන්න මම අහලා කියන්නම් නැතහොත් බලලා කියන්නම් කියයි. එසේම වැදගත් දත්ත කියන්නෙ නැත​. කියන්නේ වැල්වටාරම් ය​. 

වරක් රුහුණ වෛද්‍ය පීඨයේ  වසර ගනනාවක් ක්‍රොනික් වූ ඉන්ටර්න්වරයෙක් අපගේ අංශයට ආවේය​. මට ඔහු සමග යලිත් වරක් නේවාසික වෛද්‍ය  සමය ගත කරන්නට සිදු විය​.  එක්ව රක් ඔහු ඝර්භාශයේ ගෙල වසා ගැටයක් දමා තිබූ ගැබිනි මවකට සින්ටෝ දී ප්‍රසවයක් කිරීමට ගියේය​. එදින මා ලේබර් රූම් එකට නොගියේ නම් ශිරොද්කා ගැටය ලෙස හඳුන්වන ස්වභාවික ගබ්සා වීම වලක්වන ඝර්භාශයේ ගෙල වසා ගැටයක් දමා තිබූ ගැබිනි මවගේ ගර්භාෂය පුපුරා ඇය මිය යනු ඇත​. වේදනාවෙන් දඟලමින් සිටි ගැබිනියගේ ඝර්භාශයේ ගෙල වසා තිබූ ගැටය කපා වහාම ඇයව ශල්‍යකර්මයකට ලක් කොට ජීවිත දෙක මම බේරාගත්තෙමි. ඉන් පසුව ශ්‍යල්‍යාගාරයේ  පසෙකට ඔහුව කැඳවා බඩපුරා බැණුම් සංග්‍රහයක් දුන්නෙමි.  

තවත් වරක් ඔහු බ්‍රීච් හෙවත් හිස නොව තට්ටම්  ගැබ් ගෙල දෙසට යොමුවී ඇති සහ සක්‍රිය ප්‍රසවයකට සූදානම් වූ මවකට ඒආර් එම් හෙවත් artificial rupture of membrane කලේය​. මේ නිසා භෘණ මරණය වූවද සිදු විය හැකිය​. මෙම කාන්තාවද වහාම ශ්‍යල්‍යාගාරයට ගෙන ගොස් මවද දරුවාද බේරාගත්තෙමි.  එදිනද ඔහු මගෙන් බඩ පුරා බැණුම් ඇසීය​. නමුත් කම්මලේ බල්ලාට මෙන් බැණුම් ඔහුට වගක් නොවීය​. අවසානයේදී මම ඔහුගේ පසු පසින්ම සිටිමින්  ඔහුගේ වැඩද කලෙමි. මේ අනුව මට දෙවරක්ම ඉන්ටර්න් කාලයක් ලැබුනේය​. 

ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරී තනතුර ඉතා පහසුවෙන් සතුරන් සදා ගත හැකි තනතුරකි. දුවමින් පනිමින් නිබඳව වැඩ කරන විට අලසයන් ඊට එදිරි වෙති. හදිසි සීසර් ශල්‍යකර්මයක් සිදු කිරීමට අවශ්‍ය වූ විට ශල්‍යාගාරය ශල්‍ය වෛද්‍ය විශේෂඥවරයාගෙන් ඉල්ලා ගැනීමට යන විට ඔහු බනින්නේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරීයාටය​. ඒ කාලයේ රෝහලේ ශල්‍ය වෛද්‍ය විශේෂඥවරයා වූ වෛද්‍ය බදුර්ඩීන් මහතා මාව දකින විට ඉවත බලා ගනී. එසේම අවේලාවේ හදිසි සීසර් එකක් ශල්‍යාගාරයට ගෙන ගිය විට සමහර හෙදියෝ මුහුණ එල්ලා ගනිති. හරියට ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරී තමන් ගේ අක්කා සීසර් කිරීමට ගෙදරින් ගෙනාවාක් මෙනි. 

වරක් රාත්‍රියක හෙදියන් සීසර් එකකට සහයෝගය දීමට අදිමදි කරමින් පස්ස ගසන විට මම මේ ගැබිනි මාතාව කුලියාපිටිය රෝහලේ හෙදියකගේ සෝයුරිය යැයි බොරුවක් කියා අවශ්‍ය උපකරණ ගෙන මම සීසර් එක කලෙමි. පසුව එම මාතාවගෙන් සත්‍ය හෙලිවූ පසු අලස හෙදියෝ මට දෙහි කැපුවෝය​. සද් භාවයෙන් බොරුව කියූ නිසා මම එම බැණුම් ගනනකට නොගත්තෙමි. 

අපගේ රටේ ක්‍රමය සැකසී තිබෙන්නේ  more work more trouble - less work less trouble කියාය​. මේ නිසා අධිකව වැඩ කරන එස් එච් ඕ පොදු සතුරෙකි. එහෙත් එස් එච් ඕ වැඩ කරන තාලයටම තෘප්තියකින් යුතුව වැඩ කල ඉන්ටන්වරු , හෙදියෝ , මිඩ් වයිෆ්ලා  සිටි අතර මම ඉතා සතුටින් විහිළුවෙන් විනෝදයෙන් ඔවුන් සමග වැඩ කලෙමි.  මේ නිසා  එස්.එච්.ඕ සමය තුල සතුටින් ආවර්ජනය කල හැකි මතක සටහන් බොහෝ වෙති. 


වෛද්‍ය රුවන් එම් ජයතුංග 

Thursday, September 22, 2016

ජයවර්ධන සර්





අට වසර සමත් වීමෙන් පසු 1981 දී අප නවය වසරට ගියෙමු. නවය වසර පන්ති තිබුනේ අපර්ස් ස්කූල් ලෙස හඳුන්වන ඉහල විද්‍යාල කොටසේ ස්කෝ බෝඩ් එක අසල දෙමහල් ගොඩනැගිල්ලේය​. මෙම  කොටස භාර ආචාර්‍යවරයා වූයේ පී.ඩී.ඩබ් ජයවර්ධන මහතාය​. 

නවය පන්ති වලට ආ මුල් සතියේදී අපගේ පන්තියේ ළමුන් විද්‍යාගාරයට පෝලිම් ගැසී ගියහ​. පෝලිම මැද සිටි මම නෝන්ජල් සහ අහිංසක සිසුවෙකු වූ ජනක පෙරේරාව තල්ලු කලෙමි. ජනක විසිවී ගොස් මාළු කටා හෙවත් ජයානන්ද ගේ ඇඟ  හැපුණි. ජයානන්ද තම මත්ස මුඛය ඇර කෑගැසූ හෙයින් ජයවර්ධන සර් තම කාර්‍යාලයෙන් පිටතට විත් නඩු ඇසුවේය​. එදින ජයවර්ධන මහතාගේ වේවැල මගේ පිට සිප ගත්තේය​. 

1981 වසරේ ජනවාරි මාසයේ සිට   1982  දෙසැම්බර් මාසය දක්වා අප  ජයවර්ධන මහතා යටතේ සිටි අතර මෙම කාලය තුලදී මම එතුමාගෙන් කෙටි කෑම , බත් පැකට් පමණක් නොව බුරියානි පවා සංග්‍රහ  වින්දෙමි. 

මම ජයවර්ධන  සර් ගේ විද්‍යාව ටියුෂන් පන්තියටද ගියෙමි එහෙත් ගුටි දීමේදී විශේෂත්වයක් නොලැබුණු බව කිව යුතුය​. ජයවර්ධන මහතා දක්‍ෂ විද්‍යා ගුරුවරයෙකි අප අපොස සාමාන්‍ය පෙළ විද්‍යාව ගොඩ ගියේ එතුමා නිසාය​. එසේම ඇඩ්‍රිනෝකෝර්ටිකෝට්‍රොපික් යන හෝමෝනයේ නම මුල් වරට මම උගත්තේ එතුමාගෙනි. 

වර්තමානයේ යෝක් විශ්ව විද්‍යාලයේ සහ හාවර්ඩ් විශ්ව විද්‍යාලයේ පරියේෂකයන් සමග  පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාවය  සහ එහි බලපෑම පිලිබඳව ඉගෙනගන්නා අතර එම අක්‍රමතාවය නිසා සිදු වන හෝමෝන වෙනස්වීම් පිලිබඳවද අප අධ්‍යනය කරන්නෙමු. මෙම හෝමෝන අධ්‍යනයේ මගේ  තිඹිරි ගෙය වූයේ ජයවර්ධන සර් ගේ ටියුෂන් පන්තියයි. 

ජයවර්ධන මහතා පාසලේ පරිපාලන කටයුතු වලට මැදිවී සිටි නිසා පාසලේදී අපට විද්‍යාව ඉගැන්වීමට ආවේ වෙනත් ගුරුවරුන් ය​.  මෙම ගුරුවරුන් උගන්වන විට මම , ඩබල් එන් පී රත්නායක , සකලසූරිය , ලියනපතිරණ , කපිල ජාසිංහ යනාදී සිසුන් පන්තියේ කෑ ගසා ජයවර්ධන සර් ගෙන් තරවටුවක් ලැබුවෙමු. 

දහය වසරේදී අප  තක්‍ෂිලා ගොඩනැගිල්ල ආසන්නයේ අලුතින් විවෘත කරන ලද මහල් ගොඩනැගිල්ලට ගියෙමු. සියළු දහය වසර පන්ති තිබුනේ මෙම ගොඩනැගිල්ලේය​. එම අංශය භාර වූයේ ජයවර්ධන මහතාටය​. එම නිසා මෙම අංශය ජයවර්ධනපුරය ලෙස හඳුන්වන ලදි. මේ කාලයේ අප සිංහල විෂයට මනුතාපය ඉගෙන ගත් හෙයින් ජයවර්ධන සර්ට ජනවර්ජන සර් කියා කීවෙමු. 

අපගේ පන්තිය තිබුනේ තෙවන මහලේ කොනේය​. වරක් අමරබන්දු අයියා ඇතුළු ශිෂ්‍ය නායකයන් කිත්‍යාකාර පාරේ අසල ගේට්ටුව ලඟ සිටියදී මම මීයා හෙවත් රජිත් සමග ප්‍රමාද වී පැමිණි සිසුන්ට අපගේ පන්තියේ කොරිඩෝවේ සිට සූ සූ ගෑවෙමු. මින් නොනැවතුනු  මීයා තමාගේ දකුණු අතේ මැද ඇඟිල්ලත් දබර ඇඟිල්ලත් එකතු කොට යම් සංකේතයක් ශිෂ්‍ය නායකයන්ට පෙන්වූ  හෙයින් ශිෂ්‍ය නායකයන් ආවේගශීලීව අපගේ පන්තියට විත් මාවත් මීයාවත්  අත් අඩංගුවට ගෙන ජයවර්ධන සර් වෙත ගෙන යන ලදි.   

එදින ජයවර්ධන සර් අපගේ අත්ල වල් වලට වේවැල් පහර තුන බැගින් දුන්නේය​. අන්තිම වේවැල් පහර මගේ අත්ලට දී " තමුසෙට මාර ධන රේඛාවක් තියෙනවනේ ඕයි " කීවේය​. 

ජයවර්ධන මහතා ළමුන්ට පහර දෙන්නේ කෝපයෙන් නොවේ. එසේම සමහර ගුරුවරු මෙන් පරපීඩක ආශාවකින් ද නොවේ. දඞුවම දීමෙන් පසුව එතුමා ළමයා සමග සංවාදයේ  යෙදී කල වරද අවබෝධ කර දෙයි. 

මීයාට වේවැල් පාර දීමේදී මීයා වේවැල ඇල්ලූ හෙයින් ජයවර්ධන මහතා මීයා අතටම වේවැල දුන්නේය​. ඉන් තැතිගත් ඔහු වේවැල යළි ජයවර්ධන සර්ට දුන්නේය​. නැවත වේවැල් පහර දීමට යත්ම ඔහු වේවැල ඇල්ලුවේය​. යලිත් ජයවර්ධන මහතා මීයා අතටම වේවැල දුන්නේය. මෙලෙස කිහිප වාරයක්ම වේවැල දෙදෙනා අතින් අතට ගොස් අවසානයේදී ජයවර්ධන සර් සිනාසෙමින් මීයාව කාර්‍යාලයෙන් එලවා ගත්තේය​.  මීයා වර්තමානයේ ටෙලි නාට්‍ය නළුවෙකි. 

මෝටර් බයිසිකලයක නැගී ජයවර්ධන සර් පාසලට එන අතර සමහර දින වලදී මෝටර් බයිසිකලයෙන්ම ගොස් පාසලෙන් කට්ටි පැන්න කොල්ලන් රැගෙන එයි. වරක් අපගේ පන්තියේ බුද්ධික නානයක්කාර ස්කූල් කට් කොට මවුන්ට් මේරි පාරේ යමින් සිටියේය​. තම මෝටර් බයිසිකලයෙන් සද්ද බද්දයක් නැතිව නියුට්‍රල් එකේ කන්ද බසිමින් ආ ජයවර්ධන සර්  බුද්ධික නානයක්කාරගේ බෙල්ලෙන්ම අල්ලා ගත්තේය​. 

ජයවර්ධන සර් ගෙන් අවසන් වතාවට මම කෑවේ අපොස සාමාන්‍ය පෙළ අවසන් විභාගය දිනයේදීය​. විභාගය අවසානයේදී ලියනපතිරණ රතිඥාවක් පත්තු කල අතර එයට අසු වූයේ මාවය​. නමුත් පසුව මොරේ ඉදිරිපත් වී රතිඥාව දැමුවේ මා නොව ලියනපතිරණ බව කීවේය​. ඒ වන විට ලියනපතිරණ අහලකවත් නොවීය​. නඩුව ලබන වාරයේ අසන බව විදුහල්පතිතුමා කීවද එය සිදු වූයේ නැත​. 

විදේශගතවී අධ්‍යාපනය ලබන විට වරක් 1988 කාලයේ නිවාඩුවකදී මම නාලන්දාවට විත් ජයවර්ධන මහතාව හමු වූයෙමි. එතුමා මාව ආදි සිසුවෙකු ලෙස සාදරයෙන් පිළිගත්තේය​. 

මේ කාලයේ ජවිපෙ දෙවන කැරැල්ල ආරම්භව තිබූ අතර නාලන්දාවේ සමහර සිසුන් මෙම සිසු ව්‍යාපාරයට බැඳී පාසල තුල පෝස්ටර් ගැසීම බිත්ති වල තීන්තෙන් ලිවීම වැනි ක්‍රියා කරමින් තිබුනේය​. 

ජයවර්ධන මහතා පාසල පිරිසුදු කිරීමට මහත් වෑයමක් ගෙන තිබුනේය​. එසේම අධ්‍යාපනය අඩාල කරගෙන රැඩිකල් සිසු ව්‍යාපාර වෙත යොමුවී දේපළ ජීවිත විනාශ කරමින් අයාලේ ගිය සිසුන් කෙරෙහි කණගාටුවකින් යුතුව කතා කලේය​. අපගේ වානිජ සහ ගිනුම් ගුරුවරිය වූ කරුණාරත්න ටීචර් ගේ පුතාද මෙම සිසු ව්‍යාපාරයේ නායකයෙකු විය​. යම් දිනෙක මෙම සිසුන්ට අධ්‍යාපනය අඩාල කර ගැනීමේ පාඩුව අවබෝධ වනු ඇතැයි එදා එතුමා මා සමග කීවේය​. 

පසුකාලීනව මෙලෙස කපටීන්ට රැවටී අධ්‍යාපනය අඩාල කරගෙන අත් අඩංගුවේදී ලැබූ වද හිංසා නිසා මානසිකව රෝගීවී ඉච්චා භංගත්වයට පත්වූ පුද්ගලයන් ගනනාවකට පසුකාලකදී මම ප්‍රතිකාර කලෙමි. ඒ අවස්ථා වලදී 1988 වසරේදී මොවුන් සම්බන්ධයෙන් ජයවර්ධන මහතා කියූ අණාවැකිය මට සිහිපත් විය​. 



වෛද්‍ය රුවන් එම් ජයතුංග 

Tuesday, September 20, 2016

වැළිකඩ ගමන







වැළිකඩ රැඳවියන් සඳහා උපදේශන වැඩසටහන්  පවත්වන ලෙසට නීති ආධාර කොමිසමේ සභාපති එස් එස් විජේරත්න මහතා මගෙන් ඉල්ලා සිටියේය​. එම ඉල්ලීම සපුරාලනු වස් මම වැළිකඩ  ස්ත්‍රී සහ පුරුෂ රැඳවියන් සඳහා උපදේශන වැඩ සටහන් සම්පාදනය කලෙමි. මේ සඳහා එවකට බන්ධනාගාර කොමසාරිස් වූ රූමි මර්ශුක් මහතාද නීති ආධාර කොමිසමේ නීතීඥවරියක වූ හේමමාලී අමරසිංහ මියද ඉතා අගනා සහයෝගයක් දුන්නෝය​. 

බන්ධනාගාර ගතවූවන් තුල බොහෝ මානසික රෝගී තත්වයන් දක්නට තිබේ. දැඩි ක්ලමථ තත්වය, විශාදිය , සමායෝගී ආබාධ මෙන්ම සමහර විට මනෝ ව්‍යාධික  රෝග වූ භින්නෝන්මාද තත්වයන් ද මොවුන් කෙරෙන් දැකිය හැකිවේ. මේ හේතුවෙන් බොහෝ රැඳවියන්  ප්‍රචණ්ඩ චර්‍යාවන් සහ මත් ද්‍රව්‍ය භාවිතයට යොමු වෙති. මොවුන් සඳහා ක්‍රමවත් මනෝ චිකිත්සනය , ඖෂධ ප්‍රතිකාර සහ මනෝ උපදේශනය අවශ්‍ය කෙරේ. 

බන්ධනාගාර ගතවීම නිසා බොහෝ රැඳවියන් මානසිකව කඩා වැටී විශාද ලක්‍ෂණ පෙන්වූහ​. අපි මෙවැනි කොටස් සඳහා උපදේශනයෙන් සහාය වූයෙමු. සමහරුන් තුල දිවි නසා ගැනීමේ  යොමුවද සෙල්ෆ් හාම් හෙවත් තමාට ශාරීරික පීඩා එනම් සිරුර කපා ගැනීම , හිස බිත්ති වල තදින් ගැසීම වැනි චර්‍යා වල යෙදීමේ යොමුවද තිබෙන බව මම නිරීක්‍ෂණය කලෙමි. 

පොලිස්  නිලධාරියෙකු විසින්  බොරුවට මත්ද්‍රව්‍ය නඩුවක් ගොනු  කර  සිරගත කොට සිටි යුවලකට මම උපදේශනයෙන් සහාය වූයෙමි.  දෙමාපියන් නොමැතිව ඥාතිවරයෙකුගේ සෙවනේ සිටින ඔවුන් ගේ කුඩා දරුවන් දෙදෙනා ගැන සිතා ඔවුන් කම්පා වූහ​. එසේම මිනී මැරුමක් නිසා ජීවිතාන්තය දක්වා දඞුවම් ලබා සිටි කාන්තාවක් තුල තිබූ තදබල විශාද තත්වයද මම නිරීක්‍ෂණය කලෙමි. පසුව මෙම කාන්තාව   විශේෂඥ මනෝ වෛද්‍ය නීල් ප්‍රනාන් දු මහතාට යොමු කරවීමට අප විසින් පියවර ගත්තෙමු. 

බන්ධනාගාර කොමසාරිස්  රූමි මර්ශුක් මහතා මාරු වී යාමෙන් පසුව එම තනතුරට පත් වූ ජෙනරාල් වජිර විජේගුණවර්ධන මහතාද මෙම උපදේශන වැඩසටහන් සඳහා අපට උපකාර කල බව මෙහිදී කිව යුතුය​. 

සිරකරුවෝද ඔබ මම මෙන් මිනිසුන් වෙති. අප හා ඔවුන් අතර විශාල වෙනසක් නැත​. 


වෛද්‍ය රුවන් එම් ජයතුංග 


Sunday, September 18, 2016

ළමා සොල්දාදුවා

 



2004 වසරේදී පමණ මම චිත්‍ර ප්‍රතිකාර කියා වැඩ පොතක් එළි දැක්වූයෙමි. මෙම පොත චිත්තාවේගීය ගැටළු තිබූ ළමුන් සඳහා Expressive Therapy  හෙවත් ප්‍රකාශාත්මක චිකිත්සා සඳහා යොදා ගත හැකිය​. මේ පොත මුද්‍රණය කොට බෙදා හරින ලද්දේ කඳානේ ANL ප්‍රකාශකයන් විසිනි. 

චිත්‍ර ප්‍රතිකාර පොත පළවී ස්වල්ප කාලයකට පසු ළමා ආරක්‍ෂක අධිකාරියේ නිලධාරිනියක් මා අමතා මෙම පොත දැනට හමුදාවට භාර වූ හෝ අත් අඩංගුවට පත් වූ එල්.ටී.ටීඊ ළමා සොල්දාදුවන් සඳහා ප්‍රතිකාරාත්මක මාධ්‍යක් ලෙස සාර්ථකව භාවිතා කරන බව දැන්වීය​. එය  එල්.ටී.ටීඊ ළමා සොල්දාදුවන් සමග මගේ ප්‍රථම සායනික අත්දැකීම විය​. 

පසු කාලයක බොහෝ මානසික  ව්‍යාධි තිබූ  එල්.ටී.ටීඊ ළමා සොල්දාදුවන් මට හමු විය​. ඒ අත්දැකීම් මත මම මහාචාර්‍ය දයා සෝමසුන්දරම් සමග පරියේෂණ පත්‍රිකාවක් ලියූවෙමි. එය කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලය මගින් ප්‍රකාශයට පත් කරන ලදි. 

2011 වසරේදී මට කැනඩාවේ යෝක් විශ්ව විද්‍යාලයේදී ජෙනරාල් රොමියෝ ඩැලා මුණ ගැසුනේය​. ඔහු රුවන්ඩාවේ ජන ඝාතන සිදුවන විට සාම සාධක හමුදාවේ අණදෙන නිලධාරියා විය​. රුවන්ඩාවේ ජනඝාතන නවත්වා දැමීම සඳහා ජනාධිපති ක්ලින්ටන් කිසිවක් නොකල බවත් තමා විසින් කල ආයාචනා නොසලකා හැරිය බවත් ජෙනරාල් රොමියෝ ඩැලා මට කීවේය​. මේ හේතුවෙන් මානසික පීඩාවට ලක් වූ ජෙනරාල් රොමියෝ කැනේඩියානු යුද හමුදාවෙන් ඉවත් වී ලෝකයේ ළමා සොල්දාදුවන් තුරන් කිරීමේ සද් කාර්‍යට කැප විය​.

 මම ශ්‍රී ලංකාවෙන් කියා දැනගත් විට ඔහු ඇසුවේ එල්.ටී.ටීඊ ළමා සොල්දාදුවන් ගැනය​. 2009 යුද්දයෙන් පසු ලංකාවට විත් පුනරුත්තාපනය වන එල්.ටී.ටීඊ ළමා සොල්දාදුවන් මුණ ගැසීමට ජෙනරාල් රොමියෝ ඩැලාට අවශ්‍ය වූවද බටහිර කුමන්ත්‍රණ වලට බිය වූ අපේ මනප්පුවන් ඊට ඉඩ දුන්නේ නැත​. 

ජෙනරාල් රොමියෝ ඩැලා හමුවීමට පෙර 2009 වසරේ පමණ වූ සිදුවීමක් මම කියමි.  වරක්   මම ඩොන් මිල්ස්හි ඉන්ධන මධ්‍යස්ථානයකට ගියේ මගේ මෝටර් රථයට ගෑස් ගැසීම සඳහාය​. ඉන් පසු අදාල මුදල් ගෙවීමට මම කවුන්ටරය වෙත ගියෙමි. එම කවුන්ටරයේ  සිටියේ ලාබාල ද්‍රවිඩ තරුණයෙකි. 

මේ කාලය ප්‍රභාකරන් ගේ මරණය සිදුවී තිබූ කාලයයි. ඔහු මා සිංහලයෙකු ලෙස හඳුනා ගත් බව මට වැටහුණි. එම තරුණයා මා දෙස හෙළුවේ වෛරය  මුසු බැල්මකි. මගෙන් මුදල් ගනිද්දී ඔහු මගේ මුහුණ දෙසවත් බැලුවේ නැත​. 

ඉන්පසු මම කීප වරක්ම එම ඉන්ධන මධ්‍යස්ථානයට ගිය මුත් ඔහු මා කෙරෙහි දැක්වූයේ විරසක ප්‍රතිචාරයි. 

කිසිදු හේතුවක් රහිත මෙම අඝාත වෛරයට තිත තියනු වස් වරක් මම ඔහුට වනක්කම් කීවෙමි. මගේ ආචාර කිරීමට නිහඞව සිටීමට නොහැකි වූ ඔහු මටද පෙරළා වනක්කම් කීවේය​. මෙලෙස මම ක්‍රමක් ක්‍රමයෙන් මම අයිස් බින්දෙමි. ඉන් පසු ඔහු මට ධනාත්මක ප්‍රතිචාර දැක්වීය​. 

එක් දිනක්  මම ඉන්ධන මධ්‍යස්ථානයට යන විට ඔහු සිටියේ දුක්මුසු විලාශයෙනි. ඊට හේතුව නම් යාපනයේ සිටින ඔහුගේ පියා රෝගාතුර වී සිටීමය​. මම වහාම මහාචාර්‍ය දයා සෝම සුන්දරම් අමතා මහාචාර්‍ය  සෝමසුන් දරම් මගින් යාපනය රෝහලේ හෘදරෝග විශේෂඥ වෛද්‍යවරයා වෙත ඔහුගේ පියා යොමු කිරීමට  පියවර ගත්තෙමි. ඉන් පසු මෙම තරුණයා මා සමග මිත්‍ර විය​. 

ඔහුව මම සාති කියා පාඨකයාට හඳුන්වා දෙමි. සාති ඔහුගේ ජීවිත කතාව මා සමග කීවේය​. ඔහුගේ ගම ප්‍රභාකරන් ගේ ගම වූ වෙල්වෙටිතුරේය​. ඔහු වයස 12 දී එල්.ටී.ටියට බැඳී ළමා සොල්දාදුවෙකු විය​. වසර කීපයක් ළමා සොල්දාදුවෙකු ලෙස සිටි ඔහු නීති විරෝධී ලෙස කැනඩාවට විත් සරණාගත වීසා ඉල්ලා සිටියේය​.  වසර කීපයක් තුලදී ඔහුට සරණාගත වීසා ලැබුනේය​. ඉන් පසු ඔහු ඉන්ධන ගබඩාවේ රැකියාවක් ලබා ගත්තේය​. 

සාති ද්‍රවිඩයෙකි. ඔහු ප්‍රභාකරන් වන්දනා කරන්නෙකි. සිංහලයන් යනු මෘග ජන කොටසක් කියා සිතා සිටි අයෙකි. එහෙත් මා හමුවීමෙන් පසු සිංහලයන් අතරද යහපත් මිනිසුන් සිටින බව ඔහුට තේරුම් ගිය බව සාති කීවේය​. 

 වෛද්‍ය රුවන් එම් ජයතුංග

Friday, September 16, 2016

තුවාලේ පණුවෝ

 



දැන් ශල්‍යාගාරයට ගෙන එන රෝගියාගේ කකුලේ තිබෙන තුවාලයේ පණුවන් සිටින බව  ශල්‍ය ජ්‍යෙෂ්ඨ නිලධාරී වෛද්‍ය ෆාහිම් මට කීවේය​. මම ශල්‍ය මාස්ක් එක තද කර ගෙන අත් සෝදා  වූන්ඩ් ටොයිලට් එකට සූදානම් වූයෙමි. 

සෝමරත්න ලෙඩාව ගෙනාවේය​. ඇය මහළු කාන්තාවකි. ඇගේ මුහුණ කෝපයෙන් පිරිලාය​. බාබා යගා යකින්න මෙන් ඇය ශල්‍යාගාරයේ සියළු දෙනාට බැණ වැදුනාය​. ජීවිතය සැඳෑ සමයට එලඹ තිබුනද ජීවිත කාලයක් පුරා ඇයව දවන ලද කෝපය අවසන් වී නොමැත​. 

අහෝ නිතරම තරහින් සහ අසහනයෙන් ඉන්නා ආත්මයක්. ගෝර්කිගේ පොතක එන දුෂ්ඨ මැහැල්ල මත්‍රියෝනා මට සිහිපත් විය​. ඇය මටද නිර්වින්දන වෛද්‍ය සිරිවර්ධනටද බැන්නාය​. අපට ඌ මූ කියා බැනීම අප ගනනකටවත් ගත්තේ නැත​. මේ කාන්තාව අපගේ රෝගියෙකි. එම නිසා ඇයට ප්‍රතිකාර කල යුතුය​. 

වෛද්‍ය සිරිවර්ධන මහළු කතගේ රුධිර පීඩනය බැලුවේය​. ඉන්ටර්න් වෛද්‍යවරියක වූ මර්ශූකා වෛද්‍ය සිරිවර්ධනට කියන්නේ ඩොක්ටර් ශ්‍රී වර්ධන කියාය​. එම නිසා ඔහු අපටද ශ්‍රී වර්ධනය​. 

ශ්‍රී වර්ධන ගේ හැලොතේන් පාරෙන් මහළු කත නිසොල්මන් වූවාය​. දැන් බැනීම් සාප කිරීම් නැත. ඒ අතරවාරයේ ශල්‍යාගාර හෙදිය වූ නිල්මිණි මට සැව්ලෝන් සහ ස්ප්‍රීතු වලින් තෙමූ අඞු දෙකක් දුන්නාය​. ශ්‍රී වර්ධන ගේ සංඥාවත් සමග සෝමරත්න රෝගියාගේ වළලුකර බැඳ තිබූ කිලිටි රෙදිකඩ ඉවත් කලේය​. 

මම සෝමරත්නට කතා කරන්නේ සෝමරතන කියාය​. "කෝ මේ සෝමරතන " කියා මම අසන විට සෝමරත්න මෙන්ම හෙදියන් ද සිනාසෙති. 

පසුගිය සුමානේ විජය විද්‍යාලය ලඟදී  බයිසිකල්කරුවෙක් අපරික්‍ෂාකාරිව මගේ වාහනය ඉදිරියට ඔහුගේ සයිකලය දැමීය​. මාර්ගයේ ටයර් සලකුණ තිබෙන්නට මම බ්‍රේක් ගැසුවෙමි. බයිසිකල්කරුවාට මම බැණ වැදීමට සූදානම් වෙත්ම ඔහු වෙන අන් කවරෙක්වත් නොව තියටර් එකේ සෝමරතන බව දැක මම සිනාසුනෙමි. ඔහුද මා සමග සිනාසුනේය​. තව පොඩ්ඩෙන් මම මාතලේ පොලිසියේ රිමාන්ඩ්ගත වන අතර සෝමරතන මෝචරියට යනු ඇත​. කෙසේ නමුත් අප දෙදෙනාම වාසනාවන්ත වූයෙමු. 

මම කාන්තාවගේ තුවාලය ශුද්ද කලෙමි. එය පැතිරී ගිය මස් කුණුවූ තුවාලයකි. මම ශල්‍ය මාස්ක් එක තද කර ඇඳ සිටියද කුවිලය මගේ නාසයට වැදුනේය​. 

වෛද්‍ය ෆාහිම් ග්ලූකෝස් ද්‍රාවණයක් තුවාලයට හලත්ම තුවාලය යට සිටි පණුවෝ උඩට ආහ​. බත් ඇට වැනි පණුවන් මම ඩැහි අඬුවෙන් ඉවතට ගත්තෙමි. පණුවන් තිහක් පමණ ඇයගේ තුවාලය තුල සිටි අතර මම ඒ පණුවන් ඉවත් කොට තුවාලය ශුද්ද කලෙමි.  ඉන්පසුව සෝමරතන රෝගියාගේ තුවාලය පිරිසිදු ගෝස් පටියකින් වෙළුවේය​. 

ශ්‍රී වර්ධන හැලොතේන් නවත්වා ඇයට ඔක්සිජන් පමණක් දෙන ලදි. ක්‍රමක් ක්‍රමයෙන් ඇයට සිහිය ආ අතර සෝමරතන සහ තවත් හෙදියක් ඇයව රිකවරි කාමරය වෙත ගෙන යනු ලැබීය​. මහළු කාන්තාවට හොඳටම සිහිය ආ බව මට තේරුනේ ඇය යළිත් දොස් දෙවොල් තබමින් බැනීම නිසාය​. ඉක්බිති ඇයව වාට්ටුවට ගෙන යන ලදි. ඒ යන අතරතුරද ඇයගේ ගොරෝසු කටුක හඞ අපට ඇසුනේය​. 

මේ මැහැළියට අධික දියවැඩියාවය​. ඇයට ලබා දෙන ඉන්සියුලින් නිසා රුධිරයේ සීනි පාලනය වේ. එහෙත් ටිකට් කපාගෙන නිවෙසට ගිය වහාම ඇය සීනි කෑම අරඹනු ඇත​. එවිට තුවාලය යලිත් නරක් වේ. 

කාන්තාවගේ දියණිය ඇය අසල සිටිනු මම දකිමි. ඇය තමන්ට සාත්තු සප්පායම් කරන දියණියටද නිර්දය ලෙසින් බැණ වදින්නීය​. කටුගම්පොල මිස් මේ රෝගී කාන්තාවගේ බැණුම් ගනන් ගන්නේ නැති එක හොඳය​. සමහර විට මේ මැහැළියගේ බැණුම් හදවත දවයි. 

සුමාන දෙකක් ඇය වාට්ටුවේ සිටින්නීය​. ඇයගේ බැණුම් වලට කාර්‍ය මණ්ඩලය පමණක් නොව යාබද රෝගීන් පවා පදම් වී තිබෙන සෙයකි. ප්‍රතිජීවක දීම නිසා ඇයගේ තුවාලය යම් තරමකට හොඳය​. එහෙත් මේ සඑලත්වය දිගින් දිගටම තිබෙන්නේ නම් මැනවි. නැතහොත් ලබන වර ඇයගේ කකුල කැපීමට වෛද්‍ය ෆාහිම්ට සිදු වනු ඇත​. 


වෛද්‍ය රුවන් එම් ජයතුංග 

Wednesday, September 14, 2016

බොන පාටි

 




දොස්තරලාද කන බොන උදවිය වෙති. එහෙත් සමහර දොස්තරලා මත් පැන් කටේවත් නොතබති. මගේ ගරුත්වය ඔවුනට හිමි වේ. 

දොස්තරලාගේ මත් පැන් භාවිතය ගැන කතා කිරීමේදී ප්‍රවේසම් විය යුතුය​. මන්ද යත් එමගින් කන බොන දොස්තරලා මා සමග අමනාප විය හැකි නිසාය​.

දොස්තරලා බොහොමයක් වෛද්‍ය සිසුන් කාලයේ ඩ්‍රින්ක් දමන බව නොරහසකි. මමද වෛද්‍ය සිසුවෙකු කාලයේ මිතුරන් සමග මත්පැන් සාද වලට සහභාගී වූ බව කියන්නේ අවංකවමය​. එහෙත් මැල් මැදුරේ වෛද්‍ය මනෝජ් ප්‍රනාන්දු  සහ  ඇඩික් එකේ පුබුදු සුමනසේකර ප්‍රමුඛ නිලධාරීන් සහ මහාචාර්‍ය දියනාත් සමරසිංහ සමග පුත්තලම් දිස්ත්‍රික්කයේ මානසික සෞඛ්‍යය  සම්බන්ධීකරණ වෛද්‍ය නිලධාරී ලෙස සේවය කල සමයේ මම මත්පැන් බිඳක් වත් තොල නොගෑවේ දෙබිඩ්ඩෙකු නොවීම සඳහාය​. 

මම දැන් ජීවත් වන්නේ උතුරු ඇමරිකාවේය​. එම නිසා විශේෂ උත්සව අවස්ථා වල වයින් බිඳක් හෝ බියර් එකක් ගන්නෙමි. එම නිසා මගේ ශීලය බාගෙට කැඩී තිබේ. එහෙත් මම දැන් විස්කි ,වොඩ්කා මෙන්ම අරක්කු අප්‍රිය කරමි. එයට එක් හේතුවක් ලෙස වෛද්‍ය මනෝජ් ප්‍රනාන්දු සහ මහාචාර්‍ය දියනාත් සමරසිංහ ගේ ආභාෂය නිසා විය හැකිය​. 

1986 වසරේදී අප වෛද්‍ය සිසුන් කාලයේ ජ්‍යෙෂ්ඨ සිසුන් අපට රාත්‍රී භෝජනයකට ආරාධනා කොට  පළතුරු යුෂ වෙල්කම් ඩ්‍රින්ක් එකක් දුන්නෝය​. මේ  වෙල්කම් ඩ්‍රින්ක් එකට ඔවුන් රහසින් කොන්‍ යැක් මිශ්‍ර කොට තිබූ අතර නවකයන් බොහෝ දෙනෙකුගේ ශීලය ඉන් බිඳී යන ලදි.  එම පානයෙන් පසු මා අසල සිටි වෝල්ටර් කිරුබාරත්නම් තමගේ කන් ඇසීම අඩුවී තිබෙන බව කීවේය​. වර්තමානයේ වෝල්ටර් කිරුබාරත්නම් ජීවත් වන්නේ ජර්මනියේය​. 

ඉන් පසුව පැවති පාටියකදී එක් ජ්‍යෙෂ්ඨ සිසුවෙක් කොලඹ ප්‍රදේශයේ සිට පැමිණි වෙස්ලි විද්‍යාලයේ ඉගෙනුම ලැබූ මුස්ලිම් සිසුවෙකුට වොඩ්කා පෙව්වේය​. කිසිදා මත්පැන් රස නොලැබූ මෙම මුස්ලිම් සිසුවා බීමතින් විකාර වැඩ කලේය​. එසේම ඔහු අල්ලා .. අල්ලා .. කිය කියා ඩාන්ස් දැමූ අතර ඔහුට පෙවූ ජ්‍යෙෂ්ඨයා මේ විකාර දෙස සිනහසෙමින් බලා සිටියේය​. 

එය නරුම ක්‍රියාවක් බව මම එදා මෙන්ම අද දිනයේද සිතමි. ඔහු වරක් මටද බලෙන් මෙන් සිගරෙට්ටුවක් අතට දුන්නේ මාවද  දුම් පානයට පොළඹවා ගැනීමේ චේතනාවෙන්  විය හැකිය​. එහෙත් බිග් මැච් වල ගංජා ගහන කොල්ලන් සමග සිටියද ගංජා සිගරට් නොබී සිටීමේ ආත්ම ශක්තිය තිබූ මාව පොළඹවා ගනු ඔහුට නොහැකි විය​. 

සමාජවාදය වෙනුවෙන් බොහෝ පොර ටෝක් අපට දුන් මෙම ජ්‍යෙෂ්ඨයා පසුකාලයක් යූක්‍රයීන ගැමි ලියක් කසාද බැඳගෙන පසුව ඇයවත් තමන්ට දාව ඇයට උපන් දරුවාත් යූක්‍රයීනයේ අතරමං කොට ලංකාවේදී වෙනත් කාන්තාවක් කසාද බැන්දේය​. මේ වන විට ඔහු පුනරුත්තාපනයව යහපත් මිනිසෙකු වී ඇති බවට මම සිතමි. මගේ අනුමානය වැරදි නොවේවා  කියා පතමි. 

විනිට්සා වෛද්‍ය පීඨයේදී වෛද්‍ය සිසුන් ලෙස අප පාටි වලදී වොඩ්කා පානය කලෙමු. එහෙත් ප්‍රමාණය ඉක්මවා නොයන්නට අප වග බලා ගත්තෙමු. එහෙත් ඉඳහිට සමහරු බීගෙන විකාර කලහ​.

එක් සිසුවෙක් වෙරි වූ විට නේවාසිකාගාරයේ නව වන මහලේ බැල්කනියට ගොස් විනිට්සා නගරයේ ඈත දිලෙන විදුළි එළි අතින් පෙන්වා " අන්න අන්න මාලිගාවේ ලයිට් පේනවා කියමින් බැල්කනියෙන් එලියට කකුලක් දමයි. ඔහුගේ ගම  මහනුවරය​.  ඔහුට විනිට්සා නගරයේ රාත්‍රී එළිය දළදා මාලිගාවේ එළි ලෙස පෙනුනේද කියා මම නොදනිමි. මේ උද්වේගය බලා සිටින ඔහුගේ මිතුරන් ඔහුව කුදලාගෙන කාමරයට ගෙන ගොස් නිදිකරවති. 

තවත් සිසුවෙක් බී ගත් විට ගෝරියට බරය​. එම නිසා ගෝරි බෝරි එන විට ඔහුට දෙක තුනක් නෙලා සාදයෙන් එලියට ගෙන යනු ලබයි. එවිට සියල්ල සන්සුන් වේ. 

තවත් සිසුවෙක් හතර ගාතයෙන් යනතෙක් බීමත්වූ අතර අප ඔහුව නාන කාමරයට ගෙන ගොස් නෑවුවෙමු. එය ශීත සමය විය.  එලියේ උෂ්ණත්වය සෘණ 18 කි. එම නිසා ඔහුව ප්‍රවේසමෙන් නාවා පොරෝණයකින් ඔතා නිදි කෙරුවෙමු. රාත්‍රියේ ඔහු හෝටල් කීපයක් ඇරියෙන් ඒවා සුද්ද කිරීමට මට සිදු විය​. 

වරක් කීව් නගරයේදී සිසිර මට ඔහුගේ නවාතැනට එන ලෙසට ආරාධනා කලේය​. ඔහු බිත්තර බැද රස ඔම්ලට් එකක් තනා වොඩ්කා බෝතයක් ද ඇර මට කෑමට කතා කලේය​. වොඩ්කා බිබී ඔම්ලට් කමින් සිටි ඔහු හිටි හැටියේ ෆ්‍රයිං පෑන් එකට කබරයෙක් ඇද්දේය​. ඉන් අපගේ රාත්‍රී ආහාර භෝජනය අවසන් විය​. අප දෙදෙනා නින්දට ගියෙමු 

කීව් නගරයේදී බන්දුල පට්ටියගේ ගේ කාමරයේ මම වරක් රාත්‍රිය ගත කලෙමි. ඔහුගේ කාමරයේ අනෙක් ගජයා නයිජීරියානු සිසුවෙකි. මධ්‍යම රාත්‍රියේදී මේ අප්‍රිකානු සිසුවාගේ මිතුරන් දෙදෙනෙක් බීමතින් ආ අතර එක් අයෙකු මේ නයිජීරියානු සිසුවා සමග ඇඳ බෙදාගත් අතර තෙවැන්නා ඔවුන් දෙදෙනාගේ ඇඟවල් මත නැග නිදාගත්තේය​. මෙය දුටු මටත් බන්දුලටත් සිනහවේ නිමක් නොවීය​.  එය මා දුටු ප්‍රථම සහ අවසාන ට්‍රිබල් ගැසීම විය​. 

ඉන්ටන්වරයෙකු ලෙස මාතලේ රෝහලේදී අප සාද කීපයක් පැවැත්වූයෙමු. වරක් මෙවැනි සාදයකදී ඉන්ටන්වරු කීප දෙනෙකු කට් වී මේස වලට තඩිබාමින් මහ හඞින් ගීත ගායනය ඇරඹූහ​. යාබද ගොඩනැගිල්ල නාරි හා ප්‍රසව වාට්ටුවයි. මේ වාට්ටුවේ රෝගීන් බලමින් සිටි නාරි හා ප්‍රසව විශේෂඥ වෛද්‍ය නීල් සෙනෙවිරත්න මහතා මේ තොවිලය කුමක්ද කියා සෙවීමට ඉන්ටර්න් නිල නිවාසයට ආවෙන්  ඉන්ටන්වරු වහා දිව ගොස් සැඟවුනහ​. 

මම කොලොන්ගොඩ රෝහලේ සේවය කරන විට මිනිපේ දිස්ත්‍රික්කයේ රජයේ නිලධාරීන් ගේ සංගමයක් තිබුනේය​. මෙම සංගමය සෝබා කියා හඳුන්වන ලදි මෙම සෝබා සංගමය සංවිධානය කලේ හසලක තැපැල් ස්ථානාධිපති නන්දේ අයියාය​. වරක් මමත් සහකාර වෛද්‍ය නිලධාරී ප්‍රේමරත්න මහතාත් සෝබා සැඳෑවකට ගොස් යලි හසලක සිට කොලොන්ගොඩට එමින් සිටියෙමු. මාර්ගය පටුය​. එක් පසක වැවය අනෙක් පස කුඹුරු යායය​. වාහනය එලෙව්වේ මාය​. 

"ඩොක්ටර් බලාගෙන පරෙස්සමින් එලවන්න එහාට උනොත් වැවේ, මෙහාට උනොත් වෙලේ " කියා ඔහු කීවේය​.  එහෙත් මම සුපරික්‍ෂාකාරීව ප්‍රේමේව රෝහල් නිල නිවාසයට ගෙනාවෙමි. 

මීගමුව රෝහලේ සාද බොහෝ සෙයින් තිබුනේය​. සමහර සාද සංවිධාන  කොට තිබුනේ ඖෂධ සමාගම් විසිනි. එම නිසා මේ සාද පැවැත්වූයේ  මීගමුව බ්‍රවුන්ස් බීච් වැනි හෝටල් වලය​. මේ පාටි වල විස්කි බ්‍රැන්ඩි යහමින් තිබුනේය​. 

සාද වලින් පසු ඖෂධ සමාගම් රෙප්ලා අප හමුවීමට එති.  ඔවුන් ගේ ඖෂධ වර්ග රෝගීන්ට නිර්දේශ කිරීම කරන ලෙස ඉල්ලති. එහෙත් මා ඇතුළු  වෛද්‍ය ලිලිත් ලියනගේ , වෛද්‍ය මාංජේෂ්ඨ පීරිස් රෝගින්ට ප්‍රෙස්ක්‍රිප්‍ෂන් ලියන විට වරහන් තුල එස් පී සී කියා සංස්ථා ඖෂධ නිර්දේශ කලෙමු. අප එයට කිව්වේ රෙපාලාගෙන් කා සංස්ථාවට ආවඩනවා කියාය​. එහෙත් මෙය අනෙකුත් වෛද්‍යවරු කලේද යන්න මම නොදනිමි. 

පුත්තලම් දිස්ත්‍රික්කයේ  මානසික සෞඛ්‍යය  සම්බන්ධීකරණ වෛද්‍ය නිලධාරී ලෙස සේවය කල සමයේදී මම පුත්තලම දිස්ත්‍රික් නියෝජ්‍ය සෞඛ්‍යය සේවා අධ්‍යක්‍ෂක වෛද්‍ය ආර් එම් එස් කේ රත්නායක මහතාගේ සහායෙන් දිස්ත්‍රික්කයේ වෛද්‍යවරුන්ට මතින් තොර ගීත සාදය කියා සාදයක් පැවැත්වූයෙමු. මත්පැනින් තොරව ගීත ගයමින් අප මධ්‍යම රාත්‍රිය වන තෙක් විනෝද වූයෙමු. ඉන් අපට පෙනී ගියේ වෛද්‍යවරුන් ගේ සාද වලට මත් පැන් අත්‍යාවශ්‍ය සාධකයක් නොවන බවය​. 


වෛද්‍ය රුවන් එම් ජයතුංග 

Monday, September 12, 2016

ඉතලියානු සින්ඩ්‍රෝමය



1999 - 2009 අතර කාලය තුලදී මම අධ්‍යාපන ප්‍රතිකාර විෂය පිළිබඳව විශේෂ උනන්දුවකින් ක්‍රියා කලෙමි. ළමුන් බොහෝ විට අධ්‍යාපන දුර්වළතා පෙන්වන්නේ කායික සහ මනෝ විද්‍යාත්මක හේතූන් නිසා බව මගේ උපකල්පනය විය. මේ අනුව අධ්‍යාපන ප්‍රතිකාර මගින් ළමුන් ගේ අධ්‍යාපන දුර්වළතා වලට පිළියම් යෙදිය හැකි බව මම පෙන්වා දුනිමි. මගේ අත්දැකීම් අළළා අධ්‍යාපන ප්‍රතිකාර නමින් පොතක් 2002 වසරේදී එළි දැක්වූයෙමි. 

අධ්‍යාපන ප්‍රතිකාර විෂය සම්බන්ධයෙන් කටයුතු කරන විට චර්‍යාත්මක  ආක්‍රමතා මෙන්ම මනෝ කායික ආබාධ සහ චිත්තාවේගීය ගැටළු තිබූ ළමුන් කාණ්ඩයක් මගේ අවධානයට යොමු විය​. මෙම ළමුන් කාණ්ඩය තුල එක් පොදු ලක්‍ෂණයක් මම දුටිමි. එය නම් මෙම ළමුන් ගේ අධ්‍යාපනික දුර්වළතා, චර්‍යාත්මක ගැටළු සහ මනෝ කායික ගැටළු ආරම්භවී තිබුනේ පියාගේ ස්ථිර හෝ තාවකාලික වියෝගය සමගය​. මෙම නියැඳියේ බහුතරයේ පියවරු ඉතාලි ගොස් තිබූ අතර ළමුන් බොහෝ විට සිටියේ මව සමගය​. 

ළමා මනෝ විද්‍යාවේ මාතෘ දුරස්ථකරණය (Maternal Deprivation ) පිළිබඳව ඔටෝ රෑන්ක් , ඇනා ෆ්‍රොයිඩ්, ජෝන් බෝල්බි ,  මේරි ඇනිස්වත් වැනි මනෝ විද්‍යාඥවරු / විද්‍යාඥවරියන් ගැඹුරු ලෙසින් අධ්‍යනය කර ඇති නමුදු පීතෘ වියෝග සහලක්‍ෂණය (Paternal deprivation Syndrome ) අධ්‍යනය කොට තිබෙන්නේ සාපේක්‍ෂව අඩු මට්ටමකටය​. එසේම  පීතෘ වියෝග සහලක්‍ෂණය ලංකා සමාජයේ   අධ්‍යනය කොට තිබෙන්නේ ඉතාම සීමිත පිරිසකි. 

පියාගේ ස්ථිර හෝ තාවකාලික වියෝගය සමග කායික සහ මනෝ විද්‍යාත්මක සිම්ප්ටෝමයන් පෙන්වන ලද ළමුන් මම වැඩිදුරටත් අධ්‍යනය කලෙමි. පියාගේ මරණය​, පවුල් ආරවුල් නිසා පියාගේ නික්මයාම ,  පියා ඉතාලියට යාම යන සංසිද්ධීන් නිසා මෙම ළමුන් තුල අධ්‍යාපන ගැටළු , චර්‍යාවේ ගැටළු  මෙන්ම සමහරක් විට හිටි හැටියේ ගොත ගැසීම​, ඇඳ තෙමීම වැති තත්වයන් නිරීක්‍ෂණය විය​. එසේම සමහර ළමුන් තුල මනෝ කායික ආබාධ ද හඳුනා ගැනුනි. මෙම තත්වය මම පොදුවේ ඉතලියානු සින්ඩ්‍රෝමය ලෙස නම් කලෙමි. 

ඉතලියානු සින්ඩ්‍රෝමය ද මාතෘ දුරස්ථකරණ සින්ඩ්‍රෝමය මෙන් ක්ලමථ-ජනකය​. පීතෘ වියෝග සහලක්‍ෂණය නිසා පසුකාලීනව වැඩිහිටි සමයේ විශාදය , කාංසාව වැනි අක්‍රමතා මතු වීම මෙන්ම සමාජ විරෝධී  පෞරුෂ ලක්‍ෂණ මතු වීමේ අවධානමක් තිබේ. මෙම සින්ඩ්‍රෝමයේ ලක්‍ෂණ පෙන්වන ළමුන්ට වෛද්‍ය විද්‍යාත්මක මෙන්ම මනෝ විද්‍යාත්මක ප්‍රතිකාර අවශ්‍ය කෙරේ. තවද මෙම තත්වය ගැන ලංකාවේ ළමා වෛද්‍යවරු මෙන්ම මනෝ චිකිත්සකයන් තව දුරටත් අධ්‍යනය කිරීම වැදගත් වේ. 


වෛද්‍ය රුවන් එම් ජයතුංග 

Sunday, September 11, 2016

වල් පාඩම

 
සනි මෙඩෝ මිඩ්ල් ස්කූල් හෙවත් සනි මෙඩෝ  මැදි  විදුහලේ අටේ පන්තියට ගිය අපේ කොළුවා පාසල් වාරය පටන් ගත් මුල් දිනයේදී  ගෙදර ආවේ අද ඉස්කෝලේ වල් පාඩමක් කරා කියමිනි. මෙම පාඩම ගැන මම තොරතුරු ඇසූ අතර මට තේරුම් ගියේ ලිංගික අධ්‍යාපනය පිළිබඳව ළමුන්ට පාඩමක් කර තිබූ බවයි. මෙම පාඩමේදී මානව ලිංගික ක්‍රියාවලිය මෙන්ම කොන්ට්‍රාසෙප්ටිව් හෙවත් ගැබ් ගැනීම වලක්වන ක්‍රමද කියා දී තිබේ.  තවද උපත් පාළනයේදී යොදා ගන්නා කොපු , ලූප් ආදියද පෙන්වා තිබේ. 

කොළුවා හත වසර දක්වා කොලඹ රාජකීය විද්‍යාලයේ ඉගෙනුම ලබා තිබුනද රාජකීය විද්‍යාලයේදී ඔහුට කිසිදු ලිංගික අධ්‍යාපනයක් ලැබී නැත . එම නිසා කොන්ඩොම් සහ ගිලින පෙති පෙන්වමින් කරන ලද මෙම පාඩම ඔහුට තිගැස්මක් ගෙන එන ලදි.  

1973 සිට 1985 දක්වා මම වසර 12 ක්   නාලන්දා මහා විද්‍යාලයේ අධ්‍යාපනය ලැබුව නමුදු අපට ලිංගික අධ්‍යාපනයක් ලැබුනේ නැත​. ඉඳහිට අපේ සෞඛ්‍යය ගුරුවරිය වූ කුසුමලතා ටීච ඇඹරි ඇඹරී ප්‍රජනනය යන වචනය කී අතර අප කුණුහරපයක් අසන්නාක් මෙන් එයට කන් යොමා සිටියෙමු. 

ඇත්තෙන්ම අපගේ පරම්පරාවේ ළමුන්ට ලිංගික අධ්‍යාපනය ලැබුනේ සමවයස් පාසල් මිතුරන් ගෙනි එය අන්ධයා අන්ධයාට කණවැල ඇල්ලීමක් විය​. 

අට වසරේදී තුසිත කළටුවාව කී පරිදි ස්වයං වින්දනයේ යෙදීමෙන් දණහිස් දියවී යයි. සකලසූරිය කීවේ පුරුෂ ධාතු බිඳුවක් සෑදීමට ලේ බිංදු දාහක් අවශ්‍ය වන බවයි. ලාල් රූපතුංග කීවේ ස්වයං වින්දනය නිසා අංශභාගය සෑදෙන බවය​. රුෂාන්ත කීවේ ඔහු ධාතු පිට නොකර හස්ත ක්‍රමයේ යෙදෙන බවයි. කපිළ මුණසිංහ කියූ පරිදි සංසර්ග ක්‍රියාවලිය ගැහැනියටද පුරුෂයාටද ඉතා වේදනාකාරීය​. සංසර්ග ක්‍රියාවලියේදී දෙපාර්ශවයේම ලිංගික අවයව තුවාලවී ලේ ගලා යයි. 

මෙලෙස මිතුරන් විසින් අපට සදොස් ලිංගික අධ්‍යාපනය දුන් අතර වරින් වර කොල්ලන් පන්තියට ගෙන ආ කාම පොත් , නවසරණ , ආදිය මගින් ද අප ලිංගික අධ්‍යාපනය අප් ඩේට් කර ගත්තෙමු. එහෙත් පාසලෙන් පිටවන විට වූවද අපට නිවැරදි ලිංගික දැණුමක් නොවීය​. 

වෛද්‍යවරයෙකු ලෙස සේවය කරන විට කසාද බැඳි මිනිසුන් සහ ගැහැණුන් තුල තිබූ ඌණ ලිංගික දැණුම මගේ අවධානයට ලක් විය​. මේ නිසා බොහෝ පවුල් ආරවුල් හට ගෙන තිබුණි. 

උතුරු කොලඹ මහ රෝහලේ සේවය කල කාලයේදී වෛද්‍ය සිසු සිසුවියන් සමග ප්‍රජනන අධ්‍යාපනය පිලිබඳ කල සංවාද වලදී ඔවුන් බොහෝ දෙනෙකු ගැබ්ගැනීම වළක්වන උපක්‍රම ගැන හරි හැටි දැන සිටියේ නැති බව මට තේරුම් යන ලදි. සමහර සිසුන් විශ්වාස කල පරිදි සංසර්ගයේදී ධාතු යෝනියෙන් පිටතට බැහැර කොට යළි සුරක්‍ෂිතව සංසර්ගයේ යෙදිය හැකිය​.  එසේම බොහෝ දෙනෙකු  සරු කාලය , ආර්තවය , ගැබ් ගත හැකි අවදානම් කාල පිළිබඳව හරි හැටි දැන නොසිටි බව මම ඔවුන්ට යොමු කල ප්‍රශ්න වලින්  වලින් තේරුම් ගත්තෙමි. 

ප්‍රජනන සෞඛ්‍යය පිළිබඳව වෛද්‍ය සිසුන් ගේ දැණුම මෙසේ නම් ඈත ගම් දනව් වල තරුණ තරුණියන් ගේ ලිංගික දැණුම ගැන කතා කොට පලක් නැත​. මෙම ප්‍රදේශ වල ළමා ගැබ් ගැනීම් , සමාජ රෝග  ව්‍යාප්තිය , ගබ්සා කර ගැනීම් ඉහල ගොස් තිබේ. මෙයට ප්‍රධාන හේතුව නම් නව යොවුන් වියේ ළමුන්ට ප්‍රජනන සෞඛ්‍යය පිළිබඳව දැණුමක් නොවීමයි. 

ලංකාවේ අධ්‍යාපන ක්‍රමය තුලදී ප්‍රජනන සෞඛ්‍යය අධ්‍යාපනය නිවැරදිව සිදු වන්නේ නැත​. එවැනි විෂයක් නව යොවුන් වියේ දරුවන්ට ඉගැන්වීමට දැණුමක් මෙන්ම ඒ සඳහා කුසලතා පූර්ණ පෞරුෂයක් ඇති ගුරුවර ගුරුවරියන් හිඟය​. බොහෝ ගුරුවර ගුරුවරියන් ලිංගික අධ්‍යාපන පාඩම ළමුන්ටම කියවා ගන්නට කියති , නැතහොත් උඩින් පල්ලෙන් පන්තිය ඉදිරියේ ඇඹරි ඇඹරී කරති. මේ නිසා නව යොවුන් වියේ ගැබ් ගැනීම් , පූතික ගබ්සා අපගේ සමාජයේ බොහෝ සිදුවන අතර ඒවා සුදු පිරුවට මගින් වසා දැමීම විනා නිසි ප්‍රතිකර්ම කිරීමක් නම් සිදු නොකරති

Find Us On Facebook