Wednesday, August 10, 2016

සුනාමි සායන

 

2004 සුනාමි ව්‍යසනය සිදුවූ සතියේ වෛද්‍ය තිලක් ද සිල්වා මා අමතා දකුණු පළාතේ සුනාමියෙන් අවතැන් වූවන් සඳහා වෛද්‍ය සායනයක් පවත්වන බවත් එයට එක් වන ලෙසටත් මගෙන් ඉල්ලා සිටියේය​.  

වෛද්‍ය තිලක් ද සිල්වා මීගමුව රෝහලේ සේවය කල අතර පසුව රජයේ සේවයෙන් ඉවත්වී සීදූවේ පුද්ගලික සේවය ආරම්භ කලේය​. සිංහ සමාජයේද සාමාජිකයෙකු වූ වෛද්‍ය තිලක් සමාජ සේවයේද යෙදෙන්නෙකි. මේ නිසා ඔහුගේ ඉල්ලීමට මම එකඟ වූයෙමි. 

මෙම සායනය සංවිධානය කර තිබුනේ එයා ලංකා ආයතනය විය​. එසේම සුනාමි අනාතයන්ට බෙදා දීම සඳහා ද්‍රව්‍ය තොගයක්ද විය​. අදාල දිනයේදී අපි එයා ලංකා බස් රථයකින් පිටත් වූයෙමු. 

මෙම සායනය පැවැත්වූයේ බටපොල විහාරස්ථානයේය​. බටපොල නන්ද හිමියන් විසින් මෙම සායනය සඳහා උපරිම සහයෝගය ලබා දී තිබුණි. 

මෙම සායනයේදී අප සුනාමිය නිසා මානසිකව පරි පීඩනයට පත්වූ පිරිස් වෙත   , වෛද්‍ය ප්‍රතිකාර  මෙන්ම උපදේශනය ලබා දුන්නෙමු. තදබල කාංසාමය ලක්‍ෂණ විශාදය පෙන්වූ පුද්ගලයන් අදාල ප්‍රදේශයේ මානසික රෝග සායනයන්ට යොමු කිරීමට අප පියවර ගත්තෙමු. මේ සායනයේදී තීව‍්‍ර පශ්චාත් වියසන ක්ලමථ අක්‍රමතාවය​ට ලක්වූ කිහිප දෙනෙකුද මම හඳුනා ගත්තෙමි. 

දහවල් වන තෙක් ක්‍රමානුකූලව ගිය සායනය ඉන්පසු ජනයාගෙන් පිරී ගියේය​. මෙම සායනයේ ද්‍රව්‍ය ආධාර ලබා දෙන බව ඇසූ සුනාමියට ලක් නොවූ ප්‍රදේශ වල ගැමියන් පවා තොග පිටින් පැමින පෝලිමට එක් වූහ​. අවසානයේදී සත්‍ය සුනාමි අනාතයන් සහ හොර සුනාමි අනාතයන් තෝරා බේරා ගැනීමට බැරි වූයෙන් පෝලිමේ ආ සියල්ලන්ටම බඩු මළු ලබා දෙන ලදි. නමුත් සවසද එක්වූ විශාල ජනයාට බෙදීමට බඩු මළු ඉවර වූ හෙයින් පැන්සල් දෙකක් , ඉරේසරයක් වැනි සැනසිලි තෑගි දීමට සිදු විය​. සමහරෙක් පැය හතර පහ පෝලිමේ සිට පැන්සලක් ලබා ගෙන පිට වූහ​. යැපුම් මානසිකත්වය නිසා මිනිසුන් වෙනස් වන අන්දම මම එදා සහසුද්දයෙන් දුටුවෙමි. 

සවස හය හත වන විට විශාල ජනකායක් වෙත සේවය ලබා දුන් වෛද්‍යවරු සිටියේ පාන් කියා ගන්නටවත් බැරුවය​. ඉන්පසු බටපොල නන්ද හිමියන් අපට තේ බීම සඳහා ආරාධනා කළහ​. තේ මේසයේ ඉස්තරම් කළුදොදොල් , කැවුම් , ආස්මි , අතිරස වැනි කැවිලි වූයෙන් අපගේ වෙහෙසද අමතකව ගියේය​. තේ පානයෙන් පසු ඉතිරිව සිටි පිරිසද බලා අප රාත්‍රී නවයට පමණ කොලඹ බලා පිටත් වූයෙමු. 

මෙම සායනයෙන් පසුව සුනාමි ව්‍යසනය නිසා  පශ්චාත් වියසන ක්ලමථ අක්‍රමතාවයට  සහ  විශාදයට ලක්වූ පුද්ගලයන් වෙත EMDR  මනෝ ප්‍රතිකාර ලබා දීමට ඇමරිකා එක්සත් ජනපදයේ සිට මනෝ විද්‍යාඥ නැන්සි එරෙබෝ සහ මනෝ විද්‍යාඥ ජොනතන් බෘක්ස් පැමිනියහ​. මම ඔවුන් සමග එක්වී මෙකී වින් දිතයන්ට  EMDR මනෝ ප්‍රතිකාරයෙන් සහාය වූයෙමි. මෙම සායනයට එවකට   සෞඛ්‍යය අමාත්‍යාංශයේ   සිටි මානසික සෞඛ්‍යය අධ්‍යක්‍ෂකවරිය මෙන්ම ප්‍රදේශයේ සෞඛ්‍යය වෛද්‍ය නිලධාරීනියද සහයෝගය ලබා දීම විශාල පහසුවක් විය​. 

 පසු විපරම් වලදී පෙනී ගියේ EMDR මනෝ ප්‍රතිකාර ලැබූ මෙම රෝගීන් ගේ මානසික රෝගී ලක්‍ෂණ ඌනනය වූ බවය​. පසුව මෙම අත්දැකීම් අලලා මම උතුරු ඇමරිකානු මානසික සෞඛ්‍යය ජර්නලයකට පරියේෂණ පත්‍රිකාවක් ද ලිව්වෙමි. 

වෛද්‍ය රුවන් එම් ජයතුංග

8 comments:

  1. අම්මට සිරි ලංකාවේ ඉන්නේ තද බල හිඟන මානසිකත්වයක් සහිත පිරිසක්... දන්සල් වල කන්න එන පිරිස දැක්කාම ඒක හිතා ගන්න පුළුවන්..

    ReplyDelete
    Replies
    1. නිකන් දෙනවා කිව්වම ගම් පිටින් ආවේ

      Delete
  2. සුනාමියෙන් තුවාල වූ සිත් ඇත්තන් තුල අදටත් ඒ මිනිත්තු කීපය හොල්මන් කරනවා..
    ඔබ ඔවුනට පිහිට වීම ඉතාමත් අගෙයි.
    ජයවේවා..!!

    ReplyDelete
  3. සුනාමිය මගේ බල සහෝදරයකුත්, ඔහුගේ එකම පුතාත් රැගෙන ගියා. ඒ දුක තවම එහෙමම තියනවා.

    ReplyDelete
    Replies
    1. මට ඔහුව මතකයි. ඔහු ඔබට වඩා උසයි නේද ?

      Delete
  4. මමත් දවසක් ගියා ගං වතුරෙන් අනාථ වෙච්ච අයට බඩු වගයක් බෙදන්න. එතනට හුඟක් ආවේ ගං වතුරට අහු නොවුනු අය. ගං වතුර බලන්න ආව අය බත් පාර්සල් ඉල්ල ගත්තා ගෙවල් වලට ගෙනියන්නත් එක්ක වගේ. සමරැන්ට ගං වතුර බලන එක පොඩි පික්නික් එකක් වෙලා තිබුනේ. හොඳම දේ ගං වතුරට අහුවෙච්ච දුප්පත් වගේ මිනිස්සු බත් පාර්සල් දෙනකොට අහන්නේ මහත්තයා කුකුල් මස් තියෙනවද කියලා. හැබැයි ටිකක් වැදගත් පවුල් කිහිපයක් වගේ හිටියා ඒ අය පිරිසිදුවට තියෙනවානම් මොනවා උනත් කමක් නෑ කියලා කෑම ඉල්ල ගත්තා.

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook