Tuesday, June 7, 2016

මේ නගරය මා.... (අඩෝ)

 

මීගමුව රෝහලේ ඉන්ටර්න්වරයෙකු වූ එදිරිසිංහ හොඳ ගායකයෙකි. ඔහු රුහුණ වෛද්‍ය පීඨයේය​. එසේම මගේ උසස් පෙළ පාසල් සගයෙකු වූ සුමුදු හේවාවසම් සමග රුහුණ වෛද්‍ය පීඨයේ උගත්තෙකි. ගීත ගායනා කිරීමට ආශාව ඇති එදිරිසිංහ පාටි වලදී ඉදිරිපත්ව ගී ගයයි. 

අපගේ මිතුරු  පේරාදෙනිය වෛද්‍ය පීඨයේ බස්නායකගේ විවහා මංගල්‍ය දින අප සියලුම දෙනා සාදයට ගියෙමු. බස්සා හිත හොඳ කොල්ලෙකි. සැමගේම මිතුරෙකි.

මංගල උත්සවය​ට යාපනය වෛද්‍ය පීඨයේ ඥානසුදම් මෙන්ම එම වෛද්‍ය පීඨයේ රාම් මනෝහර් ද කල් ඇතිව ඇවිත් සිටියහ​. සාදය පටන් ගත් පසු මධුවිතද මේසයට ආවේය​. රාම් මනෝහර් බියර් බීවද කවදාවත් නොබීපු ඥානසුදම්ට අරක්කු බීමට අවශ්‍ය විය.

ඥානසුදම්  පැන්තකොස්ත ආගමේය. ඔහුට මත්පැන් මෙන්ම බෙහෙත් ගැනීම වූවද අකැපය​. එහෙත් කන බොන සාදයේදී ඥානසුදම් ඉබේටම මෙන් ෆෝම් වූයේය​. 

රාම් මනෝහර් බියර් පානය කලේය​. රාම් මනෝහර් අසෝක වීදුරුවේ ඉහල මට්ටමට  බියර් වත් කර ගත් විට ඥානසුදම් ඒහා සමාන උසට අරක්කු වත් කර ගත්තේය​. මෙසේ රාම් මනෝහර් බියර් බෝතලය ඉවර කරන විට ඥානසුදම් හොඳ ගනනට රත් වී සිටියේය​. 

සාදය පටන් ගෙන පැයක් දෙකක් පමණ යන විට එදිරිසිංහට ගීතයක් ගායනය කරන්නට අවශ්‍ය විය​. පසෙක සිටි වාදකයන් අමතා නියමිත ගීතය කියූ ඔහු ගායනට සැරසුනේය​. 

එදිරිසිංහ සංගීතය ඉගෙන ගත්තේ මර්වින් පෙරේරා මාස්ටර්ගෙනි. මේ නිසා එදිරි බොහෝ විට කිව්වේ මර්වින් පෙරේරාගේ ගීතය​. එදින ඔහු අදහස් කලේ මර්වින් පෙරේරාගේ මේ නගරය මා ඔබ මුණ ගැසුනු නගරයයි යන ගීතය ගායනා කිරීමටය​. එදිරි ගීතය ගැයීම ආරම්භ කිරීමත් සමගම බඹර පදමට වැදී සිටි ඥානසුදම්ටද දෙමල ගීතයක් ගායනා කරන්නට අවශ්‍ය විය​. ඔහු වැනෙමින් ස්ටේජ් එක ඉදිරියට ගොස් මයික් එකේ වයර් එකක් ගැලවීමට උත්සහ කලේය​. 

ගීතයේ මුල් කොටස ගයමින් සිටි එදිරිසිංහ මින් කලබල වී මේ නගරය මා.... (අඩෝ) කීවේය​. මේ අමුතු සිංදුව ඇසූ මනාලයාත් මනාලියත් සෙසු අමුත්තනුත් බොහෝ වේලාවක් යන තුරු සිනාසුනහ.

බස්සා ග්‍රීන් කාඩ් ඇදී ඇමරිකාවට ආවේය​. වසර කීපයක් ඇමරිකාවේ ගත කිරීමෙන් පසු යලි ආපසු ලංකාවට ගොස් මීගමුව රෝහලේ සේවය කරයි. එදිරිසිංහ කුලියාපිටිය ප්‍රදේශයේ රෝහලකට මාරුවි ගියේය​.   ඥානසුදම් මීගමුව රෝහලේ සීමාවාසික පුහුණුව නිම කිරීමෙන් පසු විදේශ ගත විය​. 
 

වෛද්‍ය රුවන් එම් ජයතුංග 

Monday, June 6, 2016

ගජනායකගේ ගජ පැලෑන



අප හත වසරේ සිටියදී සිංහල ඉගැන්වූයේ ජාසිංහ මහතාය​. එසේම ඔහු සමහරක් විට කෘෂිකර්මයද ඉගැන්වීය​. ජාසිංහ මහතා කේන්ති කරවීම කොල්ලන් ගේ විනෝදාංශය විය​. වරක් ගජනායක , රජිත් නොහොත් මීයා ඇතුළු කොල්ලන් පිරිසක් පන්තිය වේලාවේදී  ජාසිංහ මහතා කේන්ති කලෝය​. මින් පරළ වූ ජාසිංහ සර් ගුරු මේසයත් පසෙකට තල්ලු කරමින් නැගිට්ටේ‍ය​. මේ නිසා මේසය උඩ තිබූ සර් ගේ බත් පාර්සලය බිම වැටුණි. 

බිම වැටී බාගෙට ඇරී තිබූ බත් පාර්සලයේ තිබූ බිත්තරය දුටු රජිත් වහාම ඉදිරියට පැන සර් ගේ බත් එකේ තිබ්බ බිත්තරය ගිල දැම්මේය​. මින් තවත් කිපුණු ජාසිංහ සර් කොල්ලන් රොත්ත පොදියට ගෙන එක එකාට පහර දෙන්නට විය​. සර් ගේ පහර කා කොල්ලෝ අඩපණ වූහ​. මේ අතර  ගජනායකගේ ගුටි කෑමේ වාරය ආවේය​. ගජනායක ප්‍රයෝගසම්පන්නය​. කෝප වී සිටින ජාසිංහ සර්ගේ පහරේ වේදනාව ඔහුට සිහිපත් විය​. මේ නිසා ඔහු කලේ බොරු ෆිට් එකක් ගෙන බිම ඇද වැටීමයි. 

පහර කන කොල්ලන් අතර එක් කොළුවෙක් බිම වැටී සිටියි. කොළුවා වලිප්පුව සැදුනාක් මෙන් වෙව්ලයි , කට දෙකොනින් සෙම බේරේ. ඇස් උඩ ගොසිනි. මෙය දුටු ගුරුතුමා බියට පත් විය​. කොල්ලන්ට ගුටි දීම නවතා බිම වැටී සිටි කොල්ලා දෙස බලා " අප්පචියේ වතුර ටිකක් වතුර ටිකක් " කියමින් ටිං කබලක් ඔසවාගෙන වැසිකිලිය පැත්තට දිවේය​. 

සර් වතුර රැගෙන එන විට කොල්ලා තවමත් සිහිය නැතිව වැතිර සිටියි. ජාසිංහ සර් ඔහුගේ මුහුණට වතුර ඉස්සේය. කොල්ලාගේ දෙඋරින් සොලවා ඇස් අරින්න ඇස් අරින්න කීවේය​. තවද මොකක්ද අමාරුව කියා ඇසුවේය​. එකහින්ම ඇස් ඇර නැගිටගත් ගජනායක මොකුත් නෑ සර් කියා පන්තියෙන් එලියට දිව්වේය​. කොල්ලෝ බක බක ගා ගජනායකගේ ප්‍රයෝගයට සිනාසුනහ​. සර්ටද සිනා ආවේය​. ගජනායකගේ රඟපෑම නිසා ගජනායකත් පන්තියේ කොල්ලන් භාගයකුත් එදා ගුටි නොකා බේරුනහ​. 

මේ කතාව යලිත් වරක් වසර 37 කට පසුව දුරකථනයෙන් මා ඇමතූ ගජනායක සිනාසෙමින් කීවේය​. පන්තියේ කොල්ලන් භාගයක් ජාසිංහ සර් ගේ ගුටි මුරයෙන් බේරගත් ගජනායක අද ජීවත් වන්නේ ඉතාලියේය​. 


වෛද්‍ය රුවන් එම් ජයතුංග 

Sunday, June 5, 2016

දෙවන පන්තියේ පුරවැසියන්



සෝවියට් දේශයේ ඉගෙනුම ලබන කාලයේදී සෝවියට් දේශය සංවර්ධිත රටක් වූ අතර අජටාකාශ , වෛද්‍ය , ඉංජිනේරු , යුද  තාක්‍ෂණය අතින් දියුණු බටහිර රටවල් සමග කරට කර සිටියේය​. මේ නිසා බොහෝ සෝවියට් සිසුන් තම රට ගැන සිටියේ ආඩම්බරයෙනි. මේ අතර සෝවියට් දේශයේ ඉගෙනුම ලැබීමට ගිය ආසියාවේ අප්‍රිකාවේ  ලතින් ඇමරිකාවේ සිසුන් හෙවත් තුන්වන ලෝකයේ සිසුන් දෙස සමහර විට ඔවුන් බැලුවේ අනුකම්පාව මුසු  සමච්චලයෙනි. එසේම වෛද්‍ය පීඨයේ මහාචාර්‍යවරු දේශන වලදී කොලරාව​, ඩිසෙන්ටිරියාව​, පෝලියෝ, මන්ද පෝෂණය වැනි රෝගාබාධ පිලිබඳ වඩාත් හොඳ පැහැදිලි කිරීම්  සඳහා ප්‍රොජෙක්ටර් මගින් රෝගීන් ගේ පින්තූර පෙන්වූහ​. මේ පින්තූර බොහෝ විට ආසියාවේ  අප්‍රිකාවේ  ලතින් ඇමරිකාවේ රෝගීන් ගේ පින්තූර වූ අතර පසෙකින් දරිද්‍රතාවයේ ලක්‍ෂණ වූ පැල්පත් , දුගී මිනිසුන් දැකගත හැකි විය​. මේ හැර ලංකාව ගැන පෙන්වූ වැඩසටහන් වල බොහෝ විට පෙන්වන ලද්දේ බින්තැන්නේ වැද්දන් , ධීවරයන් සහ අමුඩ ඇඳගෙන කෙත් වතු වල වැඩ කරන ගොවීන් ය​. මේ චිත්‍රපට සෝවියට් මාධ්‍ය  වලට දී තිබුනේ අපගේ තානාපති කාර්‍යාල වීමද මෙහිදී කිව යුතුමය​.  එම නිසා තුන්වන ලෝකයේ මිනිසුන් දුප්පත්කමේ ඇලී ගැලී පැල්පත් වල වාසය කරන බවත් සෝවියට් පුරවැසියන් මේ දුගී ජනතාවට ආහාර මෙන්ම විශේසඥයන් පුහුණු කොට ආධාර සැපයිය යුතු බවත් ඒ කාලයෙ තිබූ විශ්වාසය විය​. 

හේතුවෙන්  අපගේ වෛද්‍ය පීඨයේ සිටි සමහර සෝවියට් සිසුන්  අප කැන්ටිමේ සොසේජස් , චීස් , බිත්තර , බේකන් කන විට " කාපල්ලා කාපල්ලා උඹලගේ රටවල් වලට ගියාම සාගතේ නොවැ ඒ නිසා මෙහිදී හොඳට කාපල්ලා බඩවල් පුරවගනිල්ලා " වැනි බැල්මකින් අපට සංග්‍රහ කලහ​. 

ඇමරිකාවේ මෙන් නොව සෝවියට්  දේශයේ වර්ණ භේදය නොමැති බව අපට ගුරුවරු සහ සුද්දෙන් කී නමුත් බාහිර සමාජයේදී අප වර්ණ භේද වාදය සෝවියට්  සමාජවාදී සමාජයේදී දුටුවෙමු. වරක් පළමු භාෂා වසරේදී මමත් සෙරලියොන්හි ජෝසෆ් කරෝමාත් ඔහුගේ සොහොයුරු එඩ්වඩ් කරෝමා හෙවත් රැම්බෝත් , සැමුවෙල් ස්මිත් සහ තවත් මොරොක්කෝ සිසුවෙකුත් සිකුරාදා දිනෙක සවස නගරයේ පැවති සංගීත සාදයකට ගියෙමු. එම සාදයේදී එක් තරුණියක් මිහිරි හඞකින් ආලා පුගචෝවාගේ ප්‍රේම ගීතයක් ගැයූ අතර බොහෝ දෙනෙකු එම ගීතයට ආලිංගන නැටුම් වල යෙදුනහ​. 

ජෝසෆ් කරෝමා සහ මොරොක්කෝ සිසුවා සෝවියට් තරුණියන් දෙදෙනෙකු වෙත ගොස් ඔවුන් සමග නැටීමට ආරාධනා කලහ​. මඳක් අකමැත්ත පෙන්වමින් ඔවුන් මේ විදෙස් සිසුන් සමග නර්තනයේ යෙදීම ආරම්භ කලහ​. මෙහිදී බොහෝ දෙනෙකු නීග්‍රෝ ජාතික ජෝසෆ් කරෝමා සමග නර්තනයේ යෙදෙන තරුණිය දෙස බැලීමටත් පහත් හඞින් කසු කුසු ගාන්නට වීමත් මම නිරීක්‍ෂණය කලෙමි. මොරොක්කෝ සිසුවා තරමක සුදු පැහැයක් තිබීම නිසාත් ඔහු අවධානයට ලක් වූයේ නැත​. නමුත් නර්තනය මැදදී සුදු තරුණයෙකු පැමින ජෝසෆ් කරෝමාට ඇබීසියානා (වඳුරා) කියා නිග්‍රහ කොට තරුණියගේ අතින් ඇද නර්තනය නවතාලීය​. එඩ්වඩ් කරෝමා හෙවත් රැම්බෝ හතයි හතේ පුද්ගලයෙකි. ඔහු එම සුදු තරුණයාට පහර දීමට නැගිටිනවාත් සමගම මම  එඩ්වඩ්ව අල්ලාගත්තෙමි. එසේම ඇසින් සන් කොට ජෝසෆ් කරෝමාත් සහ  සැමුවෙල් ස්මිත්  ද රැගෙන එම ස්ථානයෙන් පිටවූයෙමි. මොරොක්කෝ සිසුවා තරුණිය සමග ආලිංඟනයේ වෙලී සිටි නිසා අප ඔහුට බාධා නොකලෙමි. එය අපගේ ප්‍රථම වර්ගවාදී අත්දැකීම විය​. 

තවත් වරක් අපගේ ශල්‍ය වෛද්‍ය ගුරුවර ශුපානොව් anal fistula හෙවත් ගුද බගංදරාවන් ගැන තේරුම් කර දී එක් එක් සිසුවාට රෝගියා බැගින් දී පරික්‍ෂා කිරීමට නියම කලේය​. මෙම රෝගීන්ට රෙක්ටල් එක්සැෂන්මිනේ හෙවත් ග්ලවුස් සහිතව තම දබර ඇඟිල්ල රෝගියාගේ අධෝ මාර්ගයට දමා පරීක්‍ෂාවට නියමිතව තිබුනේය​. මගේ රෝගියා විශ්‍රාමික යුද නිලධාරියෙකි. " මගේ අධෝ මාර්ගයට උඹගේ කළු ඇඟිල්ල දැමීමට ඉඩ දිය නොහැකියි " ඔහු තරයේ කීය​. මගේ මිතුරු එව්ගේනි පද්සූහා මම වෛද්‍ය සිසුවෙකු බවත් මේ පරීක්‍ෂනය අත්‍යාවශ්‍ය බවත් කීවද යුද නිලධාරියා තම ස්ථාවරය වෙනස් කලේ නැත​. අවසනයේදී එව්ගේනි ඔහුව පරික්‍ෂා කොට මට ෆිස්ටියුලාවේ තත්වය කීවේය​. මම එය වෛද්‍ය ශුපානොව්ට වාර්තා කලෙමි. 

මෙවැනි කතාවක් එංගලන්තයේ රෝයල් බ්‍රෝම්ටන් රෝහලේ සේවය කරන මගේ ඥාතී සොහොයුරෙකු කීවා මතකය​. ඔහු වෛද්‍ය අධ්‍යාපනය ලැබුවේ බ්‍රිතාන්‍යයේය​. වරක් මහළු සුදු කාන්තාවක් පරීක්‍ෂා කරන විට කළු හමක් තිබෙන වෛද්‍ය සිසුවෙකු වෙනුවට සුදු හම තිබෙන වෛද්‍ය සිසුවෙක් ඇය බලෙන් ඉල්ලා සිටියාය​. එංගලන්තයේද වර්ගවාදී අත්දැකීමක් මම ලබා ඇත්තෙමි. ඒ සවස් වරුවක උමං දුම්රියේ හෙවත් ටියුබ් එකේ යන විටය​. 

නවක වෛද්‍යවරයෙකු ලෙස ලංකාවේ සේවය කරන විටද අපට සමහර අවස්ථා වලදී ප්‍රභේධකරනයන්ට මුහුණ දීමට සිදු විය​. අප විදේශ පුහුණුවලත් වෛද්‍යවරු වීම නිසා සමහර දේශීය වෛද්‍ය විශේසඥයන් අප කෙරෙහි අගතිගාමීව ක්‍රියා කරන ලදි. මෙසේ කල එක් ශල්‍ය වෛද්‍ය විශේසඥයකු මට මතක් වේ. ඔහු විදේශ පුහුණුවලත් වෛද්‍යවරුන්ට එරෙහි වන ලද්දේ ඔහුගේ දියණිය සෝවියට් ශිෂ්‍යත්වයකට අයදුම්කලද ඇය සම්මුඛ පරීක්‍ෂණයේදී අසමත් වීම නිසා බවටද රාවයක් තිබුනේය​. මේ විශේසඥ වෛද්‍යවරයා මට මෙන්ම අනෙකුත් විදේශ පුහුණුවලත් වෛද්‍යවරුන්ට අනවතරයේ හිරිහැර කල අතර මගේ බිරිඳගේ පියා මිය ගිය අවස්ථාවේදී මම  නිවාඩු ඉල්ලූ විට ඔවුන්ට නුඹ නැතිව නුඹේ ඥාතීන්ට මාමාව වළදාගත හැකියි කියා අවඥාසහගතව ඉංග්‍රීසි භාෂාවෙන් කීවේය​.   

මේ හැර සමහර දේශීය වෛද්‍ය පීඨවල වෛද්‍යවරුද  අපට හිරිහැර අවමාන කලහ​. මීට ඉහතදී කී ලෙසින් ග්‍රාමීය පාසල් වල ඉගෙනුම  ලැබූ අඩු සමාජ ආර්ථික මට්ටමකින් පැමිනි  දේශීය වෛද්‍ය පීඨවල වෛද්‍යවරු විදේශ පුහුණුවලත් වෛද්‍යවරුන්ට හිරිහැර අවමාන කරන බවට මට නිරීක්‍ෂනය වී තිබේ. මේ සඳහා ඉරිසියාව , හීනමානය , අඩු සමාජ නිරාවරණය, ග්‍රාමීය පසුගාමීත්වය හේතු කාරකයන් වන බව මම අනුමාන කරමි. නමුත් ඉතා යහපත් ගතිගුණ තිබෙන ග්‍රාමීය පාසල් වල ඉගෙනුම  ලැබූ අඩු සමාජ ආර්ථික මට්ටමකින් පැමිනි  දේශීය වෛද්‍ය පීඨවල වෛද්‍යවරුද මට හමුවී තිබෙන බව මෙහිදී කිව යුතුය​. මෙවැනි එක් වෛද්‍යවරයෙක් ඉතා යහපත් මිනිසෙකු මෙන්ම යහපත් මිතුරෙකුද විය​. ඔහු කී පරිදි ඔහුගේ පියා මහවැලියේ රියැදුරෙකි. නමුත් ඔහු  ගතිගුණ වලින් ධනවතෙකි. 

මීගමුව රෝහලේ නිතරම විදේශ පුහුණුවලත් වෛද්‍යවරුන්ට හිරිහැර අවමාන  කරන වෛද්‍යවරයෙකු සිටියේය​. නමින් ලයනල් වූ ඔහුගේ ගම පොලොන්නරුවේය​. පේරාදෙනිය වෛද්‍ය පීඨයේ ඉගෙනුම ලැබූ ඔහු පේරාදෙනිය වෛද්‍ය පීඨයේ ඉගෙනුම ලැබූ වෙනත් වෛද්‍යවරු වන සසකාවා, සුබේ, බස්නායක යන වෛද්‍යවරු මා සමග හිතවත්කම් පෑම දරා ගත නොහැකි විය​.  ඔහු නිබඳවම මා ඉදිරියේ විදේශ පුහුණුවලත් වෛද්‍යවරුන් විවේච්නය කලේය​. ඔහු මෙසේ පහත් හින්ට් ගසන විට මම මෙසේ සිතුවෙමි. ඔහු කිසිදු පිටරටකට අඩිය තබා නැත​. රතු චතුරශ්‍රය , බිග්බෙන් කුළුන , බර්ලින් තාප්පය , කාර්පේතියානු කඳුකරය සියැසින් දැක නැත​. මේ ඉම්ගල් දැක ඇති මා ඔහු ගේ දෙනෙත් ඉදිරියේ මිනිසෙකු නොවූයේ මන්ද ? මම ඉංග්‍රීසි ,රුසියානු , යූක්‍රයීන​, මඳ වශයෙන් පෝලන්ත  යන භාෂා කතා කරමි. එහෙත් ඔහු ගේ දෙනෙත් ඉදිරියේ මිනිසෙකු නොවූයේ මන්ද ? මට ඔහුගේ අවිචාරක හැඟීම් තේරුම් ගැනීම අපහසු විය.

ඔහුගේ ආචාර සම්පන්න නොවන වෘත්තිමය හැසිරීම බිඳ වැටුනේ මා ඉදිරියේමය​. වරක් වෝඩ් රවුන්ඩ් එකකදී වී.ඕ.ජී විද්‍යාතිලක මහතා ගැබිනි මාතාවක් පෙන්වා හව් මෙනි චිල්‍ රන් කියා ලයනල් ගෙන් ඇසුවේය​. වන්  චිල්‍ රන් (one children) කියා ලයනල් කී අතර වී.ඕ.ජී මහතාට පමණක් නොව හෙදියන් ද සිනාසුනහ​. මම පමණක් නිහඞව සිටියෙමි. මේ අතර වී.ඕ.ජී මහතා ලයනල් අමතා වන්  චිල්‍ රන් නොව වන් චයිල්ඩ් විය යුතු බවත් වෛද්‍යවරු ඉංග්‍රීසි ඉගෙන ගත යුතු බවත් පවසා ඔහුගෙන් මොන වෛද්‍ය පීඨයේ ඉගෙනුම ලැබුවේදැයි ඇසීය​. ඔහු ලැජ්ජාවෙන් තමා උගත් වෛද්‍ය පීඨයේ නම කීවේය​. ඉන්පසු ලයනල් ගේ හින්ට් නැත්තටම නැතිවී ගියේය​.  

මීට වසර ගනනාවකට ඉහතදී මම කැනඩාවේ සෙනෙකා කිං කැම්පස් හි අධ්‍යනය ලබන විට  නෝත් යෝර්ක් ජෙනරල් රෝහලේ මානසික රෝග වාට්ටුවට ගියේ ස්ථාපනය සඳහාය​. මා  ලංකාවේ වෛද්‍යවරයෙකු බව දැනගත් නෝත් යෝර්ක් ජෙනරල් රෝහලේ ජේෂ්ඨ මනෝ වෛද්‍ය ගෝරන් එරෙවැක් මා හට කාරුණිකව සලකා ඔහුගේ රෝගීන් බැලීමට මට ඉඩ දුන්නේය​. නමුත් ඔහුගේ එක් සහායක වෛද්‍යවරයෙකු වූ සුදු ජාතික තරුණ මනෝ වෛද්‍ය වරයෙකු මගෙන් තොරතුරු විමසන ගමන් " නුඹ ලංකාවෙන් නේද ? නුඹට තිබෙන්නේ තුන්වන ලෝකයේ වෛද්‍ය උපාධියක් යැයි සමච්චල් සහගතව කීවේය. මම නිරුත්තර වූයෙමි. ඔහු වැරදිය​. මට තිබෙන්නේ යූක්‍රයීනයේ සෝවියට් වෛද්‍ය උපාධියකි. ඒ කාලයේ සෝවියට් දේශය පළවන ලෝකයේ රටක් විය​. නමුත් මම ඔහු සමග වාදයට නොගොස් නිහඞ වූයෙමි. තුන්වන ලෝකයේ වෛද්‍ය උපාධි යැයි උපාධි වර්ගයක් තිබෙන බව ඔහු එදා මට පෙන්වා දුන්නේය​. 

යෝක් විශ්ව විද්‍යාලයේ එක් රූමත් සුදු සිසුවියක් විශ්වාස කල පරිදි ලංකාව වැනි තුන්වන ලෝකයේ රටවල මිනිසුන් ජීවත් වන්නේ මඩ් හට් වලය​. ඔවුන් ගේ ආයු කාලය උපරිමය වසර 42 සීමාවේ. මේ සිසුවිය ඔන්ටේ‍රියෝවෙන් එහාට අඩිය තබා තිබෙන්නේ යාබද ඇමරිකාවේ බෆලෝ නගරයට පමණි. ඒ ශොපිං කිරීම සඳහාය​. මෙයද එක්තරා ආකාරයේ භූගෝල විද්‍යාත්මක නූගත්කමක් බව මම සිතමි. 

මම උතුරු ඇමරිකාවේ වසර 10 ආසන්න කාලයක් ජීවත් වෙමි. ලංකාවෙන් බැහැරව ජීවත් වන අප දෙවන පන්තියේ පුරවැසියන් ද? මම මගෙන් අසමි. ඒ සමගම මට සිතට නැගෙන්නේ ලංකාවේ අප පළවන පන්තියේ කියාද යන්නයි. 

ලංකාවේ ඕනෑම පාදඩ නූගත් දේශපාලාඥයෙකුට ඔබගේ ඉඩමක් නිවසක් බලහත්කාරයෙන් අත්පත් කර ගත හැකිය​. ඔබව වාහනයකට යට කර කිසිදු වන්දියක් නොදී බේරී යා හැක​. ඔබගේ දියණියක් දූෂණය කල හැකිය​. පොලිසියෙන් උසාවියෙන් ඔබට සාධාරණයක් නොවන බව ඒකාන්තය​. ඔබගේ ළමයාට සුදුසු පාසලක් ලබා ගැනීමට ඔබට දේශපාලකයන් පසු පස යාමට සිදුවේ. සමහර විදුහල්පතිවරු ඔබගේ බිරිඳ සමග යහන් ගතවී ළමයා පාසැලට දමා දෙන්නට යෝජනා කරති. පාසලේ අධ්‍යාපනය ලබන ඔබගේ ළමුන් ගුරුවරුන් ගේ කායික මානසික වද වලට ලක් වෙති. ඒවා ගැන පැමිණිලි  කිරීමට ගියොත් ළමයා ගෙන් ගුරුවරු පලි ගනිති. උසස් අධ්‍යාපනයට ලංකාවේ විශ්ව විද්‍යාලවලට යන ඔබගේ දරුවන් බොහෝ විට නවක වදය නමින් කායික වාචික භීෂණයන්ට මුහුණ දෙති. ඔවුන්ට රැකියාවක් ලබා ගැනීමට දේශපාලන පන්දම් තිබිය යුතුය​. අසනීප වී රජයේ රෝහලකට ගිය විට ගේට්ටුවේ සෙකුරිටි ගේ සිට වෛද්‍ය අධිකාරී දක්වා පුද්ගලයන් ගේ ගෙම්බර් ඉවසිය යුතුය​. වැඩක් කර ගැනීමට රජයේ ආයතනයකට ගිය විට හැඳුනුම්කමක් නොතිබුනේ නම් අබ සරණය​. 

මේ නයින් දෙවන පන්තියේ පුරවැසියන් කවරහුද ?  මම තවමත් සිතමි .


වෛද්‍ය රුවන් එම් ජයතුංග 

වාහක සෙවිල්ල වෙනුව​ට පොරොන්දම් බැලීම


දියුණු රටවල් යුවලක් එක්වීමේදී ඔවුන්ට ලැබෙන දරුවන්ට ජානමය රෝග තිබේද කියා බැලීමට හෙවත් වාහක සෙවිල්ල කරති. එහෙත් ශ්‍රී ලංකාවේ  උගත් යුවලක් වූවද එක්වීමේදී ඔවුන් බලන්නේ  කිසිම විද්‍යාත්මක පදනමක් නොමැති කේන්දර පොරොන්දම් ය .   


Saturday, June 4, 2016

Ali Bumaye




He who looks like a butterfly
Stings like a bee
No scares in his face
He is the champion of champions

When he was drafted
He refused to kill the yellow man
He said they did not call me a nigger
So I will not go to Nam

He defeated many boxers
Also fought against injustice
Mohamed Ali is still fighting
This time may be Parkinsonism

No matter how long it will take
He has not given up the fight
Still got courage and spirit
To face any type of opponents





Find Us On Facebook