Tuesday, March 22, 2016

ලැට්ටෝ

 

වෛද්‍ය පීඨයේ සිටි ලතින් ඇමරිකානු සිසුන් අප හැඳින්වූයේ ලැට්ටෝ / ලැට්ටන් නමිනි.කෙල්ලෙක් නම් ලැට්ටියෙකි.  සමහරක් ලතින් ඇමරිකානු සිසු සිසුවියන් මට තවමත් මතකය​. ආජේන්ටිනාවේ කාර්ලොස් මට අමතක කල නොහැකි චරිතයකි. ඔහු හොඳින් පාපන්දු ක්‍රීඩාව කලේය​. මම ඔහුගෙන් ජුවන් පෙරෝන් , ඊවා පෙරොන් ගැන ඇසුවෙමි. 

බ්‍රසීලයේ එමලියානෝ සහ ඇන්ගෝලාවේ ෆෑරෑන්ක්ලීන් කතා කරනවා මම අසාගෙන සිටියෙමි. එමලියානෝ බ්‍රසීල පෘතුගීසි කතා කල අතර ෆෑරෑන්ක්ලීන් අප්‍රිකානු උරුවට ඇන්ගෝලා පෘතුගීසි කතා කරයි. එසේම එමලියානෝ කොලොම්බියාවේ පැබ්ලෝ සමග පෘතුගීසි බසින් කතා කරද පැබ්ලෝ පිළිතුරු දෙන්නේ ස්පාඤ්ඤය භාෂාවෙනි. නමුත් ඔවුන් දෙදෙනා එකිනෙකා  තේරුම් ගනිති. 

කොලොම්බියාවේ මර්තා මගේ මතකයට එයි. ඇය මට මුලින්ම හමු වූයේ මොස්කව් හිදීය​. ඇය ප්‍රින්ස් නම් ගායකයාගේ පර්පල් රෙයින් නම් ගීතයට ඇළුම් කළාය​. මෙම ගීතය මට ගායනා කරන ලෙසද ඉල්ලුවාය​. මර්තා පැමිනියේ කොලොම්බියාවේ අග නගරය වන බොගොටා වලිනි. 

අප සමග සිටි රිස්වාන් නම් ලාංකික සිසුවෙක් නිවියා නැමැති කොලොම්බියානු  තරුණිය සමග විවහා වී කොලොම්බියාවට ගියේය​. දැන් ඔහු එහි වසනවා විය යුතුය​. 

බොලිවියාවේ ග්ලෝරියා නර්තනයට උපන් හපන්නියකි. ඇය ෆ්ලෑශ් ඩාන්ස් චිත්‍රපටයේ ගීත වලට පියකරු ලෙස නටන්නීය​. අප කිහිප විටක්ම ටර්මිනල් නම් ඩිස්කෝ අවන්හලට ගියෙමු. නමුත් ටර්මිනල් හි වැඩිපුර වාදනය කලේ රුසියානු ගීත විය​. එම නිසා අප බටහිර ගීත ඩීජේ ගෙන් ඉල්ලා සිටියෙමු. 

චිලී හි ඉසබෙල්ලා සිටියේ මගේ යාබද කාමරයේ ය​. ඇයගේ සැමියා වූ බෘස් ඇන්ගෝලා ජාතිකයෙකි. ඔවුන් ගේ කුඩා ළමයින් වූ වැසිලී සහ ඇලෙක්සී කෑගසමින් කොරිඩෝ‍රයේ දිව යාම නිසා මට පාඩම් කිරීමේදී බධා ඇති විය​. සමහර දින වලදී ඉසබෙල්ලා තම සොහොයුරා ගැන මතක් කර අඬන්නීය​. ඔහු  චිලියේ පිනාචේ ගේ සිර මැදිරියක සිටි අතර ඔහුව නිති පතා වධයට ලක් කරන බව ඇය කීවාය​. මේ වන විට ඉසබෙල්ලා ගේ සොහොයුරා අඩි පහක් පොළව යට සිටිනවා විය යුතුය​. චිලියේ පිනාචේ ගේ සිරගෙදරකින් යමෙක් එලියට ආවේ කලාතුරකිනි. 

ඉක්වදෝරයේ අැල්බා ශරීර ප්‍රමාණයෙන් කුඩාය​. ඇය බංලාදේශයේ හාලිද් ගේ පෙම්වතිය වූවාය​. අැල්බා ශරීර ප්‍රමාණයෙන් කුඩා වූවද වරක්  ගිනියාවේ සිසුවෙකුට කවට කමට නහයට ගැසීම නිසා ඔහුගේ නාසයෙන් ලේ ආවේය​. 

ගයනාවේ බ්‍රයන් උස කඩවසම් සිසුවෙකි. ඔහුට රුසියානු පෙම්වතියක සිටි බව මතකය​. පෙරූ රටෙන් පැමිණි හුවංගෝ අඩක් ඉන්කා ජාතිකයෙකු මෙනි. එසේම පැනමාවේ මැක්ස් තුලද අඩ වශයෙන් රතු ඉන්දියානු ලක්‍ෂණ තිබේ. අප මැක්ස්ව නොරියේගා කියා නම් කලෙමු. නමුත් එම වචනය ඔහුගේ මුහුණට නොකීවෙමු. මැක්ස්ට අවශ්‍ය වූයේ ශල්‍ය වෛද්‍යවරයෙකු වීමටය​. 

වෙනුසිලාවේ ඔස්කාර් මගේ මිතුරෙකි ඔහු මගේ නම නිතර පටලවා ගෙන රුවන් වෙනුවට ජුවාන්  කීවේය​. මෙසේ කාලයක් යන විට ඔහු මට කතා කලේ ජුවාන් කියාය​. ඔස්කාර් අපේ පාඩම් කවයටද ආවේය​. 

කොස්ටාරිකාවේ ලුවිස් අපට වඩා ජ්‍යෙෂ්ඨ වූවද මගේ හොඳ මිතුරෙකි. ඔහු ලඟ අගනා විඩියෝ චිත්‍රපට ගනනාවක් විය​. නිවාඩු කාලයේ ස්වීඩනයට යන ලුවිස් ස්වීඩනයෙන් නවතම ඇමරිකානු චිත්‍රපට ගෙන එයි. 

මෙක්සිකෝවේ රොද්‍රීගස් නිතරම රන් ආබරණ පැළඳ සිටියේ අතීත ඉන්කා රජෙකු සිහි ගන්වමිනි. රොද්‍රීගස් ඉතා විශාල රන් මුද්දක්  පැළඳ සිටි අතර හදිසි අවස්ථාවක එය නකල් ඩස්ටර් එකක් හෙවත් කළාකිරිඥයක් ලෙසටද භාවිතා කල හැකි වූයේය​. 

කැරිබියන් රටක් වන සෙන්ට් ලුසියා  හි සිසුවෙක් වරක් මොස්කව් වලදී මට හමු විය​. ඔහු ක්‍රිකට් ලෝලියෙකි. කියුබානු සිසුන් විශාල පිරිසක් හිමෙල්නීස්කි නගරයේ සිටි අතර ඔවුන් අතරින් අර්තූර්  මට සිහිපත් වේ. අර්තූර් අප්‍රිකානු සම්භවයකින් යුක්තය​. 

නිකරගුවාවේ රමොන් දකින දකින විට මට සිනහ යයි. එකල ලංකාවේ සෑම තාප්පයකම නිකරගුවාවට අත නොතබනු කියා පෝස්ටර් ගසා තිබුණි. මේ පෝස්ටර් ගැසූවන් ද නිකරගුවාව ගැන ලියූ ලියුම්කරුවෝද නිකරගුවාව තිබෙන්නේ කොහේද කියා නොදත් නමුත් නිකරගුවාවට අත නොතබනු කියා ප්‍රතිරාව කළහ​. රමොන් එන විට මම තොල් හපාගෙන සිනහව තද කර ගනිමි. නිකරගුවාවට මම අත නොතබමි. 

පොදුවේ ගත් කල  ලතින් ඇමරිකානුවන් විනෝදයෙන් සිටින නර්තනයට ගායනයට ලැදි සරළ මිනිසුන් කොටසකි. ඔවුන් අතීතය ගැන කම්පා නොවෙති. අනාගතය ගැන බියව තැවි තැවී නොසිටිති. ලැට්ටන් ලැට්ටියන් බොහෝ විට ජීවත් වන්නේ මේ මොහොතේය​. එය ඔවුන් සතුටින් සිටීමේ රහස විය හැක​. 

වෛද්‍ය රුවන් එම් ජයතුංග 

Monday, March 21, 2016

මව් මරා උපන් කුමරා



දරු ප්‍රසූතියෙන් පසු අධික ලේ වහනය වන කාන්තාවක් වාට්ටුවට ඇතුලත් කොට ඇති බව සවස් වරුවක නේවාසික වෛද්‍ය නිලධාරී එෆ් එම් මෙන්ඩිස් මට දැණුම් දුන්නේය​. මම වහාම  වාට්ටුවට ගියෙමි. රෝගියා එවා තිබුනේ දංකොටුව රෝහලෙනි. දරු ප්‍රසූතියෙන් පසු වැදෑමහ ඝර්භාශය  තුල සිරවී තිබේ. එය අත දමා ගැනීමට කරන ලද වෑයමේදී දංකොටුව රෝහලේ වෛද්‍යවරයා අතින් ඝර්භාශය කනපිට හැරී අධික රුධිර වහනය වන්නට පටන් ගෙන ඇත​. 

කාන්තාව මලානිකය​. ඝර්භාශයෙන් තවමත් රුධිරය ගලයි. වහාම මේ කාන්තාවට රුධිර පාරවිළනය කල යුතු බව නේවාසික වෛද්‍ය රාම් මනෝහර්ට පවසා ඔහුව ලේ බැංකුවට පිටත් කලෙමි. ඒ අතරවාරයේදී නාරි හා ප්‍රසව විශේෂඥ වෛද්‍යවරයාට තත්වය දැනුම් දුන්නෙමි. ලේ වහනය නැවැත්වීම සඳහා ඝර්භාශය ඉවත් කරන ශල්‍යකර්මය (Hysterectomy ) කල යුතු බව අපට වැටහුණි. එම නිසා රෝගියා ශල්‍යාගාරයට ගෙන ගියෙමු. ඝර්භාශය ඉවත් කලද රුධිර වහනය සිදු විය​. එයට හේතුව රුධිර කැටි ගැසීමේ ක්‍රියාවලිය බිඳ වැටී Disseminated intravascular coagulation (DIC) නම් තත්වය මතු වීමයි. 

මෙම කාන්තාවට අප නොකඩවා රුධිරය දුන්නෙමු. ඇයට රුධිර පයින්ට් විශාල ප්‍රමානයක් දී අවට රෝහල් වලින් ද ලේ ඉල්ලා ගිලන් රථය යැව්වෙමු. එහෙත් ඇයගේ තත්වය ක්‍රමක් ක්‍රමයෙන් අසාධ්‍ය වූවාය​. සිහිය නොමැතිව සිටි ඇය උදෑසන හතර පමණ වන විට මිය ගියාය​. 

මෙම කාන්තාවගේ මරණයෙන් පසු ඇයගේ ස්වාමි පුරුෂයා තම බිරිඳ ප්‍රසූත කල බිළිඳා ගෙන යාමට අාවේ වයස අවුරුදු පහක් පමණ වන පුතු සමගය​. ඔහු සරමක් ඇඳි වයස තිස් පහක පමණ පුද්ගලයෙකි. අම්මාගේ මරණය ආරංචි වී දෝ කුඩා පුතු ශෝකයෙන් බිම බලාගෙන සිටියේය​. පුරුෂයා බිළිඳාව වඩා ගත්තේය​. ඉන්පසු ඔහු වාට්ටුවෙන් යන්නට ගියේය​. අළුත උපන් මල්ලී තාත්තා වඩා ගෙන යද්දී කුඩා පුතු ඔවුන් පසු පසින් ගියේය​. මෙම දුක්මුසු දර්ශනය දුටු වාට්ටුවේ හෙදියක වූ ගුණපාල මිස් කඳුළු සැලුවාය​. 

මව් මරා උපන් කුමරා මේ වන විට වසර දහ අටක පමණ තරුණයෙකු විය හැකිය​. තම මව පිළිබඳ මතකයක් ඔහුට නැති වූවද මවගේ සුවඳ ඔහුට ඉඳහිට දැනෙනවා විය හැක​. 


වෛද්‍ය රුවන් එම් ජයතුංග 

Sunday, March 20, 2016

කෙමරූජ් භීෂණය

කෙමරූජ් භීෂණය

කර්තෘ : වෛද්‍ය රුවන් එම් ජයතුංග 

සරසවි ප්‍රකාශනයකි


ඔබ ව ජීවත් කැරැවීම වාසියක් නො වේ. ඔබ ව විනාශ කිරීම ද අවාසියක් නො වේ.˜  නූතන ශිෂ්ටාචාරය මහා මිනිස් සංහාර තුනක් අත්දැක තිබේ. එකක්, හිට්ලර් විසින් යුදෙව් වැසියන්  හැට ලක්ෂයකට අධික සංඛ්‍යාවක් ඝාතනය කරනු ලැබීම යි. දෙ වැන්න, කාම්බෝජයේ බලයට පත්  පොල්පොට් එම රටේ මුළු ජනගහනයෙන් කාලකට ආසන්න පිරිසක් විනාශ කිරීම යි. තුන් වැන්න,  රුවන්ඩාවේ දී හත් ලක්ෂයක වැසියන් පිරිසක් මාස පහක් වැනි කෙටි කාලයක් ඇතුළත සංහාරයට ලක්  වීම යි.  පළමු ව කී සංහාරය සහ අවසානයේ කී සංහාරය ගැනෙන්නේ ජාතිය, වර්ගය සහ ගෝත්‍රය මුල්  කරගෙන සිදු කළ ම්ලේච්ඡ ක්‍රියාවන්ට ය. කාම්බෝජය හෙවත් කම්පුචියාවේ දී එය සිදු කෙරුණේ,  ජාතියක් වර්ගයක් හෝ ගෝත්‍රයක් වෙනුවෙන් නො ව, ඊට වඩා සංකීර්ණ යුතෝපියානු සමාජ  අභිලාෂයක් වෙනුවෙන් ය. එය හැඳින්වෙන්නේ සමාජයීය යාන්ත්‍රික කළමණාකරණය  යනුවෙනි.  

ලෝකය මේ දක්වා දුර ඇවිත් තිඛෙන්නේ, පුද්ගල මැදිහත්වීම් හරහා සමාජය පරිවර්තනයන්ට  භාජනය වීමේ ප්‍රතිඵලයක් වශයෙනි. එ වැනි පුද්ගල මැදිහත් වීම් බොහෝ විට යොමු වී ඇත්තේ, සමාජ  ප්‍රගතියට යි. එහෙත් කලාතුරකින්, සමාජයක් සහ රටක් ප්‍රපාතයට හෙලීමට ද එ වැනි පුද්ගල  ක්‍රියාකාරකම් දායක වී ඇත. කම්පුචියාවේ දී අප අත්දුටුවේ එ වැන්නකි.  මිනිසා යනු සමාජ සත්වයෙකු නිසා ම, සමාජ ප්‍රගතිය වෙනුවෙන් ඔහු වෙනස් කිරීමේ අභියෝගය  ජයගත යුතු ව ඇත්තේ සමාජ බලවේගවලට ඉහළින් ගොස් යාන්ත්‍රික කළමණාකරණයකට සමාජය යටත්  කිරීමෙන් නො ව. මිනිසා මෙහෙයවන සමාජ බලවේග නිවැරදි ව හඳුනා ගැනීමෙනි. එහෙත් යන්ත්‍රයකින්  නිමැවෙන භාණ්ඩයක් සේ මිනිසුන් වත් සකස් කළ හැකි යැයි පොල්පොට් විශ්වාස කෙළේ ය.  

පොල්පොට් සැළකුණේ මාක්ස්වාදියෙකු වශයෙනි. මාක්ස්ගෙන් පසු බිහි වූ බොහෝ මාක්ස්වාදීන්  ඉතිහාසය වෙනස් කිරීමට යාමේ දී වැටුණු බොරු වළවල් අපමණ ය. එ වැනි පුද්ගලයන් ගේ ඒ  අත්හදාබැලීම් සිදු කෙරුණේ බලයෙන් පිටස්තර ව, හුදෙක් දෘෂ්ටිවාදී තලයක නම්, ඒ මගින් ඇති  කෙරුණු දුර්විපාක බලපෑවේ ඔවුනොවුන්ගේ මතවාදීමය දේශපාලනයට පමණි. එහෙත් එම අත්හදාබැලීමේ දේශපාලනය ක්‍රියත්මක කෙරුණේ රාජ්‍ය බලයක ආවරණය යටතේ නම්, ඒ වෙනුවෙන්  සමාජයකට ගෙවන්නට සිදු වූ වන්දිය අපමණ බව විසි වන සියවසේ ඉතිහාසය පුරා අප අත්දැක තිබේ.  මෙය මාක්ස්වාදීන් ගේ වරදක් මිස මාක්ස්වාදයේ වරදක් නො වේ.  එ සේ හෙයින්, පොල්පොට් සහ මාක්ස්වාදය අතර සම්බන්ධය භයානක ව්‍යාජයකට වැඩි දෙයක් නො  වු බව සැළකිය යුතු ය. උපැස් යුවළක් පැළඳීම, විදේශ භාෂාවක් දැන සිටීම සහ අත්ඔරලෝසුවක් වැනි   සුඛෝපභෝගී භාණ්ඩයකට හිමිකම් කීම මරණ දඩුවම ලැබීමට වරදක් යැයි ගත් දෘෂ්ටිවාදයක් මනෝ  ව්‍යාධියක් වශයෙන් මිස විසි වන සියවසේ කුමන දෘෂ්ටිවාදයක් වශයෙන් වත් ගිණිය නො හේ.  

පසු කලෙක, මහජන අධිකරණය˜ නම් වූ රැවටිලිකාරී නඩු විභාගයකින් ජීවිතාන්තය දක්වා  සිර  දඩුවමකට˜ ලක් වූ පසු පොල්පොට් මෙ සේ කීවේ ය:  —මගේ හෘද සාක්ෂිය පිරිසුදු ය˜.  ඕනෑ ම අපරාධකාරයෙකුට හෘද සාක්ෂියක් තිබිය හැක. එහෙත් ජීවිතයේ අවසාන භාගයේ පවා එය   පිරිසුදු˜ එකකැ යි ඔහු අවංකව ම අදහන්නේ නම්, එයින් ගම්‍ය වන්නේ, මිනිස් නපුර පරාජය කිරීම කෙ  තරම් දුෂ්කර ද යන්න යි.  

විද්‍යාවෙන්, තාක්ෂණයෙන් අසීමිත දියුණුවකට පත් ව ඇති නූතන ශිෂ්ටාචාරය  තව මත් මේ අරගලය ජයග්‍රාහී නිමාවකට පත් කොට නැත. පරිසමාප්ත මිනිසෙකු කිසි දිනෙක  නිර්මාණය නො වනු ඇතත්, පරිසමාප්ත නොමිනිසෙකු බිහි වීම වළක්වාලනු වස්, එ වැන්නන් බිහි කරනු ලබන තත්කාලීන සමාජ බලවේග වටහා ගැනීම නිරන්තර අවශ්‍යතාවයක් බව නො කිවමනා ය. ඉතිහාසය එහි නග්න ස්වරූපයෙන් දැක බලා ගැනීමට සැළැස්වීම තරම් සාර්ථක ක්‍රමවේදයක් මේ  අවබෝධය ලබා ගැනීම සඳහා මෙ තෙක් සොයාගෙන නැත. රුවන් ජයතුංග වෘත්තියෙන්  වෛද්‍යවරයෙකු වුව ද, ඉතිහාසය කෙරෙහි ඔහු දක්වන්නේ අසීමිත භක්තියකි. හෙට දවස වෙනුවෙන් කළ යුතු සූදානමකට අවශ්‍ය අමුද්‍රව්‍ය ඔහු එම ඉතිහාසය පිරික්සා සොයා බලනු පෙනේ. එය ගෞරව  කටයුතු, ප්‍රශංසනීය වෑයමකි. —ඔබ ව ජීවත් කැරැවීම වාසියක් නො වේ. ඔබ ව විනාශ කිරීම ද අවාසියක්  නො වේ˜ යැයි කියන පොල්පොට්ලා ලංකාවේ බිහි නො වනු වස්, රුවන් ජයතුංග ගේ මේ වෑයම  සිංහල පාඨකයන් කෙරෙහි සාධනීය අයුරින් දායක වනු ඇතැ යි උදක් ම අපේක්ෂා කරමි.       

ගාමිණී වියන්ගොඩ







Saturday, March 19, 2016

නවක වදය




කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ සිසුන් විසින් නවක සිසුන් නවක වධයට භාජනය කරනු ලැබ තිබීම   නිසා විශ්වවිද්‍යාල ආචාර්‍යවරුන් විසින් ජ්‍යෙෂ්ඨ සිසුන්ට දේශන හා ප්‍රායෝගික පන්ති පරීක්‍ෂණ පැවැත්වීමෙන් වැළකී සිටීම පසුගිය සඳුදා සිට ක්‍රියාත්මක කරනු  ලැබීය​. සෑම වසරකම නවක වධ ක්‍රියාවලිය ගැන අසන්නට ලැබේ. 

ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ආයතනයන් හී බොහෝවිට කනිෂ්ඨ සිසුන් වෙත වාචිකව, ලිඛිතව සිදුකරනු ලබන සරදමක්, ශාරීරිකව සිදු කරනු ලබන පරුෂ සැලකීමක් හෝ ඔවුන් තුල මානසික අස්ථාවරත්වය, බිය හා චකිතය ඇතිකරවන සුලු, සාමාන්‍ය අවස්ථාවේදී පුද්ගලයෙකු විසින් සිදුනොකරන්නාවූ ක්‍රියාවන් කිරීමටයැයි සිදු කරනු ලබන බලකිරීමක් නවක වදය අර්ථ දැක්වෙයි. අනෙකුත් රටවල් සමග සැළකීමේදී, ශ්‍රී ලංකාවද ලෝකයේ නවක වදය දරුණු ලෙස මුල් බැසගත් රටක් ලෙස සැළකෙයි.  (රැගිං: හිස්ට්‍රි ඇන්ඩි ඉවොලූෂන්)



පහත දැක්වෙන්නේ නවක වදය පිළිබඳ විවිධ ලියුම්කරුවන් විසින් දක්වන ලද අදහස් වේ   

ශ්‍රී ලංකික විශ්වවිද්‍යාල පිළිබඳව සමහරු අර්ථ කථනය කරන්නේ මුදා නොගත් භුමි ලෙසටය. ලංකාවේ විශ්වවිද්‍යාල අරාජිකය. ලංකික විශ්වවිද්‍යාල වල සෑම වසරකම නවක වදය ලෙසින් බරපතල ලෙස මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කෙරේ. මේවා ගැන මානව හිතවාදීයැයි කියා ගන්නා කලාකාරයන් ඉදිරිගාමීයැයි කියා ගන්නා දේශපාලකයන් අවංක කාර්ය ශුර සහ උගත් යැයි කියා ගන්නා විශ්වවිද්‍යාල බලධාරීන් කථා කරන්නේ නැත. අප පිලි නොගන්නා කටුක සත්‍ය නම් මානව හිමිකම් වලට ගරු කරන, හිංසනය ප්‍රතික්ෂේප කරන උසස් සදාචාරයක් ඇති ලෝකයේ වෙනත් විශ්වවිද්‍යාල වලට සාපේක්ෂව ශ්‍රී ලංකික විශ්වවිද්‍යාල තවමත් පවතින්නේ තිරිසන් මට්ටමකිනි. සමහර විදේශ රටවල සරසවි සිසුන්ට සහ විශ්වවිද්‍යාල මහාචාර්යවරුන්ට ලංකාවේ විශ්වවිද්‍යාල වල සිදුවන හිංසනයන් අදහා ගත නොහැක. 

පසුගිය කාලයන් පුරා අපගේ විශ්වවිද්‍යාල වල සිදු වූ බරපතල මානුෂික අයිතිවාසිකම් කඩවීම් උසස් සදාචාරයක් ඇති මානව හිමිකම් වලට ගරු කරන අධ්‍යාපනික වශයෙන් උසස් ලෝකයේ වෙනත් විශ්වවිද්‍යාලයක සිදුවූවා නම් එම විශ්ව විද්‍යාල කුලපතිවරුන් සිටින්නේ සිර ගෙවල්වලය. ඒ හිංසනයට නිහඬ ලෙස අනුබල දීම නිසාවෙනි. හිංසනයට නිහඬ ලෙස අනුබල දෙන්නාද අපරාදකරුවෙක් බව මෙවැනි රට වල විශ්ව විද්‍යාල බලධාරින් අවබෝධ කරගෙන සිටියද අපගේ විශ්වවිද්‍යාල බලධාරින් තුල තවමත් එවැනි උසස් චින්තනයක් පහල වී නොමැත. ඊට හේතුව අපගේ විශ්වවිද්‍යාල බලධාරීන්ද ශිෂ්‍ය සමයේදී නවක වදයේ වින්දිතයන් හෝ වදකයන් වී සිටීමය. එම නිසා මෙම බරපතල මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වරදක් සේ දැකීමට ඔවුනට තවමත් හැකියාවක් නොමැත. ශ්‍රී ලංකික විශ්වවිද්‍යාල වාචික, කායික සහ ලිංගික හිංසනයෙන් පිරි පවතී. එවැනි හිංසනයක් නැති බව පවසන්නේ හිංසනය සිසු දේශපාලන අවියක් කරගත් අන්තවාදී සිසු සංවිධාන සහ හිංසනය යට ගසමින් වදකයන්ට උඩ ගෙඩි දෙන විශ්වවිද්‍යාල බලධාරින්ය. 

මේ හිංසනය ඇති වුයේ අද ඊයේ නොවේ. 1960 ගණන් වලදීද මෙම තත්වය ශ්‍රී ලංකික විශ්වවිද්‍යාල විශ්ව විද්‍යාල වල තිබුණි. පේරාදෙණියේ ජයතිලක ශාලාවේ වැසිකිළිවල බඩගෑමට 1963 කණ්ඩායමට ද සිදු වූ බව පැරණි සිසුහු පවසති වර්තමාන විශ්ව විද්‍යාල බලධාරීන්ගෙන් 99% නවක වදය අනුන්ට සිදු කල වධකයන් හෝ නවක වදයට ලක් වූ වින්දිතයන් වෙති. නවක වදය නැති කිරීම සදාචාරාත්මක වශයෙන් ඔවුන්ට අභියෝගයකි. එම නිසා ඔවුන් ලංකාවේ විශ්ව විද්‍යාල වල පවතින අමානුෂික නවක වදය ගැන දරන්නේ උදාසීන පිළිවෙතකි. මේ නිසා ඔවුන් මේ හිංසන නැවැත්වීමට විධිමත් ක්‍රියාමාර්ග අනුගමනය නොකරති. ඔවුන් මෙම ප්‍රශ්නය දකින්නේ විශ්ව විද්‍යාල සමාජයේ සිදුවන සාමාන්‍ය සිද්දීන් ලෙසටය. අපිත් මේවා කෑවා තොපිත් දැන් මේවා කාපිය යන්න මෙම බලධාරීන් බහුතරයකගේ චින්තනය වී තිබේ. එම නිසා ලංකාවේ විශ්ව විද්‍යාල වලින් නවක වදය තුරන් කිරීමට නම් මුලින්ම කල යුත්තේ නවක වදය පිලිබඳ විශ්ව විද්‍යාල බලධාරීන්ගේ සහ ආචාර්ය මණ්ඩලයේ ආකල්ප වෙනස් කිරීමයි.(වාචික, කායික සහ ලිංගික හිංසනයෙන් සපිරි ශ්‍රී ලාංකික විශ්වවිද්‍යාල | ඩී. සුගත් රාජපක්ෂ)   

2011 වර්‍ෂයේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුළත්ව එහිදී අති අමානුෂික ලෙස නවක වධයට බඳුන් වූ ශිෂ්‍යයකු වෙනුවෙන් ගොනු කරන ලද නඩු වාර්තාවක කොටසක මෙසේ දැක්වේ : "මෙම අපරාධය සිදුකර ඇත්තේ නූගත්, බුද්ධි මට්‌ටමින් පහත් තලයක සිටින අය නොවේ. පළමු ශ්‍රේණියේ සිට අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස්‌ පෙළ දක්‌වාම මහජනයාගේ මුදලින් අධ්‍යාපනය ලබා තව දුරටත් මහජන මුදලින් අධ්‍යාපනය ලබන උගත් බුද්ධිමත් යෑයි සලකනු ලබන, ඉහළ සමාජ ස්‌ථරයකට ඔසවා තබන ලද පුද්ගලයන් පිරිසක්‌ බව අනාවරණය වෙයි."  

මහා ශිෂ්‍ය සංගමය පවසන්නේ විශ්වවිද්‍යාලවලට නවක සිසුන් පැමිණි පසු එම සිසුන් වර්ග කිරීම අනුගත කිරීම සහ හඳුනා ගැනීම සිදුකරන බවය. එමෙන්ම විශ්වවිද්‍යාලවල සංස්‌කෘතික කාරණාවලට අදාළව ශිෂ්‍යයෝ හඳුනා නොගෙන විශ්වවිද්‍යාල තුළ පැවැත්මක්‌ නැති බව ද ඔවුහු පවසති.  මේ හඳුනා ගැනීම සඳහා සිදු කරන බොහෝ දේ නිසා සිසු සිසුවියන් බොහෝ දෙනකු විශ්වවිද්‍යාල අධ්‍යාපනය අතහැර දැමූ බවත්, සිය දිවි නසාගත් බවත්, ආබාධිත වූ බවත් වර්තමානයේ "ජ්‍යෙෂ්ඨයන්" යෑයි කියන අතීතය අමතක කළ "නවකයන්ට" සිහිපත් කර දෙමු.  මහා ශිෂ්‍ය සංගමය කියන "සංස්‌කෘතික කාරණාවලට" අදාළව 1997 වර්ෂයේදී සෙල්ව විනයාගර් වරප්‍රකාශ් මරා දමන්නේ නවක වධයට ලක්‌ කරමිනි. ඒ අදින් දහනව අවුරුද්දකට ඉහතදීය. එදා කලිසම තෙමා ගන්නා වියෙහි සිටි අද "ජ්‍යෙෂ්ඨයන්" වී සිටින බොහෝදෙනකු ඒ ගැන හිතන්නේවත් නැති බව සහතිකය.  2014 වර්ෂයේදී අඟුණකොළපැලැස්‌සේ ඩී. කේ. නිශාන්ත පේරාදෙණි සරසවි භූමියේදී සිය දිවි නසාගන්නේ ද නවක වධය ඔය කියන තරම් "සංස්‌කෘතික" නොවූ නිසාය. "හඳුනා ගැනීම" එතරම් සොඳුරු නොවූ නිසාය. "වර්ග" කිරීම සහ අනුගත කිරීම මැර පන්නයේ එකක්‌ වූ නිසාය. ශිෂ්‍ය සංගමය සඳහන් කරන "විශ්වවිද්‍යාල ඇතුළේ සංස්‌කෘතික කාරණාවලට" නිරුවත් කර ලිංගික වධ හිංසා පැමිණවීම අදාළ දැයි මේ ජ්‍යෙෂ්ඨයන් ඉතාම ඉක්‌මනින් වරප්‍රකාශ් සිසුවාගේ යුගයේ aජ්‍යෙෂ්ඨ මැරයන්ගෙන් අසා දැනගත යුතුය. අපට අසන්නට ඇත්තේ, මේ තිරිසන් සංස්‌කෘතික කාරණාවලට විශ්වවිද්‍යාල ආචාර්යවරු එරෙහිවීම තර්ජනය කිරීමට තරම් හේතුවේද යන්න පමණකි (දිවයින පුවත්පත )   


නවකයන්ට කුණුහර්ප කීම (වාචික, කායික සහ ලිංගික හිංසනයෙන් සපිරි ශ්‍රී ලාංකික විශ්වවිද්‍යාල | ඩී. සුගත් රාජපක්ෂ)   

ලංකාවේ සෑම විශ්ව විද්‍යාලයකම නවකයන්ට ජේෂ්ඨයන් විසින් කුනුහර්පයෙන් බැනීම, අසභ්‍ය වචන කීම, තර්ජනය කිරීම කරන බව වගකීමෙන් සහ අවදාරණයෙන් යුතුව අප ප්‍රකාශ කරමු. මෙය අසත්‍යක් නම් ඕනෑම කෙනෙකුට මෙම ප්‍රකාශය අභියෝගයට ලක් කල හැකිය. ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාලයක ඉගෙනුම ලැබූ සහ ජේෂ්ඨයන් ගෙන් කුණුහර්ප නොඇසූ මහත්මයෙකු හෝ මහත්මියක සිටි නම් කරුණාකර ඉදිරිපත් වන්න. මෙම කුණුහර්ප කීමේ සම්ප්රදාය දැනට අවුරුදු 30 අධික කාලයක් පුරා ලංකාවේ විශ්ව විද්‍යාල වල ස්ථාපිත වී තිබේ. මෙය ලංකාවේ විශ්ව විද්‍යාල බලධාරීන්ගේ අවදානයටවත් ලක් නොවන කරුණකි. හේතුව ඔවුන්ද නවකයන් ලෙස කුණුහර්ප හා තර්ජන අසා ජේෂ්ඨයන් ලෙස නවකයන්ට කුණුහර්ප කියා තර්ජනය කල අතීතයකට හිමිකම් කීමය. ඒ නිසා මෙය බරපතල වරදක් ලෙස ඔවුන් නොදකිති.  උසස් සදාචාරයක් සහ අධ්‍යාපනික සංස්කෘතියක් ඇති ලෝකයේ වෙනත් විශ්වවිද්යාලයක සරසවි සිසුවෙකු විසින් තවත් සිසුවෙකුට අසභ්‍ය වචනයෙන් බැන වැදීම , තර්ජනය කිරීම වැටෙන්නේ අපරාද හෙවත් ක්‍රිමිනල් වර්ගයේ වරදකටය. සංවර්ධිත අධ්‍යාපන සංස්කෘතියක් ඇති පිටරට විශ්ව විද්‍යාලයකට අඩියක් තබා ඇති ඕනෑම ලාංකිකයෙක් එය දනියි. එවැනි ක්‍රියාවක් කල තැනත්තාට එරෙහිව පොලිසියට හෝ අධිකරණයට යාමට පහසුකම් තිබේ. සරසවි බලධාරීන්ද මෙවැනි වර්ගයේ සුළු අපරාදයක් වුවද යට නොගසා නිතිය ක්‍රියාත්මක කරති. නමුත් තවමත් එවැනි අන්දමේ උච්ඡ අධ්‍යාපනික සහ සංස්කෘතික මට්ටමක් නැති ශ්‍රී ලංකික විශ්ව විද්‍යාල වල කුනුහර්පයෙන් බැනීම, අසභ්‍ය වචන කීම, තර්ජනය කිරීම සාමාන්‍ය සිදුවීම්ය. ජේෂ්ඨයෙකු විසින් තමන්ට ශාරීරික හිංසනයක් , ලිංගික අපරාදයක් නොකොට කුනුහර්පයෙන් බැනීම ශ්‍රී ලංකික විශ්ව විශ්ව විද්‍යාලයට ඇතුළුවන නවකයා සලකන්නේ වාසනාවක් හැටියටය. නවක වදයෙන් ලත් බේරීමක් ලෙසටය. මෙවැනි පුළුල්ව පැතිරී ගිය වාචික හිංසනයක් ඇති ග්‍රී ලංකික විශ්ව විද්‍යාල ජගත් විශ්ව විද්‍යාල මට්ටමෙන් කොතරම් පහත් ද සහ කොපමණ තිරිසන් මට්ටමක තිබෙන්නේද යන්න අවබෝධ කර ගත හැක්කේ සංවර්ධිත රටක විශ්ව විද්‍යාලයකට අඩිය තැබූ ලාංකිකයෙකුට පමණි. එවැනි අත්දැකීමක් නොලද , බාහිර ලෝකය ගැන අවබෝධයක් නොමැති ලංකික සරසවි සිසුවා තමා අධ්‍යාපනය ලබන්නේ මඩ ගොහොරුවක බව නොදැනීම කෙතරම් අභාග්‍ය සම්පන්නද ?  

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේදී දී කුණුහර්ප අත්දැකීමකට මුහුණ දුන් සිසුවියක් මෙසේ පවසන්නීය. (උපුටා ගැනීම නවක වදයෙන් තොර සරසවි දිවිය)  එදින සඳුදාවකි. රැග් නොවන මාගේ මිතුරියන් 5-10ක් පමණ හා එක් මිතුරෙක් විශ්ව විද්‍යාලයට පැමිණියේ එදා විශේෂ ප්‍රවේශය යටතේ සිසුන් ඇතුළත් කරගන්නා දිනය වූ බැවින්ම පමණක් නොවේ, දෙවන වර උසස් පෙළට මුහුණ දී සරසවි වරම් ලබා ගත් අපගේ මිතුරු මිතුරියන් බොහෝ දෙනෙක්ද එදා පැමිණීමට නියමිතව තිබූ බැවිනි. උසස් පෙළ උපකාරක පන්තියකදී මුණ ගැසුනු මිතුරියක මට අවුරුදු දෙකකට පමණ පසුව මුණ ගැසුණි.අවුරුදු ගණනකට පසුව ඇයගේ මව හා පියාද මුණ ගැසුණු නිසා සුහදව ඔවුන් සමග කතා කලෙමි.ටික වේලාකින් මාගේ මිතුරියන් දෙදෙනෙක්ද එතැනට පැමිණි නිසා දෙමාපියන් මඳකට ඉවතට ගියේ අපට ඕනෑ දෙයක් ඕනෑ ආකාරයකට කතා කරගැනීමට නිදහස ලබා දෙමිනි.විනාඩි දහයක් ගතවන්නට ඉඩ ලැබුනේ නැත. දෙවන වසර සිසු සිසුවියන් පිරිසක් රුදුරු ඇස් දල්වා අප වටකරගත්හ. ඇඟේ මයිල් කෙලින් වූයේ ඔවුන් ගේ හැටි දන්නා නිසාවෙනි. එනපොට හොඳ නැති බව තේරුණු නිසා නවක සිසුවියගේ දෙමාපියන් නැවත අප අසලට කැඳවා ඔවුන්ට නිවෙස් බලා යෑමට කීවෙමු. ඔවුන් විශ්ව විද්‍යාලයෙන් පිට වන තුරු එක්තරා ශිෂ්ය කණ්ඩායමක් ඔවුන් පසුපසින් පැමිණි බව පසු දිනක ඈ මට පැවසීය. සමහර විට ඒ ඇය නැවතත් රැග් නොවන සිසු සිසුවියන් සමඟ කතා කරනවාද යන්න නිරීක්ෂණය කිරීමට විය හැක.  නවක සිසුවිය පිටවී ගිය පසු මගේ මිතුරෙක් මා සිටි තැනට පැමිණියේ ඒ වනවිට මා වටකරගෙන සිටි සිසු සිසුවියන්ගේ මුහුණු වල හැගීම් එතරම් දරුණු වූ නිසාවෙනි.ඔහු සමඟ මා එම සිසු සිසුවියන්ගෙන් ඈතට ආවෙමි. එසේ පැමිනෙණ විට විට එක් ශිෂ්යාවක් "ආ දැන් වැඩේ හරි කියලද හිතං ඉන්නේ" යැයි ඇසුවේ මන්ද කියා මට තාම සිතාගත නොහැක. මා කලේ මාගේ මිතුරියක් සමඟ කතා කිරීම පමණක් බැවින් ගත හැකි එකම තීරණය නම් නවක සිසුන් සමග කතා කිරීම ඇන්ටි- රැග් සිසු සිසුවියන්ට තහනම් බවයි.නමුත් එසේ නීතියක් නම් විශ්ව විද්‍යාලීය නීති පද්ධතියේ මා දන්නා තරමින් ඇතුලත් වී නොමැත. ටික වේලාවක් ගතවන විට ටිකින් ටික අප සිටි තැනට පෙර මා වට කරගත් සිසු සිසුවියන් පිරිස ළංවිය.අප ඔවුන්ව නොසළකා සිටින බව වැටහුණු විට ඔවුන් කලේ අපගේ අවධානය ඔවුන් වෙත යොමු කරගැනීමට කුණුහරුප යොදා ගැනීමයි.අමුතිත්ත කුණුහරුප කීවද අප ඒවා එක් කණකින් අසා අනික් කණින් පිටකිරීම ඔවුන්ට දරාගත නොහැකි බව පසක් වුයේ ඉන්පසු එක් එක් සිසුවියට පෞද්ගලිකව අපහාස කිරීමෙනි. 

 රූමත් සිසුවියෙක් දෙස බැලූ එක් ජේෂ්ඨ උතුමකු "උඹේ හම සුදු වුනාට වැඩක් නෑ තන් පොඩියි. උඹලාගේ කොල්ලෝ දන්නේ නෑ ඕවා ලොකු කරල හදලා ගන්න. වරෙන් අපි හදලා දෙන්නම්" යැවි පැවසීම කෙතරම් උත්තම කමක්දැයි තෝරා බේරා ගැනීම කියවන ඔබට භාර කරමි.එසේම "උඹලා අරූට විතරක් පෙන්නනවා නම් අපි බැලුවාම මොකද" කියා අප ඉදගෙන සිටින විට අපට පිටිපසින් පැමිණ සිටගෙන අපගේ පපු ප්‍රදේශය දෙස බලන උතුමන් සමග පෙම් සබදතාවක් ආරම්භ කිරීම පිලිබඳව දෙවරක් සිතා බලන මෙන් ආදරණීය සහෝදරියන්ගෙන් ඉල්ලා සිටිමි. සිසුවන් මෙසේ අපට අපහාස කරද්දී සිසුවියන් අප සමග සිටි මිතුරාටද මෙසේ අපහාස කර ඇති බැව් දැන ගත්තෙමි. ඔහුට එම උත්තමාවියන් පැවසූ වදන් බ්ලොග් සටහනේ යෙදීමට කෙසේවත් සුදුසු නොවන නිසා නොලියමි.  සියලුම කුණුහරුප පවසා අවසාන වන තුරු නිශ්ශබ්දව සිටි ඔවුන් අපෙන් ඇසූ ඊලඟ ප්‍රශ්නය  "උඹලට අපි කියපුවා තේරුනාද?" අපගේ පිළිතුර "නිශ්ශ්බ්ද තාවය" නිශ්ශබ්දතාවයට ඔවුන්ගේ පිළිතුර "මුන් මේවා දන්නේ නෑ මචං. අපිවත් කියලා දෙමු" ඉන්පසු ආරම්හ වූයේ කුනුහරුප කියා දීමේ පන්තියකි   යකෝ, **** කියන්නේ කොල්ලොන්ට තියන එකට, ***** කියන්නේ කෙල්ලොන්ට තියන එකට. ***** කියන්නේ ******ක ******කට දාන එක. එයින් නොනැවතී තම ඇඟිලි පාවිච්චි කරමින් අදාල කටයුතු සිදුකරන ආකාරයද පැහැදිලි කිරීමට තරම් පරාර්ථකාමී මේ උතුමන් ඉදිරියේ තව දුරටත් රැදී සිටීම නුවණට හුරු නැති නිසා,මුවින් නොබැන සරසවියෙන් පිටවීමට සුදානම් වීමු.   


කොළඹ විශ්වවිද්‍යාලයේදී නවකයන්ට සිදු කල ලිංගික හිංසන ගැන අනෝමා ජනාදරී .........

පුනරුක්ති නම් තම ස්වයං චරිතාපදානයේ කොළඹ විශ්වවිද්‍යාලයේදී නවක සිසුවියන්ට මුහුණ දීමට සිදු වූ ලිංගික හිංසන පිළිබඳව අනෝමා ජනාදරී හෙලිකරන්නීය. මෙම ලිංගික හිංසන අතර සිසුවියන්ට අසභ්‍ය වචනයෙන් ආමන්ත්‍රණය කිරීම, කුණුහරප කීමට බල කිරීම , කුණුහර්ප පදවැල් ඇති ගීත ගැයීමට බල කිරීම මෙන්ම සිසුවියන්ට වතුර ගසා ඇඟට ඇලුණු ඔවුන්ගේ වස්ත්‍ර දෙස කාමුකව බැලීම සිදු කොට තිබේ. (මෙවැනි ලිංගික හිංසන තවමත් කොළඹ විශ්වවිද්‍යාලයේදී සිදුවේ) නවක වද අවසන් අදියරේදී පැවති ෆ්රෙෂස් නයිට් සාදයේදී එවකට කොළඹ විශ්වවිද්‍යාලයේ ජේෂ්ඨ සිසුවෙකු වූ කහවත්ත නොහොබිනා අන්දමට ලිංගික බලපෑම් කල අයුරු ගැනද අනෝමා ජනාදරී පවසයි. මෙම කහවත්ත නම් පුද්ගලයා අනෝමාගේ අත බලෙන් ගෙන ඔහුගේ රහසඟ උඩ තබාගැනීමට තැත් කොට තිබේ. 1980 දශකයේ කොළඹ විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලැබූ සහ ඝාතනය කරන ලද දයා පතිරණ ගේ සමකාලිනයෙකු වූ කහවත්ත දැන් රජයේ දෙපාර්තමේන්තුවක උසස් නිලයක් දරයි. මෙවැනි පුද්ගලයෙකු අද ලංකාවේ විශ්ව විද්‍යාලයක සේවය කලේ නම් ඔහු නවක වදය නැවැත්වීමට ක්‍රියා කරයිද ? ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල වල කථිකාචාර්යවරු , අංශ ප්‍රධානින් ලෙස සේවය කරන බහුතරයක් කහවත්ත වැනි අතීත කියාකලප තිබූ පුද්ගලයන්ය. එම නිසා ඔවුන් නවක වදය නැවැත්වීමට පෙරට නොඑති.  


කොළඹ විශ්වවිද්‍යාලයේ නවකයන්ට මිනිස් අසුචි සහ කුණු මස් දියර බකට් කල අයුරු 


 කොළඹ විශ්වවිද්‍යාලයේ අධ්‍යනය ලැබූ සිසුවෙකු හෙළි කල පරිදි නවකයන්ට බකට් කිරීම සඳහා ජේෂ්ඨ සිසුන් විසින් කොළඹ රීඩ් මාවතේ පිහිටි රහිමා හෝටලයේ කුස්සියට ගොස් ඉවත් කරන ලද කුකුල් මස් හම් කෑලි ඉවත ලූ බත් ගෙන ආවේය. මේවා විශාල බැරල් එකකට දමා වතුරද එකතු කොට පල් කරන ලදී. දින දෙකකට පමණ පසු මෙම බැරල් එකේ වතුර වලින් දුර්ගන්දයක් හමන්නට විය. එක් ජේෂ්ඨ සිසුවෙකු එයට මළපහ කළේය. ඉන්පසු එය කිව නොහැකි තරම් දුගඳ විය. පසුව මේ කුණු දියරය ප්ලාස්ටික් භාජන වලට දමා නවක සිසු සිසුවියන් බකට් කරන ලදී. දුර්ගන්දය සහිත දියර ශරීරයට වැදීම නිසා ඔවුන්ගේ ඇඳුම පවා යලි භාවිතා කල නොහැකි තත්වයට පත් විය. එක සිසුවියක් සැරසී සිටියේ ඇයගේ බෝඩිමේ අයිතිකරියගෙන් ඉල්ලාගත් සාරියකිනි. එම සාරිය කුණුවී ගිය මස් කැබලි සහ අසූචි වැදී කළු වර්ණ විය. එම සිසුවිය බොහොවෙලාවක් යනතුරු කඳුළු සැලුවාය. මෙම සිද්දිය හෙළි කල සිසුවා වර්තමානයේදී ඇමරිකා එක්සත් ජනපදයේ තම ආචාර්ය උපාධියට ඉගෙනුම ලබයි. ඔහු පවසන පරිදි මෙවැනි සිදුවීමක් ඇමරිකාවේ විශ්ව විද්‍යාලයක සිදු වුයේ නම් එවැනි අමානුෂික ක්‍රියාවක් සිදු කල සිසුන් නවතින්නේ හිර ගෙදරය. (වාචික, කායික සහ ලිංගික හිංසනයෙන් සපිරි ශ්‍රී ලාංකික විශ්වවිද්‍යාල | ඩී. සුගත් රාජපක්ෂ)  


 රුහුණු සරසවිය  

රුහුණ සරසවියේ මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පීඨයේ පළමු වසරේ සිසුවියක වූ වත්සලා කුමුදුනි ද සිල්වා රුහුණු සරසවියේදී දරුණු නවක වදයට පත්‍ර වුවාය. ජේෂ්ඨයන් විසින් ඇයට කුණුහරුප 10 ක් කටපාඩම් කොට ඒවා පාඩම් දීමට බල කළහ. ඉන් පසුව පසුව ඇයව නවකයන්ගේ පෝලිමකට දමා ඉස්සරහටත් පසුපසටත් තෙරපන ලදී. මේ හේතුවෙන් වත්සලා කුමුදුනිගේ තුනටිය බිඳී සිහිසුන් වුවාය. මෙම සිසුවිය සිහිසුන්වීමෙන් අනතුරුව සිද්ධියට සම්බන්ධ ජ්‍යෙෂ්ඨ සිසුන් අසත්‍ය ප්‍රකාශ කරමින් වත්සලා කුමුදුනි ද සිල්වා පඩි පෙළකින් ඇද වැටී අනතුරකට පත් අයෙකු ලෙස පෙන්වා දෙමින් රෝහල් ගත කර ඇත. ඇයගේ තුනටියේ වේදනාව තවමත් සුව නැත. රුහුණු සරසවියේ අමානුෂික නවක වදය නිසා 1993 වසරේ චමින්ද පුන්චිහේවා යන සිසුවා මිය යන ලදී. 1997 වසරේ ද නවක වදය නිසා රුහුණු සරසවියේ සිසුවියක් දිවි නසා ගත්තාය. ජේෂ්ඨයන් විසින් මෙම සිසුවිය ලිංගික හිංසනයට ලක් කොට තිබූ බව පසුව හෙළි විය.  

ලංකාවේ වෛද්‍ය පීඨ වල පවතින නවක වදය  

ශ්රී ලංකාවේ වෛද්‍ය පීඨ වලද අති දරුණු අන්දමින් නවක වදය ක්‍රියාත්මක වේ. නිරුවත් කරවීම, අසභ්‍ය ඉරියව් අනුකරණයට බල කිරීම, සිසුවියන්ට කුණුහර්ප කීමට බල කිරීම , අසභ්‍ය කතා සහ සින්දු ලියා දී ඒවා සමුහය ඉදිරියේදී කියවීමට බල කිරීම, බලහත්කාරයෙන් වියායාම කරවීම බොහෝවිට සිදු වේ. ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ප්‍රධාන වෛද්‍ය නිළධාරී දොස්තර ශාන්ත හෙට්ටිආරච්චි පවසන අන්දමට (උපුටා ගැනීම ලක්බිම පුවත්පත) කොළඹ වෛද්‍ය පීඨයේ 1978 වසරේදී දී වෛද්‍ය සිසුන් නැවතී සිටි ජීවක නේවාසිකාගාරයේ නවක සිසුන් සම්පුර්ණයෙන්ම නිරුවත් කොට පිරිමින්ගේ ලිංගේන්ද්රියෙහි පෙර සම ඉවත් කිරීමේ සැත්කම බොරුවට රඟ දක්වා තිබේ. මෙවැනි නිරුවත් කිරීම් ලංකාවේ වෛද්‍ය පීඨ වල සෑම වසරකම සිදු වන බව කොළඹ වෛද්‍ය පීඨයේ ජේෂ්ඨ වෛද්යවරයෙකු අප සමග පැවසිය. වැඩි දුරටත් කරුණු දැක්වූ ඔහු 2004 වසරේදී කොළඹ වෛද්ය පීඨයේ නවක වද සමයේදී නවකයන්ට මතක ශක්තිය වැඩි කිරීමට කියමින් ජේෂ්ඨ සිසුවෙකු විසින් හස්ත ක්‍රමයෙන් මෝචනය කරන ලද ශුක්‍රානු කහට තේ වලට දමා බීමට බළ කල බව හෙළි කරයි. මෙම ශුක්‍රානු මුසු කහට තේ සිසුවියන් අප්‍රසාදයෙන් බොන විට ඔවුන් නවක වදයට ලක් කල ජේෂ්ඨ සිසුන් කොක් හඬ නගමින් සිනාසී තිබේ.(වාචික, කායික සහ ලිංගික හිංසනයෙන් සපිරි ශ්‍රී ලාංකික විශ්වවිද්‍යාල | ඩී. සුගත් රාජපක්ෂ)    



රූපා රත්නසීලි මෙනෙවිය 

පේරාදෙණිය‍ විශ්වවිද්‍යාලයේ   ප්‍රකටම සහ කෘරතම ගොදුර උනේ රූපා රත්නසීලි මෙනෙවියයි. නමුත් ඇය නවක වදයේ ගොදුරක් ලෙසටයි සිසුන් සහ විශ්ව විද්‍යාල බලධාරීන් ලෝකෙට පෙන්නුවේ. නමුත් සත්‍ය ඒක නොවේ. විශාල බොරුවකින් ඇත්ත වහ ගත්තා. අද උනත් බහුතරයක් විශ්වාස කරන්නේ රූපා රත්නසීලි රැග් එකට බය වෙලා උඩින් පැන්නා කියලා. එතන උනේ රැග් එකක් නෙවෙයි ලිංගික හිංසනයක්. ඇයට හිරිහැර අතවර කරන්න ආපු ඇයගේ බැචාලා බැචිලා මේ සත්‍ය දන්නවා. නමුත් ඔවුන් අද පවා මේ ගැන වචනයක් කතා කරන්නේ නැහැ. මේ සිද්දිය දැක්ක අය ඉන්නවා මම ඒ අයගෙන් ඉල්ලීමක් කරනවා දැන්වත් මාධ්‍යට ඇවිල්ලා එදා සිදුවූ දේ පිලිබඳ සත්‍ය රටට කියන්න කියලා. නැත්නම් මේ සිද්ධියට සම්බන්ද නොවී සිද්ධිය දැකපු එහෙත් නිහඬතාවය රකින අය පවා රූපාගේ ජිවිතයට වග කියන්න ඕනේ. ඔවුනුත් අපරාධකරුවන්.  රූපා රත්නසීලි පේරාදෙණිය‍ විශ්වවිද්‍යාලයට එන්නේ 1975 වර්ෂයේ. රූපා ගේ ගම කරන්දෙණිය, මහඒදණ්ඩේ. ඇය ලැජ්ජා බය ඇතුව හැදුණු ගැමි යුවතියක්. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයට ඇතුළු රූපාට රාමනාදන් නේවාසිකාගාරයේ නවාතැන් ලැබුණා. ඒ කාලේ පවා ලිංගික හිංසනය පේරාදෙණියේ තිබුනා. දවසක් නවක වදය කියා ජ්‍යෙෂ්ඨ සිසුවියන් පිරිසක් පෑන් අරගෙන ඇයගේ කාමරයට කඩා වැදුනා. මේ පෑන් ඔවුන් නවක සිසුවියන්ගේ යෝනි මාර්ගයට ඇතුල් කරනවා. මේ ලිංගික හිංසනයට බය වූ රූපා රත්නසීලි රාමනාදන් ශාලාවේ උඩුමහලෙන් බිමට පැන්නා. ඒ නිසා ඇයගේ කොන්ද කැඩී සදාකාලික අබ්බගාත වුණා. ඉන්පසු රූපා ජිවත් වුනේ රෝද පුටුවක. දිවි රැක ගත්තේ රෙදි වියලා. ඇයගේ තරුණ ජීවිතය පේරාදෙණිය‍ විශ්වවිද්‍යාලයේ ලිංගික හිංසක පිරිසක් නිරපරාදේ විනාශ කළා. මේ මානසික පීඩනය නිසා 1997 දී රූපා රත්නසීලි මෙනෙවිය රෝද පුටුව පිටින් ලිඳට පැනලා දිවි නසා ගත්තා. රූපා රත්නසීලිට ලිංගික හිංසන කරන්න ආපු අය අද මහාචාර්යවරියන් , සමහරු විදුහල්පතිනියන් , සමහරු ආයතන ප්‍රධානීන් , ඔවුන් අද පිරුවට වගේ ජීවිත ගත කරනවා. සදාචාරය සංස්කෘතිය ගැන පුවත් පත් වලින් ගුවන් විදුලියෙන් රූපවාහිනියෙන් කතා කරනවා. නමුත් රූපා රත්නසීලි මෙනෙවියට කරපු අපරාධයට ඔවුන්ට කවදා හෝ වන්දි ගෙවන්න සිදුවෙනවා. මේ අපරාදය ඔවුන්ට නැතිනම් ඔවුන්ගේ දරුවන්ට හෝ සහගහවී.  

ලංකාවේ විශ්ව විද්‍යාලවල ලිංගික අසහනය හරියට තියනවා. මේ විශ්ව විද්‍යාල අර්බුධ වල මූලය තියෙන්නේ මේ ලිංගික අසහනය තුල. මේක ආණ්ඩුවටවත් උප කුලපතිටවත් , උසස් අධ්‍යාපන ඇමතිටවත් තේරෙන්නේ නැහැ. බරවා පයට වගේ වෙන ප්‍රතිකර්ම කරනවා. මේ ලිංගික අසහනය වැඩි කලා පීඨ වල තමයි. කලා පීඨ වල ඉගන ගන්නේ සාහිත්‍ය වගේ සිත නිවන විෂයන්. ඒත් ළමයි ඒ විෂයන් හදාරලා නිවීමක් ලබලා නැහැ. (පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ අදිසි විපරිණාමය | ඩී. සුගත් රාජපක්ෂ)  

නවක වද සමාජවාදීන් කතා කරන්නේ යුක්තිය ගැනය.අඳින්නේ රතු කමිසය.විරෝධතා දැක්වීම එකය. නවක සිසුන්ට වද දීම දෙකය.ඉගනීමට තුන්වන තැනය  මේ ටික ලියන්නට සිතුනේ කැලණිය විශ්ව විද්‍යාලයේ ආචාරයවරු දෙවන තුන්වන සහ හතරවන වසරවල සිසුන්ට අද සිට නැවත තීරණයක් ගන්නා තුරු ඉගැන්වීම නතර කිරීමට තීරණයක් ගෙන තිබෙන නිසාය.එයට හේතුව වී තිබෙන්නේ නොනවත්වාම නවක සිසුන්ට වද දීමත් නවක වදය නැවත්වීමට උත්සාහ කරන ආචාර්ය වරුන්ට තර්ජනය කිරීමත් නිසාය. විශ්ව විද්‍යාලවල ශිෂ්‍ය සංගමවල නායකත්වය දරන්නේ එක්කෝ පෙරටුගාමින්ය නැත්තම් ජවිපෙය.නවක සිසුන්ව තම දේශපාලන මතයන්ට නම්මවා ගැනීම මේ නවක වද දුෂ්ට ව්‍යාපෘතියේ අවසන් අරමුණය. නවක සිසුන්ට මාස කීපයක් යනතුරු ජෙෂ්ට සිසුන් නම් කරන ලද ඇඳුමක් ඇඳීමට සිදුවී තිබේ. ඉංග්‍රීසි කතා කිරීම තහනම්ය. දේශන ඇතත් නැතත් උදේ සිට හැන්දෑ වෙන තුර සරසවි භූමියෙන් පිටවීම තහනම්ය. .එම කාලය තුල ගැහැණු පිරිමි සහ භික්ෂු සිසුන්ට මුහුණදීම සිදුවන කායික සහ මානසික වද වේදනා නිමක් නැත.ඇතැම් විට එම වද දීම් අසභ්‍ය ක්‍රියා දක්වා දික්වේ. පුබුදු ජාගොඩලාට සහ, අනුර කුමාරලාට මේ නවකවදය නැවත්විය හැක. මන්ද වදකයෝ වනාහී ඔවුන්ගේ සහෝදරයෝ නිසාය. එහෙත් ඔවුන් එය නොකරන්නේ විශ්ව විද්‍යාල තුල තම අධිකාරිය පවත්වාගෙන යා හැකි එකම මග භීෂණය තුලින් වීම නිසාය. (Lanka E News)   

අපගේ සරසවි සිසුන් තමන්ගේ නියම අයිතිවාසිකම් ගැන දන්නේ නැත. ඒ පිළිබඳව කිසිවෙකු ඔහුව දැනුවත්ද නොකරති. තමන්ට නවක වදයේ නාමයෙන් අසභ්‍ය වචනයෙන් බැනීමට, කුණුහරප කීමට බල කිරීමට, පුස්තකාලයට යාමට ඉඩ නොදීමට , බලහත්කාරයෙන් වියායාම වල යෙදවීමට, බල්ලෙකු සේ කකුල් හතරෙන් සිට මාළු කටු , ඉඳුල් බත් කෑමට බල කිරීමට , තමන්ගේ ඇඳුම ගැලවීමට, බලහත්කාරයෙන් පන්ති වර්ජනය කරවීමට, බලෙන් උද්ගෝෂණ වලට ගෙන යාමට කිසිම පුරවැසියෙකුට අයිතියක් නැති බවත් එවැනි දේ කිරීමට තැත් කිරීම බරපතල වරදක් බවත් බව සරසවි සිසුවාට දැනුවත් භාවයක් ලබා දිය යුතුය. එසේම නවක වදය යනු අපරාදයක් බවත් අපරාදයක් කාලවරෝධනයට යටත් නොවන නිසා තමන්ට නවක වදය දුන් පුද්ගලයට එරෙහිව තවත් වසර 5 - 10 පසුද නඩු දැමීමට හැකි වන ලෙසට නීති සංශෝදනය වීම වැදගති.නවක වදය යනු ශ්‍රී ලංකික විශ්ව විද්‍යාල වසාගත් පිළිලයකි. එම පිළිලය බොහෝ දුරට අපගේ විශ්ව විද්‍යාල විනාශ කොට අවසානය. අපගේ විශ්ව විද්‍යාල පද්දතිය තුල අධ්‍යාපනික වශයෙන් වටිනාකමක් ඇති යමක් ඉතිරිව ඇත්තේ ඉතා සුළු වශයෙනි. එම සුළු කොටස හෝ ආරක්ෂා කිරීම පුරවැසියන් වන අප සැමගේ යුතුකමකි.(වාචික, කායික සහ ලිංගික හිංසනයෙන් සපිරි ශ්‍රී ලාංකික විශ්වවිද්‍යාල | ඩී. සුගත් රාජපක්ෂ) 



Thursday, March 17, 2016

නේස් නෝනලා


හෙදියන් හෙවත් නේස් නෝනලා අපගේ සෞඛ්‍යය සේවයේ අත්‍යවශ්‍ය කොටසකි. බොහෝ විට ජනතාව අතර හෙදියන් පිළිබඳව තිබෙන්නේ පියකරු චිත්‍රයක් නොවේ. බොහෝ දෙනෙකු හෙදියන් යනු සැර පරුෂ හිතේ තෙතමනයක් නොමැති කොටසක් ලෙස දකිති. එහෙත් ගතවූ අවුරුදු කාලය තුල ඉතා කරුණාවන්ත මානව ප්‍රේමයෙන් පිරිපුන් හෙදියන් මා ලංකාවේ රෝහල් වලදී දුටුවෙමි. 

නමුත් සැර පරුෂ ගෝරියට බර වර්ජන කිරීමට බලාගෙන සිටින අන් හෙදියන්ද වර්ජන ගෝරි වලට පොලඹවන හෙදියන්ද සිටි බව මම මෙහිදී කියමි. බොහෝ විට මෙවැනි කොටස් ගෙදර දොරේ අඞදබර , පුරුෂයාගේ හැසිරීමේ ගැටළු , යනාදී පීඩා නිසා තම අසහනකාරී තත්වය රාජකාරියේදී මුදා හරින තැනැත්තියන් වෙති. එහෙත් සමබර මානසිකත්වයෙන් යුතු රෝගී සත්කාරය නියම පරිදි කරන හෙදියෝ බොහෝ දෙනෙකු මට මතක්වේ. 

අපගේ සීමාවාසික පුහුණු කාලයේ අප තිස් තුන් පැය රෝහලටම කොටුවී  සිටියෙමු.  හරි හැටි කෑමක් බීමක් නොලබන අප ගැන අනුකම්පාවෙන් ගෙවල් වලින් කෑම බීම ගෙන ආ හෙදියෝද වූහ​. එසේම වරක් මා අසනීප වූ විට මාතලේ රෝහලේ හෙද නිලධාරිනී සිල්වා මහත්මිය මට ෆ්ලාස්ක් එකක දමාගෙන ඉඟුරු කොත්තමල්ලි ගෙනාවාය​. 

එසේම මාතලේ රෝහලේ හෙද සොහොයුරියක වූ අළුවිහාරේ මිය අපට මවක මෙන් වූවාය​.  සමහර විට කුකුල් මස් බුරියානි උයාගෙන අපට ගෙන ආවාය​. එසේම වාට්ටුව භාර විශේෂඥ වෛද්‍යවරයා අපට බැන වදින විට අපගේ හිත් සැදීමටත් අප අතින් වන වැරදි විශේෂඥ වෛද්‍යවරයාගෙන් වසන් කිරීමත් අළුවිහාරේ මිය සිදු කලාය​.  

අළුවිහාරේ හෙද සොහොයුරිය සැරය, වාට්ටුවේ සුළු සේවකයන් වාට්ටු වැඩ මඟ හැරියොත් ඔවුන​ට සදා සොත්තීය​. එසේම රෝගියෙකු මිස් කියා ඇය ඇමතුවොත් මළ පනී.  එහෙත් මේ කෑගසන චරිතයට යටින් මානුශික හදවතක් ඇයට තිබුණ බව මම දනිමි. සමහර විට මම අළුවිහාරේ හෙද සොහොයුරිය ඇවිස්සීම සඳහා වෙනත් වාට්ටුවකට ගොස් කටහඞ වෙනස් කොට අළුවිහාරේ මිස්ට කතා කරන්න පුළුවන් ද කියා අසමි. සමහර විට මගේ කටහඞ අඳුනාගන්නා ඇය "කොල්ලා උඹ පරිස්සමින් හිටපන් කියන්නීය​" 

පසුකාලීනව මම   මාතලේ අළුවිහාරේ පන්සල අසල පාරේ නිවසක සිටින අළුවිහාරේ මහත්මිය  බැලීම සඳහා ගියෙමි ඒ වන විට ඇය විශ්‍රාම ලැබ තම දියණියගේ කුඩා දරුවන් දෙදෙනාගේ වැඩ කටයුතු බලා ගනිමින් සිටියාය​.   

මීගමුව රෝහලේ බ්‍රෙන්ඩා, ගුණපාල​, චාන්දනී යන මිස්ලා රෝහල් වැඩ වල්දී අප උපරිම සහයෝගය දුන්හ​. එසේම තරුණ හෙදියක වූ යමුනා මිස් ද අප සමග මිතුරුය​. සීමාවාසික   වෛද්‍යවරයෙකු වූ යාපනය වෛද්‍ය පීඨයේ රාම් මනෝහර් යමුනා මිස්ට කිව්වේ ජමුනා මිස් කියාය​. ජමුනා මිස්ට ලයින් එකක් දැමීමට රාම්ට අවශ්‍ය වී අපගෙන් උපදෙස් පැතුවේය​. රාම්ට සිංහල බැරිය​. අපගෙන් සිංහල වචන අසාගෙන යමුනා මිස් සමග කතා කරයි. තමන්ට යමුනා මිස් බඳින්න ආසයි යන්න සිංහලෙන් කියන්නෙ කෙසේද යන්න වරක් රාම් තරුණ වෛද්‍යවරුන් පිරිසකගෙන්   ඇසුවේය​. ඔයාගේ ඇඟිල්ලට මුද්දක් දාන්න ආසයි කියා  ඔවුන් කීහ​. 

මේ වචන පාඩම් කරගත් රාම් යමුනා මිස් ලඟට ගියේය​. එහෙත් කලබලය නිසා රාම්ට වචන පැටලුනි. ඔහු කීවේ " ජමුනා ඔයාගේ මුද්ද එක​ට එඟිල්ල දාන්න ආෂයි" කියාය. මෙය ඇසුණු කොල්ලන් සිනාවෙන් සති කීපයක් ගත කල අතර ජමුනා මිස් ලැජ්ජාවෙන් අපව මඟ හැරියාය​. එතනින් රාම් ගේ  ලයින් දැමිල්ල අවසන් විය​. රාම් වර්තමානයේ එංගලන්තයේ වැඩ කරයි. එංගලන්තයට යාමට පෙර රාම් මට රාත්‍රී භෝජන සංග්‍රහයක් දුන්නේය​. 

අපගේ කාලයේ මීගමුව රෝහලේ ශල්‍යාගාරය  විනෝද සාගරයක් විය​. බෝල මාලා මිස්, දිනාලි , ඩිනාලි, මයුරානි යනාදී හෙදියන් සමග මම වෛද්‍ය ලිලිත් ලියනගේ , පීරිස්, සුභසිංහ​, සමන් , සිරිවර්ධන , ගෝවි විහිළු තහළුවෙන් රාජකාරී කලෙමු. වරක් රා මදින්නෙක් තුවාල ලැබ ශල්‍යාගාරයට ගෙනාවේය​. මෙදින දිවයින පුවත් පතේ " හෙදියෝ අතුරු තහනමක් ගෙන එති "  කියා හෙඩිමක් තිබුනේය​. අප මේ හෙඩිම රා මදින්නාට පෙන්වා ඔන්න නේස් නෝනලා  ඔහේලාගේ  රස්සාවට කෙලින්න හදනවා කීවෙමු. 

සමහර රෝහල් වල ශල්‍යාගාර හෙදියන් සහ දොස්තරලා අතර ගෝරි වලින් පිරී තිබුණු අයුරු මට සිහිපත් වේ. ඔවුන් එකිනෙකා රිදවීමට එකට එක කල අතර අවසානයේදී පෙළීමට පත් වූයේ රෝගීන් වූහ​. 

උතුරු කොලඹ ශික්‍ෂණ රෝහල හෙවත් රාගම රෝහලේදී තරුණ හෙදියන් පිරිසක් වූ අතර මමත් වෛද්‍ය පද්මරාජුත් එක්ව තරුණ දයානි මිස්ව ගහේ යැවුවෙමු. වෛද්‍ය පද්මරාජ් යාපනයේ වූවද 1983 දක්වා අධ්‍යාපනය ලැබුවේ කොලඹ ඩී.එස්. සේනානායක විදුහලේය​. එම නිසා ඔහු චතුරව සිංහල කතා කලේය​. අප දෙදෙනා තම තමන් ගේ නම් දෙක මාරු කරගෙන දයානි මිස් හමුවේ පෙනී සිටියෙමු. මම ඩොක්ටර් පද්මරාජ් වූ අතර දෙමළ ඇක්සන්ට් එකක් සහිතව සිංහලෙන් ඇය සමග කතා කලෙමි. මම සිංහල බැරි බැරියාවෙන් ඇයව ඇමතුවේ දයාවතී මිස් කියාය​. පද්මරාජ් ඩොක්ටර් රුවන් වෙමින් ඇය හමුවේ පෙනී සිටියේය​. 

සමහර විට මම  ශාන්ති විහාර් එකෙන් වඩේ මිලට ගෙන "අම්මා යාපනේ ඉඳන් යෙනකොට දයාවතී මිෂ්ටත් වඩේ අරගෙන ආවා කියා ඇයට දුන්නෙමි. ඇය යාපනය ගැන විමසන්නීය මම ලුණු ඇඹුල් සහිතව බොරු ඇද බාමි. දහය වසරේ බයිසිකලයෙන් වැටී අතේ සිදුවූ තුවාල කැළළ පෙන්වා යාපනය රෝහලේ ක්ලිනිකල්ස් කරන කොට ඉන්දියන් ආමි එක ඇවිල්ලා වෙඩි තිබ්බා එතකොට කේල්ලක් වෙදුනා කියා කීවෙමි. දයානී මිස් කම්මුල අත තබාගෙන මගේ විස්තර අසන්නීය​. මෙලෙස මමත් පද්මරාජුත් පුරා වසරකට ආසන්න කාලයක් නම් මාරු කරගෙන සිටියෙමු. අවසානයේදී දයානී මිස්ට අපගේ රෑ දනියෙල් දවල් මිගෙල්  කතාව මාට්ටු වූවාය​. නමුත් ඇය අප සමග කෝප වූයේ නැත​. ඇය අප සමග හොඳටම සිනාසුනාය​. 


වෛද්‍ය රුවන් එම් ජයතුංග

Find Us On Facebook