ප්‍රභාෂ්වර සිත ආගන්තුක උපක්ලේශවලින් නිදහස්ව තිබෙන සිතකි. ප්‍රභාෂ්වර සිත සහ සතිය (mindfulness ) පිලිබඳව ABBA සංගීත කණ්ඩායම විසින් ගායනා කරන Move on ගීතය සංගීත විචාරකයන් ගේ අඩු අවධානයට ලක් වූ ගීතයකි. මෙම ගීතය ජීවිතයේ සදාකාලික චලිතය සහ වෙනස වැළඳ ගැනීමේ අවශ්‍යතාවය පිළිබිඹු කරන අතර වෙනස් වීම සාගරයේ රළ පහර මෙන් නො වැළැක්විය හැකි සහ පැවැත්මට අත්‍යවශ්‍ය සාධකයක් බව බව යෝජනා කරයි. ජීවිතය යනු චලනයයි. ගීතය ආරම්භ වන්නේ "නොසන්සුන් ශරීරය" සහ "සාමකාමී ආත්මය" පිළිබඳ කථිකාවකිනි. හමන සුළඟක් මෙන්, ජීවිතය ගලා යයි. මෙම ගීතය ලියන ලද්දේ Benny Andersson and Björn Ulvaeus, Stig Anderson. තිදෙනා විසිනි. මෙම ගීතය දර්ශනය ස්වභාව ධර්මය සහ පැවැත්ම පිලිබඳ කරන විමසුමකි.
Life is motion” යන්නෙන් අනිච්ච ස්වභාවය පැහැදිලි වේ. “Like a roller in the ocean, life is motion” යන වාක්‍යයෙන් සියල්ල නිරන්තරයෙන් වෙනස් වන බව දක්වයි. කිසි සිතුවිල්ලක්, හැඟීමක්, ශරීර තත්ත්වයක් හෝ අවස්ථාවක් එක මොහොතක්වත් එකම ආකාරයට නොපවතී. සිත උපදෙයි, නැතිවෙයි, නැවත උපදෙයි. ශරීරය මොහොතෙන් මොහොත වෙනස් වේ. හැඟීම් උපදෙයි, නැතිවෙයි, වෙනස් වේ. මේ අස්ථිර ස්වභාවය නිසි ලෙස නොදකින නිසා මිනිසා අසතුට, කලබලය සහ දුක්ඛය අත්විඳිනවා. මෙය ජීවිතය දුක්ඛයෙන් බැඳී ඇති බව කියන ප්‍රථම ආර්ය සත්‍යයට සෘජුව සම්බන්ධ වේ. ජීවිතය ස්ථිර දෙයක් නොවේ. සියල්ල ගලා යයි.
“Move on” යන්නෙන් අදහස් වන්නේ වොස්සග්ග සහ අලෝභයෙන් ඇලීම අත්හැරීමයි. එය පැනලා යාමක් නොව, ඇලීමෙන් නිදහස් වීමයි. මිනිසා අතීත වැරදි, මිනිස්සු, සාර්ථකත්වය, වේදනාව සහ “මම” කියන හැඟීම අල්ලාගෙන සිටින නිසා දුක් විඳිනවා. මේ තෘෂ්ණාව සහ උපාදානය දුක්ඛයට හේතුව බව දෙවන ආර්ය සත්‍යයෙන් පැහැදිලි කරයි. මේ ඇලීම අත්හැර දමන විට දුක්ඛය ක්‍රමයෙන් නිමා වීමට පටන් ගනී. මෙය දුක්ඛ නිරෝධය හැකි බව කියන තුන්වන ආර්ය සත්‍යයට අදාළ වේ. ඇලීම නැතිව ඉදිරියට ගමන් කරන විට සිත සැහැල්ලු වෙයි.
“I’ve travelled in my mind” යන්නෙන් අදහස් වන්නේ සිත තුළ සිදුවන අභ්‍යන්තර ගමනයි. සතුට, දුක, බිය, සාමය සහ කෝපය සියල්ලම උපදෙන්නේ සිත තුළය. සැබෑ ගමන කියන්නේ ශරීරයෙන් පමණක් නොව, සිත සංවර්ධනය කිරීමයි. සතිය, ප්‍රඥාව සහ භාවනාව මගින් සිත පුහුණු කිරීම තුළින් මෙම ගමන සිදු වේ. මෙය සම්මා දෘෂ්ටිය, සම්මා වායාමය, සම්මා සති සහ සම්මා සමාධිය ඇතුළත් ආර්ය අෂ්ටාංගික මාර්ගයට අයත් වන අතර, දුක්ඛ නිමාවට ගෙන යන මාර්ගය බව හතරවන ආර්ය සත්‍යයෙන් පැහැදිලි කරයි.
“How I treasure every minute” යන්නෙන් වර්තමාන මොහොතේ ජීවත් වීමේ වැදගත්කම පෙන්වයි. ඇත්තෙන්ම පවතින්නේ මේ මොහොත පමණි. අතීතය මතකයයි, අනාගතය කල්පනාවයි, වර්තමානය යථාර්ථයයි. ඒ නිසා මේ මොහොතේ හුස්ම, හැඟීම්, සිතුවිලි සහ සිත් තත්ත්වය සතියෙන් දැනගැනීම භාවනාවයි. මේ සජීවී දැනගැනීමෙන් අනිච්ච, දුක්ඛ සහ අනත්ත ස්වභාවය පැහැදිලිව දක්නට ලැබෙයි. එය ප්‍රඥාව වර්ධනය කරමින්, ක්‍රමයෙන් මිනිසා නිවනට ළඟා කරවයි.
Move On
No comments:
Post a Comment
Appreciate your constructive and meaningful comments