අපිට ඉස්කෝලෙදී සත්‍ය ඉතිහාසය උගන්වන්නේ නැතිව නැතිව වියාජ දේශප්‍රේමය උත්කර්ශයට පත් කරමින් වියාජ වර්ශන් එකක් ඉගැනුවා කියලා මට හිතෙනවා. Gregory Powell විසින් ලියන ලද The Kandyan Wars: The British Army in Ceylon, 1803-1818 පොත කියවීමේදී අපේ සත්‍ය ඉතිහාසයේ සේයාවන් පේනවා. එසේම අපේ ඉතිහාසය ඇනලිටිකලි කියවන්නටත් හැකි වෙනවා.
අපේ බොහෝ ඉතිහාසය පිලිබඳ මහාචාර්‍යවරුන් සමග කතා කිරීමේදී මට පෙනී ගිය දෙයක් තමයි ඔවුන් බොහෝ දෙනෙකු තුල ඉතිහාසය ඒ ලියා තිබූ පිලිවෙලට කීම මිස ඒවා ඇනලයිස් කරන්න අර්ථ නිරූපණයන් කරන්න නොහැකියාවක් තිබෙන බව. ඒකට හේතුව ගිරා පෝතක අධ්‍යාපන ක්‍රමය විය හැකියි. (පෘතුගීසි යුගය ගැන ඉතිහාසයට අදාල ප්‍රශ්නයක් මම අහන්නේ විශේසඥ ළමා වෛද්‍ය අජිත් අමරසිංහ මහතා ගෙන් . ඉතිහාස මහාචාර්‍යවරුටත් පවා නොමැති දැණුමක් සහ ඓතිහාසික කරුණු විශ්ලේෂණය කිරීම , ඒවායේ සන්දර්භය සහ අතීතයේ සාක්‍ෂි ක්‍රමානුකූලව පරීක්‍ෂා කිරීමේ හැකියාවක් එතුමා තුල තියනවා). කෙසේ නමුත් Gregory Powell විසින් ලියන ලද The Kandyan Wars: The British Army in Ceylon, 1803-1818 පොත කියවන කොට පෙනී යන්නේ අපි බොහෝ දෙනෙක් නොදන්නා ඉතිහාසයක් මේ ලියවිලි අතරේ තිබෙන බව.
පිළිමතලාව අධිකාරම් ගැන අපේ ඉතිහාස පොත් වල ලොකු විස්තරයක් නෑ. පෙනී යන පරිදි පිළිමතලාව අධිකාරම් හොඳ ගේම් කාරයෙක් , මාස්ටර් මැනිපුලේටර් කෙනෙක්. ශ්‍රී වික්‍රම රාජසිංහව සිංහාසනයට ගේන්නේ ඔහු ; යටි අරමුණක් සහිතව. ඔහු යම් අවස්ථාවක ශ්‍රී වික්‍රම රාජසිංහව විනාශ කරලා තමන් රජ වෙන්න උත්සහයක් කලා විය හැකියි. ඔහු ඉංග්‍රීසීන් සමග කුමන්ත්‍රණය කරනවා. ඉංග්‍රීසීන්ව වටේ යවනවා. ඉංග්‍රීසි හමුදාව මධ්‍යම රට ඇතුලට වරින් වර ගෙන්ව ගෙන විනාශ කරලා දානවා. ඒ බලවත් ඉංග්‍රීසි හමුදාව දුර්වල කරන්න විය හැකියි. ඒ අතර ඔහු ශ්‍රී වික්‍රම රාජසිංහවත් බැලන්ස් කරනවා. ශ්‍රී වික්‍රම රාජසිංහ ඉමෝෂනලි පිළිමතලාව අධිකාරම් මත ඩිපෙන්ඬ් වෙනවා පිළිමතලාව අධිකාරම් ඉංග්‍රීසීන්ට පෙන්වන්නේ තමන් ඔවුන් ගේ මිතුරෙකු බව. පිළිමතලාව අධිකාරම් කැප්පැටිපොළ නිලමේට වඩා විචක්‍ෂණශීලී පුද්ගලයෙක්. කැප්පැටිපොළ නිලමේ ටැක්ටිකල් නෑ. තිබ්බේ කරේජ් එක විතරයි. කෙසේ නමුත් දෙස් විදෙස් බල අරගල්ල මැද ඉතා අර්බුධ කාලයක පිළිමතලාව අධිකාරම් ඉතා සූක්‍ෂමව දීර්ඝ කාලයක් තමන් ගේ කාඩ් ප්ලේ කරනවා. එහෙත් එක් වැරදීමක් නිසා ඔහු හිස් ගැසුම් කනවා. පිළිමතලාව අධිකාරම් යනු අතීත ලංකාවේ Robert McNamara.
Gregory Powellගේ වාර්තා අනුව පෙනී යන්නේ බිළිඳුන් වංගෙඩියේ ලා කෙටීම හඳුන්වා දුන්නේ ශ්‍රී වික්‍රම රාජසිංහ නොවන බවයි. ලන්දේසීන් පෘතුගීසි බල කොටුව ( මෙය කොලඹ හෝ ගාල්ල කොටුව විය යුතුයි) වැටලූ විට පෘතුගීසි කාන්තාවක් බිලිඳෙක් සහ ළමයෙක් එක්ක එලියට එනවා. ලන්දේසීන් ඒ මවට බිලිඳාව වංගෙඩියේ ලා කොටන්න නියෝග කොට යලි පෘතුගීසි බල කොටුවට හරවා යවනවා.
ෆ්‍රෙඩ්‍රික් නෝර්ත් 1798– 1805 දක්වා කාලයක් බ්‍රිතාන්‍ය ලංකාවේ ආණ්ඩුකාර ලෙස සේවය කරනවා. ඔහු කරන ලද සේවය අපිට ඉස්කෝලේ ඉතිහාස ගුරුවරු ඉගැන්නුවේ නෑ. ෆ්‍රෙඩ්‍රික් නෝර්ත් තමයි ලංකාවේ සිවිල් සේවය හෙවත් පරිපාලන සේවය ආරම්භ කරන්නේ. ඔහු පාසල් අධ්‍යාපනය ඉහල නංවන්න කටයුතු කලා. එසේම වසරකට දස දහස් ගනන් ලාංකිකයන් මිය ඇදුනු වසූරිය රෝගය ලංකාවෙන් තුරන් කරන්න එන්නත් ක්‍රියාවලිය අරඹනවා. මේ අනුව ලංකාවේ පබ්ලික් හෙල්ත් ඉහල නංවන්න ෆ්‍රෙඩ්‍රික් නෝර්ත් කල සේවය මම MOH කෙනෙක් ලෙස කටයුතු කරපු කාලේ වත් දැන හිටියේ නෑ.. ඔහු දේශීය විදේශීය තැපැල් සේවය ආරම්භ කරනවා. රාජකාරී ක්‍රමය ( මේ ක්‍රමය මගින් නිලමෙලා සාමාන්‍ය ගැමියන් මරවලා හිතූ හිතූ සේ වැඩ ගත්තා) අහෝසි කරවලා මිනිස් ශ්‍රමයට ගරුත්වයක් ලබා දෙනවා. මේක වමේ අයියලා දැන ගත යුතුමයි. ඒ නිසා ඊලඟ මැයි දිනයට මාක්ස් එංගල්ස් පින්තූර අතරට ෆ්‍රෙඩ්‍රික් නෝර්ත් ගේ පින්තූරයත් ගෙන ගියොත් හොඳයි.
ෆ්‍රෙඩ්‍රික් නෝර්ත් ගේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නිසා 1811 දී මුදලි ඒබ්‍රහම් ද සේරම් ගේ පුතුන් දෙදෙනා එංගලන්තයේ ට්‍රිනිටි හෝල් හි උසස් අධ්‍යාපනය හදාරන්න විදේශ ගත වුනා. උසස් අධ්‍යාපනයට විදේශගතවූ මුල්ම ශ්‍රී ලාංකිකයෝ ඔවුන්. (මුදලි ඒබ්‍රහම් ද සේරම් තමයි 1815 දී මගුල් මඩුවේදී උඩරට ගිවිසුමේ අන්තර්ගතය සිංහලෙන් කියවූයේ. ඔහු භාෂා පරිවර්තකයෙක් විය යුතුයි). කෙසේ නමුත් අවසාන කාලයේ ෆ්‍රෙඩ්‍රික් නෝර්ත් work related stress තත්වයකට ලක් වෙනවා. ඔහු Adjustment Disorder තත්වයෙන් පෙලුනා විය හැකියි . ඒ නිසා ආපසු එංගලන්තයට යනවා. ඉන් පසු එන්නේ තෝමස් මේට්ලන්ඬ් ( 1805– 19 මාර්තු 1811).
No comments:
Post a Comment
Appreciate your constructive and meaningful comments