තමා බෝධිසත්වයෙක් බව කියමින් මිනිසුන් ගෙන් වැඳුම් ගන්නා ඊජිප්තුවේ බල්ලන් බලා ගත් බව කියන පුද්ගලයෙකු සහ ඔහු ගේ කල්ට් එකක් පිලිබඳ රාවයක් මේ දින වල යයි. මෙය යම් පුද්ගලයෙකු හෝ පුද්ගලයන් පිරිසක් විසින් නළුවන් යොදා කරන කැළනියේ නයා වැනි දේශපාලන උපක්‍රමයක් හෝ යම් මානසික අක්‍රමතාවකට ලක්වූ පුද්ගලයෙකු විසින් තමා බෝධිසත්වයෙකු බව කීම නිසා විචාර බුද්ධියෙන් අඩු පිරිස් ඔහුව වන්දනා කරනවා විය හැක.
විශේෂඥ මනෝ වෛද්‍ය නීල් ප්‍රනාන්දු මහතා යටතේ අංගොඩ රෝහලේ පුහුණුව ලබන විට තමන් බුදුවූ බව කියූ , තමන් නිවන් දැක තිබෙනු කියූ පුද්ගලයෝ රැසක් දැක ගන්නට ලැබුණි. මින් එක් පුද්ගලයෙකු තමා මෛත්‍රි බුදුන් බවට තර්ක කරමින් බුද්ධ ශාසන අමාත්‍යාංශයටද ගොස් තිබුනේය.
ආගමික මෝහයෙන් පෙලෙන පුද්ගලයෝ විවිධ කාල වල උඩට එති. යම් සමාජයක් සමාජ ආර්ථික ප්‍රශ්න වලින් පෙලෙන විට මිනිසුන්ට තම එදිනෙදා ජීවිතය සහ අනාගතය පිලිබඳ අවිනිශ්චිතතාවයන් මතු වන විට ඔවුන් භින්නෝන්මාදය / ද්වී ධ්‍රැව විශාදය / නාර්සිසිස්ටික අක්‍රමතාව වැනි තත්වයන් ගෙන් පෙලෙන තමන් ගැලවුම්කරුවෙකු බව සිතන පුද්ගලයන් වටා එක්වී කල්ට් නිර්මාණය කරති. වර්තමානයේ සමාජ ආර්ථික බංකොලොත්භාවයට පත්වී තිබෙන ශ්‍රී ලාංකික සමාජය තුල අති විශාල ආධ්‍යාත්මික රික්තකයක් පවතියි. මේ කල්ට් වනාහී මෙම ආධ්‍යාත්මික රික්තකයේ නිර්මාණයන් වෙති.
සෑම කාලයකදීම ලංකාවේ කල්ට් පැවතුනි. සමහර කල්ට් ප්‍රසිද්ධ ඒවා වූ අතර සමහර කල්ට් අප්‍රසිද්ධ ඒවා විය. මේවා අතරින් අලව්වේ ජයසූරිය බුදුන් කල්ට් එක ( මේ කල්ට් එකට අයත් වූ විමළගුණ නම් දන්ත වෛද්‍යවරයෙකු මා හට කීවේ යම් ලෙසකින් මම අලව්වේ ජයසූරිය බුදුන් හමුවට ගියහොත් ඔහු මාව සෝවන් තත්වයට පත් කරන බවයි. මේ අනුව පෙනී යන්නේ සමාජයේ වෘත්තිකයන් පවා කල්ට් වලට තම විචාර බුද්ධිය පාවා දෙති.) එසේම ගාල්ල ප්‍රදේශයේ වත්තක ලිපිකරුවෙකු තමන් මතු උපදින මෙතේ බුදුන් බව කියමින් නවසීලන්තයේ ජීවත් වන ලාංකිකයන් පවා ග්‍රහණය කර ගනිමින් කල්ට් එකක් ගොඩ නැංවීය.
කල්ට් එකක් යනු සමාජ අසමානතාවයේ රෝග ලක්‍ෂණයක් ලෙස දැකිය හැක. කල්ට් එකක් ක්‍රියාත්මක වන්නේ කන්ඩායම් ගතිකයන් (group dynamics) අනුවය. කල්ට් නායකයා අනුගාමිකයින්ට අර්ථය සහ අරමුණ පිළිබඳ හැඟීමක් ලබා දෙයි. කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ මනෝ වෛද්‍ය විද්‍යාව පිළිබඳ සායනික මහාචාර්‍ය ආතර් ඩීක්මන් ඔහුගේ The Wrong Way Home: Uncovering the Patterns of Cult Behavior in American Society කෘතිය මගින් කල්ට් වල මනෝ ගතිකයන් පැහැදිලි කලේය. කණ්ඩායමකට අයත් වීමට ගැඹුරු මානව අවශ්‍යතාවකි. එසේම වැඩිහිටියෙකු වූ පසුද යලිත් මව් කෙනෙකු හෝ පිය කෙනෙකුගේ ආඥාවට යටත් වීමට ඇතැම් පුද්ගලයන් තුල අවිඥාණික ආශාවන් පවතියි. මෙවැනි පුද්ගලයෝ කල්ට් සරණ යති.
මිනිසුන් පිරිසක් මිත්‍යාවක් බෙදාගත් විට මනෝ විද්‍යාඥයන් එය හඳුන්වන්නේ ලබ්ධියක් ලෙසටය. ලබ්ධියක් නිර්වචනය කරන්නේ “සාමාන්‍යයෙන් ආන්තික දෘෂ්ටිවාදයක් සහිත කණ්ඩායමක් හෝ ව්‍යාපාරයක් ලෙසටය. කල්ට් එකක් සාමාන්‍යයෙන් ප්‍රචලිත නායකයෙකු තුළ මූර්තිමත් වූවකි. කල්ට් නායකයන් බලය සඳහා ආශාවක් ඇති මනෝ ව්‍යාධිකයින් වන අතර බොහෝ විට ඔවුන්ගේ අරමුණ ඉටු කර ගැනීම සඳහා ආගම භාවිතා කරති. කල්ට් හෙවත් ලබ්ධීන් අත්‍යවශ්‍යයෙන්ම ගොඩනැගී ඇත්තේ ආන්තික, අසාමාන්‍ය හෝ ආන්තික ආගමික විශ්වාසයන් වටාය. බොහෝ විට කල්ට් එක තුල චින්තන-ප්‍රතිසංස්කරණ වැඩසටහන් භාවිතා කෙරේ. කල්ට් නායකයා සාමාජිකයන්ට ඉතා ආකර්ශයණීය පොරොන්දු ලබා දෙයි. ඔබ මීලඟ ජනාධිපතිය, ඔබ මීලඟ අගමැති හෝ ප්‍රබල ඇමතිවරයෙකි, නැතහොත් හමුදාපතිය, ඉහලම ව්‍යාපාරිකයාය යනාදී වශයෙන් පුද්ගලයා තුල විශ්වාසයක් ගොඩ නැංවීමෙන් ඔහු හෝ ඇය ලබ්ධිය තුලට බද්ධ වෙයි. කණ්ඩායමට ආකර්ෂණීය (හෝ සමහර විට දිව්‍යමය) බලය ආරෝපණය කරයි. කල්ට් සාමාජිකයෝ කල්ට් නායකයාට අවිවාදිත පක්‍ෂපාතීත්වය පෙන්නුම් කරති. ඔබ යම්කිසි කල්ට් එකකට අභියෝග කලහොත් සාමාජිකයෝ කුපිත වෙති. සමහරක් කල්ට් නායකයා වෙනුවෙන් මිනී මැරීම හෝ කල්ට් නායකයා වෙනුවෙන් දිවි නසා ගැනීමට වූවද සූදානම් ය.
කල්ට් සාමාජිකයින් සම්පූර්ණයෙන්ම අසමතුලිතව තබා ගැනීමෙන්, ඔවුන්ව නායකයා මත යැපීම වැඩි කරයි. ඔබට බලවත් අපලයක් තිබේ, අනාගතයේ මාරකයක් තිබේ යනාදී මගින් කල්ට් සාමාජිකයින් තුල භීතිය , අවිනිශ්චිතතාව වර්ධනය කරමින් තමන් ඒකායන ගැලවුම්කරු ලෙස කල්ට් නායකයා පෙනී සිටියි.
බොහෝ කල්ට් නායකයෝ Delusional disorder තත්වයක් නිසාද නැතහොත් Narcissistic personality disorder තත්වය නිසාද තමන් ගේම කල්ට් එකට මුලාවී සිටිති. ඉතා සුළු ප්‍රමාණයක් බොරුවට තමන් ගේ කල්ට් භූමිකාවේ රඟපාති. බොරුවට රඟපාන්නෝ අති දක්‍ෂ නළුවන් වන අතර බොහෝ උගත් වෘත්තිකයෝද මොවුන්ට රැවටෙති. ලබ්ධියකින් ඉවත් වීමද අසීරුය. කැනඩාවේ දී මා විසින් පශ්චාත් ව්‍යසන අක්‍රමතාවයෙන් (PTSD) පෙළුනු සුදු ජාතිකයෙකුට ප්‍රතිකාර කල කල අතර පසුව ඔහු මට පැවසුවේ තමන් ගේ දෙමාපියන් සහ මුළු පවුලම The World Tomorrow නම් නිකායේ Herbert W. Armstrong නම් ඉවැන්ජලික නායකයාට යටත්ව ජීවත් වූ බවයි. ඔහු එම ලබ්ධියෙන් ඉවත් වීමත් සමගම අන්‍ය සාමාජිකයන් විසින් ඔහුව බලවත් ගැරහීමකට, අපකීර්තියට පත් කොට තිබේ. ටොම් කෘස් පවා සාමාජිකයෙකු වන සයන්ටෝලොජි ලබ්ධියේද ඉවත් වන සාමාජිකයන්ට බොහෝ කරදර වලට මුහුණ පාන්නට සිදුවේ.
පසුගිය කාලයේ ලංකාවේ රතු නූල් කල්ට් එකක් මතුවූ බව බොහෝ දෙනෙකුට මතක ඇති බව නිසැකය. මේ කල්ට් එකේ නිර්මාතෘ ඥාණක්කා යනු අනුරාධපුර රෝහලේ සේවය කල ඇටෙන්ඩන්වරියකි. ඇයගේ සැමියා ගිලන් රථ රියැදුරෙකි. ඇගේ සැමියා භීෂණ සමයේ ඝාතනය වීමත් සමගම ඇය ආරූඩ වීමට පටන් ගත්තාය. මනෝ විද්‍යාත්මකව පෙන්වා දීමේදී ඉතා තීවුර ක්‍ෂිතිමය අත්දැකීමක් නිසා ඇය ලක්වූ විඝටන ආබාධය ( Dissociative Disorder ) දේව වරමක් ලෙස පසුගාමී නූගත් සමාජයක් විසින් අර්ථකථනය කරන ලදි. නමුත් ඇය තමන් තුල පවත්නා මැනිපුලේටිව් සහ කමියුනිකේෂන් ස්කිල්ස් මගින් විචාර බුද්ධියෙන් අඩු, හීනවූ ආත්ම ශක්තීන් ඇති , තමන් කෙරෙහි විශ්වාසය අඩු, නිරන්තරයෙන්ම භීතියෙන් , චකිතයෙන් පෙලන , තීරණ ගැනීමේදී කුකුසෙන් පෙලෙන දේශපාලකයන් , කූට ව්‍යාපාරිකයන් , හමුදා නිලධාරීන් තමන් වෙත ආකර්ශණය කර ගැනීමට සමත් වූවාය.
No comments:
Post a Comment
Appreciate your constructive and meaningful comments