Monday, November 28, 2022

මීගමුව දිස්ත්‍රික් රෝහලේ මාගේ ප්‍රතිවාදියාව​ හමුවීම

 


මා මීගමුව රෝහලේ නාරි හා ප්‍රසව අංශයේ ජේෂ්ඨ වෛද්‍ය නිලධාරී (SHO) ලෙස සේවය කල කාලයේදී රෝහලේ මාගේ ප්‍රතිවාදියා වූයේ ශල්‍ය වෛද්‍ය විශේෂඥ බදුර්දීන් මහතාය​. ඔහු මාව තදින් අප්‍රිය කලේය​. ඊට හේතුව ශල්‍යාගාරයේ ඔහුගේ සර්ජිකල් ලිස්ට් කරන විට වරින් වර හදිසි සීසර් ශල්‍යකර්ම ගෙනවිත් ඔහුගෙන් ශල්‍යාගාරය ඉල්ලීම නිසාය​. මෙලෙස ඔපරේෂන් කාමරය  ඔහු ගෙන් ඉල්ලන විට ඔහු   මුණු මුණු ගා මට දොස් කියයි. මේ නිසා මා බොහෝ විට ඔපරේෂන් කාමරය ඉල්ලන්නේ ශල්‍යාගාරයේ සිස්ටර් හරහාය​. සිස්ටර් සීසර් එකක් තියනවා සර්ජන් සර්ට කියන්න මම සෙමන් ඇයට කියමි. එවිට හෙද සොහොයුරිය ශල්‍යාගාරය තුලට ගොස් සර් එස්.එච්.ඕ සීසර් එකක් තියනවා කියනවා කියන්නීය​. එවිට හිස ඔසවා හෙද සොහොයුරිය දෙස බලන බදුර්දීන් මහතා මුණු මුණුවෙන් මට බැනීම අරඹයි.

" අඩෝ අද උඹට සර්ජන් දෙහි ගෝනියක් කැපුවා " එතැන සිටින ඇනස්තටිස්ට් වූ වෛද්‍ය එච්. ජී සුභසිංහ පවසයි. " ඉතින් ඔය ලෙඩ්ඩු මම ගෙදරින් අරගෙන ආපු අයද ? මමද නෝක්කඩු කියන්නෙමි. ශල්‍ය වෛද්‍ය විශේෂඥ බදුර්දීන් මහතා මා කෙරෙහි අප්‍රසාදයෙන් බැළුවද ඔහුගේ ජේෂ්ඨ වෛද්‍ය නිලධාරීන් වූ වෛද්‍ය ලිලිත් ලියනගේ සහ වෛද්‍ය සිරිවර්ධන මාගේ මිතුරෝ වෙති. වෛද්‍ය විශේෂඥ බදුර්දීන් මහතා මට කුටු කුටු ගා බනින විට වෛද්‍ය ලිලිත් ලියනගේ සහ වෛද්‍ය සිරිවර්ධන නිශබ්දව සිටිති. 

නාරි හා ප්‍රසව වෛද්‍ය විශේෂඥ අජිත් සේමසිංහ මහතා මාරුවී යාමත් සමග ආවේ නාරි හා ප්‍රසව වෛද්‍ය විශේෂඥය විද්‍යාතිලක මහතාය​. ඔහුගේ PR එක එතරම් හොඳ නැත​. මේ නිසා ශල්‍ය වෛද්‍ය විශේෂඥ බදුර්දීන් මහතා වෛද්‍ය විද්‍යාතිලක මහතා මහතා ගේ ක්‍රියා නිසාද ඇතිවූ අප්‍රසාදය පිට කලේ මා හරහාය​. නිරන්තරයෙන්ම බදුර්දීන් මහතා ගේ අප්‍රසාදයට ලක් වීම නිසා වරක් මම සීසර් කල යුතු ගැබිනියක් ශල්‍යාගාරයේ දොර අසල තබා " ඔන්න ලෙඩා ගෙනාවා , හදිසි සීසර් එකක් ; සර්ජන්ට කියන්න තියටර් එක දෙන්න කියලා , මට නම් තියටර් එක ඉල්ලලා බැණුම් අහගන්න බෑ " කියා තියටර් සිස්ටර්ට සහ ලතා මිස්ට ලෙඩා ගේ වගකීම භාරදී ලේබර් රූම් එකට ගියෙමි. මේ ක්‍රියාව නිසා බදුර්දීන් මහතාට මා සමග තවත් මළ පැන තිබුනි.

මීගමුව රෝහලේ ඕ.පී.ඩී එකේ සේවය කල කාලයේදීද මම බදුර්දීන් මහතාගේ දෝෂ දර්ශණයට ලක් වූයෙමි. වරක් නාසයෙන් ලේ ගලන රෝගියෙක් මධ්‍යම රාත්‍රියක පැමිණි අතර අමු නිදිමතේ සිටි මා  එම රෝගියා  බදුර්දීන් මහතාගේ ශල්‍ය වාට්ටුවට ඇතුලත් කලෙමි. පසුදින උදෑසන  බදුර්දීන් මහතා අතිශයින් කෝපයට පත්ව ඊ.එන්.ටී රෝගියෙකු ශල්‍ය වාට්ටුවට ඇතුලත් කිරීම පිලිබඳව  මට විරුද්ධව පැමිණිල්ලක් රෝහල් අධ්‍යක්‍ෂක වෙත කර තිබුනේය​. මෙසේ මා මීගමුව රොහලේ සිටි කාලය පුරා බදුර්දීන් මහතා මා දකින විට ගියේ අහක බලාගෙනය​. එම රෝහලේ සිටි අනෙකුත් විශේෂඥ වෛද්‍යවරුන් වූ වෛද්‍ය මානෙල් කුරේ, වෛද්‍ය ශාන්තිමාලා ද සිල්වා, මා සමග හිතවත්ව කතා කලද බදුර්දීන් මහතා මා මඟ ඇරීය​.

වසර ගනාවකට පසු මෑතකදී ලංකාවට ආ අවස්ථාවක මට හදිසියේම ශල්‍ය වෛද්‍ය විශේෂඥ බදුර්දීන් මහතා මට මුහුණට මුහුණ හමු විය​. එදා තිබූ තරහාවන් අප්‍රසාදයන් කිසිවක් නොමැතිව බදුර්දීන් මහතා මා සමග ඉතා ප්‍රිය මනාපව කතා කලේය​. ඔහු තුල මා කෙරෙහි කිසිදු තරහක් නොමැති බව මා පසක් කලෙමි. 

No comments:

Post a Comment

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook