Sunday, November 27, 2022

මැවුම්වාදය , කර්මය සහ පුනරුප්පතිය




ලෝකය මැවූ දෙවියෙකු ගැන​, කර්ම එල , පුනරුප්පත්තිය වැනි විශයන් සම්බන්ධයෙන් මම බොහෝ කාලයක් අධ්‍යනය කලෙමි. එසේම පුනරුප්පත්තිය පිලිබඳව යම් විශ්වාසයක් ද ගොඩ නගාගෙන සිටියෙමි. මුලින්ම ලෝකය මැවූ දෙවියෙකු ගැන පිලිබඳ මගේ අදහස දක්වන්නෙමි.  

විශ්වය  අපරිමිත තාරකා,  ග්‍රහලෝක වලින් සමන්විත වන අතර  යුනිවර්ස් හෙවත් ලෝක ධාතුව තුල චක්‍රාවාට නොහොත් ගැලැක්සීස් බිලියන 125 (1.25×1011) පමණ තිබේ. අපි යුනිවර්ස් හෙවත් එක ලෝක ධාතුවක් ගැන කතා කලද සමහර විද්වතුන් විශ්වාස කරන පරිදි   ලෝක ධාතු අති විශාල ප්‍රමාණයක් පවතින මල්ටිවර්ස් එකක් (බහු ලෝක ධාතුවක් තිබෙන්නට හැක​. මේ නිසා අප අවට අවකාශයේ සිතීමටවත්  නොහැකි විශාලත්වය ගැන අදහසක් මවා ගන්නට පුලුවන් .  

මේ අපරිමිත යුනිවර්ස් හෝ මල්ටිවර්ස් එක දෙවියෙකු මවන ලද්දක් නොවෙයි. එය ඇති වූයේ ඉබේටම. උදාහරණයක් කියනවා නම් දිය ඇල්ලක් වැටෙන කොට දිය බුබුළු ඇති වෙනවා. ඒවා කිසිවෙකු මැව්වේ නෑ. එය හට ගත්තේ යම් හේතුවක් නිසා. මේ අපරිමිත විශ්වයේ දෙවියන් කියා ප්‍රපංචයක් නොමැති බව ස්ටීවන් හෝකින්ස් තම අවසාන කාලයේ කියා සිටියා. එඬේර යුගයේ මිනිසුන් විසින් තම පරිකල්පනය තුල නිර්මිත ඊෂ්වර,  ජෙහෝවා හෝ අල්ලා යන දෙවිවරු විසින් මේ නිමක් කොනක් නොමැති ලෝක ධාතුව මවන ලද බව කීම තර්කාන්විත නෑ. එසේම  පරිනාමවාදය වැනි විශයන් පිලිබඳ අධ්‍යනය මත මම මැවුම්වාදය ප්‍රතික්ශේප කරනවා. ස්වභාව ධර්මය අතිශයින්ම කුරිරුයි. තවත් සතෙක් ජීවත් වන්නේ තවත් සතෙකු මරාගෙන කමින්. මේ අනුව සදාතනික ප්‍රේමයෙන් යුතු දෙවියෙකු මේ මනුෂ්‍ය සහ තිරිසන් ලෝකය මැව්වා කියන කතාව විහිලුවක්. සත්වයන්ට ප්‍රේම කරන දෙවියෙකු නම් ලෝකය මවන්නේ කිසියම් සතෙකු තවත් සතෙකුට හිංසා නොකරන හිරු එලිය මගින් ශක්තිය ලබා ගන්නා සතුන්.  

බොහෝ දෙනෙකු කතා කරන දෙවියන් යනු පිටසක්වල ජීවීන් විය හැකි බවට මම සිතනවා. මේ පිලිබඳ වරක් මම 2009 වාගේ කාලයක මහාචාර්‍ය කාලෝ ෆොන්සේකා සමගත් කතා කලා. නමුත් මට තේරුම් ගිය පරිදි කාලෝ තම ජීවිතයේ අග භාගය තුලදී තම තරුණ කාලයේ  තිබූ රැඩිකල් දේව විශ්වාසය ප්‍රතික්ශේප කරන මට්ටම යම් ප්‍රමාණයකට අඩුවී තිබුනා. එය මහළු වියේ ඇතිවූ Existential කාන්සාව නිසා විය හැකියි. මේ තත්වය අවසාන කාලයේ චාලස් ඩාවින් තුලද තිබුණා.

කර්ම එල පිලිබඳ කතා කිරීමේදී  මේ කතාව මට මතක් වෙයි. සෝමේ නම් ගව ඝාතකයා තම ජීවිත කාලය තුල ගවයන් 200 පමණ ඝාතනය කල අතර ජීවිතයේ අවසාන කාලයේ ඉතා දුක් විඳ  මිය ගියේය​.  තම ජීවිත කාලය තුල ගවයන් ලක්‍ෂ ගනනක් ඝාතනය කල ආජෙන්ටිනා ජාතික මස් කර්මාන්ත හිමියෙක් මිය යන්නේ සුව පහසු ලෙස ලොස් ඇන්ජලිස් නගරයේ රෝහලකය​. කර්මය පසුකාලීන ආත්මයක පල දෙන බවට මෙහිදී ඇතැමෙකු විසින්  කිව හැකිය​. මා මෙහිදී පෙන්වා දෙන්නේ සෝමේ වැනි චරිත හරහා කර්මය ඒත්තු ගන්වන්නට උත්සහ කරන්නන්ට දෙන පිලිතුරක් ලෙසටය​.

පුනරුප්පත්තිය මා මුල් කාලයේදී විශ්වාස කලෙමි. එහෙත් යෝක් විශ්ව විද්‍යාලයේ මාගේ ගුරුවරයෙකු වූ මහාචාර්‍ය Guy Bernard  Proulx සමග කල දීර්ඝ සාකච්චා වලින් පසුව  සහ නූතන පරියේෂණ සහ අධ්‍යනයන් මත පුනරුප්පත්තිය යන සංකල්පය පිලිබඳ මා සැක පහළ කරමි. පුනරුප්පත්තිය පිලිබඳ කතා කිරීමේදී අපගේ බෞද්ධ විද්වතුන් එඩ්ගා කේසීගේ සිද්ධි අධ්‍යනයන් , බ්‍රයිඩේ මර්ෆි කතාව , මහායාර්‍ය ඉයන් ස්ටීවන්සන් ගේ පුනරුප්පත්ති පරියේෂණ, මනෝ වෛද්‍ය Brian L. Weiss ගේ Many Lives, Many Masters ,වෛද්‍ය රේමන්ඩ් මූඩි සහ එලිසබත් කුබ්ලර් රොස් ගේ NDE පරියේෂණ හුවා දක්වති. 

කරන ලද නූතන අධ්‍යනයන් අනුව එඩ්ගා කේසී ගේ සිද්ධි අධ්‍යනයන් වල බරපතල දෝශ තිබී ඇත. එඩ්ගා කේසීගේ  ගේ කියවීම් පිළිබඳ නවීන පරීක්‍ෂණ මත පදනම්ව වෛද්‍ය විශේෂඥයන් පවසන්නේ  එඩ්ගා කේසී   රෝගීන්ගේ මානසික හා චිත්තවේගීය තත්ත්වයන් සමඟ නිතර රෝග සම්බන්ධ කරන බවත් ඔහු ඇතැම් රෝගවල වෛද්‍ය විද්‍යාත්මක හේතූන් නොසලකා හරින බවත්ය. ඔහුගේ සේවාදායකයින්ට ප්‍රධාන වශයෙන් පිළිකා, බහු ස්ක්ලේරෝසිස්, දියවැඩියාව, ආතරයිටීස්, පිත්තාශයේ ගල්, වකුගඩු ගල්, , මානසික හා මානසික ගැටලු, ආහාර දිරවීමේ ගැටළු, අපස්මාරය, අර්ශස්, වණ, සමේ රෝග ආදිය ඇති අතර කේසිට අනුව කර්ම ප්‍රතිවිපාක රෝග ලක්‍ෂණ සමඟ සම්බන්ධ විය. කේසී වරක් ප්‍රකාශ කර තිබුණේ මිනිසුන් අපස්මාරයට ගොදුරු වන්නේ ඔවුන් පෙර භවයේදී කළ අනාචාරයේ ප්‍රතිඵලයක් බවයි. නමුත් නූතන ස්නායු භෞතවේදය මොළයේ  විවූහාත්මක සහ රසායනික වෙනස්කම් මත අපස්මාරය ඇති වන අන්දම පැහැදිලි කොට තිබේ. 

බ්‍රයිඩේ මර්ෆි කතාව සඳහා ළමා කාලයේ අවරෝධනය වූ ස්මෘතියේ බලපෑම පසුකාලීනව සාක්‍ෂි සහිතව පෙන්වා දී ඈත​.  මහායාර්‍ය ඉයන් ස්ටීවන්සන් ගේ පුනරුප්පත්ති පරියේෂණ වල confirmation bias තත්වය නිසා ඔහුගේ පරියේෂණ වල සත්‍යතාව වර්තමාන බටහිර විද්වතුන් පිලි ගැනීමට  මැලිකමක් දක්වති. මහායාර්‍ය ඉයන් ස්ටීවන්සන් ගේ පුනරුප්පත්ති පරියේෂණ පිලිබඳව මා සමග කතා කල මහාචාර්‍ය ජිම් ඇල්කොක් (යෝක් විශ්ව විද්‍යාලය​)  මහාචාර්‍ය මැක් ෆාඩඩ්න් (ටොරොන්ටෝ විශ්ව විද්‍යාලය​) ඔහු විසින් කරන ලද පරියේෂණ වල දෝෂ පෙන්වා දෙන ලදි. මේ හැර දේශීය පුනරුප්පති පරියේෂණයක් වන  අරණායක තිලකරත්න තලවාකැලේ ඤාාණතිලකා වී උප්පතිය ලැබීමේ කතාව කල පර්‍යේෂණ කණ්ඩායම විසින් ඉදිරිපත් කරන ලද තිලකරත්නගේ මරණ සහතිකය සත්‍ය එකක් නොවන බවත් පරීක්‍ෂණය පක්‍ෂග්‍රාහී සහ විද්‍යාත්මක නොවන බවත්  ඒබ්‍රහම් ටී කොවූර් කියා සිටියේය. මා සමග මිනිපේ ප්‍රදේශයේ සේවය කල වෛද්‍ය ධර්මසිරි හේරත් ඤාණතිලකා පිලිබඳව දැන සිටි අතර ඇය දැන් ආයුර්වේද වෛද්‍යවරියක් බවත් කුඩා කාලයේ වැඩිහිටියන් ගේ බලපෑම් මත පෙර භවය පිලිබඳ විවිධ කතා කියා තිබූ බවත් කීවේය​.

වර්තමාන ශ්‍රී ලාංකික සමාජය දෙස බලන විට පෙනී යන්නේ මුලු සමාජයම මිත්‍යාවෙන් පිරී පවතින බවයි. සමාජය පුරා ආධ්‍යාත්මක රික්තකයක් පවතිනවා. මේ නිසා තමයි උගත් ධනවත් බලවත් පුද්ගලයන් පවා ජූඩ් කබ්‍රාල්ලාගේ  අසපු , ඥාණාක්කලාගේ රතු නූල් කල්ට්, පාස්ටර් ජෙරොම්ලාගේ සුව මෙහෙයන්, බෝන් එගෙයින් ව්‍යාපාර​, සමන්තභද්‍ර ගේ ගොවිපොල ආදී දේ වලට ඇදී යන්නේ.  මේ ව්‍යාපාර කරන පූජකයන් තම දායකයන් හෙවත් අනුග්‍රහාකයන් අල්ලා ගන්නේ මරනින් මතු ජීවිතය , නිරය,  හෙල් ටුවර් , ප්‍රේත කතා  වගේ කතා ගොතලා මිනිසුන් තුල බියක් ඇති කිරීමෙන්. එසේම මිනිසුන්ව ඊලඟ ආත්මය සඳහා ස්පිරිචුවල් ඉන්වෙස්මන්ට් වලට යොමු කරවා ගැනීම මගින් පූජකයෝ බැතිමතුන් ගේ දත් ගලවාගෙන තමන් සුර සැප විඳිනවා.

මාගේ අදහස අනුව බුදුන් වහන්සේ පුනරුපත්තියක් හෝ පුනර්භවයක් ගැන දේශනා කලාද කියා සැකයි. අනාත්මවාදය මුල් කරගත් බුදු දහම පුනර්භව පාරට වැටුුුපසුකාලීන බුද්ධගෝෂ වැනි ස්කොලර්ස් ලා නිසා වන්නටත් පුලුවන්. මහාචාර්‍ය  ඩබ් එස් කරුණාරත්න ප්‍රකාශ කල පරිදි ඉපදීම දුක බව බුදුන් කීවේ මමත්වයේ උපත මිස සාමාන්‍ය දරු උපත පිලිබඳ නොවේ. ලංකාවේ හාමුදුරුවරු ජීවිතය දුකයි , අරක දුකයි මේක දුකයි කිය කියා ජීවිතය මුස්පේන්තුවක් බව කියති. ඒ කියන ගමන් සමහර හාමුදුරුවරු හයි ෆයි අසපු හදාගෙන අලි ඇතුන් තියාගෙන ආතල් එකේ ජීවිත වින්දනය කරති. බුදුන් වහන්සේ ජීවිතය දුකයි කීවේ ජීවිතය යනු මුස්පේන්තුවක් කියා නොවේ. දුක්ඛ යන බුද්ධ වචනය ඉතා ගැඹුරුය. දුක්ඛ යනු සියළු වින්දනයන් (සැප සිට දුක දක්වා) අඩංගුය. දුක්ඛ යනු නිරන්තරයෙන් වෙනස් වන ලෝක ස්වභාවයට පුද්ගලයා දක්වන ප්‍රතිරෝධයි. දුක්ඛ යන බුද්ධ වචනය ඇනටෝල් ෆ්‍රාන්ස් විසින් ප්‍රංශ භාෂාවට පරිවර්තනය කරන්නේ සෆරොන්ස් කියාය. මෙය පසුකාලීනව සෆරිං හෙවත් දුක යන වදනට අර්ථ ගන්වයි. මේ දුක යන වචනය අල්ලාගත් අපේ භික්‍ෂූන් ජීවිතය දුකක් මළ ගෙයක් හෝම් පොලක් ලෙස අර්ථ දක්වමින් බෞද්ධයන්ව ජීවිතය පිලිබඳ මන්දඋත්සාහී කර දමති. මේ විකාර අසන බෞද්ධයා එලොවටත් මෙලොවටත් නැති ජීවිතයක් ගත කරයි. ඔහු පින්කම් කරනවා කියමින් ස්පිරිචුවල් ඉන්වෙස්මන්ට් එකක් කරයි. ඒ මරණින් පසු සැප ලැබීමට දෙව් ලොව යාමටය. ඔවුන් නිවන් යන්නේ දෙව් මිනිස් සැප කෙරවල වූ පසුය. ඔවුන්ට වර්තමාන ජීවිතය දුකින් පිරි ප්‍රෙහේලිකාවකි.  බුදුන් දෙසූ පරිදි අතීතය ගැන ශෝක නොකරන අනාගතයට බිය නොවන වර්තමානයේ ජීවත් වන පුද්ගලයා ප්‍රීතිමත් පුද්ගලයෙකි.

අප නොදන්නා මතු ජීවිතයක් පිලිබඳ බිය ඇති කරගෙන ආධ්‍යාත්මකව අතරමං නොවී වර්තමාන ජීවිතය යහපත් ලෙස ගත කිරීම ජයග්‍රහනයක් බව මම සිතනවා. තමනුත් නොදන්නා තමනුත් විශ්වාස නොකරන බැතිමතුනුත් නොමග යවන ලෝකය මැවූ දෙවියන් , පුනරුප්පතිය​, නිරය , දිව්‍ය ලෝකය වැනි සංකල්ප වලින් ගාන කපා ගන්නා පූජකයන් ඉන්න සමාජයක මේ මිථ්‍යා වලින් ඈත්වී ජීවත් වන විට නිවන් ගියාක් මෙන් සුවයක් දැනේ. 

3 comments:

  1. ගම්පොළ යුගයේ පන්සිය පනස් ජාතක පොත බොහෝ දෙනෙක් සිතා සිටින්නේ බුද්ධ භාෂිතයක් ලෙසයි

    ReplyDelete
  2. It is good to enlighten people about the issues you have raised. I am also beginning to understand that Buddhist philosophy has been distorted and misinterpreted..

    ReplyDelete
  3. මේ පිළිබඳව ලියුම් කිහිප්යකම් 2016 ලීව

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook