Monday, October 17, 2022

සීසන්



කොල්ලෝ  පාසල් ආවේ මාසික වාර ප්‍රවේශ පත්‍ර හෙවත් සීසන් වලිනි. අළුත් මාසයට සීසන්  ගන්නේ පරණ මාසය අවසන් වීමට දින තුන හතරකට කලිනි. සීසන් ටිකට් වර්ණවත් ය​. කාඩ්බෝඩ් වැනි කොලයක මුද්‍රණය කොට තිබෙන නිසා පොඩි වෙන්නේ හෝ ඉරෙන්නේද නැත​. මාසයක් සඳහා ගමනාගමනය වලංගු නිසා ළමුන් සීසන් ටිකට් එක සුරක්‍ෂිතව තබා ගනිති. 


උදේට පාසල් එන විට බස් එකේ කොන්දොස්තර විසින් සීසන් එකේ අදාල දිනය සඳහා කොටුවේ පෑනකින් ඉරක් ඇඳ කපා දමයි. හවස පාසලේ සිට ගෙදර යන විටද මෙසේ   ඉතිරි කොටුවද කපා දමයි. එවිට එදිනට සීසන් ටිකට් එක වලංගු නැත​. එහෙත් බොහෝ ළමුන් පාසල් වරුවෙන් පසුව ක්‍රීඩා මෙන්ම අතිරේක අධ්‍යාපන කටයුතු සඳහා යති. ඒ නිසා සීසන් ටිකට් එක කොන්දොස්තර නොකපන්නේ නම් වාසියකි. එහෙත් සමහර කොන්දොස්තරලා සීසන් එක ඉල්ලාගෙන අදාල කොටුව කපති. 

මේ නිසා ඒ කාලයේ  කොල්ලෝ විවිධ උපක්‍රම භාවිතා කලෝය​. එක උපක්‍රමයක් නම් සීසන් කියා ඉදිරි දොරටුවෙන් බස් එකට නැගීමය​. දෙවැන්න නම් සීසන් ටිකට් එකේ කොටු වල ඉටි වැනි දෙයක් තැවරීමය​. සීසන් එකේ දින කොටු වල ඉටිපන්දමක් ඇතිල්ලූ විට කොන්දාට සීසන්  එක කැපීම අපහසුය​. පෑන ඉටි මත තැවරීම නිසා අනෙක් සීසන් ද කැපීමට යන විට පෑන නොලියවේ. කලක් යන විට මෙම සූත්තරය කොන්දොස්තරලාට තේරීම නිසා කොටු වල තවරා තිබුනහොත් ඔවුන් පෑනෙන් ඇන කොටුව හිල් කලෝය​. එවිට කොල්ලන් කරන්නේ අවම දුර යා හැකි ටිකට් එකක් මිලදී ගෙන ඉබ්බෙකු මෙන් කට්ටෙන් වසාගෙන යාමයි. මගදී චෙකර්ලා පැන්නොත් සීසන් එක දී බේරිය හැකිය​. 

ප්‍රාථමික ශ්‍රේනි වල ළමුන් සීසන් එක පොලිතීන් කවරයක දමා එය සීල් කොට සූට්කේස් එකේ දමාගෙන යති. කොන්දොස්තර සීසන් එක ඉල්ලූ විට සීල් කරන ලද පොලිතින් කවරය සමග සීසන් එක කොන්දොස්තරට දෙති. යම් ලෙසකින් කොන්දොස්තර පොලිතීන් කවරය ඉරීමට ලක ලෑස්ති වුවහොත් " එපා එපා අම්මා බනියි කියා මේ පොඩි කොල්ලෝ කොන්දොස්තර මාමා අතින් සීසන් එක උදුරා ගනිති. මේ නිසා කොන්දොස්තර අසරණ වෙයි. 

නිතරම නුගේගොඩ රොටරි හා රේල්වේ ඇවනිව් ටියුෂන් ගිය වාද්දුව , කිරිබත්ගොඩ , කොටහේන  වැනි ප්‍රදේශ වල පදිංචි කොල්ලෝ අතිරේක සීසන් පත් මිලදී ගත්හ​. මෙකී කොල්ලන් ගේ දෙවන සීසන් ටිකට් වල කොලඹ නාලන්දා මහා විද්‍යාලයේ සිට නුගේගොඩ දක්වා කියා  ලියා තිබුනද ඔවුන් ගේ පදිංචිය වෙනත් ප්‍රදේශ විය​. අප උසස් පෙළ පන්ති වල සිටියදී අප සමග සිටි එක් කොල්ලෙක් මහරගම ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලැබූ ඔහුගේ කෑල්ල නිති පතා හමුවීම සඳහාද දෙවන සීසන් පතක් ගත් බව මතකය​. එය සීසන් එකක් නොව පැණිපතක් විය. 

ඒ කාලයේ සීසන් කපන කොන්දොස්තරලා කොල්ලන් මූනෙන්ම දැන සිටියෝය​. මුඩුම මුඩු මුහුණක් තිබූ කොන්දෙක් කිරිබත්ගොඩ ගල්කිස්ස 154 බස් රථයේ වැඩ කල අතර ඔහු සීසන් කපන්නෙකු විය​. මේ නිසා මෙකී කොන්දා සිටින බසය මඟ හැර වෙනත් බස් රථයකට නැගීමට අප පුරුදුව සිටියෙමු. සීසන් නොකපන කොන්දොස්තරලා සිසුන් ගේ ගජ මිතුරන් ය​. එහෙත් සමහර විට කොල්ලන් ඔවුන්ව ප්‍රකෝප කල විට ( බෙල් එක බොරුවට ගැසූ විට සීදේවී කොන්දොස්තරලාද කුපිත වෙති) ඔවුන් කොල්ලන් ගෙන් සීසන් ටිකට් ඉල්ලාගෙන දිගට හරහට කපති. 

මේ කාලයේදී ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ  නිලධාරීන් මසකට වරක් නාලන්දාවට විත් සීසන් ටිකට් හෙවත් මාසික වාර ප්‍රවේශ පත්‍ර නිකුත් කළහ​. මේ නිසා බස් රථ වලින් ගමන් ගන්නා සිසුන් පෝලිම් ගැසී  සීසන් ටිකට් මිලදී ගත්හ. එක් අවස්ථාවකදී මම මාසික වාර ප්‍රවේශ පත්‍රය ගන්නා විටකදී ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ  නිලධාරියෙක් මගෙන් මාරු වන ස්ථාන මොනවාද කියා ඇසුවේය​. ගත් කටටම මම " ගෝරි වලදි" කියා කීවෙමි. මෙය ඇසූ පෝලිමේ සිටි සිසුන් සිනාසුනෝය​. ඒ නිසා නොරිස්සුම් බවක් පෙන්වූ එම නිලධාරියා මාව ධර්මසේන සර්ට පෙන්වා " මේ ළමයා ඕනෑ නැති කතා කියනවා " කියා කීවේය​.

සීසන් එක අන් සතු කල නොහැකි වූවද සමහර විට කොල්ලෝ සීසන් එක වරුවකට දෙකකට කුලියට දෙති. මගේ එක් සොහොයුරෙකු කොලඹ රාජකීය විද්‍යාලයේ ඉගෙනුම ලැබූ අතර ඔහුට සවස් වරුවක බොරැල්ලට යාමට තිබුනේ නම් ඔහු මගේ සීසන් එක රැගෙන යාමට පුරුදුව සිටියේය​. මෙලෙස වරක් ඔහු මටත් නොකියා සීසන් එක ගෙන ගිය අතර එය පසුව මට දීමට ඔහුට අමතක විය​. පසු දින මා පසල් ගියේ සීසන් එක නැතුවය​. වෙනදා  පුරුද්දට කොන්දොස්තරට මම සීසන්  කීවෙමි. වාසනාවකට මෙන් එදින සීසන්  චෙක් කලේ නැත​. පසුව ගෙදර ඇවිත් මම ඔහුට බැණ වැදී මගේ සීසන් එක ඉල්ලා ගත්තෙමි. 

අප සමග ඉගෙනුම ලැබූ කස්තුරි ආරච්චි නොයෙකුත් දේවල් සඳහා දිනකට කිහිප වතාවක් බස් ගමනාගමනයේ යෙදේ. ඒ සෑම අවස්ථාවකම තමන් ගේ සීසන් එක කපා නොගෙන යාමට ඔහු උත්සහ දරයි. වරක් පාසල අවසන් වීමෙන් පසු කස්තුරියා අපත් සමග 166 අංගොඩ බස් රථයට නැග්ගේ පුරහලින් බහිනු පිණිසය​. එදින කිහිප වතාවක් ගමන් කර තිබූ නිසා ඔහුගේ සීසන් එකේ කොටු දෙකම කපා තිබුනේය​.එහෙත් කස්තුරි ආරච්චි කිසි ගනනක් නොමැතිව කොන්දොස්තර ඉල්ලූ විට  සීසන් එක ඔහු අතට දුන්නේය​. 

සීසන් එක අතට ගත් කොන්දොස්තරට සීසන් එක කපා තිබූ බව පෙනුනි.

" මේ සීසන් එක කපලනේ ඕයි " කියා කොන්දා සැරෙන් කස්තුරියාට කීවේය​. 

" ඕයි තමුසෙනේ දැන් ඕක කැපුවේ කියා කස්තුරියා ඊටත් වඩා සැරෙන් උත්තර දුන්නේය​. 

කස්තුරියාගේ පිලිතුර නිසා අන්ද මන්ද වූ කොන් දොස්තර සීසන් එක හතර අතට පරික්‍ෂා කොට මේක මම කැපුවේ නෑ , මේක කපලා තියෙන්නේ නිල් පෑනකින් මං ලඟ තියෙන්නේ කළු පෑනක් කියා කීවේය​. 

එවිට කස්තුරියා ඉතා සාමකාමී හඞින් " ඉතින් ඕක රණ්ඩු වෙන්න දෙයක් ද එහෙනං පුරහලට ටිකට් එකක් දෙන්නකෝ කියා කීවේය​. 

4 comments:

  1. අපිත් ඉස්සර යාලුවන්ගේ සිසන් වල මාරුවන ස්ථානය කියන එකට වලියකදී කියල ලියනවා.

    දවසක් මගේ සීසන් එක පොත් අස්සේ දාල හොයාගන්න බැරුව ටිකට් එකක් ගත්තා . රු 1.25 ටිකට් එකට රුපියල් 5 දුන්නේ, කොන්දා ඉතුරු සල්ලි දුන්නේ නෑ , ඉලග සතියේ ඒ කොන්දගේ සල්ලි ලියන කොලේ අපේ ගෙවල් ලග නැතිවෙලා, මම අහුලලා දුන්නා, එක නැති උනොත් මිනිහගේ පඩියෙන් කපනවා කියල කිව්වා. මෑන් මට ස්තුති කලා, මන් කිව්වා 1.25 ටිකට් එකට 5 ක් ගත්තේ මගෙන් කියල, මිනිහගේ මූන වෙනස් උනා ...

    ReplyDelete
  2. මාරු වන ස්ථාන මොනවාද කියා ඇසුවේය​. ගත් කටටම මම " ගෝරි වලදි" කියා කීවෙමි. +++++++++

    ReplyDelete
  3. අපේ ස්කූල් බස් එකේ උන්න කොන්දට දාල තිබුණු අපර නම, “බලුකටා“ග උන්දැගෙ වැඩ කළාපය නිසා තමා ඒ නම වැටුණෙ. ඒ කාලෙ අපේ පංතිවල කොල්ලො කියපු බස් ජාතික ගීය තමා;

    බලු කටා ලෝකෙ ඉපදී
    මගෙ සීසන් එක කැපුව මගදී
    ඌ කළේ වැරදි වැඩකී
    සීසන් එකෙ ඉරි ගොඩකී

    ReplyDelete
  4. සටහනට ස්තුතියි මතකය අවදිවුණා .

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook