Friday, November 23, 2018

අන්තර්ඥානය




මැලිබු නගරයට  උදෑසන  එලැඹී තිබේ. වින්සන්ට් ලංකාතිලක දෙනෙත් ඇරියේය​. ටෙල් අවිව් සිට මැලිබු දක්වා ගුවන් ගමන නිසා ඔහු සිටියේ වෙහෙස ගතියකිනි. ඔහුට තමන් ගේ රුධිරයේ සීනි මට්ටම අඩුවී යන සෙයක් දැනුනේය​. වින්සන්ට් ලංකාතිලකට  බෙන් ගූරියන් ගුවන් තොටුපලේදී ඔහුට සමු දුන් දාලියා ඇලෝනි විසින් දුන් කිෆ් කෙෆ් චොක්ලට් පාර්සලය මතක් විය​. ඔහු  දාලියා විසින් දුන් කිෆ් කෙෆ් චොක්ලට් පාර්සලය විවෘත කලේය​.  කිට් කැට් චොක්ලට් මෙන් වූ  කිෆ් කෙෆ් චොක්ලට් වලට වින්සන්ට් ලංකාතිලක  ප්රිය කලේය​. කිෆ් කෙෆ් චොක්ලට් කමින් ඔහු තම මිතුරු රිචඩ් අයිසෙක් එන තෙක් ගුවන් තොටුපලට වී සිටියේය. රිචඩ් අයිසෙක් ආවේ බොහෝ ප්‍රමාදවී ය​. එහෙත් ඔහු ඒ පිලිබඳව සමාව ඉල්ලුවේ නැත.

මැලිබු වලදී ඔහු නැවතී සිටියේ රිචඩ් අයිසෙක්ට අයත් මහල් නිවාසයකය​. අර්ධ සුදු ඇමරිකානු අර්ධ ජැමෙයිකානු  රිචඩ් අයිසෙක් නිර්මාංශ භක්ෂිකයෙකි. එසේම ඔහු මහර්ෂි  මහේෂ් යෝගි ගේ හිටපු ගෝලයෙකි.  මහර්ෂි  මහේෂ් යෝගිගේ ආභාෂය නිසා රිචඩ් අයිසෙක් ටී.එම් හෙවත් ට්රාන්සෙන්ඩෙන්ටල් මෙඩිටේෂන් නොහොත් අත්යන්තර භාවනාව වෙත යොමු විය​. රිචඩ් අයිසෙක් වින්සන්ට් ලංකාතිලකවද ටී.එම් භාවනාව වෙත යොමු කර ගැනීමට උත්සුක වූයේය​. එහෙත් මන්ත්රයක් මුමුණමින් කරන ටී.එම් භාවනාව වින්සන්ට් ලංකාතිලකට සති දෙක තුනකින් පමණ එපා විය​. රිචඩ් අයිසෙක් භාවනා කරන විට වින්සන්ට් ලංකාතිලක ඔහුගේ පොත් ගුලෙන් පොතක් ගෙන කියවන්නට පටන් ගත්තේ  රිචඩ් අයිසෙක්ට බාධා නොකරනු පිණිසය​.

ඉන්දියාවේ මධ් ප්රදේශ්හි උපත ලැබූ  මහර්ෂි  මහේෂ්  යෝගි ගේ උපත් නාමය මහේෂ්  ප්රසාද් වර්මාය​. අලහබාද් විශ්ව විද්යාලයේ භෞතික විද්යාව හැදෑරූ ඔහු ආධ්‍යාත්මක භාවනාව කෙරෙහි යොමු විය​. නොබෝ කලකින් මහර්ෂි  මහේෂ් යෝගි ගේ කීර්තිය බටහිර ලෝකයේද පැතිරුනේය​. බීච් බෝයිස් සහ බීට්ල් සංගීත කණ්ඩායම් වල සාමාජිකයෝද මහර්ෂි  මහේෂ් යෝගි ගේ අනුගාමිකයන් බවට පත් වූහ​.

වින්සන්ට් ලංකාතිලක මුලින්ම මහර්ෂි  මහේෂ් යෝගිව දුටුවේ මැන්චෙස්ට වලදීය​. එවකට තරුණ වියේ සිටි ඔහු මෙම ඉන්දියානු යෝගීවරයේගේ දේශනාවන් අසා ඔහුට වශී විය​.

එහෙත් මහර්ෂි  මහේෂ් යෝගි ගේ   විකාරරූපී සිනහව  සහ ඔහුගේ ගිජු දෙනෙත්  දුටු වින්සන්ට් ලංකාතිලකට මෙකී ඉන්දියානු යෝගියා පිලිබඳ යම් අවිශ්වාසයක් මතු විය​. මේ කාලයේදී ඔහුගේ බ්රිතාන් සහ ඇමරිකානු මිතුරන් බොහෝ දෙනෙකු මහර්ෂි  මහේෂ් යෝගිගේ ගෝලයන් බවට පත් වූහ​. එහෙත්  මහර්ෂි  මහේෂ් යෝගි පිලිබඳව වින්සන්ට් ලංකාතිලක තුල තිබූ ප්රසාදය ක්රමක් ක්රමයෙන් අඩු විය​. කුමක් නිසාද කියා කීමට ඔහු නොදත්තේය​. මහර්ෂි  මහේෂ් යෝගි   යනු ව්යාජයක් කියා වරක් ඔහුට සිතුනේය​. හැඟීම ආවේ වරක් මහර්ෂි  මහේෂ් යෝගිව    විසින් තමන් ලෝක සාමය ඇති කරන බවට පැවසීම නිසාය​. මේ කලයේදී ලෝකය විවිධ යුද ගැටුම් වලින් වෙලී තිබුනේය​. බටහිර ලෝකයේ තරුණයන් අතර අසහනකාරී හැඟීම් පහළවූ අතර රාජ්යන් විසින් මිලිටරි බලයන් බොහෝ සෙයින් යොදවන ලදි. මේ නිසා ලෝක සාමය එක් වියරු සිහිනයක් පමණක් විය​.

පසු කාලයක ජෝන් ලෙනන් ඇතුළු බීට්ල්ස්ලා  මහර්ෂි  මහේෂ් යෝගි  හැර ගියෝය. ඊට මූලික හේතුවක් වූයේ  මහර්ෂි  මහේෂ් යෝගි විසින් මියා ෆැරෝට ලිංගික අතවරයක් කිරීමට තැත් කිරීම නිසාය. රූමත් ඇමරිකානු නිලියක වූ මියා ෆැරෝ හමුවේ   මහර්ෂි  මහේෂ් යෝගි ගේ දැහැන් බිඳී ගියේය. මහර්ෂි  මහේෂ් යෝගි පිලිබඳව තමන් තුල තිබූ අදහස ගැන වින්සන්ට් ලංකාතිලක පුදුම නොවීයමහර්ෂි  මහේෂ් යෝගි  යනු ව්යාජයක් බව ඔහු දැන සිටියේය​. මේ අද්භූත ඉන්දියානු යෝගියා පිලිබඳව ප්රතිවේධය තමන්ට ලැබුනේ කෙසේද කියා ඔහු නොදත්තේය​. එය එක්තරා ආකාරයක ගට් ෆීලිං එකක් නොහොත් පැහැදිලි කල නොහැකි වූ සූක්ෂ්ම දෘෂ්ටියක් විය​.

මහර්ෂි  මහේෂ් යෝගි විසින් සිදු කිරීමට තැත් කල අශ්ශීල ක්‍රියාව පිලිබඳව ජෝන් ලෙනන් විසින් ගීතයක් ලියනු ලැබීය​. Sexy Sadie නමින් හඳුන්වන ලද එම ගීතයෙන් මේ මහා ගුරු දේවයන්ව උපහාසයට ලක් කරනු ලැබීය​. වින්සන්ට් ලංකාතිලක ගේ අයර්ලන්ත ජාතික මිතුරෙකු වූ කානි මුලදී මහර්ෂි  මහේෂ් යෝගි ගේ අනුගාමිකයෙකු විය​. වින්සන්ට් ලංකාතිලක විසින් ජෝන් ලෙනන් ගේ Sexy Sadie  නම් ගීතය වාදනය කල සෑම වාරකදීම කානි වින්සන්ට් ලංකාතිලක සමග නිර්දය ලෙස වාද කලේය​. බොහෝ කාලයක් පුරා මහර්ෂි  මහේෂ් යෝගි පසුපස ගිය කානි පසුව ක්‍රිෂ්ණා භක්තිකයෙකු විය​.

මැලිබු වලදීද වින්සන්ට් ලංකාතිලක ජෝන් ලෙනන් ගේ Sexy Sadie ගීතය මිමුනුවේය​.

Sexy Sadie, what have you done
You made a fool of everyone
You made a fool of everyone
Sexy Sadie, ooh, what have you done

වින්සන්ට් ලංකාතිලක ගීතය මිමුනුවේ  රිචඩ් අයිසෙක් ට නොඇසෙන ලෙසටය​. තවමත් මහර්ෂි  මහේෂ් යෝගි ගේ භක්තිමත් අනුගාමිකයෙකු වන රිචඩ් අයිසෙක්ව කුපිත කර ගැනීමට ඔහුට අවශ්‍ය නැත.

බොහෝ වේලාවක් ටී.එම් භාවනාවේ නිරත වූ රිචඩ් අයිසෙක් දෙනෙත් ඇරියේය​. ඉන් පසු ඔහු ගංජා සුරුට්ටුවක් දල්වා ගත්තේය​. භාවනාවෙන් පසු ආධ්යාත්මික තලයක් දක්වා යාම සඳහා  රිචඩ් අයිසෙක් ගංජා පානය කරයි.

සරසවි සිසුවෙකුව සිටි කාලයේදී වින්සන්ට් ලංකාතිලක වරක් ගංජා පානය කලේය. පසුව බොහිමියානු ජීවිතයක් ගත කල කාලයේ කානි ඇතුළු මිතුරන් සමග ඔහු ගංජා  බීම කලේය. මෙලෙස ගංජා භාවිතයත් සමග වරක් ඔහු   විශාද සහ මනෝවිකාරී ලක්ෂණ මුල් වරට  අත් වින්දේය. මේ නිසා ඔහු සුමාන දෙකක් ඇඳ මත ගුලිවී එලියට පවා නොගොස්  සිටියේය.  මේ ව්යාකූලතාවයෙන් පසු ඔහු ගංජා පානයෙන් ඈත් විය. එහෙත් රිචඩ් අයිසෙක්  පානය කරන ගංජා සුරුට්ටුවේ දුම ආඝ්වරාණය කල වින්සන්ට් ලංකාතිලකට යලිත් වරක් ගංජා පානය කිරීමේ ආශාවක් ඇති විය. එහෙත් ඔහු ඒ බව තම මිතුරාට නොකීවේය.

වින්සන්ට් ලංකාතිලක රූපාවාහිනිය ක්‍රියාත්මක කලේය​. ඇමරිකාවේ පාසලක වෙඩි තැබීමක් සිදුවී ඇති බව නිවේදකයා පවසයි. තවත් වෙඩි තැබීමකි. මෙම සමාජය තවමත් පාඩම් ඉගෙන ගෙන නැත​. මෙවැනි වෙඩි තැබීම් දැන් එදිනෙදා සාමාන්‍ය සිද්ධීන් බවට පත් වෙමින් තිබේ.

වින්සන්ට් ලංකාතිලකට තමන් ගේ පාසල් කාලය මතක් විය​. ඔහු අධ්‍යාපනය ලැබුවේ ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයේය​. පාසලේදී බෞද්ධ සිසුවෙකු ලෙසට ඔහු ඇතැම් විටදී බෞද්ධ නොවන සිසුන් ගේ යම් යම් අතවරයන්ට ලක් විය​. ඉතා සන්සුන් සාමකාමී සිසුවෙකු වූ ඔහු ඒ අතවර දරා ගත්තේ තම කෝපය බාහිරට නොපෙන්වමිනි. එහෙත් ඒ කෝපය ඔහුගේ අභ්‍යන්තරයේ වර්ධනය විය​.

ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයේ සිසුවෙකු වූ දොන් ඩේවිඩ් හෙවත් අනගාරික ධර්මපාලතුමාද පාසලේදී බෞද්ධ සිසුවෙකු වීම නිසා යම් යම් වෙනස්කම් කිරීම් වලට ලක් කෙරුනු බව ඔහු විසින් අසා තිබේ. එහෙත් මේ වන විට එම තත්වය වෙනස් වී ඇති බව ඔහු විශ්වාස කරයි.

ඇමරිකාවේ පාසල් වල බුලිං හෙවත් අන්‍ය සිසුන් ගේ අතවරයන්ට ලක් වන සමහරක් සිසුන් පියාගේ ගිනි අවිය පාසලට ගෙන විත් තමන්ට හිංසා කල සිසුනට වෙඩි තැබූ අවස්ථා ඔහුට සිහිපත් විය​. යම් ලෙසක තම පියාගේ ගිනි අවිය ලබා ගැනීමේ හැකියාව තිබුනේ නම් මේ තුවක්කුව තමා පාසලට ගෙන යාමේ
සම්භාවිතාවක් තිබුනේද කියා ඔහු මනසින් විශලේෂණය කොට බැළුවේය​. ධනවත් ඉඩම් හිමි වැවිලිකාරයෙකු වූ වින්සන්ට් ලංකාතිලක ගේ පියා සතු ගිනි අවි කීපයක් විය​. එහෙත් ඔහු ඒ සියල්ලම ඉතා සුරක්‍ෂිතව සඟවා තැබුවේ කිසිවෙකුගේ අත නොගැසෙන ලෙසටය​.

පාසල් අධ්‍යාපනය අවසන් කල පසු වින්සන්ට් ලංකාතිලක පේරාදෙනිය විශ්ව විද්‍යාලයට ගියේය​. නිදහස් අධ්‍යාපනය නිසා විශ්ව විද්‍යාල වරම් ලද ගම්බද සිසු සිසුවියන් බොහෝ දෙනෙකු ඔහුගේ කණ්ඩාමේ වූහ​. ඉතා මනස්කාන්තවූ පේරාදෙනිය විශ්ව විද්‍යාලය ඔහුගේ හද බැඳ ගත්තේය​. ඔහු විශ්ව විද්‍යාලයට ආවේ පියා විසින් ඔහුට මිලදී ගනු ලැබූ අළුත්ම එම්. ජී වාහනයෙනි. අළුත් වාහනයකින් විශ්ව විද්‍යාලයට පැමිණි  වින්සන්ට් ලංකාතිලක කුල්ටූර් අයෙකු ලෙස සලකා ඔහුගේ විශ්ව විද්‍යාල සමකාලීනයන් බොහෝ  දෙනෙකු විසින් ඔහුව තමන් ගේ සමාගමෙන් බැහැර කරන ලදි. මේ නිසා වින්සන්ට් ලංකාතිලක ආශ්‍රය කලේ තමාගේ පන්තියෙන් පැමිණි සිසු සිසුවියන් කිහිප දෙනෙකු පමණි.

ධනවත් සිසුවෙකු වූවද ඔහු අහංකාර පුද්ගලයෙකු නොවීය​. එහෙත් විශ්ව විද්‍යාල සිසු සිසුවියන් බොහෝ දෙනෙකු විසින් වින්සන්ට් ලංකාතිලකගේ ඇඳුමෙන් සහ ඔහුගේ වාහනයෙන් ඔහුව විනිශ්චය කොට වින්සන්ට් ලංකාතිලක මාන්නක්කාර  පුද්ගලයෙකු ලෙස සලකා ඔහුව පිටවහල් කරනු ලැබීය​. මේ නිසා විශ්ව විද්‍යාලයේදී ඔහු ගත කලේ හුදකලා ජීවිතයකි.

විශ්ව විද්‍යාලයේදී සිසු සිසුවියන් පෙම් සබඳතා පවත්වාගෙන ගියද වින්සන්ට් ලංකාතිලක ඔහුගේ පාසල් පෙම්වතිය වූ සැන්ඩ්‍රාව අමතක නොකලේය​. විශ්ව විද්‍යාලයේ පෙම්වතියක් නොසිටීම නිසා ඔහු තවත් හුදකලා විය​. එහෙත් සැන්ඩ්‍රා නිසා ඔහුට තනිකමක් දැනුනේ නැත​. සැන්ඩ්‍රා ලන්සි තරුණියකි. ඒ නිසා ඔහුගේ දෙමාපියන් මේ සබඳතාවට එකහෙලා විරුද්ධ වූහ​. මේ නිසා විශ්ව විද්‍යාල අධ්‍යාපනයෙන්  පසු දෙමාපියන් විසින් ඔහුව එංගලන්තයට පිටත් කරන ලදි. එංගලන්තයේදී ඔහුට හමුවූ කානි නම් අයර්ලන්ත ජාතික තරුණයා නිසා ඔහු බොහිමියානු ජීවිතයකට යොමු විය​. මේ කාලයේදී ඔහු බොහෝ ජීවන අත්දැකීම් ලද්දේය​.

එංගලන්තයේදී  වරක් ඔහුට ෆෙඩී මර්කරිව හමු විය​. ඒ කාලයේ ෆෙඩී මර්කරි පෙනී සිටියේ  ඔහුගේ නියම නම වූ ෆරූක් බුල්සාරා යන නමිනි. ෆරූක් බුල්සාරා එකල එතරම් ප්‍රසිද්ධියට පත්ව නොසිටි අයෙකි. එහෙත් ඔහු තුල යම් අපූර්ව පෞරුෂ ලක්‍ෂණ තිබූ බව වින්සන්ට් ලංකාතිලක පසක් කලේය​. ගීත ගැයීමේ හැකියාව තිබූ ෆරූක් බුල්සාරා ලන්ඩන් පබ් වල ගීත ගැයුවේය​. පසුකාලීනව ෆරූක් බුල්සාරා ෆෙඩී මර්කරි නමින් ලෝක පූජිත විය​.

ලන්ඩන් පබ් වල නිතරම දුටු මේ පාර්සි ජාතික දත් බොල්ලෑ තරුණයා යම් දිනෙක ලෝක පූජිත ගායකයෙකු වන බව වින්සන්ට් ලංකාතිලක සිතුවේ නැත​. එහෙත් මොහු සතුව අසාමාන්‍ය ප්‍රතිභාවක් තිබෙන බව වින්සන්ට් ලංකාතිලකට තේරුම් ගියේය​. පසු කාලයක ෆෙඩී මර්කරි ගේ බොහිමියන් රැප්සෝඩි ගීතය මෙන්ම "Who Wants to Live Forever" යන ගීතය වින්සන්ට් ලංකාතිලක හට විශාල බලපෑමක් ඇති කලේය

ෆෙඩී මර්කරි ගේ බොහිමියන් රැප්සෝඩි ගීතය තමා වැනි මානසිකව හුදකලා වූ පුද්ගලයෙකුගේ ආත්මීය හඞ බව වින්සන්ට් ලංකාතිලක විශ්වාස කලේය​. පසුකාලීනව විශාදය බලවත්වී දිවි නසා ගැනීමේ යොමුවක් වර්ධනය වූ වින්සන්ට් ලංකාතිලක ෆෙඩී මර්කරි ගයන "Who Wants to Live Forever" අසා ජීවිතය නිම කිරීමට තීරණය කලේය​. එහෙත්  යම් අදිසි බලපෑමක් නිසා ඔහු මරණීය තීරණයෙන් බැහැර විය​. එහෙත් එය කුමක්ද කියා ඔහුට තේරුනේ නැත.

බොහිමියානු ජීවිතය බිඳ වැටීමෙන් පසුව දෙමාපියන් ගේ බලපෑම මත ඔහු සිංහල බෞද්ධ තරුණියක සමග විවහා විය​. මේ විවාහය නිසා  ඔහු දරුවන් දෙදෙනෙකුගේ පියෙකු බවට පත් විය​. එහෙත් ඔහුගේ මානසික හුදකළාව අවසන් වූයේ නැත​.

බිරිඳගේ බලපෑම නිසා අධ්‍යාත්මික සුවය ලැබීම සඳහා ඔහු  බෞද්ධ පන්සල් වෙත ගියේය​. එහෙත් නොබෝ කලකින් බෞද්ධ පන්සල් තුල සිදුවන දෙබිඩි ක්‍රියා දුටු ඔහු ආගමින් ඈත් විය​.  එංගලන්තයේ ජීවත් වන සමයේදී ඔහුගේ බිරිඳ ළමුන් දෙදෙනා දහම් පාසල් යැවීම සඳහා උත්සුක වූවාය​. එහෙත් වින්සන්ට් ලංකාතිලක මේ තීරණයට විරුද්ධ විය​.  ඒ මන්ද කියා ඔහු නොදත්තේය​. තමන් ගේ කුඩා පුතා සහ දුව භික්‍ෂූන් යටතට පත් කිරීමට ඔහු එරෙහි විය​.

බිරිඳ විසින් ගත්  තීරණයක් සම්බන්ධයෙන් ඔහු එදිරි වූ ප්‍රථම සහ අවසන් අවස්ථාව එය විය​. නමුත් ඒ සඳහා හේතු කාරණා තම බිරිඳට තේරුම් කර දීමට ඔහු අපොහොසත් විය​. කෙසේ වෙතත් ඔහු සුව්‍යක්ත ලෙස බිරිඳගේ තීරණයට විරුද්ධ විය​. මේ නිසා අවසානයේදී ඇය තම සැමියාගේ කැමැත්තට ඉඩ දුන්නාය​. ඔවුන් ගේ දරුවන් දහම් පාසල් නොගියහ​.

මේ තීරණයෙන් දශක කීපයකට පසුව උක්ත පන්සලේ භික්‍ෂුවක් ළමා අපචාර චෝදනා වලට වැරදිකරු ලෙස බ්‍රිතාන්‍ය අයිස්ල්වර්ත් අධිකරණය විසින් තීන්දු කරන ලදි.   තමා කුඩා දැරියකව සිටි අවධියේ මේ භික්‍ෂුව තමන්ට ලිංගික අතවර කල බවට පසුකාලීනව කාන්තාවක් මෙම භික්‍ෂුවට එරෙහිව නඩු පැවරුවාය​. 1970 වේ දශකයේ බටහිර ලන්ඩනයේ චිස්වික් පළාතේදී බාල වියේ දැරියකට ලිංගික අතවර කිරීමේ චෝදනා හතරකට මෙම භික්‍ෂුව වරදකරුව  වසර හතක සිර දඬුවම් නියම විය.

මේ සිදුවීම පුවත්පතකින් කියවූ වින්සන්ට් ලංකාතිලක තම දරුවන් දෙදෙනා එම භික්‍ෂුව යටතේ දහම් පාසල් නොයැවීමට තමා ගත් තීරණය නිවැරදි බව පසක් කලේය​. එහෙත් ඒ තර්කානුසාරී ඥානය තමන්ට ලැබුනේ කෙසේද කියා කීමට ඔහු නොදත්තේය​.

පරිකල්පනික අතික්‍රමණය     වෛද්‍ය රුවන් එම් ජයතුංග

2 comments:

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook