ජයවර්ධනපුර රෝහලේදී ගැබිණියක් දුෂණය කල බවට චෝදනා ලත් වෛද්‍ය විශාන් ජයශාන්ත පරණමාන සම්බන්ධයෙන් මෙතෙක් නීතිය ක්‍රියාත්මක නොවුනේ මන්ද ?
Wednesday, August 29, 2018
Monday, August 27, 2018
අතාවුදලාගේ ආයෝජන
මීට වසර කීපයකට පෙර කැනඩාවේ වෙසෙන මාගේ මිත්‍රයෙක් ඔහුගේ මුදල් යොදවා ලංකාවේ ව්‍යාපාරයක් ආරම්භ කිරීමට කටයුතු කලේය. ඔහු තම ව්‍යාපාරය කෑගල්ල ප්‍රදේශයේ ආරම්භ කිරීමට අදහස් කල නමුත් මෙම ව්‍යාපාරය ආරම්භ කරන්නේ නම් අතාවුද සෙනෙවිරත්න නම් දේශපාලකයාට රුපියල් මිලියන 10 පගාවක් දිය යුතු බව දන්වන ලදි. තවද මේ කාලයේදී අතාවුද සෙනෙවිරත්නට අල්ලස් නොදුන් කෑගල්ලේ එක් ජල නල ව්‍යාපෘතියක් අතාවුද සෙනෙවිරත්න විසින් තම මැරයන් යොදවා විනාශ කරන ලදි. මේ නිසා මගේ මිතුරා ලංකාවේ මුදල් ආයෝජනය නොකොට වෙනත් රටකට තම ව්‍යාපාරය ගෙන ගියේය. ලංකාවට ලැබිය යුතුව තිබූ දේශීය වියාපාරයක් මෙන්ම රැකියා 200 පමණ නොලැබී ගියේ මෙවැනි මංකොල්ලකාරී දේශපාලකයන් නිසාය.
මේ එක් කතාවක් පමණි. මෙවැනි කතා තව කොපමණ ඇත්ද ?
Saturday, August 25, 2018
වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය සහ ද්‍රෝහියන් හඳුනා ගන්නා වෛද්‍ය මනෝ චිකිත්සක ක්‍රමවේදය
රටකට ද්‍රෝහී වෙන මිනිස්සුන්ව හඳුන ගන්න ක‍්‍රමයක් මනෝ චිකිත්සක වෛද්‍ය ක‍්‍රමය තුළ තිබෙන බවත් එම ක්‍රමය යොදාගෙන එම ද්‍රෝහීන්ගේ ලැයිස්තුව ප්‍රසිද්ධ කිරීමට තමන් බලාපොරොත්තු වෙන බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය නොබෝදා ප්‍රකාශ කොට තිබේ. (මූලාශ්‍රය ;ෂ්‍යාමන් ජයසිංහ 2018 අගෝස්තු 17 වැනි දා ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවු Identifying Traitors: I Cannot Wait Until Dr. Padeniya Presents His Point Scheme නැමැති ලිපිය ).
ඇත්තෙන්ම වෛද්‍ය පාදෙනිය ගේ මෙම ප්‍රකාශය පිලිබඳ සිතන විට මට යම් විමතියක් මෙන්ම ව්‍යාකූලතාවක්ද මතුවේ. වෛද්‍ය මනෝ චිකිත්සක ක්‍රමය ලංකාවේ පවතින්නේ ඉතාම ළදරු මට්මේය. ලංකාවේ මනෝ වෛද්‍ය විද්‍යාව (Psychiatry) ප්‍රචලිත වී තිබුනද වෛද්‍ය මනෝ චිකිත්සනය තවමත් වර්ධනය වී නැත. එසේම වෛද්‍ය මනෝ චිකිත්සනයේ යෙදීම සඳහා සඳහා ලෝකයේ පිලිගත් මනෝ චිකිත්සක සායනික පාසලකින් හෝ විශ්ව විද්‍යාලයකින් අධ්‍යාපනය ලබා අදාල සුදුසුකම් තිබෙන වෛද්‍යවරු ලංකාවේ (මා දන්නා තරමින්) නොමැත. එම නිසා මෙලෙස රටට ද්‍රෝහී වන්නන් හඳුනා ගන්නා ක්‍රම වේදයක් ලාංකික වෛද්‍ය මනෝ චිකිත්සකයෙකු විසින් හඳුන්වා දී තිබේද කියා විමතියක් තිබේ.
මනෝ චිකිත්සනය විශේෂයෙන් මනෝ විශ්ලේෂණය වැනි චිකිත්සක ක්‍රමය වෛද්‍ය විද්‍යාත්මක ප්‍රතිකාර ක්‍රමයක් බව සිග්මන් ෆ්‍රොයිඩ් විසින් කියා තිබේ. එසේම මනෝ චිකිත්සක ක්‍රම ඉදිරිපත් කල කාල් යුං , ඇඩ්ලර් , කැරන් හෝර්නි , ඇල්ෆ්‍රඩ් ඇඩ්ලර් , එර්නස්ට් ජෝන්ස්, මෙලනී ක්ලයින් , එරික් ෆ්‍රොම් , හැරී ස්ටක් සුලිවන් , වික්ටර් ෆැන්කල් , ලැකාන් වැන්නවුන් වෛද්‍යවරු වූ අතර ඔවුන් තම වෛද්‍ය චිකිත්සක දැණුුම උපයෝගී කොට එලදායි මනෝ චිකිත්සක ක්‍රම බිහි කළහ. එහෙත් ද්‍රෝහීන් හඳුනා ගන්නා ක්‍රමවේදයක් ඔවුන් ගේ චිකිත්සන ක්‍රම තුල නොමැත.
මාගේ වෛද්‍ය උපාධියට අමතරව මම උතුරු ඇමරිකාවේ ප්‍රකට විශ්ව විද්‍යාල දෙකකින් සහ එංගලන්තයේ බාන්ස්ලි විද්‍යාලයෙන් මනෝ විද්‍යාව මෙන්ම මනෝ චිකිත්සනය හදාරා තිබේ. එසේම මනෝ චිකිත්සනය පිලිබඳව ආචාර්‍ය උපාධියක්ද හදාරමි. එහෙත් මෙතෙක් කිසිම ආයතනයක් ද්‍රෝහීන් හඳුනා ගැනීම පිලිබඳ මනෝ චිකිත්සක වෛද්‍ය ක‍්‍රමයක් මට උගන්වා නැත. එසේ ක්‍රමවේදයක් තිබෙන්නේ නම් එම ක්‍රමවේදය ඉගෙන ගැනීම සඳහා මා තුල ඇත්තේ නොමද ආශාවකි. වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය දැණුවත්ව ලංකාවේ යම් වෛද්‍යවරයෙකු විසින් ද්‍රෝහීන් හඳුනා ගැනීම පිලිබඳ මනෝ චිකිත්සක වෛද්‍ය ක‍්‍රමවේදයක් ඉදිරිපත් කොට තිබේද යන්න කියා මම නොදනිමි. එසේ ක‍්‍රමවේදයක් ඉදිරිපත් කොට තිබේ නම් එම ශ්‍රී ලාංකික වෛද්‍යවරයා වෛද්‍ය වෛද්‍යාව හෝ මනෝ වෛද්‍යාව පිළිබඳව නෝබේල් ත්‍යාගය සඳහා සුදුසුකම් ලබයි.
මිනිසුන් වීරයන් සහ ද්‍රෝහියන් ලෙස බෙදීම අන්තවාදී දේශපාලනයේ එක් ලක්‍ෂණයකි. එසේම ද්‍රෝහියෙකු මැනීම සඳහා පිලිගත් නිර්නායකයන් ශිෂ්ට සම්පන්න ලෝකයේ නොමැත. රටකට ද්‍රෝහී වෙන මිනිස්සුන්ව හඳුන ගන්න ක‍්‍රමයක් මනෝ චිකිත්සක වෛද්‍ය ක‍්‍රමය තුළ තියෙනවා කියා පවසන වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය ගේ මේ ප්‍රකාශය අසන විට මට මා විසින් ලියන ලද මානසික රෝගියාගේ පරිකල්පනය කෘතියේ එන එක් ජේදයක් මතක් වේ.
...... ඔබ ස්ටාලින් ගේ පොලිස් රාජ්‍යයේ ජීවත් වන්නේ නම් ගුලාග් ශ්‍රම කඳවුරු වලට දක්වන මිනිසුන් ද්‍රෝහියන් ලෙස සැලකිය යුතුය. ඔබ එසේ විශ්වාස නොකරන්නේ නම් ඔබද ද්‍රෝහියෙකි. ඔබ එඩ්ගා හූවර් විසින් ලේබල් කරන ලද ද්‍රෝහියන් ඇමරිකාවට සැබවින්ම ද්‍රෝහීවූ පුද්ගලයන් ලෙස සැලකිය යුතුය. ඔබ එසේ විශ්වාස නොකරන්නේ නම් ඔබද ද්‍රෝහියෙකි ......මානසික රෝගියාගේ පරිකල්පනය (ගොඩගේ ප්‍රකාශකයෝ).
ලංකාවේ කාලයෙන් කාලයට ඒ ඒ දේශපාලනය විසින් ද්‍රෝහියන් ලේබල් කරති. විජේවීර තමාගේ දේශපාලනය අනුසාරයෙන් ද්‍රෝහියන් ලේබල් කොට සමහර දෙනෙක්ව ශාරීරිකවද ඝාතනය කලේය. ප්‍රභාකරන් ද මෙලෙස ද්‍රෝහියන් ලෙස නම් කොට ද්‍රවිඩ පුද්ගලයෝ 20, 000 අධික ප්‍රමාණයක් මරා දැම්මේය. මේ අනුව වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය ගේ නිර්නායකයන් මත ද්‍රෝහී ලේබලය අළවා ඉදිරි කාලයේ කී දාහක් ගිලටිනය වෙත යවත්දැයි අප නොදනිමු.
වෛද්‍ය රුවන් එම් ජයතුංග
Friday, August 24, 2018
බෝතල් කල පිරිත් පැන්
1) අසාධ්‍ය රෝගියෙකුට නම් තේ හැන්දෙන් දෙවරක් දිනකට බීමටදෙන්න
2) විභාගයට යන දරුවෙකුට නම් විභාගය දින උදේ තේ හැන්දෙන් එකෙක් බීමටදෙන්න
3) රැකියා සම්මුඛ පරීක්‍ෂණ වලට යන විට තේ හැන්දෙන් එකක් හිසටදමා අතුල්ලන්න
4)නඩු දිනයට උසාවි යන විට තේ හැඳි දෙකක් විනිසකරුගේ ආසනයේ තවරන්න
2) විභාගයට යන දරුවෙකුට නම් විභාගය දින උදේ තේ හැන්දෙන් එකෙක් බීමටදෙන්න
3) රැකියා සම්මුඛ පරීක්‍ෂණ වලට යන විට තේ හැන්දෙන් එකක් හිසටදමා අතුල්ලන්න
4)නඩු දිනයට උසාවි යන විට තේ හැඳි දෙකක් විනිසකරුගේ ආසනයේ තවරන්න
Wednesday, August 22, 2018
අජිත් පැරකුම් ජයසිංහ සමග සංවාදයක්
අජිත් පැරකුම් ජයසිංහ ලේඛකයෙකු , බ්ලොග් රචකයෙකු , ගුරුවරයෙකු මෙන්ම සමාජ ක්‍රියාකාරී පුද්ගලයෙකි. ඔහු කුප්‍රකට එළියකන්ද වධ කඳවුරේ සිටි රැඳවියෙකි. නොබෝදා ඔහු තමන් ගේ අත්දැකීම් අළළා පොතක් පළ කලේය. මේ අජිත් පැරකුම් ජයසිංහ සමග කෙරෙන සංවාදයයි.
1) කේ පොයින්ට් හෙවත් එළියකන්ද පිලිබඳ කතිකාවක් වර්තමානයේ අවශ්‍ය වන්නේ මන්ද?
1960 ගණන්වලින් පස්සෙ ලංකාවෙ සෑම දශක දෙකකට ම වරක් වගේ තරුණ සංහාර සිදු වී තිබෙනවා. එයට හේතුව තමයි තරුණ කැරැලි. 2009 තරුණ සංහාරයෙන් පසු දැන් අවුරුදු 10ක් ගත වෙමින් තිබෙනවා. දකුණේ ශිෂ්‍ය ව්‍යාපාරය හරහා වගේ ම උතුරේත් ජාතිකවාදී ව්‍යාපාර හරහා තරුණ දේශපාලනයේ අලුත් ප්‍රවණතා මතු වී තිබෙනවා. දිගන, අම්පාර වැනි තැන්වල වාර්ගික කෝලාහලවලදීත්, ආවා ගෘප් වැනි උතුරේ ප්‍රචණ්ඩ කල්ලිවලත් ඉන්නේ තරුණයන්. තරුණ දේශපාලනය හා තරුණ ප්‍රචණ්ඩත්වය පිළිබඳ මම උනන්දු වන්නට හේතුව තමයි, තවත් තරුණ පරම්පරාවක් විනාශය කරා යොමු වීම වැළැක්විය යුතු යයි මා සිතන එක. මම තරුණ දේශපාලනයට කැමතියි. හැබැයි, තවත් තරුණ පරම්පරාවක් විනාශ නොවන දේශපාලනයක් වෙනුවෙන් විතරයි මා පෙනී ඉන්නෙ. විනාශ වෙච්ච තරුණ පරම්පරා තුනකත්, ඔවුන් අතින් විනාශ වුණ සෙසු අයගේත් ජවය අහිමි වීම නිසා තමයි ලංකාව අද මේ තත්වයට පත් වී සිටින්නෙ. එය නැවත සිදු විය යුතු නැහැ.
2) එළියකන්ද පිලිබඳ මුලින්ම කතා කරන්නේ රෝහිත මුණසිංහ. රෝහිත මුණසිංහගේ එළියකන්ද වද කඳවුර පොතේ ඔබ විසින් ලියන ලද පොත අතර යම් පරස්පරතා තිබෙනවාද ?
මේ පොතේ කතුවරයා මේ වන විටත් මා සම්බන්ධයෙන් පූර්ව නිගමනවලට පැමිණ ප්‍රකාශ සිදු කර තිබෙනවා. ඒ නිසා මා ඒ ගැන කතා කරන්නට කැමති නැහැ. පොදුවේ කතා කළොත්, සිදුවීම් අධිසංවේදීකරණය හා භාවාතිෂය ලෙස ප්‍රතිනිර්මාණය කිරීම කලාත්මක වශයෙන් නම් උසස් යයි මා සිතන්නේ නැහැ. මා ලියන්නේ නවකතා නිසාත්, මගේ සංවාදය ඉදිරියට ගෙන යන්නේ ඒ ඔස්සේ නිසාත් මා එයින් වළකින්නට උත්සාහ කරනවා. දේශපාලනික ප්‍රචාරණයන් හෙවත් ප්‍රොපගැන්ඩාවන් වෙනුවෙන් භාවාතිෂය ඉදිරිපත් කිරීම් ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්. එහෙත්, මා උත්සාහ කරන්නේ යථාර්ථය ඊට වඩා ගැඹුරින් ස්පර්ශ කරන්නටයි. නවකතාව ප්‍රබන්ධ සාහිත්‍යයට අයිති වුණාට භාවාතිෂය ප්‍රබන්ධ කරන එක හොඳ නවකතාවක හෝ ලක්ෂණයක් නෙමෙයි.
3) 1988 - 89 ඒ භීෂණ යුගයේදී ඔබ වැනි ගැටවරයන් ජවිපෙ රැඩිකල් දේශපාලනය වෙත ආකර්ශණය වන්නේ කෙසේද?
ඒ වකවානුවේ තරුණ අසහනයක් තිබුණා. එක පැත්තකින් එජාප ආණ්ඩුව ප්‍රජාතාන්ත්‍රික මාවත් වසා දමලායි තිබුණෙ. 1983 කළු ජූලිය පසුබිම් කරගෙන එයට කිසිදු සම්බන්ධයක් නැති ජවිපෙ තහනම් කිරීම කියන්නෙ තරුණ දේශපාලනයට එජාප රජයේ ප්‍රතිචාරය සංකේතවත් කළ සිද්ධියක්. අපි ජවිපෙ එක්ක වැඩ කරන්නට පටන් ගත්තෙ ඒ තහනමට විරෝධයක් විධියටයි. 1980 වර්ජනයෙන් පස්සෙ වෘත්තීය සමිති ව්‍යාපාරය බිඳ වැටිලායි තිබුණෙ. 1982දි ජනමතවිචාරණයක් මගින් මහමැතිවරණය කල් දාලා තිබුණෙ. ඒ බලු වැඩේ නොකළා නම් සමානුපාතික නියෝජනය යටතෙ ජවිපෙට පාර්ලිමේන්තු නියෝජනයක් ලැබෙන්නෙ 1982දි. ඒ තත්වය සන්නද්ධ අරගලයක් ඔස්සේ සමාජවාදී විප්ලවයක් පිළිබඳ අදහසට උත්තේජනයක් වුණා. 1987 ඉන්දු ලංකා ගිවිසුම ජවිපෙට බහුජන කැරැල්ලකට කදිම අවස්ථාවක් සැපයුවා. ඉන් පසු සිදු වුණ දේවල් ඒ වකවානුවේ දේශපාලන ගතිකයන් විසින් හසුරුවන ලද තත්වයන් මිස කලින් සැලසුම් කර තිබුණු දේවල් නෙමෙයි. ඒ කැරැල්ල ගියේ කැරැල්ල හා මර්දනය විසින් තෝරා දුන් පාරවල් දිගේ. ඒක ඒ වකවානුවේ ජනප්‍රිය දේශපාලනය. හැබැයි, මම නම් ජවිපෙ පූර්ණකාලිකයෙකු වුණේ ජවිපෙ තහනම් කරලා, බිඳවැටිලා තිබුණු 1984 වගේ අවධියකයි. ඒ වන විට ජවිපෙ හිටපු බොහෝ අය බිය නිසා පක්ෂය අතහැර දමලායි තිබුණෙ. මට නම් මුලින් ම උවමනා වුණේ මේ පක්ෂය නැවත හදන්නටයි.
4) මේ 1988-89 ජවිපෙ රැඩිකල් දේශපාලනය වෙත ආකර්ශණය වී ජීවිත විනාශ කර ගත් පිරිස කපටීන්ට රැවටුණු හිත හොඳ මෝඩයන් ලෙස ඇතැම් විට හඳුන්වනු ලබනවා. මේ ගැන අද දිනයේ ඔබ සිතන්නේ කුමක්ද?
ඒ පිරිස හිත හොඳ පිරිසක් බව ඇත්ත. ඒත් මෝඩයන් නෙමෙයි. වැඩිදෙනෙකු ජවිපෙ එක්ක වැඩ කළේ රැල්ලට ම විතරක් නෙමෙයි. ජවිපෙ පන්ති කළා. දේශපාලන සාකච්ඡා කළා. පවත්නා තත්වය විග්‍රහ කළා. පැවති වාතාවරණය ප්‍රජාතාන්ත්‍රික නොවන එකක් බව කවුරුත් දැන සිටියා. එජාපයේ ඒකාධිපතිත්වයට සමාජයෙන් තිබුණු විරෝධය මතු වුණ ප්‍රධාන ආකාරයක් තමයි කැරැල්ල. එතනදී ජවිපෙ නායකත්වයේ දේශපාලන අපරිණතකමත්, ආණ්ඩුවේ කෘරත්වයත් නිසා තරුණ ජීවිත රැසක් විනාශ වුණ බව ඇත්ත. ඒත්, ඔවුන් විසින් සමාජයට ඉතිරි කර ගිය අත්දැකීම්, පාඩම් සම්භාරයක් තියෙනවා. ඔවුන් විනාශ වුණේ පාලනයේ කෘරත්වය හා නායකත්වයේ මුග්ධත්වය නිසා.
5) එදා ඔබලාට පන්ති කල සමහරක් නායකයන් ජනතා මුදල් සොරකම් කොට මහා මන්දිර තනාගෙන පාස් පෝට් දෙක තුන තබාගෙන ජීවත් වෙනවා. ඔබලා එදා ජීවිත පරිත්‍යාගයෙන් ගියේ මේ වගේ දෙබිඩි නායකයන් විශ්වාස කරගෙනද?
අද ඉන්න ජවිපෙ නායකයන්ගෙන් මට පන්ති කළ අය ඉන්නෙ ටිල්වින් සිල්වා විතරයි. ඔහු එහෙම කර නැහැ. ඔබ ඔය නම සඳහන් නොකරන නායකයා ඒ කාලෙ මා යටතෙ වැඩ කර තිබෙනවා. මට නම් නායකයන්ට වඩා වැදගත් වුණේ ඒ දැක්ම හා උපායමාර්ගයයි. විප්ලවවාදී පක්ෂයක් ගොඩනගලා එම පක්ෂයට බලය ගැනීමෙන් සමාජ විප්ලවයක් සිදු කළ හැකියි කියා මා ඒ දිනවල විශ්වාස කළා. මගේ විශ්වාසය වුණේ ඒක මිසක් නායකයන් නෙමෙයි. ඒ නිසා මම නම් මේ සම්බන්ධයෙන් කාටවත් දොස් කියන්නෙ නැහැ. මේ කාරණය මට විතරක් නෙමෙයි වෙනත් බොහෝ දෙනෙකුටත් අදාළයි. ඒ නිසා එක් වකවානුවක නායකයන් වූ අය පරිහාණියට පත් වෙනවා ය කියන එක මේ වගේ ව්‍යාපාරවලට එච්චර අදාළ නැහැ. පිටින් බලන අය ඒවා ප්‍රවර්ධනය කළාට ඒවා ඇතුළට දැනෙන්නෙ සීමා සහිතවයි.
6) එදා වියාපාරයේ සිටි සමහරක් ඝාතන මෙන්ම මංකොල්ලකෑම් කොට ඒ ධනයත් රැගෙන ඕස්ට්‍රේලියාව, එක්සත් රාජධානිය වගේ රට වලට පැන ගොස් යලිත් වරක් තව තරුණ පරම්පරාවක් ගඟ දිගේ යැවීමට උත්සහ ගන්නවා. මේ ගැන ඔබගේ අදහස?
විදේශවල සුරක්ෂිත පරිසරයන් ඇතුළෙ ඉඳගෙන ලංකාවේ තරුණයන් අවදානමට ඇද දමන දේශපාලනය කියන්නෙ වර්තමාන තොරතුරු යුගයෙ අලුත් ප්‍රවණතාවක්. මේ සම්බන්ධයෙන් එල්ටීටීඊ අත්දැකීම හරිම වැදගත්. මේ විදෙස්ගත ප්‍රජාවේ රැඩිකල් බලවේග අවසානයේදී මෙරට මහපොළෙවේ සටන් කරපු මිනිසුන්ව හුදකලා කර දැම්මා. හැබැයි, මොවුන් සතු මුදල් බලය නිසා ඔවුන්ට ලංකාවේ අදත් බලයක් තිබෙනවා. ලංකාවේ ව්‍යාපාරවලට සල්ලි ටිකක් විසි කරලා තමන්ගේ අරමුණු වෙනුවෙන් මෙහෙ මිනිසුන්ව කඩේ යවාගෙන වෙන දේ අන්තර්ජාලයෙන් බලමින් ඩ්‍රින්ක් එකක් දාන්න ඔවුන්ට පුළුවන්. ලංකාවේ තරුණයන් මේකට අහුවෙනවා. ශ්‍රමය පිළිබඳ ආකල්පත් මෙතනදි වැදගත්. මම සමාජවාදය ජීවන විලාසයක් ය කියන ආදර්ශ පාඨය ප්‍රවර්ධනය කරන කෙනෙක්. මං දැන් අවුරුදු 13ක් විතර කාලයක් දේශපාලන සංවිධානවලට සම්බන්ධ නොවී ස්වාධීනත්වය ආරක්ෂා කරගෙන මාධ්‍ය, ලේඛන හා දේශපාලන ව්‍යාපාරයක් කරගෙන යනවා. මං මුලින් ම කරගත් දේ තමයි ආර්ථික ස්වාධීනත්වය නිර්මානය කර ගත් එක. මම කිසිදු සංවිධානයක අරමුදල් මත යැපෙන්නෙ නැහැ. මං වැඩ කරනවා. දවසට පැය 18ක් විතර වැඩ කරන කාලවකවානුත් තියෙනවා. පැය හයක් සමාජ කටයුතුවලට දෙන්න පැය 12ක් ශ්‍රමය වගුරුවන්නට වෙනවා. අපි දරු පවුල් නඩත්තු කරන්නත් ඕනැනෙ. දේශපාලනය කරන්නට කලින් වැඩ කරන පුහුණු ශ්‍රමිකයෙකු වෙන්නට ඕනැ. ව්‍යාපාර හදන්නට කලින් තමන් වැඩ කරලා ඒ ධනයෙන් සමාජ වැඩ කරන්නට ඕනැ. ව්‍යාපාර ඇතුළෙ වුණත් තමන්ගෙ භූමිකාව තමන්ට තුලනය කරගන්නට පුළුවන් වෙන්න ඕනැ. තරුණයන් මේ කාරණය තේරුම් නොගෙන සමාජය වෙනුවෙන් වැඩ කරන්නට ව්‍යාපාර, සංවිධාන, පක්ෂ ආදිය සමග හිස් අතින් එකතු වෙනවා. ශ්‍රම කුසලතා නැහැ. ඉතින් බත්පත, නවාතැන, සිගරැට් එක, අරක්කු ෂොට් එක, ඇඳුම, සපත්තු කුට්ටම පවා සංවිධාන එක්ක සම්බන්ධ වෙනවා. සංවිධාන විසින් පුද්ගලයා නැටවෙන එක විධියක් තමයි ඔය. එතනදි ඩයස්පෝරාවලට බලයක් හැදෙනවා. මට කියන්න තියෙන්නෙ මං වගේ පුහුණු ශ්‍රමිකයෙකු වෙලා ආර්ථික වශයෙන් ස්වාධීන වෙන්න උත්සාහ කරන්න. තමන්ගෙ දේශපාලනය තමන්ගෙ ශක්තිය මත පිහිටුවාගෙන සමාජයට යන්න. එතන ඉඳලා පුළුල් වෙන්න.
7) වරක් ඔබ ප්‍රකාශ කලා රෝහණ විජේවීර, සුනිල් මාධව ප්‍රේමතිලක, සුනිල් ආරියරත්න, නන්දා මාලිනී, ගුණදාස අමරසේකර වගේ අය පරම්පරාවකට පරළොව යන්නට පාර කියපු අය කියා. මොවුන් විසින් කරන ලද ක්‍රියාවන් පිලිබඳව සමබර කතිකාවක් ගොඩ නැගුනේ නැත්තේ මන්ද?
මේක මං කලින් කියපු අධිසංවේදීකරණය සමග සම්බන්ධයි. අතීතය සමහරුන් රොමැන්තික් අතීතකාමයක් කරගන්නවා නේ. මං උදාහරණෙකින් පැහැදිලි කරන්නම්. මට කියන්නට පුළුවන් මං කැරැල්ලෙදි ඔක්කොම හොඳ වැඩ විතරයි කළේ, නරක වැඩ කරපු අය ඔක්කොම මළා, මාව රඳවා තියාගත්තෙ මහ අසාධාරණ විදියට, මට දෙතිස් වධයම දුන්නා, මං වීරයෙකු වගේ දරාගෙන හිටියා, මගෙ කොණ්ඩෙ අඩු වයසින් ඉදුණෙ ඒ කාලෙ විඳපු දුක් හින්දා, ඇස් පෙනීම අඩු වුණේ මාස අටක් ඇස් බැඳන් ඉඳපු හින්දා වගේ ඒවා. ඒකට තමයි මම කියන්නෙ මේ කරුණු භාවාතිෂය ලෙස ඉදිරිපත් කරන එක ය කියලා. ඒවා එහෙම භාවාතිෂය ලෙස ඉදිරිපත් කරන්නන්ට ඉහත නම් කියපු අය ඒ ස්වරූපයෙන් අවශ්‍යයි. ඒ අය ගැන අලුත් කියවීමකට ගියොත් තමන්ගෙ පදනම බිඳෙනවා. ඉතින් කොහොමද සමබර කතිකාවක් හැදෙන්නෙ. මම ඒකට උත්සාහයක් දරනවා. ඒකට එන පළමු ප්‍රතිචාරය තමයි, ප්‍රතික්ෂේප කරන එක. මගේ ශාස්තෘ නවකතාවට ඒක වුණා. හැබැයි මං අරගලය අතහැරියෙ නැහැ. අපි බලමු ඉස්සරහට.
8) 1988-89 කාලයේ ඔබ සමග ව්‍යාපාරේ සිට මිය ගිය සගයන් ගැන ඔබ සිතන්නේ කුමක්ද?
ඔවුන්ටත් මට වගේ ජීවත් වෙන්නට අවස්ථාව ලැබුණා නම්, ඔවුන්ගෙන් ඇතැමෙකුගෙන් හරි සමාජයට සාධනීය දෙයක් ලැබෙනවා නේ ද? මං අඩු ගානෙ සාහිත්‍යයට හරි මොකක් හරි අන්තර්ගතයක් එකතු කරන්නෙ මට ජීවත් වෙන්නට අවස්ථාව ලැබුණු නිසානේ. ඒ අතරෙ තව කොච්චර දක්ෂයන් හිටිය ද? එඩිතර මිනිසුන් හිටිය ද? ඒ ජීවය, ජවය අහිමි වුණේ සමාජයට.
9) ඔවුන් අද දිනයේ ජීවත්ව සිටියා නම් වර්තමාන ජවිපෙ ගැන කුමන අදහසක් දරයිද?
කැරැල්ලෙන් ඉතිරි වුණ දක්ෂතා තියෙන අය වැඩිදෙනෙක් අද ජවිපෙත් එක්ක නැහැ නේ. මං හිතන්නෙ මැරුණු අය හිටියානම් ඒත් ඒක තමයි වෙන්නෙ. හැබැයි, මැරුණු ඇතැම් නායකයන්ගෙ ලක්ෂණ නිසා මීට වඩා මුළුමනින් ම වෙනස් තත්වයන් නිර්මාණය වෙන්නත් තිබුණා. හැබැයි, ඒ නායකයන් හැමෝම එක වගේ නොවන නිසා අපට ඔවුන්ගේ මැදිහත් වීමෙන් නිර්මාණය වන්නට තිබුණු හැඩතල ගැන හිතාගන්නට බැහැ.
10) යලිත් 1988-89 යුගයක් ඉදිරි අනාගතයේ ඇති විය හැකිද? එවැනි තර්ජනයක් අපගේ සමාජය අභියස තිබෙනවාද?
ඉතිහාසය පුනරුච්ඡාරණය වෙච්ච අවස්ථා ඕනැ තරම් තිබෙනවා. හැබැයි, ඒවා ගුණාත්මකව වෙනස් සිදුවීම්. එවැනි අර්බුදකාරී යුගයක් නැවත උදා වෙනවා ද කියන එක තීරණය වෙන්නෙ සමාජ බලවේග පෙළගැහෙන ආකාරය අනුවයි. ලංකාවෙ එවැනි අවදානමක් තිබෙනවා. හැබැයි, ඉතිහාසෙන් එකම පාඩම නැවත, නැවත ඉගෙන ගන්නට ඕනැ නැහැ. ඒ නිසා තමයි අපට සාහිත්‍යයක්, කලාවක් වැදගත් වෙන්නෙ. ශාස්ත්‍රීය සම්භාෂණවලට වඩා කලාවෙන්, සිනමාවෙන්, නවකතාවෙන් ඇතිකරන්නට පුළුවන් සමාජ කතිකාව ප්‍රබලයි. මං මගේ අත්දැකීම ඒ සැටියෙන් ලියන්නට උත්සාහ කරන්නෙ ඒක පොදු සමාජ අත්දැකීමක් බවට ස්ථාපිත කරන්නටයි. ඒක ඉගෙන ගන්නට තව කවුරුහරි ඒ අත්දැකීම ඒ විදියට ම ලබන්නට ඕනැ නැහැ.
සාකච්ඡා කලේ වෛද්‍ය රුවන් එම් ජයතුංග
Monday, August 20, 2018
එළියකන්ද වධ කඳවුර
එළියකන්ද වධ කඳවුර ගැන කතිකාවක් ඇති වන්නේ රෝහිත මුණසිංහ විසින් ලියන ලද කේ පොයින්ට් නොහොත් එළියකන්ද වධ කඳවුර නම් කෘතිය මගිනි. රෝහිත මුණසිංහගේ අත්දැකීම් අළළා ලියන ලද මෙම කෘතිය කියවීමෙන් පසු මට ස්ටැෆර්ඩ් විශ්ව විද්‍යාලයේ මහාචාර්‍ය ෆිලිප් සිම්බාර්ඩෝ ගේ ස්ටැෆර්ඩ් සිර කඳවුර සබැඳි පරියේෂණය සිහිපත් විය. සාමාන්‍ය මිනිසෙකු වධකයෙකු බවට පරිවර්තනය වන්නේ කෙසේද කියා මහාචාර්‍ය ෆිලිප් සිම් බාර්ඩෝ ඔහුගේ පරියේෂණය මගින් පෙන්වා දෙනු ලැබීය.
රෝහිත මුණසිංහගේ පොත කියවා මාස හයකට පමණ පසු මා අපූරු අත්දැකීමකට මුහුණ දුන්නෙමි. විශේෂඥ මනෝ වෛද්‍ය නීල් ප්‍රනාන්දු මහතා මනෝ චිකිත්සනය සඳහා පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාවයෙන් (PTSD) පෙලෙන සොල්දාදුවෙකු යොමු කලේය. මෙම සොල්දාදුවා ගේ රෝගී ඉතිහාසය පිලිබඳ විමසන විට ඔහු එළියකන්දේ සේවය කරන ලද බව හෙළි විය. මම තව දුරටත් මෙම රෝගියාගෙන් කරුණු විමසුවෙමි. ඔහු එළියකන්ද වධ කඳවුරේ සිටි වධකයෙකු විය. මම රෝහිත මුණසිංහගේ එළියකන්ද වධ කඳවුර නම් කෘතියේ තිබූ යම් යම් විස්තර ඔහුගෙන් ඇසුවෙමි. මෙම සෙබළා කියූ කරුණු එම විස්තර සමග බොහෝ සෙයින් සමපාත විය. රෝහිත මුණසිංහගේ විස්තර අනුව මේ කඳවුරේ කහ පාට ඩබල් කැබ් රියක් ගැන සඳහන් වෙයි. මම මේ සෙබළාගෙන් කඳවුරේ තිබූ කැබ් රියේ පාට ගැන ඇසුවෙමි. ඔහු නිවැරදිව පිලිතුරු දුන්නේය.
මෙම සෙබලා අන්‍යන් වධයට ලක් කිරීම නිසා පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාවයට ලක්ව සිටියේය. මේ අනුව එළියකන්දේදී වධයට ලක්වූවන් මෙන්ම වධයට පත් කලවූවන්ද වින්දිතයන්ව සිටි බව සනාත විය. මේ නිසා මට මෙන්ම ඔබටද එළියකන්ද වධ කඳවුර විනිශ්චයට ලක් කිරීමට නොහැකිය. එළියකන්ද වධ කඳවුර එක්තරා ආකාරයකට මනෝ විද්‍යාත්මක පාඨ ග්‍රන්ථයක් බඳුය. මේ කඳවුරේ සිදුවූ මනෝ ගතිකයන් මා විසින් ලියන ලද Shell Shock to Palali Syndrome -PTSD Sri Lankan Experience .ග්‍රන්ථයේ අඩංගු කරන ලද අතර එමගින් විදේශීය මනෝ විද්වතුන් ගේ අවධානයද එළියකන්ද වෙත යොමු විය. එළියකන්ද පිලිබඳව මහාචාර්‍ය ෆිලිප් සිම්බාර්ඩෝ වෙතද මම ඊ ලිපියක් යැවූ අතර ඔහු පසුකාලීනව අධ්‍යනය කරන ලද ඇමරිකානු Abu Ghraib වධ කඳවුරේ තොරතුරු මවෙත එව්වේය. තවද කැනඩාවේ යෝක් විශ්ව විද්‍යාලයේද ඇමරිකාවේ වොෂ්බර්න් විශ්ව විද්‍යාලයේද මාගේ දේශන වලදී එළියකන්ද පිලිබඳ මාගේ අධ්‍යනයන් ගැන මම සඳහන් කලෙමි.
එළියකන්ද වධ කඳවුර අත් හැර දැමීමෙන් පසු 2005 වැනි කාලයක එළියකන්ද වෙත ගොස් පැරණි කඳවුර නිරීක්‍ෂණය කිරීමට මට සිතුනි. වරක් මාතර ගැමුණු කඳවුරට ගිය අවස්ථාවක එළියකන්ද වෙත යා යුතු බව මම කීවෙමි. මාගේ නවාතැන් පිලිබඳව ඉතා ඕනෑකමින් සොයා බලා කටයුතු කල මේජර් නිලුපුල් වෙදඅාරච්චි එළියකන්ද ගරා වැටී ඇති බවත් එහි නිරීක්‍ෂණය කිරීමට කිසිදු දෙයක් නොමැති බවත් කීවෙන් මෙම ගමන යාමට මම අධෛර්‍යමත් වූයෙමි. එහෙත් අද සිතෙන්නේ ඒ ගමන ගියේ නම් වඩාත් හොඳ බවය.
එළියකන්ද වධ කඳවුර පිලිබඳව ලේඛකයෙකු මෙන්ම බ්ලොග් රචකයෙකු වන අජිත් පැරකුම් ජයසිංහද පොතක් ලියා තිබේ. අජිත් ද එළියකන්ද වධ කඳවුරේ වින්දිතයෙකු විය. එළියකන්ද පිලිබඳව තව තවත් අත්දැකීම් අනුසාරයෙන් පොත් ලියවෙන්නේ නම් සහ කතිකාවන් ගොඩ නැගෙන්නේ නම් හොඳය. එළියකන්ද වධ කඳවුර යනු අපගේ සමාජයේ අපකීර්තිමත් යුගයක් නියෝජනය කරන්නාවූ සංකේතයකි. එම අපකීර්තිමත් සංකේතය පිලිබඳව අප විසින් එළි පිට කතා කල යුතුය.
වෛද්‍ය රුවන් එම් ජයතුංග
Saturday, August 18, 2018
මේජර් ජාලිය ඈපා සමග සංවාදයක්
මේජර් ජාලිය ඈපා ශ්‍රී ලංකා යුද හමුදාවේ සිටි නිලධාරියෙකි. ඔහු 1988-89 භීෂණ කාලයේදී ඇඹිලිපිටිය ප්‍රදෙශයේ සේවය කලේය. ඔහු ලොව පුරා ආන්දෝලනයට ලක්වූ ඇඹිලිපිටිය පාසල් සිසුන් පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීම පිලිබඳ සිද්ධියේ එක් චූදිතයෙකු වූ අතර ඒ සඳහා අධිකරණයෙන් වරදකරුවෙකු වී සිරදඞුවම් ද ලැබීය. වර්තමානයේ සිරෙන් නිදහස්ව නිහඞ ජීවිතයක් ගත කරන මේජර් ජාලිය ඈපා ප්‍රථම වතාවට ඇඹිලිපිටිය සිසු ඛේදවාචකය පිලිබඳව මාධ්‍යකට අදහස් දක්වයි. ඔහුටද ඇඹිලිපිටිය සිදුවීම පිලිබඳව කීමට කතාවක් තිබේ. මේ එම කතාවයි.
1) මේජර් ජාලිය ඈපා ඔබගේ හමුදා ජීවිතය ගැන යමක් කිවහොත් ? මොන ක්‍රියාන්විත වලද ඔබ සිටියේ
ඔව් මා කොතලාවල ආරක්ශක විද්‍යාපීඨයට බැදුනේ 1981 සැප් මාසයේ. එවකට එය විශ්වවිද්‍යාලයක් නොවන නිසා කළමනාකරණය උපාධිය (BA (Mgt)) හැදැරීමට කොලඹ විශ්වවිද්‍යාලයට ඇතුලත් වුනා. උපාධිය අවසන් කර වැඩිදුර හමුදා පුහුනුව දියතලාව හමුදා ඇකඩමියට ඇතුලත්ව දෙවන ලුතිතන් වරයෙක් ලෙස 1985 සැප්තැම්බර් මාසයේ කාලතුවක්කු රෙජිමේන්තුවට බැදුනා. මාගේ හමුදා ජිවිතයේන් වැඩි හරියක් ගෙවුනේ ක්‍රියාන්විත රාජකාරි වල.
මාගේ මුල්ම deployment එක වුයේ ඔඩුසුඩාන්. ඉන් අනතුරුව මුරුන්කන්, මන්නාරමෙ තල්අඩි, මාන්කුලම්, කිලිනොච්චි හමුදා කදවුරු වල සේවය කලා. 87 සාම සාකච්ඡා වලින් පසු දේණියාය, වෙඩිතල්තිව්, මොණරාගල සහ ඇඹිලිපිටියෙත්, නැවත යුද්ධය ඇරඹිමත් සමග යාපනයේ මාවඩිපුරම්, මන්නාරමේ, වවුනියාව , වැලිඔය, අම්පාර. වැනි කදවුරු වල ක්‍රියන්විත රාජකාරියේ යෙදුනා. එ වගේම නැවතත් වවුනියාව , මන්නාරමේ, මඩකලපුව , ත්‍රිකුනාමලය, කල්පිටිය හමුදා කදවුරු ආශ්‍රිතව ක්‍රියාන්විත වල යෙදුනා. ප්‍රධාන ක්‍රියාන්විත නම් බලවේගය, අස්සක සේනා, වන්නිවික්‍රම 1,2,3, හයේ පහර, අකුනු පහර, සහා නැගෙනහිර පලාත මුදාගැනිමේ මෙහෙයුම්, වවුනියාවෙ FDL එක expand කිරිමේ මෙහෙයුම්, මාවඩිපුරම් FDL ආරක්ශා කිරිමේ මෙහෙයුම්, තලෙයිමන්නාරම දූපත clear කිරිමෙ මෙහෙයුම්, මඩු පල්ලිය මුදා ගැනිමේ මෙහෙයුම්, සහා convoy ආරක්ශා කිරිමේ මෙහෙයුම් වලට සහභාගි වුනා. මා ඒකකයේ විධායක නිලධාරි (Adjutant) බතරොයි දේකක් අලුතින් පිහිටවලා එහි පලමු බතරොයි නිලධාරි අණදෙන ලෙසත්, ඒකකයේ දෙවන අණදෙන නිලධාරි ලෙසත් රාජකාරි කොට තිබෙනවා.
ඒවගේම දියතලාව අධුනිකයි පුහුනු පඨමලා කන්ඩ භාර නිලධාරි ලෙසත්, දියතලාව කෙඩෙට් නිලධාරි පසැලේ Intake 36 හි course officer ලෙස පුහුනු කිරිම් අංශයෙනුත්, රත්නපුර සම්බන්ධිකරණ මුලස්ථානයේ දෙවන ශ්‍රේනියේ මාංඩලික නිලධාරි ලෙසත්, පාබල බ්‍රිගේඩ් ගෘප් කිහිපයක බ්‍රිගේඩ් මේජර් ලෙසත් පනාගොඩ පලමු සේනාංකයේ ජෙනරාල් මාංඩලික නිලධාරි 11 ( GSO II ) ලෙසත් මාංඩලික රාජකාරි කර තිබෙනවා.
මා මිමි 130 කාලතුවක්කුව specialize කර තිබෙනවා. පිටරට පාඨමලා හතරකුත්, දේශිය පාඨමාලා අටක් පමනත් කර තිබෙනවා. එයට බුද්ධි පාඨමාලා දෙකක් සහා නිළධාරින් සදහා ICRC වලින් මෙහෙයවන ලද Law of War for Officers පාඨමාලාවත් ඇතුලත්.
2) ඇඹිලිපිටිය සිසු ඛේදවාචකයට ඔබ සම්බන්ධ වන්නේ කෙසේද ?
මා එම කාල වකවානුවෙ 6 වන කාලතුවක්කු රෙජිමේන්තුවෙ ලුතිනන් වරයෙක්. මා විසින් ආරම්භ කරන ලද 16 වන කාරක බතරොයියේ පලමු බතරොයි නිළදාරි අනදේනයි. මා යටතේ කුට්ටිගල කදවුරත් රත්නපුරේ නීලපොල වත්තත් ( කුඩා කදවුරක් වත්තේ ආරක්ශාවට ) තිබ්බා. ඒ අතරෙම ඇඹිලිපිටිය මහවැලි නිවාඩු නිකේතනයේ පිහිටුවා තිබු රත්නපුර සම්බන්ධිකරණ කාර්‍යාලයේ දෙවන ශ්‍රේනියේ මාන්ඩලික නිලධාරි ලෙස සම්බන්ධිකරණ නිලධාරිතුමා යටතේ සේවය කලා. සම්බන්ධිකරණ තුමා (Coordinating Officer) ගේ වගකීම තමයි සියලුම රජයේ ආයතන ප්‍රධානින්ට නිසි ආරක්ශාව සහ නායකත්වය ලබා දී එම ආයතන පවත්වාගෙන යාමයි.
දිසාපතිගේ ගේ පටන් රත්නපුර දිස්ත්‍රික්කයේ සියලුම රාජ්‍ය ප්‍රධානීන් ඔහුගේ අණ්ට යටයි. එයට අමතරව ඔහු 6 වන කාලතුවක්කු රෙජිමේන්තුවෙත් අණදෙන නිලධාරි තුමා. මා ඔහුගේ මාන්ඩලික නිලධාරි ලෙස ඔහුගේ රාජකාරි කටයුතු වලට සහය වුනා. මා ස්ථාන ගතවි සිටියේ එම මහවැලි කදවුරෙයි. ඔහු යටතේ දිස්ත්‍රික්කයේ සියලුම හමුදා කදවුරු ( 16-17 පමණ්) සියලුම පොලිස් ස්ථාන ( 10 ක් විතර ) තිබුනා. ඉතිං ප්‍රදේශයේ මහජනයා තම පැමිනිලි කිරිමට මෙම සම්බන්ධිකරණ කාර්‍යාලයට පැමිනෙනවා. මේ සේවන කදවුරට වගෙම අන් කදවුර බල ප්‍රදේශ වල හමුදා පොලිස් ක්‍රියාමාර්ග සැබැදිවයි මේම පැමිනිලි. සැම විටම සම්බන්ධිකරණ නිලදාරි තුමා හමු වීමට ප්‍රතම ඒම ජනයා මා හමු වෙනවා. ඒ නිසාම මා මේ සේවන කදවුරට බල ප්‍රදේශයට අයත් ජනයාත් මා මහවැලි කදවුරෙදි හමුවී තිබෙනවා.
3) ඇඹිලිපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ සිසු පිරිසක් හමුදා අත් අඩංගුවට පත් වන අතර ඔවුන් පසුව අතුරුදහන් වනවා. මේ සිද්ධියට ඔබ වග කිය යුත්තෙක්ද ?
එය මෙසේයි. මා ඒ මුලුකාලසීමාවටම අණ දුන්නේ කුට්ටිගල හමුදා කදවුරට සහා නීලපොල වත්ත හා සැබැදිවයි. මොකද වගකීමෙන් බැදෙන්නේ අනුකන්ඩ බාර නිලධාරි හෝ/ සහා නිලධාරි අණ්දේණ (බතරොයි නිළධාරි අණදේන) හෝ/සහා අණදේණ නිළධාරි තුමයි. මේකට කියන්නේ Chain of Command. මේ සිදුවීම සිදුවුනේ ඇඹිලිපිටිය නගර සීමා බලප්‍රදේශය භාර සේවන හමුදා කදවුරේ. මා රාජකාරි කලේ ඊට මිටර් 500-800 ඇතින් පිහිටි මහවැලි කදවුරේ පිහිටි සම්බන්ධිකරණ කාර්‍යාලයේ. මාගේ රාජකාරි ස්වභාවය වුයේ සම්බන්ධිකරණ නිලධාරි තුමාගේ උපදෙස් අනුව සම්බන්ධිකරණ කටයුතු ඉටුකිරීමයි. ඒ කියන්නේ pen to paper work. මා අණදෙන රාජකාරි කුට්ටිගල ප්‍රදේශයේ හැර රත්නපුර දිස්ත්‍රික්කයේ වෙනත් කිසිම ප්‍රදේශය කලේ නැහැ. ඒ අනුව මා මේ සිදුවීම් වලට කිසිම අණදීමක් කර නැහැ.
4) ඇඹිලිපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පති දයානන්ද ලොකුගලප්පත්ති ඒ කාලයේ ඔබගේ මිතුරෙක්ද ? ඔහුට මොකක්ද හමුදාව සමග තිබ්බ ගණුදෙනුව
මා රාජකාරි කරන ප්‍රදේශවල කිසි කෙනෙක් සමග ( රජයේ නිලධාරින් හෝ වේවා ) රාජකාරි මට්ටමෙන් පමනයි සම්බන්දතාවන් පවත්වන්නේ. ඇත්තෙන්ම මා හමුදාව තුලත් batch mates ලා හැර ජේෂ්ඨ/ කනිෂ්ඨ නිළධාරින් සමග රාජකාරි කාලය තුල පැවැත්වුයෙත් රාජකාරි සබදතා පමනයි. ඒ මා එතරමටම impersonal. ඉතිං මා ගලප්පත්ති විදුහල්පති සමග රාජකාරි මට්ටමෙන් එපිට කිසිදු සබදතාවක් තිබුනේ නැත. රාජකාරි මට්ටමේන් පවා තිබ්බේ ඉතා අඩු සබදතාවක්. ඔහු සෙවන කදවුර, විදුහල අසල නිසා, සමග සබදතා පැවැත්වු බව මා දනිමි. ඒ නිසාම එදා ඔහු මගේ මිතුරෙක් නොවේ. නමුත් නඩුව පැවතුන කාලයේ ඉදන් අද දක්වා අන් අයට වඩා මා සමග ඔහු වඩා හිතවත්.
අන් රජයේ ආයතන, උසාවිය හැර GA කාර්‍යාලයේ සිට පහලට, අත්‍යවශ්‍ය සේවා( ජල, විදුලි, බස් ගමනාගමන මෙන් පාසැල් පැවැත්වීමද අපගේ ප්‍රධානම රාජකාරි වලින් එකක්. ඒ වගෙම රජයේ නිළධාරින් හට අරක්ෂාව දීමත් අපේ රාජකරියක්. ඒ අනුව ගලප්පත්ති පර්ශද විදුහල්පති ( ඔහුගේ පර්ෂදය යටතේ තවත් පාසැළ් කිහිපයක් තිබුනා. ඒවා administratively පාලනය කලේ ඔහුයි) හට පාසැළ් පවත්වාගෙන යාම නිසා ජනතා විමුක්ති පෙරමුනෙන් මරණිය තර්ජන තිබ්බා. එක් අවස්ථාවක් පිස්තෝලයෙන් ඔහුට පසු පසින් පැමින වෙඩි තිබ්බා. ශිෂයෙක් කෑ ගහපු නිසා ඔහු මුවා වීම තුල වෙඩි නොවැදි බේරුනා. ඉන් පසුව සම්බන්ධිකරණ නිළදාරිතුමාගේ උපදෙස් අනුව සෙවන කදවුර විසින් පාසැළටත් ඔහුගේ නිළනිවසටත් ආරක්ෂාව සැපයුවා.
5) ඇඹිලිපිටිය සිසු ඛේදවාචකය යට සිටි බුද්ධික කුලතුංග නම් ජවිපෙ ක්‍රියාධරයා ගැන කවුරුත් දන්නේ නෑ ඔහු පිලිබඳව සඳහනකුත් නෑ. ඔහුගේ භූමිකාව මොකක්ද ?
ඔහු ඇඹිලිපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ තරුන ගුරුවරයෙක්. ඔහු ම.ම.වි ඉඩමන් කොටසක් පැට්‍රොල් ෂෙඩ් එකක් අලුතින් හදන්න දේන්න ගත් තීරනයට විරුද්ධව ශිෂයන් උසිගන්වා ශිෂයන්ගේ උද්ඝෝෂණය යටින් සිට මෙහෙය වුවා. මේ කාලයේ අප ඇඹිලිපිටියේ නොවෙයි හිටියේ. ඒ වගේම ගලප්පත්තිත් හිටියේ අධ්‍යාපන අධ්‍යක්ෂ කාර්‍යාලයේ. හිටපු විදුහල්පති තුමාට මෙය පාලනය කර ගත නොහැකි වූ නිසා ඔහු ඉන් ඉවත් කර ගලප්පත්ති එහි විදුහල්පති ලෙස පත් කර එවලා තියෙනවා. ඒ සමගම තමයි අප රෙජිමේන්තුවෙ මොනරාගල සිට ඇඹිලිපිටියට එව්වේ. මේ සිදුවීම් දෙකම එකම කාලයක සිදුවුයේ. මා කුට්ටිගල ස්ථාන ගත වුවා. සේවන කදවුරේ ස්ථාන ගත භඨ පිරිස් වලට අණ දුන්නේ මේජර් රන්ජිත් රූපසිංහ. පසුව කර්නල් නිලයෙන් හමුදාවෙන් විශ්‍රාම ගියා. ඔහුත් සම්බන්ධිකරණ නිලධාරි තුමා වන බ්‍රිගේඩියර් පැරි ලියනගේත් ඇඹිලිපිටිය ම. ම. විද්‍යාලයට ගොස් ගුරු, ශිෂ්‍යයන් ඇමතුවා. මතකද ඒ කාලයේ ශිෂ්‍ය සටන් පාඨය වුයේ " පලමුව මව්බිම දෙවනුව පාසැළ" කියායි. ඔහු ඉතා තදින් කතාකලා. ඇත්තටම ගලප්පත්ති විදුහල් පති නැවිලා හිටියේ ජවිපේ පැත්තට. ඒ මරණීය බයට.අප කලේ ඊටා වඩා වැඩි භිතියක් රාජ්‍ය නිලධාරින්ට දීමයි.
ඉතිං මේ ගුරුවරයා ම.ම. විද්‍යාලයේ පටන් ගත්තා කෙඩෙටින් ප්ලැටුන් එකක්. එසේ ශිෂ්‍යයන් තම ග්‍රහණයට නතු කර ගත්තා. මේ ශිෂ්‍යයන් අත් අඩංගුවට පත්වෙන්නේ ඇඹිලිපිටිය කඩදාසි කම්හල ගිනි තැබිමෙන් පසුවයි. මා මේ කියන්නේ ඊට පෙර සිදුවීම්. ඔහු මේ ශිෂ්‍යයන්ව පන්ති පහ කරවීම අවි පුහුනු කදවුරු වලට යැවීම් ආදිය කලා. මේ අය ජවිපේ ශිෂ්‍ය සන්නද්ධ අංශ්‍ය ලෙස කටයුතු කරා. අප මොහුව දේපාරක් අත් අඩංගුවට ගත්තා. පලමු වර ගලප්පත්ති විදුහල්පති තුමා මැදිහත්වී ඔහුව බේරා ගත්තා. ඒ පාසැලේ ශිෂ්‍යයන් පාලනය කර ගන්න වෙන්න ඇති. දෙවැනිවර අර මා කියු කර්නල් රුපසිංහ බේරලා ඇරියා. කියන්නේ ඔහුත් ආගමේ බුද්ධිකත් ක්‍රිස්තියානි ආගමේ කියලයි. ඉතිං පෙහෙකම්හල ගිනි තැබිමේ සිද්ධියට ( සේවන කදවුර බලප්‍රදේශයේ පිහිටි) ශිෂ්‍ය සන්නද්ධ අංශයත් සහභාගි වෙලා තිබ්බා. ඒ ගැන පරික්ෂණ කරනවිට බුද්ධික ප්‍රදේශයෙන් පලා ගොස් හිටියා. අපට සොයා ගන්න බැරිවුනා. ඔහු පල්ලියේ අධාරයෙන් රට ගොස් ඇති බව පසුව අප දැන ගත්තා.
6) අතුරුදහන් වූ සිසුන් ජවිපෙ ශිෂ්‍ය සන්නද්ධ අංශයේ සිටියාද ? ඔබට එසේ සිටි සිසුන් නම් වශයෙන් කිව හැකිද ?
එක් කෙනෙක් හැර අන් සියලු දේනාම අවි පුහුනු කදවුරු වලට සහභාගි වෙලා අවි පුහුනුව ලබා තියෙනවා. උදේෂ් කාවින්ද, ප්‍රසන්න හදුවල, සුසිල් කුමාර, රසික කලුගම්පිටිය, සිසිල්, අන් අයගේ නම් මට මතක නැහැ. උදේෂ්, හදුවල සුසිල් වගේ අය මිනිමැරුම් පවා කර තියේනවා. මොකද ගොඩක් මිනිමැරුම් සිදුවුනේ පැය 17.45-18.45 වගේ හවස සහ රාත්‍රිය අතර. ඒ කියන්නේ last light එකේදි. එය කර මේ අය ගෙදර එනවා. ගෙදර අය සැක හිතන්නේත් නැහැ. මේ සියල්ලන්ගෙන් කොටසක් රාජ්‍ය දේපල ගිනිතබා විනාශ කර තිබෙනවා.
7) මෙතන කිසිම රාජ්‍ය විරෝධී ක්‍රියා නොකරපු අහිංසකයොත් සිටියාද ? ඔවුන් කවුද ?
ඔව්. ඔහු තමයි මල්වත්ත කියන ශිෂ්‍යයා. මා ඒ ගැන සම්බන්ධිකරණ නිළධාරි තුමාට නිදහස් කරන්න කියා කියා තියෙනවා. මොකද මා සම්බන්ධිකරණ නිළධාරි තුමාට සැම කදවුරකින්ම එන සැම introgation report එකක්ම බලනවා. මා සැම විටම big picture එකේ සිටියේ. එය මාන්ඩලික නිළධාරි කෙනෙකුගේ පරම රාජකාරියක්. හමුදාවේ කෙනෙකුගෙන් අසා බලන්න පුලුවන් එය එසේමද කියා. මල්වත්තව නිදහස් නොකෙරුනේ ඔහුව අන් අය සමගමයි රදවා හිටියේ. නමුත් එයට මා එකග වුයේ නැහැ. මා අණදෙන නිළධාරිවරයෙක් නොවන නිසා ( මාන්ඩලික නිලධාරියෙක් පමනක් වු නිසා ) මා හට ඉන් එහාට කල හැකි දෙයක් වුයේ නැහැ.
මහාධිකරණ නඩු විභාගය කාලයෙදි ස්ටිවන් වැනි නිදහස්. කල එදා රැදවියන් සාක්ශි දෙන විට බ්‍රිගේඩියර් මා හට ඔච්චමට කියුවේ ජාලිය කොහොමද අපි මල්වත්තව නිදහස් කල තිබුන නම් කියා. නමුත් ඒ වෙනවිට මා reform වෙමින් සිටි බැවින් මනුශ්‍ය ජිවිතයක වටිනාකම හොදින් වටහා ගෙන ( මට එතකොට වයස 34-35 වගේ) සිටි බැවින් ඔහු කී දේ මාගේ එක් කනකින් ඇතුලත් වී අනෙක් කනේන් පිටවුනා. අදටත් මා එ ගැන දුක් වෙනවා ඒ අහිංසකයෙක් නිසා. ඔහු පංති කර ඇති බව මට මතකයි. හැබැයි එවැනි අය අප කලේ බූස්ස කදවුරට ඇරිමයි. අන් අය ගැන. අන් අය ගැන මා හට ඒ කෝණයෙන් දුකක් නැහැ. හේතුව අවි පුහුනුව ලබා තිබේනම්, අවි සමග අත් අඩංගුවට පත්වි ඇත්නම්, මීනි මරා ඇත්නම් සහා රාජ්‍ය දේපල විනාශ කර ඇත්නම් ඒ අය විනාශ කිරිමටයි රාජ්‍ය ආරක්ශක ඇමති රන්ජන් විජේරත්න මැතිතුමා වාචික උපදෙස් ලබා දී තිබුනේ. කෙසේ වෙතත් මල්වත්ත වෙනුවෙන් මා කතා කරන්න ශක්තියක් තිබිම ගැන මා කුඩා සතුටක් ලබනවා. ඒ එම අපරාධයේ කොටස් කරුවෙක් නොවීම නිසයි.
8) ජවිපෙ ශිෂ්‍ය සන්නද්ධ අංශයේ සිටි සිසුන් විසින් සිදු කල කඩාකප්පල්කාරී ක්‍රියා මොනවාද ?
1. ඇඹිලිපිටිය පෙහෙකම්හල ගිනිතබා විනාශ කිරිම
2. ඩිපෝවේ ලංගම බස් රථ ගිනිතබා විනාශ කිරිම
3. මහේස්ත්‍රාත් උසාවිය ගිනිතැබිම
4. ඇඹිලිපිටියේ චන්ද්‍රිකා වැව අසල තිබෙන ජනාධිපති නිල නිවස ගිනි තැබීම
5. කඩ වැසීම සදහා චිට් දීම
6. ජනයා විශේෂයෙන්ම රාජ්‍ය නිලධාරින් බිය වැද්දීම සහා එක් ග්‍රාම සේවකයෙක් මැරිම. කතරගම රූපසුන්දරි ඝාතන නඩුවෙ සිරදඩුවම් විද නිදහස් වු හමුදා සමාජිකයෙක් නිදහස් වී සතියක් ඇතුලත මිනිමැරිම.
7. පාසැල් අධ්‍යාපනය කඩාකප්පල් කිරිම.
8. ජන ජීවිතය මුලුමනින්ම අඩාල කිරිම.
නඩුවිභාගය පැවති කාලයෙදිත්, මා සිර දඩුවම් විදපු කාලයේදිත්, අදත් හෙටත් මා දකින්නේ ඒ දේමාපියන්ගේ පරම අයිතියක් කියායි. මොකද අප ජීවත් වන්නේ ශිෂ්ඨ සමාජයක නිසා. හැබැයි මෙයට දේශපාලන මුහුනුවරක් චන්ද්‍රිකා, පවිත්‍රා, S.B දිසානායක වගේ අය දුන්නා 94 බලයට එන්න. ඒ වගේම UNP රජයේ අවසාන කාලයේදි ලංකාවේ Human Rights රෙකෝර්ඩ් එක පහල මට්ටමක කියා විදේශ ආධාර ලැබි නොතිබුන තත්වයක් තිබුනේ. ඒ නිසාම චන්ද්‍රිකා ප්‍රමුඛ විපක්ෂය රාජ්‍ය බලය ලබාගැනීම සදහා දේශපාලන විදේශ පරිත්‍යාග මත මෙවැනි අතුරුදහන් වීම් සම්බන්දයෙන් ක්‍රියා කරනවා යයි රටේ ජනතාවට වගේම විදේශයට පොරොන්දු දුන්නා. ඒ අනුව 94 අගෝස්තු බලයට ආ චන්ද්‍රිකා 94 ඔක්තෝබර් මුල අප පස්දෙනෙක් CID මගින් අත් අඩංගුවට ගෙන ඇඹිලිපිටිය මහෙස්ත්‍රාත් උසාවියට ඉදිරිපත් කොට දින 14 කට රිමාන්ඩ් භාරයට පත් කරා. කොමිසනුත් දැම්මා. හැබැයි 1992 සිට වගේ මේ එක් එක් අය වෙනුවෙන් Heabeascopes නඩු අපට තිබ්බා.
පසුව 1995 අග අප සියලු දේනාට චෝදනා 80 කින් ( eighty counts ) යුත් අධිචෝදනා පත් රත්නපුර මහාධිකරණයේන් භාර දුන්නා. චෝදනා තිබුනේ ශිෂ්‍යයන් 25 ක් සදහා පමනයි.අප නිර්දෝශයි කියු නිසා ජුරියකින් තොරව 1996 ජනවාරි මස සිට නඩුව විභාග කලා. චෝදනා 80 කින් යුත් අධිචෝදනා පතක් මීට පෙර කිසිම චුදිතයෙකුට ලංකා මහාධිකරණයකින් මීට පෙර නඩු පවරලා නැහැ. 1999 පෙබරවාරි 10 වැනි දින මා වරද කරු කරනා විට දින 200 කට ඉතා අසන්න කාලයක්, ඒ අවු 3 කට මදක් වැඩි කාලය තුල විභාග කර පිටු 15,000 ක ආසන්න නඩුවාර්තාව මත චෝදනා 8 කට වරද කරු කොට ඉන් 4 කට අවු 10 බැගිනුත් ඉතිරි 4 ට අවු 5 බැගිනුත් මුලු අවුරුදු 60 ක බරපතළ වැඩ සහිත සිරදඩුවමක් එකවර ගෙවී යන සේ ලබාදුන්නා.
10) ඔබ සාධාරණ නඩු විභාගයකට මුහුණ දුන්නාද?
ඔව්. විභාගය සාධාරණව පැවැත්වූවා. නමුත් වරදකාරිත්වයේ තින්දුව අසාධාරණයි. හැබැයි දඩුවම් තීන්දුව සාධාරණයි.
11) සිර දඞුවම පිලිබඳ තීන්දුව ලැබූ අවස්ථාවේදී ඔබ තුල ඇතුවූ සිතිවිළි මොනවාද ?
තීන්දුව කියවීම පැයක් හමාරක් ගතවුනු කාලයක්. මා වරදකරුවෙක් යයි මුලින් කියන විට මාගේ කකුල් දෙක පන නැතිව ගියා වගේ හැගීමක් ඇතිවුනා. මට අම්මා තාත්තා මතක් වුනා. ඒ අය කවරදාකවත් පොලීසියකටවත් නොගිහිපු අය. ඊට පස්සේ සිර දඩුවම් වසර ගනන් කරන්න පටන් ගත්තා. එය හරියටම කරන්න පුලුවන් වුනේ නැහැ. අම්මා තාත්තා කවරදාකවත් උසාවියට ඇවිත් නැහැ. එදා ආවෙත් නැහැ. ඒ වෙනුවට මාගේ classmate කෙනෙක්, තවත් නුගේගොඩ යහලුවෝ පස් හය දෙනෙක් ඇවිත් සිටියා. කා දෙසවත් කෙලින් බලා කතාකරන්න ශක්තියක් තිබුනේ නැහැ. ඩොක් එකේ සිටගෙන සිටියේ මොළය වැඩ කරන්නේ නැතිව. පසුව උසාවියේ සිර කූඩුවට දැමු පසු සිගරට් හත අටක් එක දිගටම පත්තු කරා. කලිසමත් පිච්චුනා. ඇදලා හිටියේ ලා කොල කලිසමක් සහා ඊටත් වඩා ලා කොල අත්දිග ෂර්ට් එකක් කොල දුඹුරු පාට ටයි එකක් පැලද. මගේ classmate ට මගේ රත්තරන් බ්‍රේස්ලට් එකයි චේන් එකයි ගලවලා දුන්නා පෙම්වතියට දෙන්න කියා. කූඩුවෙ පැයක් හමාරක් ඉන්න කොට මට පියවී සිහිය ආවා. මා සිර ජීවිතය පටන් ගන්නත් පෙර සිත හදාගෙන සිර ජිවිතය වැලද ගත්තා. ඇත්තට මාගේ ශක්තිමත් පෞර්ශත්වය නැවත මට ලැබුනා.
12) ඔබගේ සිර ගෙදර ජීවිතය ගත වුනේ කොහොමද ?
ඔව් මගේ සිර ජිවිතය අවු 7 කට ආසන්නයි. ඒ කියන්නේ 1999 පෙබරවාරි 10 දින සිට 2005 සැප්තැම්බර් 23 දින දක්වා. ඒ කාලය තමයි මාගේ ජිවිතයේ වටිනාම කාලය. මා ජිවිතය අවබෝධ කරගත්තේ මේ කාලය තුලදියි. ඒ කියන්නේ අවිහිංසක මිනිස් හැගීම් මා වර්ධනය කර ගත් කාලයක් මේක. ජන සමාජය අවබොධ කර ගත් කාලයක් මේ කාලය.නැවති මා ආ ගමන්මග දෙස, ඒ කියන්නේ වැල්ලේ පිය සටහන් දෙස නැවති හැරි බලන්න පුලුවන් වු කාලයක් මේ කාලය. ධර්ම පොත පත එ කියන්නේ තුනේ පංතියේ හතරේ පහේ ඔය ආදි වශයෙන් දහම් පාසැළ් පොත් පරිශිලනය ( මා දහම් පාසැළ් ගොස් නැත ) ලැබිච්ච කාලයක් මේක. වඩා වැදගත්ම වන්නේ රේරුකානේ චන්දවිමල ස්වාමින්වහන්සේගේ බෞද්ධයාගේ අත්පොත, චතුරාය්‍ය් සත්‍ය වැනි පොතුත්, බලංගොඩ ආනන්ද මෛත්‍රි ස්වමින් වහන්සේගේ පොතුත්, අචන් චා හිමියන්ගේ භාවනා සම්බන්ධ පොත්පතුත්, තව තව බෞද්ධ පොත්පත් සමග ඩේල් කානජිගේ සහා තවත් අයගේ මනෝවිද්‍යාව, මනස සැබැදි පොත් පත් සහා නෙල්සන් මැන්ඩෙලාගේ long walk to freedom, බිල් ක්ලින්ටන්ගේ My life, ලලිත් ඇතුලත්මුදලිගේ autobiography එක වැනි පොත්පතුත් තවත් විශාල පොත්පත් ප්‍රමානයක් කියවන්න මට වාසනාව ලැබුන කාලයක් තමා මේ කාලය. දින පතා සිංහල පත්තර 2 ක් සහ Daily News පත්තරයත්, සති අන්ත සිංහල පුවත්පත් තුනක් සහා ඉංග්‍රිසි පුවත්පත් තුනක් බලන්නත් හැකි වෙච්ච කාලයක් මේක. ඒ වගේම දුම් පානයෙන් සහා මත්පැන් පානයෙන් තොර වු කාලයක් මේ කාලය. දිනපතා වියායාම ( cell එක තුල) කරන්න පුලුවන් වූ කාලයක් මේක. ඒ වගේම healthy food ( සිරබත ) ඒ කියන්නේ less sugar, No fat, No spices, No acid etc etc ගන්න ලැබිච්ච කාලයක් තමයි මගේ සිර ජීවිතය.
ඒවගේම MS Office න්‍යාත්මකව ඉගෙන ගන්නත්, ඇදුම් මහන්නත් ( මා ටේලර් පාටියේ හිටියේ) ඉගෙන ගන්න පුලුවන් වු කාලයක් තමා මේ කාලය. අවු 18 ක පමන හමුදා කාලය තුල අන් අය supervise කර ඔවුන්ගෙන් වැඩ ගත් මා, මා විසින් ඉදිකටුවට ඇගිලි තුවාල කරමින්, දාඩිය දමාගෙන මැෂිම පාගනින් task එකට වැඩ කරන්න හිත කය පුරුදුකර ගත් කාලයක් තමා මේ කාලය. ඒ වගේම දිනපතා පන්සිල් ගන්නත්, පෝයදින වැඩ සටහන් වලට සහභාගි වෙන්නත්, දින 3 ක් හෝ 5 ක භාවනා වැඩ සටහනකටත් සහභාගි වෙන්න වාසනාව තිබ්බ කාලයක් තමා මේ කාලය. ඒ වගේම පරවියන් ඇතිකරන්නත්, පුසියෙකුටත් ආදරය දක්වන්නත් හැකිවෙච්ච කාලයක් තමා මේ කාලය. ඒවගේම සහෝදර සිරකරුවන්ගේ ජීවිත වලට එබිකම් කරන්නත් හැකියාවක් ලැබුනු කාලයක් තමා මේ කාලය. එ කියන්නේ මරණීය දන්ඩනයට ලක්වු අය, දවල් හොරු, රාත්‍රි හොරු, මංකොල්ලකාරයො, වංචා කාරයො, ස්ත්‍රි දූශකයො, පාතාලයෝ, චන්ඩියො, කුඩු මුදලාලිලා, කුඩ්ඩො, අරක්කු සික් කාරයො, පිස්සො, අල්ලස් කාරයෝ, වැරදි කරපු පොලීස් නිළධාරින්, SB වැනි දේශපාලකයින්, සමාජයේ වැදගත් යයි සැලකෙන යම් ප්‍රභුන් වැනි අයගේ ජීවිත සහ අත්දැකීම් කියවා ගන්නත් ලැබිච්ච අනගි අවස්ථාවක් තමයි මේ කාලය. මොකද විශ්වවිද්‍යාලයේ මාගේ ප්‍රියතම විෂය තමයි Psychology. මට B pass එකක් තියෙනවා. පසුකාලීනව psychology සැබැදි ගොඩක් පොත්පත් මා එවකට කියවා තිබුනා. ඒ දැනුම මා ප්‍රායෝගිකව අත්හදා බලන්න පුලුවන්වු කාලයක් තමා මේ කාලය. එවගේම Chess ඉගෙන ගන්නත්, අප විසින්ම organize කල Chess tournament එකකින් දිනන්නත් පුලුවන් වු කාලයක් තමා මේ කාලය. ඒ වගේම කුඩා fight දෙකකටත් මැදිහත් වෙලා අත්දැකිම් ගත් කාලයක් තමා මේ කාලය. එ වගේම ඇපිල් නඩුවට අදාළව සියලු facts සහා law මාගේ ජනාධිපති නීතීඥ ශ්‍රිනාත් පෙරේරා මහත්‍තයාට (President Council Srinath Perera) ලබා දීම සදහා විශාල home work කරන්නත් ලැබිච්ච අවස්ථාවක් තමයි මේ අවුරුදු හත. ඉතිං මේ කී සහා නොකි ක්‍රියාකාරකම් නිසා මාගේ අවු 7 ක සිර දඩුවමට මා අදටත් ආදරය කරනවා. එහි ප්‍රතිඵල භුක්ති විදිනවා. ඒකයි මා කියන්නේ මේ කාලය මාගේ ජිවිතයේ වටිනාම කාලය කියා. තව විදිහට කිවහොත්, ඇතුලට ගිය මේජර් ජාලිය ඈපාට වඩා එලියට ආපු නිකන් ජාලිය ඈපා වඩා ශක්තිමත්, ගුණගරුක, ධර්මයට ලැදි, ධර්මානුකුලවම ජීවත්වන්න උත්සහා කරන වඩා යහපත් පුද්ගලයෙක් කියා.
13) වර්තමානයේ ඔබ මොනවද කරන්නේ ? ඔබගේ මිතුරන් සමාජය ඔබ දෙස දැන් බලන්නේ කොහොමද ?
ඇත්තම මාගේ batchmates ලා මාව හොදින්ම පිලිගන්නවා. මා ඔබට කියු ලෙසම කලකට පෙර batch get togatger එකකදි කියා තිබෙනවා. එයාලා එයාලට වඩා අත්දැකීම් වැඩි කෙනෙක් ලෙස මාව පිලිගන්නවා. හමුදාවෙ මාගේ ජේෂ්ඨ නිලධාරින් වගේම කනිෂ්ඨ නිලධාරින් මා හට විශේෂ ගරුත්වයක් දක්වනවා. හේතුව එකක් මා command material එකක් වීම සහා මා මෙයට වග කිව යුතු කෙනෙක් නොවීම. අදටත් intake 20 සහ පහල මේජර් ජෙනරාල්ලා පවා මට Sir කියා තමයි කතාකරන්නේ. හැබැයි මා හමුදාව සමග සම්බන්ධතාවයන් පවත්වන්නේ නැහැ. ඒක එක compartment එකක්. සිර ජිවිතයත් තවත් එක compartment එකක්. මා දැන් ඉන්නේ වෙන compartment එකක. මගේ මේ පෙට්ටිවල ඇතුලෙන් යන්න බැහැ. Journy එක ඉවරවෙලා station එකෙ නැවතුමේදි තමයි යන්න පුලුවන්. මා අලුතින් යාලු හිත්වත් කම් පටන් ගන්නේ නැහැ. දන්නා අය සමග විතරයි ඇගැලුම් කම් පවත්වන්නේ. හැමෝම දන්නවා මෙය දේශපාලන case එකක් කියලා. ඒ නිසා අප්‍රසාදයක් නැහැ. නමුත් මා නොදන්නවාට ගොඩාක් පිරිස් මා ගැන දන්නා බව මට අනන්තවත් තේරිලා තියෙනවා. මා නොදන්නවා වාගේ ඉන්නවා.
මා ගිය අවුරුද්දේ සියලු වියාපාර කටයුතු වලින් විශ්‍රාම ගත්තා. ඒ මට අවු 55, ඔක්තෝබර් 26 ට පිරිච්ච නිසා. තැන්පත් ධනයෙන් මට ජීවත්වෙන්න අවශ්‍ය බැංකු පොලිය ලැබෙනවා. මාසයට බිල් හතරයි ( SLT ADSL PEO TV බිල, වතුර බිල, ලයිට් බිල සහ මොබයිල් බිල ) ගෙවන්න තියෙන්නේ. Car, cab and the motor bike are free of lease. No loans to pay. ඉතිං මා අද නිදහස් පුද්ගලයෙක්. අද මා ඉන්නේ දොම්පෙ. අක්කරයකට අසන්න ඉඩමක් තියෙනවා. එහි තිබුන වලව්ව මම (restore) ප්‍රතිශ්ඨාපනය කරා. මා එහි තනියෙන් ඉන්නවා. වැඩට වයසක් මනුස්සයෙක් ඉන්නවා. ගිය අවුරුද්දෙ වත්තේ පොල් පැල 30 ක් දැම්මා. රඹුටන් පැල 12 , වෙනත් පලතුරු වර්ග 15-20 ක් විතර සහා අඩි 40x40 ක ගෙවත්ත තිබෙනවා. ඒ කටයුතු කරමින් විවෙකීව ඉන්නවා. පසුගිය දවස්වල පෝර දැම්මා. ලබන අවුරුද්දට පසු අවුරුද්දේ පලදාව ගන්න බලා පොරොත්තු වෙනවා.
14) ආපසු හැරී බලන විට ඇඹිලිපිටිය සිසු ඛේදවාචකය ගැන ඔබ සිතන්නේ මොනවාද ?
මුලින්ම කියන්න තියෙන්නේ එය සිදු නොවිය යුතු තත්වයක්. මේකට මේ අතුරුදහන් වු ශිෂ්‍යයන් වත්, අප වත්, හමුදාවවත්, එදා රජයවත් වග කිව යුතු නැහැ. වගකිව යුත්තේ මීට පෙරත් 1971 විශාල විනාශයක් කල විජේවිර ප්‍රධාන ජවිපේ දේශපාලන මංඩලය සහා මධ්‍යම කොමිටිය. මේ අය රටේ යමක් කල හැකි තරුන පරම්පරාව විනාශ කරා. අද සිංහල ජන සමාජය යම් නිවට කමක් ඇත්නම්, එයට හේතුව මේ නැතිවුන තරුන පරම්පරාවයි. මේ ශිෂ්‍යයන් ලව් ලෙටර් වැනි පුද්ගලික කාරනාවක් නිසා හෝ ප්‍රතිවිරුද්ධ දේශ්පාලන ( SLFP, LSSP වැනි) මතයක් දැරිම නිසා හො නොවෙයි දැයට අහිමි වුයේ. ඔවුන්ව නොමග යවා, ඔවුන් ලවා අපරාධ කරපු නිසාවෙන්මයි මේ දේවල් සිදු වුනේ. මේ සියලු ශිෂ්‍යයන් අද්දැකිම් නොමැති තරුන අය නිසා, නැත්නම් නොදරුවෝ නිසා ඔවුන් හදාගැනිමේ වගකීමත් එයාලගේ දෙමාපියන්ට තියෙනවා. එතකොට එයාලටත් තම වගකීම් ඉටු නොකල අය නිසා වරදකාරිත්වයක් පැටවෙනවා.
ප්‍රසන්න හදුවලගේ පියා ( ඔහු කනිෂ්ඨ විද්‍යාලයක විදුහල්පති සහ 71 කැරැල්ලේ NIB ලිස්ට් එකේ නම තිබෙන කෙනෙක්) දැන දැනම තමා, තම පුතා මේකට යොමු කරේ. ඒ බව මා දන්නේ හදුවල ඉන්නේ කුට්ටිගල බල ප්‍රදේශයේ නිසා සහා මුලින්ම කුට්ටිගල කදවුරේ නිලධාරි අණදෙන ලෙස මා විසින් ප්‍රසන්න හදුවල අත්අඩංගුවට අරන් නිදහස් කල නිසායි. Lack of supervision by parents too caused this vandetta. හමුදාවකට හෝ පොලිසියකට කොහොමද ලමයි හදන්නේ? රජයටත් වෙන කරන්න කිසිම දෙයක් තිබ්බේ නැහැ. ප්‍රේමදාස ජනාධිපති තුමා කිහිප සැරයක් සාක්ච්චා මේසයට එන්න කියා අරාධනා කරා ආයාචනා කරා, ඇවිත් එකට ආන්ඩු කරමු කියා. නමුත් ජනතා විමුක්ති පෙරමුන ගනන් ගත්තේ නැහැ. මොකද එදා සති දෙකක්, දින 10 ක් වගේ කාලයක් තිබ්බා ( 89 අගොස්තුවේදී හො සැප්තැම්බර් මාසේ ) රටේ ආන්ඩුවක් නැතිව. ගොඩක් අය මේක දන්නේ නැහැ. ඉතින් එහෙම තත්වයකදි ප්‍රජාතන්ත්‍රවාදීව පත් වු රජයකට කල හැක්කේ supression පමනයි. ඒ නිසා එදා පැවති රජය මීට වගකිව යුතුයි කියා කියන්න බැහැ. අනික පසු කාලින ආ රජය LTTE එකට කරෙත්, ඉදිරි කාලයක ඇතිවෙන රජයක් කරන්නෙත් ඕකම තමා.
15) ඇඹිලිපිටිය සිසු ඛේදවාචකය ගැන අපගේ සමාජය ඉගෙන ගත යුතු පාඩම් මොනවාද ?
පලමු පාඩම තමයි තම නොදරුවන්, වීශේෂයෙන් වයස 15 16 සිට 20 21 දක්වා ඉතා සැලකිල්ලෙන් සොයා බැලීම. මොකද දුෂ්ඨ මිනිසෙකුට මේ වයසේ ලමයි නොමග යවන්න ඉතා පහසුයි. මේ සිද්ධියේ ඒ දුෂ්ඨයා තමයි ඔවුන්ගේ තරුණ ගුරුවරයා බුද්ධික. අනික මේ ලමයි සම්බන්දයෙන් අපට ලැබි තිබුනු තොරතුරු අනුව අප ඒ ඒ ගෙවල් වලට ගොස් ඒ ඒ දේමාපියන්ට දැනුම් දුන්නා. කුට්ටිගල පැත්තේ අයට සෙවන කදවුරේ අය මා සමග ගොස් දැනුම් දුන්නා. හදුවල, උදේශ් , සහ තව කිහිප දෙනෙකුගේ. ඒ නිසාමයි මා කියන්නේ මේ දෙමාපියන් බුද්ධික ගුරුවරයාට පසු ඊලගට වග කිව යුතුයි කියා. රජයත් මීට වඩා දුර දිග කල්පනා කොට තීරන ගැනීමත් වඩා වැදගත්. හේතුව පුනුරුත්ථාපනය යන සංකල්පයෙ ආවේ ගොඩක් කල් ගිහිල්ලා. අපි බලාගෙන ඉන්න ඔනේ vecanncy එනකන්. ඒ කියන්නේ ස්ථාන පහසුකම් අවම මට්ටමේ තිබ්බේ. නමුත් ජවිපේ රජයට වඩා වග කිව යුත්තේ ඔවුන්ගේ සටන් පාඨය වුයේ, ඉංදීය හමුදා ලංකාවට ඒමයි. එදා එයට කල හැක්කක් ලංකා රාජ්‍යයට තිබුනේ නැහැ. එය තනිකරම බලය ප්‍රජාතන්ත්‍රවාදී නොවන ආකාරයෙන් ලබාගැනිමට තරුනයන් නොමග ඇරිමක්. පාසැල් ලමුන්ගේ අතට දුන්නේ " පළමුව මව්බිම, දෙවනුව පාසැල" කියායි.
මේ සමාජයේ කුහකත්වය ඉතා වැඩියි. නැති එකා ඇති එකා වට්ටලා හරි, වෙන කොහොම හරි ඇති එකෙක් වෙන්නයි උත්සහා ගන්නේ. මේ ලමයිනුත් මා දැක කතාබස් කල මධ්‍යම කාරක සහාවෙ අය තුලත් මා දැක්කේ අධික කුහකත්වය. එය සමානාත්මතාවය කියන පිරුවටයෙන් තමයි වහන්නේ. මෙය ඇති කරන්නේ ගෙවල් තුල. සමහර විට පහේ ශිෂ්‍යත්වයත් මීට හේතු වෙනවා. අනිකා පරයා යන ගුනය අපේ කාලේ තිබ්බේ නැහැ. ලමා සිතට ඒ පීඩනය ඇතුල් කරන්නේ දෙමාපියන්. ඉන් මව ප්‍රධානයි.
හමුදාව පැත්තෙන් බ්‍රිගේඩියර්ට මීට වඩා මානුශීය හැගිම් තිබ්බා නම් වඩා හොදයි. ඔහුට මිනිස් ජීවිතයක අගයක් තිබ්බේ නැහැ. මොකද මේ හැම දෙයම සිදුවුනේ under his nose. නමුත් ඔහුට පහල හිටිය සෙවන අනුකන්ඩය ඇතුලු අනුකන්ඩ ගනනාවක් බාරව හිටිය මේජර් රන්ජිත් රුපසිංහ බ්‍රිගේඩියර්ව නොමග ඇරිය කියා කියන්නත් පුලුවන්. ඔහු කොහොමටත් අවස්ථාවාදි නිලධාරියෙක්.
සාකච්ඡා කලේ වෛද්‍ය රුවන් එම් ජයතුංග
Subscribe to:
Posts (Atom)