Thursday, January 18, 2018

ඩී.එස් රණවකගේ මනෝ විද්‍යා පාඨමාලා ජාවාරම







(මෙම ලිපිය  රැස පුවත් පතේ පළ වූවකි ) 

තිඹිරියාගම බණ්ඩාර

"විද්‍යාව මිථ්‍යාව සහ ජීවිතය"මැයෙන් ගම්පහ මොන්ටානා ශාලාවෙහි පැවති සංවාදයෙන් පසුව මා හට දුරකතන ඇමතුම් ගණනාවක්  ලැබිණ.ඉන්වැඩි හරියක් මනෝ විද්‍යා පාඨමාලා හදාරන විද්‍යාර්ථීන්ගෙනි.ඩී.එස්.රණවක නමැති පුද්ගලයා වංචනික අයුරින් මනෝ විද්‍යා පාඨමාලා පවත්වමින් දීර්ඝ කාලයක් රුපියල් කෝටි ගණනක් මුදල් වංචා කර තිබීම ද මවිසින් අනාවරණය කරන ලදි.උසස් පෙළ විභාගයෙන් පසුව පාඨමාලා පසුපස හඹායන දරුවන් වංචාකරුවන්ගේ ග්‍රහනයෙන් මුදවා ගැනීම මාගේ අරමුණු අතර විය.

එක් ගුරුවරියක් දුරකතන ඇමතුමක් දෙමින් කොළඹ විශ්ව විද්‍යාලයේ අධ්‍යාපන පීඨයේ උපදේශන මනෝ විද්‍යාව පිළිබඳ දෙසුමක් සඳහා ඩී.එස්.රණවක ගෙවා තිබූ බවත් මහාචාර්ය රෝලන්ඩ් අබේපාල ඔහු ඉහළින් ඇගයූ බවත් සඳහන් කළාය. එහි ඇත්ත නැත්ත මෙසේය.

ඩී.එස්.රණවක කොළඹ විශ්ව විද්‍යාලයේ අධ්‍යාපන හා මනෝ විද්‍යා පීඨයෙහි විශ්‍රාමික මහාචාර්යවරයෙකි..ඔහුට තිබූ සුදුසුකම වන්නේ BEd (hons) සහ MA යන සහතික දෙකයි.මනෝ විද්‍යාව විෂයයෙන් හෝ වෙනත් කිසිදු විෂයකින් ඔහු ආචාර්යය උපාධියක් ලබා නොමැත.විශ්ව විද්‍යාල සම්ප්‍රදාය අනුව කලක්සේවය කිරීමෙන් පසුව ඔහු මහාචාර්ය බවට පත්විය.අධ්‍යාපනවේදී උපාධිය හැදෑරීමේදී මනෝවිද්‍යාත්මක කරුණු අධ්‍යයනය කළ පමණින් මනෝ විද්‍යා මහාචාර්යවරයකු ලෙස පෙනී සිටීමේ හැකියාවක් රණවකට නැත. තවද විශ්‍රාම ලැබීමෙන් පසු ඔහුට මහායාර්‍ය නාමය භාවිතා කල නොහැක 

ඔහු මනෝවිද්‍යාව සම්බන්ධයෙන් ව්‍යාජ උපාධි සහතික ඉදිරිපත් කර පාඨමාලා පවත්වමින් රටක් රවටා මුදල් වංචා කළ පුද්ලයෙකි.ඔහුගෙන් ව්‍යාජ සහතික ලත් විශාල පිරිසක් මනෝ විද්‍යා පාඨමාලා පවත්වමින්ද මනෝ වෛද්‍යවරුන් ලෙස දිවයිනේ විවිධ ස්ථානවල වෛද්‍ය සායන පවත්වමින්ද රණවකගේ වංචාව ඉදිරියට ගෙනයති.මෙවැනි පුද්ගලයකු පිළිබඳ බරසාර හැඳින්වීමක් කරමින් දේශනවලට සම්බන්ධකර ගැනීමෙන් මහාචාර්ය රෝලන්ඩ් අබේපාල කර ඇත්තේද වරදකි.එම පීඨයෙහි පැරණි ගුරුවරයකු වීම එසේ කැඳවීමේ එකම හේතුව වන්නට ඇත.

දෙවැනිව ඇමතුම ලැබුණේ රණවකගේ කුරුණෑගල මනෝ විද්‍යා පාඨමාලාවේ සිසුවකුගෙනි.ඔහු බලවත් කම්පනයකින් තොරතුරු අනාවරණය කළේය.
"මම මේ පාඨමාලාවට රු.75000ක් වියදම් කළා.මේක හොර පාඨමාලාවක් බව දැනගෙන හිටියෙ නෑ.අපරාදෙ මගෙ සල්ලි.මට එකවර ගෙවන්න සල්ලි තිබ්බෙ නෑ.මාසිකව 5000 බැගින් ගෙවන්න පුලුවන් කී නිසා සම්බන්ධ වුණේ."

ඉන්පසු අප අතර ඇතිවූ දෙබස මෙසේය.
"ඒ පාඨමාලාව තෝරගත්තෙ ඇයි?"
"උපාධියෙන් පසුව මනෝ විද්‍යා පාඨමාලාවක් හැදෑරීමේ ඕනැකම තිබුණා.මම ඉකෝලෙදි යාලුවන්ගෙ විවිධ ප්‍රශ්නවලට කන්දීල ඒවට මැදිහත්වෙලා විසඳපු කෙනෙක්.මනෝ උපදේශනය ගැන මට ආසාවක් ඇතිවුණා"
"මේ පාඨමාලාව ම තෝගත්තෙ ඇයි?"
"මේක තමා කවුරුත් දන්න පාඨමාලාව"
රණවකත් උගන්නන්න ආවද?
අනෙක් ගුරුවරු කව්ද?
" රණවක එක දවසයි ආවෙ.
මිනිහ කුකුල් කේන්තිකාරයෙක්.උපදේශනයට ගැලපෙන්නෙම නෑ.ඉගැන්නුවෙත් බොරු.කලුකම්බිලි දේවතාවා,නාඩි වාක්‍යකාරය,අද්භූත බලවේග ගැන තමයි කීවෙ.උගන්නන්ඩ ආවෙ එයාගෙ පාඨමාලාවෙන් ඉගෙනගත්තු අය.ඒ අය බාහිරින් පතපොත කියවල ඉගැන්නුව.එයාලත් දන්නව මෙයා කරන්නෙ බොරුව බව.මනෝ විද්‍යාවට තියන ආසාව නිසා මමත් පතපොත කියෙව්ව.එතකොට තේරෙනව රණවක බොරු කාරයෙක් බව"
"දැන් මොකද්ද කරන්න ඉන්නෙ?"
"හොඳ පාඨමාලාවක් හොයාගන්න ඕනෑ."
මෙබඳු ඇමතුම් ගණනාවක් නැවත දැක්වීම අවශ්‍ය නොවේ.භයානක කරුණ වන්නේ රණවකගෙන් ව්‍යාජ උපාධි අය විශ්ව විද්‍යාල තනතුරු මෙන්ම රජයේ විවිධ අයෙතනවල මනෝ උපදේශන තනතුරුද දැරීමය. ඒ ගැන දෙවනුව සඳහන් කරමි.

රණවකගේ ව්‍යාජ සහතික

රණවක තම නමට අගින් යොදන MICP සහ FICP යන මනෝ විද්‍යා උපාධි ලොව කිසිම සරසවියකින් ලබාගත් ඒවා නොව තමා විසින් තමාටම පිරිනමා ගන්නා ලද ඒවාය.කොළඹ ධර්මරාජ මාවතේ අංක 3 ඒ පළමු මහලෙහි පිහිටි මනෝ විද්‍යා ආයතනය ඔහු දිගු කලක් තිස්සේ රටක්ම රැවටූ උපාධි සහ ඩිප්ලෝමා සහතික ලබා දෙන ඊනියා විශ්ව විද්‍යාලයයි.මෙහි ශාඛා නුවර සහ කුරුණෑගලද පිහිටා ඇත. රණවක තම ආයතනයට නිල භාවයක් ලබා ගැනීම සඳහා බරපතල වංචාවක් කළේය.එනම් සමාජ සේවා දෙපාර්තමේතුවේ ලේකම්වරියකව සිටි වී.ජී.ජෙගරාජසිංහම්ටද උපාධියක් පරිනැමීම මගින් එම දෙපාර්තමේතුවේ දිළිඳු සහන අංශය යටතේ තම ආයතනය ලියාපදිංචි කිරීමයි.ඒ අනුව රණවකගේ මනෝ විද්‍යා ආයතනය දිළිඳු සහන සංවිධානයකි.එහෙත් ඔහු පාඨමාලාවලින් රට රවටා කෝටිගණන් උපයයි.


රණවකගේ පැටිකිරිය

"ප්‍රීතිමත් ජීවිතයකට" මැයෙන් ලිපි පෙළක් 2003 වසරෙහි ලංකාදීප පුවත්පතෙහි පළවිය.(ඔහුගේ පාඨමාලාවල ඉගෙනගන්නා සමහර සිසුන්ට පැවරෙන වගකීමක් වනුයේ ඔහු ගැන ලිවීමය.)කොළඹ විශ්ව විද්‍යාලයේ අධ්‍යාපන මනෝ විද්‍යා අංශයේ මහාචාර්ය සිත් සවිය ජෝන් ගයර් අනුස්මරණ අංශයේ උපදේශන මනෝ විද්‍යාඥ ඩී.එස්.රණවක යනුවෙන් ඔහු තමා හඳුන්වා දී තිබිණ.මෙහි වරද කතුවරයාට පෙන්වා දීමෙන් පසුව 2003 මාර්තු 9 දා සිට ලංකාදීපයෙහි පළවූයේ මනෝ විද්‍යා උපදේශක ඩී.එස්.රණවක යනුවෙනි.

වරක් දිවයින පුවත්පතේ සරසවි උයනෙහිද රණවකගේ සිසුවියක් ලියූ ලිපියක් පළවිය.එහි ඇති ව්‍යාජ තොරතුරු පෙන්වා දෙමින් මා ලියූ ප්‍රතිචාර ලිපිය සරසවි උයන සංස්කාරක රවීන්ද්‍ර‍ විජේවර්ධන විසින් පළ කරන ලදි.රණවක මේ වනතුරු ඒවාට පිළිතුරු දීමට ඉදිරිපත් නොවීය.


විද්වත් වෘත්තිකයෝ

ලොව පිළිගත් විශ්ව විද්‍යාලවලින් මනෝ විද්‍යා විෂයයෙහි පිරිනැමෙන උසස් උපාධි එම උපාධි නොහැදෑරූ පුද්ගලයකු දිළිඳු සහන සමිතියකින් ලබාදෙන එකම රට ලංකාව විය යුතුය. ඔහු මේ සඳහා නම්බුකාර ආවරණයක්ද ලබාගනී.එනම් මේ සියලු පාඨමාලා ශ්‍රී ලංකා විද්වත් වෘත්තික උපදේශකවරුන්ගේ ජාතික ආයතනයෙන් අනුමත ඒවා යැයි හැඳින්වීමය. කරුණු සොයා බලන විට පෙනී යනුයේ මේ සංවිධානයද ඔහුම අටවාගත් හොර සමිතියක් බවය.එක් නිදසුනක් දක්වමි.

2006 වසරෙහි එහි සාමාජිකත්වය පිරිනැමූ සහතිකයක සභාපති හැටියට අත්සන් කර ඇත්තේ රණවකමය.
මහරගම නාවින්න රජමහ විහාර පාරේ 43/42හි පදිංචි එච්.කේ.හේවාවසම් නමැත්තෙකුට ආයතනයෙහි සාමාජිකත්වය පිරිනමා ඇත.සභාපති රණවකගේ නමට අගින් BEd (hons), MAසහ   MICP  පට්ටම ලැබූ එච්.ඒ.ගාමිණී කුමාර නමැත්තා ලේකම් හැටියට අත්සන් තබා ඇත.කැස්බෑව අධිකරණ කොට්ඨාසයෙහි සමාදාන විනිසුරකු ලෙස දිවුරුම් දී සිටින ධර්මදාස රාජකරුණාගේ නිල මුද්‍රාවද මෙහි තබා ඇත.ව්‍යාජ සහතිකයකට නිල මුද්‍රාව තැබීමෙන් ඔහු කර ඇත්තේද වරදකි.මෙසේ තමාගේ විශාල වංචාවක් වසාගැනීම සඳහා වෙනත් පුද්ගලයන් ද අඩයාළමට ගැනීමෙන් රණවක කර ඇත්තේ බලවත් වරදකි.

රණවක තම ව්‍යාජ පාඨමාලාවට ආවරණයක් ලබාගැනීම සඳහාත් ඇතිවිය හැකි හිරිහැර වලවා ගැනීම සඳහාත් උපක්‍රමයක් යොදයි.එනම් උපාධි සහතික මගින් මර්මස්ථාන හීලෑකරගැනීමය. එහි එක් පියවරක් වන්නේ  බලගතු පුද්ගලයන්ට තම ව්‍යාජ උපාධි පිරිනමා ඉදිරියේදී ඇතිවිය හැකි බාධා ඉවත්කර ගැනීමය.

එයින් තවත් අරමුණක් ඉටුවේ.එනම් ආයතන ප්‍රධානියකු හට ව්‍යාජ උපාධි පිරි නැමීම මගින් එම ආයතනයේ සේවකයන් හට පාඨමාලා පවත්වා මුදල් ඩැහැ ගැනීමය.ඔහු වරක් යුද හමුදාවේ ඇජුටන් ජනරාල් ටී.ආර් ද සිල්වා මහතා හට උපාධියක් පිරි නැමුවේය.එමගින් හමුදා සාමාජිකයන් රැසක් තම පාඨමාලාවට ඇදගත්තේය.මේ පාඨමාලා සඳහා මුදල් ගෙවා ඇත්තේ හමුදාවෙනි.එනම් රජයෙනි.මෙය රාජ්‍ය දේපල වංචා කිරීමකි.එයින් නොනැවතී ඇජුටන් ජනරාල්වරයා තම ආයතනයේ විනය බාර නිලධාරියා ලෙසද පත්කර ගත්තේය.

යුද හමුදා නීතිය අනුව කුප්‍රකට සිවිල් ආයතනයක එවැනි තනතුරක් දැරීම හමුදා නීතිය උල්ලංඝනය කිරීමකි.රණවක එයට ද  අනුබල දුන්නේය.එමෙන්ම ටී.ආර් ද සිල්වා යුද හමුදාවේ මනෝවිද්‍යා මෙහෙයුම් අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ සමයේ ඔහුගේ නිර්දේශ අනුව හමුදා නිලධාරීන් විශාල ප්‍රමාණයක් මේ පාඨමාලාව හදාරා තිබේ.

යුද්ධය නිසා පශ්චාත් ක්ලමථ අක්‍රමතාවට පත්වූ සෙබළුන් ගණන විශාලය.ඔවුන් එයාකාරයෙන්ම සමාජගත වීමේ ප්‍රතිපල භයානකය.ආමි ජිනේ,ආමි සම්පත්,එස්.එස්.ලොක්කා වැනි අපරාධකරුවන් බිහිවූයේ එහි ප්‍රතිපල ලෙසය.විශේෂඥ මනෝ වෛද්‍ය නීල් ප්‍රනාන්දු සහ උපදේශන මනෝ චිකිත්සක රුවන් එම්.ජයතුංග ගේ මූලිකත්වයෙන් හමුදා රෝහලෙහි ක්‍රියාත්මක වූ මනෝ ප්‍රතිකාර ඒකකය යුද්ධයෙන් මානසික අවපතනයට පත්වූ සෙබළුන් විශාල පිරිසක් ප්‍රකෘති තත්වයට පත් කිරීමට බලපෑවේය.එහෙත් එක් කලක එය වසා දමන ලද්දේ  ලද්දේ හමුදා සෙබළුන්ට අවමානයක් වේය යන අදහසිනි.මෙවැනි බාධා රණවකගේ ඊනියා පාඨමාලාවලට ඇති නොවීය.


රණවකගේ ගෝලයෝ

ගුරා හිටගෙන කරන විට ගෝලයන් දුවමින් කරන බවට කියමනක් පවතී.රණවකගේ ගෝලයෝ එය සනාථ කරති.ඔහුගෙන් mipc සහතික ලත් ප්‍රසන්න ජයතිලකද මනෝවිද්‍යා පාඨමාලාවක් පවත්වාගෙන යයි.තවත් mipc ගෝලයකු වන ගාමිණී හපුආරචිචි කැලණිය සරසවියේ දර්ශන අංශයේ ප්‍රධානියා ලෙස කටයුතු කරමින් මනෝවිද්‍යා පාඨමාලා පුද්ගලිකවද පවත්වාගෙන යයි.සරසවි සිසුහු විශාල මුදලක් ගෙවා මේ පාඨමාලාවලට යති.ඔහු තම ව්‍යාජ සහතික උසස් වීම් සඳහා යොදාගෙන තිබේද යන්නත් අංශ ප්‍රධානියකු තම සිසුන් පුද්ගලික පාඨමාලාවකට කැඳවීම වෘත්තීය ආචාරධර්මවලට හා නීතියට එකඟද යන්නත් පරීක්ෂා කර බැලිය යුත්තේ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම හා සනාතන සභාවයි.


මනෝවිද්‍යා සඟරාව

මෙය රණවකගේ ආයතනයේ ප්‍රකාශනයකි.එහි ලේඛක ලේඛිකාවන් වන රිද්මා නිලෝචනී,ගාමිණී හපුආරච්චි,ප්‍රසන්න ජයතිලක,ප්‍රභාරංසි ජයවර්ධන යන සියලු දෙනා රණවකගේ උපාධි ගෝලයෝ වෙත්.නිවැරදි මනෝ විද්‍යා අධ්‍යාපනයක් නොලැබීම නිසා විද්‍යර්ථීන් නොමග යවන අවිද්‍යාත්මක කරුණු මෙහි බහුලය.


මිථ්‍යාව වැපිරීම

උදාහරණයක් දක්වමි.2004 ඔක්තෝබර්.දෙසැම්බර් කලාපයට ගාමිණී හපුආරච්චි ලියූ "පුනර් ජන්මය හා මිනිස්ගති එඩ්ගා කේසි ඇසින්" ලිපිය එවැනි මුසාවන්ගෙන් පිරී ඇත.1877_1945 ඇමරිකාවේ ජීවත්වූ එඩ්ගා කේසි දිවැසිවරයකු බවත් පුනර්ජන්මය කෙරෙහි බලපාන මනෝ යාන්ත්‍රනය ඔහු හෙලි කළ බවත් එහි සඳහන්වෙයි.එඩ්ගා කේසි ස්වයං මෝහනයෙන් අනාවැකි කියූ අයෙකි.එම අනාවැකිවලින් සීයට හැටක් පමණ බෙරුවූයේ හරියෑමේ සම්භාවිතාව නිවැරදි කරමිනි.එමෙන්ම මෝහනයෙන් අතීත ජන්මයන් කීම පදනමක් නැති බවට විද්‍යාඥයන් සෑහීමකට පත්වී ඇති ආකාරය විකිපීඩියා මගින් පරීක්ෂා කළ හැකිය.

මේ වනාහී මෝහනය පිළිබඳ මිථ්‍යාවක ප්‍රතිපලයකි.මනෝ විශ්ලේෂණ න්‍යාය හඳුන්වාදුන් සිග්මන් ප්‍රොයිඩ් මෝහනය ප්‍රතිකාරවේදයක් ලෙස භාවිත කර පසුව අහැර දැම්මේ ඇතැමුන් එය වැරදියට භාවිතා කරනු දැකීමෙනි.

එය දීර්ඝ වශයෙන් වෙනම කතා කළ යුත්තකි. පුනර්භවය මෝහනයෙන් ඔප්පු කළ හැකි බවට මෙතෙක් කිසිදු සාක්ෂියක් නැත.මෝහනයේදී සිදුවන්නේ පුද්ගලයා පියවරෙක් පියවර අතීතයට ගෙන යෑමය.මෙය ප්‍රතිගමනය(regression)යි.අමතක වී ඇති ළමා වියේ අත්දැකීම් සියල්ල එයින් සිහිපත් කෙරේ.මේ ප්‍රතිගමනය මව් කුසෙහි සිටි කාලයෙන් එහාට යන බව කීම මුසාවකි.

ඒ බැව් සනාථ කළ ලොව ප්‍රකටම නිදර්ශනය බ්‍රයිඩේ මර්පි සිදුවීමයි. 1956 ඇමරිකාවේ පළවූ the secret for briday marphy පොතෙහි virginia tighe නමැති කාන්තාව මෝහනයට පත් කිරීමේදී පෙර ආත්මයක bridey murphy නමින් අයර්ලන්ත කාන්තාවකව සිටියේ යැයි සඳහන් වුවද පසුව මනෝ වෛද්‍යවරුන් කළ ගවේශනයේදී හෙළිවූයේ  මේවා වර්ජිනියා ටයිගගේ ළමා වියේ අත්දැකීම් බවය.විද්‍යාඥයන් පිරිසක් ලියූ  "a scientific report on the search ලිපි එකතුවද ඒ බව තහවුරු කරයි. විකිපීඩියා මගින් මෙය පරීක්ෂා කර බැලිය හැකිය.මේ අනුව දශක කිහිපයකට පෙර අසත්‍ය ලෙස ඔප්පුවූ කරුණු හා ව්‍යාජ ප්‍රතිරූප මනෝ විද්‍යාවේ නාමයෙන් විද්‍යාර්ථීන්ගේ ඔලුවලට බැස්වීමෙන් රණවක හා ඔහුගේ ගෝලයන් කරන්නේ ජාතික අපරාධයකි.


රණවකට අභියෝගයක්

මීට කලකට පෙර රණවකගේ ව්‍යාජ උපාධි සහ ඔහුගේ පාඨමාලා පිළිබඳ අනාවරණය කළ විට ඔහු පුවත්පත් මණ්ඩලයට පැමිණිලි කළේය.පුවත්පත් මණ්ඩලය තීන්දුවක් දෙමින් කියා සිටියේ තම සුදුසුකම් ඔප්පු කරන ලෙසය.ඔහු ඊට අසමත් විය.එහෙත් පාඨමාලා නැවතුණේ නැත.එමෙන්ම ඔහු මනෝ වෛද්‍යවරයකු හැටියට තම ආයතනයට පැමිණෙන මානසික ආබාධවලින් පෙළෙන තරුණියන්ට ප්‍රතිකාරද කරයි.ඔහුගේ ආයතනයෙහි නේවාසිකව ප්‍රතිකාර ලබන ධනවත් තරුණියන්ට සිදුවන ඇබැද්දි වෙනම සොයා බැලිය යුතුය.වෛද්‍ය සභාව මේ පිළිබඳව ගන්නා පියවර කුමක්ද?වංචා විමර්ශන අංශ රණවකගේ මුදල් වංචාව පිළිබඳ විමර්ශනය කරන්නේද?

තමාට නියමිත අධ්‍යාපන සුදුසුකම් ඇති බවත් පාඨමාලා නිත්‍යනුකුල බවත් ඔපු කළ හොත් මේ චෝදනා ඉල්ලා අස්කර ගැනීමට අප සූදානම් බවද අවසන් වශයෙන් සඳහන් කරමි. .
"උපදේශනය යනු සත්‍ය මත පදනම්වූ ප්‍රතිකාර ක්‍රමයකි.ඒ සඳහා ව්‍යාජ සුදුස්කම් පෙන්වීම බරලතල වරදකි .එවැනි පුද්ගලයන්ට මනෝ උපදේශකයන් ලෙස පෙනී සිටීමේ අයිතියක් නැත" (උපදේශන මනෝ චිකිත්සක වෛද්‍ය රුවන් එම්.ජයතුංග )

3 comments:

  1. කව්ද දැන් පොර?

    ReplyDelete
  2. ගොඩක් රජයේ නිලධාරින් මේ රණවකගේ ගෝලයෝ .ඔවුන් ළඟ විද්වත් වෘත්තික හැඳුනුම් පතක් පවා තියනව මම දැක තිබෙනවා .ඔවුන් අපටත් නිර්දේශ කරන්නේ රණවකගේ එක තමයි හොඳම එක කියල .මේ වගේ තවත් මනෝ උපදේශන ඩිප්ලෝමා කඩ තියෙනවා ඩොක්ටර් ..
    ඒවත් හෙළිදරව් කරන්න..

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook