Thursday, October 26, 2017

විශේෂඥ ශල්‍ය වෛද්‍ය එස් එස් ජයරත්න මහතා



විශේෂඥ ශල්‍ය වෛද්‍ය එස් එස් ජයරත්න මහතා සමග වැඩ කිරීමට ලැබීම භාග්‍යකි. එතුමා සමග මට වැඩ කිරීමට හැකි වූයේ කොලඹ යුද හමුදා රෝහලේදීය​.  

විශේෂඥ ශල්‍ය වෛද්‍ය එස් එස් ජයරත්න මහතා මනෝ චිකිත්සනය සඳහා මවෙත බොහෝ රෝගීන් යොමු කොට තිබේ. මෙම රෝගීන් අතර අවිඥාණික මානසික ගැටුමක් නිසා උදර වේදනාවෙන් පෙළුණු රෝගියෙකු පිලිබඳව මුලින්ම සඳහන් කල යුතුය​. මෙම රෝගියාට දිගින් දිගටම වේදනා නාශක වලටද අඩු නොවන උදර වේදනාවක් තිබුනේය​. ඔහු සබැඳිව කරන ලද සියළු පරීක්‍ෂණ සාමාන්‍ය වූ අතර එන්ඩොස්කොපි සහ උදරයේ ස්කෑන් පරික්‍ෂාවද කිසිදු වෙනසක් පෙන්වූයේ නැත​. මේ නිසා මනෝ විද්‍යාත්මක තක්සේරුවක් කිරීම සඳහා මෙම රෝගියාව විශේෂඥ ශල්‍ය වෛද්‍ය එස් එස් ජයරත්න මහතා විසින් මාවෙත එවන ලදි. එම මනෝ විද්‍යාත්මක තක්සේරුවේදී යුද ආතතිය සමග බැඳුණු අවිඥාණික මානසික ගැටුම් හඳුනා ගන්නා ලද අතර ඒ සඳහා මනෝ චිකිත්සන ප්‍රතිකාර ලබා දෙන ලදින් ඔහුගේ උදර වේදනාව සුවපත් විය​. 

අවිඥාණික මානසික ගැටුම් නිසා මනෝ කායික රෝග ලක්‍ෂණ විශේෂයෙන් වේදනාව මූලික කර ගත් ලක්‍ෂණ පෙන්වන රෝගීන් සිටිති. බොහෝ විට   මනෝ කායික  උදර වේදනා තිබෙන රෝගීන් කෙලින්ම යන්නේ ශල්‍ය මේසය මතටය​. මෙම රෝගියාගේ රෝග ලක්‍ෂණ කායික හේතූන් නිසා හට නොගත් බවට උපකල්පනය කිරීමට අවලෝකනයක් විශේෂඥ ශල්‍ය වෛද්‍ය එස් එස් ජයරත්න මහතා තුල තිබුනේය. මින් පෙනී යන්නේ එතුමා තුල පවත්නා සායනික දැණුමයි. 

වෛද්‍ය එස් එස් ජයරත්න මහතා විසින් මවෙත යොමු කල තවත් රෝගියෙකු නම් දබර ඇඟිල්ල පක්‍ෂාඝාතයට ලක්වූ සොල්දාදුවාය​. මෙම සොල්දාදුවාගේ දකුණු අතේ දබර ඇඟිල්ල හිටි හැටියේම පක්‍ෂාඝාතයට ලක් විය​. මෙවැනි තත්වයන් සායනික මනෝ විද්‍යාවේ හඳුන්වන්නේ trigger finger palsy කියාය.  බොහෝ විට යුද ආතතිය නිසා මතු වන අවිඥාණික මානසික ගැටුම් නිසා මෙම තත්වය ඇති විය හැකිය​. මෙම පක්‍ෂාඝාතයේ සංකේතාත්මක අර්ථය නම් යුද භූමියෙන් ඉවත් වීමට තිබෙන අචේතනික උවමනාවයි. දකුණු අතේ දබර ඇඟිල්ල පණ නැති වීමෙන් සොල්දාදුවාට තුවක්කුවේ කොකා ගැස්සිය නොහැක​. මේ නිසා ඔහුට තව දුරටත් සංග්‍රාමයට සහභාගී විය නොහැක​.  මෙවැනි trigger finger palsy පිළිබඳ සිද්ධි අධ්‍යනයන් සිග්මන්ඩ් ෆ්‍රරොයිඩ් ඉතා විචක්‍ෂණ ලෙස ලියා තිබේ. මෙවැනි රෝගීන් මෝහන ප්‍රතිකාරය සඳහා හොඳ ප්‍රතිචාර දක්වති. 

2005 වසරේදී වෛද්‍ය එස් එස් ජයරත්න මහතා විසින් උපදේශනය සහ මනෝ ප්‍රතිකාර සඳහා විශ්‍රාම ලත් ජ්‍යෙෂ්ඨ සොල්දාදුවෙකු මා වෙත යොමු කරන ලදි. 1988/89 කාලයේ බොහෝ සැහැසි ක්‍රියාවන් වල යෙදුනු මෙම ජ්‍යෙෂ්ඨ සොල්දාදුවා දක්‍ෂ මෙන්ම ක්‍රෑර පුද්ගලයෙකු විය​. ඔහු බොහෝ යුද මෙහෙයුම් වලට සහභාගි වී තිබුනේය​.  අධික දුම් පානය නිසා ඔහුගේ දෙපා වල රුධිර නාල අවහිර වී පා ඇඟිලි කෙමෙන් කෙමෙන් මිය යන්නට පටන් ගෙන තිබූ අතර වෙනත් විකල්පයක් නොවූ හෙයින් දණ හිසට පහලින් ඔහුගේ දෙපා කපා දැමීම තිබූ එකම ප්‍රතිකාරය විය​.  එම ප්‍රතිකාරය නොකලේ නම් ඔහුගේ ජීවිතය පවා නැති වීමේ ඉඩකඩ තිබුණි. 

ඔහුගේ දෙපා කළුවී තිබුනේය​. ඇඟිලි තුඩු මියැදී රුධිර නාලිකා ගසක මුල් මෙන් දිස් විය​. නමුත් ඔහු අංගච්ඡෙදන  ශල්‍යකර්මයට අනුමැතිය දුන්නේ නැත​. තවද මෙම රෝගියා තමා අසලට එන හෙදියන්ට සහ අනෙකුත් වෛද්‍යවරුන්ට කෙළ ගසන්නට විය​. ඔහු කෙළ නොගැසුවේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය එස් එස් ජයරත්න මහතාට සහ මට පමණි. 

මෙම රෝගියාගේ බිරිඳ සහ දරුවන් මගින් ඔහුට ශල්‍යකර්මයේ අවශ්‍යතාව තේරුම් කර දීමට මම උත්සහයක් ගත්තෙමි. ඔහුගේ බිරිඳට සහ දරුවන්ට පණිවිඩයක් යැවූ අතර ඔවුන් වාට්ටුවට පැමිණ මා හමු වූහ​. ඔවුන් පැවසූ පරිදි මොහු නිවසේද අක්‍රොශකාරී චර්‍යාවක් ගෙන ගිය අයෙකි. මේ නිසා ශල්‍යකර්මයෙන් පසු ඔහුව භාර ගැනීමට බිරිඳ  සහ දරුවන් අකමැති වූහ​. අප බොහෝ සෙයින් කරුණු පෙන්වා දුන්නද ඔවුන් තම තීරණය වෙනස් කලේ නැත​. 

මෙම සොල්දාදුවා බොහෝ කාලයක් පුර තම බිරිඳට සහ ළමයින්ට කායික සහ වාචික වශයෙන් හිරිහැර කර තිබුනේය​. ඔහු රෝහලේදී පවා තම බිරිඳට කුණු හරපයෙන් බනිනු අපට ඇසුනි. කෙසේ නමුත් දැන් ඔහු අන්ත අසරණ අඩියට වැටී තිබේ. සිය පවුලෙන් ඔහුට සහයක් ලැබෙන්නේ නැත​. මේ නිසා මම ජෙනරාල් තිස්ස පරණගම මහතාගේ ආධාරයෙන් උස්වැටකෙයියාව ප්‍රදේශයේ මහළු නිවාසයක් ඔහු සඳහා සූදානම් කලෙමි. 

තමා දිනෙන් දින කායික මානසික වශයෙන් පිරිහෙන බවත් බිරිඳ සහ ළමුන් පෙරදා මෙන් තමන්ට බිය නොවන බවත් ඔහු වටහා ගත්තේය​. දැන් ඔහු අසරණ මහළු මිනිසෙකි. තමන් ගේ තථ්‍ය තත්වය අවබෝධ කර ගැනීම නිසා ඔහු හිටි හැටියේ මා ඉදිරියේ මහ හඞින් හැඞුවේය​. ළමා කාලයේ  හැඞුවාට පසු  හැඞුව ප්‍රථම අවස්ථාව එය වන්නට ඇත​. ඔහු බොහෝ වේලාවක් හඞමින් තමා විසින් අතීතයේ පවුලට සහ අන්‍යන්ට කරන ලද පාපකාරී ක්‍රියා ගැන කීවේය​. මම විනිශ්චය විරහිතව ඔහුට සවන් දුන්නෙමි. අවසානයේදී ඔහු ශල්‍යකර්මයට අනුමැතිය දුන්නේය​. පසු දිනම  ශල්‍ය වෛද්‍ය එස් එස් ජයරත්න මහතා අංගච්ඡෙදන  ශල්‍යකර්මය කරන ලදි. ඉන් පසුව ඔහු තවත් සුමාන කීපයක් අපගේ වාට්ටුවේ සිටි අතර පසුව පෙර කී වැඩිහිටි නිවාසයට මාරු කර යවන ලදි. 

දියවැඩියාව නිසා දණ හිසට උඩින් දෙපා කපා දමන ලද තවත් වියපත් සොල්දාදුවෙකු ශල්‍යකර්මයෙන් පසුව ආහාර ගැනීම අඩු කලේය​. එසේම ඔහුගේ දෙපයේ ශල්‍ය තුවාලද ආසාදනය වන්නට ගත්තේය​. මොහු තුල විශාදය වර්ධනය වන බවට සැක කල විශේෂඥ ශල්‍ය වෛද්‍ය එස් එස් ජයරත්න මහතා උක්ත සොල්දාදුවා මාවෙත යොමු කලේය​. පසුව හෙලි වූ පරිදි මොහු දෙපයේ ශල්‍ය තුවාල ආසාදනය වීම සඳහා රාත්‍රියට එම තුවාල මත අසූචි තවරන බව හෙලි විය​. කෙසේ නමුත් උපදේශනය සහ ප්‍රති විශාද ඖෂධ මගින් ඔහුගේ එකී අසාමාන්‍ය චර්‍යාව නිම විය​. පසුව පූර්ණ සුවය ලබා ඔහු රෝහලෙන් පිට විය​. 

තවත් වරක් එතුමා මවෙත සෙබලකු යොමු කලේය​. මේ සෙබලා උතුරේ සේවය කරමින් සිටියදී  ඇතැම් ජේෂ්ඨ සොල්දාදුවන් විසින් කරන හිරිහැර නිසා බඩවතට වෙඩි තබා ගත්තේය​. පසුව ඔහුව කොලඹට හදිසි ශල්‍යකර්මයක් සඳහා ගෙන එන ලදි. වෛද්‍ය එස් එස් ජයරත්න මහතා ශල්‍යකර්මයක් සිදු කොට මෙම සෙබලාගේ ජීවිතය බේරගත් අතර උපදේශනය සහ රාජකාරී ගැටළු නිරාකරණය සඳහා අපගේ සායනය වෙත එවන ලදි 

මම පුත්තලම දිස්ත්‍රික් මානසික සෞඛ්‍ය සම්බන්ධීකරණ වෛද්‍ය නිලධාරී ලෙස සේවය කල කාලයේ දිස්ත්‍රික්කයේ වෛද්‍යවරු සහ හෙදියන් ඇමතීම සඳහා වරක් විශේෂඥ ශල්‍ය වෛද්‍ය එස් එස් ජයරත්න මහතාට  ආරාධනය කලෙමි. මගේ ආරාධනය පිලිගත් වෛද්‍ය එස් එස් ජයරත්න මහතා මාදම්පේ පුත්තලම් දිස්ත්‍රික් නියෝජ්‍ය පළාත් සෞඛ්‍ය සේවා කාර්‍යාලයේ ශ්‍රවණාගාරයේදී වෛද්‍යවරු සහ හෙදියන්ට  රෝගී සත්කාරය ගැන දේශනයක් කලේය​. 

විශේෂඥ ශල්‍ය වෛද්‍ය එස් එස් ජයරත්න මහතා මානුෂික ගුණයන් ගෙන් පරිපූර්ණ වූ වෛද්‍යවරයෙකි. ඔහුගේ දැණුම කුසළතාවට අමතරව කාරුණික ගුණය නිසාද රෝගීන් සුවය ලබති. මෙය මම වෛද්‍ය එස් එස් ජයරත්න මහතා ඇසුරෙන් ප්‍රත්‍යක්‍ෂ කලෙමි. 

වෛද්‍ය එස් එස් ජයරත්න මහතා බුදු දහම ගැඹුරින් හදාරන්නෙකි. එතුමාට බුදු දහම පිළිබඳව කැළනිය විශ්ව විද්‍යාලයෙන් ගෞරව උපාධියක්ද තිබේ. එතුමා සමග සේවය කල කාලයේදී මම ඇතැම් විට බටහිර මනෝ විද්‍යාව සහ බුදු දහම පිලිබඳ කරුණු තර්ක කිරීමට පුරුදුව සිටියෙමි. එතුමාගෙන් බොහෝ දැණුම මම උකහා ගත්තෙමි. තවද මා විසින් ලියන ලද "ජාතක කථා මනෝ විද්‍යාත්මක ඇසින් " කෘතිය සඳහා පෙරවදන සපයන ලද්දේ එතුමා විසිනි. 


වෛද්‍ය රුවන් එම් ජයතුංග 

10 comments:

  1. Can’t the SLMC or any authority refer MBBS qualified medical officers 👮 to a periodical check up?
    Whether they are mentally fit to diagnose patients,?duffering from any mental disorder etc etc.

    ReplyDelete
  2. Yes. He is a one of the best surgeon / doctor / teacher / human-been, I have ever met. He was my teacher, when I was at Army hospital(2007-2008). In 2012 he retied from Army hospital and currently working in a private sector. (The central/ Asiri Surgical)
    N.B: April 18th is his birthday.

    ReplyDelete
  3. මානුෂික ගුනයෙන් යුත් මිනිසෙක් බිහිවීමම හරි අපූරු දෙයක්.මිනිස් සමාජයටත්,ගහකොළ,සතා සිවුපාවටත්,සමස්ථ සොබා දහමටත් සතුටක්!සම්පත් බෙදීයාමේ අවුලක් සහ කටුක දේශගුණික තත්වයක් ඇති රටක එය දුෂ්කරයි.රෝගීනට මනෝ ප්‍රතිකාර ලැබීම ඉතා වැදගත් බවයි මගේ මතය.ලංකාවේ රෝහලකට ගියාම පිස්සු හැදිලා එලියට එන්නේ.රජයේ රෝහල්වල ලැබෙන අකාරුණික බව,පහත් කිරීම්.පුද්ගලික රෝහල්වල අන්තිමට දෙන බිල දකිද්දී කොහොමද?.ලංකාවේ අපි දරාගන්න අත්දැකීම් සමග හිතෙන්නේ සමාජයම ලෙඩවෙලා කියලා.මෙවන් වටපිටාවක මිනිස්සු පිස්සෝ ලෙස කටයුතු කරන්නේ.කේන්තිය,පලිගන්නා බව ඉහලයි.මේ අසහනය තුලම සාමාන්‍ය ලෙස ඉන්න බලනවා.මේ පරිසරයේ එස්.එස්.ජයරත්න මහතා,මා මිත්‍ර රුවන් වැනි අය බිහිවීම අර අපිට උදේ රෑ බණ කියන හිස් උන්දැලාට වඩා කොපමන වටිනවාද ?තැන්පත්,නිර්මාණශීලී මිනිස්සු රටක ඉදිරි ගමන තීරණය කරනු ඇති.

    ReplyDelete
  4. මනෝ චිකිත්සාව හිතන තරම් පහසු කාර්යක් නොවන බව දනිමි.මගේ විශ්ව විද්‍යාල සගයකුගේ නිවසේ තිදෙනෙක් උමතු රෝගයෙන් පෙලුණි. අවසානයේ ඔහුට සිය උපාධියද පසෙක තබා ගෙදර ඇත්තන්ට උවැටන් කිරීමට සිදුවිය. යුධ මානසිකත්වය හා අතතතියද මම හොඳින් දනිමි. මගේ පියා රාජකාරියේදී යෙදී සිටියදී නිවාඩු ලාබා නිවෙසට පැමිණ වැඩි වෙලා නිදාගන්නා අතර නින්දේදී හදිසියෙවත් විශාල ශබ්දයක් ඇසුනොත් නැගිටින්නේ යුධ පිටියේ සිටිනවා යන හැඟීමෙනි. ඔවුන්ගේ යටි සිත වැඩකරන්නේ එලෙසය.
    විචාරක දියණිය

    ReplyDelete
    Replies
    1. ලන්කාවේ මනෝ චිකිත්සනත තවමත් පවතින්නේ ලදරු මට්ටමේ. ලන්කාවේ මනෝ වෛද්‍යවරු ඉතා සුලු ප්‍රමානයයි මනෝ චිකිත්සනය ගැන ලෝකයේ පිලිගත් ආයතන වලින් පුහුනුව ලබලා තියෙන්නේ

      Delete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook