Wednesday, October 11, 2017

ඇඟ ආරස්සා කිරීම




හලාවත ගුණතුංග හෙවත් ගුනේ අයියා  අපගේ හිතවතෙකි. රෝහල් සේවයෙන් පසුව අප ගුනේ අයියා හමුවී ඔහු සමග කතා බස් කිරීමට පුරුදුව සිටියෙමු. ගුනේ අයියාට මිතුරන් බොහොමයකි. උස් පහත්  භේධයකින් තොරව මිනිසුන් ඇසුරු කිරීම ගුනේ අයියා ගේ සිරිතකි. ඔහුට ලොකු කුඩා යහළුවන් රැසකි. ගුනේ අයියාට වැල්ලේ මිතුරන් ද බොහෝ දෙනෙකි​. මොවුන් ගෙන් බොහෝ දෙනෙකු ධීවරයන් වූහ​. වරක් ගුනේ අයියා ගේ හැඳුනුම් කම උඩ එක් ධීවර කාර්මිකයෙකු මාව ඔහුගේ බෝට්ටුවේ දමාගෙන මාළු ඇල්ලීමට දැල් දානවා පෙන්නන්නට ගෙන ගියේය​. 

සමහර ධීවරයන් ගෝරිකාරයන් වෙති. ගෝරියක් ගියහොත් එන්නේ කඩු උස්සාගෙනය​. එහෙත් මේ චණ්ඩීන් ගුනේ අයියාට හිතවත් ය​. වරක් ගුනේ අයියා වැල්ල වීදිය දිගේ යන විට එක් ධීවරයෙක් කඩුවක් අතින් ගෙන ලයිට් කණුවකට මුවාවී සිටිනවා දක්නට ලැබුනේය​. ගුනේ අයියා දුටු ධීවරයා " ආ ගුනේ මහත්තයා " කියා කඩුව සරම තුල රුවා ගත්තේය​. ඔහුගේ අසාමාන්‍ය ඉරියව් තේරුම් ගත් ගුනේ අයියා " මොකක්ද ප්‍රශ්නයක්ද ? කියා  ඇසුවේය​. එවිට ආවේගයට පත් ධීවරයා ඔහුගේ අවනඩුව ගුනේ අයියාට කීවේය​. 

ධීවරයන් සඳහා රක්‍ෂණ ක්‍රමයක් හඳුන්වා දීමට රක්‍ෂණ නියෝජිතයෙකු පැමින මුහුදු රක්‍ෂණය පිලිබඳ ධීවරයන්ට තොරතුරු පවසා තිබේ. මේ රක්‍ෂණ ක්‍රමයට කැමැත්ත පළ   ධීවරයන්  මුදල් ගෙවා රක්‍ෂණ මිලදී ගන්නා ලදි. මෙම පුද්ගලයාද රක්‍ෂණයක් මිලදී ගත්තේය​. ඉන් මසකට පමණ පසුව බෝට්ටුව දියඹට තල්ලු කිරීමේදී ඔහුගේ ඇඟිල්ලක් තුවාල විය​. මේ නිසා ඒ සඳහා වන්දියක් ඉල්ලා ගැනීමට ඔහු රක්‍ෂණ කාර්‍යාලයට යන ලදි. එහෙත් රක්‍ෂණ නියෝජිතයා එවැනි තුවාල වලට මුදල් නොදෙන බවත් වන්දි ගෙවන්නේ මුහුද මැදදී සිදුවන ජීවිත අණතුරකදී බව කියන ලදි. එහෙත් මෙම පුද්ගයා දිගින් දිගටම තම තුවාල වූ ඇඟිල්ලට වන්දියක් රක්‍ෂණ නියෝජිතයා ගෙන් ඉල්ලා කරදර කරන්නට විය​. එහෙත් රක්‍ෂණ නියෝජිතයා එය ප්‍රතික්ශේප කරන ලදි. 

" බලන්ඩ ගුනේ මහත්තයා මූ මගේ ඇඟ ආරස්සා කරලා දෙනවා කියලා සල්ලි ඉල්ල ගත්තේ , දැන් මූ මට සල්ලි දෙන්නේ නෑ. මම ඉන්නේ ඕකා එනකං . අද කොටනවා ඕක​ට පතුරු යන්න , අම්මපා කොටනවා "  කියා ධීවරයා කියන්නට විය​. 

ගුනේ අයියාට කරුණ වැටහුනේය​. මෙතන සිදු වී ඇත්තේ මිස් කමියුනිකේශන් එකකි. ජීවිත රක්‍ෂණය ධීවරයා වටහාගෙන ඇත්තේ ඇඟ ආරස්සා කිරීමක් ලෙසටය​. ජීවිත හානියකදී මිසක සුළු සුළු තුවාල සිදුවීමේදී වන්දි නොදෙන බව ගුනෙ අයියා ඔහුට පැහැදිලි කරන ලදි. 

" ඒක මිසක් ගුනේ මහත්තයා මූ ඒක අපිට හරියට කියන්ඩ එපැයි. තව පොඩ්ඩෙං මම ඕකට කොටනවා " කියා කියූ ධීවරයා කඩුව කරේ තබාගෙන ගෙදර ගියේය​.  

6 comments:

  1. ඇඟ අරස්සනේ වඩා වැදගත් රක්ෂණ නියෝජිතය ටයි.

    ReplyDelete
  2. ඒ මනුස්සයා හිතහොඳ පුද්ගලයෙක්.අවුල නැතිඋනාම පපුව පිරිසිඳුයි.හදවත අහින්සකයි!මෙවැනි චරිත මෙහේ ඕනෑතරම්,දේශපාලුවෝ තමයි විශබීජදාල විනාස කරන්නේ.

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook