Saturday, October 28, 2017

මනෝ ප්‍රතිකාරයන් හිදී සංස්කෘතික සාධක වල බලපෑම

 

මනෝ ප්‍රතිකාරයන් හිදී සංස්කෘතික සාධකයන් අතිශයින්ම වැදගත් වෙයි. සංස්කෘතික සාධක ප්‍රතිකාරාත්මකව යොදා ගැනීම සඳහා මට විශාල අවලෝකනයක් සපයන ලද්දේ යෝක් විශ්වවිද්‍යාලයේ මහාචාර්‍ය රිචඩ් ලේලොන්ඩ් විසිනි. ලංකාවේ සේවය කරන ලද සමයේදී සංස්කෘතික සාධකයන් පිලිබඳ එතරම් අවධානයක් යොමු නොවූයේ ලාංකික රෝගීන් බොහෝ විට පොදු සංස්කෘතියකට අනුගතව සිටි නිසාය​. එහෙත් සමහරක් රෝගීන් විශේෂිත සංස්කෘතික ලක්‍ෂණ පෙන්වූ බව සිහිපත් වේ. 

මනෝ ප්‍රතිකාරයේදී රෝගියාගේ විශ්වාස පද්ධතියද වැදගත් අංගයකි.  සමහරක් විට ආගමික විශ්වාසයන් ද මනෝ ප්‍රතිකාර වලදී භාවිතා කල හැකිය​. ශ්‍රී ලංකාවේ සේවය කල කාලයේදී ක්‍රිස්තු භක්තික ක්‍රායකයන් සඳහා අධ්‍යාත්මික උපදේශනය ලබා දීමට මම ඔවුන්ව ෆ්‍රැක්සිඩ් ඇන්තනි පියතුමා වෙත යොමු කලෙමි. බෞද්ධ ක්‍රායකයන් සඳහා ඇතැම් විට හාරිස්පත්තුවේ ආරියවංශාලංකාර හිමියන් අධ්‍යාත්මික උපදේශනයෙන් සහාය වූ බව පෙන්වා දෙමි. 

උතුරු ඇමරිකාවේ මනෝ ප්‍රතිකාර සඳහා මල්ටි කල්චරල් කොම්පිටන්සි හෙවත් බහු සංස්කෘතික සාමර්ථ්‍යය වගා කර ගත යුතුය​. මනෝ ප්‍රතිකාර සඳහා යොමු කරන ක්‍රායකයෝ විවිධ රට වල විවිධ ජන වර්ග වලට අයත් වන අතර ඔවුන් විවිධ සංස්කෘතික තළ වලට අයත් වෙති. 

වෛද්‍ය පෙරුස්කෝ විසින් මනෝ ප්‍රතිකාර සඳහා මා වෙත යොමු කල රොබ් (නියම නම නොවේ) යුදෙව් සම්භවයකින් යුක්තය​. ඔහු තුල ඖෂධ ප්‍රතිරෝධී විශාදයේ ලක්‍ෂණ තිබේ. බොහෝ කාලයක් පුරා ඔහුට ප්‍රති විශාද ඖෂධ ලබා දී තිබුනද ඔහුගේ විශාද ලක්‍ෂණ පහවී නැත​. තවද රොබ් ගේ විශාදය වෙනත් කායික හේතුවක් නිසා නොව මනෝ විද්‍යාත්මක හේතූන් නිසා ඇතිවී තිබෙන බව තහවුරු කරගෙන තිබේ. රොබ් සඳහා මනෝ ප්‍රතිකාරයේදී ඔහුගේ සංස්කෘතික සාධක කෙරෙහි අවධානය යොමු කරන්නට සිදු විය​. ඔහු යුදෙව් ආගම අදහන්නෙකි. එසේම තමන් කල අතීත වැරදි නිසා දෙවියන් විසින් ඔහුට දඞුවම් කරන බව තරයේ අදහන්නෙකි. ඖෂධ මගින් රොබ් ගේ මස්තිෂ්කයේ රසායණිකයන් යලි ප්‍රකෘතියට පත් කලද ඔහුගේ විශාදයේ අඩුවක් නොමැත්තේ ඔහුගේ බාහිර විශ්වාස පද්ධතිය මෙන්ම මනෝ විද්‍යාත්මක  දෘෂ්ටිය විශාදජනක සිතිවිලි තදින් වෙලාගෙන සිටින බැවිනි. ඔහු ලෝකය දකින්නේ විශාදය නම් පාට කණ්ණාඩිය මගිනි. මේ නිසා  ඔහුගේ බාහිර දෘෂ්ටි කෝණය හා බැඳි මිථ්‍යාවන් මිත්‍රශීලී වාතාවරණයකදී අභියෝගයකට ලක් කිරීමට සිදු විය​. මේ සඳහා මට යුදෙව්  ආගම යුදෙව් සංස්කෘතික අංගයන් අධ්‍යනය කරන්නට සිදු විය​. මෙලෙස සංස්කෘතික සංවේදිතාව මෙන්ම සංස්කෘතික නිපුණත්වය මගින් රොබ් තුල තිබූ දුස්සාධ්‍ය විශාදය (Chronic Depression)  අවම කරන්නට මා සමත් වූයෙමි. 

රුසියානු සම්භවයකින් යුත් ස්වේතා තුල මනෝ කායික වේදනාවන් තිබුණාය​. ඇයගේ දකුණු අතේ පැවති දීර්ගකාලීන වේදනාව මනෝ කායික මූලයකින් පැන නගින බව තහවුරු විය​. ස්වේතා සඳහා මනෝ ප්‍රතිකාරයේදී මම රුසියන් බස කතා කිරීම ප්‍රතිකාරාත්මක සබඳතාව සඳහා ධනාත්මක ලෙස ඉවහල් වූයේය​. මම ඇයගේ සංස්කෘතිය සඳහා අමුත්තෙකු නොවන බව ඇය තේරුම් ගත්තාය​. වේදානුපස්සනා භාවනා ක්‍රම මගින් ස්වේතා තම ශාරීරික වේදනාව අඩු කර ගැනීමට සමත් වූවාය​. මෙම වේදානුපස්සනා භාවනා ක්‍රමය වඩාත් විද්‍යාත්මක ලෙස යොදා ගැනීමේ අවලෝකනය මම ලැබුවේ ටොරොන්ටෝ විශ්ව විද්‍යාලයේ මහාචාර්‍ය රොබට් මැක්ෆාඩ්න් මගිනි.  

පැරණි යූගෝස්ලෝවියාවෙන් පැමිණි ඩේවිඩ් (නියම නම නොවේ) මා වෙත යොමු කරන ලද්දේ වෛද්‍ය ඊලාන් නහීම් විසිනි. ඩේවිඩ් හෙරොයින් භාවිතා කරන්නෙකි. ඔහු තුල ළමා කාලයේ අත් දුටු නොවිසඳුනු මානසික ගැටුම් රැසක් පවතියි. මේ අවිඥාණික මානසික ගැටුම් නිසා ඔහු තුල විශාදය මෙන්ම කාංසා අක්‍රමතාව ඇති විය​. හෙරොයින් සඳහා ආදේශන ප්‍රතිකාරයක් වන සොබොක්සෝන් ඖෂධය ඔහුට ලබා දුන්නද ඔහු හෙරොයින් එන්නත් කර ගනියි. මා  ඩේවිඩ් සඳහා ප්‍රතිකාර ඇරඹීමට පෙර ඔහුගේ සංස්කෘතික මූලයන් අධ්‍යනය කලෙමි. එමගින් පොදු සංවාදයක් ඔහු සමග ගොඩ නගා ගැනීමට මම සමත් වූයෙමි. ඩේවිඩ්ට ප්‍රතිකාරයේදී මම භාවිතා කලේ EMDR මනෝ ප්‍රතිකාරයයි. මීට අමතරව ආනාපානාසති භාවනාව කිරීමටද ඔහුට පුහුණුව ලබා දුනිමි.  ප්‍රතිකාර වට 8 -10 ඇතුලත ඔහු ප්‍රතිකාරාත්මක සඑලත්වයක් (therapeutic success) පෙන්වීය​. මේ වන විට පුරා මාස පහක් ඔහු හෙරොයින් භාවිතා කර නැත​. මුලදී මනෝ ප්‍රතිකාර කෙරෙහි මිශ්‍ර විශ්වාසයක් තැබූ වෛද්‍ය ඊලාන් නහීම්ද ඩේවිඩ් විස්න් අත් පත් කර ගත් සායනික ප්‍රගතිය දැක විශ්මය පළ කලේය​. 

අතීතයේ මොන්ට්‍රියෝල් නගරය ආශ්‍රිතව තිබෙන හෙල්ස් ඒන්ජල්ස් නම් මෝටර් බයිසිකල් රංචුවේ සාමාජිකයෙකු වූ මයිකල් (නියම නම නොවේ) පසුව හෙල්ස් ඒන්ජල්ස් සංවිධානය හැර යන ලදි. මැර සහ අපරාධ සංවිධානයක් වූ හෙල්ස් ඒන්ජල්ස් ඔවුන් ගේ සාමාජිකයන්ට ඉවත් වීමට ඉඩ නොදෙති. ඒ නිසා දඞුවමක් ලෙස ඔහුගේ නාසයට ඔවුන් විඛාදක කෘමි නාශකයක් පොම්ප කළහ​. ආශ්චර්‍යකට මෙන්  මයිකල් මරණයෙන් ගැලවුනද ඔහුගේ නාසයේ ශ්ලේශ්මල නැවත ප්‍රකෘතිමත් කල නොහැකි ලෙස පිලිස්සී තිබේ. මයිකල් තුල පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාවයේ ලක්‍ෂණ දක්නට ඇත​. . 

ඔහු සඳහා මනෝ ප්‍රතිකාරයේදී මුලින්ම මම හෙල්ස් ඒන්ජල්ස් උප සංස්කෘතිය පිලිබඳ අධ්‍යනය කලෙමි. මම සුදු ජාතිකයෙකු නොවීම නිසා මයිකල් මා කෙරෙහි පූර්ණ විශ්වාසය තැබුවේය​. ස්ථිර නිවාසයක ජීවත් නොවෙන මයිකල් ආරක්‍ෂාව සඳහා සංචාරය කරමින් ජීවත් වෙයි. මනෝ ප්‍රතිකාර මගින් ඔහුගේ පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාවයේ ලක්‍ෂණ අවම වී ගිය අතර වර්ථමානයේ ඔහු මත්ද්‍රව්‍යද භාවිතා නොකරයි. 

කැනේඩියානු ආදිවාසියෙකු වන ඒරන් (නියම නම නොවේ) මා වෙත යොමු කරන ලද්දේ වෛද්‍ය මිශෙල් ක්ලේමන් විසිනි. ඒරන් තුල ද්වී ද්‍රැව විශාදය මෙන්ම සුරා ධූර්තභාවය තිබේ. 

ආදිවාසීන් සඳහා මනෝ ප්‍රතිකාරය ඉතා අසීරුය​. මුලින්ම ආදිවාසීන් ගේ සංස්කෘතික සාධක ගැඹුරින් අධ්‍යනය කල යුතුය​. ආදිවාසීන් ගේ සංස්කෘතිය පිලිබඳ ඇදුරුවරියක වන ආචාර්‍ය මායන් යටතේ මම පුහුණුව ලැබුවෙමි. ආචාර්‍ය මායන් ද කැනේඩියානු ආදිවාසි කාන්තාවකි. ඇයගෙන් ලැබුණු මාර්ගෝපදෙශනය මගින් මම ඒරන් සඳහා සාර්ථකව ප්‍රතිකාර කලෙමි. 

ඉතලියානු සම්භවයකින් යුත් කැතී (නියම නම නොවේ) තුල විශාදය , සුරා ධූර්තභාවය තදින් තිබේ. ඉතලියානු ජාතිකයන් පවුල් දිශානත පුද්ගලයෝ වෙති. ඔවුන් ගේ පවුල් සබඳතා ඉතා ශක්තිමත් ය​. මේ නිසා මනෝ ප්‍රතිකාරයේදී පවුලේ සාමාජිකයන්  ගේද සහයෝගය ලබා ගැනීමෙන් ඇයගේ ප්‍රතිකාරාත්මක සඑලතාව වේගවත් කලෙමි. 
 

මනෝ ප්‍රතිකාරයන් හිදී සංස්කෘතික සාධක වල බලපෑම අතිශයින් වැදගත් වෙයි . මානසික අක්‍රමතා තත්වය මෙන්ම රෝගියාගේ සමාජ ආර්ථික - සංස්කෘතික සාධක අධ්‍යනය කිරීම මගින් ඔවුනට සාර්ථකව ප්‍රතිකාර කල හැකිය​. 

වෛද්‍ය රුවන් එම් ජයතුංග 

2 comments:

  1. ලංකාවේ ප්‍රතිකාර අවශ්‍යය මෙවැනි අයට නිසි සැලකිල්ලක් ලැබෙන්නේ නෑ තරම් නේද?මගේ පොඩි පුන්චී මානසික ලෙඩෙක්.හත් දෙනෙකුගෙන් යුත් පවුලක හත්වෙනියා.කුඩා කල අපස්මාරයට නිසි ප්‍රතිකාර නොගත් නිසා ජීවිතය පුරා දුක්විඳ මියගියා.සමාජයේ කොන් උනා.පවුලේ අනික් අය කොන්කලා.මගේ අම්මා,එයාගෙ ලොකු අක්කා පමණයි බැලුවේ.අවුරුදු 59ක් පමණ වූ ඇගේ අහිංසක ජීවිතයේදී අහපු ඇනුම් බැනුම් එමටයි.බිම ඇද වැටීම් අනන්තයි.අනතුරකදී අපිට "අම්මේ"කියා කියවුනත් ඇයට කියවුනේ "අක්කේ" කියලා.ඇගේ දුක කියන්න හිටියේ මගේ අම්මා පමණමයි.තම ජීවිත කාලය තුල ඇය මදුරුවෙක්වත් මැරුවේ නෑ කියා ඔබ විශ්වාස කරනවාද?මානසික රෝගීනට කරුණාව,දයාවත් ප්‍රතිකාරම තමයි.ලංකාවේ අඩුමත් ඒකයි.බුද්ධ දර්ශනයේ මූලික හරයවත් අරන් නෑ.කයිවාරුවයි,අහන්කාරකමයි විතරයි.මම කුඩාකල සිට අද වෙනකම් දකින දේ මෙයයි.

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook