Friday, October 20, 2017

නාරද කරුණාතිලක


නාරද කරුණාතිලකව මට හඳුන්වා දෙන ලද්දේ මහාචාර්‍ය සෝමරත්න බාලසූරිය විසිනි.   නාරද එක්තරා ආකාරයක ඉතිහාසඥයෙකි. ඔහු අප සැමදෙනා දන්නා සංස්කරණය කරන ලද ඉතිහාසයෙන් එහාට ගොස් ඉතිහාසකරුවන් විසින් සඟවන ලද හෝ කාලයේ වැළි තලාවෙන් යටවී තිබෙන ඉතිහාසය මතුකර ගැනීමේ සමතෙකි.  ඔහු කොලට් සේනානායක මහතා සමග එක්වද පොත් රැසක් ලියා තිබේ.  නාරද කරුණාතිලකව දැනට රිවිර ඉරිදා පුවත් පතේ ජේෂ්ඨ විශේෂාංග කර්තෘ ලෙස සේවය කරයි. 

නාරද ගේ පියා රාජ්‍ය සම්මාන දිනූ ප්‍රකට ලේඛකයෙකි. ඔහු විසින් ලියන ලද ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි, උළුගෙදර ආරච්චිල, කානුවගොඩ ගෙදර යන කෘතීන් ඉතා ජනප්‍රිය විය​. නාරදගේ මවද ලේඛිකාවකි. එසේම ඔහුගේ සොහොයුරිය වන මානෙල් කරුණාතිලකද  ලේඛිකාවකි. කරුණාතිලක පවුල ලේඛක පවුලක් ලෙස හැඳින්වූවාට වරදක් නොමැත​. 

නාරද කරුණාතිලක මාගේ කල්‍යාණ මිත්‍රයෙකු ලෙස මම සලකමි. ලංකාවෙන් බැහැරව ජීවත් වන  නිසා මට මාගේ පොත් මුද්‍රණයේදී නිසි සම්බන්ධීකරණය කිරීම අපහසු අතර එම සම්බන්ධීකරණය කර දෙන්නේ නාරද විසිනි. ඔහු ලේඛකයෙකු ලෙස මෙලෙස අනෙකුත් ලේඛකයන්ට උදව් කරන්නෙකි. එය ඉතා විරළ ගුණයකි. 

 අප දෙදෙනාගේ මිතුදම 2006 වසරේ සිට පවතින අතර අරුමයකට මෙන් අප දෙදෙනා තවමත් මුහුණට මුහුණ මුණ ගැසී නොමැත​. අප දෙදෙනා එකිනෙකා සමග ගනුදෙනු කරන්නේ ඊ ලිපි මගිනි. කෙසේ නමුත් යම් දිනක මේ යහපත් මිනිසා මට මුහුණට මුහුණ හමු වන බව මට විශ්වාසය. 

 වෛද්‍ය රුවන් එම් ජයතුංග 

4 comments:

  1. අප ජීවත්වන මේ කෙටි කාලයේදි තවෙකුකට අවංකව උදව් කරන්නෝ විරලයි.ඔව්හු අපේ කාලයේ ශ්‍රේෂ්ඨයෝ වෙති.රුවන්,යම් කෙනෙකුගේ මහත්මා ගතිගුන හේතු සහිතව අපට පෙන්වාදෙයි.පාසැල් වියේ සිටම ඔබ තුල ඇති උසස් මානව ගතිගුන අපි දනිමු.ඔබ විසින් පසසන නාරදයෝ සහ මහැදුරු සෝමරත්නයෝ අපගේ ගරුත්වයට භාජනය වෙති.මනුස්සකම මැකීයන සමාජයක මෙවැනි පුද්ගලයන් ගැන ඇසීම සතුටකි.ඉතිහාසය තුල ඉතිහාසය සඟවා තැබීම මිනිස් මානව බුද්ධියට කරාවූ අපරාධයකි.එය නැවත අපට මතුකරදෙන්නෝ ඉතිහාසය විසින්ම ආරක්ෂා කරනු ඇති.අවසාන වශයෙන් මෙසේ කියමි,ශ්‍රේෂ්ඨයෝ මිය නොයති.සොබාදම් මාතාවෝ තම අතිජාත පුත්‍රයන් නිහඬවම තම තුරුළට කැඳවා ගනිති.

    ReplyDelete
  2. මා නම් නාරද කරුණාතිලක මුණගැසී තිබෙනවා කිහිප වරක්ම.ඒ මම ජාතික ව්‍යාපාර සමග මතවාදීව එකට සිටි කාලෙ. ඒ කාලෙ මාත් ජාතික ව්‍යාපාරයට ලැදි බවකින් සිටියා. දැන් එහෙම නෑ .

    ඔබ කියන ලෙසින්ම ඔහු ඉතිහාසය හාර අවුස්සා නව මානයකින් කරුණු දක්වන්නෙක්. නමුත් ගැටළුවක් තිබෙනවා සමහර පොත්වල ඉතා දුර්වල තර්ක මත පිහිටා කිසිම සංගත බවක් නැති තොරතුරු ටිකක් එහෙන් මෙහෙන් ගෙන හැර දක්වනවා. යේසුස් ගැන පොත් වගේම අල්ලාහු අක්බර් පොතෙත් එහෙමයි. අල්ලාහු අක්බර් පොතේ මාතෘකාවට අදාලව තියෙන්නෙ පරිච්ඡේද එකක් දෙකක් පමන. අනික්වා වෙන වෙන වල් වටාරම් කොන්කිස්තදෝස් පොත හොදයි.

    අලුත් දේවල් සිංහල පාඨකයාට දීමේ උත්සාහය අගය කළ යුතුයි. ඉන්ටනෙට් එකෙන් ගෙඩි පිටින් ගන්න ඒව තමා ඉතින්. ඒත් ඉතින් එහෙම ගත්ත ඉමේජස් එහෙම අපට මැජික් ඒ කාලෙ. කොහෙන් හොයාගත්තද හරියට මහන්සි වෙන්න ඇති කියල ඇස් උඩ ඉන්දවගන්නවා.ඔය පොත් ගහන කාලෙ ඉන්ටනෙට් ගැන වැඩි දෙනා අහලවත් තිබුනෙ නෑ. අහල තියන අයටත් නෙට් යන්න අමාරුයි බිලත් වැඩියි.

    යේසුස්ට බෞද්ධ ආභාෂයක් ලැබී නොතිබුනා සේම අරාබි කාන්තාරයට කිසිදා බුදු දහම ගියේ නෑ. ඒ මැදපෙරදිගට බුදු දහම ගැලපෙන්නෙත් නෑ. ඇෆ්ගනිස්ථානයට බුදුදහම ගියේ කනිශ්ක යුගයේදී.

    ReplyDelete
    Replies
    1. සෑම ලේඛකයෙකුම තමන් විශ්වාස කරන දේ ගැන ලියනවා. අප එය විශ්ලේශනාත්මකව භාර ගත යුතුයි

      Delete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook