Friday, July 22, 2016

ප්‍රියාන් සමග

 

වෛද්‍ය ප්‍රියාන් සෙනෙවිරත්න මගේ මිතුරෙකි. ඔහු ශ්‍රී ලංකා යුද හමුදාවේ වෛද්‍ය බළකායේ මේජර්වරයෙකි. මා සමග හලාවත මහ රෝහලේ සේවය කල ප්‍රියාන් සමග නිවාඩු වේලාවලදී හලාවත නගරයේ ඇවිදීමට මම ප්‍රිය කලෙමි. අප සමග හලාවත ගුණතුංග මහතා හෙවත් ගුනේ අයියාද එක් වීම නිසා මේ සමාගම අතිශයින්ම ප්‍රිය ජනක විය​. 

වරක් රෝහලේ ශල්‍යකර්මයක් නිම කිරීමෙන් රාත්‍රියක මමත් ප්‍රියානුත් ගුනේ අයියාත් රෝහලට යාබද මිනී පිට්ටනියට ගොස් සංවාදයේ යෙදී සිටියෙමු. අප අත සෙලියුලර් දුරකථන තිබූ නිසා   හදිසි අවස්ථාවකදී සුළු මොහොතකින් රෝහලට පැමිනීමේ හැකියාව තිබුණි. 

වේලාව මධ්‍යම රාත්‍රී දොළහය​. අප තිදෙනා මිනී පිට්ටනියේ කුඩා කණ්ඩියක වාඩිවී සංවාදයේ යෙදී සිටියෙමු. සඳ එළිය නිසා සොහොන් කොත් පෙනේ. මෙහි නිසලව වැතිර සිටින මිනිසුන්ට අපගේ සංවාදය ඇසේද ? 

තනිවම සොහොන් බිමක  අසලින් රාත්‍රියට යාමට පවා බියවූ අප කිසිදු බියක් නොමැතිව මිනී පිට්ටනියේ සිටීම විමතිය ගෙනාවේය​. බිය පිලිබඳ කිසිදු සේයාවක් වත් අප තුල නොවීය​. 

රාත්‍රී දෙක පමණ වන විට බඩගින්නක් ආවේන් අප තිදෙනා වාහනයේ නැගී හලාවත නගරයේ රාත්‍රී කඩයකට ගියෙමු. එහිදී උණු උණුවේ එළවලු රොටී ගිල දැමූ අප ටිංකිරි යෙදූ කිරි තේ බීවෙමු. තේ බී අවසන් වෙත්ම මට වෛද්‍ය සිඩ්නිගෙන් ඇමතුමක් ආවේය​. රෝගියෙකුට හදිසි ඇපෙන්ඩිසයිටිස් ඔපරේශන් එකක්  කිරීමට සිදුව තිබේ. එම නිසා අප වහ වහා රෝහලට ආවෙමු. 

තවත් දිනෙක හලාවත මෝය කට අසල බාබිකිව් එකක් සඳහා ප්‍රියාන් මට ආරාධනා කලේය​. මෙය සංවිධාන කර තිබුනේ ප්‍රියාන් ගේ මිතුරන් පිරිසකි. මෝයෙන් අල්ලා ගන්නා මසුන් එවෙලේම බැද දීමට ධීවරයෙක් ද විය​.

බාබිකිව් සාදය නැගගෙන යන විට අවට සිටි ඇහින්දාස්ලා කිහිප දෙනෙකුද සාදයට එක්වී මැදපු මසුන් වලට වග කියන්නටද ප්‍රියාන් ගේ මිතුරාගේ ටීචර්ස් විස්කි බෝතලයට දිෂ්ටිය දමන්නටද වූහ​. මොවුන් අතර තරමක වයසක පුද්ගලයෙකුද විය​. ඔහු හලාවත මෝය ගැන පැරණි කතා කී හෙයින් මම අශාවෙන් ඔහුට සවන් දුන්නෙමි. ඒ අතරදී ධීවරයා විශාල කකුළුවෙකු අල්ලාගෙන ඌවද බාබිකිව් කලේය​. එහෙත් මේ කකුළු වල භූමිතෙල් රහක් දැණුනි. ඊට හේතුව කළපුවේ මෝටර් බෝට්ටු යාම බව  වයසක පුද්ගලයා කීවේය​. 

මෙසේ පැයක් පමණ ගත වන විට ප්‍රියාන් ගේ මිතුරාගේ ටීචර්ස් විස්කි බෝතලයෙන් පිං අඩි දෙක තුනක් ගසා සිටි ඇහින්දාස් තරුණයෙක් ප්‍රියාන් සමග වාදයකට පැටලුනේය​. මම හෙමීට ප්‍රියාන්ව ඔහුගෙන් වෙන් කලෙමි. ඉන් පසු ඔහු අර වයසක පුද්ගලයා සමගද පසුව ධීවරයා සමගද පැටළුනේය​.

මෙසේ වාදය උනුසුම් වන විට ඇහින්දාස් බීමත් තරුණයා ධීවරයාට පහරක් ගැසුවේය​. ගතවූයේ මොහොතකි  අවට ධීවර පැල්පත් වලින් කඩු අමෝරාගත් පිරිමින් දහයක් දොලහක් පමණ අප සිටි ස්ථානයට දුව ආහ​. ඔවුන්  ඇහින්දාස් තරුණයාව බිම පෙරලාගෙන පහර දුන්හ​. 

ඒ අතරවාරයේ මා වෙත පැමිණි වයසක පුද්ගලයා " සර් මම පල්ලියේ අන්නවිරාළ මූ මගෙනුත් ගේම ඉල්ලුවා " කීවේය​. මුලදී මම සිතුවේ ගේම ඉල්ලනවා යනු බොන මත්පැන් වීදුරුව ඉල්ලා සිටීම බවයි. පසුව වැටහුනේ ගේම ඉල්ලනවා යනු ගුටි ගහ ගැනීමට කතා කිරීමයි. කෙසේ නමුත් අවශේෂ ධීවරයන් ගෙන් තරුණයාට අවශ්‍ය ප්‍රමාණයටත් වඩා ගේම ලැබුනි. මේ හේතුවෙන් ඉතා සුන්දර ලෙස ඇදී ගිය වැල්ලේ පාටිය නිම කිරීමට අපට සිදු විය​. 

පසු කාලයක ප්‍රියාන් මා සමග කොලඹ කොම්පඤඥ වීදියේ යුද හමුදා රෝහලේද සේවය කලේය​. රාත්‍රී වැඩ මුර තිබූ දවස් වල අප දෙදෙනා රාත්‍රී ආහාරය ගැනීමට ආසන්නයේ  තිබෙන ගෝල්ෆේස් වෙත යන්නෙමු. එහි නානාගේ කඩය අපගේ ප්‍රියතම ස්ථානයයි. නනාගේ කඩයේ බැදපු මාළු , කුකුල් මස් , බුරියානි , නාන් , පරාටා , කොත්තු වලට වැඩි ඉල්ලුමක් විය​. අප නානාගේ විවිධ ආහාර වර්ග වල රස බැලුවෙමු.  නානා පසුව දුක්මුසු මරණයකට මුහුණ පෑවේය​. ඔහුගේ දුවනගිරියේ සේවය කල කුඩු වලට ඇබ්බැහි වූ වේටර්වරයෙකු විසින් නානාවත් ඔහුගේ බිරිඳවත් පෙට්‍රල් දමා ගිනි තබන ලදි . ඔවුන් පිළිස්සුම් තුවාල ලබා මිය ගියහ​. 

ප්‍රියාන් ඉන්පසුව පානදුර රෝහලට ගියේය​. දුරස් වූවද ප්‍රියාන් සහ මම මුහුණු පොතෙන් සංවාදයේ යෙදෙන්නෙමු. අපගේ රසවත් අතීතයන් ගැන කතා කරන්නෙමු. 



වෛද්‍ය රුවන් එම් ජයතුංග 

15 comments:

  1. ඩොක්ටගෙ බ්ලොගේ යාළුවා කියවනවා ඇති නේද?

    ReplyDelete
    Replies
    1. ප්‍රියාන් කියෙව්වා

      Delete
  2. ඒ කඩය ගොඩකාලයක් ගෝල් ෆේස් එකේ තිබුනා , අපි පොඩි කාලෙත් කෑවා මතකයි

    ReplyDelete
    Replies
    1. තාමත් තියනවනේද ? දැන් කරන්නේ නානගේ නෑයෙක්

      Delete
    2. http://ravaya.lk/?p=15703
      නානාගේ කඩේ

      Delete
  3. ලස්සන මතකයන්. කොම්පඤඥ වීදියේ ස්ටේෂම ගාව කඩෙන් ගොදඹ රොටි මස් එක්ක කනවා.නියමයි.

    ReplyDelete
  4. පරණ හමුදා මූලස්ථානයේ, (එහෙම කිව්වේ දැන් ඒක ටිකෙන් ටික වැසීගෙන යන නිසා) වෛද්‍ය බලකායේ නිවස්නයේ නිලධාරි මහත්වරු, රෑට රස්තියාදුවේ යනවා කියන එක, ඒ කාලේ ප්‍රසිද්ධ රහසක්. හමුදා මූලස්ථාන නිවස්නයේ හිටිය, කෙටි සේවා කාලයේ, මමත්, යාළුවන් සමග ඒ විදිහට රස්තියාදුවේ ගිහින්, ගාලු මුවදොර පිටියට වී පොඩි අඩියක් ගසා, ඔය නානාගේ කඩෙන් කෑවා මතකයි.

    අපොයි, මීගමුව හලාවත පැත්තේ, ඔය වගේ ගෝරියක් වෙන තැනක ඉඳලා, බෙල්ල බේරාගෙන ආවා කියන්නේ ලොකු දෙයක්.

    ReplyDelete
    Replies
    1. අතේ කෝට් වගේ පරණ කතාවක් ඇදලා

      Delete
  5. ගේම ඉල්ලනවා යනු බොන්න ඉල්ලීම කියා හිතෙනවා වගේ ඇහින්දාස් කියන්නේ ඉන්දියානුවෙකු වෙන්න ඇති නේද? නිකං මෝහන්දාස් රාම්දාස් කාලිදාස් වගේ?

    ReplyDelete
  6. ඇහින්දාස් යනු පාරේ ඔහේ යන කෙනෙක් එකතු වීමයි.

    ReplyDelete
  7. ඔය වගේ එළිමහන් පාටි වලට එන "ඇහින්දාස්ලා"පස්සේ පාටියේ ඕගනයිසර්ලා වෙනවා.හරියට කුඩරමට රිංගපු ඔටුවා වගේ.

    ReplyDelete
  8. බීච් එකේ බෝතලයක් කඩනවා කියන්නෙ 'ස්වෙච්ඡා' සහයකයින් අනිවාර්යයි..
    (හැබැයි ගස්ලබ්බලාට බලෙන් කතා කරලා 'මට්ටි' කන්න දීලත් තියනවා ඔහොම සාද සැට් එකක්.)
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. 'ස්වෙච්ඡා' සහයකයින් ඇණයක් උනා ගස්

      Delete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook