Friday, January 8, 2016

ප්‍රගීත් එක්‌නැලිගොඩට ඇත්තටම මොකද වුනේ?- 2

මාධ්‍යවේදී ප්‍රගීත් එක්‌නැලිගොඩ මහතා බලහත්කාරයෙන් පැහැරගෙන ගොස්‌ ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් දෙවන ලුතිනන් චමින්ද කුමාර අබේරත්න, ලූතිනන් කර්නල්වරුන් වන ශම්මි අර්ජුන කුමාරරත්න, ටොෂිගා ප්‍රබෝධ සිරිවර්ධන මාණ්‌ඩලික සැරයන් රාජපක්‍ෂ මුදියන්සේලාගේ ප්‍රියන්ත කුමාර, විශ්‍රාමික හමුදා නිලධාරි ප්‍රියන්ත ඩිලන්ජය උපසේන හෙවත් සුරේස්‌ හා හමුදා සේවයෙන් ඉවත් කළ නිලධාරියෙකු වන රවීන්ද්‍ර රූපසේන හෙවත් රංජි නමැති සැකකරුවන් 6 මේ වන විට අත් අඩංගුවට ගෙන තිබේ. පහත දැක්වෙන්නේ සී. ඒ. චන්ද්‍රප්‍රේම විසින් ප්‍රගීත් එක්‌නැලිගොඩ අතුරුදහන් වීම සම්බන්ධයෙන් ලියන ලද ලිපියකි. සී. ඒ. චන්ද්‍රප්‍රේම  විශ්වාස කල පරිදි එක්‌නැලිගොඩ අතුරුදහන් වීම මිත්‍යාවකි. නමුත් දැන් සත්‍ය එළි වෙමින් පවතියි. 




ප්‍රගීත් එක්‌නැලිගොඩට ඇත්තටම මොකද වුනේ?- සී. ඒ. චන්ද්‍රප්‍රේම

ප්‍රගීත් එක්‌නැලිගොඩ ජනාධිපතිවරණයට පැය 48 කට පමණ කලින් අතුරුදන් විය. මට මේ පුවත ආරංචි වූයේ සිරස ප්‍රවෘත්ති විකාශනයෙනි. ඔහු අතුරුදන් වූ මුල් අවස්‌ථාවේ සිටම ඔහුගේ බිරිඳ සන්ධ්‍යා මෙයට වගකිව යුත්තේ ආණ්‌ඩුව බව පවසා සිටියේය. පසුව ඇය මට දුරකථනයෙන් කතා කරමින් කියා සිටියේ ප්‍රගීත් ඔහුගේ පැරණි මිතුරකු වූ ගුණදාස ජයලත් නමැති නියෝජ්‍ය ඇමැති සාලින් ද දිසානායක මහතාගේ සම්බන්ධිකරණ ලේකම් හමුවීමට ගිය අවස්‌ථාවේදී මේ ජයලත් විසින් ප්‍රගීත්ගේ නම ආණ්‌ඩුවේ මරණ ලැයිස්‌තුවේ තිබෙන බව පවසා සිටි බවත් එදා සිට ප්‍රගීත් සිටියේ බයෙන් බවත්ය. මේ ගුණදාස ජයලත් යනු පැරණි වමේ ක්‍රියාකාරිකයෙකි. මා ඔහුව හැඳිනුවේ කරඹේ ගුණානන්ද නමැති වාමාංශික භික්‍ෂුවක්‌ හැටියටය. නමුත් අවුරුදු 20 ක්‌ පමණ ඔහු සමග සම්බන්ධයක්‌ නැති වූ නිසා ඔහුගේ ගිහි නමවත් මම දැන සිටියේ නැත. මේ නිසා ප්‍රගීත්ගේ තවත් මිතුරකු වන ඩග්ලස්‌ දේවානන්ද ඇමැතිවරයාගේ ප්‍රවෘත්ති ලේකම් වන නෙල්සන් එදිරිසිංහට දුරකථනයෙන් කතා කොට ජයලත් ප්‍රගීත් ආණ්‌ඩුවේ මරණ ලැයිස්‌තුවේ සිටින වගක්‌ සන්ධ්‍යාට කියා තිබෙනවා දැයි ඇසුවෙමි. නෙල්සන් සිනාසී මට කීවේ “මුං හමුවුනාම බොනවනේ. එකෙක්‌වත් අනෙකා කියපු දේ දන්නෙ නැතිව ඇති.” යන්නයි. ඉන් පසු දවසක සන්ධ්‍යා එක්‌නැලිගොඩ අපේ පුවත්පත් කාර්යාලයට පැමිණ ප්‍රගීත් ආණ්‌ඩුවේ මරණ ලැයිස්‌තුවේ සිටි කතාව මට නැවතත් කී විට මා ඇයට කීවේ බීලා හිටපු නිසා ඕවා ඒ තරම් ගණන්ගත නොයුතු බවයි. එතකින් එම ප්‍රශ්නය මගේ සිතින් බැහැර කෙරිණි
නමුත් ඉකුත් සතියට කලින් සතියේ සුනන්ද දේශප්‍රිය මගේ නමද සඳහන් කර තිබීම නිසා මට වැටහුනේ ප්‍රගීත් සැබවින්ම උස්‌සාගෙන ගොස්‌ ඇතැයි තහවුරු කිරීම සඳහා විවිධ අයගේ නම් මෙතන වුවමනාවෙන්ම පාවිච්චි කරන බවයි. ඒ නිසා මේ ගැන තව දුරටත් විපරම් කර බැලිය යුතු යෑයි මම සිතුවෙමි. මා ජයලත්ට කතා කොට ඔහු ප්‍රගීත් ආණ්‌ඩුවේ මරණ ලැයිස්‌තුවේ සිටින වගක්‌ සන්ධ්‍යාට කීවේ දැයි ඇසුවෙමි. ඇයට ඔහු එවැනි කිසිදෙයක්‌ නොකී බව ඔහු මට කීවේය. මම මෙතනදි ජයලත්ව විශ්වාස කිරීමට වඩාත් නැඹුරු වෙමි. ඔහු නියෝජ්‍ය ඇමැතිවරයකුගේ සම්බන්ධිකරණ ලේකම්වරයෙක්‌ පමණි. ආණ්‌ඩුවේ මරණ ලැයිස්‌තුවේ සිටින්නේ කවුදැයි දැන ගැනීමට ඔහුට තබා ඔහුගේ හාම්පුතා වන නියෝජ්‍ය ඇමැති සාලින්ද දිසානායක මහතාටවත් දැනගැනීමට විදියක්‌ නැත. ආණ්‌ඩුව ඝාතන ලැයිස්‌තුවක්‌ සැකසුවොත් එය නියෝජ්‍ය ඇමැතිවරුන්ට හා ඔවුන්ගේ කාර්ය මණ්‌ඩලවලට බෙදා හරින්නේ නැත. මගේ සැකයට වඩාත් හේතු වන්නේ අදාළ පුද්ගලයන් දමන “බබා පාට්‌ය.” ප්‍රගීත් යනු බුද්ධිමත් පුද්ගලයෙක්‌ බව මම දනිමි. ගුණදාස ජයලත් වැනි පොඩි මිනිසකුට ආණ්‌ඩුවේ රහසිගත තීන්දු දැනගැනීමට ක්‍රමයක්‌ නැති බව ඔහුට පමණක්‌ නොව ඔහුගේ බිරිඳටත් වැටහිය යුතුය. නමුත් සන්ධ්‍යා මා හමුවට පැමිණ කියන්නේ ජයලත් කී කතාවෙන් පසු ප්‍රගීත් බයෙන් සිටි බවයි. මෙවැනි කතාවක්‌ මා විශ්වාස කරාවි යෑයි සිතීමෙන් මගේ බුද්ධියට ද ඇය නිග්‍රහ කොට ඇත. එපමණක්‌ නොව ඇය මේ ජයලත් විසින්ම ප්‍රගීත් මුල් වතාවේ උස්‌සාගෙන ගිය පසු ඔහුව බේරුවේ මම බව ජයලත් ඇයට කීවේ යෑයි මට කියයි. නමුත් එවැනි දෙයක්‌ මට කීමට පෙර ඇය ඇයගෙන්ම අසාගත යුතුව තිබූ ප්‍රශ්නය වූයේ ප්‍රගීත්ම ඇයට එවැනි කතාවක්‌ නොකීවේ මන්ද යන්නයි. එවැනි පුවතක්‌ ඇයට තුන්වන පාර්ශ්වයකින් දැනගන්නට ලැබුණේ මන්දැයි ඇයට නිකන්වත් කල්පනා වන බවක්‌ පෙනෙන්නට නැත. මේ අනවශ්‍ය “බබා පාට්‌” නිසා මොවුන් මේ කරන්නේ ප්‍රගීත් සැබවින්ම උස්‌සා තිබෙනවා යෑයි තහවුරු කිරීමට විවිධ පුද්ගලයන්ගේ නම් පාවිච්චි කිරීමක්‌ බව පැහැදිලි වෙයි.
ප්‍රගීත්ගේ අතුරුදන් වීම සම්බන්ධව මගේ පුද්ගලික මතය කුමක්‌ දැයි සන්ධ්‍යා මට දුරකථනයෙන් කතා කරන විට මම ඇයට කියා සිටියේ නැත. නමුත් ඇය ඊට කලකට පසු අපගේ කාර්යාලයට පැමිණි අවස්‌ථාවේදී මම ඇයට මගේ පුද්ගලික අදහස කීවෙමි. මේ ප්‍රශ්නයේදී මගේ නම ද පාවිච්චි කිරීමට උත්සාහයක්‌ ගෙන තිබෙන නිසා මම ඇයට පෞද්ගලිකව කී දේ ප්‍රසිද්ධියේ කීමට සිදුවී ඇත. ප්‍රගීත් පළමු වැනි අවස්‌ථාවේ පමණක්‌ නොව දෙවැනි අවස්‌ථාවේදීවත් කවුරුන් විසින් හෝ පැහැරගෙන ගොස්‌ ඇතැයි එක මොහොතකටවත් විශ්වාස කරන්නේ නැති බව මුලින්ම කිව යුතුය. මගේ පෞද්ගලික විශ්වාසය වන්නේ ඔහු 2009 අගෝස්‌තු මාසයේදී මුල් වතාවට ඉස්‌සුවා යෑයි කතාවක්‌ ප්‍රචාරය කළේ ඒ මත දමා විදේශ රටක දේශපාලන රැකවරණ ගැනීමට බවයි. ප්‍රගීත් අතරින් පතර මුදල් හම්බකිරීමක්‌ කළ ද ඔහු අවසන් කාලයේ සිටියේ අගහිඟකම් මැද්දේය. අවසන් වතාවට හමුවූ අවස්‌ථාවේදී ඔහු ජයලත්ගෙන් රුපියල් 300 ක්‌ ඉල්ලාගෙන තිබුණේය. එපමණක්‌ නොව නෙල්සන් එදිරිසිංහට කතාකොට ඔහුගේ දුරකථනයට “රී ලෝඩ්” දමන මෙන් විටින් විට ඉල්ලා ඇත. දරු පවුල්කාරයෙක්‌ට “රී ලෝඩ්” එකක්‌ දමා ගැනීමට මුදල් නොමැති නම් ඔහුට පවුලක්‌ ගෙන යැමට නොහැකි බව කිව යුතු නැත. මේ නිසා මුල් වතාවේදී ඔහු “උස්‌සාගෙන යැමක්‌” පිළිබඳ කතාවක්‌ ප්‍රචාරය කළේ එමගින් විදේශ රටක දේශපාලන රැකවරණ ලබා ගැනීමේ අටියෙන් බව මගේ විශ්වාසයයි. විදේශ රටක දේශපාලන රැකවරණ්‍ය ලැබුණු විට ජීවත් වීමට දීමනාවකුත් නොමිලේ නිවසකුත්, නොමිලේ සෞඛ්‍ය පහසුකම් හා අධ්‍යාපනය ද ලැබේ. එමගින් තමන්ට ඇති සියලු ප්‍රශ්න විසඳෙයි. නමුත් තමන් උස්‌සගෙන ගිය කතාව කිසිවකුත් විශ්වාස නොකළ නිසා ප්‍රගීත්ගේ පළමු තැත ව්‍යර්ථ වූ බව මගේ විශ්වාසයයි.
ඔහුව උස්‌සාගෙන ගියා යෑයි කියන දෙවැනි අවස්‌ථාව වන විට ප්‍රගීත්ට මේ සඳහා ඊට වඩා හොඳ සූදානමක්‌ තිබිණි. ජෙනරාල් ෆොන්සේකා මහතාගේ ඡන්ද ව්‍යාපාරයේ නියෑළී සිටින නිසා ඔහු ඉස්‌සර සිටම හඳුනන වාමාංශික ක්‍රියාකාරීන් පිරිසක්‌ද මෙයට සහයෝගය දැක්‌වීමට සිටි බව මගේ විශ්වාසයයි. සන්ධ්‍යා අප කාර්යාලයට පැමිණ මා හමුවූ අවස්‌ථාවේදී ද මා ඇයට කියා සිටියේ ප්‍රගීත් අවසන් කාලයේ ඇසුරු කළ අය “ගේම්කාරයන්” බවත් මේ අතුරුදන් වීම ජනාධිපතිවරණයටම සම්බන්ධ “ගේමක්‌” බවත් එනම් ඡන්ද විමසීමට පැය 48 කට කලින් “මාධ්‍යවේදියකු” අතුරුදන් වූ විට ආණ්‌ඩුව ඡන්දයට යන්නේ මාධ්‍යවේදීන් පැහැර ගත්තා යෑයි කියන පුවත් සිරස්‌තලවලට යටත්වය. ෆොන්සේකා මහතාගේ ඡන්ද ව්‍යාපාරයේ සිටි අය ජයග්‍රහණ බලාපොරොත්තුවෙන් සිටි නිසා ඡන්දයෙන් ජනරාල් දින්න පසු ප්‍රගීත්ට එළියට ඒමට හැකි වේ යෑයි සිතන්නට ඇත. ප්‍රගීත්ට තිබූ වුවමනාව වූයේ මුල් වතාවේදී වැරදුණු දේශපාලන රැකවරණ තැත දෙවන වතාවේදීවත් සාර්ථක කරගැනීමය. නමුත් ජෙනරාල් ඡන්දයෙන් පැරදුණි. දැන් ප්‍රගීත්ට එළියට ඒමට නොහැක. මම සන්ධ්‍යාට පවසා සිටියේ ප්‍රගීත්ට එළියට එන්න කිව යුතු බවත් මම මැදිහත් වී ඔහුට ලෙඩක්‌ නොවැටෙන ආකාරයට ප්‍රශ්නය “ශේප්” කරලා දමන්නම් යන්නයි. මා ඇයට කීවේ ඔහු ඔය ඇසුරු කරන “ගේම්කාරයින්ගේ” උගුල්වලට හසුවීමෙන් ප්‍රගීත්ට ප්‍රගතියක්‌ සිදු නොවන බවයි.
ඡන්දයක්‌ ඔන්න මෙන්න කියා තිබියදී දේශපාලන විරුද්ධවාදීන් අපකීර්තියට පත් කිරීමට පොඩි පොඩි “ගේම්” සෙට්‌ කිරීමට ප්‍රගීත්ට හැකියාවක්‌ ඇත. 2001 පාර්ලිමේන්තු මැතිවරණයේදී ඔහු හා මා එක්‌ව මෙවැනිම පොඩි “ගේමක්‌” දුන්නේය. 2001 දී එ.ජා.ප. යට දේශපාලන විරුද්ධවාදීන් දෙපිරිසක්‌ සිටියේය. එක පැත්තකින් ජ.වි.පෙ. ය තවත් පැත්තකින් පොදු පෙරමුණය. ජ.වි.පෙ. විපක්‍ෂයේ ඡන්ද ගන්නා නිසා ඔවුන් එ.ජා.ප. යට හිසරදයක්‌ විය. ප්‍රගීත් ඒ අවස්‌ථාවේ මට කියා සිටියේ 1980 ගණන්වලදී ජ.වි.පෙ. දෙවැනි කැරැල්ල අවස්‌ථාවේදී දළදා මාලිගාවට පහර දීමට ගිය එක්‌ තරුණයෙක්‌ ඔහු හඳුනන බවයි. මේ තරුණයා එම කැරැල්ලේදී කරන ලද නොයෙක්‌ අපරාධවලට පොලිසියෙන් සොයමින් සිටි නිසා දශකයකට වඩා වැඩි කාලයක්‌ ගමට යැමට නොහැකිව සිටින බවත් ජ.වි.පෙ. තුළ තව දුරටත් දේශපාලනය නොකරන මෙවැනි අය වෙනුවෙන් කිසිදු වැඩපිළිවෙළක්‌ නොතිබෙන නිසා ඔහු ජ.වි.පෙ. සමග කේන්තියෙන් පසුවන බවයි. ඔහු ජනමාධ්‍යට ඉදිරිපත් කොට දළදා මාලිගාවට කොටි පහර දීමට කලින් ජ.වි.පෙ. එයට පහර දුන් බව මිනිසුන්ට මතක්‌ කර දිය යුතු බවයි. මෙය හොඳ අදහසක්‌ යෑයි සිතුනෙන් මම ප්‍රගීත් සමග ගොස්‌ මේ තරුණයාව මුණගැසුනෙමි. පසුව මේ දෙදෙනාම රැගෙන ගොස්‌ ලසන්ත වික්‍රමතං=ගට හඳුන්වා දුන්නේය. ලසන්තගේ පළමු බිරිඳ වූ රේන් වික්‍රමතුංග මේ තරුණයාගෙන් එවෙලේම ප්‍රකාශයක්‌ ලබා ගත්තේය. ඉන් පසුව චමුදිත සමරවික්‍රම විසින් මොහු “ටී. එන්. එල්.” රූපවාහිනිය ඉදිරියට ගෙන යන ලදී. ඔහු කළ හෙළිකිරීම්වලින් පසු මේ තරුණයාට කලක්‌ යනතුරු සැඟවී සිටීමට සිදුවන බවත් එයට යම් මුදලක්‌ අවශ්‍ය වන බවත් ප්‍රගීත් කිවේය. මම මෙය ලසන්තට කීවේය. ඔහු මලික්‌ සමරවික්‍රමට කතාකොට මෙම තරුණයාට රුපියල් ලක්‍ෂ 2 ක මුදලක්‌ ලබා දුන්නේය. දැන් ප්‍රගීත් අතුරුදන්වීමෙන් කර ඇත්තේ ද මීට සමාන “ගේමකි.”
යමෙකුට මෙතෙක්‌ කල් සැඟවී සිටිය හැකි දැයි කවුරුන් හෝ අසනු ඇත. ප්‍රගීත් යනු පරණ වාමාංශික ක්‍රියාකාරිකයෙකි. ඔහු 1980 ගණන් වලදී දයාන් ජයතිලකගේ කණ්‌ඩායමේ අය ඇතුළුව විවිධ වාමාංශිකයන්ට ඡේ. ආර්. ජයවර්ධන ආණ්‌ඩුවෙන් සැඟවී සිටීමට උදවු කළ අයෙකි. මෙය “යූජී” (අන්ඩ ග්‍රවුන්ඩ්) යැමක්‌ හැටියට හඳුන්වන ලදී. එකල යමෙක්‌ “යූජී” ගිය පසු මාස ගණන් අවුරුදු ගණන් යන තුරු එළියට එන්නේ නැත. රෝහණ විඡේවීර ඇතුළු ජ. වි. පෙ. නායකයන් අවුරුදු 6 කට වැඩිය “යූජි” සිටි බව අපි අමතක කළ යුතු නැත. ප්‍රගීත් ගේ වාමාංශික පසුබිම නිසා දීර්ඝ කාලයක්‌ සැඟවී සිටීම ඔහුට එතරම් ප්‍රශ්නයක්‌ නොවේ. එපමණක්‌ නොව රටේ පාලු ප්‍රදේශවල හා මූකලානවල ප්‍රගීත්ට ඕනෑ තරම් සම්බන්ධකම් තිබිණි. ඒ ආචාර්ය නිවුටන් ගුණසිංහ සමග සමාජ විද්‍යාත්මක වැඩවලට සහභාගිවූ කාලයේ සිට විය හැක.
ප්‍රගීත් ආණ්‌ඩුව විසින් පැහැරගෙන ගොස්‌ ඇතැයි යන විශ්වාසය තහවුරු කිරීමට සංවිධානාත්මක ප්‍රයත්නයක්‌ දියත් වෙමින් පවතී. මීට සති කීපයකට කලින් වික්‌ටර් අයිවන් “රාවය” ට ලියමින් කියා සිටියේ ප්‍රගීත් දන්නා හඳුනන අයගෙන් ලැබුණු තොරතුරු අනුව ආණ්‌ඩුවේ එක්‌ ඇමැතිවරයකුගේ ලිංගික ජීවිතය ගැන මඩ ලිපියක්‌ ප්‍රගීත් විසින් එක්‌තරා “වෙබ් අඩවියක”ට ලියා තිබුණු බවයි. මෙය දැක මම මවිත වුණෙමි. නමුත් එකල මගේ ප්‍රතිපත්තිය වූයේ ප්‍රගීත් මගෙන් උදවු ඉල්ලා පණිවුඩයක්‌ එවනතුරු නිහඬව සිටීම නිසා මා වික්‌ටර් අයිවන් ගෙන් කිසිවක්‌ ඇසුවේ නැත. නමුත් ඊට පසුව සුනන්ද දේශප්‍රිය විසින් ප්‍ර්‍රගීත් පැහැරගත් මුල් අවස්‌ථාවේදී ඔහුව බේරාගත් පුද්ගලයා හැටියට මගේ නම සඳහන් කර තිබූ පසු මේ ගැන සොයා බැලිය යුතු යෑයි මම සිතුවෙමි. ඒ අනුව මම වික්‌ටර් අයිවන් මහතාට කතා කොට කියා සිටියේ මා දන්නා ප්‍රගීත් කිසිදාක ලිංගික කාරණාවක්‌ ගැන කතා නොකරන බවත් කුණුහරුපයක්‌ වත් නොකියන මිනිසෙක්‌ බවත්ය. ඔහුට ඇමැතිවරයකුගේ ලිංගික ජීවිතය ගැන මඩ පත්‍රිකාවක්‌ ලිවීමට හැකියාවක්‌ නැතිය යන්න මගේ විශ්වාසය විය. ඔහු එවැනි දෙයක්‌ ලිවීමට උත්සාහ දැරුවත් එය ලිංගිකත්වය හා මාක්‌ස්‌ වාදය ගැන බුද්ධිමය අප්‍රබංසයක්‌ මිස වෙන කිසිවක්‌ නම් නොවන බව මගේ විශ්වාසයයි. එපමණක්‌ නොව අදාල වෙබ් අඩවියට මඩ පත්‍රිකාවක්‌ ලියා ගැනීමට අවශ්‍යතාවක්‌ තිබුණේ නම් ඔවුන් සමග එම කලාවේ කෙල පැමිණි උදවිය සිටින නිසා ප්‍රගීත් වැනි අයකු ලවා එවැන්නක්‌ ලියවා ගැනීමට කිසිදු අවශ්‍යතාවක්‌ නොතිබූ බව මගේ විශ්වාසයයි. ප්‍ර්‍රගීත් ආණ්‌ඩුවෙන් සැඟවීමට වාමාංශිකයන්ට උදවූ කිරීම හා ඡන්ද කාලයකදී විරුද්ධවාදියෙක්‌ අපකීර්තියට පත් කිරීමට පොඩි පොඩි “ගේම්” දීමට හැකියාව තිබුණත් කාගේ හෝ ලිංගික ජීවිතයක්‌ ගැන මඩ පත්‍රිකාවක්‌ ලිවීමට ඔහුට හැකියාවක්‌ නැතිය යන්න මගේ අදහසයි.
“රාවය” පුවත්පත කියවන අය දන්නා පරිදි වික්‌ටර් අයිවන් මහතා පසුගිය මාස ගණන ඇතුළත තහවුරු කළ නොහැකි මඩ කතා ප්‍රවෘත්ති හැටියට පළ කිරීමේ පුරුද්දට එරෙහිව යුද ප්‍රකාශ කොට තිබිණි. එවැනි අයකුට ප්‍රගීත් එක්‌නැලිගොඩ යනු වෙබ් අඩවිවලට මඩ ලිපි ලිවූ අයෙක්‌ යෑයි කීවිට අයිවන් එය ප්‍රසිද්ධියට පත්කරන බව ඔවුන් දනී. ඔවුන්ට අවශ්‍ය වූයේද එවැනිම ප්‍රචාරයකි. ඒ මන්දයත් ආණ්‌ඩුවෙන් ප්‍රගීත්ව අතුරුදන් කරවීමට හේතුවක්‌ තිබුණා යෑයි ජනතාවට පෙන්වීමට කිසිදු පිළිගත හැකි යමක්‌ නැති නිසා එවැනි හේතුවක්‌ නිර්මාණය කිරීමට ප්‍රගීත්ගේ මඩ ලිපි පිළිබඳ ප්‍ර්‍රවෘත්තියක්‌ පුවත්පතක පළකර ගැනීමෙන් ජනතාව තුළ එම මඩ ලිපි නිසා ප්‍රගීත් අතුරුදන්වී ඇතැයි සැකයක්‌ නිර්මාණය කිරීමට ගත් උත්සාහයකි මෙය. මෙහිදී උත්සාහය වන්නේ මඩ ලිපියකින් හෝ ඇඟිල්ල ආණ්‌ඩුව දෙසට දිගුකරලීමටය. ප්‍රගීත් මඩ ලිපියක්‌ ලියූ බව වික්‌ටර් අයිවන්ට කියූ එක්‌ පුද්ගලයකුට මම කතා කෙළෙමි. මෙම පුද්ගලයා වික්‌ටර් අයිවන් ප්‍රගීත්ව හඳුනන්නේ නැති බව දන්නා අතර මම ප්‍රගීත්ව ඉතා හොඳින් දන්නා බව දනී. එම නිසා ඔහු වික්‌ටර් අයිවන්ට කී කතාව මට කීවේ නැත. ඔහු මා සමග කියා සිටියේ ප්‍රගීත් මඩ ලිපියක්‌ ලිවුවා යෑයි කියන කතාව ඔහුද පිළිගන්නේ නැති බවයි. මෙතන ජුගුප්සාජනකම සිද්ධිය වන්නේ ප්‍ර්‍රගීත් මඩ ලිපියක්‌ ලිවූ බව වික්‌ටර් අයිවන්ට කී පුද්ගලයාම නෙල්සන් එදිරිසිංහට කතා කොට වික්‌ටර් අයිවන් ප්‍ර්‍රගීත් ගැන කියා තිබූ දේ නිසා ඔහු මින් මතුවට කවදාවත් වික්‌ටර් අයිවන්ට කතා නොකරන බව කියා ඇත. මේ නාඩගම කුමක්‌ද? ප්‍රගීත් මඩ ලිපියක්‌ ලියූ බව වික්‌ටර් අයිවන්ට පවසා සිටි පුද්ගලයා ප්‍රගීත්ගේද හොඳ මිතුරෙකි. ඔහු සමග සරත් ෆොන්සේකාගේ ඡන්ද ව්‍යාපාරයේ එකට සිටි අයෙකි. එවැනි අයකුගෙන් තොරතුරක්‌ ලැබෙන විට වික්‌ටර් අයිවන්ට එය අවිශ්වාස කිරීමට කිසිදු හේතුවක්‌ නැත. ප්‍රගීත්ගේම මිතුරකු හා දේශපාලන සගයකු විසින් ඔහු ඇමැතිවරයකු ගැන මඩ ලිපියක්‌ ලීවේයෑයි පුවත්පත්වලට තොරතුරු දෙන්නේ මා ඉහත සඳහන්කර “ගේම” නිසා මිස වෙන කුමකටද? මා මෙය දකින්නේ ප්‍රගීත්ව ඉස්‌සීමට ආණ්‌ඩුවට කුමක්‌ හෝ හේතුවක්‌ තිබුණා යෑයි සැකයක්‌වත් නිර්මාණය කිරීමට ගත් උත්සාහයක්‌ හැටියටය. ප්‍රගීත්ගේ අතුරුදන්වීම ජෙනරාල් ෆොන්සේකාගේ ඡන්ද ව්‍යාපාරයේ එක ගේමක්‌ බව මම තරයේ විශ්වාස කරමි. ඔවුන් මුලින් සිතුවේ ෆොන්සේකාගේ ජයග්‍රහණයත් සමග මෙය දවසින් දෙකෙන් ඉවර වෙයි යන්නයි. නමුත් ෆොන්සේකාගේ පරාජය නිසා මෙය අනපේක්‍ෂිත ලෙස දිග්ගැස්‌සී ඇත.
මෙම ප්‍රොaඩාවට සන්ධ්‍යා එක්‌නැලිගොඩ පමණක්‌ නොව ජෙනරාල් ෆොන්සේකාගේ ඡන්ද ව්‍යාපාරයේ සිටි අයත් හවුල් බව මගේ විශ්වාසයයි. ප්‍රගීත් එළියට ආ යුතු බවත් මම එයට මැදිහත්වීමට සූදානම් බව සන්ධ්‍යා එක්‌නැලිගොඩට කියා සිටියත් එය එසේ සිදුනොවීමට ඉඩ ඇති බව මම දනිමි. ඒ මන්දයත් මෙය දැන් වෙන මාවතකට අවතීර්ණවී ඇති නිසාය. දැන් ප්‍රගීත් “මුදාහරින්නැයි” කියමින් වෙනම ව්‍යාපාරයක්‌ පටන් ගෙන ඇත. මාතර නිතර උද්ඝෝෂණ පවත්වනු ලැබේ. පොත් පළවේ. ප්‍රදර්ශනයක්‌ද පැවැත්වීමට නියමිතය. ඊට අමතරව පුවත්පත් සාකච්ඡා පමණක්‌ නොව ජාත්‍යන්තර ජනමාධ්‍යවේදී සංවිධානවලින් ආණ්‌ඩුවට එරෙහි ප්‍රකාශනද නිකුත් වෙයි. දැන් මෙය සම්පූර්ණයෙන්ම විදේශ මුදල්වලින් දුවන වෙනම ව්‍යාපෘතියක්‌ බවට පත්වී තිබේ. මේ නිසා ප්‍රගීත්ගේ පවුලට ඔහු එළියේ සිටිනවාට වඩා අතුරුදන්ව සිටීම වාසිදායක වනවා විය හැක. එය මගේ අදහසයි. ප්‍රගීත් පසුගිය වකවානුව පුරාම ඔහුගේ මිතුරන් සමග සැඟවීමේ වුවමනාව අවධාරණය කරමින් සිට ඇත. ඔහු නෙල්සන් එදිරිසිංහ හමුවූ අවසන් අවස්‌ථාවේදී ඔහුට තර්ජන තිබෙන බවත් පුන පුනා කියා ඇත. ගුණදාස ජයලත් හමුවූ අවසාන අවස්‌ථාවේදීද ඔහු කියා ඇත්තේ තමුන්ට තර්ජනයක්‌ තිබෙන බවත් සැඟවිය යුතු බවත්ය. ඔහු අතුරුදහන් වූ පසු ප්‍රගීත්ගේ මිතුරන් එකිනෙකා කතා කරමින් අදහස්‌ හුවමාරු කර ගනී. ඔහු දෙවැනි වරට අතුරුදන්වීමට මසකට පමණ කලින් තමන් හමුවී සැඟවීමට තැනක්‌ අවශ්‍ය බවට කී වගට කල්‍යාණ කරුණාරත්න නමැති පැරණි වාමාංශික ක්‍රියාකාරිකයකු ප්‍රගීත් ගැන කතා කරන විට නෙල්සන් එදිරිසිංහට කියා ඇත. මේ සියලු කරුණු කාරණා නිසා ප්‍රගීත් සැඟවී සිටිනවාය යන්න මගේ විශ්වාසයයි. මේ විගඩම ඉදිරියට ගෙනයැමට මගේ නම පාවිච්චි කිරීමට ගත් උත්සාහය ගැන මම නොසතුටින් සිටියත් පැරණි මිත්‍රකම නිසා ඔහුට එළියට ඒමට අවශ්‍ය නම් ඒ වෙනුවෙන් මැදිහත්වීමට මම තවමත් ඉදිරිපත් වීමට සූදානමින් සිටින බවද කිව යුතුය.
සී. ඒ. චන්ද්‍රප්‍රේම

29 comments:

  1. ඒකත් එහෙමද?

    සමරසේකර

    ReplyDelete
  2. ප්‍රගීත් ප්‍රංශයේ ඉන්නා බවක් කිව්වා ගිය රජයේ ඇමතිවරයෙක් මේ ආණ්ඩුවේත් ඇමතිකමක් දරනවා නේද? ඒ කියන්නේ ඔහු පැවසුවේ ඇත්තක්වත්ද ?එත් එදා අසු ගණන් වලට වඩා තාක්ෂණය,ඔත්තු සේවා අද කොයි තරම් දියුණුද.මම හිතන්නේ නැහැ ඒ නිසා ප්‍රගීත් තව දුරටත් සැඟවී ඇතයි කියලා ලංකාවේ නම්.

    ReplyDelete
    Replies
    1. එහෙමමත් නෑ. ඒ වගේම සැඟවෙනවානම් ලංකාවම ඕන නෑ. නමුත් මමත් හිතන්නේ බොහෝ දුරට ඔහු මිය ගිහින්.

      නමුත් මේ ක්‍රමයට සාක්ෂි හොයන් වැරදිකරුවන්ට දඬුවම් දෙන එක ඉතාමත්ම වැරදියි. ඒ වගේම නිර්දෝෂී පුද්ගලයන් වැරදිකරුවන් වීමට ඉඩත් වැඩියි.

      රෝහිණී හතුරුසිංහ හා කොබ්බෑකඩුව කොමිසම ගැන කතාව මතකද?

      Delete
    2. රෝහිණී හතුරුසිංහ හා කොබ්බෑකඩුව කොමිසම මතකයි ඇය බොරු කිව්වා නේද ?

      Delete
    3. ඇය මේ බෝම්බය හමුදාවේ අභ්‍යන්තර ප්‍රශ්නයක් බවට කතා හැදුවා. ඒ කාලයේ රජය මෙය විජය විමලරත්න මහතාගේ පිටට දමා කතා හැදුවා. ඒ මහතාගේ පිලිරුවක් පවා කඩා බිඳ දැම්මා. විජය විමලරත්න ඒ ප්‍රහාරයෙන් බේරුනා නම් ඔහුව හිරෙත් දමන්න ඉඩ තිබුනා.

      Delete
    4. ජෙනරාල් විජය විමලරත්නගේ පුතා වෛද්‍යවරයෙක් ඔහු මා සමග හමුදා රෝහලේ සේවය කරලා තියනවා.ජෙනරාල් විජය විමලරත්න පිලිබඳ යුද්දය සබැඳි කතා තිබෙනවා මම ඒ ගැන ලියන්නේ නැත්තේ කොටි හිතවාදීන් ඒවා අනිසි ලෙස මඩ සඳහා යොදා ගැනීමේ ඉඩ නිසා

      Delete
    5. ධනුන තිලකරත්න සෑගවි සිටියේ ලංකවේම නේද? කුමාර් ගුණරත්නම් පවා අසුවූ ඝෝඨාගේ දෑලෙන් ඔහු බෙරි සිටියේ කෙසේද?

      Delete
  3. මේ පිළිබඳව මෙතෙක් මා කියවා, අසා, ඇති තොරතුරු අනුව, මටනම් පෙනීයන්නේ, ප්‍රගීත් එක්නැලිගොඩව, කවුරුන් විසින් හෝ ඝාතනය කර ඇති බවයි.

    ReplyDelete
    Replies
    1. බොහෝ දුරට එහෙම වෙන්න ඇති.

      නමුත් එහෙම උනා කියා පොලීසිය සාක්කි නිෂ්පාදනය කල යුතු නෑ. සාක්කි නොමැතිනම් සැකකරුවන් නිදහස් කල යුතුයි.

      Delete
    2. මෙය ඝාතනයක් බව හෙලි වෙනවා

      Delete
    3. ලංකාවේ හමුදාව පොලිසියේ සේවයකරපු/කරන කෙනෙක් කියනවද මේවා අපි කලේ කාගෙවත් ඔන කමකට කියලා. අප හරි "නිතිගරුකයි , සම්බාවනියයි "රජයේ අනික් සේවක සේවිකාවන් වගේ නොවෙයි.එමනිසා අපට ගරුකළ යුතුයි කියලා තමයි ඔවුන් රටටම පෙනවන්නේ.

      Delete
  4. ප්‍රගීත් අපේ මිතුරෙකි. අපේ දියනියකට ඔහු ලියු ලිපියක්. ඔහුව මුලින්ම පෑහෑරගෙන ගියාට ප්සෞ අප දියනිය ඔහුට ජර්මනියට එන්න ආරාදනා කලා. ඔහු ඒම ප්‍රතික්සේප කලා.රන්ජිත් හේනායකාආරච්ච්

    http://www.lanka-advocacy.org/2011/01/20/ein-brief-des-verschwundenen-a-letter-of-the-diasppeared/

    ReplyDelete
    Replies
    1. රංජිත් ඔබගේ මේ හෙලි කිරීම වැදගත්

      Delete
  5. මනෝජ් කියන කථාව මමත් ගොසිප් වෙබ් සයිට් එකක දැක්කා,

    ReplyDelete
  6. චන්ද්‍රප්‍රේම ගේ පැරණි ලිපියක් නැවත පල කිරීමෙන් (දෙවරක් ම?) ඔබ බලාපොරොත්තුවන්නේ කුමක්ද?

    ReplyDelete
    Replies
    1. කිසිවක් බලාපොරොත්තු නොවෙමි

      Delete
    2. එතකොට ප්‍රදීප් එක්නැලිගොඩ ගැන විවිධ පුද්ගලයින් ලියූ ලිපි සියල්ලේම එකතුවක් මෙතැන කොපි පේස්ට් ක්‍රමයට පල කරන්නට අදහස් කරනවාද?

      මේ චන්ද්‍රපේම ගේ ලිපි කොටස් දෙකේ ඇති කරුණු ගැණ ඔබේ සමාන/අසමාන අදහසක් තිබේද? එසේ නැතිනම් මෙලෙස ඒ ලිපි කොපි පේස්ට් කිරීමේ අරමුණ කුමක්ද?

      Delete
    3. මෙලෙස ඒ ලිපි කොපි පේස්ට් කිරීමේ අරමුණ කුමක්ද?////////////// තම තම නැණ පමනින් දැන ගත යුතුය​. අරමුණ ඔබම සොයා ගන්න

      Delete
    4. ට්‍රාන්ස් කොහොමත් වාමන්ශික යින්ට අපහාස කරන,පවතින් ක්‍රමය පවත්වාගෙන යන්න කැමති අයෙක්. ඔහු මෙවැනි දේ ලිවීම ගැන හා පලකිරීම ගැනපුදුමයක් නැහැ.

      Delete
    5. ට්‍රාන්ස් කොහොමත් වාමන්ශික යින්ට අපහාස කරන,පවතින් ක්‍රමය පවත්වාගෙන යන්න කැමති අයෙක්. ඔහු මෙවැනි දේ ලිවීම ගැන හා පලකිරීම ගැනපුදුමයක් නැහැ.

      Delete
    6. වාමන්ශික වේවා දක්‍ෂිනාන්ශක වේවා බොරුව කරන්නේ නම් මම එය ගැන ලියමි. සී. ඒ. චන්ද්‍රප්‍රේම වාමන්ශිකයෙකු බව ඔබගේ සොයාගැනීමක් බව පෙනේ.

      Delete
  7. මහජන ආරක්ෂාවට හා රාජ්‍ය ආරක්ෂාවට තිබෙන ත්‍රස්ත මර්ධන නීති සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමට හෝ පාපොච්චාරන ලබා ගැනීමට යොදා ගැනීම වැරදියි.

    දිගු කාලයක් රිමාන්ඩ් කිරීමට ඉඩ සලසා ඇත්තේ ත්‍රස්තවාදී සැකකරුවන්ගෙන් මහජනයාට විය හැකි අවම කිරීමට. රිමාන්ඩ් කිරීම මඟින් සාක්කි සෙවීමේ ක්‍රියාවලියට වෙන බලපෑම ඉතා අඩුයි.

    එසේ නොමැතිව මෙවැනි "වධ" (ශාරීරික වධ වෙන්න අවශ්‍යම නෑ) දීම තුලින් ඕනෑම කෙනෙක්ගෙන් පාපොච්චාරන හෝ සාක්කි ගත හැකියි. උදාහරනයක් ලෙස මේ පෝස්ටුවට ක්මෙන්ට් දමා සිටින අයව ගෙන ගොස් ඇති තරම "වධ" දීම මඟින් අපෙනුත් එක්නැලිගොඩ ගැන පාපොච්චාරන හෝ සාක්කි ගත හැකි වේවි.

    එසේම මෙවැනි අවස්ථාවල සිටින සමහර සාක්ෂිකරුවන් ගැනත් ගැටළු තිබෙනවා. කොබ්බෑකඩුව කොමිසම හා එහි සාක්කි දුන් සමහර සාක්කි කරුවන් (රෝහිනී හතුරුසිංහ ඇතුළුව ) ඒ බෝම්බයේ වගකීම විජය විමලරත්න මහතා මත පටවන්නට යාම උදාහරනයක් ලෙස ගන්න.

    ReplyDelete
    Replies
    1. ඇයි කොටදෙනියාව පොලිසියේ ක්‍රමය

      Delete
    2. කොටදෙනියාව පොලිසියේ ක්‍රමය වධ දීම පිලිබඳ " අමු " (crude) ක්‍රමයක්. මෙතන පාවිච්චි කරන්නේ ඊට වඩා සියුම් ක්‍රමයක්.

      Delete
  8. රුවන් හොඳ විමර්ශකයෙක් සහ මානසික ව්‍යාධිගැන පර්යේෂකයෙක්නේ, ලිපි ගොඩක් කියවන්න ලැබේවියයි සිතනව.

    හමුදා නිළධාරීන්ට එරෙහිව දැන් යන පරීක්ෂණ ව්‍යාජ නාඩගමක් නං රනිල් එකේ පැටලිලා මඩනාන්න යයි කියා මා හිතන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. ඇනේ අරක්කු බෝතල් දෙකක් නොදුන් නිසා මිනිසෙකු ඉහල මාලයෙන් පහලට විසි කරන පොලිසියක් තියන රටක ජීවත් වන මිනිසුන් ගේ නිද්‍රාශීලී භාවය නැති කිරිමට අප සැම හැකි පමණ උත්සහ කල යුතුයි.

      Delete
    2. ඇණයා Nut Man,
      ඇත්තටම මේ නිලධාරීන් මේ සිද්ධියට සම්බන්ධද කියන්න මම දන්නේ නෑ. නමුත් පොලිසිය මේකට සාක්කි හොයන්නේ පාවිච්චි කරන්නේ ඒ හමුදා නිලදාරීන්ගෙන්ම පාපොච්චාරන ගැනීම. පාපොච්චාරන ගන්නේ ඔවුන්ව දිගු කාලයක් හිරේ තබලා ඔවුන්ගේ පවුල් වලට බලපෑම් කරලා. මෙවැනි ක්‍රම මඟින් වැරදීම් වෙන්න තියන ඉඩ කඩ බොහෝම වැඩියි. ඒ වගේම අපරාධ නඩුවකදී සාක්කි ඇති පමන නැතිනම් වාසිය සැකකරුවන්ට ලැබෙන්නේ.

      මේක රනිල් ගේ උවමනාවක්ද යන්න පැහැදිලි නෑ.

      Delete
    3. හමුදා නිලදාරීන්ගෙන්ම පාපොච්චාරන ගැනීම. පාපොච්චාරන ගන්නේ ඔවුන්ව දිගු කාලයක් හිරේ තබලා ඔවුන්ගේ පවුල් වලට බලපෑම් කරලා. ///////////////පොලිස් ක්‍රමවේදයේ අඩුවක්

      Delete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook