Thursday, July 23, 2015

ගිනිගත් නගරය




ග්‍රාමසේවක එන විට හේමපාල හිටියේ බුලත් කොරටුවේ ය. උදයම බුලත් වැල්වලට සාත්තු කිරීම දිනචරියාවේ අංගයක් කරගෙන සිටි හේමපාල ග්‍රාමසේවකගේ හදිසි පැමිණීම අපේක්ෂා නොකළේය. ග්‍රාමසේවකගේ මුහුණේ ඇති බැරෑරුම්කම දුටු ඔහුගේ සිතට අසුබ සිතිවිලි ගලා ආවේය. 


"ග්‍රාමසේවක මහත්තයා, මොකද උදේ පාන්දරම? "හේමපාල මුහුණින් වැගිරෙන දහඩිය ඇඟිලි දෙකෙන් සූරා දමමින් මේස් බැනියමේ පිස දමමින් ඇසීය. 

"හේමපාලට කියන්න හදිසි පණිවිඩයක් තියෙනවා. කලබල වෙන්න එපා. "ග්‍රාමසේවක උපැස් යුගල අතට ගත්තේය. " මට පොලීසියේ රාළහාමි කෙනෙක් පණිවිඩය ගෙනාවේ. " ඔහු මොහොතක් නිහඬතාව රැක්කේය. 

"පොලිසියේ රාළහාමි කෙනෙක් " හේමපාල ග්‍රාමසේවකගේ වචන ප්‍රතිරාවය කළේ පොලීසිය සමඟ තමාට ඇති ගනුදෙනුව කුමක්ද යන්න සිතා ගැනීමට නොහැකිවය. 

"ඔව්, යාපනෙන් පොලිස් මැසේජ් එකක් ඇවිල්ලා තියෙනවා. "

හේමපාලගේ අභ්‍යන්තරය බිඳ වැටුණාක් වැනි හැඟීමක් ඇතිවිය. ලොකු පුතා යාපනයට මාරුවී ගොස් මාස දෙකක් ගතවූවා පමණි. 

"කොල්ලාට කරදරයක්වත් වෙලාද? " ඔහු තැවුණේය. "ඉතින් ග්‍රාමසේවක මහත්තයා කියන්නකෝ මොකක්ද පණිවිඩේ කියලා. "

"හේමපාලට මේක කොහොම කියන්නද මං දන්නේ නැහැ. හේමපාලගේ පුතා ඊයේ බිම් බෝම්බයකට අහුවෙලා අන්ත්‍රා වෙලා. පොලීසියෙන් මට පණිවිඩය කියන්න කිව්වා. "

අකුණු පහරක් වැදුණා වැනි හැඟීමක් හේමපාලට ඇති විය. ඔහු වාරු නැතිවාක් මෙන් බිම ඉඳගත්තේය. හමුදාවට ගිය ලොකු පුතා අන්තරා වෙලා. ඔහු අත්දෙක හිසේ ගසා ගත්තේය. 

"මේක වෙන්න බැහැ. මේක වැරදීමක් " ඔහු තොල් මතුලේය. ගිය සුමානේ පුතා ලියුමක් එවලා තිබුණා. 
එම ලියුමේ යාපනයේ සුලු සුලු කලබල තිබෙන බවත්, දැන් හමුදාව ප්‍රදේශය සන්සුන් කර පාළනය කරන බවත්, ලබන වාරයේ නිවාඩුවට ගෙදර එනවිට අනුරාධපුර වන්දනාවේ යාමට සූදානම්ව සිටින ලෙසටත් ලියා තිබුණි. 

"මට හරිම කණගාටුයි හේමපාල, කොටි ඊයේ හමුදාවේ දහතුනක් මරා දාලා කියලයි ආරංචිය. මරණවල කටයුතු හමුදා ගෞරව සහිතව කොළඹ කනත්තේ කරනවලු. පවුලේ ඥාතීන්ට කොළඹ යන්න තමයි තියෙන්නේ. " ග්‍රාමසේවක දුක්මසු හඬින් කීවේය. 

හේමපාල තවමත් වාඩිවී එකම ඉරියව්වෙන් සිටියේය. කොල්ලා මැරිලා. දැන් ගෑණි පොළොවේ පස් කයි. අනේ කොල්ලට වෙච්ච දේ. වල දාන්ඩ ඉස්සර කොල්ලගේ මුහුණ බලාගන්ඩ ලැබෙයිද? දහසකුත් සිතිවිලි ඔහුගේ සිතට ගලා ගෙන ආවේය. 

"හේමපාල දැං යං මාත් එක්ක ගෙදර. පුතාගේ කෑම්ප් එකෙන් කට්ටිය දැන් එයි. කොළඹ යන්න ඇහැක් විදිය බලමු. " ග්‍රාමසේවක හේමපාල වත්තන් කර ගත්තේය. 

***** 

තවරාණි විදුලි කේතලය අතට ගත්තේ තේ කෝප්පයක් රාජේෂ්ට සාදා දීමටය. වාහනයේ බොනට්ටුව ඇර වැඩකිරීම නිසා රාජේෂ්ගේ අත් වල මජං තැවරී තිබේ. තේ කෝප්පය දීමට ප්‍රථම ඔහුට අත සෝදා ගැනීමට කිව යුතුයැයි ඇයට සිතුණි. සදීපන් හා සුදර්ශනී තව පැය කිහිපයකින් පාසල නිමවී ගෙදර එනු ඇත. සදීපන් ගෙදරට ගොඩ වැදෙන්නේ බත් පිඟාන අපේක්ෂාවෙනි. කෑමෙන් පසු ඔහු බැට් එක අතට ගනියි. අසල්වැසි යහළුවන් සමඟ ක්‍රීඩාවට යන ඔහු යලි ගෙදර එන්නේ සවස කරුවල වැටුණාට පසුවය. සුදර්ශනී කෙළින්ම ඇගේ කාමරයට යන්නීය. ඇඟපත සෝදා ගන්නා ඇය ගෙදරට අඳින ගවුමකට මාරුවී පොතක් කියවීමට පටන් ගනියි. ඇය වැඩිපුරම කියවන්නේ ජේම්ස් හැඩ්ලිචේස්ගේ පොත්ය. දිවා ආහාරය සඳහා ඇයට කිහිප වතාවක් කථාකළ යුතුය. අඬගසන සෑම අවස්ථාවකදීම ඇය කියන්නේ තව විනාඩි පහකින් එන බවය. 

දුරකථනය නාද වූ බැවින් රාජේෂ් දුරකථනය අතට ගත්තේය. දුරකථනයේ මජං නොගෑවෙනු පිණිස ඔහු රිසීවරය අල්ලා ගත්තේ ඇඟිලිතුඩු වලිනි. ඒ අතරතුර වාරයේ ඩ්‍රයිවර් ගේට්ටුව ඇරියේ වෑන් රථය ගරාජයට දැමීමටය. සිල්වා සාප්පුවේ සිට මෙතරම් කලින් ආවේ මන්දැයි තවරා‚ සිතුවාය. වෑන් රථය ගරාජයට දැමූ සිල්වා රාජේෂ් එනතෙක් ගෙයි දොරකඩට වී සිටියේය. 

සිල්වාගේ බුලත්කෑම තවරාණිට අල්ලන්නේ නැත. ඒ නිසා තවරා‚ සිටින විට සිල්වා බුලත් නොකයි. එහෙත් රාජේෂ් සමඟ වාහනයේ යන විට සිල්වා බුලත් කනවා පමණක් නොව වරින් වර කවුළුවෙන් හිස එළියට දමා කෙළ ගසයි. 

"කාගෙන්ද කෝල් එක? " තවරාණි ඇහුවේ කුතුහළයෙනි. එහෙත් රාජේෂ් පිළිතුරු නුදුන්නේය. 

"ඔයාට පුළුවන්ද කාර් එකේ ගිහිල්ලා ළමයි දෙන්නව අරගෙන එන්න. මම සිල්වා එක්ක සාප්පුවට දුවලා එන්නං. " රාජේෂ් කීවේ කලබලයෙනි. 

"ඇයි, ඉස්කෝලේ ඇරෙන්න තව වේලාව තියනවනේ, " තවරාණි මෙහිදී ඇසුවාය. 

"කමක් නැහැ, ළමයි දෙන්නව ගේන්න. යාපනයේ කලබලලු. මෙහෙත් කලබල තියෙයිද දන්නේ නැහැ. හදිස්සියක් උනොත් සාප්පුවට කෝල් එකක් දෙන්න. මම යන්න ඉස්සර මිසිස් දේවරාජාට කියලා යන්නං" මෙසේ පවසා රාජේෂ් දෑත් සෝදා ගෙන සිල්වාට කථාකළේය. තවරාණිගේ සිතට දැණුනේ කරදර සහිත බවකි. මේ මොන කරදරද? ඇය සිතුවාය. සිත නිස්කලංකයේ තබා ගැනීමට අවකාශ නැති හැටි. ඇය ළමුන් දෙදෙනා ගෙන ඒම පිණිස සූදානම් වූවාය. 

"පාර්වතීට කියන්න දොර වහගෙන ඉන්න කියලා. කාටවත් දොර අරින්න එපා කියන්න. " රාජේෂ් කඩිනමින් කීවේය. වෑන් එක පණ ගැන්වූ සිල්වා විටක් කටේ දමා ගෙන රථය ගරාජයෙන් එළියට ගත්තේය. වෑන්රථය ගේට්ටුවෙන් එළියට ගත් වහාම ගේට්ටුව වැසූ රාජේෂ් අල්ලපු ගෙදර මිසිස් දේවරාජාගේ නිවසේ සීණුව නාද කළේය. 

******

හේමපාල කොළඹ කනත්තට පැමිණෙන විට හොඳටම හවස් වී තිබුණි. වැළපෙන බිරිඳ හා බාල දියණිය දකින විට ඔහුගේ හදවත කඩා වැටී නෙතග කඳුළින් පිරේ. එහෙත් සිත ධෛර්යවත් කරගත් ඔහු වික්‍රමරත්න රාළහාමි සමඟ කනත්තේ ප්‍රධාන දොරටුවෙන් පියමැන්නේය. විශ්‍රාමික පොළිස් කොස්තාපල්වරයෙකු වූ වික්‍රමරත්න රාළහාමි ඔවුන් සමග කොළඹ පැමිණීම හේමපාලට මහත් උපකාරයක් වූ බව සැබෑය. සිත කම්පනයට පත්වී ඇති නිසා ඔහු කථා කළේ අඩුවෙනි. 

කනත්තේ බොහෝ පිරිසක් රැස්වී සිටියහ. මියගිය සෙබළුන්ගේ ඥාතීන්ගේ අදෝනා හඬ ඇසෙත්ම හේමපාලගේ නෙත්වල කඳුළු රඳවා ගැනීමට ඔහුට නොහැකි විය. ලේන්සුවෙන් කඳුළු පිසදා ගත් ඔහු වටපිට බැලීය. "හේමපාල, තවම මිනී ගෙනල්ලා නැහැ" වික්‍රමරත්න රාළහාමි කීවේය. 

මියගිය සොල්දාදුවන් හමුදා ගෞරව සහිතව මිහිදන් කිරීමට වලවල් කපා තිබුණ නමුත් තවමත් එක මිනී පෙට්ටියක්වත් ගෙනවිත් නැත. හමුදා නිළ ඇඳුම් ඇඳගත් භට පිරිස් සීරුවෙන් සිටියහ. ඒ අතර පොලිස් නිළධාරීන් සෙනග පාලනය කළහ. ෆයිල් කවරයක් අතින්ගත් හමුදා නිළධාරියෙක් මියගිය සෙබළුන්ගේ ඥාතීන්ට පෝරම කොළ වගයක් බෙදීය. ඒ අතරවාරයේ වික්‍රමරත්න රාළහාමි වෝකි ටෝකි යන්ත්‍රයක් අතැතිව සිටි පොලිස් නිළධාරියෙකුට කථාකළේ වැඩිමනත් තොරතුරු දැනගැනීම පිණිසය. 

මිනී පෙට්ටි තවමත් ගෙන නොඒම පිළිබඳව රැස් කකා සිටි පිරිස නොසන්සුන් ස්වරයෙන් කතාකළහ. ඒ අතර ජාතික ඇදුමක් ඇඳගත් අයෙක් මැතිඇමතිවරු මෙම ස්ථානයට පැමිණීමට නියමිතව සිටියත් ඔවුන් කිසිවෙකු නොපැමිණීමට තීරණය කොට ඇති බව හඬ නගා පැවසීය. එවිට සෙනග අතරින් එකකු කෑගසා යමක් කීය. 

"හේමපාල මිනී ගේන තීරණය වෙනස් කරලා, අපිට රේමන්ඩ් එකට එන්නලු. එතනින් පුතාගේ මිනිය දෙයි. ගමට ගෙනියන්න. මෙතන කලබලයක් යන හැඩයි. අපි රේමන්ඩ් එකට යමු. " වික්‍රමරත්න රාළහාමි හේමපාල අමතා කීය.

සෙනග අතරින් ඉදිරියට ආ කෙනෙක් උස් හඬින් කතා කළේය. ඝෝෂාව නිසා ඔහු කියූ දේ හේමපාලට ඇසුණේ අසම්පූර්ණවය. 

"පර බල්ලෝ, මුං සිංහල කොල්ලෝ කොටින්ට බිලි දීලා අපට කොල්ලන්ගේ මිනීවත් පෙන්නන්නේ නැහැල්ලු, අපිට කමක් නෑ, මිනී විකෘති කරලා තිබ්බත් අපිට අපේ කොල්ලන්ගේ ඇඟිල්ලක් හරි බලාගන්ඩ ඕනෑ. "

ඔහුගේ කථාවේ කොටසක් සවනට වැටීම නිසා හේමපාලගේ හිත කීරිවැටී ගියේය. "මොනවා මුං පුතාගේ මිනිය විකෘති කරලද", ඔහු මහත්සේ තැවුණේය. අවසන් වතාවට පුතාගේ රත්තරන් මුහුණ දැකීමට තිබූ අවස්ථාවත් නැති කරපු හැඩයි. ඔහු කම්පිතව සිතුවේය. 

හේමපාලගේ අත අල්ලාගත් වික්‍රමරත්න රාළහාමි සෙනග ඈත් මෑත් කරමින් කනත්තෙන් ඉවතට ඒමට උත්සාහ කළේය. ඔවුන් පසුපස හේමපාලගේ බිරිඳ හා දියණියද සිහිනෙන් ඇවිදින්නාක් මෙන් ආවෝය. 

පර්වතයක් මෙන් උසැති, බඩ මහත, පොලිස් නිළධාරියෙකු සෙනග සන්සුන් කිරීමට උත්සාහ කළේ තම තර්ජනාත්මක ස්වරය හා නිළ ඇඳුමේ අධිකාරී බලය පෙන්වමිනි. "අඩෝ, අපි මූව වලට දාමු, " පිරිසක් පසුපස සිට කෑගැසූහ. ඒ සමගම ගල්මුල් ප්‍රහාරයක් ඇරඹූහ. 

පිස්තෝලයක් අතින් ගත් චීවරධාරියෙක් ඉදිරියට ඉදිරියට පැමිණියේය. ඔහු සෙනගට විධාන දෙන්නාක් මෙන් කථාවක් කළේය. "උඹලා සිංහ ලෙයක් ඇති, සිංහ සිතක් ඇති සිංහලයෝ. අපේ කොල්ලන් දහතුන්දෙනෙක් යාපනයේ මරා දාලා. උන්ගේ ඇස් පවා උගුල්ලලා. උඹලා තව මොනවද නිවටයෝ වගේ බලාගෙන ඉන්නේ. ආණ්ඩුවට කොටි මර්ධනය කරන්න බැරි නම් අපි හරි දෙමළ කොටි විනාශ කරමු"

කනත්තේ කලබලය තීව්‍ර වෙමින් පැවතිණි. වික්‍රමරත්න රාළහාමි හේමපාල සමඟ රේමන්ඩ් මල් ශාලාවට පැමිණියේය. 

*****

රෑ අටද පසුවූ නමුදු රාජේෂ් තවම නිවසට නොපැමිණීම තවරාණි ගේ සිතට බිය උපදවයි. දුරකථනය නාද වූ සෑම අවස්ථාවකම ඇය රිසීවරය අතට ගත්තේ රාජේෂ්ගේ කටහඬ ඇසීමේ අපේක්ෂාවෙනි. අවසන් වරට දුරකතනයෙන් කථාකළේ ජෙයප්‍රකාශ් ය. 

කොළඹ කලබල ඇතිවී ඇති බවත්, දෙමළ ජාතීන්ට පහර දෙන බවත් ඔහු කීවේ සැලෙන හඬිනි. හැකි ඉක්මනට රක්ෂිත ස්ථානයකට යන ලෙස ඔහු උපදෙස් දුන්නේය. තැතිගත් ළමුන් දෙදෙනා නිදන කාමරයේ ඇඳයට රිංගූහ. සේවිකාව දොර අසල බිම වාඩි වී සිටිමින් බියෙන් ඉකි ගැසුවාය. 

සාප්පුවේ දුරකථනය එක දිගට නාද වෙනවා මිසක කිසිවකු පිළිතුරු දෙන්නේ නැත. හදිසියේ දොරට යමෙකු තට්ටු කළේය. විදුලි පහන් නිවා කුඩා මේස ලාම්පුව පමණක් දල්වා තිබූ නිසා නිවසේ කිසිවකු නොසිටින බව ඇඟවීමට තවරාණිට අවශ්‍ය වූවාය. දොරට ගසන හඬ ඇසීමෙන් ළමුන් දෙදෙනා ගැහෙමින් ඇඳ යට ගුලිවී සිටියෝය. සේවිකාව බියෙන් ලතෝනි දුන්නාය. සේවිකාවගේ කෑගැසීම තවරාණිට බියක් මෙන්ම කෝපයක්ද ගෙන දුන්නේය. 

"පාර්වතී කටවහපං" ඇය තර්ජනාත්මක ස්වරයෙන් පහත් හඬින් සේවිකාට අණ දුන්නාය. දොරට ගැසීම නැවතුනේ නැත. "තවරාණි, තවරාණි, දොර අරින්න, මම මිසිස් දේවරාජා" එළියෙන් ඇසුණේ ගෑණු කටහඬකි. මිසිස් දේවරාජාගේ කටහඬ ඇසීම නිසා තවරාණිගේ බිය තාවකාලිකව පහ වූවාය. ඇය විදුලි පහන දල්වා දොර ඇරියාය. 

"ආරංචිද? කොළඹ කලබල, මෙහේ ඉන්න එපා, යමු අපේ ගෙදර. " මිසිස් දේවරාජා තවරාණිට කීවාය. "අනේ මිසිස් දේවරාජා, මම කොහොමද ගේ දාල එන්නේ. තාම රාජේෂ් ආවෙත් නැහැ. " තවරාණිට ඇඬුම් ආවාය. 

"රාජේෂ් එයි, අද රෑ මෙතන ඉන්න එක හොඳ නැහැ. රස්තියාදුකාරයෝ ගෙවල් මංකොල්ල කනවලු, යං අපේ ගෙදර, ඉක්මණට බඩු පැක්කර ගන්න. "

තවරාණි විශාල සූට්කේස් එකකට තම ස්වර්නාභරණ, ලියකියවිලි, මුදල් හා ඇඳුම් දමාගත්තේ කඩිනමිනි. "පාර්වතී ඉක්මනට ළමයින්ගේ ඇඳුම් ගනිං. "ඇය සේවිකාවට විධාන කළාය. තැතිගෙන සිටි ළමයි හා පැටවුන් සේ තවරාණි අසල දැවටුණාය. 

"රෑට කාලවත් නැතිව ඇති නේද? මම ඉක්මනට මොනවා හරි හදන්නම්, ඉක්මන් කරලා යමු. දොර ජනෙල් හොඳට වහන්න. " මිසිස් දේවරාජාද දොරගුඟ පරීක්ෂා කිරීමට උදව් වූවාය. 

******

සාප්පුවේ තිබුණු වටිනා භාණ්ඩ පෑලියගොඩ තම සිංහල මිතුරාගේ ගරාජයට ගෙන ගිය රාජේෂ් රියදුරා සමග බඩු බෑවේය. බඩු සියල්ල බා අවසන් කරන විට රෑ අට ද පසු වී තිබුණි. රාත්‍රියේ ගමන අවදානම් නිසා අද රාත්‍රියේ තමාගේ නිවසේ නැවතී හෙට යන ලෙස මිතුරා අයාචනා කළද තවරාණි හා ළමුන් දෙදෙනා තනිවම සිටින නිසා වහාම ගෙදර යායුතු බව රාජේෂ් තීරණය කළේය. 

සිල්වා රියදුරු සුක්කානමේ සිටීම රාජේෂ්ගේ සිතට සහනයකි. සිල්වා වෑන් රථය පැදවූයේ විට සපමිනි. මරදාන දක්වා ඔවුන් කිසිදු ගැටළුවකට මුහුණ නොදී පැමිණියහ. තැනින් තැන පොළිස් නිළධාරීන් සිටියද කිසිවෙකු වාහනය නැවැත්වූයේ නැත. 

වෑන් රථය බොරැල්ල මංසන්ධියට හරවන විට විශාල සෙනගක් පාරපුරා සිටීම නිසා සිල්වා වාහනයේ වේගය අඩු කළේය. පාර දෙපස ගිනිගන්නා වාහන කිහිපයකි. බීමතින් කඩු පොලු ගත් දාමරිකයන් සටන් පාඨ කියමින් වෑන් රථයට කිට්ටු වූහ. 

සිල්වා වාහනය යළි හරවා ගැනීමට අසාර්ථක උත්සාහයක යෙදුණු නමුත්, පාර අයිනේ නවතා තිබූ බස්රථය නිසා ඔහුට ඒ සඳහා ඉඩක් නොවීය. ඒ අතරවාරයේ මැරයෝ වෑන ්රථය වට කළහ. 

"තමුසෙලා කවුද? සිංහලද? දෙමළද? " කණ්ඩායමේ නායකයා යැයි සිතිය හැකි අයෙකු ප්‍රශ්න කෙළේය. ඔහුගේ අතේ රටබීම බෝතලයකි. ඔහු වතුර බොන්නාක් මෙන් බෝතලයේ තිබූ මත් පැන් කටේ හලා ගත්තේය. යකඩ පොලු, කඩු අතින් ගත් දාමරිකයන් වාහනයේ වටිනා යමක් තිබේද කියා කර පොවා බැලුවෝය. 

"අපි සිංහල, " සිල්වා තතනමින් පිළිතුරු දුන්නේය. "මහත්තයව ගෙදර බස්සවන්න යනවා. "

"ආ මෙයාද මහත්තයා, මහත්තයා සිංහලද? " එක් මැරයෙක් ප්‍රශ්න කළේය. රාජේෂ් කිසිදු පිළිතුරක් නොදී බිම බලා ගත්තේය. "ඒයි මහත්තයා, තමුසෙ සිංහල ද? කියනවා බලන්න මල් පූජා කරන ගාථාව. "

රාජේෂ් නළලින් වැගිරෙන දාඩිය කමීස අතේ පිසදා ගත්තේය. සිල්වා ගොත ගසමින් කතාකළේය. 
"මේ මහත්තයා සිංහල, අපිට යන්න දෙන්න. "

"අඩෝ නාකියා, උඹ දෙමලුන්ට . . . . . . . . . දෙනවා නේද? මූ දෙමලෙක්. පේන්නේ නැද්ද මූණ බැලුවම. " මැරයා තම අත තිබූ මුගුරෙන් වෑන් රථයේ වින්ඩ්ස්ක්‍රීන් එකට ගැසුවේය. එම පහරින් වීදුරු කෑලි සිල්වාගේ හා රාජේෂ්ගේ ඇඟ පුරාම වීදුරු වැස්සක් සේ වැටුණේය. 

"ඒයි, මහත්තයා බැහැපං, නැත්තං වාහනේ ඇතුළට දාලා ගිනි තියනවා, "මැරයෝ මෙසේ කියමින් වෑන්රියේ දොර ඇර රාජේෂ්ව බිමට ඇද දැම්මෝය."අනේ අපේ මහත්තයට ගහන්න එපා. " සිල්වා දෑත් එක් කොට වැන්දේය."අඩෝ නාකියා බැහැපන් උඹත් මැරුම් නොකා, " මැර නායකයා සිල්වාගේ බෙල්ලෙන් අල්ලා බිමට දැම්මේය. අනතුරුව සුනඛයෙකුට පා පහරක් දෙන්නාක් මෙන් සිල්වාගේ පශ්චාත් ප්‍රදේශයට පා පහරක් එල්ල කළේය. 

මේ අතර මැර පිරිස වටවී රාජේෂ්ට පොලු වලින් පහර දුන්නේය. ලේ වලින් ඔහුගේ මුහුණ තෙත් විය. පහරවල් වලකාලීමට මෙන් ඔහු දුබල වූ දෑත් වලින් මුහුණ ආවරණය කර ගත්තේය. බිම වැතිරී සිටි සිල්වා රාජේෂ් දෙසට බඩගෑමට උත්සාහ කළේය. සෙනග වට වී සිටි නිසා ඔහු රාජේෂ් දුටුවේ නැත. මෝල් ගස් මෙන් ඉහළ යන පොලු ඔහු දිටීය. රාජේෂ්ගේ ශරීරයට ඒවා වැදෙන විට නැගෙන හඬ පමණක් ඔහුට ඇසුණේය. "අනේ අපේ මහත්තයා"සිල්වා තාර පොලවේ හිස ඇන ගත්තේය. 

****** 

පසු දින දහවල් වනතෙක් රාජේෂ් පිළිබඳ තොරතුරක් නැති නිසා තවරාණි සිටියේ ඇඬූ කඳුළිනි. ළමයි දෙදෙනා ද මව සමග වරින්වර ඇඬූහ. ඔවුන් සැනසීමට උත්සුක වූ මිසිස් දේවරාජා රාජේෂ් ඇඟරි නීතිය නිසා කොහේ හෝ කොටු වී නිරුපද්‍රිතව ඇති බව පැවසුවේ තම සිතේ වූ සැකයට ද වංචා කරමිනි.

"නෝනා, නෝනා, මෙහාට මිනිස්සු කට්ටියක් එනවා, " පාර්වතී මුර ගෑවාය. 

මිසිස් දේවරාජා තවරාණි හා ළමුන් තම නිදන කාමරයට යවා දොරවසා කවුළුවෙන් කරපොවා බැලුවාය. මිනිසුන් සියයක් පමණ ඇයගේ මිදුලේ රැස් වී සිටිති. එක් මැදි වියේ පුද්ගලයෙකු දොරට තදින් තට්ටු කෙළේය. ගැඹුරු හුස්මක් ගත් මිසිස් දේවරාජා දොර ඇරියේ බිය නොපෙන්වමිනි. 

"මොකද ඔහේලා මෙහේ කරන්නේ. " ඇය උස්හඬින් ඇසුවාය. "නෝනා, ගෙදර හංගගෙන ඉන්න දෙමෙල්ලු එළියට දාන්න. " මැදිවියේ පුද්ගලයා ගොරෝසු හඬින් කීවේය. ඔහුගේ අතේ විශාල කඩුවකි. ඔහුගේ මුහුණේ ඇති කැපුම් කැළල නිසා ඔහුගේ මුහුණ තවත් බිහිසුණුව පෙණිනි. 

"මෙහේ ඇති දෙමලෙක් නැහැ, කරුණාකරලා යන්න. මම නැත්නම් පොලීසියට යනවා. "

"නෝනා ඕන මළදානයකට යන්ඩ, ගෙදර හංගාගෙන ඉන්න දෙමෙල්ලු ටික එළියට දැම්මේ නැත්නම් අපි මේ ගෙදරත් ගිනි තියනවා. " ඔහු පෙට්ට්‍රල් බූලියක් අතට ගත්තේය. 

රැස්ව සිටි පිරිස උද්දාමයෙන් ප්‍රීති ඝෝෂා කළහ. අසල්වැසියන්ද වට වී සිටියද කිසිම අයෙකු වචනයක්වත් කීවේ නැත. එහෙත් සෙනග පීරාගෙන මහළු භික්ෂුවක් හැරමිටි ගසමින් පැමිණියේය. භික්ෂුව දැකීමෙන් දේවරාජා මහත්මියට පළමුවෙන්ම පුදුමයක්ද, දෙවනුව සහනයක්ද දැනිනි. හන්දියේ පන්සලේ අසනීප ගතියෙන් සිටින ජිනාලංකාර  හාමුදුරුවෝ මෙතෙන්ට වැඩියෙ කොහොමද ඇය සිතුවාය. 

මහළු භික්ෂුව ඉදිරියට පැමිණ සෙනගට කථා කළේ දුබල හඬකිනි. 

"උඹලා, මේ කරන්ට යන තිරිසන් වැඩේ මොකක්ද? කොටි ඉන්නේ යාපනේ, උඹලා මෙහේ ඉන්න අහිංසක දෙමළ මිනිස්සු මරණ එකේ තේරුමක් තියෙනවද? "

"මෙහේ ඉන්න දෙමෙල්ලු තමයි හාමුදුරුවනේ, කොටින්ට සල්ලි යවන්නේ. "සෙනග අතර සිටි හැඩි දැඩි තරුණයකු කීවේය. 

භික්ෂුව ඔහු දෙස මොහොතක් බලා සිටියේය. 

"සල්ලි යවනව ඔහේ දැක්කද? දැක්ක නම් ගිනි තියපං. " භික්ෂුව ඔහුට ඉඩ දෙන නියායෙන් පසෙකට විය. සෙනග නිහඬව සිටියා මිස කිසිවක් කීවේ නැත. 

"උඹලා ඔය විඳින්නේ දදයක් කසලා ඇතිවෙන සහනය. ඒත් මතක තියා ගනිල්ලා මේවාට තව අවුරුදු ගණන් යනකං උඹලාට විඳවන්න වෙන බව. උඹලාට විතරක් නොවෙයි, උඹලගේ දරුවන්ටත්, අහක ඉන්න අපටත් විඳවන්න වෙයි. "

රැස්ව සිටි පිරිස හින් සීරුවේ ක්‍රමක්‍රමයෙන් විසිර ගියහ. 

*****

තම පුතාගේ හත් දවසේ දානයෙන් පසු හේමපාල කොළඹ යුධ හමුදා මූලස්ථානයට පැමිණියේ පුතාගේ හිඟ වැටුප් හා දීමනා ලබාගත හැක්කේ කෙසේද යන්න දැනගැනීමටය. 

මුළු නගරයම යකුන් නැටූ පිටියක් මෙන් විනාශ වී ගොසිනි. තැනින් තැන ගිනිගත් කඩසාප්පුය. 

දින ගණනක් රෝහලේ නේවාසිකව නතරවී ප්‍රතිකාර ගැනීමෙන් පසු ටිකට් කපනලද සිල්වා අසීරුවෙන් තම හාම්පුතාගේ නිවසට පැමිණියේ ඔහුගේ දරු පවුල හමුවීමේ අපේක්ෂාවෙනි. දොර ජනෙල් වසා නිවසද පාළුවට ගොසින් තිබූ බැවින් සිල්වා අසල්වැසි නිවසට ගොස් මොවුන් පිලිබඳ තොරතුරු විමසීය.

"සිල්වා මොකද වුණේ? " හිසේ ප්ලාස්ටර් හා තවමත් අත එල්ලාගෙන සිටින රාජේෂ්ගේ රියදුරා දුටු දේවරාජා මහත්මිය ඇසුවාය. "නෝන, අහස පොළව නුහුලන අපරාධයක් වුණේ. මගේ ඇස් ඉස්සරහ රාජේෂ් මහත්තයට ගහල මැරුවා. උන් මටත් ගැහැව්වා. මම අමාරුවෙන් බඩගාගෙන මරදාන පැත්තට යනකොට පොලිස් ජීප් එකක් මාව ඉස්පිරිතාලයට ගිහින් දැම්මා. සුමානයක් විතර ඉස්පිරිතාලේ ඉඳලා අදයි ටිකට් කැපුවේ. කෝ තවරාණි නෝනයි, ළමයින් දෙන්නයි? "

දේවරාජා මහත්මිය සුසුමක් හෙලුවාය. "රාජේෂ් මහත්තයාගේ මරණය ගැන තවරාණි නෝනා දැන ගත්තේ පොලීසියෙන් ඇවිල්ලා කිව්වමයි. උන් වෑන් එකත් පුච්චලා. පෙරේදා නෝනා ළමයි දෙන්නා සමඟ යාපනේ ගියා. ලබන මාසයේ කැනඩාවට යනවලු. ලංකාවේ ඉන්න එකක් නැහැ. "

මහළු රියදුරා තම දෑස් පියා ගත්තේය. "හරි අපරාදයක් නේද වුණේ ? හොඳ ලස්සනට හිටපු පවුලක් මොහොතකින් විනාශ කරලා දැම්මා මේ අමනුස්සයෝ. මේවා බලන්න අපිත් ජීවත් උනානේ. " ඔහු දෙනෙතින් වැගිරෙන කඳුළු පිසදමා ගත්තේය. "මම යන්නං නෝනා, රෑ වෙන්න කලින් ගමේ යන්න ඕනෑ. "

රියදුරා පිටත් වීමෙන් පසු දේවරාජා මහත්මිය පාර අද්දරට ගියාය. ඈත මාර්ගයේ ගින්නෙන් විනාශ වූ ගෙවල් හා කඩසාප්පු ඇයගේ නෙතට ලක්විය."හරියට මහා ගිනිකන්දක් පිපුරුණා වගේ" ඇය දිග හුස්මක් ගනිමින් තොල් මැතුරුවාය.

වෛද්‍ය රුවන් එම් ජයතුංග 

34 comments:

  1. How short sighted are our people, then and even now. Nothing much has changed in their small minds.

    ReplyDelete
  2. එක් යුගයක ඛේදවාචකයක්....මෙවන් සිදුවීම් මමත් දෑහින් දකින්න තරම් අවාසනාවන්ත වුණා. මගේ බ්ලොග් එකේ මීළග සටහන එකී මතක කිහිපයකට වෙන් කරනවා.

    ReplyDelete
  3. රුවන් ඒම් ජයතුංගගේ....... ලිපි ලිවීම වගේම කතා ලිවීමත් හරිම උසස් මට්ටමක තියෙනවා.... අගෙයි

    ReplyDelete
  4. Dharga Town එකෙත් මේ වගේම සන්තෑසියක් තමා කරන්න ගියෙ... කෙටි දැක්මක් ඇති බලලෝභීන් දෙපාර්ශ්වේම...

    ReplyDelete
    Replies
    1. මේවා ඔර්ගනිස් කරන පුද්ගලයන්ට මුදල් ,බලය ,නාරි මාංශ, යාන වාහන ලැබෙනවා. විපාක විඳවන්නේ අහිංසකයන්

      Delete
  5. මෙවන් තිරිසන් දේවල් ඇති වන ආකාරයේ කටයුතු කල හා එවන් දෙයට උල් පන්දන් දුන් එක්සත් ජාතික පක්ෂයට කඩේ යන උගතුන් සිටීම පුදුම කාරණයක් .
    ඔබ දන්නවද ඔතන උන්නේ මන්කොල්ලයක්. සිංහල දෙමල මුස්ලිම් මරයෝ දෙමල මිනිසුන්ගේ දේපල මංකොල්ල කෑවා . හිරේ හිටිය කුට්ටුමනී ඇතුළු 13ක් මැරුවා . ඕවා සහගහන අපරාද. ඕවා කලේ එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ ය. හමුදාවට එන්න කීවේ දවස් දෙකකකට පස්සේ. දැන් ප්‍රජාතන්ත්‍රවාදය මතක් වෙන්නේ. ලංකාවේ ඉන්න දෙමල එවුන්ත් ඔය අපරාදය කරපු එක්සත් ජාතික පක්ෂයට කඩේ යනවා තුක් නොදකින්.

    ReplyDelete
    Replies
    1. රන් සකු ඔය කියන මිනිස්සු පක්ෂමාරු කරල අනෙත් පක්ෂවලට ආවෙම නැත්ද? අනිත් පක්ෂවල අය මංකොල්කෑවෙම නැද්ද? දර්ගා නගරය ගිනි තිබ්බෙත් එක් පක්ෂයකට බැඳුණු අයද? කණ්නාඩි ගලවන්න, ඇහැ අරල බලන්න, දාමරිකයෝ හැමදාමත් ඉන්නේ දේසපාලන බලය අත ඇති අය ළඟයි. දේශපාලන බලය නැති අය ගේමකට බැස්සොත් කූඩු කරනවා.

      Delete
    2. කනත්තේ සෙනග උසි ගැන්වූ සිවුරුකාරයා ගිය චන්දයේදී උදව්කලේ කාටද කියල දන්නවද ?

      Delete
    3. ප්‍රා,කනත්තේ සෙනග විසිර වීමට තැත් කලේ කුප්‍රකට ගෆූර් බව නං දන්නවා.කවුද ඔය සෙනග උසි ගැන්වූ පිස්තෝල ඩයල් එක?

      Delete
    4. අල්ලේ වංස කෙනෙක්.
      පහු ගිය කාලෙ හරියට දේශ ප්‍රේමී සද්ද කලා.
      එයා කැමති ඒකාධිපතියන්ට මුලින් ප්‍රේමදාස ඊට පස්සෙ රජතුමා

      Delete
  6. Dr. Jayatunga...this was nicely written and 100 true...because I was there at the cemetery and witnesses everything...

    ReplyDelete
  7. එතකොට මම අම්පාරේ, අපේ ගමට එන එකම දෙමළ මනුස්සයා වෙච්චි මාළු කාරයාගේ ඔළුව පැළුවා, බයිසිකලය සහ මාළු කොල්ලකෑවා, මූලිකත්වය ගත්තේ දිනපතා දවසට දෙවරක් වෙල්ලාවලියේ තැබෑරුමට බයිසිකලයෙන් ගිහින් සීල් අරක්කු දෙක ගානේ ගෙනත් ලුස් විකුණපු මාමා කෙනෙක්, එයාගේ දෙමළ මිනිස්සු එක්ක තරහක් තිබ්බා දෙමළ ගම්මැද්දෙන් බයිසිකලය පදිනකොට පාරේ නිදියගන්න හරක්ගෙන් අවහිරයි කියලා.

    ReplyDelete
    Replies
    1. මේ වගේ භීම කාල වල නිදාගෙන ඉන්න ලූම්පන් කොටස් බලය ලබා ගන්නවා .

      Delete
  8. 1983 සිදුවූ ඉතා සුලු සිද්ධියක් දෙමළ ජාතිවාදීන් විසින් ඔවුන්ගේ වාසිය සඳහා මාකට් කරනවා කියලයි ඔයගැන කියන්න තියෙන්නේ.
    අනිත් අතට දෙමළ මිනිස්සු 70 දශකයේ සිට වර්ධනය වූ දෙමල නාසි වාදයට එරෙහිව අරගලයක් කලා නම් ඔය සුලු සිද්ධිය වුනත් වලක්වා ගන්න තිබුනා.
    සිංහලයන් මරා හමගසා සෙරෙප්පු හදන්න යෝජනා කල අයට දෙමළ ඡන්ද ලැබුණු බව මතක තබාගත යුතුයි. දෙමළ සමාජය තුල ඩර්ටල් බෙෂ්ට් කෙනෙක් හිටියෙත් නෑ.

    ReplyDelete
    Replies
    1. මගේ ප්‍රභාකරන් සාධයක පොතේ දෙමල දේශපාලකයන් බුද්ධිමතුන් අවි ගත් නොමේරූ කොටස් අවර් බෝයිස් කියලා හුරතල් කරපු හැටි සහ ප්‍රභාකරන් කියන සාධයක උඩට ගෙනාපු හැටි පෙන්වා දෙනවා.

      Delete
  9. මීටත් වඩා ඉතා දරුණු නීච, නින්දිත, තුච්ඡ, දේවල් මම මගේ ඇස් දෙකෙන් දැක්කා. ඒවා වලක්වන්න ගියාම මටත් තර්ජන ආවා. ඒ දේවල් මෙතන ලියන්නේ නැත්තේ නැවතත් ඒ ජරා අතීතය සිහිපත් කරවන්න අකමැති නිසයි. මේ තුවාලය තවමත් සුව වී නැහැ.

    ReplyDelete
    Replies
    1. හොඳට බලන්න ජාතිවාදය පතුරවන පුද්ගලයන් තමන් ගේ දරු පවුල් වලට නොසලකන නමුත් තම ජාතියට ආදරේ බව පවසනවා. බලන්න දර්ගා නගරයේ එස් මහින් ද හිමියන් ගේ කවි කියූ පුද්ගලය තමන්ට ජාතක වූ දරුවා අත් හැර දැම්මා නමුත් ඔහු තම ජාතියට මාර ආදරේලු

      Delete
  10. කොයිපැත්තට උනත් අන්තවාදය හොද නෑ.මේ වගේ උන් නිසා තමයි කාලකණ්ණි යුද්ධ ඇතිවෙන්නෙ.

    ReplyDelete
  11. පුදුමේ කියන්නේ... තාමත් 'අප්පොච්චිලා' ප්‍රමෝට් කරන්නෙත් මේක. මිනිස්සු හුරේ කියන්නෙත් මේක. නමුත් කවුරුත් තේරුම් නොගන්නෙත් මේක.. ඉතිහාසයෙන් පාඩම් ඉගැනුමක් නැති ලාංකිකයෝ අපි

    ReplyDelete
    Replies
    1. ජාතිවාදය යොදාගෙන මෝඩ මිනිසුන් පාලනය කරන්න ලේසියි . ජයලලිතා කරන්නේ මේකමයි

      Delete
  12. ‍යුද්ධයේ ප්‍රධාන සංධිස්ථාන දෙකෙන් එකක්.
    දෙකම කල අයගේ පැත්තට විශාල පාඩුවක් වූ සිද්ධි

    LTTE එකට විශාලලෙස අනුකම්පාව ආධාර හා මිනිස් බලයක් ලැබීමේ ආරම්භය 83 ජූලි.
    LTTE එකේ අවසානයේ ආරම්භය රජීව් ගාන්ධි ඝාතනය.

    වෙන වැදගත් කාරණා තිබුනට LTTE එකේ නැගීම සහ බැහීමට මුල්වූ තනි සිද්ධීන් ලෙස ගත හැකි දේවල් දෙක

    ReplyDelete
    Replies
    1. LTTE එකේ අවසානයේ ආරම්භය කරුණා සාධකය

      Delete
    2. 83 ජූලිය අන්තර් ජාතික වශයෙන් සිංහලයන්ට විශාල හානියක් කලා. අපේ දේශප්‍රේමීන්ට තවමත් ඒඑක තේරෙන්නේ නැහැ

      Delete
  13. මේවා කරපු උන් ගෙන් අහන්න තියෙන්නේ දැන් ඉතිං සනීපද? කියල විතරයි

    ReplyDelete
    Replies
    1. ඔව් සනීපයි පිස්තොලේ අරන් ගියපු පොරගේ වෙසක් කලාපේ විවුර්ත කරන්නේ රටේ ජනාධිපති '

      Delete
    2. මේවා කරපු උන් නිසා විඳවූයේ අහක සිටි මිනිසුන්

      Delete
  14. 83 ගිනි තියන තැන්වල මාත් ගියා බලන්න. පිස්සෝ වගේ හැසිරුණු මෝඩයෝ රැලක් විතරයි දැක්කේ. හැබැයි ඒ මෝඩ රැලට ඒ විධිහට වැඩ කරන්න උසි ගැන්වුයේ ආණ්ඩුව එවකට තිබුන.
    http://nelumyaya.com/?p=3756

    ReplyDelete
    Replies
    1. සිරිල් මැතිව් ගාමිනී දිසානායක මේ ලූම්පන් කොටස් ෆෝම් ක​ළා

      Delete
  15. UNP anduwa meka sahayogaya dunna

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook