නිර්වින්දන වෛද්‍යවරයෙකු ලෙස සේවය කරන සමයේදී මා වඩාත්ම ප්‍රිය කලේ ස්පයිනල් ඇනස්තීසියා හෙවත් පිට කොන්දට බෙහෙත් විද හිරිවට්ටවා ශල්‍යකර්ම කිරීමට ඉඩ සලසා දීමටය. මෙම ස්පයිනල් ඇනස්තීසියා ක්‍රමයේදී රෝගියාට සිහිය තිබේ. එහෙත් වේදනාව දැනෙන්නේ නැත. මෙම ක්‍රමය අනුව උදරයේ සහ පාද වල ශල්‍යකර්ම ඉතා සාර්ථකව කල හැකිය. නමුත් මෙම ක්‍රමයට සමහරක් නිර්වින්දන වෛද්‍යවරු කැමති නැත. ඒ මන්ද යත් එක ඉන්ජෙක්ෂන් පහරින් රෝගියාගේ පිට කොන්දේ දියර හෙවත් මස්තිෂ්ක සුෂම්නා තරලය Cerebrospinal fluid (CSF) වෙත ලඟා විය යුතු නිසාය.
උතුරු කොලඹ ශික්ෂණ රෝහලේ නිර්වින්දන පුහුනුව ලබන කාලයේ අප රෝගීන් ගේ පිටවල් පෙනේර මෙන් විද ස්පයිනල් ඇනස්තීසියා පුහුණු වූ බවට පාපොච්චාරණය කල යුතුය. නමුත් මම ඉතා ඉක්මනින් පිට කොන්දට බෙහෙත් විද රෝගීන් හිරිවට්ටවීම පුරුදු වූයෙමි. පසුකාලීනව විනාඩි දෙක තුනක් ඇතුලත රෝගියාට වෙහෙසක් හෝ වේදනාවකින් තොරව එකවර නිර්වින්දනය කිරීමට මට හැකි විය. මේ සමත්කම නිසා හලාවත රෝහලේ ශල්‍යාගාරයේ හෙදියක වූ දීපා මිස් මට ආම්ස්ට්‍රෝං කියාද ශල්‍යාගාරයේ ඇටෙන්ඩන්වරයෙකු වූ නාමල් සද්ද විද්ද මහත්තයා කියාද නම් පට බැන්දහ.
ඒකාලයේ නාරි හා ප්‍රසව විශේෂඥ වෛද්‍ය එස් .ඩී රාජපක්ෂ මහතා තම සීසර් ශල්‍යකර්ම කිරීම සඳහා ස්පයිනල් ඇනස්තීසියා කෙරෙහි විශ්වාසය තැබුවේය. මවට සීසර් ශල්‍යකර්ම ස්පයිනල් ඇනස්තීසියා යටතේ කල විට දරුවාට ප්‍රසූතියෙන් පසු කිරි දිය හැකිය. එසේම අනෙකුත් නිර්වින්දන සංකුලතාවන් ද අවමය. මේ නිසා වෛද්‍ය එස් .ඩී රාජපක්ෂ මහතා ඔහුගේ ශල්‍යකර්ම වලදී මා ශල්‍යාගාරයේ සිටීම අපේක්ෂා කලේය. තවද වෛද්‍ය එස් .ඩී රාජපක්ෂ මහතා විසින් කල ඝර්භාෂය ඉවත් කිරීමේ ශල්‍යකර්ම වලටද මම ස්පයිනල් ඇනස්තීසියා දුන්නෙමි.
උතුරු කොලඹ ශික්ෂණ රෝහලේ නිර්වින්දන පුහුනුව මට ලබා දෙන ලද්දේ විශේෂඥ නිර්වින්දන වෛද්‍ය ප්‍රියංගනී ආරියරත්න මිය විසිනි. ප්‍රියංගනී ආරියරත්න මැඩම් විසින් උගන්වන ලද නිර්වින්දන පුහුනුව මම හොඳින් ග්‍රහණය කලෙමි. මේ නිසා නිර්වින්දනයේදී ,මතු වන සංකූලතා අවම වන ලෙස රෝගීන් නිර්වින්දනය කිරීමට මට හැකි විය.
2000 වසරේ සිට 2002 දක්වා මම හලාවත රෝහලේ නිර්වින්දන වෛද්‍යවරයෙකු ලෙස සේවය කලෙමි. මේ කාලය තුල අපට බොහෝ විට වැඩ කිරීමට සිදු වූයේ විශේෂඥ නිර්වින්දන වෛද්‍යවරයෙකු නොමැතිවය. හදිසි අවස්ථාවකදී අපට උදව්වට සිටියේ අප ලැබූ පුහුණුවත් නිර්වින්දන මැෂිමත් පමණි. වෙන කිසිවෙකු උදව්වට නොවීය. එක් අවස්ථාවකදී විශේෂඥ ශල්‍ය වෛද්‍ය බී.ජී.එන් රත්නසේන මහතාගේ ඉල්ලීම පරිදි ජීවිත තර්ජනයක් තිබූ දින හතරක් වයසැති අළුත උපන් බිලිඳෙකු බඩේ ඔපරේෂන් එකක් සඳහා මම සාර්ථකව නිර්වින්දනය කොට යළි බිළිඳාව සිහි ගැන්වූයෙමි. මම නිර්වින්දන වෛද්‍යවරයෙකු ලෙස එක නිර්වින්දන මරණයක් නොමැතිව රාජකාරී කල බව කියන්නේ නිහතමානීවය.
ස්පයිනල් ඇනස්තීසියා වලදී රෝගීන් ගේ රුධිර පීඩනය අඩු වීමේ අවදානමක් තිබේ. මේ නිසා සමහර නිර්වින්දන වෛද්‍යවරු ස්පයිනල් ඇනස්තීසියා වලට එතරම් කැමැත්තක් නොදක්වති. මෙම සංකූලතාව මග හරවා ගැනීමට මුලින්ම රෝගියාට සේලයින් පයින්ට් දෙක තුනක් දිය යුතුය. එවිට රුධිර පීඩනය අඩු වීමක් නොවේ. තවද රුධිර පීඩනය වරින් වර පරික්ෂා කල යුතුය. එසේම රුධිර පීඩනය අඩුවී යන විට වහාම එෆිඩ්රින් ඖෂධ ශිරාවට එන්නත් කල යුතුය.
ස්පයිනල් ඇනස්තීසියා වල මතු වන තවත් ගැටළුවක් නම් ශල්‍යකර්මයෙන් පසු රෝගීන්ට හිසේ කැක්කුම් ඇති වීමය. මෙය වලක්වා ගැනීමට රෝගීන්ට ශල්‍යකර්මයෙන් පසු වෛද්‍ය නිර්දේශ මත ජල පානය කිරීමට අවසරය ලැබූ වහාම ප්‍රශස්ථ ලෙස ජලය පානය කල යුතුය. එසේම ශල්‍යකර්මයෙන් පසු මාස දෙක තුනක් යන තෙක් හොඳින් ජලය පානය කිරීම නොකඩවා කල යුතුය. මේ ගැන රෝගීන් දැණුවත් කිරීම අවශ්‍ය කෙරේ.
පිට කොන්දට බෙහෙත් විද හිරිවට්ටවීමේදී රෝගීන් ගේ දෙපා තාවකාලිකව පණ නැති වී යයි. වරක් මම ද්‍රවිඩ කාන්තාවකට ස්පයිනල් ඇනස්තීසියා දුන්නෙමි. ඇය ශල්‍යකර්මය අතර මගදී මදෙස බලා "මට කෙළ වෙලා කීවාය" මම සිතුවේ මෙම කාන්තාව මා සමග විහිළු කරනවා කියාය. ඇය යලිත් වරක් මට කෙළ වෙලා කීවාය" ඊට පිලිතුරු වශයෙන් මමද " මටත් කෙළ වෙලා" කියා කීවෙමි. තව විනාඩි දෙක තුනක් ගිය තැන ඇය යලිත් "මට කෙළ වෙලා කීවාය" කීවාය. මම රෝගියා පරික්ෂා කලෙමි. රුධිර පීඩනය හෘධ ගැස්ම මේ සියළු දේ සංකූලතා විරහිතය. එහෙත් යලිත් වරක් ඇය "මට කෙළ වෙලා කීවාය"
පසුව බැලීමේදී ඇය ද්‍රවිඩ බසින් මට කියා තිබුනේ ඇයගේ දෙපා හිරි වැටී තිබෙන බවයි. මෙය දෙමලෙන් කියන විට ඇසෙන්නේ "මට කෙළ වෙලා " යන ස්වරයයි. ඉන්පසු මම ද්‍රවිඩ වෛද්‍යවරයෙකු වූ භරනීදරන් ගෙන්වා ගෙන මෙම දෙපා හිරි වැටීම තාවකාලික බවත් එය තව පැය දෙක තුනකින් ඉවත්ව යන බවත් තේරුම් කර දුන්නෙමි.
වෛද්‍ය රුවන් එම් ජයතුංග


