Monday, December 8, 2025

බුද්ධ චරිතය ඩීකන්ස්ට්‍රක්ට් කිරීම



මාර්ටින් වික්‍රමසිංහ භව තරණය පොත හරහා බුද්ධ චරිතය  ඩීකන්ස්ට්‍රක්ට්  කලා . ඒක හොඳ දෙයක්. අතීතයේ එතරම් දැන උගත්කම් නොතිබුනු ගැමියෝ බුද්ධ චරිතය දැක්කේ ප්‍රාතිහාර්‍යජනක දේව චරිතයක් ලෙස​. සිදුහත් කුමරා උපන් ගමන් ඇවිද්දා පොලවෙන් නෙළුම් මල් මතු උනා. බුදුන් ඇවිදින විට පොලවෙන් නෙළුම් මතු වෙනවා , සංගීත භාණ්ඩ ඉබේ වාදනය වෙනවා, දෙව් බඹුන් අහසේ ඉඳන් බිම වඩින බුදුන්ට මල් ඉහිනවා වගේ කතා. ඒ කාලේ සිටි විද්‍යාවක් හරි හැටි ඉගන නොගත් යතිවරු ගැමියන් ගේ මෝහ ෆැන්ටසි එක උද්දීපනය කරන්න ඒකට සරිලන බණ කිව්වා. මාර්ටින් වික්‍රමසිංහ භව තරණය හරහා මේ ගැමියන් ගේ මෝහ ෆැන්ටසි එකට කුළු ගෙඩි පාරක් දුන්නා. ඒක මේ දක්වා බුදු දහම ප්‍රාතිහාර්‍යජනක ආගමක් ඉවැන්ජලික ආගමක් ලෙස සිතා ගෙන ඉන්න ගැමියන්ට මෙන්ම ඔවුන් ගේ වර්තමාන පුරුක වූ තලෙබාන් බෞද්ධයන්ට දරා ගන්න අමාරුයි. ඒ නිසා තමයි මාර්ටින් වික්‍රමසිංහ භව තරණය ලියූ නිසා ඔහුව සිරගත කරන්න කියා ඒ කාලයේ පටන් උද්ඝෝෂණය කලේ.

බුදුන් පෙන්වා දුන්නේ අනාත්ම සහ අදේවවාදී දහමක්. එම දහමේ මැවුම්වාදය සර්වබලධාරී දෙවි කෙනෙක් සිටීම ප්‍රතික්ශේප කරනවා. කෙසේ නමුත් පසුකාලීනව ශ්‍රී ලාංකික බුදු දහමට හිංදු , ජයින අදහස් එක් වෙනවා, දෙවි දේවතාවුන් බුදු දහම තුලට රුවා ගන්නවා.  මාර්ටින් වික්‍රමසිංහ   බුද්ධ චරිතය   ඩීකන්ස්ට්‍රක්ට්   කිරීම මගින් බුදු දහමේ මානුෂික පැතිකඩ පිලිබඳ  යමක් කමක් තේරුම් ගන්න තර්කානුකූල බුද්ධියක් තිබූ පිරිස් වලට හැකි උනා. එසේම අර ගැමි  භක්තිය පිරි මෝහය සහිත දෙනෙත් වලින්  බුදුන් දෙස බලනවා වෙනුවට  ඔවුන් වඩාත් විචක්ශණශීලී ලෙස බුදුන් දැක්කා.

බුද්ධ චරිතය   ඩීකන්ස්ට්‍රක්ට්  කරන කොට පෙනී යන කරුන තමයි සිදුහත් කුමාරයා ඉපදෙන්නේ ප්‍රාදේශීය රජ පවුලකට. මානව විද්‍යාත්මකව ගත් විට සිදුහත් කුමාරයා අයත් වූයේ Mongoloid ජන වර්ගයට. සිදුහත් කුමාරයා ඉපදී සත් දිනකින් මව මිය යනවා. හේතුව Infection - septicemia  , post partum hemorrhage වගේ දෙයක් වෙන්න පුලුවන්. සිදුහත් කුමාරයා කුඩා කාලයේ සිටම එක්ස්පෝස් වන්නේ හිංදු ධර්මයට. ඔහු තුල යම් existential anxiety එකක් තිබූ බව කියන්න පුලුවන්. ඒ නිසා තමයි ජීවිතයේ අර්ථය සොයා ගියේ. නමුත් ඔහු ගිහි ජීවිතයේ කාමයන් උපරිම ලෙස භුක්ති වින්දා. තමාගේ සම වයස් යාලුවෙකු වූ චන්න සමග තරුණයන් නිබඳවම කරන රහස් ගමන් පවා ගියා. ( මෙය පසුකාලයක චන්න තුල ඉරිසියාවක් ගොඩ නැගෙනවා. තමාගේ අතීත මිත්‍රයා දැන් ඉන්නේ සැරියුත් / මුගලන්ලා වට කරගෙන​. ඒ නිසා අවලාද නගනවා.  චන්නව හික්මවා ගත්තේ බ්‍රක්ම දණ්ඩය පැනවීමෙන් . ඒකත් පනවන් නේ බුදුන් නික්ම ගිය පසුවයි). ​

සිදුහත් කුමරාට ලෝකයේ පවත්නා දූක පිලිබඳ යම් අවබෝධයක් කුඩා කාලයේ සිට ලැබෙන්නට ඇත. කුඩා කාලයේ සිට මාතෘ වියෝගය, තමන් සහ ඥාතීන් වියපත් වනවා දැකීම, මිනිසුන් ගේ මරණ දැකීම (එම කාලයේ ළදරු මරණ අනුපාතය ඉහල අගයක් ගත් අතර වයිරස් රෝග නිසා ගම් පිටින් විනාශ විය. මිනිසුන් බොහෝ ගනනක් මරු දුටුහ). මෙකී කාලයේ යුද්ධ බොහෝ සිදුවූ අතර යුද ආතතිය යුද ක්ලමථය සමාජය පුරා පැතිර ගියේය. නිසි ප්‍රතිකාර ක්‍රමයන් නොතිබූ නිසා මිනිසුන් බොහෝ දෙනෙකු ලෙඩ රෝග නිසා දුක් වින්දහ. මෙම සමාජ ව්‍යසන සිදුහත් කුමරාට අවබෝධ කර ගැනීමට සතර පෙර නිමිති අවශ්‍යම වූයේ නැත

සිදුහත් කුමාරයා ලෞකික සැපයන් කෙරෙහි කලකිරෙන්නේ නලඟනන් ගේ විකාර ලෙස බණ පොතේ දැක්වෙන ( නමුත් එතන තිබුනේ orgy එකක්) සිදුවීමකින් පසුවයි. ඔහු ගිහි ගෙය හැර ගිහින් ජීවිතයේ අරුත සොයනවා. ගුරුවරු දෙදෙනෙකු වෙත ගියා නමුත් ලොකු බුද්ධියක් ලැබුනේ නෑ. ඒකාලේ ජයින වෘත ජනප්රියයි. සිදුහත් ආහාර ගැනීම දැඩි ලෙස සීමා කරමින් ශරීරයට දුක් දෙනවා. මේ කාලය තුල සිදුහත් ජයින ආගම ඉගන ගන්න ඇති. ජයින පූජා කරන්න ඇති. වසර 6 ක් ආහාර ගැනීම දැඩි ලෙස සීමා කිරීම නිසා ශරීරයේ අප්‍රතිවර්ත්‍ය හානි සිදු වෙන්න ඇති. නමුත් පසුව මධ්‍යම ප්‍රතිපදාව කෙරෙහි ඔහු යොමු වෙනවා. සිදුහත් භාවනා කිරීම සමාධියට පත් වීම තුලින් යම් ආධ්‍යාත්මික තලයකට යනවා (පරියේෂණ මගින් භාවනාව තුලින් මොලයට රුධිර වහනය වැඩි වීම , ධූසර ද්‍රව්‍ය ඝනත්වය වැඩි වීම​, prefrontal cortex එක සක්‍රිය වීම පෙන්වා දී තිබෙනවා) මේ අනුව තමන් බුද්ධත්වයට පත් වූ බවට ඔහු proclaim කරනවා. ඒ කාලේ බුද්ධත්වය යනු සර්වඥතා ඥාණය ලැබීම සහ ආධ්‍යාත්මික සමාජය තුල බොහෝ දෙනෙක් උත්සහ කරපු ක්‍රියාවක්. බුදුන් ගේ සමකාලීන මහාවීර පවා තමන් සර්වඥ බව කියූ කෙනෙක්.මේ නිසා ඒ සමාජයේ තමන් බුදුන් බව කියූ යම් ප්‍රමාණයක් ඉන්නට ඇති.

මුල්ම බුද්ධ ශ්‍රාවකයෝ උනේ සමාජයේ ඉහලම සිටි පිරිස් , කුමාරවරු , සිටුුවරු. පසු කාලීනව සුනීත , උපාලි වගේ සමාජයේ පහල ස්ථර වල සිටි පිරිස් ද බුද්ධ සමජයට එකතු වෙනවා. බුදුන් තුල සියල්ල දත් ඟාණය , අධි මානුෂික බලය, දෙව් බඹුන් පිරිවරා ඇවිදීම වැනි කතා සාහිත්‍යකරුවා එකතු කරනවා. නමුත් බුද්ධ චරිතය කියවීමේදී පෙනී යන්නේ බුදුන් යනු දෙවියෙකු හෝ බඹෙකු නොව සාමාන්‍ය මිනිස්කු බවයි. මෙය බුදුන් ද පැවසූ කරුණක්. බුදුන් ගේ මහා පුරුෂ ලක්‍ෂණත් සාහිත්‍යකරුවා ගේ නිර්මානයක්. බුදුන් ගේ ශාරීරික ස්වරූපය පිලිබඳ ත්‍රිපිටකයේ දැක්වෙනවා. පුක්කුසාති රජතුමාට මුලින්ම බුදුන් අඳුන ගන්න බැරි වෙනවා ඔහු හිතුවේ කොමන් පැවිද්දෙක් කියලා. මේ අනුව රියන් 18ක් උස මහා පුරුෂ ලක්‍ෂණ තිබූ අධි මානුෂික මිනිසෙකු වෙනුවට බුදුන් සාමාන්‍ය පුද්ගලයෙකු ලෙස පුක්කුසාති රජු දකිනවා. මොන්ගොලොයිඩ් ජන වර්ගයේ සාමාන්‍ය උස  සෙන්ටි මීටර් 166-171 පමන වන බව මානව විද්‍යා වාර්තා පෙන්වා දෙනවා. 

යමාමහ පෙලහර - එක් රෝමකූපයකින් ජලය සහ ගින්න පිට කිරීම } මෙය Zoroastrian  වරුන් ගෙන් ලබා ගත් කොන්සෙප්ට් එකක් . ඔවුන් ගින්න පිදුවා. එක් ජාතක කතාවකත් තියනවා බෝධිසත්වයන් උපන් විගස දල්වන ලද ගින්නට වසර ගනනාවක් පූජා කලා. වරක් හරකෙක් ගින්න අසල බැඳ පූජා භාණ්ඩ ගේන්න යන විට හොරු කණ්ඩායමක් හරකව මරා ඒ ගින්නෙන් පුලුස්සලා කාලා. මින් බලාපොරොත්තු සිඳ ගන්නා බෝධිසත්වයන් හරකාගේ මලකුනේ ඉතිරිව තිබූ වල්ගයෙන් ගසා ගින්න නිවා දමනවා. ඉන් පසු ගිනි පිදුවේ නෑ. උරුවෙල කස්සප, ගයා කස්සප නදී කස්සප ආදීන්  Zoroastrian    ක්‍රමයට ගින්නට වන්දනා කලා. බිම් බිසාර රජු ඉදිරිපිට බුදුන් උරුවෙල කස්සපගෙන් අහනවා ගිනි පිදීම නැවතුවේ කවදා ඉඳන් ද ? කියලා. යමාමහ පෙලහර Mass hypnosis  එකක්. එය පිරිසක් සාමූහික මෝහනයට පත් කිරීමක්. තත්‍ය ලෙස බුදුන් ගේ සිරුරෙන් ගින්න සහ ජලය පිට වුනේ නෑ. බුදුන් තුල මෝහන හැකියාව තිබ්බා. කේමා බිසවට පවන් ගසන කුමාරිකාවකගේ රූපයක් මවා පෙන්වන්නේ මෝහන ඇනවුමක් (Hypnotic suggestion)  මගින්. එසේම නන්ද කුමාරයාට දාච්ච හේනක වැඳිරියක් පෙන්වන්නෙත් Hypnotic suggestion (මෝහන ඇනවුමක්) මගින්.

සිදුහත් කුමාරයාට පුතෙක් ඉපදුනා කිව්වම "රාහුලෝ ජාතෝ, බන්ධනං ජාතං" කියනවා. ඒ කියන්නේ ඔහු තම බිරිඳ දස මසක් ඝර්භිනී බවත් ළමයෙක් උපදින්න සිටි බවත් දැන නොසිටියා වෙන්න පුලුවන් ද ? පුතෙක් ඉපදුනා කිව්වම ඒක සප්‍රයිස් එකක් වෙන්නේ කොහොමද ? රාහුල කුමාරයා මහණ කරන්න ගෙනියනවා. නමුත් බුදුන්ට සත් වසක දරුවෙක් බලාගන්න දැණුමක් තිබ්බද ? ත්‍රිපිටකයේ තියනවා රාහුල කුමාරයා මාලිගාවෙන් පන්සලට ගිය දින රාත්‍රියේ නිදා ගන්න තැනක් නැතිව මුලු රාත්‍රියේම වැසිකිලියේ හිටියා කියලා. පියෙක් තම පුතාව පන්සලට ගෙනියනවා. ළමයා රෑට කන්නේ මොනවද , නිදා ගන්නේ කොහේද කියලා හොයන්නේ නෑ. මෙතන විස්තර කන්ෆුසිං

බුදුන් ලෝකයේ සිදු වන සියලු දේ දිවසින් දුටුවා කියන එකත් සාහිත්‍යකරුවන් ගේ නිර්මානයක්. බොහෝ අවස්ථාවලදී භික්‍ෂූන් තුල මතුවූ නොසන්සුන්කම් , බුදුන් වැඩ සිටි ප්‍රදේශ වල සිදුවූ ක්‍රියාකාරකම් පිලිබඳ විස්තර බුදුන් දැන ගන්නේ ආනන්ද හිමියන් ගෙන් විමසීමෙන්. (........වරෙක බුදුන් වහන්සේට මහ ඝෝෂාවක් ඇසී ‘ඒ මහා ඝොෂාව කුමක්ද?’යැයි ආනන්ද හිමිගෙන් විමසූ කල, ඒ හඬ ඇසෙන්නේ සාරිපුත්ත සහ මොග්ගල්ලාන රහතුන් වහන්සේ හා පැමිණි පන්සියයක් භික්‍ෂූන් ආචාර සමාචර කරමින්, ලැගුම් සකස් කරන හෙයිනැයි පවසනු අසා, ‘මාළු වෙළෙන්දන් සේ එසේ කෑ ගසන එම භික්‍ෂුන් අපසු යවන්න, යළි නොඑන්න යැයි පවසා යවන්න, ’ යැයි බුදුන් වහන්සේ වදාරා ඇත........ ) .එසේම තීර්ථකයන් විසින් බුදුන් විසූ පන්සලේ මල් ආසනය යට සුන්දරී ගේ මල සිරුර සඟවනවා. ඒ පිලිබඳව බුදුන් දැන ගන්නේ කුමන්ත්‍රණකරුවන් විසින් ඒ බව චෝදනා කිරීමෙන් පසුව​.

බුදුන් ගේ කාලයේ  මෙසපොටෙමියානු මෙන්ම ඊජිප්තු ශිෂ්ටාචාර හරහා තාරකා විද්‍යාව පිලිබඳ දැණුමක් අතීත භාරතයට ලැබී තිබුනි . ඒ ආශ්‍රිතව බුදුන්  තුලද යම් ප්‍රමාණයක තාරකා විද්‍යාව පිලිබඳ දැණුමක් තියෙන්නට ඇත. එසේම බුදුන් ලෝකය මැවීමක් පිලිබඳ ප්‍රතික්ශේප කල අයෙකි.  මේ නිසා තාරකා විද්‍යාව පිලිබඳ ස්වාධීන මනසකින් ගවේශනය කිරීමට හැකි වන්නට ඇත. නමුත් බුද්ධ දේශනාවේ සෞරග්‍රහ මණ්ඩලය පිලිබඳ හෝ ආසන්නතම ඇන්ඬ්‍රොමීඩා මන්දාකිණිය පිලිබඳවත් සඳහනක් නැත​. 

පැරණි ආගමක් වන Zoroastrianism වන්දනා කලේ ගින්න. ගිනි දෙවි පිදීම සාමූහික ආගමක් ලෙස ආරම්භ වන්නේ මොවුන් ගෙන්. බුදු දහමටද Zoroastrianism බලපෑම් තිබ්බා. බුදුන් යම මහ ප්‍රාතිහාරය ජලය සහ ගිනි විහිදවීම ආවේ Zoroastrianism සංකල්ප තුලින්. එසේම ජාතක කතා වල සඳහන් වෙනවා බෝසතුන් උපන් දින පත්තු කරන ලද ගින්න ආරක්‍ෂා කරගෙන එය වන්දනාමාන කල අයුරුත් ඒ ගින්නට ගවයෙක් පූජා කොට පූජා භාණ්ඩ ගෙන ඒමට ගියා විට වැද්දන් පිරිසක් එම ගවයා මරා එම ගින්නෙන්ම පලහාගෙන කෑ අයුරු සහ ඉන් කලකිරීමට පත් බෝසතුන් එම ගින්න නිවා ගිනි පිදීම නවතා දැමූ අයුරු. එසේම තුන් බෑ ජටිලයෝ කලේ ගිනි පිදීම මොවුන් Zoroastrian භක්තිකයන් විය හැකියි.

බුද්ධාගමේ ප්‍රේමය වෙනුවට තියෙන්නේ මයිත්‍රිය සහ උපේක්‍ෂාව. ඉන්ටිමේට් ආදරය පිලිබඳ බුද්ධාගම දරන්නේ උදාසීන බවක්. භද්‍ර‍කාපිලානි සහ පිප්ඵලී කස්සප ජයින අදහස් නිසා නිකරුනේ සත්ව ඝාතන වරදකාරී බවක් සිතට දා ගන්නවා. මේ දෙදෙනා තුල ලිංගික ආශාව අඩුයි. එය hypoactive sexual desire තත්වයක් කියන්න පුලුවන්. දෙදෙනාම ගිහි ගෙය හැර යනවා. එසේම පිංගුත්තර ( උම්මග ජාතකය ) තුලත් මේ  hypoactive sexual desire    තියනවා. බුදුන්   celibate   හෙවත් ලිංගික සම්බන්ධතාවලින් වැළකී සිටීමට ශ්‍රාවකයන්ට උපදෙස් දුන්නා.

දේවදත්ත සිදුහත් ගේ මස්සිනා. දෙන්නා ගිහි කාලේ ආරවුල් තිබ්බා. සිදුහත් බුදු වූ පසු දේවදත්තත් ඒ භික්‍ෂු සමාජයට බැඳුනා. බැඳුනේ බුදුන් ගේ නායක පුටුව ගන්න. ඒක තමයි ඔහු කිව්වේ මම බුදුන් මරා බුදු වෙමි කියලා. දේවදත්තට බුදු යනු තනතුරක් උනා. ඔහු අජාසත්තව යාලු කරගෙන බුදුන්ව මරන්න දුනුවායෝ යැව්වා, නාලාගිරි ඇතා එව්වා, ගල් පෙරලුවා හරි ගියේ නෑ. ඊට පස්සේ භික්‍ෂූන් අතර කැරැල්ලක් ගහලා 500 වෙන් කරගෙන තමන් ගේ සමාගමක් හැදුවා. දේවදත්ත බුදුන් ගෙන් 500 සාමාජිකයෝ කඩන්න මූලිකව භාවිතා කලේ භික්‍ෂුව මස් මාලු නොකෑ යුතුයි කියන වියාජ සීල ස්ලෝගන් එක. ඒ කාලෙ ජයින මත ප්‍රබලයි. මේ නිසා දේවදත්ත ගේ මාංශ විරෝධී කැම්පේන් එක නැගලා ගියා.

බුදුන් ගේ ලංකා ආගමනයට පුරාවිද්‍යාත්මක සාක්‍ෂි නැති බව පරණවිතාන මහතා කිව්වා.  බුදුන් ලංකාව විසිට් කල බව සිතන්න අමාරුයි. බුදු දහම තියන බුරුමය ආදී රටවල ජනයා විශ්වාස කරනවා බුදුන් ඔවුන් ගේ රටවලට ආවා කියලා. මේක භක්තිය මුල් කරගෙන තිබෙන විශ්වාසයක් මිසක් පුරා විද්‍යාත්මක සහ තර්කානුකූල නිගමන නොවේ

බුදුන් වැඩ හිටියේ සැප පහසුව තිබූ ජේතවනාරාමය ,පූර්වාරාමය,  ඝෝෂිතාරාමය , කුක්කුටාරාමය වගේ පන්සල් වල​. නමුත් ඇතැම් අවස්ථා වලදී කුඹල්හල් වලත් රාත්‍රිය ගත කලා. ජයින ක්‍රමයට අපිරිසිදුව ගස් ගල් යට හිටියේ නෑ. බුදුන් කොසොල් , බිම් බිසාර ,අජාසත්ත වැනි රජුන් ඇසුරු කලා නමුත් ඔවුන් ගේ රාජ්‍ය පාලනයට අත දැම්මේ ඒවා මැනිපියුලේට් කලේ නෑ.   රට තුල  සිදුව න දේශපාලන වාතාවරණය පිලිබඳ අදහස් මේ සංවාද මගින් බුදුන් ලබා ගත්තා . මේ අනුව තමයි විඩූඪභ ශාක්‍ය ජෙනසයිඩ් එකක් කිරීමට අර අඳින බව තේරුම් ගත්තේ. බුදුන් වහන්සේ  emotionally non reactive , චරිතයක් නොවෙයි. යම් ආකාරයක චිත්තාවේගීය ප්‍රතිචාරයන් පෙන්නුවා. භික්‍ෂූන් දබර කර ගන්න විට ඔවුන්ව අත් හැර පාරිලෙයිය වනයට යන්නේ එක්තරා negativity ආකාරයක  එක්ක. ඒ වගේම විනය නීති කඩ කරපු භික්‍ෂූන්ට දෝශාරෝපනය  කල අවස්ථා තියනවා.

බුදු දහම මූලික හරයෙන් අදේවවාදී (Non-theistic) දර්ශනයක් උනත් පසුකාලීනව බුදු සමයට හිමීට දෙවිවරු ඇතුල් කරනවා. එමගින් දෙවියන්ට නව බෞද්ධ අර්ථකථනයක් දෙනවා.  ශක්‍රයා යනු දෙවියෙක්ද ? සමහරු කියන පරිදි ශක්‍රයා යනු පර්සියාවේ ඩෙරියස් රජතුමා.  

 "සංසාරය" (භවයෙන් භවයට නැවත නැවත උපදිමින් යන ගමන) යන සංකල්පය මුලින්ම ලෝකයට ඉදිරිපත් කළේ බුදුදහම නෙවෙයි. උපනිෂද් ග්‍රන්ථ (Upanishads) තුළ සංසාරය සහ කර්මය පිළිබඳ මූලික අදහස් මුලින්ම ලිඛිතව සාකච්ඡා කර තිබෙනවා. බුදු සමයට පෙර සිටම ප්‍රචලිත වූ මහාවීර ගේ ජෛන දර්ශනය තුළද සංසාරය සහ ඉන් මිදීම (මොක්ෂය) ප්‍රධාන ඉගැන්වීමක් වුණා. බුදු දහමට "සංසාරය" නමැති සංකල්පය ඇතුළත් වූයේ එවකට භාරතීය සමාජයේ (ක්‍රි.පූ. 6 වන සියවසේ) පැවති පොදු ආගමික සහ දාර්ශනික පසුබිම තුළින්. අනාත්ම දහමක් වූ බුදු දහම සංසාරයක් ගැන කිව්වේ කෙසේද? සමහරු මෙයට පිලිතුරක් ලෙස හේතු-ඵල දහම (පටිච්චසමුප්පාදය) ආශ්‍රයෙන් කරුනු පෙන්වා දෙනවා.

වච්චගොත්ත සංවාදයේ නාගසේන සංවාදයේ පුනරුප්පතිය පිලිබඳ අදහස් vague.   පුනර්භවය වෛද්‍ය විද්‍යාත්මකව හෝ පොදුවේ පිළිගත් නූතන විද්‍යාව මඟින් "නිරපේක්ෂ ලෙස තහවුරු කර" (Medically or Scientifically Proven) නැත.  බුදු දහම අනාත්මවාදී දහමක් ; මම කියා පුද්ගලයෙක් නෑ. සිරිපාල මිය ගිහින් ගුණපාල වෙලා ඉපදෙනවා කියන එක බුදු දහමට එකඟ නෑ. එතන තියෙන්නේ ආත්මවාදය. පුනරුප්පත්තිය සත්‍ය බව කියන්න අපේ මිනිස්සු ගන්නේ ඉයන් ස්ටීවන්සන් ගේ පුනරුප්පත්ති පරියේෂණ ( ඉයන් ස්ටීවන්සන් ගේ ක්‍රමවේදයේ දෝශ බව සහ ඔහුගේ පරියේෂණ වල දෝශ බව සනාත වෙලා ඉවරයි. යෝක් විශ්ව විද්‍යාලයේ පරියේෂණ පිලිබඳ මහාචාර්‍ය ඇලස්ටෙයාර් මැප් - ඔහු මගේත් ගුරුවරයෙක්. ඉයන් ස්ටීවන්සන් ගේ පුනරුප්පත්ති පරියේෂණ වල සදොස් තැන් පෙන්වා දී තිබෙනවා. ) දෙවනුව අපේ මිනිස්සු ගන්නේ සංසාර මන්දිර කතාව සහ එඩ්ගා කේසී . එඩ්ගා කේසී ගේ පුනරුප්පති කතා ප්‍රලාප බව හොඳින් අධ්‍යනය කරන කොට පේනවා. ඊලඟට ගේන්නේ නැවත උපන් දැරිය  ඥානතිලකා කතාව - අමු පචයක්. මේ අධ්‍යනය තුල බොහෝ දෝෂ තිබෙනවා. පරියේෂකයෝ අරනායක රෝහලේ 1954 මිය ගිය   ටියුරින් තිලකරත්න  ගේ මරණ සහතිකය ලෙස පරියේෂකයෝ ඉදිරිපත් කොට තිබෙන්නේ වෙනත් පුද්ගලයෙකු ගේ මරණ සහතිකයක්.  මේ බව මුලින්ම පෙන්වා දුන්නේ ඒබ්‍රහම් කොවූර්. එසේම  ඤාණතිලකා - නැවත උපන් දැරිය සිද්ධි අධ්‍යනයේ පරියේෂකයෝ තම පරියේෂණය සිදු කලේ දෝෂ සහිතව . ඔවුන් confirmation bias හෙවත් තමන්ට වාසිදායක දත්ත ඉස්මතු කලා. තම මතය සනාත කිරීමට බාධා වන දත්ත ඉවත් කලා. එසේම නිරන්තරයෙන්ම තමන්ට අවශ්‍ය පිලිතුර ළදැරිය ගෙන් ගැනීමට එකම ප්‍රශ්නය පුන පුනා ඇසීමෙන් දැරියව conditioned  හෙවත් තත්වාරෝපණය කලා. සයන්ටිෆික් රිසර්ච් හෙවත් විද්‍යාත්මක පරියේෂණ ක්‍රම වේදයන් උල්ලඝනය කරමින් දෝෂ සහිතව තමයි "නැවත උපන් දැරිය"ශ්‍රී ලංකාවේ ප්‍රථම ශාස්ත්‍රීය පුනරුත්පත්ති පර්‍යේෂණය සිදු කොට තිබෙන්නේ. ඒ අනුව මේ සිද්ධි අධ්‍යනය පුනරුප්පතිය සනාත කරන පර්‍යේෂණයක් නොවේ. 

අද විශාල සංවාදයක් යනවා බුදුන් ඉපදුනේ ඉන් දියාවේද ලංකාවෙද කියා. සමහරු කියනවා බුදුන් ඉපදුනේ ලංකාවේ කියලා. බුදු උපත නිශ්චිත ලෙස තහවුරු කර ගන්න බැරිව වාද කරන අවස්ථාවක බුදුන් වදාල ධර්මය මේකමය කියා නිවැරදිවම කියන්නේ කෙසේද​? ශතවර්ශ ගනනාවක් පුරා බුදු දහමට විවිධ මත අදහස් මිශ්‍ර උනා. ඒ නිසා ඔරිජිනල් බුදු බණ මොකක්ද කියා කෙනෙකුට ප්‍රත්‍යක්‍ෂවම පෙන්නා දෙන්න අපහසුයි. 

බුදුන්ගේ පරිනිර්වාණයට  ආසන්න හේතුව වූයේ ලෝහිතපක්ඛන්දිකා හෙවත් ලේ අතීසාර රෝගය බව ධර්ම ග්‍රන්ථ වල දැක්වේ. ධර්ම ග්‍රන්ථ වල දැක්වෙන විස්තර සලකා බැලීමේදී මෙම ලෝහිතපක්ඛන්දිකා රෝගය Mesenteric Ischemia (Bowel Infarction) ලෙස උපකල්පනය කල හැකිය. මෙම තත්වය සය වසරක දුෂ්කර ක්‍රියා නිසා ඇතිවූ දුර් විපාකයක් විය හැකිය.​බුද්ධ පරිනිර්වාණය එක්තරා අන්දමක  euthanasia එකක් ද ? බුදුන් මේ දිනයේ මේ වේලාවේ උපවර්තන සල් උයනේ පරිනිර්වානය කරන බව කල් තියා කිව්වා. ආයු සංඛාරය අත් හැරීම යනු ජීව විද්‍යාත්මක පැවැත්ම නවතා දැමීමද ?

බුද්ධ චරිතය ඩීකන්ස්ට්‍රක්ට් කිරීම එක්තරා ආකාරයක විද්‍යාත්මක පදනමකින් බුද්ධ චරිතය විශ්ලේශනය කිරීමක්. මෙය මුලින්ම පටන් ගත්තේ මාර්ටින් වික්‍රමසිංහ


වෛද්‍ය රුවන් එම් ජයතුංග 




Sunday, December 7, 2025

ආපදා වලින් පසුව බුදු පිලිම වලට හාණි නොවීමේ ප්‍රාතිහාර්‍ය

 



ස්වභාවික ආපදා වලින් පසුව හාණි නොවී තිබූ බුදු පිලිම පිලිබඳ චායාරූප බුකියේ සංසරණය වනවා දුටුවෙමි. ස්වභාවික ආපදා වලින් බුදු පිලිම වලට හාණි සිදු නොවූයේ විශ්මිත බලයකින් බව ඇතැමෙකු සිතති. 

ස්වභාවික ආපදා වලින් පසුව හාණි නොවී තිබූ බුදු පිලිම පිලිබඳ කථිකාව මනෝ විද්‍යාවේ සඳහන් වන "Confirmation Bias" (තහවුරු කිරීමේ නැඹුරුව) පිලිබඳ  අනගි නිදසුනකි. මෙහිදී  චායාරූප උලුප්පනු ලබුවේ ස්වභාවික ආපදා වලින් පසුව හාණි නොවී තිබූ බුදු පිලිම පිලිබඳ චායාරූප පමණි. ස්වභාවික ආපදා වලින් පසුව හාණි  වී තිබූ බුදු පිලිම මෙහිදී පෙන්වනු ලැබුවේ නැත​. එසේම ස්වභාවික ආපදා වලින් පසුව හාණි නොවී තිබූ වෙනත් ආගමික , පිලිම දේව   පිලිම  හෝ ක්‍රියාන්විතයේදී මිය ගිය රණවිරුවන් ගේ පිළිම මෙහිදී සලකා බැලුවේ නැත​. තවද අනෙකුත් ආගම් වල බැතිමතුන් ද මෙවැනි ආකාරයේ ආගමික විශ්වාසයන්ට නැඹුරු බවක් දක්වති. සුනාමියේදී හාණි නොවූ ක්‍රිස්තුස්වහන්සේ ගේ පිලිම දේව මෑණියන් ගේ පිලිම වල චායාරූපද එකල ක්‍රිස්තියානි ජනයා ජීවත් වූ ප්‍රදේශ වල සංසරණය විය​..

මෙහිදී වරණීය අර්ථකථනය සහ ආඛ්‍යාන රාමු කිරීම (Selective Interpretation and Narrative Framing) සඳහා අඩු තාර්කික ඥාණයක් ඇති (වැඩි ආගමික භක්තිය සහ අඩු තාර්කික බුද්ධිය)  පුද්ගලයෝ යොමු වෙති. ඔවුන් ආගමික සංකේත නොනැසී පවතින අවස්ථා කෙරෙහි අවධානය යොමු කිරීමට නැඹුරු වන අතර විනාශ වූ ඒවා කෙරෙහි අඩු අවධානයක් යොමු කරති.  මෙය මෙය තෝරාගත් අර්ථකථන ආකාරයකි (Selective Perception) එහිදී විනාශ නොවූ  පිළිම කෙරෙහි අවධානය යොමු කිරීමෙන් එය සංඛ්‍යානමය හැකියාවක් (statical probability) වෙනුවට අද්විතීය, දිව්‍යමය බලපෑමට ලක් වූ සිදුවීමක් ලෙස  පිලි ගනිති. 

මිනිස් ජීවිත සිය ගනන් බිලි ගෙන නිවාස රැසක් විනාශ කල සුනාමියකදී සමහරක් බුදු පිලිම ආරක්‍ෂා වීම විද්‍යාත්මකව විග්‍රහ වන්නේ පිලිමයේ රවුම් ස්වභාවය සහ එහි අනෙකුත් භෞතික ව්‍යුහය මතිනි. මේ ස්වභාවය නොගත් විනාශ වූ පිලිම මිනිසුන් ගේ අවධානයට යොමු වන්නේ නැත​. 

ලෝකයේ අනෙකුත් ජාතීන් අතරද තම තමන් ගේ ආගමික සංකේත ස්වභාවික ආපදා වලින් විනාශ නොවී තිබීම මෙලෙස හරහා අර්ථ දැක්වීම කෙරෙනු දැකිය හැක​.  ඉන්දියාවේ , මෙක්සිකෝවේ හෝ අප්‍රිකානු රට වල මෙම තත්වය බහුලව දැකිය හැකි වෙයි.

බුදු දහම යනු ප්‍රාතිහාර්‍යන් පිලිබඳ දහමක් නොවේ. බුදු දහමේ මූලික අංගය අනිත්‍යතා ධර්මයයි. විශ්වයේ සියලුම දේවල් අනිත්‍ය වන අතර එය බුදු පිලිමයටද අදාලය​. එසේම බුදුන් ගේ ශරීරයද අනිත්‍ය වූ බව ධර්ම පුස්තකයන් කියවීමේදී පෙනීයයි. එක් අවස්ථාවකදී බුදුන් තම ශරීරය උපමා කරන්නේ දිරා ගිය විනාශ වෙමින් පවතින ගැලකටය​. 

මිනිසුන් මෙලෙස බුදු පිලිම වලින් ප්‍රාතිහාරයන් අපේක්‍ෂා කරන්නේ බුදු දහමේ හරය වටහා ගැනීමේ නොහැකියාව නිසාය​. තමන් තුල පවතින අනාරක්‍ෂිත බව සඳහා මිනිසා ස්වභාව ධර්මයෙන් නොබඳවම යම් ගැලවීමක් අපේක්‍ෂා  කරයි. මේ නිසා සම්භාවිතාව අමතක කොට තහවුරු කිරීමේ නැඹුරුව ඔස්සේ මිනිසුන් පිලිම වලින් ප්‍රාතිහාර්‍යන් දැකීමට ඔවුන් උත්සුක වෙති. බුදු පිලිම වලින් බුදු දහමේ හර පද්දතිය වටහා ගන්නට යන්නන් වැටෙන්නේ මේ මිත්‍යා ආවාටයටය​. ඔවුන් බුදු දහම අවබෝධ කර ගන්නේ පිලිම හරහාය​. ඒ නිසා ඔවුන් "Confirmation Bias" (තහවුරු කිරීමේ නැඹුරුව) කෙරෙහි පහසුවෙන් ගොදුරු වෙති. 





Thursday, December 4, 2025

රෝහල් ඇටෙන්ඩන්ලා නොහොත් උපස්ථායකයෝ




රෝහල්  ඇටෙන්ඩන්ලා කියන්නේ වෙනම ලෝකයක්. අපේ සෞඛ්‍ය සේවයේ සිටි හොඳ සේවයක් කරපු ඇටෙන්ඩන්ලා මෙන්ම ලෝකෝත්තරයෝ මට හමු වෙලා තියනවා. මාතලේ රෝහලේ වික්ටර්  , නොයෙල් ,  , ජයම්පති, කරු ( පසුව විභාග පාස් වී මේල් නර්ස් කෙනෙක් උනා) නියම රෝගී සත්කාර කලා.  

මීගමුව රෝහලේ ඇටෙන්ඩන් කෙනෙක් හිටියා රෝගීන් ගෙන් ගාන කපාගෙන අපි ලඟට බේත් ගන්න අර ගෙන එනවා සර් මේ මගේ බාප්පා , මේ මගේ අක්කා , මේ අපේ මල්ලී කිය කිය. 

හෙදි උපස්ථායක නිල ඇඳුම් වලිය යන කාලේ මම හිටියේ රාගම රෝහලේ. ඇටෙන්ඩන් කාන්තාවෝ හෙදියෝ වගේ සුදු ගවුමට මාරු උනා ඉස්සර ඇන්දේ සුදු ඔසරිය වගේ එකක්. ඇටෙන්ඩන් කාන්තාවෝ හෙදියෝ වගේ සුදු ගවුම අඳින එකට නර්ස්ලා විරුද්ධ උනා. එක  ඇටෙන්ඩන් කෙනෙක් රෝහල් බිත්තියේ ලියලා තිබ්බා ඔබට සිවුර අපට ගවුම කියලා. ඒ හෙදි යූනියන් එක කලේ මුරුත්තෙට්වේ නිසා. මේක මට ඊඑන්ටී විශේසඥ වෛද්‍ය ශාන්ත පෙරේරා මහතා පෙන්නුවා. අපි දෙන්නටම  හිනා ගියා. ඒත් නර්ස්ලා දකියි කියලා කටවල් වහ ගත්තා. 

තවත් රෑක කුනු වෙන්න බීලා බිත්තියේ මුල්ලක නිදාගෙන හිටියා. ලෙඩ්ඩු බලන්න ආපු පිරිසක් " අන්න මේල් නර්ස් මහත්තය කුනු වෙන්ඩ බීලා දොයි කිව්වා. හේතුව  ඇටෙන්ඩන්ලත් මේල් නර්ස් ලා වගේ සුදු දිග කලිසම අඳින්න ගත්ත නිසා. 

රෝහල්  ඇටෙන්ඩන්ලා කියන්නේ පරිපාලනය විසින් නිසි ලෙස කළමනාකරණය කල යුතු ශ්‍රේණයක්. හොඳට කළමනාකරණය කලොත් අගනා සම්පතක්. වැරදි විදිහට හැඞ්ල් කලොත් විනාශයක්. සමහර දොස්තරලා තමන් ගේ කුනු කොන්තරත් කර ගන්න රෝහල්  ඇටෙන්ඩන්ලා  යොදාගත් අවස්ථාත් තිබුනා. ඒ වගේම අදක්‍ෂ පරිපාලකයෝ රෝහල්  ඇටෙන්ඩන්ලා සහ අනෙකුත් කාර්‍ය මණ්ඩලය අතර ඝට්ටන හදලා ඩිවයිඩ් ඇන්ඬ් රූල් සිස්ටම් එකත් කෙරුවා.  තමන් ගේ වාට්ටු වලට නිතර නොඑන චැනල් සේවයේ කාලය ගත කරන සමහර විශේසඥ වෛද්‍යවරු තම තමන් ගේ වාට්ටු වල සිදු වන දේ කේලම් වශයෙන් අසා ගන්න ඇටෙන්ඩන්ලා භාවිත කරපු අවස්ථාත් දුටුවා. 

අපි ආපු මුල් කාලේ ඔවුන් ඇන්දේ ඒප්‍රන් එක සහ සුදු සරම.  මීගමුවේ , රාගම සහ හලාවත  තියටර් ඇටෙන්ඩන්ලා හිටියා නියම ඔලු තිබ්බ කොල්ලෝ. උන් ලඟ මාර කොමන් සෙන්ස් තිබ්බා. දුප්පත්කම නිසා අධ්‍යාපනය ඉහලට කර ගන්න බැරි උන එවුන් . උන්ට ඔපචුනිටි එකක් ලැබුනා නම් උන් ඉහලට ඉගන ගන්නවා.  ඒ වගේම රෝහල් වල දැක්කා මාර මානුෂික ගති තිබ්බ ඇටාලා. සමහර නර්ස්ලා කාලි අම්මා වැහිලා ක්‍රෝධයෙන් ක්‍රියා කරන කොට මේ අය මෙත්තාවෙන් රෝගීන් බලා ගත්තා. මාතලේ රෝහලේ වික්ටර්, කොලොන්ගොඩ රෝහලේ ලයනල් වගේ රෝහල්  ඇටෙන්ඩන්ලාට හදිසියකට සූචස් දාන්න , කැතීටර් නිවරදිව ඉන්ටර්න් කෙනෙක්ට වඩා හොඳට දාන්න හැකියාව තිබ්බා.  සමහර නයිට් ඔන් කෝල් වලදී මේ වගේ ස්කිල් එක තියන  ඇටෙන්ඩන්ලා ඉන්න කොට හිතට හයියක් දැනුනා. මීගමුව හලාවත රාගම රෝහල් වල තියටර් ඇටෙන්ඩන්ලා හිටියා රෝගියෙක් ඇරෙස්ට් වෙන කොට අදාල ඉමර්ජන්සි බඩු ලඟට ගෙනල්ල දෙන​. දක්‍ෂ මානුෂික ගති තියන ඇටෙන්ඩන්ලා කියන්නේ රෝහලට සම්පතක්. 





කර්මය




බුදුන් කිව්වේ කර්මය යනු චේතනාව කියලා. මම 88-89 කාලයේ මිනිසුන් වධයට පත් කල මිනිසුන් 20 ගේ පමණ ඝාතන වලට වග කිව යුතු  PTSD තත්වයෙන් පෙලුනු interrogator කෙනෙක්ට ප්‍රතිකාර කලා. ඔහු තුල තදබල විශාද වරදකාරී බව තිබ්බා. ඔහු නිතරම කිව්වේ මා විසින් මරා දැමූ මිනිසුන් 20 දෙනාගේ පාපය මා පසුපස එනවා කියලා. 

හිරෝෂීමාවට බෝම්බය දමා මිනිසුන් 100000 පමණ ඝාතනය කල පයිලට් විසින් අවසාන කාලයේ දුන් ඉන්ටවිව් එකක් මම කියෙව්වා. ඔහු ඒ මරණ නිසා සසල වෙලා තිබුනේ නෑ. ඔහුගේ අර්ථ කථනය මේ බෝම්බය නිසා ඇමරිකන් ජීවිත ලක්‍ෂ ගනනක් බේරුනා කියන එක​. මේ අනුව එකී පයිලට් තුල විශාදයේ සේයාවන් පවා පේන්නට නෑ. කර්මය යනු තමන් තමන් ගේ ක්‍රියා පිලිබඳ කරන ධනාත්මක හෝ සෘණාත්මක අර්ථකථනය ද ? 

අතීතයේ මිනිසුන් නැරටිව් භාවිතා කලා. යම් කිසි අණතුරක් මරණ සිදු වුනාට පසු ඔවුන් ඒවා පිලිබඳ තම තමන් ගේ දැණුම අත් දැකීම් මත කතන්දර බිහි කලා. මේ කතා වලට කර්ම තියරිය , මරනින් මතු ජීවිතය පිලිබඳ විශ්වාස එකතු කලා. උදාහරණයක් ලෙස භික්ෂූන් හත් නමක් ගල් ලෙනක සිරවී දුක් විඳි කථාව බලන්න. ඒකට ඌන පුරාණයක් එකතු කරනවා ඒ අය අතීතයේ කරපු ක්‍රියාවක් නිසා මේ දේ උනා කියලා. මේ භික්‍ෂූන් හත් නම පෙර ගොපළු දරුවන් වී සිටිය දී තලගොයෙකූ තුඹසක සිරකර තැබූ පවින් මෙසේ ආත්මභාව දාහතරක් ම ආහාර පාන කිසිවක් නොමැතිව දින 07 ක් ගල් ලෙනක සිරවී දුක් විඳි බවට. මේ කතා වැලිඩේට් කරන්න මේක බුදුන් කිව්වා කියලත් කියනවා.

මීට වසර කීපයකට පෙර තායිලන්තයේ ගුහා බලන්න ගිහින් සිසුන් කණ්ඩායමක් ගුහා තුල සිර වෙනවා. මේ සිද්ධියටත් අර වගේ නැරටිව් එකක් එකතු කරන්න පුලුවන් ඔවුන් අතීත භවයක කරපු දෙයක් නිසා සිර වුනා කියලා. ඊයේ පෙරේදා ඩක්කුවේ කේබල් එක කැඩිලා භික්‍ෂූන් පිරිසක් මාරාන්තික අණතුරට පත් වීමටත් නැරටිව් එකක් මේ වගේ දෙන්න පුලුවන් දීපංකර බුදු සමයේ මේ භික්‍ෂූන් සිසුන් පිරිසක් ඔවුන් බල්ලෙක් පැසක දාලා පර්වතයකින් පහලට තල්ලු කලා. ඒකේ විපාක ආත්ම ලක්‍ෂයක් පුරා විඳවනවා කියලා.

මිනිසා තුල කතා ගෙතීමට ඇති හැකියාවක් තියනවා. එය මිනිස් මොලය පරිනාමය ඔස්සේ ලබා ගත් පරිකල්පන චින්තනයේ ප්‍රතිඑලයක්.

සොරකම් කිරීම - පුද්ගලික දේපල සංකල්පය සමාජයට ආ පසු තමයි සොරකම කියන එක පාපයක් ලෙස ආගමික සංස්ථා එස්ටැබ්ලිෂ් කරන්නේ. ඒ කියන්නේ සොරකම කියන පාපය යුනිවර්සල් කොන්සෙප්ට් එකක් උනේ නෑ.  අපාය සහ දිව්‍ය ලෝක කොන්සෙප්ට්ස් සෑම ආගමකම තියනවා සෑම සමාජයකම තියනවා. අප්‍රිකා කලාපයේ ඉන්න මිනිසුන් විශ්වාස කරන අපාය අධි රස්නෙයි. ටිබෙට් මිනිසුන් විශ්වාස කරන අපාය අධි ශීතයි. සෑම සමාජයක්ම කර්මය අපාය දිව්‍ය ලෝකය පිලිබඳ නැරටිව්ස් හදලා තියනවා. කර්ම කොන්සෙප්ට් එක ආවේ ජයින ආගමෙන් ද ?  ඇන්ත්‍රපොලොජි කෝණයෙන් බල කොට  අපාය සහ දිව්‍ය ලෝක කොන්සෙප්ට්ස් මිනිසුන් විසින් හදපු දේවල් ලෙස පෙනී යනවා. 

කර්ම එල පිලිබඳ කතා කිරීමේදී  මේ කතාව මට මතක් වෙයි. සෝමේ නම් ගව ඝාතකයා තම ජීවිත කාලය තුල ගවයන් 200 පමණ ඝාතනය කල අතර ජීවිතයේ අවසාන කාලයේ ඉතා දුක් විඳ  මිය ගියේය​.  තම ජීවිත කාලය තුල ගවයන් ලක්‍ෂ ගනනක් ඝාතනය කල ආජෙන්ටිනා ජාතික මස් කර්මාන්ත හිමියෙක් මිය යන්නේ සුව පහසු ලෙස ලොස් ඇන්ජලිස් නගරයේ රෝහලකය​. කර්මය පසුකාලීන ආත්මයක පල දෙන බවට මෙහිදී ඇතැමෙකු විසින්  කිව හැකිය​. මා මෙහිදී පෙන්වා දෙන්නේ සෝමේ වැනි චරිත හරහා කර්මය ඒත්තු ගන්වන්නට උත්සහ කරන්නන්ට දෙන පිලිතුරක් ලෙසටය​.

සමාජ විද්‍යාඥයකු, මානවවිද්‍යා පර්‍යේෂකයකු වූ මහාචාර්‍ය නන්දසේන රත්නපාල මහතා විවිධ පුද්ගලයන් ගේ අස්වාභාවික චර්‍යාවන් පිළිබඳව සවිස්තරව ලියා තිබේ. එහෙත් මේ චර්‍යාවන් ගේ මූලයන් ගැන මහාචාර්‍ය   රත්නපාල දීර්ඝ වශයෙන් කරුණු දක්වා නොමැත්තේ  මස්තිෂ්කය සහ ඒ හා බැඳුණු ජීව රසායණික ක්‍රියාදාමය පිළිබඳ එතුමා අධ්‍යනය නොහල නිසා විය හැකිය​.    සමහර අසාමාන්‍ය චර්‍යා සඳහා මූලය පෙර කර්මය ලෙසට එතුමා පෙන්වා දෙයි. එය තවමත් විද්‍යාත්මකව පෙන්වා දිය හැකිද කියා මම නොදනිමි. මෑතකදී ආචාර්‍ය එච්. එස් එස් නිස්සංක මහතා විසින් ලියන ලද බෞද්ධ මනෝ ප්‍රතිකාරය පිළිබඳව පොතක් කියවීමට ලැබුනි. මේ පොතේ අසාමාන්‍ය චර්‍යාවන් සඳහා හේතු ලෙස ආචාර්‍ය එච්. එස් එස් නිස්සංක සඳහන් කරන්නේ ක්ලේෂයන් ය​.   කර්මයන් හෝ ක්ලේෂයන් අසාමාන්‍ය චර්‍යා සඳහා හේතු කාරක වන බව  බටහිර මනෝ විද්‍යාව පවසන්නේ නැත​. ඒ සඳහා මස්තිෂ්ක රසායණිකයන් ගේ අව ක්‍රියාකාරීත්වය ඔවුන් පර්‍යේෂණාත්මකව පෙන්වා දෙති.   
අසාමාන්‍ය චර්‍යාවන් පෙන්වන ලද රෝගීන් කිහිප දෙනෙකු මගේ මතකයට නැගේ. ඉන් එක් අයෙකු සොල්දාදුවෙකි. යුද හමුදා රෝහලේ මට හමුවූ මෙම රෝගියා මුලදී ව්‍යාජව රෝග ලක්‍ෂණ පෙන්වන බව වෛද්‍ය නීල් ප්‍රනාන්දුත් මමත් සිතුවෙමු. එම නිසා මොහුව රෝහලේ නවතාගෙන අප ඔහුව අධ්‍යනය කලෙමු.   කල් යාමේදී මට පෙනී ගියේ මේ රෝගියා අසාමාන්‍ය හැසිරීම් පෙන්වන බවයි. වරක් ඔහු වනත් රෝගියෙකුගේ කකුලේ තුවාලයකින් ඉවත් කරන ලද සැරව අඩංගු වූ මණ්ඩාවක් පානය කලේය​. මෙය ඉතා පිළිකුල් උපදවන කටයුත්තක් වූ අතර ඔහු ඒ ගැන වෙනසක් පෙන්වූයේ නැත​. එසේම ඔහු එම ක්‍රියාව කලේ මන්ද කියා හේතුව වත් ඔහුට කියනු නොහැකි විය​. පසුව මෙම රෝගියා භින්නෝන්මාදයෙන් පෙලෙන බවට විශේෂඥ මනෝ වෛද්‍ය නීල් ප්‍රනාන් දු මහතා රෝග නිර්ණය කලේය​. ප්‍රති මනෝව්‍යාධික ඖෂධයක් වූ රෙස්පෙරිඩෝන් ඖෂධය ආරම්භ කිරීමෙන් පසුව ඔහුගේ අසාමාන්‍ය චර්‍යාව නිශේධනය විය​.    කර්මයන් හෝ ක්ලේෂයන්  සංකල්පය මම සහමුලින් ප්‍රතික්ශේප නොකරමි. එහෙත් මගේ ගැටළුව වූයේ  කර්මයන් හෝ ක්ලේෂයන් නිසා උක්ත සොල්දාදුවාගේ අසාමාන්‍ය චර්‍යාව හට ගත්තේ නම් එය ප්‍රති මනෝව්‍යාධික ඖෂධයක් වූ රෙස්පෙරිඩෝන් ඖෂධය මගින් නිශේධනය වූයේ කෙසේද ?යන්නයි. 

මම උතුරු කොලඹ රෝහලේ සේවය කරන කොට තරුණයෝ දෙන්නෙක් ගෙනවා තියටර් එකට.  ඔවුන් ගේ මෝටර් සයිකල් එක ටිපර් එකක හැප්පිලා. දෙන්නටම බරපතල තුවාලයි. දෙන්නම මිය ගියා. තියටර් එකේ හිටපු වයෝවෘධ හෙදියක් කිව්වා. " දෙන්නගේ කර්මය කියලා. මම මේ අණතුර ගැන වැඩි විස්තර ඇහුවා. සයිඩ් රෝඩ් එකකින් බලන්නේ නැතිව කෙලින්ම මහා මාර්ගයට මෝටර් සයිකල් එක දාලා. ඒ වෙලාවේ ටිපර් එකක් ගිහිල්ලා. මට හිතුනේ මේ මරණ කර්මයට බැර කලාට රෝඩ් සේෆ්ටි පිලිබඳ මහා මාර්ග නීති නොදත් කම නිසා උන දෙයක් නේද කියලා. 

කර්මය ඉතා ඉක්මනින් පළ දෙන්නේ දුප්පත් සහ බලයක් නැති මිනිසුන්ට පමණද කියා විටෙක සිතනවා.මොකද කර්මයෙන් වැඩිපුරම බැට කන්නේ දුප්පතුන්. 

Wednesday, December 3, 2025

The Impact of the 2025 Climate-Related Natural Disaster (Cyclone Ditwah) on Mental Health Outcomes in Sri Lanka

 



Dr Ruwan M Jayatunge 

Cyclone Ditwah has resulted in a tragic toll, with 465 confirmed fatalities and around 366 individuals still unaccounted for. Some estimates suggest that the actual numbers may be even higher. The disaster has displaced over 61,000 families, who are currently seeking refuge in emergency shelters. In total, more than 1.5 million people across all 25 districts of the country have been impacted by this devastating event.

Natural disasters are significant adverse events caused by natural processes of the Earth, often leading to loss of life, psychological trauma, and widespread property damage (Saeed & Gargano, 2022). The recent cyclones and flood-related disasters in Sri Lanka have profound and lasting psychosocial impacts on affected populations, driven by immediate trauma and secondary stressors like displacement and economic hardship. These impacts are seen at individual, family, and community levels. Individuals may struggle with feelings of grief, anxiety, and helplessness, while families often experience disruptions in their social structures and support networks. At the community level, collective trauma can weaken social cohesion, increasing tensions.

Sri Lankan society is still dealing with the aftermath of a 30-year civil war, and the devastating natural disaster, Cyclone Ditwah, is likely to intensify these challenges. The resulting crisis is one of the worst natural disasters the country has faced since the 2004 tsunami. The disaster in 2025 is predicted to cause severe psychosocial repercussions for vulnerable communities.

As described by Christodoulou (2024), disasters—whether natural or human-made—place significant stress on the mental health of individuals, communities, and entire societies. Therefore, implementing effective, evidence-based interventions is vital for fostering a sense of safety, hope, and optimism among those affected. These strategies also help strengthen social bonds, supporting individuals as they navigate their difficulties.

The 2025 Cyclones and flood-related disasters in Sri Lanka led to various serious mental health issues in the affected population, including trauma-related disorders, mood disturbances, and social upheaval. After natural disasters, people in impacted areas are at increased risk of developing mental health conditions such as posttraumatic stress disorder (PTSD) and depression (Crombach & Siehl, 2018). Addressing these mental health challenges in Sri Lanka requires an integrated, culturally sensitive approach that combines immediate practical support with long-term, professional, and community-driven interventions.

Addressing the psychosocial needs of those affected by cyclones and flood-related disasters calls for a professional and structured approach. In such emergencies, a community mental health strategy is especially important. This approach allows peripheral mental health workers to act as mediators between survivors and specialized mental health services, helping to remove treatment barriers (Davidson & McFarlane, 2006).

Psychological First Aid (PFA) is recommended as an immediate response and is delivered by non-specialists such as neighbours, volunteers, and first responders. This approach underscores the importance of providing practical aid—like food, water, and shelter—while respecting the dignity of survivors. It also focuses on ensuring safety and comfort, listening attentively without pressuring individuals to discuss traumatic experiences, and helping connect them with loved ones and support networks. Ensuring access to support is essential for effective recovery after a disaster (Güngörmüş & Özgüç, 2025).

Furthermore, timely and accurate information about relief efforts can help reduce anxiety and uncertainty. Beyond immediate aid, it is crucial to address basic needs and implement psychotherapeutic interventions, including Cognitive Behavioural Therapy (CBT), Eye Movement Desensitization and Reprocessing (EMDR), mindfulness practices, and traditional healing methods.

Human resilience is a unique trait enabling individuals to adapt and flourish despite adversity. Bakic and colleagues (2021) suggest that disaster-affected individuals can utilise their personal, social, and community resources to recover and adapt. In the context of the 2025 disaster, although it will undoubtedly present significant challenges, it also has the potential to unify communities, test resilience, and drive recovery efforts. Additionally, it offers a vital opportunity to learn important lessons about environmental conservation and the need for sustainable planning practices.  

 

References;

Bakic H, Ajdukovic D. Resilience after natural disasters: the process of harnessing resources in communities differentially exposed to a flood. Eur J Psychotraumatol. 2021 Mar 18;12(1):1891733. doi: 10.1080/20008198.2021.1891733. PMID: 34992751; PMCID: PMC8725694.  

Christodoulou N. Disaster Psychiatry: An urgent field in psychiatry posing a pertinent question. Psychiatriki. 2024 Dec 27;35(4):265-268. English, Greek, Modern. doi: 10.22365/jpsych.2024.022. Epub 2024 Dec 15. PMID: 39688605. 

Crombach A, Siehl S. Impact and cultural acceptance of the Narrative Exposure Therapy in the aftermath of a natural disaster in Burundi. BMC Psychiatry. 2018 Jul 18;18(1):233. doi: 10.1186/s12888-018-1799-3. PMID: 30021559; PMCID: PMC6052646.

Davidson JR, McFarlane AC. The extent and impact of mental health problems after disaster. J Clin Psychiatry. 2006;67 Suppl 2:9-14. PMID: 16602810.

Güngörmüş Z, Özgüç S. Psychosocial problems observed in older adults after disaster. Psychogeriatrics. 2025 Mar;25(2):e70001. doi: 10.1111/psyg.70001. PMID: 39853583.

Saeed SA, Gargano SP. Natural disasters and mental health. Int Rev Psychiatry. 2022 Feb;34(1):16-25. doi: 10.1080/09540261.2022.2037524. Epub 2022 Feb 15. PMID: 35584023.  

 

 

 

 

Find Us On Facebook