Saturday, February 15, 2020

ධර්මා ගුණසිංහ මහතා පිළිබඳව සර්වෝදය සභාපති වෛද්‍ය වින්යා ආරියරත්න කතා කරයි




1) ඔබගේ පියා (ආචාර්ය ඒ.ටී. ආරියරත්න මහතා) සහ ධර්මා ගුණසිංහ මහතා අතර තිබුනේ වසර 50 කට වඩා අධික අවිච්චින්න මිතුදමක්. මේ මිතුදම පිළිබඳව විස්තර කළ හැකිද?

මගේ පියා ආචාර්ය ඒ.ටී. ආරියරත්න මහතා සහ ධර්මා ගුණසිංහ මහතා පළමුවෙන්ම මුණ ගැසුනේ ගාල්ලේ මහින්ද විද්‍යාලයේ නව වන ශ්‍රේණියට රිච්මන්ඩ් විද්‍යාලයේ සිට ගුණසිංහ මහතා ඇතුළු වූ අවස්ථාවේ ය. එදා සිට මේ දෙදෙනා අතර පුදුම සහෝදරත්වයක්, මිත්‍රත්වයක් ගොඩ නැගුනා. දෙදෙනාම එස්.එස්.සී පාස් වුනේ එකට.දෙදෙනාම විශ්ව විද්‍යාල ප්‍රවේශයට ලිව්වේත් එකට. ඒ වගේම මහරගම ගුරු විද්‍යාල ප්‍රවේශයට ඉල්ලූවෙත් එකට. දෙදෙනාම එයින් සමත් වුනා. දෙදෙනාම ගුරු විද්‍යාලයට යෑමට තීරණය කළා. ඉන්පසු දෙදෙනාම නාලන්දා විදුහලට ඇතුලත් වුනා. එතනදීත් තාත්තා සමඟ තිබූ මිත්‍රකම නිසයි. කරුණානන්ද මහතා තාත්තාව තෝරාගත් පසුව ගූණසිංහ මහතා ද නුවර ධර්මරාජ විද්‍යාලයට නොගොස් නාලන්දාවේ තාත්තා සමඟ එකට වැඩ කිරීමට තීරණය කළෙ. 

ටික කලකින් කනිෂඨ අංශයේ විදුහල්පති වශයෙන් ගුණසිංහ මහතා පත්වුනා. අපේ තාත්තා විද්‍යා විෂයන් මෙන්ම සිංහල සහ ආර්ථික විද්‍යාව  අ..පො.ස. (සා.පෙල) සහ අ.පො.ස. (උ.පෙල) ළමුන්ට ඉගැන්වූවා. 

1972 දී පමණ තාත්තා ගුරු වෘත්තියෙන් ඈත්ව මුළු කාලයම සර්වෝදයට යොදවන්න පටන් ගත්තා.එහෙත් ධර්මා ගුණසිංහ මහතාත් තාත්තා සමඟ 1956 සිට සමාජ සේවා කටයුතු වල යෙදී තිබුන නිසාත් කනතොළුවෙන් ආරම්භ කළ සර්වෝදය වැඩ පිළිවෙලේ පුරෝගාමියකු වූ නිසාත්. සර්වෝදය සහ තාත්තා සමඟ මිත්‍රත්වය ඔහුගේ ජීවිතය අවසානය දක්වා පැවතුනා.


2) අප නිබඳවම දුටුවේ විදුහල්පති ධර්ම ගුණසිංහ මහතා.ඔබ ධර්ම ගුණසිංහ කියන සිවිල් චරිතය නිරන්තරයෙන්ම දුටුවා. ධර්ම ගුණසිංහ මහතා කෙබඳූ පුද්ගලයෙක්ද ?

ධර්ම ගුණසිංහ මහතා නාලන්දා කනිෂ්ඨ විදුහල්පතිව සිටියත් ඒ කාල වලදී විදුහල්පතිවරයාගේ කටයුතු වලට විශාල සහයෝගයක් දුන්නා. ඒ නිසාම ඔහුට ඔහුගේ කැපවීම අගය කළ අධ්‍යාපන අමාත්‍යාංශය ඔහු විදුහල්පති ලෙස පත්කළා. ඔහු විදුහල්පති ධූරය දරපු කාලය නාලන්දාවේ ස්වර්ණමය යුගය කියල කියන්න පුළුවන්. මේ අවුරුදු අට කාලය තුළදී තමයි රොෂාන් මහානාම, මහේල ජයවර්ධන......ආදී  සුප්‍රසිද්ධ ක්‍රීඩකයන් නාලන්දාවෙන් ජාතික මට්ටමට බිහිවුනේ. ක්‍රීඩා අංශය පමණක් නොව පාසැලේ විනය,පිරිසිදුකම, අධ්‍යාපන තත්ත්වය, විභාග ප්‍රතිඵල සහ වෙනත් බාහිර දේ හැම එකකින්ම ගුණසිංහ යුගය විශිෂඨ යුගයක් විය.
නාලන්දා විදුහලේ දියුණුවට 24 පැයම ගතකළ ඔහුට මා දන්න හැටියට වෙනත් පුද්ගලික ජීවිතයක් තිබුනේ නැත. ඔහු තමන් සතු නිදහස් ජීවිතයේ නිස්සරණ ප්‍රීතිය විදි පුද්ගලයෙක්.

3) ධර්ම ගුණසිංහ මහතාගේ විශ්‍රාමික දිවිය ගතවුනේ කොහොමද?

ගුණසිංහ මහතාගේ විශ්‍රාමික ජීවිතයේ වැඩි කොටසක් ගතවුනේ සර්වෝදය ව්‍යාපාරයේ කටයුතු වලට. ඔහු දිවයින පුරාම තිබූ සර්වෝදය කඳවුරු වලට. සාම පා ගමන් හා  සාම භාවනා වැඩ සටහන් සහභාගි වුනා. දීර්ඝ කාලයක් සර්වෝදය සංගමයේ භාණ්ඩාගාරික ලෙස ලොකු වගකීමක් ඉසිලූවා. සර්වෝදය භාර අරමුදලේ විධායක අධ්‍යක‍ෂ ලෙස සර්වෝදය ජාතික සම්මාන ප්‍රදානය කිරීම. දුප්පත් ගම්වල දරුවන් තෝරාගෙන ඔවුන්ට ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම ආදී කටයුතු වලට ඔහුගේ සම්පූර්ණ කාලය යෙදවූවා.

4) ධර්ම ගුණසිංහ මහතා සහ ඔහුගේ සොයුරු සිරි ගුණසිංහ මහතා අතර තිබූ සබඳතාවය ඔබ දකින්නේ කෙසේ ද?

මහාචාර්ය සිරි ගුණසිංහ මහතා සහ ධර්මා ගුණසිංහ මහතා අතර තිබුනේ විශිෂටතම සහෝදරත්වයක්. ඔහු කැනඩාවේ සිට ලංකාවට පැමිණි සෑම අවස්ථාවකම සමහර විට මාස ගණන් ගතකළේ ධර්මා ගුණසිංහ මහතාගේ ගෙදර.මේ දෙදෙනා ඔවුනොවුන්ට උදවු වුනා. 

5) ධර්ම ගුණසිංහ මහතාගේ සර්වෝදය ජීවිතය පිළිබඳව යමක් කියනවා නම් ?

ධර්මා ගුණසිංහ මහතා නාලන්දාවට ඇප කැප වී වැඩකළේ යම්සේ ද ඒ අන්දමටම උදේ 8.30 වන විට සර්වෝදය මූලස්ථානයට ඇවිත් බොහෝ විට ගෙදර යන්නේ රාත්‍රියේ ය. දිගටම දහවල් ආහාරය ගත්තේ ආරියරත්න මහතා සමඟයි. නාලන්දාවේ ගුරුවරුන් සහ ශිෂ්‍යයින් එතුමාට ආදරය කළෙ යම්සේද දිවයින පුරාම සර්වෝදය සේවක සේවිකාවන් ගුණසිංහ මහතාට එලෙසම පුදුම භක්තියක් දැක්වූවා.

6) ධර්ම ගුණසිංහ මහතාගේ  විනෝදාංශ මොනවා ද? එතුමා කවර සංගීතයක් ප්‍රිය කළා ද? 

එතුමාගේ විනෝදාංශ වුනේ සර්වෝදය කටයුතු හැරුන විට ආදී නාලන්දා ගුරුවරුන්ගේ සංගමයක් පිහිටුවා ඔවුන් සමඟ වන්දනා ගමන්යෑම, කුප්පියාවත්තේ බෝධානන්ද ස්වාමීන් වහන්සේගේ මිතුරු මිතුරෝ සංවිධානයට උදවු කිරීම,හැකි තරම් ආදී ගුරුවරුන් සහ ආදී ශිෂ්‍යයින් සම්බන්ධ කිරීමේ කටයුතු හැර එතුමා හොඳ නාට්‍ය බැලීමට යන බව මා දැක තිඛෙනවා. එතුමා මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍රයන් සමඟ ඉතා සමීප සම්බන්ධතාවයක් තිබුනා.

7) ධර්ම ගුණසිංහ මහතාගේ මෙරට සිටි ඥාතීන් කවුද ?

ඒ පිළිබඳ මට වැඩි අවබෝධයක් නෑ.නමුත්, ධර්මා ගුණසිංහ මහතාගේ ඥාති සහෝදරයකුගේ පුතකු (බෑනා) කෙනෙක් වන ගාමිණී ගුණසිංහ කියල කෙනෙක් සර්වෝදයේ වැඩ කළා. පසුව ඔහු ඇමරිකාවට ගියා.

8)   ධර්ම ගුණසිංහ මහතා සතුන්ට ආදරය කළා. එතුමා බල්ලන් ඇති කලා නේද?

ඔහු බල්ලන්ට හා බළලූන්ට ආදරය කළා, ඇති කළා, සමහර විට ඔවුන් මැරුණාමත් කණගාටුවට නොකා නොබී හිටිය අවස්ථා තියෙනවා.

9) ධර්මා ගුණසිංහ මහතා අවිවාහකව සිටියේ ඇයි ? එතුමා ඉතා කඩවසම් පුද්ගලයෙක්. පුද්ගලික ජීවිතයේ දී ආදරය කියන හැගීම එතුමා කෙරෙහි බලපෑවේ කවර ආකාරයකින් ද? අවිවාහකව සිටීම සහ ජීවිතයේ තනිකම පිළිබඳව ගැටළුවක් පසුකාලීනව එතුමාට තිබුනා ද?

ධර්මා ගුණසිංහ මහතාගේ අධ්‍යාපනය, පවුල් හා සමාජ පසුබිමත් අනුව එතුමාටත් පෙම් සබඳකම් එක දෙකක් තියෙන්නට ඇති .එහෙත් එතුමා ඒවා ගැන කළ නොකිරී නාලන්දාවට හා සර්වෝදයට මුළු ජීවිතයම කැපකළා. ඒ හැර වෙනත් පවුල් ජීවිතයක් ඔහුට තිබුනේ නැහැ. තනිවී අසරණ වී සිටින විට ඒ අඩුව දැනෙන්න ඇති.නමුත් කිසිසේත් ඒ අඩුව පෙන්වූයේ නැහැ.

10)  එතුමාට රට පුරා ගෝලයෝ හිටියා. විශ්‍රාම ගැනීමෙන් පසු එතුමා ගෝලයන් සමඟ කවර ආකාරයේ සබඳතාවක් පවත්වාගෙන ගියාද ?

ලංකාවේ මෙන්ම පිටරටත් එතුමාට සෑහෙන ගෝලබාල පිරිසක් හිටියා. ඒ හැම දෙනාම ඔහුට පුදුම විදියේ කෘතගුණ දැක්වූවා. ඔහු එක්තැන් වී අසනීප වුනාම ධර්මා ගුණසිංහ පදනමක් සාදා විශාල වශයෙන් මුදල් පරිත්‍යාග කොට රෝහලේ සහ සාත්තු නිවාසවල ඔහු ගත කරද්දී ඒ සියලූම වියදම් දරමින් ඔහුව බලා ගත්තේත් එම ශිෂ්‍යයින් සහ බෝධානන්ද හාමුදුරුවන් වහන්සේයි. ඔහු පරලෝ සැපත් වූ විට ආදාහනයට සහ වෙනත් සියලූම වියදම් දැරුවේ එම ආදී සිසුන් විසින්.

11) ධර්ම ගුණසිංහ මහතාගේ මරණයට ඔබගේ පියා සහ මව මුහුණ දුන්නේ කෙසේද ?

මෑත යුගයේදී ධර්මා ගුණසිංහ මහතා රෝහල්ගතව සාත්තු නිවාසයක සිටිය දී මගේ පියා සතියකට වරක් දෙවරක් නොවරදවාම ඔහු බැලීමට ගියා. ඔහුගේ මරණින් පසු දින තුනක්ම අවසාන කටයුතු සඳහා යොදවමින් මගේ පියා ඔහුගේ දේහය අසළ ම ගතකළා. හත් දවසේ දානෙනුත් පසුව තමයි ඔහුට ටිකක් විවේක ලැබුනේ. මෑත යුගයේ මගේ පියාට ලැබුන ඉතාමත්ම ශෝකජනක සිද්ධිය තමයි ගුණසිංහ මහතාගේ වියෝව. මගේ අම්මත් ඒ වගේම දුක්  වුණා.


12 ) ධර්ම ගුණසිංහ මහතාගේ ඇවෑමෙන් පසු ඒ හිස් බව ඔබට දැනෙන්නේ කෙසේ ද ?

වසර දෙකක් පමණ එතුමා අසනීපෙන් සිටි නිසා එතුමාට සර්වෝදය කටයුතු වලට සහභාගිවීමට නොහැකි විය. ඒ නිසා එතුමාගේ වගකීම් ඉටු කිරීමට වෙනත් අය යොදවා ගත්තා.අපේ සර්වෝදය නිර්මාතෘවරුන් වශයෙන් සිටි දෙතුන් දෙනාගෙන් ගුණසිංහ මහතා වෙන්වයාම අපට ලොකු පාඩුවක්. ඒ හිස් බව පුරවන්න අය දැන් නැහැ.

සාකච්ඡා කලේ වෛද්‍ය රුවන් එම් ජයතුංග

Thursday, February 6, 2020

එල්.ටී.ටී.ඊ සංවිධානයේ සිටි ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු වූ රහීම් ( ශ්‍රී කුමාර් කනගරත්නම්) තමන් ගේ අත්දැකීම් පිලිබඳව කතා කරයි

     

එල්.ටී.ටී.ඊ සංවිධානයේ සිටි  ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු වූ රහීම් ( ශ්‍රී කුමාර් කනගරත්නම්) වර්තමානයේ ජීවත් වන්නේ කැනඩාවේය​. ඔහු සහ සිංහ රෙජිමේන්තුවේ කැප්ටන් ජයන්ත කොතලාවල (පසුකාලීනව ලුතිනන් කර්නල්) අතර අපූරු මිතුදමක්ද තිබුනේය​. රහීම් හෙවත් ශ්‍රී කුමාර් කනගරත්නම් තමන්  එල්.ටී.ටී.ඊ සංවිධානයේ ගත කල කාලය පිලිබඳව මෙසේ මතකය අවදි කරයි. 


1) ඔබ එල්.ටී.ටී.ඊ  සංවිධානයේ  සාමාජිකයෙක් උනේ ඇයි ? 

මම ජීවත් උනේ සිංහලයන් අතර​. මට සිංහල මිතුරන් හිටියා. එහෙත් 1977 , 1983 ජාතිවාදී කලබල වලදී මම දැක්කා නිරායුද අහිංසක දෙමල ජනයාට පහර දුන් ආකාරය​. 1977 දී කළුතර පොලිස් අධිකාරී උනේ මගේ ඥාතියෙක්. එහෙත් ඔහු ද්‍රවිඩ පුද්ගලයෙකු නිසා කළුතර ඔහුගේ නිවසට පවා ජාතිවාදී පිරිස් පහර දීමට ආවා. පොලිස් අධිකාරී කෙනෙක් උනත් ඔහුට තමන් ගේ ගෙදර ආරක්‍ෂා කර ගන්න පොලිස් භටයන් යොදා ගන්න සිදු උනා. ඒ වගේම මා අශ්‍රය කල සිංහල මිතුරන් සමහරක් මගෙන් ඈත් උනා. සමහරක් මාව හැඳින්වූයේ පර දෙමලා කියලා. මේ නිසා කවදාවත් නොතිබුනු ලෙසට මට මම කවුද ? කියන අනන්‍යතාවය ගැන ප්‍රශ්නයක් ආවා. මට සිංහලයන් සමග ද්වේෂයක් තිබුනේ නෑ. 1983 ජාතිවාදී කෝලහලයේදී කොලඹ අපගේ නිවස බේරාගත්තේ සිංහල අසල් වැසියෙක්. නමුත් පොදුවේ ද්‍රවිඩ ජනතාව වෙත මුදා හරින ලද ප්‍රචණ්ඩත්වය නිසා මට එල්.ටී.ටී.ඊ  සංවිධානයට බැඳීමට අවශ්‍ය කෙරුනා. 

2)  ඔබ එල්.ටී.ටී.ඊ  සංවිධානයට බැඳුනේ කවදාද ? 



මම එල්.ටී.ටී.ඊ  සංවිධානයට බැඳුනේ 1983 ඔක්තෝබර් මාසයේදී. මහත්තයා හරහා තමයි මම  සංවිධානයට බැඳුනේ. එතකොට මගේ වයස අවුරුදු 16. මේ කාලය වන විට බි‍්‍රගේඩියර් තිස්ස වීරතුංග උතුරේ භීෂණයක් පතුරවමින් හිටියා. 1983 දීම මාව ඉන්දියාවට යවනවා යුද පුහුණුවට. අපිව පුහුණු කලේ ඉන්දියානු හමුදාවේ නිලධාරීන්. ඔවුන් නිල ඇඳුම් අඳින්නේ නොමැතිව සිවිල් පිට තමයි අපිව පුහුණු කලේ. අපේ රහස් කඳවුර තිබ්බේ හිමාචල් ප්‍රදේශයේ. තමිල්නාඩුවේ නොවෙයි. මා සමග ද්‍රවිඩ තරුණයන් 200 පමණ පුරුදු උනා. අපිට අවි භාවිතය , බුද්ධි අංශයේ කටයුතු , සිතියම් කියවීම වගේ දේවල් ඉගැන්නුවා.  පුහුණුව මාස දෙකහමාරයි. ඉන් පසුව මම ගියා තමිල්නාඩුවේ එල්.ටී.ටී.ඊ   දේශපාලන කාර්‍යාලයක සේවය කරන්න​.   



3) එතකොට ඔබ නැවත ලංකාවට එන්නේ කවදාද ?

1984 දෙසැම්බර් වලදී මම හොරෙන් ධීවර යාත්‍රාවකින් ලංකාවට එනවා. මම ප්‍රථම වතාවට යුද හමුදාව සමග සටනට යනවා 1985 පෙබරවාරි 14 දින​. අපි 115 පමණ පිරිසක් කොක්කුලායි හමුදා කඳවුරට පහර දෙනවා. නමුත් අපගේ ප්‍රහාරය අසාර්ථකයි. අපගේ එල්.ටී.ටී.ඊ  සාමාජිකයන් 16 දෙනෙකු මේ ප්‍රහාරයේදී මිය යනවා. ඔවුන් ගේ සිරුරුවත් අපිට ගේන්නට ලැබුනේ නෑ. අපගේ ප්‍රහාරයෙන් පසුව හෙලිකොප්ටරයකින් රවී ජයවර්ධන කොක්කුලායි වලට එනවා. එහිදී ඔහු දකිනවා මිය ගිය එල්.ටී.ටී.ඊ  සාමාජිකයන් ගේ මෘත ශරීර සහ ඔවුන් ගේ අවි. ඒ අතර නයිට් විෂන් පවා තියනවා. මේක දකින රවී ජයවර්ධන කියනවා We are fighting a sophisticated army කියලා. ඉන් පසුව හමුදාව වටහා ගන්නවා ඔවුනුත් නවීන අවි වලින් සන්නද්ධ වීමට අවශ්‍ය බව. 

4)  ඔබ සහභාගි වූ වෙනත් ප්‍රහාරයන්  මොනවාද ?  

අප මන්නාරම පොලිස් ස්‍ථානයට ප්‍රහාර එල්ල කොට මන්නාරම පොලිස් ස්‍ථානය අල්ලා ගත්තා. අප මන්නාරම පොලිස් ස්‍ථානයට ප්‍රහාර එල්ල කරන්නේ 1985 මැයි මාසයේදී . එහිදී අපි පොලිස් භටයන්  දෙදෙනෙකු ජීවග්‍රහයෙන් අල්ලා ගන්නවා. පසුව ඔවුන් දෙදෙනාව අප යලි රජයට භාර දුන්නා.  මේ ප්‍රහරයේදී මම තුවාල ලැබුවා. 
ඉන් පසුව අපි යාපය කොටුවට ප්‍රහාර එල්ල කලා. ඒ වාගේම නිරන්තරයෙන් තිබුනු අවි ගැටුම් වලට සහභාගී උනා. 

5) ඔබට ප්‍රභාකරන් හමුවී තිබෙනවා නේද ? ඔහු කෙබඳු කෙනෙක් ද ?

මට මුලින්ම ප්‍රභාකරන් හමු උනේ ඉන්දියාවේ පුහුණුවට ගිය සමයේ 1983 දී. පසුව ඔහු සමග මම වැඩ කලා. ප්‍රභාකරන් සෞම්‍ය ලෙස කතා කරන කෙනෙක්. හරි පිරිසිදුයි. පිලිවෙලයි. ඔහුට ඉතා හොඳ මතකයක් තිබුණා. ඒ වගේම හොඳ විනයක් තිබූ කෙනෙක්. ඔහු තේ කෝපි වත් බිව්වේ නෑ. බිව්වේ කිරි වගේ පාන​. 1987 අගෝස්තු වලින් පසුව මට ඔහුව හමු වුනේ නෑ.

6) ප්‍රභාකරන් ගේ වැටීමට හේතු මොනවාද ?

මම හිටපු කාලයේදී වගේ නොවෙයි. පසුව එල්.ටී.ටී.ඊ  සංවිධානය වෙනස් උනා. ගරිල්ලා සංවිධානයක් නොව රජයක් ලෙස කටයුතු කරන්න පටන් ගත්තා. 911 වලින් පසුව ලෝකය වෙනස් උනා. නමුත් ප්‍රභාකරන් වෙනස් උනේ නෑ. 

7) ඔබ දකින හැටියට ප්‍රභාකරන්  පරාජය කිරීමේදී  මූලික කාර්‍යභාරය කලේ සරත් ෆොන්සේකාද ගෝටාභය රාජපක්‍ෂද ?

මගේ අදහස අනුව ප්‍රභාකරන්  පරාජය කිරීමේදී  ගෝටාභය රාජපක්‍ෂ සාධකය සරත් ෆොන්සේකාටත් වඩා ප්‍රබලව ආවා. 

7a) ඔබ ගරු කරන සිංහල යුද හමුදා නිලධාරියා කවුද ? 

ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව. ඔහු නියම සොල්දාදුවෙක්. යුද භූමියෙත් විනය රැක්කා. 

8) එල්.ටී.ටී.ඊ  සංවිධානයේ බහුතරයක් කාඩර්වරු කුල හීනයන්. ඔබ වෙල්ලාල ජාතිකයෙක්. මේ සාධකය කොහොමද බලපෑවේ ? 

මුල් කාලයේදී  වෙල්ලාල ජාතිකයන් පවා ප්‍රභාකරන් වටා එකතු වුනා.  ප්‍රභාකරන් අයත් උනේ කරයර් කියන කුලයට. නමුත් ඒක අපිට ගැටළුවක් උනේ නෑ. අපි ඔහුගේ නායකත්වය පිලි ගත්තා. නමුත් පසු කාලයකදී සමහර වෙල්ලාල ජාතිකයන් එල්.ටී.ටී.ඊ  සංවිධානය දෙස බැලුවේ බයෙන් සහ සැකයෙන්. 

9) යලිත් ඊලාම් යුද්ධයක් ලංකාවේ ඇතිවෙයිද ?

මගේ අදහස අනුව යලිත් ඊලාම් යුද්ධයක් ලංකාවේ ඇති වෙයි කියා හිතන්නට අපහසුයි. මිනිසුන් 30 අවුරුදු යුද්දයකින් හති වැටිලා. බොහෝ ද්‍රවිඩයන් ලංකාව අත හැර ගිහින්. දැන් ද්‍රවිඩයන් ලංකාවේ නියම ලෙසින් සුුළු ජාතියක්. ඉස්සර රජයේ ආයතන වල ලොකු පුටු වල ද්‍රවිඩයන් බොහෝ හිටියා. සිංහල ප්‍රදේශ වල තැපැල් කන්තෝරුවල පෝස්ට් මාස්ටර් පවා උනේ ද්‍රවිඩ පුද්ගලයෙක්. නමුත් අද ඒ සංඛ්‍යාව බෙහෙවින්ම පහළ ගිහිල්ලා. ද්‍රවිඩයන්ට එදා වගේ සිවිල් බලයක් නෑ. 

10) ඊලාම් යුද්ධයෙන් පසුව සිංහල ජන මනසේ වෙනසක් ඔබ දකිනවාද ? 

ඔව් මම සිංහල ජන මනසේ ධනාත්මක වෙනසක් දකිනවා. 1977 , 1983 වගේ කාලේ වගේ ද්‍රවිඩ විරෝධයක් බහුතරයක් සිංහලයන් අතර නෑ. ඔවුනුත් යුද්ධයත් සමග වෙනස් උනා. මම මීට වසර කීපයකට ඉහතදී ලංකාවට ගියාම මේ වෙනස දැක්කා. මේ විදියට සිංහල සහ ද්‍රවිඩ මිනිසුන් සහයෝගයෙන් සිටිනවා නම් ලංකාව සීග්‍ර දියුණුවක් ලබයි. 

සාකච්ඡා කලේ වෛද්‍ය රුවන් එම් ජයතුංග


සබැඳි ලිපි : 
කැප්ටන් කොතලාවල ගැන හිටපු එල්.ටී.ටී.ඊ නායක රහීම් කතා කරයි  Link : http://transyl2014.blogspot.com/2018/10/blog-post_40.html

Tuesday, February 4, 2020

A Hero



A hero is an ordinary individual who finds the strength to persevere and endure in spite of overwhelming obstacles.  
-Christopher Reeve 




Sunday, February 2, 2020

ප්‍රන්ස බස සහ ඉංග්‍රීසි බස වෙනුවෙන් මරා ගැනීම


මෑතකදී පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාවයෙන් (PTSD) පෙලෙන කැමරූන් ජාතිකයෙකු මාගෙන් ප්‍රතිකාර ගැනීමට ආවා. ඔහු කැමරූන් වල පවත්නා යුද ගැටුම් නිසා ක්‍ෂිතිමය තත්වයට ගොදුරු වූ අයෙක්. මේ යුද ගැටුම් වලට මුල මොකක්ද කියා මා ඔහුගෙන් ඇසුවා. ඔහු කීවේ ඔහුගේ රටේ ප්‍රන්ස බස කතා කරන අප්‍රිකානු කැමරූන් ජාතිකයන් සහ ඉංග්‍රීසි බස කතා කරන අප්‍රිකානු කැමරූන් ජාතිකයන් අතර යුද්දයක් පවතින බවයි. දෙපාර්ශවය එකිනෙකාගේ ගම් වලට පහර දෙනවා. පාසල් ගිනිබත් කරනවා. මිනී මරණවා.
එංගලන්තය සහ ප්‍රංශය තමන් ගේ පැරණි යටත් විජිත වල මිනිසුන් කොපමණ අන්ධ භාවයට පත් කොට තිබෙනවාද කියා මට මින් පෙනී ගියා. ප්‍රන්ස බස කතා කරන අප්‍රිකානු කැමරූන් ජාතිකයන් සහ ඉංග්‍රීසි බස කතා කරන අප්‍රිකානු කැමරූන් ජාතිකයන් කතා කරන්නේ එක ගෝත්‍රික භාෂාවක්. නමුත් ඔවුන් ප්‍රන්ස බස සහ ඉංග්‍රීසි බස වෙනුවෙන් මරා ගන්නවා.

Find Us On Facebook