1) ඔබගේ පියා (ආචාර්ය ඒ.ටී. ආරියරත්න මහතා) සහ ධර්මා ගුණසිංහ මහතා අතර තිබුනේ වසර 50 කට වඩා අධික අවිච්චින්න මිතුදමක්. මේ මිතුදම පිළිබඳව විස්තර කළ හැකිද?
මගේ පියා ආචාර්ය ඒ.ටී. ආරියරත්න මහතා සහ ධර්මා ගුණසිංහ මහතා පළමුවෙන්ම මුණ ගැසුනේ ගාල්ලේ මහින්ද විද්‍යාලයේ නව වන ශ්‍රේණියට රිච්මන්ඩ් විද්‍යාලයේ සිට ගුණසිංහ මහතා ඇතුළු වූ අවස්ථාවේ ය. එදා සිට මේ දෙදෙනා අතර පුදුම සහෝදරත්වයක්, මිත්‍රත්වයක් ගොඩ නැගුනා. දෙදෙනාම එස්.එස්.සී පාස් වුනේ එකට.දෙදෙනාම විශ්ව විද්‍යාල ප්‍රවේශයට ලිව්වේත් එකට. ඒ වගේම මහරගම ගුරු විද්‍යාල ප්‍රවේශයට ඉල්ලූවෙත් එකට. දෙදෙනාම එයින් සමත් වුනා. දෙදෙනාම ගුරු විද්‍යාලයට යෑමට තීරණය කළා. ඉන්පසු දෙදෙනාම නාලන්දා විදුහලට ඇතුලත් වුනා. එතනදීත් තාත්තා සමඟ තිබූ මිත්‍රකම නිසයි. කරුණානන්ද මහතා තාත්තාව තෝරාගත් පසුව ගූණසිංහ මහතා ද නුවර ධර්මරාජ විද්‍යාලයට නොගොස් නාලන්දාවේ තාත්තා සමඟ එකට වැඩ කිරීමට තීරණය කළෙ.
ටික කලකින් කනිෂඨ අංශයේ විදුහල්පති වශයෙන් ගුණසිංහ මහතා පත්වුනා. අපේ තාත්තා විද්‍යා විෂයන් මෙන්ම සිංහල සහ ආර්ථික විද්‍යාව අ..පො.ස. (සා.පෙල) සහ අ.පො.ස. (උ.පෙල) ළමුන්ට ඉගැන්වූවා.
1972 දී පමණ තාත්තා ගුරු වෘත්තියෙන් ඈත්ව මුළු කාලයම සර්වෝදයට යොදවන්න පටන් ගත්තා.එහෙත් ධර්මා ගුණසිංහ මහතාත් තාත්තා සමඟ 1956 සිට සමාජ සේවා කටයුතු වල යෙදී තිබුන නිසාත් කනතොළුවෙන් ආරම්භ කළ සර්වෝදය වැඩ පිළිවෙලේ පුරෝගාමියකු වූ නිසාත්. සර්වෝදය සහ තාත්තා සමඟ මිත්‍රත්වය ඔහුගේ ජීවිතය අවසානය දක්වා පැවතුනා.
2) අප නිබඳවම දුටුවේ විදුහල්පති ධර්ම ගුණසිංහ මහතා.ඔබ ධර්ම ගුණසිංහ කියන සිවිල් චරිතය නිරන්තරයෙන්ම දුටුවා. ධර්ම ගුණසිංහ මහතා කෙබඳූ පුද්ගලයෙක්ද ?
ධර්ම ගුණසිංහ මහතා නාලන්දා කනිෂ්ඨ විදුහල්පතිව සිටියත් ඒ කාල වලදී විදුහල්පතිවරයාගේ කටයුතු වලට විශාල සහයෝගයක් දුන්නා. ඒ නිසාම ඔහුට ඔහුගේ කැපවීම අගය කළ අධ්‍යාපන අමාත්‍යාංශය ඔහු විදුහල්පති ලෙස පත්කළා. ඔහු විදුහල්පති ධූරය දරපු කාලය නාලන්දාවේ ස්වර්ණමය යුගය කියල කියන්න පුළුවන්. මේ අවුරුදු අට කාලය තුළදී තමයි රොෂාන් මහානාම, මහේල ජයවර්ධන......ආදී සුප්‍රසිද්ධ ක්‍රීඩකයන් නාලන්දාවෙන් ජාතික මට්ටමට බිහිවුනේ. ක්‍රීඩා අංශය පමණක් නොව පාසැලේ විනය,පිරිසිදුකම, අධ්‍යාපන තත්ත්වය, විභාග ප්‍රතිඵල සහ වෙනත් බාහිර දේ හැම එකකින්ම ගුණසිංහ යුගය විශිෂඨ යුගයක් විය.
නාලන්දා විදුහලේ දියුණුවට 24 පැයම ගතකළ ඔහුට මා දන්න හැටියට වෙනත් පුද්ගලික ජීවිතයක් තිබුනේ නැත. ඔහු තමන් සතු නිදහස් ජීවිතයේ නිස්සරණ ප්‍රීතිය විදි පුද්ගලයෙක්.
3) ධර්ම ගුණසිංහ මහතාගේ විශ්‍රාමික දිවිය ගතවුනේ කොහොමද?
ගුණසිංහ මහතාගේ විශ්‍රාමික ජීවිතයේ වැඩි කොටසක් ගතවුනේ සර්වෝදය ව්‍යාපාරයේ කටයුතු වලට. ඔහු දිවයින පුරාම තිබූ සර්වෝදය කඳවුරු වලට. සාම පා ගමන් හා සාම භාවනා වැඩ සටහන් සහභාගි වුනා. දීර්ඝ කාලයක් සර්වෝදය සංගමයේ භාණ්ඩාගාරික ලෙස ලොකු වගකීමක් ඉසිලූවා. සර්වෝදය භාර අරමුදලේ විධායක අධ්‍යකෂ ලෙස සර්වෝදය ජාතික සම්මාන ප්‍රදානය කිරීම. දුප්පත් ගම්වල දරුවන් තෝරාගෙන ඔවුන්ට ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම ආදී කටයුතු වලට ඔහුගේ සම්පූර්ණ කාලය යෙදවූවා.
4) ධර්ම ගුණසිංහ මහතා සහ ඔහුගේ සොයුරු සිරි ගුණසිංහ මහතා අතර තිබූ සබඳතාවය ඔබ දකින්නේ කෙසේ ද?
මහාචාර්ය සිරි ගුණසිංහ මහතා සහ ධර්මා ගුණසිංහ මහතා අතර තිබුනේ විශිෂටතම සහෝදරත්වයක්. ඔහු කැනඩාවේ සිට ලංකාවට පැමිණි සෑම අවස්ථාවකම සමහර විට මාස ගණන් ගතකළේ ධර්මා ගුණසිංහ මහතාගේ ගෙදර.මේ දෙදෙනා ඔවුනොවුන්ට උදවු වුනා.
5) ධර්ම ගුණසිංහ මහතාගේ සර්වෝදය ජීවිතය පිළිබඳව යමක් කියනවා නම් ?
ධර්මා ගුණසිංහ මහතා නාලන්දාවට ඇප කැප වී වැඩකළේ යම්සේ ද ඒ අන්දමටම උදේ 8.30 වන විට සර්වෝදය මූලස්ථානයට ඇවිත් බොහෝ විට ගෙදර යන්නේ රාත්‍රියේ ය. දිගටම දහවල් ආහාරය ගත්තේ ආරියරත්න මහතා සමඟයි. නාලන්දාවේ ගුරුවරුන් සහ ශිෂ්‍යයින් එතුමාට ආදරය කළෙ යම්සේද දිවයින පුරාම සර්වෝදය සේවක සේවිකාවන් ගුණසිංහ මහතාට එලෙසම පුදුම භක්තියක් දැක්වූවා.
6) ධර්ම ගුණසිංහ මහතාගේ විනෝදාංශ මොනවා ද? එතුමා කවර සංගීතයක් ප්‍රිය කළා ද?
එතුමාගේ විනෝදාංශ වුනේ සර්වෝදය කටයුතු හැරුන විට ආදී නාලන්දා ගුරුවරුන්ගේ සංගමයක් පිහිටුවා ඔවුන් සමඟ වන්දනා ගමන්යෑම, කුප්පියාවත්තේ බෝධානන්ද ස්වාමීන් වහන්සේගේ මිතුරු මිතුරෝ සංවිධානයට උදවු කිරීම,හැකි තරම් ආදී ගුරුවරුන් සහ ආදී ශිෂ්‍යයින් සම්බන්ධ කිරීමේ කටයුතු හැර එතුමා හොඳ නාට්‍ය බැලීමට යන බව මා දැක තිඛෙනවා. එතුමා මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍රයන් සමඟ ඉතා සමීප සම්බන්ධතාවයක් තිබුනා.
7) ධර්ම ගුණසිංහ මහතාගේ මෙරට සිටි ඥාතීන් කවුද ?
ඒ පිළිබඳ මට වැඩි අවබෝධයක් නෑ.නමුත්, ධර්මා ගුණසිංහ මහතාගේ ඥාති සහෝදරයකුගේ පුතකු (බෑනා) කෙනෙක් වන ගාමිණී ගුණසිංහ කියල කෙනෙක් සර්වෝදයේ වැඩ කළා. පසුව ඔහු ඇමරිකාවට ගියා.
8) ධර්ම ගුණසිංහ මහතා සතුන්ට ආදරය කළා. එතුමා බල්ලන් ඇති කලා නේද?
ඔහු බල්ලන්ට හා බළලූන්ට ආදරය කළා, ඇති කළා, සමහර විට ඔවුන් මැරුණාමත් කණගාටුවට නොකා නොබී හිටිය අවස්ථා තියෙනවා.
9) ධර්මා ගුණසිංහ මහතා අවිවාහකව සිටියේ ඇයි ? එතුමා ඉතා කඩවසම් පුද්ගලයෙක්. පුද්ගලික ජීවිතයේ දී ආදරය කියන හැගීම එතුමා කෙරෙහි බලපෑවේ කවර ආකාරයකින් ද? අවිවාහකව සිටීම සහ ජීවිතයේ තනිකම පිළිබඳව ගැටළුවක් පසුකාලීනව එතුමාට තිබුනා ද?
ධර්මා ගුණසිංහ මහතාගේ අධ්‍යාපනය, පවුල් හා සමාජ පසුබිමත් අනුව එතුමාටත් පෙම් සබඳකම් එක දෙකක් තියෙන්නට ඇති .එහෙත් එතුමා ඒවා ගැන කළ නොකිරී නාලන්දාවට හා සර්වෝදයට මුළු ජීවිතයම කැපකළා. ඒ හැර වෙනත් පවුල් ජීවිතයක් ඔහුට තිබුනේ නැහැ. තනිවී අසරණ වී සිටින විට ඒ අඩුව දැනෙන්න ඇති.නමුත් කිසිසේත් ඒ අඩුව පෙන්වූයේ නැහැ.
10) එතුමාට රට පුරා ගෝලයෝ හිටියා. විශ්‍රාම ගැනීමෙන් පසු එතුමා ගෝලයන් සමඟ කවර ආකාරයේ සබඳතාවක් පවත්වාගෙන ගියාද ?
ලංකාවේ මෙන්ම පිටරටත් එතුමාට සෑහෙන ගෝලබාල පිරිසක් හිටියා. ඒ හැම දෙනාම ඔහුට පුදුම විදියේ කෘතගුණ දැක්වූවා. ඔහු එක්තැන් වී අසනීප වුනාම ධර්මා ගුණසිංහ පදනමක් සාදා විශාල වශයෙන් මුදල් පරිත්‍යාග කොට රෝහලේ සහ සාත්තු නිවාසවල ඔහු ගත කරද්දී ඒ සියලූම වියදම් දරමින් ඔහුව බලා ගත්තේත් එම ශිෂ්‍යයින් සහ බෝධානන්ද හාමුදුරුවන් වහන්සේයි. ඔහු පරලෝ සැපත් වූ විට ආදාහනයට සහ වෙනත් සියලූම වියදම් දැරුවේ එම ආදී සිසුන් විසින්.
11) ධර්ම ගුණසිංහ මහතාගේ මරණයට ඔබගේ පියා සහ මව මුහුණ දුන්නේ කෙසේද ?
මෑත යුගයේදී ධර්මා ගුණසිංහ මහතා රෝහල්ගතව සාත්තු නිවාසයක සිටිය දී මගේ පියා සතියකට වරක් දෙවරක් නොවරදවාම ඔහු බැලීමට ගියා. ඔහුගේ මරණින් පසු දින තුනක්ම අවසාන කටයුතු සඳහා යොදවමින් මගේ පියා ඔහුගේ දේහය අසළ ම ගතකළා. හත් දවසේ දානෙනුත් පසුව තමයි ඔහුට ටිකක් විවේක ලැබුනේ. මෑත යුගයේ මගේ පියාට ලැබුන ඉතාමත්ම ශෝකජනක සිද්ධිය තමයි ගුණසිංහ මහතාගේ වියෝව. මගේ අම්මත් ඒ වගේම දුක් වුණා.
12 ) ධර්ම ගුණසිංහ මහතාගේ ඇවෑමෙන් පසු ඒ හිස් බව ඔබට දැනෙන්නේ කෙසේ ද ?
වසර දෙකක් පමණ එතුමා අසනීපෙන් සිටි නිසා එතුමාට සර්වෝදය කටයුතු වලට සහභාගිවීමට නොහැකි විය. ඒ නිසා එතුමාගේ වගකීම් ඉටු කිරීමට වෙනත් අය යොදවා ගත්තා.අපේ සර්වෝදය නිර්මාතෘවරුන් වශයෙන් සිටි දෙතුන් දෙනාගෙන් ගුණසිංහ මහතා වෙන්වයාම අපට ලොකු පාඩුවක්. ඒ හිස් බව පුරවන්න අය දැන් නැහැ.
සාකච්ඡා කලේ වෛද්‍ය රුවන් එම් ජයතුංග
ගුණසිංහ මහතා ගැන නොදත් බොහෝ දේ අඩංගු සටහනක් .කදිමයි
ReplyDeleteමහ පොළොවට ලුණු අවශ්‍යයි. ඒත් ටිකක් විතරයි...
ReplyDelete