Sunday, June 12, 2016

අරාලි තුඩුව

 

අරාලි තුඩුවට මා ගියේ 2005 වසරේදී වෛද්‍ය බළකායේ කපිතන්වරයෙකු සමගය​.  අරාලි තුඩුව ප්‍රකට ස්ථානයකි. කයිට්‌ස්‌හි අරාලි තුඩුවේදී ලුතිනන් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව මහතා ඇතුළු හමුදා නිලධාරීහු නව දෙනකු (මේජර් ජෙනරාල් විජය විමලරත්න, රියාර් අද්මිරාල් මොහාන් ජයමහ, කර්නල් ආරියරත්න, ඒ. පළිපහන, එම්. ආර්. ස්‌ටීවන්, අසංග ලංකාතිලක, සී. බී. විඡේපුර, එන්. එස්‌. අල්විස්‌ )  1992 අගෝස්‌තු 8 වැනිදා  ඔවුන් ගමන් කළ ලෑන්ඩ් රෝවර් රිය බිම් බෝම්බයකට ගොදුරු වීමෙන් මරුමුවට පත් වූහ.මේ නිලධාරීන් අරාලිපොයින්ට්‌ වෙත ගියේ මීලඟට ඇරඹීමට නියමිතව තිබූ ජයකීර්ති" මෙහෙයුමට සහභාගි වන හමුදා සේනාංක අරාලිපොයින්ට්‌ සිට කලපුව ඔස්‌සේ යාපනය අර්ධද්වීපයට යවන අන්දම පිළිබඳව සැලසුම් කිරීමටය. 

අරාලි තුඩුවේදී බිම් බෝම්බයකට අසුවූ ජෙනරාල් කොබ්බෑකඩුව ඇතුළු නිලධාරීන් ගමන් ගත් ලෑන්ඩ් රෝවර් රියට සමාන ආදේශක  මම දුටුවෙමි. ලෑන්ඩ් රෝවර්  රථය බෝම්බය නිසා ඇඹරී ගොසිනි. එම නිසා එදා සිදුවූ ස්ඵෝටනය ගැන මා අනුමාන කර ගත්තෙමි. එය බිම් බෝම්බයක් ද නැතහොත් ලෑන්ඩ් රෝවර්  රථයට ඇටවූ බෝම්බයක්ද කියා තවමත් කිසිවෙකු නොදනී. සත්‍ය අප කෙරෙන් බොහෝ ඈතය​. බ්‍රිතාන්‍ය බෝම්බ නාශක විශේෂඥයකු වූ ඡේ. ආර්. වයිට්‌ නිගමනය කල පරිදි  මෙය බිම් බෝම්බයක්‌ නොව බවත් ජීප් රියේ අටවා තිබූ බෝම්බයකි 

මට ලලී කොබ්බෑකඩුව මහත්මිය හමු වූ අවස්ථාව මතක් වේ. මට ඇය හමු වූයේ ඇයගේ නිවසේදීය​. ජෙනරාල් කොබ්බෑකඩුව ගේ මරණය ගැන කථා කල ඇය අවසානයේදී " ඔවුන්ට ඩෙන්සිල් ගේ නැග එන ජනප්‍රියතාව දරා ගැනීමට නොහැකිව ඔහුව ඝාතනය කලා කීවාය​. ලලී කොබ්බෑකඩුව මහත්මිය ඔවුන් කියා හැඳින්වූයේ ප්‍රභාකරන් ඇතුළු කොටි සංවිධානය නොවේ.ඔවුන් යනු කවරහුද ?  

මේ භූමියේදී මාගේ පාසල් මිතුරෙකු වූ ලුතිනන් කමාන්ඩර් අසංග ලංකාතිලකද මිය ගියේය​. අසංග ලංකාතිලක මා සමග නවය සහ දහය යන ශ්‍රේනි වල   එකම පන්තියේ ඉගෙන ගත්තේය​. අප  අසංගට මාමා සහ මුචලින් ද කියා නම් පටබැඳ තිබුනි. ඔහු දක්‍ෂ ක්‍රීඩකයෙකි. පාසල් අධ්‍යාපනයෙන් පසු ඔහු නාවික හමුදාවට බැඳුනේය​. ඔහුගේ මරණයට වසරකට දෙකකට පමණ උඩදී මා නිවාඩුවට ලංකාවට ආවිට අප දෙදෙනා හමුවී ගන්ස් ඔෆ් නැව්‍ රෝන් චිත්‍රපටය නැරඹූවෙමු. එය අපගේ අවසන් හමු වීමයි. ඉන් වසර බොහෝ ගනනකට පසු කොලඹ කනත්තේදී මම ඔහුගේ සොහොන දුටිමි.


වෛද්‍ය රුවන් එම් ජයතුංග

Saturday, June 11, 2016

නලින්ද ජයතිස්ස ගේ හෝමෝෆෝබියාව


2015 දෙසැම්බර් 10  ඬේලි නිව්ස් පුවත්පත හා සම්මුඛ සාකච්ඡාවේදී  ජවිපෙ පාර්ලිමේන්තු මන්ත‍්‍රී නලින්ද ජයතිස්ස තමුන් LGBT  ප‍්‍රජාවන්ගේ අයිතිවාසිකම් සඳහා තරයේ විරුද්ධ වන බවත්, සමලිංගිකත්වය වනාහි අස්වාභාවික දෙයක් ලෙසත් ප‍්‍රකාශ කරන ලදි.

මේ ඔහුගේ ප්‍රකාශයයි 

" මම මුළුමනින්ම ස්ත‍්‍රී-පුරුෂ සමලිංගික, දෙමුහුන් ලිංගික හා පාර ලිංගික (LGBT) අයිතීන්ට විරුද්ධයි. මෙය මනුෂ්‍ය පැවැත්මට අවශ්‍ය නැහැ. අපට අනාගත පරපුරක් අවශ්‍ය යි. විද්‍යාත්මක පර්යේෂණ වලට අනුව මෙවැනි හැඟීම් ඇති වන්නේ ආතතීන්ගේ ප‍්‍රතිඵලයක් ලෙසයි. මිනිසුන් ආතතිගත අවධීන් හෝ එවැනි පරිසරයක් තුළ කාලයක් ජීවත් වූ විට මෙවැනි අස්වාභාවික හැඟීම් ඇති වෙනවා. මෙවැනි චර්යාවන් අප වනාන්තර වල ජීවත් වූ අවධියේ දැක ගන්නට ලැබුනේ නැහැ. කෙසේ වුවත් ඔවුන්ව සිරගත කල විට මෙවැනි චර්යාවන් දක්නට ලැබෙනවා. මම විශ්වාස කරන්නේ පිරිමින් හා ගැහැණුන් අතර විවාහය පමණයි. සමලිංගික විවාහ අස්වාභාවිකයි. එය මානව වර්ගයාගේ පරිණාමයට විරුද්ධයි.”  

වෛද්‍ය අධ්‍යාපනය ලද ජවිපෙ නායකයකු වන නලින්ද ජයතිස්ස ගේ හෝමෝෆෝබියාව තේරුම් ගත හැක්කේ කෙසේද ?   ඩී.එස්.එම් වර්ගීකරණය (The Diagnostic and Statistical Manual of Mental Disorders (DSM) අනුව සමලිංගිකත්වය මානසික රෝගයක් ලෙසට දැන් සැලකෙන්නේ නොමැති බව වෛද්‍යවරයෙකු ලෙස ඔහු නොදැන සිටියේ නම් එය ඔහුගේ දැණුමේ ඌණතාවකි. ඔහුගේ වෛද්‍ය  විද්‍යාත්මක දැණුම තවමත් යාවත්කාල වී නැත​. එය දැණුමේ ඌණතාවක් නොවේ නම් සංස්කෘතික පසුගාමීත්වය සමග බැඳුන තත්වයක් විය හැකිය​. 




මිත්‍යාව පසුපස යන ලාංකිකයා



විසි එක්වන සියවස උදාවී තිබුනද ලාංකිකයා තවම ජීවත් වන්නේ මිත්‍යාව සමග. ජාතික පුවත්පත් ද මිත්‍යාව ප්‍රවර්ධනය කරති. මිත්‍යාව සමාජගත කිරීම හරහා සමාජය නූගත් කිරීම එක්තරා ආකාරයක දේශපාලන ව්‍යාපෘතියකි. නූගත් සමාජයක් යනු දූෂිත දේශපාලකයන්ට රන් ආකරයකි. 




Friday, June 10, 2016

2008 මානසික සෞඛ්‍යය දිනය

 



පුත්තලම දිස්ත්‍රික්  මානසික සෞඛ්‍යය  සම්බන්ධීකරණ වෛද්‍ය නිලධාරී  ලෙස සේවය කරන කාලයේදී මම මානසික සෞඛ්‍යය දිනය සැමරීමට වැඩසටහනක් දියත් කලෙමි. මේ වැඩසටහන සඳහා පුත්තලම දිස්ත්‍රික්  පළාත් සෞඛ්‍යය සේවා අධ්‍යක්‍ෂක වෛද්‍ය ආර් එම් එස් කේ රත්නායක මහතා මනා සහයෝගයක් දුන්නේය​. මෙම වැඩසටහනට ආරාධිතයන් ලෙස ආචාර්‍ය තිලෝක සුන්දරී කාරියවසම් මිය සහ මහාචාර්‍ය නාලක මෙන්ඩිස් යන විද්වතුන්ට මම ආරාධනා කලෙමි. 

පුත්තලම දිස්ත්‍රික්කයේ වෛද්‍යවරු සහ හෙදියන් රැසක් සහභාගීවූ මෙම වැඩසටහන පවත්වන ලද්දේ මාදම්පේ පළාත් සෞඛ්‍යය සේවා අධ්‍යක්‍ෂක කාර්‍යාලයේය​. මෙම කාර්‍යාලයේ ආරාධිතයන් 100 පමණ අසුන් ගත හැකි මල්ටිමීඩියා ප්‍රොජෙක්ටරයක් සහිත දේශන ශාලාවක් විය​. ආචාර්‍ය තිලෝක සුන්දරී කාරියවසම් ලංකාවේ සුප්‍රකට අධ්‍යාපන මනෝවිද්‍යාඥවරියකි. ඇයගේ දේශනය ගුරුවරුන්ටත් වැදගත් බැවින් අප පුත්තලම ,මාදම්පේ , හලාවත මහවැව යන ප්‍රදේශ වල පාසල් වල ගුරුභවතුන්ටද ආරාධනා කලෙමු. ආචාර්‍ය තිලෝක සුන්දරී කාරියවසම් ළමුන් ගේ අධ්‍යාපන ගැටළු සහ කායික මානසික සෞඛ්‍යය අතර පවතින සම්බන්ධය ගැන කථා කලාය​. 

මහාචාර්‍ය නාලක මෙන්ඩිස්  කෘතහස්ත මනෝ වෛද්‍යවරයෙකි. මට එතුමා මුලින්ම මුණ ගැසුනේ ගෝතමී බාලිකා විද්‍යාලයේදී දේශනයකට පැමිනි අවස්ථාවකය​. එය 1982 වසර විය යුතුය​. මේ දේශනයට නාලන්දාවේ සිසුන්ටද ආරාධනා කොට තිබූ හෙයින් අපද යාබද ගෝතමී බාලිකා විද්‍යාලයට ගොස් මහාචාර්‍ය නාලක මෙන්ඩිස්ගේ දේශනයට සවන් දුන්නෙමු. එදින එතුමා කතා කලේ මත්ද්‍රව්‍ය වල ආදීනවය​. 

2008 වසරේ මානසික සෞඛ්‍යය දිනයදා  මහාචාර්‍ය නාලක මෙන්ඩිස් ආරාධිතයෙකු ලෙස පුත්තලම දිස්ත්‍රික්  පළාත් සෞඛ්‍යය සේවා අධ්‍යක්‍ෂක කාර්‍යාලයට පැමිණි විට පිළිගැනීමේ කතාව කිරීමට නියමිතව තිබුනේ මා හටය​. මෙම කතාවේදී මම මහාචාර්‍ය නාලක මෙන්ඩිස් මුලින්ම දුටු 1982 වසරේ සිදුවීම මතක් කලෙමි. එය ඇසීමෙන් එතුමාගේ මතකය අළුත් වන්නට ඇත​. 

මහාචාර්‍ය නාලක මෙන්ඩිස් පුත්තලම දිස්ත්‍රික්කයේ මානසික සෞඛ්‍යය ප්‍රවර්ධනය සඳහා අප විසින් ගෙන තිබූ ක්‍රියාමාර්ගයන් අගය කලේය​. දිස්ත්‍රික්කයේ මත්ද්‍රව්‍ය සහ දුම්වැටි භාවිතය අවම කිරීම සඳහා පුත්තලම දිස්ත්‍රික්කයේ වෛද්‍යවරු සහ හෙදියෝ ඇඩික් සහ මෙල් මැදුර යන ආයතන හරහා පුහුණු කිරීම අප විසින් කරන ලදි. මේ වැඩසටහනට වෛද්‍ය මනෝජ් ප්‍රනාන්දු සහ පුබුදු සුමනසේකර මහතා අනගි සහයක් අපට දුන්නෝය​. එසේම සර්වෝදය ආයතනයේ සහයෙන් අප උපදේශනය ලබා දෙන මධ්‍යස්ථාන අටක් පමණ දිස්ත්‍රික්කයේ ස්ථාපිත කලෙමු. මෙම මධ්‍යස්ථාන සඳහා උපදේශයන් පුහුණු කිරීමට විශේෂඥ මනෝ වෛද්‍ය නීල් ප්‍රනාන්දු මහතා උපකාර කරන ලදි. එසේම වෛද්‍ය නීල් ප්‍රනාන්දු මාදම්පේ කරුවලගස්වැව යන ප්‍රදේශ වලට පැමිණ අපගේ ප්‍රජා උපදේශකයන් හමු විය​.

එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් උතුරෙන් පළවා හරින ලද මුස්ලිම් අනාතයන් ජීවත් වූයේ පුත්තලම දිස්ත්‍රික්කයේ ආලංකුඩා ප්‍රදේශයේය​. මම මෙම ප්‍රජාව අතුරින් ප්‍රජා උපදේශකයන් ලෙස තරුණ තරුණියන් කිහිප දෙනක් තෝරාගෙන ඔවුනට පුහුණුවක් දුන්නෙමි. එසේම එම ප්‍රජාවන් සඳහා මනෝ වෛද්‍ය පහසුකම් ලබා ගැනීමට හැකි ක්‍රමවේදයන් ගැන ප්‍රජාව දැණුවත් කලෙමි. මේ හැර මුස්ලිම් ජාතික මහජන සෞඛ්‍යය පරීක්‍ෂකයෙකු යොදවා සිකුරාදා දින වල මුස්ලිම් පල්ලියේ එක් රැස් වන පිරිස වෙත සෞඛ්‍යය අධ්‍යාපනය , මත් ද්‍රව්‍ය භාවිතයේ අනිසි ප්‍රතිඑල යනාදිය ගැන දෙමල බසින් දේශන පවත්වන්නට කටයුතු කලෙමි.

මා විසින් දියත් කරන වැඩසටහන් සඳහා එකල සිටි මානසික සෞඛ්‍යය අධ්‍යක්‍ෂක හිරන්තී ද සිල්වා මිය , නීති ආධාර කොමිසමේ .එස් එස්  විජේරත්න මහතා , බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් වජිර විජේගුනවර්ධන මහතා උපකාර කල බව කියන්නේ තුති පූර්වකවය​. නීති ආධාර කොමිසමේ එස් .එස්  විජේරත්න මහතා , බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් වජිර විජේගුනවර්ධන මහතා සර්වෝදය සභාපති ආචාර්‍ය ඒ.ටී ආරියරත්න මැතිතුමා  අපගේ වැඩසටහන් වලට කොලඹ සිට මාදම්පේ පුත්තලම දිස්ත්‍රික්  පළාත් සෞඛ්‍යය සේවා අධ්‍යක්‍ෂක කාර්‍යාලය වෙත ආහ​. එසේම දිස්ත්‍රික්කයේ වෛද්‍යවරු මෙන්ම හෙදියන්ද මෙම වැඩසටහන් සාර්ථක කර ගැනීමට උර දුන් බව සඳහන් කරන්නේ ඔවුන් කෙරෙහි ගෞරවයෙනි. 


වෛද්‍ය රුවන් එම් ජයතුංග 
 

Wednesday, June 8, 2016

දිවි නසා ගැනීමේ චර්‍යාව


2016 ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිකුත් කළ නවතම වාර්තාවක දැක්‌වෙන පරිදි ලොව සියදිවි නසා ගැනීම් වැඩිවශයෙන් සිදුවන රටවල් අතරින් ශ්‍රී ලංකාව සිව්වැනි ස්‌ථානයට පත්ව ඇත​. ශ්‍රී ලංකාවේ  ජනගහනයෙන් ලක්‍ෂයකට 28.8 දෙනකු දිවි නසා ගනිති.  දිවි තොර කර ගන්නාවූ  බහුතරය, වයස 15-44 අතර පුද්ගලයන් ය.(ලංකාව නිදහස ලබා ගත් වසර වන  1948   දී  සියදිවි නසා ගැනීමේ අනුපාතිකය   වූයේ පුද්ගලයන් ලක්‍ෂයකට 9 කි). 

සියදිවි නසාගැනීමේ අවදානම සදහා බලපාන ප්‍රධාන සාධක අතර  මානසික රෝග විශේෂයෙන් විශාදය වැනි තත්වයන් හඳුනාගෙන තිබේ. ශ්‍රී ලංකාවේ මානසික රෝග පිළිබඳ දත්ත අනුව පුද්ගලයන් දස දෙනකුගෙන් එක්‌ අයකු කුමන හෝ මානසික රෝග තත්ත්වයකින් පෙළෙන අතර ප්‍රතිකාර සඳහා යොමු වන්නේ සියයට 20 ක්‌ වැනි සුළු ප්‍රතිශතයකි.  මානසික රෝග පිළිබඳව සමාජයේ පවතින පසුගාමී අදහස් , රෝගීන් පිටුදැකීම ,  මානසික රෝග හා බැඳුනු කලංකය (stigma ) නිසා මානසික රෝගීන් ප්‍රතිකාර වෙත යොමු නොවෙති. මේ හැර මානසික රෝග වලදී සුදුසුකම් ඇති චිකිත්සකයන් වෙත යාම වෙනුවට වියාජ පොට්ටනි වෙදුන් , නිපුණතාවක් හෝ දැණුමක් නැති වියාජ සුදුසුකම් දක්වන මනෝ උපදේශකයන් මගින් ප්‍රතිකාර ලබා ගැනීමට යාමෙන් මානසික රෝග උග්‍ර අතට හැරී රෝගීන් දිවි නසාගත් අවස්ථාද වාර්තා වී ඇත​.  

ලංකාවේ  ජනමාධ්‍ය  මගින් සියදිවි නසාගැනීම වාර්තාකරණය බොහෝ විට ආචාර සම්පන්න නොවන  අතර සියදිවි නසාගැනීමේ ක්‍රමවේදයන් ද පළ කරති. මෙමගින් සියදිවි නසාගැනීම උත්ප්‍රේරණය වේ. 

2003 වසරේදී  විශේෂඥ මනෝ වෛද්‍ය නීල් ප්‍රනාන්දු මහතාත් මමත්  දිවි නසා ගැනීමේ චර්‍යාව සහ උපදේශන් ප්‍රතිකාර නමින් පොතක් පළ කලෙමු. මෙම පොත මගින් අප අදහස් කලේ වෛද්‍යවරුන්ට , මනෝ උපදේශයන්ට දිවි නසා ගැනීමේ චර්‍යාව හා සබැඳි ගතිකයන් පිළිබඳව අවලෝකනයක් මෙන්ම දිවි නසා ගැනීමේ චර්‍යාව නිශේදනය කිරිමේලා උපදේශන  දීමට අවශ්‍ය දැණුම ලබා දීමයි. 

වෛද්‍ය රුවන් එම් ජයතුංග 

Find Us On Facebook