Thursday, April 7, 2016

ඊ අබේකෝන් මිය -ප්‍රාථමික ගුරුවරියන් අතර සදාතන පරමාදර්ශී ගුරුවරිය



1973 වසරේ සිට 1985 වසර දක්වා මම කොලඹ නාලන්දා මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබුවෙමි. ප්‍රාථමික ශ්‍රේණි වලදී මට ඉගැන්වූ ගුරුවරියන් අතර සුවිශේශ ගුරුවරියක් ලෙස මට ඊ අබේකෝන් මිය මතකයට නැගෙයි. ඇය පාසලට පැමිණියේ කළු පැහැති ෆෝඩ් ඇඟ්ලියා රථයකිනි. සිංහල සහ ඉංග්‍රීසි භාශාව මනා සේ හැසිරවූ ඇය ඉතා මනහර ලෙස පියානෝවද වාදනය කළාය​. ලංකාවේ මෙන්ම පිටරට ලෝකය පිළිබඳ මනා දැණුමක් තිබූ ඇය අපට ඊජිප්තුවේ පිරමීඩ , ඇමරිකාවේ උස් ගොඩනැගිලි , ඕස්ටෙ‍්‍රලියාවේ කොරල් පර , ඉතාලියේ ගිනිකඳු , එංගලන්තයේ මාලිගා යනාදිය ගැන තොරතුරු කීවාය​. 

අබේකෝන් මිය යනු ප්‍රාථමික ගුරුවරියන් අතර සදාතන පරමාදර්ශී ගුරුවරිය බව මට අද දිනයේ වැටහේ. ඇය විශ්‍රාම ලැබුවේ අප තුන්වන පන්තියේ සිට හතරවන  වන පන්තියට සමත් වූ  1975 වසර අග විය යුතුය​.  ඉන් වසර විස්සකට පසු 1995 දී මම  අබේකෝන් ගුරු මාතාව හමු වීම පිණිස ගියෙමි. ඒ කාලයේ ඇය තමන් ගේ එක් දියණියක් සමග වාසය කලාය​. වයෝවෘධ වූවද ඇයට තමන් ඉගැන්වූ දඟකාර සිසුවා අඳුනා ගැනීමට අපහසු නොවුවාය​. අබේකෝන් ගුරු මාතාව අද ජීවතුන් අතර නැත​. නමුත් ඇය උගන්වන ලද සිසු දරු පරම්පරා කීපයක් සිටිති. ඔවුන් ද අබේකෝන් මිය යනු ප්‍රාථමික ගුරුවරියන් අතර සදාතන පරමාදර්ශී ගුරුවරිය බව විශ්වාස කරනු  නොඅනුමානය​.

2002 වසරේ මා විසින් ලියන ලද අධ්යාපන ප්රතිකාර නැමැති පොත මා පිළිගන්වන ලද්දේ දිවංගත අබේකෝන් ගුරුතුමිය වෙතය​. අබේකෝන් ගුරුතුමිය වෙනුවෙන් පොත පිළිගන්වනු ලැබුවේ එතුමියගේ දියණියක් වූ රෝහිනී වීරසිංහ මහත්මියටය​.


වෛද්‍ය රුවන් එම් ජයතුංග 

Tuesday, April 5, 2016

බෙලොරුසියාව හරහා




බෙලොරුසියාව හෙවත් බෙලරූස් රාජ්‍ය මුල් කාලයේදී සෝවියට් දේශයට අයත්ව තිබූ සමූහාඅාණ්ඩුවකි. වර්තමානයේ එය නිදහස් රටකි. බෙලොරුසියාව යන්නේ අරුත සුදු රුසියාව යන්නයි. රුසියන් සහ යූක්‍රයීන භාෂා දන්නා අයෙකුට බෙලොරුසියානු බස තේරුම් ගත හැක​. 

මා මුල් වරට බෙලොරුසියාවට ගියේ ශීත සමයකය​. එදින උෂ්ණත්වය සෘණ 17 පමණ වූ බව සිතමි එසේම නොකඩවා හිමද ඇද හැලුනේය​. මා මින්ස්ක් නගරයට ගියේ එක්දහස් නවසිය හැට ගනන් වල මේ නගරයේ ජීවත් වූ ජනාධිපති කෙනඩි ඝාතකයා ලෙස සැලකෙන ලී හාවි ඔස්වල්ඩ් පිළිබඳ තොරතුරු සොයාගෙනය​. 

ලී හාවි ඔස්වල්ඩ් ඇමරිකාවේ සිට සෝවියට් දේශයට පැමිනෙන්නේ දේශපාලන රැකවරණ ඉල්ලාගෙනය​. ඉන් පසු ඔහු මින්ස්ක් නගරයේ පදිංචි වන අතර මරීනා නම් සෝවියට් කාන්තාවක සමග විවහා වෙයි. 1989 වන විට මින්ස්ක් වැසියන් තුල ලී හාවි ඔස්වල්ඩ් පිළිබඳ මතකයක් නොවීය​. නමුත් අවසානයේදී එක් ටැක්සිකරුවෙක් ලී හාවි ඔස්වල්ඩ් පදිංචි වී සිටි තට්ටු නිවාස සංකීර්ණය වෙත මා ගෙන ගියේය​. හිම පතනය දරුණු වූ නිසා ඔහු ජීවත් වූ නිවසේ සඳලුතලය පමණක් බලා ගැනීමට හැකි විය​. 

දෙවන ලෝක සංග්‍රාම කාලයේදී බෙලොරුසියාව නට්සින් ගේ කුරිරු ග්‍රහණයට අසු වීය​. නට්සීන් බෙලොරුසියානු ගම් පිටින් දවා හළු කරන ලදි. මින් එක් ග්‍රාමයක් වූ හත්තින් ගම්මානයේ කතාව ඉතා ශෝකජනකය​. ජර්මානු හමුදා හත්තින් ගම්මානය වට කොට මිනිසුන් ගැහැනුන් ළමුන් සියළුම දෙනා එක ස්ථානයකට ගාල් කොට ඔවුන්ට වෙඩි තබා මරා දැමූහ. අනතුරුව ඔවුන් ගම්මානය ගිනිබත් කරන ලදි. 

මේ සමයේදී බෙලොරුසියාවේ පර්ටිසාන්වරුද ජර්මානුන්ට එදිරිව සටන් කලහ​. ජර්මානුන් යුදෙව්වන් තොග ගනනේ මරා දමන විට යුදෙව් සොහොයුරන් තිදෙනෙකු වන ටුවියා, සූස් සහ අසයෙල් විසින් පර්ටිසාන් කණ්ඩායමක් පුහුණු කොට නට්සීන් දඩයම් කලහ​. මොවුන්ව හඳුන්වන ලද්දේ බෙල්ස්කි සොහොයුරන් වශයෙනි. බෙල්ස්කි සොහොයුරන් බෙලොරුසියා වනාන්තර වල සැඟවී නට්සීන්ට පහර දුන්හ. ​පසුව බෙල්ස්කි සොහොයුරන් ගේ අරගලය Defiance යන නමින් සිනමාවට ද නැගුන අතර සුපිරි නළු ඩැනියෙල් ක්‍රෙග් මේ චිත්‍රපටයේ රඟපෑවේය​. 

බ්‍රෙස්ට් යනු බෙලොරුසියාවේ එක් ප්‍රධාන නගරයකි. අප බොහෝ විට දුම්රියෙන් බටහිර යුරෝපයට යන විට ගියේ බ්‍රෙස්ට් හරහාය​. ඒ කාලයේ ආරක්ශක පියවරක් ලෙස සෝවියට් දේශයේ රේල් පාරවල් අනෙකුත් යුරොපියානු රටවල රේල් පාරවල් වලට වඩා පළලින් යුක්ත විය​. මේ නිසා සතුරු හමුදා වලට එක වරම දුම්රිය මගින් සෝවියට් දේශයට කඩා වදිනු නොහැකි විය​. එබැවින්  බ්‍රෙස්ට් හරහා යන එන කෝච්චි ඔසවා සෝවියට් දේශයේ රේල් පාරවල් වලට ගැලපෙන ලෙස දුම්රිය රෝද සකස් කරති. එබැවින් බොහෝ විට අප බ්‍රෙස්ට් දුම්රිය පලේ කාලය මැරුවෙමු. 

වර්තමානයේ බෙලොරුසියාවේ දේශපාලන තත්වය ගැටලු සහගතය​. ජනාධිපති ඇලෙක්සැන්දර් ලුකශෙන්කෝ ඒකාධිපතියෙක් බව ඔහුගේ විරුද්ධවාදීහු පවසති. මානව හිමිකම් උල්ලංඝනය ගැන චෝදනාද ඔහුට තිබේ. අන්තර්ජාලය තහනම් සහ සීමාසහිත කොට තිබෙන රටවල් ස්වල්පය අතර බෙලොරුසියාවද සිටී. 


වෛද්‍ය රුවන් එම් ජයතුංග 

Monday, April 4, 2016

අධිකරණ වෛද්‍ය අංශය

 

විශේෂඥ මනෝ වෛද්‍ය නීල් ප්‍රනාන්දු මහතා සමග වැඩ කරන ලද කාලය තුලදී මට විවිධ අත්දැකීම් ලැබුණි. ඉන් එකක් නම් අංගොඩ මානසික රෝහලේ  අධිකරණ වෛද්‍ය අංශයේ සේවය කිරීමයි. අධිකරණ වෛද්‍ය අංශය හෙවත් Forensic Psychiatry ඒකකය මගින් ලංකාවේ අධිකරණ පද්ධතියට විශේෂ සේවයක් සපයයි. මෙම අංශයේ සිටින රෝගීන් ගේ මානසික තුලනීක්‍ෂණය සඳහා මමද දායකත්වයක් දුනිමි. 

අංගොඩ මානසික රෝහලේ  අධිකරණ වෛද්‍ය අංශයේ සිටින විවිධාකාර රෝගීන් මම දුටුවෙමි. සමහර රෝගීන් මට තවමත් මතකය​. ඉන් එක් රෝගියෙකු වුයේ භින්නෝන්මාදය (Schizophrenia)  නිසා තම මව දූෂණය කරන ලද පුද්ගලයෙකි. ඔහු වයස තිස් දෙකක් පමණ වූ කුඩා ශරීරයකින් හෙබි අයෙකි. සයිකෝසියාව උග්‍ර වූ අවස්ථාවක ඔහු විසින් තමන් ගේ මව බරපතල ලිංගික දූෂණයකට ලක් කරන ලද අතර පසුව ඔහුව පොලිස් අත් අඩංගුවට පත් විය​. උසාවි නිර්දේශය අනුව ඔහු අංගොඩ මානසික රෝහලේ  අධිකරණ වෛද්‍ය අංශයේ ප්‍රතිකාර ලබයි. 

මම මේ පුද්ගලයා සමග කතා කලෙමි. එකී සිද්ධිය පිළිබඳව ඔහුට මතකයක් නැත​. එසේම ඖෂධ ප්‍රතිකාර නිසා ඔහුගේ රෝගී තත්වය බොහෝ දුරට යහපත් අතට හැරී තිබේ. එසේම සති දෙකකට වරක් පමණ ඔහුව බැලීමට ඔහුගේ මව පැමිනියාය​. ඇය කුඩා ශරීරයකින් හෙබි මධ්‍යම වයසේ කාන්තාවකි මව විසින් මුහුණ දෙන ලද  ක්ශිතිමය අත්දැකීම  විශාලය​. එහෙත් ඇය තම පුතා අත් නොහැරියාය​. මෙම මාතාවට යම් කිසි මනෝ උපදේශයක් ලැබුනාද කියා මම නොදනිමි. 

මෙම ඒකකයේ සිටි තවත් පුද්ගලයෙකු සයිකෝසීය තත්වය නිසා හිරමණයකින් පහර දී තම බිරිඳ මරා දමා තිබුනේය​. ව්‍යාථවේදී මාත්සර්‍ය්‍යය හෙවත්  Pathological Jealousy  ස්වභාවය උග්‍ර වීමෙන් ඔහු මෙකී අපරාධය කොට තිබුනි. එහෙත් පසුව ඔහු භින්නෝන්මාදයෙන් පෙළුණු බව සොයා ගැනුනි. රෝගී තත්වය නිසා ඔහු මනෝ භ්‍රාන්තීන් දකින්නට විය​. මෙම මනෝ භ්‍රාන්තීන් ලිංගික ඉරිසියාව මත ගොඩ නැගුනු ඒවා වීම විශේෂත්වයකි. ගමේ මිනිසුන් , ග්‍රාමසේවක පවා පැමින තම බිරිඳ සමග සංසර්ගයේ යෙදෙනවා ඔහු දුටුවේය​. එවැනි අවස්ථාවක ඔහු හිරමණයකින් පහර දී බිරිඳව මරා දැමුවේය​. 

බිරිඳ මිය ගිය පසුද ඔහුට බිරිඳ විවිධ පුද්ගලයන් සමග ලිංගිකව හැසිරෙනවා මනෝ භ්‍රාන්තීන් ලෙස දකින්නට විය​. යථාර්තයත් මායවත් අතර ඔහු පැටලී සිටියේය​. බිරිඳ මිය ගොස් බොහෝ කාලයක් ගතවී තිබෙන බව ඔහු නොදත්තේය​. 

තවත් රෝගියෙකු බරපතල මනෝ රෝගී තත්වයක් නිසා මල් කඩමින් සිටි මවක සහ කුඩා දියණියක පොල්ලකින් ගසා මරා දමා තිබුනි. තමන් විසින් කරන ලද බරපතල ක්‍රියාව ගැන මේ පුද්ගලයාට ඒ වන විටත් සංගත භාවයක් නොවීය​. 

වරක් මිනී මැරුම් ඇතුළු විවිධ අපරාධ කල පුද්ගලයෙක් බොරු පිස්සුවක් ගෙන උසාවිය නොමග යවා තිබුනි. මේ පුද්ගලයා මා වෙතද එවා මා සිතන්නේ කුමක් ද කියා වෛද්‍ය නීල් ප්‍රනාන්දු මහතා ඇසුවේය​. අසන සෑම ප්‍රශ්නයකටම "යකා තමයි මට කරන්න කිව්වේ"  කියා ඔහු පිලිතුරු දෙයි. එහෙත් මෙම පුද්ගලයා කරන්නේ රැවටිල්ලක් බව අප තේරුම් ගත්තෙමු. එම නිසා ඔහු වියාජ රඟපෑමක් කරන බව උසාවියට දැනුම් දෙන ලදි. 

අධිකරණ වෛද්‍ය අංශයේ ලිංගික අපගමනයන් පෙන්වන ලද පුද්ගලයන් කිහිප දෙනෙකුද වූහ​. එක් අයෙක් ස්වයං වින්දනයේ යෙදී ශුක්‍රාණු අනෙකුත් රැඳවියන් ගේ ඇඟ තැවරීමට පුරුදුව සිටියේය​. මේ නිසා සමහරක් විට ඔහු වෙනත් රෝගීන් අතින් පහර කෑමටද ලක් විය​. 

අංගොඩ මානසික රෝහලේ  අධිකරණ වෛද්‍ය අංශයේ සිටි රෝගීන්ට තිබූ ඇඳුම් හිඟකම මම නිරීක්‍ෂණය කලෙමි. මේ නිසා මම මාදම්පේ සෞඛ්‍යය සේවා අධ්‍යක්‍ෂක කාර්‍යාලයේ සේවය කරන විට කාර්‍යමණ්ඩලයේ සහයෙන් පරණ ඇඳුම් විශාල ප්‍රමාණයක් එක් රැස් කොට ඒවා අංගොඩ මානසික රෝහලේ  අධිකරණ වෛද්‍ය අංශයේ රෝගීන්ට ලබා දුන්නෙමි. 


වෛද්‍ය රුවන් එම් ජයතුංග 

Sunday, April 3, 2016

71 කැරැල්ල ආරම්භයේ සිට අවසානය දක්වා පුර්ණ සමාලෝචනයක්

 


 

වෛද්‍ය රුවන් එම්. ජයතුංග  විසින්  71 කැරැල්ල පිළිබඳව අධ්‍යයනයක් කොට කැරළිකරුවන් සම්මුඛ සාකච්ඡාවලට ලක් කරමින් ඉතිහාසයේ සැඟව පැවති සාධකයන් ඉස්මතු කරමින් ඉතා අගනා සමාජ විද්‍යාත්මක හා ඓතිහාසික වශයෙන් වටිනා කෘතියක් පාඨකයාට ලබා දීම ප්‍රශස්ත කරුණක් ලෙස මම දකිමි.
 
වෛද්‍ය රුවන් එම්. ජයතුංග මට මුලින්ම හමු වූයේ 1986 වැනි ඈත කාලයේදීය. කොළඹ නාලන්දා මහා විද්‍යාලයේ උසස් පෙළ නිම කළ සිසුවෙකුව සිටියදී ඔහු අර්ධකාලීනව ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ඉංග්‍රීසි අංශයේ බාහිර නිෂ්පාදකයෙකු ලෙස සේවය කළේය. එහිදී වැඩසටහන් වලදී අප මුණගැසී තිබේ.
 
71 කැරැල්ල මතුවූ අවස්ථාවේදී මම එවකට පැවති රජයේ කැබිනට් මණ්ඩලයේ ලේකම්වරයා වූයෙමි. කැරැල්ල මැඩපැවැත්වීමෙන් පසුව රඳවා සිටි කැරළිකරුවන් පුනරුත්ථාපනය කොට ඔවුන් යළි සාර්ථකව සමාජගත කිරීම සඳහා අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියට අවංක අභිලාෂයක් තිබූ අතර එම පුනරුත්ථාපන කාර්යය මා වෙත පවරනු ලැබීය. මෙම අභියෝගය මම භාර ගත්තෙමි. අප කරුළිකරුවන්ගේ පුනරුත්ථාපන කටයුතු ඇරඹුවේ විවිධ ක්ෂේත්‍ර වල ප්‍රවීණ උපදේශකයන්ගේ සහායද ලබා ගනිමිනි. වඩාත්  ගුණාත්මක සේවයක් ලබාදීමට අපට හැකිවූ බව පවසන්නේ නිහතමානී සතුටක් සිතේ රඳා ගනිමිනි.
 
71 කැරැල්ලටසහභාගිවූවන්ගේ පුනරුත්ථාපනය හා යළි සාර්ථක සමාජගත කිරීමේ කර්තව්‍යයේ ප්‍රතිඵල අද අපි දකිමු. බහුතරයක් කැරළිකරුවන්අද ඵලදායි යහපත් පුරවැසියන් ය. 88 දෙවන කැරැල්ලට ඔවුන්ගෙන් 1% ක් හෝ සහභාගි වූයේ නැත. 71 පශ්චාත් කැරළි පුනරුත්ථාපනය සාර්ථක කර ගැනීම සඳහා සහාය දුන් නිලධාරින්ටද එහි ගෞරවය ලැබිය යුතුය.
 
71 කැරැල්ලෙන් දශක හතරකට ආසන්න කාලයකට පසුව කැරැල්ලේ විවිධ පාර්ශ්ව හරහා තොරතුරු ගවේෂණය කාලෝචිත පියවරකි. 71 කැරැල්ල සම්බන්ධයෙන් ලියැවී ඇති සීමිත පොත් අතරට මෙම වටිනා ග්‍රන්ථයද එකතු වීම සතුටට කරුණකි. විවිධ විෂයයන් යටතේ සිංහල හා ඉංග්‍රීසි භාෂාවලින් පොතපත ලියා ඇති වෛද්‍ය රුවන් එම්. ජයතුංග  වැනි ලේඛකයකුගෙන් 71 කැරැල්ල පිළිබඳව සමබර කෘතියක් ලියැවීම ප්‍රශස්ත කටයුත්තකි.


 
ආචාර්ය ලීල් ගුණසේකර
71 කැරැල්ලේ පුනරුත්ථාපනය පිළිබඳ අතිරේක ලේකම්

Friday, April 1, 2016

කර්තෘ ගේ වෙනත් කෘති


මා විසින් කොපමණ පොත් ප්‍රමාණයක් ලියා ඇත්දැයි මගේ මිතුරෙක් නොබෝදා ඇසුවේය​. මා විසින් ලියා තිබෙන පොත් ප්‍රමාණය පිළිබඳව තවමත් මට නිවැරදි තක්සේ‍රුවක් නොමැත​. ඒ නිසා මගේ මතකය අනුව මා විසින් ලියන ලද පොත් වල නාමාවලියක් සැකසුවෙමි. සමහර විට පොත් දෙක තුනක් මට මඟ හැරී තිබීමට හැකිය​. මෙතරම් ප්‍රමාණයක් පොත් ලිවූවද පොත් වලින් (කර්තෘ භාගය​) මා විසින් උපයන ලද මුදල් ප්‍රමාණය සොච්චමකි. සමහර පොත් වලින්  කර්තෘ භාග මට මේ දක්වා  ලැබී නැත​. නමුත් මේ පොත් ලිවීමෙන් මා සතුටක් ලද බව කිව යුතුය​. 


01. මල් වැනි දරුවන් - ගොඩගේ ප්‍රකාශනයකි.
02. අධ්‍යාපන ප්‍රතිකාර - සර්වෝදය විශ්වලේඛා ප්‍රකාශනයකි.
03. අධ්‍යාපන ප්‍රතිකාර  - විජේසුරිය  ග්‍රන්ථ කේන්ද්‍රය
04. මනෝ විද්‍යාත්මක උපදේශනය - විජේසුරිය  ග්‍රන්ථ කේන්ද්‍රය
05. ප්‍රතිකාරාත්මක උපදේශනය - විජේසුරිය  ග්‍රන්ථ කේන්ද්‍රය -
06. දිවි නසා ගැනීමේ චර්යාව හා උපදේශන ප්‍රතිකාර - මනෝ රෝග විශේෂඥ නීල් ප්‍රනාන්දු සමඟ - විජේසුරිය  ග්‍රන්ථ කේන්ද්‍රය 

07. විශාදය හා මනෝ ප්‍රතිකාරය - මනෝ රෝග විශේෂඥ නීල් ප්‍රනාන්දු සමඟ - විජේසුරිය  ග්‍රන්ථ කේන්ද්‍රය 

08. ජෝන් එෆ් කෙනඩි - ජීවිතය සහ මරණය (වි.ග්‍ර.කේ.)
09. ඉවාන් ගේ ලෝකය (වි.ග්‍ර.කේ.)
10. මිනිසුන් තුළින් ලෝකය දුටුවෙමි (වි.ග්‍ර.කේ.)
11. යුද ආතතියේ මනෝවිද්‍යාත්මක බලපෑම (වි.ග්‍ර.කේ.)
12. අකුරු සැරිය -  -ඩිස්ලෙක්සියාව සඳහා භාෂා ප්‍රතිකාර -  ANL ප්‍රකාශකයෝ
13. සරල ක්‍රම මගින් ගණිතය ඉගැන්වීම - 1  ANL ප්‍රකාශකයෝ
14. සරල ක්‍රම මගින් ගණිතය ඉගැන්වීම - 2  ANL ප්‍රකාශකයෝ
15. චිත්‍ර ප්‍රතිකාර -  ANL ප්‍රකාශකයෝ
16. පෙර පාසල් ළමයින් සඳහා බුද්ධි වර්ධන අභ්‍යාස -  ANL ප්‍රකාශකයෝ
17. මනෝ විශ්ලේෂණ ප්‍රතිකාරය - සරසවි ප්‍රකාශනයකි
18. ළමා මනෝ විද්‍යාව සහ ළමා උපදේශනය (වි.ග්‍ර.කේ.)
19. පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාව (වි.ග්‍ර.කේ.)
20. ස්වප්න චිකිත්සාව  - සරසවි ප්‍රකාශනයකි
21. සංග්‍රාම විඩාව සහ යුද ආතතිය (වි.ග්‍ර.කේ.)
22. ප්‍රභාකරන් සාධකය පිළිබඳ මනෝවිද්‍යාත්මක විශ්ලේශණයක් - සරසවි ප්‍රකාශනයකි
23. ව්‍යසනයන් සහ මනෝවිද්‍යාත්මක පසුබිම - ව්‍යසන උපදේශනය - මනෝ රෝග විශේෂඥ නීල් ප්‍රනාන්දු සමඟ - ගොඩගේ ප්‍රකාශනයකි.
24. මනෝ විද්‍යාත්මක උපදේශනය සහ මනෝ ප්‍රතිකාරය - සරසවි ප්‍රකාශනයකි
25. සංග්‍රාමයෙන් පසු - සරසවි ප්‍රකාශනයකි
26. ජාතක කථා මනෝ විද්‍යාත්මක ඇසින් - ගොඩගේ ප්‍රකාශනයකි
27. භින්නෝන්මාදය - සරසවි ප්‍රකාශනයකි
28. සැන්ට බාබරාහි යාචකයා ඇතුළු තවත් කෙටි කතා - ගොඩගේ ප්‍රකාශනයකි.
29 ජොනතන් හාකර්ගේ මරණය ඇතුළු තවත් කෙටි කතා - ගොඩගේ ප්‍රකාශනයකි.
30) මානසික රෝගියාගේ පරිකල්පනය - ගොඩගේ ප්‍රකාශනයකි.
31) කෙමරූජ් භීෂණය  - සරසවි ප්‍රකාශනයකි
32  71 කැරැල්ල ආරම්භයේ සිට අවසානය දක්වා පුර්ණ සමාලෝචනයක් 
33   PTSD Sri Lankan Experience - ANL Publishers 
34. Psychoanalysis with Clinical Evidence - Sarvodaya VL Publishers 
35 Psychological Management of Sexual Trauma Victims -Sarvodaya Vishva Lekha Publishers
36 Trauma Counseling - Sarvodaya Vishva Lekha Publishers

37 Psychological Counseling  - Wijesuriya Publishers 
38 Depression and Psychotherapy -  Godage Publishers 

39 Hypnotherapy - Sarvodaya VL Publishers

40 Combat Stress - Godage Publishers 
41  PTSD Post Traumatic Stress Disorder  -Vishva Lekha Publishers
42 The Text Book of Psychological Counseling and
Psychotherapy - Sarvodaya Vishva Lekha Publishers

43. Anxiety Disorders - Sarvodaya Vishva Lekha Publishers


44. EMDR Sri Lankan Experience - Sarasavi Publishers 
45 Buddhism and Psychology AHAS Publishers 
46 Stress in Security Forces ñ (Co-author) Icfai- India
47 Psychological Aspects of Buddhist Jathaka Stories - Godage Publishers 
48 Stress Management -  Godage Publishers 
49 Shell Shock to Palali Syndrome - Godage  Publishers 


තවමත් මුද්‍රණයේ පවතින කෘති 

අර්ධ මිනිසෙකුගේ කතාවක් ඇතුළු තවත් කෙටි කතා - මුද්‍රණයේ
හරාකිරි (කාව්‍ය) - මුද්‍රණයේ
වෛද්‍ය වරයෙකුගේ සිහි සටහන් - මුද්‍රණයේ
Rhythm of Life (Poetry) - in press 
Between Literature and Psychology - in press 
PTSD in the Soviet Union - in press 


වෛද්‍ය රුවන් එම් ජයතුංග 

Find Us On Facebook