Wednesday, October 28, 2026

ආගමික උමතුභාවය




ආගමික උමතුව තිබූ පුද්ගලයන් ගනනාවක් මට හමුවී තිබෙන අතර සමහරක් මට හමු වූයේ විශේසඥ මනෝ වෛද්‍ය නීල් ප්‍රනාන්දු මහතා යටතේ Psychiatry විශය පුහුණු වීමේදී අංගොඩ මානසික රෝහලේදීය​. එසේම විශේෂඥ මනෝ වෛද්‍ය ලලින් ප්‍රනාන්දු මහතා යටතේ මීගමුව රෝහලේ මානසික සෞඛ්‍ය සායනයේ සේවය කරන විට ආගමික උන්මාදය තිබූ රෝගීන් කිහිප දෙනෙකු මට හමු විය​. මින් සමහරක් ඉතා ප්‍රචණ්ව හැසිරුනු බව මතකය​. මුහුණු පොතේද ආගමික උමතුව තිබූ පුද්ගලයෝ මා සමග විවාද කිරීමට පැමිනි අතර ඔවුන් තුල තිබූ අන්ධ භක්තිය සහ තර්කනයේ නොහැකියාව නිසා ඔවුන් බොහෝ විට කරන ලද්දේ අවලාද කීමය​. මේ හැර බුද්ධිමය වශයෙන් කරුනු නිශ්ප්‍රභ කිරීමට ඔවුන් තුල හැකියාවක් තිබුනේ නැත​.

ආගමික උමතු භාවය (Religious Fanaticism / Extremism) යනු යම් පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් තමන් අදහන ආගමික විශ්වාසයන් කිසිදු තාර්කික හෝ නම්‍යශීලී භාවයකින් තොරව, අන්තගාමී සහ උග්‍ර ලෙස වැළඳගෙන ක්‍රියා කිරීමය. අන්තවාදී සහ අන්ධ විශ්වාස වලින් ඔවුන් ගේ මනස පිරී තිබේ. ඔවුන් තුල අනම්‍යශීලී බව (Inflexibility) තිබෙන අතර තමන්ගේ ආගමික ග්‍රන්ථ හෝ ඉගැන්වීම් අකුරටම, කිසිදු වෙනස් කිරීමකින් තොරව (සන්දර්භය නොසලකා) අර්ථකථනය කිරීම කරති. ඔවුන් තර්කයට ඉඩක් නොදෙති. විද්‍යාත්මක, තාර්කික හෝ මානුෂීය කරුණු මත පදනම්ව තමන්ගේ ආගමික මතයන් ප්‍රශ්න කිරීම බැහැර කරති. මෙම පුද්ගලයෝ අන්ධ භක්තියේ නියමුවන් වෙති.

ආගමික උමතුවසඳහා හේතු කාරකයන් ලෙස සමාජයීය, ආර්ථික හෝ අධ්‍යාපනික පසුගාමීත්වය පෙන්වා දිය හැකි අතර ඔවුන් තුල අවිනිශ්චිතතාවය මඟහරවා ගැනීමේ දැඩි අවශ්‍යතාවය තිබේ. පුද්ගලික ජීවිතයේ අසාර්ථකත්වයන් නිසා ඇති වන හීනමානය වසා ගැනීමට ඇතැමුන් "සාමූහික නාර්සිවාදය" (Collective Narcissism) තෝරා ගනී. එහිදී "මගේ ආගම තමයි ලෝකයේ ශ්‍රේෂ්ඨතම ආගම, මම ඒ ශ්‍රේෂ්ඨ ආගමේ කෙනෙක්" යන හැඟීම හරහා ඔවුන් තමන්ගේ ආත්ම අභිමානය (Self-esteem) කෘත්‍රිමව ඉහළ නංවා ගනී.

මානව පරිණාමයත් සමඟ මිනිස් මොළය හැඩගැසී ඇත්තේ තමන්ගේ කණ්ඩායම (In-group) ආරක්ෂා කිරීමට සහ පිටස්තර කණ්ඩායම් (Out-group) සැකයෙන් බැලීමටය. ආගමික උමතුව පවතින අය තුළ මෙම තත්වය අන්තයටම ගමන් කරයි. ඔවුන් තමන්ගේ කණ්ඩායම අතිශය යහපත් පිරිසක් ලෙසත්, අනෙක් සියලුම දෙනා සතුරන් හෝ පව්කාරයන් ලෙසත් දකිති. තමන්ගේ සංස්කෘතිය, ආගම හෝ පැවැත්ම අනෙක් ආගම් නිසා අවදානමට ලක්ව ඇතැයි යන අභ්‍යන්තර බිය (Fear) මනෝවිද්‍යාත්මකව පුද්ගලයෙකු ආක්‍රමණශීලී කරයි. මොළයේ බිය පාලනය කරන 'ඇමිග්ඩලා' (Amygdala) කොටස ක්‍රියාත්මක වීම නිසා ඔවුන් තාර්කිකව සිතීම නතර කර, ආත්මාරක්ෂාව සඳහා ප්‍රචණ්ඩත්වයට හෝ අන්තවාදයට යොමු වේ. එසේම​ තහවුරු කිරීමේ පක්ෂපාතිත්වය (Confirmation Bias) ඔවුන් තුල දක්නට ඇත​. ඔවුන් කියවන්නේ හෝ ශ්‍රවණය කරන්නේ තමන්ගේ මතය තහවුරු කරන දේවල් පමණි. විරුද්ධ මත සියල්ල බොරු ලෙස ප්‍රතික්ෂේප කරයි.

මානසික රෝගයක රෝග ලක්‍ෂණයක් ලෙස මතුවන ආගමික උමතුව අප සමාජයේ බහුලව දක්නට ලැබේ. ආගමික උමතුව භින්නෝන්මාදයේ (Schizophrenia) මුල් අවධියක ලක්ෂණයක් විය හැකිය. මෙකී පුද්ගලයන් තුල "ආගමික මායාවන්" (Religious Delusions) බහුලව තිබෙන අතර එය භින්නෝන්මාද රෝගීන් තුළ බහුලව දක්නට ලැබෙන පොදු ලක්ෂණයකි. ද්වීධ්‍රැවීය ආබාධයේ 'මේනියා' (Mania) හෙවත් උන්මාද අවධියේදී පුද්ගලයාගේ මොළයේ ක්‍රියාකාරීත්වය සහ ශක්තිය අධික ලෙස ඉහළ යයි. මෙහිදී ඔවුන් තුළ "උමතු ආගමික භක්තියක්" හදිසියේම මතු විය හැකිය. තවද මොළයේ (Temporal Lobe) ආශ්‍රිතව ඇතිවන ඇතැම් අපස්මාර (වල්ලිප්පුව) තත්වයන් නිසා පුද්ගලයන් තුළ අසාමාන්‍ය ලෙස අධි-ආගමික භක්තියක් (Hyper-religiosity) හටගත හැකි බව වෛද්‍ය පර්යේෂණ මඟින් තහවුරු කර ඇත. මොවුන් නිතරම ආගමික දර්ශන දැකීම සහ ආගම ගැනම ලිවීමට හා කතා කිරීමට දැඩි උමතුවක් දක්වයි. මේ අනුව ආගමික උමතුව යනු සායනික ප්‍රතිකාර අවශ්‍ය තත්වයක් බව පෙනී යයි.

වෛද්‍ය රුවන් එම් ජයතුංග



No comments:

Post a Comment

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook