Sunday, March 26, 2023

අපට සිංහල භාෂාව ඉගැන්වූ ගුණතුංග ටීච

 


ඇඩ්ලින් ගුණතුංග මිය නාලන්දාවේ පරම්පරා කීපයකට සිංහල භාෂාව ඉගැන්වූවාය​. ඇය අපගේ 1981 (9 වන ශ්‍රේනිය ) සහ 1982 (10 වන ශ්‍රේනිය) පන්තිභාර ගුරුතුමියද වූවාය​. ඒ කාලයේ නව යොවුන් වියේ සිටි අප පන්තියේ කෑ කෝ ගසමින් ඇයට බාධා කලෙමු. වරක් නවය වසරේ අපගේ සිංහල ගුරුවරිය වූ ගුණතුංග මහත්මිය පන්තියට එන විට කොල්ලන් නොයෙකුත් වැඩ කරමින් සිටි නිසා නැගිටීම ප්‍රමාද විය​. මෙහිදී ගුණතුංග ටීචර් පන්තියටම බැණ වැදී ගුරුවරයෙකු පැමිණි විට ගුරු ගෞරවය පෙන්වා පුටුවෙන් නැගිට ආයුබෝවන් කිව යුතු බව තරයේ කීවාය​. මේ අවස්ථාවේදී අංශ භාර ජයවර්ධන මයාගේ පණිවිඩයක් ගෙන සර්ගේ පියන් සීබට් පන්තියට පැමිනියේය​. එවිට කොල්ලන් සියළුම දෙනා කලින් කතාකර ගත්තාක් මෙන් නැගිට  සීබට්ට ආයුබෝවන් සර් කීවෝය​. සීබට් අන්ද මන්ද විය​. 

1982 වසරේ අප සිටියේ ගුණතුංග ටීච ගේ පන්තිය වූ 10 එෆ් එකේය. මේ පන්තියේ සිටි බහුතරය මැරෑටියන් වූ අතර වරක් රජිත් හෙවත් මීයා අහිංසක කොළුවෙකු වූ ජනක පෙරේරාට " උඹේ අම්මාට .....කියා කියන ලදි. මින් උරණ වූ ජනක පෙරේරා, ගුණතුංග ටීචට ඇසෙන සේ ටීච මෙයා කුණුහරප කියනවා කියා කීවේය. එවිට ගුණතුංග ටීච කවුද කුණුහරප කියන්නේ කියා විමසූ විට කොල්ලෝ සියළු දෙනාම රජිත් ගේ නම කීවෝය. ඒ අතරවාරේදී සකළසූරිය රජිත් ගේ කේස් එක තද කරනු වස් " ටීච මෙයා කුණුහරප කරලත් පෙන්නනවා " කියා කීවේය. කුණුහරප කීමක් මිසක කර පෙන්වීමක් පිලිබඳව මීට පෙර නොදත් ගුණතුංග ටීච, සකළසූරිය ගේ කතාවෙන් ඔල්මොරොන්දන් වූවාය. 

මේ තවත් සිදුවීමකි ; (ඒ කාලේ අපිට තිබුනා උම්මග ජාතකය සිංහල වලට. මේ පොතේ තැනක තියනවා වේදේහ රජතුමා ලෝකාස්වාද රතියේ යෙදුනා කියලා. කොල්ලන්ට මේ වචනේ තේරුම සහසුද්දෙන් දැනගන්න ඕන වෙලා තිබුනා. ගුණතුංග ටීච පන්තියට ආවම සකලසූරිය  ගුණතුංග ටීච ගෙන් ඇහුවා  ටීච මොකක්ද ලෝකාස්වාද රතිය කියන්නේ කියලා.  ටීචට ඒකට මළ පැනලා සකලයාට බැණගෙන බැණගෙන ගියා. පස්සේ කොල්ලෝ මේ වචනයේ තේරුම ඒ කාලයේ ඕනම කුණුහරපයක තේරුම දන්න බොරැල්ලෙ වේළුවන පාරේ හිටපු ලාල් රූපතුංග ගෙන් ඇහුවා. ලාල් කිව්වා ලෝකාස්වාද රතිය කියන්නේ සූස්තියක් ගහන කොට තියන සොමිය කියලා )

ගුණතුංග ටීච සද්ධර්ම රත්නාවලිය උගන්වන විට සකලසූරිය එක එක කතා කියයි. වරක්  නන්ද කුමාරයා ජනපද කල්‍යාණිය අමතක කොට  දෙවඟනන් ගැන සිත සිතා හිටි බව කී විට සකලසූරිය එක විටම ඇසුවේ "නන්ද කුමාරයා කෙට්ටු වෙන්න ඇති නේද? කියාය​. කෙසේ නමුත් සකලසූරිය කරන බාධාද ගියේ මගේ කර පිටිනි. 

එහෙත් ඇඩ්ලින් ගුණතුංග ගුරුවරිය නිසා අප සුභාෂිතය , ගුත්තිල කාව්‍ය , උමංදාව මෙන්ම මනුතාපය ග්‍රන්ථය පිලිබඳවද ඉගන ගත්තෙමු. මේ ලබා ගත් දැණුම නිසා මට ජාතක කතා සංග්‍රහය කියවීමටත් ඒ ආශ්‍රිතව "Psychological Aspects of Buddhist Jataka Stories "  නම් කෘතිය ලිවීමටත්  හැකි විය​. වර්තමානයේ එතුමිය ගිහි ගෙය හැරදා පැවිදිව එංගලන්තයේ භාවනායෝගීව වෙසෙන්නීය​. ඒ කාලයේ අප විසින් කරන ලද විකාර වැඩ සහ බාධා කිරීම් පිලිබඳව එතුමිය  අපට සමාව දී තිබේ. 

No comments:

Post a Comment

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook