Saturday, July 25, 2020

ගුණසේකර සර්


ජීව විද්‍යාව ඉගැන්වූ ගුණසේකර සර්ට කොල්ලන් ආදරේට කිව්වේ පූසා කියාය​. ගුණසේකර මහතා ඉතා කැපවීමෙන්  සිසුන්ට ඉගැන්වූ ගුරුවරයෙකු විය​. එම කැපවීම කෙසේද යත්   අප නවය ශ්‍රේනියේ සිටියදී 1981 වසරේ අගෝස්තු මාසයේදී පුරා සතියක් මහ වැසි ඇද හැලුනි. වැස්ස නිසා තාවකාලිකව අපගේ පන්ති තක්ශිලා ශාලාවට ගෙන යන ලදි. වැස්ස අපට ගෙන ආවේ ප්‍රබෝධයකි. සමහර ගුරුවරු මහ වැසි නිසා සේවයට වාර්තා කලේ නැත. එබැවින් අප නිදහස් කාල කාලච්ඡේද වල වැස්සේ තෙමෙමින් හෝ ඩෙස්ක් වලට ගසමින් සිංදු කියමින් සිටියෙමු. අහෝ මේ වැස්සේ ගුණසේකර සර් කුඩයක් ඉහලාගෙන පන්තියට විත් අපට ජීව විද්‍යාව ඉගැන්නුවේය​. 

තක්ශිලා ශාලාවේ ප්‍රධාන ද්වාරයට උඩින් ගිය බටයක් තුල වතුර පිරී තිබුනේ නිරතරයෙන් වසින වැස්ස නිසාය​. වහලේ වැහි පීළිද සිරවී තිබූ නිසා මේ බටය තුලින් කාණුවට ගියේ බොර පාට වතුරය​. කොල්ලෙක් දොරට උඩින් ගිය බටයට කවකට්ටකින් ඇන සිදුරු කලේය​. දැන් මේ ද්වාරය යටින් එන යන වුන් නෑවෙති. කුවේජු සර් වේවැල ගෙන මේ කුඩා දිය ඇල්ලෙන් බේරී පන්තියක් ඇතුලට ගියේය​. ඒ සමගම තවත් කොල්ලෙක් පයිප්පයේ තවත් සිදුරු ඇති කලේය​. දැන් තක්ශිලා ශාලාවේ දොර උඩින් ගලන දිය දහරා සමූහයකි. 

තක්ශිලා ශාලාවත් පාසලත් වෙන් කරමින් ගලන දිය දහරා දෙස අප තක්ශිලා ගොඩනැගිල්ලේ උඩ තට්ටුවට ගොස් බලා සිටියෙමු. තක්ශිලා ගොඩනැගිල්ලෙන්  එලියට යන්නෝ මෙන්ම  ඇතුලට එන්නෝද නෑවෙති. කොල්ලන්ට මෙය මාර ආතල් එකක් වූයේය​. වැස්ස නැවතුනද දිය ඇළි ගලයි. කුවේජු සර් දැන් තක්ශිලා ගොඩනැගිල්ලේ සිරවෙලාය​. සුදු කමිසය සහ සුදු කලිසම අඳින කුවේජු සර් මේ කළු දිය දහර දෙස බලමින් කොරිඩෝවේ ඒ මේ අත නොසන්සුන් ලෙස සක්මන් කරයි.  

මේ අතරවාරයේ ගුණසේකර සර් කළු කුඩයක් ඉහලාගෙන විත් දිය ඇල්ල තරණය කලේය​. අපගේ විනෝදාස්වාදය අවසන් වූ අතර අප පන්තියට දිව ගියෙමු. ගුණසේකර සර් පන්තියට පැමිණ පාඩම ආරම්භ කලේය​. මස් කඩයට දක්කවා ගෙන යන හරකුන් ලෙස අප ජීව විද්‍යාව පාඩමට සූදානම් වූයෙමු.   

 1981 වසරේ  ගුණසේකර මහතා ඉගැන්වූ විශය කොටත් මට තවමත් මතකය​. සෛලම්  සෛල , ෆ්ලෝයම් සෛල , බාහිකය , ශාකයේ හරස්කඩ, ශාක සෛලය , ප්‍රභාසංලේශනය යනාදී කොටස් තවමත් මාගේ හිසේ තිබේ. උසස් පෙළ සඳහා උද්භිද විද්‍යාවට අවශ්‍ය පදනම ඔහු අපට ලබා දුන්නේය​. 

වරක් නවය වසරේදී මමත් එස්.ටී.ඩී.පී රණසිංහත් පන්තියේ පසුපස සිට ඉදිරි පේලියක සිටි ජනක පෙරේරා අවුස්සමින් සිටියෙමු. රණසිංහ කියන කතා වලට මම සිනාසෙමි. ජනක පෙරේරා වරින් වර අප දෙස රවා බලයි. පන්තියේ උගන්වමින් සිටි ගුණසේකර මහතාගේ   අවධානයට  අපගේ විකාරය ලක් විය​. 

" ඕයි තමුසේ මොකද ඔතන ඉඳන් විරිත්තන්නේ " කියා ඔහු සිනහසෙන මගෙන් ඇසීය​. මම වහාම සිනහව නවත්වා පොත දෙස බැලුවෙමි. රණසිංහ ඉතා උනන්දුවෙන් කළු ලෑල්ලේ තිබෙන රූප සටහන්  තම ජීව විද්‍යාව පොතේ අඳියි. 

"තමුසෙගේ පොතත් අරගෙන මෙහෙ එනවා "  ගුණසේකර සර් විධාන කලේය​. මම ජීව විද්‍යාව පොත තුරුළු කරගෙන නැගිට්ටෙමි. 

මම ඒමට ප්‍රමාද වීම නිසා ගුණසේකර සර් මා අසලට පැමින මගේ හිසේ කෙස් ගස් දෙක තුනකින් අල්ලාගෙන මාව පන්තියේ ඉදිරියට ගෙන ගියේය​. 

 තම එළවළු කොරටුවට වැදුණු වස්සෙකු ගේ ගෙල​ට කඹයක් දමා ගොවියෙකු ඇදගෙන යන විලසට ගුණසේකර සර් මාව පන්තියේ ඉදිරි පෙළ දක්වා ගෙන යයි. මම තුරුණු වස්සෙකු සේ හිස නවාගෙන පිටුපසට ඇවිදින සර් දෙසට ගමන් කලෙමි. ඒ අතරවාරයේ ජනක මා දෙස සිනාමුසු මුහුණින් බලයි. 

ඔන්න ඔතන ඉඳගන්නවා ගුණසේකර සර් මාව ඉදිරි පේලියේ හිස් පුටුවක වාඩි කලේය​. මගේ වම් පසින් ජයානන්ද නොහොත් මාළුකටාය​. ඔහු මා දෙස බැලුවේ අසතුටිනි. ඒ මන්ද යත් දින දෙක  දෙක තුනකට ඉහතදී කොක්මාදූවේ ගුණසිරි හාමුදුරුවන් කටත්තා කර්මය කියා කළු ලෑල්ලේ ලියා තිබූ වචනය ඉදිරියෙන් විවේක කාලයේදී මම මාළු  යන වචනය ලිවීම නිසාය​. ඉන් පසුව කොල්ලෝ ජයානන්දට මාළු කටත්තා කීවෝය​. 

ජයානන්ද නොරිස්සුම් බවකින් මා දෙස බලා ගුරුවරයාට අවධානය යොමු කලේය​. ගුණසේකර මහතා හෘධයේ හරස් කඩක් කළු ලෑල්ලේ ඇඳ එය පිටපත් කර ගන්නා ලෙස අපට කීවේය​. මම මාළුකටාගේ පාට පැන්සල් ඔහුගේ අවසරයකින් තොරව ගෙන හෘධයේ හරස් කඩ මගේ ජීව විද්‍යාව පොතේ 
ඇන්දෙමි. 

 හෘධයේ හරස් කඩ ඇඳීමෙන් පසුව ගුණසේකර මහතා හෘධ ක්‍රියාකාරීත්වය ගැන ප්‍රශ්න ඇසීය​. මම එම ප්‍රශ්න වලට අත ඔසවා නිවැරදි පිළිතුරු දුන්නෙමි. පන්තිය අවසන් වූ පසු ඔහු මගේ ජීව විද්‍යා පොත ගෙන සටහන් ලියා තිබෙන අන්දම බැළුවේය​. 

" තමුසෙට වැඩ කරන්ඩ පුලුවන් ඕයි. නිකං පන්තියෙ පිටිපස්සට වෙලා පිස්සු කෙලිනවා. මීට පස්සේ තමුසේ  මෙතන ඉන්නවා" ඔහු කීවේය​. 
මාළුකටා මේ අවස්ථාවෙදී ඔහු අදහන දෙවියන්ට යාඥා කලාට සැක නැත​. 

ගුණසේකර මහතාගේ නියෝගයෙන් පසුව මම පන්තියේ ඉදිරි පේලියේ ඉඳගත්තෙමි. ඉන්පසු දහය වසරට යන තෙක් මම ගුණසේකර මහතා උගන්වන විට ඉතා සන්සුන්ව විනීතව අවධානයෙන් යුක්තව සිටියෙමි. ඔහු වරින් වර ඉගැන්වූ කොටස් වලින් ප්‍රශ්න ඇසූ අතර මම නිවැරදි පිලිතුරු දුන්නෙමි. "ඔන්න ඔහොම ඉන්නවා"  ඔහු සමහර විට ලෙන්ගතු හඞකින් කියයි.

 පාසලෙන් ඉවත් වීමෙන් පසු මට ගුණසේකර මහතා ගැන ආරංචියක් නොවීය​. නමුත් මෑතකදී ඔහුගේ පුත් ප්‍රකාශ් හෙළි පරිදි අසූ හතර හැවිරිදි ගුණසේකර මහතා විශ්‍රාම සුවයෙන් කල් ගෙවයි.  ළමුන් ස්වභාවයෙන් විහිළුවට කෙළි සෙල්ලම් වලට බර බව පියෙකු ලෙස ඔහු දැන සිටියේය​. එම නිසා පන්තියේ අප විසින් කරන ලද විකාර ඉවසූ බව මම සිතමි. 

මේ කැප වීමෙන් තම රාජකාරිය කළ ගුරුවරු වෙති​. ඔවුන් ටියුෂන් පසුපස දුවමින් පාසලේ ඉගැන්වීම් අතපසු කලේ නැත​.  ඔවුන් ඒ කාලයේ කරන ලද කැපවීම අපට අවබෝධ වූයේ අප වැඩිහිටි මිනිසුන් වූ පසුවය​. 


වෛද්‍ය රුවන් එම් ජයතුංග 

No comments:

Post a Comment

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook