Tuesday, July 3, 2018

ඩෙනිම් කලිසම

 

අප ඉස්කෝලේ යන කාලයේ ඩෙනිම් කලිසමක් යනු වටිනා වස්තුවකි. ඒ කාලයේ මිනිසුන් පැය ගනන් පෝලිම් වල සිට භූමිතෙල් ගඳ ගහන චීත්ත රෙදි මිලට ගත්තෝය. පොප්ලින් රෙදි යාරයක් ගන්නට ලියකියවිලි පවා පුරවන්නට සිදු විය. මේ කාලයේ මගේ මාමා කෙනෙකු වන සරත් රාජපතිරණ ඇමරිකාවේ සිට නිවාඩුවට එන විට අපට ඇමරිකාවෙන් ඇඳුම් අරගෙන ආවේය. සරත් මාමා සේවය කලේ ලෝක බැංකුවේ උපදේශකයෙකු ලෙසටය.  ඔහු වසරකට වරක් ලංකාවට ආවේය​. සරත් මාමා තෑගි දුන් පිටර​ට ඇඳුම් ඇඳගෙන පාරේ යන විට භූමිතෙල් ගඳ ගහන චීත්ත රෙදි වලින් කමිස මසා ඒවා ඇඳගෙන සිටි කොල්ලෝ ඉරිසියාවෙන් අප දෙස බලනවා මතකය. 

ලීවයිස් ඩෙනිම් කළුනික මෙන් හිඟ හැත්තෑව දශකයේදී මට ඩෙනිම් කලිසමක් ලැබුනේය. මෙම කලිසම මාගේ වැඩිමහල් සහෝදරයාට තෑගි ලැබ ඔහු විසින්  ඇඳ පට්ට ගසා තිබුණු එකක් වූවද එය මට මහා අනර්ඝ වස්තුවක් විය. වරක් මම බිග් මැච් එකට මෙම ලීවයිස් ඩෙනිම් කලිසම ඇන්දෙමි. එය දුටු ලාල් රූපතුංග කොර වූ අතර ඔහු කිහිප වතාවක් එම කලිසම මගෙන් ඉල්ලාගෙන ඇන්දේය. ලාල් රූපතුංග ලඟ නිල් පැහැති කොඩ්‍රොයිල් කලිසමක් තිබූ අතර මම එය ඔහුගෙන් ඉල්ලාගෙන ඇන්දෙමි. එහෙත් වරක් ලාල් රූපතුංග මගේ ඩෙනිම් කලිසම ඇඳ කඹයක් උඩ ගිය අතර ඉන් පසු මම මගේ කලිසම ලාල්ට නොදුන්නෙමි. 

වෛද්‍ය පීඨයේ දෙවන වසරේදී වරක්  වින්ටර් නිවාඩු සමයේදී මම බටහිර ජර්මනියට ගියෙමි. මේ කාලයේ විලාසිතාව වූයේ ඇසිඩ් වොෂ් ඩෙනිම් හෙවත් ඩෙනිම් කලිසමේ තැනින් තැන ඇසිඩ් වලින් පිලිස්සුවාක් මෙන් පාට ගිය නිල් පැහැති ඩෙනිම් කලිසම් ය. මා සිතන ලෙස මේ විලාසිතාව ආවේ ජෝජ් මයිකල් ගේ ෆේත් නම් ඇල්බමය පිටවූ නිසාය. ජෝජ් මයිකල් ෆේත් නම් ගීතය ගයන්නේ ඇසිඩ් වොෂ් ඩෙනිම් කලිසමක් ඇඳගෙනය. මේ නිසා මම බර්ලින් නගරයේ ඇඳුම හලකින් ඇසිඩ් වොෂ් ඩෙනිම් එකක් මිලට ගත්තෙමි. මගේ මතකය අනුව මෙම කලිසම ඩොයිෂ් මාක් 25 හෝ 30 වන්නට ඇත. 

වින්ටර් නිවාඩුව අවසන් වී පීඨය පටන් ගන්නා නව වාරයේ මුල්ම දිනයේදී මම මෙම අළුත් කලිසම ඇන්දෙමි. එකල සෝවියට් දේශයේ ලීවයිස් ඩෙනිම් ඉතා අගය කොට සලකනු ලැබීය. නේවාසිකාගාරයේ මා ජීවත් වූයේ අටවන මහලේය. මේ නිසා මම අටවන මහලේ සිට පහතට ඒම සඳහා ලිෆ්ට් යන්ත්‍රයට ගොඩ වූයෙමි. ඒ සමගම මට වඩා ජ්‍යෙෂ්ඨ වසරක සිරියානු සිසුවෙකුද  ලිෆ්ට් යන්ත්‍රයට ගොඩ විය. ඔහු මා ඇඳ සිටි ඇසිඩ් වොෂ් ඩෙනිම් කලිසම දෙස බලා " නුඹ ශ්‍රී ලංකාවෙන්  ද ? කියා ඇසීය. ඔහු මා ලංකාවෙන් බව කියා දැන දැනත් මේ ප්‍රශ්නය ඇසීම මට පුදුමය ගෙන දුන්නේය. කෙසේ නමුත් ඔව් කියා කීවෙමි. එවිට මෙම අරාබි සිසුවා " උඹලගේ ර ජීවන වියදම නිසා මිනිසුන්ට ජීවත් වෙන්නත් අමාරුයි ඒ නිසා උන් ඩොලර් පනහට අපේ රටට වැඩ කරන්න එනවා කීවේය. මොහු යම් ඉරිසියාවක් නිසා මේ කතාව කියන බව අවබෝධ  වීම නිසා ඔහුව කුපිත කරනු වස් මම මෙසේ කීවෙමි

" ඔව් ලංකාවේ ජීවන වියදම නිසා මිනිසුන්ට ජීවත් වෙන්න අමාරුයි ; ඒ නිසා අපිට ඊශ්‍රායලය උදව් කරනවා " 

ඊශ්‍රායලය ගැන කියූ වහාම අරාබි සිසුවා කට වහගත්තේය. 

මගේ ඩෙනිම් කලිසම දුටු ලක්සිරිට තමාගේ පරණ ඩෙනිම් කලිසමක ඇසිඩ් වොෂ් කරන්නට සිතුනේය. එක් රාත්‍රියක ඔහු තම කලිසමක යකඩ බාල්දියක බහා වතුර පුරවා ඊට සබන් කුඩු සහ විනාකිරි එකතු කොට නේවාසිකාගාරයේ  කුස්සියේ යකඩ හොට් ප්ලේට් එක මත තැබුවේය. පැය දෙක තුනක් පමණ උතුරන වතුරේ කලිසම තම්බා ඇසිඩ් වොෂ්  කිරීම ඔහුගේ අරමුණ විය. කෙසේ නමුත් බාල්දිය ලිපේ තබා ලක්සිරි ඇඳේ ඇල විය. ඔහු අවධි වූයේ උදෑසනය. ඇස් කබ පිස දමමින් කුස්සියට දිවූ ලක්සිරි දුටුවේ කළුවී ඇදවී ගිය යකඩ බාල්දියකි. කලිසමේ අඟුරු බාල්දිය අඩියේ ඇලී තිබුනේය. 

ඩෙනිම් කලිසම් යනු පරම්පරා ගනනක් අඳින්නා වූ ඇඳුමකි.  මගේ පුතා හයිස් ස්කූල් හෙවත් උසස් පාඨශාලාවේ ඉගෙනුම ලබන කාලයේදී ඔහුට ලෙදර් වාටි සහිත ලීවයිස් ඩෙනිම්කලිසමක් ගැනීමට අවශ්‍ය බව කීවේය.  මෙය කාලීන විලාසිතාවක් බව වටහා ගත් මම කලිසමේ ගාන ඇසුවෙමි. එම කලිසමේ මිල ලංකාවේදී මා ලැබූ වේතනයෙන් හතරෙන් එකකි. කෙසේ නමුත් මගේ බිරිඳ ඔහුට කලිසම මිලට ගෙන දුන්නාය. 

වර්තමානයේ උතුරු ඇමරිකාවේ තරුණ තරුණියන් විලාසිතාව ලෙස අඳින්නේ ඉරී ගිය ඩෙනිම් කලිසම් ය. මෙම ඉරී ගිය  ඩෙනිම් අධික මිලක් ගෙවා ඔවුන් මිලදී ගනිති. මෑතකදී මගේ පුතා එවැනි කලිසමක් මිලදී ගැනීමට ගිය අතර මම ඔහුට කීවේ  මේ කලිසම ඇඳගෙන ලංකාවට ගියහොත් හිඟන්නෙකු කියා ඔහුට මිනිසුන් හිඟමන් දේවි කියාය. 


වෛද්‍ය රුවන් එම් ජයතුංග

7 comments:

  1. Nice memorise. I remember wearing shirts made of fabrics having the kerosine smell, to my junior school. My children won’t believe this today. We have come a long way in Sri Lanka; but they future is bleak as ever.

    ReplyDelete
  2. "මෑතකදී මගේ පුතා එවැනි කලිසමක් මිලදී ගැනීමට ගිය අතර මම ඔහුට කීවේ මේ කලිසම ඇඳගෙන ලංකාවට ගියහොත් හිඟන්නෙකු කියා ඔහුට මිනිසුන් හිඟමන් දේවි කියාය" No worries.. same situation in here.

    ReplyDelete
  3. ලක්සිරි කියන නම අහල තියනවා. ඒ දවස් වල ඩෙනිම් පහක් විතර ඇඳන් ඇවිත් හතරක් විකුණන කට්ටියත් හිටිය නේද හේ හේ

    ReplyDelete
  4. ඩොක්ට. ඔහේගෙ බ්ලොග් එක මම හරිම ආසාවෙන් කියවන බ්ලොග් එකක්. මට මේකට මගේ අත්දැකීම් එක්ක දිග කමෙන්ට් එකක් ලියන්න ඕනෑ උනත් දැන් මට එච්චර වෙලාවක් නැහැ. ලයිස් එක වෙනස් වෙලා. ඒත් කවදාහරි මේ පොස්ට් එකට මම කමෙන්ට් කලොත් රිප්ලයි කරන්නත් අමතක කරන්න එපා.

    ReplyDelete
  5. මම කියවපු හොඳම බ්ලොග් එක කිව්වොත් නිවරදියි. බොහො දැ උගත්තෙමි, දැන ගත්තෙමි ස්තුතියි ඔබට​

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook