හෙළ කලාවේ මහගෙදර වන ලුම්බිණි රඟහලේ වේදිකාවට මා ගොඩ වන්නේ ළමා නලුවෙකු ලෙසටය. ලුම්බිණි රඟහලට අමතරව ලයනල් වෙන්ට් වේදිකාවේද මම රඟපා තිබේ.
ලුම්බිණි රඟහලේ සෝමා කිරිඇල්ල මහත්මියගේ රන් කුකුලයි කථා දෙකයි, පැංචා යන වේදිකා නාට්‍ය වල මම රඟපෑවෙමි. රන් කුකුලයි කථා දෙකයි නාට්‍යයේ ප්‍රධාන චරිතය රඟ දක්වන ලද්දේ සාගරිකා ගෝමස් විසිනි. ඇයව 88-89 භීෂණ කාලයේදී දේශපාලන මතවාද කර පින්නා ගත් ක්‍රෑර නොමිනිසුන් විසින් මරා දමන ලදි.
පැංචා නාට්‍යය අලි පැටවෙකු පිළිබඳවය. පැංචා නාට්‍යය අලි පැටවෙකු පිළිබඳවය. මෙම නාට්‍ය දෙකම නිෂ්පාදනය කරනු ලැබුවේ සෝමා කිරිඇල්ල මහත්මිය විසිනි.
ලුම්බිණි රඟහලේ නාට්‍ය රඟන කාලයේ වේදිකාව මගේ සිත් ගත්තේය. එසේම වේදිකාවට ආලෝකය සපයන පුවරුවක් තිබූ අතර මෙම පුවරුව මගින් වේදිකා ආලෝකය පාළනය කරන ලදි. වේදිකාවේ තිරය ඇරීම වැසීම කලේ අතින් කරකවන රෝදයක් මගිනි.
නාට්‍ය ඇරඹීමට පැයකට දෙකකට කලින් ශාලාව තුලට මිනිසුන් පිවිසෙති. වේදිකාව වසා තිබේ. නළු නිලියන් නොසන්සුන්ව වේදිකාවේ පසුපස එක් රැස්ව සිටිති. එක් චායාරූපකරුවෙක් වේශ නිරූපණ ශිල්පියා විය. ඔහු පවුඩර් තලි තලි නිලියන් ගේ මුහුනේ ඇතිල්ලුවේය. එසේම ළමා නළුවන් වූ අපටද පවුඩර් සාත්තුව කොට නිලියන්ට කලාක් මෙන් අපගේ තොල් වලද ලිප්ස්ටික් ගෑවේය.
නාට්‍යට ඇඳි ඇඳුම් පොඩි නොකර ගෙන මේකප් දියවී යන ලෙස දඟ නොකර සිටින ලෙසට නාට්‍ය නිෂ්පාදිකාව ගෙන් අවවාද ලැබුනද අප කොල්ලන් සෙට් එක තිරය වසා තිබෙන වේදිකාවට ගොස් ලී කෙළි සඳහා ගෙන තිබූ පොලු කෑලි අතට ගෙන කඩු ෆයිට් කලෙමු. කඩු පහරක් මහපට ඇඟිල්ලට වැදි එක් ළමයෙකු හයියෙන් ඇඞි අතර ඔහුගේ මේකප් බලාගෙන සිටියදී දියවී ගියේය. මේ නිසා නාට්‍ය නිෂ්පාදිකාව වේදිකාවට පැමිණ අපට තරවටුවක් කලාය. ඒ නිසා අපි කඩු ෆයිට් නවතා වේදිකාවේ ඔබ මොබ ගියෙමු.
සමහර නව යොවුන් වියේ සිටි නිලියන් හොරෙන් තිරය මෑත් කොට නාට්‍ය බැලීමට පැමිණ සිටි පිරිස දෙස බැලීම කල අතර අප ඔවුන් පූර්ණව නිරාවරණය වන සේ තිරය ඇද්දෙමු. මේ නිසා නරඹන්නන්ට ඔවුන්ව දැක ගත හැකිවූ අතර අනපේක්‍ෂිතව තමන්ව ප්‍රේක්‍ෂකයන්ට නිරාවරණය කල කොල්ලන්ට ඔවුන් රැව්වෝය.
ඒ අතරවාරයේ අඩක් අඳුරුව තිබූ තිරයෙන් වැසි ලුම්බිණි වේදිකාවේ අල්ලන සෙල්ලම කිරීමට ගොස් අප ඉතා විශාල කාඩ්බෝඩ් නිවසක් බිම පතිත කලෙමු. මේ නිවස ගම ගෙදර වූ අතර තව විනාඩි කීපයකින් නාට්‍ය ඇරඹිය යුතු නිසා නාට්‍ය නිෂ්පාදිකාව ඔළුවේ අත ගසා ගත්තාය. එක් පිරිමි නළුවෙක් ඉදිරිපත් වී පුටු කබලක් ආධාරකය ලෙස තබා ගම ගෙදර යන්තම් රෙපයාර් කොට කෙලින් කරන ලදි.
බැණුම් තරවටු සමග පිරිමි ළමා නළුවන් වේදිකාවෙන් පන්නා දැමූ අතර අප මේකප් කාමරයට ගොස් සැඟවුනෙමු. සම වයස් කෙල්ලෝ අපට නියවූහ.
නාට්‍ය ආරම්භ විය. අප සෙමෙන් සෙමෙන් වේදිකාව පසුපසට ගොස් ප්‍රධාන නළු නිලියන් රඟපානවා බැලුවෙමු. වේදිකාව අසල පොතේ ගුරා ලෙස විශාකා විද්‍යාලයේ ගුරුවරියක් සිටියාය. ඇය නළු නිලියන්ට දෙබස් මතක් කර ගැනීමට සෙමෙන් දෙබස් කීවාය. වේදිකාව ඉදිරි පිට නාලන්ද විද්‍යාලයේ සංගීතාචාර්‍ය පතිරණ සර් සිටි අතර ඔහු වාදක කණ්ඩායමක් මගින් සංගීතය සැපයීය. පතිරණ සර් මාව අඳුනා ගනීදෝ යන බියෙන් මම අඳුරට මුවා වී සිටියෙමි.
අඩ හෝරාවක් යන විට යම් අයෙකු පැමිණ දැන් ස්ටේජ් එකට යන්න කීවෙන් අපගේ නියමිත කොටස රඟ දැක්වීමට නියමිත බව දැනගත්තෙමු. අප රඟ දැක්වූයේ ගම ගෙදර කුකුල් පැටවුන් ගේ චරිතයි. විධානයත් සමග අපි වේදිකාවට ගියෙමු. රඟපෑමට වඩා අප බැළුවේ ප්‍රේක්‍ෂකයන් දෙසය. ප්‍රේක්‍ෂකයන් අපට නළු නිලියන් සේ දිස් වූහ. අපගේ කොටස රඟපා අවසානවීමත් සමගම පොතේ ගුරු පහත් හඞකින් දැන් යන්න දැන් යන්න කියා කියන ලදින් අප වේදිකාවෙන් ඉවත්ව ගියෙමු.
ඉන්පසු මැදි වයසේ කාන්තාවක් විසින් අපට බනිස් ගෙඩියක් සහ ඇඹුල් කෙහෙල් ගෙඩිය බැගින් දුන්නාය. වැඩිහිටි නළු නිලියන්ටත ප්‍රධාන අමුත්තන්ටත් දීමට ගෙනැවිත් තිබූ ඔරේන්ජ් බාර්ලි බෝතල් වලින් කීපයක් විවෘත කොට මේ කාන්තාව අපට ඔරේන්ජ් බාර්ලි ප්ලාස්ටික් කෝප්ව වලට දැමුවාය. අප කොල්ලෝ කුරුට්ටන් මේ ඔරේන්ජ් බාර්ලි ඉතා ආශාවෙන් පානය කලෙමු.
කෑමෙන් බීමෙන් පසු බිම වැටී තිබූ ඔරේන්ජ් බාර්ලි බෝතල් වල මූඩි එකතු කිරීමේ යුද්දය ආරම්භ විය. රාජකීය විද්‍යාලයේ එක් කොල්ලෙක් ඔරේන්ජ් බාර්ලි බෝතල් මූඩි ගනනාවක් තමා සතු කරගෙන සිටි අතර සමාජවාදී ප්‍රතිපත්ති අනුගමනය කල අනෙකුත් කොල්ලෝ ඌගේ නාහෙට පහරක් ගසා බෝතල් මූඩි උදුරාගත්හ. පහර දී බෝතල් මූඩි උදුරා ගැනීම නිසා රාජකීය කොළුවා බෙරිහන් දී ඇඞුවේය. කොළුවා අඞන හඩ වේදිකාවටත් ඇසේද යන බියෙන් අතිරේක නිලියක් අපට බැනවැදී අඞන බබාව සුරතල් කලාය.
මේ කලබල අස්සේ නාට්‍යද අවසන් විය. ඒ සමගම පොතේ ගුරු අපටද වේදිකාවට යන ලෙස දැන්වූවාය. අප සමහරකගේ ඇඳුම් පොඩිවී හොටවල් කැඩී තිබුණු අතර ඒ අඩුපාඩුකම් නොසලකමින් අප වේදිකාවට ගියෙමු. අඞමින් සිටි කොළුවාද වේදිකාවට ආ නමුත් ඔහුගේ ඉකි ගැසීම ඉක්කාවක් මෙන් ඇසුනේය. ප්‍රේක්‍ෂකයෝ අප දෙස බලමින් අත්පුඩි ගැසුවෝය. එනමුදු ප්‍රධාන නිලිය වූ සාගරිකා ගෝමස් වේදිකාවට එත්ම එම අත්පුඩි හඞ දෙගුන තෙගුණ වූයේය.
නාට්‍යය අවසන් විය. ඉන්පසුව වේදිකාව පසුපස එකිනෙකාගේ රඟපෑම් වල ගුණ දොස් විවේචනයක් ඇසුණි. ඒ අතරවාරයේ ඉතිරි වී තිබූ බනිස් වලට අප වග කීවෙමු. වේශ නිරූපන ශිල්පියා නාට්‍යයේ කළමනා වාහනයකට පැටවූයේය. සමහර පිරිමි නළුවන් ඔහුට උදව් කලෝය. මේ සියල්ල අහවර වන විට රෑ දහයත් පසුවී තිබුනේය.
දැන් ළමා නළු නිලියන් බොහෝ දෙනෙකු පුටු උඩ නිදි කිරති. අවසානයේදී ඔවුන්ව අසීරුවෙන් නැගිට්ටවා ගෙන වෑන් එකකට දමා නිවෙස් වලට ඇරලවන ලදි ඉන් දින කීපයකට පසුව දිනමිණ පුවත් පතේ අපගේ නාට්‍යය ගැන චායාරූපයක් පළවී තිබුනේය. එහි කුඩාවට අපගේ රූපකායන් දැකගත හැකි විය.
වෛද්‍ය රුවන් මංගල ජයතුංග
පෙරේදා මම ඇයට අවසන් ගෞරවය දැක්වීමට රත්මලානේ නිවසට ගියෙමි. ගැටවරවියේ සිට මම ඇයව ඇසුරු කෙරුවෙමි. කිරිඇල්ල ඇන්ටිගේ දූ දරු මුනුබුරු මිනිබිරියන් එංගලන්තය, නවසීලන්තය, ඉතාලිය ආදී රටරටවලින් පැමින සිටියා. ඇය නිවස ඒදවස් වල කලාකරුවන්ගෙන් පිරි ස්ථානයක්. ක්ලැරන්ස්ල මාලේවනවලා රත්නපුරේ ඉඳන් කොළඹ ආවම නවාතැන් ගත්තේ රත්මලානේ මිහිඳුමාවතේ ඇගේ නිවසේ...ඇයට සුබගමන්...!
ReplyDeleteSalute Sir
Deleteඅපේ පාසැල් අවසාන කාලයේ මතක. බොහෝ සුන්දර නාට්‍ය ඒවා. දැන් දරුවන් ට මේ දේවල් නැති නිසා ඔවුන්ගේ හිත් බොහොම ක්‍ෲරයි. අහිංසක සංවේදී හිත් නැති තරම් .
ReplyDeleteThank you Mangala ! I have shared this in to a whatsapp group
ReplyDelete