පාසල් කාලයේ සිටම මම විසිතුරු මාළුන්ට ඇළුම් කලෙමි. පාසල අසල සමහර විට වෙලෙන්දන් ගෝල්ඩ් ෆිශ් වැනි මාළුන් විකුණති. ළමුන් උන්ව මිලදී ගනිති.
එක වසරේදී මම සරත්නරත්න හෙවත් ටිප්ටොප් සමග එක්වී ප්‍රභාත් කඩය අසලින් ගලන කුණු ඇළට බැස අළු පැහැති ගප්පි අල්ලා උන්ව බෝතලයක දමාගෙන ගෙදර ගෙනාවෙමි.
මෙම කුණු ඇළ ප්‍රදේශය පාළුය. එයට තනියම යාමට බිය මම සරත්නරත්නට අයියාගේ මුද්දර පොතෙන් ගලවා ගත් මුද්දර කීපයක් දී මාළු ඇල්ලීමට කැමති කර ගත්තෙමි. අප එහි යන්නේ පාසල අවසන් වූ පසුය.
අපි රෙදි කෑල්ලක් ගෙන දණක් වතුරේ බැස ගප්පි ඇල්ලුවෙමු. සරත්නරත්නට මාළු ගෙදර ගෙන ඒමට පියා ඉඩ නොදෙන නිසා අල්ලන ලද මාළු මම ගත්තෙමි. අල්ලාගත් මාළු හිස් කරන ලද තීන්ත කුප්පියකට දමා ගන්නා අප ජයග්‍රාහී විලාශයෙන් ප්‍රභාත් කඩය අසලින් යළි පාරට එන්නෙමු. පාසල ඉවරවී දෙමාපියන් හෝ ආයලා එන තෙක් රැඳී සිටින ළමුන් රොක් වී අප අල්ලා ගත් මාළු බැලීමට වටවෙති. මා සමග 1973 දී කුණු ඇලේ මාළු ඇල්ලූ සරත්නරත්න වර්තමානයේ ඇමරිකාවේ ජීවත් වෙයි.
ආනන්දේ ඉදිරිපිට විසිතුරු මාළු කඩයක් තිබූ බව මතකය. මෙම කඩයෙන් ගුරාමියෙකු මම මිලට ගත්තෙමි. මේ කඩ වලින් ගන්නා මාළු ඉක්මනින් මැරෙන බව යහලුවන් කීහ. ඔවුන් පවසන්නේ මෙම මාළු වෙලඳුන් මාළු දෙන විට හිමීට මාළුන් ගේ බඩවත මිරිකන බවය.
70 දශකයේ කොලඹ බෞද්ධාලෝක මාවතේ ජාතික චිත්‍රපට සංස්ථාව තිබෙන භූමිය ආසන්නයේ කුඩා පොළක් විය. මෙම පොලේ විසිතුරු මාළු විකුනන ලදි. මෙම පොලෙන් වරක් ගෝල්ඩ් ෆිශ් යුවලක් ගත්තා මතකය.
1975 මම තුන වසරේ සිටියදී අයියලා සමග එක්වී අපගේ පාසලේ සිටි දිනේශ් ජයවර්ධනගෙන් මාළු ටැංකියක් සමග මාළු රුපියල් විසි හතරක් ගෙවා මිලදී ගත් අතර මෙම ටැංකියට අප තව තවත් මාළු මිලදී ගෙන දැමුවෙමු. එම ටැංකියේ ගෝල්ඩ් ෆීශ් ,ගොගල් අයිස් , ඒන්ජල් , ගුරාමි, කාෆ් , ප්ලේටි , සීබ්‍රා , යනාදී මාළුන් පමණක් නොව විරල ගනයේ කැලිකා ගෝල්ඩ් ෆීශ් කියා මාළුවෙකුද විය.
ගුරාමීන් , ෆයිටර්ස් වැනි මාළු ටැංකියෙන් පිටට පනින නිසා ටැංකිය මතුපිට තංගුස් දැලක් තිබුණි. මෙම දැල නොතිබූ කාලයේ වරක් ටැංකියෙන් පිටට පැන්න ගුරාමියෙකු පූසා විසින් කන ලදි.
මාළුන්ට බීමැක්ස් හෝ ෆිශ් මැක්ස් කියා හාල්මැස්සන් ඔළු සහ වියළි පාන් කුඩු කර තැනූ කෑම කඩවල තිබුනේය. එම කෑම පැකට්ටුවක් ග්ලූකෝස් පැකට් එකක් තරම් ය. එක් පැකට් එකක් මාස දෙකක් පමණ පාවිච්චි කල හැකිය. මේ කුඩු ස්වල්පයක් ඉස්ස විට මාළුන් මතුපිටට ඇවිත් කති.
වරක් පහ වසරේදී (1977) මමත් රජිත් කුමාරසිරි හෙවත් මීයාත් දන්ත රඹුක්කනත් පාසල අවසන් වී කුප්පියාවත්ත ප්‍රදේශයේ මඞ වලකට බැස මාළු ඇල්ලුවෙමු. මට අමුතු මාදිලියේ කිසි දිනෙක දැක නැති මාළුවෙකු අසු වූ හෙයින් මම ඌව හිස් තීන්ත බෝතලයකට දමා ගත්තෙමි. මේ මාළුවා අප ආශාවෙන් නරඹන විට අපට වඩා ලොකු කොල්ලෙකු පැමිණ මාළුවා මගෙන් උදුරා ගත්තේය.
"ඌ වනාතමුල්ල සීවලි එකේ කොල්ලෙක්"කියා දන්ත කීවෙන් අපි වහ වහා මාරු වූයෙමු. මේ මාළුවා මඞකරියෙකු බව අප පසුව දැනගත්තෙමු. කෙසේ නමුත් මේ මාළුවා ගෙදර ගෙන ගියේ නම් මා ඌව ටැංකියට දමනු නිසැකය.
මිලාගිරිය සාන්ත පාවුළු විදුහල අසල බායියා කියා හැඳින්වූ පුද්ගලයෙකු විය. ඔහුගේ නිවස පැරණි වලව්වක් බඳුය. එම නිවස පසුපස භූමියේ සිමෙන්තියෙන් බැඳි ටැංකි විශාල ප්‍රමාණයක් තිබුනි. මේ ටැංකි වල විවිධ ප්‍රමාණයේ විසිතුරු මාළු සිටි අතර අප බායියාගෙන් ද මාළු මිලදී ගත්තෙමු.
බායියා කතා කරන්නේ නහයෙනි. ඒ නිසා ඔහු කියන දේවල් භාගයක් අපට නොතේරේ. ඒ නිසා අප අවශ්‍ය මාළු ටැංකි වලට අත් දික් කොට පෙන්වා ඔහුට මුදල් දී ඉතිරි සල්ලි අපේක්‍ෂාවෙන් අත් දිගු කර සිටින්නෙමු. කුඩා නෙට් එකකින් අපට අවශ්‍ය මාළු අල්ලා අප අත තිබෙන බෝතලයට දමන බායියා ඉතිරි සල්ලි දුන්නේ කලාතුරකිනි.
වරක් එක් දහස් නවසිය අනූ ගනන් වල අග භාගයේදී බොහෝ සෙයින් මහළුව සිටි බායියා මම ඩික්මන් පාරේදී දුටුවෙමි. ඔහු දුටු විට පෞරාණික වස්තුවක් දැකීමේදී සිතට ඇතිවන හැගීම් මා සිතට ආවේය. මේ වන විට ඔහු මිය ගොස් ඇති බව සහතිකය. රුපියල් බිලියන ගනනක් වටින බායියා සිටි නිවස සමග ඉඩම කවරුන් හෝ දේශපාලාඥයෙකු විසින් අල්ලාගෙන සිටිනවා විය හැකිය.
බායියා ගේ මාළු මිලෙන් අධික බව කියූ යාළුවෙක් ඊට වඩා අඩු මිලට මාළු විකුනන ස්ථානයක් ගැන කීවේය. මෙම ස්ථානය තිබුනේ කොලඹ ඩිෆොන්සේකා මාවතේය. එය නිවසකි. එහි උන් ලංසි පවුලක් විසිතුරු මාළු විකුණුවේය. ඔවුන් ගේ නිවසේ සිංහල ආයා කෙනෙක් සිටි අතර මේ ආයා නිවැසියන් සමග කතා කලේ ඉංග්‍රීසියෙනි. මාළු මිලදී ගැනීමට කොළු රැල පැමිණි විට ආයා ; " මැඩම් .... මැඩම් බෝයිස් හෑව් කම් ටු බයි ෆිශ් " කියන්නීය. එවිට මැදි වයසේ ලංසි කාන්තාවක් යියේස් කියා එලියට එන්නීය.
මම මේ ඩිෆොන්සේකා ස්ථානයෙන් ලස්සන සාරි ගප්පි මෙන්ම සියමීස් ෆයිටර්ස්ලා මිලට ගත්තෙමි. සියමීස් ෆයිටර්ස්ලා එකට තැබූ විට සටන් කරන නිසා මේ රතු , දම් පාට වලින් යුක්ත සියමීස් ෆයිටර්ස්ලා අපි හෝර්ලික්ස් බෝතල් වල දැමුවෙමු.
මාළු ඇති කිරීමේ විනෝදාංශය මට දිගටම තිබුනේය. සෝවියට් දේශයේ ඉගෙනුම ලබන කාලයේ පස් වන වසරේදී මගේ කාමරයේ මාළු ටැංකියක් තිබුණි. මේ මාළු ටැංකිය මාළුන් සමග මට තෑගි කලේ අවසන් වසරේ සිටි යමුණා අලස් විසිනි. ඇය දැන් ඔස්ට්‍රේලියාවේ වෛද්‍යවරියක ලෙස වැඩ කරන්නීය. මෙම මාළු ටැංකිය මම උපාධිය අවසන් කර එන විට මිතුරෙකුට තෑගි දුන්නෙමි.
1998 මීගමුව රෝහලේ සේවය කරන සමයේදී මගේ ඔන් කෝල් කාමරයට ජා ඇලින් මාළු ටැංකියක් ද මීගමුවේ විසිතුරු මාළු කඩයකින් මාළුද මිලදී ගත්තෙමි. මේ ටැංකියට ෆිල්ටර් එකක් ද අඩියක පමණ දිග ෆ්ලොරසන්ට් බල්බ් එකක් ද තිබුනේය. ලංකාවේ නිශ්පාදිත මෙම ටැංකි කට්ටලයට රුපියල් දහසකට මිලක් මම ගෙව්වෙමි. නමුත් වරක් මාළුන්ට කෑම දීමට යාමේදී මගේ අතට කරන්ට් වැදුනි. ඒ නිසා මම ටැංකිය අල්ලන්නේ නැතිව ඈතින් සිට සිරි නැරඹුවෙමි.
මා මීගමුව රෝහලෙන් එන විට මගේ ඔන් කෝල් කාමරය වෛද්‍ය විල්සන් පීරිස්ට දුන්නෙමි. එහෙත් මාළු ටැංකිය මාළු සමග ගෙදර ගෙන ගියෙමි.
ළමයින්ද දෙමාපියන් මෙන් මාළුන්ට ඇළුම් කරති මගේ පුතා කුඩා කාලයේ ඔහුට කළු පැහැති ගොගල් අයිස් මාළුවෙකු සිටියේය. මේ මාළුවාට ඔහුගේ පන්තියේ සිටි ළමයෙකුගේ නමක් දමා තිබුනේය. මේ මාළුවාට ඔහු කතා කලේ කළණ කියාය. කළණ වසර ගනනාවක් ඔහුගේ කාමරයේ ජීවත් වූ අතර අනපේක්‍ෂිතව නිවැසි පූසා විසින් අල්ලාගෙන කන ලදි.
එය සිදු වූයේ අප නිවාඩුවට මාතලේ ජෙනරාල් රොහාන් කඩුවෙල මහතාගේ නිවසට ගිය විටදීය. නිවාඩුව අවසන්ව අප යලි එන විට කළණ වීදුරු ටැංකියේ සිටියේ නැත. පූසා සමහර විට මාළු ටැංකියෙන් වතුර බීමට පුරුදුව සිටියද කළණට අණතුරක් කරනු ඇතැයි අප නොසිතුවෙමු. පුතා විසින් ඇඳි කළණගේ පින්තූර මම පසුව දුටුවෙමි.
කැනඩාවට ආ පසුවද විසිතුරු මාළුන් කෙරෙහි මා තුල තිබූ ඇල්ම අඩු නොවීය. මා ලඟ මාළු ටැංකි දෙකක් තිබූ අතර එක් ටැංකියක් මාළුන් සමග මම කුඩා චීන දරුවෙකුට තෑගි දුන්නෙමි.
දැන් මා ලඟ තිබෙන්නේ කුඩා ටැංකියකි. එහි සිටින්නේ මාළු ස්වල්ප දෙනෙකි. එහෙත් මේ මාළු ටැංකිය මනහරය. එය දෙස බලා සිටින විට ආතතිය දුරුවේ.
වෛද්‍ය රුවන් එම් ජයතුංග