Friday, February 5, 2016

මාමෙක් ද මීමෙක් ද ?

  


තරුණ සහ නවක වෛද්‍යවරුන් ලෙස අප බොහෝ කවටකම් කලෙමු. එය රාජකාරී ආතතිය මකා ගැනීම සඳහා විය යුතුය​. සමහර විහිළු අහිංසක ඒවාය. සමහර විහිළු බරපතලය​. වරක් හලාවත රෝහලේදී ශල්‍යකර්මයක් අවසන් වීමෙන් පසු රාත්‍රී දෙගොඩහරිජාමේ තේ බීම සඳහා හලාවත ටවුමේ පිහිටි නයිට්  කඩයකට අප ගියෙමු. අප අතර සිටි තෙන්නේ හොඳ විහිළු සපයන්නෙකි. නයිට්  කඩය අසල මධ්‍යම වයසේ ගැමියෙකු රාත්‍රී බස් රථය එන තෙක් රැඳී සිටියේය​. ඔහු අසලට ගිය තෙන්නේ "අනේ බුදු මාමේ මේ කොහේද යන්නේ"  කියා විමසීය​. ගැමියා වික්‍ෂිප්ත වූවද කොල්ලන් ගේ විකාර තේරුම් ගෙන අවස්ථානුකූලව උත්තර දුන්නේය​. ඉන් පසු තෙන්නේ "මේ තමයි අපේ මාමා ඉඩම් කඩම් විකුණලා මට උගන්වපු මාමා කියා " ගැමියාව බදාගෙන තොත්තුවක් දුන්නේය​. ඉන් පසු අපි තෙන්නේ ගේ   ව්‍යාජ මාමා සමග නයිට් කඩයට ගියෙමු. 

තෙන්නේ කඩයේ තිබූ සියළු කෑම ඇණවුම් කලේය​. රාත්‍රී ආහාරයත් නොමැතිව සිටි ගැමියා බඩපුරා කෑම කෑවේය​. මාමේ කන්න කන්න කියා තෙන්නේ මාමාට කෑම බෙදුවේය​. ඒ අතර තෙන්නේ තම මාමා ගැන ගුණකථනයක් ද කලේය​​. මාමා ධනවතෙකි. ඥාතී දරුවන්ට ඉගැන්වීම සඳහා ඉඩම් දේපළ විකුනුවේය​. අවසානයේදී ඔහු දුප්පතෙකු විය​. දැන් ඥාතී දරුවන් මාමා දෙස බලන්නේවත් නැත​.

මාමාව අමතක කිරීම ගැන තෙන්නේ මාමාගෙන් සමාව ඉල්ලා සිටියේය​. කඩයේ සිටි  අවශේශ පුද්ගලයෝ මේ අරුම පුදුම මාමා බෑණා  දෙස බලා සිටියහ​. අපද මේ ජවනිකාව ඇත්තක් ලෙස හඟවමින් මාමාට සහ බෑණාට  පෝර දැමුවෙමු. මෙවැනි යහපත් මාමෙක් අමතක කිරීම ගැන තෙන්නේට දොස් පැවරුවෙමු. කඩයේ මුදලාලිද ගනුදෙනු කරන අතරමග හොරෙන් අපේ කතාවට සවන් දුන්නේය​. අකෘතඥ බෑණා කෙරෙහි මුදලාලි බලා සිටියේ ජුගුප්සාවෙනි. 

මාමා සිටින්නේ නවගත්තේගම රාත්‍රී බසය එන තෙක් ය​. අප රාත්‍රී බසය එන තෙක් මමා සමග සිටියෙමු. ඒ අතරවාරයේ තෙන්නේ නැන්දාට දෙන්න කියා නයිට් කඩයෙන් 
මිලට ගත් එළවළු රොටී පාර්සලයක් ද ගැමියා අත තැබීය​. හෙතෙම ඒවා ඉතා සතුටින් භාර ගත්තේය​. 

නවගත්තේගම රාත්‍රී බසය පැමිණි වහාම තෙන්නේ කොන්දොස්තරට මුදල් ගෙවා නවගත්තේගමට ටිකට් පතක් ගෙන මාමා අත තැබීය​. එසේම මාමාව ප්‍රවේසමෙන් නවගත්තේගමට ගෙනියන ලෙස  කොන්දොස්තරට කීවේය​. ඉන්පසු අප මාමාගෙන් සමු ගෙන යළිත් ඒකාකාරී ජීවිතයක් තිබෙන රෝහලට පැමිණියෙමු. 

මෙම සත්‍ය කතාව විවිධාකාර ලෙස පුද්ගලයන්ට අර්ථ කථනය කල හැකිය​. එහෙත් එය අහිංසක විහිළුවකි. නවගත්තේගම ගැමියාද ඊට මනා සේ රුකුල් දුන්නේ මේ තරුණ කණ්ඩායමේ විගඩම් වැඩ අවබෝධ වීම නිසා විය යුතුය​. ඉන් කිසිවෙකුටත් හානියක් නොවීය​. අවස්ථානුකූලව හැසිරෙමින් අපට විනෝදය සැපයූ නවගත්තේගම මාමාට අප ඉතා කෘතඥ වූයෙමු. එසේම​ මාස ගනනක්ම අප  මෙම මාමා ගැන වරින් වර කතා කරමින් රෝහල් විඩාව දුරුකර ගත්තෙමු.  

තෙන්නේ පසු කාලයක පොලොන්නරුව රෝහලට ගියේය​. මාමා තවම නවගත්තේගම සිටිනවා විය යුතුය​.


වෛද්‍ය රුවන් එම් ජයතුංග 

22 comments:

  1. මාමාත් හලාවත එන හැම පාරම බෑනාව හොයනවලු. දරු මුණුබුරන්ටත් කියනවලු එයා ඉඩකඩං විකුණල උගන්නපු බෑණා ගැන.

    ReplyDelete
  2. බොහොම අපූරු දේවල් මෙව්ව.. ඇත්තටම .. සුළු දෙයකින් නමුත් ලොකු සතුටක් ලබන්න පුළුවන් අවස්ථා කොයිතරම් අපට මගෑරෙනවද. ඒ දේවල් විඳින්න ඕන.. මට මතකයි දවසක් ඒ ලෙවල් ක්ලාස් ගිහිං එනකොට gampaha ටවුමෙ මනුස්සයෙක් ඇපල් විකුණනවා. එකක් විස්සයි.. දෙකක් හතලිහායි .. කියකියා.. "එන්න එන්න ගන්න රස ඇපල්.. එකක් විස්සයි දෙකක් හතළිහයි " කියනකොට මම මැද්දට පැනල " තුනක් හැටයි , හතරක් අසූවයි" කියල කෑගහන්න ගත්ත.. එතන මිනිස්සුන්ට හිනා. ටික වෙලාවක් බලන් හිටපු ඇපල් වෙලෙන්ද බැනල පන්නගත්ත.. තව දවසක් යක්කල ඇපල් වෙළෙන්දෙක් ගාවට් ඇවිත් සල්ලි දීල "අන්කල් මට මේ දොඩම් ගෙඩි දෙකක් දෙන්න" කියල කිව්ව ඇපල් පෙන්නල.. මිනිහ කියනව "නෑ පුතා මේව ඇපල්".." නෑ නෑ අන්කල් මට ඕන මේ දොඩම් ජාතිය". "පිස්සුද පුතා මේව ඇපල්". " අංකල් මේ මට උගන්නන්න හදන්න එපා . මට මේ දොඩම් ගෙඩි දෙකක් දෙන්නකෝ" .. අන්තිමට අර මනුස්සය කුටු කුටු ගගා ඇපල් ගෙඩි දෙකක් දුන්න සල්ලි අරන්.."අන්කල් මරු දොඩම් ගෙඩි ටික ආ.." කියල ඇපල් ගෙඩි දෙකක් අරන් ආවම ඒ මනුස්සය කට ඇරන් මා දිහා බලන් හිටපු හැටි මට අදටත් මතකයි...

    ReplyDelete
    Replies
    1. කොහොමද ඇපල් වෙලෙන්දා පිහියක් ගත්තන​ං

      Delete
  3. පස්සේ මාමා DPD සඳහා ප්‍රතිකාර ගන්න සායනයකට එන්න නැතුව ඇති නේද? :)

    ReplyDelete
  4. හිනාවෙලා පනගියා. හරිම නිර්මානාත්මක සුන්දර විහිළුවක්.ගැමිය ගෙදර ගිහිනුත් කල්පනාකරන ඇති මේ මොකද වු නේ කියල.

    ReplyDelete
  5. කරනවනං විහිලු :) කිසි ලෝබකමක් නෑ මේ ගොල්ලන්ට :D

    ReplyDelete
  6. විහිළුවක් එක්ක පින්කමක් කරලා දානෙකුත් දුන්න කියලා හිතාගත්තම හරි

    ReplyDelete
    Replies
    1. හමුදාවෙ මහත්තුරුත් මේවගේ විහිලු කරනව නේද ?

      Delete
  7. මාමාත් ඔය සිද්දිය කිය කිය හිනා වෙනවා ඇති

    ReplyDelete
    Replies
    1. නැන්දාටත් කියන්න ඇති

      Delete
  8. මමත් හිතන්නෙ මේව අහින්සක විහිලු. දෙන්නටම හොඳක් මිසක් නරකක් වෙලා නෑ. දවසක් මගේ මිතුරෙක් බස් එකකින් බහින්න ගිහින් කොන්දොස්තර වගේ ‘බහිනවා, බහිනවා, බහිනවා, පස්සෙන් බහිනවා, තව බහිනවා‘ කියකිය බැස්සලු. මුලු බස් එකටම ඇහෙන්න. මෙයා බැහැල ඉවර වුන ගමන්ම හරේ ගාල කෑ ගහල යන්න ගියාලු. වැඩේට මුලු බස් එකම හොඳහැටි හිනා වෙලා.

    ReplyDelete
  9. "යළිත් ඒකාකාරී ජීවිතයක් තිබෙන රෝහලට පැමිණියෙමු". Didn't realize it's that boring.

    ReplyDelete
  10. mama hithuwa mamata bila gewanna wath weida kiyala. :)

    ReplyDelete
    Replies
    1. අනේ නෑ අපි තමයි බිල ගෙව්වේ

      Delete
  11. ඔය තෙන්නේගේ ගෙදර මමත් ගිහින් තියනවා, අද දවල්ට චිකන් ඩෙවල් කිවුව විතරයි මම වාෂ්ප උනා. මි ඇත්තමයි.

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook